Thursday, January 12, 2017

472. The Story Of My Marriage - 30 - සපත්තු සහ රංගෝලි..අනන්‍යාගේ නිවසේ මවිසින් ගතකරනලද පළමු මිනිත්තු පහ…….

සවස තුනේ කණිසම පසුවූවා පමණි. මට දුරකථන ඇමතුමක් ඇතිබව ශ්‍රී පැවසුවාය. 
"සර්…. සර්ට කෝල් එකක්" එසේ පවසා ඇය ඇමතුම මගේ මේසය මත ඇති දුරකථනයට මාරු කලාය.

"Hi, I'd like to open a priority account, with my hot-shot sexy banker"

"අනන්‍යා?..." මම ප්‍රීතියෙන් ඉපිලෙමින් කෑගැසීමි. "ඔයා කොහෙද ඔය ඉන්නෙ? කොයි වෙලාවෙද අපි මුණ ගැහෙන්නෙ? මම එන්නද එච්.එල්.එල්.ඔෆිස් එකට? අනේ බලන්නකො හරි වැඩේනෙ උනෙ. ඊයෙ මගෙ ෆ්ලයිට් එක ඩිලේ උනානෙ…"


"ක්‍රිෂ්...ක්‍රිෂ්..ක්‍රිෂ්..කරුණාකරල ඉස්සෙල්ල සන්සුන් වෙන්න. හරිද? බොහොම හෙමීට තුනට ගණන් කරන්න"

"ඒක්...දෝක්..තීන්...ඔන්ඩු...රෙන්ඩු...මූන්ඩු...වන්..ටූ...ත්‍රී…" මමද දෑස් පියාගත්වනම අනන්‍යා සමඟ ගණන් කළෙමි.

"දැන් කොහොමද? සන්සුන්ද? හෘද ස්ඵන්දනය සාමාන්‍ය තත්වයට පැමිණියාද?"

"හ්ම්ම්..ඔව්.." මම දිග හුස්මක් පහළට හෙලා පැවසුවෙමි.

"හරි එහෙනම් දැන් ඔයා කියන්න ආපු එක කියන්න"

"ඔයා කොහෙද ඉන්නෙ? ගෙදර ආවද?"

"නෑ..නෑ..මම මේ කතා කරන්නෙ කන්චීපුරම් ඉඳල"

"කොහේය කිව්ව?"

"කන්චීපුරම් ළමයා...කන්චීපුරම්.."

(කන්චිපුරම් යනු චෙන්නයි සිට නිරිත දෙසින් කිලෝ මීටර් 72 දුරින් පිහිටි ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නගරයකි. කෘෂිකර්මයට අමතරව එහි ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ විවිධ වර්ණවත් සේද සාරි විවීමේ කර්මාන්තයයි. කන්චිපුරම් සාරි සඳහා ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවෙහිද ඉතා ඉහළ ඉල්ලුමක් ඇත.)

කංචීපුරම් සේද සාරිවලින් මේ සැරසී සිටිනුයේ
සුප්‍රකට දකුණු ඉන්දියානු නිළියන් දෙදෙනෙකුවන

තමන්නා සහ ඇන්ඩ්‍රියාය.

"හරි හරි මොන පුරම් හරි..කොහෙද ඔය පුරම් තියෙන්නෙ? "

"චෙන්නයි ඉඳල පැය තුනක දුර...මම ඉක්මනටම ආපහු එන්ට පිටත් වෙනව. බොහෝවිට තව පැය බාගයක් තරම ඇතුළත.එතකොට හයාමාරට වගෙ මම ගෙදර …"

"ආ..ඒක හොඳයි...ඔයාව දකින්ට නැතුව මම…"

"හරි..හරි...මම දන්නව...මම දන්නව..මේ මම කියන්නද?.... ඔයා අද රෑ කෑමට අපේ ගෙදර එන්නකො"

"ගෙදර? ඔයගොල්ලන්ගෙ ගෙදර? ඒ කියන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක රෑ කෑමට?"

"නැතුව ආය? අම්මයි තාත්තයි එක්ක නැතුව බල්ලයි පූසයි එක්කයැ? කොහොමත් ඔයා ඒ ගොල්ලන්ව සහ ඒ ගොල්ලන් ඔයාව අඳුනගන්නත් එපාය නැද්ද? අපෙ අම්ම නම් මේ දවස්වල ටිකක් විතර අප්සෙට් එකේ ඉන්නෙ..ඒත් ඒක ඒ හැටි අවුලක් වෙන එකක් නෑ"

"මොකද අම්ම අප්සෙට් එකේ ඉන්නෙ? අපි දෙන්නගෙ මේ සම්බන්දෙ හින්දද?"

"අපොයි නෑ..නෑ… ඒක ඇරුනම එයාට තව හැටහුටාමාරක් හේතු තියනව අප්සෙට් වෙන්ට..හිහ්..හිහ්...කොහොම හරි මගෙ හොඳ වෙලාවටද කොහෙද මේ දවස්වල අප්සෙට් එකේ ඉන්නෙ නම් අපි දෙන්න හින්ද නෙවෙයි…"

"අනන්‍යා මේ මම කියන්නද? ඔය ගෙදර රෑ කෑම කන වැඩේ හරියන එකක් නෙවෙයි. අපි දෙන්න රෑ කෑමට යමු ඔය කොහෙ හරි හොඳ රෙස්ටුරන්ට් එහෙකට"

"අනේ බෑ ළමයො. මම අද රෑ ගෙදර ඉන්නම ඕනෙ.කැනඩාවෙ පදිංචි මගෙ නැන්ද කෙනෙක් මේ දවස්වල මෙහෙ ඇවිල්ල ඉන්නව. එයා අද අපේ ගෙදර එනව. ඒ හින්ද මට ඉන්නම වෙනව. බයවෙන්න එපා. ඔයා අටට එන්නකො" ඇය ඇගේ නිවසේ ලිපිනය මට පැවසුවාය. ඒ ලිපිනය නිවැරදිව ලියාගැන්මට මට හැකිවූයේ අනන්‍යා එය තුන්වරක් අකුරින් අකුර උච්ඡාරණය කළ පසුවය. 

"මොකක්ද අනේ මේ? පොඩි කාලෙ ඉස්කොලෙ කියවන විට ලිවීම පාඩමක් වගේනෙ මේක" ඇය අවසානයේ නොපහන්ව මට දොස් නැඟුවාය.

"හරි හරි. ඒක ගනං ගන්න එපා. එහෙම නැතුව ඔයා කැමතිද මම හෙට එළිය වැටෙනකල් චෙන්නයිවල පාරක් පාරක් ගානෙ බඩගින්නෙම රස්තියාදු වෙනවට?" මම සිනාසෙමින් විමසුවෙමි.

"හරි..හරි..හරි...එහෙනං ක්‍රිෂ් ...තව පැය පහකින් මුණ ගැහෙමු හරියටම අටට එන්න අපේ ගෙදරට හොඳද? එතෙක් එහෙනං බායි" ඇය ඇමතුම විසන්ධි කළාය.

එතැන්සිට මම කලේ මේසය මත දිගහැරුණු මූල්‍ය වාර්තා දෙස ඉඳහිට බැල්මක් හෙලමින් අත් ඔරලෝසුව දෙස නෙතු නොපියා බලා සිටීමය. අද කාලය ගතවනුයේ ඉතාම සෙමින් බව මගේ සිතට නැඟුනේ වරක් හෝ දෙවරක් නොවේ. සාපේක්ෂතාවාදය පැහැදිලි කරනු උදෙසා අයින්ස්ටයින් උදාහරණයක් ලෙස ඉදිරිපත් කල සංසිද්ධියක්ද මගේ මතකයට නැඟුනේ නිරායාසයෙනි. එනම් පීසාහි ඇලවෙන කුළුණ මත සිට අයින්ස්ටයින් පහත හෙලූ ඇපල් ගෙඩියක් චාල්ස් ඩාවින්ගේ හිස මත පතිතවීමෙන් බෙන්සීන් අණුවේ ව්‍යුහය පිළිබඳ මූලික සංකල්පය ඔහුට අවබෝධ වීමය.

සියළු ඒජන්තවරු සවස හයට රාජකාරි අවසන්කොට පිටත්ව ගියහ. (සිටි බැංකුවේ කාර්ය මණ්ඩලයේ පහළම මට්ටමේ නිලධාරීන් හැඳිවූයේ ඒජන්තවරු නොහොත් Agents ලෙසය.) සිටිබැංකුවේ චිරාගත සම්ප්‍රදායානුකූලව උසස් සහ මධ්‍යම මට්ටමේ නිලධාරීහු පිටත්ව යන්නෝ රාත්‍රී අටේ කණිසමටය.

එතෙක් ඉන්දියානු ආර්ථිකයේ ප්‍රගමනය පිළිබඳව ලියැවුනු ව්‍යාපෘති වාර්තා කියවමින් මම කාලය ගත කළෙමි. උගත් ඉහළ ගණයේ බුද්ධිමත් ශාස්ත්‍රඥයින් විසින් ලියැවුණු ඒ වාර්තා මඟින් ඉදිරි වසර දහය තුල ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය පිළිබඳ ඉතා විශ්වාසයෙන් යුතුව පුරෝකථනයක් ඉදිරිපත් කොට තිබිණි. ඒ කියවද්දී මසිතෙහි එක්වරම පැනනැඟුනු ගැටළුව නම් එවැන්නක් පිළිබඳව මෙපමණ විශ්වාසයෙන් යුතුව පුරෝකථනයක් කරන්නේ කෙසේද යන්නයි. කෙටියෙන් පැවසුවහොත් මට ඔවුන්ගෙන් විමසීමට තිබුනේ එකම පැණයකි. එනම් "කොහොමද යක්සයිනේ උඹල හරියටම දන්නෙ?" යන්නයි.

පස්වරු හතයි තිහට මම පිටත්ව යාම උදෙසා අසුන පසුපසට කොට නැඟී සිටියෙමි. ඒ දුටු වහා බාලක්‍රිෂ්ණන් මහතා මවෙත පැමිණියේය. 

"ක්‍රිෂ් ඔය යන්ටද?" ඔහුගේ මුහුණේ වූයේ නොපහන් පෙනුමකි. 

මම වහා අත් ඔරලෝසුව දෙස බලා වේලාව සවස හතර, පහ, හය, හෝ හත නොව හත පසුවී මිනිත්තු තිහ බව යලිත් වරක් තහවුරු කොට ගතිමි.

"ඔව්..මම යන්නෙයි කියල..ඒ හැටි වැදගත් වැඩකුත් නෑ මේ වෙලාවෙ කරන්ට"

"මම තව අවවාදයක් දෙන්නද ක්‍රිෂ්? කවදාවත් ඔයාගෙ බොස්ට ඉස්සෙල්ල ඔෆිස් එකෙන් පිටත්වෙන්ට එපා" බාලක්‍රිෂ්ණන් මහතා එසේ පැවසූයේ තම දකුණැස වසා ඉඟි කරමිනි. "හහ්..හහ්...හහ්" ...ඒ සමඟම ඔහු ලොකු විහිලුවක් කල විටෙක මෙන් මහ හඬින් සිනාසුණේය. 

මම අවම වශයෙන් මද සිනහවක් හෝ පළ නොකොට බැරෑරුම් මුහුණින් යුතුව ඔහු දෙස බලා සිටියෙමි. ඔහු පැවසූව කිසිසේත් මට විහිළුවක් වූයේ නැත.

බාලක්‍රිෂ්ණන් මහතා මහ හඬින් සිනාසෙන බොහෝ දේට සිනාසීමට මම අපොහොසත් බව මට ඒ වනවිට වැටහී තිබිණි. යම් ඉඩ ප්‍රස්ථාවක් ලද වහාම චෙන්නයි නුවර පොත් සාප්පුවකට ගොස් දමිළ විහිළු අඩංගු පොත් කිහිපයක් මිලදීගෙන දමිළ විහිළු පිළිබඳව අධ්‍යයනයක් කළයුතුයැයි මම ඉටා ගතිමි.

"මිස්ට බාලක්‍රිෂ්ණන් කීයටද යන්නෙ?" මම දිගු සුසුමක් හෙලා හිස දෙපසට සොලවමින් විචාලෙමි. 

"තව ටිකකින් මමත් යනව….. එක්කොත් ඔන්න ඔහෙ මමත් දැන්මම යනවා. කුසුම් මඟබලාගෙන ඇති මම එනකල්. ක්‍රිෂ් මොකද කියන්නෙ? අපේ ගෙදර යමුද රෑ කෑමට?"

"අනේ බෑ මිස්ට බාලක්‍රිෂ්ණන්. ඒත් ආරාධනාවට නම් බොහොමත්ම ස්තූතියි"

බාලක්‍රිෂ්ණන් මහතා මා දෙස බලා සිටියේ ඉතා දුක්මුසු බැල්මක් මුහුණට නඟා ගනිමිනි.

"අපේ දුරින් නෑයො වෙන කට්ටියක් මේ කිට්ටුව පාතක ඉන්නව. මට අද එහෙ යන්න වෙනව මිස්ට බාලක්‍රිෂ්ණන්" මම ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කීරිමට හේතු කාරණා ඉදිරිපත් කළෙමි.

"හරි හරි එහෙනං ඉතින් මොනව කරන්නද?" තවමත් පහව නොගිය දුක්මුසු බැල්මෙන් යුතුව බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.

"මේ මිස්ටර් බාලා..ඔහෙ මගෙ බොස් වෙන්න පුලුවන්. ඒත් ඔහෙට ඕන ඕන විදිහට මාව පාලනය කරන්න නම මම කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ" එසේ සිතමින් සිටි බැංකුවේ මගේ පළමු රාජකාරි දිනය නිමකොට මම කහ පැහැයෙන් දිලෙනා පහනින් ආලෝකමත් වූ වීදියට බටුයෙමි.

"ස්වාමිනාදන්"………. අනන්‍යාගේ කුඩා ගෙවත්තක් මධ්‍යයේ පිහිටි නිවසේ ඉදිරි දොරටුව අසල බිත්තියෙහි ඔබ්බවා තිබූ නාම පුවරුවෙහි එසේ සඳහන් වූයේ ඇළවූ එකට බැඳුනු අකුරිනි.

ඊට පහළින්වූ විදුලි සීනුව මම නාද කලෙමි. ගෙතුලින් නොකඩවා ඇසෙන ග්‍රයින්ඩරයක් ක්‍රියාත්මක වන හඬ අතරින් කොහේදෝ ඉතා සෙමෙන් සීනුවක් නාදවන හඬ මට ඇසිණි. මිනිත්තු කිහිපයක් ගතවූ නමුදු කිසිවකු දොර විවර කලේ නැත. මම යළිදු සීනුව නාද කළෙමි. එවර මොහොතක් ගතවීමට පෙර දොර විවරවී අනන්‍යාගේ පියා දොර එළිපත්ත මත ප්‍රාදූර්භූතවිය.

"ඔව්?.........." ඔහු දෙබැම ඉහළට නංවාගත්වනම මදෙස එක එල්ලේ බලා සිටියේය. ඔහු මා එක්වරම හඳුනාගත් නමුදු මා අපහසුතාවයට පත්කීරිමට හඳුනානොගත්සේ කටයුතු කරන බව මට සැකයක් නොවීය. ඉදිරිපස සාක්කුවක් සහිත අත් කොට සුදු බැනියමක් සහ නිල් සහ සුදු කොටු වැටුණු ලුංගියක් හැඳ සිටි ඔහුගේ සුරතෙහි දෙකට නැවූ පුවත්පතක් ද විය.

"සර් මම ක්‍රිෂ්, අනන්‍යාගෙ යාලුවා..... "

මටද අද වනතෙක් සිතාගත නොහැකි යම් අද්භූත හේතුවක් කරණකොටගෙන කිසිවකු කෙරේ මසිතෙහි බියක් ජනිත වන්නේ නම් මම ඔහු සර් යනුවෙන් ඇමතීමට නිරායාසයෙන් පෙළඹෙන්නෙමි. මගේ සුරතෙහි විස්කෝතු පාර්සලයක් විය. කිසිවකුගේ හෝ නිවෙසට යන්නේ නම් අවම වශයෙන් එහිදී ඔබ පරිභෝජනය කරන්නට බලාපොරොත්තුවන කැලරි ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් හෝ එම නිවසට ත්‍යාගයක් ලෙස ගෙනයායුතු බව මම කුඩා කල සිටම දැඩිලෙස විශ්වාස කළෙමි. ඒ මගේ පන්ජාබි උරුමයෙන් පැමිණි ගුණ ධර්මයක් වියයුතු අතර මම ඒ පිළිබඳව දැඩිලෙස ආඩම්බරද වීමි.

අනන්‍යාගේ පියා මේ අතර තවමත් මාදෙස දෑස් විදහාගත්වනම බලාසිටියි. "මම ක්‍රිෂ් සර්...අර අර..මේ අහ්මදාබද්වලදි අපි හම්බවුනේ." මට දෙවන වරටත් මා හඳුන්වාදීමට සිදුවිය.

"හ්ම්ම්ම්ම්…..හ්ම්ම්ම්ම්...එන්න ඇතුළට.." ඔහු දොරටුවෙන් මඳක් පසෙකටව මට නිවසට පිවිසීමට ඉඩ දුන්නේය.

මම නිවසට ඇතුළුව ඔහුට මා ගෙනා විස්කෝතු පාර්සලය දුනිමි. එය අතට ගත් වහාම ඔහු "සපත්තු සපත්තු" යනුවෙන් මහ හඬින් කෑගැසීය. "බොහොම ස්තූතියි" වැනි ප්‍රතිචාරයක් අපේක්ෂාකල මම ඉන් බොහෝසේ වික්ෂිප්ත වූයෙමි. 

"සපත්තු? මොන?........" මම අඩක් විවරවූ මුවින් යුතුව විචාලෙමි. මට එකවරම සිතුනේ අමුත්තකු නිවසට පළමුවරට පැමිණෙන විට සපත්තු යුවළක් රැගෙන එන චාරිත්‍රයක් චෙන්නයිහි බ්‍රාහ්මණ වංශික කුළවතුන් අතර පවතිනවා වියයුතුය යන්නයි. අනන්‍යා මෙවැන්නක් පිළිබඳව මට අවම වශයෙන් සඳහනක් හෝ නොකිරීම පිළිබඳව මසිතේ ඇය කෙරෙහි යම් අප්‍රසාදයක්ද හටගත්තේය.

මාදෙස යලිත් දැඩි අප්‍රසාදය හඟවන බැල්මක් හෙලූ අනන්‍යාගේ පියා නිවසින් පිටත බිත්තිය අසල වූ සපත්තු රාක්කය වෙත ඇඟිල්ලක් දිගු කලේය. වහා සපත්තු ඉවත්කල මම ඒවා පරිස්සමින් රාක්කයෙහි තැන්පත් කළෙමි. එතැනම සිටගෙන මේස් යුවලෙහි සිදුරු ඇත්දැයි ද පරීක්ෂා කළෙමි. සිදුරු කිසිවක් නොමැති වුවද පැය දොළහකට අධික කාලයක් පැළඳ සිටිනා මේස් යුවලෙන් නික්මෙන සුගන්ධය පිළිබඳ කෙසේවත් සෑහීමට පත්විය නොහැකිබව තීරණය කොට මේස්ද ඉවත්කොට සපත්තු යුවල තුල මනාලෙස සැඟවීමි.

"හා..හා..බලාගෙන ඔය රංගෝලිය පාගන්න එපා" මම නිවසට ඇතුළුව පියවර දෙකක් තැබීමටද පෙර අනන්‍යාගේ පියා යලිත් මහ හඬින් කෑගැසීය. 

දැඩිලෙස බියපත්වූ මම වහා පස්සට පැන්නෙමි. එහෙත් ඒ වනවිටද දොරකඩ රත්පැහැ වර්ණ ගැන්වූ හාල් පිටි භාවිතයෙන් ඇඳ තිබූ විචිත්‍ර රංගෝලි සිතුවම මත මම මගේ දකුණු පාදය තබා අවසානය.

"අනේ සමාවෙන්න සර් මම හිතල කරපු දෙයක් නෙවෙයි...සමාවෙන්න....සමාවෙන්න" වහා දෙදණ නවා එතැන හිඳගත් මම මවිසින් කල හානිය ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කළෙමි.

"මේ ඕක ආයෙ හදන්න බෑ අයිසෙ. තමුසෙ හදන්නෙ ඕක තවත් විනාස කරල දාන්න. ඔතනින් නැඟිටල මෙන්න මෙහෙ එනව. ඇවිල්ල ඉඳ ගන්නව" අනන්‍යාගේ පියා මා මෙතෙක් ඔහු හා ගතකල මේ ඉතා අල්පවූ කාල සීමාව තුල තෙවන වරටත් කෑගැසීය.

(ඉන්දියාව නේපාලය සහ බංග්ලා දේශය යන රටවල හින්දු භක්තිකයින් අතරබහුල වශයෙන් පවතින නිවසේ ආලින්දයේ හෝ සාලයෙහි වර්ණගන්වාගත් සහල්, සහල් පිටි හෝ වෙනත් ධාන්‍ය ආධාර කොටගෙන විචිත්‍ර රූ රටා ඇඳීමේ චාරිත්‍රය රංගෝලි නමින් හැඳින්වේ.දේව වන්දනාවක් ලෙස මෙන්ම ශුභ ඵල උදාකරගැන්මද මේ චාරිත්‍රයේ අරමුණුවේ.)

නිවෙසක ආලින්දයෙහි ගෙබිම මත ඇඳුනු
විචිත්‍ර රංගෝලි රටාවක්

Sunday, January 8, 2017

“නිහඬ විප්ලවයේ” ඇතුළත කථාව


නිහඬ විප්ලවයේ නියමුවෝ -
මෛත්‍රී, චන්ද්‍රිකා සහ රනිල්


මේ රටේ ඉතිහාසය ලියත්දී 2015 ජනවාරි අටවැනිදා යනු සුවිශේෂි, ඉහළ වැදගත්කමක් සහිත දිනයක් වන්නේ කරුණු කාරණා කිහිපයක් නිසාවෙනි. මූලිකවම ගත්විට, අන්ත දූෂිත ඒකාධිපති පවුල් පාලනයකට තිත තබමින්, ඓතිහාසික බල හුවමාරුවක් සිදු වූ දිනයක් ලෙස එය ඉතිහාසයට එක්වෙයි. එය, ධන බලය, මැර බලය, දේශපාලන බලය යන මේ සෑම බලයකට ම වඩා ජන බලය, බලවත් බව පෙන්වූ දිනයක් විය. රටේ ජනතාව ස්වේච්ඡාවෙන්, බලමුළුගැන්වී, අන්ත දූෂිත පවුල් පාලනයකට එරෙහිව, මහපොළොවේ ඇත්තක් බවට පත්කළ නිහඬ විප්ලවය සිදුව අදට වසර දෙකකි. “වෙනස” සිදු වූ දිනය නිසාවෙන්, ජනවාරි අටවැනිදාට සුවිශේෂී සංකේතාත්ක වටිනාකමක්, හිමිව ඇති මුත් එම නිහඬ විප්ලවය එක් රැයකින් ඇත්තක් බවට පත්වූවක් නොවේ. වසර කිහිපයක් මාස ගණනාවක් පුරා සිදුවුණු අඛණ්ඩ අරගලයක කූඨප්‍රාප්තිය සටහන් වීම පමණක් එදින සිදුවිණි.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරදවමින් ලැබූ යුද ජයග්‍රහණයෙන් මත්ව එය තම දේශපාලන “සැපත” බවට පත් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස තඹයකට මායිම් නොකරමින් ඊට සිනහ සෙමින් වංචාව, දූෂණය, නාස්තිය නීතිගත කරමින් ගෙන ගිය රාජපක්ෂ පාලනයට එරෙහිව සැලකිය යුතු මට්ටමේ විරෝධයක් 2012 වසර එලඹෙද්දී මතුව තිබුණ ද එය ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ප්‍රකාශයට පත් නොවූ තරම්ය. එවැන්නකට අවශ්‍ය දේශපාලන නායකත්වය නොලැබීම එසේ වීමට බලපෑ එක් හේතුවක් වූ අතර, රාජපක්ෂ පාලනයේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තිය එය තවත් සංකීර්ණ කර තිබිණි. අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් ඇතුළු විකල්ප දහරාවේ මාධ්‍ය එම සටන ඉදිරියට ගෙන යෑමට උත්සාහ කළමුත් කිසිසේත්ම එය අවශ්‍යතාවේ තරම හා නොගැලපුණි. විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමයේ මර්දනය හමුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මර නින්දකට වැටී තිබූ පසුබිමක් තුළ ඉඳහිට මතු වූ විරෝධයන්, කැටපෝලයක් රැගෙන යුද ටැංකියක් ඉදිරියට යෑමට වඩා වැඩි දෙයක් නොවීය. නමුත් ඒ හුදෙකලා වි‍රෝධයන් අඩු ලංසුවක ලා බැහැර කළ යුතු බව අපගේ අදහස නොවේ. අවසන් ප්‍රහාරය වෙනුවෙන් ඒ සියල්ල ම අඩු වැඩි වශයෙන් දායක වූ බව අපගේ විශ්වාසයයි.

2009 න් පසු කාලයේ පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රටේ සෙසු දේශපාලන පක්ෂ අතරින් අති බහුතරයක් ද නිල හා නොනිල මට්ටමින් රාජපක්ෂවරු පාලනය කළ අතර මාධ්‍ය සම්බන්ධයෙන් ද තත්ත්වය ඊට දෙවැනි නොවීය. එබඳු “සංස්කෘතියක්” තුළ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කළ නොහැකි තරම් විය. විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් අනතුරුව සමස්ථ සමාජයම, මර නින්දක පැටලි සිටි අතර බොරදියේ මාළු බෑමේ උපන් හැකියාවක් සහිත රාජපක්ෂවරු එම නිෂේධනාත්මක තත්ත්වය තම සැපත බවට හරවා ගත්තේය.

කෙසේ වෙතත් සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටි එම “අවාසිදායක” තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ර‍ෙට් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලසෙ ඉල්ලමින් “ඇකඩමියාව” තුළින් මතු වූ අරගලය මෙන්ම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියව නිත්‍යනුකූල නොවන ලෙස ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රටේ නීතිඥ ප්‍රජාව වෙතින් මතු වූ අරගලය, “රාජපක්ෂවරුන්ගේ” සැබෑ තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බැලීමේ අවස්ථාවක් රටේ ජනතාවට ලබා දෙන ලදි. සිවිල් සමාජය බලමුළු ගන්වමින් සිදු වූ එම අරගල “දේශපාලනික” එකක් වූයේ ඊට අවශ්‍යයෙන් ම හිමි විය යුතු දේශපාලන සහයෝගය ලැබුණු බැවිනි. මෙම අරගලයන් ද්විත්වය මතවාදී තලයේදී රාජපක්ෂ විරෝධය කුළුගැන්වූ අතර ඌව පළාත් සභා මැතිවරණයේදී ඊට සැලකිය යුතු ජනතා අනුමැතියක් ද හිමිව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට විය.

කඩින් කඩ පළාත් සභා මැතිවරණ පවත්වමින්, පළාත් සභා කාඩ් කුට්ටම ඇනු රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණයට පෙර පවත්වන්නා වූ අවසන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තෝරා ගත්තේ ඌව පළාත ය. එම තෝරා ගැනීම කෙරෙහි බලපෑ කරුණු කාරණා ගණනාවක් විය. ඌව සාම්ප්‍රදායිකව එක්සත් ජනතා නිදහස් සන්ධානයට “ජය භූමියක්” වූ අතර, ඊට පෙර පැවැති පළාත් සභා මැතිවරණයේදී ඌවෙන් හිමි වූ දැවැන්ත ජයග්‍රහණය, ඉහත කී විශ්වාසය දෙගුණ තෙගුණ කර තිබිණි. යුද ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ඇතුළත පැවැති 2009 ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත ජයග්‍රහණය කළේ 72.39%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු මහා ඇමැති අපේක්ෂකත්වයට තරග කෙරුම හරහා යළි ඒ මාදිලියේ දිනුමක් ලබාගත හැකි වනු ඇතැයි එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ අනුමානය විය. ඌවේදී ලබාගන්නා දිනුම ජනාධිපතිවරණයේදී “අලෙවි” කිරීමට ඔවුන් ගණන් හදා තිබිණි. කෙසේ වෙතත් එය අවදානම් සහගත තීරණයක් විය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේ වෙනස් වන්නා වූ ජනමතය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුනට නොතිබුණා සේම රාජපක්ෂ කෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව අසාර්ථක වීම තුළ සිදුවන “අවදානම” පිළිබඳ ඇගැයීමක් ද ඒ තීරණය ගැනීමේදී ඔවුනට නොවුණි.

ඌව පළාත් සභා මැතිවරණය කැඳවත්දී ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මතුව තිබූ මත ගැටුම් සෑහෙන දුරට ඔවුන් විසඳාගෙන තිබූ අතර, කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් නායකත්ව මණ්ඩලය නමැති ව්‍යුවහයක් පක්ෂ බල ධූරාවලියට අලුතින් එකතු වී තිබිණි. එම අභ්‍යන්තර සමගිය තුළ හොඳින් දිවිය හැකි ශක්තිමත් අපේක්ෂකයකු ඌවේ මහ ඇමැති තරගයට එවීමට එජාපය කටයුතු කරන ලදී. ඒ වන විට එජාප පාක්ෂිකයන් අතර ඉහළ ජනප්‍රසාදයක් හිමි කරගනිමින් සිටි හරින් ප්‍රනාන්දු එම අ‍ෙප්ක්ෂකයා විය. රාජපක්ෂවරු “තනි අශ්වයකුගේ” තරගයක් ඌවේ දී අ‍ෙප්ක්ෂා කළ ද එය “ගල උඩ සටනක්” බවට පත්කිරීමට එජාපය අවසානයේ සමත් විය.

මොනරාගල දී ලැබූ “වාසිය” සමඟින් යන්තමින් ඌවේ බලය හිමි කරගැනුමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුවද එය කිසිසේත්ම ඔවුන් අපේක්ෂා කළ දිනුම නොවීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට පමණක් නොව, රාජපක්ෂවරුනට ද මරු පහරක් එල්ල කළ ඌවේ ජනතාව ශෂින්ද්‍ර රාජපක්ෂගේ මනාප ගණන 2009 ට වඩා ඡන්ද 40078 කින් අඩු කර තිබිණි. හරින් ප්‍රනාන්දු මනාප ඡන්ද 173993ක් ලබද්දී ශෂින්ද්‍රට හිමිව තිබුණේ මනාප 96619ක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා නීතිඥ ප්‍රජාවගේ සටන් සමඟින් ක්‍රමයෙන් “පියවි සිහියට” පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා සමාජය රාජපක්ෂවරුන්ව දේශපාලනිකව පැරදවිය හැකි බව බැරෑරුම්ව විශ්වාස කිරීම ඇරැඹුවේ 2014 ඌය පළාත් සභා මැතිවරණයෙන් අනතුරුවය.

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු කුමන හෝ මොහොතක් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණය කැඳවන බව විපක්ෂය හොඳාකාරවම දැන සිටියේය. ජ්‍යොතිෂ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින්නකු ‍වන රාජපක්ෂ ජනාධිපතිවරයා තමනට ලැබී තිබූ එම උපදෙස් අනුව 2015 ජනවාරියේ හෝ 2015 මාර්තුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවට විශ්වාසදායී “ඔත්තුවක්” ආණ්ඩුව ඇතුළින්ම විපක්ෂයට ලැබුණේ මේ අතරය. එබැවින් තවත් “කල් මැරීමේ” හැකියාවක් නොවීය.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තරගයක් දීමට නම් විපක්ෂය තුළ සමගියක් ගොඩනැඟීම මෙන්ම සිවිල් සමාජය ඊට ගොනු කිරීම ද අත්‍යවශ්‍ය වී තිබිණි. මෙරට මධ්‍යස්ථ භික්ෂු නායකත්වයේ ඉදිරි පෙළ නියමුවෙකු වූ මාදුළුවාවේ සෝභිත හිමි ඒ වන විටත් එම භාරධූර කටයුත්තට අත ගසා තිබිණි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඒ වන විට කලඑළි බැස තිබූ අතර, 2014 වසරේ තුන්වැනි කාර්තුව එළඹෙද්දී ඒ සමඟ තවත් සිවිල් සංවිධාන රැසක් අත්වැල් බැඳගෙන තිබිණි. රාජපක්ෂ පාලනයට එරෙහි වීම සඳහා අනන්තවත් කරුණු කාරණා තිබුණ ද සියල්ලටම මුල වූ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” එසේ සංවිධානගත වීමේ දී බලපෑ මහා පොදු සාධකය විය. සිවිල් සමාජය ඒ වෙනුවෙන් ඒකමතියකට ගෙන ඒමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කණ්ඩායම් හා බලවේග රැසක් සමඟ සෝභිත හිමි ඇතුළු කණ්ඩායම අදහස් හුවමාරු කරගත් අතර ඒ සෑම විටෙකදීම “කොළ” පැහැති සංඥා හිමි වීම විශේෂත්වයක් විය. රාජපක්ෂ පාලනයට එරෙහිව රට තුළ මතුව තිබූ විරෝධය ඒ තරම් ප්‍රබල මට්ටමකට පැමිණ තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය අ‍හෝසි කිරීමේ සටන් පාඨය පෙරදැරිව මීළඟ ජනාධිපතිවරණය ජයගත හැකි දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම ඉහත සාකච්ඡාවන්හි අවසන් නිගමනය වූ අතර, “පොදු අපේක්ෂකයා” පිළිබඳ සංවාදය කරළියට පැමිණියේ ඉන් අනතුරුවය. උතුරු, දකුණු භේදයකින් තොරව රටේ සෑම කොනකින්ම ඡන්ද ආකර්ෂණය කරගත හැකි එමෙන්ම සුළු වාර්ගික සහාය ලබාගත හැකි පොදු අපේක්ෂකයකු හට පාවෙන ඡන්දවලින් 70%ක් ආකර්ෂණය කරගත හැකි බවට සෝභිත හිමි සමඟ වැඩ කළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඒ වන විට උපකල්පනය කර තිබිණි. පොදු අපේක්ෂක යන මුද්‍රාව යටතේ කවුරුන් හෝ තරග පිටියට එවීම වෙනුවට මහින්ද රාජපක්ෂව පැරදවිය හැකි ප්‍රබල අපේක්ෂකයකු සටනට එවීම ඔවුනට අවශ්‍ය කර තිබිණි.

පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට, පොදු අදහසක් ඒ වන විට සමාජගතව තිබුණ ද ඒ පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් එම මතවාදය ප්‍රවර්ධනයකළ සිවිල් සමාජ කණ්ඩායම් අතර නොතිබිණි. ඒ නිසාම ඒ වෙනුවෙන් නම් කිහිපයක් කියවෙන්නට විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මාදුළුවාවේ සෝභිත හිමි, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය යන නම් එහිදී ඉදිරියෙන් ම කියැවුණි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස තරග කළහොත්, තම පක්ෂය ඊට වෙනම තරග කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, එජාප නායකයා සමඟ පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී කියා තිබූ අතර නොවැම්බර් 07 වැනිදා රනිල් හා පැවැති සාකච්ඡාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, රනිල්ට පවසා තිබුණේ කරු හෝ චන්ද්‍රිකා ජනාධිපති තරගයට එන්නේ නම් තම සහාය ඔවුනට නොලැබෙන බවය. ෆොන්සේකාගේ වැඩි මනාපය තිබුණේ රනිල් වෙතය. තමන් ඉදිරිපත් නොවී, කරු ජයසූරිය පොදු අපේක්ෂකයා ලෙස තරග කළහොත් එවැනි පසුබිමකදී පක්ෂය දෙකඩ වනු ඇතැයි බියක් එජාප නායකයාට ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. රනිල් තරග නොකරන්නේ නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව සජිත් ඒ වන විටත් ප්‍රකාශයට පත් කර තිබිණි. කෙසේ වෙතත් ජාතික‍ හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ කරුගේ අපේක්ෂකත්වය වෙනුවෙන් දැක්වූයේ ධනාත්මක ප්‍රතිචාරයකි. තම දරුවන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මැළිකමක් දැක්වූ තත්ත්වය තුළ හා තමන් වහන්සේ ඊට තරග නොකරන බව සෝභිත හිමි පවසා තිබූ පසුබිමක් තුළ කාගෙත් අනුමැතිය සහිතව සියලු දෙනා පිනවමින් පොදු අපේක්ෂකයකු සොයා ගැන්ම සෑහෙන දුෂ්කර කටයුත්තක් වී තිබිණි. මෙම පසුබිම තුළ විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද පිළිගත හැකි පුද්ගලයකු ශ්‍රීලනිපයෙන් පිටතට පැමිණෙන්නේ නම් එවැන්නෙකුට ජනාධිපතිවරණය ජයගත හැකි බවට අදහසක් මතු වන්නට විය. එම පුද්ගලයා සෙවීමේ රාජකාරිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග වෙත පැවරුණේ ඇය ඒ වන විටත් ඊට අත ගසා තිබූ බැවිනි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ගවලින් මහින්ද රාජපක්ෂ මහතාට දැනගැන්මට ලැබී තිබුණේ තමන් සමඟ තරගයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ස්ථිරවම ඉදිරිපත් වන බවය. නොවැම්බර් අට වැනිදා දුරකථන ඇමතුමක් ගත් රාජපක්ෂ මහතා ජයසූරිය මහතාට සුබ පැතුවේය. “මම කතා කළේ සුබ පතන්න” අදාළ කාරණාව කියමින් විස්තරයක් කරද්දි “ඒ ගැන පක්ෂය තවම තීරණයක් අරන් නැහැ” යනුවෙන් ජයසූරිය මහතා පැවසුවේය.

රටේ දේශපාලන උණුසුම ක්‍රමයෙන් ඉහළ නැ‍ඟෙමින් තිබූ මොහොතක නොවැම්බර් දොළොස් වැනිදා රාජපක්ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක් විණි. ටිරාන් අලස් එය සම්බන්ධීකරණය කළේය. අංක 345/33 දරන කුරුප්පු පටුමගේ පිහිටි ටිරාන්ගේ “මහගෙදර” දී සිදුවූ එම හමුවට මහින්දට අමතරව, ගෝඨාභය රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා ද එක්ව සිටියහ.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් තමන් ගෙන ඇති පියවර සෝභිත හිමිට විස්තර කරමින්, රාජපක්ෂ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇති බවය. එබැවින් ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යනුවෙන් අලුත් සටන් පාඨයක් අවශ්‍ය නොවන බව සෝභිත හිමිට පැවසූ රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ විපක්ෂ ව්‍යාපාරයේ කටයුතුවලින් ඈත්වී සිටින ලෙසය. පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂය තුළ පොදු අදහසක් නොමැති වීමත්, ඉදිරිපත් වූ මෙම යෝජනාවත් තුළ සෝභිත හිමි පත්වූයේ දැඩි ආතතියකටය. ඒ නිසාම ගිලන් වූ උන්වහන්සේව වැඩිදුර ප්‍රතිකාර සඳහා නොවැම්බර් දාහතර වැනිදා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කරන ලදී.

පොදු අපේක්ෂකයා පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති වුවද පොදු වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර ගැටුමක් නොමැති තරම් විය. කෙටුම්පත් කළ එම වැඩපිළිවෙළට අස්සන් තැබීමේ උලෙළ පැවැත්වීම සඳහා හැව්ලොක් ටවුන්හි “පාක් ස්ට්‍රිව්” හෝටලය තෝරාගෙන අවශ්‍ය වෙන් කිරීම් සිදුකර තිබුණ ද අවසාන මොහොතේ ඊට තම හෝටලය ලබාදීමට, එහි පාලන අධිකාරිය අදිමදි කළේය. එක් අතකින් එය රට තුළ ඒ මොහොතේ පැවැති තත්ත්වය පෙන්වන කැඩපතක් බඳු විය. පසු දිනෙක ගලධාරි හෝටලයේ එය පැවැත්වීමට සැලසුම් කෙරුණ ද සෝභිත හිමි හදිසියේ ගිලන් වීම නිසා එය ද අත්හැර දමන ලදී.

පොදු අපේක්ෂකයකු විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය තම අතට ගෙන තිබූ අතර ඒ වෙනුවෙන් ඇය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර නොවැම්බර් 20 වැනිදා පැවැති සාකච්ඡාව තීරණාත්මක එකක් විය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිනිය ස්ථිර කර ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවේදීය. එසේ දැනුම් දී ඇය සිරිසේන මහතා ජනාධිපති වූ පසු වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන බවට ලියවිල්ලක් ද භාර දුන්නාය. මේ අතර නොවැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විණි. සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් පසු පැවැති එම රැස්වීමේදී ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට ඒ.එච්.එම්. ෆවුසි මහතා යෝජනා කළ අතර, නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කළේය. මූලිකවම මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණේ මහින්දගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙනි. පක්ෂ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා එම නාම යෝජනා ස්ථිර කිරීමට හවුල් නොවීම අනාගත පෙරළියක් පිළිබඳ ලැබුණු පූර්ව සංඥාවක් බඳු විය. නමුත් එදින පවා මෛත්‍රි කිසිඳු වෙනසක් පිටතට පෙන්වූයේ නැත. රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඔහු රාජපක්ෂ සමඟ ආප්ප ද කෑවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනයට රාජපක්ෂ මහතා අත්සන් කළේ නොවැම්බර් විසි වැනිදා ප.ව. 1.02 ට යෙදුණු සුබ මොහොතිනි.

මෛත්‍රී ඇතුළු කණ්ඩායමත් රාජපක්ෂ පාලනයෙන් ගැලවී පිටතට පැමිණෙන බව ස්ථිරවම තහවුරු කරගත් පසු එය තම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දීම වෙනුවෙන් විසිඑක් වැනිදා විශේෂ රැස්වීමක් “සිරිකොත” පක්ෂ මූලස්ථානයේදී එජාපය කැඳවා තිබිණි. එහිදී සිරිසේන මහතාට සහාය දැක්වීමේ වැදගත්කම පිළිබඳ දීර්ඝ මෙන්ම තර්කානුකූල වූත් දේශනයක් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේය.

කරු ජයසූරිය මහතා ද එහිදී වඩාත් හැඟුම්බර කතාවක් පවත්වමින් අවධාරණය කළේ පුද්ගලයන්ට වඩා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ප්‍රස්තුතය වැදගත් බැවින් පක්ෂයක් ලෙස මෙම තීරණයට සියලු දෙනා සහාය දිය යුතු බවය. එදින සන්ධ්‍යාවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වූ අතර එහිදී මෛත්‍රිගේ අපේක්ෂකත්වයට සහාය ලබාදිය යුතු බවට යෝජනාව සම්මත කරගන්නා ලදී. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේ පැවැත් වෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් ආමන්ත්‍රණය කළේය. කිසිවෙකුට සැක නොසිතන සේ වෙනත් පුද්ගලයකුගේ නමින් මාධ්‍ය හමුව සඳහා නව නගර ශාලාව කල් තියා වෙන් කරගෙන තිබූ අතර, එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රීලනිප මහා ලේකම්වරයා සමඟ ශ්‍රීලනිප මැති ඇමැතිවරු තිස් දෙදෙ‍නකු එක්වන බවට සහතිකයක් ලැබී තිබිණි. නමුත් අවසානයේ ඒ සඳහා එක්වීමට ධෛර්යයක් තිබුණේ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, රජිව් විජේසිංහ, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන හා අර්ජුන රණතුංගට පමණි. එදින සන්ධ්‍යාවේ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර ඊට මාදුළුවාවේ සෝභිත හිමි ද වැඩම කර සිටීම විශේෂත්වයක් විය.

මේ අතර, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කළ යුතු පක්ෂය පිළිබඳ මත දෙකක් පැවැතිණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා අපේ ජාතික පෙරමුණ යටතේ තරග කිරීම සම්බන්ධව අදහස් ඉදිරිපත් වූ මුත්, නීති මණ්ඩලයක උපදෙස් මත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ “හංසයා” ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවසානයේ තීරණය විණි. කෙසේ වෙතත් ඡන්ද ව්‍යාපාරය පහසු එකක් නොවීය. රාජපක්ෂ පාලනය තම පැවැත්ම වෙනුවෙන් සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම නින්දිත ලෙස භාවිතා කරමින් සිටියේය. සිරිසේන මහතාගේ ඡන්ද සටන වෙනුවෙන් අවශ්‍ය පරිදි මාධ්‍ය සහායක් හිමි නොවූ අතර ඒ තුළ පෙනෙන්නට වූයේ රාජපක්ෂ ඒකාධිකාරයකි. නමුත් සයිබර් අවකාශය තුළ වැඩි සහායක් හිමිව තිබුණේ මෛත්‍රීපාලටය. එජාපයේ සහාය හිමි වීම සිරිසේන මහතාට දැවැන්ත ශක්තියක් වූ අතර ඔවුන් නිර්ලෝභීව තමන් සතු සියලු සම්පත් ඔහු වෙනුවෙන් මුදා හරින ලදී. තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කැප කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම ඉහළම මට්ටමක පැවැති අතර සිවිල් සමාජය කණ්ඩායම් සම්බන්ධීකරණය කරමින් කරු ජයසූරිය මහතා කැපී පෙනෙන කාර්යභාරයක් එහදී ඉටු කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද සටන තුළ දී ඍජු සහයෝගයක් පොදු අපේක්ෂකයාට ලබා නොදුන්න ද රාජපක්ෂ පාලනයට ප්‍රබල ප්‍රහාර හා මතවාද සමාජගත කරමින් ඔවුන් වක්‍රාකාරයෙන් ලබාදුන් සහාය මැතිවරණ ව්‍යාපාරයේ ගලා යෑමට අතිශය වැදගත් විය. අපේක්ෂා කළ යුතු ආකාරයට දෙමළ, මුස්ලිම්, ජන කොටස් නියෝජනය කරන සුළු වාර්ගික දේශපාලන පක්ෂ, සිරිසේන මහතා සමඟ පෙළ ගැසී සිටි අතර සිංහල ජාතිකවාදී දහරාව නියෝජනය කරමින් ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වූයේ ජාතික හෙළ උරුමය පමණි. එම තීරුව ආමන්ත්‍රණය කිරීමේදී සෝභිත හිමිගේ සහාය හිමි වීම ද තීරණාත්මක වූ බව ලියා තැබිය යුතුමය. පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි සමූහ සන්නිවේදනයේ දක්ෂ කථිකයන් දෙදෙනකුගේ සේවාව ලැබුණු පොදු අපේක්ෂකයාගේ කඳවුරට සමස්ත විපක්ෂයේ සහාය හිමි වූ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද සටනට සිවිල් සමාජ ක්‍රියාධරයන් හා එම කණ්ඩායම් වෙතින් හිමි වූ සහාය අතිමහත් වූවක් විය.

තම ජීවිත පිළිබඳ ආශාව පවා අත්හරිමින් පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඔවුන් කළ කැපවීම මෙවැනි කෙටි සටහනකින් විස්තර කළ නොහැකි තරම්ය. ඡන්ද ව්‍යාපාරයේ විවිධ අවස්ථාවන්හිදී පොදු අපෙක්ෂකයාට සහාය පළ කරමින් රාජපක්ෂ කඳවුර වෙතින් පිටත ඒම් වරින් වර සිදුවූ අතර එය සිරිසේන මහතාගේ ඡන්ද සටන තවත් ශක්තිමත් කළේය. නමුත් ඊ‍ට සාපේක්ෂව රාජපක්ෂ මහතා වෙනුවෙන් අලුත් එකතු වීම් සිදු වූයේ අඩු වශයෙනි. ඒ එකතු වීම්හි දේශපාලන බලපෑම ද අඩු විය. නිදර්ශනයක් ලෙස නාමයෝජනා භාරගැනීම සිදුවූ විගසම එජාප මහලේකම්වරයාව සිටි තිස්ස අත්තනායක, රාජපක්ෂ කඳවුර හා එක්වූ අතර එසේ නොකර ඔහුට උපක්‍රමික ලෙසින් ඡන්ද සටනේ අවසන් අදියරේ දී තම පිලට එක්කර ගත්තේ නම් එය අවම තරමින් ඊට වඩා උපායශීලී විය හැකිව තිබිණි. තිස්ස සමඟ රාජපක්ෂ කඳවුරට එකතු වූයේ, කිසිඳු වැදගම්මකට නැති එජාප ආසන සංවිධායකවරු දෙතුන් දෙනෙකු පමණි. තිස්සගේ ආගමනය මහින්දට ශක්තියක් නොසැපයුවද එය හිටපු එජාප මහාලේකම්වරයාට ඇමති පුටුවක හිඳ ගැනීමේ වාසනාව රැගෙන ආවේය. නාමයෝජනා දිනයේදී තම පිළට එක්වූ තිස්සට සෞඛ්‍ය ඇමතිකම පිරිනැමූ මහින්ද පැය කිහිපයකට පසු තිරුපති වන්දනාවේ යත්දී අත්තනායකව ද එහි රැගෙන යන ලදි. චෙන්නායි නුවර සිට කිලෝමීටර් 138ක් ඈතින් පිහිටි තිරුවලා වෙන්කතේෂ්වර් කෝවිලේ පැවති එම පූජාව සඳහා මහින්ද සමඟ පනස්හය දෙනෙකු මෙරටින් එක්ව සිටියහ. ගාමිණි සෙනරත්, ගාමිණි අබේරත්න (ටැක්සි අබේ) ති‍රුකුමාර් නඩ්සන් ඇතුළු පිරිසක් ගමන සඳහා එක්ව සිටි අතර රෙසිගුන්ටා ගුවන්තොටුපළ කරා එම ගමන වෙනුවෙන් විශේෂ ගුවන් යානාවක් වෙන්කර ගෙන තිබිණි. ඒ සඳහා වූ රුපියල් 3916836ක බිල පවා නොගෙවූ බව පසුව හෙළිව තිබිණි.

ඡන්ද සටනේ අවසානය වඩාත් විචිත්‍රවත් කරගැන්මට විපක්ෂයෙන් ප්‍රබලයකු තම පිලට එකතු කරගැනීම දුෂ්කර බව පෙනෙද්දි රාජපක්ෂවරු කළේ තම හිතවාදී කීකරු මාධ්‍ය හරහා ව්‍යාජ මත පතුරුවා හැරීම පමණි. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වූ බව ඔවුන් ගැසූ බේගලය එවැන්නකි. අවසානයේ එය නිවැරැදි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට රූපවාහිනී සංස්ථාවට පැමිණීමට සිදුවන ලදී.

ඡන්ද විමසීම පැවැති ජනවාරි අට වැනිදා මතුපිටින් සාමකාමී බවක් දිස්වුවද පොදුවේ ගත් විට මැතිවරණය අන්ත දූෂිත එකක් විය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම විලාසිතාවක් වී තිබූ අතර ඉතිහාසයේ පෙර කිසි කලෙක නොවුණ ලෙස ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමක් ද රාජපක්ෂවරු සිදුකරන ලදී.

මෙම සියලු තත්ත්වයන්ට එරෙහි සියලු සමාජ බලවේග පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරට පැමිණීම විශේෂත්වයක් විය. මේ අතර මැතිවරණ දිනට දින කිහිපයකට පෙර දේශපාලන වාසි ලබා ගැන්මේ අරමුණින් හමුදාව යොදා ගනිමින් යමක් සිදු කිරීමට සූදානම් වන බවට ලැබුණු ලිඛිත සාක්ෂි අනුව ඒ පිළිබඳව දැනුවත් කිරීමට පොදු විපක්ෂයේ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාව මුණගැසුණු අතර, එම ඉක්මන් මැදිහත්වීම තුළ එය ආපසු හැරවීමේ හැකියාව ලැබිණි. විශේෂයෙන්ම සමස්ත මැතිවරණය පුරාවටම මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රදර්ශනය කළ කාර්යක්ෂමතාව හා නීතිගරුක භාවය නොවන්නට අවසාන ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එය ද ලියා තැබිය යුතුමය.

2015 ජනවාරි අට වැනිදා වන විට නිර්මාණය වී තිබූ තත්ත්වය තුළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොවුණ තරම්ය. බුද්ධි අංශ වාර්තා මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ ස්වාධීන සමීක්ෂණය මඟින් ද හෙළිව තිබුණේ ඔහු පැහැදිලිව ම ඉදිරියෙන් සිටින බවය. නමුත් ඡන්ද මංකොල්ලයක් හරහා ඕනෑම මොහොතක අවසාන ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි බව පොදු අපේක්ෂකයාගේ කඳවුර හොඳාකාරවම දැන සිටියේය. එබැවින් එවැන්නක් නොවීමට වග බලාගැන්ම වෙනුවෙන් තමනට ගත හැකි සෑම පියවරක්ම ඔවුන් ගන්නා ලදී.

තම ඡන්ද බලකොටුව වන පොලොන්නරුවේ දී ඡන්දය ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා එදින රාත්‍රිය ගත කිරීම සඳහා සිය පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රකට ව්‍යාපාරික කිරාන් අතපත්තු මහතාට අයත් කුරුණෑගල දොඩම්ගස්ලන්දේ පිහිටි වතු බංගලාවකට පැමිණීමට තීරණය කළේ ඊ‍ට පෙර දිනයේය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනවාරි 07 වැනිදා පොළොන්නරුව බලා යෑමට සිරිසේන මහතා පිටත්වූයේ අතපත්තු මහතා සමඟය. ගමන අතරතුරදී දඹුල්ලේදී තේ පානය කරමින් සිටියදී තමන් අතපත්තුගේ බංගලාවට පැමිණෙන බව සිරිසේන මහතා ක්ෂණිකව දැනුම් දුන්නේය. ආරක්ෂිත පියවරක් ලෙස එය රහසක් ලෙස තබා ගැනීමට ද දෙදෙනාම පො‍රොන්දු විය. ඒ නිසාම මෙම තීරණය ගැන දැන සිටියේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු පමණි. මැතිවරණ දිනයේ අඳුරු වැටුණු පසු සිරිසේන මහතා රැගත් කළු පැහැති බී.එම්.ඩබ්ලිව්. රථය ඇතුළු තවත් රථ කිහිපයක් පොළොන්නරුවේ සිට ගමන ඇරැඹූ අතර දඹුල්ල හරහා දොඩම්ගස්ලන්දට ඔවුන් ළංවෙද්දී සෑහෙන රෑ බෝ වී තිබිණි. සිරිසේන මහතා අතපත්තුගේ බංගලාවට පැමිණෙද්දී අවට ගම්වාසීන් ඡන්ද ප්‍රතිඵල ඇසීමේ බලාපොරොත්තුවෙන් කල්තියා නින්දට වැටී තිබිණි. ගමනේ රහස්‍ය භාවය වෙනුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස රථ පෙළ බංගලාවට ඇතුළු වූයේ එකවර නොව වරින්වරය. වෙනදාට විදුලි බුබුළු 200 ක් පමණ අතපත්තු බංගලාවේ දැල්වෙන මුත් ඒ සියල්ල එදින නිවාදමා තිබිණි. ඊට අමතරව නිවසේ සේවක සේවිකාවන් ද පිටත් කර යවා තිබුණි. ඒ සියල්ල රහස්‍ය භාවය රැකීම වෙනුවෙන් ගත් තීරණ විය. අතිශය තීරණාත්මක මොහොතක් වුවද ඒ අවස්ථාවේ සිරිසේන මහතා තුළින් පළවූයේ සැහැල්ලු ස්වභාවයකි. තම ජයග්‍රහණය ගැන සෑහෙන විශ්වාසයක් ඔහුට විය. සෙස්සන් ඡන්ද ප්‍රතිඵළ අසන්නට සැරසෙත්දි ඔහු රෑ නවයහමාරට පමණ නින්දට ගියේය. ඊට පෙර දුරකථන ඇමතුම් රැසකට පිළිතුරු දීමට සිරිසේන මහතාට සිදුවිණි. ඒ බොහෝ ඇමතුම් සිරිසේන මහතා සිටින ස්ථානය පිළිබඳව කළ විමසීම් විය. හිතවතුන්ගෙන් මෙන්ම ඔහු පිළිබඳ වෙනත් අරමුණු පෙරදැරිව පරික්ෂාවෙන් සිටින්නන්ගෙන් ද එසේ ඇමතුම් ලැබුණි. “කොහේද ඉන්නේ” කියා විමසූ සෑම අවස්ථාවකම “පොළොන්නරුවේ” යනුවෙන් පිළිතුරු දීමට ඔහු වගබලා ගත්තේය. මධ්‍යම රාත්‍රිය එළඹෙත්දි සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ස්ථිරවම තහවුරුව තිබුණි. සිරිකොත එජාප මූලස්ථානයේ විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබූ අතර ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සිට ඊට ලැබුණු ප්‍රතිචාර සුබදායි විය.

අරලියගහ මන්දිරයේ ද එබඳු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබූ අතර නිකුත් වෙමින් ඇති ප්‍රතිඵල පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා තුළ වූයේ පහන් හැඟීමක් නොවේ. සෑහෙන කලකට පසු මැතිවරණ පරාජයක ලකුණු ඔහු හා පරිවාර සගයන්ගෙන් විද්‍යමාන වන්නට විය. කළු කෝපි කෝප්ප 04ක් පැය කිහිපයක් තුළ හිස් කිරීමෙන්ම ඔහු ඒ මොහොතේ පසුවූ තත්ත්වය පැහැදිලි වෙයි. පසුව වාර්තා වූ තොරතුරුවලට අනුව අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, යුද හමුදාපතිවරයා යන ඉහළ නිලධාරීන්ව කැඳවමින් හදිසි නීතිය පැනවීම මඟින් මැතිවරණ ප්‍රතිඵල නතර කළ හැකි ද යන්න හිටපු ජනාධිපතිවරයා විමසා ඇතිමුත්, එසේ කළ නොහැකි බව නීතිපතිවරයා තම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද විමසමින් පවසා ඇත. පරාජය භාර ගැනීමට මහින්ද රාජපක්ෂ තීරණය කළේ ඉන් පසුවය. ඡන්ද ප්‍රතිඵල එකින් එක නිකුත් වෙමින් තිබියදී පාන්දර හතරහමාරට පමණ රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ගත්තේය. දුරකථනයෙන් කතා කිරීම වෙනුවට තමන් අරලියගහ මන්දිරයට පැමිණෙන බව වික්‍රමසිංහ මහතා එවිට දැනුම් දුන්නේ මැතිවරණ පරාජය තුළ හිටපු ජනාධිපතිවරයා පසුවන තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඔහුට තිබුණ නිසා විය හැකිය. මෙම බල හුවමාරුව සුමට ආකාරයෙන් සිදුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉතා බුද්ධිමත් ලෙස වගබලා ගත්තේ ඒ ආකාරයටය.

අරලියගහ මන්දිරයට පැමිණ වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීම්වලින් අනතුරුව අවශ්‍ය ‘සහතිකය’ ලැබුණු පසු බලය අත්හැරීමට රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළේය. එම සියලු කටයුතු නිමකර වික්‍රමසිංහ මහතා තම මෝටර් රථයට නැඟීමට සූදානම් වූ‍ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා දුරකථන මාර්ගයේ මඳක් රැඳී සිටින ලෙස කියමින් යළි අරලියගහ මන්දිරයට පිය මැන දුරකථනය රාජපක්ෂ මහතා අතට පත් කළේය. අපේක්ෂා කළ යුතු ආකාරයටම එය දෙදෙනාටම හැඟීම්බර මොහොතක් වූ අතර රාජපක්ෂ මහතා ජයග්‍රහණය වෙනුවෙන් සිරිසේන මහතාට සුබ පැතුවේය. එසේ සුබ පතමින් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ දී තම කටයුතු සඳහා ‘විසුම්පාය’ මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළමුත්, එය වෙනත් දෙයකට යොදා ගැනීමට තීරණය කර ඇති බව කියමින් සුදුසු වෙනත් නිවසක් ලබාදෙන බවත් සිරිසේන මහතා පැවසුවේය. නම වැනිදා පෙ.ව. 6.30 ට පමණ රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය අතර එය සංවේදී මොහොතක් විය. ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් හුළුගල්ල, බන්දුල පද්මකුමාර, ගාමිණි සෙනරත්, උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු පිරිසක් ඒ වන විට එහි රැඳී සිටි අතර සෑම කෙනෙකු තුළම වූයේ බලාපොරොත්තු කඩවූ ශෝකාකූල හැඟීමකි. ශ්‍රී ලංකා හමුදාවට අයත් MI-17 ගුවන් යානා දෙකක් රාජපක්ෂ මහතාව තංගල්ලට ගෙන යෑම වෙනුවෙන් ගාලු මුවදොර ආරක්ෂක අමාත්‍යාංශ භූමිය අසල ක්‍රීඩාංගණයේ ඒ වන විටත් සූදානම්ව තිබුණි.

ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵළය නිකුත් වෙද්දී ජයග්‍රාහී සිරිසේන මහතාට 51.48%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබූ අතර රාජපක්ෂ මහතාට ලැබී තිබුණේ 47.58%ක සහයෝගයක් පමණි. දෙදෙනා අතර ඡන්ද පරතරය 449,072ක් විය. පොදුවේ ගත් විට මැතිවරණ දිස්ත්‍රික්ක 12ක ජය සිරිසේන මහතාට හිමි වෙද්දී හිටපු ජනාධිපතිවරයාට ජයගෙන තිබුණේ දිස්ත්‍රික්ක 10 කදී පමණි. සුළු ජාතික ඡන්ද හා පාවෙන ඡන්ද ආකර්ශණය කර ගැන්මට නොහැකිවීම මහින්ද රාජපක්ෂගේ පරාජයට බලපෑ ප්‍රධානතම හේතුව විය. විශේෂයෙන් ම වාර්ගික විභේදනය වැඩි ප්‍රදේශවලදි ඔහුට අත්වූයේ දරුණු පරාජයකි. තරුණ ඡන්දදායකයන් අතර ද තත්ත්වය ඒ ආකාරම විණි. රාජපක්ෂ පාලනය කිසිදා සෙලවිය නොහැකි යැයි ඇතමුන් වහසි බස් දොඩද්දි ධන බලය, මැර බලය, දේශපාලන බලය, මාධ්‍ය බලය යන කිසිවක් නොමැතිව එය කළ හැකි බව මේ රටේ ජනතාව 2015 ජනවාරි අටවැනි දින ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලදි.

පවතින සන්දර්භය තුළ ජනමතය නිර්මාණය කිරීමේදී මාධ්‍යයට කළ හැකි බලපෑම අතිමහත් බව තර්ක විරහිතය. සමස්ථ ජනාධිපතිවරණ ක්‍රියාවලිය පුරාවටම මාධ්‍ය බලය කේන්ද්‍රගතව පැවතියේ රාජපක්ෂවරු වටාය. නිල හා නොනිල මට්ටමින් මාධ්‍ය තම පාලනය යටතේ තබා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් පසු රටේ සෑම පුවත්පතකම ව්‍යාජ මුල් පිටුවක් (False Cover) ලෙස මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද දැන්වීම් පළ කරමින් සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය දියත් කරන ලදි. කෙසේ නමුත් මැතිවරණයේ අවසන් සතියේ ර‍ෙට් ඉහළ අලෙවියක් සහිත සතිඅන්ත පුවත්පත් හි, සියළු මුල්පිටටු ආක්‍රමණය කිරීමට පොදු අපේක්ෂකයාගේ කඳවුර සමත් ව තිබිණි. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රචාරක කටයුතු තැන් කිහිපයකින් සිදු වූ අතර සිරිසේන මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් පළකිරීමේ දි සහ ඒ සඳහා ප්‍රමුඛතාව ලබා ගැනීමේ කටයුත්තේ දී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළේය. රාජපක්ෂ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන්නන්ට සිතන්නටවත් ඉඩක් නොතබමින් පොදු අපේක්ෂකයා වෙනුවෙන් රටේ ඉහළ ම අලෙවියක් සහිත පුවත්පත් කිහිපයක “ව්‍යාජ මුල්පිට කවර” කල්තියා වෙන්කර ගත් කු‍රේ මහතා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනයේ ද ඒ වාසිය තම පිළට ලබා ගත්තේය. කලින් වෙන්කර ගත්තද මේ දැන්වීම් සඳහා මුදල් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවීය. තම හිතමිතුරන්ගේ සහාය පවා ඒ වෙනුවෙන් ලබා ගැනීමට ඔහුට සිදු වූ අතර එක් තීරණාත්මක ප්‍රචාරක දැන්වීමක් සතිඅන්ත පුවත්පතක පළකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක පමණ අනුග්‍රහයක් වත්මන් කැබිනට් ඇමතිවරයකුගෙන් හිමිවිණි.

අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණීම රාජපක්ෂ කඳවුරේ සැලසුම් සියල්ල අවුල් කිරීමට සමත් විය. ඔවුන් තම සැලසුම් සකස් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වන තරගයක් වෙනුවෙනි. ජනාධිපතිවරණය ගැන කථා කරමින් ඔක්තෝබර් මුලදි එවකට සන්ධාන මහා ලේකම්වරයා වූ සුසිල් ප්‍රේම්ජයන්ත පවසා තිබුණේ තමන් දැනටමත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලින් 50%ක් සම්පූර්ණ කර ඇති බවය. මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට පැමිණීමත් සමඟ ඒ පූර්ව සැලසුම් සියල්ල වතුරේ ගියේය. සිදුවූ අවුලේ තරම කෙතරම් ද කියා පැවසුවහොත් තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට අවසන් සති දෙක වනතෙක් බලා සිටීමට මහින්ද රාජපක්ෂට සිදුවිණි.

කෙසේ වෙතත් අවසන් මොහොත තෙක්ම, තමන් පරාජය වෙතැයි මහින්ද විශ්වාස නොකළේය. උතුරේ 50%ට වඩා අඩු ඡන්ද භාවිතාවක් සිදු වුවහොත් දිනුම ඒකාන්ත බව මහින්දගේ උපදේශකයන්ගේ ගණන් බැලීම විය. ජනාධිපතිවරණයට පෙර තම අවසන් සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළ මහින්ද වෙනුවෙන් සෑම මැතිවරණයකදිම සමීක්ෂණ පැවැත්වූ, ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ කණ්ඩායම පුරෝකථනය කර තිබුණේ බදුල්ල හැර උතුරු නැගෙනහිරින් පිට සෑම දිස්ත්‍රික්කයකම රාජපක්ෂ ගේ දිනුම ඒකාන්ත බවය. ඔවුහු ඇතැම් දිස්ත්‍රික්ක සඳහා මහින්දට වාසි ලෙස බර තබා තිබුණේ ඡන්ද ලක්ෂ ගණනිනි. නමුත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙද්දි මේ සියල්ල වෙනස් වී තිබිණි. මෙය “නිහඬ විප්ලවයක්” බව අප කියනුයේ ඒ නිසා ය.

Saturday, January 7, 2017

471. පුවක් එෂැණිං 22 - මහින්දගේ ආණ්ඩු පෙරළීම……

"තුන්සිංහලය එක්සේසත් කල අපේ රජතුමනි,
දිනේවා සැමදා" යනුවෙන් සඳහන් මහින්දගේ
රුව රැගත් පුවරුවක් ඉහළට ඔසවාගෙන
සිටින කුඩා දැරියක්

2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා උදාහරණ ලෙස පහත සඳහන් කරුණු ගෙන හැර දැක්වීය.

"දැං ඔයගොල්ලො මෙහෙම කල්පනා කරල බලන්ට. අවුරුදු තිහක් තිස්සෙ දිග ඇදිච්චි යුද්දෙ මම ඉවරයක් කලා. මතකනෙ ඒ කාලෙ උදේ ගෙදරිං එලියට බැස්සම ආපහු හවස ගෙදර එන එක විස්වාස නෑ. කොයි වෙලාවෙ කෝච්චියක බස් එකක බෝම්බයක් පුපුරල ස්වර්ගස්ත වෙයිද කියන එක ෂුවර් නෑ. ඇත්තම කියනවනම් බාර්යාවයි ස්වාමි පුරුෂයයි එක බස් එකකට නැග්ගෙ නෑ. එහෙම කලේ බස් එකේ බෝම්බයක් පිපිරුනොත් දෙන්නම එක පාර මැරුනොත් ලමයින්ට යන කල දසාව ගැන හිතල. එහෙම තිබ්බ තත්වයක් මම වෙනස් කලේ. ඒ 2009 අවුරුද්දෙ යුද්දෙ දිනල"

"ඒ දවස්වල තිබ්බ තත්වයෙ හැටියට වෙන මෙලෝ මල දානයක් නොකලත් ඒකම ඇති මගෙ අනාගත පරම්පරාවටම ලංකාවෙ රජකම් කරන්ට. ලංකාවෙ මිනිස්සු බහුතරයක් හිතුවෙ එහෙම. ඒත් මම ඇවිල්ල අභියෝග වලට මූණ දෙන්ට කැමති මනුස්සයෙක්. එහෙම නිකම්ම ලංකාවෙ රජකරන්ට මට ඕන වුනේ නෑ. ඒ හින්ද මම කලේ මගෙ නියමිත කාල සීමාව ඉවර වෙන්ට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ජනාධිපතිවරණයක් තියපු එක. ඒ එක්කම මගෙ ආණ්ඩුව පරද්දන්ට පුලුවන් හැමදේම මම කලා"

"අපෙ ගෙදර උන්දැගෙ නෑදෑයො හැත්ත බුරුත්ත ඔක්කොමල පත්කලා ආණ්ඩුවෙ ආයතන වලට. පොඩි උදාහරණයක් ගමු. ලොකු මස්සිනා දැම්ම එයා ලංකා සබාපති විදිහට. ඒ මිනිහ කලේ එතන යකා නටපු එක. අහැට කනට පේන එක කෙල්ලෙකුට යහතින් ඉන්න දුන්නෙ නෑ. ඒ අතර මගෙ අර ලොකු එකා නාමෝලට ඒකෙ ඉන්න කෙල්ලො සෙට් කරල දුන්න. නාමෝල පෙරකදෝරු විබාගෙ පාස් කරපු විදිහ ඔහෙල දන්නවනෙ. ඇයි මම එහෙම කලේ? මොකද නාමෝලට ඔය විබාගෙ පාස්වෙන එක එච්චර දෙයක්ද නෑ. ඒත් මට ඕන කලා එතනත් පවත්නා රජය අපකීර්තියට පත් කරන්ට. ඒ මගෙ දීර්ග කාලීන සැලසුම්වල එක කොටසක්. තේරුණෙයි ඔහෙලට? "

"ඒ අස්සෙ දෙවෙනි එකාව මම බලෙම්ම වගෙ නේවි එකට දැම්ම. ඒ එක්කම ඌව ඩාට්මත් යැව්ව. එහෙ එකක් නෑර හැම විබාගයක්ම ඌ පේල් වුනා. ඇයි එහෙම වුනේ? මොකෝ ඌට ඔය විබාගයක් පාස් වෙන්ට බැයිද? නෑ මම ඌට කිව්ව වාඩිවෙන වාඩිවෙන විබාග පේල් වෙන්ටෙයි කියල. මට ඕන වුනේ මගෙ ආන්ඩුව අපකීර්තියට පත් කරන්ට...හෙහ්,හෙහ්, "

"එතකොට අර උදයංග කියන නීල කාස හොරා පත්කලා මිග් ගනුදෙනුවෙන් බිලියන් ගාණක් ගහන්ට. පෝද්දල ජයන්තට ගැහුව. රවිරාජ් මැරුව. ලසන්ත මැරුව. ප්‍රගීත් මැරුව. එව්ව කරන්ට ඕන දේවල් නෙවෙයි. මම ඒ ඔක්කොම කලේ මගෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරල පෙරළල දාන්ට. ඔය මෛත්‍රිපාලට මට විරුද්දව ඉල්ලන්ට කියල කිව්වෙ මමමයි. ඒ මනුස්සය බෑම කිව්ව. මම අන්තිමට මිනිහගෙං ඇහුව තමුසෙ මට විරුද්දව ඉල්ලනවද නැත්තං ලසන්තල ප්‍රගීත්ල ගිය ගමන යනවද? කියල. ඊට පස්සෙයි ඔය මනුස්සය යන්තං ඔන්න කැමති වුනේ."

"හැමෝම කිව්වෙ මගෙ ආණ්ඩුව කවදාවත් පෙරලන්ට බෑ කියල. යූ.ඇන්.පී. මන්ත්‍රී වරුත් හිතාගෙන හිටියෙ ඒ විදිහට. අන්න ඒ නිසානෙ ඒකෙ හිටපු පට්ට හොරු ටික බුරුතු පිටිං මගෙත් එක්ක එකතු වුනේ. ඒත් අන්තිමට ඒ හැමෝම බෑ කියපු දේ මම කරල පෙන්නුව. මගෙ ආණ්ඩුව මමම පෙරළල පෙන්නුව. අන්න එහෙම හැමෝම බෑ කියන වැඩ කරල පෙන්නන මිනිහෙක් මම. මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක්. ඒ හින්ද මේ රනිල්ගෙ ආණ්ඩුව පෙරළන එක මට කජ්ජක් නෙවෙයි."

ටං....ටිං....ටුං....

Wednesday, January 4, 2017

470. Me before you - The story of Lou and Will…..

Me before you & After you

ලුයිසා ක්ලාක් - 

ජීවිතය පිළිබඳ විශාල අපේක්ෂාවන් හෝ දීර්ඝ කාලීන ඉලක්කයන් කිසිවක් නොමැති විසිහය හැවිරිදි කෙළිලොල් යුවතියක වන  ලුයිසා ඇය වසන කුඩා නගරයේ ආපන ශාලාවක වේටර්වරියක වශයෙන් සේවය කරන්නීය. හදිසියේම ආපන ශාලාව වසාදැමීම නිසා රැකියාව අහිමිවන ඇයට සිදුවනුයේ හදිසි අනතුරක් හේතුකොටගෙන අත් පා මුළුමනින්ම අක්‍රීයව රෝද පුටුවකට සීමාවී දිවිගෙවන තිස්පස් හැවිරිදි විල්ට ඔහුගේ එදිනෙදා කටයුතු සඳහා සහාය වීමටය. එහෙත් පළමු දිනයේහිදීම ඇයට වැටහෙනුයේ විල්  කිසිසේත්ම ඇය නොරුස්සන බවකි. එහෙත් තම නිවසේ දැඩි ආර්ථික අපහසුතා හේතුකොටගෙන ලුයිසා කෙසේ හෝ මාස හයක කාලයකට සීමා වන මේ රැකියාවෙහි නිරතවීමට අධිෂ්ඨාන කරගනී. 

විලියම් ට්‍රේනර් - 

ලොව පුරා සංචාරය කරමින්, ස්කයි ඩයිවිං වන් අවදානම් සහගත ක්‍රීඩාවන්හි නිරතවෙමින්, තම ව්‍යාපාර කටයුතු සාර්ථකව පාලනය කරමින්, ඉතා නිදහස් ජීවිතයක් ගතකල විල් හදිසි අනතුරක් හේතුකොටගෙන මුළු ජීවිත කාලය පුරාම රෝද පුටුවකට සීමාවූ ජීවිතයක් ගතකල යුතු ආබාධිතයකු බවට පත්වෙයි. නිරන්තරයෙන් තමන් පෙලන දැඩි වේදනාව නිසාම කිසිවකු නුරුස්සන ඔහු වරක් තම දිවි නසාගැන්මට පවා තැත් කරයි. 

මේ ඔවුන් දෙදෙනාගේ අනුවේදනීය කථාවේ එක් පරිච්ඡේදයකි........ 

විල් සහ මා අතරවූ අප්‍රකාශිත ගැටුම සමනය කොට ගැන්මට අප දෙදෙනම චේතනාන්විතව කිසිදු උත්සාහයක් නොදැරූවද අප අතර සුහදත්වයක්ම නොවූවද යම් එකඟතාවයක් වැන්නක් වර්ධනය වෙමින් පැවතිණි. එහෙත් එය මුළුමනින්ම රඳා පැවතියේ ඔහුගේ දිනෙන් දිනට වෙනස්වන මනෝභාවයන් (Moods) සහ ඊටත් වඩා එදිනෙදා ඔහු විඳිනා වේදනාවේ තීව්‍රතාවය මතය. 

සමහර දිනවල උදෑසන ඔහුගේ තදින් පියාගත් තොල් සහ විරූපවූ මුව දුටු වහාම ඔහු එදින කිසිවකු සමඟ කථාකිරීමට පමණ හෝ නොකැමැති බව මම වටහා ගනිමි. එවන් දිනයන්හි ඔහුට බාධා නොවන ලෙස හැකි පමණ ඔහු මඟහරිමින් ඔහු ජීවත්වූ උපගෘහයෙහි (Annexe) වෙනත් කුමන හෝ කටයුත්තක නිරත වන්නෙමි. එහෙත් ඒ සමඟම ඔහුගේ අවශ්‍යතාවයන් පිළිබඳවද සැළකිලිමත්වීමට මම වගබලා ගත්තේ ඒ පිළිබඳව කොතෙකුත් විමසමින් ඔහු වෙහෙසට පත්කිරීමට ද මැලිවූ බැවිනි. 

ඔහු විඳිනා වේදනාවන්ට හේතූන් බොහොමයක් විය. අක්‍රියාකාරී මාංශ පේශීන් ඔහුට බොහෝ වේදනා ගෙන දුන්නේය. ඒ ඔහුගේ භෞත චිකිත්සක වශයෙන් කටයුතු කල නේදන් තමන්ට හැකි පමණ ව්‍යායාම් කරවීමෙන්ද අනතුරුවය. මාංශ පේශීන්ගෙන් නැඟෙන වේදනාවට අමතරව විල් ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා කරනකොටගෙන ඇතිවන ආමාශයේ වේදනාවෙන්ද, උරහිස් වේදනාවෙන්ද, ඒ සමඟම මූත්‍රාශයේ ආසාදනයකින්ද, නිරන්තරයෙන් පීඩා වින්දේය. 

යතුරු පැදි අනතුර සිදුවූ ආසන්නයේම දැඩි වේදනාව දරාගනු නොහැකිව විල් වේදනා නාශක පෙති විශාල ප්‍රමාණයක් වෛද්‍ය උපදෙස්ද නොතකා භාවිතා කොට තිබිණි. ඒ හේතුකොටගෙන මේ වනවිට ආමාශයේ හටගත් වණයකින්ද ඔහු දැඩිලෙස පීඩා වින්දේය. 

එළෙසම එකම ඉරියව්වෙන් දීර්ඝ කාලයක් හිඳ සිටීම හේතුකොටගෙන විටින් විට විල්ගේ පසුපස පෙදෙසෙහි තුවාල කිහිපයක් හටගත්තේය. කිහිපවරක් එම තුවාල සුවවනතෙක් ඔහුට සයනයෙහි මුණින් තලාව හිඳීමටද සිදුවිය. දවස මුලුල්ලේ එසේ සයනයෙහි ගත කිරීම ඔහු දැඩිව පිළිකුල් කල නමුදු ඒ සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොවිණි. 

එසේ සයනයෙහි ගත කිරීමට සිදුවූ සම්පූර්ණ කාලය විල් ගත කලේ ආයාසයෙන් මැඩපවත්වාගත් කෝපයෙන් දිළිසෙනා ඇසින් යුතුව ඔහුගේ හිස අසල වූ කුඩා මේසයක් මත තැබූ ගුවන් විදුලි යන්ත්‍රයට සවන් දෙමිනි. වරින් වර ඔහුට දරුණු හිසරදයක්ද වැළඳිනි. ඔහුගේ සිතතුල තෙරෙපෙන දැඩි කෝපය සහ අපේක්ෂා භංගත්වය ඊට හේතුවන්නට ඇතැයි මට සිතිණි. 

එහෙත් විල් වඩාත්ම බෙලහීන කලේ විටින් විට ඔහුගේ අත්ලෙහි සහ පතුලෙහි හටගෙන නිර්දයලෙස ඔහුපෙළන ලද ගින්දරෙන් පිළිස්සෙන්නාක් බඳුවූ දරුණු වේදනාවයි. එවන් අවස්ථාවලදී ඔහු කලේ තොල් සපාගනිමින් වේදනාව ඉවසීමට තැත්කිරීමය. සිසිල් ජලයෙහි පෙඟවූ තුවායක් වැන්නක් වහා ඔහුගේ අතුල් සහ පතුල් වටා එතීමෙන් තරමක් හෝ ඔහු පෙලන වේදනාව සමනය කිරීමට මම උත්සාහ කළෙමි. 

වේදනාව ඉතාම අධික වූ කල්හි ඔහුගේ කම්මුලෙහි සිහින් මස් පිඩුවක් ගැහෙන්නට වෙයි. එවිට ඉතා තදින් දෑස් පියාගන්නා විල්  සයනය මත වැතිර සිටිනා ඔහුගේ සිරුර අත්හැර කොහෙදෝ ඈතකට පාව යන්නාක් සේ මට සිතෙයි. සමහරවිට එවන් දරුණු වේදනාවක් විඳ දරාගැන්මට හැක්කේ එළෙස පමණක්ම වන්නට ඇත. 

ඔහුට කිසිදු ප්‍රයෝජනයක් නොමැති, එමෙන්ම කිසිදු හැඟීමක් නොදැනෙන අත් සහ පා නිසා මෙවන් දරුණු වේදනාවක් විඳීමට සිදුවීම බලවත් අසාධාරණයක් ලෙස මට බොහෝවිට සිතිණි. 

මෙසේ කොපමණ දරුණු වේදනාවකින් පෙලුනද විල් කිසිදු විටෙක ඒ ගැන වචනයකින් හෝ සඳහනක් නොකලේය. ඔහු පෙලෙනා වේදනාවේ තරම වටහා ගැන්මට මට සති කීපයක් ගතවූයේ එබැවිනි. ක්‍රමයෙන් මම ඔහුගේ හැඟීම් වහා වටහා ගැන්මට සමත් වූයෙමි. ඔහුගේ දීර්ඝ නිශ්ශබ්දතාවයන් එලෙසම ඇස් සිහින්ව මලානිකවීම් ආදියට මම වහා සංවේදී වන්නට උගතිමි. එළෙසම සමහරවිට ඔහු මා අමතා මෙසේ පවසයි. "ලුයිසා..සීතල වතුරයි අර තුවායයි ගේනවද කරුණාකරලා?" නැතහොත් "අර වේදනා නාශක පෙති දෙක තුනක් බිව්වොත් නම් දැන් හොඳයි වගේ..." එවිට වහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මම ඉගෙන ගතිමි. 

සමහරවිට ඔහු පෙලන වේදනාව කොපමණ දරුණුද යත් ඔහුගේ මුහුණ මළමිනියක මෙන් සුදුමැලි වේ. ඒ වනාහී ඔහුට මෙන්ම මටද ඉතාමත් අභාග්‍යසම්පන්න දිනයන්ය. එහෙත් එවන් අභග්‍යසම්පන්න දිනයන් හැර අනෙක් දිනයන්හි අප දෙදෙන යම් සුහදතාවයකින් කතා බහ කලෙමු. මා සේවයට පැමිණි මුල්දිනයන්හි මෙන් ඔහු මා යමක් පැවසූවිට ඇණුම් පදයකින් ඊට පිළිතුරු දීමේ පුරුද්ද අත්හැරදැමීය. 

අද දිනද එසේ ඔහු වේදනාවෙන් නොපෙලෙන දිනයකි. එබැවින් ඔහුගේ මව එනම් ට්‍රේනර් මහත්මිය වසන්තය එළඹීමට පෙර විල් වාසය කරන උපගෘහය ශුද්ධ පවිත්‍ර කිරීමට සේවිකාවන් යෙදවිය යුතු බව පැවසූ කල්හි මම වහාම විල් ද සමඟ එළිමහනේ ඇවිදින්නට ගියෙමි. 

ට්‍රේනර් මැදුරෙහි අංගනය වටා ඉදිකොට ඇති දුඹුරුවන් ගලින් නිමවූ පවුර අසලින් දිවෙන කපා ඔපමට්ටම් කල ගල් ඇල්ලූ පෙත්මඟ ඔස්සේ විල් ඔහුගේ රෝද පුටුව සෙමෙන් ධාවනය කල අතර මම උදෑසන පතිත පිණි බිඳු තවමත් මැකී නොගිය හරිත තණ බිස්ස ඔස්සේ ඇවිද ගියෙමි. මා පැළඳ හුන් පැතලි සැටින් පාවහන් යුවල සීතල පින්නෙන් තෙත්ව අඳුරු පැහැගැන්විනි. 

"හ්ම්ම්ම්...ඔයාගෙ ඔය සපත්තු කුට්ටමේ පාට නම් හරිම අපූරුයි" විල් පැවසීය. 

හරිතවර්ණ මෝස්තරයකින් යුතු මේ පාවහන් යුවල මම මිලදී ගත්තේ නගරයේ අඩුම මිල පාවහන් වෙළඳ සැලෙනි.

"ඔයාගෙ සපත්තු කුට්ටම නම් හරිම අපූරුයි"
විල් පැවසීය.

"ඔයා දන්නවද? ඔයා ඇඳුම් අඳින්නෙ මේ අහල පහල කවුරුවත්ම අඳින විදිහට නම් නෙවෙයි. මම හැමදාම උදේ බොහොම නොඉවසිල්ලෙන් ඉන්නෙ අද මොකක්ද ඔයා ඇඳගෙන එන විච්චූර්ණ ඇඳුම කියල බලන්න..හෙහ්,හෙහ්," 

"හරි දැන් මට කියන්න කොහොමද මේ අහල පහල ඉන්න අය අඳින්නෙ කියල?" මම දෙබැම රැලිකොටගත්වනම විමසීමි. 

අප ගමන් ගන්නා මාර්ගය මතට ඇද වැටී තිබූ දිරාගිය අත්තක් මඟ හැරීමට විල් රෝද පුටුව ස්වල්පයක් වමට හැරවීය. 

"ඔය වුලන් හරි ලොම් වලින් හරි කරපු මහ මෑලි පාට සාමාන්‍ය ඇඳුමක් අඳියි. නැත්නම් අපෙ අම්මගෙ සමාජ මට්ටමේ කෙනෙක් නම් ටවුමෙ අර සුප්‍රසිද්ධ ඇඳුම් සාප්පු දෙක, ජේගර් හරි විස්ල්ස් හරි, අන්න ඒ දෙකෙන් එකකින් ගත්තු ඇඳුමක් අඳියි. එච්චරම තමයි" 

මම කිසිවක් නොදොඩා ඔහු දෙස බලා සිටියෙමි.

"ඉතිං කියන්නකො කොහෙන්ද ඔයා මේ අපූරු විලාසිතා පුරුදු වුනේ? මේ පුංචි නගරෙ ඇරුනු කොට වෙන කොහෙද ඔයා ජීවත්වෙලා තියෙන්නෙ?" 

"වෙන කොහෙවත් නෑ " 

"මොකක්? ඒ කියන්නෙ ඔයා උපන්දා ඉඳල මෙහෙමද හිටියෙ?" 

"ඔව් ඇත්තමයි මෙහෙ විතරමයි" ඔහු දෙස හැරුනු මම දෑත් ළය මත බැඳගත්වනම පෙත්මඟ මධ්‍යයේ සිටගතිමි. "ඉතිං? මොකද? මොකක්ද මුලු ජීවිත කාලෙම මෙහෙ හිටියම තියෙන අවුල?" 

"එහෙම දෙයක් මම හිතුවෙ නෑ ඇත්තම කිව්වොත්. මම කියන්නෙ මේ නගරෙ බොහොම පුංචියිනෙ.මෙහෙ කිසිම අලුත් දෙයක් සිද්ද වෙන්නෙ නෑ. මුලු නගරෙම පවතින්නෙ අන්න අර මාළිගාව හින්දනෙ." 

අපගේ කුඩා නගරයේ ආර්ථිකය රඳා පැවතුනේ සත්‍ය වශයෙන්ම නගරය අසල කඳු ගැටයක් මත පිහිටි පෞරාණික මාළිගයක් මතය. අප සිටින තැනට බොහෝ අපූරුවට දර්ශනය වූ එම මාළිගය දෙස අප දෙදෙන මඳක් ගමන අත්හිටුවා බලා සිටියෙමු. 

"මට හැම වෙලාවෙම හිතෙන්නෙ මේ වගෙ තැන් තියෙන්නෙ මිනිස්සුන්ට ලෝකෙ පුරහම ඇවිදල කරල මහන්සි උනාම ආපහු එන්ට කියලයි.එහෙම නැත්තං ඉතිං වෙන කොහේවත් ගැන හිතන්න තරම් පරිකල්පන ශක්තියක් නැති උදවියටත් මේ වගෙ තැනක් නරකම නෑ" විල් මදෙස ඇස් කොණකින් බලමින් පැවසීය. 

"බොහොම ස්තූතියි……." මම පැවසූයේ ඉවත බලාගනිමිනි. 

"නෑ ඇත්තම කියනවනම් මේ නගරෙ විතරක් අරං බැලුවම මොකවත් එහෙමකට වැරැද්දක් කියන්ටනම් නෑ. ඒත් ඔයාම හිතල බලන්නකො. මෙහෙ හරිම නිද්‍රාශීලියි නේද? මෙහෙ මොකවත්ම අලුත් දෙයක් සිද්ද වෙන්නෙ නෑ." 

"හ්ම්ම්ම්..තව?" 

"මෙහෙ මිනිස්සු හරිම ගතානුගතික විදිහට හිතන්නෙ. කිසිම වෙනසකට කැමති නැහැ." 

මම ඔහු දෙස බලා සිනාසුණෙමි. 

"ක්ලාක්, ඔයාගෙ වයස විසිහයයි. ඔයා මේ නගරෙන් පිටවෙලා යන්ට ඕනෙ. ඔයාගෙ ඔය අපූරු විලාසිතාවලින් සැරසිලා ලෝකෙ පුරා ඇවිදින්ට ඕන. පිටරටක බාර් එකකට ගිහිල්ල බියර් වීදුරුවක් හෝ වයින් වීදුරුවක් බොන්න ඕනෙ. මම කියන එක තේරෙනව නේද ඔයාට?" 

"මට මෙහෙ කිසිම ප්‍රශ්ණයක් නෑ. මම හොඳ සතුටෙන් මෙහෙ ඉන්නෙ" මම වහා ඔහුට හරස්කැපුවෙමි. 

"එහෙම වෙන්න විදිහක් නෑ ක්ලාක්... කරුණාකරල ඔයා එහෙම වෙන්න එපා"

"අනික් මිනිස්සු ජීවිතේ ගෙවන්න ඕන කොයි විදිහටද කියල ඒ ගොල්ලන්ට උපදෙස් දෙන්න ඔයා හරිම කැමතියි නේද?" 

"ඔව්, හැබැයි හැම වෙලාවෙම නම් නෙවෙයි. මම හරියි කියල මට ස්ථිරනම් විතරයි" විල් පැවසීය. "කරුණාකරල මගෙ තේ කෝප්පෙ තව ටිකක් මෙහාට හරවනවද? ඒක තියන විදිහට මට මෙතන ඉඳල බොන්න අමාරුයි" විල්ගේ රෝද පුටුවෙහි ඔහුට එහි හිඳගත්වනම හිස නොහරවාම බීම බටයක ආධාරයෙන් තේ හෝ වෙනත් පානයක් පානය කල හැකි ලෙස සකස්කල අල්ලුවක් ඇත. නිවසින් පිටවීමට පළමු මම එම අල්ලුවෙහි තේ වීදුරුවක් රැඳවූයෙමි. 

වහා ඔහු වෙත ගිය මම බීම බටය ඔහුගේ මුවට තවත් ආසන්න වනසේ අල්ලුව සකස් කළෙමි. හමායන සීතල සුළඟ හේතුකොටගෙන විල්ගේ කන් අගිසි රෝස පැහැයට හැරී තිබිණි. 

තේ උගුරක් පානය කල විල් මුව ඇඹුල් කලේය. "දෙයියනේ. ඔයා මීට කලින් අර අතන තේ කඩෙත් වැඩ කලා කිව්ව නේද? ඒත් ඇත්තම කිව්වොත් මේ තේ එකනම් අන්තිමයි." 

"ඔයාට එහෙම හිතෙන්නෙ මොකද දන්නවද? ඔයා ලෙස්බියන් තේ වලට පුරුදුවෙලා. අනික ඔය චීනෙං ගෙන්නන එක එක බෙහෙත් කොල දාපු මල්පෙති දාපු තේ එහෙම කිසිම වැඩකට ඇති තේ නෙවෙයිනෙ. එව්වට පුරුදු උනහම වෙන්නෙ හොඳ තේ එකක් බොන්ට බැරුව යනව. අන්න ඒකයි ඔයාටත් වෙලා තියෙන්නෙ" 

" මොකක්? ලෙස්බියන් තේ?....." විල් පානය කල තේ උගුර පිට උගුරේ යන්නට ඇත. ඔහු කහින්නට පටන් ගත්තේය. "මොනව උනත් ලෙස්බියන් තේ හොඳයි මේ වාර්නිෂ් වගෙ තේ වලට වැඩිය. මේ බලන්න මේ තේ කෝප්පෙ මට ඕනනම් මේ හැන්ද කෙලින් හිටවලා තිබ්බැහැකි" ඔහු යලිත් මදෙස බලා එසැණින් ඉවත බලා ගත්තේ සිනහවක් දෙතොලග සඟවමිනි. 

(පළතුරු, මල් හෝ වෙනත් ඖෂධයන්හි රස හෝ සුවඳ ගන්වා නිපදවන තේ සඳහා "ලෙස්බියන් තේ" යනුවෙන් කටවහරේ (Slang) යෙදෙයි.) 

"දැං ඒ කියන්නෙ මම තේ එකක් හැදුවත් ඒකෙත් මොකක් හරි වැරැද්දක් තියනව" මම ඔහු ඉදිරියේ වූ යකඩෙන් කල අසුනෙහි හිඳගෙන හරි බරි ගැසුනෙමි. 

මේ මම විල් සමඟ විවෘතව කථාකිරීමට අවස්ථාවක් ලැබෙන තුරු උදක්ම බලාපොරොත්තුව සිටි කරුණකි. "එතකොට මට මේක කියන්න කරුණාකරල..ඔයාට අයිතිය තියනව මම කරන කියන හැමදේකම මොකක් හරි අඩුපාඩුවක් දකින්නට එතකොට විවේචනය කරන්නට. ඒත් මම හරි වෙන කිසිම කෙනෙක් හරි ඔයාගෙ අඩුපාඩුවක් කියනවට ඔයා පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ. ඒක සාධාරණද කියල මට කියන්න" මම එක දිගට කියවාගෙන ගියෙමි. 

විල් හිස පහත්කොටගෙන ස්වල්ප වේලාවක් නිහඬව සිටියේය. අනතුරුව හිස එසවීය. "හරි ලුයිසා ක්ලාක් මෙනෙවිය. කියන්න. මොනවද ඔයාට මම ගැන කියන්න තියෙන්නෙ? මගෙ අඩුපාඩු වැරදි ඔක්කොම කියන්න…..කිසිම ප්‍රශ්නයක් නෑ" 

"ම්ම්ම්....බලමු……….." මම කල්පනාවේ නිරතවන බවක් ඇඟවීමි. "ඉස්සෙල්ලම ඔයාගෙ කොණ්ඩෙ කොට කරල කැපුවොත් හොඳයි. ඔහොම කොණ්ඩෙ වවාගෙන ඉන්නකොට ඔයා නිකං රස්තියාදුකාරයෙක් වගේ පේන්නෙ ඕනම කෙනෙකුට." 

"ඔන්න ඔන්න ඔයත් ඒ පාර මගෙ අම්ම වගේ වෙන්නයි හදන්නෙ." 

"අම්ම වගේ හරි වෙන කවුරුහරි වගේ හරි..මම කියන්නෙ ඇත්ත...හරි අඩුම ගානෙ ඔය වවාගෙන ඉන්න රැවුලවත් කපන්න බැරිද? ඔහොම රැවුල දිගට වැවුනම නිකං මේ කහනව කහනව වගේ දැනෙන්නෙ නැද්ද?" 

විල් වදනකුදු නොදොඩා මොහොතක් මාදෙස එක එල්ලේ බලා සිටියේය. මම සිනාසුනෙමි. "හිහ්.හිහ්..මම කිව්වෙ ඇත්ත නේද? කහනව නේද නොසෑහෙන්ඩ?...ඒක තමයි ...මම දන්නව නෙව. හරි ඔන්න අද හවස මම ඔයාගෙ ඔය රැවුල ඔක්කොම කපන එක කපනවාමයි .ආය ඒකෙ දෙකක් නෑ" 

"මොන පිස්සුද? මට බෑ………." 

"ආ..එහෙම කොහොමද? බෑ කියල නම් හරියන එකක් නෑ. ඔයා මගෙන් ඇහුවනෙ ඔයාගෙ අඩුපාඩු ගැන. ඉතින් එක අඩුපාඩුවක් තමයි ඔහොම රැවුල වවාගෙන ඉන්න එක. ඒ හින්ද මම හදන්නෙ ඒ අඩුපාඩුව නැතිකරල දාන්න. ඔයා කිසිදෙයක් කරන්න ඕන නෑ. සද්ද නැතුව ඉන්න එකයි තියෙන්නෙ. මම වැඩේ කරන්නම්කො" 

"මම එකහෙලාම එපාම කිව්වොත්?" 

"ඔයා එපාම කිව්වත් සමහරවිට මම ඒක කරන්න ඉඩ තියනව..හිහ්..හිහ්...අනික ඔය රැවුල තව දිගට වැවුනොත් මට ඔය රැවුල අස්සෙ රිංගල මැස්සො කැරපොත්තො එහෙම අල්ලන්ට වෙනව. සමහරවිට මීයො හිටං. එහෙමවුනොත් මට සමහරවිට ඔයාට විරුද්ධව කම්කරු උසාවියෙ නඩු දාන්ටත් වෙයි අනතුරුදායක රාජකාරි කටයුතු වෙනුවෙන් අතිරේක ගෙවීම් නොකිරීමට එරෙහිව..හිහ්..හිහ්..." මම එසේ පවසා අසුනින් නැඟිට හඬනඟා සිනාසුණෙමි. 

විල්ගේ දෙතොලග මතුවූ සිනහව වත පුරා පැතිර යාමට ගතවූයේ මොහොතකි. ඔහු එසේ නිරායාසයෙන් සිනාසෙන්නේ ඉතා කළාතුරකින් බැවින් මසිත මහත් ප්‍රමෝදයකින් පිරීගියේය. 

"ක්ලාක්…………" විල් මා ඇමතීය. "මට පොඩි උදව්වක් කරනවද?" 

"මොකක්ද?" 

"මගෙ වම් කණ පොඩ්ඩක් කහනවද? මේ..... මට ඉවසගන්ටම බැරි තරමට එතන කහනව"

"හරි මම ඔයාගෙ වම් කණ විතරක් නෙවෙයි ඕනනම් දකුණු කණ වුනත් කහන්නං. හැබැයි ඔයා අද හවස මට ඔයාගෙ රැවුල කපන්ඩ ඉඩ දෙන්නම ඕන. මොකද කියන්නෙ?" 

"ඔන්න ඕකනෙ කියන්නෙ..ඔය ඉතිං පොඩ්ඩක් ඉඩ දුන්නම…" 

"හරි හරි කලබල වෙන්න එපා. කිසිම ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. මමත් ජීවිතේට කාගෙවත් රැවුලක් කපලම නෑ. බලමුකො එහෙනම් නේද?" 


"මමත් ජීවිතේට කාගෙවත් රැවුලක් කපලම නෑ.
කපලම බලමු නේද?" 


******************************* 

විල් සහ ලුයිසාගෙ කතාව ගැන මට ඉස්සෙල්ලම කිව්වෙ අපේ සිත්තමී තරුණ නෝනා මහත්මිය. එතුමී මාස හතර පහකට ඉස්සෙල්ල "Me before you" පොතේ කොටසක් පරිවර්තනය කරල පෝස්ට් එකක් විදිහට පළකලා. ඉතිං සිත්තමීගෙ රසඥතාවය ගැන මම දන්න හින්ද මම ඇහුව ඒ පොතේ PDF කොපියක් එහෙම නැද්ද? කියල. ඒ පාර මට හැරෙන තැපෑලෙන් එකක් එවල තිබ්බ. 

ඒත් ඇත්තම කිව්වොත් මට ඔය කම්පියුටර් ස්ක්‍රීන් එකේ පොත් කියවන එක හරියට මරන්නා වගෙ. බැරිම නම් මිසක තමයි. අපි ඉතිං හැත්තෑවෙනි දශකයේ පොත් කියවන්ට පටංගත්තු උදවිය වෙච්චි. භෞතික පිට කවරයක් තියන , නහයට ලංකලාම කඩදාසි සුවඳයි මුද්‍රණ තීන්ත සුවඳයි එන හැබෑම පොතක් කියවන එක වගෙ කොහෙද කම්පියුටර් එක දිහා බලාගෙන කියවන එක? නෑ කියනවද? 

ඉතිං මේ මෙහෙට සිසිර කාලෙ. රීඩිං ලෑම්ප් එක පත්තු කරගෙන කොට්ට දෙක ඇඳ විට්ටමට හේත්තු කරල බ්ලැන්කට් එකකුත් පොරවගෙන පොතක් කියවන එකේ තියන අසමසම සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. ආ...යන්තං නින්ද යාගෙන එනකොට ඉබේම පොත බඩ හෝ පපුව උඩට වැටෙනව. මට එහෙම්මම නින්ද යනව. ආය සමහරවෙලාවට ඇහැරෙන්නෙ රෑ එකට දෙකට. දණිපනිගාල පොතේ අන්තිමට කියවපු තැන පිටුව නමල , පොත මේසෙ උඩ තියල, ලෑම්ප් එක ඕෆ් කරල මම නිදාගන්නව.......

ඉතිං ඔය කම්පියුටර් එකේ පොත් කියවීමට ඇති බලවත් නොකැමැත්ත හින්දම අර Me before you පොත කියවන එක දවසින් දවසම කල් ගියා. ඊට පස්සෙ මේ පහුගිය මාසෙ නත්තල් දවසෙ මම ගියා මෙහෙ අලුත විවෘත කරපු පොත් සාප්පුවකට. අප්පටසිරි ගජ..මෙන්න ඒකෙ පොත් රාක්කයක එක තට්ටුවක්ම පුරවල Jojo Moyes ගෙ පොත්. (Jojo Moyes කිව්වෙ අර Me before you පොතේ කතුවරිය, හොඳේ?) ඒ පාර Me before you පොතයි ඒකෙ අනුගාමී කෘතිය (Sequel) වන After you පොතයි දෙකම ගත්ත ඔන් ද ස්පොට්. තවම Me before you පොතේ කාලක් වත් කියවන්ට වුනේ නම් නෑ. ඒ කියවපු හරියෙ මට අල්ලල ගිය කොටසක් තමයි ඔය පරිවර්තනය කලේ.......

සුවිශේෂී ස්තූතිය - සිත්තමී නෝනා මහත්මියට.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...