Wednesday, July 6, 2022

678. පුවක් එෂැණිං - 70 - අතිගරු ජනාධිපති තුමාගෙ අනපේක්ෂිත පාර්ලිමේන්තු ආගමනය..


මේ.......ආදරයයි....


ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව හදිසියේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වූයේ පහත සඳහන් කුමන හේතුවක් නිසාදැයි ඔබ සිතන්නේද?

1. මාස තුනකට ආසන්න කාලයක් බංකරයක සැඟවී දිවිගෙවීමට සිදුව ඇති බැවින් කෝපයට පත්වූ ආර්යාව "මීට වඩා දාහෙන් සම්පතයි ඕයි අර උන්නු විදිහට තෙල් ගහගෙන අරෙහෙ උන්නනං...අද මම දවල්ට උයන්නෙ නෑ..තමුසෙ ඕන තැනකින් කනවා.." යයි බැණ වැදී ඔලුවේ සිට පොරවාගෙන නිදාගත් බැවින් දිවා ආහාරය නොමිලේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්  හෝ ගත යුතුයැයි සිතුනු බැවින්ය.. 

2. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ජැන්ඩි පහට ටයි කෝට් වලින් සැරසී පාර්ලිමේන්තුවට සහභාගි වන වන බව අතිගරු මාධ්‍ය පකාසක කින්සිලී මහතා දැනුම් දුන් බැවින්  අගමැටිට  පමණක් නොව තමාටද ඉතා අගනා ලෙස ටයි කෝට් වලින් සැරසී පැමිණිය හැකි බව පෙන්වා දීමට අවශ්‍ය වූ නිසා..

3. තම දෙටු සොයුරු හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා  පසුගියදා ඔහු රෝගීව ප්‍රතිකාරගත් බව සැලවූ නමුදු ඔහුද තමා මෙන්ම දැනට බංකරයක දිවිගෙවන බැවින් හමුවී සුවදුක් විමසිය නොහැකි වූ බැවින් ඔහු හමුවී සුවදුක් විමසීම සඳහා.. 

4. "සර් කිසිදේකට බයවෙන්ට එපා..මගේ හෝටලේ ගිනි තියන එක කලින් කියන්න බැරිඋනාට කාලි අම්ම මගෙං සමාව ගත්තා.එහෙම උනේ පොඩි මිස් එකකින්ය ආයෙම එහෙම වෙන්නෙ නෑය කියලත් එතුමී මට පොරොන්දු උනා.. ඒ හින්ද සර් බය නැතුව මේ තෙල් කුප්පිය දෙපරැන්ද අස්සෙ ගහගෙන ඕන තැනක යන්ට..ඔය ගෝටා ගෙදර පල කියන ඔබතුමාගෙ විරුද්දකාරයො ඔබතුමාට දැපනෙ වැටෙන්නෙ මේං මෙහෙම බලා ඉන්දැද්දි,,..." ඥාණා මෑණියන් එසේ පවසා තමාට ලබාදුන් තෛල රාජයාගේ සත්ත බැලීමට අවශ්‍ය වූ නිසා..

5. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන මුව කමල ඇඹුල්කොට "විසේසයෙන්ම මේකත් කියන්ටෝන..ඉදිරි සතිදෙක බොහොම අමාරුයි...." යනුවෙන් පවසන විට ඉතාම දැකුම්කලු බව ගරු කටානායක තුමා ගිය සතියේ දවසක හවසක දුරකතනයෙන්  ආගිය තොරතුරු කතා කරමින් සිටියදී පැවසූ බැවින් ගරු අග්‍රාමාත්‍ය තුමා අසළම වාඩිවී එම මනස්කාන්ත දර්ශනය සියැසින්ම දැක ගැනීමට අවශ්‍ය වූ නිසා...

6. "සර්..සර්..හිරුණිකා වගේ ගෑණු කෙනෙක් තව ගෑණු හත් අට දෙනෙකුත් එක්ක මේ පැත්තට එනව දැක්කයි කියල මේ දැං පොලීසියෙන් කෝල් කරල කිව්වා..." යනුවෙන් ශුදේව හති දමමින් දිවවිත් පැවසූ බැවින්  "නෝනෙ එහෙනං ගෙදට්ට වෙලා ජනෙල් දොරවල් වහගෙන ඉන්ට..මම පාර්ලිමේන්තුව පැත්තට මඟ ඇරල වහං වෙලා ඉඳල එඤ්ඤං..ඔපිස් යන්නත් බෑනෙ...එතන අර අරගල කාරයොනෙ..." යයි ආර්යාවට පවසා වහාම පාර්ලිමේන්තුවට පසු බැසීමට සිදුවූ නිසා...


Sunday, July 3, 2022

677. පුවක් එෂැණිං - 69 - දිරි දීමනා සහ දඬුවම් ලිහිල් කිරීම


කැබිනට් ඇමති රණතුංග...


ලංකා විදුලිබල  මණ්ඩලයේ මනු කියවන්නන්හට නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වැටුපට අමතරව දිරි දීමනාවක්ද  ගෙවන බව කෝප් කමිටුව ඉදිරියේදී හෙලිවූ බව වාර්තා වේ.. ඒ අනුව ඊයේ දිනයේදී රැස්වූ පහත සඳහන් වෘත්තීය සමිතිද එවන් දිරි ගැන්වීමේ දීමනාවක් තමන්ටද ගෙවන ලෙස  බල කරමින් වහාම උද්ඝෝෂණ පැවැත්වීමට ඒකමතිකව තීරණය කොට ඇත.

1. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  එක් එක් නිවසේ දී හමුවූ  ඩෙංගු මදුරු කීටයින් ගණන නිවැරදිව වාර්තා කිරීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටී.

2. ලංගම බස් රියදුරෝ  බස් හෝල්ට් වල බස් රථය නැවැත්වීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටිති.

3. පොල් කඩන්නන්ගේ සංගමය නිවැරදිව පැසුණු පොල් පමණක් කැඩීම වෙනුවෙන් විශේෂ දිරි දීමනාවක් ඉල්ලති.

(දැන් මේ හරියට මීටර් එක කියවනවට මීටර් රීඩර්ට දිරි දීමනාවක් ගෙවනවයි කිව්වම මට ආපු ප්‍රශ්නෙ තමයි අඩේ..හරියට මීටර් එක කියවන එක උගෙ රාජකාරියනෙ..ඌට පඩියක් කියල එකක් ගෙවන්නෙ ඌ රාජකාරිය හරියට කරනවට..හරියට රාජකාරිය කරනවට වෙනම දීමනාවක් ගෙවනවයි කියන්නෙ එතකොට රාජකාරිය හරියට නොකලත් ඒ කියන්නෙ මීටර් එක හරියට නොකියවුවා උනත් පොරට පඩිය කොහොමත් ගෙවනවයි කියන එකනෙ..මාරයි ඕයි මේ රටේ වැඩ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ...ඇත්තම තමයි..)


******************************************************


නඩුවක් විභාග කිරීමේදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවද විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී පහත සඳහන් කරුනු අනිවාර්යයෙන් සළකා බැලිය යුතු බවට  විනිශ්චයකාර වරුන්ට උපදෙස් ලැබී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි..

1. විත්තිකරුගේ නිවස මෑතකදී ගිණි තබා විනාශ කොට ඇතිද? යන්න....

2. විත්තිකරුගේ දියණිය තම විවාහය ප්‍රමාදවීම නිසා විශාදයෙන් පෙලන්නේද?  යන්න...

3. විත්තිකරුට සිර දඬුවමක් නියම කලහොත් ඔහුගේ පරම්පරාවේ කීර්තිනාමයට ඉන් කැලලක් සිදුවේද ? යන්න.. 

4. විත්තිකරුගේ සුරතල් බල්ලා බත් කන්නේ විත්තිකරුගේ අතින් පමණක් නිසා විත්තිකරු බන්ධනාගාර ගත කළහොත් සුරතල් බල්ලා නිරාහාරව මියයයිද? යන්න... 

5. විත්තිකරුගේ ගෙදර මිදුලේ ඇති රඹුටන් ගසේ ගෙඩි කෑමට රාත්‍රියේදී පැමිණෙන වවුලන් එලවා දමන්නෙ විත්තිකරු බැවින් ඔහු බන්ධනාගාර ගත කලහොත් රඹුටන් පලදාව වවුලන්ටම සින්නවී යාවිද? යන්න...

Sunday, June 19, 2022

676. තෙල් අර්බුදයට හෝම් මේඩ් විසදුං...

මයි පෙන්ස්...දැම්මේ තෙල් අර්බුදේ නිමාවෙන දවසක් පේනතෙක් මානෙක නෑ....ඉතිං මට පේන විදිහට හොඳම විසඳුම ධ්‍යාන වඩවා සෘධි බල උපදවා ගැනීම...

අවුරුද්දකට විතර ඉස්සෙල්ල අපේ ගෙදරට එන පාර දෙපැත්තෙ තියන අඩි 25 විතර උස තාප්ප දෙකක් කපරාරු කෙරුව. ඒ වැඩේට උවමනා  පලංචි ගෙනල්ල ගහන්න මාර කට්ටක් කෑවෙ..

ඒ මොකද කියනවා නම්..... (ඔය ඒ මොකද කියනවා නම් කියන කෑල්ල මම අල්ල ගත්තෙ කැලෑ ජෝන්ගෙ කතා වලින්..දන්නවනෙ කැලෑ ජෝන් නේද? කැලෑ ජෝන් නිතරම ඔය ඒ මොකද කියනවානං කියන කෑල්ල කියනව කතා පවත්වනකොට..කැලෑ ජෝන්ගෙ අයියල දෙන්න ලන්ඩන් ජෝන් සහ කොළඹ ජෝන්..ලන්ඩන් ජෝන් ඉගෙන ගන්ට රුසියා..පොර අන්තිමට ලන්ඩන් ගිහිල්ල තමයි පෙරකදෝරු විබාගෙ එහෙම පාස් උනේ ..ඒ නිසා එයා ලන්ඩන් ජෝන්..ඊලඟට කොළඹ සෙන් තෝමස් එකේ ඉගෙන ගත්තු එක්කෙනා කොළඹ ජෝන්..බාලයත් සෙන් තෝමස් ගියාට වැඩිපුර කලාය කියන්නෙ කැළේ පැනපු එක ඒ හින්දා එයා කැළෑ ජෝන්..)



මිස්ටර් කැළෑ ජෝන්....


හරි දැන් ආපහු එමු තාප්ප කපරාරු කතාවට...ඔය පලංචි ගහන්න අපි හෙණම කට්ටක් කෑව කියමුකො.. ඒ මොකද කියනවානං ගෙදරට එන පාර තියෙන්නෙ හෙණ බෑවුමක..ගෙදරට එන පාර කිව්ව පණිවිඩ හත අටක් යැව්ව ඒත් තාම ආවෙ නෑනෙ ආවෙ නෑනෙ ආවෙ නෑනෙ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා..ඒ අපූරු ගීතය කියන්නෙ චන්ද්‍රානි ගුණවර්ධන..තුං තුඹමල් තුඹමල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෑත දමාලා..  



බණ්ඩි වළලු පැළඳි යුවතියක්...

ඉතිං ආයම ප්‍රස්තුත කතාවට ආවොත් එහෙම ඔය බෑවුමේ නොහොත් සොලොප් එකේ පලංචි හිටවන්ට හරිම අමාරුයි.."අනේ මහත්තය වරුවක් යනවනෙ මේ පලංචි ගැහිල්ලට..."  වැඩේ බාර ගත්තු හෙඩ් බාසුන්නැහේ කෙඳිරි ගානව..

ඒ කාලෙ මේ පේස් බුක් එකේ ෂෙයාර් උනා ඔය අපේ හාන්දුරු කෙනෙක් දාපු ප්‍රචාරක දැන්වීමක්..ඒකෙ තිබ්බෙ ලක්ස තුනක් හරි හතරක් හරි ගානකට සතියක් ඇතුලත ඒ හාන්දුරුවො ඕනම කෙනෙකුට සෘද්ධි බල උපදවා ගන්න විදිහ කියල දෙනවයි කියල..මම ඉතිං අර කෙඳිරි ගාන බාසට ඕක පෙන්නල කිව්ව "යකෝ ඉන්න ඉඩම කඩම හරි උගස් තියල මෙන්න මේ හාන්දුරුවො ඉන්න පන්සල හොයාගෙන ගිහිල්ල අර අහසින් යන සාස්තරේ ඉගෙන ගං..ඊට පස්සෙ බොලාට පලංචි මොන කෙහෙම්මලක්වත් ඕන වෙන එකක් නෑ..කෙලිම්ම බාස් මේසෙං හැන්දයි මට්ටං ලීයයි අරගෙන ගුවන් ගත වෙනව..ඒ පස්සෙම්ම ගෝලය බදාම තාච්චිය අරගෙන ගුවං ගත වෙනව..අදාල තැනට ගිහිල්ල අහසේ පළක් බැඳ වාඩිවෙලා එහෙම කපරාරුව ගහනව..හැබැයි මතක ඇතුව අලුත් ජොක්කු ඇඳගෙන වරෙල්ල..."  කියල..

උං මගෙං අර හාන්දුරුවංගෙ නොම්මරේ එහෙමත් ඉල්ල ගත්ත..ඒත් එතෙන්ට හොයාගෙන ගියාද නම් මන්ද..මම ඉතිං ඔය ගොසිප් සයිට් එහෙම බලනකොට එතකොට අදද රෙණ ප්‍රවෘත්ති එහෙම බලනකොට උනන්දුවෙන් බලනව "ඉර්දි බලයෙන් ගුවන් ගතවී කපරාරු කරන පැණිදෙණියේ මේසන් දෙවිවරු...අති පෞරාණික හෙළ යක්ඛ ගුප්ත ශාස්ත්‍රයන්හි තවත් වික්‍රමයක්වගෙ ප්‍රවෘත්තියක් එහෙම යයිදෝ කියල... ම්හුම්..තාම නම් දැක්කෙ නෑ.....

ඉතිං ඔය ඔය හාමුදුරුවො ගැන මතක් වෙලා මම මේ පහුගිය දවස් ටිකේම හෙව්ව එතුමාගෙ ඇඩ් එක කෝල් එකක්වත් දීල බලන්ට..කොහෙද ඔහෙ නෑ හම්බවුනේ..

ඒත් එහෙම හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න බොලේ මට හම්බ වුනා කියහල්ලකො මුම්බායි වල එහෙම අහසින් යාමේ ක්‍රම වේදය උගන්නන ආස්‍රමයක් ...එතන පාඨමාලා ගාස්තුවක් ගැන නම් සඳහනක් නෑ.. ඒත් මුම්බායි වලට ගුවන් ගාස්තුනම් මම හිතන්නෙ උපරිම ලක්ස එකහමාරක් වගෙ වෙයි රිටර්න් ටිකට් එක..ඕක මොකක්ද පෙට්‍රල් ලීටර් 400 වගේනෙ වෙන්නෙ..ඒ වගේද ආය ජීවිතේට පෙට්‍රල් පෝලිමක ඉන්න වෙන්නෙ නෑ..ඕන්නම් අහසිං ගිහිල්ල පෝලිමේ ඉස්සරහ තව වාහන කීයක් තියනවද වගෙ ඉම්පෝටඩ් විස්තර පස්සෙම ඉන්න අයට කියල  ආදායකුත් හොයා ගත්තෑකි...


සෘද්ධි බල ලැබීම.......

Sunday, March 13, 2022

675. පුවක් එෂැණිං - 68 - මෞගුණ ගායනා සහ අත කණ කර පූජා...


ජනාපෙති මෞගුණ ගැයීමට සූදානමින්
සීරුවෙන් සිටින මහජනයා...

දිවයින පුරා මහජනයා දිනපතා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකරන බව ජනාපෙති මාජ්ජිය අන්සය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී...සාමාන්‍යයෙන් මෙවන් සිහිකිරීම් කරනුයේ මරණ සංවත්සර දිනයේදී පමණක් වුවත් දිනපතාම සී ලාන්කික මහජනයා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකිරීම එතුමා කෙරෙහි මහජනයා තුල පවතින අපමණ භක්ත්‍යාදරය මුසු ගෞරවනීය හැඟීමට ප්‍රබල සාක්ෂියක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

වැඩි වශයෙන් මේ ගුණ සිහිකිරීම් සිදුවනුයේ ඉන්ධන පිරවුම්හල් සහ ගෘහස්ථ ගෑස් අලෙවිහල් අසල  වන අතර තව නොබෝ දිනකින් ෆාමසි අසල රැස්වන මහජනයාද මෙම ගුණ ගායනාවට එකතුවනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ජනාපෙති මාජ්ජිය ප්‍රකාසකතුමා ඉතාමත් හැඟීම්බරව පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

කොරියානුවන් එම රට අසීරු අඩියකට වැටී තිබියදී තම අත කර ආභරණ පවා රට වෙනුවෙන් රජයට පරිත්‍යාගකල බව මේ අතර වනසත්ව සංරක්ෂණ ඇමතිවරයා පවසා ඇත. 

ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු එසේ තමන් සතු අත කණ කර ආභරණ පරිත්‍යාග කල හැක්කේ කොතැනටද? යනුවෙන් විමසමින් දේශප්‍රේමී කාන්තාවන්ගෙන් වැළ නොකැඩී දුර කථන ඇමතුම් එතුමාගේ නිවසට ලැබෙන බැවින් ඇමතිතුමාගේ පවුලේ සාමය බිඳ වැටීමට ප්‍රථම දුරකථනය ක්‍රියා විරහිත කීරිමට සිදුවූ බව එතුමාගේ පෞද්ගලික ලේකම් වරයා පුවක් එෂැණිං  අමතා පැවසීය.

මෙම දැඩි ඉල්ලිම් වලට ප්‍රතිචාර වශයෙන් එම අත කණ කර ආභරණ තැන්පත් කිරීම උදෙසා යාල සහ විල්පත්තු අභයභූමිවලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙපස විශාල ප්‍රමාණයේ පකිස් පෙට්ටි දෙක බැගින් තබන ලෙස ඇමතිතුමා නියෝග කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. අත කණ කර පරිත්‍යාගශීලීන්හට ඉතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම පකිස් පෙට්ටිවල ලොකු අකුරින් "ඔබේ අත කන කර අපිට... රට පෙරට" යනුවෙන් සඳහන් කරන ලෙසද එතුමා නියෝග කල බව ලේකම් තුමා අවසන් වශයෙන් පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

දළඳාව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය අසා තමන් බලවත්සේ ශෝකවූ බව පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් මල්වතු අනුනාහිමි වුඩ්ඇපල්කුඹුරේ හාමුදුරුවෝ පවසති. මෙම වසරේ දළඳා පෙරහැර ආරම්භවීමට පෙර මහනුවර අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට මහාමාර්ග අමාත්‍යතුමා තමන්ට පොරොන්දුවූ බවද එහි රාජා හස්තියාට ගමන් කිරීමට සුදුසු පරිදි මෘදු රබර් ටයිල් ඇතිරූ ඇත් මංපෙතක් රාජා හස්ති රාජයා වෙනුවෙන්ම තම පෞද්ගලික වියදමෙන් ඉදිකිරීමට  අමාත්‍ය තුමා තමන්ට සපථ කල බවද අනුනාහිමියෝ ප්‍රකාශ කලෝය. එම හස්ති මංපෙතේ ගමන් කර පෙරහැර සඳහා මහනුවරට පිවිසීමට රාජා  හස්තීන් වහන්සේහට වාසනා මහිමයක් නොමැතිවීම බලවත් කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ පැවසුවෝය. 

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

මේ අතර රාජා හස්තියාගේ අභාවය රටේ පා ලකයා ට අසුභ නිමිත්තක්  බවට පැතිරයන කට කථාව සම්බන්ධයෙන් එෂැණ පුවක් අමතා අදහස් පළකල අස්ගිරි අනුනායක වී.යූ.පාලි හිමියෝ මෙසේ සඳහන් කළහ "එහෙම ප්‍රශ්නයක් නෑ..එහෙම ඇතෙක් මලාය කියල අවුලක් වෙන්නෙ නෑ..දැං බලන්න හිට්ලර් මහත්තයට අඩුම ගානෙ ඇතෙක් හිටියෙ වත් නෑ. එතුමාට හිටියෙ බැල්ලියක්..ඒ නිසා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..මම තාමත් කියන්නෙ අපේ ජනාපෙති තුමාට හිට්ලර් මහත්තයෙක් වෙලා හරි මේ රට හදන්න කියලමයි"

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

"එක රටක් එක වේලක්" යනුවෙන් ජනාපෙති කාරිය සාදක බලකායක් පත්කිරීමට ජනාපෙති අවදානම යොමුවී ඇති බව මේ අතර වාර්තා වේ. එහි සබාපති වසයෙන් ගරු වෙළඳ ඇමතිතුමා පත් කෙරෙනු ඇත. දිනකට කන එකම වේලට අඩංගු වියයුතු බත් ග්‍රෑම් ගණන, එළවලු වර්ග කීයක් අඩංගු වියයුතුද? එලෙසම එම වේල ආහාරයට ගත යුත්තේ දවසේ කුමන වේලාවකද යන්න අවියත් මග බුද්ධිමතුන්ගේ උපදෙස් පරිදි මේ කාරිය සාදක බලකාය විසින් නොබෝ දිනකින් ප්‍රකාසයට පත් කරනු ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

පසුගියදා අවසන්වූ අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණදුන් සිසු සිසුවියන් උදෙසා විශේෂ තරඟයක් පැවැත්වීමට අජ්ජපාන අමාට්ටියන්සය කටයුතු යොදා ඇත. 

යුක්‍රේනයේ දින තුනක සංචාරයක් ත්‍යාගය වශයෙන් ලැබෙන මෙම තරඟය සඳහා සහභාගී වීමට කලයුත්තේ පහත සඳහන් පැණයට පිළිතුරු දීමයි "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටට ගෙන එන එක් ඩොලරයකට රු. 38/= විශේෂ දීමනාවක් ගෙවන බවට ප්‍රකාශ කොට ඇත. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් අන්දමට ඇන්. රාජපස්ස මහත්මියට අයත්ව ඇති මුලු මුදල් ප්‍රමානය ඩොලර් මිලියන 160 නම් එම මුදල් මෙරටට ගෙන ඒමෙන් ඇයට ලබාගත හැකි ප්‍රසාද දීමනාව කොපමණද?" 

ඔබේ පිළිතුරු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව විමර්ශනය කිරීමට ඒ දවස්වලම පත්කල ජනාපෙති කාරිය සාදක බලකායේ සබාපතිතුමා වෙත නොපමාව තැපැල් හෝ ඊ මේල් මඟින් එවන්න..

Wednesday, March 2, 2022

674. පුවක් එෂැණිං - 67 - මෙහෙමයි මචං..........


ආදරණීය නැන්දම්මේ..මට දුව බාරදුන්න කියන්නෙ හරියට
ගෝඨාභයට රට බාර දුන්නා වගේ තමයි..

මෙහෙමයි මචං දැං ඔය අපේ ගෝඨා ඉන්නව නේද? ගෝඨා කියන්නේ මාර මීටරයක් මචං....හෙන ස්මාර්ට් පොරක් මචං...රට රටවල් දැකලා ඒවගෙ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. මේ රට දියුණු කරන්ට නම් සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් කරන්නම ඕන මචං..ඒකෙ ආයෙ දෙකක් නෑ...

දැං අර පොහොර ප්‍රස්නෙ ගනිං..ඇයි ගෝඨා රසායනික පොහොර තහනං කලේ ගහෙං ගෙඩි එනව වගේ.?....පොර දන්නව ඔය වැඩේ එක පැය විසිහතරෙං කරන්න බැරි බව..ඒත් ගෝඨට උවමනා උනේ අපේ ගොවියො ඔක්කොමල එක්සත් කරන්ට....

දැං බලාපං මචං ඒ ටාගට් එක ෆුල් සක්සස් උනේ නැද්ද? පොහොට්ටුවට චන්දෙ දුන්න ගොවියො..එතකොට ටෙලිෆෝන් එකට චන්දෙ දුන්නු ගොවියො..අලියට එතකොට මාලිමාවට චන්දෙ දුන්නු ගොවියො ඔය ඔක්කොමල එකා වගෙ පාරට බැස්සෙ නැද්ද? "පොහොර දියව් පොහොර දියව්..." කියන සටන් පාඨෙන් මුලු රටම එකනින්නාද උනේ නැද්ද? 

අර සීතා නෝනා කණෙහි මී ඕනාක් බඳු මධුර ස්වරයෙන් කියපු සක්වල ගලද මොකක්ද එක ප්‍රකම්පිත උනේ නැද්ද? මේ රටේ ඔය විදිහට ගොවියො ඔක්කොම එකට එකතු කරන්ට මීට කලිං වෙන කිසිම නායකයෙකුට පුලුවන් උනාද? ගෝඨා තමයි ඒ වැඩේ කලේ..අන්න එකයි මචං මම කියන්නෙ ගෝටා කියන්නෙ මාර ස්මාට් පොරක් කියල..

දැං අනික් එක ඔය පෙට්‍රල් ඩීසල් පෝලිම් බලපං..ඒ ගැන හැමෝම ගෝඨට බණිනව..ඒත් කවුරුත් එතන යටිබිම්ගත අදහස තේරුම් අරගෙන නෑ..දැං බලපං..මිනිස්සු අතර අන්තර් මානුෂික සබඳතා කොච්චරනම් දුර්වල වෙලාද? අපිට අපේ අසල්වාසියා එක්ක ඔෆිස් එකේ අල්ලපු මේසෙ වැඩ කරන මනුස්සය එක්ක කතා කරන්න දුක සතුට බෙදා ගන්න වෙලාවක් නෑ..අපි හැමෝම යාන්ත්‍රික වෙලා..

නිකමට හිතපං පෙට්රල් පෝලිමක කෑන් අරගෙන පැය හත අටක් ඉන්නකොට ඉබේම අපි අපි ලඟ ඉන්න මනුස්සය එක්ක කතා කරනවනෙ..අන්න ඒකෙන් නිකමට හිතපං කොයි තරම් අපේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වෙනවද කියල..මේ විසිඑක්වෙනි ශතවර්ෂයෙ රටක් දියුණු කරන්ටනම් මනුෂ්‍ය සබඳතා දියුණු කරල ඉන්ට ඕමනයි ඔක්කෝටම ඉස්සරලා....ගෝඨා මචං ඔය කරන්නෙ ඒක..තෙල් වලට ගෙවන්ට ඩොලර් නෑ කියන්නෙ බොරුවක් මචං..මිනිස්සුන්ට කියන්ට දේකුත් තියෙන්ට එපාය..උඹ නිකමට මේ ගැන හිතල බලපන් මචං...

අනික් එක මචං මේ රට දියුණු කරන්ට ඔය දේසපාලුවන්ට තියන බොරු ගෞරවය නැති කරන්ටම ඕන..දැං නිකමට හිතහං මේ පොහොර, සිමෙන්ති, ඩීසල් හිඟය හින්ද මිනිස්සු කිසි බයක් හැකක් නැතුව ගෝඨගෙං මයින්දගෙං පටං ගත්තම එයාලගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බණිනවනෙ..

මේ ඊයෙ පෙරේද අර නාමෝලට මූණටම බැනල තිබ්බ..ඊට කලිං අපේ වියත් මඟේ අර ගොඩහෑවට බස් එකකට නැංග කියල බැණල තිබ්බ..එහෙම ඒ තැංවල බැන්නෙත් මචං අපේ වියත් මඟේම සෙට් එකක්..ඒක අපි හිතලමයි කලේ..අර මම කලිං කිව වගෙ දේසපාලුවන්ට තියන ගැතිකම බය පක්සපාතකම නැති කරන්ට..

ඊගාවට තව එකක්..උඹ දකින්ට ඇති මේ ඊයෙ පෙරේද ඩීසල් බවුසරයක් ෂෙඩ් එකට ආවම රතිඤ්ඤා දාල පිළිඅරගෙන තිබ්බ..මීට කලිං එහෙම පිළිගත්තෙ දේසපාලුවො..තෙල් බවුසරයක් ඇමති කෙනෙක් පිළිගන්නව වගෙ පිළිගන්න තැනට මිනිස්සු පත්වුනාය කියන්නෙ රටේ අනාගතය ගැන හොඳ ළකුණක් මචං..

අනික විනය..රටක් හදන්ට විනය ඕනමයි..ගෝඨා තදින්ම විනය තකනව මචං..රටක් විදිහට අපිට හමුදා විනයක් තියෙන්න ඕන..මොකක් හරි දෙයක් කරනවනං ඔක්කොමල එක සැරේට..දැං බලපං මේ ලයිට් කැපිල්ල හින්ද රටේ බාගයක් හවස  හයාමාරට කලින් බත් මාලු උයාගෙන රෙදි පෙරෙදි මැදගෙන සූදානමෙන් ඉන්නව....හරියට හයාමාරට ලයිට් ගියාම ඉටිපන්දං හරි කුප්පි ලාම්පු හරි පත්තුකර ගන්නව..ඉතුරු බාගෙ රෑ අටහමාරට කලිං ඔය කිව්ව වැඩටික කරල අටහමාරට ලයිට් ගියාම ඉටිපන්දං කුප්පි ලාම්පු පත්තු කරගන්නව..මුලු රටම එක වෙලාවට එක කතාවට යමක් කරනව කියන්නෙ මචං ඒක තමයි විනය කියන්නෙ..

මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං...වියත් මඟේ අපි කට්ටිය කුප්පි ලාම්පු එළියෙං මේ දවස්වල රෑ තිස්සෙ රැස්වෙලා කතා කරන්නෙ ප්ලෑන් කරන්නෙ මෙව්ව තමයි මචං.. .උඹත් ටිකක් කල්පනා කරල බලපං මම කියන්නෙ බොරුද කියල.. මොළයක් තියෙනවා නේ උඹට....

Wednesday, February 16, 2022

673. පුවක් එෂැණිං - 66 - අති උත්කෘෂ්ට ඩීසල් නෞකාගමනය


ලාම්කේය ඉටිහාසයේ පෙර නොවී වීරූ ආස්චර්යමත් සිදුවීමක් එසැන පුවත් වෙත වාර්තා වේ..ඊයේ සවස් බාගයේ කොළඹ වරාය වෙත ඩීසල් ඉන්ධන පිරවූ නෞකාවක් ලඟාවීම එම මහාර්ග සිදුවීමයි...

එම පුවත කණවැකුනු සැනින් විස්මයෙන් ඇලලී ආහ්ලාදයෙන් ඔල්මොරොම්දම් වී ගිය කණිජ තෙල් බාර ඇමැටිටුමා ද වරාය බාර ඇමැටි තුමාද එසැණින් වරාය බලා දිවගිය බව ටටු ඩට් ආරම්චි මාර්ග සඳහන් කරයි..ඔවුන් සමඟ රාජ්ය නැටුම් කණ්ඩායමද වරාය බලා ගොස් ඇත්තේ මනරම් නර්තනයක යෙදී ඩීසල් නෞකාව පිලිගැනීමටය..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර අගමැටි මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නුදුරු දිනයක එම ඩීසල් නෞකාවේ කපිතාන් වරයාහට සී ලම්කා ඩීසල් බූසණ (1 වෙනි පංතිය) ගෞරව නාමයද නෞකාවෙහි සෙසු කාර්ය මණ්ඩලයට සී ලම්කා ඩීසල් සූරී (2 වන පංතිය) ගෞරව නාමයද පිරිනැමීමට කටයුතු කරන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දුන් බවයි...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

සී ලම්කා ඛනිජ තෙල් සම්ස්තාවේ ප්‍රසම්පාදන අන්සය පහත සඳහන් නිවේදනය නිකුත් කොට ඇත.

ඉන්ධන නෞකාවක් කොළඹ වරායට ළඟාවූ විට එම ඉන්ධන තොගය සහ එහි කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා මඟුල් බෙර වාදන සහිතව දේශීය නර්තන පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි කලායතනයන්ගෙන්  මිළ ගණන් කැඳවනු ලැබේ. 

ඔබ ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නර්තනයෙහි විස්තර සහ සහභාගී කරවීමට අපේක්ෂා කරන නර්තන ශිල්පීන් සංඛ්‍යාව සඳහන් කොට ඔබගේ ප්‍රසම්පාදන අයදුම්පත් ඛණිජතෙල් සංස්ථාවේ පසුපස කසළ රැස්කරන ස්ථානය අසළ තබාඇති ප්‍රසම්පාදන පෙට්ටියට දැමීමට කාරුණික වන්න. 

ප්‍රසම්පාදන අයදුම්පතෙහි දෙවන කොටසෙහි වරායෙන් පිටත්වන ඉන්ධන රැගත් බවුසර ඉදිරියෙන් ජංගම රථයක සිට නර්තන ඉදිරිපත් කිරීම උදෙසා මිළගණන් කැඳවා ඇත. 

මෙම ඩීසල් බවුසර වරායෙන් පිටත්වී කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට ඉක්බිති ඛනිජ තෙල් සංස්ථා ගබඩා සංකීර්ණයට ඇතුල් වීමට අදහස් කරනු ලැබේ. එම නර්තන සේවා සැපයීම වෙනුවෙන්ද ඔබට වෙනම මිළගණන් ඉදිරිපත් කල හැක...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

"කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුටම ඩීසල් රැගෙන ආ නෞකාවක් පිළිගැනීම සඳහා වරායට යාමට කාලය තිබීම ගරු ජනාපෙතිතුමාගේ ගතවූ දෙවසරක පාලන කාලය තුල රටේ අනෙකුත් සියලුම ප්‍රස්න විසඳා අවසන්බවට ලැබුනු හොඳම සහතිකයක්නොවන්නේද?" යනුවෙන් පෝට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මේ අතර දිගට හරහට පෝස්ට් පලකරමින් ප්‍රස්න කරති..

ජනාපෙතිතුමා පේල් පේල් පේල් කියා කඩාකප්පල්කාරීන් කොතෙක් හඬ නැඟුවද එතුමා ඉහලිම්ම පාස් බවට මේ වනාහී ඇස් පනාපිට සාක්සි බවද ඔවුහු සඳහන් කරති..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර ඉදිරියේදී ඉන්දියාවෙන් ණයට නොකඩවා ඩීසල් නෞකා කොළඹ වරායට පැමිනීමට නියමිත බැවින් එම නෞකා පිළිගැනීම සඳහා "ඩීසල් නෞකා පිළිගැනීමේ සහ ඉන්දීය තානාපති සමඟ ඡායාරූප වලට පෙනී සිටීමේ කටයුතු භාර රාජ්‍ය ඇමති" යනුවෙන් ධුරයක් පිහිටුවා ඒ සඳහා ඉතාම සුදුසු වියත් මඟෙහි සාමාජිකයෙක් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව තෝරා පත්කිරීමට අටිගරු ජනාපෙති තුමාගේ අටිගරු අවදානම යොමුවී ඇතැයි අටිගරු ජනාපෙති මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Thursday, January 20, 2022

672. පුවක් එෂැණිං - 65 - මැංචෝසන් චාරිකා...




සමාවෙන්න..මේකනම් ඇත්තටම "පුවක් එෂැණිං..." නෙවෙයි "දවස් හත අටකට  පස්සෙ පුවක් එෂැණිං..." වෙන්න ඕන..කොහොම හරි කමක් නෑ "බෙට ලේට් දෑන් නෙවර්..." කියලත් තියන හින්ද ඔන්න ඔහෙ දාල දැම්ම..

ගරු ජනාධිපති තුමා පසුගිය දින සහපිරිවරින්  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටසේ සංචාරය කළේය..

ජානාපෙති මාජ්ජිය පොකාසක කිං සිලී මහතා මේ උත්කර්සවත් අවස්තාව පිලිබඳව මෙසේ ප්‍රකාස කලේය. 

"අපේ රට මේ මොහොතේ දහසකුත් ආර්තික ප්‍රස්න වලට මූන දීලයි තියෙන්නෙ...බොහොම ඉක්මනට රට බංකොලොත් වෙයි කියල ආර්තිම විසේ සඥයො කියනව..එහෙම වෙලාවක ආර්තිකය ගොගදැමීමේ කටයුත්ත තනිවම කරට අරගෙන ඉන්න එතුමා මොහොතකට ඒ කටයුතු අතෑරල මේ වගෙ අදි වේගී මාර්ගයෙ සංචාරය කලේ පොදු මහජනයාට මේ අසීරු අවස්තාවෙ තමන්ගෙ ස්‍රී රූපය දැකල හිත් සනසාගන්ට අවස්තාවක් ලබාදෙන්ට..කොටින්ම කිව්වොත් දිනපතාම එතුමා උදේ පාන්දර ඇහැරිච්චි ගමන් කරන වියායාම වත් නොකරයි ඔන්න මේ ගමන ආවෙ..ආය ඉතිම් වෙන අහවල් කතාද?..ඒ අතින් බලන්න එතුමා කොපමණ ජනහිතකාමී නායකයෙක්ද කියල..එතුමාවන් නායකයින් ජාතී ජාතී වාසනාවන්.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර අදිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති කම්බිදැල් වැටේ එල්ලී එතුමා දැකබලාගැනීමට වාසනාව ලබාගත් මීරිගම කුරුප්පු ආරච්චිලාගේ සාන්ත  බස්තියම් ගොවි මහතා මෙසේ පැවසීය..

"මයෙ කුඹුර මේ පාර විනාසයි..ගන්න දෙයක් නෑ..ඒත් කමක් නෑ...එතුමාගේ හිනා කටක් දකින්න ලැබුන එක මයෙ පූරුවෙ වාසනාවක්..දැක්ක නේද අත වනාගෙන ගිය අපූරුව..තේජවන්තකොම දෙකංසෙං බේරෙනව...ගෑස් පෝලිමේ හිටිය ලොකු කොල්ලයි කිරිපිටි පෝලිමේ හිරිය බාල කෙල්ලයි දෙන්නම එතුමා සම්පරාප්ත වෙනව කියන ආරංචියට ගෑස්, කිරිපිටි යකාට ගියාවෙ කියල දුවගෙන ආව එතුමා දැකබලාගන්ට.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ගරු ජනාපෙතිතුමාට මහජනයා හූ කිව් බව පසුගියදා සමාජ මාද්දිය ඔස්සේ පැතිර ගිය නමුත් ඒ ගල් පැලෙන බොරුවක් බවත් මාජනයා අතර එතුමාට ඇති ගරුත්වය, පිලිගැනීම සහ ආදරය තඹ අලුක්කාල් මංචාඩි කළඳකින් හෝ අඩුවී නොමැතිබව කිසිදු බලකිරිමකින් තොරව ඇඳිවත පවා අහිමිව....සමාවන්න ඇඳිවත පිටින් දිවවිත් එතුමාට තම ගහුරවය පුදකිරීමට අදිවේගී මාර්ගය දෙපස පුල පුලා බලාහුන් මහා උන සන්නිපාතය....සමාවන්න මහා ජන සන්නිපාතය ප්‍රබල සාක්සියක් වන බවත් ජනාදිපති මාජ්ජිය අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ඉදිරියට අදිවේගී මාර්ග ඉදිකරනවිට එහි දෙපස සෑම මීටර් පන්සීයෙන් පන්සීයට එකවර පුද්ගලයින් දහසකට අපහසුවකින් තොරව ජනාපෙතිතුමා නැරඹීම සඳහා රැස්විය හැකි ආවරණය කරන ලද වේදිකා  ඉදිකිරීමට තම අවදානය යොමුවී ඇතැයි මහාමාර්ග ඇමටිටුමා ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය..

එම සෑම ජනාපෙති නැරබුං වේදිකාවක සිට අනෙක්පස ඉදිකරන වේදිකාව දක්වා පහසුවෙන් පිවිසිය හැකි පරිදි අදිවේගී මාර්ගය ඉහලින් ගුවන් පාලමක් ඉදිකිරීමටද තමා අදහස් කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. 

මෙමඟින් අටිගරු ජනාපතිතුමාට යන  ගමනේදී වැඳ ආචාරකොට වහා ගුවන් පාලමෙන් අනිත් පස වේදිකාවට පිවිස ජනාපෙතිතුමා ආපසු එන ගමනේදි නැවත දෙවන වරටත් වැඳ ආචාර කිරීමට මහජනයාට ඉඩ ලැබෙන බවද එටුමා හැඟීම්බරව ප්‍රකාස කලේය. 

"අපි මේ වැඩ පිලිවෙල  කොහොම හරි කරනව..මම ඉන්නකල් මේ අහිංසක මිනිස්සු එතුමාට වඳින්ට පුදන්ට තියන උනන්දුව හින්ද කම්බි වැටවල් අස්සෙං රිංගන්ට ගිහිල්ල අතපය හූරගන්ට නෙවෙයි මයිලකටවත් හානියක් වෙන්ට මම ඉඩ තියන්නෙ නෑ...." එතුමා තව දුරටත් පැවසූයේ දෙනෙතේ නැඟෙන කඳුලු පිසදමමිනි..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

එලෙසම මීරිගම ජනතාව විසින් තමන් වෙත පලකරන ලද ආදර භක්තියට උපහාරයක් ලෙසින් ගම සමඟ පිළිසඳර වැඩසටහන යලි ඇරඹූ වහාම එහි පළමු වැඩ සටහන් හතම මීරිගම අවට ජනතාව සමඟ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙසද එතුමා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර ජනාපෙතිතුමාට නිතර පාර දෙපස පොදි කන මහජනයාට අත වැනීමට සිදුවීමෙන් එතුමාගේ සුරතෙහි ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බව ජොස්තර සංගොමේ සබාපති පාදඩඩෙණිය මහතා පෙන්වා දී ඇත. ඊට පිළියමක් වශයෙන් බොත්තමක් තද කලවිට යාන්ත්‍රික අතක් එලියටවිත් මහජනයාට අත වනන තාක්සණයක් අඩංගු රථයක් නිපදවා සිරී ලම්කාවට එවීමට රේන්ජ් රෝවර් කොම්පැනියට ඇනවුම් කීරිමට අවස්ය කටයුතු කෙරෙමින් පවතින බව ජනාපෙති මාජ්ජිය පොරකාසක මහතා පැවසීය..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර නාගධාතු සාමග්‍රී දර්ම සංග සබාව පසුගියදා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මහජනතාවට අත වනමින් අදිවේගී මාර්ගයේ එතුමා කල මේ සංචාරයට උපහාර ලෙස "අදිවේගීමාර්ගාදීස්වර හස්ත මෝචන ගවුරාවාබිදාන" නම්බුනාමය එතුමා වෙත පිලිගැන්වීමට තමන් අදහස් කරන බවයි...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...