Thursday, February 7, 2013

160. එක්තරා දඩයක්කාරයකුගේ කතාව.........The Saga of A Hunter....32


සැඳෑ හිරුගේ රත්වන් ආලෝකය මද අඳුරක ගිලීයමින් තිබූ වනස්පතියෙහි පරිශාඛාවන්ගෙන් සීමා නිර්ණයවූ මණ්ඩපයක් වන් භූමි භාගයට වැද එතුල විහිදවූ ආලෝකය මධ්‍යයේ ඒ අපූර්ව පුරුෂයා නිසොල්මනේ හිඳ සිටියේය. දඩයක්කාරයාගේ විවරකල දෙනෙතට එක්වරම ඒ රූපකාය දර්ශනය වූයේ මණ්ඩපය තුල දසත පැතිරි ආලෝකය ඉන් විහිදෙන්නාක් මෙනි. 

අඳුරු කසාවත් හැඳි ඒ අපූර්ව පුරුෂයාගේ පියවුණු නෙත් යුග කෙරෙහි ඇසිපිය නොහෙලා දඩයක්කාරයා බලාසිටියේ ඉහලට ගත් හුස්ම පහළට හෙලීමට පවා අමතක වූ ලෙසිනි. එලෙස අනිමිස ලෝචනයේ යෙදී හුන් ඔහුගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ඔහුටද නොදැනීමය. 

කෙමෙන් දෑස් පියවී යන්නා හා සමඟම දඩයක්කාරයාගේ සිතෙහි සියළු ඉම්පෙදෙස් සිසාරා පැතිර යන්නට වූයේ මහත් සුවදායක එමෙන්ම සුපසන්වූ හැඟීම් සමුදායෙකි. සිත සියළු සිතුවිල්ලෙන්, සංවේගජනක හෝ තෘප්තකර වෙනසක් නොමැතිව සියළු සිතුවිල්ලෙන් විනිර්මුක්තවූ අවස්ථාවක් පිළිබඳව මොහොතකට සිත යොමු කල මැනවි.එවන් අවස්ථාවක් පිළිබඳ උපකල්පනය පවා උභතෝකෝටික ගැටළුවක් බව මම දනිනි.ඔබ එවන් අවස්ථාවක් සිතට නඟාගැනීමට තැත් කිරීමම හුදෙක් සිතෙහි යම් සිතුවිල්ලක් හට ගැනීමට හේතුවේ.එසැණෙන් සිත සියළු සිතුවිලිවලින් විනිර්මුක්ත කිරීමේ කොන්දේසිය බිඳ වැටෙනු ඇත. 

එසේමය .සියළු බැඳීම් වලින් තොරවූ ඒ උත්තරීතර තත්වයට පත්වීමෙහි පලමු පියවර වූ සිත කිසිදු සිතුවිල්ලකින් තොරව පවත්වාගැන්ම කිසිසේත් පහසු කාර්යයක් නොවේමය. 

දඩයක්කාරයා ප්‍රත්‍යක්ෂ කලේ එවන් අනුභූතියක මූලික අවස්ථාවකි. එසේ වූයේද බොහෝ දුරට දියුණු කල තවත් සිතක මඟ පෙන්වීම මතය. තම සිත නියාමනය කරමින් ඊට මාර්ගෝපදේශකත්වය සපයන්නාවූ විශිෂ්ඨ වූ මනසක බලපෑම යටතේ දඩයක්කාරයාගේ සිත නිවී පහන්ව ගියේය. 

ඔහු සය හෝ සත් හැවිරිදි කුඩා දරුවකුව සිටියදී මෑණියන්ගේ අකල් මරණයෙන් පසු පියාණන්ගෙ මඟ පෙන්වීම යටතේ සිත් කියවීමෙහි මෙන්ම වදනින් තොරව සිතුවිලි මඟින් අදහස් හුවමාරු කර ගැන්මෙහි තාක්ෂණය සහ ක්‍රියා පටිපාටිය උගත්තේය. වෙනත් ඕනෑම ශාස්ත්‍රයක් මෙන්ම එහිද නිපුණත්වය රඳා පවතිනුයේ හුදෙක් සතතාභ්‍යාසය ( නිතර පුරුදු පුහුණු කිරීම - Constant practice ) මතමය. එසේ හෙයින් පියාණන්ගෙ අභාවයෙන් පසු ඒ නිපුණතාව ඒ හැකියාව කෙමෙන් දඩයක්කාරයා කෙරෙන් ගිලිහී ගියේය. යලිදු ඒ පිළිබඳ අංශුමාත්‍රක වූ සොඳුරු මතකය නාඳුනන අපූර්ව පුරුෂයාගේ මඟ පෙන්වීම ඔස්සේ දඩයක්කාරයාගේ සිතට වන්නේ ඔහු සිත මහත් වූ ප්‍රමෝදයකින් පුරවා ලමිනි. 

අඳුරු පඬුපැහැ වස්ත්‍රාධාරී ඒ අපූර්ව පුරුෂයා සහ දඩයක්කාරයා අතර වූ අන්තර්ක්‍රියාවන් බොහෝ කොටම සිදුවූයේ සිතුවිලි මාර්ගයෙනි. දෑස් ලිහිල්ව පියාගත්වනම එකිනෙකා ඉදිරියේ බද්ධ පර්යංකයෙන් ( cross legged ) හිඳ සිටිනා ඔවුහු වදනින් අන්තර් ග්‍රහණය කොට ගැනීමට වඩා වේගයෙන් එමෙන්ම පැහැදිලිව තම අදහස් සිතුවිලි මාර්ගයෙන් බෙදා ගත්තෝය. 

අවම වශයෙන් දෙදිනකට වරක් හෝ මේ ප්‍රමෝදජනම එමෙන්ම සිත් සනහාලන සුළු චිත්ත සංවාදයනට සහභාගී වීම උදෙසා වාළිඹේගල ගිරි හිස තරණය කිරීමට දඩයක්කාරයා අමතක නොකලේය. ජීවිතය පිළිබඳ ඔහුගේ සිත තුල වද දුන් ගැටළු බොහොමයකට තෘප්තිමත් විය හැකි අයුරු පිළිතුරු මේ සංවාදයන්හිදී දඩයක්කාරයාහට ලැබිණ.එසේ වූ හෙයින් අන් කවරදාකටත් වඩා ඔහු ජීවිතය පිළිබඳ උපේක්ෂාසහගත වූයේය. 

දඩයක්කාරයා තුල ඇතිවූ මෙම වෙනස පිළිබඳව යම් අවබෝධයක් සුද්දියට ඇතිවිනිද යන්න අපැහැදිලිය. එසේවූවද ඈ ඒ පිළිබඳව නාමමාත්‍රික වූ ඇඟවීමක් පවා කිසිසේත්ම නොකළාය. 

බොහෝ කලකට ප්‍රථම ජීවිතයේ අරුණෝදයෙහිදී මනා කොට ප්‍රගුණ කල නමුදු ඉනික්බිති ඔහු කෙරෙන් ගිලිහුනු අන්‍ය සිත් කියැවීමෙහි පරිචය ඒ භාවනානුයෝගී යතිවරයාණන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ සහායෙන් සති කිහිපයක් තුල දඩයක්කාරයා යලි උගත්තේය. 

එහෙත් පළමුව යතිවරයාණෝ සිත් කියැවීමෙහි පරිචය යලි ලබාගැනිමෙහිලා දඩයක්කාරයාහට සහාය දැක්වීමට එපමණ උනන්දුවක් නොපෙන්වූවෝය. 

" දරුව...ජීවිතයේ අපට අවශ්‍ය බොහෝ දේ මෙන්ම අනවශ්‍ය බොහෝ දේ ද ඇත.හැකියාවන් පිළිබඳවද ඒ ධර්මතාවය එළෙසම සත්‍යය වේ.ප්‍රමුඛතාවය නොදිය යුතු එමෙන්ම අර්ථයකට වඩා අනර්ථයක් වන ආකාරයේ පරිචයන් ප්‍රගුණ කිරීම බොහෝ විට අනතුරු දායක විය හැකිය. අනුනගේ සිත් කියැවීමෙහි හැකියාව බොහෝ විට ද්විත්ව මුවහතින් යුතු තියුනු සැතක් දැරීම හා සම විය හැකිය.ඉන් සැත දරා සිටිනා ඔබගේ හස්තයම අනතුරට පත්වීමෙහි හැකියාව පිළිබඳවද බොහෝ සේ ප්‍රවේශම් විය යුතුය. " 

මේ ඊට හේතු විමසූ කල දඩයක්කාරයා ලද පිළිතුරයි.එහෙත් කුඩා අවදියේ ඔහු සතුව තිබූ ඒ අපූර්ව හැකියාව යලි ලබා ගැන්මට දඩයක්කාරයා මහත්සේ ඇළුම් කලේය. 

ඒ හැකියාව ඔහු ක්‍රමයෙන් ප්‍රගුණ කලේ ප්‍රථමයෙන් තිරිසන් සිත් කියවීමෙනි. එහෙත් කිසි දිනෙක ඔහු දඩයමක් කිරීමට ප්‍රථම උපහටයා ( Victim ) ගේ සිත කියැවනු වස් තැත් නොකලේය. 


මිනිස් සිතකට පිවිසීමෙහි හැකියාව තමනට ඇතැයි උදක්ම හැඟුනු ඉක්බිති ඔහු එක් අහස වැහි වළාවන්ගෙන් මුළුමනින්ම වැසී අඳුර දසත රජ කරමින් තිබුණු දිනයෙක පිල් කඩෙහි දිගඇදුනේ ගෙතුල දරුවන් දෙදෙන පරක් කරමින් හුන් සුද්දීගේ සිතට ප්‍රවේශ වනුවස් තැත් කළේය. 


මතු සම්බන්ධයි........ 

Tuesday, February 5, 2013

159. මැදියමට මොහොතකට පෙර....Just before midnight



නෙතඟක රැඳුනු කඳුලක පිණි බිඳ දියවී, 
විහඟක තුඩක නොව ඇසිපිය යට බොඳවී, 
තුඩඟක කුරවි කෙවිලිය ගැයු ගී සිරවී, 
අඟනක ලසෝ ගීතය සවණත රැව්දී, 


හදවිල දවන සහසක් ගිනිදැල් ඇවිලී, 
රන්සිල දැල්වුනේ කඳුලින් තිර දැල්වී, 
හිත්මල මතින් නිරතුරු පිණිබිඳු ගැල්වී, 
මැදියම නොනිද ඉමි සකුණක ගී ඇසිණී, 


සසරක ඉමක නොව මේ අත්බැව් අගදී, 
කතරක ගමන දුක් කරදර පොදි බැඳදී, 
කිහිරක ගින්න හදතුල ඇවිලුනි එසඳී, 
මිහිරක මතක සිහිනෙන් ගෑ සුවඳ විඳී, 


අහසක බසින හිරු ඇඳි රත් පැහැ වියැකී, 
කඳුලක දිලුනු තරු කැට නෙතු යුග තනිවී, 
මතකෙක රැඳුනු සොව පිණිබිඳු ලෙස පහවී, 
දවසක පිපෙනු ඇත සෙනෙහේ මල් පිබිදී,

Wednesday, January 30, 2013

158. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....31

 
විසල් වූ වාළිඹේගල ගිරිහිස දඩයක්කාරයාගේ දර්ශන පථය සිසාරා නැඟී සිටියේ තම ශක්තිය පිළිබඳ දෘඩතර සහ නොසැළෙන විශ්වාසයකින් යුතුව, කිසිවක් හෝ කිසිවෙකු කෙරෙහි තැකීමකින් තොරව අනන්තය දෙස යොමුවූ දෙනෙතින් යුතුව මිහිමත එරමිණිය ගොතා හිඳ සිටිනා යෝධයකු පරිද්දෙනි. කෙමෙන් අස්තගත හිරුමඬලෙන් නික්ම තැන තැන රැකවලුන් මෙන් පිහිටි විසල් ගල්කුළු රත්පැහැයෙන් වර්ණ ගැන්වූ රත්වන් සැඳෑ හිරුරැස් පහස විඳිමින් ඔහු වාලිඹේගල මස්තකය වෙත ලඟාවෙමින් සිටියේය.

මෙතෙක් සුළඟේ තීව්‍රතාව සහ හමාඑන දිශාව අනුව අඩු වැඩි වෙමින් කඩින් කඩ ඇසුණු ඒ ළයාන්විත ගීත රාවයක් වන්වූ හඬ අනවරතව ඇසෙන්නට වූ අතර දඩයක්කාරයා පසුකොට යන වන පියස කිසිදු සත්ව හඬකින් හෝ තොරව දැඩි නිශ්ශබ්දතාවයෙහි නිමග්නව පැවතීම අපුර්ව වන්නා හා සමඟම ඔහු සිතට මින් පෙර කිසිදිනෙක නොවූ වීරූ ගුප්තමය හැඟීමකින් පුරවාලීය.

අවසන හිරු බැසයාමට අඩ හෝරාවකට පමණ පළමු දඩයක්කාරයා ගිරිහිස මස්තකයට මඳක් පහලින් පිහිටියාවූ නොයෙක් හැඩයෙන් යුතු ගල් කුළුවලින් රැසකින් ගැවසීගත් කුඩා තැනිබිමක් වන් වූ එතැනට ළඟා වූයේය.එහි කෙළවරෙක ඉදිරියට නැමීගත් ගල් පියස්සෙක සෙවණේ ඒ සුවිසල් ගල් ගුහාව පිහිටියේය.

අරමුණකින් තොරව ඉබාගාතේ වනයේ ඇවිද යන කල්හි කිහිප වරක් දඩයක්කාරයා මේ තැනිබිමටද පැමිණ ඇත. අවසන් වරට ඔහු මෙතැනට පැමිණියේ මීට වසරකට පමණ පෙර බව දඩයක්කාරයාට හදිසියේම සිහිවිය.එදවස මේ ගල් ගුහාව දිවි දෙනකගේ නිවහන විය.එදිනද මෙසේම සැඳෑ හිරුගේ රත්පැහැ කිරණ පසුබිම්කොටගෙන දිවිදෙන තම පැටවුන් හා කෙළිදෙලෙන් ගුහාව අභියස වැතිර හිඳිනා අයුරු සෙල් පිලිමයක් සේ නිසලව නුදුරින් වූ ගල් කුලක් මත හිඳ බොහෝ වේලාවක් බලාහුන් මතකය දඩයක්කාරයාගේ සිත පහන් කලේය.

ඒ ගීතමය සජ්ජායනාව නික්මෙනුයේ නිසැකවම ගල් ලෙන අභ්‍යන්තරයෙන්ම බව ඔහුට පසක් වූයේ ඔහු පියවර තබනා වේගය මඳක් බාල කරවමිනි.ජීවිතයේ කිසි දිනෙක මින් පෙර නෑසූ විරූ ඒ ලයාන්විත ගායනය ගල් ලෙන අභ්‍යන්තරයේ පැන නැංගේ කුඩා තැනිතලාව සිසාරා ගලා ගොස් පහළ තුරු මුදුන් පමණක් කෙමෙන් දැඩි වන්නාවූ සැඳෑ අඳුර අතරින් යන්තමට දිස්වන මහ වන පියස එකනින්නාද කොට මැකී ගියේය.

ගල්ලෙන වඩාත් ආසන්නයට ළඟාවීමට කිසියම් චකිතයක් වන් හැඟීමක් හේතුකොටගෙන පැකිලුනු දඩයක්කාරයා ඒ තැනි බිම්කඩෙහි ගල්ලෙන් ද්වාරය එක එල්ලේ පියවර පන් තිසක් පමණ මොබ්බෙන් වූ හාත්පස පැතිරගිය හරිතවන් පත්ගොමුවෙන් හා අහසට නැඟුනු මහත්වූ ශාඛාවන්ගෙන් නික්ම පොළොව කරා එල්ලුනු පරිශාකාවන්ගෙන් සැදුම්ලත් මහ නුග රුකක් සෙවනෙහි උක්කුටිකයෙන් හිඳගත්තේ දෙදණ මත රඳවා ගත් දෑත් ඇතිව ඒ අපූර්ව ගායනයට මහත් උනන්දුවෙන් යුතුව සවන් දුන්නේය.

ඒ ලයාන්විතවූ ගායනයෙහි පැවති ගාම්භීරතාව දඩයක්කාරයාගේ සිත නොයෙක් අපූර්ව සිතුවිල්ලෙන් පුරවාලීය. ඉන් මෝහනයත් මානසික භ්‍රාන්තියත් අතර වූ තත්වයක් කෙරෙහි ප්‍රවේශවූ හෙතෙම කාලය ගතවන බව පවා නොදැන එලෙසම නිසොල්මන්ව නුග ගස සෙවණේ ඇණ තබාගත්වනම හුන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පවා මොහොතකට අමතක කරමිනි.

එසේ ගෙවීගිය කාලාන්තරයකට පසු දඩයක්කාරයා එක්වනම අවදිවිය. තමන් පත්ව හුන් සම්මෝහයානුරූප තත්වයෙන් එක්වරම මිදීමට හේතුවූ කරුණ එකෙනෙහිම ඔහුට පැහැදිලි වූයේය. මුළුමහත් වන පෙත පුරා පැතිර පැවතියේ දැඩි නිහඬ තාවයකි.ගල්ලෙන් ද්වාරයෙන් නිකුත් වූ සජ්ජායනාව නැවතී තිබිණි.ඒ දැඩි නිහඬතාවය දඩයක්කාරයා අවදි කරවූයේය. හේ එළෙසින්ම ඇණතබාගත්වනම තවත් කාලයක් ලෙන් ද්වාරය දෙස බලාගත්වනම පසුවිය.කෙමෙන් නිහඬත්වයේ ගැලී තිබි වනපෙත යලි සක්‍රිය වන්නට වූයේය.වවුලකු හෝ එවන් වෙනත් නිශාචර පක්ෂියකුගේ තටු සැළීම නුග ගසේ ඉහල අතු අතරින් ඇසුණි.යටි වන බූටෑවෙහි සාවකු වන් තවත් කුඩා සත්වයකු සක්මන් කරද්දී නැඟෙනා පරඬැල්යටිපහු වන හඬ නොනවත්වා ඇසෙන්නට වූයේය.

දඩයක්කාරයා නැඟිට සිටියේය.

තවත් එක් වරක් ගල්ලෙන් ද්වාරය දෙස බලා අඳුරේම නුගගස සෙවණෙන් බැහැර වූයේ ගල්කුළු අතරින් විහිදී ගිය මාවත ඔස්සේ තැනිතලා බිම් කඩෙන් බැහැරව කන්ද බසින්නට වූයේය. අවසන් වරට ගල් ලෙන දෙස බැලූ විට එතුල යන්තමින් දැල්වෙනා කසාවන් ආලෝකයක සේයාව ඔහු නෙත ගැටුනු බවට ඔහු සිත තුල සැකයක් වූවද දඩයක්කාරයා ඒ පිළීබඳ වැඩිදුරටත්නොසිතුවේය. ඔහු වනය හරහා වැටුනු මඟ ඔස්සේ ගමන් කලේ බොහෝසේ කල්පනාකාරීවය.ජීවිතයේ වෙන කිසිදු සිදුවීමකට ආසක්ත නොවූ අයුරු අද දින මේ සිදුවූව ඔහුගේ සිත ඇදගෙන තිබිණි.

පිළ මත වැතිරගත්වනම ගෙතුලින් නැඟෙන කුඩාවුන් දෙදෙනගේ නිදි දෙඩවිලි ද අසමින් බොහෝවේලා නිදිවර්ජිතව හුන් දඩයක්කරයාගේ සිත පුර්ණ වශයෙන් පිරී තිබුණේ වාළිඹේගල මස්තකයෙහිදී ඇසූ චිත්තාකර්ෂණීය සජ්ජායනයෙනි.

ඉන්පසු එළඹි දින කිහිපය මුළුල්ලේම දඩයක්කාරයා ඉතා කාර්ය බහුල විය. වැඩෙන වයසේ පසුවන දරුවන් දෙදෙනා සහ ඇඹේණියගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම ඔහුගේ යුතුකම වූවා මෙන්ම හේ කිසිදිනෙක ඒ පැහැර නොහැරීමට ද වගබලා ගති.පසුදින දඩයමක යෙදීම උදෙසා ඔහුට හීංඇළ ඉහත්තාවේ කෝන්ගස්කඩ ඉක්මවා හූහඬ තුනක් පමණ දුරින් පිහිටි ඉළුක් තලාව තෙක් ගමන් කිරීමට සිදුවූයේය.කාණු දෙකේ නවතම තුවක්කු රැගෙන දඩ මස් සොයමින් මුහුදුබඩ සෙයිලමේ සිට පැමිණෙන සත්ව ඝාතකයින්ගෙන් වාළිඹේගල අවට වනගහණයට කිසිදු අඩුවක් නොවීම ඊට හේතුවිය.

ඉළුක් තලාවෙහි රැකසිට ගෝන නාම්බකු දඩයම් කොටගත් දඩයක්කාරයා එදින මුළු රාත්‍රිය ද පසුදින උදේ වරුව ද එහිම ගෙවා දැම්මේ හමගසා තීරු කපාගත් ලේ වැකි මස් මැස්සක් බැඳ වියලා ගැන්මටය.

ගම්මානය කෙලවරක තම වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ඝණව වැදුනු බැම සඟලකින් සහ නිරන්තරව අඩක් වැසුණු දෙනෙතින් යුතුවූ දක්ෂිණ දිශාවේ සිට ආගමනිතයා පිළිබඳ ඔබගේ මතකය නැවත අළුත් කරගත මැනවි, මා ප්‍රිය සොයුර / සොයුරිය.

ඔහුගේ වෙළඳ ව්‍යාපාරය මේ වන විට බොහෝ දියුණු තත්වයකට පත්වී තිබිණි. ආසන්නයේම වූ මුහුදුබඩ නගරයට වියළි මස් සැපයීමේ ඒකාධිකාරිය නිතැනින්ම හිමිකරගෙන සිටි අඩවන් වූ දෙනෙතින් යුතු තැනැත්තා තමනට සහය පිණිස තම තරුණ පුත්‍රයා ද කැඳවා ගත්තේය. පාරිභෝගිකයින් හා සමඟ ගණුදෙනු බොහෝ විට ඉටු කෙරුණේ යොවුන් වියේ පසුවූ උක්ත තරුණයා අතිනි.

ගින්නෙන් හොඳින් වියළාගත් මස් තීරු රැසක් සවිමත් පට්ටා යොදා තදින් බැඳ ඒ කොළ පිරිවැස්සක දවටා ඒ උරමත තබාගත් දඩයක්කාරයා දෙවන දින ඉර හැරෙන්නට පලමු ගෙපැල වෙත ළඟා වූයේය.

දඩයම් කල ගෝන හෝ මුව ගාතයක් හෝ දෙකක් එසේත් නොමැත්තේනම් වියළාගත් මස් තීරු මිටියක් රැගෙන අවශ්‍ය කලහලමනා ඒ හිලව්වට රැගෙන එනු පිණිස ඝනව වැඩුණු ඇසි බැම ඇත්තාගේ වෙලඳ සල වෙතට යාම මීට වසරකට පමණ පෙර සිට දඩයක්කාරයා නවතා දැමීය. ඊට හේතු වූයේ දරුවන් උස් මහත් වත්ම ඔවුනට අවශ්‍ය වන්නේ කුමක්ද පිළිබඳව ඔහුට වඩා දැන සිටිනුයේ සුද්දී බැවින් ඒ කාර්ය භාරය නිතැනින්ම ඇය වෙත පැවරීමය. මුල් වර හෝ දෙවර දඩයක්කාරයද ඈ සමඟ වෙළඳ සල වෙත ගිය නමුදු පසුව දරුවන්ගේ අවශ්‍යතා කෙමෙන් වැඩි වත්ම වෙළඳ සල වෙත යායුතු වාර සංඛ්‍යාව ද ඒ හා සමඟම සමානුපාතිකව ඉහල ගියෙන් පසුකාලීනව ඇය තනිවම ඒ කටයුත්තෙහි යෙදුනීය.

මෙදිනද ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුව රැගෙන ආ මස් පිරිවැස්ස නිවෙස එලිපත්තෙහි හිඳ කුඩාවෙකුගේ ඇඳුමක් එලලමින් හුන් සුද්දී අසල බිම තැබූ දඩයක්කාරයා අනතුරුව කඩුල්ල අසල වැල්ලෙහි කෙලි දෙලෙන් පසු වූ දරුවන් දෙදෙනා අසල නතරව මොහොතක් ඔවුන් දෙස සෙනෙහස පිරි දෙනෙතින් බලා හිඳ පහත්ව ඔවුනගේ හිරු රැසින් රත්ව ගිය හිස් සෙමෙන් අතගා කඩුල්ලෙන් පැන වනයට පිවිසියේය.

දඩයක්කාරයාගේ දෙපා යොමුවූයේ කුමන දෙසකටද යන්න ඔබට කිසිසේත්ම වෙසෙසින් පැවසිය යුත්තක් නොවන වග මම අතැඹුලක් සේ දනිමි, ප්‍රිය සොයුර / සොයුරිය..ඒ එසේමය. ඔහු දෙපා නිරායාසයෙන්ම යොමු වූයේ වාළිඹේගල ගිරිහිස දෙසටය.

ගිරි හිස පාමුලට ලඟාවනු හා සමඟම අවට වන පියස හාත්පස වසා පැතිරගත් අසාමාන්‍ය නිහඬතාව ඔහු සවන් පතිත වූයේ යම් සංඥාවක් ද නිරායාසයෙන්ම මනසට ලබා දෙමිනි. එසේමය. ගිරිහිස කරා නැග්ම අරඹා නොබෝ වේලාවකින් ඔහුට ඒ ලයාන්විත මෙන්ම ගාම්භීර වූ ගායනය / සජ්ජායනය ඇසෙන්නට වූයේය.

වරින්වර සුලඟේ දිශාවෙහි වෙනස අනුව තීව්‍රතාවය උච්චාවචනය වන සජ්ජායනා හඬට සවන් යොමාගත් වනම බිමටම යොමුකොටගත් නෙතින් ද යුතුව ගිරිහිස වූ තැනිබිම වෙත ලඟාවූ දඩයක්කාරයා පෙර දින ඔහුට සුපුරුදු වනස්පතිය සෙවණෙහි ඇණ තබා හිඳ ගත්තේ දෑස ද පියාගනිමිනි.

පළමු දින මෙන්ම මෙදින ද සුපුරුදු සම්මෝහයෙහි ගැලී කාලය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව ගත වූ කලාන්තරයකින් පසුව එක්වරම දඩයක්කාරයා දෑස් විවර කලේය.

විවර වූ දෑසට ලක්වූ ඒ අපූර්ව දර්ශනයෙන් විස්මයාවහ වූ ඔහු එදෙස බලා සිටියේ ඇසිපිය හෙලීමට පමා අමතකවූ පරිද්දෙනි.

ගිරිහිස පිහිටි තැනිබිම පිළිබඳ මවිසින් මීට පැවසූව මතකයට නඟා ගන්න.එහි එක් අන්තයක පිහිටි දැවැන්ත වනස්පතිය ද එලෙසම ඔබගේ මතකයට නඟා ගන්න. දඩයක්කාරයා හිඳ සිටියේ මේ වනස්පතිය සෙවණෙහිය. වනස්පතිය පසුබිම් කොට බැසයන මලහිරුගේ රත්වන් රැස් ධාරාවෝ උස්ව වැඩුණු අතුපතරින් ඉපිද පොලව කරා ඇදී ආ පරිශාඛාවන්ගෙන් වටවුනු මේ අඩක් ආවරණිත ලතා මඬුල්ලක් වැන්න අද්භූත සහ ගූඪ ආලෝකයකින් පිරවූවෝය.

ඒ විසාරිත ආලෝකයෙන් නැහැවෙමින් ඔහු ඉදිරියේ පිහිටි ශෛලමය වේදිකාවක් වන් ගල් තලාවක් මත බද්ධ පර්යංකයෙන් වැඩ සිටියේ ආරෝහ පරිණාහ සම්පන්න රන්වන් දේහයකින් යුතු අඳුරුවන් කසාවතක් ඒකාංශ කොට වම් දසරුව වසා හැඳි ප්‍රසන්න පෙනුමැති පුරුෂයෙකි.


මතු සම්බන්ධයි........


Monday, January 28, 2013

157. කෝසල සිහින - සතළොස් වැන්න


පසල් දනව්බද වාර්ෂික චාරිකාවෙහි සතියකට අධික කාලයක් මුළුල්ලේ නියැළුණු පසේනදී කොසොළ් රජ තෙමේ සාවත්‍ය නුවර බලා පෙරළා පැමිණියේ අධික විඩාව කරණ කොටගෙන රාත්‍රි භෝජනය නිමකල වහා සිරියහන් ගැබට වැද නින්දට වන්නේය. 

එහෙත් රජ තෙමේ රාත්‍රියෙහි පශ්චිම භාගයෙහිදී මහත්සේ බියපත්වැ දහදිය වැකුනු සිරුරැතිව නින්දෙන් අවදිවූයේ සයනයෙහි හිඳගත්වනම උකටලීවැ දෑත් හිසෙහි ගසාගත් වනමැ බලා සිටියෝය. 

එකල රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකාවෝ ද සිය සමුණානන් නිදි වර්ජිතව බලවත් සේ වික්ෂෝපශීලීවැ හිඳිනු දුටුවේ වහා නැඟී සිට පියා මෙසේ විචාලෝය. 

'' මා ප්‍රිය හිමියනි. ඔබ කුමන හෙයින් මේ පශ්චිම යාමයෙහි නිදි වර්ජිතවැ පසුවන්නෝ වේදැයි '' මහත් වූ සෙනෙහසින් යුතුව විමසුවෝය. 

එකල්හි රජ තෙමේ මහත් බිය රැඳි නෙතින් යුක්තවැ මල්ලිකාවන් අමතන්නේ මෙසේ පැවසුවෝය. 

'' මින් පෙර මවිසින් දක්නා ලද සොළොසක් වූ ස්වප්නයෝ තොපට මතක ඇතැයි සිතනෙමි. මා ප්‍රිය දේවිය. මෙවර මවිසින් දක්නා ලද්දේ ඒ සියළු ස්වප්නයන්ට වඩා බියකරුවූ ස්වප්නයෙකි. අහෝ, බලනු මැන ..ඒ සිහිවන කල්හි පවා මා සියොලඟ රොමෝද්ගමනය වන අයුරු..'' 

මෙසේ පවසා උදක්මැ මහත් අසරණ විලාශයෙන් මල්ලිකාව දෙස බලා සිටියාහුය. 

එකල කොසොල් රජුගේ බිය දුරු කරනු වස් මල්ලිකාවෝ මෙසේ සැනසුම් බස් තෙපලූයේ උන් අස්වසාලීය. 

'' නොබා හිඳිනු මැන මහ රජතුමනි, පෙර දුටු ස්වප්න සොළොස විභාග කොට ඒ පිළිබඳ නිසි තතු ඔබට සැලකොට ඔබේ අස්ථාන භීතිය තුරන් කලෝ ලොව්තුරා බුදු රජාණෝය. එතුමෝ මෙවරද ඔබට සරණ වනු සැකයෙක් නැති. හෙට දින උදෑසනක්ම දෙව්රම් වෙහෙරට ගොස් එතුමා බැහැදැක මෙපවත් පවසනු මැන. එතෙක් සිතෙහි කනස්සළු උදෑසන නැඟෙන ළහිරු රැසින් මිහිදුම් පහවයන්නාක් මෙන් දුරුකොටැ සුවසේ සැතපෙනු මැනැව '' යයි සෙනෙහස් පෙරදැරි කොටමැ පැවසූහ. 

කොසොල් රජ තෙමේ නින්දත් නොනින්දත් අතර රාත්‍රියෙහි ඉතිරිය ගෙවාදැමූයේ උදෑසන අහර කිස නිමකල වහා රාජ සභාවට හෝ සහභාගී නොවූයේ ශ්වේත වර්ණයෙන් බබලන්නාවූ අසුන් සිව් දෙනෙකු යෙදූ සිය රාජකීය රථයට පැන නැංගේ එකෙණෙහිම දෙව්රම් වෙහෙර බලා පිටත් වූවෝය. බුදුන් වහන්සේ උදෑසන අහර වැළඳීම නිමා කොට ධර්ම ශාලාවෙහි වැඩ හිඳ පෘථග්ජනයින්ට පැණනැඟෙනා ධර්මය සමබන්ධ වූ කුකුස් විසඳීමෙහිලා යෙදෙමින් උන්නෝය. අනඳ තෙරුන්ගේ අවසරයෙන් එහි පිවිසි කොසොල් රජතුමෝ බුදුන් නැමද පසෙකට වී එකත්පස්වැ හිඳ සිටියෝය. උන් උකටලී මුහුණ දුටු බුදු රජානෝ මන්දස්මිතියක් පාමින් මෙසේ විචාලෝය. 

'' කිමෙක්ද මහරජ?..තොප කිසියම් සිත් තැවුලෙකින් පෙලෙන බවක් හැඟෙයි. නොවලහා පවසනු මැන...තොප සිත් පෙලන කාරණය… '' 

මෙසේ බුදුන් වහන්සේගෙන් අවසර ලද රජ්ජුරුවෝ සිත් දිරිගෙන යලිදු දොහොත් මුදුන් දී නමස්කාර කොට මෙසේ පැවසුවෝය. 

'' ස්වාමීනී. ඊයේ රාත්‍රියෙහි ඉතා භයානක සිහිනයෙක් දුටුවෙම්. ඒ මොහොතේ පටන් මාගේ රාජ්‍යයට යම් විපතක් දෝයි සිත් කනස්සසල්ලෙන් පසුවෙම්හ. ඔබ වහන්සේ මින් පෙර සිහින සොළොසවිසඳා මා සිත් තැවුල් දුරු කල ලීලායෙන් මෙවරද මසිත් සහහාලන බවට වූ අචල විශ්වාසයෙන් උදෑසනම ඔබ තුමන් බැහැදැකීමට පැමිණියෙමි. '' 

එසඳ බුදුන් වහන්සේ සුරත ඔසවා රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

'' බිය නොවන්න, මහ රජතුමණි, නොවලහා පවසනු මැන ඔබ දර්ශනය කල ඒ ස්වප්නය. '' 

'' එසේය ස්වාමීණී..නොයෙක් වෙසින් යුතු රුදුරු සතුන් රැලක් මම දුටුවෙමි. ඔවුහු කුමන වර්ගයකට අයත්වන්නේද යන්න අවිනිශ්චිතය.එහෙත් ඔවුහු මහා භයංකර ගර්ජනා කෙරෙමින් දුටු දුටුවනට කඩා පනිමින් ඉතා රුදුරුව හැසිරෙති. මහජනයාගෙන් බහුතරයක් උන්ගේ විප්‍රකාර නරඹමින් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නාහ. එසේම ඔවුන් හා එක්වැ ඔවුන් පසුපස යමින් පිලී හිස සිසාරවමින් අනුග්‍රහ දක්වන්නාහ. මේ විප්‍රකාර පිළිකෙව් කරනා වූ සුළුතරය කිසිවක් කරකියාගත නොහැකිව උකටලීවැ බලා සිටින්නාහ. මෙවන් ක්‍රියාවන් වැළක්වීම තම රාජ කාර්යය වූ ආරක්ෂක රාජ පුරුෂයෝ ද මොවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නාහ. රට කරවන පාලකයෝද අවස්ථානුකූල වාසි තකා කිසිත් නොකොටැ උදාසීනවැ බලා සිටින්නාහ. ස්වාමීනී, මේ මාගේ රාජ්‍යයට පැමිණෙන යම් විපතක පෙරනිමිති වේ දෝයි සිතා කනස්සලු වන්නමෝදැයි '' පවසා සිටියෝය. 

එකල්හි බුදුන් වහන්සේ කෝසල රජුන් අමතා මෙසේ වදාලෝය. ඒ කෙසේද යත්., 

'' නොබා හිඳිනු මැන මහ රජ තුමනි, ඔබට බියවීමෙහිලා කිසිදු කරුණක් නැත්තේමය.මේ ඔබට හෝ ඔබගේ රාජ්‍යයට වන විපතක පෙර නිමිති නොවේ. බොහෝ කලක් ඇවෑමෙන් මේ දඹදිව ආසන්නයේම අනෙක් රාජ්‍යයක සිදුවන්නකි. මගේ ධර්මය සුපිරිසිදුව පවත්නා එකම දේශය ඒ බවට කටමැත දෙඩූවද ඒ දේශයෙහි එදවස පවතිනුයේ කිසිලෙසකින්වත් මවිසින් වදාල ධර්මය නොවේ.පාලකයෝ තමනට රිසි පරිදි රිසි දේ කරති. තමන් පත් කරන ලද්දේ මහජනයා විසින් බව අමතක කොට ලාපියා තම සුඛ විහරණයම උදර පෝෂණයම මුඛ්‍ය පරමාර්ථ කොට ගත්තේ මුළු මහත් දේශයම කෙළි මඬලක් සේ සලකා කටයුතු කරන්නාහ. '' 

'' පාලකයින් යහ මඟ යැවීමෙහි කාර්ය භාරය හිමි පැවිද්දෝ ලාභ ප්‍රයෝජන යාන වාහන ආදී ලෞකික සම්පත් මහත් කොට සලකන්නේ පාලකයින්ට පිරිත් නූල් බැඳීම තම ප්‍රධානම කාර්යය සේ සලකන්නෝය. ජේෂ්ඨ පැවිද්දන් එසේ අඳ ගොළු බිහිරන්සේ හැසිරෙන අතර අනෙකුත් ලාබාල පැවිද්දෝ තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම උදෙසා නොයෙකුත් විගඩම්හි යෙදෙන්නෝය.මාගේ ශාසනයෙහි ආරක්ෂකයින් වශයෙන් තුමූම පත් කරගත්තාහු කලින් කලට නොයෙකුත් කලි කලහ කරන්නෝය.වරෙක අන්‍යාගමික පූජ්‍ය ස්ථාන වලට කඩා වැදී රා කල සොලොසක් පානය කොට මත්වූහස්තීන් මෙන් කිසිදු සංවරයකින් තොරවැ හැසිරෙන්නාහ. " 

'' වරෙක ගිහියන්හට සිටිය යුතු දරුවන් ගණන නියම කිරීම පවා තමන්ට අයත් කාර්යයක් සේ සලකා කටයුතු කිරීමෙන් සමච්චලයට ලක්වන්නාහ. ඒ එසේම මාගේ නමින් අවන්හලක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මහා ගාලගෝට්ටියක් කරන්නාහ.රජතුමනි මාගේ ශාසනයෙහි මවිසින් අනුදැන වදාලේ ධර්මයට ද පෙර විනය ප්‍රමුඛස්ථාබයෙහි තබා කටයුතු කරන ලෙසටය. එහෙත් මොවුනගේ නොමේරූ හැසිරීම ධර්මය කෙරෙහි ආසක්ත වන්නාවූ බුද්ධිමත්හුද ඒ කෙරෙහු කලකිරවා එයින් ඈත් කෙරෙති. '' 

'' ස්වාමීනී. මඳක් සමාවුව මැන. එහෙත් ඔබ වහන්සේ නමින් අවන්හලක් පවත්වාගෙන යාම ඔබ වහන්සේට කරනා නිගරුවෙක් නොවේද? ඉන් ඔබ වහන්සේට අපහාසයක් නොවන්නේද?... '' 

රජතුමෝ දෑඟිලි බැඳගත්වනම විමසූවෝ හිස නමා ආචාර දක්වමිනි. 

'' ඒ කෙසේද මහරජ...මා නමින් අවන් හලක් පවාගෙන යාම මට අගරුවක් වන්නේ කෙසේද?...අඳ බාල පුරුෂයින් කිහිප දෙනෙක් එකතුව එසේ කල පමණින් මාගේ කීර්තිය පළුදු වේ හෝ එසේත් නැත්නම් ධර්මය කිලිටි වේ යයි උපකල්පනය කල හැක්කේ ඊටද වඩා අඳ බාල පුද්ගලයෙකුටමය. එසේම මගේ ධර්මයට කිසි දිනෙක ආරක්ෂක සේවාවක්ද අවශ්‍ය නොවේ.ධර්මය විසින්මැ ධර්මය රැමෙනු ඇති. ධර්මයෙහි හැසිරෙන්නා ද ධර්මය විසින්මැ රැකෙනු ඇති. මාගේ ධර්මයට තමන් විසින්මැ රැකෙනු නොහැකිවැ ආරක්ෂක සේනාවක පිහිට අවශ්‍ය වන්නේ යම් දිනකද එදින එකෙනෙහිම ධර්මයෙහි වලංගුතාවය, ධර්මයෙහි සදාතනික භාවය, ධර්මයෙහි සර්වකාලීන බව අහෝසි වෙයි.එකල්හි මාගේ ධර්මයද නැසී යන්නාහ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක. '' 

බුදු රජානන් වහන්සේ මෙසේ පවසා කෝසල රජුන්ගේ බිය දුරුකොට ඔහු සිත් සැනසවූ වග මෙසේ දත යුත්තේය. 

කෝසල සිහින සතලොස් වැන්න මෙසේ නිම වූ වගයි 

Thursday, January 24, 2013

156. මොන පිස්සුද?....ඒකා තාත්තෙ කිව්ව විතරයි.....


ඊයෙ දහයට වගෙ ඇති වෙලාව. දෙකට කලින් ඉවර කරන්න ඕන වැඩක මම එරිල හිටියෙ නහයටත් උඩින්.ටෙලිෆෝන් එක වැදුන… 

" Mr Ravi….There is someone on the line who wants to speak to you..... " 

ඒ පල්ලෙහා තට්ටුවෙ අපෙ රිසෙප්ෂනිස්ට් …. 

" Okay……"මම කිව්ව. 

" Is this Mr. Ravi?....Our general manager would like to speak to you........... " 

පිලිපීන් කෙල්ලක් කතාකලේ..මෙහෙ ගොඩක් කම්පනීස් වල රිසෙප්ෂනිස්ට්ල පිලිපීන් කෙල්ලො..උං කතා කරන විදිහෙං අඳුන ගත්තැහැකි පට ගාල.. 

" No problem, put him on …" 

රිසීවර් එක උරහිසටයි කනටයි හිරකරගෙන කම්පියුටර් එකේ යතුරු ඔබන ගමන්ම මම කිව්ව. 

ආන්න උරහිසෙන් තවත් පොරෝජනයක්....ඔය දෙකයි පනහෙ බබලත්තුංට අඬන්ට දෙනවට වඩා උරහිසෙං තව පොරෝජන බොහොමයක් තියනව..( සිත්තමී..ඇහුණැයි බොට? ) හරි, දසරුවෙන් ප්‍රයෝජන ගැන ඒ ඇති..ආපහු ඊයෙ උදේ අපේ ඔෆිස් එකට.... 

ඔන්න මම දැන් බලාගෙන ඉන්නව අර General Manager කතා කරනකල්.තත්පර විස්සක් විතර බලල මම කතා කලා… 

" හෙලෝ...හෙලෝ…." 

මොන?....කිසිම සද්දයක් නෑ...උරහිසත් රිදෙන්ට ඇල්ලුව. ඒ පාර ඔන්න මම ඕන කෙහෙල්මලක් කියල කෝල් එක කට් කරල නිකා හිටිය. නිකා හිටිය කියන්නෙ නිකා හිටියෙ නෑ. මම අර කිව්වෙ කලින් හදිස්සි වැඩක් ගැන. ඒක කරන්ට පටන් ගත්ත. 

ඔන්න හවස හතරට විතර ආයෙම මට කෝල් එකක් ආව.පල්ලෙහා කවුද ඉන්නව කියල මාව හම්බ වෙන්න ඇවිල්ල. ගිහිල්ල බැලුවම මෙහෙ ගිණි නිවාරණ උපකරණ ගෙන්වන කම්පනි එකක Sales Executive කෙනෙක්. මිනිහ ලංකාවෙ ...මුස්ලිම්...ඉතිං කෝපි එකක් එහෙම බොන ගමන් අපි කතාකලා. 

" උදේ අපේ බොස් කතා කලා මිස්ට රවීට. කෝල් එක කට් වුනා කියලයි මට කිව්වෙ ලොක්ක. " 

" ආ..දහයට වගෙ නේද?.....අනේ සොරි..කට් උනා නෙවෙයි...මම හදිසි වැඩක ඒ වෙලාවෙ හිටියෙ....මම විනාඩියක් විතරම ලයින් එකේ හිටියනෙ..සද්දයක් නැති තැන මමයි ලයින් එක කට් කලේ...."' 

මිනිහ අහක බලාගෙන හිනා උනා.. 

" අපේ බොස්ට හිටපු ගමන් ගොතයක් එනව. නිතරමත්නම් නෑ. ස්ට්‍රෙස් වෙනකොට වැඩියි. මේ ටිකේ ටිකක් දරුණුයි කේස් එක.එහෙම උනාම එයාට වචනයක් එන්න සෑහෙන වෙලාවක් යනව. උදේ වෙන්න ඇත්තෙ ඒකයි. "' 

ඒ කතාව එතනින් ඉවරයි. ඒත් මේ ගොත ගහන බොස්ගෙ කතාව හින්ද මට එසඳ, එකල මා යොවුන් වියෙහිදී අත්දුටු සිදුවීම් කීපයක් මතකයට ආව. යම් කෙනෙකුගෙ ශාරීරික අබල දුබලතාවයකට උසුළු විසුළු කරන එක ඒ තරම් සුදුසු නම් නැහැ තමයි.ඒත් බොහොමයක් වෙලාවට අපි එහෙම කරනව. ඇත්තටම මම මේ කතා කියන්න හිතුවෙ එහෙම කිසිම කෙනෙක්ව උපහාසයට ලක්කරන්න හිතල නම් නෙවෙයි.ඇත්තටම වෙච්චි සිදුවීම් කිහිපයක් කියල පොඩ්ඩක් හිනාවෙල ජීවිතේ බර හෑල්ලු කරගන්ට එච්චරයි..... 

අර අපි පොඩි කාලෙ කතන්දර පටන් ගන්න විදිහ මතකෙයි? 

එකමත් එක කාලෙක...නැත්නම් යටගිය දවසට දවස් දෙකකට පස් සෙ දවසක බරණැස බ්‍රක්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයේහි..... 

ඒ වගෙ මයෙ කතා ඉතිං පටන් ගන්නෙ ...මේක සිද්ද උනේ මම උතුරු මැද සහ නැහෙනහිර පළාත් මායිමේ ව්‍යාපෘතියක වැඩ කරන කාලෙදි.....ඔන්න ඔය විදිහටනෙ...ඉතිං මේකත් ඒ සුපුරුදු පූර්විකාවෙන්ම තමයි පටන් ගන්න වෙන්නෙ.. 

ජයනාත් හොඳ කොල්ලා...මට එහෙම වැඩිය අවුරුදු දෙකක් විතර වැඩිමහල්..ගම වලස්මුල්ල පැත්තෙ...උස මහතයි... සුදුයි. ඒත් පොඩි කේස් එකක් තිබ්බ, මිනිහ ගොතයි...කාලෙකට එච්චරම දරුණු නෑ...ඒත් කාලෙකට කතා කරගන්නම බෑ. 

මම මේ කියන යුගයෙ මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් දැං වගෙ පඳුරක් පඳුරක් ගානෙ තිබ්බෙ නෑ.අපෙ ගෙදර අහල පහලක ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරයි. හදිස්සියකට පණිවිඩයක් දෙන්න ඉතිං ලොකු හාංදුරුවන්ට කතා කරල ගෙදරට පණිඩිඩයක් යවල අප්පච්චිට පන්සලට ඇවිල්ල ඉන්න කියල කියන්න ඕන. 

රට හැමතැනම ටෙලිපෝං පෙට්ටි හයි කර කර යන්ට පටං ගත්ත ඔය කාලෙ.මුලින්ම මට මතක ට්‍රයිටෙල් ද මොකක්ද කියල කම්පනි එහෙකින් ඔය වැඩේ පටන් ගත්තෙ. අපෙ කෑම්ප් එක කිට්ටුව හැතැම්ම බාගයක් විතර එහාට වෙන්ට තිබ්බ පොඩි ටවුමක් වගෙ එකක්. ටවුමක්ය කිව්වට බස් ස්ටෑන්ඩ් එහෙකුයි කඩ කීපෙකුයි විතරයි ඔතන තිබුනෙ.මඩකලපු පාර අයිනෙ...ඔතනත් හයි කරපි ටෙලිපෝං පෙට්ටියක්....අපිට නේද මාර හැපී......ඒ හැටි ගෙවල් වලට කතා නොකලත් ඔය වගෙ එකක් තියන එකම මදෑ. අනික ඒ දවස් වල ඔය මල් නෙලීම වගෙ අනම් මනම් අපි දන්නෙවත් නෑ....අම්මප ඇත්තම ඇත්ත.... 

ජයනාත්ලගෙ අල්ලපු ගෙදරට ඔන්න ටෙලිෆෝන් එකක් ගත්තලු. ඔන්න ඌට වැහුන ටෙලිෆෝන් පිස්සුව.ඔය බොක්ස් එහෙක මට මතක විදිහට විනාඩියකට ගාස්තුව රුපියල් දෙකයි. ජයනාතයත් ඔන්න අපි ඔක්කෝමල සන්තකේටම තියන රුපියල් දෙකේ එව්ව ටික එකතුකරගෙන ඔන්න යනව ගෙදරට කෝල් ගන්න කියල. ඒ කරල ඔන්න රෑ වේගන එනකොට ආපහු එනව. මූණ හරි නෑ. 

" මොකද මචං?..... " අපි අහනව.. 

" හ..හ්.....හරියට..ක ක්..කතාකරගන්න බැරි උනා බං …"' ඌ කියනව. 

අපි ඉතිං ඕක වැඩි ගානකට ගත්තෙ නෑ. එක දවසක් ඔන්න අපේ තව යාලුවෙක් ආව අපි පොඩි ආතල් එකක් අරගෙන එහෙම රිලැක්ස් එකේ ඉන්න තැනට.ඔය වෙලාවෙ ජයනාතය ගිහිල්ල සුපුරුදු ලෙස කෝල් ගන්ට. ඔන්න කතාව ඇදිල ආව උගේ මේ අබූත කෝල් ගැනිල්ලට. 

" මාර වැඩක්නෙ බං ...මේ මනුස්සය රුපියල් දෙකේ එව්ව මල්ලක් එකතු කරගෙන යනව. ඒත් ඇහුවම කියන්නෙ කතා කලේ නෑ කියල.." මම කිව්ව. 

අර ආවයි කිව යාලුව...මිනිහගෙ නම සරත්චන්ද්‍ර....ඌ ටික වෙලාවක් සද්ද නැතුව ඉඳල පොඩි එකක් අරගත්ත. ….දීපං දුමක්....මම සිගරට් එහෙකුත් පත්තු කරල දුන්න...උගුරු දෙකක් එහෙම ඇදල අපි ඒ වෙලාවෙ එතන හතර දෙනෙක් හිටිය…. ඔක්කොගෙම මූණු දිහා අනුපිළිවෙලට බලං ඉඳල මෙහෙම කිව්ව. 

" අනේ මචං මම කිව්වයි කියලනං ජයනාතයට දැනගන්න තියන්න එපා.මට ඔය ජයාගෙ කෝල් ගැනිල්ලෙ හොරේ ඊයෙ අහු උනානෙ. මේකා රුපියල් දෙක දානව බොක්ස් එකට. ඒ කරල රිසීවර් එක අතට අරගෙන ඔන්න කතා කරනව....මූ තටමල තටමල ඔන්න හ..හ...හ..හ..හ..හලෝ........තා.....තා...තා...ත....තාත්තෙ කියන කොට ඔන්න විනාඩිය ඉවරයි. කෝල් එක කට් වෙනව. අයෙම රුපියල් දෙකක් දානව. ඒ විනාඩියෙත් කියන්නෙ තාත්තෙ කියල විතරයි.ඉතිං බං ඔය විදිහට මහ බැංකුවෙං ගහන ගහන දෙකේ කාසි ඔක්කොම මූට දුන්නත් මූට කියන්න වෙන්නෙ තාත්තෙ කියල විතරයි......" 

අපි එකා එකා මූණිං මූණ බලාගෙන උන්න අර මොනවද කාපු රිලව් වගෙ හිනාවෙන්ඩද අඬන්ඩද කියල හිතාගන්ට බැරුව. 

" මචං මේක කියල උඹල ජයනාතයට නෝන්ඩිය දානව එහෙම නෙවෙයි ඔන්න...හරි නෑනෙ ..." 

එදා රෑ නිදාගන්ට ඉස්සර මම කාටත් ඇහෙන්ට කිව්ව. හැබැයි කිව්වත් වාගෙ ඊට මාස තුනකට විතර පස් සෙ ඌ හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙල යනකල්ම කවුරුත් ඌ ඉන්න තැන ඔය ගැන කටක් හෙල්ලුවෙ නෑ..හැබැයි ඌ නැති තැන යාවජීව මාතෘකාව ඕක. 

අපේ ඉන්නවනෙ නිර්මානශීලී කට්ටිය. උං ඔය කතාවෙ විවිධ වර්ෂන්ස් හැදුව. එකක් ඔන්න ජයනාත්ගෙ තාත්තයි අම්මයි දෙන්නමත් ගොතයිලු.ඉතිං මූ එක පාරක් රුපියල් දෙක දාල තා..තා..තා..ත් ..තෙ කියනවනෙ.මූ කල්පනා කරනව ඊලඟ රුපියල් දෙකත් දාල ආයෙම තා..තා....තා...ත්..තෙ කියන්ට ගියොත් ඒකත් ඉවරනෙ. ඒ නිසා දෙවෙනි රුපියල් දෙක දාල මේකා රිසීවර් එක කනේ තියං ඉන්නව මොකවත් කියන්නෙ නෑ. තාත්ත කතා කරනකල්..අප්පට සිරි තාත්තත් ගොතයිනෙ. ඒරුපියල් දෙකේ තාත්ත පු.....පු...පු...පු.......පුතේ කියනව විතරයි. ඉතිං මාරුවෙං මාරුවට ඔහොම තමයි වෙන්නෙ..එක රුපියල් දෙහෙක මූ තාත්තෙ කියනව ඊළඟ රුපියල් දෙකේ මුගෙ තාත්ත පුතේ කියනව. 

අනික් වර්ෂන් එකේ හැටියට තාත්තයි අම්මයි ගොත නෑ. ඉතිං අල්ලපු ගෙදරට ගිහිල්ල පැයකට විතර පස් සෙ තාත්ත එනව ගෙදර. 

" මොකද අනේ මෙච්චර වෙල?..." අම්ම අහනව තාත්තගෙං... 

" පුතා කතා කලානෙ හාමිනේ…"' 


" අනේ ඉතිං,…. මොකද කොළුව කිව්වෙ? සනීපෙන් ඉන්නවය කිව්වද? "' 

" ඒ මොකවත් කිව්වෙ නෑ පුතා…"' 

" ඈ......එහෙනම් මේ පැයක් විතර පුතා මොනවද කිව්වෙ? "' 

" තාත්තෙ කිව්ව එච්චරයි "' 

" ඈ..පැයක්ම එච්චරද කිව්වෙ?.. " 

" ඔව්…" 

ඉතිං ඔන්න මේ ජයා හෙඩ් ඔෆිස් ගියාට පස් සෙ මට ලියුම් එවනව. මයෙ බුදු පිටා ඌ...පුල්ස්කැප් පිටු දෙකක විතර මාගලක් ඔන්න මෙහෙම.... 

හි...හි...හි...හිතවත් වි..වී..වී......වීරේ වෙ..වෙත, 

ඔ..ඔ...ඔ.....ඔබගේ...සැ..සැ..සැපදුක්......කෙ...කෙ...කෙසේද? 

ඔ.ඔ.ඔ.ඔළුව ම..ම...ම...ඤ්....ඤ්..ඤ් ඤං වෙ..වෙ...වෙනව උගේ ලි...ලි...ලියුං කි...කි..කියවන්ට ..ගි..ගි..ගිහාම..හෙ..හෙ..හෙහ්...හෙ...හෙ....හෙහ් : : : :) : : : :) 

හෙඩ් ඔෆිස් එකේදි එක කෙල්ලක් මිනිහ ගැන උනන්දුයි කියල ජයනාතය මට ලියා එව්ව. ඒත් මිනිහ ඒකිට කැමති නෑ කියලත් කියල තිබ්බ.ඒත් අන්තිමට මිනිහ බැන්දෙ අර කෙල්ලමයි. ඒ දවස්වල නේවාසික ට්‍රේනිං එකක් ඇවිල්ල මට යන්ට බැරි උනා වෙඩිං එකට.පස්සෙ හෙඩ් ඔෆිස් ගිය වෙලාවක කැන්ටිමේ පෙලේන්ටියක් ගහන ගමං මම ඇහුව උගෙං ඔය විස්තරේ... 

" ඒ බං උඹ කෙල්ලට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ නේද? ඒත් අන්තිමට මොකෝ බොලේ ඒකිම බැන්දෙ?.." 

" අනේ වී..වී..රෙ..මා..මා..ර..වැඩක්නෙ මට උනේ...ඒ ඒ ඒකි දවසක් ම..ම....මගෙන් කෙලින්ම ඇහුවනෙ  මම කැ..කැ..කැමතිද කි...කි..කියල...එයාව බ..බ..බඳින්ට… " 

" ඉතිං උඹ කෙලින්ම බෑ කිව්වනං ඉවරයිනෙ මචං...." 

" බෑ කි..කි..කියල කි..කි...කියන්ට...ත......ත...තමයි..මම හැ..හැ..හැදුවෙ...ඒත් බෑ..කි..කි..කියල කියා..ග..ග..ගන්නකොට ඒ..ඒකි ගෙ..ගෙ..ගෙවල් දෙකටමත් කි..කි...කියල කේ..කේ...කේන්දරත් බ..බ..බලවල ඉ...ඉ...ඉවරයි. " 

Monday, January 21, 2013

155. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....30


අප බොහෝ දෙනෙකුට කාලය ගතව යන්නේ අසුරු සැණෙකිනි. දඩයක්කාරයාහටද අසුරු සැණෙකින් නොවූවද සැලකිය යුතු වේගයකින් කාලය ගෙවී යමින් පැවතිනි. නිවුන් දරු උපතෙන් පසු ගතවූ වසර පහක් හෝ හයකට ආසන්න කාලය ඔහුට හැඟී ගියේ තමන් පිටස්තරයෙකුව අනිමිස ලෝචනයෙන් නෙතු යොමා සිටියදී තමන් ඉදිරියේ දිග හැරෙනා සිදුවීම දාමයක් මෙනි.ඒ වසර පහ හෝ හය ගෙවූයේ තමා නොව වෙනත් පුද්ගලයෙකියි ඔහුට සිතුනේ වරක් දෙවරක් නොවේ.

ඔහුගේ දරු දෙදෙනා හා දඩයක්කාරයා අතර පැවතියේද බොහෝ දුරට සංකීර්ණ සබඳතාවකි.වනවාසීන් අතර දරුවන් සහ දෙමව්පියන්ගේ සහසම්බන්ධය බොහෝවිට දුරස්ථ වූවකි.දරුවන් වැදීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය සැපයීම ඔවුන් අතින් ඉටුවූයේ හුදු සවයංක්‍රීය හෝ යාන්ත්‍රික කාර්යයක් ලෙසිනි.තමලෙයින් උපත ලද දරුවනට අවශ්‍ය ආහාර සැපයීමට අපොහොසත්වීම ඔවුහු කිසිවිටෙක මදිකමක් කොට නොසැළකුවෝය. එසේ අපොහොසත්වීම ඔවුනට කිසිදු ලෙසකින් සිත්තැවුල් වීමටද හේතු නොවීය. 


ඒ එසේම කිරෙන් ඇරුණු වහාම කොලු කුරුට්ටෝද හාත් පස වසා පැතිරි මහා ආහාර ගබඩාවක් වූ වන පියසට වැද සුදහ ගින්න නිවාගැන්මට පුරුදුවූයේ නිතැණිනි.ඔබ ආහාර සපයාගැනීමේ ක්‍රමවේදය දන්නේද මහ වනයෙහි ඔබ කිසිදිනෙක නිරාහර නොවනු ඇත.කර වටා නිතොර රැඳි ගල් දුන්නට ගොදුරු වූ දඬු ලෙහෙනෙකු හෝ සාවකු පුළුස්සා ගත් කල, එසේත් නැතහොත් පත්හුලක සහායෙන් හාරාගත් ගෝනලයක් හෝ හිඟුරලයක් තම්බාගත් කල ඒ ඔවුනට රජ බොජුනක්ම වූයේය.

දඩයක්කාරයා දරුවන් කෙරෙහි වූ තම සෙනෙහස කිසිවිටෙක එළිපිට නොදැක්වීය.ස්වභාවයෙන්ම අන්තර්වර්තී ( Introvert ) පුද්ගලයකු වූහෙයින් හේ කිසිවිටෙක තම හැඟීම් විවෘතව ප්‍රදර්ශනය නොකලේය.දරුවන් සම්බන්ධව ද ඔහුගෙන් පලවූයේ එවන් උපේක්ෂා සහගත හැඟීම් විරහිත ස්වභාවයකි. එහෙත් ඔහු සිත තුල ඔවුන් කෙරෙහි සෙනෙහසක් ඇල්මක් වැන්නක් දැඩි සීතල රාත්‍රි කාලයන්හි ගෙමිදුලෙහි දැල්වෙන ගිණි මැලය අළුයම් කාලය වන විට නිවීගියද විටින් විට හමා එන සුළං රැල්ලකින් අළු ඉවත්ව වූ ගිණි පුළිඟු එක් වරම දැල්වුණේ ඒ හා සමඟම කිසියම් උණුසුමක් ඉතිරිකොට නිවී ගියේය.

එසේ වුවද ඔහු සුද්දීට මෙන්ම දරු දෙදෙනාටද අවශ්‍ය ආහාර සහ වෙනත් කලමනා නොකඩවා සැපයීම කිසි විටෙක පැහැර නොහැරියේය. ඒ සඳහා අවම වශයෙන් දින දෙකකට වරක් හෝ දඩයමක් කිරීමට සිදුවීම සිතට මහත් තැවුලක් ගෙන දුන්නද සුපුරුදු උපේක්ෂාවෙන් ඔහු ඒ ඉවසීය.

දරු දෙදෙනාගේද ඔහු කෙරෙහි වූයේ එක්තරා දුරකට ගුප්ත යැයි හැඳින්විය හැකි අයුරු වූ බැඳීමකි.ඔවුහු කිසි විටෙක දඩයක්කාරයාගේ ඇකයෙහි තුරුළුව කෙලි දෙලෙන් ගත කරනු වස් උත්සුක නොවූහ. එසේ වුවද ඔහු ගෙපැලෙහි දිවා කාලයෙහි රැඳී සිටිනා දුර්ලභ අවස්ථාවන්හි ගෙපැල පසුපස වනගහනය ආසන්නයේ වර්ධනය වී අහස පුරා පැතිර ගිය වනස්පතිය පාමුළ මධ්‍යාහ්නයේ වුව පැතිර පවත්නා සිහිල් සෙවණෙහි ඇණ තබාගත්වනම අඩක් පියවුනු දෑසින් යුතුව නිසොල්මනේ කල්ගෙවනා දඩයක්කාරයාගේ දෙපා අසල කෙලි දෙලෙන් හැසිරීමටද ඔවුහු කිසිසේත් බිය නොවූහ.

ඔවුනගේ කෙලි සෙල්ලමින් විටින් විට දඩයක්කාරයාගේ මානසික සම්මෝහය ( Mental stupor ) බිඳී ගියද ඔහු කලේ දෙතොලග නැඟි මඳ සිනහවකින් යුතුව ඔවුන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙලා නැවත දෑස පියාගැනීම පමණකි.

සුද්දී සහ ඔහු අතර පැවතියේද කිසිදු අයුරකින් සාමාන්‍ය යයි කිව නොහැකි සබඳ තාවයකි. නිවුන් දරු උපතින් පොහොය හතරක් හෝ පහක් ගෙවී යන තෙක් ඔහු ගෙපැල තුලම රාත්‍රි නින්දට වන්නේය. ඒ අතර කාලයෙහිදී කිහිප විටක් ඔවුහු කාම සම්භෝගයෙහිද යෙදුනෝය. දරුවන් දෙදෙනා එක හුස්මට මුළු රාත්‍රිය පුරා නිදාගත්තේ ඉතා කලාතුරකිනි.රාත්‍රිය මධ්‍යයේ දරුවන් අවදිව හඬන්නට වන් වූ කල්හි සුද්දී ඔහු කෙරෙන් ඉවත්ව ඔවුන් වෙත ගියාය. ඔවුන් ඇගේ දෙතනයෙන් කිරි උරා බොන අයුරු අසමින් කෙමෙන් යථා තත්වයට පත්වන තම අශ්වාස ප්‍රශ්වාසයට සවන් දෙමින් දඩයක්කාරයා එවිට දෑස් පියාගත් වනම වැතිර හුන්නේය.

එදවස මෝසම් වැසි යලිදු පමා සමයෙක් විය. දිවා කල වනපෙත පුරා පැතිර තිබූ ගත පෙලන දාහය අඳුරු වැටුනු පසුද ඉහිල් වූයේ ඉතා මඳ වශයෙනි. එබැවින් ගෙපැල තුල වූ උණුසුම ඉවසිය නොහැකි වූ දඩයක්කාරයා ජීවිත කාලයක් තිස්සේ සුපුරුදු අයුරු පිල්කඩෙහිම වැතිර නිදන්නට වූයේය.

ඉන්පසුව දරුවන් නිදිගත් ඉක්බිති සමහර රාත්‍රීයාමයන්හි සුද්දී ඔහු වෙත පැමිණියා ඔහු අසල වැතිර ගත්තීය. එහෙත් අදාල ක්‍රියාකාරකමෙහි තීව්‍රතාව අවරෝහණය වී යන්නා හාම ඊට සමානුපාතිකව අනුයාත සිදුවීම් දෙකක් අතර කාල පරතරයද ආරෝහණයවී ගියේ අවසන එවන් සිදුවීමක් අවසානයට සිදු වූ දින මතකයට නඟා ගැනීමට පවා අසීරු වූ දිනයක් උදාවිය.

දඩයක්කාරයා දිවා කාලය මුලුමනින්ම පාහේ ගෙපැලින් බැහැරව ගතකිරීමට පුරුදුවිය. කුඩා කල පටන්ම මේ ඔහු අනුදත් ජීවිත චර්යාව වූ හෙයින් එහි ඔහුට කිසිදු අරුමයෙක් නොවීය.

අහස් කුස පුරා අතුපතර විහිදා මධ්‍යාහ්නයෙහි පවා සැඩ හිරුරැස ආවරණය කොට සිහිලස සදන මහා වනස්පතියක සෙවණෙහි ඇසි පියකුදු නොසොල්වා නිසොල්මන්ව හිඳ හරිත අතුපතරින් පෙරී ආ හිරු රැසින් නැහැවුණු රන්වන් සිරුරින් යුතුවැ හරිත වන් ලතණ බුදිමින් නිදැල්ලේ හැසිරෙන මුව පොව්වන් දෙස බලාසිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

වර්ෂාව කලකින් නොලැබ තණපත් දුර්වර්ණව වියලී ගිය ගල් කුළුවලින් වටවුණු තැනිතලා බිම රත්වීමෙන් ඉහල ගිය උණුසුම් වා රැලි මතුයෙහි විදහාගත් පියාපතින් යුතුව නිදැල්ලේ පාව යන උකුසු යුවලක් දෙස සුරත නලළ මත තබා හිරුරැසින් ආවරණය කොටගත් දෙනෙතින් ඇසිපිය නොහෙලා බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

රාත්‍රියෙහි මරාගත් මුවකු හෝ ගෝනකුගේ මාංශය කුස පුරා අනුභව කොට හීං ඇළේ වක්කලම එපිට පසුගිය මෝසම් වර්ෂාව හා සමඟ වනය සිසාරා හමා ආ චණ්ඩ මාරුතය කරණ කොටගෙන ඇදවැටුනු කුඹුක් කඳ මත අලස සුවය විඳිමින් වරින් වර මුව අයා ඈණුම් හරිමින් නිදන දිවි නාම්බා දෙස නිසොල්මන්ව බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

හීං ඇළේ දිය නැම්මේ ගලා එනු ලබන ජල දහර ස්වභාවික ගල් වැටියක් හේතුකොටගෙන හරස් වී සැදුනු දියවලෙහි, පතුලෙහි වූ සුමුදු සහ සුමට තිරුවාණ ගල් පවා පැහැදිලිව පෙනෙන සේ සුපැහැදිලි වූ ජලයෙහි සෙමින් වරල් සලමින් ඒ මේ අත පිහිනායන ලූලන් දෙස හිස නැඹුරු කොටගත් වනම බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

මෙසේ එක් දිනක රූස්ස පළුගසක් සෙවණෙහි හිඳ ඔහු ඒ අසලම දුව පනිනා සා පොව්වන් යුවලකගේ විප්‍රකාර නරඹමින් සිටියේය. එක් වරම සුළඟ හමනා දිශාවේ වෙනසත් සමඟම ඉතා සිහින් ගීත රාවයක් වැන්නක් ඔහුගේ සවනට වන්නේය.වික්ෂිප්ත වූ දඩයක්කාරයා එකෙණෙහිම හිස ඔසවා ඒ හඬ පැමිණි දෙස විපරම් කල නමුදු එක්වරම හමා ආ සුලඟ සමඟ ඇසුණා වූ ඒ හඬ සුලඟ සමඟම වියැකී ගියේය.

සුලඟ හමන දිශාව අනුව ඒ ගීතමය හඬ පැමිණියේ වාළිඹේගල දිශාවෙන් බව නිසැකවම දැන සිටි දඩයක්කාරයා යලිදු ඒ බලාපොරොත්තුවෙන් සවනේන්ද්‍රිය තියුණු ලෙස ඒ දෙසට යොමුකොටගත් වනම පොරොත්තු වූයේය. ඔහු උපකල්පනය කල ලෙසම නොබෝ වේලාවකට ප්‍රථම යලිදු ඒ ගීතමය හඬ වනය සිසාරා පැතිර ගියේ ප්‍රථම වරට වඩා බොහෝ සේ පැහැදිලි සහ තීව්‍ර ලෙසය. ඔහු දෙපා අසල දුව පනිමින් හුන් සා පොව්වන් දෙදෙනා ද එක් වරම සිටි පියම නතරව ඒ හඬ පැමිණි දෙස විපරම් කරමින් තම දිගැති සවන් ඒ දෙසට හරවමින් විපරම් කලෝය.

ඒ හඬ පැමිණි දිශාව පිළිබඳව දඩයක්කාරයාට කිසිදු සැකයක් නොවීය. ඒ වාළිඹේගල කඳු මුදුනට මඳක් පහලින් වූ තුඟු ගල් කුළු අතර හොඳින් ආවරණව පිහිටි ගුහාව දෙසිනි. වහා ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටි දඩයක්කාරයා හිස ඔසවා මඳ වේලාවක් වාළිඹේගල පර්වත මස්තකය දෙස බලාගත්වනම කල්පනාවෙන් බරවූයේය. ඉනික්බිති තීරණයකට එළඹුනු අයුරු හිස පහත් කොටගත්වනම මොහොතක් පසුවූයේ වාළිඹේගල දෙසට දෙසට ගමන් කරන්නට වූයේය.


මතු සම්බන්ධයි........ 

( ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය? )


Thursday, January 17, 2013

154. හුණු වටයේ කතාව - දශක සතරක මතක

හැත්තෑව දශකය...ඔන්න ආයෙමත් පටන් ගත්ත....ඒත් කොරන්ට දෙයක් නෑ....හැත්තෑව දශකයෙ යව්වන යව්වනියො හැටියට දෙයියෝ සාක්කි හැත්තෑව දශකය නැතුව ආය ජූතක බමුණගෙ අමුඩ ලේන්සුව ගැන කතා කොරන්ටය? 

නාට්‍ය චිත්‍රපට සංගීතය ඔය හැම කලා අංශයක්ම ඔය දවස්වල පුදුම විදිහෙ දියුණුවක් ලැබුව. 

බෙල්ලෙ උපන් ලප තුනක් එක පෙළට තියන කුළුඳුල් තරුණියක් මුණ ගැහුන විලී අබේනායකට......ගාමිණී , මාලිනී. ලෙස්ටර් - නිධානය 

අබිලිං මාමා මිහිදුම අතරින් පිය මනිමින් බොඳව නොපෙනී යන තුරු සිරිසේන බලා හිටිය දොරකඩට වෙලා…...ජෝ , මහගමසේකර..තුංමංහංදිය 

මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව...දුක් ගීයක් ලියනු මැනව...නන්නා ඳුනනා ඔබගේ...ඒ..ඒ ..ඒ ..ඒ… හිත කීරිගැහෙන ඒ හඬ වාතලයට මුසුව යද්දි ඔවුන් තුන්දෙනා කෙමෙක් ඉහලට නැඟෙන දුම් රොටු සුළඟේ විසිර අතුරුදන් වෙලා යනව හිස් ඔහේ බලන් හිටිය…..කළං, විමල්, සෝමසිරි, විජය...අමරදේව සමඟ පතිරාජ 

හෙලන් මා දැල විසි කරල මාළු අල්ලනව වෙරළෙ පොල් ගහක් යට ඉඳගෙන බේබි මහත්තය බලා හිටිය ඇහිපිය නොගහ…..මාලිනී, විජය..පතිරාජ...බඹරු ඇවිත් 

ශ්‍රී සම්බුද්ධ සද්ධර්ම අනුහසින් ...කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්..රසික ඔබ මිලනයෙන් ආනන්දජනකවූ මේ සොඳුරු රාත්‍රී යාමයේ සුව හසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා..ප්‍රීතියෙන් උදම් වේවා!!!!! - මේ ඊයෙ පෙරෙයිද අවසන් ප්‍රසංගය පැවත්වුනු ස..... මංගල දර්ශනය.. වික්ටර් 

ඒ අතර වේදිකාවේ භූමිකාව...ලූෂන් සමඟ රතු හැට්ටකාරි....හෙන්රි ගේ මකරා..ලන්ස්ලොට් ලෙස ධර්මසිරි බණ්ඩාරනායක... 

අවසානයේ හුණු වටය....මවිසින් මේ සියළු අනුපාන, කටගැසුම් ඔබ වෙත ගෙන ආයේ මේ කූට ප්‍රාප්තිය වෙතය. ඒ මක් නිසාද යනු ඔබට සටහන අවසානයේ වැටහෙනු මට නොඅනුමානය. 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ උත්තරීතර කලා නිර්මාණය... 

දෙයක් වේනම් මෙදියත...සුදුස්සාටම අයිති වියයුතු. කල්ප විනාශය තෙක්ම වලංගු එහෙත් මෙදියත කිසිදාක ක්‍රියාත්මක නොවුනු, ක්‍රියාත්මක නොවන එසේම ක්‍රියාත්මක වේයයි සිතියද නොහැකි සනාතන ධර්මතාවය.... 

හුණු වටයේදී බ්‍රෙෂ්ට් අනුගමනය කල දුරස්ථකරණයේ රංග කලා රීතිය...එදවස කුඩා දරුවකුව සිටි මට කිසිසේත්ම නොවැටහුණු නමුදු පසු කලෙක දුරස්ථකරණය පිළිබඳ යම් තරමකට හදාරා හුණු වටය යලි නැරඹූකල්හි බ්‍රෙෂ්ට් ඒ පිළිබඳ කෙතරම් සැලකිලිමත් වී තිබිණිදැයි මට පසක් විය. 

නාට්‍යය යනු වේදිකාව මත රඟදැක්වෙන්නක් විනා සත්‍ය සිදුවීමක් නොවන බව ප්‍රේක්ෂකයාට නිරතුරු ඒත්තුගැන්වීම නාට්‍ය කරුවාගේ කාර්ය භාරය වියයුතුබව බ්‍රෙෂ්ට් තරයේ ඇදහූයේය.වේදිකාවේ පාත්‍ර වර්ගයා හා සමඟ අනන්‍ය වීම , එහි රඟ දැක්වෙන නාටකය හා භාවාතිශය ලෙස ඒකාත්මික වීම මඟින් ප්‍රේක්ෂකයා නාට්‍යයකින් ලැබිය යුතු බුද්ධිමය අවදි කිරීමෙන් වැලකෙන බව ඔහු පැවසුවේය. 

අසඩක් විනිශ්චයකරුවකුවූ හොර දෙටුවෙකු මඟින් ඔහු තැත්කලේ අපට ඒ පණිවිඩය ලබා දීමටය.අප අවදි කිරීමටය. එහෙත් බ්‍රෙෂ්ට්ගේ අපේක්ෂාව කෙතරම් දුරට ඉටුවිණිදැයි යන්න පිළිබඳ මට ඇත්තේ සැකයකි. 

අසඩක්........ 



හුදු බලලෝභී පාලකයාගේ අවශ්‍යතාවය මත විනිසුරු අසුනට ඔසවනු ලැබූ හොර දෙටුවෙක්...එහෙත් ඔහු වනාහී දයාර්ද්‍ර ගුණ සපිරි මානව වර්ගයා කෙරෙහි දයාබර සිතැති හොරදෙටුවෙක්ම විය.විනිශ්චයාසනාරූඪ වූ වහාම ඔහු පවසන මේ උදාන වාක්‍යය හුණුවටය මුල්වරට නරඹා ගෙවීගිය මේ දශක සතරකට ආසන්න කාලය මුළුල්ලේ මසිත නොමැකී රැඳී පවතිනුයේ කුමන හේතුවක් නිසා ද යනු අදටත් මම නොදන්නෙමි. 

" හැමදාමත් නඩුකාරයා කියන්නෙ හොරෙක් . ඔන්න මේ පාර ඒ සම්ප්‍රදාය තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල හොරෙක් නඩුකාරයෙක් උනා...……'' 

- අසඩක් - විනිසුරුවරයකු වූ සොර දෙටුවා - හුණු වටයේ කතාව. 






LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...