Friday, July 17, 2015

333. අබයාරාමයේ විත්ති 2 - අහෝ දුකකි, බේදයකි..අප්පච්චිට අවසානයේ වැලේ වැල් නැතිවූ වගයි.

Daily Mirror Cartoon

අපේ ගරුකටයුතු අප්පච්චිට අන්තිමට වැලේ වැල් නැතිවිය.තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයං යන දෙපදයට බල තණ්හාය ජායතී ගෞරවං දෙකේ කොළං කියා තුන්වන පදයක් ද එකතු කළ යුතු කාලය එළඹ ඇත. අධික බල තණ්හාව නිසා ආත්ම ගෞරවය දෙකේ කොළයට වැටේ. අප්පච්චිට මේ සිදුවී ඇති නස්පැත්තිය ඊට කදිම උදාහරණයකි.

මට ජනාධිපති තුමා එක්ක අගමැති හැටියට සහයෝගයෙන් වැඩ කරන්නට පුළුවන් වරෙක  එතුමා පැවසුවේ තම කපටි හිනාවෙන් මුව සරසාගෙනය. එතුමාට ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ගැටළුවක් ඇතිවිය නොහැක. එසේ ගැටළුවක් ඇතිවිය යුත්තේ ජනාධිපතිතුමාටය. 

ජනාධිපතිවරණයේදී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකා ගිනිතබා පුළුස්සා දැම්මවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් කලේ නැත.එතුමාගේ මැරවර ගෝල බාලයින් ලවා වෙඩි තබා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු ඝාතනය කරවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ එවැන්නක් කරවූයේ නැත. ඒ මනුෂ්‍ය ඝාතන චෝදනාවට ලක්ව අත් අඩංගුවේ පසුවන මැර දේසපාලුවාගේ සුවදුක් බැලීමට එතුමා කීප විටක් බන්ධනාගාරටය ගියා පමණක් නොව මෙවර මහ මැතිවරණය උදෙසා ඔහුට නාම යෝජනා ලබාදීමටද කටයුතු කොට ඇත.

ජනාධිපතිවරණය දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට යද්දී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාමෙන් වෙස් ගැන්වූ කෝණංගියකු කැටුව ගියා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා මෙන් වෙස් ගැන්වූවකු තමන් සමඟ කැටුව ගියේ නැත. එසේ හෙයින් උදෑසන හිරු එළිය මෙන් පහැදිලිව පෙනෙන්නට ඇත්තේ එතුමාට ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති වුවද ජනාධිපතිතුමාට නම් එතුමා සමඟ කටයුතු කිරීමේ බරපතල ගැටළුවක් පවතින බවයි.

අප්පච්චි හිරවූ උගුල ලේසි පහසු නැත.හුදු අහම්බයකින් හෝ නිදහස් සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත්තද එතුමා අගමැති පදවියට පත්නොකරන බවට ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව පැවසුවේය. සන්ධානයේ එතුමාට වඩා ඒ සඳහා සුදුස්සන් සිටින බව ද ජනාධිපතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙහිදී සඳහන් විය. 

එබැවින් උපරිම වශයෙන් එතුමාට බලාපොරොත්තුවිය හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය පමණි. අනතුරුව ඉදිරි වසර හය තුල විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙන්වන මුදලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කරමින් පාලම්, බෝක්කු සාදවමින් කල් ගත කිරීමට එතුමාට සිදුවේ. අහෝ ජාතිය බේරාගත් මහා වීරයාණන්ට සිදුවූ අපහාසයක තරම! අනේ සකෝ බලලෝ...හෙහ්,හෙහ්,

එවන් අපහාසයක් එතුමාට විඳීමට සිදුවීම වැළැක්වීමට නම් කුරුණෑගල සන්ධාන පාක්ෂිකයින් කල යුත්තේ එතුමා පරාජය කිරීමයි. රට ජාතිය බේරාගත් මහා වීරයාණන්ට කළගුණ දක්වනු වස් මේ අවස්ථාවේ ඔවුනට කල හැකි එපමණකි.

නොවඳිනා වැදුම් වැඳ අඬා දොඩා නාමයෝජනා ලබාගෙන අනතුරුව කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය ලබාගතහොත් එතුමාට අවම වශයෙන් ඉන්නට හිටින්නට නිලනිවසක් හෝ ලැබීම මහත් ප්‍රීතියට කරුණකි. ජනාධිපති පදවියෙන් පලවාහැරි ඉක්බිති සුදුසු නිල නිවසක් නොලැබීම නිසා තම සාටක, ජාතික බැනියං ආදී ඇඳුම් පැලඳුම් පවා පරණ කන්ටේනර් පෙට්ටි කීපයක පටවාගෙන තැනින් තැනට ගිය එතුමා මෙතෙක් තාවකාලිකව ලැගුම් ගෙන සිටිනුයේ අභයාරාමයේ බණ මඩුවේය. 

එබැවින් පසුගිය නවම් පෝයදින සිට මෙතෙක් අභයාරාමයෙහි පසළොස්වක දිනට පැවැත්වෙන ධර්ම දේශනාවන් අවලංගු වීම හේතුකොටගෙන එහි දායක දායිකාවන් පසුවනුයේ බලවත් කණස්සල්ලකිනි. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලැබීම හේතුකොටගෙන අවම වශයෙන් අභයාරාමයෙහි දායක පිරිසට හෝ සහනයක් සැලසෙන්නේ නම් ඒ ද මැනවි.

අට වසරේ පමණ මා හා එකට අකුරුකල සැම්සන් නම්වූ මහා හිතුවක්කාරයකු විය. ගුරුවරුන්ගේ අණ තඹ දොයිතුවකට මායිම් නොකල හෙතෙම අප පංතිභාර ගුරුතුමාවූ ජයසිංහ මහතාගෙන් තැළුම් නොකෑවේ එහෙමත් දිනයකදීය. " උඹ නම් හදන්ට බෑ සැම්සන් .....උඹට තියෙන්නෙ ආයෙම හෝඩියෙ පංතියට ගිහිල්ල එතන ඉඳල නියම විදිහට ඉගෙන ගෙන එන්ට " එක් දිනෙක සැම්සන්ගේ කුමන හෝ මැරෑටි වැඩක් හේතුකොටගෙන අන්තයටම කලකිරුනු ජයසිංහ මහතා ඉතා දුක්බරව පවසනු මට අද මෙන් මතකය. 

දෛවයේ සරදමකට මෙන් එදා කිසිලෙසකින් යහමඟ යැවිය නොහැකි මැරෑටියකුවූ සැම්සන්හට ජයසිංහ මහතා යෝජනා කල ප්‍රතිකර්මය අද එතුමා ද ස්වේච්ඡාවෙන්ම පිළිපැදීමට එකඟ වී ඇත. දශකයකට ආසන්න කාලයක් ජනාධිපති පදවිය දැරූවකු යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට ඉල්ලුම් කරන්නේ තමන්ට ජනාධිපති පදවිය දරද්දී ඉගෙන ගත නොහැකිවූ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව යලි මුල සිටම හැදෑරීමට විනා අන් කවරක් උදෙසාද? කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස වසර හයක් ගතකිරීමෙන් හෝ එතුමාට යම් ගුණ ධර්මයක් ඉගෙනගත හැකිවේ නම් මන්ත්‍රී පදවිය වෙනුවෙන් වසර හයක් එතුමාට වැටුප් වශයෙන් ගෙවන මහජන මුදල් අපතේ නොගිය සේ සලකා සතුටු විය හැක.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙමින් පවතී. ඔහුගේ ප්‍රකාශය පක්ෂයට හානියක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඔවුන්ට බොහෝ පහසුවෙන් අමතක වන වැදගත් කාරණයක් ඇත. එනම් රටක රාජ්‍ය නායකයා රටේ අනාගතයට බලපාන වැදගත් අවස්ථාවන්හිදී පක්ෂ දේශපාලනයට ඔබ්බෙන් නැඟීසිටියයුතු බවය. 

රට, පක්ෂය, පවුල යන අනුපිළිවෙල නොව පසුගිය දශකය තුල මෙරට ක්‍රියාත්මක වූයේ තමා, පවුල, නෑදෑයින්, හිත මිතුරන්, පක්ෂය, රට යන අනුපිළිවෙලට වැදගත්කම අවරෝහණය වන මහින්ද චින්තන වැඩ පිළිවෙල බැවින් බහුතරයක් එලෙස සිතීම පිළිබඳව පුදුමයට පත්විය යුතුද නැත. කොතරම් හෝ වැරදි ප්‍රතිපත්තියක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වන විට ඒ නිවැරදි ක්‍රියා පිළිවෙල බවට මතයක් ජන විඥානය තුල ඇටුවම් බැස ගනී. එවන් පත්තියම් වූ වැරදි මතයක් එක්වරම සැණෙකින් ඉවත්කිරීම ඉතා අපහසුය. 

රාජ්‍ය නායකයා යනු දේශපාලකයකු වුවද රාජ්‍ය නායකයකු පටු දේශපාලනය අභිබවා නැඟී සිට පක්ෂයට පෙර රට යන සංකල්පය අනුව කටයුතු කලයුතු අවස්ථා එලඹේ. මේ එවැනි අවස්ථාවකි. ජනාධිපතිතුමා කටයුතු කොට ඇත්තේ එපරිද්දෙනි.

මහින්ද රාජපක්ෂ නම්වූ පාරාජිකාවූ දූෂිත දේශපාලනඥයාගේ බලපෑමෙන් මිදී නව දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කිරීමට , නව මුහුණුවරකින් ජනතාව ඉදිරියට පැමිණීමට තිබූ මහඟු අවස්ථාවක් මහින්දගේ පාලනය යටතේ නොයෙක් අයථා ක්‍රියාමාර්ගයන් මඟින් ධනය උපයාගත් ඔහු මෙන්ම අන්ත දූෂිත බත් බැලයින් රොත්ත විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අපේ හොරා අපට හොඳා යනුවෙන් යටි ගිරියෙන් කෑගසමින් ඔවුහු මහින්ද වටා රැස්ව සිටිති. නිල මැස්සන් රොද බඳින්නේ කුමක් වටාදැයි යන්න අමුතුවෙන් යලි යලිත් පැවසිය යුතු නැත.

සන්ධානයට අවශ්‍ය වන්නේ එසේ දූෂිතයින් හා උරෙනුර ගැටී තව දුරටත් ගමන් කිරීම නම් ඊට අප බාධා කල යුතු නැත. ජනවාරි අට වන දින අනපේක්ෂිතව මහ පොළව මත ඇද වැටුනු මහින්දට යලි නැඟිටීමට කිසිසේත් ඉඩ නොදීමට වග බලා ගැනීම යුක්තිය සහ සාධාරණත්වය අගයන අප සැමගේ යුතුකම වන්නේය.එය ශ්‍රී ලංකාවේ මෙන්ම මතු පරපුරේ අභිවෘද්ධිය ද පතන සියල්ලනගේ දැඩි අධිෂ්ඨානය විය යුත්තේය.

Tuesday, July 14, 2015

332. විමලෙගෙ වාංපතුල් කතා - 33 - ජන්තුවා, ඉරේෂා, නිමන්ති, අකඩවාරිය,ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් සමඟ අවසානයේ කොස් කපන ළමයා වෙතට හෙවත් At Last Back To That Jak Cutting Girl

අකඩවාරිය - Image From Sarasaviya

පහුගිය කතාවට ඩ්‍රැකී  ලියපු ප්‍රතිචාරයකට පිළිතුරු වශයෙන් මම මෙහෙම කිව්ව../ හෙහ්,හෙහ්, හොරෙක් හොඳ මිනිහෙක් වෙන්ට ගිහිල්ල අන්තිමට වෙච්චි දේ ගැන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ මරු කෙටිකතාවක් තියනව. වෙලාවක කියඤ්ඤා…/

රායිට්..අද කතන්දරේ කියන්ට පළමු ඩබ්ල්යු.ඒ. සිල්වා මහත්තයගෙ ඒ කෙටිකතාවෙ විස්තරේ කියල අහක වෙලා ඉම්මු නමෝ විත්තියෙම්ම එහෙනං.. ඒ කෙටිකතාවෙ ප්‍රධාන චරිතය ඇවිල්ල ගොලෑ හොරෙක්. ගොලෑ පුවක් හොරකං කරන එවුංට තමයි ගොලෑ හොරු කියන්නෙ. ඒ කියෙන්නෙ මේ පොඩි පොඩි හොරු. ගොලෑ හොරාගෙ විරුද්ධාර්ථය තමයි නීලකාස හොරා..දන්නවනෙ ඒ කවුද කියල නේද? හෙහ්..හෙහ්.. මිස්ටර් නීලකාස ගැන ලියන්ට ඕන තරම් කල් තියෙන හින්ද දැනට එතුමා ගැන කතා නොකර ඉමු. 

ඩබ්ල්යු.ඒ. සිල්ව මහත්තයගෙ කතාවෙ ඉන්න හොරාගෙ නම මට මතක නෑ හරියට. හරි අපි කියමුකො ජන්තු කියල. කතාව මෙහෙමයි. ඔන්න ගමේ කඩපිලේ කට්ටිය ඉන්නව නොයෙක් සතුටු සාමීචියෙ යෙදෙමින්. ගමේ නමගිය හොරෙක් වන ජන්තු එතනිං යන්ට එනව. 

" ආ..ජන්තුවෝ උඹ දැක්කෙවත් නෑ සති දෙකකිං විතර. කොහේද බොල ගිහිල්ල හිටියෙ? " එතන හිටපු එක මනුස්සයෙක් අහනව. 

ජන්තුව ඔන්න කඩපිලට ගොඩ වෙනව." මම මේ වැලිකඩ සතිදෙකක් ඉඳලයි එන්නෙ බොලව්. "

" ඒ මොකද බං? "

" උඹලට කියන්ට මම පොඩි එකා කාලෙ ඉඳලම කරේ හොරකමනෙ. අන්තිමට මටම ඒක එපා වෙලා මම හොඳ මිනිහෙක් වෙන්ට හැදුව. කොහෙද මට ඒකට ඉඩක් දුන්නෙ නෑනෙ. පොලීසිය මාව ගෙනිහිල්ල සති දෙකකට අච්චු කලා. " 

" ඒ කොහොමද බං එහෙම වෙන්නෙ? මොන බොරුකතාවක්ද ඒක.." කඩේ මුදලාලි කියනවා.

" හොඳයි එහෙනං අහගනිල්ලකො. " ජන්තු කඩ පිලේ ඈඳිගන්නව. මිනිස්සු ඔක්කොම බණ අහන්ට වගෙ මනුස්සය වටේට රැස් වෙනව.

" දැන් සුමාන දෙහෙකට ඉස්සෙල්ල මම ඔය ටවුං හෝල් එක පැත්තෙ කැරකුනා මොනව හරි පොකට්ටෙකක් වත් ගහගන්ට පුලුවන්ද කියල බලන්ට.කොහෙද ඔහෙනෑ. ගෑණු මිනිස්සුත් දැං කට්ට කයිරාටික වෙලා.හොඳ පරිස්සමිං ඉන්නෙ පොකැට්, ගැට, හැඹිළි ගැන. දවල් දෙක වගෙ වෙද්දි මට මේ ඉන්න ඉඳිල්ල තූ කියල හිතුන. වෙලාවට කන්ට නෑ. නාන්ට නෑ. මොකක්ද මේ ජීවිතේ කියල මටම අපෝ වුනා ඔන්න. ඒ එක්කම මට හිතුන මීට හොඳයි හිරේවත් යන එක. එතන මොනව නැතිවුනත් වෙලාවට කන්ට, නාන්ට, නිදාගන්ට තියනවනෙ. අනික මට නුපුරුදු තැනකුත් නෙවෙයිනෙ. එහෙම හිතල මම ගොඩ වැදුන දවටගහ පල්ලිය ලඟ තියෙන මුස්ලිම් කඩේට. "

අහගෙන ඉන්න මිනිස්සුත් කටවල් ඇරගෙන ටික ටික තවත් කිට්ටු වෙනව ජන්තුව ගාවට.

" ගිහිල්ල ඉඳගත්ත පුටුවක් පස්සට ඇදල. කතා කලා වේටර කොලුවෙකුට. ඒයි ළමයා. ගේනවා සම්බ බත්, පුච්චපු කුකුළෙක්, අල, මාලු, සලාද ඔය තියෙන කෑම ඔක්කොම, යකෙක් කන්ට බඩගිනියි ....ගවනර් වගෙ කෑම ඕඩර් කරන්නෙ ඕයි…..තමුසෙ ගාව සල්ලි තියෙනවද? වේටරයා අහපි."

" සල්ලි නැතුව කන්ට එන්ට මෙතන දන්සැලක් නෙවෙයිනෙ. මම දන්නව ඒක. මේ තියෙන්නෙ ඕයි සල්ලි..මම මගෙ ඉණේ බැඳල තිබ්බ පටියෙ පොකට් එක පෙන්නුව. ඒක පිම්බිලා තිබ්බෙ ඇතුලෙ හතරට නවල දාල තිබ්බ පත්තරයක් හින්ද. වේටර කොලුව දන්නවය ඒක. "

" ඌ කරපු වැඩේ කඩේ තිබ්බ තරමක් හොඳ හොඳ කෑම ජාති ගෙනල්ල මේසෙ පිරෙව්ව. ඒත් මගෙ දිහා සැකෙං වගෙ බල බල. එව්වයිං මට වැඩක් ඇත.මම කෑව බඩවැල් දිග ඇරෙන්ට. තව පාරක් බතුත් ගෙන්නගෙන කාල කිරිපැණි එකකටත් වග කිව්ව. ඊට පස්සෙ නැයිකෙට් සිගරෙට්ටෙකකුත් පත්තු කොරාන මං දිහා ඇස් උඩ තියාන බලාඋන්නු ඔක්කෝමලාගෙ මූණු දිහාවෙ බලල මෙහෙම කිව්ව. මගෙ ලඟ තඹ අලුක්කාල් පිච්චියක්වත් නෑ. මාව බාර දීපල්ල පොලීසියට."

" අප්පටසිරි කඩේ හිටපු වේටරයො ඔක්කොම මාව වටකර ගනිපි. පෙනේද මේකා බඩ පැලෙනකල් කාල බීල එහෙම කියනව පණ්ඩිත කතාව..වරෙල්ල අද මුගෙ අඬු කඩල පොලීසියට බාර දෙමු. ඔන්න එතකොටම අල්ලපු මේසෙ ඉඳපු තලත්තෑනි මුදලාලි කෙනෙක් වහෙ රෙද්ද බැනියම ඇඳපු මනුස්සයෙක් කතාකලා. හා.හා..ඔය යකාට තඩි බාන්ට එපල්ල. අද මයෙ තාත්තගෙ මළගම සිද්දවෙලා හරියටම අවුරුදු පහක් වෙනව. මයෙ තාත්තට පිං සිද්ද වෙන්ට ඔය මනුස්සයට යන්ට ඇරපල්ල. මිනිහ කාපු බීපුවගෙ බිල මම ගෙවඤ්ඤා කියල. හෙහ්.ඉතිං මොකද කරන්නෙ? මම අර බිල ගෙවපු මනුස්සයට දෙතුං පාරක් රවල එහෙම හෝටලෙං දොට්ට බැස්ස."

" ආයම සැරයක් කොහොමද පොලිස්සියට අහුවෙලා හිරේ යන්නෙ කියල හිත හිත යද්දි මම දැක්ක වයසක ලොක්කෙක් අලුත්ම අලුත් කුඩයක් පාර අයිනෙ බස් හෝල්ට් එකකට හේත්තු කරල එතනම තියන පෙට්ටි කඩෙං බුලත් විටක්ද කොහෙද ගන්නව. මම මොකද කලේ ලෝඩ් බකිංහැම් වගෙ ගිහිල්ල අර කුඩෙත් අරගෙන හෙමීට යන්ට පටං ගත්ත. මම එහෙම හෙමීට ගියේ කුඩ අයිති කාරයට මාව අල්ලල පොලීසියට බාර දෙනට කල්දෙන්ට හිතාගෙන. "

" හිතුවත් වගේම නාකි ලොක්ක මගෙ පස්සෙං දුවගෙන ඇවිල්ල මගෙ අතකිං අල්ල ගත්ත. ඒයි ඒයි තමුසෙ කොහෙද යන්නෙ මේ මගෙ කුඩෙත් අරගෙන? ම්නිහ කෑගහන්ට ගත්ත. මම එතනම නැවතිල මිනිහගෙ ඉහේ ඉඳල දෙපතුල ගාවට දෙතුං පාරක් රවල බලල මෙහෙම කිව්ව. තමුසෙගෙ කුඩයක් කොහෙද ඕයි මෙතන? අන්ද කයිප්පු කැවිලද? මේක මගේ කුඩේ. තමුසෙගෙ කුඩේ තමුසෙ ගෙදර දාල එන්ට ඇති. ඔය වෙනකොට අහල පහල සෙනඟත් පිරෙන්ට පටං ගෙන. "

" අනේ මම අරම සැරදාල කිව්වම නාකි ලොක්ක බය වුනා. ආ එහෙමද? උන්නැහේ එහෙනං මට සමාවෙන්ට. මගෙ කුඩෙත් ඔය වගේම තමයි. කිව්වත් වගෙ මම එහෙනං කුඩේ ගෙදර දාල එන්ට ඇති. ඕං ඔහොම කියල මිනිහ හෙමිහිට ලිස්සලා ගියෙ නැද්ද? මම එතන පේමන්ට් එකේ නතර වෙලා අර මිනිහ පස්ස බල බලා යන දිහාවෙ බලා හිටිය ඇහිපිය නොහෙලා. මේ මොකක්ද වෙන්නෙ කියල හිතා ගන්ට බැරුව." 

" හෙහ්. ඒ කියන්නෙ ඕන වෙලාවට හිරේ යන එකත් ලේසි නෑ වගේ නේද ජන්තුවෝ? " කටවල් ඇරගෙන එතන වට වෙලා ඉන්න එකෙක් කියාපි. 

" මේ මොනව කියනවද? ඉඳහල්ලකො ඉතුරු විස්තරේ කියනකල්..ඉතිං මම අන්තිමට කල්පනා කලා පාරෙ කෑගහල කලබොලයක් කලොත් නොවැරදීම මාව අරගෙන ගිහිල්ල හිරේට දායි කියල. එහෙම හිතල මම කලේ එතනම  හන්දියෙ හිටගෙන ඉන්න රාළහාමි ගාවටම ගිහිල්ල මගෙ අලුත්ම කුඩෙත් දිග ඇරගෙන සරමත් පිටිපස්සෙං උස්සගෙන හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක කොල්ලො රැලක් එකතුවෙලා ගැහුව බැල් එක...කියල යටි ගිරියෙං කෑ ගගහ පාර පුරා නටන්ට පටං ගත්තු එක. දැං රාළහාමි මාව අල්ලගනියි, දැං අල්ලගනියි කියල හිතුවට මම පාර පුරා දඟලනව දැක්කෙ නෑ වගෙ අර රාළහාමි මෙන්න අහක බලාගෙන ඉන්නව. මට ඇහුණ එතකොට මගෙ විගඩං බලාගෙන හිටපු නෝනා කෙනෙක් රාළහාමිට කිට්ටු වෙලා මෙහෙම අහනව. ඇයි රාළහාමි අර පිස්සව අල්ලගෙන ගිහිල්ල හිරේ දාන්නෙ නැත්තෙ? පේන්නෙ නැද්ද බීලද කොහෙද පාර පුරා නට නට අර කරන විකාරෙ? "

" දන්නවද රාළහාමි කියපු එක.. එහෙම කරන්ට බෑ නෝනා..අද රෝයල් - තෝමියන් මැච් එක..පාරෙ සිංදු කියකිය නැටුවයි කියල අද කවුරුවත් අත් අඩංගුවට ගන්ට බෑ. ඉතිං මොකෝ කොරන්නෙ? මම එහෙමම නටාගෙනම ගිහිල්ල සෙනඟ තලේ මුවා වෙලා හිමීට මාරුවුනා. පාර අයිනෙ තාප්පෙකට හේත්තුවෙලා ඔන්න මම කල්පනා කරන්ට ගත්ත. බඩත් පිරිල අලුත්ම අලුත් කුඩේකුත් අතට ලබිල තියෙන හින්ද මගෙ හිතත් නිකං එක විදිහක් වගෙ වෙලයි තිබ්බෙ. "

" ඉතිං මටම හිතුන මොකක්ද මං මේ ගතකරන පව්කාර ජීවිතේ? එලොවටත් නෑ මෙලොවටත් නෑ. හරි අද ඉඳල මම මේ පව්කාර වැඩ ඔක්කොම අත ඇරල දාල හොඳ මනුස්සයෙක් වෙනව. සත්තයි. එහෙම හිතල හෙමීට පාර දිගේ ගම් පැත්තට එනකොට අර එහා හන්දියෙ පන්සලේ මම දැක්ක හාමුදුරු කෙනෙක් බණක් කියනව. මාත් හෙමීට ඒ බණ අහන කට්ටියෙ අයිනකට එකතුවෙලා අත්දෙක එහෙම එකතුකරල වැඳගෙන කාරිය බණ අහන්ට ගත්ත. "

" අනේ ඒ බණ ඩිංගෙ අපූරුව කොච්චරද කියල කියනව නං මට මම මෙතෙක් කල් ගත කරපු ජීවිතේ තූ කියල හිතුන. සාදු සාදු සාදු කියල කියන්ට අත්දෙක උස්සනකොටම කවුද දඬු අඩුවකින් ඇල්ලුව වගෙ මගෙ බෙල්ල මුලිම්ම අල්ල ගත්තෙ නැද්ද? හැරිල බැලින්නං අපේ පොලිසියෙ සාජං මහත්තය.. තෝ මොකද බොල මෙතන කරන්නෙ? කාගෙ හරි සාක්කුවකට විදින්ට නේද හැදුවෙ තක්කඩිය? ආ..කාගෙද මේ අලුත්ම කුඩේ? තෝ මේකත් හොරකං කලා නේද? වර යන්ට අලුගුත්තේරුවා පොලීසියට. එහෙම කියල සාජං මහත්තය මාව ඇදගෙන ගිහිල්ල උසාවි දාල දවස් දාහතරකට හිරේ පලච්චෙව්ව. ඒ හිරේ ගිය එකෙං නිදහස් වෙලා තමයි මම මේ එන්නෙ. ආය නං හොඳ මිනිහෙක් වෙන්ට හීනෙකිංවත් හිතන්නෙ මම නං නෙවෙයි. මට මේ පුරුදු ජීවිතේ හොඳයි. " එහෙම කියල ජන්තුවා ඈඳිගෙන උන්නු කඩපිලෙං නැඟිටල යන්ට ගියා.

රයිට් ඒක තමයි මම අර කියඤ්ඤම්ය කියල කියාපු ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ කෙටිකතාව. මතක තියෙන විදිහටයි ඔය ලිව්වෙ...හෙහ්,හෙහ්,

ඉතිං මම පොරොන්දු වුනානෙ මලිති නෝන මහත්තැන්ට සඳුදා කොයිමක් කරල හරි කතාවෙ ඊළඟ කොටස දානවය කියල. මම මෙහෙමයිනෙ කිව්වෙ.

/ නෑ නෝනා, නෑ..නෑ..නෑ..උපරිම බයි මන්ඩේ....මයි බන්ඩේ..බයි මන්ඩේ...:) /

එතකොට අනේ කතාව පරක්කු වෙයි කියල නාහෙං අඬපු මානවික්ස් මෙනෙවියට පිළිතුරු වසයෙන් මම මෙහෙමත් කිව්ව.

/ නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..මම අර මලිති නෝනට පොරොන්දු වුනානෙව. මම ඇවිල්ල ඔය වනිතාවන්ට වෙන පොරොන්දු අකුරටම රකින කෙනෙක්..තේරුනාද? අපෙ හාමිනේ කොයි වෙලෙත් කියන කතාවක් තමයි. " ඔයා ඉතිං මොකද? ඉඟ සුඟ ගස්සල අනේ අයියේ කියල හතර අතට ඇඹරිල කවුරු හරි අංගනාවියක් කළුනික ගේන්ට කිව්වද ඒත් යයි ඕකේ. මැඩම් කියාගෙන " /

ඔය අපෙ හාමිනේ බැණ අඬගහන කතාවත් මරු. කාලයක් අපි දෙන්න හිටිය ඔය ඇනෙක්සියක පදිංචි වෙලා. ඔය නුවර කිට්ටුව හීරැස්සගල කියන පළාතෙ. මම ඉතිං ඔය දවස් දෙකෙකට වගෙ වතාවක් යනව මීටර් හාරපන්සීයක් එහා තිබ්බ සුපර් මාර්කට් එහෙකට බඩු ගේන්ට. ඔය වැඩි දෙයක් එහෙම නෙවෙයි. කිලෝ පහේ නිපුණ මල්ලක්, සීනි පංසීයක්, එළවළුවක් දෙකක්, ඔය වගෙ මොක මොකව හරි සිල්ලර බඩු ටිකක් හේනව හවස් අතේ ගිහිල්ල. මම ඔය කඩේ යන පාර පල්ලෙහා තිබ්බ ඒ අහල පහලම තිබ්බ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නේස් නෝනල හත් අට දෙනෙක් නතර වෙලා හිටපු පොඩි ගේ කෑල්ලක්. පළවෙනි දවසෙ ඉතිං හිනා වෙලා. දෙවෙනි දවසෙ ගුඩ් ඊවිනිං අයියෙ කියල, තුංවෙනි දවසෙ අයිය මේ කිට්ටුවද ඉන්නෙ? ගමත් මෙහෙමයිද? කියල අහල අපි දෙගොල්ල ඔන්න හිතවත් වුනාය කියමුකො.

ඉතිං පස්වෙනි හයවෙනි දවස් වෙනකොට අනේ අයියෙ, කඩේට යනෝනං මටත් ටූප්පේස් එකක් ගෙනැත් දෙනවද? කියල ඉරේෂා මගෙං අහපි. හෙහ්, මනුස්සයෙකුට උදව්වක් ආය මනුස්සයෙක් නැතුව සත්තු සරපයි කොරයිය එහෙම හිතල මම තනි පයිං ඒ වැඩේ බාර ගත්ත. ඒ පස්ට් ඩේ. සෙකන්ඩ් ඩේ ඉරේෂට ලස් කෑල්ලක් ඕනය කිව්ව. එතකොට නිමන්තිට ..ඔව්..ඔව්..නිමන්ති තමයි..හෙහ්..කොකොමද මහෙ මෙමරි කැපෑකුටි එක. දැං වෙනව ඔය නේස් ළමයි එක්ක ආස්සරේ කරල අවුරුදුම එක දොළහක් පාළහක් වගෙ. හෙහ්..අද ඊයෙ වගෙ මතකයි මට. හරි නිමන්තිට ..ඔය නිමන්ති ඉන්නව නේද? හරියටම අර මේ ඊයෙ පෙරෙයිද ගියේ අකඩවාරිය කියල ටෙලි චිත්‍රපටයක්. අන්න ඒකෙ ප්‍රධාන  නිළිය වගේමයි..අර අංගම් පොර අල්ලන කෙල්ල....කවුද නම? ආ..හරි සුධීරා...අන්න ඒ ළමයා වගේමයි.

හරි අකඩවාරිය ගැන ඒ ඇති. ඉතිං පස්සෙ පස්සෙ අර ලීලයි , කමලයි, චම්පයි, රේකයි බානුමතියි නයනයි සඳරේකයි දියගන්නට එන්නේ ලිඳ ළඟටයි කිව්ව වගෙ ඉරේෂයි, නිමන්තියි, තරුෂිකායි, නයනතාරයි ඔය ඔක්කොමල බඩුමුට්ටු ගෙන්න ගන්ට ගත්ත මට කියල. කොච්චර හරි අන්තිමට මට ඒ වෙනුවෙම්ම සුට්ටි පොත් පිංචකුත් ගන්ට වුනේ නැද්ද? එහෙම නැහ්නං ඔය කෙල්ලො හත් අට දෙනෙක්ට වෙන වෙනම බඩු ගේන්ට මතක තියාගන්ට පුලුහං මොන යකාටද? පස්සෙ ඔය නයනතාරද කොහෙද යාලු වෙලා හිටපු කොල්ල මට ගහන්ටත් ආපි. වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව ඊරිසියාව...හෙහ්.. අන්තිමට ඒ කෙල්ලො එක්ක ආස්සරේ නතර වුනේ ඒ වසවර්තිය මට ගහන්ට ආපු හින්ද නම් නෙවෙයි ..හෙහ්..එව්වට කවුද බය? අර මම කෙල්ලො ගේන්ට කියන බඩු ලිස්ටෙක ලියන පොත් පිංච..හෙහ්..මගෙ සෝට් බෑයෙ සාක්කුවෙ ඕක දවසක් අමතක වුනානෙ මට. සෝට හෝදන්ට ගිය වෙලාවෙ අපෙ උන්දැට ඔය පොත් පිංච අහුවෙච්චි.

ආය මොනවද? එදා අපේ ඇනෙක්සියට හිරෝසිමා නාගසාකි නගර දෙකට දාපු පරමාණු බෝම්බ දෙකම එකට, එක විඩේට වැටිච්චි. ඒ එක්කම ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් සහ ඔපරේෂන් ඕවර් ලෝඩ් යුද මෙහෙයුම් දෙකම එක දවසෙ දියත් වුනා...හෙහ්. හෙහ්, ( ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් කියන්නෙ 1991 දි සදාම් හුසේන් පරාජය කරන්නට කල මෙහෙයුම. එතකොට ඔපරේෂන් ඕවර්ලෝඩ් කියන්නෙ 1944 අවුරුද්දෙ හිට්ලර් අවසාන වශයෙන් පාරජය කරන්නට මිත්‍ර හමුදා එංගලන්තෙ ඉඳල දියත් කරපු මහා මෙහෙයුම )

හරි...ඒ මගෙ වනිතා කටයුතු මෙහෙයුම හා එහි අතුරු ප්‍රතිඵල ගැන දෙවනුව සවිස්තරව ලියන්නෙමි. නැත්තං අද ආය..අර පේන්නෙ නැත?..අපේ ලොකු පුතා දැනටම පිටපොට ගහනව...හෙහ්,හෙහ්, 

රායිට්ස්...ඇඩ් එහෙකට පස්සෙ මේ දවස්වල රූපවාහිනියෙ දාන්නෙ.....අන්න ඒ වගෙ... සුපුරුදු වැඩ සටහන වෙත නැවතත්. බෑක් ටු අවර් රෙගියුලර් ප්‍රෝග්‍රම්...

ඒ කියන්නෙ අබවුට් අසෝකා.....නොහොත් කොස් කපන ළමයා…...ගරු කටයුතු ප්‍රසන්න සහ ධුරන්ධර සත්ගුණවත් හැලපයා යන මහත්වරුනට සුවසේ නින්ද යනු පිණිස මෙතැන් සිට කොස් කපන ළමයාගේ කතාව......රම් පම්..පම්..පම්…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

මම ඉතිං සරොජිනී ගැන කතාව කියල ඉවරවුනා. අසෝකා නංගිගෙ මූණෙ තිබ්බෙ මහ සීරියස් පෙනුමක්…

" අයියද එහෙනං ඒ?....අයිය ගැනයි එහෙනං එයා මට කිව්වෙ.... "

" මොකක්? මොනවද මං ගැන කිව්වෙ? "

එක විඩේම සද්දෙට එහෙම කියවුන හින්ද අජිතයටයි නැන්දම්මටයි ඇහුනදත් මන්ද..අසෝකටත් එහෙමම හිතෙන්ට ඇති ..අපි දෙන්නට එකම විඩේ ඔලුව හරවල බරපතල සාකච්ඡාවක නිරතවෙලා ඉන්න ඒ දෙන්න දිහා බැලුව. නෑ...ඇහිච්චි බවක් පේන්ට නම් නෑ..ඇහිල නෑ..එහෙම අඟවන්ට අසෝකා ඒ පැත්තට ඉඟි මරල ඔලුව දෙපැත්තට වනල හිනා වුනා. 

" ඉතිං මං ගැන සරෝජිනී කිව්වෙ මොනවද කියන්ටකො.." මම කටහඬපහත් කරල වේවැල් පුටුවෙ පුලුවන් තරම් ඉස්සරහට වෙලා එයා දිහාට නැවුනා.

" නෑ..නෑ..එහෙම නරකක් මොකවත් කිව්වෙ නෑ...අම්ම එයාට බල කලාය කියල කිව්ව මෙහෙම කෙනෙක් ගැන. අයියලගෙ අම්මගෙයි එයාලගෙ අම්මගෙයි යාලුකම ගැනත් කිව්ව..ඒත් ඔය වාට්ටුවෙදි අයියව හම්බවෙච්චි කතාවක් මා එක්ක කිව්වෙ නෑනෙ." 

" හෙහ්..ඒ විස්තරේ කිව්වෙ නැද්ද? සමහරවිට මොකටද වැඩි විස්තර කියල හිතන්ට ඇති…" 

" එහෙමත් වෙන්ට පුලුවන්...ඒත් සරෝ මගේ හොඳම යාලුවා.." අසෝකා එහෙම කියල යටි තොල පෙරලල උරහිස් හැකිලුවා. හරියට අනේ මන්දා කියල ඇඟවෙන්න වගේ.

ඊලඟට අසෝකගෙ දෑසට ආයම ආව අර සීරියස් පෙනුම .." අයිය දන්නවද සරෝ අයියට අකමැති වුනේ මොකද කියල? " 

" ම්හු...අයි ඩොන් නෝ මෙලෝ දෙයක්…" මම හිනාවුනා.

" සරෝජිනීට එෆෙයාර් එකක් තිබ්බ..ඒ හින්දයි එයා අකමැතිවුනේ..."

" නැහ්? ඉතිං ඒ මෝඩි ඕක කෙලිම්ම කිව්වනං ඉවරයිනෙ..මොකෝ එහෙම කිව්වනං මම අර පල්ලෙහා මේන් එන්ට්‍රන්ස් එක ගාව වී.ඩී. ක්ලිනික් එකට අල්ලපු කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් ගාවට ඒ ළමයව කරේ තියාගෙන ගිහිල්ල බලෙම්ම කසාද බැඳගනියි කියලවත් හිතුවද දන්නෙ නෑ ..හෙහ්…"

" හිහිහ්..අයියත් කියන කතා…" අසෝකා කට අතකින් වගගෙන හිනාවුනා. 

නුවර මහ ඉස්පිරිතාලෙ ඇතුල්වෙන තැනම ඒ කාලෙ තිබ්බෙ වී.ඩී. ක්ලිනික් එක. ඊට අල්ලපු කාමරේ හිටිය උපත්, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර් කෙනෙක්. ඒ මනුස්සය උපත් සහ මරණ රෙජිස්ටර් කලාට මයෙ හිතේ කවදාවත් එතන විවාහයක්නම් රෙජිස්ටර් කලාය කියල ආරංචියක් නම් නෑ. අර විදිහට සරෝජිනීව උස්සගෙන ගිහිල්ල මම එතන විවාහෙ රෙජිස්ටර් කලානම් ඒක නුවර ඉස්පිරිතාලෙ ලියාපදිංචි කරපු පළමු විවාහය හැටියට ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙනව ලියවෙනවාමයි.

" ඉතිං මොකද හැබෑට ඔය ළමය ඔය එෆෙයාර් එක හංගන්නෙ? මම හිතන්නෙ එයාලගෙ අම්මලවත් දන්නෙ නෑ "

" නෑ..නෑ..නෑ..අම්මා දන්නව. අම්ම ඒකට තනිකරම විරුද්දයි. "

" ඒ මොකද? "

" මේ කුල ප්‍රශ්ණයක්... "

" ආ...එහෙමත් එකක්ද? "

" එහෙනං..ඒ කොල්ලත් අපේ බැච් එකේමයි. දැං වැඩ කරන්නෙ කුරුණෑගල ඉස්පිරිතාලෙ. හරිම හොඳ ළමය. ඒත් කුළේ තමයි ප්‍රශ්ණෙ..සරෝජිනීලගෙ අම්මල ඔය කුළ කේස් ගැන සෑහෙන්න හොයනව. "

" ඕගොල්ලොත් එහෙමද? "

" මෙහෙමයි..මම නම් ඔය කුළේ ඒ හැටි වැදගත් කියල සළකන්නෙ නෑ. ඒත් අපේ අම්මල අප්පච්චිල නම් ඒ ගැන හොයනව. "

" ඒකත් එහෙමද?" මම බිම බලාගෙන සුසුමක් හෙලුව. 

" ඇයි අයිය එහෙම ඇහුවෙ? " අසෝකා නළල රැලි කරගෙන ඇහුව. 

" නෑ අපිත් අඩුයි කියල කියන...." මම එතනින් කතාව නතර කරල අහක බලාගත්ත. 

" බොරු කියන්ට එපා අනේ...." අසෝකා කට ඇතුලෙන් කිව්වා. 

" බොරු නෙවෙයි අජිත් අයියගෙන් අහන්ටකො විස්වාස නැත්තං " මම එහෙම කියල නැඟිට්ට.

රයිට් ඉතිං ඔය අසෝකලගෙ ගෙදර සීන් එකෙන් පස්සෙ අසෝකයි මායි බොහොම හිතවත් වුනා. ඒ කෙල්ල ඇත්තටම බොහොම විවෘතයි. ඕපන් ඉකොනොමි කියන්නෙ. අන්න එහෙම. ඊට පස්සෙත් දෙතුන් පාරක් අජිතය එක්ක උගෙ ගෙදර ගිහාම මමයි අජිතයයි අසෝකලගෙ ගෙදර ගියා. එහෙම නැත්තං අජිතයලගෙ ගෙදරදි අපි හම්බවුනා. කෙලින්ම ඔය සෙනෙහෙද මොකක්ද එක ප්‍රකාශ නොකලට පොඩි මෙව්ව එකක් තියනවයි කියල එයත් දැනගෙන හිටිය. මාත් දැනගෙන හිටිය. ඊට අමතරව එයා දැනගෙන ඉන්නෙ කියල මාත් දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයත් දැනගෙන හිටිය. එතකොට එයා දැනගෙන ඉන්නෙ කියල මම දන්නවයි ඉන්නෙ කියලත් එයා දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයා දන්නවයි කියල මමත් දැනගෙන හිටිය. යනාදී වශයෙන් ........

ඉතිං ඔය සුජිත අක්කගෙ මඟුල් ගෙදර සෙට් වුනේ ඔය අතරෙ තමයි. ( මතකද මන්ද.....සුජිත කියන්නෙ අජිතයගෙ අක්ක . සුජිත අක්කගෙ මඟුල් ගෙදරට උදව් වෙන්ට කියල මම දවස් තුන හතරක් කලින් අජිතයලෙගෙ ගෙදර ඇවිල්ලයි මේ ඉන්නෙ )

අජිතයත් බොහොම කැමැත්තෙං හිටිය මේ වැඩේට. වැඩේට කිව්වෙ අසෝකයි මායි අතරෙ මොකක් හරි ආතල් එකක් සෙට් වෙයි කියල.මගෙ හැටි සොබාව දන්න හින්ද ඕකා කෙලින්ම කියන්නෙ නෑ. වහෙං ඔරෝ කියනව. සුජිත අක්කත් එහෙමයි.

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ? " මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

" මොකෝ මේ කොස් කපන්ට තේරෙන්නෙ නැතුව මට එන්ට කියල නාහෙං අඬනව කියන්නෙ?" දර මඩුවෙ උළුවස්සට අත්දෙක තියල මම ඇහුව.

පරණ ගවුමක් ඇඳල සායං ගිය දිය රෙද්දක්ද කොහෙද ඉණෙං පල්ලෙහාට පටලවගෙන ඒ කෙල්ල කිසි කිසි ගාල කොස් කපනව හිරමණේක ඉඳගෙන. මේ දර මඩුවෙ තමයි අජිතයයි මායි ඊයෙ රෑ වෙලා පොඩි ආතල් එකක් ගත්තෙ. පිටිපස්සට වෙන්ට තිබ්බ බූ හනසු ගොඩ අස්සෙං හිස් බෝතලේක කට හරිය තාමත් පේන්ට තියනව.

" මම ? මම එහෙම මොකවත් කියාපු එකක් නෑ.." අසෝකගෙ මූණට දාඩිය දාල. 

" එහෙනං අර මනමාලි කියන්නෙ? මනමාලියො බොරු කියනවය මේ මඟුල් කට ලඟටම ඇවිල්ල තියෙද්දි...." කතා කරන අතරෙම මම හෙමිහිට මට නෙවෙයි වගෙ බූ හනසු ගොඩ ගාවට ගිහිල්ල විළුඹෙං අර හිස් බෝතලේ තල්ලු කලා ඇතුලට.

අසෝකා බිම බලාගෙනම කොස් කපනව. මම බිත්තිය අයිනෙ තිබ්බ පරණ පෙට්ටගම උඩ වාඩිවුනා. " මොකෝ කතා නැත්තෙ? "

" නෑ මම මේ කල්පනා කලේ කාරණා දෙකෙන් ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල. "

" කාරණා දෙකක් තියනවද? මම ඇහුවෙ නම් එකයි. මනමාලියො බොරු කියනවද කියල. "

" හරි එහෙනං ඒකට මම ඉස්සෙල්ල උත්තර දීල ඉන්නංකො. මනමාලියො කියල නෑ ගෑණු මිනිස්සු කවුරුත් බොරු කියනව. "

" එතකොට දෙවෙනි කාරණේ ? " 

අසෝකා ඔලුව උස්සල මගේ දිහා බලල යන්තමට හිනා වුනා. " දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා. "

Friday, July 10, 2015

331. විමලෙගෙ වාංපතුල් කතා - 32 - What's common to Celltel, JCB, Bata & Hilti? සහ අයිය දන්නවද සරෝජිනී අයියට අකමැති වුනේ මොකද කියල?

Google Images

අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ. 


" සරෝජිනී. " මම ඒ ඉස්සෙලමද කොහෙද එයාට නම කියල කතාකලේ

" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.

ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව.. ඊටපස්සෙ හෙමිහිට කනට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.

ඇයි ඒ?... නැත්නම් මොකද ඔයා එහෙම කියන්නෙ?..... එහෙම අහනවද නැද්ද?..... හිත අතීරණයක එහාමෙහා වැනෙද්දි මම එහෙමම මේසෙ ඉස්සරහ හිටගෙන හිටිය. ඇයි සරෝජිනී එපා කියන්නෙ?.... හිතේ කුතුහලයක් නැත්තෙමත් නෑ. මොකද පහුගිය දවස් කීපයෙ මා එක්ක කතාබහ කරපු විදිහෙන්, ඒ කතාබහ කරද්දි ඉරියව් වලින් එහෙම අකමැත්තක් මට පෙනුනෙම නෑ..එතකොට ඇයි එපා කියන්නෙ? අහනවද? නැද්ද?..අහනවද? නැද්ද?...මම සරෝජිනීගෙ මේසෙ ඉස්සරහ හිටගෙන ඉන්න ගමන් කල්පනා කලා. අන්තිමට කුතුහලය මැඩගෙන මගෙ ගර්වය මතුවුනා.

මොන කෙහෙල්මලක්ද? මම මොකටද මෙයාට සෙකන්ඩ් වෙන්නෙ? එපා කියල කිව්වනෙ..ආය මොකටද අහන්ට යන්නෙ ඇයි එපා කියන්නෙ කියල. මූණට දමල ගැහුව වගෙ එපා කියන්නෙ එපා හින්ද කියල කිව්වොත් එහෙම. ළඟ අහල පහළ කවුරුවත් ( මම හෙමිහිට ඔළුව හරවල දෙපැත්ත බැලුවා.) නම් නෑ තමයි. ඒත් මගෙ ආත්ම අභිමානයට වෙන මදිපුංචිකම..හෙහ්...ඒකනෙ..ඔන්න ඔහෙ දමල ගහල යනව යන්ට. 

මම එක්වරම ආපහු හැරිල සරෝජිනීට පිටුපාල යන්ට ගියා. වාට්ටුවෙන් පිටවෙන දොරේ අල්ලුවෙන් උඩ හරිය වීදුරු පනේල තුනක්. විනිවිද පෙනෙන වීදුරුවලින් ඡායාවන් පේනවා හොරයි. ඒත් මේ දොරේ වීදුරුවල පිටිපස්සෙ කළු එක්ස්-රේ කොළ අලවල තිබුන මම හිතන්නෙ ඉර අව්ව තදේට වාට්ටුව ඇතුලට වැටෙන එක වලක්වන්ට. ඒ නිසාමද කොහෙද සරෝජිනී මොනවද ලියමින් හිටිය පොත උඩ අත්දෙක තියාගෙන ඔලුව උස්සල මා දිහා බලා ඉන්නව දොරේ වීදුරුවෙන් මම දැක්ක. දොරේ අල්ලුවත් දකුණතින් අල්ලගෙන මම හෙමිහිට ආපහු හැරුන. එහෙම හැරිල බලද්දි එයා ආයම ඔලුව නමාගෙන පොත දිහා බලාගෙන. 

දොරේ අල්ලුවෙන් අල්ලල ඇදල, දොර ඇරල, මම වාට්ටුවෙන් පිටවෙලා ආවා.

" අර ළමය මොකද පුතා කිව්වෙ? "

ඒ එදා රෑ...අප්පච්චි කලින්ම කාල නිදාගත්ත. අම්මයි මායි සාලෙට වෙලා. රූපවාහිනියෙ අටේ ප්‍රවෘත්ති බලමින් හිටියෙ. මොන ළමය ගැනද අම්ම ඔය කතා කරන්නෙ කියල අහල වෙනද වගෙ කෝළිත්තං කරන්ට තරම් හිතක් මට තිබුනෙ නෑ ඒ වෙලාවෙ. 

" මොකවත් කිව්වෙ නෑ. "

එහෙම කියල මම ටීපෝ එක උඩ තිබ්බ පත්තරයක් අතට ගත්ත. මම ඒ ගැන කතාකරන්ට අකමැතිබව අම්මට තේරෙන්ට ඇති මයෙ හිතේ, අම්ම ඒගැන ආයෙම කතාකලේ නෑ.

" පුතා හෙටම වැඩට යනවද? "

විනාඩි දහයක් තරම නිශ්ශබ්දතාවයෙ වෙලිල ගතවෙච්ච කාල පරාසයකට පස්සෙ අම්ම ඇහුව. 

" ඔව් අම්මෙ..සතියක් වගෙ වැඩට ගියෙත් නැහැනෙ. හෙටම යන්ට ඕන. දැන් ඒ හැටි ප්‍රශ්ණයක් නෑනෙ. අප්පච්චි ආයම ක්ලිනික් එක්ක යන්න ඕනෙ සති දෙකකින්නෙ. එතකොට මම නිවාඩුවක් දාන්නම්. "

සරෝජිනී ගැන ඇත්තටම ඊට පස්සෙ වැදගත් දෙයක් කියන්ට නෑ. සති දෙකකින් අප්පච්චිව ක්ලිනික් එකට එක්කයන්ට ඕන නිසා මටත් ආයම නිවාඩු දාන්ට වෙනව. ඒ නිසා ඒ ආසන්නයේම යෙදුනු සති අන්තයෙ මම ගෙදර ආවෙ නෑ. අතපසු වෙච්චි හදිසි වැඩ එකලාසයක් කරන්ටත් ඕන නිසා ක්වාටර්ස් එකේම නැවතුනා.

ඊළඟ සතියෙ බෘහස්පතින්දා අප්පච්චිට ක්ලිනික් එක තිබ්බෙ. ඔය කාලෙ වෙනකොට මම හිටියෙ අපේ ඔෆිස් එකෙන් කිලෝ මීටර් හත අටක් වගෙ දුර. ටෙලිෆෝන් තිබ්බෙ ඔෆිස් එකට විතරයි. මම හිටපු දිහා උප තැපැල් කන්තෝරුවට ටෙලිෆෝන් තිබ්බට ඒකෙ කෝඩ් එක පොළොන්නරුව. ඒ හින්ද නුවරට කෝල් එකක් එකක් ගන්ට හරිම අමාරුයි. 

ජංගම දුරකථන ඔය වෙනකොට සුඛෝපභෝගී උපකරණයක්. ආපුම අලුත දුන්නෙත් මන්ත්‍රීලට විතරක්ද කොහෙද...ඔය ඩයලොග්, බයලොග්, මොබිටෙල්, බොබිටෙල් මොකවත් තිබ්බෙ නෑ ඒ මුල්ම කාලෙ. ජංගම දුරකථන සේවා සැපයුවෙ සෙල්ටෙල් සමාගමෙන් විතරයි. කොහොමහරි ඒකාලෙ මොබයිල් ෆෝන් එකට කිව්වෙත් සෙල්ටෙල් එක කියල.යම් භාණ්ඩයක් හෝ උපකරණයක් හැඳින්වීමට ඒවා නිෂ්පාදනය කරන ආයතනයක වෙළඳ නාමය පර්යාය පදයක් වශයෙන් භාවිතාවන අවස්ථා බොහොම තියෙනව. රබර් සෙරෙප්පු හැඳින්වීමට බාටාව නැත්නම් බාටෙ..( අනේ මගෙ බාටාව ඇලේ යනෝ..බේරගන්ට කවුරුත් නැද්දෝ..අන්න ඒ වගෙ ) බැකෝ හැඳින්වීමට ජේසීබී එක, ඩ්රිලර්ස් හැඳින්වීමට හිල්ටිය... ඒ එහෙම අවස්ථාවලට උදාහරණ.

අඟහරුවාදා මට පණිවිඩයක් ආව ඔෆිස් එකෙන් හැකි ඉක්මණින් ගෙදරට කතා කරන්නෙයි කියල. මට එක පාරටම හිතුනෙ අප්පච්චිට ආයෙමත්…

" හරි හරි යමුකො…... අපි ගිහිල්ල බලමුකො මොකද වෙලා තියෙන්නෙ කියල. " අජිත් ෂර්ට් එකක් දාගන්න ගමන් කිව්ව. 

අජිතය එක්ක මම ගියා සබ් පෝස්ට් ඔෆිස් එකට ඒ වෙලාවෙම. මගෙ වෙලාවටමද කොහෙද පැය බාගයක් වගෙ ඇතුලත කෝල් එක ගත්ත ගෙදරට..

" ආ පුතා…. මම මේ කතා හෙට හවස ගෙදර එනව නේද කියල අහන්ට. " ඒ අම්මා.

" එන්නෙ නැතුව ආය?.... මම කියලනෙ ආවෙ අනිවාර්‍යයෙන් එනවයි කියල..අම්මටත් මොනව වෙලාද මන්ද..මම එක පාරටම බය වුනා ගෙදරට කෝල් එකක් ගන්න කියල පණිවිඩේ ආහම " මගේ හිතේ නොරිස්සුම අම්මට ඇඟවෙන්ටත් එක්ක මම කියල දැම්මා.

" ආ..නෑ..නෑ...පුතාට බය වෙන්ට දෙයක් නෑ..මම ඊයෙ සුරවීර ආන්ටි එක්ක කතාකලා සෑහෙන වෙලාවක්…" 

" හ්ම්ම්ම්...ඇත්තද? මොනවද කිව්වෙ? …" මම වැඩි උනන්දුවක් නොපෙන්වා ඇහුව..

" හරි හරි..පුතා හෙට හවස එන්ටකො..අපි ආහම කතාකරමු…" අම්ම එහෙම කියල තව ඔය විස්තර ටිකකුත් කතා කරල ටෙලිෆෝන් එක තිබ්බ.

" උඹට ලේසිවෙන එකක් නෑ මෙදාපාර ...හෙහ්,හෙහ්, " බිල ගෙවල සබ් පෝස්ට් එකෙන් එළියට බහින අතරෙ අජිතය කිව්ව.

පහුවදා හවස මම ගෙදර ආව. රෑට බත් කන ගමන් අම්ම ආයම සුපුරුදු විෂයයට අවතීර්ණ වුනා. 

" සුරවීර ආන්ටි කැමතියි පුතා මේ වැඩේට....."

" සුරවීර ආන්ටි කැමතිවෙලා වැඩක් නෑනෙ අම්මෙ.." 

" නෑ..නෑ..ඒ දුවත් කැමතියිලු.." 

" හරි එහෙම කැමතිනම් එයාට කියන්ට මට කතාකරන්ට කියල. මම ආයෙ වැඩට යන්නෙ සඳුද. දවස් හතරක් තියනවනෙ. එයාටම කියන්ට මට කතා කරන්ට කියල. " මම එහෙම කියල පිඟානත් අරගෙන මේසෙන් නැඟිට්ට.

පහුවදා බෘහස්පතින්දා පිළිමතලාවෙන් හයර් එකට වෑන් එකක් ගෙනල්ල මම අප්ච්චිව ක්ලිනික් එකට එක්ක ගියා. සිකුරාද නුවර ටවුමෙ උදේ වරුව කරක් ගහල කාසල් එකෙන් ලාගර් බෝතල් දෙකකුත් ගහල දවල්ටත් කාල ගෙදර ගියා. සෙනසුරාද පිළිමතලාවට ගිහිල්ල කොණ්ඩෙයි රැවුලයි කපාගෙන ආව.

පිළිමතලාවෙ ටවුන් එකේ තියනව අර සුද්දන්ගෙ කාලෙ ටයිප් පරණ බාබර් සාප්පුවක්.දැකල තියද නම් දන්නෙ නෑ අර පස්වන ජෝර්ජ්, හයවන ජෝර්ජ් සහ චර්චිල්ගෙ එහෙම රාමු කරපු ෆොටෝ එල්ලල තියෙන්නෙ. තව අනිවාර්යයෙන්ම තියෙනව ඩී.එස්. ඩඩ්ලි, සර් ජෝන් සහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙ ෆොටෝත් එල්ලල. 

ඒ වගෙ කොලෝනියල් ටයිප් පරණ බාබර් සාප්පුවල දැලිපිහියෙන් රැවුල කපන්නෙ. දැළිපිහේ මුවත් තියන්ට කරගල වෙනුවට තියෙන්නෙ බාබර් සාප්පුවෙ පිටිපස්සට වෙන්ට බිත්තියෙ ඇණයක් ගහල ඒකෙ එල්ලපු හම් පටියක්. පිළිමතලාවෙ තව අලුත් ඉට්ටැයිල් එකේ සැලෝන් දෙකක්ම තිබුනත් මම කොන්ඩෙ රැවුල කැපුවෙ අර ආදිකාලෙ බාබර් සාප්පුවෙන් විතරයි. ඔය කරණවෑමි සාප්පුව සම්බන්ධව මගේ අමතක නොවන අත්දැකීමකුත් තියනව....හෙහ්......පස්සෙ දවසක හොඳද?

සඳුදා පාන්දරම වැඩට යන්ට පුලුවන් උනත් ඉරිද දවල්ට කාල මම ගෙදරින් ආව. 

" අම්මෙ එහෙනම් මම ගිහිල්ල එන්නම්." මම පාත්වෙලා අම්මට වැන්ද.." අප්පච්චිට කියන්ට මම ගියාය කියල. " 

අප්පච්චි ඒ වෙනකොට කලින්ම දවල්ට කාල නිදි. අප්පච්චි ඒ කාලෙ දවසෙ වැඩිහරියක්ම නිදාගෙන තමයි හිටියෙ. 

" හොඳයි පුතා ගිහිල්ල එන්න.." අම්ම එහෙම කියල මගෙ ඔලුව අතගෑව. 

ඒ දවස් හතරෙම සරෝජිනී මට කතා කලේ නෑ. ඊට පස්සෙ ඒ ගැන අම්ම මට කිසිම දෙයක් කිව්වෙත් නෑ..මම ඇහුවෙත් නෑ…

" ඉතිං සරෝජිනීගෙ කතාව මැඩම් ඔන්න ඔච්චරයි. " 

මම ඒ මැඩම් කියල කිව්වෙ අසෝකා නංගිට. අපි දෙන්න හිටියෙ එයාලගෙ ගෙදර සාලෙ ඉස්සරහ පැත්තෙ වේවැල් පුටු දෙකක වාඩිවෙලා මූණිං මුණ බලාගෙන. අජිතයයි උගෙ නැන්දම්මයි ( නැන්දම්ම කියන්නෙ අසෝකා නංගිගෙ අම්මා ) සාලෙ පිටිපස්සට වෙන්ට තිබ්බ මේසෙ ඉඳගෙන මාළිගාවට දෙන්ට යන මුර දානෙට කළමනා ලැයිස්තුව හදනව.

අසෝකට සරෝජිනීගෙ කතාව කියන්ට පටන් ගත්තෙ මෙහෙමනෙ...හෙහ්,හෙහ්,

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "

" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"

" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත.

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

මම ඉතිං සරොජිනී ගැන කතාව කියල ඉවරවුනා. අසෝකා නංගිගෙ මූණෙ තිබ්බෙ මහ සීරියස් පෙනුමක්…

" අයියද එහෙනං ඒ?....අයිය ගැනයි එහෙනං සරෝජිනී මට කිව්වෙ.... "

" මොකක්? මොනවද මං ගැන කිව්වෙ? "

එක විඩේම සද්දෙට එහෙම කියවුන හින්ද අජිතයටයි නැන්දම්මටයි ඇහුනදත් මන්ද..අසෝකටත් එහෙමම හිතෙන්ට ඇති ..අපි දෙන්නට එකම විඩේ ඔලුව හරවල බරපතල සාකච්ඡාවක නිරතවෙලා ඉන්න ඒ දෙන්න දිහා බැලුව. නෑ...ඇහිච්චි බවක් පේන්ට නම් නෑ..ඇහිල නෑ..එහෙම අඟවන්ට අසෝකා ඒ පැත්තට ඉඟි මරල ඔලුව දෙපැත්තට වනල හිනා වුනා. 

" ඉතිං මං ගැන සරෝජිනී කිව්වෙ මොනවද කියන්ටකො.." මම කටහඬපහත් කරල වේවැල් පුටුවෙ පුලුවන් තරම් ඉස්සරහට වෙලා එයා දිහාට නැවුනා.

" නෑ..නෑ..එහෙම නරකක් මොකවත් කිව්වෙ නෑ...අම්ම එයාට බල කලාය කියල කිව්ව මෙහෙම කෙනෙක් ගැන. අයියලගෙ අම්මගෙයි එයාලගෙ අම්මගෙයි යාලුකම ගැනත් කිව්ව..ඒත් ඔය වාට්ටුවෙදි අයියව හම්බවෙච්චි කතාවක් මා එක්ක කිව්වෙ නෑනෙ." 

" හෙහ්..ඒ විස්තරේ කිව්වෙ නැද්ද? සමහරවිට මොකටද වැඩි විස්තර කියල හිතන්ට ඇති…" 

" එහෙමත් වෙන්ට පුලුවන්...ඒත් සරෝ මගේ හොඳම යාලුවා.." අසෝකා එහෙම කියල යටි තොල පෙරලල උරහිස් හැකිලුවා. හරියට අනේ මන්දා කියල ඇඟවෙන්න වගේ.

ඊලඟට අසෝකගෙ දෑසට ආයම ආව අර සීරියස් පෙනුම .." අයිය දන්නවද සරෝ අයියට අකමැති වුනේ මොකද කියල? " 

Monday, July 6, 2015

330. මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කල හැරවුම් ලක්ෂ්‍යයන් හතක් - The Seven Turning Points In Human History

මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන් මඟ සහමුලින්ම වෙනස්කල සිදුවීම් එතරම් සුලභ නැත. වසර දෙලක්ෂයකට ආසන්නයැයි මානව විද්‍යාඥයින් ගණනය කොට ඇති මේ පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය තුල මිනිස් වර්ගයාට උපරිම බලපෑමක් කල එවන් අතිසුවිශේෂී සිදුවීම් හතක් පිළිබඳව පසුගියදා විද්‍යාර්ථීන් පිරිසක් අන්තර් ජාතික මට්ටමින් පැවැත්වුනු සමීක්ෂණයකින් අනතුරුව තොරතුරු හෙළිකලහ.

1. ගින්දර සොයාගැනීම. 
2. රෝදය නිර්මාණය කිරීම.
3. ලිඛිත භාෂාවක් නිර්මාණය කොට ගැනීම.
4. පරමාණුක ශක්තිය සොයාගැනීම 
5. සඳ ජයගැනීම. 
6. ක්ෂුද්‍ර චිපය ( Micro chip ) නිර්මාණය කිරීම 
7. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලැබීම.

Cartoon from Daily Mirror 

ලොව පුරා පැතිර සිටින විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් මඟින් තෝරාගැනුනු එම සුවිශේෂී සිද්ධීන් හතෙන් තුනක්ම මගේ ජීවිත කාලය තුල සිදුවීම මගේ ඉමහත් භාග්‍යයයක් කොට මම සළකමි. ඉනුත් අවසාන තීරණාත්මක සිද්ධියට අප මව් රටේ අපට බොහෝ ආඩම්බරයක් වූ අති ශ්‍රේෂ්ඨ ජන නායකයකු සම්බන්ධ වීම මට මහත්ම ආහ්ලාදයක් බව නොසඟවා පවසන්නෙමි.

මහජන සේවය කෙරෙහි එතුමාගේ ඇති ඉමහත් කැපවීම කෙතෙක්ද යත් මෙදිවයිනේ උත්තරීතර අනුත්තර නායකයාවූ සර්ව බලධාරී ජනාධිපති පදවිය පුරා දශකයකට ආසන්න කාලයක් දරා ජනතාව විසින් දැහැටි දඬුවක් භාවිතයෙන් අනතුරුව ඉවත දමන්නාක් මෙන් ප්‍රතික්ෂේප වූ කල්හි පවා තම ආත්ම අභිමානය ද අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත දමා යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට බැගෑපත්ව දණින් වැටී ඉල්ලුම් කිරීමට පමණ ඒ බලවත් විය. 

පොලිස්පති පදවියෙහි කටයුතු කොට විශ්‍රාම ගත්තෙකු යලි පොලිස් කොස්තාපල් තනතුරකට අයදුම් කරන්නා බදුවූ මෙවන් නිර්ලජ්ජී ක්‍රියාමාර්ගයක් කෙරෙහි පවා එතුමා පෙළඹුනේ කිසිසේත්ම  ඇට මිදුළු කෙරෙහි පවා කාවැදී නිදන්ගත වූ බල තණ්හාවකින් නොව හුදෙක් මහජන සේවයට ඇති බලවත් ඇල්ම කරණකොටගෙන බව අපක්ෂපාතී විචාරකයෝ එකහෙලා පවසති.

එලෙසම වසර හතලිස් පහක මහජන සේවයට පසු කෙලෙසක එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන්නටද? මහජන සේවය එතුමාගේ ලෙයට මසට කාවැදී ඇති සෙයකි. කුළු මහීෂයකු තප්පුලන්නාක් මෙන් වේදිකා දෙදරවමින් එතුමා පැවසූයේද එයම නොවේද? වසර විසිහතක් තම ජාතිය වෙනුවෙන් සිරබත්කෑ නෙල්සන් මැන්ඩෙලා මෙන්ම එතුමාද සිරබත් කෑවේය. ඒ කුමන හේතුවක් නිසාද යන්න කිසිසේත් අදාල නොවේ. වැදගත් වන්නේ සිරබත් කෑමය.

එසේ හෙයින් එතුමා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ලෙස පත් කිරීම මුරුවට තම ප්‍රධාන ආහාරය කොටගත් ලාංකීය වසභයින්ගේ පරම යුතුකම නොවන්නේද?

එතුමාට නාම යෝජනා ලබාදෙන බව, ජලය මිශ්‍ර නව පෙට්රල් වර්ගයක් ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දීමේ පුරෝගාමියාවූ හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කරත්ම දෙව්ලියන් සත්සියයක් එකෙණෙහිම අහසෙහි ප්‍රාදුර්භූතව  පරසතු කුසුම් ඉසිමින් ආශිර්වාද කල බව දැනගන්නට තිබේ. පව් පවින් වැළකී පිරිසිදු ජීවිතයක් ගත කරන්නවුන්ට හැර අන් කිසිවෙකුට ඒ දෙවඟනන් දර්ශනය නොවන බැවින් කිසිදු පුවත්පත් වාර්තාවක ඒ බව සඳහන් නොවීම කිසිසේත්ම අරුමයක් නොවේ. මේ දෙවඟනන් පැමිණ පරසතු කුසුම් ඉසීම පිළිබඳව සැක පහළ කරන සර්ව අශුභවාදීන්ට ඒ පිළිබඳ නොවරදින සාක්ෂියක් නම් පුවත්පත් සාකච්ඡාවෙන් පසු හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමයි.

පුවත්පත් සාකච්ඡාවෙන් පසු එතුමෝ " මගෙන් කුණුහරුප අහගන්නට එපා " යනුවෙන් පුවත්පත් කලා වේදීන්ට ඉතා සුහදව දැනුම් දුන්නෝය.එතුමා ක්ෂණික ආවේගයෙන් එසේ ප්‍රකාශකලේ යම් වැදගත් හේතුවක් ඇතුවය. පරසතු කුසුමෙහි සුගන්ධයට එතුමෝ ආසාත්මිකය. එබැවින් කිහිප වරක්ම එතුමාගේ සිරුරෙහි පතිත වන පරිදි පරසතු කුසුම් නොඉසින ලෙස කල කාරුණික ඉල්ලීම් දෙවඟනන් භාරව පැමිණි කණ්ඩායම් නායක දෙවියා නොසළකා හැරි හෙයින් එතුමෝ පසුවූයේ දැඩි කෝපයෙනි. පුවත්පත් කලාවේදීන්ට එළෙස ඇමතූයේ එසේ කෝපාවිෂ්ඨව පසුවූ හෙයින් බැව් බොහෝ දෙනෙක් නොදනිති.



හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ අනාගතයක්! වසර හතළිස් පහකට පෙර ඔබ දේශපාලන දිවිය ඇරඹූ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන්ම ඔබට විශ්‍රාම යාමට හේතු වාසනා වේවා!!

Wednesday, July 1, 2015

329. ජනදාස අයියා, අසමජ්ජාති යකුන් සහ පරසක්වල ගැසිය යුතු ගෙවලයින්

Google images
මට වයස හතක් අටක් වගෙ කාලෙදි කතාවක් මේක. අප්පච්චි වැඩකලේ කච්චේරියෙ හින්ද අපි හිටියෙ කච්චේරි නිල නිවාසවල. නිල නිවාස එක යායට තිබ්බ දහයක් දොළහක් වගෙ. ඊට උඩහ තිබ්බෙ ගම්මානෙ.ගම්මානෙටත් උඩහිං පරණ රබර් වත්තක්. මම ඔය කියන කාලෙ ඔය රබර්වත්ත අතෑරල දාල තිබ්බෙ. සාත්තුවක් නැතුව රබර් ගසුත් ඈලිමෑලියට ඔහෙ හුළඟෙ වැනුන. රබර් වත්ත මැද තිබ්බ පොඩි කඳුගැටයක්.

ඔය කඳුගැටේ මුදුන සමතලා කොරල ගෙපලක් කපල, ඒ ගෙපල පුරාවට තිබ්බ මහ විසාලෙට පැතිරිච්ච බවුන්ඩේසමක්. කළුගල් වලින් බැඳල තිබ්බ ඒ බවුන්ඩේසම පුරාවට හිඟුරු, හීන් බූටිය, කටුතැල්, වගෙ පඳුරු ගනසාරෙට හැදිල තිබ්බට මහ ගස් මොකවත්ම හැදුනෙ නෑ. හැදුනෙ නෑ කියන්නෙ ඇත්තටම නම් හැදෙන්ට දුන්නෙ නෑ. 

එහෙම හැදෙන්ට නොදී මහගස් වගෙ ලොකුවෙන පැල යන්තමට කොලේ දෙක මෝදුවේගෙන එද්දි කපල මුල් හිටං උදුරල දැම්මෙ රබර් වත්තෙ මැදක් වගෙ වෙන්ට වරිච්චි ගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වෙලා හිටපු ජනදාස අයිය. අපි හිච්චි එවුං හැමෝම අයිය කිව්වට මනුස්සයට ඒ වෙනකොටත් වයස මයෙ හිතේ අඩුම ලංසුවෙං හතළිහක් වගෙ වෙලා ඇති.

ඒ මනුස්සය ලොකු පොඩි හැමෝටම කිව්වෙ මහතුං කියල. ආය මටත් එකයි. අපෙ අප්පච්චිටත් එකයි. මහ ඒජන්තුන්නාන්සෙ ආවද ඒත් මහතුං කියල කියයි ආය බඩේ බත් වගෙ තමයි. ගෑණු පක්සෙට අමතන්නෙ නෝන මහතුං කියල. ජනදාස අයිය ඔය රබර් වත්ත බොහොම ආදරෙං රැකබලාගත්ත.වත්ත අයිතිකාර මහත්තය ඒ වෙනකොට හිටියෙ රට.ඒ මහත්තයගෙ මහප්පච්චි තමයි අර ඔතනම ඔය රබර් වත්තට එහා පැත්තෙ වළව්වෙ හිටියෙ. අර මොලේ කොලොප්පං මුදලිතුමා..මතකයිද? අර මම එක පාරක් ලිව්වෙ එතුමා ගැන....

ඉතිං ජනදාස අයිය ඔය රබර් වත්ත බොහොම සුද්ද පවිත්‍රෙට තියාගත්ත. අපි පොඩි එවුංගෙ ප්‍රධාන සෙල්ලම් පිට්ටනිය ඕක තමයි. දුවන්ට, පනින්ට, හැංගිමුත්තං ඔය ඕන එහෙකට ඉඩ පහසුකම් ඕසෙට. ජනදාස අයියගෙ පවුලේ උදවිය හාමිනෙයි දුවයි පුතයි. පුතා ඒ වෙනකොට සමුපකාරෙ මොකක්ද රස්සාවක් කලා. දුවට ඇති දහ අටක්, දහ නමයක් වගෙ. ඒ කිට්ටුව තිබ්බ වීවිං එකක වැඩ පුරුදුවෙන්ට යනවයි කියල ජනදාස අයියමයි මා දැක්ක කිව්වෙ.

එක ඉස්කෝල නිවාඩු කාලෙක මම අපෙ ලොකු අම්මලගෙ ගෙදර ගිහිල්ල හිටිය නිවාඩු මාසෙ ඉවර වෙනකල්ම. ලොකු අම්මලගෙ ගෙදර යන්ට මම ඒ කාලෙ බොහොම මනාපයි.අලිපේර සහ කිතුල් හකුරු, ඇඹුල්පේර, දෙළුම්....ආය මොනවද? ඉස්කෝලෙ පටං ගන්ට දවස් තුන හතරක් තියාල ගෙදර ඇවිල්ල ඉස්පාසුවක් ගන්ට වුනේ නෑ අල්ලපු හෙදර ප්‍රසන්න මල්ලි දුවගෙන ආව මම ඇවිල්ල ඉන්නව දැකල.

" ඒයි...හෙට රෑ ජනදාස අයියලගෙ ගෙදර තොයිලයක්.."

" නෑහ්? ඒ මොකද?...." තොයිලයක් කියන්නෙ රෑ එළිවෙනකල් බෙර ගගහ නටන එකක්ය කියල ඇරෙන්න තොයිල් ගැන වෙන අඳෝසංසාරයක් මම ඒ වෙනකොට දැනගෙන හිටියෙ නෑ ඔන්න කොටිම්ම කිව්වොත්.

" මොකක්ද දන්නෙ නෑ...යකෙක් ඇවිල්ලද මොකද්ද එකක්…" 

" හරි අපි යං හවස් වෙලා එහෙ. " 

ප්‍රසන්නයි මායි හවස්වෙන්ට ඇරල කන්ද නැඟගෙන ගියා ජනදාස අයියලගෙ ගෙදර. අපි යද්දි ගේ ඉස්සරහ කොස්දෙල් ගහ යට ( කොස්දෙල් කාල තියනවද? දෙල්කොස් කියලත් සමහර පළාත්වල කියනව ) තියාගෙන මනුස්සය ගොක්කොල වගයක් වැලක අමුණනව. 

" ආ මහතුං ….කවද්ද ආවෙ? " මව දැක්කෙ හැටියෙ මිනිහගෙ මූණෙං එකයි හිනාව. 

" මම මේ අද ආවෙ ජනදාස අයියෙ. ඒක නෙවෙයි මොකද මේ තොයිල් කතාව? " මම ඇහුව එතනම තිබ්බ කොස් කොටේ උඩ ඉඳගන්න ගමං.

" ඒකනෙ මහතුං බලන්ටකො. මේ යකෙක් ඇවිල්ල පදිංචිවෙලානෙ අපෙ ගෙදර. අපිටත් වසන්ට හැටියක් නැතුව ගියානෙ අන්තිමට. " 

" නෑහ්??? කවදා ඉඳංද ඔය?..... අපි දන්නෙ වත් නෑනෙ…" 

" දැං සෑහෙන කාලෙක ඉඳල ඔය කරදරේ තිබ්බ. අපි ඉතිං එහෙම කාටවත්ම කිව්වෙ නෑ. මුලිම්ම පටං ගත්තෙ පොඩි පොඩි දේවල් වලිං... " 

" ඒ කිව්වෙ ඔය වැලි ගහන එව්ව එහෙම? " ඒ වෙනකොට යක්කු ගැන මගේ දැනුම බොහොම අල්පයි. යක්කුංගෙ ක්‍රියාකාරකම් කියල මම දන්නෙ ඔය වැලි ගැහිලි වගෙ එව්ව විතරයි..

" වැලි? හිහ්, මොන පිස්සුද මහතුං?.....වැලි ගහනවනං බැරිය...මම එහෙමනං මිදුලෙ වැලි ගොඩක් හදල දෙනව යකාට ඉඳා මේකට ගහපිය වැලි කියල...මට බිත්ති බඳින්ට ගන්ට බැරිය එහෙම ගහන වැලි. " පැල්පතත් එක්කම එහා පැත්තෙ ඒ වෙනකොට ජනදාස අයිය අලුතෙං කාමර දෙහෙක ගේ පොඩ්ඩක් හදාගන්ට අත්තිවාරං දාල තිබ්බෙ.

" එහෙනං?...මොකද ඒකා කරන්නෙ? …" විශ්මයෙන් හා භීතියෙන් මගේ දෑස් ලොකුවෙනවා මට මතකයි. 

" මේකා මහ බයානක යකෙක් මහතුං...සල්ලිමයි ගන්නෙ..සල්ලිමයි ගන්නෙ..කොහෙ හැංගුවත් බේරගන්ට බෑ. කොහොමහරි හොයාගෙන සල්ලිටික ගන්නවා.අර පහුගිය මහ වැහිකාලෙ ගංවතුරට ගෙවල් දොරවල් ගහගෙන ගිය මිනිස්සුංට ආදාර දෙන්ට කියල එකතුකරල තිබ්බ සල්ලිවලිං බාගයක් විතරම මේ අසමජ්ජාති යකා ගහ ගත්තනෙ. ඕකට හැබැයි සහ ගහනව ඒ කරපු අපරාදෙටනං.." ජනදාස අයියගේ කටහඬ වෙව්ලන්නෙ තරහ ඉවසගන්ට බැරුව.

" ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ මහතුං මුගෙං වෙන කරදරේ එන්ට එන්ටම වැඩිවෙන්ට ගත්ත නෙව. මේ යකා වැඩ කරන්ට ගත්ත මේ ගෙදර උගෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ය කියල හිතාගෙන. අපි ඔක්කොම උගෙ යටත් වැසියොය ඌට ඕන විදිහට අපි හැසිරෙන්ට ඕනය කියලයි ඌ හිතාගෙන ඉන්නෙ. මේ ගිය සුමානෙ අපෙ පුතාට ඕක දුන්නනෙ අත දිග ඇරල කම්මුල් පාරක් ඇඟිලි පහම හිටින්ට.

" ඒ මොනව කරාටද? ……." 

" කවුද දන්නෙ හේතුවක්...ඔය ඒකා කැමතිනැති මොනව හරි වෙන්ට ඇති කොල්ල අතිං...ඊට පස්සෙයි අපි කතාවුනේ මේ මල කරදරේ ඉවසං හිටිය හොඳටම ඇතිය කොයිමක් කරලහරි මේ කාලකන්නියා පන්නලා දූරිම්බූත කරවල දාන්ට ඕනමය කියල." 

" ඉතිං අයියා මොකද කලේ ඊට පස්සෙ? " දෙවියන් හා යක්කු ගැන කතාවලට මගෙ කොහොමත් පුංචි සන්දියෙ ඉඳලම තිබ්බෙ පුදුම කැමැත්තක්. 

" පස්සෙ අපි ගිහිල්ල කතාකලා බොහොම දක්ස ගුරුනාන්සෙ කෙනෙක් එක්ක. දැං ඔය හෙට එන්නෙ ඒ මනුස්සය. ඒ ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා මේ අලුගුත්තේරු යක්සයා අල්ලල බැඳල පරසක්වල ගහනවයි කියල. " ජනදාස අයියා කිව්වෙ කටපුරා හිනාවෙමින්.

පහුවදා ඉරගල වැටිලා හතර අතිං කළුවර පාත්වේගන එනකොටම රබර් වත්ත උඩහිං ඇහෙන්ට ගත්ත බෙර සද්දෙ..තොවිල් කවි සද්දෙ අපේ ඉස්තෝප්පුවට ඇහුන කණේ තිබ්බ වගේ,

" යන්නෙ එහෙම නෑ..මේ රෑ තිස්සෙ…. ඔය තොයිල් පොළවල ගාව යක්කු ඉන්නව " අම්මෙ මාත් ගිහිල්ල එන්ටද? කියල අහන්ට ඉස්සෙල්ලම අම්ම කිව්ව බොහොම අවධාරණාත්මක හඬකින්.

" දැං හරි මහතුං..ගුරුන්නාන්සෙ නියමෙට වැඩේ කලා. තොයිලෙ නටන්ඩ කලින් පොරොන්දු වුනාට මම හිතුවෙත් නෑ මුන්දැ මේ වැඩේ කරයි කියල. හිහ්...නියමෙට වැඩේ කලා. යකා දැං ආගිය අතක් හොයාගන්ට නෑ…" 

තොයිලෙ නටල දවස් තුනකට විතර පස්සෙ අපෙ මයියොක්ක ගන්ට ආපු ජනදාස අයිය මා එක්ක කිව්වෙ, ගෙට පහල කහට ගහ කෑල්ලෙ මයියොක්ක උදුරද්දි. ඔය ගෙට පහල අක්කර බාගෙක වගෙ කෑල්ලෙ ඉලුක් ගලවල මයියොක්ක හිටෙව්වෙ අපෙ මාම. උන්දැගෙදර නැතිවෙලාවට එව්වට වතුර එහෙම දාල සාත්තු කලේ අත්තම්ම. අලුත් පොළවෙ සාරෙට හැදිච්චි මයියොක්ක අපිට කාල අහල පහල ගෙවල් වලට බෙදුවත් ඉවර කරන්ට තියා හිතන්ටත් බෑ. එතකොට අත්තම්ම කරන්නෙ ජනදාස අයියට එන්ට කියල පණිවිඩයක් යවන එක. ජනදාස අයිය ගමේ එලවළු, පළතුරු එහෙම එකතු කරල ඉරිද පොලට අරගෙන ගිහිල්ල විකුණන සයිඩ් බිස්නස් එකකුත් කලා රබර් වත්තෙ භාරකරු රැකියාවට අමතරව.

අම්ම එපා කියද්දි මම වත්ත පහළට ආවෙ ජනදාස අයියගෙන් විස්තරේ දැනගන්ට.

" ඉතිං, ඉතිං..දැන් කොහෙද ඔය යකා ඇත්තෙ? " ඊලඟට ගලවන්ට යන මයියොකු පඳුර දෑතිම්ම අල්ලල හොල්ලල බලන අතරෙ මම ඇහුව. 

" මේ අවටම ඉන්නව මහතුං..ඒත් උන්දැගෙ බල බිඳිල දැං..ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා යකාට ආයම කිසිම කල කොලොප්පමක් කරන්ට ඉඩක් නොදෙන බවට. " ජනදාස අයිය බොහොම සන්තෝසෙං හිනාවුනා.

යන්තමට මාස හයක් ගෙවුනෙත් නැද්ද කොහෙද....ගල්ළිඳ ගාවදි මට ජනදාස අයිය හම්බවුනේ ඉස්කෝලෙ ඇරිල එද්දි. මිනිහගෙ මූණ හොඳනැති බව මට දුරටම පෙනුන. 

" මොකෝ අයියෙ? "

" බලන්ටකො මහතුං..අර අපි තොයිලයක් කරල එලෝල දාපු අලුගුත්තේරු යකා…"

" නෑහ්? ඒ යකා ආයෙම ඇවිල්ලද? "

" නෑ..නෑ...අර අපේ තොයිලෙ කරපු ගුරුනාන්සෙ ඒකව එළවල දැම්මනෙ. ඒත් වැඩේ හරියකට කෙරිල නෑ වගේ. යකා දැං ගෙවලයෙක් වෙලා මහතුං.."

" ගෙවලයෙක් කිව්වෙ? …" මම ඇහුවෙ ගෙවලයා කියන්නෙ මොකෙකුටද කියල මම හරියටම දන්නෙ නැති හින්ද.

" ගෙවලයො කියන ජාතිය යක්කු තරම්ම භයානක නෑ, ඒ උං යක්කුන් තරං බලසම්පන්න නැති නිසා. ගෙවලය තමං හිටපු වාසස්තානෙ අතෑරල යන්නෙ නෑ.යකෙක් තරමට බලය නැතිවුනත් පොඩි බලයක් හරි ලබාගෙන අපිට කරදර කරන්ටයි මේ ගෙවලය හදන්නෙ.ඒ අතර ගෙදර ඔය පොඩි පොඩි අවුල් ඇතිකරනව කොයි වෙලෙත්. "

" මොන වගෙ අවුල්ද? "

" ඔන්න හිටපු ගමං කිසිම තේරුමක් නැති විකාරයක් කියල කෑගහනව. බුදුන්ට තියාපු මල් වට්ටිය අරගෙන යනව ඌට පන්සල් යන්ට ඕනය කියල. ගෙවලයින්ට ඕන තමං ඉන්නවයි කියල පෙන්නන්ට. කැපී පෙනෙන්ට හරිම ආසයි. ඒකට කරන්නෙ හිටපු ගමං මොකක් හරි ඔන්න පෙරලනව. පිඟානක්, සාස්පානක් වගෙ මොකක් හරි. ගෙවලය ගෙවලය විදිහටම ඉන්නවනම් ඔහෙ කමක් නෑ. ඒත් මේ ගෙවලය එහෙම ඉන්ට සූදානම් නෑ. මේ ඊයෙ පෙරේද කෑගහල කියල තිබ්බ කලිං හිටපු යකා වෙන්ට බැරිමනං ඊට පල්ලෙහා මට්ටමේ යකෙක් හරි වෙලයි මම පස්ස බලන්නෙ කියල. "

" මාර ප්‍රශ්ණයක්නෙ, ජනදාස අයියෙ...ඉතිං අයිය මේ කොහෙ ගිහිල්ලද එන්නෙ? "

" මම මේ ආපහු ගියා ගුරුනාන්සෙ හම්බ වෙලා මේකෙ දෙකිං එකක් විසඳගන්ට. මොකද ගෙවලයගෙ කතාවෙන් මට තේරුනා ගෙවලයයි ගුරුන්නාන්සෙයි මොකක් හරි කතාබහ කරගෙන වගෙ අදහසක්. ඉතිං මම මේ ගියේ ගුරුනාන්සෙට කියල එන්ට අපි ආයම තොයිලයක් නටල මේ ගෙවලය බන්ධනය කරල මහ මූදටම ගිහිල්ල දාමුය කියල. ඒ එක්කම මම මතක්කලා ගුරුනාන්සෙට ගෙවලය එක්ක කතාබහක් ගුරුනාන්සෙට කොහෙත්ම ඕනැන්නෙ නැතය. මාස හයකට කලිං තොයිලෙ නටන්ට සියළු පහසුකම් ගුරුනාන්සෙට සලසල දෙන්ට අපි පොරොන්දුවුනේ යකා බැඳල සුන්නද්දූලි කරල දාන්ට මිසක යකා ගෙවලයෙක් කරල ගුරුනාන්සෙට ගෙවලය එක්ක කතාබහ කරල , දෙන්නට ඕන දේවල් කරන්ට නෙවෙයිය කියල. "

" ඉතිං? ගුරුනාන්සෙ මොකද කිව්වෙ? " 

" ගුරුනාන්සෙ පිළිගත්ත මම කියපුව මහතුං...ගෙවලය මේ පාර තොයිලෙං පස්සෙ නැතිබංගස්තාන කරල දානවය කියල ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා. හරි මහතුං, අපි බලමුකො අපි ඔය කොයි කොයි ගෙවලයගෙත් කියුං කෙරුං දිහා ඇහැ ගහගෙන ඉන්නෙ…"

එහෙම කියල ජනදාස අයිය රබර් වත්ත මැදිං උන්දැගෙ ගෙවල් පැත්තට කන්ද නඟින්ට ගත්ත.

Friday, June 26, 2015

328. විමලෙගෙ වාංපතුල් කතා - 31 - Operation Thunderbolt, Hiroo Onoda, ලොකු අම්මා සහ සරෝජිනී

Google Images

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අපෙ ලොකු අම්මට පුත්තු හිටිය පස් දෙනෙක්ම. එයින් ලොකුම පුතත් කාලයක් මම එක්ක අර කැලේ මැද එකම ඔෆිස් එකේ වැඩ කලා. එයා හිටියෙ අපේ අයකැමි විදිහට. සිංහලෙන් සරප්.අපේ වැටුප් ගෙව්වෙ ඒ අයිය. එක පාරක් චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි ගන්ට බැරිවෙලා අපිට පඩි ගෙව්වෙ නෑ. අපේ එවුන්ට මල අතේ. එදා වෙච්චි මරු සීන් එකක් මම කලින් ලිව්වද කියල මට මතක නෑනෙ.කලින් ලියපුවගෙ පොඩි සර්ච් පාරකුත් දාල බැලුව ඒත් ම්හු..හොයාගන්ට බැරිවුනා. ඒත් මට මතකයි ලිව්ව වගේ.

රයිට් කලිං ලිව්ව උනත් කමක් නෑ ආයම කියන්නංකො..ඒ තරමට ආතල් කතාව ඒක.ඉතිං මයෙ ලොකු අම්මගෙ පුතා තමයි අපිට වැටුප් එතනිං ගිහාම ඔය අනික් දීමනා එහෙම ගෙවන්ට හිටියෙ. මුදල් අයකැමි නොහොත් සරප්.මාසික වැටුප ගෙවන්නෙ මාසෙ 25 වෙනිදයින් පස්සෙ, 30 වෙනිදට ඉස්සර. 

ඔය අපේ නෑදෑකම මගෙ යාලුවො වැඩිදෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මයෙ ඉතාම කිට්ටුවන්ත යාලුවන්ට විතරයි මම ඔය විස්තරේ කියල තිබ්බෙ.Need To Know Basis. අන්න ඒ පදනම මත. CIA, KGB, Mossad වගෙ ඔත්තුසේවා වල රහස්‍ය තොරතුරු එයාලගෙ නිලධාරීන්ට වුනත් දැනුම්දෙන්නෙ ඔය නීඩ් ටු නෝ බේසිස් එක මත.මොකද එහෙම උනහම මොනවහරි සැලසුමක් වැරදිල ගිහිල්ල ඒ නිලධාරියා හතුරන්ට අහුවුනත් එයා නොදන්න දෙයක් හතුරන්ට දැනගන්ට විදිහක් නෑනෙ. අන්න ඒ නිසා.

මොසාඩ් කියන්නෙ ඊශ්‍රායල් රහස් ඔත්තු සංවිධානය. සම්පූර්ණ නම The Institute for Intelligence and Special Operations. රහස් තොරතුරු සහ විශේෂ මෙහෙයුම් ආයතනය. අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ කියලනෙ. Intelligence කියන වචනෙට අර්ථ දෙකක් තියනවයි කියල නොදන්න බුද්ධිය කියන එක සීරෝ මහිෂයෙක් දාපු ඒ නම තවම පාවිච්චි කරන්නෙ ඇයිද කියන එකයි මට හිතාගන්ට බැරි.

හරි ආපහු මොසාඩ් සහ ඊශ්‍රායලය ගැන. යුදෙව්වො කියන්නෙ මම බොහොම ගරුකරන ජාතියක්. පලස්තීනය පිළිබඳ ඔවුන්ගෙ ප්‍රතිපත්ති ගැන මම එකඟවෙන්නෙ නැතිවුනත් ඔවුන් එහෙම කරන්න හේතුසාධක මට හිතාගන්න පුලුවන්.1976 අවුරුද්දෙ ජූලි මාසෙ පලස්තීන ත්‍රස්තවාදීන් එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයක් පැහැරගෙන උගන්ඩාවෙ එන්ටෙබේ ගුවන් තොටුපොලට අරගෙන ගියා. එහි හිටපු යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඔවුන් ඉල්ලා සිටියා ඊශ්‍රායලයෙ සිරගතව සිටින පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස්කරන ලෙස. 

එවකට උගන්ඩාවෙ ජනාධිපති ඉඩි අමීන් පලස්තීනුවන්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සියළු සාකච්ඡා අසාර්ථකවූ පසු, ඊශ්‍රායල් කමාන්ඩෝ සේනාංකයක් ඉතාම රහසිගතව මධ්‍යම රාත්‍රියේ ඝණ අඳුර මැදින් එන්ටෙබේ ගුවන් තොටුපොලට ගොඩ බැස, ත්‍රස්තවාදීන් සහ උගන්ඩානු හමුදා භටයින් ගණනාවක් මරා දමා, ප්‍රාණ අපකරුවන් මුදාගත්තා. Operation Thunderbolt නමින් හැඳින්වුනු එම එම මෙහෙයුමෙහිදී ප්‍රා ඇපකරුවන් තිදෙනෙක් සහ එක් ඊශ්‍රායල් කමාන්ඩෝ සෙබලෙක් මියගියා. ඒ මියගිය එකම ඊශ්‍රායල් සෙබලා මෙහෙයුමට නායකත්වය දුන් ලුතිනන් කර්නල් යොනටන් නෙටන්යාහු. වර්තමාන ඊශ්‍රායල් අගමැති බින්යමීන් නෙටන්යාහූ ඔහුගේ බාල සහෝදරයා. යොනටන් අනුස්මරණය උදෙසා පසුව එම මෙහෙයුම Operation Yonatan ලෙස නැවත නම් කිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කලා.

ඒ වීර වික්‍රමාන්විත මෙහෙයුම අලලා අපූරු චිත්‍රපට කීපයක්ම ඉන්පසු නිපදවුනා. Operation Thunderbolt, Victory At Entebbe, Raid On Entebbe, එයින් කිහිපයක්.

1976 අවුරුද්දෙ ඒ මෙහෙයුම සිදුවූ දවස්වල දිනමිණ පත්‍රයේ ඒ ගැන සෑහෙන විස්තරයක් පලවුනා. එවකට බලයේ සිටි මැතිණියගෙ සමගි පෙරමුණු රජය පලස්තීනයට පූර්ණ සහයෝගය පලකලත්,  මේ මෙහෙයුම ගැන විස්තර දිනමිණෙහි පලවීමට ඒ ප්‍රතිපත්තිය බාධාවක් වුනේ නෑ. මගේ සිත්ගත්, මම ආසාවෙන් කියවපු ප්‍රවෘත්ති, අඩංගු පත්තර ලිපිගොනුවල දාල එකතුකරන පුරුද්දක් ඒ දවස්වල මගෙ තිබ්බ. අපේ මහ ගෙදර සමහරවිට පරණවෙලා කහ ගැහිච්චි ඒ පත්තර පිටු තවම තියෙන්න පුලුවන්, ඔය කොහෙ හරි කබඩ් එකක පතුලෙ මොනවට හරි යට වෙලා. ආයම මහගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන.

ඔය වගේම ඒ කාලෙ මම බොහොම ආසාවෙන් කියෙව්වා, ඒ වගේම ඒ ප්‍රවෘත්තිය පලවූ පුවත්පත් පිටු එකතුකලා ජපන් ජාතික හිරූ ඔනෝඩාගේ විශ්මයජනක කතාපුවත. ඒ පුවත සිළුමිණ පුවත්පතේ සති කීපයක් කොටස් වශයෙන් පලවූවා. ඔනෝඩා දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවේ ලුතිනන් වරයෙක්. 1944 වර්ෂයේදී ඔහුට යන්ට සිදුවෙනවා පිලිපීනයේ ලුබ්ලෝංග් දූපතට. ඔහුට අණ ලැබෙන්නේ මෙහෙමයි. සතුරන් අතට දූපත පත්නොවීමට කලයුතු සියලු දේ ඔබ කල යුතුයි. කිසිදු කරුණක් නිසා සතුරාට යටත්වීම හෝ දිවිනසාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

බහුතරයක් ජපනුන් අද පවා ඔවුන්ගේ අධිරාජයා මිහිපිට වසන දෙවියකු ලෙසයි සලකන්නේ. අධිරාජයාගේ අණ පිළිපැදීමේදී , ඔහු පවරන රාජකාරිය ඉටුකිරීමෙහිදී ජීවිතය කැපකිරීම ඔවුන්ට ඉතා සුළු දෙයක්.

ලුබ්ලෝංග් දූපත අමරිකානු හමුදා අතට පත්වුවත් ඔනෝඩා සහ සගයින් කීප දෙනෙක් කඳුකරයේ කැළෑවට පලාගොස් එහි සැඟවී සිට ගරිල්ලා යුද්ධයක නිරතවෙනවා. යුද්ධය අවසන් නිසා කැළෑවෙන් එළියට පැමිණ භාරවන ලෙස ගුවනේ සිට විසිරුවා හරින පත්‍රිකා මඟින් කල ඉල්ලීම් ඔවුන් නොපිළිගන්නේ ඒ සතුරන්ගේ කූට ප්‍රයෝග ලෙස උපකල්පනය කරමිනුයි. අවසානයේ 1974 වර්ෂයේ ඔනෝඩාගේ අණදෙන නිලධාරියාවූ මේජර් යොෂීමි ටනිගුචි ජපානයේ සිට ලුබ්ලෝංග් දූපතට පැමිණ යුද්ධය අවසන්වී ඇති බැවින් වහාම අවිආපසු භාරදී යටත්වන ලෙස ඔහුට නියෝග කලා. ඒ අනුව ඔනෝඩා තම වසර තිහක ඒක පුද්ගල යුද්ධය අවසන් කලා.

ඔනෝඩාගේ කතාව මම බාගෙට ලියල තියෙන්නෙ. " හිරූ ඔනෝඩා...විනය ගරුක සොල්දාදුවෙකුගේ වසර තිහක ඒක පුද්ගල යුද්ධය "

සතුරාට යටත්වීම කියන්නෙ මරණයටත් වඩා අන්ත ඉරණමක් සහ එහෙම කරන අයගේ පවුල්වලට පවා ඒ අපකීර්තියෙන් ගැලවීමක් නැතිය කියන අන්තවාදී සංකල්පය ජපන් සොල්දාදුවන්ගේ මනසට ඒ දවස්වල දැඩිලෙස කාවද්දලයි තිබිල තියෙන්නෙ ඔවුන්ගෙ පුහුණුවේ ඉඳලම. හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්ෂ දෙකකට අධික ජනතාවකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතුවූයේත් ඒ ජපන් ජාතිකයින්ගේ ඇටමිදුළු තුලට පවා කාවැදුනු දෘඩ, අනම්‍ය පරාජය පිළිනොගැනීමේ ප්‍රතිපත්තියයි.

හරි එන්ටෙබේ මෙහෙයුම සහ හිරූ ඔනෝඩා පිලිබඳ අතුරු කතාවෙන් අනතුරුව යලිත් ප්‍රධාන ප්‍රස්තුතයට.

අපේ මුදල් අයකැමි විදිහට වැඩ කරන්නෙ මයෙ ලොකු අම්මගෙ පුතාය කියල මගෙ යාලුවො හුඟක් හරියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඔන්න එක පාරක් අපි ගියා මාසෙ අන්තිමට වැටුප් ගන්න. ගිහිල්ල බලනකොට මහ ජංජාලයක්. එදා පඩි සල්ලි ගෙනල්ල නෑ. චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි දීල නෑ. ඉතිං මොකේද දං වළඳන්නෙ? අපි එහෙම්මම හැරිල ආව. හැමෝටම වගෙ මාර අප්සෙට්. ගෙවල් වලට සල්ලි යවන්ට ඕන එවුං, බැංකු ණය වාරික වලට සල්ලි දාන්ට ඕන එවුං,මොනවහරි ගවුං කෑල්ලක් අරගෙන කෙල්ලො බලන්ට යන්ට හිටපු එවුං, ඔයවගෙ මෙකී නොකී එවුං ඔක්කොගෙම මූණු හරියට ජනවාරි නම වෙනිද වටිං ගොඩිං එළිය වැටීගෙන එද්දි, මරාගෙ මූණත්තහඩුව වාගෙ.

අතේ සතපහක් නැති වුනත් අපේ කෑම්ප් එකේම තිබ්බ බාර් එකෙං ( ඒ බාර් එක ගැන විස්තරේ මම කලින් ලිව්ව කියල මතකයි ) ණයට බෝතල් දෙහෙකුත් අරගෙන අපි එදා රෑ සෙට් වුනා.ඒ දුක තුනී කරගන්ට හොඳම ක්‍රමය ඒක හින්ද. ගහන ගමනුත් කතාව පඩි කේස් එක ගැන. හැමෝම අයියට බණින්නෙ. ඇත්තටම මිනිහගෙ කිසිම වැරැද්දක් නෑ. චෙක් එක වරද්දල තියෙන්නෙ එකවුන්ට්ස් සෙක්ෂන් එකෙන්. ඒ මිනිහ මක් කරන්ටද ඒකට? බැංකුවෙං සල්ලි දුන්නෙ නැත්තං මේ මනුස්සය අතිං ගෙවන්ටය.ඕක ඉතිං ගහපහ දෙන්ට යන එකේ කිසිම තේරුමක් නැති හින්ද මම සද්ද නැතුව හිටිය. ටික ටික ඔන්න ඒ ගැන කතාව මඟඇරිල ගියා කියමුකො. 

ඒත් ගාමිණී කියල මගෙ යාළුවෙක් හිටිය මූ මේක අතාරින්නෙම නෑ. ඒ ගැනමයි කතාව. ඔන්න එක පාරටම මූ කියාපි " කැෂියරයගෙ අම්මට ****** " කියල.

ඒ වෙනකොට මටත් අප්පමාදෝ අමරපදං වෙලයි හිටියෙ.මට නේද ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව ගියා. පැන්න ගමං අල්ලගත්ත ගාමිණියගෙ හීං තැනින්ම.නෑ..නෑ...නෑ...බොලව් .හීං තැනිං කියන්නෙ බෙල්ලෙං..බෙල්ලෙං....

" අඩෝ තෝ දැනගං ඒ මගෙ ලොකු අම්මා.."

මම එහෙම කිව්ව උගෙ බෙල්ලෙං අල්ලල හොල්ලන ගමං. අනේ ගාමිණියා බයවෙච්චි පාර මගෙ දිහා බලාහිටිය ඇස්දෙකත් දොට්ට දාගෙන. අනික් එවුනුත් කතා බතා ඔක්කොම නතර කරලා අපි දිහාට හැරුනා. ඒ එක්කම මමත් ගිණි අඟුරක් අත ගෑවුන වගෙ ගාමිණියගෙ බෙල්ල අත ඇරල අඩියක් පස්සට ගත්ත. මට මාර අප්සෙට් වෙච්චි වැඩේට. 

" කවුද බං දන්නෙ උඹෙ ලොකු අම්ම කියල ඒ?..... කලින් කියන්ට එපාය" ගාමිණිය එහෙම කියල මගෙ අත අල්ලගත්ත. 

" හරි, හරි…. බං වෙරිම වෙරි සොරි..ඒක අමතක කරල දාපං…" මම උගෙ කරට අතක් දාගෙන කිව්ව.

රයිට් ඒ සීන් එක එතනිං ඉවරයි.පස්සෙ දවසක අයිය හම්බවෙච්චි වෙලාවක මම ඔය කතාව අයිය දැක්කිනුත් කිව්ව. අපි දෙන්නම කඳුළු එනකල් හිනාවුනා. මේ කතන්දරේ පසු කතාවකුත් තියනව. ඉතිං ඊට ටික කාලෙකට පස්සෙ අයිය ස්ථාන මාරුවක් හදාගෙන නුවර කිට්ටුව අපෙ ව්‍යාපෘතියකට ගියා. මමත් තව ටික කාලයක් එහෙ ඉඳල අර ගොවි ජනපදයේ සේවය සඳහා ගියානෙ. ඊට පස්සෙ තමයි ඔන්න මගෙ විවාහ මංගල්‍යෝත්සවය එහෙම තිබ්බෙ.ඕකට අර ගාමිණියත් ආවනෙ. ඔන්න ඕකා අපිදෙන්න ( අපි දෙන්න කිව්වෙ එතුමී සහ මම ) ඉන්න තැනට ඇවිල්ල අතට අත දීල කතාකලාය කියමුකො.

" මගේ සුබ පැතුම් මචං ……" 

" තෑන්ක්ස් ගාමිණී……" මම එහෙම කියල එතුමී දිහාට හැරුන. " මේ ගාමිණී ……..අපි දෙන්න කලින් එකට වැඩකලා අවුරුදු ගානක්.... දැන් මේකා ඉන්නෙ ඇඹිලිපිටියෙ. " 

එහෙම කියල එතුමීට ගාමිණී අඳුන්වල දීල මම ආපහු මිනිහ දිහාට හැරුනා.

" ආ..ඒක නෙවෙයි...උඹ අර එක පාරක් අපේ ලොකු අම්මා ගැන මොනවද කිව්ව නේද? ඉඳහංකො අන්න ලොකු අම්ම ඇවිල්ල ඉන්නව..මම උඹට අඳුන්වල දෙන්නං..කෝ මේ? ආ ..අර ඉන්නෙ..මේ ලොකු අම්මේ..ලොකු අම්මේ... " මම එතනම ඉඳල ලොකු අම්මට කතා කලා.

ගාමිණියගෙ මූණත් එක්ක රතුවෙලා හුස්ම හිරවෙන්ට වගෙ ඇවිල්ලා.." උඹට පිස්සුද බං? මොනවද මේ කරන විකාරෙ? " ඌ හෙමිහිට මට විතරක් ඇහෙන විදිහට කිව්වෙ දත්මිටි කාගෙන. එතුමී තුස්නිම්බූත වෙලා බලා ඉන්නව මේ මොකද වෙන්නෙ කියල හිතාගන්ට බැරුව.

" ඇයි පුතේ? " ඒ අස්සෙ ලොකු අම්මත් එතනට ආපි. ගාමිණිය ඇඹරුනා ඇඹරිල්ලක් අර සුනාමියට අහුවෙච්චි පැරෑලියේ රේල්පීලි වගෙ. 

" ආ..ලොකු අම්මෙ..මේ ගාමිණී... මගෙ යාලුවෙක්...ගාමිණීය ලොකු අම්මව දකින්ට ආසයි කියල කියපු හින්දයි මම මේ කතා කලේ.." 

" ආ එහෙමද? මම හිතන්නෙ අපෙ පුතාව එහෙමත් අඳුනනව ඇති නේද ඔය ළමය?..."

" ආ..ඔව්..ඔව්...ඒක තමයි මම හිතන්නෙ ගාමිණී ලොකු අම්මව දකින්ට ආසයි කියල කිව්වෙ.."

"ආ..ඒක කොච්චර එකක්ද? අපේ පුතත් ඔන්න දැං මේ හරියෙ හිටිය.." 

"හරි ලොකු අම්මෙ එහෙනං අයිය දැක්කොත් කියන්ටකො මේ ගාමිණී එහෙම ඇවිල්ල ඉන්නවයි කියල. " එහෙම කියල මම ලොකු අම්මව එතනිං පිටත් කලා. ගාමිණිය මා දිහා කන්ට වගෙ බලා ඉඳල ආපහු හැරිල  පස්සවත් නොබලා යන්ට ගියා. 

" මොකක්ද අනේ ඒ එතන වුනේ? මොකෝ අර ඔයාගෙ යාලුව පස්සවත් නොබලා යන්ට ගියේ? හරියට කවුරුහරි පස්සෙං පන්නනව වගෙ? " එතුමී නළලත් රැලි කරගෙන එහෙම ඇහුව.

දැංවගෙ එහෙමනං  ඔය ගාණක් නෑ මං කියල දානව විස්තරේ. ඒ වුනාට ඒ බැඳපුම දවසෙනෙ. ඔව්ව කියන්ට ගිහිල්ල කොහෙං කෙරවල් වෙයිද දන්නෙ නෑනෙ.

" ඒ ඔය ගාමිණියට ටිකක් නුහුගුණේ වගේ ඒයි.. ඒක හින්ද ඔය " මම එහෙම කියල වැඩේ ක්ලෝස් කරල දැම්ම..

" හුහ්..නුහුගුණේ...නුහුගුණේ මට පේන්නෙ ගාමිණීට නම් නෙවෙයි මෙයාට වගෙ...මේ..මෙන්න මෙහාට ඇවිල්ල ඉඳගන්ට….." ඈ මට විතරක් ඇහෙන්ට අඬ බාලකරල එහෙම කියල බස බස ගාල ගිහිල්ල මල් සැරසිළි කරපු කවිච්චියෙ ඉඳගත්ත.

ඉතිං ආපහු එමු අප්පච්චි ගාවට.......අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අප්පච්චිගෙ අසනීප තත්වය එන්ට එන්ටම සුව අතට හැරුනු නිසා දවල්ට කවුරුත් අප්පච්චි ලඟ ඉන්න ඕන වුනේ නෑ. ඒත් දවල්ට කෑම අරගෙන ගිහිල්ල මම දවස් දෙකක්ම, හවස අර මම කිව්ව අයිය එනකල් අප්පච්චි ලඟ හිටිය.ඒ මම හිතන්නෙ සරෝජිනී එක්ක කතාකරන්ට තිබ්බ කැමැත්ත හින්දමද කියල මට හරියට කියන්න බෑ. ඒත් අම්ම කියපු දේවල් හින්දමත් නෙවෙයි ඒ ළමය ගැන මගේ හිතේ මොකක්ද පැහැදීමක් වගෙ දෙයක් ඇතිවෙලයි තිබුනෙ ඒ වෙනකොටත්. 

ඒත් මෙතන ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ සරෝජිනී කිසිම විදිහකින් එයාගෙ හැඟීම් ගැන ඉඟියක්වත් පලනොකල එකයි. මම කතාකරද්දි ඈ කිසිම විදිහකින් අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ වගේම මුහුණෙ ඉරියව්වකින්වත් කැමැත්තක් පෙන්නුවෙත් නෑ.ඒ හින්දම මටත් ලොකු ප්‍රශ්ණයක් වුනා මම මොකද කරන්නෙ කියන එක. එයාලගෙ අම්ම අපෙ අම්මගෙ යාලුවෙක් වුනත් මම කැමතිවුනේ නෑ ඒ මාර්ගයෙන් වැඩේට අතගහන්ට. 

" අම්මා මේ අර සුරවීර ආන්ටිට ඕන නම් කෝල් එකක් දීල විස්තර අහන්ට. ඒත් අර සරෝජිනී ගැනනම් කිසිදෙයක් නිකමටවත් කියන්ට එපා ඔන්න.." මම කලින්ම අම්මට එහෙම ඉන්ජන්ක්ෂන් එකක් දාල තිබ්බෙ එයාගෙ හැටි මම හොඳාකාරවම දන්න හින්දයි.

" හරි හරි ඔයා කියනවනම් මම මොකවත් අහන්නෙ නෑ ඒ ගැන.." අම්ම එහෙම කියල හිනාවුනා.

" අම්මෙ මේ විහිලුවක් එහෙම නෙවෙයි..මම මේ සීරියස් කියන්නෙ...මෙහෙම දෙයක් ගැන මොකවත්ම කතාකරනව එහෙම නෙවෙයි ඔන්න හොඳද? "

" හරි..හරි..මම දැං හා කිව්වනෙ..මම කතා කරන්නෙ නෑ...ඔයා කලබල වෙන්ට එපා…" මම ඒත් අම්මගෙ මූණ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්..

" නෑ..පුතා..ඇත්තමයි..පුතා එපා කියනවනම් මම ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නෑ.." අම්ම පොරොන්දු වුනා.

සරෝජිනීගෙන් කෙලින්ම අහන්ට බැරිකමක් නැතිවුනත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.

අප්පච්චි ටිකට් කපාගෙන එන දවසෙ සරෝජිනී දවල් ෂිෆ්ට් එක කලේ. මම අප්පච්චිව ඇඳෙන් බස්සවල උණුවතුර බෝතලේ, රේසර් එක, සබන් පෙට්ටිය දත් බුරුසුව එහෙම කබඩ් එකෙන් අරගෙන ට්‍රැවලිං බෑග් එකට දා ගත්ත. 

"මිස්ට වීරසිංහ...." සරෝජිනීගෙ කටහඬ….. අප්පච්චියි මායි දෙන්නම ඒ පැත්ත හැරිල බැලුව. ඈ අපි දෙන්නටම කතාකලේ මිස්ට වීරසිංහ කියල.

අපි දෙන්නම එක විඩේ ඒ පැත්ත බැලුවම ඈටත් එකපාරට හිනාගියා. ඈ ඊලඟට කතාකලේ අප්පච්චිගෙ මූණ බලාගෙන. 

" මේ ලීෆ්ලට් එකේ ඇති මිස්ටර් වීරසිංහට කන්න සුදුසු ආහාර වර්ග, එතකොට කලයුතු දේ නොකලයුතු දේ.මොකද හාට් ඇටෑක් එකක් ආවයි කියන්නෙ හුඟක් පරිස්සම් වෙන්න ඕන.වෙලාවට බෙහෙත් බොන්න ඕන මතක ඇතුව..." කතාව අන්තිම හරිය ඈ කිව්වෙ මට, මගෙ මූණ බලාගෙන. අර කිව්ව ලීෆ්ලට් එක දුන්නෙත් මට.

අප්පච්චිත් එක්ක හෙමිහිට මම වාට්ටුවෙන් පිටවෙන දොර දිහාට ඇවිදගෙන ආව. ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන. අප්පච්චිගෙ එක අතක් අල්ලගෙන. සරෝජිනීත් අපිත් එක්ක දොර ගාවට ඇවිල්ල එතන නැවතුනා. දොර පහුකරල අඩි විස්සක් තිහක් යන්ට වුනේ නෑ අප්පච්චි ගාව මේ දවස් දෙක තුනේ හිටපු ලොකු අම්මගෙ පුතා ජයන්ත අයිය අපි ඉස්සරහට ආව. 

" අයියෙ අප්පච්චිව එක්ක යන්ටකො....මම ඉක්මනට එන්නං.." 

අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ. 

" සරෝජිනී. " මම ඒ ඉස්සෙල්ලමද කොහෙද එයාට නම කියල කතාකලේ

" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.

ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව. ඊටපස්සෙ හෙමිහිට කණට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...