 |
| අකඩවාරිය - Image From Sarasaviya |
පහුගිය කතාවට ඩ්‍රැකී ලියපු ප්‍රතිචාරයකට පිළිතුරු වශයෙන් මම මෙහෙම කිව්ව../ හෙහ්,හෙහ්, හොරෙක් හොඳ මිනිහෙක් වෙන්ට ගිහිල්ල අන්තිමට වෙච්චි දේ ගැන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ මරු කෙටිකතාවක් තියනව. වෙලාවක කියඤ්ඤා…/
රායිට්..අද කතන්දරේ කියන්ට පළමු ඩබ්ල්යු.ඒ. සිල්වා මහත්තයගෙ ඒ කෙටිකතාවෙ විස්තරේ කියල අහක වෙලා ඉම්මු නමෝ විත්තියෙම්ම එහෙනං.. ඒ කෙටිකතාවෙ ප්‍රධාන චරිතය ඇවිල්ල ගොලෑ හොරෙක්. ගොලෑ පුවක් හොරකං කරන එවුංට තමයි ගොලෑ හොරු කියන්නෙ. ඒ කියෙන්නෙ මේ පොඩි පොඩි හොරු. ගොලෑ හොරාගෙ විරුද්ධාර්ථය තමයි නීලකාස හොරා..දන්නවනෙ ඒ කවුද කියල නේද? හෙහ්..හෙහ්.. මිස්ටර් නීලකාස ගැන ලියන්ට ඕන තරම් කල් තියෙන හින්ද දැනට එතුමා ගැන කතා නොකර ඉමු.
ඩබ්ල්යු.ඒ. සිල්ව මහත්තයගෙ කතාවෙ ඉන්න හොරාගෙ නම මට මතක නෑ හරියට. හරි අපි කියමුකො ජන්තු කියල. කතාව මෙහෙමයි. ඔන්න ගමේ කඩපිලේ කට්ටිය ඉන්නව නොයෙක් සතුටු සාමීචියෙ යෙදෙමින්. ගමේ නමගිය හොරෙක් වන ජන්තු එතනිං යන්ට එනව.
" ආ..ජන්තුවෝ උඹ දැක්කෙවත් නෑ සති දෙකකිං විතර. කොහේද බොල ගිහිල්ල හිටියෙ? " එතන හිටපු එක මනුස්සයෙක් අහනව.
ජන්තුව ඔන්න කඩපිලට ගොඩ වෙනව." මම මේ වැලිකඩ සතිදෙකක් ඉඳලයි එන්නෙ බොලව්. "
" ඒ මොකද බං? "
" උඹලට කියන්ට මම පොඩි එකා කාලෙ ඉඳලම කරේ හොරකමනෙ. අන්තිමට මටම ඒක එපා වෙලා මම හොඳ මිනිහෙක් වෙන්ට හැදුව. කොහෙද මට ඒකට ඉඩක් දුන්නෙ නෑනෙ. පොලීසිය මාව ගෙනිහිල්ල සති දෙකකට අච්චු කලා. "
" ඒ කොහොමද බං එහෙම වෙන්නෙ? මොන බොරුකතාවක්ද ඒක.." කඩේ මුදලාලි කියනවා.
" හොඳයි එහෙනං අහගනිල්ලකො. " ජන්තු කඩ පිලේ ඈඳිගන්නව. මිනිස්සු ඔක්කොම බණ අහන්ට වගෙ මනුස්සය වටේට රැස් වෙනව.
" දැන් සුමාන දෙහෙකට ඉස්සෙල්ල මම ඔය ටවුං හෝල් එක පැත්තෙ කැරකුනා මොනව හරි පොකට්ටෙකක් වත් ගහගන්ට පුලුවන්ද කියල බලන්ට.කොහෙද ඔහෙනෑ. ගෑණු මිනිස්සුත් දැං කට්ට කයිරාටික වෙලා.හොඳ පරිස්සමිං ඉන්නෙ පොකැට්, ගැට, හැඹිළි ගැන. දවල් දෙක වගෙ වෙද්දි මට මේ ඉන්න ඉඳිල්ල තූ කියල හිතුන. වෙලාවට කන්ට නෑ. නාන්ට නෑ. මොකක්ද මේ ජීවිතේ කියල මටම අපෝ වුනා ඔන්න. ඒ එක්කම මට හිතුන මීට හොඳයි හිරේවත් යන එක. එතන මොනව නැතිවුනත් වෙලාවට කන්ට, නාන්ට, නිදාගන්ට තියනවනෙ. අනික මට නුපුරුදු තැනකුත් නෙවෙයිනෙ. එහෙම හිතල මම ගොඩ වැදුන දවටගහ පල්ලිය ලඟ තියෙන මුස්ලිම් කඩේට. "
අහගෙන ඉන්න මිනිස්සුත් කටවල් ඇරගෙන ටික ටික තවත් කිට්ටු වෙනව ජන්තුව ගාවට.
" ගිහිල්ල ඉඳගත්ත පුටුවක් පස්සට ඇදල. කතා කලා වේටර කොලුවෙකුට. ඒයි ළමයා. ගේනවා සම්බ බත්, පුච්චපු කුකුළෙක්, අල, මාලු, සලාද ඔය තියෙන කෑම ඔක්කොම, යකෙක් කන්ට බඩගිනියි ....ගවනර් වගෙ කෑම ඕඩර් කරන්නෙ ඕයි…..තමුසෙ ගාව සල්ලි තියෙනවද? වේටරයා අහපි."
" සල්ලි නැතුව කන්ට එන්ට මෙතන දන්සැලක් නෙවෙයිනෙ. මම දන්නව ඒක. මේ තියෙන්නෙ ඕයි සල්ලි..මම මගෙ ඉණේ බැඳල තිබ්බ පටියෙ පොකට් එක පෙන්නුව. ඒක පිම්බිලා තිබ්බෙ ඇතුලෙ හතරට නවල දාල තිබ්බ පත්තරයක් හින්ද. වේටර කොලුව දන්නවය ඒක. "
" ඌ කරපු වැඩේ කඩේ තිබ්බ තරමක් හොඳ හොඳ කෑම ජාති ගෙනල්ල මේසෙ පිරෙව්ව. ඒත් මගෙ දිහා සැකෙං වගෙ බල බල. එව්වයිං මට වැඩක් ඇත.මම කෑව බඩවැල් දිග ඇරෙන්ට. තව පාරක් බතුත් ගෙන්නගෙන කාල කිරිපැණි එකකටත් වග කිව්ව. ඊට පස්සෙ නැයිකෙට් සිගරෙට්ටෙකකුත් පත්තු කොරාන මං දිහා ඇස් උඩ තියාන බලාඋන්නු ඔක්කෝමලාගෙ මූණු දිහාවෙ බලල මෙහෙම කිව්ව. මගෙ ලඟ තඹ අලුක්කාල් පිච්චියක්වත් නෑ. මාව බාර දීපල්ල පොලීසියට."
" අප්පටසිරි කඩේ හිටපු වේටරයො ඔක්කොම මාව වටකර ගනිපි. පෙනේද මේකා බඩ පැලෙනකල් කාල බීල එහෙම කියනව පණ්ඩිත කතාව..වරෙල්ල අද මුගෙ අඬු කඩල පොලීසියට බාර දෙමු. ඔන්න එතකොටම අල්ලපු මේසෙ ඉඳපු තලත්තෑනි මුදලාලි කෙනෙක් වහෙ රෙද්ද බැනියම ඇඳපු මනුස්සයෙක් කතාකලා. හා.හා..ඔය යකාට තඩි බාන්ට එපල්ල. අද මයෙ තාත්තගෙ මළගම සිද්දවෙලා හරියටම අවුරුදු පහක් වෙනව. මයෙ තාත්තට පිං සිද්ද වෙන්ට ඔය මනුස්සයට යන්ට ඇරපල්ල. මිනිහ කාපු බීපුවගෙ බිල මම ගෙවඤ්ඤා කියල. හෙහ්.ඉතිං මොකද කරන්නෙ? මම අර බිල ගෙවපු මනුස්සයට දෙතුං පාරක් රවල එහෙම හෝටලෙං දොට්ට බැස්ස."
" ආයම සැරයක් කොහොමද පොලිස්සියට අහුවෙලා හිරේ යන්නෙ කියල හිත හිත යද්දි මම දැක්ක වයසක ලොක්කෙක් අලුත්ම අලුත් කුඩයක් පාර අයිනෙ බස් හෝල්ට් එකකට හේත්තු කරල එතනම තියන පෙට්ටි කඩෙං බුලත් විටක්ද කොහෙද ගන්නව. මම මොකද කලේ ලෝඩ් බකිංහැම් වගෙ ගිහිල්ල අර කුඩෙත් අරගෙන හෙමීට යන්ට පටං ගත්ත. මම එහෙම හෙමීට ගියේ කුඩ අයිති කාරයට මාව අල්ලල පොලීසියට බාර දෙනට කල්දෙන්ට හිතාගෙන. "
" හිතුවත් වගේම නාකි ලොක්ක මගෙ පස්සෙං දුවගෙන ඇවිල්ල මගෙ අතකිං අල්ල ගත්ත. ඒයි ඒයි තමුසෙ කොහෙද යන්නෙ මේ මගෙ කුඩෙත් අරගෙන? ම්නිහ කෑගහන්ට ගත්ත. මම එතනම නැවතිල මිනිහගෙ ඉහේ ඉඳල දෙපතුල ගාවට දෙතුං පාරක් රවල බලල මෙහෙම කිව්ව. තමුසෙගෙ කුඩයක් කොහෙද ඕයි මෙතන? අන්ද කයිප්පු කැවිලද? මේක මගේ කුඩේ. තමුසෙගෙ කුඩේ තමුසෙ ගෙදර දාල එන්ට ඇති. ඔය වෙනකොට අහල පහල සෙනඟත් පිරෙන්ට පටං ගෙන. "
" අනේ මම අරම සැරදාල කිව්වම නාකි ලොක්ක බය වුනා. ආ එහෙමද? උන්නැහේ එහෙනං මට සමාවෙන්ට. මගෙ කුඩෙත් ඔය වගේම තමයි. කිව්වත් වගෙ මම එහෙනං කුඩේ ගෙදර දාල එන්ට ඇති. ඕං ඔහොම කියල මිනිහ හෙමිහිට ලිස්සලා ගියෙ නැද්ද? මම එතනම පේමන්ට් එකේ නතර වෙලා අර මිනිහ පස්ස බල බලා යන දිහාවෙ බලා හිටිය ඇහිපිය නොහෙලා. මේ මොකක්ද වෙන්නෙ කියල හිතා ගන්ට බැරුව."
" හෙහ්. ඒ කියන්නෙ ඕන වෙලාවට හිරේ යන එකත් ලේසි නෑ වගේ නේද ජන්තුවෝ? " කටවල් ඇරගෙන එතන වට වෙලා ඉන්න එකෙක් කියාපි.
" මේ මොනව කියනවද? ඉඳහල්ලකො ඉතුරු විස්තරේ කියනකල්..ඉතිං මම අන්තිමට කල්පනා කලා පාරෙ කෑගහල කලබොලයක් කලොත් නොවැරදීම මාව අරගෙන ගිහිල්ල හිරේට දායි කියල. එහෙම හිතල මම කලේ එතනම හන්දියෙ හිටගෙන ඉන්න රාළහාමි ගාවටම ගිහිල්ල මගෙ අලුත්ම කුඩෙත් දිග ඇරගෙන සරමත් පිටිපස්සෙං උස්සගෙන හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක කොල්ලො රැලක් එකතුවෙලා ගැහුව බැල් එක...කියල යටි ගිරියෙං කෑ ගගහ පාර පුරා නටන්ට පටං ගත්තු එක. දැං රාළහාමි මාව අල්ලගනියි, දැං අල්ලගනියි කියල හිතුවට මම පාර පුරා දඟලනව දැක්කෙ නෑ වගෙ අර රාළහාමි මෙන්න අහක බලාගෙන ඉන්නව. මට ඇහුණ එතකොට මගෙ විගඩං බලාගෙන හිටපු නෝනා කෙනෙක් රාළහාමිට කිට්ටු වෙලා මෙහෙම අහනව. ඇයි රාළහාමි අර පිස්සව අල්ලගෙන ගිහිල්ල හිරේ දාන්නෙ නැත්තෙ? පේන්නෙ නැද්ද බීලද කොහෙද පාර පුරා නට නට අර කරන විකාරෙ? "
" දන්නවද රාළහාමි කියපු එක.. එහෙම කරන්ට බෑ නෝනා..අද රෝයල් - තෝමියන් මැච් එක..පාරෙ සිංදු කියකිය නැටුවයි කියල අද කවුරුවත් අත් අඩංගුවට ගන්ට බෑ. ඉතිං මොකෝ කොරන්නෙ? මම එහෙමම නටාගෙනම ගිහිල්ල සෙනඟ තලේ මුවා වෙලා හිමීට මාරුවුනා. පාර අයිනෙ තාප්පෙකට හේත්තුවෙලා ඔන්න මම කල්පනා කරන්ට ගත්ත. බඩත් පිරිල අලුත්ම අලුත් කුඩේකුත් අතට ලබිල තියෙන හින්ද මගෙ හිතත් නිකං එක විදිහක් වගෙ වෙලයි තිබ්බෙ. "
" ඉතිං මටම හිතුන මොකක්ද මං මේ ගතකරන පව්කාර ජීවිතේ? එලොවටත් නෑ මෙලොවටත් නෑ. හරි අද ඉඳල මම මේ පව්කාර වැඩ ඔක්කොම අත ඇරල දාල හොඳ මනුස්සයෙක් වෙනව. සත්තයි. එහෙම හිතල හෙමීට පාර දිගේ ගම් පැත්තට එනකොට අර එහා හන්දියෙ පන්සලේ මම දැක්ක හාමුදුරු කෙනෙක් බණක් කියනව. මාත් හෙමීට ඒ බණ අහන කට්ටියෙ අයිනකට එකතුවෙලා අත්දෙක එහෙම එකතුකරල වැඳගෙන කාරිය බණ අහන්ට ගත්ත. "
" අනේ ඒ බණ ඩිංගෙ අපූරුව කොච්චරද කියල කියනව නං මට මම මෙතෙක් කල් ගත කරපු ජීවිතේ තූ කියල හිතුන. සාදු සාදු සාදු කියල කියන්ට අත්දෙක උස්සනකොටම කවුද දඬු අඩුවකින් ඇල්ලුව වගෙ මගෙ බෙල්ල මුලිම්ම අල්ල ගත්තෙ නැද්ද? හැරිල බැලින්නං අපේ පොලිසියෙ සාජං මහත්තය.. තෝ මොකද බොල මෙතන කරන්නෙ? කාගෙ හරි සාක්කුවකට විදින්ට නේද හැදුවෙ තක්කඩිය? ආ..කාගෙද මේ අලුත්ම කුඩේ? තෝ මේකත් හොරකං කලා නේද? වර යන්ට අලුගුත්තේරුවා පොලීසියට. එහෙම කියල සාජං මහත්තය මාව ඇදගෙන ගිහිල්ල උසාවි දාල දවස් දාහතරකට හිරේ පලච්චෙව්ව. ඒ හිරේ ගිය එකෙං නිදහස් වෙලා තමයි මම මේ එන්නෙ. ආය නං හොඳ මිනිහෙක් වෙන්ට හීනෙකිංවත් හිතන්නෙ මම නං නෙවෙයි. මට මේ පුරුදු ජීවිතේ හොඳයි. " එහෙම කියල ජන්තුවා ඈඳිගෙන උන්නු කඩපිලෙං නැඟිටල යන්ට ගියා.
රයිට් ඒක තමයි මම අර කියඤ්ඤම්ය කියල කියාපු ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ කෙටිකතාව. මතක තියෙන විදිහටයි ඔය ලිව්වෙ...හෙහ්,හෙහ්,
ඉතිං මම පොරොන්දු වුනානෙ මලිති නෝන මහත්තැන්ට සඳුදා කොයිමක් කරල හරි කතාවෙ ඊළඟ කොටස දානවය කියල. මම මෙහෙමයිනෙ කිව්වෙ.
/ නෑ නෝනා, නෑ..නෑ..නෑ..උපරිම බයි මන්ඩේ....මයි බන්ඩේ..බයි මන්ඩේ...:) /
එතකොට අනේ කතාව පරක්කු වෙයි කියල නාහෙං අඬපු මානවික්ස් මෙනෙවියට පිළිතුරු වසයෙන් මම මෙහෙමත් කිව්ව.
/ නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..මම අර මලිති නෝනට පොරොන්දු වුනානෙව. මම ඇවිල්ල ඔය වනිතාවන්ට වෙන පොරොන්දු අකුරටම රකින කෙනෙක්..තේරුනාද? අපෙ හාමිනේ කොයි වෙලෙත් කියන කතාවක් තමයි. " ඔයා ඉතිං මොකද? ඉඟ සුඟ ගස්සල අනේ අයියේ කියල හතර අතට ඇඹරිල කවුරු හරි අංගනාවියක් කළුනික ගේන්ට කිව්වද ඒත් යයි ඕකේ. මැඩම් කියාගෙන " /
ඔය අපෙ හාමිනේ බැණ අඬගහන කතාවත් මරු. කාලයක් අපි දෙන්න හිටිය ඔය ඇනෙක්සියක පදිංචි වෙලා. ඔය නුවර කිට්ටුව හීරැස්සගල කියන පළාතෙ. මම ඉතිං ඔය දවස් දෙකෙකට වගෙ වතාවක් යනව මීටර් හාරපන්සීයක් එහා තිබ්බ සුපර් මාර්කට් එහෙකට බඩු ගේන්ට. ඔය වැඩි දෙයක් එහෙම නෙවෙයි. කිලෝ පහේ නිපුණ මල්ලක්, සීනි පංසීයක්, එළවළුවක් දෙකක්, ඔය වගෙ මොක මොකව හරි සිල්ලර බඩු ටිකක් හේනව හවස් අතේ ගිහිල්ල. මම ඔය කඩේ යන පාර පල්ලෙහා තිබ්බ ඒ අහල පහලම තිබ්බ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නේස් නෝනල හත් අට දෙනෙක් නතර වෙලා හිටපු පොඩි ගේ කෑල්ලක්. පළවෙනි දවසෙ ඉතිං හිනා වෙලා. දෙවෙනි දවසෙ ගුඩ් ඊවිනිං අයියෙ කියල, තුංවෙනි දවසෙ අයිය මේ කිට්ටුවද ඉන්නෙ? ගමත් මෙහෙමයිද? කියල අහල අපි දෙගොල්ල ඔන්න හිතවත් වුනාය කියමුකො.
ඉතිං පස්වෙනි හයවෙනි දවස් වෙනකොට අනේ අයියෙ, කඩේට යනෝනං මටත් ටූප්පේස් එකක් ගෙනැත් දෙනවද? කියල ඉරේෂා මගෙං අහපි. හෙහ්, මනුස්සයෙකුට උදව්වක් ආය මනුස්සයෙක් නැතුව සත්තු සරපයි කොරයිය එහෙම හිතල මම තනි පයිං ඒ වැඩේ බාර ගත්ත. ඒ පස්ට් ඩේ. සෙකන්ඩ් ඩේ ඉරේෂට ලස් කෑල්ලක් ඕනය කිව්ව. එතකොට නිමන්තිට ..ඔව්..ඔව්..නිමන්ති තමයි..හෙහ්..කොකොමද මහෙ මෙමරි කැපෑකුටි එක. දැං වෙනව ඔය නේස් ළමයි එක්ක ආස්සරේ කරල අවුරුදුම එක දොළහක් පාළහක් වගෙ. හෙහ්..අද ඊයෙ වගෙ මතකයි මට. හරි නිමන්තිට ..ඔය නිමන්ති ඉන්නව නේද? හරියටම අර මේ ඊයෙ පෙරෙයිද ගියේ අකඩවාරිය කියල ටෙලි චිත්‍රපටයක්. අන්න ඒකෙ ප්‍රධාන නිළිය වගේමයි..අර අංගම් පොර අල්ලන කෙල්ල....කවුද නම? ආ..හරි සුධීරා...අන්න ඒ ළමයා වගේමයි.
හරි අකඩවාරිය ගැන ඒ ඇති. ඉතිං පස්සෙ පස්සෙ අර ලීලයි , කමලයි, චම්පයි, රේකයි බානුමතියි නයනයි සඳරේකයි දියගන්නට එන්නේ ලිඳ ළඟටයි කිව්ව වගෙ ඉරේෂයි, නිමන්තියි, තරුෂිකායි, නයනතාරයි ඔය ඔක්කොමල බඩුමුට්ටු ගෙන්න ගන්ට ගත්ත මට කියල. කොච්චර හරි අන්තිමට මට ඒ වෙනුවෙම්ම සුට්ටි පොත් පිංචකුත් ගන්ට වුනේ නැද්ද? එහෙම නැහ්නං ඔය කෙල්ලො හත් අට දෙනෙක්ට වෙන වෙනම බඩු ගේන්ට මතක තියාගන්ට පුලුහං මොන යකාටද? පස්සෙ ඔය නයනතාරද කොහෙද යාලු වෙලා හිටපු කොල්ල මට ගහන්ටත් ආපි. වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව ඊරිසියාව...හෙහ්.. අන්තිමට ඒ කෙල්ලො එක්ක ආස්සරේ නතර වුනේ ඒ වසවර්තිය මට ගහන්ට ආපු හින්ද නම් නෙවෙයි ..හෙහ්..එව්වට කවුද බය? අර මම කෙල්ලො ගේන්ට කියන බඩු ලිස්ටෙක ලියන පොත් පිංච..හෙහ්..මගෙ සෝට් බෑයෙ සාක්කුවෙ ඕක දවසක් අමතක වුනානෙ මට. සෝට හෝදන්ට ගිය වෙලාවෙ අපෙ උන්දැට ඔය පොත් පිංච අහුවෙච්චි.
ආය මොනවද? එදා අපේ ඇනෙක්සියට හිරෝසිමා නාගසාකි නගර දෙකට දාපු පරමාණු බෝම්බ දෙකම එකට, එක විඩේට වැටිච්චි. ඒ එක්කම ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් සහ ඔපරේෂන් ඕවර් ලෝඩ් යුද මෙහෙයුම් දෙකම එක දවසෙ දියත් වුනා...හෙහ්. හෙහ්, ( ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් කියන්නෙ 1991 දි සදාම් හුසේන් පරාජය කරන්නට කල මෙහෙයුම. එතකොට ඔපරේෂන් ඕවර්ලෝඩ් කියන්නෙ 1944 අවුරුද්දෙ හිට්ලර් අවසාන වශයෙන් පාරජය කරන්නට මිත්‍ර හමුදා එංගලන්තෙ ඉඳල දියත් කරපු මහා මෙහෙයුම )
හරි...ඒ මගෙ වනිතා කටයුතු මෙහෙයුම හා එහි අතුරු ප්‍රතිඵල ගැන දෙවනුව සවිස්තරව ලියන්නෙමි. නැත්තං අද ආය..අර පේන්නෙ නැත?..අපේ ලොකු පුතා දැනටම පිටපොට ගහනව...හෙහ්,හෙහ්,
රායිට්ස්...ඇඩ් එහෙකට පස්සෙ මේ දවස්වල රූපවාහිනියෙ දාන්නෙ.....අන්න ඒ වගෙ... සුපුරුදු වැඩ සටහන වෙත නැවතත්. බෑක් ටු අවර් රෙගියුලර් ප්‍රෝග්‍රම්...
ඒ කියන්නෙ අබවුට් අසෝකා.....නොහොත් කොස් කපන ළමයා…...ගරු කටයුතු ප්‍රසන්න සහ ධුරන්ධර සත්ගුණවත් හැලපයා යන මහත්වරුනට සුවසේ නින්ද යනු පිණිස මෙතැන් සිට කොස් කපන ළමයාගේ කතාව......රම් පම්..පම්..පම්…
" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"
මම ඉතිං සරොජිනී ගැන කතාව කියල ඉවරවුනා. අසෝකා නංගිගෙ මූණෙ තිබ්බෙ මහ සීරියස් පෙනුමක්…
" අයියද එහෙනං ඒ?....අයිය ගැනයි එහෙනං එයා මට කිව්වෙ.... "
" මොකක්? මොනවද මං ගැන කිව්වෙ? "
එක විඩේම සද්දෙට එහෙම කියවුන හින්ද අජිතයටයි නැන්දම්මටයි ඇහුනදත් මන්ද..අසෝකටත් එහෙමම හිතෙන්ට ඇති ..අපි දෙන්නට එකම විඩේ ඔලුව හරවල බරපතල සාකච්ඡාවක නිරතවෙලා ඉන්න ඒ දෙන්න දිහා බැලුව. නෑ...ඇහිච්චි බවක් පේන්ට නම් නෑ..ඇහිල නෑ..එහෙම අඟවන්ට අසෝකා ඒ පැත්තට ඉඟි මරල ඔලුව දෙපැත්තට වනල හිනා වුනා.
" ඉතිං මං ගැන සරෝජිනී කිව්වෙ මොනවද කියන්ටකො.." මම කටහඬපහත් කරල වේවැල් පුටුවෙ පුලුවන් තරම් ඉස්සරහට වෙලා එයා දිහාට නැවුනා.
" නෑ..නෑ..එහෙම නරකක් මොකවත් කිව්වෙ නෑ...අම්ම එයාට බල කලාය කියල කිව්ව මෙහෙම කෙනෙක් ගැන. අයියලගෙ අම්මගෙයි එයාලගෙ අම්මගෙයි යාලුකම ගැනත් කිව්ව..ඒත් ඔය වාට්ටුවෙදි අයියව හම්බවෙච්චි කතාවක් මා එක්ක කිව්වෙ නෑනෙ."
" හෙහ්..ඒ විස්තරේ කිව්වෙ නැද්ද? සමහරවිට මොකටද වැඩි විස්තර කියල හිතන්ට ඇති…"
" එහෙමත් වෙන්ට පුලුවන්...ඒත් සරෝ මගේ හොඳම යාලුවා.." අසෝකා එහෙම කියල යටි තොල පෙරලල උරහිස් හැකිලුවා. හරියට අනේ මන්දා කියල ඇඟවෙන්න වගේ.
ඊලඟට අසෝකගෙ දෑසට ආයම ආව අර සීරියස් පෙනුම .." අයිය දන්නවද සරෝ අයියට අකමැති වුනේ මොකද කියල? "
" ම්හු...අයි ඩොන් නෝ මෙලෝ දෙයක්…" මම හිනාවුනා.
" සරෝජිනීට එෆෙයාර් එකක් තිබ්බ..ඒ හින්දයි එයා අකමැතිවුනේ..."
" නැහ්? ඉතිං ඒ මෝඩි ඕක කෙලිම්ම කිව්වනං ඉවරයිනෙ..මොකෝ එහෙම කිව්වනං මම අර පල්ලෙහා මේන් එන්ට්‍රන්ස් එක ගාව වී.ඩී. ක්ලිනික් එකට අල්ලපු කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් ගාවට ඒ ළමයව කරේ තියාගෙන ගිහිල්ල බලෙම්ම කසාද බැඳගනියි කියලවත් හිතුවද දන්නෙ නෑ ..හෙහ්…"
" හිහිහ්..අයියත් කියන කතා…" අසෝකා කට අතකින් වගගෙන හිනාවුනා.
නුවර මහ ඉස්පිරිතාලෙ ඇතුල්වෙන තැනම ඒ කාලෙ තිබ්බෙ වී.ඩී. ක්ලිනික් එක. ඊට අල්ලපු කාමරේ හිටිය උපත්, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර් කෙනෙක්. ඒ මනුස්සය උපත් සහ මරණ රෙජිස්ටර් කලාට මයෙ හිතේ කවදාවත් එතන විවාහයක්නම් රෙජිස්ටර් කලාය කියල ආරංචියක් නම් නෑ. අර විදිහට සරෝජිනීව උස්සගෙන ගිහිල්ල මම එතන විවාහෙ රෙජිස්ටර් කලානම් ඒක නුවර ඉස්පිරිතාලෙ ලියාපදිංචි කරපු පළමු විවාහය හැටියට ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙනව ලියවෙනවාමයි.
" ඉතිං මොකද හැබෑට ඔය ළමය ඔය එෆෙයාර් එක හංගන්නෙ? මම හිතන්නෙ එයාලගෙ අම්මලවත් දන්නෙ නෑ "
" නෑ..නෑ..නෑ..අම්මා දන්නව. අම්ම ඒකට තනිකරම විරුද්දයි. "
" ඒ මොකද? "
" මේ කුල ප්‍රශ්ණයක්... "
" ආ...එහෙමත් එකක්ද? "
" එහෙනං..ඒ කොල්ලත් අපේ බැච් එකේමයි. දැං වැඩ කරන්නෙ කුරුණෑගල ඉස්පිරිතාලෙ. හරිම හොඳ ළමය. ඒත් කුළේ තමයි ප්‍රශ්ණෙ..සරෝජිනීලගෙ අම්මල ඔය කුළ කේස් ගැන සෑහෙන්න හොයනව. "
" ඕගොල්ලොත් එහෙමද? "
" මෙහෙමයි..මම නම් ඔය කුළේ ඒ හැටි වැදගත් කියල සළකන්නෙ නෑ. ඒත් අපේ අම්මල අප්පච්චිල නම් ඒ ගැන හොයනව. "
" ඒකත් එහෙමද?" මම බිම බලාගෙන සුසුමක් හෙලුව.
" ඇයි අයිය එහෙම ඇහුවෙ? " අසෝකා නළල රැලි කරගෙන ඇහුව.
" නෑ අපිත් අඩුයි කියල කියන...." මම එතනින් කතාව නතර කරල අහක බලාගත්ත.
" බොරු කියන්ට එපා අනේ...." අසෝකා කට ඇතුලෙන් කිව්වා.
" බොරු නෙවෙයි අජිත් අයියගෙන් අහන්ටකො විස්වාස නැත්තං " මම එහෙම කියල නැඟිට්ට.
රයිට් ඉතිං ඔය අසෝකලගෙ ගෙදර සීන් එකෙන් පස්සෙ අසෝකයි මායි බොහොම හිතවත් වුනා. ඒ කෙල්ල ඇත්තටම බොහොම විවෘතයි. ඕපන් ඉකොනොමි කියන්නෙ. අන්න එහෙම. ඊට පස්සෙත් දෙතුන් පාරක් අජිතය එක්ක උගෙ ගෙදර ගිහාම මමයි අජිතයයි අසෝකලගෙ ගෙදර ගියා. එහෙම නැත්තං අජිතයලගෙ ගෙදරදි අපි හම්බවුනා. කෙලින්ම ඔය සෙනෙහෙද මොකක්ද එක ප්‍රකාශ නොකලට පොඩි මෙව්ව එකක් තියනවයි කියල එයත් දැනගෙන හිටිය. මාත් දැනගෙන හිටිය. ඊට අමතරව එයා දැනගෙන ඉන්නෙ කියල මාත් දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයත් දැනගෙන හිටිය. එතකොට එයා දැනගෙන ඉන්නෙ කියල මම දන්නවයි ඉන්නෙ කියලත් එයා දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයා දන්නවයි කියල මමත් දැනගෙන හිටිය. යනාදී වශයෙන් ........
ඉතිං ඔය සුජිත අක්කගෙ මඟුල් ගෙදර සෙට් වුනේ ඔය අතරෙ තමයි. ( මතකද මන්ද.....සුජිත කියන්නෙ අජිතයගෙ අක්ක . සුජිත අක්කගෙ මඟුල් ගෙදරට උදව් වෙන්ට කියල මම දවස් තුන හතරක් කලින් අජිතයලෙගෙ ගෙදර ඇවිල්ලයි මේ ඉන්නෙ )
අජිතයත් බොහොම කැමැත්තෙං හිටිය මේ වැඩේට. වැඩේට කිව්වෙ අසෝකයි මායි අතරෙ මොකක් හරි ආතල් එකක් සෙට් වෙයි කියල.මගෙ හැටි සොබාව දන්න හින්ද ඕකා කෙලින්ම කියන්නෙ නෑ. වහෙං ඔරෝ කියනව. සුජිත අක්කත් එහෙමයි.
" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."
පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං????
" හරි අක්කෙ.. ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ? " මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව.
" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද?
" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත.
" මොකෝ මේ කොස් කපන්ට තේරෙන්නෙ නැතුව මට එන්ට කියල නාහෙං අඬනව කියන්නෙ?" දර මඩුවෙ උළුවස්සට අත්දෙක තියල මම ඇහුව.
පරණ ගවුමක් ඇඳල සායං ගිය දිය රෙද්දක්ද කොහෙද ඉණෙං පල්ලෙහාට පටලවගෙන ඒ කෙල්ල කිසි කිසි ගාල කොස් කපනව හිරමණේක ඉඳගෙන. මේ දර මඩුවෙ තමයි අජිතයයි මායි ඊයෙ රෑ වෙලා පොඩි ආතල් එකක් ගත්තෙ. පිටිපස්සට වෙන්ට තිබ්බ බූ හනසු ගොඩ අස්සෙං හිස් බෝතලේක කට හරිය තාමත් පේන්ට තියනව.
" මම ? මම එහෙම මොකවත් කියාපු එකක් නෑ.." අසෝකගෙ මූණට දාඩිය දාල.
" එහෙනං අර මනමාලි කියන්නෙ? මනමාලියො බොරු කියනවය මේ මඟුල් කට ලඟටම ඇවිල්ල තියෙද්දි...." කතා කරන අතරෙම මම හෙමිහිට මට නෙවෙයි වගෙ බූ හනසු ගොඩ ගාවට ගිහිල්ල විළුඹෙං අර හිස් බෝතලේ තල්ලු කලා ඇතුලට.
අසෝකා බිම බලාගෙනම කොස් කපනව. මම බිත්තිය අයිනෙ තිබ්බ පරණ පෙට්ටගම උඩ වාඩිවුනා. " මොකෝ කතා නැත්තෙ? "
" නෑ මම මේ කල්පනා කලේ කාරණා දෙකෙන් ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල. "
" කාරණා දෙකක් තියනවද? මම ඇහුවෙ නම් එකයි. මනමාලියො බොරු කියනවද කියල. "
" හරි එහෙනං ඒකට මම ඉස්සෙල්ල උත්තර දීල ඉන්නංකො. මනමාලියො කියල නෑ ගෑණු මිනිස්සු කවුරුත් බොරු කියනව. "
" එතකොට දෙවෙනි කාරණේ ? "
අසෝකා ඔලුව උස්සල මගේ දිහා බලල යන්තමට හිනා වුනා. " දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා. "