මහනුවර වැව වටා පනවා ඇති අසුන් රාශියක් මහනුවර නගරයට කුමන හෝ කාර්යයකට පිවිසි ඔබ දැක ඇතිවාට මට සැකයක් නොමැත. ඒ වැවෙහි සිරි නරඹමින් විවේකයෙන් කල් ගෙවනු පිණිස මහනුවර වැසියන්හට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමයේ සිට හිමිවුණු වරප්‍රසාදයෙකි. මෙදවස නුවර නගර මධ්‍යස්ථානය (Kandy city centre ) පිහිටි භූමි භාගය ඉදිරි පස වැවෙහි සංචාරක බෝට්ටු සේවය පවත්වාගෙන යන ස්ථානය ඉදිරිපිට අසුනක මම හිඳින්නෙමි. මම මෙසේ අසුන්ගෙන පොරොත්තුව සිටිනුයේ හෝරාවකට ද මඳක් අධික කාලයක සිටය.
ඒ ඇය සැපත්වන තුරාය.
අපගේ ඇසුර ඇරඹී ගතව ගියේ හුදෙක් තෙමසක මඳක් අධික කාලයක් වුව ඒ ඇසුර හුදු හිතවත්කමකට එහා යාමට විභවය සහ හැකියාව ඇත්තක් බව මට හැඟී ගියේ ප්‍රාරම්භක අවධියේදීමය. ඇය ද ඒ හැඟීම එලෙසම විඳින බවට ඇගේ වදන් මෙන්ම දෑස ද නොයෙක් වර කියා පෑවේය.ආදරය පිළිබඳ අප අතර කිසිදු වදනක් මෙතෙක් හුමමාරු වී නොතිබි බවද මේ සමඟම කිවයුතුය.
සති අන්තයේ ඉරු දින උදය වරුවේ හමුවීමට අප නියම කොට ගත්තේ අන්‍යෝන්‍ය එකඟත්වයෙනි.
මේ හමුවීම් ඉතා සුන්දර වුවද හිරු රැසින් බබලන අහස් කුස අඳුරු කරවනා එකම කාල වර්ණ මේ කුලක් මෙන් ඒ සුන්දරත්වයට අකුල් හෙලූයේ එකම කරුණකි. ඈ පුරුද්දක් වශයෙන් වැව්තෙරට පැමිණියේ ප්‍රමාද වීය.මුල් අවස්ථා කිහිපය මම ඒ එතරම් ගණනකට නොගෙන නොසළකා හැරියද අවසන ඒ මගේ සිතට මහත්සේ වදදෙන්නක් විය.
අප හමුවනුයේ සතියකට වරක් ඉරුදින උදෑසන පමණි. ඒ දින සතකට වරක් එළඹෙන එකම දින පවා එකඟ වූ හෝරාවට පැමිණීමට ඇය උනන්දුවක් උත්සාහයක් නොගන්නේ මන්ද? එක් දිනක් දෙදිනක් ප්‍රමාදය සැලකිය යුත්තක් නොවේ. එහෙත් නොකඩවා වාර ගනනක් එළෙසම සිදුවීම? මේ අඟවන්නේ කුමක්ද? ඒ තරමටවත් ඇය මා පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවද? මෙලෙස සිතට වද දෙමින් නොයෙක් අතට පෙරලමින් කල්පනා ලොව සැරිසැරීමට මට සෑම සතියකම දින සයක කාලයක් තිබීම තත්වය වඩාත් උග්‍ර වීමට ප්‍රබල හේතුවක් විය.
එහෙත් වැව්තෙර අසුන්ගෙන හුන් මගේ අඳුරු වූ වත දුටු වහාම ඇය මා සුරත දැඩිව ග්‍රහණය කොටගෙන දොඩමළු වූවාය.
'' අනේ තරහ ගන්න එපා, අපේ ගෙවල් පැත්තෙන් එන බස් එක අද තිබ්බෙ නෑ. මට අයියට කියල බයික් එකේ ටවුමට එන්න උනා,''
'' හරි වැඩේනෙ උනේ, අපෙ ගෙවල් ළඟ පොඩි දරුවෙකුට අසනීප වෙලා. මම එයත් එක්ක ඉස්පිරිතාලෙ ගිහිල්ලයි මේ ආවෙ,''
'' ඊයෙ අපේ ලොකු අම්මල ආවනෙ අපේ ගෙදර, එයාල අද උදේ ආපහු ගියේ, ඉතිං මටත් ටවුමට එයාලගෙ වෑන් එකේම ගියෑකි කිව්ව. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයාල එක්කම එන්න උනා. ''
'' හ්ම්ම්.....''
දැඩිව ග්‍රහනය කරගත් මගේ සුරත ඇකය මත තබාගත් වනම මා දෙනෙත් දෙස එක එල්ලේ බලා දොඩමළු වන ඈ දෙස නොබලා වැව් දියමත රැළි නංවමින් විදේශීය සංචාරකයින් පිරිසක් රැගෙන යාත්‍රාකරන නිල්පැහැ බෝට්ටුව දෙස දෙස බලාගත්වනම මම පිළිතුරු දුනිමි.
මගේ නොපහන් මුහුණ නොදුටුවසේ ඈ දිගටම දොඩමළු වෙයි. පසුගිය දින සයේ ඈට සිදුවූ, ඈ ඇසූ , ඈ දුටු සියල්ල මා හට පැවසීමට ඈට අවශ්‍යය.දිගින් දිගටම නොපහන් මුහුණින් කල්ගත් කිරීමට මට නොහැකි බව මම මෙන්ම ඇයද හොඳින් දනියි. පළමුව ඈ දෙස නොබලාම මම ඇගේ වමත දැඩිව ග්‍රහණය කර ගනිමි. දෙවනුව තද කරගත් තොල් පට ලිහිල්වී මඳ සිනහවක් විද්‍යාමාන වන්නේ මුහුණෙහි මෙතෙක් දැඩි ආතතියට ලක්වූ මස්පිඩු ලිහිල් වීමත් සමඟමය.ඒ ක්‍රියාදාමයෙහි තර්කානුකූල අවසානය වනුයේ ඈ දෙසට හැරුනු මම මෙසේ පිළිවිසීමය.
'' ඉතිං අනේ කියන්නකො ඊට පස්සෙ මොකද උනේ? ''
හෝරා දෙකක පමණ කාලයකට පසු බොහෝවිට ඇයට හදිසි අවශ්‍යතාවයක් නොතිබුණේවීනම් දිවා ආහාරයද ගෙන අප දෙදෙන සමුගන්නේ හද පුරා පැතිරුනු සෙනෙහසිනි..
මේ ක්‍රියාවලිය නොනැවත චක්‍රයක් මෙන් කිහිප වරක් සිදුවූ ඉක්බිති මම තීරණයක් ගත්තෙමි. ඇගේ ප්‍රමාදය පිළිබඳ නොපහන් වනු නොව ඒ ඇගේ ස්වභාවය යයි පිළිගැනීමට මම සිත එකඟ කරවා ගතිමි.
එදවස මා කියැවූ පොත් කිහිපයක සඳහන් වූ මෙවන් අදහස් ද ඒ වෙනුවෙන් මහෝපකාරී විය.
Don't get married thinking you can change someone to your whims, it wont happen ever.
Mutual understanding is the strongest base for a lasting relationship.
Accepting her / him for what her / him is the best gift you can give her / him.
මෙවන් අදහස් පොත් පත් වල ලියනුයේ අත කසනවාට නොවන බවද එසේම අධික මුදලක් ගෙවා මිළදී ගන්නා සහ මුළු රැයක් පුරා බොහෝවිට අළුයම තෙක් නිදි වර්ජිතව කියවන්නාවූ පොත්පත් වල සඳහන් දෑ පිළිපැදීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීම ලෙසද ඉටාගත් මම ඒ අනුව මා දිවිය හැඩ ගස්වා ගැනීමට අදිටන් කොට ගතිමි.
අනුයාත ඉරුදින එලඹිනි. සුපුරුදු පරිදි වැව් තෙර අසුන වෙත සැපත්වීමට පලමු කොටුගොඩැල්ල වීදියෙහි විජිත යාපා පොත්හල වෙත ගිය මම ඒ ආසන්නයේම නිකුත්වූ සුනේත්‍රා රාජකරුණානායකගේ නව කථාවක් මිළයට ගතිමි. ඒ ඇගේ මුද්‍රණ ද්වාරයෙන් නිකුත්වූ දෙවන හෝ තුන්වන නවකථාව බව මතකයෙහි රැඳී ඇත. බොහෝ විට ප්‍රේම පුරාණය විය හැක.
වැව්තෙර අසුනෙහි හිඳ පොත කියවීම ඇරඹූ පසු කාලය ගෙවීයනු මට කිසිසේත් නොදැනිනි.වෙනත් ඉරුදිනයන්හි මිනිත්තු පහෙන් පහේ කාල ප්‍රාන්තර අනුව ඔරලෝසුව දෙස ද ඒ සමඟම නොපහන් දෑසින් යුතුව ඈ පැමිණිය යුතු මඟ දෙසද සහස් වරක් දෑස් හෙලන මම මෙදින සුනේත්‍රාගේ පොතෙහි නිමග්න වූයේ මුලු ලොවම අමතක වූ පරිදිය.
'' අනේ සොරි හොඳද මම අදනම් හොඳටම පරක්කු උනා...''
ඇගේ ආයාචනාත්මක හඬ මම සුනේත්‍රාගේ ලොවින් බැහැර කරලීය.
සුපුරුදු නොපහන් වත වෙනුවට මම ඈ දෙනෙත දෙස එක එල්ලේ බලමින් සිනහසීමි.
'' කමක් නෑ අනේ...ඒකට කමක් නෑ...මම මේ පොතක් බල බල හිටියෙ..වෙලාව යනව තේරුණේම නෑ. ''
මම පොත නවා උකුල මත තබා ගනිමින් අසුනේ ඇයට ඉඩ දෙනු පිණිස මඳක් එහාට වුනිමි. ඈ හිඳගත්තේ අසුනෙහි ඈතම කෙළවරෙහිය. එමතුද නොව මා දෙස නොබලාම ඈ ඈත වැව මධ්‍යයෙහි දිස්වන දූපත දෙස මොහොතක් බලා උන්නාය.
'' හහ්...ඔයාට මම මෙච්චර පරක්කු උනා ඒක ගැන ගානක්වත් නෑ...පොත තමයි ලොකු උනේ නේද? පොත බල බල ඔහොමම ඉන්න. මම යනව යන්ට..''
එකවරම ඈ නැඟී සිටියාය. මා දෙස එකවරක් හැරී බැළුවාය. ඉනික්බිති ගස්සාගෙන ආපසු හැරුනු ඈ යුහු ගමනින් මා වෙතින් ඉවත්ව ගියාය.
අඩක් විවරවූ මුවින් සහ අයාගත් දෑසින් යුතුව මම ඈ ඉවත යනු බලා සිටියෙමි.
In dictionaries the word woman should be defined as paradox
Don't ever try to understand women, just love them
මවිසින් කියවවලද පොත් වල සඳහන් වූ ඉහත සඳහන් අදහස් නැවත සිහියට නඟාගත් මම සිත සනහා ගතිමි.
As all women are she may be a paradox too but do you know that I love paradoxes?
Finally...... being loving that paradox for the last Nineteen years and loving it more day by day ...heh, heh,
ප.ලි. - වසර කිහිපයකට පෙර ඇය සහ මම යථෝක්ත අසුනෙහි නැවත හිඳසිටියෙමු.
'' ඒයි මතකද මම දවසක් මෙතන ඔයා ඉඳගෙන ඉන්දැද්දි තරහ වෙලා යන්ට ගියා ගස්සගෙන? ''
ඈ දෑස් සිහින් කොට විචාලාය.
'' මොකද බොලේ මතක නැත්තෙ?...හෙහ්, හෙහ්, මම එදා හිතාගත්ත ඔයා පස්ස නොබලම යන්ට ගියානම් එතනිම්ම වැඩේ නවත්තල දාන්ට. ''
'' හහ්, එව්ව කොහෙද මා එක්ක? ''
ඇය හඬ නඟා සිනාසුණාය.
'' මම හැරිල බැලුවනෙ නැවතිලා. ඔයා මා පස්සෙ එන්නෙ නැතුව ඉඳගෙනම හිටියනම් මමත් හිතාගෙන හිටියෙ එතනිම්ම වැඩේ නවත්තල දාන්ට.''
'' හෙහ්, හෙහ්, එව්ව හරියන්නෙ නෑ ළමයා මේ මම එක්කලා....මම ආවනෙ ඔයා පස්සෙන්...''
මම ඇගේ දෙනෙත් දෙස එබී බලා පැවසුවෙමි.