Friday, May 31, 2013

190. ඔබ එදානම් සඳ වගේමැයි !!!

ජීවිත කාලයක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද?...ජීවිත කාලයක් මුලුල්ලෙ අපි කොච්චර නම් පිරිමි කොච්චර නම් ගැහැණු එක්ක ගනුදෙනු කරන්න ඇතිද?....ජීවිතේ කියන්නෙ දිග ගමනක් කියල කවුරු හරි බටහිර දර්ශන වාදියෙක් කියල තිබුණයි කියල මම අහල තිබුණ.මට හරියටම වචන මතක නෑ..ඒත් අදහස මෙන්න මේ වගෙ දෙයක්..අපේ ජීවිතය කියන්නෙ දිග ගමනක්...ඒ යන අතරමඟ නොයෙක් ගැහැණු , පිරිමි හම්බ වෙනව..සමහරු අපි නොසිතන විදිහට අපෙ ජීවිතයට ඇතුල් වෙනව...ඒත් අපි එක්ක රැඳිල ඉන්නෙ කීයෙන් කී දෙනාද? අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්.. 

එහෙම රැඳිල ඉන්න අයට අමතරව අඩු ගණනෙ කාලයක් ගිහාම, අවුරුදු විසි පහක් තිහක් විතර කියමුකො... අඩු ගානෙ මතක තියෙන්නෙවත් කීයෙන් කීදෙනෙක් ගැනද?...එක අතකට එහෙම මතක නැති වෙල යන එකත් හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනව. ඔය අපෙ ජීවිතේට කාලෙන් කාලෙට කිට්ටුවෙන හදවතට සමීප වෙන, හැමෝම ගැන මතකය හැමදාම නොමැකී තිබුනොත් ඒක මහම බරක් වෙන්න පුළුවන්. ජීවිතේ මහ කළු ගලක් කර උඩ තියාගෙන කන්දක් නගිනව වගෙ කරගන්න ඕන නැහැනෙ. ඒ නිසා එහෙම ඒ සබඳතා අමතක වෙල යන එක හොඳයි..ඒත් හදවත් උයන මතුයෙහි පිය සටහන් තබා යන සොඳුරු මතක සටහන් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. සදාකාලයටම ඒ මතක අපි එක්කම තියේවි. 

අපෙ අප්පච්චිගෙ ගම මාතර....අප්පච්චිගෙ අම්ම අපෙ ආතම්ම අසනීපෙන් කියල එක පාරක් අම්ම මට ලියුමක් එවල තිබ්බ. මම එතකොට අර කැළේ මැද වැඩ කරන කාලෙ. අවුරුදු විසිපහකටත් එහා තරම. මාසෙකට වරක් මම ගෙදර ආවෙ දවස් දෙක තුනක නිවාඩුවක් දාල. 

" පුතා..මේ පාර ගෙදර එනකොට සතියක්වත් නිවාඩුවක් දාල එන්න...මාතර ගිහිල්ල ආවොත් හොඳයි..අප්පච්චිටත් ඔය දුර බැහැර යන්ට සනීපයක් නෑ මේ දවස්වල…" අප්පච්චිට ඒ කාලෙ පපුවෙ හතියක් වගෙ ආව විඩින් විඩේ. 

මාතර ගිහිල්ල එහෙම සතියකට පස්සෙ සඳුද දවසක මම ආපහු වැඩට ආවෙ..මෙන්න එනකොට පැමිණීමෙ පොත ක්ලෝස් කරල රතු ඉර ගහල....උදේම නුවරින් ආවත් දවල් 12.30 නැත්නම් 1.00 වගෙ වෙනව කාර්යාලයට එනකොට. සාමාන්‍යයෙන් දුර බැහැර දුෂ්කර සේවයෙ යෙදෙන අපිට සහනයක් හැටියට පැමිණීම අත්සන් කරන පොත ක්ලෝස් කරන්නෙ නෑ..පොත්වල පැමිණීම දැන් වෙනකොට අත්සන් කරනවද කියල නම් මම හරියටම දන්නෙ නෑ..ඒත් අත්සන් කරන අය දන්නව ඇති පොත ක්ලෝස් කරනව කියල කියන්නෙ මොකක්ද කියල උදේ අටට රතු ඉරක් ගහල ඊට යටින් වෙලාව දානව....ඊට පස්සෙ ආපු අයට යටින් පස්සෙ වෙලාවක් තමයි දාන්න වෙන්නෙ. එහෙම දවස් තුනක් මාසෙකට එකතු උනාම වරුවක් නිවාඩු වලින් කැපෙනව. මාසෙකට සැරයක් ගෙදර යන මට ඕක එක දවසක් ඉරට යටින් අත්සන් කලාට කිසිම අවුලක් නෑ. ඒත් කවදාවත් නොවිච්ච වැඩක් නෙව මේක..ඒ දවස්වල අපෙ ඔෆිස් එකේ ලිපිකරුවො කවුරුත් හිටියෙ නෑ. ඒ වැඩත් ඔක්කොම කලේ කා.කා. ස. තැන්පත් ජයතුංග ගොයිය..... 

" ජයතුංග......." මම කෑගැහුව.." කවුද බං අද කවදාවත් නැතුව පොත ක්ලෝස් කලේ?..." 

" සර්...මම පොත ක්ලෝස් කළේ...ලොකු සර් මට කිව වෙලාවට පොත ක්ලෝස් කරන්නයි කියල..." 

ඇහෙන නෑහෙන ගාණට එහෙම කටහඬක් පිටිපස්සෙං ඇහුන. මම කරේ එල්ලං හිටපු ට්‍රැවලිං බෑග් එක එහෙම්ම මේසෙ උඩ තියල ආපහු හැරුන. අපෙ ඔෆිස් එකේ පිටිපස්සෙම පොඩි කාමරයක් තිබ්බ ඔය ෆයිලිං කැබිනට් එහෙම තිබ්බ ඒකෙ. ඒ කාමරේ දොර ගාව හිටගෙන මා දිහා ඇස් විදහගෙන බලාහිටියෙ ලානිල් පාට බ්ලවුස් එකක් සහ තද නිල් පාට ස්කර්ට් එකක් ඇඳගෙන හිටපුකොන්ඩෙ උරහිස තරමට වවල හිටපු ගෑණු ළමයෙක්. ඇය ඒ තරම් සුදු නෑ. ඒත් ඒ දිගටි නහය සහ ලොකු ඇස්. ඒ වෙලාවෙ ඒ ඇස් බයෙන් වගෙ මා දිහා බලාගෙන හිටපු විදිහ මට තාම මතකයි මේ ඊයෙ වෙච්චි දෙයක් වගෙ. 

" ආ..නෑ..නෑ...මම මේ……." 

මට එක පාරටම මොකවත් කියාගන්ට බැරිඋනා...ඇහිපිය නොහෙලා ඒ ලොකු ඇස් දිහාවෙ එහෙම්මම බලාගෙන හිටපු මට එක පාරට ම තේරුණා එහෙම කන්ට වගෙ බලා ඉන්න එක හරි නැහැ කියල ඊටත් මේ දෙයියනේ කියල අදම දැක්ක කෙල්ලෙක් දිහාවෙ… 

" සොරි මම යන්නම්……"එහෙම කියල මම බෑග් එකත් උරෙස්සෙ දාගෙන ඔෆිස් එකෙං එළියට ආව. 

ඇඟ පත හෝදගෙන කාල මම එහෙම්මම ඇඳේ ඇලවුනා ඒ දවස්වල නුවර තිබ්බ කේ.වී.ජී ද සිල්වා එකෙන් ගෙනාපු පොතකුත් අරගෙන. දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල... 

" ඒයි උඹ මොකද අර කෙල්ලට පාට් එකක් දැම්මයි කියන්නෙ අද? ..." 

විමලෙගෙ කෑගැහිල්ලට මට ඇහැරුනෙ...එක පාරට කොහෙද ඉන්නෙ කියල හිතාගන්ට බැරුව අන්ද මන්ද වෙලා මම ඇඳේ ඉඳගත්තෙ බිම වැටිල තිබ්බ පොත අතට ගන්න ගමන්..විමලෙ උළුවස්සට අතදෙක තියාගෙන කාමරේට නැවිල මා දිහා බලා හිටියෙ හිනා වීගෙන. 

" මොන කෙල්ලද බං? " 

ඒ කියන්නෙ කවුරු ගැනද කියල ඉත්තේරුවෙන්ම දැනගෙනත් මම ඔහෙ ඕනවට එපාවට වගෙ ඇහුව… 

" වසන්ති බං...ගිය සුමානෙ ආපු අලුත් ක්ලාක්....හොඳ අපූරු කෙල්ල බං.." 

" හ්ම්ම්..ඉතිං මට මොකද කියන්නෙ?...." 

" උඹට මොකවත් කියන්නෙ නෑ මම......." විමලෙ කාමරේට ඇවිල්ල එහා ඇඳේ ඉඳ ගත්ත...... 

" ඒ කෙල්ල හොඳටම බය වෙලා..උඹ කෑගැහුවයි කියල පොත ක්ලෝස් කරපු එකට.." 

" මම දන්නවද බං වසන්තියෙක් ගැන..මම හිතුවෙ අර ජයතුංගය පොත ක්ලෝස් කරලයි කියල...වෙනද කවදාවත් නොකරන දෙයක් හින්දයි මම ඇහුවෙ.." 

" මේ ලොක්කගෙ වැඩ දන්නෙ නැද්ද?...මුලින්ම කවුරුහරි වැඩට ආහම වැඩ කෝටියයිනෙ හරියට වැඩ කරන්ට කියල උපදෙස් දෙනවනෙ..එවුනුත් ඉතිං බයටම හරියටම වැඩේ කරනව…" 

" මොකද එයා කිව්වෙ?..." 

මම ඇහුවෙ නැඟිටල පුටු ඇන්ද උඩ දාල තිබ්බ තුවාය කරේ දා ගන්න ගමං… 

" මගෙං ඇහුව උඹ ගැන විස්තර....මම ඉතිං කිව්ව...වසන්ති ගිණිගත්හේනෙ..නුවර ඉඳල වැඩි දුරකුත් නෑ...." 

" මේ උඹ එන්ට එපා මට නුවර ඉඳල ගිණිගත්හේනට තියන දුර කියල දෙන්ට…" 

මම කාමරෙං එළියට එන ගමං ආපහු හැරිල කියාගෙන ආව… 

" හෙහ්, හෙහ්, හෙහ්….." 

විමලෙය හිනාවෙන සද්දෙ මට කුස්සියෙං පිටිපස්සෙ තිබ්බ ටැංකිය ගාවට යනකල්ම ඇහුණ. 

වසන්ති පහුවදා උදේ මට ඔෆිස් එකේදි හම්බ උනා. කෙල්ල මා දිහා බලල හිනාවෙල බිම බලාගත්ත.. 

" මේ මොකද අර විමලෙයට බොරු කිව්වෙ?...මම ඔහෙගෙ ඇඟට ගොඩ උනයි කියල….." 

මම එයයිගෙ මේසෙට අත්දෙක තියල බර වෙලා කෙලින්ම මූණ දිහාබලාගෙන ඇහුව..ටිකක් විතර සැරට… 

" අනේ නෑ මිස්ට වීරසිංග මම එහෙම මොකවත් කිව්වෙ නෑ……" 

වසන්ති ඔලුව උස්සල මා දිහා බලල ආයෙම බිම බලාගත්ත. 

" හ්ම්ම්ම්..එහෙම නං කමක් නෑ...." මම තොල් හපාගෙන ආපහු හැරිල ආව.. 

වසන්ති මා ගැන උනන්දුවක් තියන බව මට වැඩිකල් නොගොහින්ම තේරුණා...ඒත් ඒ දවස්වල මම කාලෙක ඉඳල තිබ්බ දීර්ඝ පෙම් පලහිලව්වක පැටලිලා හිටියෙ..ඒ වෙනකොට ඒ කුළුඳුල් ප්‍රේම පුරාණයෙ අවසාන භාගයට ක්‍රමයෙන් ළඟා වෙමින් හිටියෙ. ඒ නිසා වසන්තිගෙ මා කෙරෙහි තිබ්බ උනන්දුවට නිසි පරිදි ප්‍රතිචාර දක්වන්න හැකියාවක්වත් ඒ ගැන පෙළඹවීමක්වත් මගෙ තිබුණෙ නෑ.. 

" මේ යකෝ පිස්සු කෙලින්න එපා..වසන්ති කියන්නෙ දාහකින් හොයාගන්න බැරි රත්තරං කෙල්ලක්..උඹ මේ අතට ආපු වාසනාවට පයිං ගහන්ට එපා බං…" 

විමලෙ මට එහෙම කිව්වෙ එක පාරක් දෙපාරක් නෙවෙයි. ඒත් මම දන්නෙ නෑ. ඒක මගෙ උරුමෙද මගෙ කරුමෙද කියල මට එහෙම දේකට හිත හදාගන්න බැරිඋනා. 

" රවී........" අපෙ ඔෆිස් එකේ හැමෝම මට වීරෙ කියල කිව්වත් අපි දෙන්න විතරක් ඉන්න තැන වසන්ති මට කතාකලේ රවී කියලයි…" ඔයාට ලියුමක් තියෙනව……" 

අපිට එන ලියුම් දාන්න වෙනම පෙට්ටියක් තිබුනත් මට එන ලියුම් වසන්ති වෙනම තියාගෙන ඉඳල මගෙ අතටම දෙන එක පුරුද්දක් වෙලයි තිබුනෙ. එයයිගෙ හිත රිද්දන්නෙ මොකටද කියල මම ඒ ගැන මොකවත් කියන්ට ගියෙත් නෑ. 

ලියුම් කවරෙ අකුරූ වලින්ම මම දැනගත්ත ඒ කාගෙන්ද?... ඒ ලියුමෙන් කියන්නෙ මොකක්ද?... කියල...ඒ තමයි මගෙ ප්‍රථම ප්‍රේමයේ මළගම සනිටුහන් කෙරුණු අවසාන නිවේදනය. 

කොහොම හරි මට අද වෙනකල් හිතාගන්ට බෑ වසන්ති කොහොමද ඒ ගැන දැනගත්තෙ කියල ...ඒත් එයා ඒ වෙලාවෙ කතාකරපු ස්වරයෙන් මම අනිවාර්යයෙන් දැනගෙන හිටිය එයා මේ ලියුමෙන් කියවෙන්නෙ මොකක්ද ඒකෙන් කියවෙන අවසාන තීරණය මොකක්ද කියල දැනගෙන හිටියයි කියන එක..මගෙ ඛෙදජනක ප්‍රේම පුරාණෙ විස්තර මම කිව්වෙ නැතිඋනාට ඕන තරං හිටිය කට්ටිය වසන්තිට ඒව කියන්ට. 

කළු වළාකුළු මාස ගාණක ඉඳල අහස වහගෙන තිබුණු විදිහට කොයි වෙලාවෙ හරි ගුගුරල වහියි කියල බලාපොරොත්තු උනාට අන්තිමට වැස්සම කොහොම උනත් ඒක දරාගන්ට අමාරුයි. 

පහුවදා මොකක් හරි නිවාඩුවක් තිබිල අපෙ සගයො බොහොම දෙනෙක් ගෙවල් වලට ගියා.එදා වැඩි වැඩක් තිබ්බෙත් නැති නිසා මම දවල් ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ ගත්ත..හවස් වෙනකොට හොඳ ගනං.... රෑට කන්නෙත් නැතුව නිදාගත්ත. මහ රෑ මට ඇහැරෙනකොට ඉහිං කණිං දාඩිය දාල...උණ ..වෙව්ලනව කට කට ගෑවිල්ලෙ ..මැලේරියාව... 

අපෙ ගෝලය සැමී විතරයි හිටියෙ.." .දෙයියෝ සාක්කි..මහත්තයට හොඳටම උණ නේද?...බෙහෙත් ගෙනෙන්ට යමුද?..." සැමී පහුවදා උදෙම මම නැඟිටින්නෙ නැති නිසා කාමරේට ඇවිත් බලල මගෙ නලලට අත තියල කිව. 

" ඕන නෑ බං..මේ මැලේරියාව..අර පෙති දිගටම ගත්තම හරියයි…." 

මැලේරියාවට දෙනව පෙති කෝස් එකක් එක දිගට සතියක් ගන්න ඕන...ඒ පෙති බිව්වම මැලේරියාවට හපං... 

දවල් වෙනකොට මට සහලවාලා උණ. හීනෙං වගෙ මට දැනුන කවුදෝ සීතල තුවායකින් වගෙ මගෙ මුහුණ බෙල්ල හරිය පිහදානව..අමාරුවෙන් ඇහැ ඇරල බලනකොට වසන්ති......මගෙ මූණ බෙල්ල පපුව ඔක්කොම සීතල වතුරෙන් පිහදාල රෙදිකෑල්ලකට ඕඩිකොලොන් දාල ඒකත් මගෙ නලලෙන් තියල එයා යන්න නැගිට්ටම මම එයයිගෙ අත තද කරල මිරිකුවෙ කියාගන්න බැරි මගෙ ස්තූතිය, කෘතඥතාවය පලකරන්ට... 

ඔය සිද්ධියෙන් පස් සෙ වසන්තියි මායි බොහොම කිට්ටු උනා. ආදරය ගැන කෙලින්ම වචනයෙන් කතා නොකල උනත් කෙල්ලගෙ හිතේ මා ගැන ආදරයක් තියෙනවයි කියන එක මට රහසක් උනේ නෑ. ඒත් මගෙ හිතේ වසන්ති ගැන තිබ්බෙ මොන වගෙ හැඟීමක්ද කියන එක අදටත් මට හිතා ගන්න බෑ. 

වසන්ති සහ මම අතර නිර්වචනය කල නොහැකි සබඳතාවක් පැවැත්වෙමින් මාස හය හතක් ගෙවුනා. 

" රවී, ලබන වීක් එන්ඩ් එකේ අපේ ගෙදර එන්නකො…." 

" ඈ..ඒ මොකටද?...." 

" වෙන මොකටවත් නෙවෙයි මගෙ උපන් දිනේ..ඒකයි..ලන්ච් එකට එන්න...." 

ගම්පොල හිටිය අපෙ ඔෆිස් එකේම මගෙ තව යාළුවෙක්...ප්‍රියන්ත. 

" හරි මම එන්නම්කො ප්‍රියන්තත් එක්ක….." තනියම වසන්තිලගෙ ගෙදර යන්ට මට පොඩි පසුබෑමක් වගෙ හිතුන. 

" ම්ම්ම්….." වසන්ති ටිකක් වෙල කල්පනා කලා.." හරි කමක් නෑ..ප්‍රියන්තත් එක්කම එන්නකො එහෙනං….." 

ඉතිං ප්‍රියන්තයි මායි ගියා වසන්තිලගෙ ගෙදර..ගිණිගත්හේන හැටන් පාරෙ එයාලගෙ ගෙවල්........එයාගෙ අම්මල තාත්තල අපිව බොහොම සාදරෙන් පිළිගත්ත.දවල්ට කාල හවස් වෙල අපි ආපහු ආව. 

" මේ..අම්මල මට බල කරනව ඉක්මනට බඳින්ට කියල…." 

ගිණිගත්හේන ගමනින් සතියකට විතර පස් සෙ වසන්ති මා එක්ක කිව. ඒ වෙලාවෙ ඔෆිස් එකේ අපි දෙන්න විතරයි හිටියෙ..මම එයාගෙ මුණ බලල ආයෙම බිම බලාගත්ත.. 

" ඉතිං?..." 

" ඉතිං කියන්නෙ මට කියන්න දෙකිං එකක්....." 

" ඔයා දන්නවනෙ නංගිල බඳිනකල් මට කසාදයක් ගැන හිතන්න බෑ කියල……" 

ඒත් ඇත්තම හේතුව ඒක නෙවෙයි..එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බ තමයි. ඒත් මම එක හෙලා කියාහිටියනම් බඳින්ටම ඕනය කියල අම්මල අප්පච්චිල මොකවත් කියන්නෙ නෑ. මට ඒක සහතිකයි. ඇත්තම හේතුව වසන්ති ගැන මගෙ හිතේ තිබ්බෙ මොන වගේ හැඟීමක්ද කියන එක මටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ එක.වසන්තිට මම ගොඩාක් කැමතියි. ඒත් ජීවිත සහකරුවෙක් අපේ අනාගතය බෙදාගන්න අපි තෝරගන්න කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි බැඳීමක්, එහෙම කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි හැඟීමක් තියෙන්න ඕනය කියන එකයි මට හිතුනෙ.මගෙ මනෝ විකාර වෙන්න ඇති සමහරවිට..ඒත් ඉතිං එහෙම තමයි මට හිතුනෙ.... 

මම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නැතිය කියල ස්තිරවම දැනගත්තම වසන්ති එයාලගෙ ගෙවල් කිට්ටුව තිබ්බ අපෙ ආයතනයෙම ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් අරගෙන ගියා. 

අන්තිමට සමුගන්න දවසෙ මාලඟට ඇවිල්ල මගෙ අත අල්ල ගත්ත. 

" හෙට මම ගෙදර යනව ආයෙ සමහරවිට කවදාවත් ඔයාව දකින එකක් නෑ. මා එක්ක නුවරට යන්න ඔයා එනව නේද?...." 

දවල් එකොලහ වගෙ වෙනකොට අපි නුවරට ආව. කතරගම දේවාලෙ ඉස්සරහ ලියෝන්ස් එකෙන් දවල්ට කාල අපි දළඳා වීදිය දිගේ ඉහළට ඇවිදගෙන ගියා. නුවර වැව රවුම දිගේ මල්වතු විහාරෙ දිහාවට ගියේ ක්වීන්ස් එක කිට්ටුව සෙනඟ වැඩි හින්ද. මල්වතු විහාරෙ පහු වෙච්ච ගමන්ම විසාල මාර ගහක් යට තිබ්බ ගල් බංකුවක අපි දෙන්න ඉඳගත්ත.වැව උඩින් කෙලින්ම ඉස්සරහ දළඳා මාළිගාවෙ රන් වියන දිළිසුනෙ ඇස් නිලංකාර කරවමින්...හංසයො දෙන්නෙක් අපි හිටපු කිට්ටුවම ඉවුර අයිනෙ එහාට මෙහාට පීනමින් හිටිය. 

" මේ හංසයො ගෙනැල්ල තියෙන්නෙ ජපානෙන්ද කොහෙද?....මම දැක්ක ගිය සතියෙ පත්තරේ තියනව…" 

මම වසන්ති දිහා බලල ආයෙම වැවේ පීනන හංසයො දිහා බැලුවා. එයා මම කිව එක නෑහුනා වගෙ වැවේ දියරැළි මත නටන මාළිගාවෙ පිළිබිඹුව දිහාවෙ බලා හිටිය. 

අන්තිමට දිග සුසුමක් හෙලල එයා කතා කලා.. 

" රවී මේ ටික ඔයාට කියන්නම ඕන නිසයි මම කිව්වෙ මා එක්ක අද එන්න කියල……

" වසන්ති……" මම ඔලුව උස්සල එයා දිහා බැලුව. 

" ප්ලීස්..මට කතා කරන්න දෙන්න....මේ බොහෝවිට අපි මුණගැහෙන අන්තිම දවස වෙන්නත් පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන ටික කියන්න දෙන්න.." 

හරි ඔයා කතා කරන්න මම අතින් කිව්ව … 

" මම ඔයාට ආදරෙයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ . ඒක ඔයා හොඳටම දන්නව. එහෙම කෙලින්ම වචනයෙන් නොකිව්ව උනත් ඒක රහසක් නෙවෙයි. ඒත් ඔයාගෙ හිතේ මා ගැන එහෙම ආදරයක් නෑ කියලත් මම දන්නව.ඔයාගෙ හිතේ තියෙන්නෙ මා ගැන බැඳීමක් වගෙ මොකක්ද එකක් විතරයි..ප්‍රශ්නයක් නෑ..එහෙම තමයි ජීවිතේ හැටි..එහෙම තමයි දෛවයේ හැටි.මට අකමැත්තෙන් හරි මගෙ දෛවය පිළිගන්න වෙනව.මම යන්නම් රවි..නෑ ඔයා එන්න ඕන නෑ...මම තනියම යන්නම්... "

ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන ඈ නැඟිට්ට.අන්තිමටම මා දිහා බලල යන්තමට හිනාවෙලා " Thanks for everything....." කියල කිව්ව. ඊට පස්සෙ වැව් ඉවුර දිගට පෙති කළුගල් අල්ලල හදල තිබ්බ පෙත් මඟ දිගේ ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. " යන්න එපා වසන්ති..... ඉන්න " කියල කෑගහල කියන්න මට දෙතුන් පාරක්ම හිතුනත් එහෙම කරන්න මට ධෛර්යයක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.කතන්දරවල චිත්‍රපටවල එහෙම උනාට මගෙ ජීවිතේ ඒ වගෙ කතන්දර චිත්‍රපට දර්ශන බොහොම අඩුයි. 

අවසන වසන්තී නම් වූ ඒ අපූර්ව යුවතිය මගේ ජීවිතයෙන් එසේ සමුගෙන ඉවත ගියාය. 


ඔබ එදානම් සඳ වගේමැයි, 
ඔබ මෙදා හිරුවී මා දවයි, 
ඔබ මගේයැයි තව මට සිතෙයි, 
ඔබ දමා යන්නට හිත කියයි, 

නෙතේ නෑ ආදර හැඟුම්, 
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්, 
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව, 
මැකී යයි ආදර හැඟුම්, 
ඔබ එදානම් සඳ වගේමැයි, 

පිටු පුරා පෙම් කවි ලියූ, 
සිත ගොළුවුනේ ඇයි රස මැවූ, 
නොදන්නෙමි වැරදුනේ කොතැනද? 
දෛවයද මේ අප පැතූ, 


Wednesday, May 29, 2013

189. කිරුළ සහ සෙනෙහස ……4





තම්බපණ්ණියෙහි අධිකරණ ශාලාව පිහිටියේ වරායෙහි සිට සිරීසවත්ථු පුරයට දිවෙන මාර්ගයය පසෙක නගරයෙහි හිරු නැඟි හෝරාවෙහි පටන් රාත්‍රියෙහි පශ්චිම යාමය ද පසුවන තෙක් පවතිනා ඝෝෂාව නෑසෙන තෙක් වූ දුරකිනි. 

තම්බපණ්ණියෙහි වූ සෑම නිර්මිතයක් මෙන් ඒද හුදෙක් උපයෝජ්‍යතාවය ( Utility, ප්‍රයෝජනවත් බව ) පමණක් ම පදනම් කොට ගනිමින් ඉතා චාම් ලෙස නිමැවුනක් විය. කටු මැටි වරිච්චි බිත්තියෙන් අඩක් ආවරණිත සහ වියළි පදම් වූ තල් කොළ සෙවිළි කල විවෘත ශාලාවෙහි එක් කෙළවරෙක වූ නූස් වේදිකාවක් මත අඳුරු පැහැ සවිමත් දැවයකින් නිමවූ විනිශ්චායසනය විය. 

හිරු උදාව හෝරා තුනක් ගෙවී ගිය සඳ සන්නාහ සන්නද්ධ මුර භටයින් සිව් දෙනෙකු පිරිවරා තේජස්වී පියවරින් විනිශ්චය ශාලාවට සැපත්වූ කුවණ්ණාවෝ විනිශ්චයාසනාරූඪ වූවා ශාලාව පුරා රැස්ව හුන් ජනකාය සිසාරායන බැල්මක් හෙලුවාය. 

කාලවර්ණ වැඩුණු කෙස් සහිත වූ හිස් වසා ජටාවන් බැඳි පර්සියානු මහ නැවියෝද, කලෙක ධවල වර්ණ වීයයි උපකල්පනය කල හැකි දිගු ලෝගු හැඳ සහ හිණෙහි රැඳි සිරියෙහි මිටට අත තබාගත් අරාබි වෙළෙඳෝද,නිතර අඩක් වැසුණුසේ දිස්වන සිහින් දෙනෙතින් යුතු, සේද සළුයෙන් සැරසි සීන දේශයෙන් පැමිණි නැව් හිමි ධනවත්තුද, නොගැඹුරු කලපුවෙහි කිමිද දියමතුපිටට ගෙන ආ මුතු බෙල්ලන් පියන්පත් තුල වූ මුතු අලෙවිකොට රැකෙන කාල වර්ණ ද්‍රවිඩ කිමිදුම් කරුවෝද, දිවයින අභ්‍යන්තරයේ සිට ඇත්දළ සහ මහාර්ඝ මැණික් රැගත් තවලම් සමඟ පැමිණි සිහින් උසැති නාග ගෝත්‍රිකයෝද, වරාය අසබඩ වෙළඳසැල් සහ ආපනශාලා පවත්වාගෙන යන යක්ඛ ගෝත්‍රිකයෝද තමනට වූ එසේ නැතහොත් තමනට වූවායයි උපකල්පනය කොටගත් අසාධාරණයන් පිළිබඳව පැමිණිලි කොට සුදුසු සහනයන් ලබා ගැනිමේ අපේක්ෂාවන් පෙරදැරි කොටගෙන අධිකරණ ශාලාව අභ්‍යන්තරයෙහි පමණක් නොව ඒ අවට තල් රුක් පාමුලද රැස් වූවාහු නොඉවසිල්ලෙන් පොරොත්තුව සිටියෝය. 

පළමුව විභාගයට ගන්නා ලද්දේ වණික්මය මතභේද පිළිබඳ ගැටළුය. අත්තිකාරමක් ලබාදුන් ධාන්‍ය තොගයකට ගෙවිය යුතු ඉතිරි මුදල් ගෙවනු නොහැකිවූ වෙලෙඳෙකු ධාන්‍ය මිළ ඉහළගොස් ඇති හෙයින් සැපයුම්කරුට අලාභයක් නොවූයේය යන තර්කය මත පදනම්ව ගෙවූ අත්තිකාරම යලි ඉල්ලා සිටීයේය.

අත්තිකාරමක් ගෙවූ පසු ඉතිරි මුදල් නොගෙවා පැහැර හැරි කල නීත්‍යානුකූලව අත්තිකාරම ගෙවූ තැනැත්තාට එය අහිමිවන බවත් එබැවින් මිල ඉහළයාම කරණකොටගෙන සැපයුම් කරුට අලාභයක් නොවන්නේය යන තර්කය මත පදනම්ව අත්තිකාරම ආපසු ගෙවන ලෙස නියෝගයක් කල නොහැකි බවත් පැමිණිලි කරු සහ වග උත්තරකරු සුහදව ඒ සම්බන්ධව සාකච්ඡා කොට විසඳුමකට එලඹිය යුතු බවත් කුවණ්ණාගේ තීරණය විය. 

වාසුගී බොහෝවිට එදිනෙදා පාලන කටයුතු කුවණ්ණාහට පවරා තිබුනද අධිකරණමය ගැටළු වලදී ඇගේ තීරණයන්හට එකඟනොවන යමෙකුට වාසුගීහට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවකාශ සළසා තිබිණි. එයින්ද සෑහීමට පත් නොවන්නකුට සිරිසවත්ථු පුර රාෂ්ඨ්‍ර පාලක වෙත අවසාන වරට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. 

එදින කුවණ්නාවන් විසින් විසඳුම් ලබාදුන් නඩුහබ මතභේද පිලිබඳව කොතෙකුත් විස්තර කිරීම පසුවට තබා මා පවසන්නට යෙදෙන අන්දරයට අදාල අවස්ථාවට පිවිසෙනුවස් මට අවසර මා පිය සහෘදය/සහෘදිනිය….. 

වාණිජ මතභේද පිළිබඳ විසඳුම් අවසානයෙහි සාමය කඩකිරීම්, බීමත්ව හැසිරීම සහ සොරකම් ආදිය පිළිබඳ පැමිණිළි විභාගයට ගන්නා ලදී. ඒ යටතේ එදින විනිශ්චය උදෙසා ඉදිරිපත් කෙරුනේ එකම නඩුවකි. එනම් පෙරදින රාත්‍රියෙහි බීමතින් හැසිරී නුවරුන් කිහිප දෙනෙකු සමඟ කෝළාහලයක පැටළුනු වංග දේශයෙන් පැමිණි නාවිකයන් සත්සියයකුත් වූ පිරිසට එදිරිව චෝදකයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු පැමිණිල්ල පමණකි. 

" කුමරියනි..මොවුහු වංග දේශයෙන් ඊයේ දිනයෙහි තම්බපණ්ණියට පැමිණියෝ වෙති.රාත්‍රියෙහි මත්පැන් පානයෙන් පසු ගණිකාවන් සම්බන්ධ බහින් බස් වීමකින් පසු නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටි අවන් හලකට පහරදී අලාභහානි සිදුකිරීම සහ එහි හිමිකරුට සහ සේවකයන්හට පහරදීම මොවුන්ට විරුද්ධ චෝදනාවෝ වෙති. " 

සත්සියක්වූ පිරිස පහතට නැවුනු හිසින් යුතුව දෑත් ඉදිරියට බැඳගත්වනම කුවණ්ණා ඉදිරියේ පෙනී හුන්හ. උදෑසන වෙරළෙහි ඇගේ දැහැන බිඳ දැමීමට පමණ නිර්භයවූ නොදැමුණු පුරුෂයා ඔවුන් ඉදිරියේම එසේම බිමට නවාගත් හිසින් යුතුව පසුවිය. ඔහු දැළි රැවුළු කපා මුහුණ මුඩුකොට සිටියේය. 

ඔහු මුහුණ දෙස මොහොතක් බලා සිටි කුවණ්ණාවන්ගේ දෙනෙත් යොමු වූයේ වමතින් තදින් මිරිකා සිටිනා ඔහුගේ සුරත දෙසටය. මැදගිල්ලේ කෙලවර සිට උරහිස දක්වා දිවෙන අතේ ප්‍රධාන ස්නායුව උඩුසමට ඉතා ආසන්නයෙන් ගමන් කරන වැළමිට පසුපස ආශ්ත නිලය නමින් හැඳින්වෙන ස්ථානය තදින් ස්පර්ශකිරීමෙන් සුළු වේලාවකට අත අකර්මන්‍ය වන බව පමණක් නොව දින කිහිපයක් එහි දරුණු වේදනාවක්ද පවතින බව මොනවට දත් ඇගේ දෙතොලග සිහින් සිනාරැල්ලක් ඇඳී ඒ සමඟම මැකී ගියේය. ඒ නාඳුනන පුරුෂයා කෙරෙහි අනුකම්පාවකට ආසන්න හැඟීමක් එසැණ ඈ සිතෙහි ඉපිද එකෙනෙහිම මැකී ගියේය. 

අතවරයට පත්වූ අවන්හල් හිමිකරුවන්ගේ සාක්ෂින්ට අනතුරුව කුවණ්ණා චූදිතයින් ඇමතුවාය. 

" තොපට විරුද්ධව නඟා ඇති චෝදනා මෙන්ම පැමිණිල්ල වෙනුවෙන් දුන් සාක්ෂිද තොපට හොඳින් ඇසෙන්නට ඇතැයි සිතන්නෙමි. ඊට පිළිතුරුවශයෙන් විත්ති වාචකය ලෙස තොපට පවසන්නට යමක් ඇත්නම් මේ ඊට අවස්ථාවයි…" 

බිමටම හරවාගත් වතින් යුතුව නිහඬවම හුන්නා විනා චූදිතයින් කිසිවෙකු වදනකුදු නොදෙඩුවෝය.විනිශ්චය ශාලාව අවට වූ තල් රුක් අතරින් වියළි සුළඟ හමායන සිහින් හඬින් පමණක් නිශ්ශබ්දතාවය කඩවුනු කෙටි කාල පරිච්ඡේදයකට පසු කුවණ්ණාවෝ නැවත තම හඬ අවදි කළෝය. 

" නිශ්ශබ්දතාවයෙන් පෙනීයන්නේ තොපට තම නිදහස පිණිස පැවසීමට කිසිවක් නොමැති බවයි. එසේම තොපගේ නිශ්ශබ්දතාවය වරද පිළිගැනීමක් සේ සළකා මම දඬුවම් නියම කරමි.මෙවන් වරදකට ලංකාද්වීපයෙහි බලපවත්වන නීතිය අනුව දඬුවම නම් දිනක් ගතවීමට ප්‍රථම පිටුවාහල් කිරීමයි. තොප විසින් සිදුකරන ලද අලාභ හානි වලට සුදුසු වන්දියක් ගෙවීමෙන් පසු හෙට දින මධ්‍යාහ්නයට ප්‍රථම තොප ලංකාද්වීපයෙන් පිටත්ව යා යුතුය. එසේම නැවත මෙහි පැමිණීමද සපුරා තහනම්වේ..." 

විනිසුරු අසුනින් නැඟීසිටි ඈ ගාම්භීර පියවරින් සිය අංගාරක්ෂකයින් පෙරටු කොටගෙන ශාලාවෙන් පිටව ගියාය. කුවන්ණා චූදිතයින් පසුකොට යන විට එක් වරක් හිස ඔසවා ඇගේ දෑස් දෙස එක එල්ලේ බැලූ උදෑසන ඈ හමුවීමට පැමිණි නොදැමුණු තරුණයා යලි වහා හිස පහතට නැඹුරු කොට ගත්තේය.

ඔහුගේ බැල්ම ඇගේ දෙනෙතෙහි ගැටුණු වහා කුමක්දැයි හරිහැටි වටහාගත නොහුනු යම් නුපුරුදු හැඟුම් සමුදායක් තම හද පුරා පිරී ඉතිරීයනු දැනුනු කුවණ්ණා ද වහා දෙනෙත් පොළවට නැඹුරු කොට ගත්තීය. 

දිවාආහාරයෙන් පසු හෝරාවක් හෝ දෙකක් විවේක සුවයෙන් පසුවීම කුවණ්ණාගේ සිරිත විය. වාසුගී හා සමඟ යම් රාජ්‍ය පාලනයට අදාල කරුණක් එසේත් නැතහොත් තම්බපණ්ණියට සැපත්වූ යම් වෙළෙඳෙක් හෝ නාවිකයෙකුගෙන් සැලවූ සත් සමුදුරෙන් ඔබ්බෙහි කොහේ හෝ දේශයක කිසියම් ප්‍රඥාවන්තයකු ශාස්තෲවරයකු විසින් දේශනා කල නව ධර්මයක්, ජීවන ක්‍රමයක් හෝ තර්ක විධික්‍රමයක් එසේත් නොමැත්තේනම් මනුෂ්‍ය වර්ගයා සහ ලෝකය පිළිබඳ නව අර්ථ කථනයක් පිලිබඳව සාකච්ඡා කරනුයේද වාද විවාද කරනුයේද මේ දිවා ආහාරයට ඉක්බිති එලඹෙන කාල පරිච්ඡයේදීය. 

මෙදින පියාණන් ද නොමැතිවීම නිසා ඇය සයනයෙහි සැතපී මඳක් විවේක ගැන්මට උත්සාහ කළාය. එහෙත් ඇගේ සිත මහත් කලබලයට පත්ව තිබුණු හෙයින් නින්දට පිවිසීමට කොතෙකුත් උත්සාහ කලද ඒ ඒ නිරර්ථක වෑයමක්ම විය. 

තම සිත වාරකන් කල තම්බපණ්නි වරායට දකුණු දිගින් පිහිටි හිරිගල් වැටියෙහි නිබඳ හැපෙමින් සුදුවන් පෙණබිඳු නංවමින් අනවරතව කැළඹෙනා සයුරු දියසුළියක් අයුරු කම්පනයට පත්වූයේ කුමන හෙයින්ද යනු විමසා තීරණයකට එළඹීමට ඇය නිරර්ථක උත්සාහයක් ගත්තීය. 

පෞද්ගලික කරුණක් වේවා රාජකාරියට සම්බන්ධ කරුණක් වේවා ඇය සැම විටෙකම ස්ථිර තීරණයකට එළඹියේ සිදු විය යුත්ත, සිදු නොවියයුත්ත හොඳින් සිතා බලා තුලාවක දෙපස සමබර වන සේ කිරා මැන බලනායුරෙන් සමාලෝචනය කිරීමෙනි.මේ සිතෙහි පවතින වටහාගත නොහැකි අතීරණය ඇයට මහත් ගැටළුවකි. පූර්වාදර්ශ නොමැතිහෙයින් මහත්වූ චිත්ත වික්ෂෝභයෙකි. 

අවසන සයනයෙන් නැඟි සිටි ඕ සිත සමනය කරගනු වස් පියාණන්ගේ පොත්ගුලට වැද සිත් කැළඹිල්ලක් ඇතිවූ කල ඔහු නිතොර කියවනා තල්කොළ තීරු විස්සක් පමණ වරපටකින් බැඳ නිමැවුණු පුස්තකය සුරතට ගත්තාය. 

" කුවණ්ණා..මේ උතුරු දඹදිව ඉපිද ඉතාම අවිහිංසාවාදීවූ දර්ශනයක් දේශනා කරමින් ගම් නියම් ගම් දනව් සරමින් හැසිරෙන සිද්ධාර්ථ ගෞතම නම්වූ මහා පුරුෂයෙකුගේ මුවින් නික්මුනු ධර්මයයි.ඔහුගේ දේශනා ශ්‍රවණය කල වෙළෙඳුන්, සංචාරකයින් සහ ශ්‍රමණයින් සිය ගනනක් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මවිසින් ග්‍රන්ථාරූඪ කල ධර්මය වඩා නිවැරදිව පැවසුවහොත් දර්ශනයයි මේ..." 

එක් දිනක ඔහු පැවසුවේ ඇය සුරතට ඒ තල්පත් ඉරු සමූහය පත් කරවමිණි. 

පොත්ගුලෙහි බිම අතුල පර්සියානු පළස මත දෙදණ නවා හිඳගත් කුවණ්ණා ඒ සවිමත්ව පදම්කල සමෙකින් බැඳි තල්පත් ඉරු සමූහය කියවන්නට වූවාය. 

" මහණෙනි, මෙලොව ඉතාම අසීරු කාර්යයනම් තම සිත දමනය කර ගැනීමයි..ඒ මද කිපුණු ගිජිඳකු වරපටෙකින් බැඳ හික්මවා ගැන්මට ද වඩා අසීරුය.චණ්ඩ මහීෂයකු මකුළු හුයෙකින් ගැටගසා නවත්වා ගැන්මටද වඩා අසීරුය. ඔබ සිත දමනය කර ගැන්මේ එකම මාර්ගය නම් සිතට වදදෙන සියළු නොදැමුණු සිතුවිලි එකහෙලාම සිතින් ඉවත්කරලීමෙනි....කිළිටිවූ වස්ත්‍රයක් ඇමද සෝදාලන්නා සේ.........." 

කැට කැබලිත්තක් පොකුණක ජල මතු පිටට දමා ගැසූකල දියරැළි නංවාලමින් කැළඹෙන ජලය කෙමෙන් යලි නිසලවන්නාසේ තම සිත සමහන් වනු කුවණ්ණාට දැනුනි.සම්පූර්ණ තල්පත් ඉරු පුස්තකයම කියවූ ඇය පළස මතින් නැඟී සිටියේ සන්සුන්වූ සිතකිනි. 

සන්ධ්‍යා යාමයෙහි මළහිරු සමුදුර ක්ෂිතිජය රත්වන් කොට අස්තගත වෙද්දී සිත තවත් සමහන් කරගනු රිසිවූ ඕ උදෑසන දැහැනට සමවන් උත්තුංග තල් රුක පාමුළෙහි යළි භාවනානුයෝගී වූවාය. 

බොහෝ වේලා භාවනානුයෝගීව හුන් ඇය සෙමෙන් දෙනෙත් විවර කළාය. 

උදෑසන සේම දැහැනින් මිදී යලි විවරකල ඇගේ දෙනෙතට ලක් වූයේ පියවර විස්සකට පමණ ඔබ්බෙහි වැලි තලය මත දෙදණ නවා හිඳිනා රුවකි.දෙනෙත් පියවී මුහුණ පහතට හරවාගෙන හුන් නමුදු ඒ ඔහු බව ඈ වහා හඳුනා ගත්තාය. ඔහු වත දෙස විපිළිසරව ඇය බලාසිටින අතර දෙනෙත් විවර කල ඔහු හිස ඔසවා ඈ දෙස එක එල්ලේ බලා සිටින්නට විය. 

මෙතෙක් සන්සුන්ව හිස දෙපසට සලමින් හුන් ගිජිඳා වර පට නොව සිව් පා බැඳ තිබූ යදම් ද සුණු විසුණු කොට හිස ලූ ලූ අත දිවෙන්නට වූයේය.! 

මෙතෙක් කර නවාගත් වනම තණ බුදිමින් හුන් මහීෂයා ගෙල වටාදමා තිබූ පදම් කල සම් රැහැන එක් පැහැර බිඳ සතර අත දිවෙන්නට වූයේය.!! 

රත් පැහැයෙන් සයුර සහ අහස වර්ණ ගැන්වුනු එක් සන්ධ්‍යාකාලයක තම්බපණ්ණියෙහි සයුරු වෙරළත ඔවුහු එකිනෙකා දෙස බලාගත්වනම කල්ප කාලාන්තරයක් සේ දැනුනු එක් මොහොතක් ගත කළෝය!!! 


මතු සම්බන්ධයි...... 

Wednesday, May 22, 2013

188. කිරුළ සහ සෙනෙහස ……3




තම්බපණ්ණිය පිහිටියේ වයඹ සමුද්‍ර තීරයේ බැවින් ගෝකණ්ණ වැනි ලක්දිවෙහි නැගෙනහිර සමුද්‍ර තීරයෙහි පිහිටි නගරයක වසන්නකුට නිසර්ගයෙන්ම දිනපතා අත්විඳීමට ලැබෙනා මහ සමුදුර අනන්තයේ ක්ෂිතිජයයෙහි උස් පහත් වෙමින් තරඟ නඟනා දල රල පෙල අතරින් වරෙක හිරු නැඟෙමින් වරෙක යලි රැලි අතරේ සැඟව යමින් කෙරෙන චමත්කාරජනක සූර්ය උදාව නැරඹීමෙහි භාග්‍යය කුවණ්නාවන්ට අත් නොවිණි. 

වසර සයකට පමණ එපිට, එවිට ඕ තුදුස් වියැති ළමා අවදිය සහ පෙර යොවුන් විය අතර අපැහැදිලි ඉම් පෙදෙසෙහි කල් යවන්නියක වූවාය,...ලංකාපුර රාජ්‍යයෙහි නැගෙනහිර වෙරළබඩ සේරුගංතොට දනව්වෙහි ප්‍රාදේශීය පාලකයා සහ එහි වැස්සන් අතර හටගත් අයබදු සම්බන්ධ අරගලයක් සංසිඳවනු උදෙසා එහි සංචාරය කල රාෂ්ඨ්‍ර පාලක තෙමේ ඒ චාරිකාවට වාසුගී සහ කුවණ්ණාවන්ද එක් කොට ගත්තේය. 

අයබදු පිළිබඳ පැනනැඟුනු ගැටළුව සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව දෙපාර්ශ්වයම සෑහීමට පත්වන පරිදි විසඳාලූ ඉක්බිති රාෂ්ට්‍ර පාලක ඇතුළු පිරිස ප්‍රාදේශීය පාලකයාගේ ප්‍රාසාදයෙහි ආගන්තුකයින් වශයෙන් දින කිහිපයක් නවාතැන් ගත්තෝය. 

" මලඬ...රාජ්‍ය පාලනය යනු කිසිසේත් මල් යහනාවක සැතපීමක් නොවේමය. ඒ වනාහී හිසට ඉහලින් එල්වනලද තියුණු කඩු පතක් යට සයනය කිරීමකි. තම්බපණ්ණියේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් ඔබටද ඒ පිළිබඳව පළමෝත අත්දැකිම් මොනවට ඇති බැව් මට කිසිදු සැකයක් නැත. කුවණ්ණාවන්ටද ඒ එසේම බව මම දනිමි. ඇය ඇගේ වයසට වඩා බොහෝ මුහුකුරා ගිය නැණවත් යුවතියක බව දැකීම පවා මට මහත් සතුටකි. ලංකා රාජ්‍යයෙහි අනාගතය ඇය අතෙහි රඳා පවතින දිනය තව බොහෝ දුරක නොවෙන බව මට නිතොරම හැඟී යයි. " 

රාෂ්ට්‍ර පාලක අවසන් වැකි කිහිපය පැවසූයේ කුවණ්ණා දෙස බලා මඳ සිනහවක් නඟමිනි. රාෂ්ට්‍ර පාලක එනම් කුවණ්නාවන්ගේ පියාණන්ගේ දෙටු බෑයාණන් හට දරුවෝ නොවූහ. ඔහුගේ භාර්යාව මීට වසර සොළොසකට පමණ පෙර දරුවන් නොලබාම එදවස ලංකාපුරයෙහි ජනගහනයෙන් තුනෙන් එකකට පමණ මරු කැඳවූ මාරාන්තික ජ්වර රෝගයකට ගොදුරුව මිය ගියාය.නියමිත කාලාන්තර වලින් දිවයින පුරා පැතිරයන මේ රෝගයට නියමිත නොවරදින ඔසුවක් එකල නොවූහෙයින් දස දහස් ගණනින් සාමාන්‍ය ජනයා මෙන්ම ප්‍රභූ, පාලක පැලැන්තියට අයත් වූවෝද ඊට ගොදුරුව අසරණව මිය ගියෝය. 

බිරිඳ මියගිය අනතුරුව දැඩි සොවින් පීඩිත වූ රාෂ්ට්‍ර පාලක තෙමේ තම ඇමති මඬුල්ලේ මෙන්ම පුරෝහිතයන්ගේද උපදෙස් නොතැකූයේ නැවත සරණ බන්ධනයකට ඇතුළු වීම එක හෙලාම ප්‍රතික්ෂේප කලේය. 

ඔහුගේ එකම මල් බෑයාවූ වාසුගීගේ එකම දියණිය වූ කුවණ්නාවන් සිරීසවත්ථු පුරයෙහි මීළඟ කිරුළු දැරූ රාජිනිය වන්නට බොහෝසේ ඉඩ ප්‍රස්ථාව තිබූයේ වාසුගී කිසිදු විටෙක බලය කෙරෙහි තෘෂ්ණාවක් නොදැක්වූ හෙයිනි. තම එකම සොයුරාගේ බලවත් ඉල්ලීම පිළිකෙව් කල නොහුණු නිසාම තම්බපණ්නියෙහි පාලක ධුරය භාර ගත්තද ඔහු බොහෝසේ ප්‍රියකලේ හැකි සෑමවිටකම නිසසල තුරු සෙවණක් යටටවී ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතුවල නිරත වීමටය. 

තම්බපණ්ණියෙහි පාලක තනතුර කැමැත්තෙන්ම භාරගැන්මට දෙටු බෑයාගේ ඉල්ලීම පිළිකෙව් කිරීමෙහි නොහැකියාව මෙන්ම ලක්දිව ප්‍රධාන වාණිජ නගරය සහ නැව්තොට වූ එහි එදවස ශිෂ්ඨාචාරවත් වූ සෑම දේශයකින්ම විද්වතුන් සහ ශාස්ත්‍රඥයින් එහි සැපත්වීම යන කාරණයද වාසුගීහට බොහෝසේ බලපෑවේය.ඈත පෙරදිග සීන දේශයේ සිට පැමිණි කොන්ෆියුසියස් නම්වූ ශස්ත්‍රඥයාගේ දර්ශනය උගත් සිහින් දිගැටි ඇස් වලින් යුතු කහ පැහැති පඬිවරයෝද ජම්බුද්වීපයෙහි උතුරු කෙළවරෙහි වසර මුලුල්ලේ ශ්වේත වර්ණ හිමෙන් වැසීගිය තුඟු කඳුමුදුන් වලින් යුතු හිමාලය කඳුවැටිය පෙනෙන තෙක් මානයෙහිවූ ගන්ධාර දේශයෙන් පැමිණි සිද්ධාර්ථ ගෞතම නම්වූ ශාස්තෲන් ගේ ධර්මය පරතෙරට හදාල කසාවන් වස්ත්‍රයන් හැඳී හිස මුඩුකොටගත් ශ්‍රමණයෝද හා සමඟ ප්‍රාසාදයෙහි පිටි අංගනයෙහි තල් තුරු සෙවනෙහි හිඳ ජීවිතය, මරණය ලෝකායත දහම පිළිබඳව සාකච්ඡා කිරීම සහ වාද විවාද කිරීම වාසුගීහට ඉමහත් ප්‍රීතියක් සහ ආත්ම තෘප්තියක් ගෙන දුන්නේය. 

ගෝකණ්ණ මුහුදු තීරයෙහි සය වසරකට පෙර ගතකල ඒ දින කීපය කුවණ්ණාවන්ගේ සිතෙහි ගල්තලාවෙක කෙටූ සෙල් ලිපියක් මෙන් රැඳී පැවැතීම අයට කිසිසේත්ම විශ්මයට කාරණයක් නොවීය. ඒ එපමණ ආහ්ලාදජනකවූ දින කිහිපයක්ම වීය. 

රැයපුරා පැවති මධුපානෝත්සවයෙන් ඉක්බිති රාෂ්ඨ්‍ර පාලක ඇතුළු සපිරිවර හිරු නැඟ හෝරාවක් පමණ ගතවන තෙක් සැතපෙද්දී වාසුගී සහ කුවණ්නා හිමිදිරියේම පිබිද මුව දොවා ඉක්බිති මුහුදු වෙරළ වෙත සැපත් වූවෝය. පෙරදිග අහස කෙමෙන් පැහැබර වෙමින් පැවැතියේය. වෙරළෙහි සුදු වැලිතලය මත එරමිණිය ගොතා හිඳගත් පියා සහ දියණිය දෑස නොපියා ක්ෂිතිජය දෙස බලා සිටියෝය. කෙමෙන් රළපෙළ මතුයෙන් ලාරත් පැහැහිරු මඬල උදාවිය.ලහිරු රැස් කිරණ ඔවුන්ගේ වත ආලෝක කලේ එක එල්ලේය.සෙමෙන් දෑත් එසවූ වාසුගී නැඟෙන හිරු මඬලට නමස්කාර කලේය.කුවණ්නා ද ඔහු අනුගමනය කලේ නිතැණිනි. 

ඉන්පසු සිතෙහි සියළු හැඟීම් විනිර්මුක්තකොට භාවනානුයෝගීව ඔවුහු නිල්වන් අහස යට රල බීඳෙන මුහුදු වෙරලෙහි සෙල් පිළිම යුවලක් මෙන් අඩ හෝරාවක් පමණ ගත කළෝය. ගෝකණ්න චාරිකාවෙහි මේ අසිරිමත් හෝරාව කුවණ්ණා ගේ මතකයේ තවමත් නොමැකෙන සේ රැඳී ඇත.ඉන් පසුවද එවන් අවස්ථාවක් යලි උදාකරගැන්මට ඇය කොතෙකුත් උත්සාහ කලද ඒ සාර්ථක වූයේ නොවේ. 

ගෝකණ්ණ වෙරලෙහිදී මෙන් හිරු උදාව නැරඹිය නොහැකි වුවද පියාණන් හා සමඟ හැකි සෑම විටම තම්බපණ්ණි වෙරළ තීරය වෙත හිමිදිරියේ පැමිණීම සහ එහි මඳ වේලාවක් භාවනානුයෝගීව පසුවීම ඇය සිරිතක් ලෙස පිළිපැද්දාය.මෙදින පියාණන් සිරීසවත්ථු පුරය බලා නික්ම ගොස් නමුදු සුපුරුදු ලෙස හිමිදිරියේ ඇය වෙරළෙහි පිටි අංගනය ඔබ්බෙහි පිහිටි රූස්ස තල් රුක පාමුල භාවනානුයෝගීව පසුවූවාය. 

දැහැනට සමවන් විට අවට ලොවෙන් මුළුමනින්ම වෙන්ව කිසිදු බාහිර රූපයක් හෝ ශබ්දයක් නෑසෙන, සිත විහඟ පියාපතක් මෙන් පාවයන තත්වයටකට එලඹේ.කුවේණියද එළෙසම සිතට නිදැල්ලේ සැරිසරන්නට ඉඩදී ඉක්බිති ක්‍රමයෙන් පියවි ලොව වෙත එළඹෙමින් සිටියාය. දෑස් පියන්පත් විවරකරන්නටද පළමු තමා ඉදිරියේ කිසිවකු සිටින බව දැනුනු ඇය එක්වරම දෑස් විවර නොකලා, මොහොතක් නෙතු පියාගත්වනම කල්පනාවෙහි නිමග්න වූවාය. මේ කිසිසේත්ම තමා පිළිබඳව තොරතුරු දන්නෙකු හෝ හිතවතකු විය නොහැක.තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලකයාගේ දියණිය වන කුවණ්ණාවන් උදෑසන භාවනානුයෝගීව සිටින කල කිසිවෙකුත් ඇයට බාධා කිරීමට නිර්භීත නොවෙති.එසේනම් මේ තමා කවුදැයි නාඳුනන්නකු විය යුතුය. එසේම තම හැකියාව පිළිබඳ අචල විශ්වාසයකින් යුතු වූ ඕ කිසිදු චකිතයකින් තොරව සෙමෙන් දෙනෙත් විවර කළාය. 

විවරවූ ඇගේ දෙනෙතට පළමුව දිස් වූයේ පියවර හත අටක් පමණ ඔබ්බෙන් සිට තමා දෙස නොපහන් දෑසින් බලා සිටින හැඩි දැඩි තරුණයෙකි.ඔහු මුල්වරට ඇස ගැටුණු අවස්ථාවෙහි තම සිත තුල හටගත්තේ කුමනාකාර හැඟීමක්දැයි වටහා ගැන්මට ඇය මේ ගතවූ වසර කීපය තුල බොහෝවිට උත්සාහ දැරුවාය.එහෙත් ඒ හැඟීම පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට ඇය සමත්වූයේ නොවේ.එහෙත් එදවස ඔහු දුටු වහාම ඇය සිත තුල හටගත්තේ සෙනෙහසක් කෙසේ වතුදු කිසිසේත්ම පහන් හැඟීමක් හෝ නොවන බව ඇයට සහතිකය. 

දින කිහිපයක් මුහුණ මුඩු කොට නොසිටි ඔහුගේ කොපුල් වැසීගියේ දෑඟුලක් පමණ දිගුවූ දළ රවුලිනි. ගෙල තෙක් වැඩුණු කාල වර්ණ කෙස් වැටිය අවුල් වී මුහුණෙහි අඩක් වසා ගත්තේය.පුළුල් නළල් තලය පසුකොට වැටුණු කෙස් රොද අතරින් දිසි දෑස් බොර රත් පැහැයක් ගත්තේය. 


උදෑසන ඇය ඉතා ප්‍රියකරන මේ නිසංසල මොහොත, මේ සංහිඳියාව බිඳ දැමීමට පමණ නිර්භය සහ අවිචාරශිලී වූ මේ නොදැමුණු පුරුෂයා කෙරෙහි ඇගේ සිත තුල කෙමෙන් මෝදු වන්නට වූ කෝපය මැඩපවත්වා ගැන්මට දැඩි වෙහෙසක් දරමින් ඇය එක එල්ලේ ඔහු දෙස බලා සිටියාය. 

ඇය දෙස සිය රත් දෙනෙත් බමවා බලාසිටි ඔහු පියවරක් ඉදිරියට තබා දෑත ළයමත බැඳගත්තේය. 

" තී කවුද?......" 

ඔහුගේ ස්වරයේ වූයේ අපැහැදිලි බැරෑඬි ස්වරයකි. රාත්‍රියෙහි සීමාව ඉක්මවා මධු පානය කල ඉක්බිති පසුදා උදෑසන පියාණන්ගේ ස්වරයද මිට සමාන බව එක වරම ඇගේ සිතට නැඟුනි. ඔහුගේ නොදැමුණු වදන් මෙන්ම එහි වූ ග්‍රාම්‍ය ස්වරූපයද ඈ ආයාසයෙන් මැඩපවත්වා හුන් කෝපය යලි ඈ සිතට කෙමෙන් ප්‍රවිශ්ට කරලීමට සමත් විය. එහෙත් ඈ වදනකුදු මුවින් නොබැණ නොසැලෙන බැල්මෙන් එක එල්ලේ ඔහු දෙසබලා සිටියාය. 

" වහා පවසව..කොහේද තී මගේ පිරිවර සත් සියය සැඟවූයේ?....තී මායාකාරියක්ද නැතහොත් ........" 

ඔහුට වැකිය අවසන් කරන්නට ඉඩ නොදුන් ඇය අධික කෝපය නිසා වෙව්ලන කටහඬ පාලනය කරගනිමින් කථා කලාය. 

" තොප කවුරුන්ද යනු දැන් පැහැදිලියි. ඊයේ රාත්‍රියෙහි තම්බපණ්නියෙහි බීමත්ව නොමනා ලෙස හැසිරෙමින් කලහ කිරීමට තැත්කලේ ඒ තොපගේ සහචරයින් විය යුතුයි.තොප ඔවුන්ගේ නායකයා නම් ඔවුන් පාලනය කර ගැන්ම තොපගේ වගකීමකි. තොප එය හරිහැටි ඉටු නොකරන්නේනම් ඒ කටයුත්ත ඉටු කිරීමට මම සූදානම්. මම ඔවුන් සියළු දෙන දඟ ගෙයි ලැවීමි.අද උදෑසන විනිශ්චය ශාලාවට ඔවුන් ඉදිරිපත් කොට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කොට යම් දඬුවමක් ලංකාද්වීපයෙහි බල පවත්නා නීති අනුව නියම කලයුතු නම් ඒ නියම කොට ඔවුන් නිදහස් කරන්නෙමි. එකල්හි තොපටද අධිකරණ ශාලාවට පැමිණ ඔවුන් භාරගත හැක.එහෙත් ඉන් පෙර දැළි රවුළු සහ කෙස්ස කපා පිරිසිදුව පැමිණෙන්නට වග බලා ගනුව. " 

ඇගේ සන්සුන් පිළිතුර ඔහු දෙනෙත් කෝපාග්නියෙන් රත් කරවීමට සමත්විය.එක් වරම හිණ රැඳි කොපුවෙන් කඩුව සුරතට ගත් හෙතෙම පියවර කිහිපයකින් ඇය වෙත ලඟාව ඇගේ කෙස් වැටිය වමතින් ගෙන කඩුපතෙහි තියුණු දාරය ගෙල මත තබා ගර්ජනා කලේය. 

" තී මා කවුදැයි නොදැනයි මෙසේ අවමන් බස් තෙපලන්නේ...දනුව මම…" 

" මම දනිමි තොප කවුද යන්න...තම පිරිවර සත්සියය රැයක් පුරා දඟ ගෙයි කල් යැවූබව පහන් වනතෙක් නොදන්නා නායකයෙකි තොප. එසේම නිරායුධ ස්ත්‍රියකට තම ආයුධ බලය පානා නොදැමුණු පුරුෂයෙකි තොප..එහෙත් දනුව. තොප වැන්නවුන් පාලනය කිරීමට මට ආයුධ අවශ්‍ය නොවන බව....." 

මෙසේ පවසමින් කුවණ්නා සුරතෙහි දබරැඟිල්ලෙන් ඔහුගේ කඩුව රැඳි බාහුවෙහි වැලමිට පසුපස නිලයක් ස්පර්ශ කලාය. එකෙනෙහිම බාහුව පමණක් නොව මුළු උඩුකයම ගින්නක් ඇවිලෙන්නාවූ පරිදි වේදනාවෙන් පීඩිතවූ හෙතෙම කඩුව අතහැර පසෙකට පැන වමතින් ගිනිගෙන දැවෙන්නක් බඳුවූ සුරත දැඩිව මිරිකාගත්තේ අධික වේදනාව වතෙහි පලකරවමිනි. 

ඇය සන්සුන් ලෙස නැඟී සිටියාය. 

" තොපට තොපගේ සහචරයින් දැක ගැන්මට අවශ්‍යයයි පැවසුවෙහිය. එසේය මම ඒ ඉල්ලීම ඉටු කරමි. " 

වැල්ලෙහි පතිත කඩුපත දෙස බලාගත්වනම වේදනාවෙන් මිරිකෙන ඔහුට පිටුපා ප්‍රාසාදය දෙසට නිසංසලේ ගමන් කරන අතර එදෙසට දිව එමින් හුන් ආරක්ෂක භටයින් අමතා කුවණ්ණා මෙලෙස පැවසුවාය. 

" ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගත් කළහකාරීන් සත්සියය හා සමඟ මොහුද රඳවන්න. උදෑසන අධිකරණ ශාලාවට ඔවුන් සියල්ලන්ම ඉදිරිපත් කරන්න.ඊට පෙර බන්ධනාගාර වෛද්‍යවරයා ලවා මොහුගේ අතට ප්‍රතිකාර කරවන්න. " 

" එසේය කුමරියනි,.." 

ආරක්ෂක භටයෝ හිස් නවා පිළිවදන් දුන්හ. 



මතු සම්බන්ධයි...... 

Monday, May 20, 2013

110. මළපහ කන්ද

,.,


“අයියේ මෙන්නෝ......... ඔයාගේ බොගමන් අදත් වැඩේ දීලෝ” මල්ලීගේ හඬින් මගේ අඩ නින්ද මරු විකලෙන් පලා ගියේය.
අභව්‍ය වූ වදන් වැලක් මුමුණමින් ඇ‍ඳෙන් බිමට පීනූ මම ඉස්තෝප්පුව වෙත ගියෙමි.

මල්ලී ඉනට එක් අතක් තබාගෙන එක් අතක් ගෙබිම මායිමට දික් කරගෙන ඉදිරිපෙල දත් නැති කටින් හිනාවෙමින් මා දෙස බලා සිටින අයුරු දුටු විට ඔහු කෙරෙහි මා සිතෙහි පහළ වූ කෝප මුසු හැඟීම යටපත් කර ගත නොහී,

“දුවනවා ගස් ගඳයා ගෙට......... බොටත් ඕනේ නැති මගුලක් නැහැ”යි ඔහු වෙත කඩා පැනීමි.

“අම්මේ මෙන්නෝ........... මේ අයියා ගහනෝ”යි හඬ නගමින් කුස්සිය දෙසට දිව ගිය ඔහුගේ පස්සේ පන්නාගෙන යෑමේ වුවමනාවක් මා හට නොවීය.

දින කිහිපයක සිට ඇතිව තිබෙනා කරදරයෙන් ගැලවෙන්නේ කෙලෙස දැයි නැවත නැවතත් සිතමින් පහුගිය සතියේ ම මගේ උදේ වරුව නාස්ති විය. දිනක් රෑ එළිවනතුරු අවදිව සිටිමින් මේ හොරගෙඩියා අල්ලා ගනිමියි සිතා, කොස්සත් ලඟ තබාගෙන ඉස්තෝප්පුවේ පුටුවකට වී වාඩි වී සිටියෙමි. අම්මාට කියා තේ වතුර ටිකක් සාදවාගෙන උණුවතුර බෝතලයේ ලා, එය ද ලඟ තබා ගත්තේ රෑ පානේ ඇහැරී සිටින විට තේ වතුර ටිකක් බීමෙන් නිදිමත පළවා හැරිය හැකි බැවිනි. ඇය ද රෑ 9.30 පමණ වනතුරු මා අසලින් වාඩී වී මදුරුවන් තලමින් සිට,

“ලොක්කා නිදියන්න යනකොට දොර අගුළු බලන්න” යැයි කියමින් නින්දට ගියාය.

“හරි හරි............ එව්වැයේ බලන්න දෙයක් නැහැ, මං හෙට උදේට තමයි මෙතැනින් නැගිටින්නේ”යි පැවසූ මම නැගිට ඉස්තෝප්පුව හරහා එහා මෙහා වරක් දෙවරක් සක්මන් කලෙමි.

11.00 වන විටත් කිසිම වෙනසක් සිදු වූයේ නැත. නිදිමත වැට මතින් පැන ඉස්තෝප්පුවට ගොඩවී මොහොතකින් මගේ හිසට ගොඩවන්නට යන වග හැ‍ඟෙන්නට වූ විට තේ වතුර ටිකක් කෝප්පයට දමාගෙන පුටුව මතින් හිඳ ගතිමි.

“අයියෝ........... හරි මුරකාරයා.............” මල්ලීගේ ගෝරනාඩුවෙන් උඩ විසි වී නැවතත් පුටුව මතට වැටීමි. සැනෙකින් දෙපයින් සිට ගත්තද සිදුවන්නේ කුමක්දැයි එක් වරම වටහා ගැනීමට අපහසුවිය.

“තව ටිකෙන් මෙදා බොගමන් බෙට්ට දාන්නේ තමුසෙගේ ඔක්කේ”යි කියමින් මගේ මලයා උඩ පැන පැන සිනාසෙමින් මිදුලට දිව ගියේය.

ක්ෂණයකින් සියල්ල සිහි වූයෙන් විගස පුරුදු තැනට මගෙ දෑස් දිව ගියේය. නැත. එක දශමයකුදු වෙනස් වී නැත. ඒ මළපහ කන්ද පසුගිය දින කිහිපයේ ම සේ ම සුපුරුදු තැන සුපුරුදු ආකාරයෙන් වැද හොත්තේය. යහළුවන් අතරදී වීරයෙකු සේ දුව පැන ඇවිදන මගේ ශුද්ධ සිංහල වාග් මාලාව එහි දී එළි බසිනු නොහැකිව මුව තුල පෙරළි කරන්නට විය. සියල්ලට ම වඩා, මුරකරන්නට ගොස් ඇති කරගත් අවමානය නිසාවෙන්, මෙම සිදූ විමට හේතු වූ බලු නකුටා ඒ මොහොතේ හමු වුනි නං මරාගෙන මැරෙන්නට තරම් වූ කෝපයකින් වෙව්ලා ගියෙමි. කොස්ස වේගයෙන් ඉස්තෝප්පුවේ පොළොවේ දමා ගැසූ මම කුස්සිය දෙසට ඇවිද ගියෙමි.

සැබවින් ම එය සාමාන්‍ය සුනඛයකු හෙලන ප්‍රමාණයට වඩා විශාල වූ මළපහ ප්‍රමාණයකි. ඇත්තට ම මළපහ කන්දකි. ඒ වන විට පුරා සති දෙකක් නිති පතා මා, ඒ අප්‍රසන්න වූ ද්‍රව්‍යය ඉවත් කර, එතැන බිම පස් පිඩැල්ලක් කපා වත්ත කෙළවරට ගෙන ගොස් දමා, නව පස් පිඩැල්ලක් කපාගෙන විත් එතැන පුරවා, එම කටයුත්ත කරන විට දී ඉස්තෝප්පුවේ පිය ගැට මතට විසිවන පස් අතු ගා දමා ඒ පැත්ත පලාතම සුද්ද කර තිබිණ. පෙනුමේ අප්‍රසන්න කම පමණක් වුනි නම් අහක බලාගෙන ගොස් නොදැක සිටිය හැකිය. දරා ගත නොහැකි වූයේ විහිදුනු දුර්ගන්ධයයි. වැල වරකා ගෙඩි පිටින් ගිල, හෙලන ලද මළපහ මතින් වැල වරකා එපා කරවන තීව්ර වූ දුර්ගන්ධයක් පැන නැගින. කුඩා කල ඉමහත් ලෙස කැමත්තකින් පසු වූ එම පළතුරු මට අදටත් අතටවත් ගන්නට නොහිතෙන්නේ මෙම සිදු වීමේ අතුරුපලයක් ලෙස යැයි හඟිමි.

වරක්, විකිණීම සඳහා සුනඛයින්, මාළුන්, කුරුල්ලන් ආදී වූ සුරතල් සතුන් ඇති කරන අපේ පවුලට හිතවත් කෙනෙකු පැමිණි අවස්ථාවක මළපහ කන්ද විශ්ලේෂණය කර පවසා සිටියේ, එය සාමාන්‍ය සුනඛයකුගේ වැඩක් නොවන බවය.

“ඈ පුතේ මිනිහෙක්ද එතකොට මේ වැඩේ කරන්නේ?” යි එහිදී මගේ මව අසා සිටි පැනයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ,

“නැහැ නැහැ නැන්දේ, බල්ලෙක්ම තමයි. ඒත් නිකං ගමේ ගොඩේ හැදෙන බල්ලෙක් නෙමෙයි. ඔය කොහෙන් හරි එන ලොකු වර්ගයක එකෙක්. අනිත් එක පුරුද්දක් ඇති වුනාම ඒක දිගටම කරගෙන යන එකෙක්. මං ගාවත් ඉන්නවා එහෙම බල්ලෝ. පැටිකිරිය හොඳ වෙන්න වෙන්න, උන්ගේ වැඩත් අනිත් උන්ට වඩා වෙනස් වෙනවා”

“අනේ පලයං බං යන්න. පැටිකිරිය හොඳ නිසාද මේ වැල වරකා ගෙඩි පිටින් ගිලින්නේ? අර බලපන් කොස් ඇට ම කීයක්ද?” ඔහුගේ බලු වර්ණනාව ගැන නොරිස්සීමක් ඇති වුයෙන් හරහට යමක් කීමේ අවශ්‍යතාව මා කෙරෙහි උග්‍ර ලෙස පැන නැගින.

“හරි හරි......... කොහොම හරි මූ හොඳ වර්ගයක එකෙක් වෙන්න ඕනෑ. ගෙදරකින් මග හැරිලා හරි මොකක් හරි වෙලා වෙන්න ඇති. අපරාදේ කන්න නැතුව, බාල වෙන්නත් පුළුවන්. මට වෙලාවක් නැහැ නැත්තං මං අදත් ඉඳලා මේකාව කොහොම හරි අල්ලගෙන යනවා”යි සුනඛ වසුරු විශ්ලේෂනය කර බල්ලාගේ ජාතිය නිර්ණය කල ඔහු, පසු දිනෙක පැමිණෙන බව පවසා පිටව ගියේය.

ඔහු පැවසූ දෙයද සත්‍යයක් විය හැකිව තිබූණේ, අවටින් ලද තොරතුරු වලට අනුව, අසල වූ නිවෙසක විසූ පිරිසක් හදිසි තත්ත්වයක් මත ගම හැර යෑමේදී නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයා හා පූසන් දෙතුන් දෙනෙකු ගමට දයාද කර ගොස් තිබීමය. එම සුනඛයා ඩොබර්මන් වර්ගයට අයත් ප්‍රමාණයෙන් විශාල වර්ගයේ එකකු විය. කාරණා කාරණා අනුව විත්තිකරු මොහු ම වශයෙන් අප විසින් තීරණය කරගත්තද මෙම මළපහ කන්ද මිස සුනඛයකු පිළිබඳ හෝඩුවාවක්වත් නොවීය. මගේ මලයා ඔහු හැඳින්වූ නමට හේතුව පැහැදිලි ඇතැයි සිතමි. ‘බොගමන්’

මුල් දින සුද්ද පවිත්‍ර කිරීම් කරන්නට ගොස් හත් පලේ තවරා ගන්නට මා හට සිදු විය. උදැල්ල ගෙන එක් පහරින් ගන්නට ගොස් උදැල්ල මළපහකන්ද මැදින් වැදී කොටසක් උදළු තලය මතට පැමිණුන අතර තවත් පදාසයක් උදළු තලය යට පැත්තේ තැවරී ගියේය. කාර්යය වැරදී ගිය තැන, කලබලයෙන් උදැල්ල තබා තිබූනේ ඉස්තෝප්පුවේ පිය ගැටයක් මතය. එවර තුන් වන තැන ද තැවරුණ අතර නැවතත් පැන උදැල්ල ගන්නට ගොස් සමබරතාව ගිලිහී බිම තිබූ ඉතිරිය මත දකුණු පය රඳවා ගැනීමෙන් හතරවන තැනද, උදැල්ල ගෙන මිදුල මත තබන්නට ගොස් උදැල්ල මත තිබුණු කොටස බිමට හැලී යාමෙන් පස්වන තැනද, උදැල්ල මිදුල මත තැබීමෙන් හය වන තැනද වශයෙන් තවරා ගත් මා අවසානයේ විසුරුණු මළපහ කන්ද පත්තර පිටුවක් මතට එකතු කරගත්තේ පොල් මුඩු පොල් ලෙලි ආදිය භාවිතා කරමිනි. මුළු කාර්යය පුරාවටම දරාගත නොහැකි වූ අප්‍රසන්න භාවයකින් සිටි මට ‘ඕක් ඕක්’ ආකාරයෙන් වමනේ පිටවන්නට ම ගියේය. එයද ආයාසයෙන් දරාගෙන කාර්යය කෙසේ හෝ අවසන් කර, අවසානයේ පැයක් පමණ නාන කාමරයට වී ස්නානය කලෙමි.

එදිනෙන් පසු කිසි දිනෙක නැවතත් මෙවැන්නකට මුහුණ දෙන්නට නොසිතුවද, නොසිතූ දේම සිදුවන අයුරු කියා පාමින් තවද දින හත අටක් එම කටයුත්තේ නියැලෙන්නට මා කල පාපය කුමක්දැයි දහස්වර මගෙන් ම විමසන්නට ඇත. පසු පසු ව කටයුත්තට විශේෂ ප්‍රාගූණ්‍යක් ඇති වුවද, එවැන්නට ඇති වන විශේෂ ප්‍රාගූණ්‍යයකට වඩා කුසගින්නේ මිය යෑම යෙහෙකියි මා හට සිතුනේ වරක් දෙවරක් නොවේ.

කෙසේ හෝ අවසානයේ වඩා සුදුසු ම කෙමත් රැගෙන ඉස්කෝලේ මාමා පැමිණියේය. අවිවාහකයෙකු වූ ඔහු ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන මහ ගෙදර නිවසේ තනිවම ජීවත් වූයේය. කොතරම් තනිව හිටියත් අප්‍රියෙල්, අගෝස්තු හා දෙසැම්බර් මාස වල හැර වෙනත් කිසිම මාසයකදී ඔහු ගෙදරින් පිට නොවීය. ඒ ඔහුගේ රාජකාරී ජීවිතයෙන් ඔහු ලද දායාදයයි. විශ්‍රාම ගෙන සිටියද, හිතුනු විට පෙර සේවය කල ගමේ පාසලට යන ඔහු ගුරුවරයෙකු නොමැති වූ පංතියක් වුවහොත් ඒ දරුවන් හට අකුරක් උගන්වන්නට ඉදිරිපත් වූයේ ඉමහත් කැමැත්තෙනි. ඒ කොතෙක්ද යත් ගුරුවරයෙකු නොමැති නං ළමයින්ගෙන් කෙනෙකු ගෙදරට පැමිණි ඔහු ව කැඳවාගෙන ගිය අවස්ථා ද ඇති වන්නට විය. ලෝකය පිළිබඳ විසල් දැක්මකින් පසු වූ ඔහු ඕනෑම කෙනෙකු කථා බහ කරන්නට කැමති වන අයුරේ ප්‍රියමනාප කරුණාවන්ත පුද්ගලයෙකු විය.

මා මුරකරන්නට ගොස් සවුත්තු වූ දා දහවල් ඔහු අපේ නිවසට පැමිණියේය. තාත්තා පුරුදු පරිදි නගරයට ගොස් යතුරුපැදියේ නංවාගෙන ඉස්කෝලේ මාමා කැඳවාගෙන ආවේය. මගේ අම්මාගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු හැම සිංහල අවුරුදු නිවාඩුවට ම අපගේ නිවසට පැමිණීම අනිවාර්යය විය.

“මොකද ලොක්කා නිකං හේ බාලා ගිහින් වගේ?” එදින හවස් වරුවේ ඉස්තෝප්පුවේ පඩිය මත හිඳගෙන බලු සන්නියට කල යුතු පිළියම කල්පනා කරමින් සිටි මා අභියසට පැමිණි ඉස්කෝලේ මාමා මගේ හිස අතගාමින් ඇසුවේය.

“නැහැ මාමේ මොකුත් නැහැ. මේ නිකං.... යාළුවෝ හැමෝම වගේ නිවාඩුවට එහෙ මෙහෙ ගිහින්... මං මේ කම්මැලි කමට ටිකක් හිටියා” විගස නැගී සිටි මම පවසා සිටිමී.

“ඉෂ්කෝලේ මාමා දන්නේ නැහැනේ මෙයාට වෙලා තියෙන එක... මෙයා හැමදාම උදේට බලු බෙටි පුඩිං හදනවා”යි කියමින් මගේ මලයා පැමිණ මාමාට මුවා වී මට විරිත්තන්නට විය.               

“මක් කිව්වා පොඩි එකෝ...? බලු ‍බෙටි... මක් කිව්වා?” මාමා බක බක ගා සිනා සෙමින් තාත්තාගේ හාන්සි පුටුව මත වාඩි විය.

මාමා ඉදිරියේ මල්ලීට ගහන්නට පනින්නට බැරි හෙයින් තර්ජනාත්මක බැල්මකින් ඔහුට සංග්‍රහ කොට, නැවතත් පඩිය මතට කඩා වැටුනෙමි.

“නැහැ මාමේ, මේ කොහිද යන බල්ලෙක් ඇවිත් හැමදාම උදේට මෙන්න මෙතැන ජරා කරලා යනවා. ඒක මහා විසාල ජරාවක්. මට එපා වෙලා තියෙන්නේ ඒක අරං දාලාම. මට කද්දිත් මතක් වෙනවා, කන්නත් බැහැ හරියකට” මම මාමා ඉදිරියේ සත්‍යය ම පවසා සිටියෙමි. අනතුරුව මාමා සිද්ධිය මුල පටන් ම විස්තර ඇතුව අසා ගත්තේය.

“හා හා අපි බලමු හෙට උදේටත් අපේ හාදයා වැඩේ කොරලා තියෙයිද කියලා. පුතා කලබල නැතුව ඉන්නකෝ.” අවසානයේ දී මාමා ලබා දුන් පිළිතුරින් මා හට එතරම් දැනෙන සහනයක් උදා නොවීය.

පසු දින ද සුපුරුදු අපුල දර්ශනය කිසිම වෙනසකින් තොරව දක්නට ලැබිණ. මම ඉතාමත් අසරණව මාමා දෙස බැලුවෙමි. හාන්සි පුටුවේ අසුන්ගෙන සිටි මාමා, මළපහ කන්ද දෙස බලාගෙන කල්පනාවට වැටී සිටියේය.

“දැන් මේක බලං ඉඳලා මාමාටත් කන්න එපා වෙයි. මං අරං දාලා එන්නං” බලා සිට බැරිම තැන පුරුදු කාර්යයට පිටත් වන්නට සූදානම් වීමි.

“එපා... එපා පුතා...” මාමා මා වළකාලූයේය.

“ඔහේ තියෙද්දෙන්... ආයේ බලු බෙට්ටක් ඔච්චර තදට හිතට ගන්න එපා... අලි බෙට්ටක් නෙමෙයිනේ........ ඔහේ තියෙද්දෙන්...” මාමා සිනා වෙමින් සන්සුන්ව පැවසුවේය.

“ඉයෑක්කා........... මෙච්චර ගඳක් එද්දි කොහොමද මේක තියං ඉන්නේ........ මට නං බැහැ......... මං යනවා සීයලැයේ අහ” මල්ලී, දැනට ම මිදුලට බැස අවසන්ය.

“කොල්ලෝ වුනහම ඔහොම පුළුවන්ද? බලු බෙට්ටක් නිසා ගේ දාලා යනවද? ඔහේ හිටු ගෙරි පැටියා........ මිනිස්සු වුනහම ඔයිට වඩා අපහසු දේවල් වලට මුණ දෙන්න වෙනවා... මේ ගඳ මොකද්ද? දවසක් දෙකක් ඉවසාගෙන ඉන්න එකයි තියෙන්නේ...... එතකොට ගඳ ඉබේටම නැති වෙනවා” මාමා පිය ගැට බැස ගොස් මල්ලීගේ කරින් අල්ලා ගත්තේය.

මාමාගේ කීම පරිදි එදින දවස පුරාම මළපහ කන්ද තිබූ තැනම තිබෙන්නට හරින ලදී. හෙට උදෑසන සිහි වන විට උදේ කෑම පිඟාන දෙස බලන්නටවත් මට පිරියක් ඇති නොවීය.

“අයියේ, ඔයා කන්නේ නැහැනේ........ මං මේ කිරිබත් කෑල්ලක් ගන්නද?” මල්ලීට වගේ වගක් නොවීය.

“කාපිය........... කාපිය............ මාවත් කාපිය මදි හරියට” මල්ලීගේ කනට කර පැවසූ මම කාමර වෙත ගියෙමි.

මා හැර නිවසේ සැමදෙන පුරුදු පරිදි දවසේ කටයුතු වල නියුතුවිය. වෙනසකට තිබුනේ වෙනදා මෙන් ඉස්තෝප්පුව අසල ගැවසීම් අඩු වීම පමණි.  උදේ 10 පමණ වන විට මට අධික කුසගින්නක් දැනෙන්නට වුවද, කෑමේ කිසිම පිරියක් නොවීය. තදින් ඉර පායා තිබුණු බැවින් මගට බැස කොහේවත් යන්නට කැමත්තක්ද නැති වූයෙන් කාමරයට වී සිටිනු මිස මා හට කරන්නට දෙයක් නොවීය.

දහවල් ආහාර වේලාවේදී ද කෑම පිඟාන දෙස බලමින් එහා මෙහා යනු මිස අතට ගෙන අනුභව කරන්නට කිසිසේත්ම හිත හදා ගත නොහැකි විය. උදේ වරුවේ තරම් නැතද, මළපහකන්ද මගේ සිතෙන් පහ නොවී තවදුරටත් හොල්මන් කරමින් සිටියේය. එහි දුර්ගන්ධය නහය වටා පැලක් අටවාගෙන පදිංචි වූ සේය. කෑම පිඟාන වැසූ මම ඉස්තෝප්පුව හරහා කාමරය වෙත යන ගමනේ හොරැසින් මගේ සතුරා දෙසට නෙත් හෙලීමි. වමනය යන්නට පෙර විගස කාමරයට පැනගත් මා කොට්ටය බදාගෙන නිදන්නට උත්සහ දැරීමි.

හවස 4 30ට පමණ කුසේ අපමණ වූ වේදනාවෙන් අවධි වූ මම මද වේලාවක් ඇඳ මත අසුන්ගෙන සිට විගස කුස්සිය දෙසට දිව ගියේ කිසිවක් දෙස නෙත් නොහෙලමිනි. මගේ බත් පංගුව මා එනතුරු හඬමින් බලා සිටියි. විගස එය ගෙන ගිල දැමුවෙමි.

“ආ කොල්ලාට බඩගිනි වෙලා වගෙයි...” ඉස්කෝලේ මාමා සැඳෑ නින්දෙන් අවදිව කුස්සියට දෙසට එනුයේ, මා දැක නැවතිනි. බත් කටක් වෙනුවෙන් වතුර උගුරක් පානය කල මම මාමා හා අපහසුවෙන් සිනාසුනෙමි.

“හිමින් කන්න ළමයා, හිමින් කන්න”යි මගේ පිටට තට්ටු කල මාමා කුස්සිය දෙසට ගියේය.

පසු දින උදෑසන 4ට පමණ අහම්ඹෙන් වාගේ අවදි වූ මම පුරුදු කණස්සල්ලෙන් සැලෙන්නට වීමි. නමුදු එක්වනම සිහි වූයේ වෙනදාට වඩා අද දින වෙනස් විය හැකි බවය. එවර මට කාමරය තුලට ම වී මේ විකාර බලු සන්නිය මිය යනතුරුම සිටින්නට සිතුණි. එහෙත් මාමා පැවසූ පරිදි බල්ලෙකුට යටත් ව, නැත බලු බෙට්ටකට යටත් ව සැලෙන්නට නම් මා පිරිමියෙකු ව ඉපදුනේ මන්ද? ඔවැනි බරපතල දේවල් ගැන සිතමින් සිටින විට උදෑසන 4 30ට පමණ ඉස්තෝප්පුව දෙසින් යම් ශබ්දයක් ඇසෙන්නට වූ අතර ඇ‍ඳේ ඉඳගත් මා හොඳින් සවන් දෙන්නට වූ අතර එය බලු කෙඳිරියක් බව සක් සුදක් සේ පැහැදිලිවිය. හිමින් හිමින් ගොස් හඬ නොනැගෙන සේ දොර ඇරගත් මා සිදුවන්නේ කුමක්දැයි බලා සිටියෙමි. අප සිතුවා නිවැරදිය. ඒ අප සිතූ ඩොබර්මන් නොහොත් බොගමන් මය. දොර පොල්ල අතට ගත් මා ‘අප හාදයාගේ’ ඊ ලඟ පියවර දෙස සාවදානව බලා සිටියෙමි.

බල්ලාට පුරුදු කාර්යයේ නියුතු වන්නට නොහැකිව, වටේට වටේට කැරකෙමින් සිටියේය. කෙඳිරි ගාමින් වටයක් යන ඌ නැවතී මද වේලාවක් බලා සිටියි. නැවතත් කෙඳිරි ගායි. මද දුරක් පාර දිගේ යයි. නැවතත් එයි. මළපහකන්ද ඉවකර විගස හොම්බ ඉවතට ගනියි. එහි වූයේ එක් නළු දර්ශනයකි. දොර පොල්ල නැවතත් තිබූ තැනින් තැබූ මම තවත් හොඳින් දොර ඇර මේ දර්ශනය නරඹන්නට වීමි. කොතරම් වට ගණනක් කැරකුණද අවශ්‍ය කාරණය අද දින ඉෂ්ට කරගත් නොහැකි වන බව වටහා ගත් ඌ මහා කෙඳිරියක් නගා අශ්වයෙකු මෙන් පැන පැන පාර දිගේ දිව යන්නට විය. අප වත්තෙන් ඉවත් ව මහා පාර තෙක් දිව ගියද උගේ කෙඳිරිය නොනැවති ඇසුනු අතර මට දැනුනු සතුට මෙතැකැයි අදටත් විස්තර කළ නොහැකිය.

‘මෙච්චර කල් මූට බෙට්ට දාන්න තැන හදලා දීලා තියෙන්නේ මං නේ’

“මාමේ මාමේ............ වැඩේ හරි මාමේ................” යි කෑ ගසමින් මම මාමා නිදා සිටි ඇඳ වෙත දිව ගියෙමි.

“ඇයි ඇයි මොකද වුනේ පුතේ?” කලබලයෙන් අවදි වූ මාමා විගස උපනෙත් ගෙන පැළඳගෙන අසා සිටියේය.

“අර බලු තඩියා ආවා. අද බෙටි දැම්මේ නැහැ. ඊයේ එක එතැන තිබුණු නිසා අද ඌට බෙටි දාන්න බැරුව දඟලලා දඟලලා අඬ අඬා දිව්වා. මාර වැඩක් තමයි වුනේ. මාමා හිතුවද මෙහෙම වෙයි කියලා...........?” මම සතුටින් කියාගෙන ගියෙමි.

“ඔහොමම වෙයි කියලා හිතුවා කියන්නත් බැහැ නොහිතුවා කියන්නත් බැහැ. ඒත් හැමදාම එකම දේ එකම විදිහට වෙනවා නං අපේ ක්‍රමේ වැරැද්දක් තියෙන්න ඕනෑනේ. අපේ ක්‍රමේ වෙනස් කරලා බලන්නයි මං එහෙම කරන්න කිව්වේ. හිතුවාටත් වඩා වැඩේ සාර්ථකයි නෙව. කොහොම වුනත් කොල්ලෝ බලු බෙට්ටක් කියන්නේ, කොල්ලෙකුට කෙල්ලෙක් වගේ, නොකා නොබී, ඇඹරි ඇඹරි වමනේ තද කරගෙන ඉන්න දෙයක් නං නෙමෙයි රජෝ... ඔයිට වඩා හිත ශක්තිමත් කරගන්න ඕනෑ. ඔයි බෙට්ට ඔහොම ම තියෙන්න අරින්න. තව කාරණා වැටහෙයි එතකොට”

මාමා කිව් පරිදි ම මළපහ කන්ද එලෙසම තියෙන්නට හරින ලදී. දෙවැනි දින එහි දුර්ගන්ධය අඩු වූවාද, නැතහොත් මා ප්‍රතිග්‍රාහී අනුවර්තනයකට ලක් වූවාද කියන්නට නොහැකි ලෙසින් කාරණා සිද්ධ වූයේය. තුන්වැනි දින මගේ දඩබ්බර මලයා විසින් කෝටුවකින් ඇන, පාරා තිබීම හේතුවෙන් නැවතත් අමුතු තීව්ර ගන්ධයක් නිකුත් වූවද, එය මුල් දින තරම් නොවීය. “අහක තියෙන කුණු ගොඩවල් කූරු ගාන්න යන්න එපා ළමයා, තමන්ටමයි කරදරේ”යි මාමා පැවසුවෙන් මල්ලී නිහඬ ව පසෙකට විය.

කෙමෙන් කෙමෙන් මළපහ කන්දේ උසද අඩුවන්නට විය. කුරුමිණි පැමිණ බෝල ‍සාදමින් එයින් කොටසක් ගෙනගිය අතර, වේලෙන්නට වූ මළපහකන්දේ උඩ හරිය හුලඟට පාව යන තරම් විය. පස්වන සයවන දින වන විට එයට මළපහ කන්ද කිව නොහැකි තැනට කටයුතු සැලසී තිබිණ. අඩතැනිතලාවේ මතු වූ ශේෂ කඳුසේ දිරාගිය කොස් ඇට පමණක් ඉල්පී සිටින සේ මළපහකන්ද බිමටම සමතලා වී ගියේය.

“දැන් ඔය ටික අම්මා හෙට උදේට මිදුල අතුගාද්දි ඉදලෙන් අතුගාලා දැම්මා කියලාත් වෙනසක් ‍නැහැ නේද පුතේ? කොහොමද පළවෙනි දවසේම අම්මා ඉදලෙන් අතුගෑවා නං. එහෙම නැත්තං දැන් පුතාට පුළුවන් උදැල්ලක් අරං අරංදාන්න කිසිම අමාරුවක් නැතුව. එහෙමත් නැත්තං මං වඩාම කැමතියි මෙහෙම කරන්න. උදැල්ල ගෙනැත් ඊට ටිකක් එහායින් වලක් කපලා, ඔය කුණුටික ඒ වලට ඇදලා දාලා, අර වතුසුදු ගහෙන් අත්තක් කඩන් ඇවිත් ඒ වලේ හිටවලා පස් දාලා වහලා වතුර ටිකක් දැම්මා නං. බලු බෙට්ටක් වුනත් වැල වරකානේ. ගොම වලට වඩා වැඩි වෙනසක් නැහැ............ නැහැ එක්කෝ ඕනැන්නේ නැහැ. කොහොම වෙතත් පුතා මේ වෙච්චි දේ ගැන නිස්කාංසුවේ හිතලා බලන්න. ගොඩක් කාරණා වැටහෙයි”

 
 

Saturday, May 18, 2013

109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා......

වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ)

වැරදුනා වැරදුනා..............
 
වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වෝස් ඇනදර් කොන්ට්‍රිබියුටර් ෆෝ දිස් බ්ලොග්............. කෝ බං ඒ උන්දි.............?
 
ඉන්නවා ඉන්නවා යහතින් ඉන්නවා... ඉතිං උන්දි ගියා නෙව “කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්න මල්ලියෙක්“ ගේන්න...
 
ඉතිං ඔය කාලේ උන්නේ නැහැ වගේ තමයි උන්නේ. ඇත්තට ම එහෙම උන්නා නෙමෙයි ඉන්න සිද්ධ වුනා. ඒ අහු අස්සේ මේ උන්දැ මේ ලියාගෙන ලියාගෙන යන එව්වා දැක්කහම මට (ඒ කිව්වේ මේ අතුරුදන් වෙලා වගේ හිටපු කෙනාට) ලියන්න හිටපු එව්වායි, ලියන්නේ කොහොමද කියන එකයි, ආදී වශයෙන් බ්ලොග් කලාවට අදාල සේරම දේවල් පැටලිලායි මේ ඉන්නේ.

ඉතිං නැවතත් පුරුදු පාරට එන්න හිතාගෙන ලියන්න දෙයක් හිතද්දි බොහොම දේවල් හිතුනා, ඒ සමහර එව්වා ලිව්වා. ඒත් ආරම්භයක් හැටියට පොඩි දෙයක් නමුත් වැදගත් දෙයක් සටහන් කරන්න හිතුනා.

මගේ පෙම්බර සැමියා දර කඩන්න කැලයට ගියා....... (ඔය ඔය ආයෙත් වැරදුනානේ)

ඉතිං මං මේ කියන්න ගියේ මගේ පෙම්බර සැමියා පුංචි කාලේ එයාලාගේ ගෙදර ඉස්සරහ ගෙදර ඉඳලා තියෙනවා එයාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් තවත් පුංචි ළමයි දෙන්නෙක්. (ඔව් ඔව් දැනුත් ඉන්නවා. තාමත් අවුරුදු දෙක තුනක් තමයි වැඩිමහල්, හැබැයි පුංචි ළමයි නෙමෙයි, දැන් එයාලා පුංචි ළමයින්ගේ තාත්තලා) ඉතිං මේ අයියා මලෝ තුන්දෙනා එකතු වෙලා පුංචි පුංචි නිර්මාණ කරලා තියෙනවා. පහු පහු වෙනකොට ඒ නිර්මාණ වැඩි දියුණු වෙලා වඩාත් නිර්මාණාත්මක නිර්මාණ බිහිවෙලා තියෙනවා. වෙසක් මහේ තොරණ හැදිල්ලත් ඒ වගේ එයාලා කරපු දෙයක්.

ඉතිං මගේ පෙම්බර සැමියා හැමදාමත් නත්තලට නත්තල් ගහක් සරසනවා වගේ ම මෙච්චර කල් හැම වෙසක් කාලෙටම වෙසක් කූඩු හැදුවා. මේ පාර එයාට හිතුනා දුවත් දැන් ටිකක් තේරෙන වයසේ නිසා දුවට තොරණක් හදලා දෙන්න. මුලින් හිතුවේ චිත්‍ර ඇඳලා හැකි අයුරින් කරන්නලු. වෙලාවට දුවට පත්තරයක් ගන්න ගියහම රෙඩි මේඩ් තොරණ කොලයක් ම දීලා. ඉතිං එයා ඒක අරං ඇවිත් කාඩ් බෝඩ් එකක එලවලා, අනවශ්‍ය කොටස් කපලා, නත්තල් ගහ සරසන්න ගෙනාපු සීරියල් බල්බ් වැලයි, තව අලුතින් සීරියල් බල්බ් වැලකුයි ගෙනැල්ලා අගේ ඇති තොරණක් හැදුවා. දුවට බොහොම සතුටුයි. මටත් සතුටුයි.
 
,.,

 
,.,

 
,.,

 
,.,

 
,.,

 
ඉතිං මට කියන්න තියෙන්නේ මේ ලිපිය කියවන අපේ හිතවත් තාත්තලාට පුළුවන් නම් ඔයාලාගේ බබාලාටත් මේ වගේ දෙයක් කරලා දෙන්න, එයාලා ඒකෙන් ලබන සතුට බලන්න පුළුවන් වෙයි.
ගොඩක් අය මේ වගේ දේවල් කරනවා ඇති, ඉතිං දන්නවා නේද බබාලාගේ මූණු වල ඇඳෙන සතුටු හිනාවේ තරම................



ප ලි:

කාලය ප්‍රශ්නයක් නම් අපට කියන්න තියෙන්නේ, මේ වැඩේ කරන්න මිනිස් පැය 10ක් වත් වැය වුනේ නැහැ, කොටින් ම කාලයක් ගත වුනේ ම නැහැ. අයි පී ඇල් බල බලනේ කෙරුවේ............ :D


 

Friday, May 17, 2013

187. කිරුළ සහ සෙනෙහස …...2


කිරුළ සහ සෙනෙහස…..1

රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. 

වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි. 

විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය. 

නිරායුධ සටන් කලාව ඔවුන් ප්‍රගුණ කලේ ලක්දිවට පැමිණි පසුය. විජයගේ නිජබිම වූ බෙංගාලයෙහි ප්‍රචලිත නොවුනු එහි සමාරම්භකයෝ මෙන්ම හසල දැනුමැත්තෝ ද ලක්දිව යක්ඛ ගෝත්‍රිකයෝ වූහ.තම්මැන්නාපුර ප්‍රාදේශීය පාලක තනතුර හෙබවූ වාසුගී නම් යක්ඛ ගෝත්‍රික ප්‍රභූවරයාගේ එකම දියණිය වූ කුවණ්ණා ද යාන්තමට බහ තෝරන වියෙහි ඇද නොවැටී පිය නඟන්නට සමත්වූ වහාම තම පියාණන් පා සෙවණෙහි ඒ ශිල්පය මනාව උගත්තී නව යොවුන් වියට එළඹෙන කල්හි එමතුදු නොව සන්නද්ධ යුද සරඹයන්හිද මනා නිපුණත්වයක් පෑවාය. 

තම්මැන්නාව යනු ලක්දිවෙහි වයඹ දිග කෙලවරෙහි ජම්බුද්වීපය හා ඉතාම ආසන්නව නොගැඹුරු එමෙන්ම වසරේ බහුතර කාලයක් නිසල මුහුදු තීරයෙහි පිහිටි එපමණ ජනාකීර්ණ නොවූ නගරයකි.උත්තර ලංකාද්වීපයෙහි මතු නොව දකුණේ ප්‍රත්‍යාන්ත ගම් නියම්ගම් වලින් පවා ශක්ති සම්පන්න ගවයින් බැඳි ගැල් සිය දහස් ගණනින් වසර පුරා තම්මැන්නාව කරා ඇදුනේ ඒ එකල ලක්දිව විදේශයන් හා සමඟ වෙළඳාම් කටයුතු සිදුකල එකම මධ්‍යස්ථානය වූ බැවිනි. 

තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලක වරයා යනු ලංකා රාජ්‍යය වෙනුවෙන් තම්මැන්නාපුර වරායෙන් අපනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ සඳහා අය විය යුතු බදු අයකරගන්නා ප්‍රධාන බලධරයා ද විය. 

එදවස ලක් රජයට ආදායම් ලැබුනු ප්‍රධාන මාර්ගය තම්මැන්නාවෙන් ලැබුනු සුංගම් වීය. අවරදිග පාරාවෝවරුන්ගේ දේශයෙහි එනම් මිසරයෙහි සිට ඈත පෙරදිග චීනය බලා ඔලීව් තෙල්, සුවඳ කපුරු, විසිතුරු කැටයම් කල අවි ආයුධ ආදිය රැගෙන යාත්‍රා කල පියවර හාරසියයකට නොඅඩු දිගකින් යුක්තවූ පැතිරුනු මහත් රුවලින් යුතු මහා නෞකාවෝ තම්බපණ්ණි වරායෙහි දින කිහිපයක් නතරව අරාබි මුහුද හරහා සතියක් පමණ කල යාත්‍රාවෙහිදී සිඳීගිය වියළි ආහාර සහ පානීය ජලය ගබඩා යලි පුරවා ගත්හ. 

එළෙසම ලක්දිව එකල ඈත පෙරදිග චීනයෙහි පටන් අවරදිග යවන දේශය දක්වා ප්‍රකට වූයේ අගනා මුතු මැණික් සහ අලි ඇතුන් උපදිනා භූමියක් විලසිනි.කාර්තේජයෙහි අසහාය පාලකයා වූ හැනිබාලුන් රෝමයට එදිරිව කල ජයග්‍රාහී සංග්‍රාම වලදී ඇල්ප්ස් කඳුවැටිය තරණය කොට රෝමානුවන් සංත්‍රාසයට පත් කිරීමට යොදාගත් යුද ඇතුන් බහුතරයක් ලක්දිව තම්බපණ්ණියෙන් අපනයනය කලෝ වූහ. 

අගනුවර සිරීසවත්ථු පුරයෙන් උපතිස්ස නුවරටද ඉක්බිති අනුරාධපුරයටද වෙනස් වූ නමුදු ශත වර්ෂ පහකට ආසන්න කාලයකට පසු මාන්තොට ලක්දිව ප්‍රධාන වරාය ලෙස පිළිගැනෙන තෙක් තම්බපණ්ණිය එකම වෙලඳ මධ්‍යස්ථානය ලෙස තම ස්ථානය රැකගත්තී අනායාසයෙනි. 

මිසරයෝද, අරාබීහුද, සිරියානුවෝද, අවකන්නුද, පර්සියානුවෝද චීන්නුද වන් එදවස සත් සමුදුර තරණය කල සියලුම ජාතීන්ට අයත් නාවිකයෝ තම වෙළඳ බඩු භාරදියයුතු නියමිත වරායන් කරා ළඟාවීමට සුදුසු වෙලඳ සුළං හමනා තෙක් තම්බපණ්ණියෙහි විවේක සුවයෙන් පසුවූවෝය. සුකර වූ සුළඟ ඇරඹුනු වහාම රුවල් නංවා යතුරනු රිසිවූ හෙයින් ඔවුහු වරායෙන් බොහෝ සේ බැහැරව යාමෙහි මැළි වූවෝය. 

මේ අතර කිසිවකුත් නොදන්නා බසක් කතාකල වස්සාන සමය ගෙවීගොස් සැඩහිරු බබලන නිල්වන් අහස්කුස වන් නිල්පැහැති දෙනයනෙන් සහ සැඳෑ කල අස්තගතවන මලහිරුගේ රත්වන් පැහැයෙන් යුතු කෙස්සෙන්ද යුත් එලෙසම පැහැපත් සමකින් යුතුවූ ආරෝහ පරිනාහ දේහයෙන් යුක්ත වූ නැවියෝද නොවූයේම නොවේ. 

නියමිත දිශාවට හමනා සුළඟ බලාපොරොත්තුවෙන් නැවියන්හට වරාය අසලම රැඳී සිරීමට බලකරනු ලැබූයෙන් ඔවුනගේ සහසක් අවශ්‍යතාවන් මෙන්ම රුචි අරුචිකම් පියැවීම් වෙනුවෙන්ම කැපවුනු වෙලඳ පුරවරයක් තම්බපණ්ණි වරාය අවට බිහිවිය.රටතුලට පියවර දෙදහසකට ආසන්න දුරක් කාවැදුනු කලපුවක් වන් ආරක්ෂිත වරායට වයඹ දෙසින් පිහිටි අර්ධ කවාකාර හිරිගල් පරයක් ස්වාභාවික දිය කඩනයක්සේ ක්‍රියාකරමින් ආරක්ෂාව සැපයීය. අව අටවක අහසේ තල් ගස් කරටි ඉහලින් පායන අඩ සඳක හැඩය ගත් තම්බපණ්ණි වරායෙහි දකුණු අන්තයෙන් ඔබ්බට සමුද්‍ර තීරය ඔස්සේ වෙළඳ නගරය පිහිටියේය. 

හුදෙක් භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ පහසුව උදෙසාම කටුක ලවණාධික මුහුදු ජලයට සෑහෙන පමණ කාලයක් ඔරොත්තු දෙන කුඹුක්, වෑවරණ, කිරිඳිය වන් වනස්පතීන්ගේ පිටපළු වලින් නිමැවුනු දොළොසක් පමණවූ තොටමුණු ( Jetty ) සහ වියළි තල් අතු සෙවිල්ලා වරිච්චි බිත්තියෙන් හාත්පස අවුරා නිමැවුනු ගුදම් සහ ගබඩාවන් වරාය ආසන්නයේම ඉඳිකොට තිබිණි. ඒ හැර නොයෙක් විසිතුරු භාණ්ඩ වෙළඳාමෙහි යෙදෙන සල්පිල්, එමෙන්ම රෙදිපිළි සහ විවිධ ආයුධ වෙළඳ සැල්, ආහාර පාන මිළඳී ගත හැකි බොජුන් හල් සහ සුරාසැල් හැරුණු විට වරාය නගරයක අත්‍යාවශ්‍ය අංගයක් වූ පුරඟනන් වෙසෙනා කුඩා කුටි රාශියකින් ද තම්බපණ්ණී වෙළඳ නගරය සමන්විත වූයේය. 

ආයාත සහ නිර්යාත කෙරෙන භාණ්ඩ පිළිබඳව සටහනක් නඩත්තු කිරීම, ඒ ඒ භාණ්ඩ වර්ගය සහ ප්‍රමාණය අනුව නියමිත බදු අය කිරීම , වෙළඳ නගරයේ සල්පිල් සහ බොජුන් හල වලින් අයවිය යුතු බිම්බදු අය කිරීම මෙන්ම වෙළෙඳුන් සහ නගර වැසියන් අතර බොහෝ විටද වෙළෙඳුන් සහ වෙළෙඳුන් අතර කලාතුරකින්ද හට ගන්නා ආරවුල් ලක්දිවෙහි සම්මත නීතිය අනුව විසඳා යුක්තිය පිරිසිඳලීම සහ නීතිය කඩකලවුන්ට නියමිත දඬුවම් පැමිණවීමද රාෂ්ට්‍ර පාලකයාගේ පූර්ණ බලැති නියෝජිත ලෙස තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලක තැනගේ වගකීම් සහ රාජකාරීන් අතර වූයේය. 

ඒ අනුව මේ භාරදූර වගකීම නිරත්තරයෙන් දරණු ලැබූයේ රාෂ්ට්‍රපාලකයාගේ ඉතාම විශ්වාසවන්තයකු විසිනි. ඒ සම්ප්‍රදාය අනුවම මෙදවස ඒ තනතුර දැරූ වාසුගී යනු ලක්දිව රාෂ්ට්‍ර පාලකයාගේ මල් බෑයාය. 

වසරකට තුන් වරක් පමණ තම්බපණ්ණියෙහි කටයුතු පිළිබඳ වාර්තා කිරීම, බදු ලේඛන සහ අයකොටගත් මුදල් සහ බදුවශයෙන් ලබාගත් භාණ්ඩ රජ භාණ්ඩාගාරයට භාරදීම උදෙසා වාසුගී ආයුධ සන්නද්ධ සේනාංකයක්ද කැටුව අගනුවරවූ සිරීසවත්ථු පුරය බලා පිටත් වන සම්ප්‍රදායක් පැවතුනි. මෙවර එම කාර්යය උදෙසා ඔහු පිටත්ව ගියේ දින තුනකට පෙර හිමිදිරියේය. මේ සම්පූර්ණ ගමනට දළ වශයෙන් දින අටළොසක් පමණ ගතවේ. ඒ කාලය තුල තම්බ පණ්ණියෙහි සියළු පාලන කටයුතු සිදු වූයේ කුවණ්ණාවන් අතිනි. 

වෙලඳ නගරයෙහි ඝෝෂාව ප්‍රාදේශීය පාලක ප්‍රාසාදයට ඇසුණේ වරින් වරය.ඉන්දීය සාගරය සිසාරා හමා එන සුළඟේ දිශාව වෙනස් වීමේ ප්‍රවනතාව අනුව වරෙක සිහින් මිමිනීමක් බවට පත්වන ඒ වරෙක ඝෝෂාවක් බවට පත්වෙයි. නගරයෙන් මඳක් දුරස්ථව ඉදිවී තිබුණු ප්‍රාසාදයෙහි පිටි අංගනයෙහි කෙටි සළුවක් ඒකාංශ කොට හැඳි කුවණ්ණාවෝ කඩු සරඹ පුහුණු වෙමින් උන්නීය. කුඩා අවධියේ සිටම සටන් කලාවන් මනාව ප්‍රගුණ කොට සිටි ඇයගේ සුනම්‍ය දේහය වරෙක දුනුදිය මුදාලූ කලෙක පරිදි එකලාව හැරෙමින් කරකැවෙමින් යලි දිග හැරෙමින් වරෙක දිළිසෙන කඩුපත හිසවටා කරකවමින් වරෙක උරහිස මතින් අර්ධ චක්‍රාකාරව විදුලියක් මෙන් ලෙල දෙවමින් සරඹ අභ්‍යාසයෙහි යෙදුනී කිසිදු වෙහෙසකින් හෝ ආයාසයකින් තොරවය. 

සමුදුර නිරතුරු නැඟෙන රැලි රත් පැහැගන්වමින් හිරු අවරදිගින් බැසයාමට ඉතා ආසන්නවූ බැවින් කුවණ්ණා සටන් අභ්‍යාස කරමින් හුන් පිටි අංගනය අඳුරේ ගිලීයන්නට ආරම්භ වෙමින් පැවතුනි. අංගනය පරිධියෙහි වූ කෙටි පවුර මත දැල්වූ විලක්කු රඳවමින් හුන් සේවිකාවක එක්වරම කාර්ය්‍ය නතරකොට කර ඔසවා බැලූයේ ප්‍රාසාදයට පිවිසෙන ප්‍රවේශ මාර්ගය දෙසින් කිසිවකු මහ හඬින් කතාකරනා ශබ්දයක් කණ වැකුනු හෙයිනි. 

කුවණ්ණාවෝද සරඹ මඳකට නතර කලේ ඒ හඬ පැමිණි දිශාව දෙසට තම අවධානය යොමු කළාය. 

" කුමරියනි..මට අවසරද?..." 

මඳ අඳුරේ මුහුණුවර හඳුනාගත නොහැකි වුවද කට හඬින් කුවණ්ණා ඔහු වහා හැඳින ගත්තීය. 

" ගුත්තික ඔබට අවසරයි..ඉදිරියට පැමිණෙනු මැන. " 

ගුත්තික යනු නගරාරක්ෂක සේනාංකයෙහි උප ප්‍රධානියාය. නගරාරක්ෂක ප්‍රධානියා වාසුගී සමඟ සිරීසවත්ථු පුරය බලා පිටත්ව ගිය බැවින් නගරාරක්ෂාවෙහි මෙන්ම සාමය රැකීමෙහිද සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ ගුත්තිකගේ කරමතය. 

" ඔව් ගුත්තික කියන්න. කිසියම් ප්‍රශ්නයක්ද?...." 

කඩුපත කොපුවේ ලා අසලවූ ආධාරකයක් මත රඳවමින් ගුත්තික ඉදිරියට ආ කුවණ්ණා මඳ සිහවක් පාමින් ඔහු දිරිමත් කළාය. 

" එසේය කුමරියනි...අද හිරු හැරී හෝරාවකින් පමණ බෙංගාලයෙන් පැමිණි නෞකාවක් වරායෙහි නැංගුරම් ලෑවා. ඉන් පැමිණි නාවිකයින් සත්සියයක පමණ පිරිසක් නගරයෙහි කලහකාරී ලෙස අනෙකුත් වෙළෙඳුන්ට සහ නගර වාසීනට මහත් හිරිහැරයක් වන පරිදි හැසිරෙනවා.ඒ බව ඔබ තුමියට දැනුම් දීමට සහ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව උපදෙස් ලබා ගැනීමටයි මා මෙහි පැමිණියේ... " 

නගරාරක්ෂක සේනාංකයෙගි පිරිස් බලය පිළිබඳව හොඳින් දැන සිටියද කුවණ්ණා යලි ගුත්තික අමතා ප්‍රශ්න කලාය. 

" ගුත්තික අපේ සේනාංකයෙහි සම්පූර්ණ භටයින් සංඛ්‍යාව කොපමණද? " 

" සක්‍රිය රාජකාරියෙහි යෙදී සිටිනුයේ සියයක් පමණි. විවේක සුවයෙන් පසුවන්නන් ද සේවයට කැඳවුවහොත් ඒත් ඒ උපරිම භටයින් දෙසිය පණහක් පමණයි කුමරියනි." 

ගුත්තික හිස පහත් කොටගත් වනම තෙපලේය. 

" මේ කළහකාරීන්...ඔවුන් බෙංගාලයෙන් පැමිණි බව ඔබ පැවසුවා..ඔවුන් වෙලඳාමට පැමිණියවුන්ද?....." 

" ඔවුන් වෙළෙඳුන් බවක් පෙනීයන්නේ නැහැ කුමරියනි. එහෙත් ඔවුන් අත බොහෝ මුදල් ගැවසෙන බව නම් මට දැනගන්නට ලැබුණා. " 

" හරි , තව එක ප්‍රශ්නයක්..ඔවුන් ආයුධ සන්නද්ධවද නගරයට පැමිණ සිටින්නේ?... 

" බහුතරයක් නිරායුධයි..එහෙත් කිහිප දෙනෙක් කඩු සහ කිරිච්චි දරාසිටින බව සැලයි.

හිස නවාගත්වනම කුවණ්ණා මඳ වේලාවක් සිතුවිල්ලෙහි නිමග්නව හුන්නාය. ඉනික්බිති හිස ඔසවා බැලූ ඕ කෙලින්ම ගුත්තිකගෙ දෑස් දෙස බලා පැහැදිලි සහ ස්ථිරසාර ස්වරයකින් කථා කලාය. 

" ගුත්තික..... අවම බලය භාවිතා කොට ඔවුන් සියළු දෙනා අත් අඩංගුවට ගෙන දඟ ගෙයි ලන්න. ඔවුන් විරුද්ධ වුවහොත් වුවහොත් සුදුසු පරිදි කටයුතු කිරීමට මම ඔබට පූර්ණ බලතල දෙමි.බලමු හෙට හිරු උදාවතෙක් දඟ ගෙයි තැපීමෙන් පසුව වත් ඔවුන්ට විදේශයකදී ආගන්තුකයින් වශයෙන් හැසිරිය යුතු විධිමත් අන්දම සිහියට ඒදෝ කියා...." 

කුවණ්නා සම දසන් දක්වා සුන්දර සිනහවක් පෑවාය. 


මතු සම්බන්ධයි...... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...