Thursday, October 17, 2013

224. කවිකාරියකගේ ප්‍රේමය…..12


Image - Flickr.com


" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 


" අයියෙ විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 

" විජිත බොන්ට පටන් ගෙන.... "

" නෑහ්හ්හ්හ්!!! ..." 


අපි දෙතුං දෙනාටම එහෙම කියවුනෙ එක පාරටම...මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි කිව්වලු… 

" මොකෝ බං ඒ හිටපු ගමම්ම? මට මේ කතාව විස්වාස කරන්ටත් තරම අමාරුයි. " 

" අර ටීචර්ගෙ වැඩේ කෙල වෙලා ගිහිල්ල... විජිත පිස්ස වගේ දැං....දවල්ටත් බොනවලු. ලොක්ක වෝනිං ලෙටර් එකකුත් ගහල " 


ඒ දවස්වල අපේ තිබ්බ චක්‍රලේඛයක්...මත්පැන් පානය කිරීමේ කාල වේලාවන් සහ ඒ නියමිත ප්‍රමිතීන් සඳහන් කරල. ඒකෙ විදිහට උදේ අටේ ඉඳල දහය වෙනකල් බොන්ට පුලුවන් Upto 6% Alcohol by volume විතරයි. ඒ කිව්වෙ ඔය ස්ටවුට් බියර් වගෙ එව්ව. දහයෙ ඉඳල දොලහ වෙනකල් Below 30% Alcohol by volume මධ්‍යාහ්න දොලහට පස්සෙ නෝ ලිමිට්...ඔය නීතිරීති කඩකෙරුවොත් කිරිමෙල් කේස් එකක් තමයි. 

අනික් කාරණේ ඔය ජීවිතේට බීල නැතුව බූට් පාරක් කාල එහෙම බොන්ට පටන් ගන්නව නේද? ආය නෑ ඉවරෙටම ඉවරයි..එල්ලම් මුඩිංජි...සුගතං මතකයි නේ?...අර බීරි පෙණහැල්ලෙ...ඒක තමයි මම ඔය නිතරම කියන්නෙ ජීවිතේ කොරන්ට තියන එව්ව ඔක්කොම නියමිත කාලෙට කෙරුවම කිසි අවුලක් නෑ. විප්‍රයෝගය විඳින එකත් එහෙමයි. ඒ පන්නරය ලැබුනට පස්සෙ ආයෙ නෝ හෙල්ලුං පොල් මැල්ලුං...හරි එව්වයිං වැඩක් නෑ..කතාවට එමු ආපහු. 

" මේ අහිංසකය නැතිවෙන්ටයි යන්නෙ.." විමලෙගෙ ඇස් දෙකේ තිබ්බෙ ලොකු දුකක්. 

" ඉතිං මොකද අර කෙල්ල මූට කණුව තියල තියෙන්නෙ? " ජයේ ඇහුව.. 

" දන්නෙ නෑ අයියෙ..ඇහුවට විජිත කියන්නෙ නැතිලු. ඔය කෙල්ල තරහ උනයි කියලත් කට්ටිය දැනගෙන තියෙන්නෙ දවසක් රෑ බිල අඬ අඬ ඔය විස්තරේ කියාපු නිසාලු. ධර්මෙ එක්ක කියල තියෙන්නෙ. " 

ධර්මෙ කියන්නෙ විජිතගෙ කුටි සගයා. 

" ම්ම්..එතකොට මොකක්ද දන්නෙ නෑ නේද හේතුව? " 

ජයේ මගෙ මූණ දිහාවෙ බැලුව..උගෙ බැල්මෙන්ම කිව්වැකි මොකක්ද හේතුව කියල ටක්කෙටම ඌ දන්නවයි කියල. ඒ එක්කම ඒ හේතුව මම දන්නවයි කියලත් ඌ දන්නව.මම උගෙ මූන දිහා ටිකක් වෙලා බලාන ඉඳල දිග හුස්මක් පාතට හෙලල අහක බලා ගත්ත. 

අපේ පාඨමාලාව මාස තුනක්...කොහොමින් කොහොමින් හරි ඔන්න මාස තුනකුත් ඉවර වෙන්ට ආව.නිශාන්තිට " එහෙනං ළමයා.අපි ගිහිල්ල එන්නම් " කියල මම කිව්ව. 

ආය අවුරුද්දකිං ආපහු එන්ට ඕන මේ පාඨමාලාවෙම දෙවන පියවර නොහොත් ෆේස් ටූ කරන්ට. ඒ එනකොට ඉතිං නිශාන්ති ඉඳියිද දන්නෙත් නෑ. " මම ලියුම් එවන්නං " නිශාන්ති මට කිව. " හා...එවන්නකො " මම කිව්ව. 

ලියුම් නං ඔහෙ එකක්ද දෙකක්ද එවල තිබ්බ. මම උත්තරත් යැව්ව. ඒත් එතනිං එහාට ඒ සම්බන්ධය දියාරු වෙලා ගිහිල්ල ස්වාභාවික සහ තර්කානුකූල අවසානයකට පැමිණියා. හරි ඒ අනාගත කතා පස්සෙ කියමු. 

ඉතිං අපි ආපහු ඇවිල්ල සේවයට වාර්තා කලා. එදා හවස අපෙ අනික් එවුං සංවිදානය කලා අපට පිළිගැනීමේ සාදයක්. කෝස් එකේ විස්තර කියල ඉවරයක් නෑ උංට.කොහොමිං කොහොමිං හරි විජිතය නෑ හිටියෙ පේන්ට. මම හිතුවෙ අපි ආවය කිව්වම මනුස්සය දුවගෙන ඒවිය කියල සුජා එක්ක සම්බන්දෙට උනේ මොකක්ද කියල මා එක්කලා කියන්ට. 

ධර්මසේන මතකද? විජිතගෙ රූම් මේට්...මිනිහ බොන්නෙ නෑ. ඒත් අපි අපහු ආපු ආරංචියට හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට මිනිහ පාටියට ඇවිල්ල හිටිය. අන්තිමට ඔන්න කොහොම හරි මම ධර්මය ගාවට කිට්ටු උනා. 

" ධර්මෙ…" 

" ආ ..වීරෙ ඉතිං ?.." 

" කෝ බං විජිතය?..." 


" ඒකනෙ මචං බලාපංකො මේ මනුස්සය කෙලින පිස්සු....දැං සති දෙකක් විතර ඌ ආගිය අතක් නෑ.." 

" මොකක්? ආගිය අතක් නෑ?...මේ මුංගෙ සද්දෙ අස්සෙ මෙලොව දෙයක් ඇහෙන්නෙ නෑනෙ..වරෙං ධර්මෙ අපි මගෙ කාමරේට යමු...." 


වීදුරුවට තව එකක් දාගෙනම මම ධර්මය එක්ක මගෙ කාමරේට ගියා.කාමරේ දොර වහල මම ඇඳේ ඉඳගත්ත. 

" ධර්මෙ ඉඳගනිං …" 

මම මගෙ ලියන මේසෙ පුටුව පෙන්නුවා. 

" ඉතිං මට කියාපංකො විස්තරේ මුල ඉඳලම.." 

" මමත් හරියකට දන්නෙ නෑ මචං..උඹ දන්නවනෙ විජිතය එච්චරම ඕපන් පොරක් නෙවෙයිනෙ.මගෙ රූමා උනාට ඌ මටවත් හරියට විස්තරයක් කියන්නෙ නෑ. ඔය සුජාතා එක්ක සම්බන්දෙ උනත් මම දන්නෙ අනික් හැමෝම දන්න ටික තමයි. ඒත් මේ පහුගිය මාස දෙහෙක විතර ඉඳල මිනිහ හරියට වෙනස් උනා. ජීවිතේම එපා වෙලා වගෙ උන්නෙ.මම ඇහුවට කිසි දෙයක් කිව්වෙ නෑ." 

වචනයක්වත් කතා නොකර මම ධර්මයගෙ කට දිහාවෙ බලං හිටිය. 

" අන්තිමට දැං මාසයකට වගෙ උඩ ඉඳල බොන්ටත් පටං ගත්ත. කාමරේ බෝතලයක් තියාගෙන හොරාට බොනව. ඒ කරල රෑට කන්නෙත් නැතුව බුදිය ගන්නව.එහෙම කරල ටික දවසකිං දවල්ටත් බොන්ට පටන් ගත්ත. පස් සෙ දවසක් බීල ඔෆිස් එකේදි ලොක්කට අතටම අහුවෙල වෝනිං ලෙටර් එකකුත් ගැහුව...මොන? වෝනිං ලෙටර් ගැහුවට ඌට වගේ වගක් නෑ..අලකොලේට වතුර දාන්න වගෙ.....ඌ දිගටම බිව්ව. " 

හප්පච්චියේ...මේසෙ උඩ තිබ්බ අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවල තිබ්බ ෂොට් එක මම එක උගුරට ගසල ඇරිය. ඇයි දෙයියෝ සාක්කි..මෙව්ව ඇහෙන කොට නොබී කොහොමද? 

විජිතය මතකනෙ ඉස්සොරෝම අර කෙල්ලට යවන්ට ඌට කවි ලියල දෙන්ටෙයි කියල හා එහෙනං බෝතලයක් අරං වරෙංය කියල අපි කිව්වම ඇඹරි ඇඹරි ඕකා කිව්ව දේ... 

" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." 

ක්ලබ් එකෙං අරක්කු ගත්තය කියල ලොක්කට ආරංචි වෙනවට බයේ එහෙ මෙහෙ ඇඹරිච්චි එකා...බීල ඔෆිස් යන්ටත් පටං අරං...ඇඳේ එහෙමම ඉඳගෙන ඔලුවෙ අත් දෙකත් ගහගෙන මම එහෙම්මම කල්පනා කරන්ට ගත්ත. 

යකෝ මේ අගේට හිටිය කොලුවට මෙහෙම වෙච්චි එකට මමත් සුට්ටක් හරි වග කියන්ට ඕනද? ඒ කොහොමද? උඹ බලෙං ඌට කවි ලියල දුන්නෙ නෑනෙ. විජිතයමයි කැමැත්තෙං උඹට කියල කවි ලියව ගත්තෙ.මගෙ හිතම දෙපැත්තකට බෙදිල තර්ක කරන්ට ගත්ත. අනික උඹ කිව්වනෙ විජිතයට මේ වැඩේ හරි නැත. ඒ ගෑණු ළමයට පුළුවන් ඉක්මනින් මේ ගැන ඇත්ත කියන්ටෙයි කියල. ඌ එහෙම නොකරට උඹ මොනව කරන්ටද? 

පොඩි කාලෙ ...ඇත්තම කියනවනං පොඩි කාලෙ විතරක්ම නෙවෙයි මේ අදටත් මගෙ ප්‍රියතම චිත්‍ර කථා පොත් පෙලක් ටිං ටිං ගේ කථා. ටිං ටිං ගෙ බල්ලගෙ නම ස්නෝවි.දවසක් මට මතක විදිහට Land of Black Gold කතාවෙ වෙන්න ඕන. මොකක් හරි හදිසි පණිවිඩයක් ටිං ටිං ට අරං යද්දි ස්නෝවිට හම්බ වෙනව මස් කට්ටක්. පණිවිඩේ අරං යන එක පැත්තක දාල මස් කට්ට කනවද නැත්තං බාර වෙච්චි රාජකාරිය කරනවද කියල ස්නෝවිට හරිම දෙගිඩියාවක්. ස්නෝවිගෙ හිතේ ඉන්න යක්සයයි දේව දූතයයි දෙපැත්තට බෙදිල තර්ක කරනව. ඒත් අන්තිමට දේව දූතයගෙ බහට නැමිල ස්නෝවි මස් කට්ට පැත්තක දාල අර පණිවිඩේ අරගෙන යනව. අන්න ඒ වගෙයි මගෙ හිතත් දෙපැත්තට බෙදිල ඒ වෙලාවෙ තර්ක කලේ. 




කොහොම හරි අන්තිමට මගෙ වරදක් නෑය කියල මම හිත හදාගත්ත. 

පහුවදා ඔෆිස් එකට ගිහාම මට ලියුං දෙකක්ම තිබ්බ. ඒ වෙනකොට මට ලියුං එව්වෙ බොහෝවිට අම්ම විතරමයි. හාව හඳ දකින්න වගෙ වසන්තයගෙන් ලියුමක් තිබ්බ ඉඳහිටලා.චුට්ටිගෙ කේස් එක නිසා ( ආදර නිල් දෑසේ ......අන්න ඒ කතාව ) අපි අතර ආශ්‍රයට කිසිම බාධාවක් නොවුනට ඌ කොහොමත් කලිං ඉඳලම එහෙම තමයි.ලියුමක් ලියන්නෙ නෑ මැරූ කොට හෙහ්...හෙහ්, 

මේ ලියුං දෙකේම ඇඩ්‍රස් එක ටයිප් කරලයි තිබුණෙ.කවුද යකෝ රාජකාරි ලියුමක් ඇරුනම ඇඩ්‍රස් එක ටයිප් කරල එවන්නෙ? ඔහොම හිත හිත මම ලොක්ක හම්බවෙලා අපේ පාඨමාලාවෙ විස්තරත් එයයි එක්ක කතා කරල පැයක් හමාරක් ඔෆිස් එකේ ඔහෙ එහෙ මෙහෙ වෙවී ඉඳල දහයට වගෙ ක්වාටර්ස් එකට ආව. අනික් එවුන් ඔක්කොම වැඩට ගිහිල්ල. සැමිය ගිනි කාගෙන කුස්සියෙ උයනව. 

" මොනවද බං දවල්ට? " එහෙම අහගෙන මම කුස්සිය පැත්තෙ පස්ස දොරෙම්ම ගෙට ඇතුල් උනා. 

" අද නං මහත්තයගෙ වෙලාව. ලූලෙක් හම්බ උනා…." සැමිය දන්නව ලූලා වනාහී මගෙ ප්‍රියතම බෝජනයක් කියල.. 

ඒ අහල පහල ජලාස වලින් අල්ලන වැව් මාලු පුෂ් බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන ගම්වල මිනිස්සු අපේ කෑම්ප් එකට අරගෙන එනව. බොහෝවිට තිලාපියො.තිලාපිය බැදල ගත්තම අප්පට සිරි බත මරන්ට පුලුවනි.ඒ වගේම තමයි වැව් මාළු කරවල..අන්න කෑම. මේ චිකන්, බිකන් මොන කෙහෙල්මලක්ද? කියල හිතෙන්නෙ එව්වයෙ රහ මතක් වෙනකොට. ඒත් ඔය ඔක්කොටම හපනි ලූලා. අනික සැමී හදනව ලූලා ටිකක් විතර පහේ අත වැඩියෙං දාල හිඳෙන්ටම ඇරල යාන්තමට ඉසම තියෙනව නෑ වගෙ ගානට... අනෙ අම්මාපල්ල කියල වැඩක් නෑ කාලම බලන්ට ඕන... 

" අහ්..නියමයි අද දවල්ට එහෙනං කෑමට පෙර සුට්ටං එකක් නවාගන්ටත් ඇහැකි. ඊයෙ බඩු ඉතුරුයි මම හිතන්නෙ. අනික මට හවස වැඩකුත් නෑ.." 

මම ලිපේ ලූල් මාලුවට එබිල බැලුව.. 

" කොල්ලො හොඳ එකා වගෙ මට කහට එකක් හදාගෙන වරෙං…" 

" මහත්තෙය..උදේ මුං කිරිබත් හදාපුව ඉතුරු වෙලා තියනව..බෙදල ගේන්ටද පිඟානකට? " 

" එපා කොල්ලො..දැං ඕන නෑ..කහට එකක් හදහං ඒ ඇති." 


ඒ එක්කම ඉහළගෙදර ගොඩ උනා කුස්සියට. ඉහළගෙදර කිව්වෙ අල්ලපු චමරියෙ ගෝලය.අපේ ගෝලය ( දුහුණන් දැනුම් උදෙසා...ගෝලයා = ඉවුම් පිහුම් කටයුතුහි යෙදෙන සේවකයා, චමරිය = නිල නිවාසය ) සැමියගෙ අතීසාර මිත්තරය.

" ආ මහත්තය ඊයෙලු ආවෙ නේද? " 

" ඔව් බං පෙරෙයිදනෙ කොළඹ අර අපි ගියපු පුහුණුව ඉවර උනේ.." 


ඔය ඉහළගෙදර මයෙ ගජ යාලුව. දවසක් ඕකට මරු වැඩක් උනා මං හින්ද... ඔය අපෙ කෑම්ප් එකේ එවුං ඉන්නව නේද? කාලෙං කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ කියල අර නිහාල් නෙල්සන් කියන්නවගෙ මොනව හරි කාලෙං කාලෙට අල්ල ගන්නව. එක කාලයක් ඔන්න යෝග වියායාම ඇඟට හොඳයි කියල ඔක්කෝමල පටං ගත්ත ඒක.. 

ආය කාලයක් ඔය කොරියාවෙද කොහෙද ක්‍රමයක්ය කියල උදේම නැඟිට්ට ගමනෙ හිස්බඩට වතුර වීදුරු හයක් බොන එක හොඳාය කියල එහෙම පටං ගත්ත. බඩ පුරා වතුර බීල එවුං අර හැල ගෙම්බො වගෙ ඇස් ගෙඩි දෙකත් උඩ තියාන ඉන්න විදිහ බලල විමලෙට ජයේට මට එහෙම මැරෙන්ට හිනා!!! 

අය ඒ දවස්වල තිබ්බ දැං අර මල් පිටුව කියල එකක් සුවර්න වාහිනියෙ කොරන බන්දුල පත්ම කුමාරගෙ මල් පත්තර, කුමරි, යුවති, පතිනි, සකුණි, රැජිනි යකිනි, රාස්සි, බැරැස්සි, ඔය නොයෙක් එව්ව..අපේ කොල්ලො ඔව්ව ඔක්කොම අරං එනව ගෙදර ගිහිල්ල එනකොට..අපිත් ඉතිං කම්මැලි කමට ඔව්ව මාරු කරගෙන කියෝනව. 

ඔය පත්තරේක එක පාරක් තිබ්බ ඔන්න ඉන්දියාවෙ ඉහල වංසක්කාර කොල්ලෙක් පේම වියෝවක් හින්ද සසර කල කිරිල ලංකාවෙ ඔය කොහෙද ආරන්‍යකට එනව බාවනා කරන්ට.ඒ ආරන්‍යය කිට්ටුව තියනව වලව්වක්. ඔය වලව්වෙ පොඩි දෝණි ඇමරිකාවෙද කොහෙද ඉගෙන ගන්නෙ.නිවාඩුවකට ගෙදර ඇවිල්ල ඉන්න අතරෙ යනව අර ආරණ්‍යයට.එතනදි අර කොලුව හම්බවෙනව.. 

හරි එතනිං එහාට කතාව හිතාගත්තැකිනෙ නේද? මම කියන්ට ඕන නෑනෙ..හරි මගෙ කතාවට අදාල වෙන්නෙ මෙන්න මේ ටික..ඒ ඉන්දියානු තරුණයාගෙ හම එහෙම රංවං පාටයිලු.මනුස්සය උදේට මොකවත්ම කන්නෙ නැහැල්ලු. මිනිහගෙ ඉන්නව ආවතේව කාරයෙක් ඉන්දියාවෙම්ම ගෙනල්ල. ඒ මනුස්සය උදේම කොහොඹ කොළ කොටල ඉස්ම අරගෙන වතුර දාල මේ බ්‍රාහ්මණ වංසික තරුණයට බොන්ට දෙනව. ඒක තමයි මේ රන්වන් පාට චවි කල්යානයෙ රහස කියලයි ඒ කතාවෙ තිබ්බෙ. මාත් කියෙව්ව ඒ දවස්වල ඔය කතාව. 

ඕක මදැයි අපෙ පිස්සු හුටංලට. එවුං පටං ගත්ත ගෝලයො යවල අහල පහල ගම මුලුක්කාදියෙ තියෙන ඔක්කොම කොහොඹ ගස් හූරවන්ට. ඒ කරල පාන්දරම වංගෙඩියෙ දාල කොටවල හිස්බඩම බොන්ට පටංගත්තෙ නැතෑ. 

අපේ චමරියෙත් ඉන්නවනෙ ඔය ටිකක් එක විදිහක එවුං ..උනුත් ගෙනාව ඔය අයිඩියා එක දවසක් නිකං මේ මුට්ටිය දාල වගෙ බැලුව..විමලෙයි මමයි එක හෙලාම විරුද්ද උනා.. 

" අනේ මේ අපේ මේ හමේ තියන රංවං හරි ලා කළු හරි තද කළු හරි ඒ පාට අපිට හොඳටම ඇති. මෙහෙ ඔය උදේ පාන්දර කොහොඹ කෙටිලි හරියන්නෙ නෑ. උඹලට ඕනම නං ඔය කොටන තැනකට ගිහිල්ල බීල වරෙල්ල. " 

එතනිං අපේ චමරියෙ නං ඔය ඡවි කල්‍යාණාත්මක කොහොඹ යුෂ පිළියෙල කිරීම ඇණ හිටිය. 

එක දවසක් ඔන්න මට උදේ වරුවෙ හරි හමං වැඩක් තිබ්බෙ නෑ..අටට විතර ඇහැරල එනකොට අපෙ සැමියයි ඉහළගෙදරයයි බර කයියක් කුස්සියෙ. 

" මොකද බං උඹලගෙ මේ කයිය? " 

එහෙම අහගෙන මම දත් බුරුසුවත් අතිං අරගෙන කුස්සියට ගියා..සැමියට මාව දැක්ක ගමං හිනා.. 

" මහත්තය දන්නවද වැඩක්...දැං අපේ ඉහලෙත් උදේට මොකවත්ම කන්නෙ නැතිලු.අර කොහොඹ කොල ඉස්ම විතරලු බොන්නෙ. " 

" නෑහ්හ්???? ඇත්තද බං මේ සැමිය කියන්නෙ? " 


මම දත් බෙහෙත් ටිකක් දාගත්ත බුරුසුවට.. 

" ඔව් මහත්තය …" 

ඉහළය ඇඹරුනා එහාට මෙහාට..ඕකා හරිම ලජ්ජකාරය.වයස තිස් පහක් වගෙ උනාට ඒ වෙනකොටත් කසාදයක බැඳල කරල කාරිය එහෙම නෑ. 

" ඉතිං ඉහළෙ?..කියාපංකො බලන්ට උඹේ හම දැං පාට වැටිල එහෙම ඇවිල්ලද තියෙන්නෙ?..." 

කටේ දත් බෙහෙත් කෙළ ටික හැලෙන හින්ද කට උඩට හරෝගෙන මම ඇහුව.. 

" ඔව් මහත්තය ටිකක් පාට වැටිල වගෙ නම් තියනව තමයි." ඉහළය ආයෙම ඇඹරුන.. 

" මේ කොල්ලො..නියම විදිහට හම පාට වැටෙන්ට නම් ඔය කොහොඹ කොළ ඉසම බීල විතරක් හරියන්නෙ නෑ.." මම ආයෙම කට උඩට හරවගෙන කිව්ව.. 

" එහෙනං මහත්තය? " ඉහළෙය ඇහුව නළලත් රැළි කරගෙන.. 

" යකෝ..ඔය කොටල ඉතුරුවෙන කොහොඹ කොළ තියනව නේද?.... එව්ව ටිකත් කාහං... ආන්න එතකොටයි නියම විදිහට හම රත්තරං පාට වෙන්නෙ.." මම නැමිල කාණුවට කෙළ ගැහුව. 

පහුවදා දවල් මම කන්ට එනකොට ටිකක් පරක්කුයි. අපේ අනික් එවුං කාල එහෙම සාලෙ ඉඳගෙන කතා බහක යෙදිල උන්නෙ.. 

" හරිම මහන්සියි " මම සේට් එක ගලවන ගමං කිව්ව, 

" ආආ....අන්න මහන්සි නෙවෙයි..උඹට පොලිසි යන්ට වෙයි අර යකා මළොත් එහෙම.." 

" ඈ?? මොන යකාද? අනික යක්කු මලාට මම මොකටද පොලිසි යන්නෙ? " 


" අර ඉහළෙය ..ඌ අද උදේ කොහොඹ කොල කොටාපුව වංගෙඩියෙං බාගයක්ම කාල. බඩ දැවිල්ලයි, රිදෙන්ටයි අල්ලල අන්න එකොළහට විතර ඉස්පිරිතාලෙ එක්ක ගියා.." 

" නෑහ්???....." 


" නෑ..නෙවෙයි ඔව් ලොක්ක ඇහුවම මොකටද බං ඔය හැටි කොහොඹ කොළ කැටියක් කෑවෙ? උඹට පිස්සුද? කියල ඌ කියල වීරසිංහ මහත්තය තමයි මට කන්ට කිව්වෙ කියල. " 

රතනත්තරේ පිහිටාරස්සාවෙං ඉහළෙයට ඒ හැටි අමාරුවක් එහෙම උනේ නෑ. ඉස්පිරිතාලෙං බෙහෙත් දීල දෙක තුන වෙනකොට මිනිහ ආපහු ආව කෑම්ප් එකට.. 

" අඩේ මම උඹට වංගෙඩි බාගෙක කොහොඹ කොළ කන්ට කිව්වද? මම කිව්වෙ මේ අල්ලක් විතර කන්ටය කියලනෙ. " ඉහළෙයගෙ ලෙඩ බලන්ට ගිහිල්ල මම ඌට කිව්ව 

" ඒකනෙ මහත්තය..මටයි වැරදුනෙ.." ඉහළෙය ආයෙම ඇඹරුනා. 

ඒත් මගෙ කොහොඹ කොල ප්‍රතිකාර විධි ක්‍රමයෙන් ඌට නරකක් එහෙම උනේ නෑ. ඒ ඉස්පිරිතාලෙ වැඩ කරපු ඒ කිට්ටුව ගමක කෙල්ලෙක් මිනිහට සැට් වුනා ඒ බෙහෙත් ගන්ට ගිය ගමනෙං. පස්සෙ ඒ කෙල්ලව බැඳල මනුස්සය එහෙම බින්න බැස්ස. 

ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා... 

" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ.. 

" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ." 

සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා. 

මතු සම්බන්ධයි...... 

67 comments:

  1. කියවලා ඉවරවෙනකොට මට මත උනේ සිසිර සේනාරත්න කියන මේ සිංදුව. සුජාතා (අත්තනායක ) ඇත්තටම මේ සිංදුවේ "හ්ම්ම්ම්" කෑල්ල කියනවා...

    සුජාතා - ආදරණීය සුජාතා
    නුඹ නිදි දෙව් දුවගෙ තුරුල්ලේ
    හිඳ රසවත් සිහින බලාලා

    ReplyDelete
    Replies
    1. තිසර,

      සිසිරගෙ සින්දු ආය කියල වැඩක් නෑ බාං..අපෙ චමරියෙ මිදුලෙ තිබ්බ ජෑම් ගහ තාම තියේනං ඔන්න කියයි..ඕක යටට ඒ කාලෙ නිතර ආව සහෘදයෙක් තමයි සිසිර…

      " පිවිතුරු සිතින් එනු මැන ලඳේ." " පිදුරු සෙවිකල පැල්පතේ ඇති" " ආදරෙයි මම ආදරෙයි" " ආලෝකෙ පතුරා "

      අපි ඔන්න සිසිරගෙ හෙණ ස්ලෝ සිංදු තුන හතරක් කියනකොට විජයට තද වෙනව. ඕකට ඕන යන්තං බඩ පපුව රත් වීගෙන එනකොට උඩ පැන පැන නටන්ට..

      " යකෝ මදැයි ඔය කෙඳිරි ගෑව..කියාපල්ල ෆාස්ට් එකක්.."

      ආන්න..එතකොට …….

      නීල ජලාසේ රඟනා හංස කුමාරී..ආසාවේ සිහින මවාවී..ආසාවේ සිහින මවාවී
      මුතු බඳ සල සලා..එන මදහස හෙලා..මුතු බඳ සල සලා..එන මදහස හෙලා.
      ලලල්..ලල්ලාලා ලලා ලලා ලා...ලලල් ලල්ලාලා ලලාලලාලාලලාලා...
      ලලල්..ලල්ලාලා ලලා ලලා ලා...ලලල් ලල්ලාලා ලලාලලාලාලලාලා…


      සීගිරි ලෙනේහිදෝ..අජන්තාව් විමානෙදෝ

      ***********************************************

      ඒත් මගේ ප්‍රියතම ගීතය මොකක්ද දන්නවය?....

      ගීතා දයාබර ගීතා..
      අහසෙ තාරකා මල් පිපිලා නෑ.
      කතරෙ වාලුකා දිය රැඳුනෙ නෑ..
      අඳුරෙ ඔබේ නෙත හිමිවන්නේ නෑ,
      නමුදු ආදරේ අඩුවන්නේ නෑ..
      ගීතා දයාබර ගීතා…


      තුන හතර වදිනකොට අන්තිම හරිය කියන්නෙ මල්ලි අඬ අඬා..අඬා අඬා..ගීතිකා..මොකද ගීතා මොකද? :(

      Delete
    2. අයියෙ මෙහෙම සිංදුවක් අහලාවත් නැහැනෙ.... මියුරු ගී ලිස්ට් එකේ වත් නැහැ...

      Delete
    3. තිසර,

      සනත් නන්දසිරි ගීතය කියන්නෙ මල්ලි..පද රචනය - බුද්ධදාස ගලප්පත්ති...

      මාත් උඹ කිව්වට පස් සෙ රට හැමතැනම හොයල බැලුව. ඒත් කොහෙවත්ම තිබ්බෙ නෑ. රසඳුනේ මේ ලිපියෙ විතරයි ඒ ගැන යාන්තමට හරි තිබ්බෙ..

      ගීතා දයාබර ගීතා..
      ගීතා දයාබර ගීතා..

      අහසෙ තාරකා මල් පිපිලා නෑ.
      කතරෙ වාලුකා දිය රැඳුනෙ නෑ..
      අඳුරෙ ඔබේ නෙත හිමිවන්නේ නෑ,
      නමුදු ආදරේ අඩුවන්නේ නෑ..

      ගීතා දයාබර ගීතා…
      ගීතා දයාබර ගීතා..

      අඳුරෙ රඟහලේ අප ලංවන්නෑ
      සසරෙ ගංතෙරේ හමුවන්නේ නෑ.
      ඔබගෙ දෑත මට හිමිවන්නේ නෑ.
      නමුදු ආදරේ අඩුවන්නේ නෑ.

      ගීතා දයාබර ගීතා…
      ගීතා දයාබර ගීතා..


      පද මාලාව ඔන්න ඔහොමයි මලේ මට මතක විදිහට...:)

      Delete
    4. @තිසර,රවී,
      අන්න ඉන්ෆොලංකා මියුරු ගී එකේ තියෙනව සින්දුව.
      සනත් නන්දසිරිගේ සිංදු ලිස්ට් එකේ 80 වෙනි ගීතය,මම දැන් ඇහුවා,පද මාලාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනව.

      Delete
    5. ස්තූතියි හැලප,

      මමත් ඇහුවා ..පද මාලාව මෙහෙමයි නිවැරදිව...

      ගිතා දයාබර ගීතා
      ගිතා දයාබර ගීතා

      අහසෙ තාරුකා මල් පිපිලා නෑ
      මහද ආදරේමල් පිපිලා නෑ
      අඳුරෙ ඔබේ නෙත් හිනැහෙන්නේ නෑ
      කතරෙ වාලුකා දිය හමු වන්නේ නෑ

      ගිතා දයාබර ගීතා
      ගිතා දයාබර ගීතා

      උයනෙ ගං තෙරේ අප හමුවන්නෑ
      අඳුරෙ රඟ හලේ අප ලංවන්නේ නෑ.
      ඔබගෙ දෑත මට හිමිවන්නේ නෑ,
      නමුදු ආදරේ අඩුවන්නේ නෑ

      ගිතා දයාබර ගීතා
      ගිතා දයාබර ගීතා

      Delete
    6. මට මතකයි "ගීතා සරාගී ගීතා" වගේ පදයක් තියෙන සින්දුවක් ගැනත්.

      Delete
    7. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි. ඔහු ලියූ ‘ඔබ හා මෙමා’ (ටී.එම්.ජයරත්න) ‘සීතා සරාගී සීතා’ (මහාචාර්ය සනත් නන්දසිරි) වැනි ගීත ප්‍රචාරය වූයේ වෙනත් අයකුගේ නමිනි.
      http://www.silumina.lk/2010/08/22/_art.asp?fn=av10082211&p=1

      Delete
    8. කතන්දර,

      ඉහල කමෙන්ට් එකේ ලින්ක් එකෙන් ගිහිල්ල ඒ ගීතය අහන්න පුළුවන්....

      ඉන්ෆෝලංකා මියුරුගීත - සනත් නන්දසිරි- 245 වන ගීතය - සරාගී සීතා,

      Delete
    9. කතන්දර / රවී..
      රිජ්වේ තිලකරත්න ගුවන්විදුලියේ හිටපු කාලෙ ඔහුට කි ගිත ලිවීමේ හැකියාව තිබුණත් සදාචාරාත්මක හේතුවක් නිසා මුල්පුටුවේ ඉඳගෙන ගිත ලිව්වේ "විමලා රංජනී පීරිස්" යන නමින් එකල ඒනමින් ගීත රැසක් ලිව්වා.

      Delete
    10. බොහොම ස්තූතියි, රවී, හැලප, කකා සහ දයා.... මම ඒ ප්‍රශ්නේ අහපු එක ගැන සතුටු හිතුණා ප්‍රතිචාර දැකලා....

      සිංදු දෙකම ඇහුවා... තනුව වෙනස් වුණාට සිංදු දෙකේ පද රචනා බොහොම සමානයි. මගේ වැඩි කැමැත්ත "ගීතා" සිංදුවට. මේ සිංදු දෙකම මම කලින් අහලා තිබ්බෙ නැහැ. මේ සිංදුව අහලා අඬන එක මට හිතා ගත්තැහැකි.... අපේ මිතුරු කැල අතරත් බූට් සිංදුවක් විදිහට වැඩිම මනාපයක් තිබ්බේ ඔය සනත් නන්දසිරි උන්නැහැගෙම සිංදුවකට තමයි... "සොවින් පිරි මගේ හදවත"... මේක හරිම අසුභවාදී ආකාරයකට දේවල් දකින සිංදුවක්... බූට් කාපු මූඩ් එකත් එක්ක නියමෙටම ගැලපෙනවා...

      කකාගේ සිළුමිණෙන් උපුටා දක්වපු කොටසට පිළිතුර දයා දීලා තියනවා.. ඒවගේම කකාගේ අන්තිම පෝස්ට් එකෙන් කතා කරපු දේ සම්බන්ධයෙන් තව මානයක්... කාන්තා දෘෂ්ටි කෝණයකින් ලිවීම පමණක් නොව කාන්තා නමකින්ම ලිවීම...

      Delete
  2. හපොයි දෙයියනේ.. මේකත් හරියට අර ෆිල්ම් එකක් බලලා ඒකෙ ඉන්න නළුවට පිස්සු වැටිලා මැරෙන්න හදලා ජාතියේ මැන්ටල් කේස් එකක්නේ... ඇයි වදේ... ඔච්චර දුක් විඳල, අච්චර හැම එකාටම වැඳ වැටිලා, කෙල්ල වෙනුවෙන් කවි ලියවපු එකා ගැන වගේ වගක් නැතුව මේ කොහෙවත් ඉන්න කවිකාරයෙක්ට ලියුං ලියන්න තරංම සුජාතා පිස්සියෙක්ද.... ෂික්... වැඩක්ම නැති චරිතයක්... හි හි....

    ReplyDelete
    Replies
    1. හිරු,

      මේ උඹ එන්න එපා දන්නවද සුජාට ඒක මේක කියන්න...බොලා වගෙ නෙවෙයි ඒ ළමය ඇවිල්ල අවංක, සාධාරණ සහ ප්‍රතිපත්ති ගරුක ළමේක්, ආදරේ නෙවෙයි ජීවිතේ වෙනුවෙං වත් බොරුව, රැවටිල්ල වංජාව අල්ලන්නෙ නෑ එහෙම ඉර්ජු කස්ටියට.තේරුණාද බොට දැංවත්?

      සික් උඹ අවුරුදු විසිපහක් පරක්කුයි. නැත්තං අම්මප මම උඹව අඳුන්නල දෙනව විජිතයට...:)

      Delete
  3. විජිතයා එහෙම් පිටින්ම වැරදි ක්‍රමයක්නෙ අනුගමනය කොරල තියෙන්නෙ ඉතිං... ඔය බූට් කෑවට පස්සෙ වෙරි වෙනකං බීලා අතීතෙ මතක් කර කර හිටියට හරියනවයෑ.... බූට් කාලා බොනව නම් ඒකට තියෙනව නියමිත ක්‍රමයක්...

    වැව් කරවල, වැව් මාලු කියන්නෙ නම් ඉතිං බත් කියන එව්වා වාෂ්ප කරන්න උත්ප්‍රේරකයක් විදිහට හැදෙන කෑම... හැබැයි ඉතිං එව්වා හදන්න පුරුද්ද තියෙන මනුස්සයෙක් හදන්න ඕන නියම රහ ගන්න නම්..

    ReplyDelete
    Replies
    1. සාතන්,

      බූට් කාලා බොනව නම් ඒකට තියෙනව නියමිත ක්‍රමයක්...

      අම්මාපල්ල ඇත්ත මලේ..මේ මම ඔය ගැන කාලෙකට ඉස්සර ලිව්ව සටහනක්

      " මේ................. " මම ඇගේ සුරත අල්ලාගෙන දෙනෙතට එබුණෙමි,

      " ඇයි? "

      " ඔයාට බැරිද මා එක්ක සතියකට විතර තරහ වෙන්න?......"

      " මොකක්?............පිස්සුද ඔයාට.......... ඒ මොකටද? "

      " නෑ...මේ ගිය සතියෙ මම ගත්ත අර කේමදාසගෙ ගොලු හදවතින් තුන්වෙනි යාමයට සී.ඩී. එක, "

      " ඉතින්? "

      " ඉතින් ඒක නියම විදිහට රස විඳින්ට නම් බූට් එකක් කාපු මූඩ් එහෙක ඉන්න ඕන...................."

      " ඔයාට නම් පිස්සු ද කොහෙද............."

      ( අර්ධ සත්යයක් ඇසුරින් කල ප්රබන්ධයකි )

      *********************************************

      එතකොට පශ්චාත් විප්‍රයෝග මත්පැන් පානය වෙන්න ඕන මෙහෙමයි.

      ප්‍රේම විප්‍රයෝගයකින් ඉක්බිති ආනන්දනීය විරහ වින්දනයක් උදෙසා....

      අවශ්‍ය ආම්පන්න -

      1. විරහවෙන් පීඩිත මඳ නලට පවා සැලෙනා වෙණ තතක් මෙන් සංවේදී වූ හදක්

      2. ඈත කඳු වල්ලල පසුබිම් කොට පුරා හඳ නැඟී එනු මොනවට දර්ශනය වන සඳළු තලයක්

      3. හොඳින් පසුපසට ඇලවී පා යුවල බාපත මත තබා ගත හැකි වේවැලින් වියන ලද කළුවර දික්සඟලා හාන්සි පුටුවක්.

      4. විටින් විට පිච්ච මල් සුගන්ධයක්ද රැගෙන හමා එන සිහිල් මඳ සුළඟක්.

      5. අඩි දෙකක පමණ විෂ්කම්භයකින් යුතු වෘත්තාකාර කනප්පුවක්. පාද ත්‍රිත්වයකින් යුතු මනා කැටයමින් සමලංකෘත කළුවර දැවමුවා කනප්පුවක් වඩාත්ම උචිතය. එහෙත් ඒ කරුණු අත්‍යාවශ්‍ය නොවේ

      6. කනප්පුව මත තැබූ මත්පැන් බෝතලයක් ( විරහ වේදනාවේ තීව්‍රතාවය, තාරතාව සහ තරංග ආයාමය අනුව මත්පැන් වර්ගය වෙනස් වේ.ඒ ඒ වර්ග වල විරහවට සුදුසු පරිදි දෙවරක් පෙරුම, පරණ අරක්කු, සත්වස් පැරණි හෝ ස්වර්ණ සන්පත් විය හැක. ( Ref - විප්‍රයෝගය වර්ගීකරණය සහ ඒ හා අදාල ආසව වර්ග )

      7. අලියා සෝඩා අවශ්‍ය පමණ

      8. රන් පත දුම්වැටි පැකට්ටුවක්

      9. කට ගැසුම් උදෙසා තෙම්පරාදු කල කඩල ග්‍රෑම් 200 පමණ සහ ඔබ කැමති මස් හෝ මාළු බඳුනක්

      10. ගොළු හදවතින් තුන්වන යාමයට සංගත තැටිය සහ ස්ටීරියෝ තැටි වාදන යන්ත්‍රයක්

      වැඩේ ටිකක් සීරියස් තමයි..ආම්පන්න වැඩියි..මම පිළිගන්නව..ඒත් මල්ලි ඒ වින්දනය ඒ ආතල් එක ලබන්ට මේ විදිහට වෙන්ටම ඕන..හොඳම වැඩේ තමයි සෙනේහෙ අරබන්ටත් කලින්ම ඉඳලම මේ ආම්පන්න එකින් එක සූදානම් කරගන්න එක..මම කලේ එහෙමයි... ඔන්න උඹට කිව්වම මොකද? හෙහ්, හෙහ්,

      මේ මම කිව්වට දවසක් කරල බලපං.පෙම්වතිය හා/හෝ බිරිඳ එක්ක තරහ වෙලා හරි ඒ වින්දනය අරගෙන බලපං අපරාදෙ කියල බොට කවදාකවත් හිතෙන එකක් නෑ. අනෙ අම්මාපල්ල.

      Delete
    2. වියෝ දුකට පස්සෙ ඇතිවෙන දුක අතේ සතේ නැතිවීමේ දුකද.

      Delete
    3. හැලප,

      එහෙම වෙන්නෙ කොහොමද බොල? වියෝ දුක විඳිනවයි කියන්නෙ අතේ තියන දෙකයි පණහ ඉතිරිවෙන එකනෙ ..:)

      Delete
    4. හෙහ් හෙහ්... මම කලේ නම් ඔය විදිහට නෙමෙයි.. ඔය විදිහට කරල බලන්න ඉතිං කවුරු හරි සෙට් වෙනකං බලන් ඉන්න වෙනෝ.. හැබැයි මේ කියල තියෙන කාරණා එක්ක බලද්දි නම් සිරාවටම වැඩේ පාඩු වෙන එකක් නෑ,. :)

      Delete
  4. aneeee....dukahithunaa rathtaraneee....
    hitha ridunaa rathtaraneee....

    paw appaaa...

    ReplyDelete
  5. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ.

    ටින් ටින් සහ ඇස්ටරික්ස් මගේ ප්‍රියතම කියලා උඹ දන්නවනේ?

    ReplyDelete
    Replies
    1. Henry,

      ටිං ටිං සහ ඇස්ටරික්ස් පිස්සුව අපි යාලුවො ඔක්කොටම තිබ්බ. මට මතකයි ඒ දවස්වල තව කතාවක් තිබ්බ හරියට ප්‍රනවුන්ස් කරනව නම් ටිං ටිං නෙවෙයි ටෑං ටෑං වෙන්න ඕනෙය කියල.

      එක දවසක්, මේ ඇවිල්ල 77 මුල කාලෙ වගෙ..එතකොට බොරැල්ලෙ දාස එක තමයි සුපර් මාකට් එකක් හැටියට තිබ්බ එකම එක.ඕකෙ ඉන්නව සුරූපී ලලනාවන් මට මතක විදිහට ලයිට් බ්‍රවුන් වගෙ යුනිෆෝම් එකක් ගහල. සකරට් ඈන්ඩ් බලාවුස්...අපි ඉස්කෝලෙ ඇරිල ඔය කෙල්ලො බලන්ටම ඕකෙ වාත වෙනව සිකියුරිටි කාරයො එලෝල දානකල්. හරි ඒ කතාවට ප්‍රවේශයක් විතරයි දැනුයි කතාව.

      දාස එකට තමයි බොහෝවිට ටිං ටිං පොත් ආවෙ..ඒ ඇරුනම තිබ්බ එකම තැන නුගේගොඩ සරසවි එක. ඒ කාලෙ බොහොම පොඩි කඩයක්.

      ඉතිං දාස එකට ඔන්න අලුතෙං ටිං ටිං පොතක් එනව කියල අපි ඇඟිලි ගැන ගැන හිටියෙ. හැමදාම සල්ලිත් අරං ගිය ඉස්කොලෙට පොත ආපු ගමං ගන්ට කියල.පොතක් උනේ රුපියල් 12.00 වගෙ. ඒකාලෙ අපි හිටියෙ අනුරාධපුරේ. කොටුව අනුරාධපුර තිර්ඩ් ක්ලාස් ටිකට් එක 8.50 යි. එහෙම බලනකොට දොළහ ලොකු ගානක්.

      ඔන්න දවසක් උදේ මම වගේම ටිං ටිං ලෝලියෙක් කිව්ව ඊයෙ ඌ තාත්ත එක්ක ගිහිල්ල අළුතෙං ආපු ටිං ටිං පොත ගත්තය කියල. හැබැයි ගාන රුපියල් දෙකක්ද කොහෙද වැඩිය ඒ වගේම තව පොත් දෙකයි නැත්තං තුනයි තිබ්බෙය කියල..

      ඉතිං මොකද කොරන්නෙ?...මගේ අතේ තිබ්බ සල්ලි ගැණල බලනකොට මැනේජ් කරගන්ට පුළුවන් හැබැයි බොරැල්ලෙ ඉඳල ගෙදර යන්ට විතරයි සල්ලි තියෙන්නෙ. මම හිටියෙ නාවල. ඒ කාලෙ හිච්චි එවුන්නෙ බං ඉබ්බො ගහන්ටත් බයයි. ඒ පාර පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පයිං ඇවිල්ලයි ඒ පොත ගත්තෙ. මට තාම මතකයි නම " Crab with the golden claws " කවර් පේජ් එකේ තියෙන්නෙ ටිං ටිං ඔටුවෙක් පිට යනව, එයාගෙ අතේ තියෙන වතුර බෝතලේ වෙඩි පාරකින් කුඩු වෙනව.

      මේ ලඟදිත් මම දැක්ක අපෙ මහ ගෙදරදි නංගිගෙ පොඩි එවුං ඕක කියවනව..

      Delete
    2. ටින් ටින්ගේ උපන් ගම බෙල්ජියම,ප්‍රංශ භාෂාවේ අයි අකුර ශබ්ද වන්නේ ඇ යනුවෙන් නිසා ප්‍රංශ භාෂාවෙන් ටින් ටින්ගේ නම ටැන් ටැන් විය යුතුයි.
      බෙල්ජියම ප්‍රසිද්ධ වීමට කාරණා තුනක් ඔවුන් ගෙන දක්වනවා,ටින් ටින් බීර සහ චොකලට්.ඔබ බ්‍රසල්ස් අන්තර්ජාතික ගුවන් තොටුපොළට ඇතුල්වන විටම වීදුරු ආවරණයක් සහිත ටින් ටින් සහ ස්නොවිගේ පිළිරූ දකින්නට පුළුවනි.

      Delete
  6. ඔය ලස්සන වෙන්න මිනිස්සු ඕනම දෙයක් කරනවා වගේම බර අඩු කරගන්නත් මිනිස්සු නොකරන දෙයක් නෑ.. අපි හොස්ටල් එකේ ඉන්දැද්දි ගෑලලමයි කෑම පාලනය කරන්න ව්‍යාපෘතියක් පටන්ගත්තා. පස් හයදෙනෙක් එකතු වෙලා කෑම ප්‍රමාණය අඩු කරලා ඉන්ටනෙට් එකේ බලලා කෑම වට්ටෝරු හොයාගෙන ඒ විදිහට කඩල මුං ඇට කව්පි තේ හැඳි ගනන්වලන් තමයි කෑවේ. අපිත් ඉතින් ඔය එයාලට සහයෝගෙට කැම්පස් එකේ සමූපකාරෙට එහෙම යද්දි කඩල මුං ඇට ග්‍රෑම් සීය සීය ගෙනත් දීලා උපරිමේට වැඩ කලා..

    ඔන්න සිකුරාදා දවසක අපි නුවර KFC එක ළඟින් යද්දි අර කියපු ව්‍යාපෘතියේ නායිකාව ඉන්නවා සුපිරි බර්ගර් එකක් කාකා..
    සතියේ දවස් හයකම කඩල මුං ඇට තේ හැඳි දෙක තුනක් කාලා සිකුරාදා KFC බර්ගර්!!
    ඔය සිද්දියෙන් පස්සේ ව්‍යාපෘතියත් අතරමග නැවතුනා අපේ කතන්දර අහං ඉන්න බැරුවම..!

    ReplyDelete
    Replies
    1. රූ,

      උඹලටත් අම්මප පිස්සුනෙව..බර අඩුකොරගන්ට කියල නොකා නොබී ඉඳල අන්තිමට අර මැස්සෝ බීපු ගොයං ගස් වාගෙ වෙනව. ස්නේහය උස්සන්න වෙලා හදිස්සියෙ පේමාලිංගනයෙහි යෙදියං පතෝල මැස්සකට හේත්තු උනා වගෙ..ඇට කටු ඇනිලයි මැරිල යන්නෙ...ඇටකටු ඇනිල..ඇටකටු ඇනිල...සුප් එහෙකට මිසක් වෙන ඇති වැඩක් නෑ...

      ඔය බොලිවුඩ් නිළියොත් එහෙම නෙව..හදිස්සියකට මස් කිලෝ සීයක් හොයාගන්ට ප්‍රියංකයි, දීපිකයි කරීනයි තුන්දෙනාගෙම්ම කපාගන්ට වෙනව.. අන්න ඒකට සවුත් ඉන්ඩියන් නිළියො..ෂිහ්, දැක්කත් ඇති බඩ පිරෙනව...

      Delete
    2. කරීනලා දීපිකාලා නිළියොද බං.. අන්න ඒකට බිපාෂා.. ;)

      Delete
    3. බූරා,

      අම්මාපල්ල.... බිපාෂා..ආන්න නිළියො...

      ඔන්න අවුරුදු තුන හතරකට කලිං අපෙ අල්ලපු කාමරේ ඉන්දියානුවා වැකේෂන් ගිහිල්ල එද්දි ගෙනාව බිප්ස් ගෙ Love Yourself D.V.D එක.උගෙ තියනව 42" පත ටී.වී. එකක් එහෙම." Come. we would do some exercises " ඌ කිව්ව....

      මායි තව එකෙකුයි ගියා ට්‍රැක් කිට් එහෙම ගහගෙන..මොන සමයං ඇස්සසයිස්ද? වීඩියෝ එක දාල අපි කලේ බිම වාඩිවෙලා කටත් ඇරගෙන බිප්ස් ඇස්සසයිස් කොරන දිහා බලා ඉඳල ආපු එකයි. පහුවදත් ට්‍රැක් කිටත් ගහගෙන ගිහිල්ල ඒකම කරල ආව...

      Delete
  7. පාසල් යන කාලේ ඉදන්ම ජවුසං නැටුවෙ නැති කරුමෙ විජිතය ගෙවන හැටි කියෙව්වම දුකයි අෆ්පා....
    මට නම් වෙල් මාළු අරහං.එකට හිටපු සැට් එක පිට පළාත් වලදි රස කර කර කෑවත් මම කාලම නැහැ.
    මස් නම් ඕන මසක්.

    ReplyDelete
    Replies
    1. Kenji,

      රයිට් දැං එන්ටර් වෙමු අර හෙන්රි කිව්ව වගෙ නේරු - සරනේරු මෝඩ් එකට..

      කෙන්ජි දන්නවද ඔය ජවුසෙං නැටිල්ල කියන වචනෙ හැදුනු විදිහ? ඕක අපේ ආතල, මුත්තල හදාගෙන තියෙන්නෙ Jousting කියන ඉංගිරිසි වචනෙං. .Jousting කියන්නෙ මධ්‍යතන යුගයෙදි විශේෂයෙන්ම වංශාධිපතියො හෝ යුද සෙනෙවියන් දෙදෙනෙකු අතර අසුන් පිට නැඟී කෙරෙන ක්‍රීඩාවක්.හරියටම කිව්වොත් යුද සරඹයක් මේකෙදි කෙරෙන්නෙ තමන්ගෙ අතේ තියන හෙල්ල පාවිච්චි කරල ප්‍රතිවාදිය අසු පිටින් බිමට ඇදල දාන්ට උත්සාහ කරන එක.

      දහනම වන ශත වර්ෂෙ ලංකාවෙ ටීටර් කියල හැඳින්වුනු නාඩගම් වලදි ( ටීටර් කියන වචනෙ එන්නෙත් කියන Theatre ඉංගිරිසි වචනෙං ) මේ කියන සෙල්ලම නිරූපණය උනාය කියන්නෙ විකට ජවනිකාවක් විදිහට. අස්සයටත් නලුවෙක් ඉඳල තියෙන්නෙ. ඒ මනුස්සයගෙ පිටේ නැඟල මූණෙ සායම් තවරගෙන පාට කරපු දිග ලී ආදාරයෙන් ප්‍රතිවාදිය බිම හෙලන්ට කරපු උත්සාහයන් මිනිස්සු සැලකුවෙ විකට ජවනිකාවක් විදිහට.

      අන්න ඒකෙනුයි ජවුසෙං නැටිල්ල කියන වචනෙ ආවෙ. කිසිම චාරයක් නැතුව හිතූ මනාපෙ කරන වැඩ තමයි එහෙම හැඳින්වුනෙ.

      " හුහ්, ඒ අම්මණ්ඩි හරියන්නෙ නෑ අපෙ කොල්ලට..ඕකි හොඳට ජවුසං නටාපු එකියක්. මම දන්නෙ නැද්ද ඒ හරිය." අපෙ අත්තම්ම අනන්ත ඔහොම කියල ඇති...හෙහ්, හෙහ්

      Delete
    2. රවී....මම මේ ලඟදී දැක්කා ජහුටා කියලා නාට්‍ය ක්‍රමයක් වෙනස කියන වැඩසටහනේ. මරු වැඩක් බං ඒක. තාමත් උතුරුමැද පලාතේ තියෙනවා.

      Delete
    3. අරූ,

      මම ඔය ජහුටා ගැන කලින් කියවල තිබ්බ සිළුමිණ පුන්කලසෙ ලිපියකින්

      Delete
    4. ස්තුතියි රවී නොදන්නා දෙයක් පැහැදිලි කිරීම ගැන.

      Delete
  8. මොනව කියන්නද කියල හිතාගන්නවත් බෑ,හරිම ඉහලයි රවී.අර ප්‍රේම සම්බන්ධෙ බිඳ වැටීම ගැන නං දුක්වෙන්න එපා ඒ වැඩේ කාගත්තෙ කොල්ලමයි.ඒ වුනාට කවියට කෙල්ලගේ හිතගිය එකනේ වැඩේ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. හැලප,

      බොහොමත්ම ස්තූතියි හැලප..ඔබ වැන්නෙකුගෙන් ලැබෙන ප්‍රශංසාව ඉතා අගය කරමි.

      ඔය කොහොඹ ජූස් බොන සීන් එක සහ යෝග ව්‍යායාම ගැන තව තියනව මචං..පෝස්ට් එක දිග වැඩිවෙන නිසා ලිව්වෙ නෑ..පස්සෙ ලියන්නං වෙනම.

      යෝග වැඩේ ෆුල් සිරාවටම ගහපු එකෙක් ඒකටම කොලඹ ගිහිල්ල ගෙනාව ඉංග්‍රීසි යෝග පොතක්. ඒක ඒ කාලෙත් රුපියල් 600 උනාද කොහෙද..කොහොම හරි අපේ මාස බාගෙක පඩිය. ඕකෙ තියන එක යෝගාසනයක් කරන්ට ගිහිල්ල ඌට වෙච්චි එක කියල වැඩක් නෑ. මම ඒකට නම දැම්මෙ කරාඹනාසනය කියල. ඌට වෙච්චි එක මම හිතන්නෙ උඹට හිතාගන්ට පුළුවන් දැන්...හෙහ්, හෙහ්.

      Delete
    2. අර කරඹනාසනයෙ කතාව නං කොහොමහරි දාපං හරිද.

      Delete
    3. @හැලප කඩේ,
      221ක් වූ රවීගේ පරණ පෝස්ටු කියැවීමෙන් වැලකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ සුවසෙත පතමිනි. මෙවන් ඉල්ලීම් උතුරා දෝරේ ගලා මුහුද දක්වාම ගොස් ගංගාවක් සෑදී ඇති බැවින් මේ වෙන්ට කතා ලැයිස්තුව මේ කල්පයේදී අවසන් කල හැකි වේදැයි මා තුල ඇත්තේ බලවත් සැකයකි.!!

      @රවී,
      සොරි වෙන්ටෝනෑ..මේ කොමෙන්ටුව දැක්කාම මොකවත් නොලියා යන්ට හිත දුන්නේම නෑ නෙව!!

      Delete
    4. රූ,

      අම්මාපල්ල මේ බබලත්තු කියන්නෙ නං උබතෝකෝටිකම තමා.

      දැං මම අර කොහොඹ ජූස් කතාවයි, කරාඹනාසනේ කතාවයි වැඩි විස්තර සහිතව ලිව්වනං මෙතන උඩ පනියි ඇවිල්ල කෝ අද සුජා ගැන මොකවත්ම නෑ කියල..ඒ නිසා අර කතා දෙක ගැන යන්තං සඳහනක් විතරක් කලාම ඒකටත් මාව කන්ට හදනව...

      Delete
  9. ඔය බීරි පෙනහැල්ල සමාජ ගත කරපු මොඩ අදහස නෙ.බුට් කැවනම් බේබද්දෙක් වෙන්න ඔන.එතකොට කවද හරි කෙල්ල කකුල් දෙක ලගට ඇවිත් සමාව ගන්නව කියල.
    මටනම් වෙච්ච අවුල බුට් කන්න කලින් බේබද්දවෙල නිසා බුට් එකට බිම නැවැත්තුව සතුටසමරල ඉවරවෙලා.දවස් දෙකකට පස්සෙ අයෙත් පටන් ගත්ත

    ReplyDelete
    Replies
    1. දමිත්,

      කාලෙං කාලෙට එන එව්ව තමයි ඔය.

      අවුරුදු විස්සකට වගෙ උඩදි අපෙ හොඳම යාලුවෙක් කණ හරහා කෑව බූට් එකක්. ඒ අවුරුදු දොළහක්ද කොහෙද පෙම් කරල. එවුං දෙන්නම මගෙ යාලුවො.මම ඒ කෙල්ලට කිසිම විදිහකින් දොස් කියන්නෙ නෑ. මගෙ යාලුව එක ජාතියක නුහුගුණ කාරයෙක් (Eccentric )

      ඒ ඔය ෆෙං ෂුයි ආව අලුත. මූ රස්සාවෙන් නිවාඩු දාගෙන ඕක පස්සෙ දිව්ව.පස්සෙ අර මොනවද අද්බූත බල තියනවයි කියන ගල් වගයක් ගෙනල්ල විකාර කලා. බැරිම තැන කෙල්ල මූව අතෑරිය. ඔන්න ඒ කාලෙම ගිය හෙණ ජනප්‍රිය වෙච්ච ටෙලි ෆිල්ම් එහෙක තිබ්බ ඔහොම බූට් පාරක් කන කොල්ලෙක් මහණ වෙනව. අම්මට උඩු. කෙල්ල සුදු වතින් සැරසිලා එහෙම ඇවිල්ල බෝමලුවෙම කොල්ලගෙ ( සමාවෙන්න...කොල්ල නෙවෙයි කොල්ල හාමුදුරුවංගෙ ) දෙපාමුල වැතිර සමාව ඉල්ලා අඬාවැලපෙනව.අපේ පොරට බොක්කටම වැදුන මේ සීන් එක.

      ඊට පස්සෙ මුගෙං බේරුමක් නෑ මහණ වෙන්ට ඕනය කියල. හයියෝ... ඕකගෙ අයියගෙ වෑන් එකක් තිබ්බ. ඒ දවස්වල අපේ වැඩේ වීක් එන්ඩ් එකක් ගානෙ ඌ එක්ක පන්සල් වලට යන එක.ඒ ටිකේ බිව්ව නැතිවෙන්ට. ඉඳපං ඒ කතාව ආයෙම ලියන්නං :)

      Delete
    2. ඔන්න ඉතින් මට පෙන්ෂුයි ගැන කියන්න හිතෙනව.එක්කො ඔන නැ කොතන හරි මම කලින් කිවුව

      Delete
  10. ඇයි මේ තරම් පිරිමි අයට ඉවසා දරා ගැනීමේ ශක්තිය අඩු රවී.. ??

    ReplyDelete
    Replies
    1. නමට පිරිමි අයට එහෙම වුනාට,රියල් පිරිමි එහෙම නැහැ කියලයි මම හිතන්නෙ..

      Delete
    2. සඳා,

      / ඇයි මේ තරම් පිරිමි අයට ඉවසා දරා ගැනීමේ ශක්තිය අඩු රවී.. ?? /

      " ඇයි මේ තරම් පිරිමි අයට ඉවසා දරා ගැනීමේ ශක්තිය අඩු රවී.. ??" යනුවෙන් විමසීමෙහිදී ඔබ අදහස්කරනුයේ ඒ ජීවිතයේ වෙනත් දේ සම්බන්ධව නොව ප්‍රේම සම්බන්ධයක් කැඩී බිඳී යාමක් සම්බන්ධයෙනැයි මම සිතමි.

      රයිට්.ඔබ තුමියට පිළිතුරක් දෙන්න යන්න වෙනව වසර මිලියන 1.8ක් අතීතයට,

      ඒ මිනිසාගෙ දඩයක්කාර යුගය ඇරඹුනේ කාලය. ඒ කාලෙදි ආදි මිනිස්සු ගෙව්වෙ බොහොම දුෂ්කර ජීවිතයක්. රුදුරු වන සතුන්, ආහාර හිඟවීම්, එසේම සීමිත සම්පත් බෙදා ගැන්මේ අරගල නිසා මිනිස් ගහනය ඉතාම සුළු මට්ටමක පැවතුනේ.

      එතකොට මිනිස් වර්ගයා නොනැසී ඉදිරියට පවත්වාගෙන යාමේ එකම ක්‍රමය තමයි හැකිතරම් වර්ගයා බෝ කිරීම. ඒක කරන්න එකම මාර්ගය පිරිමින් හැකි පමණ ගැහැණුන් හා එකතුවීම. ඒ සබඳතාව බිඳ වැටුනම පිරිමියා ආ ඕන කෙහෙල් මලක් කියල විඳ දරාගෙන පැත්තකට වෙනව නම් ඒ වර්ගයාගේ ඉදිරි පැවැත්ම අනතුරේ හෙලීමක්.

      ඒ නිසා තමයි සබඳතාවයක් බිඳ වැටීම පිරිමින්ට දඩිව දැනෙන්නෙ සහ විඳ දරාගැනීම අමාරු වෙන්නෙ.ඒ දඩයම් යුගය පහු කරල ආවට සූට් බූට් ඇඳගෙන කම්පියුටරයෙ යතුරු ඔබන්නෙ තාමත් ඒ දඩයක්කාරයාම තමයි. ඒ නිසා පිරිමින්ගෙ විඳ දරාගැනීමේ නොහැකියාව වනාහී ජානවලම තියෙන දෙයක්..අපිට කරන්ට දෙයක් නෑ..නෝන මහත්තයා. බැණ අඬ ගැහුවයි කියල වැඩක් වෙන්නෙ නෑ. :)

      Delete
  11. රවී.....මටත් තේරෙන්නේ නැහැ කොතනින් පටන් ගන්නද කියලා....උඹේ ලිපිය වගේම ..කමෙන්ට්ස් වලටත් ලැබෙන උත්තර ඊට රසවත්. ඒ නිසාම මම තීරණය කරා මගේ කමෙන්ට් එක කොටස් දෙකකට වෙන් කරන්න. පලමුවෙන් ප්‍රේමයේ ආනන්දනීය විරහව .අනිත් එක ලූලා මාළුව ගැන.ඒ නිසා මම මුලින්ම සීයට 30 සාන්ද්‍රනයෙන් දෙකක් දාගත්තා.

    මගේ පළවෙනි විරහව මාත් එක්ක බෙදාගත්තේ ගොළු හදවතින් තුන්වෙනි යාමයට කැසට් පටයේ කථනය සිදුකල ඒ උතුම් මිනිසා , මගේ වැඩිහිටි මිත්‍රයා අමරබන්දු රූපසිංහ මහතායි. ගැහැණු කටහඬ සුනිලා ජයසිරි නම්වූ නිර්භීත ගැහැණිය බව මගේ මතකයයි. මාස්ටර්ට මේ කැසට් පටියේ වැඩ කටයුතු කිරීමට අමරේ අයියා අති විශාල උදව්වක් තිරය පිටිපස සිට ඉටු කරා. මම මේ දේවල් ඇස් දෙකට දැක්කා. හොඳ මණුස්සයින් ගොඩාක් වැඩ කරන්නේ තිරය පිටුපස සිටයි. නවීන් ගුනරත්නද සම්බන්ධ බව මතකයි.ඔහු ගැන මම නොලියමි.

    අරූ ලොකු ළමයෙක් වී රස්සාවක් කරපු නිසාත්, අමරේ අයියාගේ රැකියාව අහිමිවී තිබු නිසාත් , මගේ විරහව ඒ ලෙසටම අපි බෙදාගත්තා. මගේ ප්‍රථම ප්‍රේමයවූ චාරිකා, මාව ලොකු චාරිකාවක් අරන් ගියා. ඒ ගැනත්, අමරබන්දු රූපසිංහ නම් ඒ දැවැන්තයා ගැනත් මම පසුව ලියන්නම්. පස්සේ කියවපන්.

    ලූලා ගැන ලියන්නට පෙර සීයට 30 න් තව දෙකක් වැටුනානම් මරු නිසා...ආපහු වෙන කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. Aru,

      / ගැහැණු කටහඬ සුනිලා ජයසිරි නම්වූ නිර්භීත ගැහැණිය බව මගේ මතකයයි /

      ඒ කියන්නෙ එතකොට සුනිලා, ඩබ්. ජයසිරි එක්ක විවාහ වෙලා හිටපු කාලෙ වෙන්න ඕන..උඹ වාසනාවන්තයි මචං, ඒ වගෙ අනූපමේය පිරිමින් සහ ගැහැණුන් ඇසුරු කිරීමට තරම් උඹ වාසනාවන්තයි.

      චාරිකා කිව්වම මට මතක් වෙන්නෙ පුංචි බොරැල්ලෙ චාරිකා ලර්නර්ස්. යාන්තමින් අටළොස් වන විය සපිරුනා පමණි. මා මෙන්ම අසාධ්‍ය ලෙස රථගාය වැළඳී ළබැඳි මිතුරන් තිදෙනෙකුද සමඟ සුක්කානම කරකැවීම් පුහුණුවනුවස් බොහෝ දුෂ්කරලෙස ඉතිරිකොටගත් මුදලින් අත්තිකාරමක්ද ගෙවීමි.

      එහෙත් ඒ හා සමඟම අගනුවර අතැර යාමට සිදුවූ හෙයින් ඒ රථ පුහුණුවාට මෙන්ම අත්තිකාරම් මුදලටද සමුදුන්නෙමි.

      චාරිකා සහ අමරබන්දු පිළිබඳව අවුල්වන්නට පෙර හි කියවීමට උදක් අපේක්ෂාසහගතව හිඳින්නෙමි.

      Delete
    2. ඇයි මේ 30% බොන්නේ, ඇයි 40% සැර වැඩිද?

      Delete
    3. නැහැ කකා....38% ඉඳ හිට බොනවා. නැත්නම් 12% බීට් රූට් ජූස් තමයි එදිනෙදා පාවිච්චිය.

      Delete
  12. මචං....අපේ තාත්තලගේ ගමේ තිබුනා මාළුවලක්. ඒක බොහොම ප්‍රසිද්ධයි ලූලන්ට. ඉතින් නිතරම ලූලෝ කෑමට ලැබෙනවා. ඕක හැමෝම රසට උයන්න දන්නේ නැහැ. උඹ කිව්වා වගේ හොඳට තුනපහ වැටෙන්න ඕන. මම ඕමාන් රටේ ඉන්නකොට ෆ්‍රෝසන් ලූල්ලු ගන්න පුළුවන් බංගලි කඩ වලින්. මිරිදිය මාළු උන් ගෙන්නනවා.ඕකේ තියන අර වහුකූර් ගඳ යවන්න මචං මම ඕක උයන්න ඉස්සෙල්ලා ලුනු ගම්මිරිස් දෙහි දාලා ,හොඳට තලපු සුදුළූනු ටිකක් එක්ක යාන්තමට බදිනවා. ඊට පස්සේ අනිත් අඩුම කුඩුම දාලා යාන්තම් ඉස්ම හිටින්න හින්දගන්නවා. සීයට තිහේ ඒවත් එක්ක බත් බාබත් කරතහැකි.

    ReplyDelete
    Replies
    1. Aru,

      ආඳා මාළු කාල තියනවද? ටිකක් පිටි ගතිය වගෙ වැඩියි. මට එච්චරම ඇල්ලුවෙ නෑ..ආහ්, උඹ අරෙහෙ මාළිගාවත්ත ලී මෝලෙ කොන්ත්‍රාත් එක කරන කලෙ මොණර මස් එහෙම කෑවෙ නැද්ද?

      තාරා මස් කාපු සීන් එකක් මේ...:)

      Delete
    2. උඹේ තාරා කේස් එක කියෙව්වා. මස් වගේම රසයි. මට මචං හම්බන්තොට ඉන්න කාලේ ස්කන්ධ සීට් එක උයන තැනක බොන්න සෙට් උනා...හැබැයි අපේ වැඩිහිටි බුවෙක් ..මේක ස්කන්ධ අඩවිය කියලා බොන එකත් නවත්තලා හෙන ගොන් පාට් එකක් දාලා ඇදන් ගියා.

      රවී ඔය ආඳා මාළු ඉරට්ටෙන් කනවා වගේ කියලා මොකක්ද කතාවක් තියෙනවා නේද? එහෙම කියන එකේ තේරුම මොකක්ද?

      Delete
    3. අරූ,

      ස්තූතියි මචං....ආඳා මාළු මචං හරිම පිළී ගඳයි. දෙහි ඇඹුලෙ දාල පැයක් හමාරක් තිබ්බත් ඒ ගඳ යන්නෙ නෑ.ඉතිං අතේ ගෑවෙනවට ඔය කවුද නිලමෙ කෙනෙක් ඉරට්ටක අමුණලලු ආඳා මාලු කන්නෙ. ඔය ව්‍යාවහාරය යෙදෙන්නෙ යම් දෙයක් ෂේප් එකේ ඇඟට නොදැනි කරගන්නවට...

      Delete
  13. Good article :) keep writing digatama liyanna

    ReplyDelete
  14. රාජකාරි වෙලාව තුළ මත්පැන් ගන්න නියම කරල තිබුණ ක්‍රම වේදය නම් මල් හතයි. මට හිතෙනවා සමස්තයක් විදියට ඒක ක්‍රියාත්මක වුනොත් නියමයි කියලා. ඔන්න ඉරිද පත්තරේ තියෙනවා මේවසරේ මුල් මාස 10 තුළ ලංකාවෙ අිය මත්පැන් ලිටර් විසිතුන් කෝටියක් බීලලු. කොහොමද කට්ටියගේ මතට තිත.?

    අර වැව්මාලු උයපු හැටිනම් කටට කෙළත් උනන කතාවක් . බලන් ගියාම පිරිමින්ට හොඳට උයන්න පුළුවන් හැබැයි ටිකක් වියදම වැඩියි. අරපිරිමැස්ම අඩුයි. මටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. දයා,

      ඇත්තටම ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කලාම අපි බොහොම අමද්‍යප ජාතියක්.......අපි ඉන්නෙ ලෝකෙම මත්පැන් පරිභෝජනය අනුව 168 වන ස්ථානයෙ ….ඒ කියන්නෙ බොහොම හොඳ තත්වයක්...:)

      Delete
  15. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධික....:)

      Delete
  16. මෙතනට අදාල නැති කමෙන්ට් එකක්. සමාවෙන්න.

    ඔගස්ටස් විනයාගරත්නම් මයා ලියු..අමරදේව ශූරීන් ගැයු නිම් හිම් සෙව්වා මා සසරේ ගීතය සම්බන්ධවයි.....මම ලඟදී බලපු වැඩසටහනකදී ,නදීක ගුරුගේ කිව්වා මෙය "නිම් ඉම්" විය යුතු බවත් සිංහල භාශාවේ 'හිම්' කියා වචනයක් නැති බවත්....කීර්ති පැස්කුවෙල් කිව්වා...ඔවුන් මේ ගීතය ගයන්නේ 'හිම්' ලෙසින් බවත් අමරදේව ශූරීන් පවා මෙය ගයන්නේ 'හිම්' ලෙසින් කියාත්......පසුව කීර්ති විසින් අමරදේවයන්ගෙන් මේ බව විමසුවා. ඔහු පවසා ඇත්තේත් ඔහු ගයන්නේ 'හිම්' කියා බවය. ඔබලාගේ අදහස් එකතු කරන්න පුළුවන්ද?

    මා මේ පැණය රවීගේ සහ කකාගේ බ්ලොග්ස් වලට යොමු කරමි.

    ReplyDelete
    Replies
    1. නලීන් හිටියා නම් තවත් හොඳය!

      Delete
    2. අරූ,

      සමාවක්? අර මක්කටද ආය සමාවක්? :) මෙතන ඕනම දෙයක් කතා කරතෑකි.ඕනම දෙයක් කිව්වම ඕනම දෙයක්...පෝස්ට් එකේ තියන දේ ගැන ඒ හැටි වද වෙන්න එපා..ඒක ඔහෙ තිබ්බාවෙ..අපි කතාකරමු. මේ ඉරහඳ යට ඕන දෙයක් ගැන..

      රයිට් මමත් හිතන්නෙ නිම් ඉම් කිව්වොත් තමයි හරියටම ගැලපෙන්නෙ..මොකද ඔතන කියන්නෙ සසරෙ කෙලවරක් හෙව්වය කියලනෙ. එතකොට ගැලපෙනම වචනෙ තමයි නිම්..ඒ කියන්නෙ නිමාවක්, අවසානයක් .....ඒ වගේමයි ඉම් කියන වචනෙත්... ඉමක්... එතනත් තියෙන්නෙ අවසානයක් කියන තේරුම..ඒත් ඔගස්ටස් මහත්මය ලියල තියෙන්නෙ සහ අමරදේවයානන් ගයන්නෙ නිම් හිම් කියලයි.

      හිම් කිව්වම එන්නෙ වනාන්තරයක් කියන තේරුම ඇත්තටම...හිමේ ගිහින් නෙලූ ලදළු නුඹටයි මයෙ අම්මේ..කියල කියන්නෙ..

      1980 සීතා දේවි ෆිල්ම් එක ආවෙ....අරූ.... අපි කට්ටිය බැලුවෙ මානෙල්- දෙමටගොඩ..දැන්නං ඒ හෝල් එකත් නැද්ද කොහෙද?...සීතාදේවි නිෂ්පාදනය කලේ අජන්තා විජේසේන ඒ දවස්වල බී.එම්.සී. චෙයාර්මන්...අධ්‍යක්ෂණය මණික් සන්ද්‍රසාගර...සිතට හිටියෙ හින්දි නිළියක් කියල මතකයි.රාමාට හිටියෙ කවුද කියලනම් මතකම නෑ..රාවණට හිටියේ සිනමා සක්විති..ගාමිණී..ඒකෙ ගාමිණීගෙ නම රවී කියලත් මතකයි...හෙහ්, හෙහ්,

      ඔය නිම් හිම් සෙව්වා මා සසරේ ගීතය මාර විදිහට ජනප්‍රිය උනානෙ..මේ ඒ සම්බන්ද සුට්ටි කතාවක් හොඳද?...

      අපෙ හාමිනේලගෙ තියනව එයාලගෙ ඒ ලෙවල් ක්ලාස් එකේ කට්ටියගෙ පොඩි ඇසෝසියේෂන් එකක් හදල..අවුරුද්දකට සැරයක් පවුල් පිටින් කට්ටිය දවස් දෙක තුනක චාරිකාවක යනව. දැං අවුරුදු හත අටකට කලින් අපි ගියෙ පොළොන්නරුවෙ...ඉතිං රෑ පානෙ පොඩිවට එකක් දෙකක් නවාගෙන එහෙම කට්ටිය දානව පැදුරු සාජ්ජයක්..ඔන්න මට බේරෙන්ට බෑ සිංදුවක් කියන්නෙයි කියල..

      ඒ පාර ඔන්න මම කිව්ව " නිම් හිම් සෙව්වා මා සසරේ " ..කට්ටියට මොනවද හෙන ආතල්..අප්පුඩි ගැහුව මම හිතන්නෙ එක විනාඩි දහයක් විතර.

      ඒත් බලාපංකො අරූ ..... අර අපෙ අම්මණ්ඩි මාව කන්ට වගෙ රවාගෙන උන්න නෙව.. ඇස් දෙකෙං ගිනි පිටවෙනව..අනේ මන්ද මොකද කියල…. ඇහුව ඇහුව ඇයි කියල කොහෙද කිව්වෙම නෑනෙ. :(

      Delete
    3. මට හිතෙන්නේ වෙලා තියෙන්නේ නිම් ඉම් කියන එක තනි වචනයක් විදිහට භාවිතා කරනකොට, ඒක නිම්හිම් වෙන්න ඇති කියලා.

      තම අර සින්දුවක තියෙන්නේ "නොහිම් සීතලේ" කියලා. ඉමක් / සීමවක් නැති සීතල කියන එකට වෙන්ඩැ...

      මට මතක් වුණා සමහර ප්‍රදේශ වල තියන අමුතු උච්චාරණයකුත්.
      ඒයි - හේයි
      ඇහැරිලා - හෑරිලා

      Delete
    4. @ //ඒත් බලාපංකො අරූ ..... අර අපෙ අම්මණ්ඩි මාව කන්ට වගෙ රවාගෙන උන්න නෙව.. ඇස් දෙකෙං ගිනි පිටවෙනව..අනේ මන්ද මොකද කියල…. ඇහුව ඇහුව ඇයි කියල කොහෙද කිව්වෙම නෑනෙ. :(////

      රවී& තිසර.......මම බැලුවා මොකද යකෝ එච්චර ලස්සන සිංදුවකටත් ඔරවන්නේ කියලා. දැන්නේ තේරුණේ. උන් තුන්දෙනාට මම කැමතියි. මචං සීතාට හිටියේ මමතා ශංකර්. සින්දුවේ මියුසික් කලේ මැක්ස්වෙල් මෙන්ඩිස්ගේ අයියා නිමල් මෙන්ඩිස්. මේ පලාතෙද කොහෙද ඉන්නේ.

      අර වැඩසටහනේදී නදීක මතුකරා ගායකයින් කරන කොමන් වැරද්දක්.

      නෙතඟ........ඇස් අං
      නෙතග..........ඇස් අග

      Delete
    5. මෙතනදි තිසර ගෙනෙන තර්කය සාධාරණයි වගේ පේන්නෙ.. සමහර සිංහල වචන කටවහරට එද්දි පහසුව පිනිස ගාත්‍රාදේශය මගින් වෙනස්ම ආරක් ගන්න අවස්ථා තියෙනවා..

      උදා:
      පිළි + කම් = පිළියම්
      දඩ + කම් = දඩයම්
      ගිනි + කම් = ගිනියම්
      දඬු + කම් = දඬුවම්

      මේ නිසා නිම්ඉම් කියන එක කටවහරට එද්දි නිම්හිම් වෙන්ට පුළුවන්..

      Delete
    6. අරූ,

      නිමල් මෙන්ඩිස් ..ආන්න සංගීතඥයො..ගඟ අද්දර සංගීතය එයාගෙ,,

      ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
      හද සන්තක විය අනුහස් ආසිරි ගී
      ඔබ හමුවේ මා මුව ගොළු වූවා
      ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
      ඉහ ඉද්දර පිපි ප‍්‍රාර්ථනා සිහිවේ
      පිබිඳුනි ආශා ගිනිසිළු සේමා

      මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
      සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
      ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
      චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

      ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
      මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
      මා හද රහසේ බැඳුනා පහසේ
      ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
      ගඟ දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ
      ඔබ රුව ඡායා සැඟවේ පායා....

      Delete
  17. හයියියෝ...

    අනේ ඇත්තට කොච්චර සෝක බරිත කතාවක් උනත් හිනා යන විදියට ලියන හැටි අම්මපා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...