Google images |
එක දවසක් ඔන්න රෑට බත් කන්ට අපි ඔක්කොම ඉඳගත්ත පුරුදු විදිහට. ඒත් මා ලඟ ඉඳගන්ට චුට්ටි අයිය ආවෙ නෑ. මගෙ බත් එක දෙන්ට අම්ම මා ලඟට ඇවිල්ල නැවුනම මම අම්මගෙන් ඇහුව …..
" කෝ අම්මෙ චුට්ටි අයිය? "
" චුට්ටි පුතාට ටිකක් සනීප මදි වගෙ. උණක් වගෙත් තියනව. ඇඟත් රිදෙනවලු.මම පස් පංගුව තම්බල දුන්න. අන්න මැද කාමරේ පෙරවගෙන නිදි.."
" ඉන්ටකො මම බලල එන්නං "
මම බත් එක එහෙම්මම පැදුරෙ තියල නැඟිට්ට.
අපෙ ගෙදර කාමර හතරක් තිබ්බ. ඉස්සරහ සාලෙ දෙපැත්තෙ කාමර දෙකෙන් පොඩි කාමරේ නිදාගත්තෙ අප්පච්චි. වම් පැත්තෙ දොරක් නැති කාමරේ අයියල තුන් දෙනා. කුස්සිය ගාවම තිබ්බ කාමරේ මං ගාවම වැඩුමල් අක්කල දෙන්නයි මායි. ඊට එහා මැද කාමරේ අම්මයි ලොකු අක්කයි.ඉස්සරහ කාමර දෙකටම රෑ තිස්සෙ කොච්චරවත් හුලං එනව. සිවිලිං එතකොට ගහල තිබ්බෙ නෑ. සිවිලිං ගැහුවෙ එක පාරක් අප්පච්චි කින්නියා වලද කොහෙද වැඩ කරද්දි අප්පච්චි එක්ක මොකක්ද අමනාපෙකට ඒ පැත්තෙ දිසාපති අප්පච්චිගෙ වැඩ තහනං කරල. මාස හයකට විතර පස්සෙ තිබ්බ පරීක්ෂණයෙන් අප්පච්චි නිදහස් වුනා. ඒ එක පාර හම්බ වෙච්ච පඩි ඇරියස් එකෙන් තමයි සිවිලිම් ගැහුවෙ..... මොනව උනත් දිසාපතියට පිං සිද්ද වෙනව සීලිම ගහගන්ට උදව් උනාට ...... අප්පච්චි එහෙම කිව්ව හිනා වෙවී.
මගෙ උරෙස්ස රිදෙන්ට ඇල්ලුව. මතකනෙ ඈ මේ කතාව කියන්නෙ මයෙ උරෙස්ස උඩ ඔලුව තියාගෙන. වමතෙ මැණික් කටුව දිහායින් හෙමිහිට පටන් ගත්තු හිරිවැටිල්ලක් වැලමිට පහු කරල බෙල්ල දක්වාම පැතිරීගෙන ආව.
මම හෙමිහිට ඇගේ සිරුරට යට වෙලා තිබ්බ වම් අත දිග අරින්ට බැලුව.
" ඇයි අත හිරිවැටිලද? "
ඈ එහෙම අහල කෙළින් වෙලා ඇඳේ ඉඳගත්ත. ආයම ලේ ගමනාගමනය යතා තත්වයට පත්වෙනකොට දැනෙන ඉදිකටු ඇනිල්ල මගෙ අත දිගේ දැනෙන්ට ගත්ත.
" ඔව් ටිකක් වගෙ "
මම මැණික් කටුවෙ ඉඳල ඉහලට අත පිරිමදිමින් කිව්ව.
" මේ ඔයාට මේ කතාව කියන්න අමාරුයි වගේනම් අපි මේක අතෑරල දාමු.."
මම ඇගේ දුකින්පිරි මුහුණ දිහා බලල හෙමිහිට කිව්ව.
" නෑ. මම ඔයාට පොරොන්දු උනානෙ මේ කතාව කියනවයි කියල. ඒ ඇරත් මගෙ හිතේ හිරවෙලා තියන මේ කතාව ඔයාට කියන එක මගෙ හිතටත් නිදහසක්.අද කතාව ඔක්කොම කියල ඉවර කලාම වැඩේ එතනිං ඉවරයි. ආයම කිසිම දවසක මගෙන් මේ ගැන අහන්නත් එපා.මම කියන්නෙත් නෑ…"
ඇය යන්තමට තොල් මෑත් කරල හිනාඋනා.
වම් අත පිරිමදින අතරෙම මමත් නැඟිටල ඈ හේත්තුවෙලා හිටිය බිත්තියටම වාරු උනා.
එක පාරටම අල්ලපු හුළං කෝඩෙත් එක්ක සට සට ගාල වහළට පොද වැස්සක් ඇදගෙන වැටෙනව වගෙ සද්දයක් ඇහුන.
" වහිනව වගේ නේද ඒයි? "
ඈ එතනම ඉස්සිල ජනේලෙන් පිටත බැලුව.
" නෑ...මොන වැස්සක්ද? පැලෙන්ට පායයි තව මාසයක්වත්...මතක නැද්ද මේ ටිකේම උදේ මීදුම.."
සතියක් දවස් පහ හයක් වගෙ වෙලේ ඉඳල උදේ පාන්දර ගස්වැල් වහගෙන බිමට බහින මීදුම ආය ඉහිරිල යන්නෙ හතත් පහුවෙලා ඉර අව්ව තදට වැටෙන්ට ගත්තට පස්සෙ. එහෙම මීදුම බාන්නෙ පෑවිල්ල අල්ල හිටින්ට කියල ඒ කාලෙ අපෙ අත්තම්ම මා දැක්ක කියල තියනව.
" ඔය වහලට වැටෙන්ට ඇත්තෙ පලු ගහේ කොළවල එකතු වෙච්චි පිණි ...හුළඟක් හමන්ට ඇති. "
මම එහෙම කියල කොට්ටෙකුත් බිත්තියට හේත්තු කරල හොඳහැටි දිග ඇදුන.
" අම්මයි ලොකු අක්කයි නිදාගත්තු මැද කාමරේ තිබ්බෙ පරණ පබිලියං යකඩ ඇඳක. ඇඳේම ස්ප්‍රීං හයි කරපු ඒ වගෙ යකඩ ඇඳක් ඔයා දැකල තියද? "
ඇය කතාව නවත්තල මගෙ වමත දෑතින්ම අරගෙන උකුල උඩ තියාගත්ත.
" ඔව්………" මම උත්තර දුන්නෙ ඔලුව හරවල ඇගෙ මුහුණ දිහාවෙ එක පාරක් බලල.
" අපෙ අම්මලගෙ මහ ගෙදර තිබ්බ ඔය ජාතියෙ ඇඳන් දෙකක්.ස්ප්‍රිං ඔක්කොම උඩිනුයි යටිනුයි එකකට එකක් සුදුපාට ගොතපු හයිය ලණු ජාතියකින් බැඳල තිබ්බෙ. ඒ ලණු උඩ තමයි මෙට්ටෙ තියෙන්නෙ. මාර සනීපයි ඒකෙ නිදාගන්නකොට. අපි පොඩි කාලෙ වැඩේම ඇඳ උඩට නැඟල උඩ පණින එක. "
" අන්න හරි, අන්න හරි, අන්න ඒ ඇඳක් තමයි මැද කාමරේ තිබ්බෙ. මම ඒ වෙලාවෙ දොර රෙද්ද මෑත් කරල කාමරේට එබිල බැලුව. මුල්ලෙ තිබ්බා ගෝන අං තට්ටු දෙකක් කකුල් වෙනුවට පාවිච්චි කරල හදපු පොඩි ලියන මේසයක්. ඕක උඩ පත්තු වෙවී තිබ්බ චිමිනි ලාම්පුවෙ දැල්ල හොඳටම අඩුකරල තිබ්බෙ.ඒත් ඒ මලානික එළියටත් ගිණි කන වැටිල චුට්ටි කුරුමිණියො දෙතුන් දෙනක් චිමිණියෙ හැප්පි හැප්පි එහෙම මෙහෙ දඟල දඟල හිටිය. "
" යකඩ ඇඳේ එහා කෙළවර ජනේලෙ අයිනෙ අපේ කළු බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳල පොරවගෙන චුට්ටි අයිය නිදාගෙන හිටිය."
" අපෙ තිබ්බ තද කළුම කළුපාට බූල් බ්ලැන්කට් එකක්.ඕක ඇඟේ ගෑවෙනකොටත් කහනව කහනව වගෙ. කම්බිවගෙ හයියයි ගොතල තියන නූල. ඒත් මොන එකක්ද මන්ද අපි ඔක්කොමල ඕකට පුදුම විදිහට ආසයි. රෑ එළිවෙනකල් පැල් බැඳගෙන වහින්ට ගන්න මහ කන්නෙ කුඹුරු මඩවන කාලෙ ඔය බ්ලැන්කට් එක යටට ගුලිඋනාම තියෙන සනීපෙ ආයෙ කියල වැඩක් නෑ."
" අපෙ ගෙදරත් තිබ්බ ඔය පරන බූල් බ්ලැන්කට් එකක්. අත්තම්ම ඒකට කිව්වෙ බුලංකේට්ටුව කියල.."
මම එහෙම කියල හිනාඋනා.
ආයම එළියෙ හීතල හුළඟක් හමාගෙන ගියාද කොහෙද....ජනෙල් තුනම වහල උනත් උඩ වාකවුළු වලින් ආපු පොඩි හුලං රැල්ලක් මදුරු දැලේ පැත්තක් එහාට මෙහාට හෙලෙව්වා. මදුරුවෙක්ගෙ රූං රූං සංගීතයක් ඇහෙන්ට ගත්ත නිසා ඇය කතාව ඔලුව හරවල ඒ දිහාවෙ හෝදිසි කලා. මම කලින් කිව්වනෙ මදුරුවො එක්ක එයයිට තිබ්බෙ පුදුම ජන්මාන්තර වෛරයක්.
" එළියෙ ඌ ඉන්නෙ "…... මම කිව්ව.
මදුරුව මගෙ කණ ලඟම වගෙ නෙට් එකේ වහල ටිකක් වෙලා ඉඳල ආයම ඉගිලිල ගියා යන්ට.
ඇයි මැරුවෙ නැත්තෙ?..ඇය එහෙම ඇහුවෙ නෑ....
" මේ... මදුරුවාගෙන් වැඩක් නෑ. කතාව කියන්ටකො. අද නිදිය ගන්නෙ නැද්ද? දැං දොළහත් පහුවෙලා මයෙ හිතේ. "
" ඔය බ්ලැන්කට් එකට අපි කිව්වෙ කළුව කියල. දවල් ඉඳලම වහින දවස්වලට කලින්ම කාල ඇඳට නඟින්ට අපි පොරකන්නෙ ඔය කලුව ඉස්සෙල්ලම අරගෙන පොරව ගන්න. අපි පොඩි එවුං හතර දෙනෙක්ට වගෙ ඇති ඒ බ්ලැන්කට් එක. ඒත් කෙළවරකට අහු උනහම රෑට එහෙ මෙහෙ දඟලල ඇඟෙන් බාගයක් එළියට එන නිසා කළුවගෙ මැද අල්ලගන්ට තමයි අපි ඔක්කොම පොර කන්නෙ. "
" චිමිනි ලාම්පුවෙ දැල්ල මම ටිකක් වැඩි කලා. හෙමිහිට ගිහිල්ල ඇඳේ ඉඳගත්ත. චුට්ටි අයිය හෙමිහිට හුස්ම ගන්න සද්දෙ මට ඇත්තටම ඇහුණද නැත්තං ඒ මට දැනිච්චි හැටිද මන්ද....එයාගෙ ඔලුව අතගාන්ට කියල මම දකුණු අත උස්සනකොටම චුට්ටි අයිය හීනෙං වගෙ මගෙ පැත්තට හැරුන. ඒ හැරිච්චි පාරට කළුව පැත්තකට ගිහිල්ල අයියගෙ ඔලුව හරිය නිරාවරණය උනා පපුවෙ මැදක් වගෙ යනකල්. "
" මොකද චුට්ටි අයිය උනේ?....හවසත් හොඳට හිටිය නේද? අපි දෙන්න එයාගෙ යාලුවො කට්ටියක් එක්ක හවස පහ වගෙ වෙනකල් හිඟුරුමල් දෙණ ලිඳ එහා පැත්තෙ හුඹහෙං මැටි අරගෙන වෙහෙරවල් හද හද හිටියෙ. හෙට අපි කතා උනේ බෝ පැළයක් හොයාගෙන ඇවිල්ල හිටවලා පල්ලෙහා ඉස්කෝලෙ නැන්දලගෙ ගෙට පහලින් ඇළට බැහැල වැලි කූඩ තුන හතරකුත් ගෙනල්ල දාල වෙහෙර කර්මාන්තය සම්පූර්ණ කරන්ට. "
" ඔව් චුට්ටි මේ රෑ වෙලා මූණ කට හේදුවටත් පස්සෙ තමයි උණ ගත්තෙ…"
" අනේ එහෙනම් හෙට අපිට අර පන්සල හදල ඉවර කරන්ට වෙන එකක් නෑ..මට එක පාරටම කියවුනා. "
" නෑ..නෑ..මේ උණ බැහැල යයි. අම්ම කසාය තම්බල දුන්න. උදේ අපි පන්සල හදල ඉවර කරමු. අයිය මගෙ අත අල්ලගෙන කිව්ව. "
" හරි එහෙම කරමු. මම හිනාඋනා…"
" රෑට මොනවද තිබ්බෙ? "
" බිත්තර……."
" මයෙ බිත්තරේ ඔයා ඉල්ලගන්ට අම්මට කියල…"
" චුට්ටි අයියට බඩගිණි නැද්ද? "
" නෑ මට කන්ට කිසිම පිරියක් නෑ. කටත් එක්ක තිත්ත රහයි..චුට්ටි අයිය මූණ ඇඹුල් කරගෙන කිව්ව. "
" මම චුට්ටි අයියගෙ බිත්තරේ කෑවෙත් නෑ.අපි දෙන්න ඉස්කෝලෙ නැන්දලගෙ ඇළෙන් වැලි අරගෙන ආවෙත් නෑ. විහාර කර්මාන්තය ඉවර උනෙත් නෑ. චුට්ටි අයිය ආයෙ...."
ඇයට ඉකි ගැහුණ..මම ඇගෙ උරහිස වටා වම් අත යවල ඇයව තුරුළු කරගත්තෙ දිග සුසුමක් පිටකරමින්.
" කීයද වෙලාව? "
ටික වෙලාවකට පස්සෙ මගෙ උරහිසට මූණ තදකරගෙනම ඇය ඇහුව.
" ඉන්න බලන්න…" මම ඇඳ ඉහත්තාවෙ තිබ්බ ටෝච් එක පත්තුකරල වේවැල් පොත් රාක්කෙ උඩින් බිත්තියෙ ගහල තිබ්බ ඔර්ලෝසුවට එල්ල කලා. " දොළහට විස්සයි."
" මේ...එක්කො මේ කතාව ඇති...ඒයි…"
" ඇති කියන්නෙ අදට ඇතිද? නැත්නම් ආය කවදාවත්ම කියන්ට ඕනෙම නැත්ද? "
" ඔයාට හිතට අමාරුනම් ආය කවදාවත් කියන්ට ඕන නෑ "
" නෑ..මම කිව්වනෙ මේ කතාව ඔයාට කියන්ටම ඕනය කියල. ඒ වගේම එහෙම කියන එක මයෙ හිතටත් ලොකු සහනයක්. අද මම මේ කතාව කියල ඉවර කරනව. "
" හරි එහෙනම් එහෙම කරමු. හෙට නිවාඩුනෙ ..උදෙම්ම නැඟිටින්ට ඕනත් නෑනෙ. "
පහුවදා මොකක් හරි නිවාඩු දවසක් කියල මට මතකයි.
" සීතලයි...මම කෝපි දෙකක් හදාගෙන එන්නම්.."
මම ඇගෙ නළල හෙමිහිට ඉඹල ඇඳෙන් නැඟිට්ට.හීටරේ ගහල වතුර උණු කරල කෝපි හදාගෙන එනකලුත් ඈ එහෙම්මම එක විදිහටම බිත්තියට හේත්තුවෙලා හිස් බැල්මෙන් බලාගෙන හිටිය.
" පහුවදා උදේ අයියට ටිකක් වගෙ හොඳවෙලා හිටිය. උණත් බැහැල... උදේට අම්ම ඉඳිආප්ප හදල තිබ්බ පොල් මැල්ලුම් එක්ක. චුට්ටි අයිය කැමතිම කෑමක්. ආය නම් ජීවිතේට ඉඳිආප්පයක් කන්ඩ හම්බ උනෙ නැතත් කමක් නෑ. කාල ඉවරවෙලා එහෙම කියලයි එයා පුටුවෙන් නැඟිට්ටෙ. ඒ වෙලාවෙ අපිට නොතේරුණාට ඒ කතාව අනාවැකියක් වගෙ උනා....."
" අම්මෙ මම යනව චුට්ටි නංගි එක්ක පල්ලෙහ ඇළට..වැලි ගේන්ඩ...කුස්සියෙ කොළොම්බුව උඩ ඉඳගෙන තේ එකක් බිබී හිටපු අම්ම ළඟට ගිහිල්ල චුට්ටි අයිය කිව්ව."
" චුට්ටි පුතා!!! කොහෙ යන්ටද? ඊයෙ රෑ සහලවාල උණ. අද යන්තමට උණ බැස්ස විතරයි යන්ට ලෑස්ති ඇළවල්වල දඟලන්ට.තියනව එහෙම නෙවෙයි ගෙදරින් එළියට එක අඩියක්. මේ චුට්ටි දුව එක්ක නෙව මොකවත්ම කරන්ට බැරි. "
" අම්ම කුස්සියෙ ඉඳං කෑ ගහනව ඇහිල මගෙ පංකොළ තොප්පිය එහෙම දාගෙන ගෙදරින් එළියට බහින්ට සූදානමින් හිටපු මම තොප්පිය ගලවල හෙමීට ආපහු කාමරේට රිංගුවා."
" ඒ පංකොළ තොප්පිය ඊට මාසෙකට වගෙ උඩදි මාතලේ මුත්තු මාරී අම්මන් කෝවිලේ වේල් පෙරහැර බලන්ට ගිය වෙලාවෙ එගොඩහ ලොකු අම්ම මට අරං දුන්නෙ. තොප්පිය කහ පාටයි. රතු පාට රිබන් එකක් තිබ්බ තොප්පිය වටේට. "
" ටික වෙලාවකට පස් සෙ ගෙදර කිසිම සද්දයක් නෑ. මම හෙමිහිට එළියට බැහැල පිළිකන්නෙ කම්බි පොටෙන් රිංගල හිඟුරුමල් දෙණ පැත්තට ගියා."
( සමාවෙන්න කතාව මැද්දට පැන්නට..ඒත් මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕන. ඔය හිඟුරුමල් දෙණ කියන්නෙ එයාලගෙ ගෙවල් පිටිපස්සෙ බඹ තිහක් වගෙ දුරින් තියන තරමක විසාල ළිඳක්. අඩි 30 x අඩි 10 වගෙ ඇති දිග සහ පළල.වටේට ගලෙන් බැඳල පැත්තක කාන්තා පක්සයට රෙදි මාරු කරගන්ට ගඩොලින් කාමරයක් වගෙත් හදල ඒ එක්කම රෙදි අපුල්ලන්ට ටිකක් එහාට වෙන්ට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් එහෙමත් තිබ්බ.හිඟුරුමල්දෙණ කියන්නෙ පොදු ළිඳක්. ඒ කුඹුර අයිති එයාලට. ඒත් ප්‍රාදේශීය සභාවෙන් වියදම් කරල පොදු ළිඳක් විදිහට ප්‍රතිසංස්කරණය කරන්න ඇහුවම අප්පච්චි බොහොම කැමැත්තෙන් අවසර දීල තියනව.අපි ඔව්ව යනකොට ගෙනියනවය ආය...ඉන්නකං නෙව මේ ඔක්කොම සෙල්ලං..හා එහෙනං නැද්ද පුතා? දවසක් ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවෙ දිගාවෙලා බඩත් අතගගා උන්දැ එහෙම මා දැක්ක කිව්වෙ මම ඔය ගැන විස්තර ඇහුවම )
" හිඟුරුමල් දෙණ ඒ දවස්වල දැන් වගෙ හොඳට ගල් අල්ලල හදල නෑ. වටේට යන්තමට වැටක් ගහල විතරයි. ඔය පැත්තට තනියම යන එක අපිට තහනම් කරලයි තිබ්බෙ. ඒත් අපි හොරෙන් යනව. ඒ දවස්වල ඔය ළිඳ හෙවණ කරගෙන තිබ්බ මහ විසාල ගම්මාළු ගහක්. "
" ගම්මාලු ඔයා දන්නවද? " ඈ එහෙම ඇහුවෙ මගෙන්
" ඔව්...අපෙ ලොකු අම්මලගෙ ගෙදර වත්තෙ තිබ්බ මහ විසාල ගම්මාලු ගහක්. එව්වයෙ කිරි ලා රතු පාටයි. ඒ කිරි බොහොම වටින බෙහෙත් අවුසදයක්ය කියල ලොකු අම්ම ඒ දවස්වල මා එක්ක කියල තියනව…"
" අන්න හරි එව්ව තමයි ගම්මාලු කියන්නෙ. ඒ ගහ පස්සෙ ඇහැවෙලා ගියා.ඔය ගම්මාලු ගහ යට තමයි අපි අර වෙහෙරවල් හැදුවෙ.නමය වගෙ උනාට වෙලාව, ඒ වෙනකොටත් පූටක අව්ව. අපි හදපු වෙහෙරෙ මැටි යන්තමට ඉරිතලන්ට පටන් අරගෙන තිබ්බ. ඒ අහලම තිබ්බ කෙහෙල් කොරටුවෙං වේලිච්ච පරඬැල් අරගෙන මම වෙහෙර වහල දැම්ම. හෙට වෙනකොට චුට්ටි අයියට සනීප වෙයිනෙ. හෙට ඇවිල්ල මේ වැඩේ ඉවරයක් කරන්න ඕන. "
" ඔය ගම්මාලු ගහ යට පොඩි ගල්තලාවක් වගෙ තිබ්බ. ගෙදර ගියාට කරන්ට දේකුත් නැති එකේ මම ඔය ගල් තලාව උඩ වාඩිවෙලා ඔහේ කල්පනා කර කර හිටිය. අහසෙ වළකුළු පාවෙලා යනකොට එක එක හැඩේ ගන්න හැටි. එක වෙලාවක හාවෙක් වෙලා නරියෙක්ගෙන් බේරෙන්ට මහ හදිස්සියෙන් පළායන වළාකුලක් තව මොහොතකින් උකුස්සෙක් වෙලා පරෙයියෙක් පස්සෙං පන්නනව. අහස දිහාවෙ බලාගෙන ඔහොම නානාප්‍රකාර විපරීත හිතමින් මට හිටියෑකි වරුවක් උනත්."
" මට ඇත්තටම නින්ද ගියාදත් මන්ද..කොහොම හරි මම ගැස්සිල වටපිට බැලුවෙ බිසෝගෙ කෑගැහිල්ලට. බිසෝ අපෙ අම්මට උදව්වට හිටියෙ ඉවුම් පිහුම් වලට. "
" චුට්ටි දෙයියා..විගැහිං එන්ටෝ…"
" බිසෝ කම්බි වැට ගාවට ඇවිල්ල මේ පැත්ත බලාගෙන කෑ ගහනව. උන්දැ දන්නව මම මෙතන ගම්මාලු ගහ යට ඉන්ට බොහොම මනාප විත්තිය.වෙනදත් නාවන්ට, නැත්තං දවල්ට බත් කන්ට කියල බිසෝ ඔහොම මහ හයියෙං මට අඬ ගැහුවට අද මට උන්දැගෙ කට අඬේ වෙනසක් තේරුණා. ගල් තලාවෙන් නැඟිට්ට ගමං මම එක පිම්මට ගෙදර දිව්ව. "
" චූටි මහත්තයට අමාරුයි. කලන්තයක් ඇල්ලුව. මාතලේ ඉස්පිරිතාලෙ ගෙනියන්ටයි යන්නෙ. "
" බිසෝ ඇස් දෙකත් ලොකු කරගෙන හති දදා කිව්ව. "
" අපෙ මිදුලෙ අඹගහ යට නවත්තල තිබ්බ තලකොටුවෙ ගෙදර කලු මයිනර් එක. හදිස්සියට ගමේ කවුරුහරි ඉස්පිරිතාලෙ එහෙම අරන් යන්ට තිබ්බෙ එච්චරයි. ලොකු අයියයි අම්මයි පිටි පස්සෙ සීට් එකේ හිටිය ඉඳගෙන. අම්මගෙ ඇස් දෙක පුරවල කඳුලු. ඒ දෙන්නට මැදි වෙලා හිටියෙ චූටි අයිය. ඉස්කෝල් අඳින සුදු කමිසෙ ඇඳල හිටියෙ. උදේ තිබ්බ ප්‍රාණවත් ගතිය මොකවත් නෑ. මූණ කටත් එක්ක හේබා ගිහිල්ල. අම්මගෙ උරහිසට හේත්තුවෙලා හිටිය ඇසුත් බාගෙට පියාගෙන. "
" කාර් එකේ ඇරිච්චි දොර අල්ලගෙන මම එහෙම්මම චුට්ටි අයිය දිහා බලා හිටිය ගල් ගැහිල වගෙ.ටිකකින් මම ඇවිල්ල ඉන්නව කියල දැනිලද කොහෙද එයා ඇස් ඇරිය. ඔලුව උස්සල මා දිහා බලල අමාරුවෙන් තොල් මෑත් කරල හිනා උනා."
" චුට්ටි නංගි මම එන්නම්...එයා හෙමිහිට කිව්ව."
" චුට්ටි අයිය ගිහිල්ල සනීප වෙලා එන්න. අපෙ වෙහෙර වේලිල පුපුරන්ට දෙන්නෙ නැතුව මම බලාගන්නං ඔයා එනකල්. දැනුත් මම වේලිච්ච කෙහෙල් කොල වලින් වහලයි ආවෙ. ඔයා ආවට පස්සෙ අපි වැලි ගෙනල්ල දාල පන්සලේ වැඩේ ඉවරයක් කරමු. මම එහෙම්මම මයිනර් එකේ දොර අල්ලගෙන දිගටම කියවගෙන ගියා හුස්මත් නාල්ලා. "
" හරි චුට්ටි අපි එහෙම කරමු. චුට්ටි අයිය ආයෙම මා දිහා බලල හිනාඋනා."
" මාතලේට යනකොට අපෙ ගෙදර ඉස්සර පාරෙන් ගිහිල්ල දකුණට හරවල දෙණියෙ කඩ මණ්ඩිය ගාවට යනකල් තාර පාර යස අගේට පේනව හිඟුරු මල්දෙණ ගාව ගම්මාලු ගහ යටට ගියාම. මයිනර් එක ගේට්ටුවෙන් පාරට දාපු ගමන්ම මම එක පිම්මට වැටෙන් පැනල දුවගෙන ගියා ගම්මාලු ගහ යටට. මයිනර් එක හතරෙ බෝක්කුව ළඟදි පාර හරහ පැන්න කලු හරකෙකුට ඉඩ දීල නවත්තගෙන හිටිය විනාඩියක් විතර. ඊට පස්සෙ කන්ද නැඟල දෙණියෙ කඩ මණ්ඩිය පහු කරල නොපෙනී ගියා. "
" මම එහෙමම තව ටික වෙලාවක් ඉඳල ආපහු ගෙදර එන්ට හැරුන. හුලඟටද කොහෙද මම අර වෙහෙර වහපු පරඬැල් කොල පෙරලිලා ගිහිල්ල. මේක හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් චුට්ටි අයිය හෙට ආපහු එනකොට මේ වෙහෙරෙන් ගන්ඩ දෙයක් නැතිවෙයි. එහෙම හිතල මම තව පරඬැල් ගෙනල්ල වෙහෙර හොඳට වහල, දෙපැත්තෙං හුලඟෙ නොයන්ට බර වෙන්ට ඒ අහලිං පහලිං හොයා ගත්ත බිඳිච්චි පරණ මුට්ටි කබලකුයි කැඩිච්චි බාල්දියකුයි තිබ්බ. "