|
Painting - Richard S. Johnson |
පහුගිය වාං පතුල් කතාවෙ බූරා මලේ එක්ක වාල්මීකි රාමායණය ගැන අදහස් හුවමාරුවක නිරත උනා නෙව. ඇත්තටම එහෙම උනේ මට වෙච්ච වැරදීමක් නිසා. අර තමන් ලියපු මහා කාව්‍යයක් ගිණිබත් කරන තාපසයගෙ කතාව මට මතක තිබ්බෙ ඒ කාව්‍යය ඇවිල්ල රාමායණයය, එතකොට ඒ තාපසය වාල්මීකීය කියල.ඒත් බූරා කිව්ව ඒ කාව්‍යය කථා සරිත් සාගරයය එතකොට ඒක ගිණිබත් කරන්නෙ ගුණාධ්‍යය කියන තාපසයය කියල. බලනකොට කතාව ඇත්ත. මට තමයි පොඩි වාලධිය පාගාගැනීමක් වෙල තියෙන්නෙ. ඔය රාමායණය ගැන කතන්දර ඔක්කොම ඇදිල ආවෙ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මය වාල්මීකී රාමායණය පරිවර්තනය කරපු එක ගැන කතා කරන්ට ගිහිල්ල.
රාවණ සීතාවන් පැහැරගෙන ආවය කියලනෙ රාමායණයෙ තියෙන්නෙ. ඉන්දියාවෙ රාමව උත්කර්ෂයට නංවන්න ලියවුනු කාව්‍යයක් උනත් රාමායණයෙ රාවණ සීතට කරදරයක් හිරිහැරයක් කලාය කියල සඳහන් වෙන්නෙ නෑ මට මතක විදිහට. ඒ කියන්නෙ රාමායණයෙ ආදිකර්තෘවරු උනත් රාවණට ලබාදියයුතු ගෞරවය ලබාදෙන්ට මැලිවෙලා නැහැ.
රාම-සීතා- කතාව ගැන පොඩ්ඩි ලියපු සටහනකට මම ලියාපු අතුරු කථාවක් මේ...මීට අවුරුදු දෙකකට වගෙ ඉස්සර...
**********************************************
දණ්ඩකාරණ්‍යයයෙහි ඔවුන්ගේ අසපුව පිහිටි පෙදෙසට හිරු පායනුයේ මඳක් පමා වීය. එම පෙදෙස සම්පූර්ණයෙන්ම උස් කඳු වළල්ලකින් වටව තිබීම ඊට හේතුවයි.එසේම ශරත් සෘතුවෙහි අවසන් භාගයෙහි ගෙවෙන මේ දිනවල දිවාකාලය කෙටි බැවින් හිරු පෑයූයේ තවත් ප්‍රමාදවීය.
තවමත් පහව නොගිය මිහිදුම් අතරින් අසපුවෙ දොරටුව අබියස සිට ඈ බලා සිටියාය. සුපුරුදු පරිදි සිය සැමියා සහ ඔහුගේ සොයුරාණන් දණ්ඩකාරණ්‍යයෙහි රැකවල් කටයුතු උදෙසා පිටත්ව යන දෙස ඈ බලා සිටියාය.
අයෝධ්‍යාවෙන් පිටමංව දණ්ඩකාරණ්‍යයෙහි වාසයට පැමිණ ගත වූ වසරක පමණ වූ කාලය තුල සෑම දිනකම හිමිදිරි උදෑසන පිටව යන ඔවුන් දෙදෙන පෙරළා පැමිණෙනුයේ අඳුර ද කැඳවාගෙනය.මුළු දිවාකාලයම හුදකලාව ගත කලද ඒ පිළිබඳව ස්වාමියාණන් හට පැමිණිලි කිරීමට ඈ සිහිනෙනුදු නොසිතුවාය.
එසේ නැතහොත් සිතෙහි නැඟි ලතැවිල්ල පිළිබඳව ඔහුහා දොඩමළුවීමට හටගත් සිතුවිල්ල උපන්දාසිට පුරුදු පුහුණු කල ක්ෂත්‍රිය රාජධර්මයන් මඟින් යටපත් වූවා විය හැක.
අවසන තවද ඉවසාගෙන සිටිය නොහුනු තන්හි අද උදෑසන ඔවුන් පිටව යාමට පෙර ඈ බිමට හරවාගත් දෙනෙතින් යුතුව ඔහු ඉදිරියට ගියාය. ඉක්බිති තම නිල්වන් දෑස් ඔසවා ඔහුගේ වත එක එල්ලේ බලා හුන්නාය.කිසිදිනෙක තමා ඇය ඇමතුවහොත් මිස ඇය තමා අමතා යමක් පවසන සිරිතක් නොවූ නිසාම විශ්මයට පත්වූ ඔහු විමසුම් බැල්මක් රැඳි දෙනෙත ඈ දෙසට යොමු කලේ මුවින් නොබැණවමය.
'' ස්වාමීනී.....''
ඇය සිතට දිරිගෙන හඬ අවදිකලේ යලිදු පහතට හරවාගත් දෙනෙතිනි.
'' ඔව්, කියන්න මා සොඳුර කුමක්ද ඔබට පැවසීමට ඇත්තේ?....'' ඔහු එසේ පැවසුවේ නැත. එසේ ඔහු පවසතැයි නොඉවසිල්ලෙන් අපේක්ෂා කරමින් ගත වුනු නිමේශයකට පසු ඇය යළිදු දෙනෙත් ඔසවා ඔහු වත ඉඳුරාම බැලුවේ ඔහුගෙන් එවන් ආදරණීය වදනක් බලාපොරොත්තු වීම සිහිනයක් බව හොඳින්ම වැටහුණු හෙයිනි.
ඔහුගේ දෙනෙතෙහි දැවටි නොපහන් බැල්ම නෙත ගැටුණු ඈ සිත මඳක් පසුබා ගිය නමුදු ඈ වෑයමෙන් සිතට දිරිගත්තීය.
'' ස්වාමීනී දිවාකල හුදකලාවේ මේ අසපුවේම කාලය ගත කිරීම මට මහත් අපහසුය....''
කතාව නතර කල ඇය නැවත දෙනෙත් ඔසවා ඔහු දෙනෙත් දෙස ඉඳුරාම බැලූයේ ඔහුගෙන් සහයක් හෝ අවම වශයෙන් අනුකම්පාවක් හෝ අපේක්ෂාවෙනි.
එහෙත් ඔහු දෙනෙත ඇය දුටුවේ එවැන්නක් නොව සෝපහාසයක් සහ එමෙන්ම නොමේරූ ළදැරියකගේ අප්‍රායෝගික ඉල්ලීමක් අභියස වැඩිහිටියෙකුගේ දෙනෙත්හි දැකිය හැකි අන්දමේ කෝපය ද මුසුවූ බැල්මකි.
සිතෙහි නැඟ ආ හැඟුම් සමූහය එකවරම ගිනිදැල්ලකට ලක්වූ රඹ පතක් මෙන් හේබා ගිය හෙයින් ඇය මුවින් නොබැන පියවරක් පසුපසට ගත්තේ නොදැනුවත්වමය.
'' ඔව්, පවසන්න ඔබට පැවසීමට ඇති දේ නොවලහා පවසන්න...''
ස්වරය හැකි පමණ මෘදු කොට කථාකිරීමට ඔහු දැඩි වෑයමක්දැරූවද ඒ හඬෙහි ගැබ්වූ සැඟවුනු කෝපය හොඳින් හඳුනාගත් ඈ දෑත ළයමත් බැඳගත් වනම බිමට යොමුකොට ගත් දෙනෙත තදින් පියා ගත්තේ දෙනෙතට උණනා කඳුලු වළකා ගනුවස් යටිතොල තදින් සපාගනිමිනි.
අසපුව අංගනයේ හාත්පස වසාගත්වනම පැතිර මලින් ගැවස ගත් හෝපලු රුකෙහි අතුපතර කෙලි දෙලෙන් හිඳ එක්වරම කොහෙහෝ දුර බැහැරකට පියාඹා ගිය කොවුලන් යුවලකගෙන් නැඟුනු නාදය කෙමෙන් මැකී ගියකල්හි අසපුව තුල යලිදු දැඩි නිහඬතාවක් රජයන්නට වූයේය.
එතෙකුදු ඕ තොමෝ පහතට යොමුකොටගත් දෙනෙතින් යුතුව නිහඬවම හුන්නාය,
'' ඔබ කථා නොකරන්නේ නම් මම්ම පවසන්නෙම්....ඔබගේ ඉල්ලිමට පිළිතුරු නම් මේය. මට කිසිදාක දිවාකාළයෙහි අසපුවෙහි රැඳී සිටිය නොහැක.මේ දණ්ඩකාරණ්‍යයේහි ආරක්ෂාව පැවරී ඇත්තේ මා උර මතය. ක්ෂත්‍රිය රජ කුමරෙකු ලෙස මවෙත පැවරී ඇති වගකීම කිසිලෙසකින් මට පැහැර හැරිය නොහැක.ස්ත්‍රියක රැකබලාගෙන දිවාකාලය ගෙවීම හෝ ස්ත්‍රියකගේ හුදකලාව දුරුකරනු වස් අසපුවෙහි රැඳී හිඳීම ක්ෂත්‍රිය කුමරෙකුගේ වගකීමක් බව මම කිසිම දිනෙක අසා නැත්තෙමි.එසේම ඔබට අප සමඟ වනයේ සැරිසැරීමට ද නොහැක.ක්ෂත්‍රිය රජ කුමරියකගේ කාර්‍ය භාරය මවිසින් ඔබට වෙසෙසින් කියාදිය යුතුයැයි මම නොසිතමි. ''
'' රජ කුමරුන්ගේ කුමරියන්ගේ කාර්‍ය භාරයන් පිළිබඳ පංගු පේරු වලංගු වන්නේ රජමාළිගාවලටය. එහෙත් මේ වනාහී රාජ මාළිගයක් නොව මහ වන මැද අසපුවකි.'' ඇය එසේ තෙපලූයේ නැත. එහෙත් ඒ සිතුවිල්ල ඈ සිතෙහි නැඟ ආවේ ළය කලඹවාගෙන ආ ඉකියකුදු සමඟය. දෙතොල විකාගත් ඈ ඉකිය මැඩපවත්ගත්තේ ඉතා අසීරුවෙනි.
'' එසේම හොඳින් සිහි තබාගන්න කුමරියනි. වන වාසය පිණිස ඔබ පැමිණියේ ඔබගේම රුචිය අනුවය. මම කිසි දෙනක මෙහි මා කැටුව පැමිණෙන මෙන් ඔබගෙන් නො ඉල්ලුවෙමි. එසේම මම ඔබ ඉල්ලීම බොහෝ වරක් ප්‍රතික්ෂේප කල බවද මතක තබා ගනු යෙහෙකි. එබැවින් ඔබ මෙහි මා හා පැමිණියේ විඳිය යුතු සියළුම දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බවද අමතක නොකරනු මැන. ''
ඇය බිම බලාගෙනම සිටියේ හිස ඔසවා ඔහු දෙස බැළුවහොත් ඉකි බිඳ හඬා වැලපීම කෙසේවත් වලක්වා ගත නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිවම දත් හෙයිනි.
'' ස්වාමිනී දහසක් කුමරුන් පරදවා ස්වයංවරයෙන් ඔබ මා දිනාගත්තේ මෙසේ පැවසීමටද?...මම ඔබේ බිරිඳය. ඔබ මගේ ස්වාමියාය.ක්ෂත්‍රිය රාජ ධර්ම වල කෙසේ සඳහන් වුවද බිරිඳකගේ නියමිත ස්ථානය තම සැමියා අබියසය. ඔහු අසලය. සැමියකුගේ නියමිත ස්ථානය තම බිරිඳ අසලය. ඇගේ ආරක්ෂාව සියලු රාජ නීති වලට වඩා ඔහුට වැදගත් විය යුතුය. ''
ඇගේ හදවතේ නැඟි මේ සියලු හැඟුම් සිතිවිළි වලටම සීමා වූ බව යලි යලිත් පැවසිය යුත්තක් නොවේමය.
ඔහු දුනු හී ද අතට ගෙන සිය මළණුවන් ද කැටුව පසු නොබලා මිහිදුම අතරින් නොපෙනී යනු ඇසිපිය නොහෙලා දොරටුව අබියස සිට බලා සිටි ඇගේ නෙතට කඳුළක් මෙන්ම මුවට සුසුමක් ද නැඟුනේ එක් වරමය.
අසපුව තුල වූ ලී දඬු මත මුව සමක් අතුරා සැදි සයනයේ හිඳ ඈ බොහෝ වේලා හිස් බැල්මෙන් බලා සිටියාය.
ක්‍රමයෙන් මධ්‍යාහ්නය එලඹියේ හරිත වන් තුරු පත් අතරින් පෙරී ආ හිරු කිරණින් පොළව අබියස කැරලි ගැසුනු මිහිදුම පළවා හරිමිනි.
සිත බරකල සංවේගය වෑයමෙන් මුදාහල ඕ තොමෝ හිස ඔසොවා බැලූයේ විවර කල දොරටුවෙන් ඇදී ආ හිරු කිරණ කදම්බයක් ඇගේ වත මත පතිතවූ බැවිනි.
සංකේතාත්මකව හිස වැරෙන් දෙපසට සොලවා සිතෙහි සෝ බර හැඟුම් පලවා හල ඕ තොමෝ, අසපුවෙහි පසෙක ඒ සඳහාම තැනුනු ලී දඬු මැස්සක් මත බොහෝ ප්‍රවේශමෙන් ආවරණය කොට තිබූ ඇගේ මාගධී වීණාව අතට ගත්තීය.
ඇගේ පියාණන් වෙනත් බොහෝ සාම්ප්‍රදායික රජවරුනට හාත්පසින්ම වෙනස් වූ බැවින් ඇය බොහෝ සේ ප්‍රිය කල සංගීත නාට්‍ය එහෙන්ම චිත්‍රකලාව ආදිය හැදෑරීමට මෙන්ම එහි නිරත වීමටද ඔහුගෙන් කිසිදු බාධාවක් නොවීය.
එබැවින් ක්ෂත්‍රිය රජ කුමරියකට සුදුසු අනෙක් ශිල්ප ශාස්ත්‍ර අතරේ ඇය සංගීතය ද කුඩා කල සිටම උගත්තාය.
ඇගේ සංගීත ආචාර්ය වරයා වූ මහළු බ්‍රාහ්මණයා ඔහු දන්නා සියලු ශාස්ත්‍රය නොමසුරුව ඇයට ඉඉගැන්වූ අතර ඇය ද ඒ ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තී සංගීතයෙහි ඉතා සමත් වූවාය.
මාගධී වීණාව ද රැගෙන අසපුවෙන් පිටතට පැමිණි ඈ අසපුව අබියස මලින් පිරී බරවීගිය හෝපළු වෘක්ෂය යට අසුන් ගත්තී මාගධී වීණාව වයන්නට වූවාය.
ඇය වැයූයේ සිතෙහි සෝබර හැඟුම් උපන් කල්හි ඒ පහව යන්නට ප්‍රත්‍යාක්ෂ ඔසුවක් බැව් ඈ හොඳින්ම දන්නා ගෞරී රාගයයි.ඒ රාගය නිර්මාණය වූයේ භාරතයට දක්ෂිණ දෙසින් වූ ලංකා දිවයිනෙහි පාලකයා විසින් බව සංගීතාචාර්‍ය වරයා පැවසුවද පලමුව ඕ ඒ බැව් විශ්වාස කිරීමට මැළි වූවාය. රාෂ්ඨ්‍ර පාලකයකු එවන් මුදු හැඟුම් සහිත කලා කාමියකු විය හැක්කේ කෙසේදැයි ඇයට කිසි ලෙසකිනිදු සිතා ගත නොහැකි විය.එමතුදු නොව ඔහු චිත්‍ර කලාව, නාට්‍ය, ගායනයෙහිද එකසේ සමතෙකු බව ඇසූ ඈ තුල හට ගත්තේ පලමුව විශ්මයෙකි. දෙවනුව ගෞරවයකි. තෙවනුව සොළොසැවිරිදි වියේ පසුවූ ඇයට කිසිසේත්ම වටහාගත් නොහුනු හැඟීමකි.
ගෞරී රාගය වැයුමේදී මාත්‍රා සප්තකයේදී මාඝධී වීණා රාවයට වස් දඬුවක් ද එකතු විය යුතුය.එහෙත් මේ දණ්ඩකාරණ්‍යය මධ්‍යයේ අසපුවක් අබියස ඇගේ වීණා රාවය හා ඒකාත්මිකම වස් දඬුවක් වයන්නේ කවුරුන්ද? සුසුමක් හෙලූ ඇය සප්තක මාත්‍රාවෙන් පසු විණා වැයුම අත් හිටුවා මඳ ඉසුඹුවක් ගත්තේ වස්දඬුව වැයෙන කාල පරාසය ඉකුත්වීයන පරිදිය.
එහෙත් එක වරම ඇගේ සියොළඟ රෝමෝද්ගමනය වූයේ සමහර දිනවල සවස ගුගුරා වැසි වසින කල්හි සිදුවන ලෙසින්ය. ඒහා සමඟම මුව වියලී ගිය හෙයින් ඈ ආයාසයෙන් දිවෙන් දෙතොල් තෙමා ගත්තීය.පසුපස පන්නා එන දරුණු මෘගයෙකුගෙන් ගැලවී ගනු වස් සිව් යොදුනක් දිවගිය කලෙක මෙන් ඈ වේගයෙන් හුස්ම ගත්තාය. හදවත ගැහෙන හඬ ඇයට ඇසුණේ මාළිගයෙහි බොහෝ දිනවල රාත්‍රියෙහි පැවති නැටුම් සංදර්ශනයන්හි වාදනය කරනා ගැඹුරු හඬින් යුත් මද්දලක හඬ මෙනි.
මේ සියල්ලටම හේතු වූයේ ඇගේ වීණා රාවය නිමවන තෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටියාක් මෙන් නැඟී ආ වස් දඬු රාවයකි. පලමුව ඒ නැඟ එන දිශාව තීරණය කල නොහැකිව විපිළිසර වුවද ඉන් අනතුරුව සුළඟේ දිශාව වෙනස් වූ බැවින් ඒ වස්දඬුව වැයෙන්නේ අසපුව අසලින් ගලාබස්නා නිල්වන් දොල පහර අබියස නැඟී සිටි සුවිසල් නුගරුක දෙසින් බැව් ඈ වටහා ගත්තීය.
ගැහෙන හදින් යුතුව, ඉහලට ගත් හුස්ම පහලට හෙලනු නොහැකිව ඇය බලාසිටියේ වස්දඬුවෙහි රාවය මැකීයන තුරුය. ඉන් පසු එළඹෙනුයේ නැවත මාගධී වීණාවෙහි වාරයයි. එහෙත් නැවත වීණාව වයන්නේද යන්න පිළිබඳ ව තීරණයක් ගත නොහුණු ඇය විපිළිසරව බලා සිටියාය. ගැහෙන හදින් යුතුව බලා සිටියාය.
එසඳ ඇය වස් දඬු රාවය නිහඬ වනතුරු ගැහෙන හදින් යුතුව බලා සිටියාය.