කුකුළේගඟ මතක ලියන්ට ඇවිල්ල හරි හමං විදිහට කුකුළෙ ගැන ලියවුනේ ඔන්න පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කොටස්වල විතරයිනෙව. හතර, පහ සහ හය ලිව්වෙ වෙන වෙන බූත. එව්වයෙ හැටි ඉතිං එහෙම තමයි. මක්ක කොරන්ටෙයි ?....නැද්ද?
රායිට්ස්....මුලිම්ම උඩ තියන පෝටොස් එක ගැන. ඕකෙ ඉන්නෙ මායි වැන්දයි අපි එක්ක වැඩ කරපු එක හුද්දෙකුයි. හුද්දා මහතා ඇවිල්ල ස්වීඩන් ජාතිකයෙක්. නම ඔස්බර්ග්. හෙණ දීගජන්තුව. අටේ දහයෙ පොර. පේනවනෙ පින්තූරෙම්ම.
ඔය අපි ඉන්නෙ පොළව යට පවර් ස්ටේෂන් එකට යන්ට තියෙන ප්‍රවේශ මාර්ගය විදිහට පාවිච්චි වෙන මේන් ඇක්සස් ටනල් එක ඉස්සරහ. ඔතනම පොඩ්ඩක් ඉස්සරහින් තමයි අපෙ ඔෆිස් එක තිබ්බෙ.ටනල් එකෙන් එළියට ඇවිල්ල තියනව පේනව නේද කහපාට ලොකු බටයක්?අන්න ඒකෙන් තමයි ටනල් එක ඇතුලට අලුත් වාතය යවන්නෙ පම්ප් කරල. වෙන්ටිලේෂන් ටියුබ් එක කියල ඒකට කියන්නෙ.
ඔය ටියුබ් එකේ අග තියනව මහ විසාල පංකා..නැත්නම් ෆෑන්. එව්ව වැඩ කරනකොට පිටත වාතය ඇදල අරගෙන ටියුබ් එක දිගේ ඇතුළට පම්ප් කරනව. එතකොට ඒ ප්‍රෙෂර් එක හින්ද ඇතුලෙ තියන අපිරිසිදු වාතය ඉබේම ටනල් එක දිගේ තල්ලු වෙලා එළියට එනව. උමං මුහුණතේ ( Tunnel Face ) බ්ලාස්ට් එකක් කලාම පිටවෙන දුම සහ දූවිලි ඇදල එළියට දාන්නෙ ඔය ෆෑන් එක ෆුල් බ්ලාස්ට් රිවර්ස් දාල.
රයිටෝ...පෝටොස් එක ගැන ඒ ඇති..ආහ්. ඔය ෆොටෝ එක ගෙන්න ගන්ට ගිහිල්ල මට වෙච්ච ජංජාලෙ ගැන පොඩ්ඩක් කියලම ඉන්නංකො...හෙහ්,හෙහ්, ගිය සුමානෙ දවසක රෑ අපේ ප්‍රියම්බිකා තොමෝ එක්ක කතා කරද්දි මම කිව්ව මෙහෙම..
" මේ ළමයා..පොඩි වැඩක් කරනවද? "
" මොකද්ද? "
" මගෙ අර කෙළවරේම තියන පොත් රාක්කෙ යටම තට්ටුවෙ කබඩ් එකේ ඇති මගෙ ඇල්බම්. එව්වයිං එකක ඇති කුකුළෙ ඉද්දි මම ගත්තු පෝටොස්. අන්න ඒක හොයල ගන්ටකො.."
" ම්ම්ම්..ඉන්ට පොඩ්ඩක්.." ඈ ගිහිල්ල ඇල්බම් එක හොයාගෙන ආව.
" ආ..මේකෙ තමයි තියෙන්නෙ මම හිතන්නෙ කුකුළෙ ෆොටෝස්. "
" ඕක පෙරළල බලන්ට ටනල් එකක් ඉස්සරහ මම ගත්තු ෆොටෝස් වගයක් ඇති. එව්ව මට පෙන්නන්ටකො. "
" ම්ම්ම්...කුකුළෙ නේද? ඉන්ටකො බලන්ට….." දැං ඔන්න මට පේනව ඈ ඇල්බම් එක පෙරළනව.
" මොකක්ද මේ ෆොටෝ එක? " ඈ එක පාරටම ඔලුව උස්සල ඇහුව..
" ආ..කුකුළෙ ෆොටෝස් හම්බුනාද? "
" කුකුළෙ එකක් නම් නෙවෙයි…...කාටද මේ තමුං ඉන්නෙ තුරුල් වෙලා? කවුද ඒ තේඋඩිච්චි? "
" ඔන්න එකක් හොයාගත්ත..දැං ඕකද මම හොයන්ට කිව්වෙ? "
" කියපු එක හොයන්ට බැරුවය? මොකද ඒක කොහෙවත් යන එකක්ය... නෑනෙ..ඊට කලිං කියල ඉන්ටකො කවුද මේ කියල.."
" කවුද? "
" ඉන්ට මම පෙන්නන්නං …" ඈ ඔන්න ෆොටෝ එකක් උස්සල පෙන්නුව.
ඇත්තටම මට පැහැදිලි නෑ ඒකෙ කවුරු ඉන්නවද කියල.." මට හරියකට පේන්නෙ නෑ අනේ…"
" හුහ්...මොකද පේන්නෙ නැත්තෙ? එව්ව තමයි ඉතිං පේන්නෙ නැත්තෙ…" ඔන්න ඈ තව ටිකක් ෆොටෝ එක ලංකලා..
" කෝ බලමු……" ඒත් හරියකට පේන්නෙ නෑ...ඇත්තටම අපේ ගෙදර කාමරේ ලයිට් එක හරියටම තියෙන්නෙ ඔය කම්පියුටර් එක තියන මේසෙ උඩම වගෙ ඒකෙ එළිය වැටිල රිෆ්ලෙක්ට් උනහම මෙලොව දෙයක් පේන්නෙ නෑ....
" කවුද? ම්ම්ම්..කොණ්ඩෙ කර්ලි වගේ උරහිස ගාවට වගෙ....එහෙම ගර්ල් කෙනෙක්ද ටිකක් කෙට්ටු වගෙ." මම ඇහුව මේකෙ ඉවරයක් තියෙන්න ඕන නිසා.
" ම්ම්ම්..ඒ වගෙ නම් තමයි ….කවුද ඒ? "
" මේ..සබීතා වගෙ නේද පෙනුම? "
" හුහ්..එහෙනං එගෙනං...සබීත වගේම තමයි... සබීතගෙත් මූණ මැද නහයක් තියෙනවනෙ...ඒ හින්ද සබීත වගෙ කියල කිව්වැහැකි.." ඈ කියාගෙන ගියා ටකරං වහළට දාරානිපාත වැස්සක් කඩාපාත් වෙන්නැහෙ...
" හරි හරි කළබල වෙන්ට එපා ඉතිං...ඔය මා එක්ක වැඩ කරපු කවුරුහරි වෙන්ට ඇති. කොහෙද ෆොටෝ එක අරං තියෙන්නෙ? තව කට්ටිය ඉන්නවද? "
" ඔව්...තව හත් අට දෙනෙක් ඉන්නව..කොහෙද වැව් කණ්ඩියක් උඩ.."
" ආ..ඔය අර පරාක්‍රම සමුද්‍රෙ ගත්ත එකක් වෙන්ට ඇති. අනික තව හත් අට දෙනෙක් ඉන්නවනං මම තුරුල් වෙලා ඉඳල ෆොටෝ ගන්නවද? "
" ආ..ඒ කියන්නෙ කට්ටිය නැති තැන්වල එහෙම ඉන්නවයි කියන එකද? "
" ඔය ඉතිං..ඕකනෙ මොකවත් කරන්ට බැරි..කියන එක නෙවෙයිනෙ තේරුං ගන්නෙ..වෙන වෙන කෙහෙල්මල්නෙ කියවන්නෙ.." ඔන්න මගෙත් මූණ රතුවේගන ආව.
" හරි හරි එව්ව ඇරිච්චාවෙ…" මගෙ මූණ රතුවේගන එනකොට එතුමීට තේරෙනව පට ගාල…" හරි කෝකද දැං ඔය ඕනය කිව්ව පින්තූරෙ..ඉන්ට බලන්ට…"
ඔන්න කොහොමහරි අන්තිමට පෝටොස් එකක් තෝරල එතුමියට කියල ස්කෑන් කරවල ගෙන්න ගත්ත. කොහොමහරි ඒ පෝටොස් ගෙන්නිල්ලෙං මයෙ ලේ මහිතේ පිච්චෙන්ට ඇති එක පයින්ටු දෙකකට එහා මිසක මෙහා නම් නෙවෙයි.අන්න එහෙමයි අපි තෙරුණෙයි? ඔහෙලා ඒ කියන්නෙ මයෙ පාටක / පාටවිකාවන් වෙනුවෙන් මහන්සි වෙන්නෙ.. ඔව්ව මතක තියාගන්ටලා... හොඳෙයි?
හරි ඒ පූර්විකාවෙන් පස්සෙ ප්‍රධාන කතාවට ප්‍රවේශ වෙමු....
කුකුළේගඟ මතක - 3 කතාවෙ අන්තිමට මම පලි කෑල්ලක් ලිව්ව මෙහෙම...
පලි - සාතිශය සංවේගයෙන් වුවද මතු සම්බන්ධයි යනුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත. හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ( Safety Precautions කියන එකේ පරිවර්තනය මම මෙහෙම ලිව්වෙ. කළ්‍යාණ මල්ලි, හරි නේද? ) පිළිබඳව ඉදිරි සටහනෙහි ලියමි.
රයිට් එතන පොරොන්දුවෙච්චි එව්වයිං හිනිදුම නොහොත් හින්නගෙ කතාව මම ලිව්ව.එතකොට එහෙමනං තව ලියන්ට තියෙන්නෙ කළ්‍යාණ මලයට පොරොන්දු වෙච්චි සුරක්ෂිතතා උපක්‍රම නොහොත් / හෙවත් / A.K.A. සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගැන විතරයි. රයිට් එහෙමනං ඒ ගැනත් ලියලම ආපහු යමු සරෝජිනී සහ අසෝකා ගැන කතාවට. මතකයි නේද ඒ දැරිවියො දෙන්න?..හෙහ්...මතක නැද්ද මන්ද..හරි ඒ ගැන වදවෙන්ට එපා. එයාල ගැන ආයම කියනකොට මතක් වෙයි..
ඕකේ..දෙන්...කුකුළේ සුරක්ෂිතතා උපක්‍රම ගැන...ඔය සේෆ්ටි කියල සංකල්පයක් මම මුලින්ම ඇහුවෙ කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ වැඩ කරන්ට ගියාට පස්සෙ.ඊට කලින් මම අර මහ කැළේ මැද්දෑවෙ රාජකාරි කොරන කාලෙදිවත් ඉම්පස්සෙ ගොවි ජනපදවල රාජකාරි කොරන කාලෙදිවත් ඔහොම සේෆ්ටි කන්සෙප්ට් එකක් අපි දැනගෙන හිටියෙ නෑ.දැං අර කැළේ මැද ඉන්දැද්දි නම් සේෆ්ටි වැදගත් වුනේ දවල් දවසෙ සයිට් එකේ වැඩ කරද්දිට වඩා බිං කරුවල වැටුනට පස්සෙ. විශේෂයෙන්ම එලිෆස් මැක්සිමස් නොහොත් අපි ඒකාලෙ ආදරෙන් ඇමතූ විදිහට අල්ලිස් උන්නැහේලගෙන් බේරෙන්ට වට අඩි හතර පහක ගහකට දණි පණි ගාල නැඟගන්න එක තමයි ඒ කාලෙ සේෆ්ටි ප්‍රොසීඩියර් එක. අනික් එක රෑ බෝ උනාට පස්සෙ එකෙක් මලාය කිව්වත් කෑලි පහේ බැස්ටිය අතේ නැතුව එළියට නොබහින එක. ඒ පොළොං, මාපිල් සහ නාගයින් හින්ද.
කුකුළෙගඟ ආවට පස්සෙ තමයි ඔය සේෆ්ටි ෂූස්, හෙල්මට්, ඕවර් ඕල්, හානස්, ගොගල්ස්, බූට්ස්, ලුමිනස් වෙස්ට් ..ඔය රටේ නැති සුරක්ෂිතතා ආම්පන්න ඇහැට දැක්කෙ.
හරි දැං කුකුළෙ සුරක්ෂිතතා උපක්‍රම ගැන කතා කරමු. ඒ සම්බන්ධව විස්තරයක් කළොත් මෙහෙමයි. පළවෙනි එක...උමඟ ඇතුලෙ වාතයේ පිරිසිදු කම සහතික කිරීම. මේ වැඩේ බොහොම වැදගත් මොකද ඔය පොළව යට හාරගෙන හාරගෙන යද්දි හිටපු ගමං ඔන්න අහුවෙනව විෂ වායු තියෙන හරියක් . ඒ ගැන නොදැන ගියොත් එහෙම ගිය ඔක්කොම ඉවරයි.
එංගලන්තෙ අමරිකාවෙ එහෙම ගල් අඟුරු පතල්වල ඔය හිටපු ගමං විස වායු හම්බවෙන ප්‍රශ්ණෙට මූණ දීල තියෙන්නෙ මෙහෙමයි. උමඟ හාරගෙන මුලින්ම යන කට්ටිය කූඩුවක දාපු කැනරි කුරුල්ලෙක් අරගෙන යනවලු.කැනරි කුරුල්ලා කියන්නෙ බොහොම ලස්සනට සිංදු කියන පුංචි කුරුල්ලෙක්. උතුරු අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලන්තික් සාගරයෙ පිහිටල තියන කැනරි දූපත් තමයි මේ කුරුල්ලගෙ නිජබිම කියල කියන්නෙ.
ලස්සනට සිංදු කියනවට අමතරව ඔය කැනරි කුරුල්ලංගෙ තවත් විශේෂත්වයක් තමයි විස වායූන්ට ඉතාම සංවේදී වීම. මිනිස්සුන්ට විස වායුවක් දැනෙන්ට කලින් කැනරි කුරුල්ලට ඒක දැනෙනව. එතකොට ඌ හුස්ම හිරවෙලා දඟලනව. ඒක තමයි උමඟෙ වැඩ කරන මිනිස්සුන්ට අනතුරු ඇඟවීම වහාම ඉවත්වෙනු කියල.
ලංකාවෙ කොහෙද කැනරි කුරුල්ලො හොයන්ට ඉන්නෙ..ඒ නිසා කුකුළෙ ඒ වෙනුවට යොදාගත්තෙ අවිච්චියො..අවිච්චියො දන්නව නේද? අර අවිච්චියං ආයිත් කියායායාං කියල කෑගහන්නෙ..අන්න ඒ කුරුල්ල තමයි අවිච්චියා. කුකුළෙ ටනල් වල වැඩ කරන අය හැමෝම උඩ සාක්කුවෙ අවිච්චියෙක් දාගෙන තමයි ටනල් එක ඇතුලට ගියෙ. ඌට කන්ට බජිරි අහුරකුයි බොන්ට වතුර පොඩි බෝතලේකට දාගෙන ඕවර් ඕල් එකේ යට සාක්කුවෙ.
විඩිං විඩේ ඩ්‍රිල් කිරිලි, ANFO චාජ් කිරිලි, ( ANFO තමයි බ්ලාස්ටිං මෙටීරියල් එක විදිහට පාවිච්චි කලේ Ammonium Nitrate + Fuel Oil ) ඔක්කොම නවත්තල කට්ටිය උඩ සාක්කුව ඇරල බලනව අවිච්චිය සනීපෙං ඉන්නවද කියල. බැරිවෙලාවත් ඌ සෙට්ට පෝච්චි නං වහාම ඔක්කොමල එළියට දුවනව " අවිච්චිය මලෝ .පණ බේරාගෙන දුවපියෝ " කියල යටිගිරියෙං කෑගගහ. එහෙම හයියෙං කෑගහන්ට පුලුවං එවුං එකා ගානෙ හිටිය හැම ටීම් එකටම. අපෙ අත්තම්ම කියනව වගෙ ගිය ආත්මෙ ගන්ටාර පූජා කරපු එවුං. උංට කිව්වෙ මරහඬ තියන්නා කියල. ඔය මරහඬ තියන්නො බඳව ගත්තෙ ඩෙසිබල් කීයකිං කෑගහන්ට පුලුවන්ද කියල ටෙස්ට් එකක් එහෙම තියල. ඔය කටහඬ සක්තිමත් වෙන්ට වෙනිවැල් හොඳයි කියනවනෙ. කොම්පැණිය ගානෙ එවුංට දුන්න සතියකට වෙනිවැල් කිලෝ තුන ගානෙ තම්බං බොන්ට. අන්න දැක්කද එහෙමයි සුරක්ෂිතතා පූර්ව උපක්‍රම අනුගමනය කලේ අපි.... තේරුණාද?
අනික ඒ දවස්වල ඔය බදුරලිය, ලත්පඳුර පැත්තෙ නැඟලම ගිය බිස්නස් එක තමයි අවිච්චියො අල්ලන එක. අර කියැංනෑම් කොරියන් කොම්පැණිය වැඩකරපු පළාත්වල කොල්ලො කුරුට්ටො ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල කෑවයිං නොකෑවයිං නයි පොළොංගු පස්සෙ එලවන්ට තියාගත්ත වගෙ...හෙහ්,හෙහ්, අවිච්චියෙකුට ගෙව්වය කියනව මයෙ හිතේ රුපියල් දෙසීයක්ද කොහෙද...අපේ ඔය ලොක්ක එහෙමත් මම හිතන්නෙ නොවැරදීම පාට් ටයිම් අවිච්චියො අල්ලන්ට ඇති ඒ කාලෙ....ආය අහන්ට දෙයක් නෑ.උන්දැ කොහොමටත් කුරුල්ලො ගැන උනන්දු මනුස්සය වෙච්චි.
රයිට් විසවායූන් ගැන් ප්‍රිකෝසන්ස් එහෙමයි කියමුකො. ඊට පස්සෙ අංක දෙක. දැං ටනල් එක ඇතුලෙ හිල් විදල පුපුරන ද්‍රව්‍ය පුරවල චාජ් කරල අහවරයි කියමුකො. ඔව්ව ඔහොම නිකම්ම තිබ්බට ගල පුපුරනවය? නෑ නෙව. එව්වගෙ සේව නූලට ගිණි තියන්ට එපාය. නූල හුඟක් දිගට තියන්ටත් බෑ. මඟදි නිමුනොත් කාරිය. ඒ හින්ද සේවනූලෙ උපරිම දිග සාමාන්‍යයෙං අඩි විස්සක් තිහක් වගෙ තමයි. ඉතිං ඕකට ගිණි තියාල හොඳට ඇවිලීගෙන යනවද කියල ටිකක් වෙලා බලා ඉඳල පණ එපයි කියල දුවගෙන එන්ට ඕන.
ඉතිං ඔය ගිණි තබන්නා නොහොත් ෆයර්මන් තතතුරට ගත්තෙ දක්ස ධාවකයො. දෙසීය, හාරසීය සහ අටසීය අඩුගානෙ දිස්ත්‍රික් මීට් එහෙකදි තර්ඩ් ප්ලේස් වත් ගත්ත එවුං තමයි ඔය තනතුරට බඳව ගත්තෙ. අනික කෝකටත් කියල එවුංගෙ පිටට තියල හොඳ ගනකම කොට්ටෙකුත් බැඳල තිබ්බ බැරිවෙලාවත් කරුමෙටවත් බ්ලාස්ට් වෙලා විසිවෙලා ආපු ගල් කෑල්ලක්වත් කොන්ද හරහට වදියිවත් කියල. මතකද අපේ මැදිදුර ධාවන ශූරයෙක් හිටිය ඒ කාලෙ සුගත් තිලකරත්න කියල. අන්න එයා තමයි ඔය ගිනි තබන්නන්ට වැඩිදුර පුහුණුව දුන්නෙ.
ඊගාවට හෙල්මට්, ආරක්ෂිත සපත්තු සහ බූට්ස් වල තත්වය නොහොත් කොලිටි එක සහතික කිරීම. හෙල්මට් චෙක් කලේ මෙහෙමයි. ටනල් එක ඇතුලෙ හෙල්මට් දැමීම අනිවාර්යයි. එහෙම නීතියක් තියෙන්නෙ බ්ලාස්ට් එකේදි බුරුල් වෙලා තියෙන ගලක් දබෝං ගාල ඔලුවට වැටෙන්ට පුලුවන් අවදානම නිසා. එහෙම බුරුල් වෙලා තියන තැන් වලට අපි රොක් බෝල්ට් ගහල ආරක්ෂා සහිත කරනව. ඒත් කියන්ට බෑනෙ. බෙටර් සේෆ් දෑන් සොරි කියල ඉංග්‍රීසි Idiom එකකුත් තියෙන නිසා හෙල්මට් සහ බූට්ස් වල තත්ව පරීක්ෂාව අනිවාර්යයෙන්ම කලා.
හෙල්මට් වල කොලිටි එක බැලුවෙ ඔන්න ටනල් එකේ වහලට තියන උසට හරියටම සමාන අට්ටාලයක් වගෙ එකක් ගහනව යකඩ බට වලින්. ඊට පස්සෙ වැටෙයි කියල හිතන්ට පුලුවන් ලොකුම සයිස් එකේ ගලක් සාමාන්‍යයෙන් කිලෝ දහයක වගෙ එකක් අරගෙන එක්කෙනෙක් අර අට්ටාලෙ උඩට නැඟල බිම හෙල්මට් එකක් තියල ඒක උඩට අත අරිනව. එහෙම ගල වැටුනම නිරුපද්‍රිතව තියෙන හෙල්මට් විතරයි පාවිච්චියට ගන්නෙ..හෙහ්, ආය වෙනම කියන්ටත් දෙයක්ය නේද? ගල පත බෑවිල හෙල්මට් එක කුඩු සංසාර උනොත් ආය ඒක පාවිච්චිත් කළෑක? නේද?
ඔහොම කොලිටි ටෙස්ටිං කාලයක් කරගෙන ගියා අවුලක් නැතුව. ඊගාවට අපේ සේෆ්ටි ඔෆිසර් ඉන්නවනෙ. මිනිහට අපි කිව්වෙ සේෆ්ටියා කියල. ඔන්න කොම්පැණිය ගානෙ සේෆ්ටියා ඇරිය ඉන්දියාවෙ මාසෙක පුහුණුවකට. පුහුණුවට ගිහිල්ල ආපු ගමං මෙන්න සේෆ්ටියා කියපි අර කලින් ඉඳං අපි හෙල්මට් ටෙස්ට් කරපු විදිහ හරියන්නෙ නැතය ඒ ගල් පත බෑවිල්ල කරන්ට ඕන හෙල්මට් එක ඔලුවෙ දාගෙන ඉද්දිමය කියල. මනුස්සය ඒ නියෝගයට හේතු සාධක වශයෙන් කිව්වෙ හෙල්මට් එක හදල තියන මෙටීරියල් එකයි හිස් කබලයි අතර ඝර්ෂන සංගුණකයෙ අනුලෝමය එක යට එක්ස් කියල දාල, එක්ස් උක්ත කරල සමීකරණය විසඳපුවාම ලැබෙන අගය 1 ට වඩා අඩුනම්, ගලක් වැටුනම හෙල්මට් එකට කිසිම අනතුරක් නොවී හිස් කබල පුපුරන්න පුලුවන්ය කියල.
ඉතිං මොනව කරන්නද? ඊට පස්සෙ එහෙමයි වැඩ සිද්ද වුනේ..හැබැයි මොන එකක්ද මන්දා ඔය අලුත් හෙල්මට් ටෙස්ටිං මෙතඩ් එක ක්‍රියාත්මක කරන්ට ගත්තයිං පස්සෙ කොහොමත් මාසෙකට හත් අට දෙනෙක් අපේ ටනල් වල වැඩකරපු කාණ්ඩෙ රස්සාවල් දාල යන්ට පටං ගත්ත. පංගුවක් එහෙම රස්සාව දාල ගියා. ඊට වඩා දෙගුණයක් වගෙ කට්ටිය ඉස්පිරිතාලෙ ගියා. එහෙම ඉස්පිරිතාලෙ ගිය කට්ටියත් ආපහු වැඩට ආවෙ නෑ.
කට්ටිය සීග්‍රයෙන් අතුරුදහන් වෙන එක ගැන අපේ සේෆ්ටියා මා එක්ක කිව්වෙ මෙහෙමයි, මම ඇහුව වෙලාවෙ.....
" සේෆ්ටි මහත්තයෝ හරි වැඩක්නෙ මේක. අපේ කට්ටියෙං බාගයක් ඉස්පිරිතාලෙ බාගයක් ජොබ් එක දාල ගිහිල්ල..අනේ මංදන්නෙ නෑ..ඔය මහත්තයගෙ මේ සේෆ්ටි වැඩ පිළිවෙළ නං මට තේරෙන්නෙ නෑ."
" අන්න ඕකනෙ කියන්නෙ..රවීලට මෙව්ව තේරෙන්නෙ නෑනෙ.දැං බලන්න ඔය ඉස්පිරිතාලෙ ගිය අය. එයාල ඔක්කොගෙම ඉස් කබලෙ ඝර්ෂණ සංගුණකය අර මම කියාපු විදිහට විසඳපුවම එකට අඩුයි අනිවාර්යයෙන්ම. මේක බොහොම භයානක තත්වයක්. අඩුගානෙ මේ ඉස්පිරිතාලෙ ඉන්න උදවිය තමංගෙ හිස් කබලෙ ඝර්ෂණ සංගුණකය හරි දැනගත්ත එක ලොකු දෙයක් නෙවෙයිද?ඒ කවුරු හින්දද? ඒ කවුරු හින්දද? මම හින්ද... ඇත්තටම මට පිං සිද්ද වෙන්ට. "
පලාගෙන පලාගෙන යනකොට යේකත් ඇත්ත තමා.
ඊගාවට අංක හතර..ටනල් එක ඇතුලෙ බ්ලාස්ට් කලාම වෙඩි බෙහෙත් පැතිරෙනව හැම තැනම. ටනල් එකෙන් උනන වතුර එළියට පොම්ප කරන කොට ඒ වතුර එන්නෙ අර වෙඩි බෙහෙත් මිශ්‍ර වෙලා. ඔතන අපේ ඔෆිස් එක පල්ලෙහායිම්ම තමයි ගලාගෙන යන්නෙ කුකුළේ ගඟ. ඉතිං මේ වතුර කෙලින්ම කුකුළේගඟේ වතුරට එකතුවෙන්න දෙන්න බෑනෙ. ඒ නිසා ඔය අපේ ඔෆිස් එක පිටිපස්සෙ හදල තිබ්බ පොළව හාරල සද්දන්ත සෙඩිමන්ටේෂන් පොන්ඩ් හතරක්. සිංහලෙන් කියන්නෙ අවසාදන පොකුණු කියල.
ටනල් එකෙන් එලියට එන අපිරිසිදු ජලය ඔය පොන්ඩ්ස් වල පිරිල දවස් ගාණක් තිබ්බම එව්වයෙ දියවෙලා තියන අර විෂ ද්‍රව්‍ය පොකුණෙ පතුලට කිඳා බහිනව, තැන්පත් වෙනව. ඊට පස්සෙ උඩ තියන පිරිසිදු ජලය පානයට එහෙම සුදුසුද කියල පරීක්ෂා කරල බලලා ටෙස්ට් එක පාස් වුනොත් කුකුළේ ගඟට වතුර යවනව.
ඔය වතුර පරීක්ෂාකරන වැඩේට සතියකට සැරයක් විතර ආවෙ සේෆ්ටියගෙ ගෝලයො. බහුතරයක් ඔය ගෝලයො හිටියෙ මේ සුට්ටි කෙල්ලො. මම හිතන්නෙ ඔය ඒ ලෙවල් කරල යුනිවකුටි යන්ට ඉන්න එවුං හරි කෙමිස්ට්‍රි වගෙ මොනවහරි විෂයයක් කැම්පස් වල ඉගෙන ගන්න එවුං වෙන්න ඕන.
ඔය ගෝලයො වතුර ටෙස්ට් කරන වැඩේ කලේ මෙහෙමයි. ඔන්න බීකරෙකට වතුර අරගෙන එව්වගෙ භෞතික ලක්ෂණ ලියාගන්නව. වර්ණය, ගන්ධය, පාරදෘශ්‍යභාවය අනම්මනම් ඔක්කොම. ඊට පස්සෙ ඒක සීල් කරල ලැබ් එකට අරං යනව. අපේ තිබ්බ State Of The Art ලැබ් එකක් . සියළු අංගෝපාංගයන්ගෙන් සපිරි. ලැබ් එකේ අර බීකරේ තියනව පැයක් හරියටම. ඊට පස්සෙ සේෆ්ටියගෙ අර ගෝලයො ඉන්නවනෙ කෙල්ලො. එවුංගෙං එකෙක් අර බීකරේ එහෙම පිටිම්ම බීල දානව. ඒ කෙල්ල පහුවදා නිරුපද්‍රිතව සේවයට රපෝර්තු කලොත් අන්න පොන්ඩ් එකේ වතුර Suitable to be released to nature. That means Kukule Ganga. ඉතිං වතුර ටික රිලීස් කරනව. කොහොමත් ඔය වතුර බීපු කෙල්ලංගෙං එවරේජ් 80% වගෙ ආපහු වැඩට ආවෙ නෑ කියල තමා මට ආරංචි වුනේ...හෙහ්,හෙහ්,
ඉතිං ඔය කෙල්ලො ඇවිල්ල පල්ලෙහා සෙඩිමන්ටේෂන් පොන්ඩ්ස් දිහා යනව දකිනකොට වැන්දා ඔන්න කෑගහන්ට ගන්නව. ( වැන්දා මතකයි නේද? අපේ ටයිම් කීපර්..වැන්දා ද ස්ටෝරි ටෙලර් )
" බොස් බොස්.ඒයි බොස් මෙහෙ එන්ටකො මේ ජනේලෙ ගාවට අන්න සේෆ්ටි මහත්තයගෙ අලුත් ගෝලයො යනව පොන්ඩ් ගාවට සාම්පල් ගන්ට. "
" ඉතිං ඔන්න ඔහෙ ගියදෙං බං මං මෙතන මේ වැඩක්. …" මම ඒ වෙලාවෙ උන්නෙ කලින් දවසෙ බ්ලාස්ටිං රිපෝට් එක ඩේටා බේස් එකට එන්ටර් කරමින්…
" ඒ වුනාට බොස්ට ආය මෙගෙම ආතල් එකක් දකින්ට වෙන්නෙ නෑ. මෙයත් අනිවාර්යයෙන් අද විතරයි වැඩට එන්නෙ. ෂෙහ්..කියල වැඩක් නෑ. හරියට මනීෂා වගේ. "
" එහ්..එහෙමද? හිටහං ඔහොම මාත් එනකල්.." වැඩේ පැත්තක දාල මම දනිපනිගාල නැඟිට්ට.
*********************
*********************
කළ්‍යාණ මිත්‍ර..ඔන්න බං මම පොරොන්දුව ඉෂ්ඨ කලා. කුකුළේ සේෆ්ටි ගැන ලියනව කිව්ව..ඒ වගේම ලිව්ව..අපි එහෙමයි හරිය?