Thursday, June 30, 2016

425. අභයගිරි මතක සටහන් - 2 නියුක්ලියර් යුද්දෙකට පස්සෙ ඉතුරුවෙන එතුමා, අරක්කු පෝළිමේදී හමුවූ මාමා සහ ජෝර්දාන් අයියාගේ රෙස්ටුරන්ට් එක.


අනුරාධපුර නුවර වැව
 පසුබිමින් දිස්වනුයේ මිහින්තලා  ස්ථූපයයි.

කෝඉන්සිඩන්ස් (Coincidence) කියල ඉංගිරිස් වචනයක් තියනව. ඒ කියන්නෙ කෝ? මෙතන මොකක්ද සිද්ද වෙච්ච ඉන්සිඩන්ට් (Incident) එක? කියල අහනව එහෙම නෙවෙයි හොඳද? සිංහලෙන් සිද්ධි සමපතනය කියල කිව්වැහැකි. එහෙම කෝඉන්සිඩන්ස් එකක් වුනා ඊයෙ මට. 

ගිය සතියෙ වගෙ අලුතින් මුණ ගැහුනු මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් එක්ක කතා බහක් සිද්ද වුනේ මෙහෙම.

"ඔයා එතකොට ලංකාවෙ කොහෙද?" මම ඇහුව.

"මගෙ පදිංචිය පානදුර. ඒත් මම ගොඩක් කාලයක් හිටියෙ අනුරාධපුරේ.."

"ආ එහෙමද? මමත් කාලයක් අනුරාධපුරේ හිටිය..හැබැයි ඒ අවුරුදු තිහකට වගෙ ඉස්සර"

"අනුරාධපුරේ කොහෙද හිටියෙ?" 

"ටවුන් එකේමයි..අර වතුර ටැංකිය කිට්ටුව.."

"ආ ඒ හරියෙ වික්‍රමපාල අයිය එහෙම දන්නවද?"

"අඩේ ඔව්නෙ..මම හොඳටම දන්නව..අපි ඒ කාලෙ එයාට කිව්වෙ ජෝර්දාන් අයිය කියල. මිනිහ ඒ කාලෙ ජෝර්දාන්වල සෑහෙන කාලයක් රස්සාව කලා. ඒකයි එහෙම කිව්වෙ."

"මම නම් දන්නෙ වික්‍රමපාල අයිය කියල විතරයි. ඒත් ඔය ජෝර්දාන්වල හිටපු කතාවත් මම දන්නව. ඒත් මම දන්න කාලෙ මිනිහ හිටියෙ අබුඩාබිද කොහෙද..අපෙ තාත්ත මිනිහ එක්ක එකතුවෙලා රෙදි කඩයක් කලා අලුත් බස් ස්ටෑන්ඩ් එකේ…"

"ඔය කොයි කාලෙ වගේද?"

"අනූවෙ.... අනූ එකේ  වගේ"

"හරි හරි ඒ වෙනකොට මම අනුරාධපුරෙං ඇවිල්ල. ඉතිං මොකෝ බිස්නස් එකට වුනේ?"

"ඒක හරිගියෙ නෑ. අවුරුදු දෙකක් වගෙ කරල වහල දැම්ම" 

"ඔව්..ඔව්..ඔය ජෝර්දාන් අයියට ඒ කාලෙ ඉඳලම තිබ්බ බිස්නස් උණක්. අවුරුදු දෙකක් වගෙ රට ඉඳල ඇවිල්ල ඉතුරු කරගත්තු සල්ලි වලින් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නව එක්කො තනියම. නැත්තං තවත් කවුරු හරි යාලුවෙක් හවුල් කරගෙන. වැඩි කාලයක් යන්ට ඉස්සර ඒක බංකොලොත් වෙනව. ඊට පස්සෙ ආයම රට යනව..සල්ලි කීයක් හරි හොයාගෙන එනව. ආයෙත් බිස්නස් එකකට අත ගහනව. ඔය විදිහට තමයි දිගටම වැඩේ සිද්ද වුනේ මම ඔය මනුස්සයව දන්න දවසෙ ඉඳල"

ඉතිං ඒ වෙලාවෙ මට හිතුන අඩේ ජෝර්දාන් අයිය ගැන ලිව්වැහැකි නෙව අපූරු සටහනක් කියල. අභයගිරියට කෙලින්ම සම්බන්ධයක් නැති වුනත් මම අභයගිරියෙ ඉන්නෙ කාලෙදි සිද්ද වෙච්චි කරුණු කාරණා හින්ද කිසි අවුලක් නැතුව අභයගිරි මතක සටහන් - 2 කියල නම් කරන්ටත් පුලුවනිනෙ.එහෙම හිතල කතන්දරේ ලියන්ට පටන්ගත්ත කියල කියමුකො. 

මෙන්න ඊයෙ උදේ මම දැක්ක අපේ පොරසන්නය (කොමෙන්ට් කරුවංගේ සංගොමේ ගරු සබාපතිතුමා) කියල තිබ්බ මෙහෙම. /අර අභයගිරි මතක සටහන් කියල පටංගත්ත එකේ එක කොටහයි ලියල තියෙන්නෙ. ඒකෙ තව තියෙනවනං වහාම ලියන එකයි තියෙන්නෙ./ හෙහ්,හෙහ්, මම අර පටං ගන්නකොටම කෝඉන්සිඩන්ස් එකක් නැත්තං සිද්ධි සමපතනයක් ගැන කිව්වෙ ඔන්න ඕක ගැන..තේරුණාය?

ඉතිං ඔන්න ඔය සියලුම කාරණා කටයුතු සලකා බලල මම තීරණය කලා අභයගිරි මතක සටහන් - 2 ලියල දාන්ට ඕමනාය කියල. ඕමනයි කියල කියන්නෙ කවුද දන්නවනෙ නේද? ජේ. ආර්. තුමා..ආ...ජේ. ආර්. කිව්වම තව කතාවක් මතක් වුනා. 

මේ දවස්වල ග්‍රීෂ්ම කාලෙ හින්ද කබඩ් යට කාපට් යට හැම තැනම ඉන්නව පොඩි කැරපොත්තො වගෙ සත්තු ජාතියක්. කැරපොත්තො කිව්වට කැරපොත්තන්ට වැඩිය උං සමාන වෙන්නෙ දැළියන්ට. දැළියො දන්නව නේද? අපි සුට්ටි කාලෙ නං දැළියො අනන්තවත් හිටිය. විසේසයෙන්ම කුස්සිවල දුම්මැස්සෙ.අර කලුපාට පොඩි සත්තු. 

හරි දැං ආපහු එමු කැරපොත්තා සහ ජේ.ආර්. ගෙ කතාවට. ඔය කැරපොත්තා කියන සතා බොහොම අනාදිමත් කාලෙක ඉඳල මේ ලෝකෙ ජිවත්වෙන සතෙක්ය කියනවනෙ. කොටිම්ම ටිරනෝසෝරස් රෙක්ස්ලගෙ බිත්තර කටු හිටං ලෑටි ගාපු පොරක් තමයි ඔය කැරපොත්තා කියන සත්වයා. කැරපියාගෙ (දකුණෙ කට්ටිය කියන්නෙ කැරපොත්ත නෙවෙයි කැරපියා. කැරපියානන්ද කියලත් පෙලක් කියනවලු) සර්වයිවබිලිටි එක නැත්නම් නොනැසී පැවතීමේ හැකියාව කොච්චර ද කියනව නං න්‍යාෂ්ඨික අවි යොදාගන්නා මහා පරිමාණ යුද්ධයකින් පස්සෙ මේ මහ පොළව මතුපිට නොනැසී ඉතිරි වෙන්නෙ කැරපියාලා විතරක් වෙන්ට පුලුවන් කියල ඔය කවුද කියලත් තියනව.

ඉතිං ජේ.ආර්.ට හිටියනෙ මුණුබුරාල තුන් දෙනෙක්. එක මුණුබුරෙකුට මම හිතන්නෙ මේ ඊයෙ පෙරේද තානාපති පත්වීමකුත් හම්බවුනාද කොහෙද. ඉතිං ඔය මුණුබුරෙක්ට ඉස්කෝලෙදි කියල දීල තියනව ඔය කතාව. කතාව කිව්වෙ කැරපොත්තා න්‍යාෂ්ඨික යුද්ධයකින් පස්සෙ නොනැසී ඉතිරිවෙන කතාව. 

මුණුබුරා මොකද කරන්නෙ හවස ගෙදර ඇවිල්ල සීයා එක්ක ඔය විස්තරේ කිව්ව. "සීයෙ..සීයෙ..සීය දන්නවද පරමාණු යුද්දෙකිං සත්තු මිනිස්සු ඔක්කොම විනාස වෙලා ගියත් අන්තිමට කැරපොත්තා විතරක් ඉතුරුවෙනව." ජේ.ආරුත් "හා එහෙමද? ඒකත් හොඳයි දැනගත්තු එක" කියල ඔලු ගෙඩිය එහෙම දෙතුන් පාරක් හොල්ලල ඔය කතාව හිතේ තියාගත්ත. 

පහුවදා ලොක්කට කතාවක් පවත්තන්ට තිබ්බ කොහෙ හරි ඉස්කෝලෙක තෑගි බෙදාදීමේ උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට. මට මතක විදිහට මියුසියස් එකේද කොහෙද. කොහොම හරි බාලිකා පාසලක.."බාලිකාවියන්..තක්සලා දොරින්..ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්...යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් ඉඳන් සෙයිලමේ ඉඳන්... " 

ඒ එක්කම මට මතක්වෙන තවත් ගීතයක් තමයි "අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා, කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා, තබා හිමි දෙවුර එසඳේ පුරවර සිරි බලනා, විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද හිතුනා.."

බාලිකාවියන් ගීතයේ ගායකයා ජානක වික්‍රමසිංහ, මනුස්සය ප්‍රසිද්ධ වෙන්ට ඉස්සරවෙලා මම අර මහ කැලේ මැද වැඩ කරන කාලෙ කොන්තරාත් කලා. ඒ කාලෙ අපි හරි ආසයි ජානකගෙ සිංදු අහන්ට. ජානක වික්‍රමසිංහගෙ ගම පොළොන්නරුවෙ. ජානකට ඉස්සෙල්ල පොළොන්නරුවෙන් ප්‍රසිද්ධ වුනු ගායකයා කුමාරසිරි පතිරණ ..."සිතින් පතා ඉන්නම්, කුළුඳුල් පෙම් පැතුමන්, ඉතින් සිනා සෙන්නම් ඔබගෙ රූ මවමින්" ඒ කුමාරසිරි පතිරණගෙ ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනු ගීයක්. දෙකක් දාගත්තද අපිට ඉතිං "සිතින් පතා ඉන්නම්" තමයි..හෙහ්,හෙහ්, 

හරි කුමාරසිරි පතිරණ සහ ජානක වික්‍රමසිංහ ගැන ආයම දවසක ලියන්නං..ඔය බලන්ටලාකො..කතන්දරයක් එක විදිහකට දිගටම කියාගෙන යන එක කොච්චර අමාරුද නේද? අතුරු කතා කීයක් නම් කියල හිතට එනවද..නේ? හරි ආපහු ජේ.ආර්.ගෙ කතාවට යමුකො එහෙනං කලින් දවසෙ අර මුණුබුරාගෙන් අහගත්තු විස්තරෙත් ජේ.ආර්. ලොක්ක ඒ කතාවෙදි කිව්ව. ඒ කිව්වෙ මෙන්න මෙහෙම.. 

"මේ පොඩි ළමයි බොහොම හොඳට ඉගෙන ගන්ට ඕන. පොඩි අය තමයි කවදක හරි මේ ලෝකෙ ඉතුරුවෙන්නෙ. ඔය අය දන්නවද නියුක්ලියර් යුද්දයක් මේ ලෝකෙ ඇතිවුනොත් එහෙම මනුස්සයො සත්තු ඔක්කොමලා විනාස වෙලා යනව. ඒත් කැරපොත්තා විතරක් ඉතුරු වෙනව. ඔව් නියුක්ලියර් යුද්දෙකින් පස්සෙ ඉතුරු වෙන්නෙ එතුමා විතරයි" 

බාලිකාවියන් ඉතිං අතිං කටවල් වහගෙන හිකි හිකි ගාල හිනා වුනාලු. මෙතන උනේ ජේ.ආර්. ජීවිත කාලයක් තිස්සෙ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු රාජකාරි කරපු මනුස්සයෙක්නෙ. ඉතිං සිංහල වචනවල හරියටම තේරුම් ඒ වගේම ඒ වචන යෙදෙන නොයෙදෙන තැන් ගැන නිරවුල් අවබෝධයක් නෑ. එතුමා හිතන්ට ඇති ඌ, ඒකා, ඒ සතා, එතුමා කියන සිංහල වචන ඔක්කොගෙම තේරුම එකයි කියල....හෙහ්...හෙහ්...

හරි ජේ.ආර්. සහ කැරපොත්තා ගැන ඒ අතුරු කතාව මෙතකින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි. ආපසු ප්‍රධාන කථාවට යමුකො එහෙනං...

ඉතිං ඔන්න ඔය සියලුම කාරණා කටයුතු සලකා බලල මම තීරණය කලා අභයගිරි මතක සටහන් - 2 ලියල දාන්ට ඕමනාය කියල.

ජෝර්දාන් අයිය කියන්නෙ අනුරාදපුරේ හිටපු කාලෙ අපෙ යාලුවෙක්. ඒ වෙනකොටත් ජෝර්දාන්ගෙ වයස අවුරුදු තිස්පහක් වගෙ ඇති. මම අර කලින් කිව්ව වගෙ ජෝර්දාන් අයිය, ජෝර්දාන් අයිය කිව්වට මිනිහගෙ නම ඇවිල්ල වික්‍රමපාල. ඒ ඔය මිනිස්සු ගෑණු මැදපෙරදිග රස්සාවල්වලට යන්ට පටන්ගත්තු කාලෙ වගෙ. ඒ ගිහිල්ල ආපහු එන සමහර කාන්තාවො ඔය ඔලුවෙ ඉඳං දෙපතුල ගාවටම වැහෙන කබායවල් වගෙ ඇඳුං ඇඳගෙන මහ උජාරුවෙං පාරෙ ගියා.ඩුබායි යන්ට (මැදපෙරදිග කොහෙට ගියත් ඒ කාලෙ කිව්වෙ ඩුබායි යනව කියල. සාජා, අබුඩාබි, කටාර්, ඔමාන්, බහරේන් වගෙ වෙන වෙනම නම් කියන්ට මිනිස්සු දැනගෙන හිටියෙ නෑ.) බැරිවෙච්චි ගෑණු එහෙම අය දිහා ඉරිසියාවෙන් පුපුරන දෑසින් බලාගෙන හිටිය.

ඩුබායි ගිය අය එහෙං ගෙනාපු ඩුබායි රෝස තමංගෙ මිදුල් වල පාත්ති හදල වැව්ව. ඩුබායි නොගිය අය එව්වයිං දඬු කෑල්ලක් දෙකක් තමන්ටත් ඉල්ලගෙන හිටවගත්ත. අනුරාදපුරේ කච්චේරිය ගාව වටරවුමත්, උසාවිය ගාව වට රවුමත් මුලුවසං වහගෙන රතු, රෝස, කහ සහ සුදු ඩුබායි රෝස මල් පිපුන. අපි යමිං එමිං ගමන බයිසිකල් ඒ අයිනෙ නවත්තල ඒ දිහා බලාගෙන හිටිය. 

ජෝර්දාන් අයියට ඒ නම වැටුනෙ කාලයක් ජෝර්දානයෙ රස්සාව කල හින්ද. මිනිහ කලේ මොකක් හරි මේ එකවුන්ටන්සි සම්බන්ධ රස්සාවක් කියල මට මතකයි. කොහොම හරි අසූහතරෙ අවුරුද්දෙ මැද වගෙ ජෝර්දාන් අයිය ලංකාවට ආව. 

ඒ වෙනකොට මම අභයගිරියෙ වැඩ. අනුරාධපුරේ හිටියෙ මම විතරයි. අප්පච්චි රජයේ සේවයෙන් පෙන්ෂන් ගත්තට පස්සෙ පවුලෙ අනික් අය ගියා පිළිමතලාවෙ අපි කාලෙකට ඉස්සර ගත්තු ගෙදරට. මම අනුරාධපුරේම නැවතුනා රස්සාව හින්ද. මට ඒ කාලෙ ස්ථිර නවාතැනක් තිබුනෙ නෑ .අභයගිරියෙ මගෙ යාලුව සේනකගෙ කාමරෙත් නැවතුනා. ඒ එක්කම මාත් එක්ක ටෙක් එකට ගිය තව යාලුවෙක් අනුරාධපුරේ හිරගෙදර හිටිය. හිරගෙදර හිටිය කිව්වෙ ඌ ගෙවල් බිඳල අහුවෙලා කූඩු කරල එහෙම නෙවෙයි. ...හෙහ්...හෙහ්...ඌ රස්සාව කලේ හිරගෙදර. උගෙ ක්වාටර්ස් එකෙත් මම නැවතුනා හිතුනහම.ඊට අමතරව ගොඩගේ මාවතෙත් හිටිය තව යාලුවෙක්. එහෙත් නතර උනා. 

අපිත් එක්ක අපේ ගෙදරම හිටිය මම දන්න කාලෙ ඉඳලම අම්මගෙ අම්මයි, (මගෙ අත්තම්ම) තව අම්මගෙ කසාද නොබැඳපු අයිය කෙනෙකුයි.ඔය මාම රස්සාව කලේ අනුරාදපුරේ සිගරට් ඒජන්සියෙ. ඒකෙ සිගරට් ඩිලිවරි වෑන් එකක් එලෙව්ව.

අම්මල අප්පච්චිල පිළිමතලාවෙ ගියාම මාමත් එයාගෙ යාලුවෙක් එක්ක නැවතුනා ඔය පුබුදුපුර පැත්තෙද කොහෙද....හෙහ්..දවසක් මරු වැඩක් වුනා...ඒකනං නොකියම බෑ. මම එදා රෑ නැවතුනෙ අභයගිරියෙ සේනකයගෙ කාමරේ. හවස් අතේ වැඩ රාජකාරි එහෙම අහවර වෙලා අපි දෙන්න නුවර වැවට ආව ටිකක් වතුරෙ බැහැල එහෙම ගිරීස්මෙ නිවාගන්ට.

"මචං ගල් බෝතලේකුත් අරගෙනම යමුද?" නාල ඉවරවෙලා බයිසිකලුත් තල්ලු කරගෙන වැව් කණ්ඩිය දිගේ පල්ලම් බහින අතරෙ සේනක ඇහැව්ව.

"අන්න නියමයි" මම කිව්ව. ආය මොනවද නියම මිනිහගෙං ඇහුවෙ...හෙහ්,හෙහ්,

මාකට් එක එහා පැත්තෙ බාර් එක ඉස්සරහ මාර පෝළිමක්. 

"අප්පටසිරි මෙතන මාර පෝලිම නේද? මොකද කරන්නෙ?" මම ඇහුව. 

"මොකද කරන්නෙ කියල අහන්නෙ? ආය අහවල් දෙයක් කරන්නයැ? පෝලිමෙ ඉන්නව මිසක…"

සේනකය එහෙම කියල ඊට එහා පැත්තෙ තිබ්බ යකඩ වැටට අල්ලල උගෙ බයිසිකලේට ඉබ්බ දැම්ම. මමත් මගෙ බයිසිකලේ එතනම වැටට හේත්තු කරල ඉබ්බ දැම්ම. ඒ දවස්වල අනුරාදපුරේ පුෂ් බයිසිකල්වල පිටිපස්ස රෝදෙ ලොක් එකක් දාල බේරගන්ට බෑ. හොරු කරන්නෙ ටිකක් වෙලා ඔත්තු බලල පිටිපස්ස රෝදෙ උස්සගෙන බයිසිකලේ අරං යන එක. 

ඒ හින්ද මිනිස්සු පුරුදු වෙලා හිටිය රබර් බටේකිං ආවරණය කරපු අඩි දෙකහමාරක් තුනක් වගෙ දිග දම්වැලකිං බයිසිකලේ ලඟ තියෙන වැටකට වගෙ දේකට අමුණල ඉබ්බෙක් දාන්ට. එතකොට ඉතිං වැටත් ගලවගෙනම තමයි බයික් එක අරං යන්ට ඕන.

ඉතිං අපි දෙන්න පෝළිමට එකතු වුනා කියමුකො. ඔන්න විනාඩි පහක් ගියෙ නෑ. කවුද මගෙ උරහිසට අතක් තියල මිරිකුවා. "මොකද මෙතන කරන්නෙ?" ගොරෝසු කටහඬකුත් ඇහුණ. බොහොම හුරු පුරුදු කටහඬක්. ඒ කටහඬ අඳුන ගන්ට මට ඔලුව හරවල බලන්ට උවමනා වුනේ නෑ..අපේ මාමා.... 

"නෑ..මාමේ...මේ මේ…මම...මේ" මම ගොත ගැහුව. මොනව කියල කියන්ටය ආය? නිකං ජොලියට වාගෙ පෝලිමේ ඉන්නව කියල කියන්ටයැ

ඒ කිට්ටුව සමුපකාරයක් වත් තිබ්බනම් කියන්ට තිබ්බ "ආ...මාමෙ අපි මේ මෙතන සමූපකාරෙ හොඳ කට්ට කරවල තියනවයි කියල ආරංචියක් ආව. ඒ පාර හෙට උදේට කරවල කටු හොද්දකුත් එක්ක කැකුළු බතක් කමුය කියල හිතලයි මේ පෝළිමේ ඉන්නෙ.." කියලවත්.

එතකොට මාම කියයි මෙහෙම "ඉතිං මේ ඉන්නෙ කරවල පෝලිමේ නෙවෙයිනෙ. මේක අරක්කු පෝලිමනෙ…"

එතකොට මට තියෙන්නෙ ඇස් දෙකත් දොඹගෙඩි වගෙ කරගෙන සේනකය දිහාට හැරෙන්ට. "ඒයි මචං කිව්වත් වාගෙ මේ කරවල පෝලිම නෙවෙයි නේද? මේක අරක්කු පෝළිම…"

එතකොට සේනකය කියයි.."අප්පටසිරි ඇත්තම නේන්නං..දැං මොකද කරන්නෙ?"

එතකොට මම කියනව මෙහෙම…"එක්කොත් මෙච්චර වෙලා අරක්කු පෝළිමේ හිටපු එක ගල් බෝතලේකුත් අරගෙනම යමු.උදේට කරවල කටු හොද්ද කාල බඩේ අජීරණයක් එහෙම හැදුනොත් දිවිය අවුසදයක් වගෙ සුට්ටක් ගත්තැහැකිනෙ…"

එහෙම ගොන් පාට් එකක් ඇට් කොරන්ට උනේ නෑ මොකද ඒ අහල පහල සමූපකාරයක් නෑ. ඒ හින්ද "ආ..මාමෙ..මේ ..මාමෙ ...මේ.." කියල මම බිම බලාගත්ත. 

"මාමෙ මේ නෙවෙයි..ආය එහෙම මෙතනට එනව නෙවෙයි තේරුණාද? අප්පච්චි අම්ම එහෙම අඳුරන කවුරු හරි දැක්කොත් එහෙම…" මාම මාදිහාවෙ රවාගෙන කිව්ව. 

ඇත්තම නේන්නං...මට එහෙම එකක් හාංකවිසියක් මතක් නොවිච්චි හැටි. රිඹ යනව තමයි එහෙම කවුරුහරි දැක්කනං එහෙම. ඔය අපෙ මාමගෙ යාලුවෙක් ඔය බාර් එක කලේ.මම ඒක දැනගෙන හිටිය. ඒ වගේම මට ඒ වෙලාවෙ ගණදෙවි නුවණ පහළ වුනා. 

"ඇත්ත තමයි මාමෙ. දැං මට පේන්නෙ මේ පෝළිමේ සෑහෙන වෙලාවක් ඉන්ට වෙයි වාගෙ. අඩු ගානෙ විනාඩි පාළහක්වත්. ඒ අතර අම්ම හරි අප්පච්චි හරි අඳුනන කවුරු හරි දැක්කොත් වස ලැජ්ජාව. ඒ හින්ද මෙහෙම කරමු"

"කොහොමද?" මාමා මා දිහාවෙ ඇස් පුංචි කරල බැලුව. 

"මෙතන බාර් එක කරන්නෙ මාමගෙ යාලුවෙක්නෙ. මාම පිටිපස්සෙං ගිහිල්ල මට ගල් බෝතලයක් ගෙනත් දෙන්න. එතකොට පෝලිමේ ඉන්න ඕන නෑනෙ." 

"මොකක්?" මාමගෙ ඇස් උඩ ගියා. එහෙමම ටිකක් වෙලා ඉඳල මූනට යන්තං හිනාවකුත් ආව. "ඒකත් හරි තමයි බලාගෙන යනකොට..කෝ එහෙනං සල්ලි දෙනව මෙහාට...මම සල්ලි ගන්නෙ නෑ..මේ දවස්වල මගෙ අතේ සල්ලි හිඟයි.."

"නෑ කමක් නෑ මාමෙ" මම ඩෙනිමෙ පිටිපස්ස සාක්කුවෙං පර්ස් එක එලියට ගත්ත. "මාමටත් ඕනනං ගල් බෝතලයක් ගන්න. පස්සෙ ගනුදෙනු බේරගන්ට බැරුවය."

"එපා..එපා..මට ඕන නෑ...හරි තමුසෙලා දෙන්න ගිහිල්ල අතන ඉලස්ටෝ බෝඩ් එක ලඟ ඉන්නවල." එහෙම කියල මාමා මගෙන් සල්ලිත් අරගෙන ගියා. 

සේනකය බක බක ගාල හිනා වෙනව. "උඹ තමයි දවසකටවත් මිනිහ..හෙහ්..කොහොම හරි මාම ලව්වම ගල් බෝතලේ ගෙන්න ගන්නයි හදන්නෙ නේද පෝළිමේ නොඉඳම…"

"හෙහ්,හෙහ්, අන්න මල්ලි ඒකට තමයි කියන්නෙ පුබ්බෙ නිවාසානුස්මෘති ඥාණය භාවිතා කරනව කියල. උඹට තේරුණාද?...අනික මම මේ හදන්නෙ දෙමව්පියන්ගෙ නම්බුව ගෞරවය බේරගන්ට..වෙන දෙයක් නෙවෙයි"

ආ..ඉලස්ටෝ බෝඩ් එක කිව්වෙ හැත්තෑ ගණංවල ඒ කාලෙ ලංකාවෙ ප්‍රධාන නගර හැම එකේම වගෙ නගර මධ්‍යයේ කාටත් පේන තැනක විසාල බිල් බෝඩ් එකක් ගහල තිබ්බ ඉලස්ටෝ පාවහන් ප්‍රචාරය කරන්ට. එව්ව හදල තිබ්බෙ ඇලුමිනියම් සරුවපිත්තල කෑලි කෑලි පුරුද්දල. ඉතිං හුළඟට ඔය බිල් බෝඩ් එක (බිල් බෝඩ් එක කිව්වට ඒක ඇත්තටම තිබ්බෙ ලිහිල්ව එල්ලපු රෙද්දක් වගෙ) යංතං හෙලවෙනකොට ඔය කෑලි අව්ව වැටිල දිලිසෙන්ට ගන්නව. බලා ඉන්ට ආසයි. 

කෑගල්ලෙ බස් ස්ටෑන්ඩ් එක කිට්ටුවද කොහෙද මට මතක විදිහට ඔය ඉලස්ටෝ බෝඩ් එකක් තිබ්බ. හයේ හතේ පංතිවල ඉන්න කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට අපි ඔය ඉලස්ටෝ බෝඩ් එක ඉස්සරහ නතර වෙලා සෑහෙන වෙලා ඕක දිහාවෙ බලා ඉන්නව අනිමිස ලෝචන පූජාවෙන්.

බම්බා ජන්කන් එකේ නැත්නම් බම්බලපිටියෙ හන්දියෙත් ඔය ඉලස්ටෝ බිල් බෝඩ් එකක් තිබ්බ ඒ කාලෙ. අර දෑවුරුද්දකට වගෙ කලින් යස අපූරු බ්ලොග් එකක් ලිව්වෙ අවුලා කියල දැං ඔය ඉඳ හිටල ඇවිල්ල කමෙන්ට් එකක් දාල යන පකිරින්තුවෙක්. අන්න ඌත් මට මතකයි ඔය බම්බා ජන්කන් එකේ ඉලස්ටෝ බෝඩ් එක ගැන එක පාරක් ලියල තිබ්බ අපූරු සටහනක්...

ඉතිං මම මේ අරක්කු පෝලිමේ හිටපු කාලෙ වෙනකොට ඉලස්ටෝ සපත්තු සෙරෙප්පු නැතිවුනාට අතීත මතක සටහන් විදිහට ඔය බිල් බෝඩ් ඉතුරුවෙලා තිබුන තැන් තැන්වල.

රයිට් ආපහු එමු ජෝර්දාන් අයියගෙ කතාවට...ජෝර්දාන් අයිය ජෝර්දානෙ ඉඳල ආපහු ආවය කියල මම කිව්වනෙ. ඇවිල්ල දවස් දෙක තුනකින් අපි යාලුවො කට්ටියට ජොර්දාන් අයියගෙන් ආරාධනාවක් ආව පොඩි මධු සාදයකට. පොරගෙ ගෙදර වත්තෙ අඹ ගහක් යට සාදය සෙට් කරල තිබ්බෙ. 

ඔන්න ඉතිං වැඩේ නැඟල යන අතරෙ ජෝර්දාන් අයිය මෙහෙම කිව්ව.."මල්ලිලා..මට තියනව ඔය ගොල්ලන්ට වැදගත් කාරණාවක් කියන්ට.."

එතන රැස්වෙලා හිටිය මයෙ හිතේ අට දෙනෙක් වගෙ අපෙ ඒ අහල පහල යාලුවො. මම ඇත්තටම ජෝර්දාන් අයිය එක්ක සෙට් වුනේ ටෙක් එකේ මගෙ හොඳ යාලුවෙක් වෙච්චි කුමාර ජෝර්දාන් අයියගෙ අසල් වැසියෙක් හින්ද.

ඉතිං අපි කට්ටියම අතුරුකතා නවත්තල බයිට් හප හප හිටපු හකු පාඩා එහෙම්මම අක්‍රිය කරල ජෝර්දාන් දිහාට හැරුන."මම හිතාගෙන ඉන්නෙ මල්ලිලා ආපහු රට නොයන්ට…"

අපි කවුරුත් මොකවත් කිව්වෙ නෑ.සාවදානව ඇහුංකං දීගෙන උන්න. "මගෙ කල්පනාවක් තියනව පොඩි බිස්නස් එකක් පටං ගන්ට. "

"ඒ කිව්වෙ අයියෙ? මොන වගෙ බිස්නස් එකක්ද?" කුමාර එහෙම ඇහුවෙ. 

"මම හිතාගෙන ඉන්නෙ මල්ලිලා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්ට."

"ඒ කිව්වෙ මේ ෂෝට් ඊට්ස් වගෙ?" මම ඇහුව. 

"නෑ නෑ නෑ මල්ලි. එව්ව කරල කාටද හරිගියේ?" ජෝර්දාන් අයිය හිනාවුනා. "මගේ අයිඩියා එක ඇවිල්ල ලිකර් රෙස්ටුරන්ට් එකක් පටන්ගන්ට. අරක්කු, බියර් විස්කි බ්‍රැන්ඩි ඕනම දෙයක් තියන රෙස්ටුරන්ට් එකක්. "

"නෑහ්?" ඇස් දාසයකුයි කටවල් හතකුයි ඇරුනෙ එක වෙලාවටම.

හරියන්නෙ නෑ ළමයි...ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද? 


Sunday, June 26, 2016

424. The Story Of My Marriage - 23 - " Love is nothing son " My mother patted my cheek and left the room.


Citi Bank - Chennai Branch - Google Images


"මෙයානම් මගෙ පුතෙක් වෙන්න බෑ. මම දන්න කිසිම පුතෙක් තමන්ගෙ තාත්තට මෙහෙම කතා කරන්නෙ නෑ. "

"ඇත්තත් වෙන්න ඇති ඒත් ඒ එක්කම මම දන්න කිසිම තාත්තෙක් මෙහෙම හැසිරෙන්නෙත් නෑ."

"ක්‍රිෂ් මම දැං එක පාරක් කිව්වනේද ඔයාගෙ කාමරේට යන්න කියල" මගේ මව මා මගේ කාමරය දෙසට තල්ලු කරමින් පැවසුවාය.

මපියා දඩයම ව්‍යාර්ථ වූ කොටියකු මෙන් හාත්පස බැලූයේ පොළවේ ගැසීමට සුදුසු තවත් යමක් සොයමින් විය යුතුය. එලෙස සුදුසු කිසිවක් ඇස නොගැටුනු ඔහු දැඩි කෝපයෙන් මොනවාදෝ තොල් මතුරමින් නිවසින් පිටව ගියේ ඉදිරි දොරටුව මහ හඬින් වසා දමමිනි.

දොරටුව වැසුනු හඬින් නිවස පුරා පැතිර ගිය කම්පනය කෙමෙන් වියැකී ගියේ සැනසුම් සුසුමක් ද ඒ හා සමඟ මුසුකොට ගනිමිනි.

සාලයෙහි බිම පුරා පැතිර තිබූ වීදුරු කැබලි අතුගා එක් කොට කුස්සියෙහි කුණු දමන භාජනයෙහි බහාලූ ඉක්බිති අම්මා මා සොයා පැමිණියාය. මම මගේ කුටියෙහි සයනය මත දිගාවී පසුවූයේ ඇඳ වියලට හේත්තු කල කොට්ටයකට පිටතබාගෙනය. කුටියෙහි දොරටුව අසල නතරව මොහොතක් මදෙස බලා සිටි ඕ සෙමෙන් පිය මනිමින් මා අසලට පැමිණියාය.

සයනය මතවූ අනෙක් කොට්ටය ගෙන පපුවට තුරුළුකොටගත් මම ඇය දෙස නොබලා කවුලුවෙන් එපිට දිස්වන අඹ ගසෙහි ලාකහ වන් පත් සුළඟේ ලෙලෙනයුරු දෙස නෙත් යොමුකොටගත්වනම පසුවූයෙමි.

සයනයෙහි මා අසලම අසුන් ගත් ඕ උඩුකය නවා පහත්ව  නිකටින් අල්වා මගේ මුහුණ ඈ දෙසට හරවා ගත්තීය. 

"අම්මගෙ ලීලෙ හින්දම තමයි තාත්ත තවත් ඔය විදිහට යකා නටන්නෙ. ඔයා මොකටද එයා ඉන්දැද්දිම කිසිම ප්‍රශ්නයක් නෑ වගෙ අර වීදුරු කටු එකතු කරන්ට පටං ගත්තෙ?" තවමත් පහව නොගිය කෝපය සඟවාලීමට කිසිදු උත්සාහයක් නොගත් මම වේගයෙන් පැවසුවෙමි.

"එහෙම නැත්තං පුතේ තාත්ත කරන්නෙ තවත් මොකක් හරි පොළවෙ ගහන එක.අලුතින් වීදුරු බඩු ගන්නවට වඩා ලේසියි එකක් පොලවෙ ගැහුවම ඒක අතුගාල දාන එක" අම්මා ශෝකී මද සිනහවක් පාමින් පැවසුවාය. "ඔයා ඔව්ව වැඩිය හිතට ගන්නෙ නැතුව ඉන්නකො. මට දන්නව මට පුලුවන් තාත්තව පාලනය කරගන්ට."

මම සෙමින් හිර හරවා අම්මාගේ මුහුණ දෙස බැලීමි. එක් කුඩා කඳුලු බිඳුවක් ඇගේ දකුණු ඇසගින් නික්ම කොපුල් තලය තෙත් කරමින් පහළට ගලා ගියේය. මම සුරත ඔසවා ඒ කඳුලු බිඳුව සෙමෙන් පිසදැමීමි. ඇය මගේ සුරත ඇගේ දෙතොල් මත තබා සිපගත්තාය. මගේ දෙනෙත් ද කඳුලින් පිරීගියේ සැණෙකිනි. 

එලෙසම මද වේලාවක් ගතකල ඉක්බිති මම දෙනෙත් පියාගත්වනම ළය පුරා හුස්මක් ගෙන සෙමෙන් පිටකොට සිත සන්සුන්කොට ගතිමි

"අම්මෙ මේ..... මේක හරියන වැඩක් නෙවෙයි..අම්ම මම කියන එක අහන්න ඕන. තාත්තට ඕන දෙයක් කරගන්න කියල අපි යමු යන්න."

"එහෙම යමු කිව්වට හරියන්නෙ නැහැ ක්‍රිෂ්, ජීවිතේ කිසිම දෙයක් එහෙම සරල නෑ. අපි කීයක් දේවල් ගැන හිතන්න ඕනද? "

"අම්ම හිතන්නෙ වියදම් ගැන නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ලබන මාසෙ ඉඳල මට සෑහෙන පඩියක් හම්බවෙනවනෙ බැංකුවෙන්.ඒක හොඳටම ඇති අපි දෙන්නට"

"පුතේ මේ මා ගැන ඔයා කරදර වෙන්න ඕන නෑ. තාත්තා ඇත්තම කිව්වොත් දවසෙ පැය විසිහතරෙං පැය විස්සක්ම වගෙ ඉන්නෙ ගෙදරින් පිට. උදේම යනව අර ආමි මෙස් එකට. ඒ කරල දවස තිස්සෙම කරන්නෙ එතෙන්ට එන එයා වගේම පැන්ෂන් ගත්තු, ගෙවල් වල ඉන්ට බැරි එයාගෙ යාලු පරණ ආමි කාරයො එක්ක එකතුවෙලා මේ ලෝකෙවත් කරන්ට බැරි බිස්නස් කරන විදි ගැන බරසාර සාකච්ඡා පවත්වන එක." අම්මා එසේ පවසා සිනාසුණාය.

"මොනවද මේ දවස්වල එයා කරන්න හදන්නෙ? අර එක පාරක් කලා වගෙ සිකියුරිටි ඒජන්සියක්ද?" අවඥාවෙන් දෙතොල පෙරලමින් මම විමසූයෙමි. 

"ඔව්..ඔව්...නැතුව ආය වෙන අහවල් දෙයක්ද? එයා දන්නෙ ඔය සිකියුරිටි බිස්නස් එක විතරනෙ. ඒත් වෙන්නෙ එයාගෙන් සිකියුරිටි ගන්න එන සල්ලි කාරයො, බිස්නස් කාරයො පලවෙනි රැස්වීමෙන් පස්සෙ ආගිය අතක් හොයාගන්ට නැතිවෙනව. මේ මනුස්සයට හොස්ස අගිං මැස්ස යන්ට බෑනෙ. පොඩ්ඩක් වචනයක් වැරදුනහම අර මිනිස්සුන්ට අම්ම මෝ නැතුව බණිනව. මේ ලඟදි එක මනුස්සයෙකුට අඬු කඩනවයි කියල තර්ජනය කරලත් තිබ්බ."

අම්මා හඬනඟා සිනාසුනාය. ඇගේ මුහුණෙහි සිනහවක් දැකීම මටද මහත් සතුටක් ගෙන දුන්නේය. 

"හ්ම්ම්ම්, එහෙනං එකත් එකටම ඒ මිනිස්සු වෙන කොහෙ හරි සිකියුරිටි ඒජන්සියක් එක්ක කන්ට්‍රෑක්ට් අත්සන් කරන්ට ඇති අපෙ උන්නැහැගෙන් මරණ තර්ජන තියනවයි කියල. ඒකත් නරකම නෑ. තාත්තගෙ ඒජන්සියට නොලැබුණාට වෙන සිකියුරිටි ඒජන්සියකට හරි වැඩ හම්බ වෙනවනෙ. ඒත් මදෑ එක අතකට..." 

මම සිනාසෙමින් පැවසුවෙමි. අම්මාද මා හා එක්ව කඳුළු එනතෙක් සිනාසුනාය. දුක් කඳුලක් නොව සතුටු කඳුලක් ඇගේ ඇසින් ගලනු දැක්ම පවා මසිත මහත් ආහ්ලාදයකින් පුරවාලීය.

"මට තාත්තව පාලනය කරගන්ට පුලුවන්. එයා එක්ක ඉන්න ඕන කොහොමද කියල මම දන්නව. දැං අවුරුදු තිහකුත් වෙන්ට ආවනෙ අපි කසාද බැඳල. එයා එක්ක කේන්ති අරං බෑ. ක්‍රිෂ් ඔයා කරන්නෙ එයා කියන කරන හැමදේටම කේන්ති අරගෙන එයා එක්ක රණ්ඩුවට යන එක. එහෙම කරල හරියන්නෙ නෑ පුතා." මඳ වේලාවකට පසු ඇය පැවසුවාය. 

"ඔය රණ්ඩු ඔක්කොම පටන් ගන්නෙ මම නෙවෙයි එයා. දැං බලන්ට අහවල් දේකටද අර ලොකු අම්මට නිරපරාදෙ අපහාස කලේ?"

"පුතේ මේක අහන්න. ඒ තාත්තගෙ උපංගෙයි හැටි. ඒ මනුස්සය කවදාවත් වෙනස් වෙන කෙනෙක් නම් නෙවෙයි. අනික ඔයා ලොකු අම්ම ගැන කරදර වෙන්න ඕන කමක් නෑ. ලොකු අම්ම ඔව්ව ගණං ගන්නෙ නෑ. එයා දන්නව තාත්තගෙ හැටි.අනික තාත්ත ඔය මොනව කිව්වත් ලොකු අම්ම මෙහෙ එන එක නවත්තන්නෙ නෑ.මම එයාගෙ නංගි. එයා මගෙ අක්කා." ඇය අවසන් වදන් කිහිපය පැවසූයේ මුහුණට යම් සාඩම්බර පෙනුමක් ආරූඪ කොට ගනිමිනි.

"ක්‍රිෂ්" ඇය යලිදු මා ඇමතුවාය. "පුතේ ඔයා ගෙදර ඉඳල රස්සාවට යන එක එච්චර හොඳ වෙන එකක් නෑ. මට බයයි තාත්තයි ඔයයි අතර තියන ඔය ප්‍රශ්ණ දුරදිග යයි කියල. ඒ හින්ද මම කියන්නද? ඔයා බැංකුවෙන් අපාර්ට්මන්ට් එකක් ඉල්ලන්න. එහෙම වුනොත් මගෙ හිතටත් නිදහසයි."

"මට හිතෙන්නෙ මම දිල්ලියෙන් පිට කොහෙ හරි රස්සාව කලානම් හොඳයි කියල.." මම නළලත සුරතින් සෙමෙන් පිරිමදින අතර දෑස්පියාගත්වනම පැවසීමි. 

"මොකක්? …"අම්මාගේ දෑස් විසල්වූයේ සැණෙකිනි. 

"මට තාත්ත එක්ක මේ ගෙදර ඉන්ට බෑ……. දැං ටිකකට කලිං අම්මමනෙ කිව්වෙ තාත්තයි මායි මේ ගෙදර එකට ඉන්ට ගියොත් අම්මගෙ හිතට ඒක මහ වදයක් කියල. හොඳයි කියන්න බලන්න...ඔයා එහෙම කිව්වෙ නැද්ද?"

"හරි හරි එහෙම කිව්ව කියමුකො" අම්මා නොඉවසිල්ලෙන් පැවසුවාය. "ඉතිං ඔයා කොහාටද යන්න හිතං ඉන්නෙ?"

"ඒක හරියටම කියන්ට බෑ අම්මෙ. කොහොමත් මට බැංකුවට කියන්න පුලුවන් මම මේ මේ තැන්වලට කැමතියි කියල විතරයි. කොහෙටද දාන්නෙ කියල තීරණය කරන්නෙ එයාල. අනික කොහොමත් දිල්ලියට හම්බ වුනත් අවුරුදු දෙකකට පස්සෙ අනිවාර්යයෙන් දුර කොහාට හරි මාරු කරන එක මාරු කරනවාමයි."

"හරි හරි ඒ අවුරුදු දෙකකට පස්සෙනෙ. ක්‍රිෂ් මට ඇත්ත කියන්න. ඔයා දිල්ලියට කැමතියි කියල ඉල්ලුම් පත්තරේ ලිව්වද නැද්ද?"

මම ඇයට පිළිතුරක් නොදී සයනයෙහි දිගාවී සිවිලිමෙන් එල්ලී සෙමෙන් පැද්දෙන විදුලි පහන දෙස බලා සිටියෙමි. මගේ ඉදිරි ජීවිතයද මේ විදුලි පහන මෙන් දෙපසට දෝලනය වන සේ මට හැඟිණ. එහෙත් එක් කරුණක් පිළිබඳව මම ස්ථිර නිගමනයකට එළඹ සිටියෙමි. දිල්ලියෙහි වාසය කරමින් දිවා කාලය බැංකුවක නීරස රාජකාරී ඉටු කරමින්ද , සන්ධ්‍යා කාලය මව විසින් පට්ටල කරනු ලබන සරුව පිත්තල පංජාබි කෙල්ලන් බලන්නට යාමෙන්ද රාත්‍රී කාලය පියා හා සමඟ බහින් බස් වෙමින්ද ඉදිරි ජීවිතය ගතකිරීම මට කිසිසේත්ම කල නොහැකි බව ඒ නිගමනය විය.

"මම කොහෙ ගියත් අම්මත් මා එක්ක එන්න ඕන." මම ඇය දෙස නෙතඟින් බලා පැවසූයෙමි. 

"මට ඒක කරන්න බෑ ක්‍රිෂ්, මට දිල්ලිය දාල යන්න බෑ. මගෙ හිතවත්තු නෑදෑයො ඔක්කොම ඉන්නෙ මෙහෙ. අනික ඔයා දවස තිස්සෙ ඔෆිස් එකේ ඉඳියි. මම තනියම ගෙදරට වෙලා මොනව කියල කරන්නද? බෑ..බෑ..බෑ...ඒක හරියන එකක් නෙවෙයි පුතා…"

"මම හිතාගෙන ඉන්නෙ චෙන්නයි යන්න." මම ඉවත බලාගත්වනම පැවසූයෙමි.

"මගෙ දෙයියනේ……" වහා කලබල වූ අම්මා මගේ සයනය මත ඇය හිඳසිටි තැනින් නැඟිට්ටේ උඩ පනිමිනි. " බලාගෙන යනකොට තාත්ත තව හොඳයිනෙ. ඒ මනුස්සය ඔය වීදුරුවක් දෙකක් පොළවෙ ගැහුවට මෙහෙම පිස්සු විකාර කරන්නෙ නෑනෙ. ඔයා චෙන්නයි යන්න? ඔයාගෙ ඔලුව නරක් වීගෙන එනවද ක්‍රිෂ්?"

"ඔලුව නරක් වෙන කතාවක් නෑනෙ මෙතන" මසිතෙහි කෝපය කෙමෙන් නැඟීඑනු මට දැනෙන්නට විය. "මම අනන්‍යාට ආදරෙයි. ඉතිං මට ඕන උදේ හවස එයාව මුණගැහෙන්ට පුලුවන් තැනක රස්සාව කරන්න. අනික මම එයාව කසාද බඳින්ටයි හිතාගෙන ඉන්නෙ. ඒකට මම මෙහෙ, එයා එහෙ ඉඳල හරියන්නෙ නෑ"

"ඒ කියන්නෙ ඔයා මැඩ්‍රාසී කෙනෙක් වෙනවා?" 

අම්මාගේ විශ්මයෙන් විසල් වූ දෑස දුටු මගේ කෝප වේගය පහව ගොස් මුවඟට සිනහවක් නැඟුනේ අනායාසයෙනි. 

"මම මැඩ්රාසී කෙනෙක් වෙන්නෙ නෑ අම්මා. මම චෙන්නයි වල රස්සාව කරන්ට යනව විතරයි. කොහොමත් අවුරුදු දෙකකින් පස්සෙ මට බොහෝවිට ආපහු එන්ට වෙයි දිල්ලියට."

"ෂිප්රා අක්කා කිව්වා ෆෝත් ලේන් එකට අලුතෙන් ඇවිල්ල ඉන්නව කියල හොඳ නක්ෂත්‍ර කාරයෙක්. උපන් වෙලාව බලල ග්‍රහ අපල එහෙම තියනවනම් හරියටම කියනවලු බලා හිටිය වගේ. ඔයාගෙ උපන් වෙලාවත් අරගෙන අද හවසම යන්ට ඕන ඒ මනුස්සය හම්බ වෙන්ට. මට හිතෙන්නෙ පුතේ ඔයාට දරුණු අපල කාලයක් ලබල. "

"මොන කෙහෙම්මල් අපල කාලයක්වත් නෑ අම්මෙ. මම අනන්‍යාට ආදරෙයි. එයත් මට ආදරෙයි. මෙතන තියෙන්නෙ එච්චරයි"

"ආදරය ගැන මමත් ඔහොම කාලයක් හිතාගෙන හිටියා පුතා.ඒත් ආදරය කියන්නෙ තනිකරම මායාවක්.ඔයාටත් බොහොම ඉක්මනට ඒක තේරෙයි" පහත්ව මගේ කොපුල් තලයට සෙමෙන් තට්ටු කල අම්මා පසු නොබලාම මගේ කුටියෙන් පිටව ගියාය.

තේරාගත් අපේක්ෂකයින් විසින් තමන් සේවය කිරීමට කැමති නගරය සඳහන් කොට සිටි බැංකුවට ඉදිරිපත් කල යුතු අයදුම් පත භාරදීමේ කාල සීමාව අදින් අවසන් වනු ඇත. මම මා ඉදිරියේ මේසය මත ඇති අයදුම්පත දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. එහි අප විසින් සේවය කිරීමට කැමති නගර තුනක් කැමැත්තේ අනු පිළිවෙලට අනුයාත ලෙස නම් කල යුතුය. එය කෙසේ පිරවියයුතුදැයි මම දෙගිඩියාවෙන් පෙලෙමින් පසුවන්නෙමි. ඊයේ අනන්‍යා මා ඇමතුවාය.

"මේ හලෝ..ඔයා අර ලොකේෂන් ප්‍රිෆරන්ස් ෆෝම් එක පුරවල ගිහින් දුන්න නේද? "

"ගිහින් දෙනව...ගිහින් දෙනව…..සීයට අනූවක් පුරවල තියෙන්නෙ" මම ඇසෙන නෑසෙන හඬින් පැවසූයෙමි.

"මොකද්ද ඔයා කිව්වෙ? හරියකට ඇහෙන්නෙත් නෑ...තවම යැව්වෙ නෑ කිව්ව? මනුස්සයෝ හෙට අන්තිම දවස.."

"හරි හරි මම දන්නව...මම දන්නව.." මම නොමනාප ස්වරයකින් පිළිතුරු දුනිමි. 

"ඔයා නොම්මර එකට චෙන්නයි නේද දැම්මෙ?" ඇය යලිත් විමසුවාය..

"ඔව්..ඔව්...ඔව්..චෙන්නයි තමයි..චෙන්නයි තමයි.." මම දුරකථනය විසන්ධි කළෙමි.

මම අවසාන වරටත් අයදුම්පත දෙස මොහොතක් බලා සිට පෑන සුරතට ගතිමි.ඉක්බිති දෑස් ඉහළට යොමුකරමින් දෙවියන්ට යාඥා කොට අයදුම්පත පිරවීමි.

ඔබ සේවය කිරීමට කැමති නගරය (කැමැත්තේ අනුපිළිවෙල පරිදි)

1. චෙන්නයි හෝ දිල්ලිය (එක හා සමාන ලෙස කැමතියි)

2. -

3. -

පිරවූ අයදුම්පත ලියුම් කවරයක බහා අලවා සිටි බැංකුවේ පිළිගැනීමේ කවුන්ටරයට භාරදුන් මම ආපසු නිවෙසට පැමිණ සයනයෙහි වැතිර පසුගිය සතියේ අනන්‍යාගෙන් ලැබුණු ලිපිය යලි කියවන්නට වූයෙමි. 

එම ලිපිය ලද දින සිට සෑම දිනකම රාත්‍රී නින්දට පෙර මම එය අවම වශයෙන් දෙවරක් හෝ කියවූයෙමි.

හාලෝ මගේ පංජාබ් කුමාරයාණනි,

ඉතිං? ඔබ තුමාට මේ ගැත්තීව මතක් වෙනවද මගේ කුමරුණි? මට නම් ඔයාව නිතරම මතක් වෙනව.අපි දෙන්න ඔයාගෙ කාමරේ එකිනෙකාට තුරුලු වෙලා හිටපුව, අත් පටලාගෙන කැම්පස් එකේ පාරවල් දිගේ ඇවිදපුව, ඔයාගෙ කාමරේ රෑ වෙනකල් පාඩම් කරල ඊට පස්සෙ හඳ එලියෙ රම්බායි රෙස්ටුරන්ට් එකට ගිහිල්ල මොනවහරි හපල තේ බීපුව, උදේ පාන්දර දත් කුට්ටම මැදගන්ට ඔයාගෙ කාමරේ ඉඳල මගෙ කාමරේට පණ කඩාගෙන දුවපුව, පාර අයිනෙ පොඩි තේ කඩ වලට රිංගල එක පිඟානෙං පාඕ-භාජි කාපුව, පුස්තකාලෙ මේසෙට යටිං මම ඔයාගෙ කකුල පාගපුව, පංතියෙ සර් උගන්නද්දි අපි දෙන්න දෙන්නට දෙන්න දිහා බලල හොරෙං හිනාවෙච්චි එව්ව, මගෙ එසයින්මන්ට් වලට ලකුණු අඩු වෙලා අඬනකොට ඔයා මගෙ කඳුලු පිහපුව, මම කණ්නාඩිය ඉස්සරහ අයි ලයිනර් ගානකොට ඇඳේ දිගාවෙලා ඔයා යන්තමට හිනාවීගෙන  ඒ දිහාවෙ බලා ඉඳපුව,..එතකොට තව..හරි හරි ඒ ඇතිනෙ..මම හිතන්නෙ ඔයාට තේරෙනව ඇති මම කියන්න හදන්නෙ මොකක්ද කියල...කොටින්ම කිව්වොත් මට ඔයාව මතක් නොවෙන එක මොහොතක්වත් නෑ. අන්න එච්චරයි මට කියන්ට ඕන කලේ..හරී?

ඉතිං මගේ වර්තමාන තත්වය ගැන කිව්වොත් චෙන්නයි වල ජීවිතේ සුපුරුදු ලෙස ගලාගෙන යනව.අම්මට සුපුරුදු විදිහට නුහුගුණේ තද වෙනව දවස් දෙකකට සැරයක් වගෙ.තාත්ත වෙනද වගේම නිස්සබ්දයි. ඉන්නවද නැද්ද කියල හොයන්ට බෑ. මල්ලි කොයි වෙලේ බැලුවත් පොතක් අතේ. එක්කො භෞතික විද්‍යාව, එක්කො රසායන විද්‍යාව එහෙමත් නැත්තං ගණිතය.මේ ඔක්කොම ගැන සලකල බැලුවම කියන්ට තියෙන්නෙ ගෙදර තත්වය සුපුරුදු පරිදියි. සාමාන්‍යයයි කියල තමයි.

ආ..තව එකක්..දවස් දෙක තුනකට ඉස්සෙල්ල මම නිකමට වගෙ අම්මට ඔයා ගැන මතක් කලා. ක්‍රිෂ් ඔයා කිව්වට විස්වාස කරන එකක් නෑ. මෙන්න එදාම හවස අම්ම ගෙදරට ගෙන්නුව නලලෙ අලු ගාගත්ත මාල හැටක් විතර දාගත්ත පූසාරියෙක්. 

ඒ මනුස්සය පැයක් විතර යාතිකාවක් කරල මට දුන්න ජීවම් කරපු මාලයක් දාගන්ට.මිනිහ දහ අතේ දිවුරුව ඒක දාගෙන වරු තුනකිං මට ඔයාව සදහටම අමතක වෙනව කියල..හිහ්..හිහ්..පහුවදා උදේම මම මරීනා බීච් ගිහිල්ල ඒක වීසි කලා බෙංගාල බොක්කට......කොහොමද මගෙ වැඩ?..:)

එදයිං පස්සෙ ආය මම ඔයා ගැන මතක් කලේවත් නෑ..මම දන්නව මට බය වෙන්ට කිසිම දෙයක් නෑ කියල. මම දන්නව ඔයා චෙන්නයි වලට දුවගෙන ඇවිල්ල අපෙ පවුලෙ කට්ටිය ඔක්කොමල කැමතිකර ගන්නව කියල. ඇත්තටම කිව්වොත් බන්ධනය කරගන්නව කියල,වශී කරගන්නව කියල. අර ඔයා මාව වශී කරගත්තෙ..මතකද? අන්න ඒ වගේ..හිහ්..හිහ්...

ඉතිං දැනට ආයුබෝවන්..මගේ කුමරුණී...

අනන්‍යා,

පලි - අහ්..මම කිව්වෙ නෑ නේද? මට වැඩියෙන්ම මතක් වෙන්නෙ මොකක්ද දන්නවද? අර අපි දෙන්න .....අර..අර... මම කියන්න ඕන නෑනෙ...අයි නෝ දැට් යූ නෝ...අයි මීන් සෙක්ස්...:)

ඇගේ ලිපිය මම දස වරක් කියවූයෙමි. අවසාන පලි කොටස සියවරක් කියවූයෙමි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය වෙත පියඹා ගොස් ඇය වැළඳ සිප ගැන්මට මට දැඩිසේ අවශ්‍ය විය. සේවය කිරීමට කැමති නගර සඳහන් කිරීමේදී චෙන්නයි යනුවෙන් පමණක් සඳහන් කිරීමට හැකියාව තිබියදී මවට මවිසින් යම් වරදක් කරන්නේය යන අවිනිශ්චිත හැඟීමෙන් මිදෙනු උදෙසා දිල්ලියද සඳහන් කිරීම මගේ ඉදිරි ජීවිතය පරදුවට තබා කල සූදුවක් විය හැකිබව එසැණින් මසිතට නැඟිනි. 

සිටි බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය චෙන්නයි වලට වඩා දිල්ලියට ප්‍රමුඛත්වය දීමට බොහෝවිට තීරණය කල හැක. ඉන්දියාවේ බහුතරයක් මූල්‍ය ගනුදෙනු සිදුවන්නේ  දිල්ලියේදීය. එලෙසම චෙන්නයි වාසී ද්‍රවිඩයකුට වඩා පන්ජාබියකු විදේශීය බැංකුවක ගිණුමක් විවෘත කිරීමේ සම්භාවිතාවය ද වැඩිය. මම ද පන්ජාබියකු බැවින් මගේ සේවය වඩාත් අවශ්‍ය වන්නේ දිල්ලි ශාඛාවට බව තීරණය කිරීමේ හැකියාව එනිසා සැබවින්ම අධිකය.

එසේ සිතන විට පවා මසිත කීරි ගැසීයනු මට කිසිසේත් වැළැක්විය නොහැක. අන්නන්‍යාගේ ලිපිය කියවමින්ම මම නින්දට වන්නෙමි.

සතියකට පමණ පසු මම සාලයෙහි අසුන්ගෙන රූපවාහිනිය නරඹමින් පසුවූයෙමි. දුරකථනය නාද වනවාත් සමඟම අම්මා රිසීවරය එසවූවාය. 

"හලෝ....ආ.......ඔව්..ඔව්.....පොඩ්ඩක් ඉන්න." ඇය ඉනික්බිති මා දෙසට හැරී කෑගැසුවාය. "ක්‍රිෂ් ඔයාට කෝල් එකක්....කවුද මන්ද ගෑණු කටහඬක් තියෙන මනුස්සයෙක්"

"ඔය ඉතිං කෑගහන්ට එපා අම්මෙ...එහාට ඇහෙනවත් ඇති...." මම වහා ඇය අතින් රිසීවරය ගනිමින් පැවසූයෙමි.

"හෙලෝ....මම ක්‍රිෂ්.."

"ආ..හරි ක්‍රිෂ්..මම දේවේෂ්..සිටි බෑන්ක් එච්.ආර්. ඩිවිෂන් එකෙන්…"

"ඔව් කියන්න දේවේෂ්…"

"මම කතා කලේ ක්‍රිෂ් ඔයාගෙ බඳවාගැනීමේ දිනයයි ඔයා එසයින් කරපු ලොකේෂන් එකයි ගැන ඔයාට දැනුම් දෙන්ට…" මගේ හදවත ගැහෙන රාවය එක්වරම මගේ හිසතුලින් මට ඇසෙන්නට විය. ලබ්..ඩප්..ලබ්..ඩප්...ලබ්..ඩප්.....

"ඔව්..දේවේෂ්, කියන්න.."

"ඔයාගෙ බඳවාගැනීමේ දිනය ජූනි පළවෙනිදා..

"හරි...එතකොට මාව දාන්නෙ කොහාටද?"

"ඔයාව අපි අනුයුක්ත කරන්නෙ චෙන්නයි ශාඛාවට.."

මසිත පත්ලෙන් පැන නැඟි නා නා වර්ණයෙන් සැදුම්ලත් ගිණිකෙළි වර්ෂාවක් සැණෙකින් ඉහල නැඟ දිල්ලි අහස දිදුලවමින් පුපුරා ගියේය. එසැණින් නිවසින් පිටත්ව පිස්සකුමෙන් දිල්ලියෙහි ජනාකීර්ණ මාවත් ඔස්සේ සිටි බැංකුවට දිවගොස් ගැහැණු කටහඬකින් කථාකරන දේවේෂ්ගේ ගෙල වැළඳ ඔහු සිප ගැන්මට මසිත පැනනැඟි ආශාව මම වළකා ගත්තේ බලවත් අසීරුවකිනි.

Thursday, June 23, 2016

423. ඔබට බොහෝසේ ස්තූතියි ගරු විනිසුරුතුමියනි!

Lady Of Justice - යුක්තියේ කන්‍යාව

මේ දවස්වල පත්තර නැත්තං ප්‍රවෘත්ති වෙබ් අඩවි කියවනකොට ඔලුව නරක් වෙනව. තියෙන්නෙම මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාස, අන්තවාදී අදහස්, දාමරික කම් ගැන ප්‍රවෘත්ති එහෙම නැත්තං ඒ වාගෙ තිරශ්චීන හැඟීම් ප්‍රකෝප කරන්ට රටේ යමක් කමක් කරන්ට පුලුවන් ඒ වගේම පිළිගැනීමක් තියෙන පුද්ගලයින් කරන නිර්ලජ්ජී උත්සාහයන් ගැන තොරතුරු. එක්කො සිවුරු පොරවගත්තු තක්කඩි දෙතුන් දෙනෙක් එකතුවෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි පට්ට හොරු අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය වහාම ඒක නවත්වන්ටෙයි කියල. නැත්තං උපවාසයක් කරයි අරක කරපං මේක කරපං කියල බලකරල.

ඒ අස්සෙ මරා ගොයිය ජපානෙ ගිලිල්ල එවුන්දැ එක ඩොලර් එකක්වත් හොරකම් කලාය කියල ඔප්පු කලොත් උගුරු දණ්ඩ පාගෙන මැරෙනවයි කියල ඉන්ටර් නැෂනල් චැලේන්ජ් එකකුත් දීල තියනව.

මරා ජපානෙ ගිහිල්ල එහෙම චැලෙන්ජ් දෙනව. හොර මැරකම් ඔප්පු කරන්ට දෙය්යනේ කියල පරීක්ෂණයක් කරන්ට එපාය. එහෙම පරීක්ෂණයක් පටන්ගත්තු ගමම්ම මරාගෙ ගෝල බාලයොයි සිවුරු පොරවගත්තු තක්කඩි රැලයි පාරට බහිනව දේශපාලන පළිගැනීම් වහම නවතනු කියල. කාටද ඉතිං මෙව්ව කියන්නෙ? මගේ සෝක් මටම සෝක්.

කාලයක් හුම් කියන්නෙ නැතුව කටවහගෙන හිටපු අර ජාතියේ පචායුදේ නොහොත් මිස්ටර් මෝඩවංසත් කියල තිබ්බ පොසොන් පෝය දවසෙ ගම්මංපිලයි රාමසාන් කාලෙ මුසම්මිලුයි පොලිසියෙන් අල්ලපු එක වැරදියි කියල. ඒ තර්කය අනුව සැකකරුවෙක් අල්ලන්ට පුලුවන් යම් ආගමික වැදගත් කමක් නැති දිනේකදිම විතරයි.

එහෙම ඇරෙන්ට මිනිහගෙ අගසව්වා මුසම්මිල් කරපු නීලකාස හොරකම ගැන පචායුදේ වචනයක්වත් කියල තිබ්බෙ නෑ. එක අතකට අහවල් දෙයක් කියල කියනටද? සාක්ෂි ඇතුවම බඩු අහුවෙලා තියෙද්දි.

මන්ත්‍රීල ඇමතිල පැත්තක තියමුකො. එවුං උපංගෙයි හොරු කියල අපි ඔක්කොමල දන්නවනෙ කිසිම සැක සංකාවකින් තොරව. නඩුකාරයොත් ඒ පාර මේ මඩ වලට බැහැල. ඉස්සර නඩුකාරයින්ට අපේ ගම්මු කියල තියෙන්නෙ කෝටුවෙ රජ්ජුරුවො කියල. එතන කෝටුව කිව්වෙ උසාවියට ( Courts ) 

අන්න ඒ ආකාර ගෞරවයකින් නඩුකාරයින්ට සලකල තියෙන්නෙ.ඒත් ඒ වගෙ ගෞරවනී ස්ථානයක තිබුනු විනිශ්චයකාර ධුරයේ අභිමානය දෙකේ කොළේටම වැටුනෙ මරාගෙ ගජ යාලුව, මහා බෞද්ධ මහෝපාසක  සිල්වා අගවිනිසුරු ධුරයට නම් කිරීමත් එක්කල. 

සුනාමි සල්ලි යටි මඩි ගහපු නඩුවෙං මහින්ද වැරදිකාරය වෙන්ට තියෙද්දි හිතාමතාම මහින්දව බේරගන්ට වැරදි තීන්දුවක් දුන්නය. මම ඒ ගැන දැන් කණගාටු වෙනවය කියල ඔය අසමජ්ජාතිය මේ පහුගිය කාලෙ ප්‍රසිද්දියෙම කිව්වනෙ.

ඊට පස්සෙ අර සුපිරිම් කෝට් නඩුකාරයෙක් තමන්ගෙ ගෙදර මෙහෙකාරිය දූෂණය කරල අහුවුනා. එතකොට තමන් ඉදිරියේ විනිශ්චය වෙන නඩුවකින් වාසියක් අරන් දෙන්ට අල්ලස් ගත්තු දිසා විනිසුරුවෙක් අවුරුදු තුන හතරකට වගෙ ඉස්සර අත් අඩංගුවට පත්වුනා. තව ඔය වගෙ නොයෙක් දේවල් හින්ද නඩුකාරයො ගැනත් මහජනයා අතර තිබ්බ ගෞරවනිය විශ්වාසය බිඳ වැටෙමින් තිබ්බෙ.

ඊගාවට මේ ඊයෙ පෙරේද මහේස්ත්‍රාත් කෙනෙක් බලපත්‍ර නැතුව අලි පැටියෙක් ලඟ තියාගෙන හිටපු කේස් එක. නඩුකාරයො කියන ජාතිය කොච්චර තක්කඩිද කියල කියනවනං උඩුවේ චීවරදාරියව ඒ වැරැද්දටම රිමාන්ඩ් කලාට තව වෙනකල් අර මහේස්ත්‍රාත් අලි හොරාව කූඩුවකට දාන්ට බැරිවුනානෙ. නඩුකාරයො විස්සක්ද විසිපහක්ද කොහෙද අත්සං කරල ලියුමකුත් දුන්නලු ඒ තමංගෙ සහෝදර අලි හොරාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතය කියල.

අර කතාව අහල තියනවනෙ නේද? "ඔන්න ඔහොමයි ලතා අක්කෙ මේ දවස්වල පුලුකුණාවෙ තත්වෙ" අන්න ඒ වගෙ ඔන්න ඔහොමයි මේ දවස්වල ලංකාවෙ නඩුකාරයින්ගෙ සාධාරණත්වය.

ඒ අතර මේ වැඩි දවසක් නෙවෙයි ඊයෙ අහන්ට ලැබුනා මේ වගෙ අප්‍රසන්න සිද්ධීන් අටෝරාසියක් අතර සිත පහන් කරවන බොහොම අපූරු සිදුවීමක් ගැන. ඒත් නඩු තීන්දුවක් ගැන. 

අසඩක් දන්නව නේද? හුණු වටයෙ කතාවෙ විනිසුරු ධුරයට පත්වෙන බේබද්දා, හොරා සහ පාදඩයා. නීතියෙන් නියම කරපු රාමුව ඇතුලෙ ඉඳගෙනම බොහොම මානුෂිකව ඒ වගේම සුනම්‍යව (Flexible) චූදිතයින් ගැන සානුකම්පිතව සළකා බලා තීන්දු දුන්නු විනිසුරුවරයෙක් හැටියට අසඩක් ප්‍රසිද්ධයි. 


"විනිශ්චයකාරයා හැමවිටම හොරෙක්, මෙවර හොරෙක්ම විනිශ්චය කාරයෙක් වෙලා" අසඩක් එහෙම කියන්නෙ විනිශ්චයකාර පදවියට පත් වෙච්ච තමන් ගැනමයි.

"මානුෂිකත්වයේ සුළඟට නිදහසේ හමන්ට දෙන්ට ඕන. එතකොටයි නීතියේ සළුපිලි ඈත් මෑත් වෙලා යුක්තිය සාධාරණත්වය ඉස්මතු වෙන්නෙ" අසඩක් එක වෙලාවක එහෙමත් කියනව.

ඉතින් මම අර කලින් කියපු සිද්ධිය ඒ කිව්වෙ නිරුදක කතරක සිහිල් දියකඳුරක් හමුවුනා වගෙ මගෙ හිත ආහ්ලාදයෙන් පිරවූ සිද්ධිය ඇවිල්ලා බාල වයස්කාර දැරියක පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක තීන්දුව දෙමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය කල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය මෙහෙමයි.

මාපිය සෙනහස අහිමි වන වැඩිවියට පත් ගැහැණු දරුවන් තෙවැනි පාර්ශවයකින් සෙනෙහස පැතීම ස්වභාවික බවත් පේ‍්‍රමය හා ලිංගිකත්වය අතර වෙනස තේරුම් ගැනිමට වත්මන් තරුණ පරපුරට නිසි මඟපෙන්වීමක් නොතිබීම කණගාටුවක් බවත් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප‍්‍රකාශ කළාය.

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය මේ බව කීවාය.

"මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවෙන් ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇත්තේ වයස අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් අනතුරුව තමා කැමැති අයකු සමඟ විවාහ වීමේ අයිතිය ශ‍්‍රි ලාංකික පුරවැසියන්ට ඇති බවයි.

එය නීතියයි. එය සංස්කෘතිය නොවේ. මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ කෘතීන් මත පිහිටා බැලූවොත් යෞවන ප්‍රේමය සම්බන්ධයෙන් නීතිය කවරාකාරයෙන් බලපාන්නේ ද යන්න ඉතාමත් අලංකාරව විග‍්‍රහ කර ඇත. මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ නවකතා මෙන්ම කරුණාසේන ජයලත්ගේ ‘ගොලූ හදවත’, ‘ගැහැණු ළමයි’ වැනි කෘතීන් ගත්තද මෙම යෞවන ප්‍රේමය සහ නීතියේ අණදීම අතර තිබෙන දුරස්ථභාවය සළකා බලා ඇත. අප සංස්කෘතියේ ගුරුවරයා සහ ගෝලයා අතර ආදරය හෙළා දැක්ක ද මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නව කථාවේ නන්දාට අධ්‍යාපනය ලබාදීමට එන පියල් අතර ප්‍රේම සම්බන්ධය සිත්ගන්නාසුළු ආකාරයට විග‍්‍රහ කර ඇත.

යෞවනයේ ප්‍රේමය අන් සියල්ල බැද දමා ඇත. මෙම නඩුවේ වින්දිත දැරියගේ මව ඇයට වයස අවුරුදු 3 ක් පමණ වන විට ඇගේ පියා අතැහර දමා ගොස් ඇත. පසුව දැරිය රැකබලා ගෙන ඇත්තේ ඇගේ පියාගේ දෙමවිපියන් විසිනි.

දැරියගේ පියා ද පසු කලක වෙනත් විවාහයක් සිදු කරගෙන වෙනත් ස්ථානයක පදිංචියට ගොස් තිබේ. පසුව දැරිය හැදෙන්නේ වැඩෙන්නේ පියාගේ වැඩිහිටියන් අතරය. මෙහිදි විවාහක දෙපළක් වෙන්වීම නිතිය පිළිගනී. නමුත් වයස අවුරුදු 3 ක දැරියට එම නීතියේ පිළිගැනීම තේරුම් ගැනීමට නොහැකිය. ඇයට තේරෙන්නේ ඇයට මව් සෙනහස අහිමිවීම පමණය. එතැන් සිට ඇය සොයා යන්නේ ඇයට අහිමි මව් සෙනෙහසය.

ඇගේ යටි සිතේ තදින්ම කාවැදි ඇත්තේ එයයි. තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බිරිද නැති අඩුව ඔහු පිරිමසා ගෙන ඇතත් එය තේරුම් ගැනීමට ඇගේ මනසට ශක්තියක් නැත. ඒ අනුව පියා දෙවැනි විවහයක් සිදු කර ගැනිම ඇය දකින්නේ පියා තමන්ට විශාල අඩුපාඩුවක් සිදු කළ බවකි. මෙම තත්ත්වය මත මවගෙත් පියාගෙත් සෙනෙහස අහිමි ආදරය දැරිය තෙවැනි පාර්ශවයකින් සෙනහස පැතීම ස්වභාවිකය.

කලක් ගතවී ඇය වැඩිවියට පත් වන විට ඇය රැක බලා ගත් ඇගේ ආචිචි සහ සීයා හිරිහැරයක් වන තත්වයකට පත් වෙයි. මන්ද යෞවන ප්‍රේමය තේරුම් ගැනිමට එම වයෝවෘද්ධ දෙපළට නොහැකිවීම නිසා දැරිය ප්‍රේමවන්තයකු සමඟ කතා කළ පමණින් ඇයට බැණ තර්ජනය කිරිමය. එම තත්ත්වය මත ඇයට එම නිවස අපායක් වූවා විය හැකියි.

ඒ බව දැරිය පොලිසියට ඇති ප‍්‍රකාශයෙන් තහවුරු වී ඇත. තම ප්‍රේමවන්තයා සමඟ කතා කළ පමණින් ඇයට තර්ජනය කිරීම හේතුවෙන් තම ප්‍රේමවන්තයා සමඟ පලා යාමට දැරිය පෙළඹීම ස්වාභාවිකය.

මවගෙත් පියාගෙත් ආචිචිගෙත් සීයාගෙත් සෙනෙහස රැකවරණය නොලද තැන ඇය ඇගේ ප්‍රේමවන්තයා වීරයකු සේ සළකා කටයුතු කර ඇත. මෙහිදි නීතියේ සීමාව සහ එහි දැඩි බව පිළිබඳව ඇයට අවබෝධයක් තිබී නැත. මෙම නඩුවට අදාල විත්තිකරු බේකරි රැකියවක් කරන ඉතාමත් අපහසුවෙන් ජීවත්වන 19 හැවිරිදි අයෙකි. එහෙත් ඔහුගේ අරමුණ වී ඇත්තේ ඉදිරි අනාගතය යහපත් කර ගැනිමය.

ඒ අනුව සළකා බැලීමේදි මෙම දැරිය රැගෙන ගිය විත්තිකරුට දඩුවම් නියම කිරිමේදි දැරිය එදා සිටි මානසිකත්වය සහ ඇගේ දෙමව්පියන් ඇයට කර ඇති විනාශය සළකා බැලිය යුතුය. ඇගේ මව පියාගෙන් වෙන් වුවද ඇයට සිය මවගේ වගකීම ඉටු කළ යුතුව තිබිණි.

ඇගේ මව විදේශ ගතව ඇති අතර ඒ තුළින් දියණියකට මවකගේ සෙනහෙස අහිමි කර ඇත. යෞවන වියේදි තමාට ඇති වන ගැටලූ කතා කිරීමට ඇයට කෙනෙකු නැත. යෞවන ප්‍රේමය ඇගේ පියාගේ පියා විසින් දැක ඇත්තේ විශාල අපරාධයක් ලෙසය. මෙම නඩුවේ විත්තිකරු ඔහුට එරෙහිව ඇති සියලූ චෝදනා වලට වරද පිළිගෙන ඇත.

ඒ අනුව ඔහුට නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතුව ඇත. එම දඩුවම් නියම කිරිමේදි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද 17/13 දරණ නඩුවේ හරය කෙරෙහි සැළකිල්ල දක්වමි.

එයින් අදහස් කර ඇත්තේ ව්‍යාවස්ථාදායකය විසින් දඩුවම් නියම කිරිමේදි අවම සහ උපරිම දඩුවම් නියම කර ඇති විටෙක වුවද එම නඩුවේ කරුණු සළකා බලා ද ලිහිල් දඩුවම් නියම කිරීමේ අයිතිය නඩුව විභාග කරන විනිසුරුවරයා සතු බවයි. විත්තිකරු මේ වන විට බේකරි රැකියාවෙන් ඉවත්ව යුද හමුදාවට බැදි පුහුණුව ලබමින් සිටින බවද කියයි. එම තත්ත්වය මත ඉදිරි අනාගතය රටට වැඩදායි පුද්ලයකු වශයෙන් ජීවත්විමට ඔහුට අවස්ථාව ලබාදිය යුතුය.

ඒ අනුව වයස අවුරුදු 21 වැනි වියෙහි පසු වන ඔහුට මා විසින් සක‍්‍රිය සිර දඩුවමක් නියම කළහොත් ඔහු රටට බරක් වන පුද්ගලයෙක් වනු නොඅනුමානය. ඒ අනුව විත්තිකරුට සියලූ චෝදනා වලට අත් හිටවූ සිර දඩුවම් සහ රජයේ ගාස්තු නියම කරමි."

ඔහුට දෙවසර සිරදඩුවමක් නියම කළ විනිසුරුවරිය දසවසරකට දඬුවම අත්හිටුවාය. රුපියල් 2500 ක් රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කැරිණි.

ලංකාදීප අන්තර්ජාල පුවත්පත

ඔබට බොහෝසේ ස්තූතියි ගරු විනිසුරුතුමියනි!

පලි - මෙතන හැබැයි මෙහෙම පැත්තකුත් තියනව. හැමදාම උසාවිවල නඩු අහල මේ විදිහට කරුණු කාරණා සානුකම්පිතව සලකා බලල තීන්දු දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ වගේම විනිසුරුවරුන්ට/වරියන්ට පැවරෙන වගකීමත් ඒකයි. එතකොට එක් විනිසුරුවරියක් මෙහෙම තීන්දුවක් දීම පත්තරවලට විශේෂ පුවතක් වීම සහ මේ ගැන ඒ ගරු විනිසුරුතුමියට ස්තූතිය ප්‍රකාශ කරල බ්ලොග් සටහනක් ලිවිය යුතුයි කියල මට හිතුන එක......මේ ගැන සලකල බලද්දි මොකද හිතෙන්නෙ? ඇයි එහෙම වෙන්නෙ? කොහෙද නැත්නම් කාගෙද වැරැද්ද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...