Tuesday, June 21, 2016

422. කුමරකුට පෙම් කළ යුවතිය......


Painting - Jayasiri Semage 

දිවා ආහාරයෙන් පසු සයනයෙහි දිගාවී විවේක සුවයෙන් කල් ගෙවමින් හුන් සාලිය එක්වරම නැඟී සිටියේ තම දයාබර මෑණියන්ගේ හඬිනි.

''කිමද පුතණ්ඩ...තොප නිදි සුව විඳින්නෙහිද?'' අසමින් කුටියයේ ද්වාරය ආවරණය වූ තිරකඩ මෑත් කරමින් එහි පිවිසියේ හෙලයෙහි අග බිසවුන්ය. ජීවන ගමන් මඟෙහි වසර අඩ සියයකට ආසන්න වූවද ඇය තවමත් මනා රූ සපුවෙන් යුතු වන්නා සේම තම එකම පුතණුවන් හා සමානව අවශේෂ සියල්ලන්ට ද දයා කරුණාවෙන් යුතු මහාර්ඝ කාන්තා රත්නයක්ම වූවාය.

''නැත මෑණියනි...මා මඳක් සයනයෙහි ඇල වී සිටියා පමණි....'' පැවසූ සාලිය ඈ දෙස බලා මඳ සිනහවක් පෑවේ අපමණ සෙනෙහසිනි. 

''උදය වරුවෙහි රජතුමා ඔබ සෙවුවා සෑම තැනම...කොහේද මඟ හැර සිටියේ?'' අග මෙහෙසිය නැවත ද ඇසූයේ සාලියගේ නලලත සිප ගන්නා අතරය.

''මම උදය වරුව පිටි නුවර උයනෙහි කල් ගෙව්වා මෑණියනි...''

''අඩමානයක් නැහැ...එසේනම් කවියක් පබඳින්නට ඇති එකත් එකටම....''

පිලිතුරු ලෙස සාලිය කලේ තම මව දෙස බලා සිනාසීම පමණකි.

''පියාණන් මා පිළිබඳව විපරම් කලේ මන්ද මෑණියනි?''

''ගන්ධාර දේශයෙන් පැමිණි වෙළඳ දූත කණ්ඩායමක් හා සමඟ බදු අය කිරීම පිළිබඳ උදය වරුවෙහි රජතුමා සාකච්ඡාවක් පැවැත්වූවා, ඒ සඳහා ඔබද සහභාගි කර ගැනීමටයි එතුමාගේ අභිප්‍රාය වූයේ...''

සාලියගේ වත අඳුරු වන අයුරු දුටු අග මෙහෙසිය ඔහුගේ දෑතම තම දෑතින් ගෙන මුහුණට එබුණීය.

"ඔන්න, ඔන්න, මුහුණ නරක් කරගත යුතු කාරණයක් ද මා පැවසූයේ?...පුතා රාජ්‍ය පාලන කටයුතු වලට අකමැති බව මා හොඳින්ම දන්නවා.ඔබ අකමැති දෙයක් ඔබ ලවා කරවීමට මා කිසිදිනෙක ඉඩ දෙන්නේ නෑ. පුතා, මා ඔබට පොරොන්දු වෙනවා"

මෑණියන්ගේ දිදුලන දෑසෙහි කාන්තියෙන් වශී වූවාක් මෙන් ඒ දෙසම නිමේශයක් බලා සිටි සාලිය ඇගේ දෑත ඔසවා මුවට තබා සිප ගත්තේ අපමණ සෙනෙහසිනි.

''ඒත් මෑණියනි....පියාණන් ඇමති මණ්ඩලයේ සහ මහා විහාරයේ නායක හිමියන්ගේ අදහස් වලට ඉඩදිය යුතුයි නේද?....ඔවුන් තමා මපියාණන්ට බල කරනුයේ මා යුවරජ පදවියට වහාම පත්කල යුතුයි කියා.''

''එය සැබෑවකි පුත..එහෙත් අවසාන තීරණය මහ රජු වන ඔබ පියා සතුයි. ඔබ රුචි නොවන කිසිම තීරණයකට ඔහු නො එළඹෙන බවට මම ඔබට පොරොන්දු වෙනවා. ඔබට මගේ වචනය විශ්වාස නොමැතිද?....'' අග මෙහෙසිය එවර ඇසූයේ නෝක්කාඩු ස්වරයකිනි.

''නැත. නැත මෑණියනි....මම ඔබ අවිශ්වාස කලා නොවේ..එහෙත් දුටුගැමුණු මහරජතුමාට පවා හිතුමතේ රට පාලනය කල නොහැකි බව කාටත් වඩා හොඳින් ඔබ දන්නා බව නැවත කිවයුතු දෙයක් නොවේ...මපියානන් පවා ඇමති මණ්ඩලයේ බහුතර මතයට සවන් දිය යුතුයි නේද?''

''මා පුතණුවනි.ඒත් ඔබ එක් කරුණක් අමතක කලෙහිය. මීට දශක තුනකට පමණ පෙර මේ අනුරාපුරයෙන් යොදුන් සිය ගනනක් ඈත කන්ද උඩරට කොත්මලේ නිම්නයේ එක් වෙල්යායකදී සීතල මිහිදුම් සළුතිර දසත වෙලී යද්දී ඔබේ පියාණන් මට වූ පොරොන්දුවක් ඇත.ඒ පොරොන්දුව ඔහු දිවි හිමියෙන් ඉටු කරන බවට මට කිසිදු සැකයක් ද නැත''

අග මෙහෙසියගේ ස්ථිරසාරවූ ස්වරයෙන් එසේ පවසද්දී සාලිය ඇගේ වත දෙසම බලා සිටියේ වශීකෘත වූ පරිද්දෙනි.

''මම ඔබ දෙපලගේ ප්‍රේම කතාව ඔබේ මුවින්ම සිය දහස් වරක් අසා ඇති මුත් නැවත ද ඒ ඇසීමට කැමැත්තෙමි මෑණියනි...''

''පුත, අපහේ ප්‍රේම කතාව ඉතා කෙටියෙන් හෝ පැවසීමට නම් අවම වශයෙන් හෝරා දෙක තුනක් වත් අවශ්‍යයයි.මා ඔබට මොහොතකට ඉහත පැවසූ ඔබ පියාණන් මා වෙත වූ පොරොන්දුවේ කතාව පමණක් මම මේ මොහොතේ ඔබ හා සමඟ පවසන්නම්.....''

එබසින් ප්‍රීතියෙන් පිනා ගිය සාලිය මවගේ සුරතින් අල්ලා ඇය කැඳවාගෙන ගියේ මලින් ගැවසි මාලිගා අංගනයට විවෘත වූ තිර රෙදි මෑත් කල කවුලුව අසල වූ අසුනෙහි ඇය හිඳුවා එතැනම පොළවෙහි අතුල බුමුතුරුණෙහි හිඳ ගත්තේ මවගේ ඇකයෙහි තම හිස තබාගෙනය.

''ඔබට ස්තූතියි මගේ මෑණියනි...ලෝකයේ හොඳම මෑණියන් වන ඔබගේ මුවින්,ලෝකයේ හොඳම පෙම්වතුන් යුවල වන ඔබ සහ මපියාණන්ගේ පෙම් කතාව, එනම් ලෝකයේ හොඳම පෙම් කතාව ඇසීමට තරම් ඔබ දෙපලගේ එකම පුතණුවන් වන මේ මම කොපමණ පුණ්‍ය කර්මයක් නම් ඉහත ආත්මයක කර ඇත්ද යන්න මට නම් සිතා ගැනීමට පවා නොහැකිය. ''

සාලියගේ මුවින් නිකුත්වූ එවදන් ඇසූ මෑණියෝ කඳුළු පිරි දෙනෙතින් යුතුව පහත් වී තම ඇකය මත වූ ඔහුගේ මුහුණ තරව සිප ගත්තීය.

කඳුළින් තෙත්වූ දෙනෙතින් යුතුව ඈ ඉන්පසු කව්ළුවෙන් ඈත පෙනෙන තිසා වැව ඔබ්බෙහි නිල්වන් අහස් කුස පාවීයන සුදු වලාකුළු කැටිති දෙස බලා සිටියාය.

ඇගේ ඇකය මත හිස තබා හුන් සාලිය තම මුහුණ ඉහලට හැරවූයේ ඇගේ වත දෙසම බලාසිටි නමුදු කිසිවක්ම නොපැවසූයේ ඇයටම කතාව ඇරඹීමට ඉඩ දිය යුතු බව නිසර්ගයෙන්ම හැඟුනු නිසාමය. 

තිසා වැව ඉස්මත්තෙහි එකිනෙකා පරයා දිවයන්නා වූ ශ්වේත වර්ණ වළා කැටිති ඇගේ සිතට ගෙන ආවේ ඇගේ ජන්ම භූමිය වූ කොත්මලා මිටියාවතෙහි හිරු මුදුන්වූ මැදියමෙහි පවා පූර්ණවශයෙන් පහව නොගොස් නිල් තුරු වියනින් සැදි තුඟු ගිරි මුදුන් වසාගෙන එල්ලී සිටිනා මිහිදුම් සළු තිර පටයි.

ඒ අතීතාස්මරණයෙහි නිමග්නව ටික වේලාවක් නිමග්නව සිටි ඕ තොමෝ ඉන්පසු කටහඬ අවදි කලේ සාලියගේ සවණට පමණක් සීමාවනසේ රහසක් පවසන්නා වූ ස්වරයකිනි.

කඩදොර සහ තිස්පනේ කඳු වැටි වෙනදා මෙන්ම මිහිදුම් සළු තිර පටලාගෙන සිටියේ ලජ්ජාශීලී යොවුන් තරුණියන් යුවලක සේය.දැඩිව හිරු පායා මුදුන් වී තිබුනද වරින් වර ඒ වසා පැතිරීයන වලාවන් කරණ කොටගෙන හාත්පස පතිර පැවතියේ ගතට සුවදායක වූ සිසිලසකි.

පහල මාස්වෙල වෙල්යාය අස්වැද්දීම් කටයුතු වල නිරත වන්නාවූ තම පියාණන් ඇතුලු පිරිසට දිවා ආහාරයද රැගෙන මහ නියර ඔස්සේ සෙමෙන් සෙමෙන් පිය මනින්නාවූ රන්මැණිකාගේ සිතෙහි එකිනෙක පරයා ඉස්මතුවන ඒ හා සමඟම යලි කිඳාබසිනා සහස් සංඛ්‍යාත වූ හැඟුම් සමුදායකි.

කාත් කවුරුවත් නැති අනාථ වූ කොළු ගැටයකුසේ කෘශ වී ගිය සිරුරින් සහ උරතෙක් වැඩුනු අපිරිසිදු කෙස්සෙන් යුතුව, මීට වසර පහකට පමණ පෙර එක් අනෝරා වැසි වැටෙන, ගොම්මන් අඳුර තිස්පනේ කඳු මුදුන මතින් නිම්නයට පහත්ව එය ගිල ගන්නා සැඳෑ යාමයක, ඔහු සපැමිණි අයුරු....මුලුතැන්ගෙයි රත්වන් ගිනිදළු විහිදුවමින් දැල්වෙන ලිප අසල ඇණ තබා හිඳගෙන, සීතලෙන් ගැහෙන දෑත් උණුසුම් කර ගැනීමට අසාර්ථක තැතක් දරමින් උන් ඔහු වෙත මෑණියන්ගේ සහ වැඩිමහල් සොහොයුරියගේ විරෝධතාවයන් මධ්‍යයේ තමන් රෙදි කඩක් ගෙන ගිය අයුරු...

''මේ..... මේ රෙදි කෑල්ලෙන් වත් ඔය තෙත මාත්තු කර ගන්ට හොඳා''

''පින්සිද්දවෙච්චාවෙ මේ නංගිට....'' ඔහු දැළි රැවුළු වැඩීගිය මුහුනෙහි  සුදුවන් වූ සම දසන් දක්වා සිනාසුනු විට මතුවූ සිරියාව..ඒ සමඟම ඒ කාන්තිමත් දෑසෙහි වූ අනන්තය තෙක් විහිද යතැයි එදින ඒ මොහොතේම ඇයට උදක්ම හැඟීගිය ගැඹුරු වූ බැල්ම....

ගුත්තා...ඔව් ඔහු ගුත්තා....තම ගෙදරම වාසය කරමින් තම පියාණන්ගේ ගොවිතැන් කටයුතු වලට සහයවූ ඔහු කෙරෙහි තම සිත දිනෙන් දින ඇදී ගිය අයුරු....සසර සරනා තුරාවට පෙර බවයන් දහස් ගනනක දී මෙලෙසම ඔහු හා එක් මඟ පියමැන ඇති බවට කිසිදු සැකයකින් තොරව තම සිතට ස්ථිරසාර ලෙස ම ඇතුළු වී යලි නොමැකෙන සේ පැලපදියම් වූ ඒ නුපුරුදු වූ හැඟීම...ඒ ආදරයද?....ඒ සෙනෙහසද?

අයාලේ පැමිණි නන්නාඳුනනා කොළු ගැටයෙකුට...කාගේ කවුරුදැයි කිසිවකුත් නොදන්නා වූ කොළු ගැටයෙකුට....උපන් දා සිට මහත් ආදරයෙන් සෙනෙහසින් හදා වඩා ගත් හදාවඩාගත් මව්පියන් පවා අත හැරදමා යා හැකි පමන ඇතිවූ මේ හැඟීම නැතහොත් මේ බන්ධනය...ඒ ආදරයද?...ඒ සෙනෙහසද?

ඔහු හා පෙමින් වෙලී ගොස් ගෙවූ ඒ සොඳුරු අතීතය...

එක් දිනෙක ඉතා කලබලෙන් පැමිණි ඔහු කඩුල්ල අසල වූ රුක් අත්තන ගස අසලට කැඳවාගෙන ගොස් මෙසේ පැවසූ අයුරු...

''රනී....කාවන්තිස්ස රජ්ජුරුවො මියගියා කියල මට පන්සලේදි ආරංචි උනා...මම හෙටම මාගම් පුරේ යන්න ඕන...''

''ඒ මොකටද එහෙ යන්නෙ?.....අයියගෙ කවුද එහෙ ඉන්නෙ?...මට ඔය විස්තර මොකවත්ම මේ වෙනකල් කියල නැහැනෙ...''

''මම යන්න ඕන කිව්වෙ මේකයි..දැන් ගැමුණු කුමාරය අනිවාර්යයෙන් රට බේරාගන්න යුද්දෙ පටන් ගන්නව...මමත් ඒක එකතුවෙන්න ඕන...ඒකයි මම මේ යන්න හදන්නෙ...''

''ඔය අයිය ගැමුණු කුමාරයව දන්නවද?....ඔන්න මට පහුගිය දොහක ආරංචි උනා අවුරුදු ගාණකට ඉස්සර වෙලා ගැමුණු කුමාරය රජ වාසලින් පැනල ගිහිල්ලය කියල...''

''නෑ.... මම එහෙමට අඳුනන්නෙ නම් නෑ'' ඔහු පැවසුයේ ඉවත බලාගෙනය..

පසුදින උදෑසනම තමා බැඳ දුන් බත් මුලද ඔලගුවක ලාගෙන ඔහු පිටත්ව ගිය අයුරු....

තම නලලත දැඩි සෙනෙහසින් සෙමින් සිපගෙන ඔහු තෙපලූ වදන්...

''රනී.....සේනාවත් අරගෙන අනුරාදපුරේ යන්න කලින් මම එනව ඔයාව එක්කගෙන යන්න. ඒක පොරොන්දුවක්...මම පොරොන්දු කඩ කරන්නෙ නෑ..විශේෂයෙන් ඔයාට වෙන පොරොන්දු මම කඩ කරන්නෙ නෑ...''

මෙතෙක් ඔහු කෙරේ නොදුටු අපූර්ව තේජස්වී භාවයක් එක්වරම දුටු හෙයින් තමා වික්ෂිප්තව ඔහුගෙන් මෙසේ විමසූ අයුරු...

''මේ... සේනාව අරන් අනුරාදපුරේ යනවය කියන්නෙ හරියට ඔයා යනව වගේනෙ...දැන් මේ ඔයාද රට බේරගන්න යන්නෙ...නැත්නම් ගැමුණු කුමාරයද?''

ඒ පැනයට පිළිතුරු නොදී ඈත කඳු වලල්ල ඉහලින් අඳුර කෙමෙන් පහව යන අයුරු මොහොතක් බලා සිටි ඔහු ඉන්පසු කතා කලේ ඉවත බලාගෙනමය..

''ගැමුණු කුමාරයගෙ අරමුයි මගේ අරමුයි දෙකම එකයි ...මේ රට බේර ගන්න එක...ඒත් මේ ගුත්තගෙ තවත් අරමුක් තියනව....ඒක තමයි......''

ඔහු කතාව නවත්වා මොහොතක් තමාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි අයුරු...

''ඒ අරමු තමයි කවදා හරි මගෙ රනීව හොයාගෙන ආපහු එන එක..මා එනකල් බලා ඉන්න හොඳේ'' අවසන් වරටද තම නලල නැවත වරක් සිපගත් ඔහු හිමිදිරි අඩ අඳුරේම නොපෙනී ගිය අයුරු...

ඒ මීට මාස හයකට පමන පෙරය....

එදාසිට අදවෙන තෙක් ඔහු එනෙතෙක් තමා බලාසිටිඅයුරු..එසේම කවදා හෝ ඔහු එන තුරු කල්ප කාල අවසන්වනතුරු හෝ බලා සිටිමැයි තමන්ටම සපථ කල අයුරු...

මඳක් වෙහෙස දැනෙන්නට වූයෙන් මහ නියර අසලම වූ නුග ගසෙහි සෙවනෙහි හිඳගත් ඕ තොමෝ රිදුම් දෙන තඩිස්සි වූ දෙපා දිග හැරගත්තීය. එකෙනෙහිම ඇගේ කුස තුල වසන්නාවූ අමුත්තා තමා පිළිබඳව විටින් විට කරන දැනුම් දීමක් මෙවිටද කල හෙයින් සිනාමුසු මුහුනින් යුතුවූ ඕ නෙරාගිය කුස පිරිමදින්නට වූවාය.මෙසේ කොපමන වේලාවක් ගතවූයේදැයි ඇය ද නොදන්නීය. බොහෝවිට නුග සෙවණේ සිසිලස කරන කොටගෙන ඇය අඩ නින්දකට පත්වූවාද විය හැක. 

'' රනී......''

ඇය එක්වරම සිහිනයක් දුටුවාද නැතහොත් ඒ හඬ සත්‍ය වශයෙන් සවනට පතිතවූයේද යන්න පිළිබඳව සිහි එලවා ගත නොහුනු ඈ විගස දෙනෙත් විවර කලාය.

ඔහු ඇවිත්.......ඔහු ඇවිත්....කිව්වා වගේම ඔහු ඇවිත්...

''අයියණ්ඩි...ආයෙම ආවා....'' ඈ කොහොමදෝ කියා ගත්තාය.

''ඔව් රනී මම කිව්වනෙ මම ආයෙම එනවයි කියල...ඔන්න මම ආයෙම ආව...අයෙ කවදාවත් නොයන්නම......''

ඇය අසලම හිඳගත් ඔහු දැඩි සෙනෙහසින් බරව පහත්ව ඇගේ නෙරා ආ කුස සිප ගත්තේය. "අපේ පුතා......නේද රනී?"

"ඔව් අය්යණ්ඩි....අපේ පුතා…"

"අපේ පුතා යම් දවසක...."

"අයියණ්ඩී…" ඇය ඔහුට බාධා කලාය. 

"ඇයි රනී?"

"අයියණ්ඩි මට එක පොරොන්දුවක් වෙන්න....."

"කියන්න රනී ඔයා දන්නවනෙ මට ඔයා වෙනුවෙන් ඉටු කරන්ට බැරි පොරොන්දුවක් නෑ කියල"

"එහෙනම් මට පොරොන්දු වෙන්න..කවදාහරි දවසක අපේ පුතාට ඔහුගේ අකමැත්තෙන් කිසිම දෙයකට බල නොකරන බවට"

එක්වරම පිළිතුරු නොදුන් ඔහු ඇය දෙස මොහොතක් ඇසිලිය නොහෙලා බලා සිටියේය. 

"ඇයි අයියණ්ඩි ඔබට මට එහෙම පොරොන්දු වෙන්න බැරිකමක් තියනවද?"

"රනී ඔබ මගෙන් මෙහෙම පොරොන්දුවක් ඉල්ලන්නෙ ඔබ යමක් දැනගෙන කියල මට හිතෙනවා"

"ඔව් අයියණ්ඩි ඔබ කවුද කියල මම දැන් දන්නවා"

වෙළෙවි හඬින් එසේ පැවසූ ඇය ඔහු පාමුළ අපහසුවෙන් වුවද වැඳ වැටෙන්නට උත්සාහ කළාය. වහා නැඟීසිටි ඔහු ඇගේ දෑත තරයේ ගෙන සෙමෙන් ඇය නැඟිටවීය. 

"මේ මොකද රනී? කුමක්ද මේ ඔබ කරන්නට උත්සාහ කරන්නේ? මා ඉදිරියේ කිසිදිනෙක ඔබ වැඳ වැටිය යුතු නෑ"

"නැහැ කුමරුණි මා ඒ ඔබ ඉදිරියේ වැඳ වැටුනේ මේ දේශයේ අසහාය පාලකයා වන ඔබගේ යටත් වැසි ගැමි කෙල්ලක ලෙසයි. එහෙත් මා දැන් ඔබට තුරුළු වනුයේ ඔබේ ආදරණීය රනී ලෙසයි" එසේ පවසමින් ඇය ඔහුගේ ළය වෙතට තුරුළු වූවාය. ඔහුද තම බාහු යුග්මයෙන් ඇය තදින් බදා වැළඳ ගත්තේ දෑස පියාගත්වනම දිගු හුස්මක් ඉහලට ගනිමිනි. 

"කුමරුනි…." එසේ ආලිංගනයෙහි යෙදී ගතවූ මඳ වේලාවකට ඉක්බිති ඇය සෙමෙන් කොඳුලාය. 

"රනී…" ඔහුද එවැනිම ස්වරයකින් පිළිවදන් දුනි. 

"මගේ ඉල්ලීම පිළිබඳව ඔබ කුමක්ද පවසනුයේ? ඔබ මට ඒ පොරොන්දුව දෙන්නේද?"

"ඔව් රනී..මම ඔබට ඒ පොරොන්දුව දෙනවා. ඔබගේ කුසයේ සිටින අපගේ පුත්‍රයාට ඔහු අකමැති කිසිදු දෙයකට බල නොකරන බවට මම ඔබට පොරොන්දු වෙනවා" එසේ පැවසූ ගැමුණු කුමරු දැඩි සෙනෙහසින් යුතුව හිස පහත් කොට රන් මැණිකාගේ නළලත සිප ගත්තේය.

සාලිය කුමරු විස්මයෙන් විදහාගත් දෙනෙතින් යුතුව තම මෑණියන්ගේ වත දෙස එක පැහැර බලා සිටියදී ඇය ඔහුගේ හිස මෘදුව පිරිමදිමින් මෙසේ තෙපලාය.

"ඔබට දැන් විශ්වාසයි නොවේද මා පුතණුවනි..ඔබට ඔබගේ අකමැත්තෙන් කිසිවක් කිරීමට සිදු නොවන බවට? "

"එහෙමයි මෑණියනි, මට ඔබ විශ්වාසයි" එසේ පැවසූ සාලිය කුමරුවෝ තම මැණියන් දෑත සෙමෙන් සිප ගත්හ." මෑණියනි මේ සිරි ලකෙහි රජකමට වඩා මම ප්‍රිය කරනුයේ ඔබ හා පියරජතුමන් අතර පවතින සෙනෙහස බඳුවූ සෙනෙහසක් විඳීමටය. එවන් සෙනෙහසක් ලැබීමටය."

"ඔබට ද එවන් සෙනෙහසක් ලැබීමේ විඳීමේ භාග්‍යය කෙදිනක හෝ උදාවනු ඇත. මපුත එතෙක් ඉවසිලිවත් වන්න." එසේ තෙපලූ අග මෙහෙසිය හිස පහත්කොට සාලියගේ හිස සෙමෙන් සිප ගත්තීය.


************************************************

මේ දවස්වල රමසාන් හින්ද දවසට පැය 6 ක් විතරයි වැඩ. උදේ 6 ට පටන්ගත්තම 12 වෙනකල්.ඊට පස්සෙ ඉතිං එක වගෙ වෙනකොට ගෙදර. පට්ට පෑවිල්ල හින්ද කොහෙවත් යන්ට හිතෙන්නෙත් නෑ කාමරේට වෙලා කූල් බියර් එකක් ගහල හෙමිහිට බත් කන්ටයි තියෙන්නෙ. 

බියර් එක ගහන ගමං අද කම්මැලි කමට යූ ටියුබ් එකේ ඔය තියන එව්ව බල බල හිටිය. එතකොට ඔන්න අහම්බෙං හම්බවුනා ජයන්ත චන්ද්‍රසිරිගෙ මහරජ ගැමුණු ෆිල්ම් එක. 

මරාගෙ පාලන කාලෙ ආවනෙ ඔය ඉතිහාසෙ විකුණගෙන කන රැල්ලක්. මට මතක විදිහට සෝමරත්න දිසානායක තමයි ඕක පටන් ගත්තෙ.ඊට පස්සෙ අර සට්ටඹිය ජැක්සන්, එතනින් ගිහාම සනත් අබේසේකර, තව සුගත් සමරකෝන්, සුනිල් ආරියරත්න එහෙමත් යස අගේට බොර දියේ මාලු බෑව.

ජයන්ත චන්ද්‍රසිරිත් අන්තිමට උඹලට හොඳනං මට මොකද කියල හිතිලද කොහෙද වැඩේට එන්ටර් වුනා. ෂෙහ්, අග්නි දාහය, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා එහෙම කරපු මනුස්සය නේද මේ අප්පේ කියල දුකක් විතරයි මට නම් හිතුනෙ ෆිල්ම් එක පැය බාගයක් විතර බලද්දි.... 

ඒ එක්කම මට මතක් වුනා අඩේ ඔය ගාමණී ලොක්කගෙ ප්‍රේම කතාව ගැන මමත් පොඩි කතන්දරයක් ලිව්ව නේද කාලෙකට ඉස්සෙල්ල කියල. ඒක මම ලිව්වෙ පොඩි කුමාරිහාමි බ්ලොග් එකේ කමෙන්ට් එකක් හැටියට. පස්සෙ හොයාගෙන යද්දි මෙන්න හම්බ වුනා පරණ ෆයිල් එහෙක තිබිල. ඒක පොඩ්ඩක් වෙනස් කරල බ්ලොග් එකේ දාන්ට ඕනය කියල මට හිතුන. බියර් එක එහෙම ගහල බඩ පුරා බතුත් කාරිය කාලහිට සුට්ටං නින්දකුත් ගහල ඇහැරල ඒ පාර ඔන්න ඒ කතාව දැම්ම ....

46 comments:

  1. විකුනන්න දෙයක් නැතිවුනාම අපේ කට්ටිය නොවිකුනන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඒකනෙ කියන්නෙ....මොනවට කියනවද ඒ හරිය?...:)

      Delete
  2. රවී, මට වයර් මාරු වෙලා වෙන්නත් පුළුවන්, ඒ වුණාට මට මතක රන්මැණිකා ගැමුණු කුමාරයාට අකමැති වුන බව සහ ඇයගේ සොහොයුරිය කළුමැණිකා සමඟ ඔහු විවාහ වුණ බව.

    අනික ගැමුණු කුමාරයා LBW කාරයෙක් කියල දැනගෙන හිටියෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      කණගාටුයි, වයර් කේස් එකක් තමයි. කළු මැණිකෙ තමයි ගැමුණුට අකමැතිවුනේ.....:)

      LBW වෙන්න ඇති කියල මම උපකල්පනය කලා...:)

      Delete
    2. ඔය අක්කල නංගිල මාරුවෙන ලෙඩක් මට තියෙනව. ගැමුණු කුමරු සහ රණ්මැණිකා ගැන දිණමිනේ තියෙන විස්තරයක්

      Delete
    3. පුංචි කාලේ ඉස්කෝලේ පොතක කවි පන්තියක් තිබුනා මේ ගැන.. "මන්ද කළු පින් නොකලේ" කියල.. ඒකෙ හැටියට ගැමුණු කාරයා කළු ට ට්‍රයි කරලා ඒත් කැමති වෙලා නෑ.. ඒ වුනාට නංගි කැමති වෙලා වගේ සීන් එකක්..

      ඉතුරු ටිකත් මෙතනම දාන්නම්.. එතකොට ගැමුණු කුමාරයව හොයාගෙන කඩොල් ඇතා පෙරහරකින් කොත්මලේ වැඩිය කතාව කෙප්පයක්ය? අර සිරි පැරකුම් එකෙත් ඔහොමම සීන් එකක් තියෙනවා.. හරි එක කෝකෙයි?

      මොනවා උනත් මේ වගේ ලව් සීන් කියවද්දී පොඩි ගතියක් (තාම) තියෙනවා හිටං..

      Delete
    4. "මන්ද කළූ පින් නොකලේ" නමින් කතා පොතක් නම් තිබුනා. කවි පන්තියෙ එන්නෙ "කළුමැණිකේ පින් නොකලේ මන්ද නුඹ" කියලයි..

      හැබැයි ඔය කවි පන්තිය කියැවෙන්නෙ ගැමුණු කුමාරයා ගැන නෙවෙයි, තුන්වැනි විජයබාහු ගැන කියලයි මගේ මතකයේ තියෙන්නෙ.. තුන්වෙනි විජයබාහුත් ගැමුණු කුමාරයා වාගෙම හැංගිලා හිටියා ගම ගෙදරක, මේ වාගෙම ලවු ස්ටෝරියකුත් තියෙනවා..

      Delete
  3. ආ, මේන්න අයියා ඒ දවස් වල ලියපු කතා වලින් මං ආසම කතාවක්. පොඩ්ඩි අක්කාගේ ලිපියකට මාත් ලිව්වා ගැමුණු කුමාරයා ගැන කතාවක්. මේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ස්තූතියි..ස්තූතියි බොහෝමත්ම ස්තූතියි…

      අඩේ කවි දෙකකුත් මම ලියල නේද? ඒ ගැන හාංකවිසියක්වත් මතක තිබ්බෙ නැති හැටියක් ඔන්න බලමුකො... හැබැයි ඒ කවිදෙක මේ කතාවට ගැලපෙන්නෙ නෑ. මේකෙ හැටියට රන්මැණිකේ අගමෙහෙසිය වෙලානෙ. දුටු ගැමුණුගෙ කතාව දිගට ලියනවනම් ලියන්ට වෙන්නෙ ඒ කවිදෙකෙන් කියවෙන කතාව තමයි. ...:)

      ප්‍රේමයේ මුල් අදියර - කොත්මලේ කඩදොර කඳු පාමුලදී ඇය හිස තම උර මත හොවා ඔහු කියූ කවිය......

      සෙනෙහස සොඳුර ඔබ වෙත පිදු හද සපිරි,
      කඩදොර කඳුවැටිය සදිසිය නිල දැවටී,
      නෙතුඅග රැඳෙන කඳුලක සිසිලස දැනුනි,
      සසරක පැතුම හදවත ගැස්මෙක රැඳුනී,

      මාගම අතැර ආයෙමි සිත් බිඳුනු නිසා,
      පායන සඳ රැසින් ගනඳුර මැකුනු නියා,
      පීදෙන ගොයම සේ නුඹ හසරැලින් දිනා,
      පේමය විඳිමි නුඹ පිදු අන් කිසිත් එපා,

      ප්‍රේමයක අවසානය? - රුවන්වැලි සෑය පෙනෙන තෙක් මානයේ මරණ මංචකයේ හිඳ හුදකලාව ඔහු කියූ කවිය

      උපතින් උරුම විය රට දැය රැකගන්ට,
      ඉරණම නියම විය බැඳි පෙම ගිලිහෙන්ට,
      සෙනෙහස එසඳ හඳ බැඳි නුඹ නමින් ලෙද,
      කෙලෙසක මකා දමනෙම් මම් මා පියඹ,

      දැය රැක ගැනුම මේ බවයෙදි උරුමය වී,
      පෙම පුද කලෙමි ඒ වෙනුවෙන් සිත් තැවුලී,
      මතු අත් බවේ නුඹ වෙනුවෙන් ඉපිද යලී,
      සෙනෙහේ සපිරි වත ළඳ මම සිඹින්නෙමි.

      Delete
    2. ලස්සනයි කවි ටික

      Delete
  4. ගැමුණු කුමාරයාගේ උපත පිලිබඳව මර්වින් සිල්වාලගෙ ගම් පලාතෙ තියනවයි කියන කතාව රවි අහල ඇතැයි මං හිතනව.

    ඒක නෙමෙයි ඩෙනිස් ක්ලාර්ක් ගේ ගෝල්ඩන් අයිලන්ඩ් කියවල තියනවද? පරිවර්ථනය - රන් දිව - නියමයි. පරිවර්ථකයා මතක නෑ

    ReplyDelete
    Replies
    1. Pra,

      රන්දිව මම කියෙව්වෙ පහේ පන්තියෙ වගෙ ඉන්දැද්දි. රන්දිව පරිවර්තක නම් මටත් මතක නෑ...බින්දිගෙ පෝස්ට් එකකට මේ ඊයෙ පෙරෙයිද මම දැම්ම කමෙන්ට් එකක් මේ. ඒකෙ කියන කොණා හිටියෙ රන්දිව පොතේ.... මේ ඊයෙ පෙරේද මට මතක විදිහට ඒකෙම තවත් පරිවර්තනයක් ආවා.

      / කෑගල්ලෙ අපේ ගෙදර වතුර ටැංකිය තිබ්බෙ කුස්සියත් එක්කම අල්ලල. ඕකට නඟින්ට යකඩ ඉණි මඟක් තිබ්බ. ඒ එක්කම තිබ්බ මහ විසාල කටු අනෝදා ගහක්. ඒකෙ අතුපතර නිසා ටැංකිය හොඳට හෙවණයි. ඉණිමඟ දිගේ වහලට නැඟල වතුර ටැංකියට පිටදීල හේත්තු උනහම ආය නෑ කිං ආතර් වගේ තමයි. පෙනෙන තෙක් මානෙ මගේ රාජ්ජේ. 

      ඔතන තමයි මම වැඩිහරියක් ඒ කාලෙ පොත් කියෙව්වෙ....ඒත් එකක් තියනව. ඔය කටු අනෝදා ගස් වල දිමියො කූඩු හදනව හරියට. උං අවුස්සගත්තොත් ඉතිං පොත් කියවල හමාරයි...පොරමොලා,නීලා, තිසාහාමි, ගෝඹිරා, හෑන්ස්, ගැස්පා පිගේරා, එඩ්මන්ඩ් වෑන් ස්ටියර්වේල්ට්, නාලිනී කුමරිය, කොණා, එතකොට විලියම් බ්‍රවුන්, ඩේවිඩ් බෝමන්, ෆ්‍රෑන්ක් පූල්, හඳයා, එඩ්මන් දනතිස්ස, ෆේරියා පූජක තුමා, ලක්ෂ්මන් මොරලන්ද, පියල්, ජිනදාස ළමාහේවා,නන්දා, ඔය වගෙ මාත් එක්ක අදටත් ජීවත්වෙන හිතවත්තු බොහොම දෙනෙක් මට මුණ ගැහුනෙ ඔය ටැංකිය උඩ කටු අනෝදා සෙවණෙදි....එතන මහ පුදුම තැනක්...:) /

      *******************************

      දුටු ගැමුණු ගැන ලියවුනු තව හොඳ පොතක් කොලින් ද සිල්වාගෙ Winds Of Sinhala...මම හිතන්නෙ අනිවාර්යයෙන් ප්‍රා කියවල ඇති…:)

      / ගැමුණු කුමාරයාගේ උපත පිලිබඳව මර්වින් සිල්වාලගෙ ගම් පලාතෙ තියනවයි කියන කතාව රවි අහල ඇතැයි මං හිතනව. /

      අනේ නෑ බොලේ...:(

      Delete
    2. අඛිල, අග්ගමාන, ඔද්දිස,ජයමිද, පත්‍රලෞස හා සෙඩ්‍රික්, රොවීනා, රෙබෙකා විල්ෆ්‍රඩ්, බ්‍රයන් දි බොයිස් ගිල්බට්, වම්බා සහ පිරිස මුණ ගැහුනේ නැද්ද ඒකාලෙ?

      ගැමුණු කුමාරයාගේ උපත ගැන මං මෙතන කියන එක අපරාදෙ. මට රවිට වගේ රසවත්ව ඕව ලියන්න බෑ.මං ඊමේල් එකක් එවන්නම් . එතකොට රවි කැමතිනම් කතාවකට කවදහරි යොදාගන්න බැරියැ

      Delete
    3. කවුද බොලේ ජයමිද? ඩියෝමිඩිස් ද?

      ඇචිලීස්, ඇගමෙමන්, ඔඩිසිස්, පෙට්රලෝකස් නම් අඳුරගන්ට පුළුවනි.. :-D

      Delete
    4. හෙහ් හෙහ්. As soon as I published the comment I realized it will draw the elusive Bur out.
      Yes. Diomedes. (මායා රංජන්)
      හැකිතර, ප්‍රයාම,- ලේසියි නේ? එයාශ (ඉස්සරහට කොම්බුවක් එනවා, මට ටයිප් කරන්න බෑ) කවුද දන්නවද?

      Delete
    5. ප්‍රා,

      මම කියෙව්වෙ රණබිම සහ වීර චාරිකා පොත් දෙක. පරිවර්තනය ඩේවිඩ් කරුණාරත්න..ඒකෙ හිටියෙ ප්‍රියාම, හැකිතර, පාරීස, ආගමන, උද්දීස, මනුල, අකිල,..........

      Delete
    6. @ Ravi,
      කවුද ඉස්සෙල්ල පරිවර්ථනය කලේ කියන එක හොයා ගත්තනම් ඉන්ටරෙස්ටින්.
      කොහොමවෙතත් මායාරංජන්ගේ ස්ටයිල් එක වීරකාව්‍යයයක ස්පිරිට් එක හරියටම ගන්නවා. ස්කොට්ගේ අයිවන්හෝ එකේ පරිවර්ථනය - වන සංග්‍රාමය ඊටත් ඉහලයි. පුදුම වැඩේ කියන්නෙ මායා රංජන්ගේ ඔර්ජීනල් පොත් දිගාමඩුල්ලේ ආශ්චර්යය, මගේ රාජ්‍යයය, අපේ රාජ්‍යයය වගේ ඒව කෑලෑගම් ගැන ලියවුන මුල්ම ඒවා වශයෙන් ඉන්ටෙරෙස්ටින් ඒත් සාහිත්‍යමය වශයෙන් ඔහුගේ පරිවර්ථන තරම් ගතියක් නෑ

      Delete
    7. ප්‍රා,

      මායා රංජන් "ඉලියඩ්" පරිවර්තනය කලේ "ත්‍රෝජපුර සංග්‍රාමය" කියල නේද?

      Delete
    8. The Iliad = ත්‍රෝජපුර සංග්‍රාමය
      Ivanhoe = වන සංග්‍රාමය

      Delete
    9. btw Pra, aren't they සර් සිඩ්‍රික්, ලේඩි රුවීනා, රිබෙකා, බ්‍රයන් දි බෝ ගිල්බර්ට්?

      ඓයාශ කියන්නෙ අයස් ද?

      Delete
    10. කැමතිම පොත් දෙකක් ප්‍රා. තවම් අයිවන් හෝ චිත්‍රපටිය බලන්න කැමතියි ඔය පොත කියවපු නිසා.

      Delete
    11. ඓයාශ = Ajax / Aias

      මායා රංජන් ලියුවේ එහෙමයි. "බ්‍රයන් දි බොයිස් ගිල්බත්" මට මතක විදිහට. නෝර්මන්-ෆ්‍රෙන්ච් වලින් Bois බෝ වෙන්න ඕනෙ. මායා රංජන් ෆ්‍රෙන්ච් දැන ගැනීම තියා ඉන්ග්‍රීසිත් self-taught කියලයි මං දන්න විදිහට. එහෙම තියාගෙන කැලේ (Calais නෙමෙයි :-D ) පදින්චි වෙලා වැඩ කරමින් කරපු මේ පරිවර්ථනය an exceptional achievement.
      සෙඩ්‍රික් සහ රෙබෙකා නම් අප්සෙට් නෑ නේද?

      Delete
    12. අජිත්,Ravi & Bur,
      මගෙ ඉතිහාස ( විශේෂයෙන් ග්‍රීක් රෝමන් බ්‍රිතාන්‍ය ) පිස්සුව හැදීමට ලඟම හේතුව ඔය පොත් දෙක (and Rosemary Sutcliff). දැන් ට්‍රෝයි ගැන fiction පොත් දහයක් විතර කලෙක්ෂන් එකේ තියනවා. බ්‍රිතාන්‍ය නම් ඊට ගොඩක් වැඩියි. :-D
      බුරතීනෝ කවදහරි -මං මැරෙන්න ඉස්සර - පොත් ගැන බ්ලොග් එකක් ලියයි කියල මං හිතාගෙන ඉන්නවා. sigh
      අජිත්ල ඉතින් සීරියස් ඒවනෙ ලියන්නෙ. රවිවත් පොත් ගැන ලියයිද මංද.

      Delete
    13. මොන සිරියස්ද ? මම හැකි හැම වෙලේම පොත් ගැන ලියන්න කැමතියි. බ්ලොග් වලට එන්නෙත් කියවන්න කැමති නිසානෙ. මේ දවස් වල විල්ලර වාඩිය ගැන ලියමින් ඉන්නේ.
      ඔය පොත් ටික ආයිත් කියවනං කැමතියි. හොයා ගන්න ඕනේ.

      Delete
    14. //දුටු ගැමුණු ගැන ලියවුනු තව හොඳ පොතක් කොලින් ද සිල්වාගෙ Winds Of Sinhala...මම හිතන්නෙ අනිවාර්යයෙන් ප්‍රා කියවල ඇති…:)//

      ඇත්තටම නියම ප්‍රබන්ධයක්
      අමුතුම විදියට ගෙතුනු කතාවක්

      මා ළඟ තිබූ Hard කොපිය ගුවන් තොටුපලක අමතක වුනා අවාසනාවන්ත ලෙස... ඒ 2002/3 වගේ.

      කොලින් ද සිල්වා මහතාගේ අනෙක් පොත් හොයා ගන්න බැරි වුනා

      Delete
  5. යකෝ මහරජ ගැමුණු මොනවද මෙතනනෙ ෆිල්ම් එක තියෙන්නෙ.
    මට පේන්නෙ මේක ලියන්න කලින් බියර් එකට වෙන මොනවත් කවලං වෙලා වගෙයි. හැක්..

    මූදු XXXX

    අන්න ලොක්ක දැලි පිහියෙන් උගුරු දණ්ඩ කපාගන්න හදනවලු.

    ReplyDelete
  6. මහරජ ගැමුණු රිලීස් වෙද්දී මම ලංකාවෙ.ෆිල්ම් එක ජයන්ත චන්ද්‍රසිරි ගෙ හින්දත් කැමරා ශිල්පියා මගේ මිත්‍ර රුවන් නිසාත් මම බිරිඳටත් කතා කරගෙන ගෙදරට හොරෙන් ගිහිං ෆිල්ම් එක බැලුවා. ටික වෙලාවක් බලද්දී අනේ ආපු මෝඩකම කියල හිතුන බං.බිරිඳට නං ඊට ගොඩ වෙලාවකට කලින් එපා වෙලා ඈනුම් ඇර ඇර හිටියලු.

    මේ කතාව ඉවරයි නේද ආයෙ කොටස් නෑනෙ.

    ReplyDelete
  7. ඉතිහාසෙ විකුනන් කන එක තාම ඉවර නෑනෙ... හොඳ වෙලාවට දුටුගැමුනු රජ්ජුරුවො, පැරකුම් වගේම තව තව අය නැත්තේ... හිටියනම් ඔය හැම අධ්‍යක්ෂක කෙනෙක්ටම නඩුදාලා....

    කතාවත් අපූරුයි... කවිත් අපූරුයි....

    ReplyDelete
  8. ප්‍රාජේ අර කියපු මර්වින් සිල්වගේ කතාව දායි කියලා හිතුවේ...

    ReplyDelete
    Replies
    1. මං ඒක සුදුස්සාට දුන්නා. රවි දායි දවසක.

      Delete
    2. නිර්මාණි,

      ප්‍රා කියපු කතාව මෙහෙමයි. ඔය විහාර මහ දේවි මාගමට ගොඩ බැහැල දවස් ගානකට පස්සෙලු කාවන් තිස්ස රජ්ජුරුවන්ට සීන් එක ආරංචි වෙලා රජවාසලට ගෙන්න ගත්තෙ. ඒ දවස්ටිකේ ඉඳල තියෙන්නෙ මර්වියගෙ කිරිකෑ මුත්තගෙත් කිරිකෑමුත්තගෙත් කිරිකෑමුත්තගෙත්...................කිරිකෑමුත්තගෙ ගෙදර...ඉතිං දන්නවනෙ ඒ දවස් ගානට වැඩේ සිද්ද වෙලා.මාගමට තනියම ගොඩබැස්ස කුමාරි රජවාසලට යනකොට දෙන්නෙක්......කාවන්තිස්ස ඕක දැනගෙනලු කුමාරයට ෆුල් එගේන්ස්ට් ඉඳල තියෙන්නෙ....:)

      Delete
    3. ඔය මර්වියා කියුවොත් ඔහොම එකක් තමයි..
      කතාව කියුවට රවී අයියටත්, ප්‍රාජේටත් විස්කෝතුයි....

      Delete
  9. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ රෝහිණි කටහ්වෙත් මේ සීන් එක තිබෙනවා නේද? රවිය කවදත් වගේ අලංකාරව ලියා තිබෙනවා.

    ReplyDelete
  10. හෑ.. රජකතා සීන් එකක් (නිර්මාණයක්) ලිව්වොත් කොහොමෙයි? ලෙසටම තියෙයි.. කම්පනා කොරලා බලන්ටකෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕකට හොඳම මනුස්සයා ඉතින් රවියම තමයි. රජාගේ ආච්චි ගැන සුරංගට ලියන්න දුන්න නම් හරි.

      Delete
    2. ආතල් කෝටියක් වෙයි... පාඨක ඉල්ලීම් මෙව්වා

      Delete
    3. අජිත්,

      ඒක මරු කතාව, රජ්ජුරුවන්ගෙ ආච්චි ගැන ලියන්ට කියමු සුරංගයට...රජ්ජුරුවන්ගෙ යහ පාලනය, ආර්ථික සහ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ඉයන් ලියයි.ඩූඩ් ලියයි රජ්ජුරුවො දඩයමේ යද්දි අස්සකරත්තෙ රෝදෙක නට් බුරුල් වෙලා ජැක් එකක් එහෙම ගහල ඒක හදාගත්තු විදිහ ගැන. රජ්ජුරුවන්ගෙ හමුදාව ආචාර පෙළපාලි යන විදිහ ගැන විචා ලියයි..තව කවුද? ආ..එතකොට අජිත් මොකක් ගැනද ලියන්නෙ? රජ්ජුරුවො කුමාරයා කාලෙ විදේශගතව අධ්‍යාපනය ලබපු විස්තරේ????

      Delete
    4. එතකොට රජ්ජුරුවන්ගෙ පුතාගෙ අභ්‍යාවකාෂ තරණය ගැන කවුද ලියන්නෙ.

      Delete
    5. අන්න ප්‍රාසන් මම ඒක ලියන්නම්. විදේශගත අධ්‍යාපනය ගැන ලියන්න රසික , රයිගම් ඇණය හෙම ඉන්නේ. ප්‍රාසන් සහ දේශකයා ට දෙමු මොඩරේට් කරන්න. ඔන්න පටන් ගමු වැඩේ. රජ්ජුරුවන්ගේ රට රටවල් වල සංචාර විස්තර කාටද දෙන්නේ? රජු අවකන් රටේ වගේ විස්තර.

      Delete
    6. හුණු පෝරණු ගැනත් ලියනවද?

      Delete
  11. හෆ්ෆා. ඉතිහාසය අළුතින්ම ලියවෙයිද මන්දා. කෝම උනත් මරු ඈ.

    ReplyDelete
  12. සුපිරි ..!

    ඉතිහාසයත් ඉතිං ඒ ඒ රජාගෙ මාධ්‍ය ආයතන වලට ඕන විදියට ලියවෙන්නැති ආය සමාජ වෙබ් අඩවි තිබුණා කියලයැ:)

    මොනව වුනත් සට්ටඹිගෙ නිර්මාණ වල නම් අමුතුම ගතියක් තියෙනව, මේ දවස් වල සී රජ බලනව :)

    ReplyDelete
  13. ''නැත. නැත මෑණියනි....මම ඔබ අවිශ්වාස කලා නොවේ..එහෙත් දුටුගැමුණු මහරජතුමාට පවා හිතුමතේ රට පාලනය කල නොහැකි බව කාටත් වඩා හොඳින් ඔබ දන්නා බව නැවත කිවයුතු දෙයක් නොවේ...මපියානන් පවා ඇමති මණ්ඩලයේ බහුතර මතයට සවන් දිය යුතුයි නේද?''

    රවිට පොඩ්ඩක් අමතක වුනා වගෙයි. ඔය ගැමුණු කුමාරයට පවුලෙ උදවිය දුටු-ගැමුණු කියල කියන්නෙ නැහැනෙ.

    හර්ෂ.

    ReplyDelete
  14. මමත් බැලුවා අර කියපු ඔක්කොමත් හරි ජයන්ත චන්ද්‍රසිරි ට මක් වුනාද කියල. කිව්වම මොකද මම නම් ඔය කතා එකක් වත් බලල නැහැ. පත්තිනි කියල මල විකාරයක ට්‍රේලර් එකක් දැක්ක. දවසකට දෙක තුනක් වත් අහන අගේ ඇති ගීත ලියාපු සුනිල් ආරියරත්න එච්චරම බංකොලොත් වුනේ ඇයිද මන්දා.

    ReplyDelete
  15. Very beutifull story post. Write more.

    ReplyDelete
  16. පරණ කේස් අදින්න එපා අයිෂූ ලියන්න අලුත් එකක් . අපිටත් කල වයස හරි ගිහිං දරුමල්ලන් ලැබෙන කාලෙට හරි ඔබතුමා කතාව අහවර කරාවිනෙ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...