Monday, August 29, 2016

438. The Story Of My Marriage - 24 - "මීටර් ඉල්ල..මීටර් ඉල්ල" කාළවර්ණ හැඩිදැඩි රියදුරු තෙම එසේ පැවසුයේ මදෙස රවා බලමිනි.



බොහෝවිට යම් මානසික ආබාධයකින් පෙලෙන්නෙකු යයි අනුමානය කල හැකි යමෙකු විසින් ගුවන් යානය තුල බෝම්බයක් සඟවා ඇති බවට කල නිර්නාමික දැනුම්දීමක් හේතුකොටගෙන අප දිල්ලි ගුවන් තොටුපොළින් ගුවන්ගත වූයේ නියමිත වේලාවට පැය හයක් පමණ පමා වීය. එබැවින් අප චෙන්නයි ගුවන් තොටුපොළට ලඟාවනවිට රාත්‍රී හතේ කණිසමද ඉක්ම ගොස් තිබිණි. ගමන්මළු වාහක පථයෙහි (Conveyor Belt) මගේ ගමන් මල්ල අපේක්ෂාවෙන් පොරොත්තු වන අතර මම අවට සිටින්නන් කෙරෙහි විමසිලිමත් වීමි. 

මෙසේ පැවසීම අයුතුයයි ඔබට හැඟෙන්නේ නම් කරුණාකර සමාවන්න මා හිතවත් පාඨකය, එහෙත් මෙහිදී මා පවසන්නේ පරම සත්‍යයයයි. මා අවට සිටින්නන් පිළිබඳව පළමුව මසිතට නැඟුනු අදහස නම් ඔවුන්ගෙන් සීයට අනූවකට අධික ප්‍රතිශතයක සම දැඩි කාළවර්ණයකින් යුක්ත බවයි. හදිසියේ හෝ චෙන්නයි ගුවන් තොටුපොළෙහි විදුලිය ක්‍රියා විරහිත වුවහොත් උද්ගතවියහැකි භයංකර තත්වය සිහිව මා මුවඟට සිනහවක් නැඟුනේ සැණෙකිනි. 

මේ දැඩි කාලවර්ණ සමෙන් යුතු සීයට අනූවෙන් සීයට අසූවක් පමණම කාන්තාවෝ ඝන පුයර තට්ටු කිහිපයක් උලා සිටි හෙයින් ඔවුන්ගේ මුහුණු අළුපැහැයකින් බැබළිණි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සම සුදු කරවන්නේ යයි එහි නිෂ්පාදකයින් සපථ කරන ආලේපයට මෙපමණ වෙළඳ පොළක් පවතිනුයේ කුමන හෙයින්දැයි මම වටහා ගත්තෙමි. එනමුදු කාල වර්ණ පුද්ගලයින් මෙපමණ සුදු පැහැවීමට තැත් කරන්නේ කුමන හෙයින්දැයි මට අදද වටහාගත නොහැක. 

ගමන් මළු වාහක පථය දෙස නොඉවසිල්ලෙන් බලාසිටි බොහෝ කාන්තාවෝ මට දිස්වූයේ අනන්‍යාගේ මෑණියන් පරිද්දෙනි. එළෙසම අනිමිස ලෝචනයෙන් ඔවුන් දෙස මාසයක් පුරා බලාසිටියද අවම වශයෙන් ඔවුන්ගෙන් දෙදෙනෙක් හෝ එකිනෙකාගෙන් වෙන්කොට හඳුනාගැන්මට මට නොහැකි වන බවද මට ඉතා පැහැදිලිව වැටහිණි. 

මේ කාන්තාවන් සියල්ලෝම එකිනෙකා අවම වශයෙන් කිලෝග්‍රෑම් අඩක් හෝ බරැති සවර්ණාභරණ සිරුරෙහි යමක් එල්ලිය හැකි සියලු ස්ථානයන්හි එල්ලාගෙන සිටියහ. එහෙත් පම්මි ආන්ටිගේ ස්වර්ණාභරණයන්හි ඔබ්බා තිබූ අන්දමේ වටිනා මැණික් සහ දියමන්තිවලින් විභූෂිත නොවුණු ඒවායින් දිස්වූයේ උදාසීන සහ අඳුරු පෙනුමකි. 

මගේ ගමන් මළු යුගලය වාහක පථය ඔස්සේ පැමිණි පසු ඉන් එකක් උරහිසෙහි දමාගෙන අනෙක ඇදගෙන මම ගුවන් තොටුපොළින් පිටවුණෙමි. සිටි බැංකුවෙහි දිල්ලි කාර්යාලයෙන් මට ලබාදුන් ලිපිනය අනුව මට නියමිත නේවාසිකාගාරය නොහොත් චමරිය වෙත යාමට ත්‍රිරෝද රියක් කතා කරගැනීම මගේ අරමුණ විය. 

එහෙත් හිස ගිණිගත්තෙකු සේ මොහොතින් මොහොත උත්සන්න වන කලබලකාරිත්වයෙන් යුතුව කොතෙක් සෙවූවද දිල්ලි කාර්යාලයෙන් ලබාදුන් චමරියෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල මගේ කමිස සාක්කුවෙහි හෝ කලිසම් සාක්කු දෙකෙහි හෝ නොවීය. තත්වය තවත් භාරදූර වූයේ ටී නගර් නම් ස්ථානය හැරුනුවිට චෙන්නයිහි අවම වශයෙන් වීථියක නාමයක් හෝ මම නොදැන සිටි හෙයිනි. ටීනගර් යයි නොපවසා මම ටී නගර් නම් ස්ථානය යයි පැවසූයේ ඇයිද යන්න පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කල යුතුය. 

වසර අටකට පමණ ඉහත මම ගණකාධිකරණය හා සම්බන්ධ කිසියම් විභාගයක් සඳහා පෙනී සිටියෙමි. එකල මම බොහෝ විභාග වලට පෙනී සිටිය බැවින් ඒ කුමන විභාගයක්දැයි මට එක්වරම මතකයට නඟාගත නොහැක. එහෙත් ඒ විභාගයට පෙනී සිටීම උදෙසා ආධාරක පාඩම් මාලා අඩංගු පොත් කට්ටලයක් මම බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් නම්වූ එවන් විභාග වලට මුහුණ දෙන්නවුන් උදෙසාම පාඩම් මාලා සකස්කරන ආයතනයකින් තැපැල් මඟින් ගෙන්වා ගත්තෙමි. 

ඒ බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් ආයතනය පිහිටියේ චෙන්නයිහි ටී නගර් ප්‍රදේශයේය. ඔවුන් මවෙත පාඩම් මාලා බහා එවූ ලිපි කවරයෙහි වම් පස පහළ කෙළවරෙහි තරමක් විශාල අකුරින් මුද්‍රණය කොට තිබූ ඔවුන්ගේ ලිපිනයෙහි T-NAGAR - CHENNAI යන්න ඉතා පැහැදිලිව තවමත් මගේ මතකයෙහි රැඳී ඇත. 

එනමුදු කල්ප කාලාන්තරයක් තිස්සේ විභාග සඳහා ඔවුන්ගේ පාඩම්මාලා තැපැල් මඟින් ගෙන්වාගෙන ඒ පිහිටෙන් විභාග සමත් / අසමත් වූ ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතරින් නව දිල්ලියේ ක්‍රිෂ් මල්හෝත්‍රාගේ නම ඔවුන්ට මතක තිබීමට කිසිදු තර්කානුකූල සාධාරණ හේතුවක් නැත. එසේ මතක තිබුණද වළගය ගිනිගත් හනුමාසේ මේ හදිසියේ ඔවුන්ගේ කාර්යාලය සොයා දිව ගියද අද රාත්‍රියට පමණක් හෝ මට නවාතැන් දීමට ඔවුන් කිසිසේත් බැඳී නොමැත. 

එදින ඒ මොහොතේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අබියස පදික වේදිකාවේ සිට මම එක්තරා අධිෂ්ඨානයක් කළෙමි. එනම් මගේ ඉදිරි ජීවිතයේ කිසියම් දිනෙක මවිසින් කුමන හෝ විභාගයක් උදෙසා පාඩම් මාලා තැපෑලෙන් යවන්නාවූ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් මෙසේ කිසියම් හේතුවක් නිසා අතරමංවූ මගෙන් පාඩම් මාලා ලබාගත් සිසුවකු හෝ සිසුවියක මා සොයා පැමිණියහොත් නවාතැන්ද ඇතුලුව කලයුතු සියලු ආගන්තුක සත්කාර නොඅඩුව ඉටුකරන බවය. එසේය. මම ඒ යුතුකම නොවලහා ඉටු කරන්නෙමි. ක්‍රිෂ් ටියුටෝරියල්ස් ව්‍යාපාරයෙහි පාරිභෝගිකයින්ට මගෙන් ඉටුවියයුතු යුතුකම් සදාකාලිකව මවිසින් නොවළහා ඉටු කෙරෙනු ඇත. 

අවශ්‍යතාවයක් පැනනැඟුනහොත් අතරමංවූ මගේ පාඩම් මාලා ලාභීන්හට මගේ සයනය ලබාදී විසිත්ත කාමරයෙහි සෝපාවෙහි හෝ නිදාගැන්මට මම නොපැකිලෙන්නෙමි. " "මෙම පාඩම් මාලාව මිලදී ගැනීම ඔබට මහඟු අනාගත අයෝජනයක් වනු නිසැකය. ඔබ අනාගතයේ කිසියම් දිනෙක දිල්ලියේ අතරමංවුවහොත් ඔබට නොමිලේ නවාතැන් ද සැපයෙනු ඇත" පාඩම් මාලා පිළිබඳ ව දැනුම් දීම උදෙසා පළකරනු ලබන පුවත්පත් දැන්වීමෙහි පහළින් එලෙස සඳහන් කලයුතු දැයි සිතමින්ම කළිසමෙහි පසුපස සාක්කුවෙහි වූ මගේ මුදල් පසුම්බිය විවෘත කල මට නවාතැනෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල එහි තිබි හමුවූයේය. 

පෙණහලු සම්පූර්ණයෙන් හිස්ව යන සේ දිගු සැනසුම් සුසුමක් හෙලූ මම මගෙන් පාඩම් මාලා ලබාගත්තවුන්හට මගේ නිවසෙහි නවාතැන් දීම පිළිබඳ වූ පරාර්ථකාමී යහ සිතුවිලි  වහා සිතින් අකාමකා දමා ගුවන් තොටුපොළ ඉදිරියේ වූ ත්‍රිරෝද රිය නැවතුම් පල වෙත ලඟාවීමි. 

එකසේ කාළවර්ණ වූ ත්‍රිරෝද රථ රියදුරෝ සිව්දෙනෙක් ඊලඟ මගියා ගෙනයන්නේ ඔවුන් අතුරින් කවුරුද යන උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් ගැටළුව පිළිබඳව අත පය එහා මෙහා වීසිකරමින් මහ හඬින් වාද විවාද කරමින් එහි උන්හ. 

සත්‍ය වශයෙන්ම මම ද්‍රවිඩ භාෂාව නොදන්නෙමි. එහෙත් අනන්‍යා හා සමඟ මගේ කුටියෙහි ගතකල දෙවසරෙහිදී මම සෑහෙන පමණ ද්‍රවිඩ වදන් උගත්තෙමි. ඒ අතරින් වඩාත් මසිත ආහ්ලාදෙයෙන් පිරී ගියේ අනන්‍යාගේ මුවින් ෂරි, ෂරි, යන වදන් පිටවන විටදීය. රූමත් යුවතියක හා සමඟ එකම කුටියක දෙවසරක් දිවිගෙවූයේ නම් ඔබටද මා එසේ කියන්නේ මන්ද යන්න වටහාගැන්මට කිසිදු අයුරකින් අපහසුවක් නොවනු ඇත. 

ද්‍රවිඩ භාෂාව පිළිබඳව මගේ දැනුම එළෙස වුවද මධ්‍යම රාත්‍රිය වන් කාළවර්ණ රියදුරන් සිව් කට්ටුව ගුවන් තොටුපොළ ප්‍රධාන දොරටුවෙන් තම ගමන් මලු ඉහින් කණින් ඔසවාගෙන පිටතට පැමිණෙන මගීන් දෙස තොල කට ලෙව කමින් බලාසිටිමින් පැවැත්වූ විවාදයෙහි නිමිත්ත අන් කිසිවක් නොව මගීන් බෙදාගැනීම උදෙසා වූවක් බව වටහා ගැන්මට මට එම්.බී.ඒ. උපාධියක් අවශ්‍ය නොවීය. 

"එංගා?" ඔවුන් අතුරින් වඩාත්ම හැඩිදැඩිවූ රියදුරා වෙඩි තබන්නාක් මෙන් මගෙන් විමසූයේ ඔහුගේ සගයින් පසෙකට තල්ලු කර දමමිනි. "එංගා හොටේල්?" 

එංගා යන්නෙහි අරුත කොහෙද යන්නයි. ඒ අනන්‍යාගෙන් මා ඉගෙනගත් තවත් වදනකි. "නෝ හොටේල්" පවසමින් මම මුදල් පසුම්බිය දිගහැර නේවාසිකාගාරයෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල පිටතට ගතිමි. 

මුදල් පසුම්බිය තුල වූ නිවසින් පිටත්වීම පෙර මගේ මෑණියන් මා අතට දුන් රුපියල් සියයේ නෝට්ටු දහය දුටු හැඩිදැඩියා ගේ දෑස් එක්වරම මහත්සේ විශාල විය. ඒ සමඟම ඔහු යලිත් තම දෙතොල් ලෙවකෑවේය. 

"ඉංග්ලිෂ් ඉල්ල, ඉංග්ලිෂ් ඉල්ල" මා ඔහුට දිගුකල නේවාසිකාගාරයේ ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල දෙස එක් වරක් බැලූ හෙතෙම හිස් දෙපසට වේගයෙන් වනමින් පියවරක් පසු බැස්සේ එසේ පවසමිනි. ඉල්ල යනු ද්‍රවිඩ භාෂාවෙන් නෑ යන්න බව ද මට පැහැදිලි කලේද අනන්‍යාය. 

හැඩිදැඩියා පවසනුයේ සත්‍යයකි. එහි නේවාසිකාගාරයෙහි ලිපිනය සඳහන් වූයේ ඉංගිරිසි බසිනි. ඉංග්‍රීසි බසින් ලිපිනය ලියූ කඩදාසි කැබැල්ලක් අතටදී ඉංග්‍රීසි අකුරක් නොදන්නා බහුතරයක් වෙසෙන නගරයකට මා පිටත් කොට එවීම පිළිබඳව දිල්ලි සිටි බැංකුවෙහි කළමණාකාර අධ්‍යක්ෂ තැනගේ පටන් බැංකු පරිශ්‍රයෙහි පිහිටි විසිතුරු මසුන්ගෙන් සපිරි ජල පොකුණට වැටෙන කොළ රොඩු ඉවත්කරන්නා දක්වා සියල්ලන් මෙලොවට බිහිකල මෑණිවරුන්ට පින් පමුණුවමින් මම මම සතර අත ඇසට අසුවන මානයක ඉංගිරිසි බසින් ලියවුනු ලිපිනයක් කියවාගත හැක්කෙකු සිටීදැයි අවට විපරම් කළෙමි. එවන් කිසිවකු ඇස නොගැටුනු කල්හි අවසන ලිපිනය ලියූ කඩදාසි කැබැල්ල දෙස රැළි නැඟුනු බැමින් යුතුව බලාසිට මමම ඒ කියවීමට උත්සාහ කළෙමි. 

"නුං..ගා..බ..ක..ම..මා...?" මම තටමමින් අකුරෙන් අකුර පැටලෙමින් පවසා හිස ඔසවා හැඩිදැඩි පුරුෂ තෙමේගේ මුහුණ බැලූයෙමි. 

"ඕහ්හ්හ්......නුංගම්බක්කම් නුංගම්බක්කම්" රියදුරා මහත් ප්‍රමෝදයට පත්ව මහ හඬින් සිනාසුනේය. එවන් පහසු වදනක් හෝ නිවැරදිව උච්ඡාරණය කිරීමට මගේ නොහැකියාව ඔහුගේ පුදුමයට මෙන්ම හාස්‍යයටද හේතුවී ඇති බව මට වැටහිණි. 

සිටි බැංකුවෙහි දේවේෂ් නේවාසිකාගාරයට යන මාර්ගය විස්තර කරද්දී පැවසූ එක් මඟ සළකුණක් එකවරම මගේ මතකයට පැමිණියේය. "ලොයෝලා කොලේජ්? ඔහේ දන්නවද ලොයෝලා කොලේජ් එක?" 

"ෂරි, ෂරි" රියදුරා යලිත් ඔහුගේ මුඛයේ පිහිටි සියළුම දසන් දක්වා සිනාසුනේය. "ෂරි, ෂරි" 

එම වදන කණ වැකෙනු හා සමඟම මසිතට නිරායාසයෙන් පිවිසි අනන්‍යා පිළිබඳව සොඳුරු මතකයින් කැටිකොටගෙනම මම මගේ ගමන් මළු යුගලයද රැගෙන ත්‍රිරෝද රියට ගොඩවීමි. 

රියතුල සතර අතම සෝදිසි කලද ගාස්තු මීටරයක් දක්නට නොවීය. නව දිල්ලියෙහි සෑම ත්‍රිරෝද රියකම නියමිත පරිදි ක්‍රියාත්මක වන ගාස්තු මීටරයක් සවිකොට තිබීම අනිවාර්ය වන අතර එසේ නොමැත්තේනම් දඩයක් ගෙවීමට අමතරව ත්‍රි රෝද බලපත්‍රය අවලංගු කිරීමටද ලක්විය හැක. 

මම ඉදිරි අසුනට බරදුන් හැඩිදැඩියාගේ උරහිසට තට්ටු කලෙමි. "මීටර්..මීටර්...?" 

ඔහු පසුපස හැරී මදෙස බලා මහ හඬින් සිනාසුනේ මම ඉතා අසභ්‍ය විහිලු කතාවක් පැවසූ කලෙක මෙනි. 

"වට්? වෙයර් ඉස් මීටර්…. මීටර්?"

මම යලිත් විමසුවෙමි. එවර ඔහුගේ සිනහව එක්වරම අතුරුදන්වූයේ ස්විචයක් පහත දමා මහහඬින් ක්‍රියා කරමින් තිබූ විදුලි පංකාවක් එක් සැණින් ක්‍රියා විරහිත කල පරිද්දෙනි. 

"මීටර් ඉල්ල" කළුකොටගත් මුහුණින් යුතුව ඔහු පැවසූයේ මදෙස රවා බලමිනි. 

ත්‍රිරෝද රිය පණගන්වාගත් හැඩිදැඩියා වේගයෙන් වංගුවක් ගනිමින් නගරය දෙසට ඉගිලෙන්නට විය. 

"හව් මච්?" මම ඇසීමි. 

"එදුවුම්" ඔහු පැවසූයේ මහ හඬින් බෙරිහන් දෙමිනි. 

"අයි ඩෝන්ට් අන්ඩර්ස්ටෑන්ඩ්, ස්ටොප්, හව් මච්?"

මම ද මදක් හඬ උස්කොට ඇසීමි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ හෝ ත්‍රිරෝද රිය නතර කලේ ඔහු නොවේ. 

යලිදු මම ඔහුගේ උරහිසට තට්ටු කලෙමි. එවර ඔහු හිස කරවා මදෙස බැලීය. ඔහුගේ මුහුණෙහි වූයේ තර්ජනාත්මක පෙනුමකි. මම සංඥා භාෂාවෙන් අභිනයන් පාමින් ගාස්තුව කොපමණදැයි යලිදු ඔහුගෙන් විමසීමි. 

රියදුරා යලි ඉදිරියට නෙත් යොමාගත්වනම රිය පැදවීමෙහි යෙදුනේය. මිනිත්තු භාගයකට පමණ පසු ඔහු ඉදිරිය බලාගත්වනම වම් අත උරහිස මතින් ඉහල ඔසවා ඇඟිලි පහ විහිදෙන පරිදි දිගහැරලීය. 

"ෆයිව් වට්?" මම ඇසීමි. 

ඔහු ඇඟිලි හකුලා යලිත් වරක් දිගහැරලීය. 

"ෆිෆ්ටි?"

ඔහු හිස සොළවා ඒ අනුමතකලේය. 

"ඕකේ…" මම පැවසීමි. 

අවසන මගේ හෝ ඔහුගේ හෝ භාග්‍යයකට  දෝ අභාග්‍යයකටදෝ ඒ ඉංගිරිසි වදන ඔහුට වැටහිණ.

"වොකේ……" එසේ පවසමින් ඔහු යලිත් හඬ නඟා සිනාසුනේය. සිනාසෙමින්ම ඔහුගේ සුරත වම් උරහිස ඉහළින් පසුපසට දිගු කලේය. මම ඔහුගේ සුරත මගේ සුරතින් ගෙන සෙලවීමි. 

යලිත් මහ හඬින් සිනාසුනු හැඩි දැඩියා ත්‍රිරෝද රිය අවසාන ගියරයට දමා ගත්තේ කෙමෙන් ගණ අඳුරින් වැසී යමින් තුබුණු චෙන්නයි නගර මධ්‍යයට මහත් වේගයෙන් ධාවනය කලේය. 

 A 3 Wheeler in Chennai - Google Images

Friday, August 26, 2016

437. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 2 - ගෙල වට බැන්දා වූ මුතු පොටේ…..


Google Images
එක්දහස් නමසිය අසූඅට වර්ෂයේ මුල් කාර්තුවෙහිදී මම එවකට සේවය කල ආයතනයේ කළමනාකාරිත්වය විසින් මාස තුනක නේවාසික සේවාස්ථ පුහුණුවකට තෝරාගැණිනි. රත්මලාන බහුතාක්ෂණ ආයතනයෙහි පූර්ණ කාලීන පාඨමාලාවක්වූ එයට මා සහභාගීවූයේ මගේ මිතුරකුවූ කුමාරගේ යම් තරමකට දුරින් ඥාතීන්වන මැදිවියෙහිවූ යුවලකගේ නිවසෙහි නවාතැන් ගෙනය. 

බොරලැස්ගමුව දේවාල පාරෙහි පිහිටි එම නිවසෙහි පිටතින් පිහිටි කාමරයක් කුමාර සහ මා වෙනුවෙන් වෙන් කෙරිණි. බෙල්ලන්විල රජමහාවිහාරය ඉතා ආසන්නයේවූ එම නිවසෙහි සිට අප දෙදෙන මාර්ග අංක 119 දරණ මහරගම - දෙහිවල බසයක නැඟී දෙහිවල මංසන්ධියටද ඉක්බිති ගාළු පාරේ දකුණු දෙසට ධාවනය වන මොරටුව හෝ පානදුර බසයක නැඟී රත්මලාන බෙලෙක් කඩේ හන්දියටද පැමිණියෙමු. බෙලෙක් කඩේ හන්දිය යාබදව මොරටුව දෙසට වන්නට පිහිටි සුවිසල් භූමිභාගයක පැතිර රත්මලාන බහු තාක්ෂණ ආයතනය පිහිටා තිබිණි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියට දින හයක් ඉගැන්වීමේ කටයුතු සිදුකෙරුනු අතර සතිඅන්ත නිවාඩුව ඉරුදිනට සීමාවිය. එබැවින් සෙනසුරාදා පාඨමාලාව අවසන්වී නිවෙස් බලා ගියද සඳුදින උදෑසන අට වන විට ආයතනයට පෙරළා පැමිණිය යුතුය.

නිල වශයෙන් අප බහුතාක්ෂණ ආයතනයෙහි සිසුන් වුවද ඒ වනවිටද රැකියාවන්හි නිරතවූවන් බැවින් ආයතනයෙහි ප්‍රධානීන් අතරද අපට යම් පිළිගැනීමක් විය. එසේම පාඨමාලාව සම්බන්ධීකරණය වෙනුවෙන් සැළකිය යුතු මුදලක් අප සේවය කල ආයතනය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය (ICTAD) හරහා බහුතාක්ෂණ ආයතනය වෙත ගෙවීමට කටයුතු යොදා තිබීමද මේ පිළිගැනීමට බොහෝසේ හේතුවිය.

එසේ හෙයින් ඉරුදින නිවාඩුව සඳහා නිවෙස් බලා ගොස් සඳුදා දිනයෙහි හෝරාවක් හෝ දෙකක් ප්‍රමාදව පැමිණියා වුවද ඒ එපමණ ප්‍රශ්ණයක් නොවන බව අපි දැන සිටියෙමු. එහෙත් අපහට ආයතනයෙහි පැවති පිළිගැනීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගැන්මට කිසිසේත් කැමති නොවුනු අප සති අන්තයට නිවෙස් බලාගිය නමුදු සඳුදින අළුයම නිවෙස් වලින් පිටත්ව කෙසේ හෝ පාඨමාලාව ඇරඹීමට පෙර ආයතනයට පැමිණීමට වගබලා ගත්තෙමු.

එකල මම අවිවාහකයකු වූ අතර විශේෂ අවශ්‍යතාවයක් නොවූයේනම් නිවෙස බලා ගියේ මසකට වරකි. ඉතිරි සතිඅන්තයන් චිත්‍රපට හෝ වේදිකා නැරඹීමටද කොළඹ පුරා පිහිටි පොත් කඩ පීරීමටද යොදා ගතිමි. එසේ නැතහොත් මා සමඟ පාඨමාලාවට සහභාගීවන අනෙකුත් සගයින් කිහිප දෙනෙකු සමඟ කොහේ හෝ මත්පැන් හලකට ගොඩවැද ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙමින් මධුවිත් ඉහළට ඔසවා සව්දිය පිරූවෙමු.

දෙහිවල මංසන්ධිය අසලම ගාළුපාරටම යාබදව පිහිටි පර්ලින් අවන්හලට අප බහුතරයක් ඇලුම් කලේ ප්‍රසිද්ධ මත්පැන්හලක අනිවාර්යයෙන් පැවතිය යුතුයයි අප විශ්වාස කල අදාල වාතාවරණය (The typical atmosphere unique to a well patronized public bar) එහි නොඅඩුව දක්නට වූ හෙයිනි.

පාඨමාලාවෙහි අවසාන මාසයෙහි පසළොස්වක පොහෝදින සඳුදාවකට යෙදී තිබූ හෙයින් ඒ සෙනසුරාදා සවස මම නිවෙස බලා යාමට සැළසුම් කළෙමි. එහෙයින් සෙනසුරාදා උදෑසන පාඨමාලාවට සහභාගීවීමට පැමිණෙන විට මගේ ගමන් මල්ලද රැගෙන ආයෙමි.

"මොකද බං මේ........මල්ලකුත් උස්සගෙන?" පුෂ්පේ විමසුවේය. 

පුෂ්පේ වනාහී නාවල කොස්වත්තේ නිවැසියෙකි. දඹුල්ලේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුගෙ වැඩිමහළු පුත්‍රයා වූ හෙතෙම මට වසර කිහිපයකට ජේෂ්ඨවූ සුලෝහිත සිසුවෙකි. සුලෝහිතයෙහි ජීවිතය පිළිබඳ ලියද්දී මම ඕරමන්ඩිය නම්වූ පාසල අසලම පිහිටි සිසුන් හත් අට දෙනෙක් නේවාසිකව හුන් නිවසක් පිළිබඳව සඳහන් කලා ඔබගේ මතකයෙහි ඇතැයි සිතමි. පාසල් යන කාලයෙහි ඒ ඕරමන්ඩියෙහි දීර්ඝකාලීන නේවාසිකයෙකුවූ පුෂ්පේ අටවන ශ්‍රේණියෙහිදී පමණ ගෝතමියෙහි රූමත් සිසුවියක් හා බැඳි ප්‍රේමයේ අනුහසින් කොස්වත්තෙහි දෙමහල් නිවසක හිමිකරු විය.

"සඳුදා පෝයනෙ බං. අද ක්ලාස් ඉවරවෙලා මෙහෙම්මම අදිනව නුවර."

"මඟුලක් කතා කරනව. එතකොට අද පර්ලින් යන්නෙ නැද්ද? "

"පර්ලින් ගිහිල්ල බෑනෙ බං…" මම බැගෑපත් වීමි. 

"මේ පිස්සු කෙලින්ට එපා. හෙට මගෙ වෙඩිං ඇනිවසරි එක. අවුරුදු පහයි. මම ලෑස්තිවුනේ උඹල ඔක්කෝටම හෙට ගෙදර එන්ට කියල පාටියක් දෙන්ට. ඒත් ඒක හරියන්නෙ නෑ වගෙ. අපෙ උන්දැ ලෑස්ති කරගෙන කතරගම යන්ට. බාරයක් තියනවලු ඔප්පු කරන්ට."

"වෙන්ටත් ඇති. උඹෙ වයිෆ් කඳ සුරිඳුට බාරයක් වෙන්ට ඇති මේ මනුස්සය එක්ක අතුරු ආන්තරාවකින් හැල හැප්පීමකින් තොරව පුරා පස් වසරක් පවුල් කන්ට ඔබ තුමාගෙ පිහිටාරක්ෂාව ලැබුනොත් දෙන්නත් එක්කම ඇවිල්ල බාරෙ ඔප්පු කරනවයි කියල" මම පැවසූයේ හඬ නඟා සිනාසෙමිනි.

"හරි හරි ඒක මොක හරි. ඉතිං මම හිතුවෙ පස්සෙ උඹල කට්ටියටම කතා කරල ඉරිදාවක වගෙ ලන්ච් එකක් දෙනකල් අද හවස පර්ලින් යමුය කියල…" 

පුෂ්පේ යනු මගේ ජීවිත කාලයෙහිදී මට හමුවූ ඉතාම සුහද එමෙන්ම පරාර්ථකාමී මිනිසෙකි. මෙකල මෙන් එකලද එවන් මිනිසකු හමුවීමට වඩා දුෂ්කර කාර්යයක් වූයේ නම් ඒ මහජන මුදල් හොරකම් නොකල මහින්දගේ ඥාතියකු හෝ ගෝලයෙකු හමුවීම පමණකි.

"හරි හරි ඕකේ මාකේ...මම එන්නං, පුෂ්පයගෙ වෙඩිං ඇනිවසරි එකට ඉන්වයිට් කලාම නොගිහින් කොහොමද? "

"එතකොට ගෙදර යන එක?" තවත් කවුදෝ විමසුවේය.

"බලමු රෑවෙලා නයිට් මේල් එකේ හරි යන්ට බලනව. බැරිම උනිත් ආය ඉතින් මොනව කරන්ටද? මැරෙන්ට කියලය? හෙට උදේට තියන කෝච්චියක වත් යනව."

පැණිදෙණියේ කුඩා ඉඩම් කොටසක් මිලදී ගැනීම සහ එහි නිවහනක් ඉදිකිරීම තවත් වසර විසිපහක් පමණ අනාගතයේ සිදුවන්නට නියමිතව තිබූ එදවස මම වාසය කලේ පිළිමතලාවේ පිහිටි අපේ මහ ගෙදරය. කොළඹ සිට දුම්රියෙන් පැමිණ පිළිමතලාව දුම්රියපලෙන් බැසගත් ඉක්බිති නිවස තෙක්වූ කිලෝ මීටර් තුනක් පමණවූ දුර ප්‍රමාණය බස් රථයකින් පැමිණීම හෝ දුම්රිය මාර්ගයේ ඔස්සේ පාගමනින් පැමිණීමට මම පුරුදුව සිටියෙමි.

කුඩාකල සිටම හැකි සෑම විටම දුම්රියෙන් ගමන් කිරීමට මම රුචි කලෙමි. බස් රථයක ගමන මෙන් නොව දුම්රිය ගමනෙහිදී අත්විඳිය හැකි නිදහස, විශේෂයෙන්ම පොතක් පතක් කියවීමේ නිදහස, සැහැල්ලුව සහ බාධාවකින් තොරව රස විඳිය හැකි පරිසර චමත්කාරය ආදී ධනාත්මක කාරණා විසින් දුම්රිය ගමනෙහි නිසග අපහසුතාවයන් තුලනය හා / හෝ නිෂේධනය කරන බව මම උදක් විශ්වාස කලෙමි. 

"හරි එහෙනං ඔක්කොම හරිනෙ. ක්ලාස් එක ඇරෙන්නෙ පහට. පහමාර වෙනකොට අපි යමු පර්ලින් එකට. ආ..වීරෙ..උඹ නැවතිල ඉන්න තැනට කියල ආවෙ අද එන්නෙ නෑ කියල නේද? එතකොට කොහොමද?"

"කුමාරයයි මායි ඉන්නෙ එලියෙන් වෙනම දොරක් තියන කාමරේකනෙ. ඒ හින්ද අවුලක් නෑ."

" හරි එහෙනං ඒකත් හරි…."

ඉදින් එදින පුෂ්පේගේ පස්වන විවාහ සංවත්සරය සැමරීමේ ප්‍රිය සාදය රාත්‍රී දහයේ කණිසම දක්වා ඇදී ගිය බවත්, අවසන පර්ලින් ආපන ශාලාවෙහි කළමණාකාරිත්වය පුෂ්පේගේ සුහද මිතුරන් වූ නිසාම, ගාළු පාරෙහි පදික වේදිකාවට පැමිණ ක්වීන්ස්බරි නීතිමාලාව නොසළකා හරිමින් (No holds barred) කේවල මුෂ්ඨි ප්‍රහාරක තරඟ වලට පැමිණෙන මෙන් පර්ලින් කාර්ය මණ්ඩලයට අභියෝග කරමින් අයුතු ජන රාශියක් ලෙස සංවිධානය වී හුන් අප මිතුරන්හට එදින රාත්‍රිය පහන් වන තුරු දෙහිවල පොලිස් සිර මැදිරියෙහි යකඩ කූරු ගණනය කිරීමට සිදුවීමේ මහත් අභාග්‍යයෙන් මුදවා ඔවුන්ගේ නිවෙස් කරා ආරක්ෂිත ලෙස පිටත් කරලීමට හැකිවූ බව මෙහිලා සටහන් කොට තබන්නෙමි.

" අඩෝව්, වරෙල්ල ඩෝ එකා එකා, බැහැපල්ල දොට්ට,වරෙව් ගහගන්ට, තොපි මහ ලොකු චණ්ඩිනෙ." අපේ එවුංගෙන් හතර පස් දෙනෙක් එහෙමයි පර්ලින් ස්ටාෆ් එකට චැලේන්ජ් කලේ. මේ වෙන මොකවත් එහෙම නෙවෙයි බයිට් ප්ලේට් එකකට මිරිස් වැඩියි කියල.

මධ්‍යම රාත්‍රිය පමණ වන තෙක් අයුතු ජනරාශිය විසුරුවා නිරුපද්‍රිතව නිවෙස් කරා පිටත්කොට හැරීමේ මහා අසදෘශ පුණ්‍ය කර්මයෙහි නිරතවීම හේතුකොටගෙන පසුදා කොටුව දුම්රියපළට මට ළඟාවීමට හැකිවූයේ පෙරවරු දහයේ කණිසමද පසුවීය. පෙරවරු දහය පසුවී මිනිත්තු තිහට මහනුවර බලා යන දුම්රියේ තෙවන පංතියේ ප්‍රවේශපත්‍රයක් මිලයට ගත් මම දුම්රිය වේදිකාවට පැමිණ නැවැත්වූ වහාම ඊට ගොඩවී කවුළුවක් අසල අසුනක හිඳගතිමි.

රාත්‍රියෙහි පානය කල රහමෙර සමඟ ඉක්බිති හරි හැටි රාත්‍රි අහරක් නොලැබීමද එකතුව ආමාශය තුලින් පැන නැඟ ගලනාලය පසුකොට මුඛය දක්වා ගෙන ආවේ දැඩි ආම්ලිකත්යෙන් යුතු මුහුණ ඇඹුල්කරවනා වූ අපුලකි. දුම්රිය ගමනාරම්භ කිරීමට තවත් මිනිත්තු පහළවක පමණ කාලයක් වූ බැවින් අසුනින් නැඟී සිටි මම පළමුවන වේදිකාවෙහි පිහිටි පොදු වැසිකිළිය වෙත ගොස් උපැස් යුවල ගලවා කමිස සාක්කුවේ බහා සිසිල් ජලයෙන් මුහුණ දොවා ගතිමි. ඉන් යම් පහසුවක් දැනුනු අතර දුම්රිය භෝජනාගාරයෙන් මිලදී ගත් ලෙමනේඩ් බෝතලයක්ද පානය කොට ඒ පිටටම පැනඩෝල් පෙති දෙකක්ද ගිල දමා යලි දුම් රියෙහි අසුන් ගතිමි.

දුම්රිය ගමනක යෙදෙනා හැකි හැකි සෑම විටකම කුමන හෝ පොතක් කියවීම මගේ පුරුද්දක්විය. 2007 සහ 2008 වසරෙ දෙකෙහිදී කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රධාන කාර්යාලය පිහිටි ඉදිකිරීම් සමාගමක සේවය කරද්දී සතියක් පාසා දෙවරක් නිවසට ගොස් පසුදින පෙරළා පැමිණෙන දුම්රිය ගමන අතරතුරදී නොයෙක් පොත් ප්‍රදර්ශණ සහ පොත් සල්පිල් වලින් මිලදී ගෙන පසුව කියවන්නෙමැයි සපථ කොට අප නිවසේ නිදන කාමරය පුරා ගොඩ ගසා තිබූ පොත් සම්භාරයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් කියවා හමාර කිරීමට මම සමත් වූයෙමි.

ප්‍රස්තුත දුම්රිය ගමනෙහිදී මවිසින් කියවනු පිණිස ගමන් මල්ලෙහි බහා තිබියේ ඒ ආසන්නයේම නිකුත්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. "Songs Of Distant Earth" නම්වූ එය ඉතා සාර්ථක නවකථාවක් බව බොහෝ විචාරකයින්ගේ අදහස විය.

නියමිත කාල වේලාව නොවරදවා දුම්රිය මහනුවර දක්වා පිටත් වූ අතර කවුළුවෙන් හමාඑන මද නලෙහි පහස විඳිමින් දෑස් පියාගෙන මිනිත්තු කිහිපයක් ගතකල මම ආසන ඉහලින් පිහිටි ගමන් මළු තැන්පත් කරනා රාක්කයෙන් මගෙ ගමන් මල්ල ඉවතට ගෙන එතුලින් ආතර් සී. ක්ලාක් මහතාගේ පොත සුරතට ගෙන යලි අසුනෙහි දිගාවීමි.

70-77 සමගි පෙරමුණු රජය සමයෙහි රුමේනියාවෙන් ගෙන්වන ලද හෙයින් "රුමේනියන් පෙට්ටි" යනුවෙන් පොදු මහජනයා අතර හැඳින්වුනු දුම්රිය මැදිරි වල ඔබ ගමන් කොට ඇත්තේ නම් එහි තෙවන පංතියෙහි ආසන පිහිටා ඇත්තෙ ආසන දෙකක් බැගින් එකිනෙකට මුහුණලා බව මතකයෙහි රැඳී ඇතිවාට සැක නැත.

ඉරුදිනක් බැවින්දෝ දුම්රිය මැදිරිය තුල මගීහු සිටියේ අතළොස්සක් පමණි. මා අසල අසුන මෙන්ම මා ඉදිරියේවූ යුගල අසුනද හිස්ව පැවතිනි. උකුළ මතවූ පොත සුරතට ගෙන පිටු කිහිපයක් කියවද්දී මගේ ඇසිපිය වැසෙන්නට විය. දෑස් තදින් පියාගත්වනම මොහොතක් ගතකොට යලි හැකිපමණ දෑස් විවර කිරීම නිදිමතට වැළැක්වීමේ නොවරදින ප්‍රතිකර්මයක් ලෙස මම බොහෝ වාරයක් භාවිතා කොට ඇත්තෙමි. එහෙත් පෙරදින රාත්‍රියෙහි පානය කල රහමෙර බලපෑම මෙන්ම කවුලුව පුරා හමාඑන සිසිල් සුළඟ අවදිව සිටීමට ගත් මගේ දැඩි උත්සාහය පරාජය කලේ ඉතා පහසුවෙනි.

එසේ කොපමණ කාලයක් නින්දේ පසුවූවාදැයි නොදන්නෙමි. මා අවදිවූයේ දුම්රිය තියුණු වංගුවක ධාවනය වීමේදී මැදිරි එක පසෙකට ඇලවී යාම හේතුකොටගෙනය. ක්ෂණිකව විවරවූ මා දෑසට ලක් වූයේ මගේ අසුන එක එල්ලේ ඉදිරියේ වූ අසුනෙහි හිඳ දැඩි අවධානයෙන් යුතුව උකුලමත රඳවාගත් පොතක් කියවන තුරුණු යුවතියකි.

ලා කහ සහ දුඹුරු පැහැ අතර පැහැයක් ගන්නා (ඉංගිරිසියෙන් Beige color යනුවෙන් හැඳින්වෙන මෙම වර්ණය සඳහා සම්මත සිංහල වදනක් මම නොදන්නෙමි. සමරපාට යනුවෙන් යෙදුමක් ගුණදාස ලියනගේ මහතාගේ පොතක මට හමුවිය. එහෙත් එම වදන ප්‍රථුල ලෙස භාවිතා නොවේ.) සාම්ප්‍රදායික උඩරට ඔසරියකින් සැරසුනු ඕ සුදු පැහැ මුතු පටක් ගෙල පළඳා සිටියාය. අපූරු තල එළලු පැහැ ඡවි වර්ණයෙන් යුතුවූ ඇගේ කෙස් වැටිය හිස පසුපසට කොට බැඳ තිබිණි. මුවග මදහසක් සහිතව ඇය උකුළ මතවූ පොත දෙස නෙතු යොමුකොටගත් වනම පසුවූයේ ඇගේ රූසපුව හමුවේ තුෂ්නිම්භූතවූ එක් ප්‍රේක්ෂකයෙක් ඇය ඉදිරියේ අත පොවන මානයේ දෑස් හයාගත්වනම පසුවන බව පිළිබඳව අංශුමාත්‍රයක් හෝ නොදැනය.

කිසිවකු අප දෙස එක එල්ලේ බලාසිටින කල්හි ඒ බැව් සවනේන්ද්‍රියකින් මෙන් අපට දැනෙන බව මම අසා ඇත්තෙමි. එහි සත්‍යතාවය කෙසේ වුවද එක්වරම ඇය හිස ඔසවා මදෙස බැලුවාය. අපගේ නෙත් එකිනෙක ගැටිණි. ඇගේ කොපුල් තල පුරා රත් පැහැයක් පැතිරෙන්නා හා සමඟම ඇය වහා තම හිස පහත්කොට යලි උකුල මතවූ පොත වෙත නෙත් යොමු කොට ගත්තීය.

ඇය හිස පහත්කොටගෙන සිටියදී කිසිදු බාධාවකින් තොරව මම රිසිලෙස ඇය දෙස බලා සිටියෙමි.

එහෙත් එලෙස කොතෙකුත් අනිමිස ලෝචන පූජාවෙන් ඇය දෙස බලා හිඳීමෙන් කිසිදු ඵලක් නැත්තේමය. කෙසේ හෝ ඇය හා කතා කොට ඇගේ විස්තර දැනගත යුතුය.

දෙතුන් වරක්ම ඉදිරි අසුනේ හිඳිනා යුවතිය හා කතා කීරිමට උත්සාහ කලද ඒ සෑම විටම සිදුවූයේ මගේ ස්වරාලයේ නිපැයුනු වදන් කණ්ඨකය සහ ග්‍රසනිකාව හරහා මුඛය දක්වා පැමිණෙන අතර සිදුවූයේ කුමක්දැයි සිතාගැන්මට පවා නොහැකි අයුරු අතුරුදන් වීමයි. 

"මේ ඔයා යන්නෙ කොහාටද?....." අවසන මම ඇසෙන් නෑසෙන හඬින් කෙඳිරීමට සමත් වුයෙමි.

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ හොඳ නෑ ඕවා

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

ගායනය - ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රියා සූරියසේන


Tuesday, August 23, 2016

436. ඒ සොළොසට අයත් නොවූවද But Still මා හද බැඳි ගී - 1 - සිතුල් පව්ව සහ ඇතින්නියේ…

මේ ඉයන් බෝ කරපු ලෙඩේ තවම හොඳ වෙලා නැති හැඩයි පේන්නෙ…….හෙහ්,හෙහ්

මම ගීත දාසයක් තේරුවට මගෙ හිතට බොහොම හරි මදි ඇත්තම කිව්වොත්. ඒ කියන්නෙ මගෙ හිතට සමීප තව බොහොම ගීත මඟ ඇරුනා. ඒ ගැන තවත් පෝස්ට් එකක් බාගෙට ලියල ආය මොකටද ඒ රැල්ල බැහැල ගියානෙ ඔන්න ඔහෙ නිකං ඉන්නව කියල අතෑරල දැම්ම. ඒත් මේ අද දැක්කෙ තව තුන් දෙනෙක් ගීත තේරීම් කරල. ඒ හින්ද ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල මට මඟ ඇරුනු ගීත දාසයකුත් දානව.

අවුරුදු විසිපහකට වගෙ ඉහත අපි යාලුවො කට්ටියක් සිතුල්පව්වෙ ගියා. පොඩි නිසාන් කැරවෑන් කට්ටක් කතා කරගෙන ගිය ඒ ගමනට අපි යාලුවො හයදෙනෙක් එකතුවුනා. සිතුල් පව්වට ඒ දවස්වල කිට්ටුවටම වාහනයක් යන්ට බෑ. මේ ගිය මාසෙ සිතුල් පව්වෙ ගිය මගෙ යාලුවෙක් කිව්ව දැන් විහාරෙ ගාවටම වාහනෙං ගිහෑකිය කියල. එහෙම පහසුකම් සලසන එකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියනව. 

හොඳ පැත්ත කියන්නෙ ඔය සිද්ධස්ථාන වලට යන්ට බොහෝවිට ගල්පඩි දෙතුං සීයක් නඟින්ට ඕන. ඉතිං ජීවිතේ දශක පහක් වගෙ ගතකරපු අපි වගෙ උදවියට තියනවනෙ නොයෙකුත් ලෙඩ රෝග. එක්කො දණිස්වල බෙයාරිං ගිහිල්ල. නැත්තං කොන්දෙ ජොයින්ට් වල ලිහිසි තෙල් හිඳිල. එහෙමත් නැත්තං අඩුම ගානෙ උරහිස්වල ගෑස්කට් වත් යනව යනවමයි. 

ඔය ලෙඩ වලිං මගෙ වං දණහිසේ බෙයාරිං ගිහිල්ල තියෙන්නෙ. ඉතිං ආය ජීවිතේට සිරීපාදෙ යන්ට නම් වෙන එකක් නෑ. සිරිපාදෙ මුදුනටම කේබල් කාර් දැම්මොත් නම් අන්න අවුලක් නෑ. රූං ගාල නීල කොබෙයියා වාගෙ සිරිපාදෙ මුදුනටම ඉගිලුනෑකි. 

හැබෑට මට මේ කල්පනා වුනේ අනාගතේ දවසක සිරීපාදෙ උඩටම කේබල් කාර් දැම්මොත් එහෙම අර "වැඳල බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි" කියන එව්වත් වෙනස් කරන්ට වෙනව නේ? ඒ වෙනුවට කියන්ට වෙන්නෙ "වැඳලා රූටන නඩේට සුමන සමන් දෙවි පිහිටයි!" එහෙම නැත්තං "ඉහලට රූටන නංගිට සම්මා සම්බුදු සරණයි!" අන්න ඒ වගෙ මොනව හරි ...හෙහ්,හෙහ්,

නීල කොබෙයියා කියන කුරුල්ලා පියාඹන්නෙ තනි කෙලින් ආය හරියට ඊතලයක් විද්ද වගෙ කියල කතාවක් මම අහල තියනව. ඒත් ඒක ඇත්ත වෙන්ට නම් බෑ. එහෙමනම් ඉතිං ගස් ගල්වල හැප්පිල නීල කොබෙයියො ඔක්කොම වඳ වෙලා යන්ට එපාය. නැද්ද?

"ඉස්සර මං ගිය පාසල ඇරිලා…" ඒ සුනිල් එදිරිසිංහගේ ගීයක්. කුමාරදාස සපුතන්ත්‍රීගේ පද රචනයක්. ඒ ගීතයෙ මෙහෙම තියනව එක තැනක.

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවක් තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේළි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ

ඔය නීල කොබෙයියා කියන සතා මදටිය කන්ට හරිම කැමතියි කියල කියනව. ඒකයි ඒ ගීතයෙ එහෙම කියවෙන්නෙ.

ආ..ඉතිං මේ ගමන ලංකාවට ගිහාම අළුවිහාරෙ ගිහිල්ල මම බොහොම අමාරුවෙන් අර ගල් පඩි දෙතුංසීය නැඟ ගත්තෙ.ඒකෙ වැඩේ මේකයි. දණිස් අමාරුවටත් වැඩිය අපේ කල්ක්‍රියාව හරි නැහැනෙ. ඇඟට පතට වියායාමයක් නැතුව සතියෙ දවස් පහක්ම බොහෝවිට ඉබ්බ තිබ්බ වගෙ එක තැන ඉඳල සති අන්තයෙ අනිවාර්යයෙන් පමණ ඉක්මවා දුෂ්චරිතවල යෙදුනහම නොහොත් අවකල් ක්‍රියාවන්හි නිරන්තරයෙන් නිරත උනහම ඉතිං ඔහොම තමයි. හරි අළුවිහාරෙ ගමන ගැන ලියන්නං මගෙ අර සිව්වසරකට පසු කතා මාලාව ලියද්දි.

කේබල් කාර් ගැන කියද්දි තව කාරණයක් මතක් වුනා. චන්ද්‍රිකා මැඩම් ජනාධිපතිවෙලා ඉන්දැද්දි ව්‍යාපෘති යෝජනාවක් මට මතක විදිහට අනුමත වුනා කේබල් කාර් ප්‍රොජෙක්ට් එහෙකට. 

පහළ කඩුගන්නාවෙ ගල විදපු තැන ඉඳල (ගල විදපු තැන කියන්නෙ අර බිංගෙට) කොළඹ පැත්තට පල්ලම් බහිනකොට වම් පැත්තෙ පල්ලෙහා කොළ පාටට බැබලෙන කුඹුරු, වතු පිටි, ගෙවල් මංඩි උඩින් ඈත පේනව බතලේගල. 

සුද්දො ඕකට කිව්වෙ බයිබල් රොක් කියල. උංට ඒ ගල පෙනුනයි කියන්නෙ බයිබලයක් මේසයක් උඩ තියල තියනව වගෙ. ඒ වගෙ නුවරඑළියෙ යනකොට රම්බොඩට එහා වෙදමුල්ල වතුයාය හරියෙ නැවතිලා අපහු ඈත බැලුවම පේනව ජේ.ආර්. ගෙ නහය වාගෙම තියන මහා ගල් පර්වතයක්. ඒකට කියන්නෙ ජේ.ආර්.ගෙ නහය කියල.

ඉතිං අර පහළ කඩුගන්නාවෙ ඉඳල බතලේගලට කේබල් කාර් දාන ව්‍යාපෘතිය කොහොම හරි කෙරුනෙ නෑ. ඊට චුට්ටක් පල්ලෙහා හිඟුලෙ ඉන්න මගෙ යාලුවෙක් කිව්ව මූලික මැනුම් කටයුතු පවා කෙරුනයි කියල ඒ වැඩේ පටන් ගන්ට. මොකක් උනාද දන්නෙ නෑ. අපරාදෙ සෑහෙන විදේශ විනිමයක් හොයාගන්ට තිබ්බ වැඩක් ඒක. ආ...තව ආරංචියකුත් කියලම ඉන්නම්කො මේ එක්කම. ඔතන ගල විදපු තැන පහු කරල නුවර එහෙම යන අයට බතලේගලට දකුණු පැත්තෙං තියන විසාල කන්දෙ පැත්තක්ම නාය ගිහිල්ල තියනව බලන්ට පුලුවනි. ඒ තමයි අර මේ පහුගියදා අරණායක සාමසර කන්ද නාය ගිය තැන.

ඉතිං යමු ආයම ආපහු වසර විසිපහක් අතීතයට. ස්ථානය සිතුල්පව්ව විහාරයට යන ගමන් මාර්ගය. ඉතිං අපි කට්ටිය හෙමීට යනව සිතුල් පව්වට. ඒ දවස්වල හරි හමනකට පාරක් තොටක් එහෙමත් නෑ. දිගටම ළඳු කැළෑ ගල් තලා උඩිං තමයි යන්ට තියෙන්නෙ.

ඔහොම ටිකක් දුර යද්දි මෙන්න පාරෙ වම් පැත්තෙ ටිකක් ඉහලින් තියෙන ගල් තලාවක කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි දණගහගෙන ඉන්නව. මේ ගිනිගහන අව්වෙ. කොහොම ඉන්නවද මන්ද. කොහොම ඉන්නවද? කියන එකට වැඩිය අපිට එකපාරටම හිතට ආපු ප්‍රශ්නෙ මොකට මෙහෙම ඉන්නවද? කියන එක. 

ඒ කිව්වෙ ඇයි මෙහෙම මේ කෙල්ලො කොල්ලො හතර දෙනෙක් දාස්දෙන අව්වෙ ගල්තලාවක් උඩ දණ ගහගෙන ඉන්නෙ කියන එක. ඩෙනිම් කලිසම් ටී ෂර්ට් එහෙම ඇඳල ටිකක් විතර සල්ලිකාර පෙනුමක් එහෙම තිබ්බ ඒ හතරදෙනාගෙ. අවුරුදු දහ අටේ දහ නමයෙ වගෙ. කට්ටියම බිම බලාගෙනම හිටියට මූණු රතු වෙලා තියෙන්නෙ අව්වටද ඊට වැඩියත් ලැජ්ජාවට වෙන්ට ඇති. 

එතනිං සිතුල් පව්ව වඳින්ට යන අයත්, වැඳල ආපහු යන අයත් ගමන පියවර තුන හතරක් බාල කරල මේ කට්ටිය දිහා බලල ඒ කිට්ටුවම හිටගෙන හිටපු තව තුන් දෙනෙක්ගෙ මූණු දිහාත් බලල ආපහු පය ඉක්මන් කරල යනව. ආ..ඒ තුන්දෙනා ගැන කියන්ට බැරිවුනානෙ. සුදු සරං සහ කමිස ඇඳල හිටපු හොඳ උස මහත හාදයො තුන් දෙනෙක්. ඔලුවෙත් සුදු සුම්බර එහෙම බැඳල තිබ්බ. අත්වල දිග බස්තං වගෙ පොලු.

"මොකක්ද බං අර සීන් එක?" රණේ එතනට කිට්ටු කලා.."යමං යමං අපිත් බලන්ට"

"මොකෝ මල්ලි ඕගොල්ලො මේ?" අපි කිට්ටු වෙලා දණ ගහගෙන හිටපු එක කොල්ලෙක්ගෙන් ඇහුව. මිනිහ මොකවත් කිව්වෙ නෑ. අපි දිහා ඔලුව උස්සල බලල ආයම බිම බලාගත්ත.

ඒ වෙනුවට උත්තර දුන්නෙ අර එතන හිටියයි කියල මම කියපු සුදු සුම්බර භවතෙක්. "මේ ගොල්ල මේ සුද්ද බූමිය ඇතුලෙ අසීලාචාර විදිහට හැසිරෙනව අපිට අහු වුනා. ඒකට දුන්නු දඬුවම තමයි මේ"

"අනේ නෑ අයියෙ මේ කියන්නෙ බොරු" එතන දණ ගහගෙන හිටපු එක කෙල්ලක් යම්තමට ඇහෙන නෑහෙන ගානට කිව්ව.

"බොරු කියන්නෙ අපි නෙවෙයි තමුසෙලා...සුද්ද බූමියෙ අසීලාචාර විදිහට හැසුරුනා මදිවට තව මුසාවාද කියන්ටත් එනව…." සුදු සුම්බරයා ඒ ළමයගෙ ඇඟට ගොඩ වුනා. 

"හරි හරි දැන් කොහොමද මේ අය අසීලාචාර විදිහට හැසුරුනෙ?" මම ඇහුව. 

"එව්වට තමුසෙලාට උත්තර දෙන්ට තමුසෙල කවුද? අපි කරන්නෙ නායක හාමුදුරුවො අපිට කියල තියන විදිහට."

"මොන නායක හාමුදුරුවොද?" රණේ ටිකක් විතර සද්දෙට ඇහුව. 

අපේ කට්ටියම දැන් එතනට වට වෙලා. මෙතන මොකක් හරි වෙනව කියල දැකලද කොහෙද එතනින් එහාට මෙහාට යන සැදැහැවත්තුත් ඔන්න වටේට පිරෙන්ට ගත්ත.

"නායක හාමුදුරුවො කියන්නෙ අපේ සිතුල් පව්ව රජමහ විහාරෙ නායක හාමුදුරුවො"

"ඉතිං නායක හාමුදුරුවො ඔහෙලට කිව්වද පන්සලට එන කොල්ලො කෙල්ලො අල්ලල ගිණි අව්වෙ දණ ගස්සවල තියන්ට කියල" මම ඇහුව.

"එහෙම කිව්වෙ නෑ"

"එහෙනං?"

"උන්නාන්සෙ කිව්වෙ අසීලාචාර විදිහට හැසිරෙන අය අල්ලල දඬුවම් කරන්ට කියල" 

"හරි ඒකත් හරිය කියමුකො. උන්නාන්සෙ එහම කිව්වමය කියමුකො. දැං මොකක්ද මෙහෙම දඬුවමක් දෙන්ට තරම් මේ හතර දෙනා කරපු වැරැද්ද?" 

"මේ ගොල්ල අර අර හරියෙ ගස් යට ඉඳගෙන සුද්ද බූමියකට නොසෑහෙන විදිහට හැසුරුනා" අර කලින් කතා කරපු සුදු සුම්බරයම තමයි දිගටම කතා කරන්නෙ. මිනිහ මෙතන සුම්බර රැළේ නායකයද කොහෙද මට හිතෙන්නෙ.

"අනේ නෑ අයියෙ අපි මහන්සි හින්ද අර අතන ගස් හෙවණෙ වාඩි වෙලා කතා කර කර හිටිය. එතකොට තමයි මේ මිනිස්සු ඇවිල්ල අපිට බැණල මෙහෙම දණ ගහගෙන ඉන්ට කියල කිව්වෙ" කලින් කතා කරපු ගෑණු ළමයම ආයම කිව්ව.

රණේ ආයෙම සුදු සුම්බරයා දිහාට හැරුන. "මේ හලෝ, ඔහේලා කවුද කියල අපි දන්නෙ නෑ. ඒත් ඔහේලට මෙහෙම මිනිස්සුන්ට දඬුවම් කරන්ට බලයක් නම් නෑ. ඒක අපි දන්නව. අනික මෙයාල වරදක් කරල තියනවනම් පොලීසියට බාර දෙන්නයි තියෙන්නෙ. එහෙම නැතුව මෙහෙම හිතුමතේ දඬුවම් කරන්ට ඔහෙලට බෑ. ඒ හින්ද කරුණාකරල මේ හතර දෙනාට යන්ට දෙනවා.." රණේ අර නායක සුදු සුම්බරය දිහාට ඇඟිල්ලකුත් උරුක් කරල කිව්ව. 

"තමුසෙ කවුද අපිට එහෙම අණ දෙන්ට?..අපි කරන්නෙ හාමුදුරුවො අපිට කියල තියන විදිහට"

"ආ..එහෙමද? එහෙනං දැනගන්නව ඔහෙලගෙ හාමුදුරුවන්ටත් එහෙම බලයක් නෑ. අපි ඒක පොලීසියත් එක්ක බලාගමු. යමල්ල බං යන්ට. අපි ගිහිල්ල පොලීසියෙ පැමිණිල්ලක් දාමු. අර උඹලගෙ මාම කොළඹ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් නේද? පොලීසියට ගිහිල්ල මාමට කෝල් එකක් දෙමු" රණේ මා දිහා බලල කට කොණකින් හිනාවෙලා කිව්ව.

මමත් රණේ උස්සල දුන්නු බෝලෙට අත දිග ඇරල වැරෙං ඩෑෂ් පාරක් ගැහැව්ව. "ඔව්..ඔව්..මම කතා කරන්නං මාමට. එයාට මේ වගෙ අසාධාරණ පෙන්නන්ට බෑ" එහෙම කිව්වට මගෙ ඔහෙ ඇති ලෝයර් මාමා කෙනෙක් නෑ.

ඔය වෙනකොට එතන වටේට සෙනඟ තිහ හතළිහක් පිරිල. "ඔව්..ඔව්..මේ ළමයි කියන කතාව ඇත්ත. එහෙම කොහොමද මෙයාල මිනිස්සුන්ට දඬුවම් කරන්නෙ? හරිම අසාධාරණයි.." ඔන්න වටේටම කසුකුසු ඇහෙන්ට ගත්ත. අපේ මිනිස්සුන්ගෙ හැටියක්නෙ ඕක. අසාධාරණයට අයුක්තියට විරුද්ධව මුලින්ම කටක් අරින්නෙ නෑ කවුරුවත්. ඒත් කවුරුහරි ඉදිරිපත්වුනාම ඔන්න වටේම ඉන්න අයත් එනව පෙරමුණ අරගෙන.

මම එහෙම කිව්වට එදා සිතුල් පව්වෙදි වටේ පිරිච්චි මිනිස්සු ගෑණු අපේ පැත්තට කතා කලායින් තමයි අපි ජාම බේරගත්තෙ. නැත්තං අපි කට්ටිය හයදෙනා තාමත් එතන ගල් තලාවෙ අර කෙල්ලො කොල්ලො හතර දෙනත් එක්ක දණ ගහගෙන. හෙහ්,හෙහ්

වටේ පිටේම සෙනඟ කෑගහන්ට ගත්තම සුම්බරධාරී මැරයො කට්ටිය ටිකක් සලිත වුනා. අනික අපි හය දෙනත් කොණ්ඩ රැවුල් වවාගෙන මේ දැං විනාඩි පහකට ඉස්සෙල්ල වැලිකඩිං නිදහස් කරපු එවුං වගේනෙ හිටියෙ. ඒත් උනුත් අපිට සෙකන්ඩ් වෙන්ට කැමතිවුනේ නෑ. 

"ඒයි මේ උඹ ගිහිල්ල නායක හාමුදුරුවන්ට මේ විස්තරේ කියල වහාම වඩින්ටෙයි කියාපං" නායක සුම්බරය ගෝල සුම්බරයෙකුට කිව්ව. 

නායක උන්නැහේ ආහම මෙතන මොකින් මොකක් වෙයිද දන්නෙ නෑ. හාමුදුරුවන්ට තර්ජනය කලයි කියල අපිව පොලීසියෙ කූඩුවෙ දාන්ට බැරිකමකුත් නෑ. මොකද සිතුල් පව්වෙ නායක උන්නැහේ කියන්නෙ ලේසි පාසු පුතයෙක් එහෙම නෙවෙයිනෙ.

ඒ හින්ද මම ක්ෂණික තීරණයකට එළඹියා. "මේ අපිට ඔහෙගෙ නායක හාමුදුරුවො එනකල් මෙතන ඉන්ට බෑ. අපි ආපහු යනව පොලීසියට. ගිහිල්ල මේ මෙතන වෙන අසාධාරණය ගැන පැමිණිල්ලක් දානව. ආ ඊට කලිං කුමාර උඹේ කැමරාව අරං මේ හතර දෙනා දණගහගෙන ඉන්නව ෆොටෝ එකක් ගනිං. අපි ඒක දාමු පත්තරේ. සුද්දබූමි වල මෙහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ කියල"

කුමාර කියන පරක්කුවට කැමරාව එළියට අරගෙන මෑනුවා. "ආ.. ඔය විනයාරක්සක බලකායෙ තුන්දෙනත් ඒ ෆොටෝ එකටම ගනිං මතක ඇතුව" මම කිව්වා.


"ඒයි ඒයි පොටෝ ගන්ට එහෙම එපා" නායක සුම්බර අනික් පැත්තට හැරුනා.


"හරි ඔහෙල පොටෝ ගන්නවට අකමැතිනම් කමක් නෑ. අපි පොටෝ ගන්නෙ නෑ. ඒත් මේ දණගහගෙන ඉන්න හතර දෙනාගෙ නම් පොටෝ එකක් ගන්ටම වෙනව"

නායක සුම්බර ආයෙම අපි පැත්තට හැරුන "එපා එපා කාගෙවත් පොටෝ ගන්ට එපා. මේ හලෝ තමුසෙල නැඟිටල යන දේවාලෙක යන්ට යනව" පලවෙනි වාක්‍යය කිව්වෙ කුමාරයට. දෙවෙනි වාක්‍යය කිව්වෙ අර දණගහගෙන උන්නු හතර දෙනාට. 

උං හතර දෙනා කියන පමාවෙං නැඟිටල අපිට ඉස්තූතියි කියන්ට වත් නොඉඳ වටේ පිටේ රැස් කකා හිටපු සෙනඟ අස්සෙං රිංගල විදිල්ල වගෙ අතුරුදන් වුනා. ආය අහවල් ඉස්තූතියක්ද? උං පොඩි එවුං බය වෙන්ට ඇති මෙතන අපිට ඉස්තූති කරකර ටැහ්හැහි ගැහී ඉන්ට ගියොත් ආයම සුම්බරයිංගෙ හිත වෙනස් වෙලා දණ ගස්සවාවිය කියල.

වටේ පිරිල හිටිය සෙනඟත් හෙමීට එකා දෙන්න මාරුවෙන්ට ගත්ත. මොබ් නොහොත් කණ්ඩායම් මානසිකත්වය නොහොත් රැල්ලට එකතුවෙනකොට එහෙම තමයි. ඒ මානසිකත්වය ඇතිකරගන්ටත් බොහොම ලේසියි. ඒ වගේම බොහොම ඉක්මනට දියවෙලාත් යනව. 

"අපි මොකද බං දැං කරන්නෙ?" රණේ හෙමීට මට කිට්ටු කරල ඇහුව. 

"වෙන මොනව කරන්ටද? ෂෝ එක ඉවරයි. අර දණ ගහගෙන හිටපු එවුං මාරුවෙලා ගියා වගෙ අපිත් මේ සෙනඟ තලේම වහං වෙලා මාරු වෙමු" මම හෙමීට එහෙම කියල කාටත් නොදැනෙන්ට පියවර හතරක් පස්සට අරගෙන සෙනඟ තලේට එකතුවුනා.

අපේ රටේ හැටියක්නෙ ඕක. කහ රෙද්දක් පෙරව ගත්තම තමන්ට හිතෙන හිතෙන හැටියට ඕනම දෙයක් කරන්ට පුලුවන් කියලයි ඔය ජාතියේ ආරක්සක මුරදේවතාවුංය කියල තමංම ඔටුණු පළන්දාගෙන ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නෙ. රටේ නීතියත් තමන්ට යටත්ය. පොලීසිය නඩුකාරයො කරන්ට ඕන තමං කියනදේය කියලයි පෙලක් සිංහලීස් නේසන්ස් සිකුරිටි කොම්පැණියෙ සී.ඊ.ඕ.ලගෙ කල්පනාව.

හරි සිතුල් පව්ව ගමන ගැන කතන්දරේ ඔන්න ඔහොමලු. සිතුල් පව්ව විහාරය ගැන බොහොම අපූරු ගීතයක් ගයනව නාමල් උඩුගම. මට හරියටම මතක නෑ අපේ මේ සිතුල්පව් චාරිකාව කෙරෙන දවස්වල ඒ ගීතය කළ එළි බැහැල තිබ්බද කියල. බොහෝවිට නැතුවා වෙන්ට පුලුවෙනි.

ඒත් ඊට පස්සෙ නාමල් උඩුගමගෙ මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නෙ අපේ ඒ සිතුල්පව් ගමන.

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා 
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා 
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිල

අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් 
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් 
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් 
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් 

සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී 
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි 
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී 
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි

ගායනය - නාමල් උඩුගම
ගී පද - චන්න ජයනාත්
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා



දළඳා පෙරහැරට අලි ඇත්තු අඩුයිය, ටූ තවුසන්ඩ් පයූව් හන්ඩ්රඩ් ඉයර්ස් රැකගෙන ආපු අපේ බහුද්ද සයන්ස්කුර්තිය රැකෙන්ට අලි ඇත්තු මිනිමම් 120 වත් කකුල් හතරට දංවැල් දාල පෙරහැරේ නුවර වීදි දිගේ දක්කාගෙන යන්ට ඕමනාය අරකද මේකද කියල පහුගිය ටිකේ මහ ආන්දෝලනයක් තිබ්බනෙ රට පුරා.

එහෙං සුසිල්වත්, සීල ගුනෝපේත, සුපේසල, සික්සාකාමී චීවරදාරීහු උපවාස කරනව. මෙහෙං ඇත්ගොව්වො සත්තියක්‍රියා කරනව. තව පැත්තක හීලෑ අලි ඇත්තු හිමියො අලිබෙටි කාල දහ අතේ දිවුරනව එයාල ගාව ඉන්දැද්දි අලිංට කිසිම හිරිහැරයක් කලේ නැතය උංට බුදියන්ට දුන්නෙත් දම්රෝ ඇක්ස්පෝට් කොලිටි සුපර් එක්ස්ට්‍රා මෙට්ට උඩය කියල. අපෙ අත්තම්ම ඒ දවස්වල කියනව වගෙ එක පොයියංගමයි. 

ඔය අලි නැතුව පෙරහැර කරන්ට බැරිය කියන ඔක්කෝටම අහන්ට බොහොම අපූරු, හොඳ ගීතයක් කාලෙකට ඉස්සර කිව්ව අතුල...අතුල අධිකාරි. 

හැබැයි නිකම්ම ගීතය ඇහුවට නම් වැඩක් වෙන එකක් නෑ. ඒක අහල කම්පාවෙන්ට හදවතක් කියල එකකුත් උර කුහරය ඇතුලෙ තියෙන්ට ඕන. හදවත දන්නව නේද? අර හාට් එක කියන්නෙ..ලබ්..ඩප්..,ලබ්..ඩප්..අන්න හරි ඒක තමයි...හෙහ්,හෙහ්, ඔය දන්නෙ යස අගේට...එහෙම අවයවයක් උර කුහරෙ ඇතුලෙ නැත්තං ඉතිං මේ වගෙ ගීත ඉයර් පෝං දාල ඇහුවත් වැඩක් වෙන්නෙ නෑ.... ගොනා පිට හකුරු පටවනව වගෙ තමයි. නැහ්නං අර හරකා කෝච්චිය දිහා බලා හිටිය වගෙ තමයි.

සොඬින් නෙළුම් මල ගෙනියන 
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ 
යදම් අමතක ද පා රැඳි විලංගුවේ 

වටින් මහ සෙනඟ ඇවිදින් 
සාදු කියා වැන්දයි 
නෙළුම් මලට නොවේ නුඹට 
නුඹ අම්මා හින්දයි 

පුතුන් හිසින් ඇන ඇන 
කොයි ලෙසිනේ කිරි බොම්දැයි 
ඇතින්නියේ දරු සෙනෙහස 
ගාල් කලේ මන්දැයි 

ගායනය - අතුල අධිකාරි


Friday, August 19, 2016

435. In Praise Of An Old War Horse නොහොත් ඔබට බොහොත් ෂුක්රාන් රංගන.....

Rangana Herath - Cricinfo
1996 මාර්තු 17 වෙනිද මට සදානුස්මරණීය දිනයක්. " මොකද බොලේ ඒ? මොකක්ද ඒ දවසෙ විශේෂෙ?"  කියල කවුරුහරි අහනවනං ඉතිං කියන්ට තියෙන්නෙ එහෙම අහන කෙනෙකුට කවදාවත් ඒ දවස සදානුස්මරණීය වෙන්නෙ ඇයිද කියල තේරුම් ගන්නත් බැහැ කියල තමයි. අර දෙවියො පිළිබඳ විශ්වාසය ගැන මෙහෙම කියමනක් තියනවනෙ. "If you believe there is no need of proof. If you need proof you won't get any" 

අන්න ඒ වගෙ 1996 මාර්තු 17 කිව්වම ඔබ අතර ඥාණවන්තයෝ සිටිත් නම් ඔව්හු ඒ පිළිබඳව ප්‍රශ්ණ නොනගන්නාහුය. හරි අනම්මනම් මදැයි. දුහුණන් දැනුම් උදෙසා...(For those who are uninitiated) 1996 මාර්තු 17 තමයි ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තෙ. නැත්නම් ලෝක ශූරයින් වුනේ.

මේ ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියෙක් ගැන කතාවක් (A Chronic Cricket Lover) බිරින්දෑ තොමෝ දවසක් මිනිහට සත්තමක් දැම්මලු. 

"මේ ඔයාට උදේ ඉර පායපු වෙලාවෙ ඉඳල රෑ නිදාගන්ට යනකල්ම ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්ම තමයි. ක්‍රිකට් ඇර ඔයාට වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැති හැටි. මොකක්ද අනේ මේකෙ තේරුම? "

සාමියා තෙමේ ඒ කතාවට ඔබ්ජෙක්සන් දැම්ම. "එහෙම කියන්ට එපා හොඳද? ඔයා එහෙම කතා කරන එක වැරදියි. මට ඔය කියන තරමට ක්‍රිකට් පිස්සුවක් නෑ…"

"හා..හරි එහෙනං කියන්ටකො බලන්ට 1999 අවුරුද්දෙ සැප්තැම්බර් 11 දවසෙ වැදගත් කම මොකක්ද?"

"ම්ම්ම්...99 සැප්තැම්බර් 11 නේද?" සාමියා ඔලුව කහ කහ කල්පනා කරනව. 

"ඔව් 99 සැප්තැම්බර් 11 තමයි" බිරිඳ කිව්වා. "බොහෝම වැදගත් දවසක්…"

"කාටද මටද? ඔයාටද?"

"අපි දෙන්නටම…"

"හරි බලමු කල්පනා කරල .."

(ඔයාලට විතරක් උත්තරේ කියන්නම්කො..එදා තමයි ඒ දෙන්න බැඳල තියෙන්නෙ ) 

"ම්ම්ම් අමරිකාවෙ අර ටෙරරිස්ට් ඇටෑක් එකත් නෙවෙයිනෙ. ඒකත් සිද්ද වුනේ සැප්තැම්බර් 11 උනාට ඒ 2001නෙ. ම්ම්ම්..මොකක්ද? ආඅ..හරිනෙ ඔන්න මතක් වුනා.."

"මොකක්ද? "

"එදා තමයි මෙච්චර කාලෙකට ඕස්ට්‍රේලියාව පරද්දල අපි දිනුව එකම මැච් එක දිනුවෙ….අප්පටසිරි..ඒක තමයි මෙයා මැච් එක කියන්නෙ...හෙහ්,හෙහ් "

එසැණින් තුන්වන ලෝක සංග්‍රාමය ඇරඹිණි.

1996 මාර්තු 17 වගේම සකල ශ්‍රී ලාංකිකයිනට වැදගත් වන තවත් දිනයකි පෙරේදා. එනම් 2016 අගෝස්තු 17 වන දින. ඒ වනාහී ශ්‍රේණිගතකිරීම් අනුව ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර අංක 1 ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කල දිනයයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වූයේ 1983 අප්‍රේල් මාසෙ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයෙ. ඒ තරඟයෙන් ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයග්‍රහණය කලා.

එදා ඉඳල ගතවුනු වසර 33 කාලය තුල මේ තරඟාවලියට පෙරාතුව ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ 26 ක් පවත්වල තියනව. ඕස්ට්‍රේලියාවෙ සහ ශ්‍රී ලංකාවෙ යන රටවල් දෙකේම. ඒ අතරින් ශ්‍රීලංකාව ජයගෙන තියෙන්නෙ එකම තරඟයක් විතරයි. ඒ තමයි අර ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියා කියාපු තරඟය. 1999 අවුරුද්දෙ අස් ගිරියෙ පවත්වපු තරඟය.

ඔය තරඟය මට බොහොම හොඳට මතකයි. ඒ වෙනකොට මම අර මහ වන මධ්‍යයේ රැකියාවෙන් ඉවත්වෙලා ගෙදර ඇවිල්ල මාසයක් වගෙ ගතවෙලා තිබ්බෙ. සාමාන්‍යයෙන් අස්ගිරියෙ ටෙස්ට් මැච් එකක් තිබ්බොත් මට රස්සාවෙන් නිවාඩුවක් ගන්ටත් පුලුවන් නම් මම අනිවාර්යයෙන් ඒ තරඟය බලනව. අඩුම තරමේ දවස් දෙකක් වත්.

ඒත් මේ ස්ටීව් වෝ ගෙ ඕස්ට්‍රේලියන් ටීම් එක්ක මැච් එක මට බලන්ට වුනේ නෑ. ඒකට හේතුව ටිකට් වල ගණං එක පාරට දෙගුණයකින් වගෙ ඉහල දාල තිබ්බ එක. මම සාමාන්‍යයෙන් අස්ගිරියෙ මැච් බලන්නෙ ඕල්ඩ් පැවීලියන් එකේ නොහොත් පැරණි ප්‍රේක්ෂකාගාරයෙ. අලුතින් හදපු ප්‍රේක්ෂකාගාරයෙ පහසුකම් වැඩි වුනාට අර පරණ පැවීලියන් එකේ තියන හැඟීම නැත්නම් ෆීලිං එක ඒකෙ එන්නෙ නෑ. ඉංග්‍රීසියෙං ඕකට කියන්නෙ ඇට්මොස්ෆියර් එක කියල.

එදා කොහොමහරි තරඟයෙ මුල්දවසනම් නෙවෙයි. දෙක හෝ තුන. ඕල්ඩ් පැවිලියන් එකේ ටිකට් ගණං හින්ද මම ආපහු හැරිල ගියා. ඒ දවස්වල මට රස්සාවකුත් නැතුව හිටපු එකේ අර තරං ගාණක් යටකරන්ට තරම් හයියක් මට තිබුනෙනෑ. ගෙදරට කියල ආවෙ මැච් එක බලල එනකොට හවස්වෙයි කියල හින්ද මම ඔන්න ඔහෙ ඕන එකක් කියල නුවර ටවුමෙ පොඩි රස්තියාදුවකුත් ගහල දොළහමාර වගෙ වෙනකොට මගෙ සුපුරුදු කාසල් බාර් එකට ගියා. අතේ සල්ලි නම් හිඟයි තමයි. ඒත් එහෙම කියල ජීවිතේ අත්‍යාවශ්‍යම කටයුතු නවත්තන්ට ඇහැක? නැද්ද? එහෙනං එහෙනං මේ මොනව කියනවද හැබෑට ?..හෙහ්,හෙහ්,

කාසල් එකේ මගේ සුපුරුදු උපස්ථායකය අප්පුහාමි "ඈස් යූෂුවල් නේද සර්?" කියල ඇහුවා. "යස් අප්පුහාමි" මම කිව්වා. බියර් බෝතලේ තුන්කාලක් වගෙ ඉවර වෙනකොට ඔන්න බොහොම පාතිං වගෙ හෙලිකොප්ටරයක් යන සද්දයක් ඇහුන.මම ඉතිං ඕක ගණං ගත්තෙ නෑ..හෙලිකොප්ටර් පාතිං ගියට මට පාංද? කියල හිතල මගෙ වැඩේ කරගෙන ගියා..මිනිත්තු දහයකින් පහළවකින් විතර අප්පුහාමි මිනිහගෙ සුපුරුදු සොල්දාදු පියවරින් ආව විස්තරෙත් හොයාගෙන. 

"සර් ඒ හෙලිකොප්ටරේ ගිහිල්ල තියෙන්නෙ අස්ගිරිය ග්‍රවුන්ඩ් එකට…"

"නෑ? ඒ මොකටද?" මම බියර් වීදුරුව කනප්පුව උඩිං තියල අප්පුහාමි දිහාට හැරුන.

"ඕස්ට්‍රේලියන් ටීම් එකේ දෙන්නෙක් ඉන්ජර්ඩ් වෙලා සර්. මයෙ හිතේ ටිකක් සීරියස් කේස් එකක්"

"සීරියස් ඇති. ඒකනෙ හෙලිකොප්ටර් එකක් ආවෙ. කවුද දෙන්නා?" 

"ඒකනම් හරියට කියන්න දන්නෙ නෑ සර්. "

අප්පුහාමි ඒ වෙලාවෙ නම් දැනගෙන නොහිටිය ඒ ක්‍රීඩකයො දෙන්න ඇවිල්ල හිට ස්ටීව් වෝ සහ ජේසන් ගිලස්පී. සුප්‍රසිද්ධ විස්ඩන් සඟරාව ඒ ගැන කියන්නෙ මෙහෙමයි.

Sri Lanka v Australia 1999-2000

Toss: Australia.

The drama of Test cricket rose to new heights as the sound of a helicopter filled Asgiriya Stadium. Reminiscent of a scene from Apocalypse Now, the machine had appeared, dark green and menacing, over the adjoining hill, out of tropical vegetation, and play stopped as it swept low over the back of the ground, touched down briefly, then headed towards Colombo. With it went any possible chance Australia might have had of turning round a Test Sri Lanka always deserved to win.

On board were Steve Waugh, with a badly broken nose, and Gillespie, with a broken leg that would keep him out of the national side throughout the Australian season. They had crashed, horrifically, as Waugh ran back from square leg and Gillespie came in from the boundary, both trying to catch the Sri Lankan vice-captain, Jayawardene. The ball always seemed destined to fall between them.

This freak accident represented Australia's lowest point on a rare lowly tour. When it happened on the second morning, Sri Lanka were already 139 for three in reply to Australia's 188, and threatening to bat them out of the match. Jayawardene and de Silva ran two but abandoned a third when they saw the Australians had forgotten the ball and were huddled around their fallen colleagues. Play was held up for six minutes while they received treatment before Gillespie was carried from the field.

Little had gone right for Steve Waugh since winning the toss had given Australia a record 13 in succession. Minutes before lunch on the opening day, Australia had crumbled to a staggering 60 for seven, first against the left-arm seam attack of Vaas and Zoysa, then the off-spin of Muralitharan. A face-saving century partnership between Ponting and Gillespie was the only high point of a dreadful day's batting. Gillespie stuck for more than two hours, scoring 41, while Ponting remained until the end. On 96, with only McGrath for support, he was in two minds about how best to snatch a hundred and pushed a catch back to Murali.

Sri Lanka were coasting at 177 for three in reply, but fell victim to Warne and inexperience: they were all out for 234, a lead of just 46. Back in the Test side after being dropped in the West Indies, and now acting-captain in Waugh's absence, Warne bowled beautifully for five wickets. Only de Silva, with a patient and polished 78, lasting three hours and containing 13 fours, and Jayawardene, with a more fortunate 46, offered significant contributions. But Australia's batting soon failed again. Without their captain and down to nine men, they mustered only 140, Murali and Vaas grabbing three wickets each. This time Ponting stood alone, with another fifty.

Sri Lanka needed just 95 for a historic first Test victory over Australia, but it was no simple affair. They had stumbled to 39 for three when the new batsman, Jayawardene, spooned the ball towards cover and bowler Miller gathered it left-handed at ground level after a desperate lunge. Australian celebrations were cut short, however. Umpire Manuel, apparently fooled by a puff of dust from Jayawardene's bat, believed it had been a bump ball, despite its slow, looping trajectory, and did not choose to consult either his colleague at square leg or the third umpire. Miller did remove Jayawardene a few overs later, leaving Sri Lanka an uneasy 60 for four, but the old firm of Ranatunga and de Silva ensured glory would not drown in a sea of panic. Riding his luck with the cheeky approach that so annoys the Australians, Ranatunga survived a desperately close lbw appeal and a dropped catch before scoring, then broke the game open with a four and six off successive balls from Warne.

Excitement mounted with every delivery, amid rhythmic clapping and wild cheering. The small and picturesque ground was suddenly so full that the crowd spilled out in front of the sightscreen at one end and could not be moved by police. In the end, Sri Lanka scrambled to a six-wicket victory after three days of drama, tension and controversy. It was 14 years to the day since they won their first Test - against India at the P. Sara Stadium in Colombo. Well as Australia fought, the better team won.

Men of the Match: P. A. de Silva and R. T. Ponting.

ඒ තමයි එදා මෙදා තුර අපි ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟෙකදි පරද්ද්පු එකම අවස්ථාව. ඊට පස්සෙ ගාල්ලෙ සහ එස්.එස්.සී. එකේ තිබ්බ දෙවන සහ තෙවන ටෙස්ට් තරඟ ජයපරාජයෙන් තොරව අවසන් වුනේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයග්‍රහණයත් 1-0 ආකාරයට හිමිකර දෙමින්.

ඒ තරඟයෙ රංගන හේරත් අතිරේක ක්‍රීඩකයෙක්. ඊට පස්සෙ ගාල්ලෙ පැවැත්වුනු දෙවන ටෙස්ට් තරඟය තමයි ඔහුගෙ මංගල ටෙස්ට් තරඟය.

මේ පාර ලංකාවට යන්ට ඔන්න අපි බඩු අහුරනව. 

"මචං ඕස්ට්‍රේලියන්ස්ල ලංකාවට එනව නේද මේ හෙට අනිද්ද?" මගෙ Apartment mate ඇහුව.

"හ්ම්ම්ම්…." මම ගනනකට නොගෙන උත්තර දුන්න. 

"ඇයි බං පල්ලෙ කැලේ නේද ෆර්ස්ට් ටෙස්ට් එක? උඹ යන්නෙ නැද්ද බලන්ට?....."

"මොනව බලන්ටද බං? එංගලන්තෙන් කාපු විදිහට ආය හෝදන්ට දෙයක් නෑ ඕස්ට්‍රේලියන් කාරයින්ගෙන් කනව මේ පාර අම්මගෙන් බීපු කිරි සිහිවෙන්ට"

මැයි/ජූනි මාසවල එංගලන්තෙ එක්ක ටෙස්ට් තුනක් ගැහුව අපේ ටීම් එක. එක සහ දෙකම පැරදුනා මට මතක විදිහට එකක් ඉනිංස් වලින්. තුන්වෙනි එක නම යන්තං ඩ්‍රෝ වුනා.

ජූලි 26 පලවෙනි ටෙස්ට් එක පල්ලෙකැලේ පටන්ගත්තෙ. මම එදා උදේම කොළඹ ගියා. මගෙ අර ටෙස්ට් වගයක් කරගන්ට. දන්නෙ නැද්ද ඔය කොලස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, බිලිරුබීන්, බිලිවර්ඩීන්, ලැන්ගර්හැන් දීපිකා, ඊ.සී.ජී, එම්.එම්.සී, වී.ඩී, බී.එස්.සී, එම්.එස්.සී. වගෙ රටේ නැති ටෙස්ට් කරන්ට වෙනවනෙ වයසට යනකොට අන්න එව්ව. ඉස්පිරිතාලෙදි ව්ඩෙං විඩේ වෙලාවක් ලැබුනව මැච් එක ගැන හොයල බැලුව. හිතු වගේම හවස් වෙනකොට ලංකාව 117 ඕල් අවුට්. දවස ඉවරවෙන්ට ඉස්සරවෙලා ඕස්ට්‍රේලියාව 66 කුත් ගැහුව විකට් දෙකකට. එදා රෑ මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතුනෙ. තරඟය ගැන එදා රෑ එතන කෙරුනු සාකච්ඡාවෙන් පස්සෙ ඒකමතික තීරණය වුනේ තරඟ තුනම පරදින්ට නියමිත බවයි.ගුටි කෑමට නියමිතයි..හෙහ්, හෙහ්,

ඒත් "සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ. ලෝදම් කැරකෙනවා" කියල අයින්ස්ටයිනුත් කියල තියනව වගෙ පහුවදා ඕස්ට්‍රේලියාව 203 කට කඩාගන්ට පුලුවන් වුනා. ඊට පස්සෙ කුසල් මෙන්ඩිස් කොලුවගෙ අමරණීය ඉනිම ළකුණු 176ක්. දෙවන ඉනිමෙ ඕස්ට්‍රෙලියාව 161. ලකුණු 106කින් ලංකාව දිනුවා. අර කවුදත් කිව්ව වගෙ සෙස්ස ඉතිහාසයයි. The rest is history of course. ඉනික්බිති දෙවන සහ තෙවන ටෙස්ට් තරඟද ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් පිහිටුවයි.

We are the champions - Cricinfo
මම දැක්ක ක්‍රික් ඉන්ෆෝ එකේ තියනව 1877 ඉඳල මේ ගත වෙච්චිඅවුරුදු 139 ඇතුලත ඕස්ට්‍රේලියාව තරඟ 3 හෝ ඊට වැඩි තරඟාවලි 177 කට සහභාගි වෙලා තියනවය. එව්වයින් සුදුහුණු ආලේප වෙලා පැරදිලා තියෙන්නෙ තරඟාවලි 5 ක් විතරයි කියල. (Whitewashed - තරඟාවලියක සියලුව තරන්නග පැරදුනාම කියන්නෙ වයිට්වොෂ්ඩ් කියලයි) එංගලන්තෙට එක් වරක්. දකුණු අප්‍රිකාවට එක් වරක්. ඉන්දියාවට එක වරක් සහ පකිස්තානෙට එක වරක්. දැන් ලංකාවටත් එහෙම පැරදුනා.

ආ..තව එකක්..ලංකාවෙන් බිහිවුනු අතිවිශිෂ්ඨ පිතිකරුවෙක් වන සංගා ටෙස්ට් තරඟ 134 කට සහභාගිවෙලා තියනව. ඒත් ඕස්ට්‍රේලියාව සමඟ තරඟයකින් ජයගන්නට ඔහුට කිසිම විටක හැකිවුනේ නෑ.

ලංකාවට එනකොට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල ඕස්ට්‍රේලියාව හිටියෙ අංක එක. ලංකාව අංක හත. මේ 3-0 පරාජයෙන් පස්සෙ ඕස්ට්‍රේලියාව අංක තුනට පහළට වැටුන.ලංකාව එක අඩියක් ඉස්සරහට ගියා. අංක හයට. 

මේ ජයග්‍රහණය සුවිශේෂී වෙන්නෙ කිසිම කෙනෙක් මෙහෙම වෙයි කියල හීනෙන්වත් හිතපු නැති හින්දයි. Old War Horse කියල මම මතෘකාවෙ හඳුන්වපු රංගන හේරත් තමයි ජයග්‍රහණයෙ නියමුවා. ඔහු කඩුලු 28 ක් දවා ගත්තා. 2010 අවුරුද්දෙ මුරලි අන්තර්ජාතික තරඟ වලින් සමුගත්තට පස්සෙ අපිට ඒ වගෙ Match Winnerකෙනෙක්ගෙ අවශ්‍යතාවය තදින්ම දැනුන. අන්තිමට රංගම හේරත් ඒ අඩුව පිරෙව්වා. ඒත් ඔහු මතම දිගටම රඳාපවතින්ට නම් අමාරුයි. මොකද රංගනට දැන් වයස 38ක්.මුරලි සමුගත්තෙත් වයස 38 දි.

මේ තරඟාවලියෙ සුවිශේෂීම සිද්ධිය තමයි අපේ ක්‍රිකට් අනාගතය රැඳි පවතින, ඒ බරට උරදිය හැකි නවක ක්‍රීඩකයින් හතර පස්දෙනෙක්ම බිහිවීම. දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන්.

ඉතිං අනාගතය ගැන දැන්ම පුරෝකථනය කරන්නට අමාරුයි. ඕස්ට්‍රෙලියාව එක්ක නොහිතූ විදිහට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවාවගේම ඊලඟ තරඟාවලිය නොහිතූ විදිහට පරදින්නටත් ඉඩ තියෙනව. ඒ මොනව වුනත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තු තියාගන්ට පුලුවන් කොල්ලො සෙට් එකක් අපිට ඉන්නව. ඒ මදැයි දැනට නැද්ද? 

පසුව ලියමි නොහොත් PS - 

BTW "In Praise of older Women" කියල ෆිල්ම් එකක් බලල තියනවද? මාතෘකාව මම ලිව්වෙ ඒ ආශ්‍රයෙන්...:)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...