"හරි හරි ඇත්ත තමයි කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"
මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.
"වනක්කම්..වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."
ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.
පාසානිබූතයිස්ඩ් වෙලාම ඉඳලත් හරියන්නෙ නැහැ නෙව. හෙමීට මෙතනින් මාරු උනානම් සරීර සවුක්‍යයට ඉතාම ගුණදායක බව කල්පනාවට අරගෙන මම හෙමිහිට ඔලුව දාල බැලුව ඉස්සරහ දොරකොඩ ගාව මොකදැයි සිද්ද වෙන්නෙ කියල හිට.
දොරකොඩ ගාව ඉන්නව තනිකර පිළිගැනීමේ කමිටුවක්ම. අනන්‍යාගෙ අම්මයි තාත්තයි, එතකොට ශෝභා නැන්ද....තව කංජිපුරම් සාරි වල එතිච්ච දෙගොඩහරි වයසෙ ආන්ටිල තුන්දෙනෙක්...ඒ එක්කම සෆාරි සූට් ඇඳපු අංකල්ල දෙන්නෙක්..එසේ හෙයින් මා හිතවත/හිතවතිය මෙසේ සැදුම්ලත් ඒ අෂ්ඨපුද්ගල පිළිගැනීමේ කමිටුව සිනා සපිරි මුවින් සහ විදහාගත් දෑසින් යුතුවැ යෝජිත මනාල මහතා ඇතුළු කණ්ඩායම පිළිගනුවස් උදක්ම සැදී පැහැදී සිටියෝය. ඉරකි තිතකි. මෙතන ඉරකි තිතකි කිව්වෙ විශ්මයාර්ථ ළකුණ නොහොත් එක්ස්ක්ලමේෂන් මාර්ක් එක.
කට්ටිය හරිෂ්කාරයව පිළිගත්තෙ හරියට ඉස්සෙල්ලාම හඳට පා තබල ආපසු එන පළවෙනි ඉන්දියානුවාව පිළිගන්න විදිහට. අම්මාපල්ල මගෙ ඉතිං මාලු නටනව. මට අහන්ටත් හිතුන එතනම හරිෂ් ගොයියගෙං හාවගෙ වල්ගෙ එහෙම පෑගුණෙ නැද්ද කියල. මඟුල් ගෙයක උස්නෙ වැදුනත් ඇති මේ නාකි ආන්ටිලාටයි අංකල්ලටයි පිස්සු හැදෙනව වගෙ වෙනව. ඒක නම් දිල්ලියෙයි චෙන්නයිවලයි කියල කිසිම වෙනසක් නෑ. එහෙත් එකයි මෙහෙත් එකයි.
මම දැන් මංජුට උගන්නන්ට අනන්‍යාලගෙ ගෙදෙට්ට ඇවිල්ල ඇති මයෙ හිතේ දහ දොළොස් ගමනක් විතර. ඊට වැඩි මිසක අඩුනම් නෑ. ඒත් ඒ කිසිම දවසක මීටරේ කියවල ලයිට් බිලේ සල්ලි එකතු කරං යන්ට එන මනුස්සයට වඩා පිළිගැනීමක් මට ලැබුනෙ නෑ. විශේෂයෙන්ම අනන්‍යාගෙ තාත්ත මට සලකන්නෙම මහම කරදරකාරයෙක් විදිහට. අර ඉන්නෙ එහෙම කට්ටිය. ඇතුවත් බැරි නැතුවත් බැරි කියල. අන්න එහෙමයි මට සැළකුවෙ මෙච්චර කාලෙකට. ඒත් පුහ්.....බලන්ට එපාය හරිෂ්කාරයව පිළිගත්තෙ හරියට ලෝඩ් බකිංහැම් ආව වගේනෙ.
අනන්‍යාගෙ අම්ම හරිෂ් දිහාවෙ බලාගෙන හිටියෙ හෙණ හුරතල් අවුරුදු දෙක තුනක විතර කොලු පැංචෙක් දිහා බලා ඉන්නව වගෙ. උන්දැගෙ කට කණේ කොටිම්ම කිව්වොත්. ඒ හුරතලේ කොහොම වෙතා හරිෂ්ගෙ බුරුසුවම ඇති අවුරුදු දෙක තුනක කොලු පැටියෙක් විතර.
බුරුසුව කියනකොට ඔන්න මට මතක් වෙන්නෙ අහ්මදාබාද්වල අයි.අයි.ටී. එකේ ෆර්ස්ට් ඉයර් එකේ මගෙ රූම් මේට්. මිනිහ ලංකාවෙන් ඇවිල්ල හිටියෙ. හොඳ බ්‍රයිටා. මිනිහට අපි ආදරේට කිව්වෙ ලොක්කා කියල. ලොක්කා කියල කියන්නෙ ලංකාවෙ බාසාවෙන් පවුලෙ වැඩිමලාය කියන එකලු. මිනිහට ලංකාවෙ යාලුවො නෑදෑයො ඔක්කොම ලොක්කයි කියපු හින්ද අපිත් කිව්වෙ ලොක්ක කියල.
ඉතිං ඔය බුරුසු කතාවට ලොක්ක සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. අනේ ලොක්කට දාරානිපාත බුරුසුවක් තිබ්බ හින්ද එහෙම නෙවෙයි ඔන්න. ලොක්ක ඇවිල්ල නිතරම ෆුල් ෂේව් කරල ඉන්න සුදු හැන්ඩිය. ලොක්කයි බුරුසුවයි සම්බන්ධ වෙන්නෙ මෙන්න මේ විදිහටයි. ඒ දවස්වල හිටපු ලංකාවෙ ජනාදිපතිගෙ තිබ්බ මහ විසාල බුරුසුවක්.
ආ..උඩු රැවුලට නොහොත් මුෂ්ටෑෂ් එකට ලංකාවෙ ස්ලෑංග් වර්ඩ් එකක් විදිහට බුරුසුව කියල කියනවයි කියල අපිට කිව්වෙත් ඔය ලොක්කම තමා. ඉතිං අර මම කිව්වෙ ඒ කාලෙ ලංකාවෙ හිටපු ජනාදිපති බුරුසුවා. අපේ ලොක්කට ඔය මනුස්සය පෙන්නන්ට බෑ. පුදුම තරහක් තිබ්බෙ.
අපේ ලොක්කාගේ අතිජාත හිතවතා කරපු පව් ගෙවන ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ. |
අපි ඒත් ලොක්කව කුල්මත් කරන්ට කියල අහනව "මොකද්ද බං උඹ ඔච්චර ඔය මනුස්සය එක්ක තරහ? උඹට මොකක් කලාටද?" කියල. ඒ වෙලාවට ලොක්කගෙ කොණ්ඩෙ කෙලිං වෙනව. මූන රතුවෙනව. ලොක්ක සුදු කොල්ල හින්ද මල පැන්නම මූන රතුවෙනව හොඳටම හොයන්ට පුලුවනි.
ඉතිං ලොක්ක දත්මිටි කාල කියනව. "ඒ යස්සය මට පෞද්ගලිකව කරපු දෙයක් නෑ. ඒත් ඔය තක්කඩි බුරුසුව මගේ රටට කරපු විනාසෙට ඕකට පටිසන් දෙනව. ඔන්න බලාපල්ලකො මම කියන්නෙ බොරු නං...තව වැඩි කල් යන්නෙ නෑ. ඔය පට්ට හොරාට වෙන්නෙ වැලේ වැල් නැතුව එක එකාගෙ අගුපිල්වල ගිහිල්ල ලගින්ට"
ලොක්ක එහෙම කියල බෙරිහං දෙන්නෙ දෑතිම්ම ඉසකෙස් මිටිගුටියට අරගෙන ඇද ගන්න ගමං ඒ වෙලාවෙ ලොක්කගෙ මූන මහ බයංකාර වේසයක් ගන්නව. ඔය හින්දම අපි ඔය සබ්ජෙක්ට් එක කතාකලේම නෑ පස්සෙ පස්සෙ.
දවසක් ලොක්ක මා දැක්ක මෙහෙමත් කිව්ව. "ආ තව එකක්..මචං ක්‍රිෂ්..ඔක්කොමත් හරි මට දුක බං මේ හොඳ රටේ ලෝකෙ දැනුම් තේරුං තියෙන උගත් කොල්ලො. මෙවුංට මෙච්චර ඇස් පනාපිට පේන්ට තියෙද්දිත් අර බුරුසුව රටට කරන විනාසෙ එව්ව දැක්කෙ නෑ වගෙ ඌ මත්තෙම නහින්ට හදනවනෙ. පුදුම වැඩේ තමයි ඒක. ත්‍රස්තවාදියො පැරැද්දුවෙ බුරුසුවාලු ඒ හින්ද ඒ මනුස්සය ඔහෙ ඕන එකක් කරගත්තාවෙලු. ඔන්න ඔහොමයි කියන්නෙ. උඹ මම හිතන්නෙ ක්‍රිෂ් විශ්වාස කරන එකකුත් ලංකාවෙ ඔය වගෙ මෝඩයො රැලක් ඉන්නවයි කියල.."
"හෙහ්,හෙහ්, ඇත්තද?" මම ඇහුව…
"ඇත්තද කියලත් අහනව. එවුංට අපි කියන්නෙ බයියො කියල….." ලොක්ක එහෙම කියල බක බක ගාල හිනා වුනා.
ඔය බයියො කියන එකේ තේරුම මම ලොක්කගෙං අහගන්ට ඕනය කියලම හිටිය. කොහොමඉං කොහොමිං හරි අමතකම වුනා. ආයම දවසක අහගන්ට ඕන. කොහොමත් අනන්‍යායි මායි බඳින දවසට ඔය ලංකාවෙ මගෙ යාලුවො සෙට් එකටම ඉන්වයිට් කරන්ට ඕන....එදාට ඔය අමතක වෙච්චි පරණ කතා ඔක්කොම මට අහගත්තෑකි...හෙහ්,හෙහ්,
හැබැයි දන්නවද ඔහෙල? ලොක්ක කෑගහල කියාපු දේ හරියටම ඇත්ත වුනානෙ. ඒකට ඒ හැටි කාලයක් ගියේ නෑ. බුරුසුවාට චන්දෙං පැරදිල පැදුරු කොට්ට කරගහගෙන ආපහු ගමට යන්ට සිද්ද උනා.
ඊට දවස් දෙකකට වගෙ පස්සෙ ලොක්ක මට කෝල් එකක් දුන්න. "මචං ක්‍රිෂ්, කොහොමද මම කිව්ව වගේම උනේ නැද්ද? ඕක තමයි කියන්නෙ මචං මේ ලෝකෙ දෙයියො බුද්දු ඉන්නවනං කවදාවත් අදර්මෙට රජ කරන්ට බෑ කියල. දෙයියො එකතුවෙලයි බුරුසුවව පන්නල දැම්මෙ ආය මේ සම්ම ජාතියකට මිනිහට ලංකාවෙ නං බලය ගන්ට බෑ. මම නම් උදේ හවා දෙයියංට කියන්නෙ නඩු අහල ඔය මිනිහව හිරේම යවන්ට ඕන කියල. දෙයියම්පල්ල"
"උඹට දැං සන්තෝස ඇති නේද?" මම ඇහුව.
"සන්තෝසයිද කියලත් අහනව. අපිට අලුත් ජනාදිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි ඉන්නව දැං. ජනාදිපති කොහොම වෙතත් අගමැති ගැන මට සීයට දෙසීයක් විස්වාසයි ක්‍රිෂ්, මිනිහට හොඳ ඔලුවක් තියනව….." ලොක්ක බෝමත්ම තංතෝසෙං කිව්ව.
හප්පේ මදැයි බුරුසුවක් ගැන කියන්ට ගිහිල්ල ගිය වට වන්දනාවක තරම. ඔය වට වන්දනාවෙ යනව කියන එකත් මට පුරුදු වුනේ ලොක්කගෙන්ම තමයි. ඒකත් මේ ඔය කරන්ට ආපු වැඩේ පැත්තක තියෙද්දි වෙන වෙන අනම්මනම් කරනවට කියනවට ලංකාවෙ කියන එක්ස්ප්‍රෙෂන් එකක්ලු.
හරි හරි ලොක්ක ගැන තව කතා අනන්තවත් තියනව. හෙමිහිට කියන්නංකො හොඳද? ලොක්ක ඇරුනු කොට ලංකාවෙ කොල්ලො තව හතර පස් දෙනෙක්ම හිටිය මගෙ බැච්මේට්ස්ල. උනුත් ආය කියල වැඩක් නෑ එළ කොල්ලො. කට්ටිය ගැනම තියනව කතන්දර වකාරෙට. කියන්නං ඉඩ ලැබෙන ලැබෙන විදිහට. එහෙම හොඳා නෙවද?
ඉතිං අර බුරුසුවා...මේ කියන්නෙ අර ලොක්කගෙ ජම්මාංතර හතුරු බුරුසුවා ගැන එහෙම නෙවෙයි හරී? මේ කියන්නෙ අනන්‍යාගෙ මනමාල බුරුසුවා නොහොත් හරිසා ගැන.
ඉතිං හරිෂ් නම්වූ ඒ බුරුසුවා තෙමේ මේ උදේ පාන්දර හතටත් කළුම කළු පාට සන්ගිලෑස් කූස්ටමක් දාගෙන උන්නෙ. පොර හිතාගෙන ඉන්නෙ රෙජින කියලද දන්නෙ නෑ. රෙජින කියන්නෙ රජ්නි කාන්ත්ට. කොල්ලො කුරුට්ටො බහුතරයක් කියන්නෙ එහෙම. රෙජින කියල. මට ඉතිං හරිසගෙ ගොන් පාර්ට් එකට මැරෙන්ට හිනා. ඒත් හිනාවෙන එක හොඳ නෑනෙ. මම බැරෑරුම් පෙනුමක් ආයාසයෙන් මවාගෙන අවස්තාවට මූන දුන්න.
කොහොම හරි මනාල මහතා ප්‍රමුක දෙමාපිය නෑදෑ හිතවතුන් ගාම්බීර පියවරෙන් ගිහිල්ල සාලෙ අසුං ගත්ත. හැබැයි දෙයියංගෙ නාමෙට බුරුසුව ඉඳගත්තු ගමං සඟ ගලවල ඇඳගෙන උන්නු අලු පාට සපාරි සූට් එකේ උඩ සාක්කුවෙ දාගත්ත. එක අණ්ඩක් එලියට පේන විදිහට. මම හිතන්නෙ ෂුවර් ඇන්ඩ් ෂොට් ඒක ඇවිල්ල රෙජිනගෙ සුප්‍රසිද්ද ඇක්ෂන් එකක් වෙන්න ඕන.
අනන්‍යාගෙ තාත්ත හරිෂ් පස්සෙම්ම ගිහිල්ල මිනිහ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගත්තට පස්සෙ අඩි දෙකක් තුනක් පස්සට අරගෙන මූනෙ හිනා කටක් පුරෝගෙන වටපිට බැලුව. මනුස්සයට මාව ඇස්සර වැටුනෙ ඔන්න ඒ වෙලාවෙ. පොඩි බූල් තුවායක් අරගෙන පිහල දැම්ම වගෙ මනුස්සයගෙ මූනෙ පිපිල තිබ්බ හිනාව එක පාරටම අතුරුදන් වුනා. ඒ එක්කම වගෙ කට බාගෙට ඇරුන. අංකල් මගෙ මූන බලල ආයම වටපිට බැලුවෙ ටෝටලි අඤ්ඤකොරොස් වෙලා.
"ආ.......අංකල් මම මේ යන්නයි හැදුවෙ.මම උදෙම්ම ආවගෙ මංජුට ෆිසික්ස් කරන්ට"
"ආ..ආ..ආ…" අංකල් කට ඇරගෙනම මොනවද කියන්ට හැදුව.
අන්තිමට කට වහල දිව එලියට දාල තොල් එහෙම තෙමාගෙන ගොත ගගහ කතා කලා…"මේ..මේ..මේ..තමුං..තමුං...උදේට කාල කරල එහෙමද ඉන්නෙ?"
"ආ...ආ..ආ…" ඒ ගොත ගැහීමේ මගේ වාරය.."නැන් ..නෑ..නෑ...තවම කෑවෙ නම් නෑ.."
"එහෙනං ඉන්නව කෑම ටිකක් කාලම යන්ට…"
ඒ වෙනකොට අංකල්ගෙ ගොතේ හරි ගිහිල්ල. අංකල් එහෙම කියපු විදිහට "මට බෑ මං යනව" කියල කියන්ට මට මොකක්දෝ බයක් වගෙ දැනුන. අනික මෙතනිං තොලොංජි වෙලා යන්ට මට කොච්චරනං උවමනාව තිබ්බත් ටිකක් ඉඳල මෙතන මොකද වෙන්නෙ? කොහොමද මේ නාඩගම රඟ දැක්වෙන්නෙ? එහෙම කියල ඇස්පනාපිටම බලාගන්ටත් ඊට වඩා උවමනාවකුත් තිබ්බ කිව්වම මොකද ආය? බොරුවක් නෙවෙයිනෙ.
අංකලයා මට උදේ කෑමට ඉන්ටෙයි කියල බලකරලම කිව්වෙ මොකක් හෝ යටි අදහසක් ඇතුව වෙන්න ඕන ආය ඒකෙ දෙකක් නෑ. ඔය මනුස්සය හොඳට හිතල මතල වැඩකරන්නෙ හීන් නූලෙං. සමහරවිට හරිෂ්ගෙ යසෝ කීර්තිය මගෙ දෑහැටම දැකබලා ගන්ට සලස්සල මයෙ ඇස් නිලංකාර කරවල මෙතනින්ම අනන්‍යා ගැන මගෙ තියන බලාපොරොත්තු අතෑර ගන්ට සලස්වන්ට වගෙ මොකක් හරි පැලෑනක් මිනිහගෙ හිතේ වැඩ කලා වෙන්ටත් ඇති. කවුරු දන්නවද? හුහ් ඒත් එව්ව කොහෙද මාත් එක්ක..බලමුකො...