Monday, July 30, 2018

599. Idle Thoughts Of An Inebriated Mind - 2 - පදනමෙං ගැහිල්ල සහ ගොං බයියංගේ පංසල් නාඩගම…

ඡායාරූපය මුහුණු පොතෙනි...

මගෙ මේ Idle Thoughts වැඩේ අදින් ඔන්න ඉවරයක් කරනව. ඉවරයක් කරනව කිව්වෙ දැනට හොඳේ. පස්සෙ ආයම ලියනව…...පහුගිය පාර To Be Confused කියල යටිං දාපු හින්ද තව කොටහක්  ලියන්ටම උනා නෙව. එහෙම නැත්තං නීලකාසය ගැන ලියලම මට දැන් ඇතිම වෙලයි තියෙන්නෙ...:)

හරි අපි පටං ගමු පහුගිය ඇපිසෝඩ් එක නවත්තපු තැන ඉඳල...

සමහරවිට නුදුරු අනාගතයෙදිම තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්ට හීනමානෙ වහගන්ට මරි මෝඩ වැඩ කරල ගෙවාගන්ට බැරි ණය උගුලක හිරකරල මුලු රටක්ම අමාරුවෙ දාපු අවස්තාවක් ගැන කේස් ස්ටඩි එකක් නොහොත් විෂය අධ්‍යයනයක් විදිහට මේ මරාගෙ චීන ණය සීන් එක ලෝකෙ පුරාම ආර්තික විද්යා පාටමාලාවල උගන්නන්ටත් පුලුවනි. කොහොමද ඒක? පිස්සු හැදෙනව නේ?

" Sri Lanka rapidly sinking into a Chinese debt trap under Mahinda Rajapaksa's leadership : A typical case study of how one man's inferiority complex and indefinite ego satisfying destroyed a country totally…."

ඔහොම ඔය තව කේස් ස්ටඩි එකක් කරතෑකි මරාගෙ ගෝල බාලයො a.k.a. පොල් ලෙල්ලො a.k.a.  බයියො ගැනත්.

ඔය බයියො කියන්නෙ මහම මහම මහ අමුතුම ජීවීන් කොට්ටාසයක්නෙ. මෙහෙත් ඉන්නව මගෙ ඉතාම හිතවත් බයියො කීප දෙනෙක්. හැබැයි අපරාදෙ කියන්න බෑ මේ දවස්වල ඔය බ්‍රහස්පතින්ද රෑට හෝ සිකුරාද දවසෙ අපේ ඔය තියන පොඩි පොඩි ඉවෙන්ට්ස් වලදි හම්බ උනහම මූණ දිහා ටිකක් වෙලා බලා ඉඳල හෙමීට ලිස්සල යනව. අර මරාගෙ චීන පගා කේස් එක පත්තු උනත් හරි ඔහොමයිලු බයි කල් කිරියාව. හප්පා නැත්තං බලන්ට එපාය කැරකිල දෙකට නැමිල දෙන  පඬි ටෝක්...

මේ දවස්වල ඔය බයියො මුණගැහුනම ටිකක් වෙලා මගෙ මූණ දිහා බලා ඉඳල හෙමීට ලිස්සල යනව කියල මම කිව්වනෙ. බයියො ඒ බලාගෙන ඉන්න බැල්ම දැක්කම මට මතක් වෙන අපූරු සිද්ධියක් තියනව. ඒක කියන්ට හැබැයි අවුරුදු හතළිස් පහක්, හතළිස් හයක් විතර අතීතෙට යන්ට වෙනව. නමසිය හැත්තෑදෙක නැත්නම් හැත්තෑතුන වගෙ කාලෙට.

එදවස අපි හිටියෙ  කේගෝල්වල. කේගෝල් කිව්වෙ කෑගල්ලට. අපෙ අම්මයෙ බාලම මලය ඒ කිව්වෙ මගෙ පුංචි මාම වැඩ කලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ. හැත්තෑව දශකයෙ මුල්ම   කාලෙ මාම වැඩ කලේ කෑගල්ල අවට තැපැල් කන්තෝරුවල. මුලින්ම කෑගල්ලෙ පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරල ඊට පස්සෙ පෝස්ට් මාස්ටර් වෙලා ගියා උඳුගොඩට. උඳුගොඩින් ගියා මොරොන්තොටට. ඔය උඳුගොඩ සහ මොරොන්තොට දෙකම තියෙන්නෙ කෑගල්ලෙ ඉඳල බුලත්කොහුපිටියට යන පාරෙ.

මාම මොරොන්තොට ඉඳිද්දි තමයි 71 චේ ගුවේරා කාරයො රටපුරා කැරැල්ලක් පටන් ගත්තෙ. ඔය මොරොන්තොට, බුළුරුප්ප, උඳුගොඩ, ගැටියමුල්ල, හෙට්ටිමුල්ල, ගොඩිගමුව, මොරදන එතකොට අලවතුර පැත්තෙ චේ ගුවේරා ක්‍රියාකාරිත්වය සෑහෙන්න තිබ්බ. 

ඒ පාර එහේ ඉන්න බැරිතැන නැන්දයි පොඩි දරුවො දෙන්නයි කෑගල්ලෙ අපේ ගෙදර නවත්තල මාමා හමුදා සේවයට ගියා. එයා කොහොමත් යුද හමුදා ස්වේච්ඡා බල සේනාවෙ ලුතිනන් තනතුරක් දරමිනුයි හිටියෙ. රටපුරා හදිසි තත්වය නිසා ස්වේච්ඡා සියළු නිලයින් සහ භටයින් වහාම සේවයට කැඳෙව්ව.

අපෙ පුංචි මාම පොඩි කාලෙ ඉඳලම සත්තුන්ට ආසයි. පොඩිම කාලෙ මාලු ඇතිකරල තියනව. පස්සෙ පස්සෙ මනුස්සය බල්ලො පැත්තට ගියා. මට මතක කාලෙ ඉඳලම ගෙදර බල්ලො අඩුම ගානෙ හතර පස් දෙනෙක්වත් නැතිවුනේ නෑ කවදාවත්. තාමත් ඉන්නව බල්ලො පස් දෙනෙක්ද කොහෙද. ඔක්කොම හොඳ වර්ගවල පැටිකිරිය උසස් ගනයෙ එවුන් තමයි. ඉතිං අර චේ කලබල කාලෙ මාම ගාව හිටිය හොඳ දඩාර් සයිස් බල්ලො දෙන්නෙක්. උනුත් ඉතිං අපේ ගෙදර වාසය කරන්ට ගත්ත කිසිම අවුලක් නැතුව. එකෙක් හිටිය කලුම කලු ලැබ්රඩෝර් වර්ගයෙ බල්ලෙක්. නම බිංගෝ......

අපේ ගෙදරත් ඒ වෙනකොට බල්ලෙකුයි බැල්ලියෙකුයි දෙන්නෙක් හිටිය. එයින් කුරු බැල්ලිගෙ නම මිලී. අනික වල්සේෂන්...නම රෝවර්...ඉතිං මාම ගෙ අර ලැබා ඒ කිව්වෙ බිංගොට පොඩි අසාමාන්‍යතාවක් තිබ්බ. ඒ මොකක්ද කිව්වොත් ඌට සංසර්ගයෙ යෙදුනම පුරුස නිමිත්ත (එහෙම කිව්වම හරිද මන්ද...බලු නිමිත්ත කියලද කියන්න ඕන? නැත්නම් බලු පුරුස නිමිත්ත? හරි ඔය ඕන එකක්..කියන එක තේරෙනවනෙ?..එහෙනං එච්චරයි) ආපහු ගලව ගන්න බෑ. 

කොහොමත් බල්ලන්ට ඔය වැඩේට ටික වෙලාවක් යනව තමයි. ඒත් මේ යස්සයට ඒක කොහොමවත් කරන්න බෑ. මම හිතන්නෙ බිංගොගෙ ඒ අදාල අවයවයෙ තිබ්බ අසාමාන්‍ය පිහිටීමක් හින්දයි එහෙම වෙන්නෙ. මම ඔය කාලෙ ඔව්ව මොකවත් දන්නෙ නෑ. ආය මොකෝ අම්මගෙන් නැත්නම් අප්පච්චිගෙන් කියල අහන්නය? ඔය මම පස්සෙ කාලෙක උපකල්පනය කරපුව..හ්ම්ම්ම්.. එතන මෙහෙම තමයි වෙන්න ඇත්තෙ කියල...

ඉතිං බිංගො එහෙම සර්ව ලෝක පූට්ටු දාගත්තම පුංචි මාම ගෙදර හිටියොත් තකහනියක් දුවල ගිහිල්ල පශූ වෛද්‍ය කෙනෙක් ඒ කාලෙ හිටිය ඔය නිල්වක්ක කියන හරියෙ. එයාව එක්ක එනව. අපි හිටපු ක්වාටර්ස් එක තිබ්බෙ නාගොල්ලෙ. නාගොල්ල කියන්නෙ කෑගල්ල නගර ශාලාව ලඟින් උඩහට යන්න ඕන. ඒ කාලෙ පොලීසිය කච්චේරිය එහෙමත් තිබ්බෙ ඒ පාරෙමයි. දැන්නම් කොහොමද මන්ද...

බිංගො මේ අලකලංචිය කොරගන්නකොට පුංචි මාම ගෙදර හිටියෙ නැත්නම් ඉතිං අපේ ගෙදර තව හිටිය අම්මගෙ කසාද බැඳපු නැති මාම කෙනෙක්. ඔන්න ඒ මාම ගිහිල්ල පශූව එක්ක එනව. තුන් හතර පාරක්ම බිංගො මේ නාඩගම නැටුවට මාම කැමතිවුනේ නෑ ඌව කොහෙවත් වෙන තැනකට දෙන්ට. 

කොහොම හරි මට හරියට මතකයක් නම් නෑ මම හිතන්නෙ මාම හමුදා සේවයෙන් අයින් වෙලා ආපහු තැපැල් සේවයට ගියාට පස්සෙ ඉස්සෙල්ලාම පත්වීම හම්බ වුනේ කඳපොළට. නුවරඑළියෙ ඉඳල රාගල පාරෙ යන්න ඕන. මම හිතන්නෙ එහෙ යද්දි බිංගොයි අනික් බල්ලයි දෙන්නම අරගෙන ගියා. බිංගො එහෙදි ලොරියක හැප්පිල මලාය කිලත් මට පොඩි මතකයක් තියනව වගේ...

මට හොඳටම මතකයි ඔය පශූ වෛද්‍ය එක්ක ඇවිල්ල කට්ටිය වැඩේට සූදානම් වෙනකොට අම්ම හරි අත්තම්ම හරි  මාව එතනින් එලවනව උනත් මම කොහොම හරි හැංගිල බලාගෙන ඉන්නව. පශු වෛද්‍ය සුදු පාට ග්ලවුස් කුට්ටමකුත් දාගෙන වැඩේට ලෑස්ති වෙනව. හැබැයි එතනින් එහාට මොනව කරනවද කියල මම ඉන්න තැනට පේන්නෙ නෑ. පශු වෛද්‍ය ගියාට පස්සෙ බිංගොගෙ නිමිත්ත සුදු රෙදි පටියකින් වෙලල ක්ලිප්ස් වගෙ මොනවද ගහල තියනව දවසක් විතර. කොහොම හරි එහෙම එකක් මට නිකම් මතකයි වගේ. බට් අයෑම් නොට් ෂුවර්. මට ස්ථිරවම කියන්න නම් බෑ. ලෝං ටයිම් අගෝ නෙව...

ආ...මම මේ බිංගො ගැන මේ හැටි වැල් වටාරමක් කිව්වෙ අර බයියො මේ දවස්වල මුන ගැහුනම මයෙ මූණ දිහා බලාඉන්න විදිහ ගැන කියලනෙ. දැන් බයියොයි බිංගොයි අතර සම්බන්දෙ මේම් මෙහෙමයි. 

සමහර දවස්වල මම ඉස්කෝලෙ ඇරිල එනකොට ඔන්න ඉන්නව ගේ ඉස්සරහ කොරිඩෝවෙ බිංගො යුනිවර්සල් ජොයින්ට් එක දාගෙන. මාම පේන්න නෑ පශූ එක්ක එන්න ගිහිල්ල වෙන්න ඇති. මම ඉතිං හොරෙන්ම වටපිට බලල ලඟට ගිහිල්ල බලනව.මිලී අපේ කුරු බැල්ලි ඉන්නව  පසුපස ගාත්‍රා යුවලත් අහසෙ තියාගෙන එල්ලිල. 

ඒකි මා දිහා බලල කෙඳිරි ගානව. බිංගොත් මගෙ මූණ දිහා බොහොම අසරණ විදිහට බලනව. බලල අහක බලා ගන්නව. හරියට "මොකද කරන්නෙ පුංචි මහත්තයො මට හොඳටම වැරදුනා..." කියල නොකියා කියනව වගෙ.

ඉතිං මට කියන්ට ඕමනා කලේ මේ දවස්වල බයියො මගෙ මූණ දිහා බලද්දිත් තියෙන්නෙ අන්න ඒ අවුරුදු හතළිස් පහකට එහා පැත්තෙ බිංගොගෙ මූණෙ තිබ්බ අසරණ පෙනුමමයි.

ඒ කියන්නෙ මෙදා පාර බයියන්ට කට උත්තර නැතිවෙන්ටම ඇරියෙ වෙන කවුරුත් එහෙම නෙවෙයි උංගෙම මහ බයිය මරාමයි. ඇයි මං එහෙම කියන්නෙ? අර නිව්යෝක් ටයිම්ස් හෙලිදරව්ව හින්ද මරා අර මොනවද කාපු රිලව වගෙ නියව නියව ඉන්න හැටි දැක්කම ඕන කෙනෙකුට ඔප්පුවෙනවනෙ මූ නං චීනගෙං මේ පගාව ගහලම තමයි කියල. ඒකෙං උනේ බයියංගෙත් අප්පල්ල වගෙ තිබ්බ කටවල් වැහිලම ගිය එක.

මරා කොහොමත් ඔය ඇරිල්ලට දස්සය. තමන්ට බලය ලැබෙනවනම් ආය නෑ ඕනම කෙනෙකුට අරියි දෙපාරක් හිතන්නෙ නැතුව. මරා ඇරපු අය ගැන කතා කරනවනම් මේකත් මතු සම්බන්ධයි වෙනව. ඒ හින්ද ඒ ගැන වෙන දවසක කතා කරමු.

මරාගෙ චයිනීස් ගැහිල්ලත් එක්කම එලියට ආවනෙ තව ගැහිල්ලක්. ඒ තමයි භක්ෂිශීලයන්ගේ (බැසිලට භක්ෂිශීලයෝ කියල නම දැම්මෙ  අවුරුදු හත අටකට කලින් පිස්සාගේ පළාමල්ල කියල අපූරු බ්ලොග් එකක් ලියපු පිස්සා..) ප්‍රියාදර බාර්යා තොමෝ වන පුස්පක්කගෙ ඔන්න ඔය කෝටි දෙකක්ද කොහෙද ගැහිල්ල. ඒ සල්ලිත් දීල තියෙන්නෙ චයිනීස් කස්ටියම තමයි. 

ඒ ගැහිල්ලටම බැසිලයි පුස්පයි එකතුවෙලා පධණමකුත් පිහිටුවාගෙන ඔන්න කොටිම්ම. ඒකෙ නම පුස්පා රාජපස්ස පධණම... පදනම කියල හරියට ලියන්නෙ නෝමල් දයන්න උනාට ඒ වගෙ භාරදූර ගෞරවාන්විත කාර්යයකට පිහිටුවා ගත්තු එකකට නිකම්ම පදනම කියල කියන එක ඉත්තේරුවෙම්ම වැරදියි. එහෙම එව්වට කියන්න ඕන "පධණම" කියල. තේරුණෙයි ඔහෙලට? 

දැං ඔය හතරවරං ගැහිල්ලට පධණං පිහිටුවා ගන්න එක තරං ලේසි කෙරේමයක් ආය ලොවෙත් නෑ. මතකනෙ වැඩේ හාපුරා කියල පටන් ගත්තෙ හෙල්පිං හංබංතොට පධණමිං..ඊට පස්සෙ ෂිරිළිය පධණම.. ඊටත් පස්සෙ තාරුන්නේට හැට්ටයක් පධණම...ඊටත් පස්සෙ නිල් බලකාය පධණම...හෙහ්...කොහොමද ආතල් එක..ගැහිල්ල බොහොම ලේසියි සහ පහසුයි...පධණමක් පිහිටුවාගන්නව චීන්නු පධණමට සල්ලි දානව. රට චීන්නුන්ට ලියල දෙනව...

අනික ආස පොලෝ නුහූලන අපරාදෙය කියන්නෙ ඔය මරා ගහපු සල්ලියි පුස්පක්කගෙ පධණමට චීන්නු දුන්නු සල්ලියි නිකම් මේ සාමාන්‍ය කොමිස් එකක් වගෙ එකක් නෙවෙයි ලු. එහෙමනම් ඒක එතනිං ඉවරනෙ. මේ ගහපු සල්ලි තව අවුරුදු තිහකිං මේ රටේ අප ඔබ හැමෝම පොලියත් එක්ක චීනට ගෙවන්ට ඕමනයිලු. අන්න අර අනුර මල්ලි සාක්සි සහිතව පාර්ලිමේන්තුවෙදි ඒ විස්තරේ කිව්වෙ. හැමෝම වගෙ මම හිතන්නෙ ඒ වීඩියෝ එක දැකල ඇතිනෙ. ඒ හින්ද මම මෙතන ඒක දාන්නෙ නෑ.

ඒ වෙනුවට අපේ ඔය හිතවත් බයි මහත්තුරුන්ට බලාගන්ට අපූරු වීඩියෝ එකක් මෙන්න තියනව. 


මේකෙ තියෙන්නෙ  ඇවිල්ල ඔය ඇඹිලිපිටිය කිට්ටුව පන්සලක බුද්ද රූපයක් විවෘත කරන්ට නීලකාසයට ආරාදනා කරල උන්දැ එනව එනව කියල අන්තිම මොහොතෙ එන්නෙ නෑ කියල කිව්වම එතන ඉන්න බයි මෝල්ලු රැල නටන නාඩගමක්. (6.40 ඉඳල බලන්න...)

මේ අපි වාගෙ වයසක මිනිස්සු ඔහොම අඩව්වක් ඇල්ලුවනම් එක අතකට කමකුත් නෑ කිව්වැහැකි. මෙතන මේ නරි නාටක නටන්නෙ හොඳ තරුණ වයසෙ කොල්ලො. අන්න ඒකයි අපෙ හාන්දුරුවනේ හිතට කණගාටුව. රටේ අනාගතය ගැන පුදුම බයක් දැනෙන්නෙ මේ ගෙ මී හරක් රංචුවක්ද මයෙ කිරි බුදු සන්තෝ ඉස්සරහට අපේ  රටේ අනාගතය බාරගන්න ඉන්නෙ කියල කල්පනා  වෙද්දි....

අනික ඔක්කෝටම වැඩිය හිනා කන වැඩේ තමයි මේ අම්බරුවො මරාව එක්ක එන්ට කියල පුකවල් පොළවෙ ගහගත්තට චමල් අයිය මරාට කෝල් එක අරන් දුන්නම මරා ඒ කතා කරපු එකාට කලිසම හැලෙන්ට දෙකක් කියනව..හෙහ්...හෙහ්..."තමුසෙල කියන කියන විදිහට මම නටන්නෙ නෑ ඕයි..මට ඕන විදිහටයි මම වැඩ කරන්නෙ.."

සෝක් නේද? මේ ගොං බයියො රැල අච්චර මරාට දෙන්ට හදල අහගත්තු හරිය? මරා කියන්නෙ අන්න ඒ ජාතියෙ පොරක් කියල දැන්වත් තේරුං ගත්තනං ලොකු දෙයක්. 

දෙයියෝ සාක්කි නීලකාසය පොඩ්ඩක් හිතන්ට එපාද යකෝ මම මෙච්චර හොරකං කරල රටම විනාස කරල ඒත් මේ මිනිස්සු උපංගෙයි ගොං කමට හරි මට මෙහෙම ආරාදනා කරන එකම මදිද? ඒ හින්ද මුංගෙ හිත හැදෙන්ට මොකවත් කියන්ට ඕනෑය කියල හිතල "මම මේ අසනීපෙං ඉන්නෙ දරුවනේ..බොහොම ස්තූතියි මට ආරාධනා කලාට ඒත් මට එන්ට හැටියක් නම් නැහැ" එහෙම කිව්වනම් මොකෝ මරාගෙ නම්බුවට මොකවත් වෙනවද?

එහෙම නෙවෙයිනෙ තියන උද්දච්ච කම....තියන මහන්තත්ත කම....වෙන මොකක්ද? මෙහෙම කිව්ව කියල මගේ අතිජාත මිත්තර  හිතවත් බයි රැල නීලකාසය කෙරේ කලකිරෙන්ට අපෝ වෙන්ට එහෙම එපල්ල හොඳේ...හෙහ්,...හෙහ්..තවත් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරපල්ල!...වැඳ නමස්කාර කරපල්ල!

"I am not sure whether Darwin was right when he said humans evolved from monkeys but I am 100% sure that a majority of Sri Lankans are rapidly evolving into 🐃 Buffaloes "

Thursday, July 26, 2018

598. Idle Thoughts Of An Inebriated Mind - 1


"ඉතුරු සිල් රෙදි එහෙම නැද්ද?"
වයසක කාන්තාවක් මරාගෙන එහෙම අහනව.
මරාට මල පයිනව.
"මේ මගෙං කුණුහරුප නාහා හිටපං..."
මරා අර කාන්තාවගෙ ඇඟට ගොඩවෙනව.
කාටූනය මුහුණු පොතෙනි...

දෙයියම්පල්ල අර මයිත්තිරීපාලයට මාසෙකට කෝටියක් දුන්නත් මදිය කියල හිතෙන්නෙ මේං මේ වගෙ වෙලාවට තමයි. මම කිව්වෙ මේ රටේ ලෝකෙ මිනිස්සු මොන විදිහෙ කඩොලු කතා කියනව ඇද්ද ඒ අහින්සක මනුස්සයට කියල හිතෙන්නෙ මේ කතන්දරයක් ලියන්ට ගිහිල්ල මට වෙලා තියන හෙයියම්මාරුව ගැන හිතල බැලුවහම. 

මේක එක විදිහකට කරන්ට දෙන්නෙම නෑනෙ මේ කයිතාඩුවො රැල. අනන්නියා ගැන කතන්දරේ ඇදෙනව වැඩිය ඒක කොයි මක් කොරල හරි විගැහිං ඉවර කරන්ටෙයි කියල පාටකයො නාහෙං අඬන හින්දම ඔන්න එක දිගටම ඒ කතාව කොටස් හතර පහක් ලිව්වය කියමුකො. ඒ පාර මෙන්න මෙවුං කියනව ඒක දිගටම ලියන්ට එපාලු තව වෙන මොනවහරිත් ලියන්ටලු.

යස අපූරු නඩයක් තමයි ඒකට පිටපොට ගහගෙන ලැහැත්ති වෙලා පිටියට වන්නෙ. කල්යාන මිත්තර ප්‍රමුක ඉයන්, ප්‍රසන්න සහ පැතුම් ප්ලීස් සමඟ මදි පාඩුවට සිත්තමී මැතිණිය. ඒ නඩේ එක හෙලාම කියා හිටින්නෙ එක දිගටම අනන්යාගෙ කතාව ලියන්ට එපාය. අතරිම් පතරට වෙන මොකවතුත් ලියන්ටෙයි කියල. ඔන්න එහෙනං මම කල්පනා කලා එහෙනං අද ලියමුය කියල අලුත්ම මාත්තුරුකාවකිං....

 Idle Thoughts Of An Inebriated Mind………..

මේ දවස්වල අපේ නීලකාස මරාස්තුමාගෙ මොකවත්ම සද්දක් බද්දක් නෑ. පාර්ලිමේන්තුවෙත් නෑ. පන්සල්වල පිංකං වලට ගිහිල්ල අපෙ හාමුදුරුවනේ කියල දෙකට නැමිල අල්ලෙ පැලවෙන ගජ බින්න කිසිම හිරිකිතයක් නැතුව අත අරින්නෙත් නෑ. කොටිම්ම රටෙත් නෑ. නීලකාසය ගිහිල්ල සිංගප්පූරුවට. 

දන්නවනෙ අර නිව්යෝක් ටයිම්ස් කේස් එක. නිව්යෝක් ටයිම්ස් එක නීලකාසයගෙ සුදු රෙද්ද ඔලුවෙං ගැලෙව්වට පස්සෙ නීලකාසය සද්දෙකුත් නෑ. බැසිලා සද්දෙකුත් නෑ. ගොට්ට සද්දෙකුත් නෑ. අපේ ඔටුන්න හිමි කුමාරය නාමෝලා සද්දෙකුත් නෑ. ආ..නාමෝල නම් සද්දක් නෑ කියන්ටමත් බෑ. ඊයෙද  පෙරෙයිදද කොහෙද කියල තිබ්බනෙ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් රටේ ආර්තිකේ ටෝටලි කඩා වැටෙනවයි කියල. ඇත්ත වෙන්ටත් ඇති. තම තම නැණ පමණ කියලත් කියනවනෙ. 

අනික ලෝ කොලේජ් ෆයිනල් එග්සෑම් එකෙං මදි නොකියන්ට  ගෙඩි පිටිම් ලකුණු 98 ක්ම  ගත්තු හාදයනෙ. සෙල්ලංද? අනික එතන උනාය කියන්නෙ මෙහෙමලුනෙ.

ඔන්න නාමෝල් කොලුව ලෝ ෆයිනල් විබාගෙ ලිව්වනෙ. දැං නාමෝලයගෙ උත්තර පත්තරවලට ළකුණු දුන්නම සීයෙන් එකසිය විසි දෙකක් ආවලු. ඒ පාර ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් මරාට කෝල් එකක් දාල කිව්වලු. සර් මෙහෙමයි නාමල් බේබිට ළකුණු එකසිය විස්සක් තියනවයි  කියල. අනේ ඉතිං බලන්න පිංවතුනි එතුමාගේ නිහතමානිත්වයේ මහතය කියන්නෙ. වහාම කිව්වලු එච්චර එපා කොහොමහරි කරල ළකුණු හැත්තෑවකට විතර අඩු කරන්නෙයි කියල.

ඔය විස්තරේ පස්සෙ දවසක ඔය අබයාරාමෙ හරි සුනේත්‍රා දේවී පිරිවෙනේ හරි තිබ්බ උස්සවේකදි නීලකාසයම කිව්ව. මෙහෙමයි කිව්වෙ..

"අපෙ හාමුදුරුවනේ කිව්වම මොකද අපේ ඔය නාමල් පුතා ඉන්නව නේද? රට රටවල් ගානක විස්ස විජ්ජාල  සිස්සත්ත හම්බුනානෙ එයයිට. ඒත් මේ දරුවගෙ තියන දේසප්‍රේමය කොච්චරද කියනවනම් අපෙ හාමුදුරුවනේ පිටරටක ඉගෙන ගන්ට යන්ට කැමති උනේම නෑ කිව්වම. මේ අපේ රටේ ලෝ කොලේජ් එකේ විබාගෙම කරන්ට ඕනය කිව්වනෙ."

"ඒ ගමන මාත් ඉතිං අපෙ හාමුදුරුවනේ කමක් නෑය කියල ඒකට ඉඩ දුන්න. මේ ළමය විභාගෙට ලිව්වය කියමුකො ඔන්න අපෙ හාමුදුරුවනේ. එදාම හවස් අතේ මට කෝල් එකක් එනව ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් ගෙන්. මොකද මේ හදිස්සියෙ කියල ඇහූකොට කියාපි ඔබතුමාගෙ ලොකු පුතාට ලකුණු සීයෙන් එකසිය විස්සක් තියනව. අපේ සුබපැතුම්ය කියාල. දෙයියම්ප අපෙ හාමුදුරුවනේ මට උතුර දකුණ මාරු උනා කොටිම්ම. ඔය කතාව ප්‍රසිද්ද උනහොත් අනිවාර්යයෙන්ම මේ අසමජ්ජාතියො කියන්ට ගනී මම ලෝ කොලේජ් එකේ ස්ටාෆ් එකට තර්ජනය කරල පුතාට ලකුණු වැඩිපුර දාගත්තයි කියල. නිකං නිස්කාරණේ එහෙම කතාවක් අහන්ට ඕන නෑනෙ අපෙ හාමුදුරුවනේ.."

"ඒ හින්ද මම ලෝ කොලේජ් ප්‍රින්සිපල්ට මෙහෙම කිව්ව...මේ වහාම මගෙ පුතාගෙ ගත්ත ලකුණු ගාන හැත්තෑවකට වගෙ අඩු කරනව....වහාම....හරි හරි සර් අපි එහෙම කරන්නම් කියල එයාල ටෙලිෆෝන් එක තිබ්බ. මෙන්න තව පැයකින් විතර ආයම කෝල් එකක් එනව. අනේ තරහ වෙන්න එපා ජනාධිපති තුමනි. පුතාගෙ උත්තර පත්තර අපි හත් අට පාරක්ම බැලුව. ලකුණු ගාන අනූ අටට අඩු කලෑකි. ඒත් බොහොම අමාරුවෙන්. ඊට වැඩිය නම් එක ලකුණක්වත් අඩුකරන්න නම් කියන්න එපා. ඒක මට මගේ හෘද සාක්ෂියට එකඟව කොහොමවත්ම කරන්න බෑ. ඔබතුමා මට තවත් ලකුණු අඩුකරන්නෙයි කියල බල කරනව නම් මම මේ රස්සාවෙන් අස්වෙනව අදම. ඒක මගෙ හිතට හොඳයි මේ වගෙ අසාධාරණයක් කරනවට වැඩිය...."

"ඉතිං මම වෙන අහවල් දෙයක් කොරන්නෙයි ඔන්න ඔහෙ එහෙනං කමක් නෑය කියල ඒකට ඉඩ දුන්න. ඔන්න ඔහොමයි අපෙ හාමුදුරුවනේ ඔය සිද්දිය උනේ...ඔය මයෙ විරුද්දකාරයො නම් රටේ නැති එව්ව කියයි බලා උන්න වගේ. ඒත් ඇත්තටම මොකක්ද උනේ කියල දන්නෙ මම නෙව…"

ඔන්න ඔහොමලු එතුමා කිව්වය කියන්නෙ.

කොහොමද නිහතමානීකොම. අන්න නායකයො....රටකට වාසනාවන්..

මේ ඊයෙ පෙරේද අර නයිජීරියාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එතුමා උදාහරණෙකට අරගෙන කතාවකුත් කරල තිබ්බය කියනවනෙ. ඉතිං බලමුකො ඒකෙත් හැටි. සී ලාන්කිකයින් හැටියට අපිට සුලු පටු ගහුරවයද්ද හැබෑටම?

දැං ඔය කතා කරද්දි සාමාන්නියයෙන් උදාහරන විදිහට ගන්නෙ ගාන්දි, චර්චිල්, ලුමුම්බා, මැන්ඩෙලා වගෙ කස්ටියනෙ. දැං ඔන්න ඒ අතිං සී ලංකාවත් ජාතියන්තරයට පිවිසිලා. සී ලන්කාව ආසියාවෙ හාස්චරිය කොරලයි මම පස්ස බලන්නෙ කියල ඒ කාලෙ අර බැසිලා නොහොත් මිස්ටර් ටෙන් පර්සන්ට් කිව්වෙ නිකං කට කහනවට නෙවෙයිනෙ.

ඉතිං අර නයිජීරියානු මන්ත්‍රී කිව්වය කියන්නෙ මෙහෙම. 

"කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිතු මනාපෙ ණය ගන්න ගිහිල්ල තමංගෙ රට ණය උගුලක හිරකරල පතුලක් නොපෙනෙන අදාදයකට දැමීම ගැන හොඳම උදාරනයක් මම කියන්නං. ඒ තමයි සී ලංකාවෙ හිටපු ජනාදිපති මහින්ද රාජපස්ස."

"රටකට දීර්ග කාලීනව ප්‍රයෝජනවත් වෙන්නෙ මොන වගේ ව්‍යාපෘතිද කියල හොයල බලල හැකි පමණ අඩුම පොළියකට අවශ්‍ය ණය අරගෙන ඒ ණය ආපහු ගෙවන්නෙ කොහොමද කියල පැහැදිලි වැඩ පිළිවෙලක් නැතුව හිතූමනාපෙ ණය අරගෙන සුදු අලි නිර්මාණය කරල තමන්ගෙ මව්බිම අමාරුවෙ දානවට වඩා හොඳයි වහ කාල මැරෙන එක. ඒ හින්ද මම අපේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නෙ රාජපස්ස වගෙ නැතුව ඔලුව කල්පනා කරල වැඩ කරන්ටෙයි කියල....."

සමහරවිට නුදුරු අනාගතයෙදිම තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්ට හීනමානෙ වහගන්ට මරි මෝඩ වැඩ කරල ගෙවාගන්ට බැරි ණය උගුලක හිරකරල මුලු රටක්ම අමාරුවෙ දාපු අවස්තාවක් ගැන "කේස් ස්ටඩි" එකක් නොහොත් විෂය අධ්‍යයනයක් විදිහට මේ මරාගෙ චීන ණය සීන් එක ලෝකෙ පුරාම ආර්තික විද්යා පාටමාලාවල උගන්නන්ටත් පුලුවනි. කොහොමද ඒක? පිස්සු හැදෙනව නේ?

" Sri Lanka rapidly sinking into a Chinese debt trap under Mahinda Rajapaksa's leadership  : A typical case study of how one man's inferiority complex and indefinite ego satisfying destroyed a country totally…."


To be continued........

Saturday, July 21, 2018

597. The Story Of My Marriage - 77 - " I Beg You..Please Leave Us And Go…We Don't Want Anything From You.." My Mother Begged My Father With Folded Hands


"ක්‍රිෂ්...මම අහගෙන ඉන්නෙ... දැන් කරුණාකරල පටන් ගන්න….."

ගුරුජී අනුකම්පා විරහිත එහෙත් එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම  කිව්ව.

ඉතින්...ඉතින්....ඉතින්...මම මගේ කතාව කියන්න පටන් ගත්තා……

ඔන්න එහෙනම් සහෘදයිනි...මේ තමයි මගේ  අතීත කතාව....

වසර තුනකට පෙර…

ඒ අමිහිරි දවසෙ තාත්ත ගෙදර ආවෙ මහ රෑ දොළහත් පහුවෙලා. වෙලාව ගැන මට සහතික කරල කියන්න පුලුවන් කෑම කාමරේ බිත්ති ඔරලෝසුවෙ රෑ දොළහ වදිනව මම ගණං කරපු හින්ද. මම එහෙම ඔරලෝසුවෙ වෙලාව වදිනව ගණං කලේ මට වෙන කරන්න දෙයක් නැති හින්ද. 

මම හිටියෙ සාලෙ සෝපාව උඩ වාඩිවෙලා හිස පහත් කරගෙන. දෑතින්ම හිස බදාගෙන. මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් ඒ වෙලාවෙ තිබ්බ. ඒ ඔලුව කැක්කුව විඳ දරාගෙන මම හිටියෙ තාත්ත හම්බවෙලා කතා කරන්න. තාත්ත ගෙදර එන වෙලාවක් හරියටම කියන්න මමවත් අම්මවත් දැනගෙන නොහිටිය හින්ද කීය වෙනකල් හරි සාලෙ ඉඳගෙන ඔහු එනකල් ඉන්න මට සිද්ද වෙලා තිබුන.

මෙහෙම ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නැතිය කියල මට සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම සහතික උනාට අර අන්තිම සීයට දසම බින්දුවයි එක ගැන පුංචිම හරි බලාපොරොත්තුවක් හිතේ  කොණක හංගගෙන මම තාත්ත එනකල් බලා හිටිය. ඇත්තම කිව්වොත් මට තාත්තගෙ පිහිට ඇර මේ වෙලාවෙ වෙන කිසිම සරණක් නෑ. ඒ හින්ද තාත්තගෙයි මගෙයි අතර සම්බන්දෙ වෙනත් සාමාන්‍ය පිය - පුතු සම්බන්දෙකින් කොච්චර දුරස් උනත් මට වෙන කිසිම විකල්පයක් තිබ්බෙ නෑ තාත්තගෙ පිහිට ඉල්ලා හිටිනව ඇරෙන්න.

ඉස්සරහ දොර ඇරල ඇතුලට ඇවිල්ල තාත්ත සාලෙට ඇතුලුවෙන තැන තිබ්බ පුටුවෙ වාඩි වුනේ සපත්තු ගලවන්ට. තාත්ත කවදාවත් සපත්තු දාගෙන ගේ ඇතුලට ආවෙ නෑ. ඒ එයාගෙ හමුදා විනය. තාත්තගෙ හමුදා විනය ඉතාම දැඩිලෙස පෞදගලික ජීවිතයටත් ඈඳන්ට ගිහිල්ල ඔහු අම්මගෙයි මගෙයි ජීවිත ඉතාම අමිහිරි කරල නේද තියෙන්නෙ කියල මට හිතෙන්න ගත්තෙ යම්තමට දැනුම් තේරුම් වෙන්ට ගත්තු කාලෙදිමයි.

"තාත්තෙ...." සපත්තු ගලවල තාත්ත සාලෙට ඇතුල්වෙනකොටම මම හෙමිහිට කතා කලා.

"කවුද?..."  තාත්ත මා දිහාට හැරුන....."ආ මේ මගේ පුතණ්ඩියනෙ…." ඔහු එහෙම කිව්වෙ සෝපාහාසාත්කම ස්වරයකින්...."මොකද මේ කවදාවත් නැතුව?"

ඊට පස්සෙ ඔහු මගේ කේශාන්තයේ ඉඳල පාදාන්තය දක්වා දෙතුන් පාරක් බැලුවෙ හරියට හමුදාවෙ පෙරෙට්ටුවකදි ඔහු ඉස්සරහ සීරුවෙන් හිටගෙන ඉන්න සොල්දාදුවෙක් පරීක්ෂා කරන අන්දමට.

"මොනවද අයිසෙ ඔය ඇඳගෙන ඉන්නෙ? ඔහොමද තමුන් ගෙදර ඉන්නකොට අඳින්නෙ?"

මම පුදුමයට පත්වෙලා කෝකටත් කියල ඔලුව නවල ආයම පරීක්ෂා කලා මොනවද මම ඇඳගෙන ඉන්නෙ කියල.......හරි අවුලක් නෑ මගෙ දුඹුරු පාට කොට කළිසමයි සුදු පාට ටී ෂර්ට් එකයි. තාත්ත කතා කරපු විදිහට මට හිතුනෙ මට කොට කළිසම අඳින්ට අමතක වෙලා දෝ වත්ද කියලයි.

"ඇයි?.... මම රෑට අඳින්නෙ මෙහෙම තමයි" මම කිව්ව..

"මම අහන්නෙ තමුන්ට නැද්ද ඔය කොට කළිසමයි ටී ෂර්ට් එකයි ඇරෙන්න වෙන සිලාචාර රෑ ඇඳුමක්..මම මේ කිව්වෙ පිජාමා සූට් එකක් වගෙ..අන්න එව්වනෙ රෑ ඇඳුම් කියන්නෙ…"

කෙහෙම්මල් පිජාමා...මම මේ ඔලුව ගිණි අරං ඉන්නව. මෙයා එනව මෙතන පිජාමාවක් ගැන කියන්ට. මම හිතෙන් එහෙම කිව්ව. හිතෙන් එහෙම කියල කටින් මෙහෙම කිව්ව.

"තාත්තෙ මම මේ තාත්ත එනකල් බලාගෙන හිටියෙ මම රෑට අඳින ඇඳුම් ගැන කතා කරන්ට නෙවෙයි."

 "ඔව්...මට හිතුන කවදාවත් නැතුව මම එනකල් මග බලා ඉන්නකොට. ඉතිං එහෙනං කියමු බලන්ට කාරණාව..."

"මම ගෑණු ළමයෙකුට ආදරේ කරනව…"

"හහ්..එහෙනං තමුං  විස්ව විද්‍යාලෙටද කොහෙද ගිහිල්ල  ඉහළට ඉගෙන ගන්නවයි කියල තමුන්ගෙ අම්ම මහ ලොකුවට පුරාජේරු කියෙව්වට මට පේන්නෙ තමුන් එතන ගිහිල්ල කරන්නෙ ඉගෙන ගන්න එකම විතරක් නෙවෙයි වගෙ.."

තාත්තගෙ කට කොහොමත් එහෙමයි. හමුදාවෙ ආචාර ධර්ම වලින් එයාට පිහිටල නැත්තෙ ඔන්න ඕක විතරයි. ඒ කිව්වෙ අවශ්‍යදේ විතරක් කතා කරන එක. තාත්ත කතාකරන්න ගියාම ඕන එකයි එපා එකයි ඔක්කොම කියවනව.

"තාත්තෙ මේ නිකං බොරුවට අනම් මනම් කියවන්නෙ නැතුව මම කියනදේ පොඩ්ඩක් අහන්නකො. ඒ ගෑණු ළමය හරිම හොඳ කෙනෙක්. එයාගෙ තාත්ත අපිට අයි.අයි.ටී. එකේදි උගන්වපු ප්‍රොෆෙසර් කෙනෙක්…"

"ආ...ඔය කියන්නෙ..තමුන් එහෙනම් ඕක තමයි අයි.අයි.ටී. යනවයි  අයි.අයි.ටී. යනවයි කියල ගිහිල්ල කරල තියෙන්නෙ…"

"මේ...නිකම් පිස්සු කියවන්ට එපා තාත්තෙ. මොකක්ද ඒ කතාවෙ තේරුම? මම අයි.අයි.ටී. එකට ගිහිල්ල ජීවිතේ නාස්ති කරගත්තෙ නැහැනෙ. මම එහෙං උපාධියක් ගත්ත. මට දැන් රස්සාවක් තියනව. මම තව මාස දෙකකින් නැත්නම් තුනකින් එම්.බී.ඒ. එකක් කරන්න රෙජිස්ටර් වෙනව. ඉතිං මොකක්ද ප්‍රශ්ණෙ?"

"නෑ නෑ. මට කිසිම ප්‍රශ්ණයක් නෑ. දැන් මම නෙවෙයිනෙ කතා කරන්න තියනවයි කිව්වෙ. තමුන් තමයි කිව්වෙ කතා කරන්න ඕන කියල. ඒ හින්ද කියමු බලන්න මොකක්ද තමුන්ගෙ ප්‍රශ්ණෙ කියල."

තාත්ත එහෙම කියල මා ඉස්සරහ තිබ්බ හාන්සි පුටුවෙ ඉඳගත්ත. ඉඳගෙන එක පාරක් ඔලුව උස්සල මා දිහා බලල ආයම බිම බලාගත්ත.

"ගෑණු ළමයගෙ තාත්ත ඒ කිව්වෙ අර ප්‍රොෆෙසර් ලෑස්ති වෙන්නෙ ඒ ළමයව පිටරට එක්ක යන්න. එහෙ ගිහිල්ල කාටහරි බන්දල දෙන්න…"

"ආ..ඒ කියන්නෙ ගෑණු ළමයගෙ තාත්ත තමුන්ට  කැමති නෑ? "

"නෑ…."

"ඇයි ඒ කැමති නැත්තෙ? "

"අපිට එයා එක්ක පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තිබ්බ."

"අපිට කිව්වෙ?"

"අපිට කිව්වෙ මටයි මගෙ කිට්ටුම යාලුවො හතර පස් දෙනෙකුටයි.."

"මොනවද ඔය තමුන් කියන පොඩි පොඩි ප්‍රශ්ණ? "

"මේ..විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්…"

"විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්?...විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්?... හුහ්..අපූරුයි... කොහොමද ඒක කිව්ව ලස්සන...මම ඇවිල්ලා අවුරුදු තිහකට වැඩි සර්විස් එකක් තියන යුද හමුදා නිලධාරියෙක්..මගේ එකම පුතා විශ්ව විද්‍යාලෙ විනය විරෝධී වැඩ කරනව. බොහොම අපූරුයි මම මෙච්චර අමාරුවෙන් මෙච්චර කැපකීරිමක් කරල ගොඩ නඟා ගත්තු මගේ කීර්තිනාමය තමුන් එක දවසින්...."

දිගටම කතා කරල තාත්තට කැස්සක් වගෙ ආව හින්ද එයා කතාව පොඩ්ඩකට නැවැත්තුව. මම ඒ අවස්තාවෙන් වහා ප්‍රයෝජන ගත්ත.

"තාත්තෙ..ඒ ඔක්කොම ඉවරයි. ඔව්ව ඔය සෑහෙන කාලෙකට කලින් උන එව්ව. එව්ව දැන් ඉවරයි.."

"ඉවර වෙලා නෑනෙ..ඉවර වෙලා නෑනෙ...තමුන්ට එව්ව ඉවර උනාට මට පේන  විදිහට අර ප්‍රොෆෙසර්ට එව්ව ඉවර වෙලා නෑ වගේ. ඒකනෙ එයා තාම ඒ පස්සෙම පන්නන්නෙ....හරි බොරුද මම කියන්නෙ?"

"ඔව්..ඔව්...ඒකම තමයි මෙතන තියෙන ප්‍රශ්ණෙ.."

"හරි…. තමුන්ගෙ අම්ම දන්නවද මේ ගැන?"

"ඔව් මම අම්මට කිව්ව."

"ඉතිං ඇයි ඒ මනුස්සය මට මෙව්ව ගැන කලින් කිව්වෙ නැත්තෙ?..... කවිතා......." තාත්ත මූණත් රතුකරගෙන බෙරිහන් දුන්න. 

තාත්තගෙ රැලි වැටුනු සුදු පාට කොණ්ඩ රැල් කීපයක් ඇස් ඉස්සරහට වැටුන. තාත්ත නොඉවසිල්ලෙන් ඒ කොණ්ඩ රැල් අතින් පස්සට කරගත්ත. 

මේ වෙනකල් අම්ම කාමරේ නිදාගෙන හිටියෙ. තාත්ත බෙරිහන්දෙන සද්දෙට ඇහැරිල ඈ එක අතකින් දෑස් පිසදමමින් එලියට ආව.....

"මොකද වෙලා තියෙන්නෙ? ඇයි මේ කෑගහන්නෙ?" අම්ම තාත්තයි මායි දිහා මාරුවෙන් මාරුවට බලමින් ඇහැව්ව.

"ඇයි මෙයා මේ යාලු වෙලා ඉන්න ගෑණු ළමය ගැන මට කලින් කිව්වෙ නැත්තෙ?" තාත්ත මා දිහාට ඇඟිල්ලක් දික්කරල ආයම බෙරිහන් දුන්න.

"පුතා මට ඒ ගැන කියල ඒ හැටි කාලයක් නෑ ...මේ සතියක් නැත්නම් දෙකක් වගෙ ඇති උපරිම…" අම්ම කිව්ව.

"හරි සතියයි දෙකයි කියමුකො..ඒත් උඹ මගෙන් ඒක වසං කලා...උඹ මහ බැල්ලියක්…"

"තාත්තෙ මේ මම එකක් කියන්නං අම්මට එහෙම කතා කරන්න එපා.."

මමත් තාත්තට කෑගැහුව. මම තව දෙක තුනක් කියනව. ඒත් අද මට මේ මනුස්සයගෙ උදව් ඕන කරල තියන දවස.. ඒ හින්ද මම බොහොම අමාරුවෙන් මගෙ කේන්තිය පාලනය කරගත්ත.

අම්ම එතන තිබ්බ වේවැල් පුටුවෙ වාඩිවෙලා අත්දෙකෙන් මූණ වහගෙන අඬන්න ගත්ත. මට පේන විදිහට නම් වැඩේ එන්න එන්නම නරක අතට යන සයිස් එකක් තියෙන්නෙ. තවත් තත්වය දරුණු වෙන්න ඉස්සෙල්ල මම කල්පනා කලා කෙලින්ම මගෙ ඉල්ලීම ඉදිරිපත් කලානම් හොඳයි කියල.

"තාත්තෙ කරුණාකරල සන්සුන්වෙලා මම කියන දේ අහන්නකො. තාත්තට බැරිද මම වෙනුවෙන් ගිහිල්ල ඒ ප්‍රොෆෙසර්ව මුන ගැහිල මේ ගැන කතා කරන්න. තාත්ත ගිහිල්ල කතා කලොත් සමහරවිට ප්‍රොෆෙසර් එයාගෙ තීරණය ගැන ආයෙම පාරක් කල්පනා කරයි කියල මට හිතෙනව.."

"ඇයි ඒ මනුස්සය එහෙම කරන්නෙ?"

"ප්‍රොෆෙසර්ගෙ තාත්තත් හිටපු හමුදා නිලධාරියෙක්. ඒ හින්ද ප්‍රොෆෙසර් හමුදා නිලධාරීන්ට බොහොම ගෞරව කරනව.ඒ හින්දයි මම කිව්වෙ තාත්ත ගිහිල්ල එයාව හම්බ වෙලා කතා කලොත්…"

"හරි ඒකත් එහෙමයි කියමුකො.. ඊලඟට ඇයි මම යන්නෙ ඒ මනුස්සය හම්බවෙන්න? "

"තාත්තට යන්න කියල මම කියන්නෙ මම ඒ ළමයට ආදරේ හින්ද. ඒ ළමය පිටරටකට ගිහිල්ල වෙන කෙනෙක් බඳින කල් බලා ඉන්න මට බැරි හින්ද.."

"තමුන් ඔය ආදරේ කියල හිතාගෙන හිටියට ඔය ආදරේ නෙවෙයි. ඕක මේ නිකං ඔය වයසට ඇතිවෙන…"

මෙච්චර වෙලා වේවැල් පුටුවෙ වාඩිවෙලා අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අම්ම මේ වෙලාවෙ අත්දෙක අහකට අරගෙන ඔලුව උස්සල කතා කලා. ඇගේ දෑස් කඳුලින් පිරිල තිබ්බ. 

"ඔන්න ඔය කිසිම වැඩකට නැති කතාව  අත ඇරල දාන්න ක්‍රිෂ්..මම කලින්ම කිව්වනෙ...මේ මනුස්සය ඔයා කියන කිසිම දෙයක් ගාණකටවත් ගන්නෙ නෑ. දැක්කනෙ මට කතා කරපු විදිහ. ඔයා දන්නෙ නෑ පුතා ඔයා හොස්ටල් එකේ ඉන්දැද්දි මම මොන තරම් දුකක් වින්දද කියල…"

තාත්ත ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිටල අම්ම ඉන්න දිහාට අඩියක් දෙකක් ගියා ගහන්ට වගෙ දකුණු අතත් මිටි ගුලිකරගෙන. තාත්ත යකා වගෙ එනව දැකල අම්ම පුටුවෙන් නැඟිටල අත්දෙකෙන් මූණ වහගත්ත. මට තවත් ඉවසන් ඉන්න පුලුවන් උනේ නෑ. මම නැඟිටල අම්මව පස්සට කරල ඈ ඉස්සරහින් හිටගත්ත. 

"අත තියන්න එපා අම්මට…"  මම දබරැඟිල්ල උරුක් කරල තාත්තට කිව්ව. 

"උඹ කවුද මිනිහො මට එහෙම කියන්න?"  තාත්ත එහෙම කෑගහන අතරෙ මගෙ දකුණු කම්මුලට වැරෙන් පාරක් ගැහැව්ව.

මම එතන තිබ්බ කෑමමේස පුටුවක ඉඳගත්ත. ඉඳගත්ත නෙවෙයි හරියටම කිව්වොත් ඉන්දවුනා.

"කරුණාකරල අපිට අපේ පාඩුවෙ ඉන්ට දීල ඔයා යන්න. අපිට ඔයාගෙන් කීයක්වත් එපා. අපිට නිදහසේ ඉන්ට දීල යන්න එච්චරයි මම ඔයාගෙන් ඉල්ලන්නෙ…." අම්ම අඬ අඬා දෑත් එකතු කරල තාත්තට වැන්දා.

අබේවර්ධන බාලසූරිය ගයන "පියාණනී මා නැවත උපන්නොත්..." ගීතයට ඔබට පහත වීඩියෝවෙන් සවන්දිය හැක.


Tuesday, July 17, 2018

596. The Story Of My Marriage - 76 - I Felt As If My Soul Has Taken Leave Of My Body And Floating Away………..

An Artist's Depiction of The Soul Leaving The Body
 - Google Images

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව."

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය...." මම බිම බලාගෙන කිව්ව.

ඩයනා එක පාරට නිකං පුදුම උනා වගෙ ඇස් බැමිත් රැලිකරගෙන මා දිහා හැරිල බලනව මම යම්තමට ඇස් කොණින් වගෙ දැක්ක

"ම්හ්ම්….." මම උගුර පෑදුව. "හරියටම කිව්වොත් එයාමත් නෙවෙයි. එයාගෙ පවුලෙ උදවිය තමයි ප්‍රශ්ණෙ...කමක් නෑ....මම දන්නව පැය දෙකකින් ඒ වගෙ ප්‍රශ්ණෙකට පිළිතුරු හොයන එක කොහොමත් ලේසි නෑ. ඒ හින්ද මම යන්නම්... ඔය දෙන්නටම බොහොම ස්තූතියි."

"මේ ළමයව තව මිනිත්තු පහළවකින් මගෙ කුටියට එවන්න…." ගුරුජී ඩයනා දිහාට හැරිල එහෙම කියල  බොහොම ශාන්ත විලාසයකින් භෝජන ශාලාවෙන් පිටවෙලා යන්ට ගියා.

ගුරුජීගෙ කුටිය පිහිටල තිබ්බෙ අතරින් පතර කහපාට මල් පිපුනු මල්ගොමු අතරින් විහිදගිය, ප්‍රධාන ගොඩනැඟිල්ලෙ ඉඳල භෝජන ශාලාව දක්වා පැතිරුනු පෙත්මඟ තරම්ම පළල් නොවුනු, මට හිතුනු විදිහට බොහෝවිට සක්මන් මළුවක් විය හැකි ගඩොලින් නිමවුනු කුඩා අඩිපාරක කෙළවර. 

ඩයනා මට ගුරුජීගෙ කුටිය පෙන්නල ආපහු යන්ට ගියා. "හරියටම මිනිත්තු පහළවකින් කුටියෙ දොරට තට්ටු කරන්න….." ඈ යන්ට කලින් හිනා වෙලා එහෙම කිව්ව. 

"බොහොමත්ම ස්තූතියි ඔබ මට කල උපකාර වලට…." මම ඇයට සිනහවකින් සමුදුන්න.

මම ඒ අසළම තිබුණු සුවිසල් නුග ගසක සෙවණේ මිනිත්තු පහළවක කාල සීමාව ගත කරල හරියටම නියමිත වෙලාවට ගුරුජීගෙ කුටියෙ ද්වාරය ඉදිරිපිට හිටගත්තා.

මම කුටියෙ ද්වාරයට තට්ටු කරන්නට සුරත ඔසවනවාත් සමඟම ද්වාරය විවර වෙලා ගුරුජී එළිපත්ත මත පෙනීසිටියා.

"එන්න ක්‍රිෂ්…." ගුරුජී මන්දස්මිතියකින් සැරසුනු මුවගින් යුතුව මාව පිළිගත්ත. "එන්න ඇතුළට……"

ඔහු ගිහිල්ල ඒ කුඩා කුටියේ පසෙක තිබූ සයනයක් මත හිඳගත්ත. අවශ්‍ය පරිදි ආසනයක් ලෙසද භාවිතා කල හැකි ශක්තිමත් දැවයෙන් තැනූ එවන් සයනයන් මම බොහෝවිට ආශ්‍රම අරභයා ලියවුනු ප්‍රවෘත්ති පත්‍ර ලිපිවල දැකල තියනව.

මම ගුරුජී ඉදිරියේ පොළව මත එලා තිබූ කළාලය මත දෙපා නවා හිඳගත්ත. කුටිය තුල වෙනත් කිසිදු අසුනක් නොතිබුනු නිසා සහ ගුරුජී සයනය මත හිඳගත් තැනට හරියටම ඉදිරියෙන් කළාලය එලා තිබූ නිසා ඒ මා වෙනුවෙන් පැනවූ අසුන බව වටහා ගැනීමට මට අසීරුවූයේ නැහැ.

මා ඉදිරියේ සයනය මත එරමිණිය ගොතා හිඳහුන් ගුරුජීගේ දෑස් කෙමෙන් පියවුනා. 

ගුරුජීගේ මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලාහුන් මගේ සිතට නැඟුනේ මෙලෙස කුඩා කුටියක් තුල සාධුවරයෙකු ඉදිරිපිට හිඳ ඔහුගේ මුහුණ දෙස බලා සිටින්නට අද උදෑසන අනන්‍යා ඇගේ කාර්යාලය අසල බස්සවා ඇගෙන් සමුගන්නාවිට මගේ තුන්සිතකවත් කිසිදු අදහසක් නොතිබුනු බවය.

ඒ අවස්ථාවේදී මසිත තුලවූ එකම අපේක්ෂාව වූයේ සවස කතිකාකොටගත් පරිදි කෝපි පානය උදෙසා අනන්‍යා හමුවනතෙක් පොන්ඩිචෙරියෙහි සුපතල ප්‍රංශ අවන්හල් පීරීම පමණයි. මෙසේ ගුරුජී කෙනෙකු හමුවන්නට මට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුනේ නැහැ. දෛවයක් පිළිබඳව මගෙ ඒ හැටි විශ්වාසයක් නොතිබුනත් මේ සිද්ධියනම් එහෙම එකක් වෙන්න ඕන කියල මගෙ හිත මට කිව්ව.

"මෙහෙම මෙතනට එන්ට සිද්ධ වුනු එක ඔබට මහත් විශ්මයක් වෙන්න ඕන එකත් එකටම. ඒත් මම හිතන්නෙ අප හමුවුනේ දෛවෝපගතවයි." ගුරුජී එක පාරටම එහෙම කිව්වම මම විශ්මය පත්වුනා.

"ඔබතුමා අනුන්ගෙ හිත් කියවන්නත් දන්නවද?" ඒ ප්‍රශ්ණය මගෙ මුවෙන් පිටවුනේ ඉබේටමයි.

"නැහැ, ඇත්තම කිව්වොත් හිතම නෙවෙයි. මම කියවන්නෙ මිනිස්සු. නිවැරදිව මිනිස්සු කියවන්නට ඉගෙන ගත්තොත් ඔබට කවදාවත් වරදින්නෙ නැහැ. හරි අපි ඔබේ ප්‍රශ්ණෙට එමු. ඔබේ හිතේ බොහොම විශාල දෙගිඩියාවක්, තැවුලක් තියන බව ඔබේ මුහුණේ ඉරියව් වලින් මට ඉතාම පැහැදිලියි."

එහෙම කියල ගුරුජී තම දිගු සුදු රැවුල ඉහළ සිට පහළට අත ගාමින් මා දෙස නිහඬව බලා සිටියා. මම අඩක් පහතට යොමුවූ දෙනෙතින් යුතුව ඔහු ඉදිරියේ හිඳගෙන සිටියා මිස කිසිවක් පැවසුවේ නැහැ.

"ඔබ ඔබට ඇති ප්‍රශ්ණය නොපවසන්නේ නම් එය විසඳා ගැනීමට මම ඔබට උපකාර වන්නේ කෙසේද? කරුණාකර ඔබේ ප්‍රශ්ණය පවසන්න දරුවා.." නිහඬත්වයෙන් ගතවූ මිනිත්තුවක පමණ කාලයකින් අනතුරුව ගුරුජී ශාන්ත ස්වරයකින් මා අමතා එසේ පැවසූවා.

"ගුරුජී ......" දිගු සුසුමකින් අනතුරුව මම කතාකලා. 

"මගෙ පෙම්වතිය දෙමළ. මම පන්ජාබි. අපි දෙන්නගෙ පවුල් දෙකේම වැඩිහිටියො ඒ කියන්නෙ දෙපැත්තෙම දෙමව්පියො අපේ විවාහයට විරුද්ධයි. අපි දෙන්නම ඒ කිව්වෙ මමයි මගෙ ගෑණු ළමයයි දෙන්නම අපිට පුලුවන් උපරිම විදිහට උත්සාහ කරනව මේ විරුද්ධත්වය නැතිකරගන්ට. ඒත් ඒ උත්සාහය සාර්ථක වෙන බවක් පේන්න නෑ. ඔය හින්ද මම ඉන්නෙ බොහොම හිතේ අසහනයෙන්. හිත් වේදනාවෙන්."

"හ්ම්ම්ම්.. එහෙමද?....හරි එහෙනම් දැන් ඇස් දෙක වහගන්න. වහගෙන ඔබගෙ මේ ප්‍රශ්ණය ගැන ඔබගෙ හිතට එන ඕනම දෙයක් කියන්න. කිසිම දෙයක් හිතේ නතර කරගන්න, ගිලගන්න එපා. හිතට එන ඔක්කොම ඒ විදිහටම කියන්න."

"මම ඇයට ආදරෙයි…….." මම කිව්වා. 

"මමයි එයයි එකට ඉන්නකොට අපි දෙන්නම බොහොම සතුටෙන් ඉන්නෙ. ඉතින් අපි දෙන්නට ජීවිත කාලෙම එහෙම එකට ඉන්න පුලුවන්නම් අපි දෙන්නට හරිම සතුටින් ඉන්න පුලුවන් වෙයි. ඒත් ගුරුජී…….."

"ඔව්..දිහටම කියාගෙන යන්න..නවත්වන්න එපා…"

"ඒත් ගුරුජී අපේ ඒ සතුට හින්ද ජීවිතේ අපිට බොහොම සමීපව ඉන්න අය අසතුටු වෙනවනම් අපි අපේ සතුට ගැන විතරක් හිතන එක හරිද? මට ඔය ගැටළුව හිතට බොහොම වද දෙනව ගුරුජී රැයක් දවාලක් නැතුව…"

මම තවත් දිගටම කතා කරගෙන ගියා. මගෙ හිතට ආපු හැඟීම්....මෙච්චර කාලයක් තිස්සෙ කාටවත් කියාගන්න බැරුව හිතේ අහුමුළුවල හංගගෙන හිටපු හැඟීම්.....ගඟක් මහ වැස්සකට පස්සෙ දෙගොඩ තලා ගලා යනව වගෙ මගෙ කටින් පිටවෙලා ගුරුජීගෙ කුඩා කුටියෙ අවකාශය පුරාවට පැතිරුනා. මමම කතාකරගෙන ගියා මිසක ගුරුජී කිසිම දෙයක් කිව්වෙ නෑ. යන්තමට හ්ම්ම්ම් සද්දයක්වත් නෑ. මම ඇස් වහගෙන හිටපු හින්ද ගුරුජී තවමත් මා ඉස්සරහ ඉඳගෙන ඉන්නවද නැත්නම් හෙමිහිට කිසිම සද්දයක් බද්දයක් නෑහෙන විදිහට නැඟිටල කොහෙවත් යන්ට ගිහිල්ලද කියල මම දන්නෙ නම් නෑ. ඒත් මම දිගටම කියවගෙන ගියා....

"ඉතිං මොනව උනත් අන්තිමට මට කියන්ට තියෙන්නෙ මම ඇයට ආදරෙයි. ඇයත් මට ඒ වගේම ආදරෙයි. කොටින්ම ඇය තමයි මගේ අනාගතය…." මම එහෙම කියල කතාව පටන්ගත්ත වගේම දිගු සුසුමක් හෙලල කතාව ඉවර කලා.

කතාව ඉවර කලත් මම ඇස් ඇරියෙ නෑ. එහෙමම ඇස් වහගෙනම සෙමෙන් හුස්ම ඉහල පහල දමමින් සිත සන්සුන් කරගන්නට උත්සාහ කලා.

"එච්චරද ක්‍රිෂ්?........ කතාව ඉවරද?" ගුරුජීගෙ කටහඬ මට ඇහුනා. 

"එහෙමයි ගුරුජී මට කියන්ට තියෙන්නෙ ඔච්චරයි…" මම ඇස් නෑරම කිව්වා.

"ඔබට සහතිකද ඔය ඔබගේ ගැහැණු ළමයගෙ ප්‍රශ්ණය විතරයි ඔබගේ සිතට වද දෙන්නෙ කියල?"

"මට පැහැදිලි නෑ….මොකක්ද ඔබ මේ කියන්න හදන්නෙ?"

"මට පේනව දරුවා ඔබ තුල ඔබ සිත තුල කාලාන්තරයක් තිස්සෙ නොවිසඳුනු ප්‍රශ්ණයක් තිබෙන බව. ඒ ප්‍රශ්ණය හින්ද ඔබ බලවත් සිත් තැවුලකින් ඉන්නෙ. බලවත් වේදනාවකින් ඉන්නෙ. ඔබගේ අනාගතය ගොඩ නඟා ගැනීමට පළමු දරුවා ඔබ ඔබේ අතීතයේ නොවිසඳුනු ගැටළු විසඳාගත යුතුයි අනිවාර්යයෙන්ම. ඒක තමයි එකම විසඳුම. වෙන ක්‍රමයක් නෑ."

"මොකක් ගැනද ගුරුජී ඔබතුමා මේ කියන්නෙ?"

මගේ ස්වරය යම් තරමකට උච්ච වුනා නම් ඒ මම හිතල මතල කල දෙයක් නෙවෙයි. ඉබේටමයි. එහෙම අහන ගමන්ම මම ඇස් ඇරියා. ගුරුජී තවම මා ඉදිරියේ එරමිණියා ගොතාගත්වනම හිඳ සිටියා. ඔහුගේ ඇස් තවමත් පියවෙලා.

"ආයෙමත් ඇස් වහගන්න දරුවා…" ගුරුජී තම දෑස් නෑරම කිව්වා.

"එහෙමයි…" මම එහෙම කියල ආයම දෑස් වහගත්තා.

"හරි දැන් මට කියන්න. රාත්‍රියේදී ඔබට නින්දට පිවිසීමේ අපහසුවක් තිබෙනවා නේද?"

මම කිසිවක් නොපවසා නිහඬව සිටියා.

"මම අසන ප්‍රශ්ණවලට ඔබ පිලිතුරු නොදෙන්නේනම් මට ඔබට උපකාර කිරීමට අපහසුයි දරුවා. ඔබට රාත්‍රියේ නින්ද යන්නේ සයනයට පිවිස බොහෝ වේලාවක් ගතවීමෙන් පසුවයි නේද?"

"එහෙමයි."

"මට කියන්න එලෙස නින්දට යාමට අපහසුවන්නේ ඔබට තිබෙන ප්‍රශ්ණ නිසා නේද?"

"එහෙමයි."

"මට කියන්න මොනවද ඒ ප්‍රශ්ණ?"

"එකක් කියල නෙවෙයි ගුරුජී. මගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්ණයක් තිබෙනවා. ඇත්තම කිව්වොත් මම දැනට කරන රැකියාව කරන්නෙ කිසිම උනන්දුවකින් නෙවෙයි. නොකර බැරිකමට. ඊලඟට මම කිව්වෙ අර මගෙ ගැහැණු ළමය,අනන්‍යා සම්බන්ධ ප්‍රශ්ණය. ඒ කිව්වෙ අපේ අනාගතය ගැන කිසිම ස්ථිරතාවයක් නැති එකේ ප්‍රශ්ණය. ඊලඟට මගෙ පියා..."

මම ඒ අන්තිම වචන කීපය කිව්වෙ බොහොම හෙමිහිට. ඇහෙන නෑහෙන ගාණට.

දැඩි නිහඬතාවයකින් හාත්පස පිරීගිය මිනිත්තුවක් පමණ ගතවුනා. ඊට පස්සෙ ගුරුජී කථාකලා.

"ඔබේ පියා …...හ්ම්ම්ම්…..ඔබේ පියා ගැන මට කියන්න…"

"ඒ ප්‍රශ්ණෙ බොහොම සංකීර්ණයි ගුරුජී" මම හෙමිහිට කිව්වා. 

"හ්ම්ම්ම්..සංකීර්ණයි...ඒ වගේම ඔබේ හිතට දැඩි බරක්... එහෙම නේද?"

මම දිග සුසුමක් හෙලුවා. 

"අත ඇරල දාන්න…." ගුරුජී එක පාරටම කිව්වා.

"මට බෑ. මට ඒක කොහොමවත්ම කරන්න බැරිවෙයි. කොටින්ම මම ඒ ගැන කතා කරන්න වත් කැමති නෑ…" මම කියාගෙන කියාගෙන ගියා. 

"මෙච්චර දවසක් ඒ ගැන කතා කලේ නැත්නම් අද අපි ඒ ගැන කතා කරමු."

"මට බෑ….." මම ආයෙමත් කිව්වා.

"ක්‍රිෂ්, මම මේ අහගෙන ඉන්නෙ....."

ගුරුජී එහෙම කියල උඩුකය නවල ඉස්සරහට පහත්වෙලා ඔහුගේ සුරතේ අත්ල මගේ හිස් මුදුනත තිබ්බා. මගෙ හිසට සහ අනුක්‍රමයෙන් මුලු ගතටමත් විශ්මයජනක සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මාව අමුතුම ලෝකෙකට පාවෙලා යනව වගෙ මට දැනෙන්න ගත්තා. 

හරියටම මට හිතුනෙ මගේ ආත්මය මගේ සිරුර අතහැරල ඉන් පිටතට ඇවිල්ල හිතුමතේ කුරුළු පිහාටුවක් වගේ පාවෙලා යනව කියල. ඒත් මා ඉදිරියේ තිබෙන දුෂ්කර කාර්යය ගැන මට හොඳ වැටහීමක් තිබ්බා.

"ගුරුජී මට කොහෙත්ම මේක කරන්න බෑ. කරුණාකරල මා ලවා මේ වැඩේ කරවන්න උත්සාහ කරන්න එපා."

මම ගුරුජීගෙන් එහෙම බැගෑපත්ව ඉල්ලා හිටියෙ ගුරුජී මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? සහ ඒ කාර්යය ඉටුකිරීමේදී මට විඳින්නට වෙන වේදනාව ගැන මට හොඳ අවබෝධයක් තිබුනු හින්දයි. 

"ක්‍රිෂ්...මම අහගෙන ඉන්නෙ... දැන් කරුණාකරල පටන් ගන්න….."

ගුරුජී අනුකම්පා විරහිත එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම කිව්ව.

ඉතින්...ඉතින්....ඉතින්...මම මගේ කතාව කියන්න පටන් ගත්තා……

Thursday, July 12, 2018

595. The Story Of My Marriage - 75 - Diana The Ex-Lawyer From Finland And Meeting The Guruji…..



පොන්ඩිචෙරීහි ඖරෝබින්දෝ ආශ්‍රමයේ
දර්ශනයක් - Google Images

ජීවිතේ බොහෝ වෙලාවට අපි ක්ෂණිකව ගන්න තීරණ අපෙ ජීවිතේට දැඩිව බලපෑම් කරනව. මම උදේ එද්දි හිතාගෙන හිටියෙ අනන්‍යා එයාගෙ රැස්වීමට සහභාගි වෙන අතරෙ මම මට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පොන්ඩිචෙරී වල සුප්‍රසිද්ධ ප්‍රංශ අවන්හලකින් දිවා ආහාරයට ප්‍රංශ කෑම කන්නම්ය කියල. 

ඒත් අරමුණකින් තොරව ඉස්සරහට යද්දි එක පාරටම මම දැක්ක පාර අයිනෙ පොඩි දැන්වීම් පුවරුවක් ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි කියල. ඒ ලඟම වැවිල තිබ්බ මහ විසාල ගහක කොළ අතුවලින් වැහිල ඒ දැන්වීම් පුවරුව පාරෙ යන කෙනෙකුට මඟ ඇරෙන්න තියන ඉඩකඩ බොහෝම වැඩියි. ඒත් මගෙ දෛවය අනුවද මන්ද මම ඒ දැන්වීම් පුවරුව දැක්ක. දැක්ක විතරක් නෙවෙයි ක්ෂණිකව මට හිතුන ප්‍රංස කෑම කන එක යකාට ගියාවෙ කියල ආශ්‍රමයට ගියානම් හොඳයි නේද කියල.....

මම දෙපාරක් හිතන්නෙ නැතුව බයික් එක ආශ්‍රමයට යන පාරට හරව ගත්ත.

ආශ්‍රමය ඉස්සරහ හොඳ ඉඩ කඩ තියන මිදුලක් තිබ්බ. මම ඒ මිදුලෙ අයිනකට වෙන්ට තිබ්බ අඹ ගහක් යට හෙවණෙ බයිසිකලේ නවත්තල අතපය දිග ඇරල හිරි කඩන ගමන් වටපිට බැලුව. 

ඒ වෙලාවෙත් මිදුලෙ හිටිය මයෙ හිතේ මිනිස්සු එක විස්සකට තිහකට එහා පැත්තෙ. ඒත් ඒ හැමෝම කිසිම සද්දයක් බද්දයක් නැතුව එහෙ මෙහෙ තම තමන්ගෙ කටයුතු උදෙසා ඇවිද යමින් හිටියෙ බිම බලාගෙන. බාහිර පෙනුමෙ විදිහට ඉන්දියානුවන්ට වඩා බහුතරයක් හිටියෙ මගෙ කල්පනාවෙ හැටියට විදේශිකයො.

ආශ්‍රමය ඇතුලට යන්ට ඉස්සර වෙලා තිබ්බ හොඳට වාතාශ්‍රය ලැබෙන ඒ වගේම ඉඩකඩ තියෙන ප්‍රවේශ ශාලාවක්. ඉංග්‍රීසියෙන් ඔය "Lobby" කියල කියන්නෙ අන්න ඒකක්. ලොබි එකේ හරි මැදටමත් නෙවෙයි ටිකක් වගෙ පස්සට වෙන්ට තිබ්බ අර්ධ කවාකාර "Reception Desk " එකක්. ඒක පිටිපස්සෙ වාඩිවෙලා හිටිය යුරෝපියානු පෙනුමක් තියන කාන්තාවක්. වයස මයෙ හිතේ හතළිහකට වැඩි මිසක අඩු එහෙම නෑ. ඈ ලා නිල් පාට සාරියක් ඇඳල හිටියෙ. ආභරණයක් විදිහට මම දැක්කෙ ගෙලවටා එල්ලෙමින් තිබුණු තරමක ලොකු රවුම් ඇට වර්ගයකින් හදපු මාලයක් විතරයි.

"ඔබ මොනවද හොයන්නෙ?" ටික වෙලාවක් මගේ මූණ දිහාවෙ බලා ඉඳල ඇය හෙමිහිට ඇහුව.

අංක එක මම මේ ඉන්නෙ ආශ්‍රමයක හින්ද සහ අංක දෙක ඇය ඒ ප්‍රශ්නෙ අහපු විදිය හින්ද ඒ ප්‍රශ්නෙ තවත් සැඟවුනු අරුතක් ඇතිය කියල මට හිතුන.එහෙම හිතල මම ඇගේ නිල්පාට ඇස් දිහාම ටික වෙලාවක් බලා හිටිය.ඇගෙ ඇස් වටේට යම්තමට රැළි වැටිල වගෙ තිබ්බෙ එක්කො වයස හින්ද නැත්නම් යුරෝපීයයන්ට නුපුරුදු ඉන්දියාවෙ කර්කශ දේශගුණය හින්ද වෙන්න ඕන.

"මම මේ ඉස් ඉස්සෙල්ලාමයි මෙහෙට ආවෙ…." මම කිව්ව.

ඇය ඩෙස්ක් එකේ කුඩා ලාච්චුවක් ඇරල ආශ්‍රමයෙන් කෙරෙන කටයුතු පිළිබඳ විස්තර අඩංගු විස්තර පත්‍රිකාවක් මට දුන්න. 

"ඔය පත්‍රිකාවෙ ඔබට දැනගන්නට ඕන සියළු විස්තර තියනව….."

තවත් කවුද උස මහත පකිස්තාන පෙනුමක් තියන මැදිවියේ මනුස්සයෙක් පිළිගැනීම් කවුන්ටරේ ළඟට ආව. 

"සමාවෙන්න…." ඔහු මා දිහා බලල ආචාරශීලි විදිහට හිස පහත් කරල සුදු ගැහැණිය දිහාට හැරුන. "සමාවෙන්න මට දවල් කෑම ටෝකන් දෙකක් දෙනවද?"

දවල් කෑම ටෝකන් දෙකක් මිළදීගෙන ඔහු ඇතුළුවන දොරටුව ලඟ ඉඳගෙන හිටපු බොහෝවිට ඔහුගේ භාර්යාව විය හැකි ගැහැණියක වෙත ගියා.

"මටත් දෙනවද දවල් කෑම ටෝකන් එකක්.." මම සුදු ගැහැනියගෙන් විමසුව…

"ඔව් ඇත්තෙන්ම මෙතනින් ටෝකන් එකක් අරගත්තම ඔබට ආශ්‍රමයෙ භෝජන ශාලාවෙන් දවල් කෑම ගන්න පුලුවන්…."

ආයෙමත් වරක් ඇය ටෝකන් පොත එළියට ගත්ත. මමත්  ටෝකන් එකක් මිළදී ගත්ත.

"ඔබ දැන්මම දවල් ආහාරය ගන්නව නම් මාත් එක්ක යමු. මමත් මේ යන්න කියල සූදානම් වුනේ භෝජන ශාලාවට…" ඇය පිළිගැනීමේ කවුන්ටරය පසුපස ඉඳල ඇවිල්ල මා අසලින් හිටගත්ත. "එහෙනම් යමුද?"

"යමු….." මම හිනාවෙලා කිව්ව. ඇය ඉස්සර වුනා.

ආශ්‍රමයෙ ප්‍රධාන ගොඩනැඟිල්ල අද්දරින්ම වගෙ ඊට සමාන්තරව දිවෙන කපා ඔපමට්ටම් කල කළුගල් ඇතිරූ අඩි තුනක් වගෙ පළල පෙත්මඟක් දිගේ අපි ගමන් කලා. භෝජනාගාරය තිබුනෙ ප්‍රධාන ගොනැඟිල්ලෙ ඉඳල කිලෝමීටර බාගයක් වගෙ එහාට වෙන්ට.

පෙත්මඟ දිගේ සෙමෙන් ඇවිදගෙන යද්දි ඈ මට ඇගෙ විස්තර කිව්ව. මම අනුමාන කලා හරි. ඇය ෆින්ලන්තෙ. නම ඩයනා. ඇය වෘත්තියෙන් නීතීඥවරියක්. ෆින්ලන්තෙ සුප්‍රසිද්ධ නොකියා ජංගම දුරකථන සමාගමේ ඇය සේවය කරල තියෙන්නෙ. ඇයට පැවරිලා තිබුනු රාජකාරිය ඇවිල්ල නොකියා සමාගමේ නව නිපැයුම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කරන එක.

හිතවතියකගෙ මාර්ගයෙන් මේ ආශ්‍රමයට අහම්බෙන් වගෙ පැමිණි ඇය දැන් වසර තුනක් වගෙ කාලයක ඉඳල මෙතන ස්වේච්ඡා සේවිකාවක් විදිහට වැඩ කරනව කියලත් ඈ මා සමඟ කිව්ව.

"මට මෙතන මෙහෙම වැඩ කරගෙන ඉන්න එක හිතටයි ගතටයි දෙකටම හොඳයි. මෙතන ජීවිතේ හරිම නිස්කලංකයි.." ඩයනා මා එක්ක එහෙමත් කිව්ව.

කතාවෙන් කතාවෙන් අපි භෝජන ශාලාව ඉස්සරහටම ඇවිත් තිබුන. 

"එතකොට ඔබ? ඔබ මෙහෙ ආවෙ යමක් හොයාගෙනද? එහෙමත් නැත්නම් සංචාරකයෙක් විදිහට මෙතන නරඹන්නද? මම එහෙම අහන්නෙ මේ දෙවර්ගයෙම අය මෙතනට එන හින්ද

ඈ මගේ දිවා ආහාර ටෝකන් එක මට දුන්න.

"යමක් හොයාගෙනද කියල ඇහුවෙ?... මට තේරුණේ නෑ" මම නළල රැලි කරගෙන ඇහුව.

"We call them Seekers......සීකර්ස්ල වර්ග දෙකක් ඉන්නව. පොදුවේ තමන්ගෙ මුලු ජීවිතේම අලුත් මාර්ගයක ගෙනියන්න ඕනය කියල හිතල ඒ මාර්ගය හොයාගෙන මෙතනට එන අය සහ යම් එක් විශේෂිත ප්‍රශ්ණයකට පමණක් විසඳුමක් සොයාගෙන මෙතනට එන අය…"

"මම ඇත්තම කියන්නද ඩයනා?...මම ඔය දෙකටම අයිති නෑ කියල කියන්න පුලුවන්...I am actually neither a seeker nor a tourist.......මම චෙන්නයි වල ඉඳල ආවෙ මගෙ යාලුවෙකුත් එක්ක. යාලුවට පොන්ඩිචෙරීවල අද වැඩක් තියනව. මේ... මේ...රැස්වීමක්. ඉතිං මට හිතුන චෙන්නයිවල දවසම ඔෆිස් එකේ හිරවෙලා ඉන්නවට වැඩිය වෙනසකටත් එක්ක මමත් එයත් එක්ක ආවනම් හොඳයි කියල. ඉතිං යාලුව එයාගෙ වැඩේට ගියා. මම ඒ අතර මෙහෙට ආව...."

ඩයනා මදක් හඬනඟා සිනාසුනාය. ඇය සිනාසෙන විට ඇගේ නිල් පැහැ නෙත් බබලන අයුරු මට දැකගත හැකිවිය.

"හරි අපි ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් කමු….." එහෙම කියල ඩයනා භෝජන ශාලාවට ඇතුළු වුනා. මමත් ඇය පසුපස ගියා.

භෝජන ශාලාවෙ දොර ගාවම දිග සුදු පාටින් දිලිසෙන මේසයක් උස වානේ පිඟන් සහ තැටි මහ ගොඩක් එක පිට එක ගොඩ ගහල තිබ්බ. මට එක පාරටම මතක් වුනේ රත්නා ස්ටෝර්ස් එක. නිරායාසයෙන්ම මුවඟට නැඟුනු හිනාව වහ ගන්ට මම අහක බලාගත්ත.

ආශ්‍රමයකටම ගැලපෙන විදිහට කෑම වේල බොහොම සරළයි. කාබනිකව වගා කෙරුනු දුඹුරු සහලින් පිසූ බත්, කිරි යම්තමට යෙදූ කහ පරිප්පු සමඟ කැරට් සහ කඩල සබ්සි.

ආහාර ගන්ට වෙන් කරල තිබුනෙ එතනම පොඩි ස්ක්‍රීන් එකකින් වෙන් කරල තිබ්බ ශාලාවක්. ඒකෙ පුටු මේස තියා අඩුම ගණනෙ බංකුවක් වත් නෑ. පොළව මත එළපු කළාල උඩ ඉඳගෙනයි ආහාර ගන්න තිබ්බෙ. ඩයනයි මායි ටික වෙලාවක් හිස් පහත් කරගෙන නිහඬව ආහාර ගත්ත. පස්සෙ මම ඔලුව උස්සල ඈ දිහා බැලුව. 

"හරි අපි මෙහෙම කියමුකො. මට මොකක් හරි ප්‍රශ්නෙකට පිළිතුරු අවශ්‍යයි කියමුකො. මම මෙහාට ආවෙ ඒ ප්‍රශ්ණෙට පිළිතුරු හොයාගෙනය කියලත් කියමුකො. දැන් මට කියන්න කොහොමද මම ඒ පිළිතුරු ලබාගන්නෙ? කවුද මට ඒ වැඩේට උදව් කරන්නෙ?"

"මෙහෙමයි….." ඩයනා ආහාර ගැනීම නවත්තල හිස ඔසවල බැලුව.

"එහෙම ප්‍රශ්නවලට උත්තර හොයාගෙන එන උදවියට අපි කියන්නෙ ප්‍රශ්ණවලට උත්තර තියෙන්නෙ තමන් ඇතුලෙමයි. අපි මෙතන කරන්නෙ තමන්ගෙ අභ්‍යන්තරයෙන්ම අන්න ඒ උත්තර හොයාගන්න උදව් කරන එක විතරයි. සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්ණයකට හෝ ප්‍රශ්ණවලට පිළිතුරු හොයන අය කරන්නෙ අපේ ආශ්‍රමයෙ සති දෙක තුනක් වගෙ නැවතිල ඉන්න එක. ඒ අතරෙ තමන්ගෙම අභ්‍යන්තරයෙන් තමන්ගෙ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න අපි එයාලට මඟ පෙන්වනව. අපේ තියනව සත්සාන්ග් කියල එකක්. ඔබ ඒ ගැන අහල තියනවද?"

"නෑ……."

"හරි...සත්සාන්ග් කියන වචනෙ තේරුම සත්‍යය සමඟ එකතුවීම නැත්නම් සත්‍යය හමුවීම...සත්සාන්ග් එකක් කියන්නෙ ඇත්තටම හෘදයාංගම රැස්වීමක්...අපේ ඉන්නව මිනිස් සිත පිළිබඳව බොහොම අධ්‍යයනය කරපු ඥානවෘද්ධයන්. එයාලට කියන්නෙ ගුරූ කියල. තමන්ගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන අයට ඒ ගුරූ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුලුවන් තමන් මොකද කරන්න ඕන, මොන මාර්ගයෙද යන්න ඕන කියල...හැබැයි ඉතිං ඔය ඔක්කොම හදිස්සියෙ කරන්න නම් කොහෙත්ම බැහැ. ඒකට කාලය යනව....මට කියන්න ඔබට කොපමණ කාලයක් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න මිඩංගු කරන්න පුළුවන්ද?"

"මම තව පැය දෙකකදි මගෙ ප්‍රේමවන්තිය හම්බ වෙන්න ඕන. අපි දෙන්න කතා කරගත්ත ල'ඔරියන්ට් හෝටලේදි හම්බ වෙලා කෝපි කෝප්ප දෙකක් බොන්න. ඊට පස්සෙ අපි දෙන්න අද හවසම ආපහු චෙන්නයි යනව"

ඩයනා යලිත් සිනාසුණාය. ඉන්පසු ඇය කතා කලේ හිස සෙමෙන් දෙපසට සොලවමිනි. 

"ම්හු....මම කොහොමටවත් හිතන්නෙ නෑ පැය දෙකක් නම් ඇතිවෙයි කියල. ජීවිතේ මෙතෙක් නොවිසඳුනු ගැටළුවලට පිළිතුරු හොයන්න ඔහොම ඩෙඩ්ලයින්ස් දාගෙන නම් බෑ"

"එහෙමනම් මට තියෙන්නෙ නොවිසඳුනු ගැටළු ඔය තියන විදිහටම තිබ්බාවෙ කියල වැඩේ අල්ලල දාන්ට…."

"නෑ.....පොඩ්ඩක් ඉන්නකො..මම හිතන්නෙ ඔබ වාසනාවන්තයි..අර අතන මුල්ලෙ ඉඳගෙන කෑම ගන්නෙ…. මම අර කලින් කිව්වෙ... එතුමා අපේ බොහොම පලපුරුදු ගුරූ කෙනෙක්"

ඇය මට පෙන්නුවෙ සුදු රැවුලක් සහිත වයසින් අවුරුදු හැත්තෑවක් හෝ අසූවක් පමණ වේ යැයි සිතිය හැකි ඉතාම ශාන්ත පෙනුමකින් යුතු පුද්ගලයෙක්. තනි සුදු ලෝගුවක් වැන්නක් හැඳසිටි ඔහු තනිවම ආහාර ගනිමින් සිටියා. 

"ඉන්න මම එතුමට ඔබ ගැන කියන්නම්. එතුමට සමහරවිට ඔබ ගැන මොනව හරි කරන්න පුලුවන් වෙයි...."

"එපා එපා..මේ හදිස්සියෙ එතුමට බාධා කරන එක හරිනැහැනෙ..කරදර කරන්න එපා…"

"නෑ කිසිම කරදරයක් නෑ. ඔබ වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් එතුමාට මේ වෙලාවෙ නැත්නම් එතුමා කෙලින්ම ඒ බව කියාවි. එච්චරයි…"

"ප්‍රණාම් ගුරුජී "

ඩයනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දෑත් එක් කරල එහෙම කියල ඊට පස්සෙ පහත්වෙලා ගුරුජීගෙ දෙපා ස්පර්ශ කලා. මමත් ඇය අනුගමනය කලා. ගුරුජී තම දකුණත උස්සල අපිට ආශිර්වාද කලා

"ගුරුජී මේ මගේ හිතවතෙක්. එයාගෙ නම….."

ඩයනා එහෙම කියල මගෙ මූණ බැලුව. ඩයනා කොහොමත් මගෙ නම දන්නෙ නෑ. මම ඇයට කිව්වෙ නෑනෙ.

"මගෙ නම ක්‍රිෂ්" මම කිව්ව. 

"ඔව්..මෙයාගෙ නම ක්‍රිෂ්."

ඩයනා එහෙම කියල ආපහු ගුරුජී දිහාට හැරුන.

"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව. 

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...