Sunday, November 14, 2021

670. දෙකුන් සැටවිය.......

 

අද මට දෙකුන් සැටවිය සපිරුනා...

ඊයෙ පෙරේද වෙනකල් දවස තිස්සෙම වගෙ වැහැපු වැස්ස ඊයෙ යම්තමට තුරල් කලා..අදත් උදේම පැය කාලක් විනාඩි විස්සක් තරම වැස්සත් දහය වගෙ වෙනකොට අව්ව රැල්ලකුත් වැටුන..

"මේ අව්වත් පායපු එකේ ගිහිල්ල ඔය කොණ්ඩෙ රැවුල කපා ගත්තනං හොඳ නැද්ද?" ප්‍රියාම්බිකා තොමෝ එහෙම කිව්වෙ උදේ තේ එක දෙන ගමං..

ටෙලි චිත්‍රපටවල දැකල ඇතිනෙ බාර්යා තොමෝ නිතරම සුවාමියාට තේ එකක් ගෙනත් දීල තමයි ඕනම වැදගත් කතාවකට මුල පුරන්නෙ..

"මේ අපේ ලොකු කෙල්ලට දැං පරස්තාවක් බලන්ඩත් කාලෙ හරි මහිතේ"...."අර හිච්චි නංගිල දෙණියෙ කුඹුරු කෑල්ල විකුණනට යනවලු..පොඩ්ඩක් කතා කරල ඒ ගැන බැලුවොත් නරකද?".....එහෙමත් නැත්තං "කහවත්තෙ නැන්දම්මගෙ ලොකු ළමය අන්න මනුස්සය එක්ක තරහ වෙලා ගෙදර ඇවිල්ලලු.."....එහෙමත් නැත්තං "අර පල්ලෙහ අමුණ ගාව කඬාඩුව ඊයෙ රෑ වැස්සට කැඩිලලු..සෝමෙ අයියල එහෙම අඬ ගහගෙන හෙටවත් ඒක බැඳල දැම්මොත් ...." 

ඔය හැමවෙලාවෙම සුවාමිය ඉන්නෙ පත්තරයක් බල බල..ඉතිං ඒ යෝදය කරන්නෙ පත්තරේ පැත්තකිං තියල අර බාර්යා තොමෝ දුන්නු තේ එක අතට අරගෙන ඒක බොන ගමං අර කිව්ව එකට මොකක් හරි උත්තරයක් දෙනව..

මට හිතෙන්නෙ ඔය ටෙලි චිත්‍රපට රචකයො ඔක්කොම මහමෙවුනාවෙ අපේ පිම්වත් ලොකු සුවාමීන් වාන්සේගෙ බක්තිමත් අනුගාමිකයො වෙන්න ඕන..ඇයි අර එතුමා නං නෙවෙයි හැබැයි එතුමගෙ ප්‍රදාන ගෝල රත්නයක්නෙ කිව්වෙ සුවාමියා උදේ තේ එක හදල බිරිඳට ගෙනල්ල දෙනවනම් ඒ බිරිඳ අපායෙ යනව ඒ ජීවිතය තුච්ඡයි කියල... 

මගෙ ඉතිං ඔය ඔලුවෙ තියන කෙස් ගස් දෙක තුන ගාල දාගන්න එක එතකොට රැවුල කපාගන්න එක මහ වැඩක් නං නෙවෙයි ඇත්තම කිව්වොත් ..ඒ උනත් මම ඔය පස් පොල කළු වෙන්ට ගත්ත කාලෙ ඉඳලම රැවුල කපා ගත්තෙ සැලූන් වලින්..

මම ඔය පරණ ටයිප් එකේ සැලූන් වලින් රැවුල කපන්ට හරිම ආසයි. මේ අහල ගං හතක එහෙම සැලූන් එකක් තියෙන්නෙ පිළිමතලාවෙ විතරයි. නම ඇවිල්ල ස්වදේශීය සැලූන්. කොවීන් වසංගතේ එන්ට ඉස්සරවෙලා මම බස් දෙකක ගිහිල්ල එතනට යනව රැවුල කපාගන්ට. 

එහෙම පරණ ටයිප් එකෙ බාබර් සාප්පු දැකල ඇතිනෙ නේද? අර පස්වෙනි ජෝර්ජී මහරජාණන්ගෙ එතකොට එඩිම්බරෝ ආදිපාදයානන්ගෙ තව එළිසබෙත් රැජිණගෙ මෞලි මංගල්‍යයෙ එහෙම පෝටොස් රාමු කරල එල්ලල තියෙන්නෙ බිත්තිවල. එව්වයෙ ආය තියනව ඩී.එස්. මහත්තය බුෂ් කෝට් එකයි කාකි කළසමයි ඇඳගෙන ඉන්න, ආය ඩඩ්ලි හාමු කැමරාව කරේ එක්කගෙන පයිප්පෙත් උර උර ඉන්න, එතනිං ගිහාම ඔලිවර් ගුණතිලකගෙ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙ එහෙම පොටෝ...

මේ කොවීන් සීන් එක ටිකක් විතර එහෙ මෙහෙ උනහම මම එතෙන්ට ගිහිල්ල පෝටොස් හත අටක් දාන්නම්කො හුදී ජන පහන් සංවේගය උදෙසා...මාර්ටින් වික්‍රමසිංහ මහත්තය තමයි එහෙම ලිව්වෙ..."හුදී ජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කථාවෙන් අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මළලගම මාර්ටින් වික්‍රමසිංහයක් විසින් රචිත ගම්පෙරළිය මෙතකින් නිමියේය.." ඒ තමයි ගම්පෙරළියෙ හමාර කීම..

හරි බාබර් සාප්පු ගැන දැනට ඒ ඇති. මම බ්ලොග් එකේ එදවස ලියන්ට පටන් ගත්ත මගේ කරණවෑමි කතා කියල සීරීස් එකක්. අනික් එව්ව වගේම ඒකත් අතරමඟ ඇණහිටියනෙ. ආයම පටන් ගන්න ඕන ඔය කොව්ව කොව්වත්....කොව්ව කොව්වත් කිව්වෙ අනන්‍යාගෙ කතාව, අහල්‍යාගෙ කතාව සහ ගුරුවරියක සමඟ මගේ ජීවිතය වගේ එව්ව...

හරි...දැං එමු වර්තමානයට...මම ඉතිං ඔන්න ගියා කියමුකො සැලූන් එකට නොහොත් බාබර් සාප්පුවට...කරණවෑමියා නොහොත් බාබරය මගෙ හොඳ යාලුව..අර කෝවිඩ් පළවෙනි රැල්ල දවස්වල මාස තුන හතරක්ම රටම ෆුල් ලොක්ඩවුන් කරල තිබ්බෙ මම මේ කියන්නෙ ගිය අවුරුද්දෙ මාර්තු ඉඳල ජූලි වගෙ වෙනකල්....ඒ කාලෙ ඔය යෝදය අපෙ ගෙදරට ඇවිල්ල මගෙ කොණ්ඩෙ සහ රැවුල කපල ගියා..පොලීසියට හොරෙං කැළෑපාරවල් වලින් ආවෙ...අහල පහල මගෙ යාලුවො දෙන්නෙකුත් එදා අපෙ ගෙදරට ආව..නැත්තං මනුස්සයට පාඩුයිනෙ..

මිනිහ හොඳ කතා කාරය..රැවුල කොණ්ඩෙ කපනකල් මොන මොනව හරි කියවනව..හිටපු ගමං මාස්ක් එකත් පාත් වෙනව..මිනිහට ඒත් ගානක් නෑ.."ඔය මාස්ක් එක හදා ගනිං බං..."  මම එහෙම කිව්වම "සොරි.." කියල මිනිහ මාස්ක් එක හරියට හදාගන්නව....අදත් ඉතිං සුපුරුදු ලෙස මගෙ රැවුල් කොණ්ඩා කපන ගමං මිනිහා කතාව..

"සර් දන්නවද දැං ඔය කොල්ලො බොබ් මාලෙ වගේ කොණ්ඩෙ වවාගෙන ඉන්නව නේද?" 

"ඔව්..ඔය ඉන්නෙ..ඉතිං?"

"සර් දන්නවද ඔහොම අවුරුදු ගාණක්  කොණ්ඩෙ වවාගෙන පීරන්නෙ නැතුව ඉන්නකොට ඔලුවෙ මස් ගුලි ගුලි වගෙ හැදෙනව කියල.."

"ඇයි බං ඉතිං එහෙමනං අර මනුස්සය බොබ් මාලෙගෙ ඔලුව තනිකරම මස් ගුලියක් වගෙ වෙන්න එපාය.."

"ඔව් එහෙම තමයි..ඒ යකා මලෙත් එහෙම අසනීපෙකින් තමයි.."

"අඩෙහ්..එහෙමද? මම දැනගෙන හිටියෙ නෑනෙ එහෙම සීන් එකක්.."

"සර් පොඩ්ඩක් හොයල බලන්නකො..මම කියන්නෙ බොරුද කියල.."

"මෙහෙමයි...කාලයක් කොණ්ඩෙ කපන්නෙ පීරන්නෙ නැතුව ඉන්නකොට හම කොණ්ඩ ගස් දිගේ උඩට වැවෙනව කියලනම් මම අහල තියනව..."  මම කිව්ව.

ඔය කතාව  කිව්වෙ අපිට පහේ පන්තියෙ පංතිභාර ගුරුවරයා මුදියන්සෙ මහත්තය. ඒ කාලෙ පංතිභාර ගුරුතුමා තමයි ඉංග්‍රීසි සහ  විද්‍යාව ඇරෙන්න අනික් ඔක්කොම විෂයයන් උගන්වන්නෙ.. 

සිදුහත් තවුසා කැලේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරද්දි කෙස් වැටිය දික්වෙලා හැඩපළු ගෙතුනයි කියල තිබ්බ බුද්ධාගම පොතේ..ඒ කාලෙ සිංහල සහ ගණිතය පාඩම් පොත් විතරයි ආණ්ඩුවෙන් ගහල දුන්නෙ..අනික් විෂයයන්ට පොත් ඒ විෂයය ගැන ප්‍රාමාණික උගතුන් ලියපුව තිබ්බෙ....අපි භූගෝලය, ඉතිහාසය කලේ පී. රූබන් පීරිස් මහත්තය ලියපු පොත් වලින්. එතකොට බුද්ධාගම පාඨ ග්‍රන්ථය විදිහට තිබ්බෙ ජයසේකර අබේරුවන් කියල මහත්තයෙක් ලියපු පොත්..

ඉතිං ඔය "මොකක්ද සර් හැඩපළු ගෙතෙනව කියන්නෙ?" කියල පංතියෙ ළමයෙක් ඇහුවම මුදියන්සෙ සර් කිව්වෙ "කාලයක් කොණ්ඩෙ නොකප එතකොට නාන්නෙ  කොණ්ඩෙ පීරන්නෙ නැතුව උන්නම ඔලුවෙ හම කෙස් වහගෙන හැදෙන්ට ගන්නව..එහෙම උනාම තමයි හැඩපලු ගෙතෙනව කියල කියන්නෙ.."  අන්න එහෙමයි කිව්වෙ...

ඉතිං මම කොණ්ඩෙ රැවුලත් කපාගෙන ගෙදර ආව..එතනිං ඒ කතන්දරේ ඉවරයි කියමුකො...

අද ඉතිං මයෙ දෙකුන් සැටවන උපන්දිනේය කියල කලින් කිව්ව නෙව..මම සාමාන්‍යයෙන් ඔය උපන්දිනවලදි කරන දෙයක් තමයි අවුරුදු පහෙන් පහට නැත්නම් දහයෙන් දහයට අතීතයට යමින් කලින් උපන්දින වලදි මම හිටියෙ කොහෙද? මොකක් කරමින්ද හිටියෙ? එහෙම කියල ආවර්ජනය කරන එක..එහෙම කලාම අපේ ජීවිතයෙ ඒ ඒ යුගවල හරස්කඩක් වගෙ අපිට දැකගත්තෑකි..මේ පාර මම කලේ අවුරුදු දහයෙන් දහයට අතීතයට ගමන් කරන එක...

ඉස්සෙල්ලම 2011 නොවැම්බර් 14...මම හිටියෙ කටාර්වල..මම අර මැදපෙරදිග රැකියාවක් කලානෙ  ඒ කාල වකවානුවෙ...

එතකොට ඊලඟට 2001 නොවැම්බර් 14..මම එතකොට හිටියෙ කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ වැඩ කරමින්..ස්කන්ස්කා කම්පනි එකේ..

ඊගාවට 1991 නොවැම්බර් 14..මම ඒ කාලෙ මහවැලියෙ..බකමූණ සහ අත්තනකඩවල ප්‍රදේශයෙ...

1981 නොවැම්බර් 14..පළවෙනිපාර ඒ ලෙවල් කරල වැඩේ අනාගෙන මම අපේ පුංචි මාමලගෙ ගම්පල ගෙදර නතර වෙලා නුවර බාලදක්ෂ හෝල් එකේ ක්ලාස් යනව..දැන් එතන ක්ලාස් තියා ඒ හෝල් එකත් නෑ..ඒක තිබ්බෙ බෝගම්බර පිට්ටනියට යාබදව ඉස්පිරිතාලෙට යන පාරෙ අනික් පැත්තෙ..දැං එතන තියෙන්නෙ ප්‍රයිවට් බස් පාකිං ඒරියා එකක්..හරි ඒ 1981..

ඊට කලින් එතකොට 1971 නොවැම්බර් 14..මම එතකොට තුනේ පංතියෙ..කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකට යන්නෙ..අපි හිටියෙ නාගොල්ලෙ කච්චේරි නිල නිවාස වල..

1961 මම ඉතිං ඉහත ආත්ම භාවයෙ වෙන්න ඕන..හෙහ්..හෙහ්.. 

හරි..කාලෙකට පස්සෙ බ්ලොග් එකට සටහනක් ලිව්වෙ මට හිතුන ආයම බ්ලොග් එක පණ ගහල ගන්ට ඕන කියල..හරි එහෙනම් මේ අදින් ලැවුවාවූ එකුන් සැටවන වසරේ මගේ ඒ අපේක්ෂාව මල ඵල ගැන්වේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරමු!

69 comments:

  1. මේ අදින් ලැවුවාවූ එකුන් සැටවන වසරේ ඔහේගේ ඒ අපේක්ෂාව මල ඵල ගැන්වේවා!!!

    සුබෝපන්දිනයක් රවී අයියා.. නොවැම්බර් ඉපදුනා කියන්නෙම ඉතින් එළ කොල්ලෙක්.. ආයේ අහන්න දෙයක් නෑ.. මේක මරු වැඩේ.. හෙටානිද්දට මටත් දාන්න පුළුවන් මේ වගේ අවුරුදු පහෙන් පහට හෝ දහයෙන් දහයට මං හිටි තැන ගැන පෝස්ට් එකක් :)))

    ReplyDelete
    Replies
    1. පහෙන් පහට දාපං....ඒක ටිකක් දිගට වැඩේ ඇදුනට මාර ආතල්.. ඒ එක්කම ඒ කාලෙ ගැන පොඩි විස්තරයකුත් ලිව්වනම් මරේ මරු..මම තව දිගට ලියනව..ඒත් වෙලාවක් නෑ...ෆයිනල් එක බලන්නත් තියනව..පොඩි අඩියක් ගහන්නත් ඕන... :)

      Delete
    2. ඔය මහත්තුරු දෙන්නාම ඔව්වා ලියන්නෙ අවුරුදු පහෙන් පහට නෙවෙයි නේද?

      Delete
    3. Nimal,

      නිදි නම් ලියනව දුම්මල වරම ගත්ත වගේ නේ? වෙරි ගුඩ්..වෙරි ගුඩ්..කීප් ඉට් අප්...:)

      Delete
  2. තට්ට රවියා කාලෙකින් දකින්නට ලැබීමත් සතුටක්! හලි හලි මැච් එකත් බලලා, දෙක-තුනකුත් නවාගෙන තව මොනා හරි ලියහංකො.

    අර වලකජ්ජ ගහපු විල්බර් ස්මිත් උන්නැහැ ගැන මොකුත් ලියන්න අදහසක් නැත? මොනාවුනත් බුවා අපේ පරණ යාළුවෙක් නෙව.

    ReplyDelete
    Replies
    1. කෝර්ට්නි, බැලන්ටයින් ගැන ලියපු ඉස්සර පොත්නම් මං කියවල තියන හොදම පොත් අතර. සවුත් ඇෆිකා, සිම්බාබ්වේ, ඇෆ්‍රිකානර්, සූලූ, මටබෙලේ, ක්සෝසා, සාන්, ගෝල්ඩ්/ඩයමන්ඩ් මයිනින් ගැන මං මුලින්ම ඉගන ගත්තෙ ඒවායින්.
      වයසට ගියාට පස්සෙ ලියපු පොත්නම් බොහොම බලාපොරොත්තු කඩවෙන mediocre ඒවා.

      Delete
    2. Bura,

      අනේ බං උඹ කිව්වයින් පස්සෙයි මම දන්නෙ..විල්බා ඊයෙ අබාවප්‍රාප්ත වෙලා..පොර ගැන මොකක් හරි ලියන්නම ඕන...

      උඹේ කමෙන්ට් එකක් දකින එකත් සතුටක් බං..බ්ලොග් එක ආපහු ලියන්න බොලා වගෙ පරණ සහෘදයො එකතුවෙන එකත් එක විදිහක ඉන්සෙන්ටිව් එකක්...

      Delete
    3. Pra,

      යස්..විල්බගෙ ඉස්සර ලියපු පොත් මාරයි..මුලම සෙට් එක..කෝට්නීස් ඇන්ඩ් බැලන්ටයින්ස්....ටයිටා...When the lion feeds, The burning shore, Shout at the devil, River god...:)

      Delete
  3. හැපි එසේ ම වේවා! මේ දෙකුන් සැට වසරේදීවත්, කලින් ලිව්වා වගේ ඉතා සුන්දර සහ රසවත් ලියවිලි ලියන්ඩ ඉඩ හසර සහ කොත්තමල්ලි බොන්ඩ චෑන්ස් එක සළසන්ඩ චන්ද්‍රාවෝ ගේ හිත වෙනස් වේවා!!

    ReplyDelete
    Replies
    1. Dracky,

      ස්තූතියි ඩ්‍රැකී..ඔබගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා!

      Delete
  4. සුබෝපන්දිනයක් රවී මහතා!
    උපන්දිනයට වත් සුබ නැකතින් මේ පැත්තේ මකුළු දැල් කඩලා ගත්තු එකම මදැයි.
    අර උපන්දිනයට ආපස්සට බලන අදහස මරු. මටත් ඉස්සරහට එනවා පහෙන් බෙදෙන ගානක්. ට්‍රයි කරලා බලන්ඩෝන.
    එහෙනම් අර සීරියල් ස්ටෝරීස් වල ඉතුරු ටික ලියන කම් අපි මඟ බලං ඉන්නවා ඔන්න

    ReplyDelete
    Replies
    1. මලී,

      එහෙම අතීතාවර්ජනයක් කරන්න පහෙන් නැත්නම් දහයෙන් බෙදෙන ගාණක් වෙන්නම ඕන නෑ..හැබැයි අනික් අතට එහෙම වුනානම් ලේසියි...40..35...30...25...20...15... ඒ වගෙ..:)

      Delete
  5. මෙව්වා කියවලා පහෙන් පගට නෙවෙයි ගිය අවුරුද්දේ කල කී දේවල්වත් මතක නැති මං 🤔🤔

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      ඒ මොකද බං ඒ?...එහෙම අමතකවෙන අය තමයි විශේෂයෙන්ම මතක් කරගන්න ඕන...කොහොමද බං? ව්‍යාපාරය සාර්ථකව කෙරීගෙන යනවැයි?

      Delete
  6. ආසිරි වේවා පතමී වේවා?//
    ආසිරි පැතුමේ - මල් වරුසාවේ' තට්ටයා මහත්තයා නිසා මේ දවස්වල අපි ගීත ගඟුලේ කිමිදෙමින් ඉන්න නිසා සින්දුවකින්ම සුබ පතනවා! කැමති නම් අහලම බලන්නත් ඇහැකි!

    https://www.youtube.com/watch?v=PTcOwuLw7Qc

    ReplyDelete
  7. "ලැවුවාවූ එකුන් සැටවන වසරේ අයියණ්ඩිගේ සියලු අපේක්ෂාවන් මල ඵල ගැන්වේවා!"

    අපට කියවන්ඩ වැඩි වැඩියෙන් නිදහස් සිතුවිලි දිගහැරේවා!

    හැපි බර්ත්ඩේ අයියණ්ඩි!

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඔව් බං...මොකක් හරි කරන්න ඕන...මදැයි දැං ඇවිල්ල අවුරුදු දෙකක් නිකම්ම හිටිය...ස්තූතියි සුබ පැතුමට...:)

      Delete
  8. සන්තෝසයි ආයේ ලියන්න හිත්ලෑව එක ගැන..
    දිගටම ලියන්න කියලා ඉල්ලා හිටිනවා...
    නිදුක් නීරෝගී සුව ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. Kush,

      ස්තූතියි කුෂ්.....:)

      Delete
  9. සුබ උපන්දිනයක් රවි අයියෙ, අර වාං පතුල් කතාවත් ඉඩ තියෙන වෙලාවක ලියල දාන්න

    ReplyDelete
    Replies
    1. Ediri,

      හරි හරි ලියන්නං :)

      Delete
  10. සාදරයෙන් පිළිගනිමු. ඔබේ අදහස් මල් පල ගැන්වේවා.

    ReplyDelete
    Replies
    1. Helapa,

      ස්තූතියි හැලප....මමත් එහෙමම තමයි ප්‍රාර්ථනා කරන්නෙ...:)

      Delete
  11. කොච්චර හොඳද දිගටම ලියන්න හිතපු එක. You were missed so much. සුබ උපන් දිනයක් වේවා!!

    'කොවීන් වසංගතේ' කියලා ලිව්වෙ මොකෝ. රවී මිස්ට' 7 bum.. සොරි 7 brains කෙනෙක් වෙන්න යනවද.

    ReplyDelete
    Replies
    1. Lotus,

      බොහොමත්ම ස්තූතියි සුබ පැතුමට සහ අගය කිරීමට.../You were missed so much./..It means so much to me..thanks again..:)

      කොවීන් කියන්නෙ දැන් Catch phrase එකනෙ..ඒකයි එහෙම ලිව්වෙ...

      Delete
  12. ඔහේගෙ ඒ අපේස්සාව ‘මල්‘ ඵල ගැන්නේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව.

    අර පරණ කතා කියවන්න තියෙන බලාපොරොත්තුන අපි අතෑරිය. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මගේ යාවජීව පාඨකයා...ස්තූතියි ස්තූතියි බොහොමත්ම ස්තූතියි...ලියනව ලියනව..බලාපොරොත්තු අතෑරගන්ට එපා බම්..:)

      Delete
  13. මේ ඒක නෙමෙයි කාගෙද අර උඩිංම දාල තියෙන පොටෝ එක.

    ReplyDelete
    Replies
    1. මටනං පේන්නෙ අර අජිත් ධර්මෙ උන්නැහැ වගේ

      Delete
    2. ඒක තමයි. අර නුවර ගිය වෙලාවේ ගත්ත එක නේද ඔය දැම්මේ තමන්ගේ වයස හංගන්න

      Delete
    3. ඒ කවුරු උනත් රවියනං වෙන්නම බෑ.

      Delete
    4. Prasanna, Bura & Ajith,

      කොහොමද ඒක? හෙණම වැදගත් පෙනුමයි නේද?

      Delete
  14. සුබ උපන්දිනයක් වේවා රවී අයියේ ...! දෙකුන් සැටවියත් වයසක් ද තාම හෙන තරුණ වයසනේ... ලියමු ලියමු .. රවී අයියා දැක්කම අපිටත් මොනවා හරි ලියාගෙන මේ පළාතේ කැරකෙන්න පුළුවන් ආයෙත් ..

    ReplyDelete
    Replies
    1. Pathum,

      ස්තූතියි පැතුම්.....මොක මොකව හරි කරමු නේද? :)

      Delete
  15. වෙන්ඩ බෑනේ මට තවමපනස් හයයි නේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      පණස් හය නම් මොකක්ද?

      Delete
  16. සුබෝපන්දිනයක් වේවා ලොක්කා.
    //"මෙහෙමයි...කාලයක් කොණ්ඩෙ කපන්නෙ පීරන්නෙ නැතුව ඉන්නකොට හම කොණ්ඩ ගස් දිගේ උඩට වැවෙනව කියලනම් මම අහල තියනව..." මම කිව්ව.// හපොයි මෙහෙ ඒ අය ගමකට ඉන්නවා. මම නම් ඈත් වෙලා යනවා. රේසිස්ට් කමකට හෙම නෙවේ. මට ඔය හැඩපලු කොන්ඩේ දිහා බලන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි ඒ විලාසිතාවට. නයිජීරියන් ගෑණු ළමයෙක් ගෙන් ඇහුවම එයා කිවුව එහෙම කළාම නිතරම නාන්න බැහැලු, හැබැයි එයාලගේ හම වියළි නිසා සති කීපයක් වගේ නෑවේ නැති උනාට කිළුටු වෙන්නේ නැහැලු. මට අඩුම තරමෙන් දවස් දෙකකට වතාවක් වත් කොන්ඩෙ නොසේදුවොත් අපහසුයි ඉතින් මම වැඩේ අල්ලලා දැම්මා.

      මම හිතන්නේ අපේ හමට ඕක හරි යන්නේ නෑ. ලෝකේ එක එක පළාත් වල ඉන්න අයට ජල සම්පත් තියන විදියට මිනිස්සු හැඩ ගැහිලා ඇති. අපේ රටේ ගංගා ඇල දොළ තියනවනේ ඕන තරම් ඉතින් මම හිතන්නේ අපේ හම නිතර සෝදන්න අපි හුරු වෙලා ඉන්නෙ.

      Delete
    2. අජිත්,

      සේම් හියර්, මට මාර අප්‍රසන්නයි ඒ වගෙ Dreadlocks කොණ්ඩ වවාගෙන ඉන්න අය.

      පෞද්ගලික නිදහස ගරුකරන කෙනෙක් හැටියට කැමති කෙනෙක් කැමති හෙයාස්ටයිල් එකක් අනුගමනය කරාට මම විරුද්ධ නෑ...ඒත් ඒ වගෙ කෙනෙක් එක්ක පර්සනලි ගනුදෙනු කරන්න උනොත් මම හරිම අමාරුවක වැටෙයි ..හෙහ්..හෙහ්...

      මස හයකට වගෙ කලිං මම කොළඹ ගියා ඉන්ටසිටි කෝච්චියෙ..ඔන්න එක පාරටම මම ඉන්න පෙට්ටියට නැග්ග ඩ්‍රෙඩ්ලොක් කාරයො දෙන්නෙක්..මගෙ ලඟම සීට් එක ඒ වෙලාවෙ හිස්..මම පණ බයේ හිටියෙ ඒ එකෙක්ගෙ සීට් නම්බර් එක මගේ ලඟ සීට් එකට සෙට් වෙයි කියල..කොහොම හරි එහෙම උනේ නෑ.. :)

      Delete
  17. සුභ උපන් දිනයක් වේවා රවී තුමා. නිරෝගී සුවය සහ දීර්ශායුෂ පතනවා ඔබතුමාට. පුළුවන් කමක් තියනවා නම් ඔය දීර්ඝ කාලය පුරා ලැබුණු අත්දැකීම් ටික ලියන්න, අපිට අපේ ජීවිත වලට යමක් උකහා ගන්න හැකි එතකොට.

    නොපීරා හිටියම දිග කොණ්ඩ වල කැරලි හිටිනවා නේ. මම හිතන් හිටියේ හැඩපලු ගෙතෙනවා කියන්නෙ ඒකට කියල. අද තමයි හරි තේරුම දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      /නොපීරා හිටියම දිග කොණ්ඩ වල කැරලි හිටිනවා නේ. මම හිතන් හිටියේ හැඩපලු ගෙතෙනවා කියන්නෙ ඒකට කියල. අද තමයි හරි තේරුම දැනගත්තෙ./

      මටත් මැඩම් ඒ කතාව හරියටම ෂුවර් නෑ..අර අපේ සර් කෙනෙක්නෙ ඕක කිව්වෙ..හැබැයි ඊට පස්සෙ එහෙම වෙනවයි කියල මම කොහෙදිවත් දැක්කෙ නම් නෑ..

      සුබ පැතුමට බොහොමත්ම ස්තූතියි...

      ජීවන අත්දැකීම් නම් ලියන්න හිතාගෙන ඉන්නව..බොලාට උකහා ගන්න නම් මොකවත් තියෙයිද මන්දා හැබැයි.. :)

      Delete
  18. අඩේ සුබෝපන්දිනෙයක් ලොක්කයියෙ. යාන්තං ඇති බ්ලොග්කටුව සුද්ද බුද්ද කරල අරං තියෙන්නෙ මේ❤️❤️

    ReplyDelete
    Replies
    1. ජානුස්,

      ස්තූතියි ස්තූතියි ස්තූතියි...:)

      Delete
  19. ජය වේවා!~ නැවතත් ලියන්නට සෙට් වූවාට! දීර්ඝායුෂ~!

    ReplyDelete
  20. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වෙන් කොට ඇත! ගොඩවී බලන්න!

    ReplyDelete
    Replies
    1. සඳකඩ,

      බැලුව බැලුව ගිහිල්ල බැලුව..බොහොමත්ම ස්තූතියි...:)

      Delete
  21. ඉස්සෙල්ලාම කලකට පස්සේ දකින්නට ලැබුණේ, ආයුබෝවන්!! ඊළඟට දෙකුන් සැටවිය, ඒ කියන්නේ දෙකක් අඩු සැටද, නැත්නම් කාටත් තේරෙන බාසාවෙන් පනස් අටද? කොහොමත් ඕක මොන වයසකද? ඒකට සුබ පැතුම්.

    වෙන ඉතින් ඉස්සර Blogs වල ලියපු අගක් නැති නිමක් නැති කතන්දර එතැන සිට නැවත ලිවිම. ඒකට මගෙත් ප්‍රණාමය. මේ දෙකුන් සැටවියේ කතන්දරයත් දිගටම ඇදගෙන යන්නට පුළුවන් වගෙයි කියා හිතෙනවා ආරම්භය සඳහා අරගෙන තිබෙන ගැම්මේ හැටියට. අර අවුරුදු පහෙන් පහේ තොරතුරු ලියන එකත් අතීතය ගැන හොඳට විමසා බැලීමක්. මගෙත් ඔය වගේ අදහසක් තිබුණා අවුරුද්දේ දිනය ලියනවිට එකම ඉලක්කම් තිබෙන අවුරුදු වල එම දිනයේ විස්තර ගැන ලියා තැබීමට. මට නම් ඒ මුල්ම දිනය එන්නේ 4.4.44 ඒ උනත් ඒ දිනය මතක නැහැ. එතකොට පොඩි එකා. ඊළඟ දිනය 5.5.55 ඒ කාලේ තමයි OL කළේ. 6.6.66 සහ ඉදිරියට ඒවාත් මතකයි. ඔය වගේ හෑලි තමයි 'මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ..."හුදී ජන පහන් සංවේගය උදෙසා ලිව්වා වගේ දැන් Blogs ලිවිම සඳහා ඉතුරු වෙලා තියෙන්නේ. සන්තෝසයි. මම නවතින්නම්.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      හප්පේ බොහොම කාලෙකින් තමයි දැක්කෙ..පණස් අටයි පණස් අටයි...

      මගෙ ජීවිතේ මුලින්ම එන්නෙ 66.6.6...එතකොට මම හිටියෙ මාතර..වෙහෙරහේනෙ කච්චේරි නිල නිවාසවල අප්පච්චි වැඩ කලේ මාතර කච්චේරියෙ...

      77.7.7 මම නාලන්දෙ..එච්.එන්.සී.ඊ පන්තියෙ..ඔබතුමාට මතක ඇති NCGE/HNCE විභාග..සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඇතිකරපු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

      88.8.8 මම මහවැලියෙ වැඩ වැලිකන්දෙ..හරියටම කිව්වොත් සේනපුර..ජ.වි.පෙ. භීෂණය ඇරඹුනු කාලෙ..

      99.9.9 මහවැලියෙන් අයින් වෙලා මම ඒ කාලෙ වැඩ කලේ කටුගස්තොට- මාතලේ පාර ඉදිකීරිම් කටයුතු කරපු පෞද්ගලික ඉදිකිරීම් සමාගමක..

      Delete
  22. සුබ උපන්දිනයක් වේවා....

    අර කොවීන් සීන් එක හීනියට දාපු නක්කලයක් වගේ.

    ReplyDelete
  23. කුලපතිකමක් දෙන්න අඬගහගෙන ගිහිල්ලද,සද්දයක් නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. Lotus,

      සමාවෙන්න..සමාවෙන්න.. :)

      Delete
  24. සුබෝපන්දිනයක් වේවා ඉතිං
    ආයෙ නෑ අන්ඩටේකර් එක්ක හැප්පෙන්ඩ ජෝන් සීනා ආව වගේ සතුටුයි..
    ලියමු නේ දිගටම...

    අපිත් කියමු
    බ්ලොගර්ස්..... අසෙම්බල්....

    ReplyDelete
  25. ආයුබෝ වේවා!

    කොලොම් පාරවල් වල රස්තියාදු කරවලා 163 ගෙනිහින් අතරමං කරලා දැම්මායින් පස්සේ මේ පැත්තට ආවේ නැහැ නෙවැ.

    පරණ බාබර් සාප්පු කිව්වාම ඒවාට යුනික් දේවල් කීපයක්ම තිබුනා නේ; උළු අස්සේ එල්ලපු දැලිපිහිය මදින ලෙදර් බෙල්ට් එක, බංකුවේ පොඩි උන් වාඩි කරවන ලෑලි තට්ටුව, ගල්ගැහිච්ච පවුඩර් පෆ් එක, රාත්තලේ බියුටුකුරා පවුඩර් ටින් එක...

    අපේ බාබර්ගේ සාප්පුවේ බිත්තියේ එල්ලලා තිබුන තවත් ෆ්‍රේම් වර්ගයක් තමයි චිත්‍රපටිවල ජනප්‍රිය නළු නිළියන්ගේ ෆෝටෝ ෆ්‍රේම් කීපයක. ඉන් එකක ගාමිනී ෆෝන්සේකා ගීත නගාව දැතින් උස්සගෙන/වත්තන් කරගෙන ඉන්න් ෆොටෝ එකක් තිබුනා, පැත්තක කලා කියලා අකුරු දෙක ලොකුවට ගහලා තිබුනා. මං හිතන්නේ කලා පත්තරේ ආපු ෆොටෝ එකක්. අර වචන දෙන එක එක විදියට කියවන උන් ෆොටෝ එකට බයිස්කෝප් එකක කතා කියනවා... දැන් ඇක්මොන් මාමා හචිං යවනවා ඇති වෙන ලෝකෙක ඉඳන්. ඒ මනුස්සයාගේ කට් එක කොහොම ද කියනවා නම් රටයන්න කලින් හෙයාර් කට් එක ගත්තෙන් උන්දැගෙන්...

    ReplyDelete
    Replies
    1. ඩීන් මහත්මයා,

      පරණ බාබර් සාප්පු කියන්නෙ වෙනම ලෝකයක්...ඒ ගැන ආයෙම ලියන්නම්..මගෙ කරණවෑමි කතා කියල..කලා කියන්නෙ ඒ දවස්වල ජනප්‍රිය සිනමා සඟරාවක්..මට මතක විදිහට සෑහෙන කාලයක් ආතර් යූ. අමරසේන කලා සඟරාව කලා...:)

      Delete
    2. රවී. කලා සඟරාව පළ කලේ සිනමාස් සමාගම එහෙම සම්බන්ධ වෙලා. මට මතක හැටියට නං එය සංස්කරණය කලේ ආරියරත්න කහවිට (ස්වර්ණා කහවිට නිළියගේ අයියා) විසිනුයි.
      ආතර් යු අමරසේන මහත්තයා සංස්කරණය කලේ 'දවස' නිවසේ 'විසිතුර' පත්තරේ නේද?

      Delete
  26. ඉර බැස ගියාම
    සඳ නැති අහසේ
    රැස් දෙන තරු
    බැබලෙන

    රවියාණෝ පෑයුවාම
    නොවැ බ්ලොග් අහසේ
    සොඳුරු තරු
    දකින්නට ලැබෙන

    ReplyDelete
  27. මං ආවා පොඩ්ඩක් බ්ලොග් එක දිහා බලල යන්න. බලද්දි ඔක්කොම ආයිමත් ලියන්න පටන් අරගෙන. මටනම් ලියන්න දෙයක් වත් හිතට එන්නේ නැහැ බං

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මටත් එහෙම තමයි..ඒත් අමාරුවෙන් හරි මොනව හරි ලියන්න ඕන..ජීවිතේ එක එක Phases තියනවනෙ..මම හිතන්නෙ අපේ ජීවිතේ ඒ Phase එක ගෙවිල ගියා.. :(

      Delete
  28. හප්පච්චියේ.... සුබෝපන්දිනයක් වේවා ඈ

    පින්තුර දාලා අපිව බයකරන්න හිතුව මදි!

    ReplyDelete
    Replies
    1. ලිකිට්ස්,

      අර අහවල් දේකටද බං උඹලව බය කරන්නෙ?

      හැබැයි මොනව උනත් එක පාරට නිකං බිරාන්ත වෙලා ඔටෝ පුටුවෙං නැඟිට්ටෙන සීන් එකක් වගෙ තියනව නේද? ඇත්ත කියපං..

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...