Friday, September 20, 2013

218. සියපත පතක බැඳි බත නොහොත් මහඟු මිනිසුන් සහ එක්තරා සුවිශේෂී වූ යුවතියක පිළිබඳ කතාවක්...

ජීවිතේ අග්ගිස්සට එනකොට ලාබාල වයසෙ මහා ලොකු සීරියස් දේවල් කියල වර්ගීකරණය කරල ගහ මරාගන්ට ගිය එව්ව කිසිම වැදගැම්මකට නැතිදේවල්ය කියල හිතෙන එක මම හිතන්නෙ බොහොමත්ම ස්වාබාවික දෙයක්.ඒ තමයි ජීවිතේ හැටි. ඒ වගේම ලාබාල වයසෙදිම ජීවිතේ සිරා අරගෙන අර පිටි මුට්ට කරේ තියාගෙන සයිඩ් සයිඩ් කියල පිටකොටුවෙ හතරවෙනි පස්වෙනි හරස්වීදිවල එහාට මෙහාට දුවන නාට්ටාමිල වගෙ ජීවිතේ කරගහගෙන ඉන්ට ගියොත් නම් ඒකත් එක විදිහට මහ පාරුවේ පුවක්....නොහොත් පූරුවේ පවක්... 


ඔය වගෙ කස්ටිය ගැන මයෙ තියනව අද්දැකීං එකසිය ගානට. අපේ පොරක් එක පාරක් පාලොස්සකට සිල් අරං ඉන්දැද්දි සිල් රෙදි පිටිං උස්සගෙන ජීප් එකේ දාගෙන ආවෙ හදිස්සි රාජකාරියකට. ඒ අපේ බොස්ගෙ ඕඩර් එකක්. අහල ඇතිනෙ අර කතාව ..එළුවට කියපු එක...බෑ කියල බෑ මල්ලි ..මේක බොස්ගෙ ඕඩර් එකක්..හෙහ්, හෙහ්, අන්න එහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ... තේරුනා නෙවද? 

රයිට්..ජීවිතේ දසක පහක් ගෙව්වම මදි නොකියන්ට අත්දැකීං සම්බාරයක් එකතු වෙනව. ජීවිතේ දිහාවෙ උපේක්සා සහගතව බලන්ට මැදිහත් සිතින් යුතුව ජීවිතය විඳින්නට පුලුවං වෙන්නෙ ඔන්න එතකොට. 

නොයෙක් තැන්වල කරග්ගහල හැමජාතියකම මිනිස්සු එක්ක ආස්සරේ කරල විසි එක්වන සියවසේ පස් වන අවුරුද්දෙ මම එක් උනා කොළඹ කිට්ටුව මධ්‍යම පරිමාණ ඉඳිකිරීම් සමාගමක සේවයට.ඇත්තම කිව්වොත් මගෙ රාජකාරි ජීවිතේ මට මුණ ගැහුණු අන්තිම හොඳ බොස්ල වගේම අන්තිම හොඳ පැරලල් ස්ටාෆ් එකත් හිටියෙ මේ කොම්පැණියෙ.ආය මොනවද ගෙදර වගෙ තමයි. පැය දෙක තුනක් මහන්සි උනාම ඔන්න එනව දුං උගුරක් ගහන්ට මනාපයක්, අවශ්‍යතාවයක්..ආය මොනවද අල්ලපු කාමරේට යන එක විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ අපේ ආයතනයෙ අධ්‍යක්ෂ තුමෙක්.බොස් ගහමු සිගරට් එකක්... කියන එක විතරයි තියෙන්නෙ. මේ ඒ ගැන වෙනම ලියන්නං ආය දවසක... 

ආයෙම දවසක මම මරණාසන්න උනා. හාට් ඇටෑක්...විනාඩි පහලවක් ඇතුලත ළඟම තිබ්බ හොඳම ඉස්පිරිතාලෙට මාව ඇතුලත් කරල ඒ සියලුම කෙරෙන්න ඕන කටයුතු කලේ අපේ ඔය කොම්පැණිය. කොම්පැනිය කියන්නෙ ඒකෙ අයිතිකාර මහත්තුරු සහ කාර්ය මණ්ඩලය. හොස්පිට්ල් බිල සම්පූර්ණයෙන් ගෙව්වෙත් ඒ ගොල්ලො.ඊට හරියටම මාස තුනකට පස්සෙ මට විදේශ රැකියාවක් ලැබිල ඒ මහාර්ඝ මිනිසුන් සමූහයෙන් වෙන් වෙන්නට සිද්ද උනත් මගෙ හදවතින් නම් කිසිදිනක ඔවුන් අමතකව යන්නෙ නෑ. 

ඔය වෙලාවෙ මම මේ කිව්වෙ මරණාසන්න වෙලාවෙදි මගේ අත්දැකීම් ලිව්වොත් එහෙම ඔය ඔය පොත් පත්තරවල තියන එව්ව කැලේ..හෙහ්, හෙහ්...අඳුරු බිංගෙයක් ඇතුලෙං ඔන්න මම ගියා පාවෙලා..එක පාරටම නිල්/කහ පාට දීප්තිමත් ආලෝකයක් තියන බොහොම අද්බූත ඉස්තානෙකට මාව යැවුන. එතනදි වෙච්චි ඔක්කොම කියන්ට එහෙම ගියොත් අද මේක අහවරක් කොරන්න වෙන්නෙ නෑ. ප්‍රදාන සිද්දි විතරක් දැනට කියන්නං.. 

එතනදි මට හම්බ උනා අපේ මියගිය සුප්‍රසිද්ද රජවරු වගේම ඉතිහාසගත පුරුෂයින් සහ කාන්තාවන්...විජය, කුවේණි, දුටුගැමුණු, රන්මැණිකා, සාලිය, අශෝකමාලා,අනුලා, දස්කොන්, ප්‍රමිලා,ඇහැලේපොල කුමාරිහාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ....ඔය කස්ටිය පෝලිමේ ආවෙ මාව හම්බ වෙන්න. හැමෝටම කියන්න තිබ්බෙ එකම කතාවක්.. 

" එම්බා සුර්‍රයාභිධාන මහා පුරුෂය, ඉතිහාසයෙහි අප පිළිබඳව ලියැවී ඇත්තේ සත්‍ය වශයෙන්ම සිදුවූව නොව ඉතිහාසය ග්‍රන්ථකරණය කල යම් යම් පුද්ගලයින්ගේ සිතැඟි අනුව ඔවුනට අවශ්‍යදේය. එබැවින් සත්‍ය ඉතිහාසය දුහුණන් දැනුම් උදෙසා යළි ලිවීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වර්තමානයෙහි ප්‍රබලව නැඟී එයි. එබැවින් අප අතර ඒ පිළිබඳවූ කතිකාවතකට අනතුරුව ඉතිහාසය ප්‍රතිශෝධනය කොට ලිවීමේ කර්තව්‍යයට ඉතාම සුදුසු වන්නෝ තොප බව සනිටුහන් කොට ඒ පිළිබඳව දැනුවත් කිරීම උදෙසා තොප මෙහි කැඳවූයෙමු. සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න අප තොපට පවසන්නෙමු. තොප යලි මනුලොව ගොස් ඒ සත්‍ය සිද්ධීන් දුහුණන් දැනුම් උදෙසා ලියා පළකරනු මැන සූර්යාභිධානයෙනි!!! " 


රයිට්..ඔන්න ඉතින් එයාල ඔක්කොම පිළිවෙලට ඇවිල්ල හිට මා එක්ක එයාලට වෙච්චි දේවල් අකුරක් නෑර කිව්ව.ඒ කිව්ව විදිහට තමයි මම ඔය විජය-කුවේණි කතාව , එතකොට සාලිය කුමාරයගෙ කතාව එහෙම ලිව්වෙ..තව ඉස්සරහට අනික් විස්තරත් ලියන්නංකො....හෙහ්, හෙහ්,

ඉතිං ඔය මම කියන උක්ත කාලෙ අපි නැවතිල හිටියෙ පිට කෝට්ටෙ. ඒත් අපේ අධ්‍යක්ෂ තුමෙක්ගෙ ගෙදර පිටිපස්සෙ හදාපු නවාතැනක. එහෙ චමරියෙ උයන්නෙ රෑට විතරයි.උදේට සහ දවල්ට පිටිං. ඉතිං අපි කරන්නෙ දවල්ට කොහෙං හරි කෑම එකක් ගෙන්න ගන්න එක. 

අපෙ අල්ලපු කාමරේ බොස් දොලහ කිට්ටු වෙනකොට මගෙ කාමරේට ඔලුව දානව.. 

" රවි... දවල්ට මොනවද ගෙන්නන්නෙ? මස් ද මාලුද? බිත්තරද? එලවළුද?.." 

" ඕන එකක් බොස් ...මම ඇවිල්ල සර්ව භක්ෂක... පරිණාමයෙ ඉහලට එනකොට මිනිස්සු සර්ව භක්ෂක උනානෙ. ආයම ශාක භක්ෂක වෙනවයි කියන්නෙ පරිණාමයෙ ආපස්සට යනව කියන එක. මට එහෙම වෙන්ට ඕන නෑ.." 


" හරි හරි...රන්ජිත්..රවීට එහෙනං එලවළු කෑම එකක්.." 

ලොක්ක එතනම ඉඳල කෑගහනව...හෙහ්, හෙහ්,අන්න එහෙමයි අපේ බොස්ල...:) 

එක දවසක් දහයට වගෙ මේනක කියල අපෙ පල්ලෙහා තට්ටුවෙ වැඩ කරන යාලුවෙක්..ආ..ඊට කලින් කියන්ට එපාය..අපෙ කාර්යාලෙ තට්ටු දෙකයි..උඩ තට්ටුවෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අමතරව මම..දන්නවනෙ වැදගත් උදවිය ...පල්ලෙහා ඔය ඒ හැටි වැදගත් රාජකාරියක් නොකරන උදවිය...අපි ඉතිං ඒ කිව්වෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මම පඩිපෙලෙන් බැහැල පහලට එන්නෙ හරියට අර දෙව්ලොවින් බැස එන සක් දෙවිඳු විලසින... 

" මතුමහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්, ආදරයේ පියගැටපෙල පාර කියාවී.." 

ඔය ලිෆ්ට් එක කැඩිච්ච දවසක දාඩිය දාගෙන පඩිපෙල දිගේ පාතට බහින ගමං කෙල්ලෙක් පල්ලෙහා ඉන්න කොල්ලට කියාපු සිංදුවක්.. 

රයිට්.... මේනකය ඇවිල්ල මගෙ කාමරේට ඔළුව දැම්ම.. 

" ඒයි මචං..උඹ නෙළුං කොලේ බත් කාල තියනවද?.." 

" නෑනෙ බොලේ..නෙළුං කොලේ බත් ගැන අහල තිබ්බට කාල නෑ...මාර රහයිලු නේද? ඕකෙ නියම රහ එන්ට බත් එක කාල නෙළුං කොලෙත් කන්ට ඕන ඒ එක්කම.." 

" ඈ??? මම අහල නෑනෙ එහෙම කතාවක්.." මේනකයගෙ ඇස් උඩ ගියා.. 

" හරි, හරි,ඒක පැත්තක දාපං...දැං මොකෝ මේ හිටපු ගමං නෙළුං කොලයක් මතක් උනේ? " 

" මචං බයිසිකලේක පොරක් ඇවිල්ල ඉන්නව නෙළුං කොලේ ඔතපු බත් අරගෙන..උඹට ඕනද?..." 

" අම්මට උඩු ඕනදත් කියල අහනව..යමං යමං…" 


මම මේනකයත් එක්ක මතුමහලින් බැස්ස. ඔන්න අපේ ඉස්සරහ මිදුලෙ ඉන්නව නෙළුං බත් මෑන්ස්..The Lotus Rice Man......පල්ලෙහ තට්ටුවෙ ඉන්න ඔක්කොමල ඒ මනුස්සයව වට කරගෙන...මම කලිනුත් කිව්වනෙ පල්ලෙහ තට්ටුවෙ ඉන්නෙ ඔය ඒ හැටි වැඩක් නැති කට්ටිය කියල..විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට. ඉතිං නෙලුං බත් මෑන් ආහම මෙයයි නෑවිදිං ඉඳියිද? එතනට ඇවිල්ල අර මනුස්සයගෙං අහනව දාහක් ප්‍රස්න... 

" මේ ඔය නෙළුං කොල කොහෙද තියෙන්නෙ?.." 

" ඔව්ව කඩන්ට වතුරෙ කිමිදෙනවද? " 

" කිඹුල්ලු නැද්ද?..." 

" උදේ පාන්දරම වතුර හීතල නැද්ද?..." 


ඔව්වට උත්තර දීලම නෙලුං මෑන්ට අන්තිමට මල පැන්න. 

" මේ නෝන..බත් එකක් ගන්නවද නැද්ද? " 

" ආ..නෑ..නෑ..මම ගෙදරිං බත් එකක් ගෙනාව.." එවුන්දැ ඔන්න යංතං පැත්තකට උනා.. 

මම එතකල් බොහොම ගාම්බීරව පැත්තකට වෙලා හිටිය. අපි නෑනෙ ඔය අනවශ්‍ය කතා..ඔන්න මම ආව ඉදිරියට.. 

" හ්ම්ම්ම්. මට දෙන්න නෙළුං බත් එකක්….." 

" හැබැයි මහත්තය ගාන ටිකක් වැඩියි…" 


මිනිහ ගානක් කිව්ව. මට හරියටම කීයද කියල නම් මතක නෑ. ඒත් ඒ දවස්වල දවල් බත් එහෙම ගොයිං රේට්ස් වලට වැඩිය රුපියල් දහයක් විතර වැඩියි කියල නම් මතකයි. 

" ආ. ඒකට කමක් නෑ..නෙළුං කොලේ බත් කන්ට හැමදාම හම්බ වෙනවය... නැද්ද? " 

" අන්න මහත්තයට යමක් කමක් තේරෙනව…" නෙළුං බත් කරු මුව පුරා සිනාසුනේය 

අවට රැස්ව සිටියෝද හිස් සිරස්ව ඉහලට පහලට සෙමෙන් වනා මගේ අදහස අනුමත කළෝය. 

එසඳ මවිසින් මිලදී ගන්නාලද්දාවූ ඒ සියපත පතක බැඳි බත අපගේ සගයින්ගෙන් සැදුම්ලත් පෙරහරක් මඟින් වැඩමවූයේ දිවා අහර විවේකය එලඹෙනතෙක් ඛාද්‍ය ශාලාවෙහි ඉතා ප්‍රවේශමෙන් වඩා හිඳුවන ලද්දාහුය. 

" සිවා..මේ මගෙ නෙළුං කොලේ බත් එක මෙතන තියනවා.හරිද? උඹ හොඳට බලාගනිං ඒක…. ඇහුනද? " 

කාර්ය මණ්ඩලය උදෙසා තේ කෝපි යනාදිය පිළියෙල කිරීමෙහි යෙදෙන තලතුනා සේවකයා අමතා මම අණ කලෙමි.එසඳ උක්ත යුවතියගේ මුවෙහි සෝපහාස මන්දස්මිතියෙක් නැඟෙනු දුටු මම ඇය බැණවීමි. 

" මොකද හිනා වෙන්නෙ? " 

" නෑ, නෑ..මිස්ට රවී මම හිනාඋනේ නෑ.." එසේ පැවසූ ඇය එතෙකුදු නොමැකි මන්දස්මිතිය ද රඳවාගත් වනම එතැනින් නික්ම ගියාය. 

අවසන සියල්ලන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් මොහොත එනම් දිවා ආහාර විවේකය උදාවිය.අවස්ථාවෙහි අගය තව දුරටත් උද්දිපනය කරනු උදෙසාම මම දිවා ආහාරය ගන්නා සුපුරුදු වේලාව මඳක් පසුවන තෙක් රාජකාරියෙහි යෙදී උන්නෙමි.ඇය මගේ කාමරයට හිස පෙව්වාය. 

" මිස්ට රවී අර නෙලුං කොලේ බත් එක කන්නෙ නැද්ද? " මම හිස ඔසවා ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි. 

" මට තව වැඩ තියනව. ඕ ගොල්ලො කන්න මම එනකල් ඉන්න එපා.." 

" නෑ..නෑ..අපි කාල ගොඩක් වෙල.කට්ටිය ඔක්කොම පෑන්ට්‍රි එකේ බලා ඉන්නව මිස්ට රවීගෙ නෙළුං කොලේ බත් එක බලන්න…" 


" ඒ මොකෝ? ඇයි මීට කලිං දැකල නැද්ද නෙළුං කොලවල බත්? " 

" නෑනෙ . අපි කවුරුවත් දැකල නෑනෙ…" 

" හ්ම්ම්..ඒකත් එහෙමද? හරි, යංකො එහෙනං…." මම ඇය සමඟ පහත මාලයට ගියෙමි. 

ඔන්න අන්තිමට කෑම මේසෙ වටේ ඉඳගෙන කට්ටිය බලාපොරොත්තු සහගතව ඉන්න අතරෙ මම අති ගෞරවනීය නෙළුං කොලේ බත් එක විවෘත කලා. ඔතල තිබ්බ පත්තර කොලේ දිග ඇරිය කියමුකො. මම එක පාරක් බත් එක දිහා බැලුව. ඊට පස්සෙ ඔලුව උස්සල වටේ බලං ඉන්න එවුංගෙ මූණු දිහාවෙ බැලුව. උං ඔක්කොම තොල් හපාගෙන හිනාව තද කරගෙන ඉන්නව. 

" මේ මොනවද? මේ නෙළුං කොළයැ?..තේක්ක කොළ දෙකක්නෙ...හිහ්...හිහ්...හී...." යුවතිය හිරකරගෙන හුන් සිනහව අවසන පුපුරාගියේය.

එවුනුත් ඒ මොහොත බලාපොරොත්තුවෙං හිටිය වගෙ ඔක්කොමල එකට හිනාවෙන්ට ගත්ත. 

" ඔය නෙලුං විල් ගාව හරියටවත් තියනව තේක්ක ගස්. එව්වයිං වැටිච්ච තේක්ක කොල වතුර උඩ පාවෙනව බොහොම වෙලාවට. එතකොට ඒ තේක්ක කොලයි නෙලුං කොලයි මාරුවෙන එක ඒ හැටි ගනං ගන්ට දෙයක් නෙවෙයි. " 

මම ජීවිතයේ පළමු වරට එදින ඇස ගැටුණු යලි කිසිදු දිනෙක හමුවෙතැයි අපේක්ෂා කල නොහැකි සියපත පත බත් වෙළෙඳා වෙනුවෙන් විත්ති වාචකය ඉදිරිපත් කළෙමි. 

" හාකො…. අපි එහෙමවත් හිතමුකො …" ඇය සිනහසෙමින්ම නැඟිට කෑම කාමරයෙන් පිටව ගියාය. 

ප.ලි - ඊට සති දෙකකට විතර පස්සෙ දවසක..ඒත් දහයට විතර..ආයෙම මේනකය ආව කඩාගෙන මගෙ කාමරේට 

" ඒයි මචං අන්න අර නෙළුං කොලේ බත් කාරය යනව පාරෙ, වරෙං උගෙං අහන්ට මොකද්ද එදා අර කරපු කැත වැඩේ කියල.." 

" අනේ ඕන නෑ බං..ඔන්න ඔහෙ අල්ලල දාපං...ඔව්ව මොනවද?..." 

 
ප.ප. ලි - පහත මාලයෙහි එදවස වැඩ හුන් ඒ යුවතියගේ ජන්මදිනය සැප්තැම්බර් 19 දිනට යෙදී තිබිණි. මේ ඇය වෙනුවෙන් අවදි වූ මගේ මතක සටහන් සහසක් අතුරින් එකකි.ඇය කවුරුදැයි නොදන්නා වූ පාඨකයින් වෙනුවෙන් ඇය හඳුන්වාදීමට මට අවසර..... ඇය වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි මගේ සමහවුල්කාරිනිය වන රන්දිලාභිධාන ඒ සුවිශේෂී වූ මානවිකාවයි!!! 


සුබ උපන් දිනයක්..රන්දිල් !!!!!!


Wednesday, September 18, 2013

217. කවිකාරියකගේ ප්‍රේමය…..6





කවිකාරියකගේ ප්‍රේමය…..1 

ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ. 

සෝමිල් හන්දි කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා.. 

" අයියෙ මේ තමයි සුජා......." 

පූර්වජ චිත්ත රූප කියල එකක් අහල තියද? ඉංගිරිසියෙං Pre-conceived mental image කිව්වැකි මයෙ හිතේ...ඒ කිව්වෙ මෙහෙමයි. කලින් ඇස් දෙකට නොදැකපු කෙනෙක් ගැන අපෙ හිතේ ඇඳිල තියනව මනස් සිතුවමක්.කටහඬ අහල තියේනම් ඒ අනුව අපි මවාගත්තු රූපකායක් වෙන්න පුලුවන් එහෙමත් නැත්තං ලියාපු ලියවිල්ලක් කවි පෙලක් කෙටි කතාවක් නවකතාවක් අනුව අපේ හිතේ ඇඳිච්චි ආලේඛයක් ( Mind Portrait ) වෙන්න පුලුවන්. ඔය මොකක් හරි දෙයක් හීන්වට ලාවට හරි බොඳ වුනු සිතුවමක් අපේ හිතේ ඇඳිල තියනවනෙ. බොහෝ විට මගෙ හිතේ එහෙම ඇඳුනු පූර්වජ චිත්ත රූප සීයට සීයක් නොවුනත් සීයට අසූවක් තරම හරියටම හරි. 

රයිට්..දැං මේ මම ලියන එව්ව කියවන ඒ ගැන කමෙන්ට් කරන ඔහෙල ඉන්නව නේද? ඔහෙල ගැනත් මයෙ හිතේ ඇඳිල තියනව යම් යම් චිත්ත රූප..ආය මොකටෙයි බොරු කියන්නෙ? ඒත් එකක් කියඤ්ඤං ඒ චිත්ත රූප මොනවද කියල නං අහන්ට එපා...කියන්නෙ නං නෑ මැරූකොට... 

හරි..මේ වැල් වටාරං ඔක්කොම කිව්වෙ මොකටද දන්නවද? මාස හතර පහක් තිස්සෙ සුජාගෙ කවි කියවල ඒ අනුසාරයෙන් මම සුජා කියන්නෙ මේ වගෙ කෙනෙක්ය කියල යම් කිසි විදිහක චිත්ත රූපයක් මයෙ හිතේ කොණක ඇඳිල තිබ්බනෙ. අන්න ඒ මයෙ හිතේ ඇඳිල තිබ්බ චිත්ත රූපෙට හාත්පසින්ම වෙනස් නෙව බොලේ මේ මං ඉස්සරහ ඉන්න සුජා...සයින් ද පීස් සකබෝනා! නයි කයිද රෝස් පාං!! ඌරො බොයිද කැන්විටා!!! ....කිව්වලු. 

මයෙ හිතේ ඇඳිල තිබ්බ සුජාගෙ රූපෙ විස්තර කරන එක පැත්තක තියල මම ඉස්සරහ මේ ප්‍රාදුර්භූත වෙලා ඉන්න සුජාගෙ විස්තරේ කිව්වොත් ඒක වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ... 

සුජාතා කොටයි...සාමාන්‍යයෙන් ඔය රූමත් කියල පොදුවෙ පිළිගන්ට නම් ගෑණු දරුවන්ගෙ තියනවනෙ ඇඟේ හැඩයක්.. 

" හෝරාමානකයක් මෙන් වූ ඇගේ සුකොමල දේහය නෙත ගැටුණු වහා උදෑසන නිල්දියෙන් මතුව එන්නාවූ තඹරු කුසුමක් සේ පිබිදුනු පසේනදී කොසොල් රජ්ජුරු තෙමේ එකෙණෙහිම රජ පුරුෂයින් බැණවූයේ....." 

ඔන්න ඔහොමනෙ තියෙන්නෙ ජාතක කතාවල...එතකොට ආය කියන්නෙ සිසිවන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන,ඔහොම හැඩරුව තියෙන කාන්තාවියො හිටියනං මං හිතන්නෙ ජාන විකෘතියක් වෙන්න ඕන...උපමා කියන්නෙ ටිකක් ඔය ලුණු ඇඹුල් කාරිය දාල කියන එව්ව තමයි. ඒත් මොක උනත් ඒකෙ තියෙන්න ඕන තිරිත්තමක්... 

ඔය සාමාන්‍යයෙන් බරවාහන කැටගරි එකට වැටෙන ලලනාවන්ගෙ ඇඟේ හැඩෙත් හෝරාමානකයක් වගෙ කියල කියන්ට බැරිකමක් නෑ.ඒත් එහෙම හෝරා මානකයකින් මනින්ට වෙන්නෙ තත්පර තමයි.උඩ ඉඳල පහලට එකම විෂ්කම්භය තියෙන වීදුරු සිලින්ඩරේකට වැලි දාල වහල උඩු යටිකුරු කලාම සරාස් ගෑවිල්ලෙ වැලි ටික වැටෙනව පල්ලෙහට. එක තත්පරයයි ඒ විදිහට මනින්ට පුළුවං.. 

සුජාතා කොටයි. ඒ වගේම ටිකක් විතර මහත පැත්තට බරයි..අර පිරිපුන් යුවතියන්ය කියන්නෙ..අන්න ඒ මොඩල් එක.හැබැයි බොහොම හුරුබුහුටියි..පෝටබල් සයිස්...ඒත් ඒ ඔක්කොටම හරි යන්න වත පුන්සඳ සේමා...ඒත් ඒ කෙල්ලගෙ එක පාරටම බැලූ බැල්මට හිතේ ඇඳෙන්නෙ ..මොනවද දන්නවද?....වෙන මොකවත් නෙවෙයි ඇස් දෙක...සුජාගෙ ඇස් දෙක හීනියි දිගයි. ඒත් ඇස් වල හැඩේට වඩා වැදගත් එයාගෙ ඇස් ඇවිල්ල කතා කරන ඇස්...කතා කරන ඇස් දැකල තියද?...දැකල තිබ්බට විතරක් මදි ඇත්තම කිව්වොත්...කතා කරන ඇස් වලට කතාවක් කියල තියනවද?...නැත්තං කතා කරන ඇස් කියන කතාවක් අහං ඉඳල තියනවද? 

මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා... 
නුඹේ කතාකරන දෑස මතක් වෙලා... 

දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට, 
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ... 

කතාකරන ඇස් කියන කතා අහන්න මම කොහොමත් ආසයි. 
කටින් කියන කතාවලට වඩා ඇස් වලින් කියන කතා කොහොමත් හෘදයාංගමයි..ලෙන්ගතුයි..සෙනෙහෙබරයි....

ඔය වගෙ දහසකුත් එකක් කල්පනා මගෙ හිතේ ඉපදිලා ඉතිරිලා යද්දි මම ගල් පිලිමයක් වගෙ බලාහිටිය කිසිම නිනව්වක් නැතුව. 

" අයියා..මොකෝ මේ තක්කු මුක්කු වෙල වගෙ? …" විජිත කියනකොට ඔන්න මම ආපහු ආවෙ කදුරුවෙල ස්ටේසම ඉස්සරහට. 

" ආ..නෑ..මල්ලි ..එතකොට මේ..මේ.... තමයි සුජාතා නේද?..." මම සුජා දිහා බලල හිනා උනා.... 

" ඔව් මම තමයි සුජාතා…" එයත් මුව පුරා සිනාසුණා… 

" එතකොට කෝ..මේ? ……" එහෙම කියන ගමං මම වටපිට බැලුව.. 

" මොනවද?...." සුජාගෙ නලල රැලිඋනා..ඇස් හීන් උනා… 

" නෑ මම මේ බැලුවෙ කෝ කිරිපිඬු පාත්තරේ කියල...." 

" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම.... 

ඔය වාගෙම එක වංගියටම මල් වෙඩිල්ලක් පිපුරුනා වගෙ හිනැහෙන තවත් එක් කාලයක මා දැන හඳුනාගෙන සිටි තවත් එක යුවතියක් මාගෙ මතකයට ආවෙ මගෙ හිතටත් නොදැනීම.... 

නුවර බේක් හවුස්ද, ලියෝන්ස් ද වයිට් හවුස් ද කියල අනන්ත රෙස්ටෝරන්ට්ස් ඒ කාලෙ ඉඳලම තිබ්බ නම් තමයි. ඒත් මේ යන්තං ගෙදරිං ඉල්ලගන්න දෙකයි පණහෙං ජීවත්වෙන අපට කොහෙද එව්වට යන්ට විදිහක්..සිංහල ජාතික හෝටලේට ගිහිල්ල පරිප්පු වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්ට විතරයි අපි දෙන්න අතේම සල්ලි තිබ්බෙ. එහෙම කරන්නෙ ගම්පොළට කෝච්චියෙ ගිහිල්ල ආපහු එන්ට සල්ලි ඉතුරු කරගන්ට ඕන නිසා. ඉබ්බෙක් ගහන එක මහ කජ්ජක් නොවුනට කරුමෙටවත් එයයි එක්ක යනකොට බාප්පල පැනල මාට්ටු උනොත් ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්, 

ඉබ්බෙක් ගැහිල්ල , හාෆ් ඉබ්බෙක් ගැහිල්ල සහ කැස්බෑවෙක් ගැහිල්ල කියන එව්ව දන්නව නේද? හරි අපි දන්නව කියල හිතාගෙන හිටියට මේ වගෙ ඉතා වැදගත් සාස්ත්‍රීය කරුණු කාරණා උනත් දන්නෙ නැති අය අපි අතරෙ අනන්ත ඉන්නව. 

රයිට් වියුණු ලිවීමේ එක පරමාර්තයක් තමයි දුහුණන් දැනුම් උදෙසා...එබැවින් ඉබ්බා , හාෆ් ඉබ්බා සහ කැස්බෑවා ගහනව කියන්නෙ මෙන්න මෙහෙමයි.... 

ඉබ්බෙක් ගහනව කියන්නෙ විසේසයෙම්ම බස් එකේ නිකං යන එක. හාෆ් ඉබ්බ කියන්නෙ මඟට ටිකට් ගන්න එක. ඒ කිව්වෙ කොටුවෙං මරදානට ටිකට් අරගෙන බොරැල්ලට යන එක. කැස්බෑව ගැහිල්ල ඔයිට වඩා ෆුල් සිරා. ඒ වැඩේ බෑ ලේසි පාසු පුතයෙකුට.ඒකට තියෙන්ට ඕන ආත්ම ගානක ඉඳල පුරාගෙන එන වීර්ය පාරමිතාවක් සහ දහිරියක්. ඒ කිව්වෙ ළමයි කැස්බෑවො ගහන්නෙ මෙහෙමයි. ඔය ටිකෙට් නොදෙන බස් වල තමයි ඕක කරන්ට පුලුවං..ඔන්න ඉබ්බෙක් ගහගෙන ඇවිල්ල බහින්ට යද්දි යනව කොන්දොස්තර ගාවට. 

" මේ මම ඉස්සරහ බහිනව..මගෙ විස්සෙ ඉතුරු දෙනවද? …" කිසිම බයක් හැකක් නැතුව කෙලිම්ම කොන්දගෙ මූණ බලාගෙන ඔහොම කිව්වම අනිවාර්යයෙං කොන්ද ඉතුරු දෙනව.. 

" කොහෙන්ද නැග්ගෙ? " 

" රාජගිරියෙං….." 


" ඒයි අද යමං තෝස පාරක් දාන්ට. එකසිය හැත්තැ හයේ අද මට කැස්බෑවෙක් වැඩ කලා…" 

අද අපෙ ගෙදර තියෙන්නෙ නුවර - ගම්පොළ රේල් පාර පේනතෙක් මානෙ...අවුරුදු ගානකට ඉස්සරවෙලා සතියකට සැරයක් දෙසැරයක් ගම්පොලට කෝච්චියෙ යද්දි එද්දි ඒ කිට්ටුවම මට පදිංචියට එන්ට වෙයි කියල කවුද හීනෙකිංවත් හිතුවෙ...ජීවිතේ හැටි එහෙම තමයි... 

මම ඔය කැළේ මැද රස්සාවට තේරිලා ලියුම ආවෙ බදාද වගෙ දවසක. සතියෙ මැද කියලනම් හොඳටම මතකයි. ඊළඟ සඳුදා සේවයට වාර්තා කරන්න කියලයි තිබ්බෙ. බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ කාලෙ තිබ්බෙ නුවර ඔරලෝසු කණුවට උඩ පැත්තෙ. 

සිකුරාද ඕකෙ තිබ්බ ඔය තරුණ වයසෙ යව්වන යව්වනියන්ට ඉංග්ලිෂ් ක්ලාස් එකක්. අරය ඕකට ආව එක දවසක්වත් වරද්දන්නෙ නැතුව.එයයිගෙ මේ ඉංගිරිසි පංතියට තිබ්බ ආසාව කොච්චරද කියනවනං මම ඉන්ටඇති වරු ගණං නුවර මාර්කට් එක ඉස්සරහ එයයි ක්ලාස් ඉවර වෙල එනකල්. 

" ඔයත් එන්ටකො අනේ අපෙ ක්ලාස් එකට…" 

" අනේ...මේ මට ඔය කට උල් කොරගෙන තොල් අඹර අඹර ඉංගිරිස් කියන්ට ඕනෙ කමක් නෑ කොහෙත්ම. මම මේ දන්න හරිය ඇති හොඳටම…." .ක්ලාස් එකට මටත් එන්ටෙයි කියල එයයි ආරාදනා කරපු හැම වෙලාවෙම මම උත්තර බැන්දෙ එහෙමයි. 

" ඔව් ඉතිං ඔයා නම් මොකද? ඕන එකක් කියාපං මොනවා හරි කියයි... අර කිතුලට ගියයි කියන්නෙ හැබෑටම ඔහෙලගෙ කිරි අත්තෙක්වත්ද?..." එයා ගස්සල අහක බලා ගන්නව ඒ වෙලාවට...හෙහ්,හෙහ්. 

ඉතිං අර රක්සාවට එන්ටේ කියල පත්තීං ලියුං කරදහිය එහෙම හම්බවෙලා ඊළඟ සිකුරාදත් එයයි ආව නුවර. ඔරලෝසු කණුව ගාවා බස් එකෙං බහිනකොට මම එතන. 

" මේ අද නං නෑ, බෑ, මොකවත්ම බෑ ඔන්න, මම සඳුද ගියහම ආය එන්නෙ මාසෙකිනුත් පස්සෙ වෙන්ටත් පුළුවනි බොහොම වෙලාවට... ඔහෙට ඕන තරං කල් තියෙනව කට අඹරන්ට උල් කරන්ට හිතේ හැටියට..ඒ නිසා අද වැඩ කෙරෙන්ට ඕන මම කියන විදිහට..තේරුණාය?..." 

" එසේය මහරජතුමණි...ඔබ තුමාගේ අණ කුමක්වේද? ඒ එකහෙලා පිළිගැනිමට මේ ගැත්තිය තනි පයින් සූදානම්බව ඔබ නොදන්නෙහිද? වහා පවසනු මැන ඔබ තුමාගේ රුචිය…" 


වක්කඩ කඩච්චාවෙ මේකි කියාගෙන කියාගෙන ගියෙ නැද්ද?...මේ දෙනෝ දාහක් ගැවසෙන මහ ටවුම මැද්දෑවෙ...ආය හෙමිහිට එහෙමත් නෙවෙයි...අහල පහල ගෑණු මිනිස්සුත් හැරිල බලන්ට ගත්ත මේ මොකද මේ කෝලම කියලද කොහෙද....එහෙම කියල නිකා හිටපිය..අර ජපන්නු ආචාර කරනව දැකල තියනව නේද? අන්න එහෙම පපුව දිහාට අතක් තියල ඉණෙං ඉස්සරහට නැමිල ආචාරත් කරපි. 

මට නේද?...උන්න මලා පේන්නෙ නැතුව ගියා තද වෙච්ච පාර...ඇයි දෙයියෝ සාක්කි..අඳුරන කවුරු හරි දකීය කියල මම මේ බයේ දඟලනව මේ අම්මණ්ඩිට කිසිම ගාණක් නෑ මේ සෙනඟ තලේ අස්සෙ විකාර කරනව.. 

මම රවපු පාරට වෙන කෙල්ලෙක් එහෙමනං බිරාන්ත වෙල එතනම කලංතෙ දාල වැටෙනව සිකුරුයි..මොන? මේ අම්මණ්ඩි හරියට මල් වෙඩිල්ලක් පිපුරුවැහෙ කැකිරි පලන්ට ගත්තෙ නැතෑ.. 

" මෙන්න මෙහෙ එනව යන්ට….." මම උන්දැගෙ අතිං ඇදගෙන ගියා ස්ටේෂන් එක දිහාවට...හිනාවෙවීම ඒ යෝදිත් මයෙ පස්සෙම ආව මිසක අත අතෑරියෙ වත් නෑ... 

" A penny for your thoughts " සුජාතගෙ කටහඬට මම ආපහු පියවි ලෝකෙට ආව… 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 

අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

මතු සම්බන්ධයි...... 

Friday, September 13, 2013

216. කවිකාරියකගේ ප්‍රේමය…..5

Image - Dominique Amendola.com


කවිකාරියකගේ ප්‍රේමය…..1

කවිකාරියකගේ ප්‍රේමය…..4 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 

මිදුලෙ ටිකක් එහාට මෙහාට ඇවිදල පිට පැත්තෙංම ගිහිල්ල පිටිපස්සෙ ටැංකියෙං මූණත් ටිකක් හෝදං කාරිය ආපහු මම සාලෙට ගියා. විජිත අර මම බල බල උන්නු පොත පෙරල පෙරල හිටිය. 

" ඉතිං මලේ?..මොකෝ දැං කෙරෙන්න ඕන?.." 

" ආයෙම අයිය ලව්ව කවියක් දෙකක් ලියව ගන්න ඕනෙ කියල හිතලයි මම මේ ආවෙ අයියෙ.." ඌ ඔලුව උස්සල මගෙ මූණ දිහාවත් නොබල බිම බලාගෙනයි ඔය ටික කිව්වෙ... 

" කවියක් දෙකක් ලියන එක නම් ඒ හැටි දෙයක් නෙවෙයි බං ..ඒත් මම අර කලිම්ම උඹට කිව්වෙ...මයෙ හිතට හරි නෑ බං...කොහොම උනත් මොන චේතනාවෙන් උනත් කවුරුහරි රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි කියලමයි මට හිතෙන්නෙ…" 

" නෑ අයියෙ මම දිගටම මෙහෙම කරන්නෙ නෑ...ඉක්මනටම එයාට ඇත්ත කියනව. අනේ අයියෙ...මට මේ උදව්ව කරල දෙන්නකො…" 


ඇත්තටම මයෙ හිතේ කොණක පොඩි පහේ විචිකිච්චාවක් තිබ්බ නම් තමයි. ඒත් කාලෙකට පස්සෙ කවියක් ලියන්ට මේ අහම්බෙන් ලැබිච්චි අවස්තාව පැහැර හරින්ටත් මගෙ හිතේ තිබ්බෙ ලෝබ කමක්. 

කවි කියන එව්ව ඔය නිකම්ම හිත අයාලේ යනකොටත් ලියවෙනව.ඒත් බොහොම හැඟීම්බර කවි ලියවෙන්නෙ හිත එක අරමුණක තියාගෙන ලියනකොට. සුබා එක්ක සෙනෙහෙන් බැඳිල ගෙවපු කලෙ මගෙ අතින් කවි ලියවුනෙ දුන්හිඳෙන් වතුර ගලන්නැහෙ. ඒ ලෙංගතුකම මැකිල ගියත් හරි මගෙ කවි හිතත් හිඳිලම ගියාද කොහෙද?..ඒ නිසා ආයෙම අරමුණක් ඇතුව කවි ලියන්න ලැබිච්ච අවස්තාව මඟ නොඅරින්න මම තීරණය කලා, අරමුණ මගේ පෞද්ගලික අරමුණක් නොවුනත්. අනික සොඳුරු යුවතියක් එක්ක කවි ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්නෙ මොන මෝඩයද? 

වසන්තය දෝතට රැගෙන විත්, 
කණක තරුවක් දිලි විලාසෙන, 
අනන්තය තෙක් ඇවිද යමු සිත්, 
මලක රැඳි රොන්සුණු සිනාසෙත, 

සියපතක ඉසි පිණි බිඳක රැඳි, 
හිරු කිරණ ඉඳුසැව් මැවෙන්නේ, 
වැහිපොදක නිරුදක කතර බිඳි, 
පිරූ සෙනෙහස හද පිරෙන්නේ,
 
කතාකරනා දෑස අබියස, 
විපිලිසරවී මහද ගොළුවෙත, 
තොලග රඟදෙන සිහින් මදහස, 
මිහිරි කවියකි සිත්පහන්වෙත,

බවකතර දුර ගෙවා ආ මඟ, 
සොඳුරු ළඳ නුඹ හමුවුනේ, 
නතර වූයෙමි ඔබේ නෙතුලඟ, 
තමරු විල්තෙර පිබිදුනේ, 


මේ එදා මම ලිව්ව කවිය...මත්පැන් ගැන විජිත ඇහුවෙත් නෑ..මට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ....කවි සංකල්පනා බිහිවෙන්න හිත බාගෙට මත්වෙන්න ඕනය කියන කියමන මම අහල තියනව. ඒ කතාවෙ යම්තාක් දුරට ඇත්තකුත් තියෙනව. හැබැයි එක කාරණයක් තියනව. මත්වෙනව කියන්නෙ මත්පැන් වලින්ම වෙන්න ඕන නෑ..ආදරෙන් සෙනෙහසින් මත්වෙනව කියන්නෙ මත්වීමක් තමයි. බොහොම වෙලාවට ආදරෙන් සෙනෙහසින් මත්වීම මත්පැන්වලින් මත්වීමට වැඩිය බලගතු වෙන්න පුලුවන්. 

ඊට පස්සෙත් සුජාගෙ කවි වලට මම පිළිතුරු කවි ලිව්ව...ඒ ලියපුව ඔක්කොම මෙතන ලියන්ට ගියොත් මේක කවි මඩුවක් වෙනව තනිකරම... ඒ නිසා කවි දැං ඔය මදැයි නේද? විජිතයගෙං ඊට පස්සෙ හැමදාම නම් අපි බොන්ට ලෑස්ති උනේ නෑ...ඒත් ජයේගෙ විමලෙගෙ අතේ සල්ලි නැතිඋනාම " ඒයි මල්ලි මේ...අරං වරෙං බෝතලයක්..නැත්තං අද උඹට කවි නෑ..හරී? " ඔන්න ඔහොම පොඩි තර්ජනයක් දාල උං බෝතලයක් දෙකක් මරාගත්ත.ඒත් ඒ වෙනකොට ඒ බොන සිහියක් නම් මට තිබ්බෙම නෑ. අර කෙල්ල සුජා එක්ක කවි ගනුදෙනුවට මම වහ වැටිල හිටියෙ. 

ඔය විදිහට මාස තුන හතරක් ගියයි කියමුකො. ඊට පස්සෙං පහුත් දෙතුං පාරක්ම මම විජිතයට අර වැඩේ මතක් කලා. වැඩේය කිව්වෙ මේ කරන බහුරූ කෝලම ගැන ඇත්තම විස්තරේ ගෑණු ළමය එක්ක කියන එක..හා අයියෙ මම කියඤ්ඤංකො මම කියඤ්ඤංකො කිව්ව මිසක ඒක එහෙම කියනව තියා ඒ ගැන තුං හිතකිංවත් හිතන පාටක්වත් පේන්ට නම් තිබ්බෙ නෑ... 

ඔහොම ඔන්න එක දවසක මයෙ කාමරේ මේසේ ඉඳගෙන මම කවියක් ගලපමින් හිටිය. 

" ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට...."' මම හෙමිහිට තොල මැතුරුවෙ ඊලඟ පදේ ගැන අදහසක් ගන්න හිතාගෙන. 

විජිත මගෙ ඇඳේ ඉඳගෙන මා දිහා බලා උන්න යන්තමට හිනාවීගෙන. 

" අයියෙ මම අයියගෙන් කාරණාවක් අහන්න මට ඇත්තම කියනවද?..." 

" ම්ම්ම්..ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට කිව්වොත්ද වඩා හොඳ ගඟුල ගැලු ඉම් කොණක් නොම දැක කිව්වොත්ද?...ඉම් පෙදෙස් පසුකොට..ඉම් කොණක් නොම දැක…" 


පස්සට වෙලා පුටුඇන්දට හේත්තුවෙලා අත්දෙකත් පපුවට බැඳගෙන මම කල්පනා කරන්ට ගත්ත. 

" අයියෙ මේ?....මම කියපු එක ඇහුණද? " 

" ඉම් පෙදෙස් පසුකොට කියල දැනට ලියමු. පස්සෙං පහු එන විදිහක් බලල වෙනස් කරන්ට බැරුවය ඕන්නං?..." මම මටම කියාගත්ත හෙමිහිට. 

" ආ..මලේ උඹ මොකවත් කිව්වය?...මම විජිතය දිහාවට හැරුන.." 

" කිව්ව නේන්නං ..මම ඇහුවෙ අයියට සුජාගැන මොකද හිතෙන්නෙ කියලයි… " 

එක පාරටම උත්තරයක් දීගන්ට බැරුව මම ඒකගෙ මූණ දිහා බලා ඉන්ටැති මයෙ හිතේ එක විනාඩි බාගෙයක් විතර. 

" ඇයි මලේ...ඇයි උඹ එක පාරටම ... එහෙම ඇහුවෙ? …" මම අන්තිමට කියා ගත්ත. 

" නෑ අයියෙ මම ගොඩක් දවසක ඉඳල හිටියෙ අයියගෙන් මේ ගැන අහන්ට…" 

හ්ම්ම්ම්ම්.......ඇත්තටම මගෙ හිතේ සුජා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?...මාස තුන හතරක් වගෙ කාලයක් තිස්සෙ මම එයාට කවි ලියනව..එයා මට කවි ලියනව..නීතියෙ තියනව පෙරකලාසි කියල එකක්..ඉංගිරිසියෙන් කියන්නෙ By Proxy කියලයි. ඒ කියන්නෙ කවුරු හරි වෙනුවට අදාල කටයුතු කරන්ට නීත්‍යානුකූලව අවසර දුන්නයි කියන එක.එතකොට මම කවි ලියන්නෙත් එහෙමද? පෙරකලාසියක් මත කවි ලියමි..හෙහ්, හෙහ්..ඒකත් නරකම නෑ...මට හිනහවකුත් ගියා. 

ඔබේ නමින් ලියවුනු කව්,
අකුරු කලේ මමයි ලඳුනි,
එනමුදු කිසි දිනෙක එබැව්,
හඟවනු නොහැකිව ලතවෙමි....

" සුජා කැමතියි කිව්ව අයියව මුණ ගැහෙන්ට…"එක පාරටම විජිතය කියාපි. 

මම නේද...අර කරකෝල අතෑරිය කියන්නෙ..අන්න ඒ වගේ උනා.. 


" ඈ...ඒ කියන්නෙ මලේ උඹ මම ගැන ඒ කෙල්ලට කිව්වද? " 

" කිව්වයි කියන්නෙ ඔය කවි ලිවිල්ල ගැන මොකවත් නං කිව්වෙ නෑ තාම..මම එයාට කිව්වෙ මෙහෙමයි., මගෙ හොඳ යාලුවෙක් ඉන්නව..එයත් ඔය කවි එහෙම ලියනව ...එහෙම කිව්වම තමයි එයා කිව්වෙ අඳුනගන්න කැමතියි කියල..මොකද අයිය කියන්නෙ? …" 

එක පාරටම මට උත්තරයක් දෙන්න බැරුව මම ටික වෙලාවක් ඇස් දෙකත් පියාන කල්පනා කලා අත් දෙකත් පපුවට බැඳ ගත්තු ගමංම. 

සුජා මුණ ගැහිල කතා කරන්ට හිතේ කොණක පොඩි ආශාවක් නොතිබුනේම නැති උනත් ආයම නිකං බයක් වගෙ හැඟීමකුත් ..බයක්මත් නෙවෙයි මේ දෙගිඩියාවක් වගෙ හැඟීමකුත් මගෙ හිතේ පිරිල උතුරන්න ගත්ත. 

" ඕන නෑ මල්ලි..පස්සෙ බලමුකො.." මම එහෙම කියල ප්‍රශ්නෙං මඟ ඇරිය එදා. 

ඊට පස්සෙං පහුත් තුං හතර පාරක් ඔය සුජා මුණගැහෙන එක ගැන විජිත මතක් කලත් මම ඔය ඒ වෙලාවට මොනවහරි කියල ඒක මඟඇරියා. 

ඔය වෙනකොට අපි කට්ටිය හතර පස්දෙනෙක් අර්ධ කාලීන කාර්මික විද්‍යාල පාඨමාලාවකුත් කලා අපේ වෘත්තියට සම්බන්ධවම.සති අන්තයෙ පාඨමාලාව පැවැත්වුනේ. අපි බොහෝවිට සිකුරාදා හවස් වෙලා ජීප් එහෙකින් කදුරුවෙලට ඇවිල්ල කොහෙහරි කිට්ටු යාලුවෙකුගෙ ගෙදර රෑ නතර වෙලා පහුවදා උදෙන්ම යනව අර කිව්ව පාඨමාලාවට. 

විජිතය බොහොම වෙලාවට සිකුරාද හවස ගෙදර යනව….සිකුරාද ඉස්කෝලෙ ඇරිල එහෙම්මම සුජාත් එක්කම එකට බස් එකේ යන්ට පුලුවන් නිසා මනුස්සය මොක කරල හරි සිකුරාද හවස පනිනවමයි..... 

දවසක් හෙනහුරාදාවක පාන්දර මම ලෑස්ති වෙලා කදුරුවෙලට යන්ට ජීප් එකට නඟිනකොට මෙන්න ව්ජිතයත් ඉන්නව ජීප් එකේ පිටිපස්සෙ. 
" ඇයි බං උඹ සිකුරාද හවහට නේද වෙනද ගෙදර යන්නෙ?..." 

වාඩි වෙලා කරේ එල්ලං තිබ්බ මගෙ ට්‍රැවලිං බෑග් එක අතට අරගෙන උකුල උඩ තියාගන්න ගමං මම ඇහුව… 

" නෑ අයියෙ ඊයෙ මට හදිස්සි වැඩක් තිබ්බ.." ඌ හිනාවෙන ගමං කිව්ව. 

" එතකොට අර ළමය? …." මම හීං සැරේ විජිතයගෙං ඇහුව. 

" ආ..එයා ඊයෙ යන්ට ඇති.." විජිත ඕනවට එපාවට වගෙ කිව්ව… 

කදුරුවෙල ස්ටේෂන් එක ඉස්සරහ අපි බහිනකොට හයට තරම ඇති..යාන්තමට වටපිට එලිපෙහෙලි වේගන එනව.බස් එකින් එක ඇවිල්ල පටවං ආපු සෙනඟ බස්සනව. තඹාල, ඕනෑගම, සේවාගම..ඔය අතරෙ එනව බී.ඕ.පී 400, බී.ඕ.පී. 317 කියල බෝඩ් ගහගත්තු බසුත්. 

අපි රස්සාවට ගිය අලුත ඔය B.O.P. කේස් එක අපිට මහ හිනා කන වැඩක්. මොකද ඊට කලිං අපි දන්නෙ BOP කියල අර තේ වර්ගය විතරයි.Broken Orange Pekoe...ඔය බී.ඕ. පී කියන අකුරු තුනට අපේ එවුං හදල තිබ්බ මරු නමක්. මෙතන කියන්ට නම් බෑ ඕන්න ඒක...පුළුවන් කට්ටිය හිතාගන්ටකො...හෙහ්, හෙහ්, 

හරි ඉතිං දන්නවය ඔය B.O.P. කියල ගං වලට නං වැටුනෙ කොහොමද කියල?...තිස් හතළිස් ගනංවල ඩී. එස්. සේනානායක මහත්තය කෘෂිකර්ම ඇමතිකාලෙ ඔය රජරට පුරාම ගොවි ජනපද පිහිටෙව්වනෙ.එතකොට පදිංචි කරපු මිනිස්සුන්ට කුඹුරු සහ ගොඩ ඉඩං මැනල වෙං කරල දීල තියෙන්නෙ කට්ටි කැඩීමේ පිඹුර අනුව.ඒ පිඹුරු කතා ආවෙ මේ ඊයෙ පෙරෙයිද නෙව. ඒ කාලෙ ඔය සිංහල නං තිබිල නෑ..ඉංගිරිසි නම විතරයි. Blocking out Plan..... 

අන්තිමට උනේ බ්ලොකිං අවුට් ප්ලෑන් එකේ නොම්මරේ අනුව ඒ ගමටත් ඒ නමම වැටිච්ච් එක.තව ඔය යාය කියල කියන්නෙත් ඒ වගෙ ජනපදවල ගම් හඳුන්වන්ට යොදාගත්තුනම්...යාය කියල සිංහලෙං කියන්නෙ ට්‍රැක් කියන වචනෙට..ට්‍රැක් 8, ට්‍රැක් 16, ට්‍රැක් 32, ට්‍රැක් 41 අන්න ඒ වගෙ. 

යාය කියනකොට මට මතක් වෙනව අපූරු සිංදුවක්..ගායකය එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි..උපාලි රන්තිලක...ඒත් අපූරු සිංදුව...කාලෙං කාලෙට මගෙ ප්‍රියතම ගීත තිබ්බ...දෙදාස් දෙකේ විතර මම නිදාගන්න වෙලාව ඇරුනු කොට අනික් හැමවෙලේම , නානකොට..කන බොනකොට විතරක් නෙවෙයි සරීර කෘත්තිය කොරන එකත් කලේ මේ සිංදුව කියන ගමං...හෙහ්, හෙහ්, 

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි 
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි 


ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ. 

සුජා ඉගැන්නුවෙ බී.ඕ.පී. 317 ඉස්කෝලෙ...

සෝමිල් හන්දි, කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා.. 

" අයියෙ මේ තමයි සුජා......." 

මතු සම්බන්ධයි......



Thursday, September 5, 2013

215. කවිකාරියකගේ ප්‍රේමය…..4



කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

පහුවදා පාන්දරම මට ඇහැරුනා...මයෙ හිතේ පහට වාගෙ..කලින් දවසෙ රෑ ටිකක් විතර වැඩිවෙන්ට බිව්වම මට ඔය වගෙ පාන්දර ඇහැරෙනව දරුණු තිබාසෙකුත් එක්ක. 

මයෙ ඇඳ ලඟ අතට අහුවෙන මායිමේ කොයි වෙලාවෙත් ටෝච් එකක් තියනවමයි.අපි ඔය කැළේ මැද්දෑවෙ ගතකරපු කාලෙ වැඩි හරියක් නිල නිවාස වලට ලයිට් තිබ්බෙ නෑ. ජෙනරේටරයක් දානව හවස හයේ වගෙ ඉඳල රෑ එකොළහ වගෙ වෙනකල්. ඊට අමතරව කට්ටිය දවල් කෑමට ආපහු එන වෙලාවට ඒ කිව්වෙ දොළහෙ ඉඳල දෙක දක්වා වගෙත් ජෙනිය දානව. 

ඊට අමතරව ඉතිං ඔය නැඟල යන පාටියක් වගෙ වෙලාවට ලොක්කට කියල පර්මිෂන් අරගෙන පැයක් වාගෙ ජෙනිය දාගන්නත් පුලුවන්.රෑ ඇහැරෙනකොට පට්ට කලුවර නිසා මගෙ ඇබ්බැහියක් වෙලා තිබ්බෙ ඉතිං ඔය ටෝච් පොල්ල අතට අහුවෙන මානෙ තියාගන්න එක.තව හේතුවක් ඇවිල්ල සරපයො..

ඔය අපි හිටපු දිහාවල සරපයො කියන ජාතිය ඕසෙට. කැලෑව මැද්දෑවෙ සරපයො ඉන්න එක ඉතිං කියන්ටත් දෙයක්ය ආය ..නැද්ද? අර ලේ මාපිල්ලු එහෙමත් එහෙ හිටියයි කියනව...ඇත්තම කිව්වොත් මම නම් දැකලම නෑ. ඒත් දැකපු එවුං කියන විස්තර මම අහල තියනව. 

ඔය ලේ මාපිල්ලු කියන ජාතිය එනවයි කියන්නෙ හත්දෙනා ගානෙ. එකා පස්සෙ එකා වැඩිමහළු අනුපිළිවෙලට.ඇවිල්ල නඟිනව වහලට. වහලෙදි එවුං එකා එකා අනුපිළිවෙලට වලිග හපාගන්නව එකිනෙකාගෙ.... අන්තිමටම හත්වෙනියගෙ වලිගෙ හපාගන්නව මුල් එකා. දැන් මාපිල්ලු හත්දෙනා ඉන්නෙ රවුමට .... 

කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නව ඇති නේද බෙන්සීන් අණුවෙ ව්‍යුහය..අන්න ඒ වගේ...අර කවුදමේ?? ......ආ, හරි කෙකුලේ නෙ ඒ වැඩේ හොයාගත්තෙ...කෙලුලේට ඔය දාම අණුවක ව්‍යුහය පිළිබඳ අයිඩියානන්ද එක ආවය කියන්නෙ ඔය අපි වගේම ටිකක් අත වැඩිවෙන්ට දාගෙන හතරගාතෙ දාල බුදියං ඉන්නකොට පෙනිච්චි හීනෙකිං කියනවනෙ...අහල ඇති නේද?...හරි...කලිං අහල නැතත් කිසි අවුලක් නෑ..දැං ඇහුවනෙ....හෙහ්, හෙහ්,... 

හරි බෙන්සීන් සහ කෙකුලේ ගැන ඒ ඇති..බෑක් ටු මාපිලාස්.....ඊට පස්සෙ වෙන්නෙ පල්ලෙහා කවුරුහරි නිදාගෙන ඉන්න කෙනෙකුගෙ හරියටම බෙල්ල කෙලින් පරාලෙක අර එක මාපිලෙක් වල්ගෙ පටලෝ ගන්නව.ඊළඟට මාපිල්ලු රෝදෙම දිගඇරීගෙන වැටෙනව පල්ලෙහාට..අන්තිම එකා නිදාඉන්න මනුස්සයගෙ බෙල්ලෙ බල නහරෙට විදල ලේ බොනව. 

ඔය මාපිල්ලු ලේ බොනවයි කියන්නෙ බල නහරෙං විතරලු. බල නහරෙ නැත්තං එහෙම කිසි අවුලක් නෑ. ඔය මුල්ම කාලෙ අපේ ඔය වියාපූර්ති පටංගත්තු මුල්ම කාලෙ.... මම මේ කියන්නෙ හැත්තෑවෙනි දසකයෙ මුල් බාගෙ.... බඳව ගත්තයි කියන්නෙ බල නහරෙ නැති උදවිය විතරයි. උප්පැන්න සහතිකේ, අධ්‍යාපන සහතික ඊළඟට බල නහරෙ රහිතයි කියල වෛද්‍ය සහතිකේකුත් අනිවාර්යයයිලු ඒ දවස්වල.විමලෙය තම්යි ඕව කියන්නෙ...ඉන්නකො විමලෙගෙ වාං පතුල් කතාවලදි ඒ විස්තරේ කියන්නංකො....හෙහ්, හෙහ්, 

අඩේ පඳුරු තලන්නෙම නෑ නෑමයි කියල එක හිත් හිතාන හිටියට පොඩි පඳුරකුත් තැලුන නේද? හරි එකොළොස්වෙනි සිල්පදේ සමාදං වෙන්න ඕන ව.ක්‍රී.ප.ගෞමාන්වික මණ්ඩලීකරණං වේරමණී සික්ඛා පදං සමාදියාමී..... කථා අවසන්කිරීමෙහිලා බෙහෙවින් බාධා පමුණුවන ගොමු මැඩලීමෙන් මම වැළකෙමි....අන්න දැං හරි...ඒ ඇවිල්ල එකොළොස්වන සිල් පදය. 

රයිට් ආපහු ටෝච් එකේ කතාවට....මම කිව්වනෙ ඔය ටෝච් එකේ වැඩේ මට පුරුද්දකට ගිහිල්ලයි තියෙන්නෙ කියල. ඒ වගේම තමා කුඩෙත්.ඔය අපෙ ගෙවල් පැත්තට වහින්නෙ මේ හිටපු ගමං...ගෙදරිං දොට්ට බහිනකොට නිල්ම නිල් පාට ආකහේ...එක වළාකුලක් නෑ ආසාවට...මෙන්න විනාඩි පාළහක් යන්ට වෙන්නෙ නෑ..කළු කරගෙන වහිනව මොර හූරන්ට....වැස්සට තෙමෙන එක වගෙ මට විඳින්ට බැරි දෙයක් නෑ මේ තුංලෝකෙ..ඒ නිසා මම කොහෙ ගියත් කුඩයක් අරං යනවමයි. 

අපි බැඳපු අලුත එක පාරක් අපෙ උන්දැගෙ ගෙදර ගිහිල්ල ආපහු එන්ට පිටත් වෙද්දි එයයිගෙ අප්පච්චි දැක්ක මයෙ කුඩෙයි ටෝච්චෙකයි.. 

" පුතාගෙ අතේ ටෝච් එකයි කුඩෙයි නැතිවෙන්නෙම නෑ නේද? " උන්දැ හිනැහිලා එහෙම මයෙං ඇහුව. 

" එහෙම නැතුව කොහොමෙයි අප්පච්චි?......අර පරණ කතාවක් තියෙනවනෙ බින්න බහින්ට යනවනං තල අත්තයි හුළු අත්තයි වහලෙ ගහල තියාගන්ටෙයි කියල.බින්න නොබැස්සත් මම ඉතිං මේ කාලෙ තල අත්තටයි හුළු අත්තටයි තියෙන්නෙ කුඩෙයි, ටෝච් එකයි නෙව..ඒ දෙක නං අරගෙනම තමයි මෙහෙ එන්නෙ. " මම ඔහොම කිව්වම උන්දැ හක හක ගල හිනා උනා. 

" මොක උනත් ඒක නං නුවණට හුරු කල්පනාව තමා, ඔය ඉස්ත්‍රී පක්සෙ ඉන්නව නේද? සත පහකට බැරුවා මායිං කොරන්ට…" එහෙමත් කිව්ව කෝකටත් වටපිටත් හෝදිසි කරල කාරිය ...හෙහ්, හෙහ්, 

ඉතිං විජිතට කවි ලියල දුන්නුදාට පහුවදා පාන්දර පහට වගෙ මට ඇහැරුනා. ඇඳ ඉහ අද්දරම තිබ්බ වතුර බෝතලේ අරගෙන එක දිගට තුන් කාලක් වගෙ බිව්වෙ තිබහ නිසාමයි.වතුර බිව්වත් එක්කම ඊළඟට එන උවමනාව මොකක්ද කියල දන්නවනෙ… 

අපේ කම්බි වැට අයිනෙ තිබ්බ තරමක පලු ගහක්.ඕක යට තමයි අපේ එළිමහන් කැසිකිළිය වෙලා තිබ්බෙ. ඒත් ඒ පායන කාලෙ ඔය වැඩේ හින්දම අහල ගංහතක නහය කුණු වෙච්චි නැති එකෙකුටවත් ඉන්ට බැරි සයිස් එකක් තමයි වෙලා තිබ්බෙ. 

ඒ හින්දම අපි සුහද එකඟතාවයකට ඇවිල්ල තිබ්බ අඩු ගානෙ වැස්සක් දෙකක් වැටෙනකල් නියමිත වැසිකිළිය පාවිච්චි කරන්ට. ඒ අනුව මම ඒ වැඩෙත් කරල සීතල හුළං පාරක් වදින්ටත් එක්කල සරමත් කැහිපොට ගහගෙන මිදුලෙ ජෑම්ගහ යට පිටපළුවකින් හදල තිව්ව ලෑලි බංකුවෙ ඉඳගත්ත. 

මයෙ හිතේ අහුමුල්ලක මොකක් හරි වද දෙනව උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලම. ඇත්තම කිව්වොත් ඊයෙ රෑ මත් වෙලා හිටිය උනත් කොච්චර සිංදු කිව්වත් නැටුවත් මොනවහරි වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවය කියන හැඟීම මගෙ හිතේ කොණක පැළපදියම් වෙලා ඉඳගෙන මට වද දුන්නෙ හීතල කාලෙ මිදුල මැද අපි ගිණි තපින්ට ගහන ගිණි මැලේ නිවිල ගියාට පස්සෙං පහු උනත් එකපාරටම කොහේද ඉඳල හමාගෙන එන හුලං රැල්ලකිං අළු අයිංවෙලා ගිණි දැල්ලක් මතුවෙලා දිලිසෙන්නැහෙ. 

ජෑම් ගහ යට පිටපළුව උඩ ඉඳගෙන හීතලට අත්දෙකත් පෙරවාගෙන ඉන්නකොට ඔන්න මයෙ හිතට එක පාරට ආව මේ දෙගිඩියාවට හේතුව මොකද්ද කියල. 

ඊයෙ අර ලියාපු කවි .......ඒ වෙලාවෙ ජොලියට වගෙ වැඩේ කලාට මේ කරන්නෙ වැරැද්දක්ය අසාධාරණයක්ය කියල මගෙ හිත මට වද දුන්න. .කිසිම කෙනෙක් මාව රවට්ටනවට මම කැමතිනෑ වගේම තමයි කවුරු උනත් කැමති නෑ කිසිම කෙනෙක් තමන්ව රවට්ටනවට… 

මේ කිසිම දෙයක් නොදන්න අහිංසක යුවතියක්…. ආදරය සෙනෙහස හොයාගෙන ජීවන මංපෙතේ හුදකලාව පියමනින සොඳුරු යුවතියක්, මුලාවෙ දමන්ට රවට්ටන්ට මමත් හවුල් උනාය කියන හැඟීම මගෙ හිතෙං කොහොමටවත් අයිං කරගන්ට මට බැරි උනා. 

විජිතය හිටියෙ කෑම්ප් එකේ මහ හේට්ටුව ලඟම කොහොඹ ගහ යට ක්වාටස් එකේ. එළිය වැටෙනකල් වත් ඉන්නෙ නැතුව මම ටෝච් එකත් ගහගෙන ඌ හම්බ වෙන්ට ගියා. දොරවහල උගෙ කාමරේ… 

" මලේ..විජිත...ඒයි මේ දොර ඇරපං….." දොරට හත් අට පාරක් තඩිබානකොට විජිතය සරමත් ඇඳ ඇඳ ඇවිල්ල දොර ඇරිය. මාව දැක්ක ගමං උගෙ ඇස් ලොකු උනා.. 

" ඇයි අයියෙ මේ පාන්දරම? කාටවත් අසනීපයක් වත්ද?.." 

" නෑ..නෑ එහෙම එකක් නෙවෙයි…" 


කාටහරි අසනීපයක් නං ඉස්පිරිතාලෙ අරං යන්නෙ නැතුව උඹට කියන්ට එන්නෙ උඹ මොකෝ දොස්තරද? එහෙම තොල මතුරමින් මම කාමරේට ඇතුල් වෙලා ලියන මේසෙ ගාව තිබ්බ පුටුව ඇදල අරගෙන වාඩි උනා. විජිතයත් අතිම්ම කොණ්ඩෙ හද හද උගෙ ඇඳේම ඔන්න වාඩිඋනා කෙලවරට වෙන්ඩ.. 

" ඇයි අයියෙ?..." ඌ ආයෙම ඇහුව.. 


" මල්ලි මේ……." මම ඔලුව උස්සල උගෙ මූණ දිහාවෙ බැලුව.. 

" අර මම ඊයෙ ලියපු කවි පෙල ……" 

" ඔව් ඉතිං? " 

" මේ ඒක අර ගෑනු ළමයට යවන්න එපා මල්ලි." 


කොල්ලගෙ මූණ කළු උනෙ බලාගෙන ඉන්දැද්දි.. 

" අනේ ඇයි අයියෙ ඒ?.." 

" අර ඊයෙ ජයේ කියාපු හින්දයි උඹේ මූණ බලාගෙන බෑ කියන්ට බැරිකමටයි මම ඔය කවි දෙක තුන ලියල දුන්න නං තමයි. ඒත් මල්ලි අපි මේ අර ළමයට ලොකු වංචාවක් රැවටිල්ලක් නේද කරන්නෙ කියල මට හිතෙනව බං…" 

හීංවට නළල ඇතුලෙං කැක්කුමක් මතුවෙන්ට ගත්ත හින්ද දෑතෙ ඇඟිලි වලින් නළල දෙපැත්ත මසාජ් කරන ගමන් මම කිව්ව...... 

" එහෙම වෙන්නෙ නෑ අයියෙ මම සුජාට ආදරෙයි..එහෙම හිතල බලනකොට මේක එක විදිහක වංචාවක් නම් තමයි. ඒත් ඒ ආදරේ හින්දම කරන වංචාවක්..මම හිතන්නෙ සුජා මට ඒකට සමාව දෙයි.." 

මගෙ හිස රුදාව ටික ටික වැඩිවේගන එනව ඔන්න..මේ ඔය ආදරේ ගැනවත් වංචා ගැනවත්...ආදරේ නිසා කරන වංචා නියම විදිහට ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන් වංචා රැවටිලි ගණයට ගැනෙනවද නැද්ද කියලවත් කෙස් පලන තර්ක ගෙනල්ල සාකච්ඡා විමර්ශන කරන වෙලාවක් නෙවෙයි 

" හරි මල්ලි එහෙනං ඕන එකක්...උඹ එහෙනං ඒ ළමයට වැඩි කල් නෑර මේ විස්තරේ ඔක්කොම කියනව නේද? " මම ඔලුව අල්ලගෙනම නැඟිට්ට. 

" හරි අයිය බය වෙන්න එපා..එහෙම රැවටිල්ලක් කෙරෙන්නෙ නෑ. මම ඒ ඔක්කොම බලාගන්නං.." විජිතය හිනාවෙලා එහෙම පොරොන්දු උනා. 

සතියකට වගෙ පස්සෙ...සිකුරාද නැත්තං සෙනසුරාද දවසක්...මට එහෙම මතක සති අන්ත වල අපේ චමරියෙ ඔය පවුල් පන්සල් වෙච්චි කට්ටිය කොහොම කොහොම හරි යනව ගෙවල් බලා..මමයි තව කවුරුහරි..මට හරියටම නම නම් මතක නෑ..විතරයි ඉතුරු වෙල හිටියෙ. සමරෙද කොහෙද..හරි කවුරුහරි හිටපු එකත් හවස කදුරුවෙල ගියා කොණ්ඩෙ කපාගෙන එන්නෙයි කියල.. 

හවහ පොඩ්ඩක් ඇලට් එකක් කාරිය ගහල නැඟිටල පිටිපස්සෙ ටැංකියෙං ඇඟපත කාරිය හෝදගෙන සැමී ගෙනත් දුන්නු කහට එකත් ගහන ගමන් මම පොතක් කියෙව්ව සාලෙ ඇඳි පුටුවෙ දිගාවෙලා අර කනප්පුව උඩ කකුල් දෙක එහෙමත් තියාගෙන. පොත ඇවිල්ල ගුණදාස අමරසේකර මහත්මයගෙ " ගල් පිළිමය සහ බොල් පිළිමය "'.... එතුමගෙ දේශපාලන මතිමතාන්තර මට පෙන්නන්න බැරි එක වෙනම කතාවක්. ඒත් ලංකාවෙ අද ඉන්න දක්ෂම නවකතාකාරයෙක් අවිවාදයෙන්ම... 

" සැමී..මහත්තය ඉන්නවද?..." කුස්සිය පිටිපස්සෙං ඇහුනෙ ඒ විජිතයගෙ කටහඬ.. 

සැමීත් මොනවද කිව්ව මට හරියකට ඇහුනෙ නෑ...සමහරවිට කියන්න ඇති සාලෙ ඉන්නව කියල...විජිතය කඩාගෙන සාලෙට ආවෙ පුරඟනහලකට පොලිසියෙං පනිනව වගෙ.. 

පොලිසියෙං පනිනව කිව්වම මතක් උනේ මේ පහුගිය ඉරිද ලංකාදීපෙ මරු කාටුන් එකක් තිබ්බ.පොලිස් ජීප් එකක් පාර අයිනෙ නවත්තල රාලහාමිල දඩබඩ ගෑවිල්ලෙ බහිනව එළියට බැටං පොළු එහෙම අරගෙන...බල්ලො ජෝඩුවක් ඉන්නව ඒ කිට්ටුව. පොලිසිය දැක්ක ගමං බල්ල පණ කඩාගෙන දුවනව ඒ ළඟම තියෙන බෝක්කුවක් යටට. බැල්ලි කියනව " හැංගෙන්න ඕන නෑ අනේ...ඒ ඇවිල්ල තියෙන්නෙ අපිව කසාද බන්දවන්න නෙවෙයි.කසිප්පු අල්ලන්න " පියල් උදය සමරවීරගෙ කාටුන් එකක්. බොහොම දක්ෂ විකට චිත්‍ර ශිල්පියෙක්.. 

ඉතිං විජිතය කඩාගෙන ඇවිල්ල මං ඉස්සරහ දඩස් ගාල ඉඳ ගනිපි පුටුවක.. 

" මොකද බං මේ? අර පුකට අයිස් පලං ගහපු හරක වගෙ? …" මම ඇහුවෙ කකුල් දෙක කනප්පුවෙං බිමට ගන්න ගමං.. 

හෙහ්, හෙහ්..ඒකගෙ මූණ කට රතු උනේ බලාඉන්දැද්දි...බිම බලාගත්තු ගමං ටික වෙලාවක් ඌ එහෙම්මම හිටිය. මමත් පොත වහල කනප්පුව උඩ තියල පුටු ඇන්දට දිග ඇදිල හේත්තුවෙලා එහෙම්මම හිටිය විජිතයගෙ මූණ දිහාවෙම බලාගෙන. මට හිනායන්ටත් එනව, ඒත් බොහොම අමාරුවෙන් වලක්කගෙන හිටිය සද්ද නැතුව. 

විජිතය ඔලුව උස්සල බලපු පාර එක පාරම දැක්කෙ අර කනප්පුව උඩ තිබ්බ පොත. 

" මොකද්ද අයියෙ මේ? ගල් විහාරෙ ගැන ලියපු එකක්ද? …" විජිත ඇහුවෙ පොත අතට ගන්න ගමං..

ගල් පිළිමය සහ බොල් පිළිමය පොතේ මුල් පිටුවෙ තිබ්බෙ ගල් විහාරෙ සැතපෙන පිළිමෙ චිත්‍රයක්.. 

" මේ මෙහාට දීපං ඕක...උඹ දැං මේ අර මම කලිං කියපු මොකක්ද එක ගහපු ඒ කලිං කියාපු සතා වගෙ දුවගෙන ආවෙ මේ පොත ගැන අහංටද?....නෑනෙ...ආපු කාරණේ කියාල හිටපං ඔක්කොටම කලිං..පිළිම ගැන බැරිය පස්සෙ කතා කරන්ට." මම පොත උදුරගත්ත. 

" සුජා ලියුමක් එවල…" විජිතය කිව්වෙ ඔලුව උස්සල බලල යන්තමට හිනාවෙන ගමං.. 

" ආ...ඒකනෙ..මම හිතුව..ඉතිං මොකෝ කේස් එක?..." 

" නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..අර අපි යවපු කවි වලට උත්තරයක් එවල…" 

" එහෙමද? ඉතිං ගනිංකො බලන්ට…" මම අත දික්කලා… 

විජිතය ආයෙම හිනාවෙල සාක්කුවෙං අරගත්තු ලියුම මට දුන්න.. 

කවි හතරක් පහක් නම් තිබ්බද කොහෙද..ඒත් මට ඒ ඔක්කොම මතක නං නෑ බොලල්ලා...ඔන්න මතක තිබ්බ කවි දෙකක් නං මෙහෙමයි... 

කතර තනිමඟ තැබුණු පියවර, 
පෙලට එක්වුනු ඔබෙ සිනාවයි, 
සතර අත පිස හමා එන මඳ, 
සුලඟ ගෙනෙනුයෙ ඔබේ සුවඳයි, 

නෙතට ලංවී කඳුළු පිසලන, 
මඳහසිනි තොල් මත වෙලෙන්නේ, 
සතුට සැනසුම මවෙත ගෙන එන, 
සෙනෙහසිනි පදවැල් ගෙතෙන්නේ, 


මම හෙමිහිට දෙතුං පාරක් කවි පෙල කියෙව්ව..මම ලියපු කවියකට පිලිතුරු විදිහට ඔය කවුරුහරි කවියක් ලිව්වමයි. සුබාට මම කවි ලිව්වට එයා කවදාවත්ම මට කවි ලිව්වෙ නෑ...කවි ලිව්ව විතරක්නං බැරිය මම ලියන කවි එයාට ඇහෙන්ට කියන්ට උනෙත් අන්තිමට මටමයි. 


" මොකක්ද අනේ මේ?..." 

" ඔයා ගිය සුමානෙ එව්ව ලියුම…" 


" මම ඒකෙ කවි හතර පහකුත් ලියල එව්ව... කියෙව්වද?..." 

" ආ තිබ්බ තිබ්බ..ඒත් ඒ හරියට එනකොට මයෙ ඇස් දෙක කඩා වැටෙන්ට වගෙ නිදිමත . ඒ පාර ලියුම පැත්තක දාල මම නිදාගත්ත. " 


අනෙ අම්මාපල්ල මට ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යන්නෙ ඔය වෙලාවට තමයි.මූනත් එක්ක රත් වීගෙන එනව තේරෙනකොට මම අහක බලාගත්ත. 

" ෂෙහ්..තද උනහමනෙ ඔයාගෙ අර පවුරු…. මොකක්ද අනේ ඒ ඔයාලට තියනවයි කියන්නෙ? …" 

තියනවයි කියන එක මම කියන්නෙ නෑ මෙතන..මම අහක බලාගෙනම තොල් මතුරනව.. 

" ආ හරි පවුරු වලලු..පවුරු වලලු..ආන්න ඒක මතුවෙලා පේන්නෙ.." 

මම අහක බලාගෙනම ඉන්නව....ටිකකිං මූණ රත්විල්ල අඩුවෙල යන්තමට හිනාවක් ආවට මම අහක බලාගෙනම ඉන්නෙ එයාට මගෙ හිනාව පෙනෙයි කියල.ඒත් එයා දන්නව මට වැඩි වෙලාවක් එයයි එක්කලා තරහ වෙලා ඉන්න බෑ කියල. 

" කෝ ඔය මදැයි..පවුරු වලලු පෙන්නුව දැං මදැයි..හොඳ ළමය වගෙ මේ පැත්තට හැරිල මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන මං වෙනුවෙන්ම ලියාපු මේ කවි කියන්නකො ලස්සනට.මම ඔයාගෙ උකුලෙ ඔලුව තියාගෙන ඔයාගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන අහගෙන ඉන්නං…" 

ඇහැ ආයෙම තෙත් වීගෙන ආවෙ මටත් නොදැනීම...විජිතයට පෙනෙයි කියල මම එකපාරටම පුටුවෙන් නැඟිට්ට. 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 


මතු සම්බන්ධයි...... 

පලි - අර හරකගෙ පස්චාත් බාගෙ අයිස් පලං ගහන සීන් එක මොකක්ද දන්නවද?.ඕක මම දැක්කෙ අපෙ අප්පච්චිලගෙ ගමේ ( උන්දැ ඇවිල්ල දකුණෙ ) අවුරුදු කාලෙක ගිය වෙලාවක තිරික්කල රේස් එකක් බලන්ට ගිහිල්ල. 

ආය මොනවද අයිස් පලම හරකගෙ නියමිත ස්තානයෙ ගැහුවම ඒක දුවනව පණ එපා කියල.. අයිස් පලම දියවෙනකොට කොහොම ඉවසන්ටද? පව් නං තමයි ඒත් මොකදෑ කොරන්නෙ? 

රිජිෆෝම් පෙට්ටියක දාල අයිස් පලං හත අටක් තිරික්කලේ පැත්තක තියනව. තිරික්කල කාරය " ජඃ කොටියා....හර් ර් ර් ර් ර් රේහ්.." කියල අයිස් පලමක් අරං කටේ ගහගන්නව ....ඒ එක්කම තව එකක් අරං අරූගෙ අතන ගහනව. ඒක දියවෙලා කෝට්ට වැටුනම " ජඃ මඃ යමං පුතා ර් ර් ර් ර් රේහ් " කියල තව පලමක් අරං අදාල ස්තානයෙ ගහනව. 

ඔහොම වැඩේ දිගටම යනව. එක්කො තරඟය ඉවරයක් වෙනකල්, එක්කො අයිස් පලං ඉවරයක් වෙනකල්,නැත්තංඅර සතාගෙ පස්චාත් බාගය හිරිවැටිල ඌට මොකවත්ම නොදැනී යනකල්... 

Monday, September 2, 2013

214. කවිකාරියකගේ ප්‍රේමය…..3



කවිකාරියකගේ ප්‍රේමය…..1 

විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල..
 
" අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා. 

" නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත. 

" හරි එහෙනං අවුලක් නෑ.....රයිට් එහෙනං ලියන්ට පටංගමු බලන්ට "

" අන්න යකෝ බෝතලේ ඉවර වෙන්ටත් ඇවිල්ල...මට කවි ගැට ගහන එක බාරදීල මට පේන්නෙ අරුං එලවේසමේ ගසල අරිනව වගේ....මලේ දාපං බලන්ට කට කපල එකක් වීදුරුවට..සෝඩත් දාපං ටික වෙන්ට...හරි..ගනිං පපඩමකුත් ඔය එක්කම.." 

රායිට් ඒ පාරනං ඔන්න එනව කංදෙක එහෙම රත් වීගෙන...දැං ලියන්ට බැරිය බොල ලෝ වැඩ සඟරාවක් උනත්...හෙහ්, හෙහ්.. 

" හරි මොකක්ද දැං උඹේ ඔය ටීචර්ගෙ නම? …." 

" සුජා……." විජිතය අහක බලාගෙන හෙමිහිට කිව්ව.....ඒක කියනකොටත් බලාපල්ලකො මුගෙ මූණ එළිය වැටෙන හැටි… 

ඔය හැඟීම අවුරුදු කීපෙකට ඉස්සර පපුව පිරෙන්ට අත්විඳපු හැටි මට එක පාරටම හිතට ආව.ඒ එක්කම කන් දෙක රත් වෙච්ච තරමටත් වැඩිය ඉක්මනට පපුව හීතල වෙන්ට පටන් ගත්ත. 

නම් දෙකත් එක වාගෙමයි..සුබා..සුජා..ඒකත් හරියට මටම ඔච්චමට සිද්ද වෙච්චි දෙයක් වගෙ.සුබාට තමයි මම ඉස්සෙල්ලම කවි ලිව්වෙ....ඊට පස්සෙං පහු මම කවි ලියන එක අතෑරල දාලම හිටිය සෑහෙන කාලයක්...දැං ඔන්න ආයෙමත්....හිත බර උනාට මගෙ ඇහැට කඳුලක් ආවෙ නම් නෑ.ඇහැට කඳුලු එන එක නැවතිල දැන් සෑහෙන කාලයක් වෙනව.හැම දේකටම වගෙ කඳුලටත් තියෙනව සීමාවක්. ඒ සීමාව අද්දරටම ඇවිල්ල මම නැවතුන. ආපහු හැරිල යන්ට තරම් හිත හදාගන්ට බැරිඋනා තවම. ඒත් මම නැවතිලා ඉන්නව. ඒ ඇති හොඳටම. 

" අයියෙ මොකෝ... වැඩියි වගෙද? "

විජිතය මගෙ උරෙස්සෙං අල්ලල හෙල්ලුව. 

" නෑ මල්ලි මුකුත් නෑ " 

මම ඇස් දෙක පියාගෙන ඔලුව දෙතුන් පාරක් හොල්ලල පියවි ලෝකෙට ආව.

හිත කීරි ගැහෙන දුක සංතාපය අමතක වෙල යන්ටත් එක්ක මේ බාරගත්තු වැඩේ කරමුකො.... මම එහෙම මටම කියාගත්ත. 

" රයිට් ලියමුකො එහෙනං පිළිතුරු කවියක්.... "

" හරි, දැං බලාපං මේ දැරිවි කියන්නෙ එයයිගෙ ජීවිතේ මහ පාලුවෙංය තනිකමෙංය ගත කලේ...ඒත් උඹෝව හම්බ උනාම ඒ තනිකම පාලුව නැතුව ගියාය ..අන්න එහෙම නෙව..එතකොට මලේ පිළිතුරු කවිය ලියන්ට ඕන ඔයයිගෙ තනිකම පාලුව මකන්ට මම එක පයිං ලෑස්ති පිටය ඉන්නෙ...ඔබ වෙනුවෙං ඔබෙ සැනසීම වෙනුවෙං මයෙ ජීවිතේ උනත් පරිත්තියාග කරන්ට මම ලෑස්තිය අරකද මේකද ඔන්න ඔය වගෙ ආතල් කෑලි තමයි ලියන්ට ඕන.... හිමගිර මට වැලි අහුරකි..මහ සමුදුර දිය දෝතකි....කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනහේ නම්..ආන්න තේරුණාද? "

" අම්මට උඩු ආතල් සිංදුව..ඒයි වීරෙ..කියපං කියපං ඒක...." විජේ නටාගෙනම ආව අපි ළඟට… 

" හරි මල්ලි ඉඳහං ඔහොම...මම කිව්ව ටික ගැන හිතාපං ගැඹුරට ..මම අර සිංදුව කියල එනකල්..." 

" ඒයි ඕකට හරියන්නෙ ඔරු නැටුම තමයි..ඉඳහං මම මේ සෝට් බෑය ගලෝල සරමක් දාගෙන එනකල්..." විජේ ගෙට දිව්ව. 

ඕකා ඔරු නැටුම නොහොත් බෝට්ටු ඩාන්ස් එකට එක්ස්පර්ට්...බලන්ටම වටිනව උගෙ ඒ නැටුම.ඕකගෙ ඔය නැටුම බලන්ටම සමහරවෙලාවට අහල පහල කෑම්ප් වලිං කට්ටිය එනව කට කපල ජීප් පුරවල. 

සිංදුව අහවර වෙලා වීදුරුවකුත් පුරවගෙන මම ආපහු ඇවිල්ල විජිතය ගාව ඉඳගත්ත. 

" හරි..කෝ ගනිං මලේ ඔය හාප්සීට්ටෙක මෙහාට…" 

" මොකෝ බොල ඇස් දෙකත් ජිල් බෝල වගෙ කොරගෙන?...උඹ මොහොකටවත් බය උනාය?.." 

" නෑ අයියෙ මම මේ අයියා කියාපු දේවල් ගැන කල්පනා කලේ……." 

" හරි අපි ලියමු මෙහෙම.." මම පෑන අතට ගත්ත.. 

" මම ඔබ වෙනුවෙන් ..ඔබේ පාළුව තනිකම නැතිකිරීම වෙනුවෙන් මගේ ජීවිතය වුව පුද කිරීමට සූදානම්ය, මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්තනයද එයමය...අරකද මේකද ඔන්න ඔය වගෙ පැණි බේරෙන වචන ටිකක් දාල ලියමු හොඳද? එතකොට තමයි ඔය කෙල්ලොංගෙ මයිල් කෙලිං වෙන්නෙ...රස නහර පිනා යන්නෙ...ලැන්ගර්හැන් දීපිකා සලිත වෙන්නෙ...යාකෘතික ප්‍රතීහාර ශිරාව එකනින්නාද වෙන්නෙ...තේරුණාය බොට?.... " 

උගුරටම එකක් දාගෙන එහෙම මම විජිතයගෙ මූණ බැලුව. 

අහවල් තේරිල්ලක්ද? ඌ මගෙ මූණ දිහාවෙ බලා හිටියෙ කෑලි තුනේ බැස්ටියෙ එළිය පොල්ලට ඇහැදීගෙන ඉන්න මීමිනි නාම්බෙක් ගානට. 

" ආ, එව්ව අතෑරල දාමු..රයිට් මෙහෙමයි කවියෙ මුල් පද දෙක...හරි? " 

නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක, 
මහරු මා හද සඟවලා, 


" ලස්සනයි අයියෙ...." විජිතයට හිනාවකුත් ගියා... 

" අඩේ...කඳුලක කිව්වම හරි නෑ නෑ වගේ නැද්ද?...මේකා ඒ කෙල්ල පස්සෙ අඬ අඬ යනව වගෙ සීන් එකක් තමයි මට නං තේරෙන්නෙ..." 

ඒ අපෙ විමලය...මට ඇහැක් ගැහුව ඌ විජිතයට නොපෙනෙන්ට. 

විජිතය ආයෙම මගෙ මූණ දිහාවෙ බැලුව…" එහෙමත් තේරුමක් තියෙයිද අයියෙ එතන?..." 

" මේ විමලෙ ...උඹ ඇවිල්ල ලියාපං එහෙනං කවිය…" මම නැඟිට්ට පුටුවෙං… 

" අනේ අයියෙ ….මේ තරහ ගන්ට එපා..ඉඳගන්ටකො ඔහොම..හරි, හරි ඊළඟට?..." විජිතය මගෙ අතකිං අල්ල ගත්ත. 

" මෙතන මේ කඳුල කිව්වම බාං අඬනව කියන තේරුම විතරක්ම නෙවෙයි...ආදරය වගෙ ඉතාම හැඟීම්බර සිතුවිල්ලකදි කඳුලු කියන වචනෙ ඒ එක්කම යන එකක්. උඹට තේරුණාද? අනික ඔය කඳුලු වගෙ වචන වලට වනිතා පක්සය බොහොම කැමතියි…" 

" ඊලඟට මෙහෙමයි …" 

සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි, 
තමරු පොකුරක පිණි සලා, 


" ඒයි.... ඒක වැරදියි..ඒක වැරදියි..." ජයේ කෑගැහුව කොහෙද ඉඳල.

" මොකක්ද වැරදි? " මම මම ඇහුව ඌ දිහාවෙ රවාගෙන.

" බමරු පොකුරක් කියන්ට බෑ බං...බමරු එක්කො රෑනක්..නැත්තං රංචුවක්...ඒ වගෙ මිසක බමරු පොකුරක් කියල නම් මම අහල නෑ මෙච්චර කාලෙකට…"

" රයිට්.. මගෙ පිළිතුර කරුණු තුනකින් සමන්විතයි. එක. උඹ අහල නැති එව්ව තව අනන්ත මේ ලෝකෙ තියෙන්න පුළුවන්...ඒ නිසා බං උඹ අහල නෑ කියන කාරණාව වලංගු තර්කයක් නෙවෙයි. දෙක ඇවිල්ල බමරු පොකුරක් කියල මෙතෙක් කාලෙකට යෙදුනෙ නෑම කියමු.ඉතිං මොකද?අද ඉඳල අපි යොදමු ඒ වචනෙ...ඒක ඇවිල්ල කවියෙකුට තියෙන වරප්‍රසාදයක්...A Poet's Privilege ඊළඟට අංක තුන.... මම මෙතන යෙදුවෙ බමරු පොකුරක් කියල නම් නෙවෙයි...තමරු පොකුරක් කියලයි .." 

" ඈ තමරු??........ තමරු කියන්නෙ මොකද්ද බං? " ඒ විජේ…… 

" තමරු කියන්නෙ නෙලුං වලට..දැනගං අදවත් දන්නෙ නැත්තං…" 

" ඉතිං යකෝ තමරු කියන්නෙ නෙළුං වලටනං කෙලිම්ම නෙළුං කියල ලියාපංකො ආය මොන මඟුලටද ඒක අස්සෙ මේ කෙහෙල්මල් තමරුවක් ගහන්නෙ...." 

ඕන්න විජයගෙ අදහස් ප්‍රකාශනය....ඉතිං කාටද මෙව්ව කියන්නෙ?....මට නේද? යස්ස සේනාදිපතිය ඉස්මුදුනට ආරූඩ උනේ නැද්ද? බාගෙට හිස් වෙල තිබ්බ වීදුරුවත් අතට අරගෙන මම දඩස් ගාල නැඟිට්ට පාරට ඉඳං උන්නු පුටුව පෙරලුනෙ නැත්තෙ අනූනමයයි තුංකාලකුත් නූල් හතරෙං. 

" අම්මප????....ඒ පාර උඹල ඔක්කොම කවි කාරයො උනාද? හරි එහෙනං බොලා එකතුවෙලා ලියාපල්ල කවි..මම මොකටද? යකෝ..මේක අර මැරෙන්ඩ ඔන්න මෙන්න හිටපු මුදලාලිට වෙච්චි එකේ අනික් එක නෙව මට සිද්ද උනේ...." 

හරි මේ කතාවෙදි පඳුරු තැලිල්ලට මගෙ ඒ හැටි මනාපයක් නැතිඋනත් ඒ මුදලාලිගෙ කතාව විතරක් කියල ඉන්නං .. 

මුදලාලි ඇවිල්ල ගමේම සල්ලි කාරය..පොල් වතු, කුඹුරු වතුපිටි, හාල් මෝල්...සිල්ලර කඩ..ගමේ තියන තරමක් මිනිහගෙ තමයි. 

ඔන්න මිනිහ මරණාසන්න උනයි කියමුකො...අන්තිම මොහොතෙ කතා කලා හාමිනේට.... 

" හාමිනේ මගෙ හුස්ම ටික දැං කොයි වෙලාවෙද කියල නෑ. මගෙ දේපල දරුවො අතරෙ බෙදන්ට ඕනය කියල මට කල්පනා උනා. මම මලාම දෙණියෙ හත් පෑල ලොකු පුතාට දෙන්ට...." 

" ලොක්කට ඒක හරියන්නෙ නෑ...කුඹුරු හරියන්නෙ දෙවෙනියට ...හත් පෑල එයාට දෙමු.." 

" හා...කමක් නෑ..එහෙනං මේ ගේයි වත්තයි ලොක්කට…" 

" ලොක්කට ගේ කෑල්ලක් තියනවනෙ...මේක දෙමු මද්දුමීට...ඒකි අසරණී…" 

" හරි, හරි...හන්දියෙ හාල්මෝල එහෙමනං දෙන්න පොඩි පුතාට…" 

" ආපෝ පොඩි පුතා සෙල්ලක්කාරය..ඒක හොඳ හිච්චි දුවට...ඒකි ඒක කරගෙන යයි යසට...." 

ඔන්න ඒ පාරනං මුදලාලිට උන්න මලා පේන්නෙ නැතුව ගියා.. 

" බොල ගෑණියේ...දැං මෙතන මැරෙන්නෙ තෝද මමද?..." මුදලාලි මාරාවේසෙං කෑගැහුව... 

ඒ ඉතාම ක්ෂුද්‍ර ගොමු මැඩීමේ ක්‍රියාවලියෙන් අනතුරුව යලිදු ප්‍රධාන කථා පුවතට පිවිසෙමු. 

" අම්මප????....ඒ පාර උඹල ඔක්කොම කවි කාරයො උනාද? හරි එහෙනං බොලා එකතුවෙලා ලියාපල්ල කවි..මම මොකටද? යකෝ..මේක අර මැරෙන්ඩ ඔන්න මෙන්න හිටපු මුදලාලිට වෙච්චි එකේ අනික් එක නෙව මට සිද්ද උනේ...." 

ඔන්න ඒ පාර නං කට්ටිය ටිකක් හෙල්ලිල ගියා මයෙ කෑගැහිල්ලට. මොකද කවි ලිවිල්ල මම ප්‍රතික්ෂේප කලොත් මේ පටංගත්තු කාව්‍ය  මුද්‍රික පාන අන්තර් හුවමාරු මහා ව්‍යාපෘතිය එහෙම්මම ඇණ හිටිනව. ලත් තැනම ලොප් වෙනවයි කියල අර කියන්නෙ. අන්න එහෙම වෙනව. 

" යකෝ...ඔච්චර මල පනින්ඩ දෙයක් අපි කිව්වය?..උඹටත් අර හොම්බ ළඟිං මී මැස්ස යන්ට බෑ නෙව..හරි, හරි ..උඹට ඕන විදිහට කවි ලියහං...අපි නෙවෙයි මින් මනත කිසිදෙයක් කියන්නෙ...." 

විජේ..විමලෙ කට්ටියම ඒ පාර සමාදානෙට ටෝක් එක....මමත් ඔය පොඩි සද්දයක් දැම්මෙ එහෙම නොකර බෑ අපේ එවුං එක්කලා. කියන කියන එකට ඔලුව නැමුවොත් එවුං එන්නෙ ගෝණි නැතුව කරේ යන්ට..ගෝණි නැතුව...ගෝණි නැතුව 

ඔය ඔකේෂනලි පොඩි සත්තමක් දාන තියරි එක මම අද දක්වාම පාවිච්චි කරනව. අපෙ උන්දැටත් ඔය ඉඳ හිටල බොරුවට ගෝරනාඩුවක් කාරිය දාල බලනව. බොහෝවිට වෙන්නෙ ඉතිං එවුන්දැ එව්ව අලුක්කාල් මංචාඩි හුළහකට ගණං ගන්නෙ නැති එක තමයි...මක්ක කොරන්නද? එව්වයෙ හැටි එහෙම තමයි... 

මාත් ඉතිං පොඩ්ඩක් ගණං උස්සල තව මධු කුසලානකුත් ගිරිය පල්ලෙහාට නවාලා කාරිය අහක වෙලා හිට… 

" සැමී නැද්ද බං පපඩං ආය?...රෑට බත් කන්ට තියාපුවගෙංවත් හත අටක් අරං වරේං...දැං බීල නෙව රෑට කන්නෙ…" 

කියල කුස්සිය පැත්තටත් පොඩි සද්දයක් දාල පුටුවෙ ඉඳගත්ත.කොහොමත් ඔය අපෙ මදු සාද වල ආය වෙනම රෑට කෑමක් නෑ.බොන ගමං බඩට දාගත්තු දෙයක් තමයි.අන්තිම කාල් මාක්ස් එක ගහන්නෙ ඒ වෙනකොට නිරුපද්‍රිතව ඉන්න දෙන්න හරි තුං දෙනා හරි බත් කන ගමම්මයි. 

" ගනිං බලන්ට මලේ ලියාපු කවිය...." 

නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක, 
මහරු මා හද සඟවලා, 
සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි, 
තමරු පොකුරක පිණි සලා, 

" රයිට් දැන් මල්ලි කියන්ට ඕන උඹේ හදවතේ පිරී ඉතිරී ගලන ආදරය ගැන...එයාට දැනෙන්ට කියන්ට ඕන...තේරුණාය? " 

" අන්න හරි දැං ඔය එකපාරටම වතුර කොරහක් මුනිං නැව්වැහෙ දාරානිපාත වැස්සක් ඇදං වැටුනම පාර අයිනෙ මඩ වලවල් පිරිල ඉතිරිල යන්නෙ..ආන්න ඒ වගේ තමයි විජිතගෙ ආදරෙත් … අන්න එහෙම කියහං මල් හතයි....." ඒ විමලෙගෙ උදාහරණෙ..අම්මප මේකට නං.. 

" අම්මාපල්ල….තොට ඔයිට වඩා හොඳ උදාහරණයක් තිබ්බෙම නැද්ද ඈ?..." මම ඇහුවෙ තොල් විකාගෙන.. 

" රයිට් අපි මෙහෙම ලියමු..ඔය බබලත්තු ඉන්නව නේද?...සසර පුරා ඔබ හා එන්නෙමි….. සසර අතහරින්නෙමි ඔබත් සමඟම..ආන්න..ඒ වගෙ සංසාර ටෝක් වලට බෝම මනාපයි..අපි ලියමු මෙහෙම…" 

ඇස් පියාගෙන මම ටික වෙලාවක් එහෙමම උන්න. 

" හරි…….." 

මම හිතට ගලාගෙන ආපු පදවැල හෙමිහිට කිව්ව... 

" අම්මට උඩු නියමයි…" ඒ විමලේ.." ඒයි ඉඳපං මගෙ ගානෙ තව එකක්...." 

" පිස්සුද බං?...ණයට දෙන්නෙ නෑ ..පීටරයට ලොක්ක කියල තියෙන්නෙ ණයට දෙන්ට එපා කියල…" පීටරය කියන්නෙ අපේ කෑම්ප් එකේ බාර් කීපර් කොලුව... 

" හරි, හරි..බොලා ඉඳහල්ලකො….ඒක කරන්නෙ මමනෙ...සැමී ගනිං ඔය මල්ලක් මොකක් හරි…" 

ඉතිං අන්තිමට ඔන්න විජිතයට මම ලියාපු කවිය මෙන්න මෙහෙමයි.... 

නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක, 
මහරු මා හද සඟවලා, 
සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි, 
තමරු පොකුරක පිණි සලා, 

නෙත කඳුල පිස හරින මද නල, 
සිහිල ගෙන එයි හද පුරා, 
වත කමල පුබුදන ලහිරු රැස, 
විසුල නිල්දිය මත රඟා, 

සියපතක් පිපෙනුයේ සොඳුරිය, 
ඔබ සෙනෙහෙ ගඟුලෙහි නියා, 
මුවරදට රොද බඳින බිඟු කැල, 
මුදු වතෙහි සරනුයෙ කිමා, 

කතර වට වැසි සිහිල දනවයි, 
ගත දවන දාහය නිවා, 
සසර ඉමතෙක් කැටුව එන්නෙමි, 
සිත පිරුණු බැතිපෙම දරා, 


මතු සම්බන්ධයි...... 

Wednesday, August 28, 2013

213. කවිකාරියකගේ ප්‍රේමය….......2





කවිකාරියකගේ ප්‍රේමය…..1 

ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල 

" අනේ අයියෙ අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව. 

ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන ඒකා මගෙන් බැගෑපත්ව එහෙම් ඇහුවම මට මහ මොකද්දෝ වගේ උනා.. 

" හරි, හරි බං..මොනවහරි කරමුකො..ඉඳහං කලබොල වෙන්නැතුව ඩිංගිත්තක්.." මම එහෙම කියල වදෙං පොරෙං අත ගලවගෙන නැඟිට්ට. 

" සැමී..මොනවත් නැද්ද බං තෙල් ටිකක් දාල ගන්ට ? "…ජයේ කෑගහගෙන ගේ ඇතුලට යනව දැකල හෙමීට මාත් ඒ පැත්තට ගියා. 

" පපඩං පැකට් දෙක තුනක් නං තිබ්බ මහත්තය.." සැමී කුස්සියෙ දොර ගාවට ඇවිල්ල කිව්ව.

" ආ..ඔය තියෙන්නෙ...ඒ මදැයි...කොල්ලො... මතක ඇතුව වේලිච්චි මිරිස් කරල් හත අටක් පලල ලුණු පොලොත්තෙ දාල තියල ඒ තෙලටම දාල බැදල ගං හොඳද? " වේලිච්චි මිරිස් බයිට් එක ජයේගෙ ෆේවරිට්... 

ජයේ ආපහු හැරිල එනකොට සාලෙ මැදදි මම ඒකව අල්ල ගත්ත. " මොකද්ද බං උඹ මේ කරපු වැඩේ?..." 

" මොන?..." ඒකා මොකවත් දන්නෙ නැති ගානට ඇහුව බබා වගෙ.. 


" මොන?.... මොන තමයි..මොකද්ද උඹ අර කලේ?... විජිතයට කවි ලියන්ට මට සෙට් කලේ?...මහ කරදරයක් නෙව බං ඒක...මට උගෙං දැං බේරිල්ලක් නැති වෙයි...කුකුල වී පැදුරට එන්නැහෙ ඔයි යකා දවස තිස්සෙ මයෙ පස්සෙං එන්ට සැට් උනේ නැත්තං බලාපං ඔන්න කවි ලියල දෙන්ටෙයි කියාල…" මම හිතේ කේන්තියටම කියල දැම්ම.

" හරි බං කෑනුගහ ඉඳහං...මෙතන වැඩේ මේකයි මල්ලි...තනිකරම විවුර්ත ආර්තිකය..ඉල්ලුම සහ සැපයුම..මිනිස්සු ඉස්සෙල්ලම ඔය සල්ලි කියන ජාතිය හොයාගන්ට කලින් කලේ මෙන්න මේ වැඩේ..භාන්ඩ හුවමාරුව....ඒ නමැත්තා සතුව ඇති යම් භාන්ඩයක් බී නමැත්තාට අවශ්‍ය වේ. ඒ වෙනුවට එහි වටිනාකමට සරිලන තමන් සතුව ඇති ඒ නමැත්තාට අවශ්‍ය භාන්ඩයක් හුවමාරු කොට බී නමැත්තා තමන්ට අවශ්‍ය භාන්ඩය ලබා ගනී. දෙදෙනාගේම පූර්ණ කැමැත්තෙන් සිදුවන මේ ගනුදෙනුව වනාහී අද පවතින සමස්ත ලෝක ආර්ථිකයෙහි මූලාරම්භයයි. " 

ජයේ ඒ එල් වලට ආර්ථික විද්යාව කරල තියෙන්නෙ. ඔය මනුස්සය කැම්පස් යන්නත් තේරිල ගෙදර ප්‍රශ්න නිසා දමල ගහල මේ කැලේ මැද රස්සාවට ආපු එකෙක්. 

" හරි දැන් කියාපං උඹේ ඔය ආර්තික විද්දියා පාඩම මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල?...." මම තේරුනෙ නෑ වගෙ ඇහැව්ව... 

" මෙතන විජිතයට අවශ්‍ය මොනවද?.... කවි.... ඒත් ඌ ළඟ කවි නෑ. කවි තියෙන්නෙ අපි ...හරියටම කිව්වොත් මල්ලි උඹ ලඟ.ඒත් ඌ ලඟ අරක්කු තියනව. තියනව කිව්වොත් හරියටම හරි නෑ ඇත්තම කිව්වොත්. ඒත් ඌට පුලුවන් අරක්කු ප්‍රසම්පාදනය කරන්න..ආන්න ඒ අරක්කු අපිට අවශ්‍යයයි. ඒ නිසා මියුචුවලි ඇග්‍රීඩ් අපි කවි සහ අරක්කු හුවමාරුවකට.දෙපාර්ශ්වයටම සතුටුදායක සාර්ථක ගණුදෙනුවක්...A win win situation....තේරුණය බොට දැන්වත්? " 

" තේරුණා..තේරුණා..මොකද නොතේරි ?..යස අගේට තේරුණා...ඒත් මේ කවි මත්පැං හුවමාරුව නිසා බොහොම ලඟදිම මහ විසාල ජංජලයක් වෙනව මම දන්නෙ ඔච්චරයියෝ...." මම දන්නෙ ඔච්චරයියෝ..ඒකත් මයෙ අත්තම්මගෙ වචනයක්.....හෙහ්,හෙහ් 

" හරි එව්ව ඇරිච්චාවෙ..උඹ ලෑස්ති වෙයං කවි ලියන්ට....කෝ මේ විජිතය?..දැං උඹ නහකුණු ගෑවිල්ලෙ නෙවද උන්නෙ කවි ලියන්ට බෑය කියල..ඔන්න වැඩේ කෙරෙන විදිහක් මම සංවිදානය කලා..ඉතිං පල..ගිහිල්ල අරං වර අර කියාපුව.." 

" අනේ අයියෙ..මා ගාව මේ වෙලාවෙ සල්ලි නං නෑනෙ...අපෙ බාප්ප කෙනෙක් නැතිවෙලා පෙරෙයිද වගෙ මම අතේ තිබ්බ සල්ලි ඔක්කොම අම්මට යැව්ව..මේ මම කියන්නද?..කවුරුගාව හරි තියනවනං මට ලෝන් එකක් දෙන්න..පඩි ගත්ත ගමං මම ආපහු දෙනව…" 

" මේං මේකා කියන එක බලාපල්ල..." ජයේ හක හක ගල හිනා උනා.. 

" බොල මැට්ටො..අපි ගාව සල්ලි තියේනං මෙච්චර වෙල අර මොනවද කාපු රිලව් වගෙ මෙතන බඩ උලාන බකං නිලාන ඉඳීය කියල උඹ හිතනවද?.... යකෝ සත පහක් නෑ එකෙක් ගාවවත්...ණයට දෙන්නෙත් නෑ ලොක්ක දෙන්ට එපා කියලනෙ තියන ණය බේරනකල්...මල්ලි මෙහෙම කරමු...මේ අපිට බොන්ට ඕන කමටත් වඩා උඹේ මේ පේම ආතල් එක වැඩි දියුණු කිරීමේ පරම පවිත්තර චේතනාවෙන් ගේන යෝජනාවක්...ඇහුණය?..උඹෙ ගාණට දාල ණයට අරං වරෙං බෝතල් දෙකක්..." 

" අනේ අයියෙ...එච්චරම ඕනද?...දෙකක්ම ? " 

" ආපෝඕඕඕ...මොනවද මල්ලි ඔහොම පුලුවන්ද ලව් කොරන්ට?..නිකං ලෝඩ් බකිංහැම් වගෙ ඉන්ට එපාය ලෝස් බෝස් නැතුව..හරි හරි ඉඳපං මම කියන්ට..උඹ දෙකක් ගෙනෙංකො..එකකට අපි සල්ලි දෙන්නං ලබන සුමානෙ පොල්මුරේ කැඩුනම..එතකොට ඔන්න එකයි උඹ ගානෙ..මේ ඊට අඩුවෙන්නං එහෙම බෑ හරිද? යකෝ කවි ලියනවයි කියන එක සෙල්ලං කෙලියක්ය කියලය උඹ හිතාගෙන ඉන්නෙ? හුහ්...එහ්හෙනනං...." 

කොලුව ඒත් ඇඹරෙනව.. 

" මොකද බොල ඒ පාර?...ඒත් වැඩියි කියලද කියන්න හදන්නෙ?...උඹ ගල් බාගෙකට කවි ලියවගන්නද ඒ පාර හදන්නෙ? මේ ඒ බබා උකුං හරියන්නෙ නෑ හොඳද?...." 

" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." ලොක්කගෙ ඔය මොකක්ද දුර නෑ කමක් තියනව විජිතයට කියල අපි දැනගෙන හිටිය. 

ජයේට ඒ පාරනං මලම පැන්න.. 

" මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව පලයං යන්ට...යකෝ තොට දහ අටට වැඩියි නේද? ඉතිං මොකද්ද ප්‍රශ්ණෙ?...උඹ ඇවිල්ල වැඩිහිටියෙක්..ඕනනං බොන්ට එහෙම නැත්තං නාන්ට උනත් උඹට තියනව නිදහස......මේක මේ වෙලා තියෙන්නෙ බොට රැවුලයි කැඳයි දෙකම ඕන...ලව් කොරන්ටත් ඕන කීර්ති නාමය රැකගන්ටත් ඕන....එහෙම බෑ...දොං නං දොං... සිමං නං සිමං..දොං සිමං දෙකක් බෑ.....අන්න ඒක හිතේ තියාගං " ජයේ කෑගහපු පාරට කුස්සියෙ ඉඳල සැමී දුවගෙන ආවෙ තෙල් හැන්දත් අතේ අරගෙන. 

විජිතය පස්සට විසිඋනා.." නෑ..නෑ..අයියෙ මං ගේන්නං....සැමී දෙන්නකො ඔය කඩදහි බෑග් එකක් වගෙ මොකක් හරි…" විජිතය කුස්සිය පැත්තට ගියා. 

අපේ අර අති බලගතු කනප්පුව මතකයි නේද?...ඔන්න බොරුද මම කිව්වෙ ඕක වටේ වාඩිවෙලා හිටියනං ආයෙ මොකවත් නෑ දෙයියො දුන්න වගෙ බඩු වැඩ කරනව කියල. රයිට් කනප්පුව උඩට ඔන්න වැඩම කලා මත්පැන් බෝතලයයි පපඩං පිඟානයි ගෝල්ඩ් ලීෆ් පැකට් එකයි..කට්ටිය පටං ගත්ත ඩබල් එකේ ලඟ ලඟ නවන්ට. මම ඇවිල්ල බුද්ධ දේශනාව අකුරටම පිළිපදින එකා වෙච්චි. අප්පමාදෝ අමත පදං මහණෙනි, අප්‍රමාදව අමර පදමට පැමිණෙන්න...හෙහ්, හෙහ්, ඇහුණය?...ආන්න එහෙමයි ඔය පරණ පොත් පත්වල තියෙන්නෙ....හරිය? 

මගේ සුපුරුදු චර්යාව ඒක උනාට අද මොන විකාරද? අර යස්සය, විජිතය මා ලඟ මුද්දරේ ඇලෙව්ව වාගෙ..හෙල්ලෙන්නෙ නෑ..අනේ අයියෙ කවි ලියමු..අනේ අයියෙ කවි ලියමු...අර පරණ ග්‍රැමපෝන් තැටි එක තැන දුවන්නෙ හිටපු ගමං...අන්න ඒ වගේමයි... 

අපි සුට්ටි කාලෙ රේඩියෝ එකේ සිංදු අහද්දි ඔය ආතල් එක හරියට සිද්ද වෙනව. " රාජසඟබෝ හිස දී..දී..දී..දී..." කවුරුහරි දුවගෙන ඇවිල්ල හිට කට්ටට සුට්ටක් ඇඟිල්ලෙං ඇනල එහාට දානකල් දීදීදීදී තමයි ඉතිං....ඔය එකතැන දිවිල්ල බොහෝ විට වෙන්නෙ මහ අසමජ්ජාති අකුරු ගාව.." බොහොම සැරට හුළඟ හමයි ගස් ද වැල්ද ඇදං වැටෙයි .." ඔය සිංදුවෙ කට්ට හිටින්නෙ තුන්වෙනි වචනෙ මුල් අකුරට පස්සෙම තමයි.... ආය ඒකෙ දෙකක් නෑ... 

" හරි බාං ඉඳහං ...ටිකක් එක විදිහක් වෙනකල්….කවි ලියන්ට එන්ට ඕන ගැම්මක්…" මම විජිතයගෙ පිටට තට්ටුවක් එහෙම දාල පපඩං කෑල්ලක් කටේ දාගත්ත. 

" ඒයි මොනවද බං කරන්නෙ?..ඔය අහිංසකයගෙං අරක්කුත් බීල උගෙ වැඩේ කොරල දෙන්නෙ නැද්ද?...." 

විජේ කෑගහනව නටන ගමං...ඌට නටන්ටමයි ඕන...බොන්ට ඕනමත් නෑ...බෝතලේ කනප්පුව උඩ පේන්ට තිබ්බත් ඇති..ඌට ඉබේටම නැටවෙනව. 

" අනේ මෙහ්...." 

මම ඌට සුපුරුදු හස්ත මුද්‍රාවෙන් උත්තර දුන්නත් ඒ එක්කම නැඟිටල කාමරේට ගිහිල්ල පයිල් එහෙකුයි හාප් සීට්ටෙහෙකුයි පෑනකුයි අරං ආව. විජිතයගෙ මූණෙං එකයි හිනාව. ඌත් පුටුව ඇදගෙන මගෙ තුරුලටම ආපි. 

" අඩේ පොඩ්ඩක් එහාට වෙල ඉඳුකො හුලං සුට්ටක්වත් වදින්ට.." එහෙම කියල මම ලෑස්ති උනා කවි ලියන්ට. 

" ආහ්හ්..මේ මලේ... කෙල්ලට කවි ලියන්ට කලිං අරං වර අන්තිමට ඒකි බොට එවාපු කවි කොලේ...." 

" ඒ මොකටද අයියෙ?..." විජිතය මගෙ මූණ දිහා බැලුව.. 

" ඒ මොකටද කියන්නෙ?..යකෝ කෙල්ල එවාපු කවි වලටනෙ උත්තර ලියන්න ඕන...." 

" ඒත් මේ..ඒත් මේ….." ඒකා ඇඹරෙනව එහාට මෙහාට.. 

" මේ මට ඒ ලියුම බලන්ට ඕන නෑ බං..කවි ටික විතරක් අරං වර...." 

ඔන්න ඒකා ගෙනාව කවි කොලේ...මම ඇත්තම කිව්වොත් ඔය යන්තමට හතර පදයක් එක විදිහකට ගැටගහ ගත්තට එහෙමට කවි කාරයෙක් නං නෙවෙයි. ඒත් ඉතිං අර ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ය කියන්න වගෙ මමත් නිකම්ම කවිකාරයෙක් වෙලයි තිබ්බෙ. 

" අම්මට උඩු නයා කිව්වලු…...මරු නෙව මලේ…" 

මතක මංපෙත ඇවිද යන සඳ, 

සසර ඉම තෙක් ඉසිඹුලා, 
තනිය මකනට සුසුම පමණකි, 
මහද පිරවෙන නෙතු තෙමා, 

කතර දවනා හිරු කිරණ සැඩ, 
දවන මාවත ගිනිහෙලා, 
කෙලෙස පියවර නඟන්නෙම් මම, 
සෙවණ මා පැතු ඔබ තමා, 


" මතක 
මංපෙත ඇවිද යන සඳ…" මම මුල්පදේ තාලෙට ඇදල පැදල කිව්ව සද්ද නඟල කාරිය.. 

" කෑගහන්ට එපා අයියෙ…" විජිතය බැගෑපත් උනා.

" රයිට් ඉඳපංකො එහෙනං පිළිතුරු කයියක් ලියමු. ඊට කලිං දාගෙන ඉම්මු තව එකක් කට කපල...." එකක් දාගත්ත..පපඩමකුත් හැපුව කරස් කියල... 

" දැං මේ වනිතාවි මේ කියන්නෙ බෝම දුකින් බරව තනියම සසර මඟ යනවයි කියලනෙ.සුසුම් විතරලු එයයිගෙ තනියට ඉන්නෙ.අනික කාන්තාරෙක යනව වගෙ තමයි එයයිට හිතෙනව කියන්නෙ...ඉර මුදුංවෙලා, කකුලුත් පිච්චෙනව..ඒත් හෙවනකට නෑ කවුරුත්... තනියම තමයි යන්නෙ..ඒත් මලේ අන්තිමට කියනව සෙවන මා පැතු ඔබ තමා..ආන්න ආව ඉම්පෝටඩ් පොයින්ට් එකට..උඹව තමයි පතාල තියෙන්නෙ..හෙහ්, හෙහ් " 

විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල.. 

" අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා. 

" නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත. 

මතු සම්බන්ධයි.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...