Saturday, June 22, 2019

634. Julia Roberts, දේව පාමුල, පින්න මලේ සුද සහ එක දවසක් පළඟැටියෙක්....


Julia Roberts as Pretty Woman

මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම. 

ආන්න එහෙමයි පහුගිය පෝස්ට් එකට කලින් පෝස්ට් එක මම පටන් ගත්තෙ..මතකයි නෙවද? 

ඒ ඔය මේ දවස්වල රූපවාහිනී චැනල් කීපයකම විකාශය වෙන යස අපූරු ටෙලි චිත්‍රපට (එව්වට ටෙලි නාට්‍ය කියල කවුරු කිව්වත් මම නම් කියන්නෙ ටෙලි චිත්‍රපට කියල. එව්ව නාට්‍ය නොවෙන කොට මොන කෙහෙල්මලකටද එව්වට නාට්‍ය කියල කියන්නෙ?..වැරදි දෙයක් ජනසම්මත වුනාය කියල ඒ වැරැද්ද නිවැරදි වෙනවද? නෑනෙ...මම කලින් දවසක ඔය ටෙලි නාට්‍ය කියන බහුබූත වචනෙ උපත ලබපු හැටි ගැන සවිස්තරව කියල තියෙන හින්ද ආය අදත් ඒ ගැන කියන්න යන්නේ නැත) කීපයක් ගැන පොඩි විස්තරයක් කරල කාරිය වැඩේ අහවරක් කරල දාන්නම්ය කියල හිතලයි වැඩේ පටන් ගත්තෙ. ඒත් අන්තිමට සිද්ද වුනේ අර කලාතෙ මීමා බලන්නෙම මඩට පනින්ට කිව්වැහෙ පරණ පුරුදු විදිහට චිරාත් කාලයක් පටන් පැවත එන මගෙ පඳුරු තැලීමේ ක්‍රියාපටිපාටියට නොදැනුවත්වම පිවිසෙන්ට සිද්ද වුන එක. 

හරි හරි එහෙනං වෙච්චි දේට එන්න සෙයියරදු කියල පටන් ගත්තු කතන්දරේ කියල ඉන්නංකො ඔක්කෝටම කලිං. 

රායිට් කලින් දවසෙ කතන්දරේ කැලේ පැන්න තැන ඔබ තමුන්නාන්සේලාට අමතක මතක බැරිවෙලා ඇතිය කියල උපකල්පනය කරල හිට මම ඒඅදාල තැනින්ම අද කතාව පටන් ගන්නව ඔන්න එහෙනං... 

පසුගිය සතියෙන් උපුටනය / 

"සූඩයොද? කීරමින්ද? කට්ට කරවලද?" පොදුවෙ කරවල කෝකටත් ආසයි උනාට ඒ තමයි මගෙ ෆේවරිට් කරවාඩු ත්‍රී කැටගරීස්... 

"මොන ජාතියද කියල නම් මන්දන්නෙ නෑ අනේ...ඔය තියන මොනව හරි එක්ක කන්නකො.." ඇය කිව්ව.. 

"හරි හරි ඒකෙ අවුලක් නෑ...මට කරවල මොනව උනත් එකයි"  මමත් කිව්ව. 

"මේ ඒ කරවල කතාව අල්ලල දාමුකො..මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න වෙලා තියනව.." 

"හරි හරි ඉතිං මොකක්ද කියන්නකො.." 

"මේ දවස්වල අර දේව පාමුල කියල පත්තරවල එහෙම ඇඩ් එකක් යන්නෙ ..ඔයා ඒක දැක්කද? " 

"දැක්ක..දැක්ක..අප්පච්චියේ නොදකින්නෙ කොහොමද? හැම පත්තරේම වගෙ ෆුල් පේජ් ඇඩ් එකක් දානවනෙ ඔය දේව පාමුල කට්ටිය...හෙහ්..හෙහ්.. " 

/ උපුටනය අවසන් 

"ආ දැක්කනෙ.. එහෙනම් මේකයි ඕන උදව්ව…" 

"Yes tell me..At your service always Madam…" 

"ඔය දේව පාමුල කට්ටිය හැම අවුරුදු දෙක තුනකටම සැරයක් ලංකාවට එනව.." 

"ඔව් මට මතකයි ...ඉතිං? " 

"ඉතිං අපෙ අම්ම ඔව්ව හරියට විස්වාස කරනව.." 

"ආ..ඇත්තද?.." 

"ඔව්නෙ.." 

"එතකොට ඔයත් ඔව්ව විස්වාස කරනවද? " 

"මම නම් ඔව්ව ගැන විස්වාසයක් නෑ…." ඈ කිව්වෙ මා දිහා බලල හිනාවෙන ගමන්... 

එදා ඔය එහෙම කිව්වට ඇත්තම කිව්වොත් ඒ අම්මණ්ඩි උන්දගෙ මව් තුමියට වඩා බොහොම සුට්ටයි පස්සෙන් ඉන්නෙ ඒ අංසෙන් බැලුවොත්...හෙහ්..හෙහ්..ආය ඉතිං ඇත්තම කියන්ට එපාය...

මම අනම් මනම් කියන හින්දම බැන්දට පස්සෙ ටිකක් කොන්ට්‍රෝල් වුනා. ඒත් ඔය හිටපු ගමං එක එක පිස්සු විකාරවලට අහුවෙලා එව්ව පස්සෙ දුවනව. ඒත් එව්ව හරියට අර සෝඩ බෝතලේ කැඩුව වගෙ කියන්නෙ...අන්න ඒ වගෙ බොහොම ටික කාලයයි. එහෙ දිව්ව මෙහෙ දිව්ව..මොන මොනව හරි විසිවිත්තර ටිකක් කලා. බොහොම ඉක්මනට එව්ව නැතිවෙලා ගිහිල්ල යතා තත්වයට එනව... 

ඔය සෝඩ බෝතලේ කැඩුව වගෙ කියන උපහැරණෙට මේ දවස්වලනම් ඊට වඩා බොහොම අපූරු උපහැරණයක් තියනව. තිසර පෙරේරාගෙ බැටිං වගෙ. කියල කිව්ව නම් නියමයි. ඔන්න තිසර පෙරේරා ආව. පලවෙනි නැත්නම් දෙවෙනි බෝලෙට හයයි.. ඊලඟ බෝලෙට හතරයි.. ඊට පස්සෙ බෝලෙ ඔන්න විකට්. එහෙම නැත්නම් කැච්... 

එතුමියගෙ මේ සෝඩ බෝතල් සීන් එකට උදාහරණයක් ගත්තොත් මේ අවුරුදු හත අටකට වගෙ ඉස්සර එවුන්දැට වැහුන අර පෙංසුයි කියල විකාරයක් තියෙන්නෙ..ආං ඒ පිස්සුව..එතුමියගෙ අතිජාත මිතුරියකගෙ මාර්ගයෙන් තමයි අසනීපෙ බෝ වුනේ..ඒ කරල අර ආසිරි වනිගරත්න කියන පට්ට හොරාගෙ පෙන්සුයි වැඩ මුලු දෙකකට කොහේදත් ගියා ඔන්න ඔහෙ...එක එක පෙන්සුයි පිළිම, පෙන්සුයි නැව්, පෙන්සුයි ගස් එහෙමත් ගෙනල්ල ගේ පුරා තැන් තැන්වල තියල තිබ්බ. 

හැබැයි අපරාදෙ කියන්න බෑ..ඔය එක එක අටමගල් ගන්ට ඉස්සෙල්ල මගෙං අහනව.."මේ ඒයි අර පෙන්සුයි අහවල් එක මම ගන්නද?" කියල..මමත් ඉතිං ඉස්සෙල්ලම අහන්නෙ "කීයද ඔය අහවල් එකේ ගාණ?" කියල...බලනකොට ඒ හැටි ගාණක් එහෙමත් නෑ..අනික කොහොමත් එතුමී ඔය මිල අධික එව්ව ගන්නෙත් නෑ අපරාදෙ කියන්න නම් බෑ ඉතිං.... "හා එහෙනං ගන්නකො.." කියල මම කිව්වම ඔන්න අරගෙන ඇවිල්ල ඒ එක්කම දෙන උපදෙස් පත්‍රිකාවෙ තියන විදිහට ඒ නියමිත දිශාව බලල තැන්පත් කරනව.

මමත් ඉතිං ඔය සාලෙ තියන පුටු මේස සැටි එහෙම එහාට මෙහාට අදින්ට උදව් කරල සහයෝගය දෙනව. සහජීවනය කියන්නෙ ඒක නෙව. අනික ඉතිං මට ඒ මනුස්ස දූගෙ සිතුම් පැතුම් අදහස් උදහස් තනිකර කණපිට ගහල වෙනස් කරන්ට ඇහැකිය? එහෙම පුලුවන් උනත් මම එහෙම කරන්ට යන්නෙ නෑ. 

අර ජුලියා රොබට්ස් (Of Pretty Woman Fame) යෝදි කියල තියන අපූරු කතාවක් ඔබ තමුන්නාන්සෙල අහල ඇති නෙවද? 

"Women...You Are Not Rehabilitation Centers for Badly Raised Men. It's Not Your Job to Fix Him, Change Him, Parent or Raise Him. You Want a Partner. Not a Project" - Julia Roberts 

ජුලියා නංගි මෙතන කියන්නෙ කාන්තාවො කියන්නෙ නැහැදිච්චි පිරිමි හොඳ මාර්ගයට ගැනීම තම ඒකායන අපේක්ෂාව කොටගත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන නෙවෙයි කියලයි...හෙහ්...හෙහ්..ඒ එක්කම කියනව කාන්තාවන්ට අවශ්‍ය වන්නේ ජීවන සහකරුවෙක් මිස තම ජීවිතය ඒ වෙනුවෙන් කැපකල යුතු ව්‍යාපෘතියක් එහෙමත් නෙවෙයි කියල...කොහොමද කතාව?... සම්පූර්ණ ඇත්ත නේද? 

ඉතිං ජුලියගෙ මේ කතාව පොඩ්ඩක් විතර වාගෙ වෙනස් කලොත් මටත් ඕන කලේ මට ඕන විදිහට මකවල අලුතින් අඹල ගන්ට පුලුවන් මැටි රූපයක් නෙවෙයි. කොටින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාට්නර් කෙනෙක්. ඒ හින්ද ඒ යෝදිගෙ ඔය පොඩි පොඩි Idiosyncrasies මට කවදාවත් ප්‍රශ්ණයක් උනේ නෑ. ඇත්තම කිව්වොත් ඒකෙන් උනේ අපේ ජීවිතේ තවත් රසවත් වුනු එක...

(ඔය Idiosyncrasies කියන වචනෙට මධුර ගොයිය නම් කියන්නෙ නිජසම්මිලතිය කියල. අනේ මන්ද කොහෙන් හොයාගත්තු එකක්ද කියල...මධුර කියන අනෙක් වචනෙ ස්වචාරය..ඒකනම් ටිකක් විතරවත් ගැලපෙනව ) 

හරි ජුලියා ගැන ඒ ඇති ආයම එමු අපි දෙන්නගෙ දේව පාමුල පිළිබඳ සාකච්ඡාවට… 

"හ්ම්ම්ම්..ඒක හොඳයි..මම නම් ඔය බහුබූත සත පහකට විස්වාස කරන්නෙ නෑ...හරි හරි ඒ ගැන පස්සෙ කතා කරමු..දැන් කියන්නකො මොකක්ද ඕනය කියපු උදව්ව?" 

"මීට අවුරුදු දෙහෙකට වගෙ කලින් ඔය කට්ටිය ලංකාවට ආපු වෙලාවෙ බෝගම්බර පිට්ටනියෙත් ඔය දේව මෙහෙයක් තිබ්බ. මම තමයි අම්මව එක්ක ගියේ ඒකට. රෑ එකොළහවගෙ වුනා වැඩේ ඉවරවෙනකොට. ඊට පස්සෙ අපේ ලොකු අයිය ඇවිල්ල හිටිය අපිව එක්ක යන්ට. රෑ ඒ පාර හන්තානෙ එයාගෙ ක්වාටර්ස් එකේ ඉඳල පහුවදා ගෙදර ගියා..." 

ඒ යෝදිගෙ ලොකු අයිය වැඩ කලේ හන්තානෙ තේ පර්යේෂණායතනයෙ. 

"ඉතිං?" 

"ඉතිං වැඩේ කියන්නෙ මේ පාර ඒ කට්ටිය නුවරට එන්නෙ නෑ. කොළඹ විතරයි.." 

"හරි, හරි, අයි අන්ඩර්ස්ටෑන්ඩ්...අම්ම මේ පාරත් යන්න ඕනය කියල කියනව..එහෙම නේද?" 

"ඔව් අනේ...මම මේ කල්පනා කලේ මොකක් කරන්නද කියල..අයියටත් එන්න විදිහක් නෑ ..අයියගෙ වයිෆ්ට බබෙක් හම්බවුනේ මේ පහුගිය මාසෙ...පොඩි අයිය මේ දවස්වල බදුල්ලෙ ගිහිල්ල මොකක්ද රාජකාරි වැඩකට.." 

උන්දැගෙ පොඩි අයියත් වැඩ කලේ තේ පර්යේෂණායතනයෙමයි.

"හරි ඉතිං දැන් මොකක්ද ඔයාගෙ අයිඩියානන්ද එක නොහොත් යෝජනාව?" 

ඇගේ අදහස කුමක්ද යන්න සක්සුදක්සේ පැහැදිලි වුවද මම ඇගේ වදනින්ම ඒ අසනු රිසියෙන් පිළිවිසියෙමි. 

"රයිට් මට කියන්න ඕන කලේ මේකයි..ඔයාට බැරිද අම්මයි මායි එක්කල ඔය වැඩේට යන්ට එන්ට?" 

"ඒ කියන්නෙ කීයටද ඕක තියෙන්නෙ? මම ඔය පත්තරේ ඇඩ් දැක්කට ඒ වෙලාවල් කලාවල් බැලුව ඇති එකක් නෑ..මට වැඩක් නැති හින්ද…"

"රෑ හතට පටන් ගන්නෙ..ඉවර වෙන්ට නියමිත වෙලාවක් නෑ...සමහරවිට රෑ එක දෙක වෙන්නත් පුලුවන්.." 

"ඈ?" 

"නෑ..නෑ..අපි එච්චර වෙලා ඉන්න ඕන නෑ ඔය දහය එකොළහ වගෙ වෙනකොට එමු." 

"හරි ඒත් දැන් රෑ එකොලහට එතනින් පිටත් වුනාය කියන්නෙ කොටුවට එනකොට එකොලහමාරවත් වෙනව. අනික ඔය යක්කු ගස් යන වෙලාවට බස් තියෙන්නෙත් සී.ටී.බී. විතරයි ඒකත් පැය බාගෙකට එකක් වගෙ. එතකොට දොළහමාරට කොළඹින් ආවත් නුවරට එනකොට තුනවත් වෙනව. ඔය ගොල්ලො කොහෙද එතකොට රෑ ඉන්නෙ?" 

"මාතලේට යන්ට ඒ වෙලාවට කොහොමත් බස් නෑ. අපේ ලොකු අම්මකෙනෙක්ගෙ පුතෙක් ඉන්නව කෙහෙල්වල...කොළඹ-නුවර පාර අයිනෙම වගෙ..පාරෙ ඉඳල ඕනනම් මීටර් පණහක් ඇති. අම්මයි මායි හිතාගෙන ඉන්නෙ එතන බැහැල ඒ අයියලගෙ ගෙදර යන්ට.." 

කෙහෙල්වල තියෙන්නෙ කොළඹ-නුවර පාරෙ පිළිමතලාවයි පේරාදෙණියයි අතර. වැඩිය කිට්ටු පේරාදෙණියට. පේරාදෙණියට කෙහෙල්වල ඉඳල තියෙන්නෙ කිලෝමීටර් තුනක් තුනහමාරක් වගෙ. 

"හරි හරි ඔයාලට එහෙම යන එකේ අවුලක් නෑනෙ නේද? මම කිව්වෙ ඔය මහ රෑ පාන්දර තනියම යන එක?" 

"නෑ..නෑ..කිසිම අවුලක් නෑ..අපි පොඩි කාලෙ ඉඳල නිතරම එහෙ ඇවිත් ඉඳලම එහෙ දැන් ගම වගේ පුරුදුයි..ඒ හින්ද කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..ඔයාටත් පුලුවන්නෙ ඔයාලගෙ ගෙවල් ගාවින් බහින්න නේද? නැත්නම් අපිත් එක්ක යමු අර මම කිව්ව අයියලගෙ ගෙදර.." 

"නෑ..නෑ..මට පුලුවන් අපේ ගෙවල් ගාව හන්දියෙන් බහින්න..අනික එහෙම ඇවිල්ල රැයක් ඉන්න එකත් හරි නැහැනෙ...ගෙවල් වලින් එහාට මෙහාට ඇවිල්ල ගිහිල්ල වැඩේ එකලාසයක් වෙලානම් ඔන්න ඒත් කමක් නෑ...හෙහ්..හෙහ්…" 

අපේ ගෙවල්  තියෙන්නෙ පිළිමතලාවටත් කිලෝ මීටරයක් වගෙ කොළඹ පැත්තට වෙන්න.. ඒ කියන්නෙ මට තමයි ඉස්සෙල්ල බහින්න වෙන්නෙ….. 

අපේ ඔය සම්බන්දෙ ගැන ඒ වෙනකොට අපෙ අම්ම අප්පච්චි එහෙමත් යන්තමට දැනගෙන හිටිය. යන්තමට කියල කිව්වෙ මගෙ මෙහෙම පලහිලව්වක් තියනව වගේය කියල මිසක් ඒ ගැන ඉස්තිරේට මොකවත් මම කියල තිබ්බෙ නෑ. ඒ හින්ද මට කෙලින්ම අම්මට මේ ගැන කියන්ටත් මහ මොකක්ද වගෙ… 

අනික ඒ දවස්වල ජම්බුගහපිටියෙ ඉන්න අපෙ ලොකු අම්ම බලන්ට සති අන්තෙක යමුය කියල අම්ම මා දැක්ක කීප පාරක්ම කියල තිබ්බ. ඒ උනාට ඒ සති අන්ත දෙක තුනේම වගෙ මට හදිසි වැඩ රාජකාරි යෙදුන හින්ද ගෙදර එන්ට බැරි වුනා. 

ඔය මහ කන්නෙ ගොයම පූදින කාලෙ වතුර ඕන වෙනව යහමින්. ඒ කාලෙ යෝද ඇලෙන් ගලාගෙන එන වතුර සොච්චම මුර ක්‍රමයක් හදල බෙදල දෙන්ට ගියාම ඔන්න මණ්ඩලේ කචල්. මේ අල්ලපු කුඹුරුවල එවුං මරාගන්ට යනව. තමන්ගෙ ජීවනෝපායට තර්ජනයක් වෙනකොට මිනිස්සුන්ගෙ අර පපුවෙ තියන යහපත් ගතිගුණ යටපත් වෙලා දුෂ්ඨ අදහස් සහ කල්පනා එලිපෙහෙලියට එනවය කියන එකට ඊට වැඩි හොඳ උදාහරණයක් තවත් නැහැ කියලයි මට හිතෙන්නෙ. 

අනික් අතට ඒක තමයි නොනැසී පැවතීමේ සහජ ඉව නොහොත් "Survival Instinct" කියන්නෙ. මනුස්ස වර්ගයා මේ අද ඉන්නා තත්වයට ආවෙ තනිකරම ඔය Survival Instinct එකේ ප්‍රබලත්වය හින්දය කියලයි මානව විද්‍යාඥයො එහෙම දහ අතේ දිවුරල කියා හිටින්නෙ.. 

කොත්මලේ ජලාසයෙ වතුර මට්ටම අඩුවෙලා ජල විදුලිය නිෂ්පාදනය කරන එක අඩු කලොත් බකමූණෙ අපිට කෙළවෙනව. ඒ කියන්නෙ කොත්මලේ ජල විදුලිය නිෂ්පාදනය කරල පිටාර යන වතුර තමයි ඔය දුර කතර ගෙවාගෙන බකමූණෙ අත්තනකඩවල එතකොට දියබෙදුමෙ අපෙ කුඹුරු වලට ගලාගෙන එන්නෙ... ඒ කියන්නෙ කොටින්ම කිව්වොත් ආණ්ඩුවට කුඹුරු ගොවිතැන් ගැන කිසිම වගේ වගක් තිබ්බෙ නෑ. ප්‍රමුඛස්ථානය දුන්නෙ ජල විදුලි බල නිෂ්පාදනයට. 

මොකද එදත් අදත් හැම දාමත් දේසපාලුවොය කියන කාළකන්නි මුල් තැන දෙන්නෙ මනාපෙට. බකමූණෙ අත්තනකඩවල කුඹුරු මැරුණට එච්චර අවුලක් නෑනෙ. මට මතක විදිහට ජී කලාපෙ (මහවැලිය කලාප වලට බෙදල තිබ්බනෙ..ඉංග්‍රීසියෙන් කිව්වෙ System කියල. System A- කන්තලේ, System B-වැලිකන්ද, System C- දෙහිඅත්තකණ්ඩිය/ගිරාඳුරුකෝට්ටේ, System G-බකමූණ, System H-තඹුත්තේගම / මහ ඉලුප්පල්ලම, System L-වැලිඔය... ඊට අමතරව තිබ්බ මහවැලි විශේෂ බල ප්‍රදේශය - උඩ වළව කියල එකකුත්. ඒ ඔය ඇඹිළිපිටිය දිහාවෙ) බකමූණෙ ඒ කාලෙ හිටියෙ ගොවි පවුල් 5000 විතර ගාණක්. ඉතින් එක පවුලකින් ඡන්ද 4 ක් වුනත් එතන තියෙන්නෙ ඔක්කොම ඡන්ද 20,000 වගෙ. ඒ වගේද කුඹුරුවලට වතුර දීල වතුර ඉවරවෙලා ජල විදුලිය නිෂ්පාදනය කරන්ට වතුර නැතිවෙලා ලයිට් කපන්ට උනොත් එහෙම ඒ හින්ද ඡන්ද කීයක් නැති වෙයිද? අනික කුඹුරු මැරුණම කියමුකො.. විසඳුම Very very very simple නෝ?... 

මැරිච්චි කුඹුරු හෙක්ටෙයාර් ගාණ ගනං කරල දෙනව වන්දි මුදල්. එහෙම දෙන්ටත් මිලියන තුන හතරක් වියදම් කරල තියනව මහා උත්සවයක්. අහල ගං හතක්ම සරසනව රැලි පාලම් එහෙම දාල. ඒ උත්සවේ සංවිධාන කටයුතු වලිනුත් සෑහෙන ගාණක් මාටියා ගහනව. සංගීත කණ්ඩායමක් එහෙමත් ගෙන්නනව. 

"ආ දෙන්ඩ බලන්ඩ ඔය කුඹුරු මැරිල බොහොම සංවේගප්ප්‍රාප්තව ඉන්න මාමල නැන්දල පුංචි අම්මල බාප්පල එහෙම රෙදි කරට අරගෙන හොඳ හූවක්…"

සංගීත කණ්ඩායමේ නායකය මලක් එහෙම ගහල උඩ පැනල අත් උස්සගෙන එහෙම කියනව..

"හූ.....හූ.....හූ...හූ.... " 

පලාතම දෙවනත් වෙන හූ සද්දෙ අර මැරිච්චි කුඹුරු සිසාරා පැතිර යනව... 

කාටවත් කිසිම අවුලක් නෑනෙව..ඔය ඔක්කෝටම වන්දි වලටයි උත්සව වලටයි සංගීතයටයි ඔක්කෝටම ගෙවන්නෙ ආණ්ඩුවෙ සල්ලි..ආණ්ඩුවෙ සල්ලි කිව්වට ඉතිං මොකෝ ඔය ඇමතිල මන්ත්‍රීල ගෙවල් වලින් ගෙනාපු සල්ලිය? නෑනෙ අපේම සල්ලි තමයි.. 

ඉතිං මම මේ කියාගෙන ආවෙ ඔය මුර වතුර ප්‍රශ්න හින්ද මට සති අන්ත දෙක තුනක්ම ගෙදර එන්ට බැරි උනාය. ඒ හින්ද අම්මත් එක්ක ලොකු අම්මලයෙ ගෙදර යන්ට බැරි වුනාය කියලනෙ.. 

"මේ දවස්වල හදිසි වැඩ වගයක් තියන අම්මෙ. ඒ හින්ද මම කියන්නද ලබන ඉරිද වගෙ යමු ලොකු අම්මලගෙ ගෙදර.." 

මම එහෙමයි කියල තිබ්බෙ. ඉතිං වැඩේ කියන්නෙ එහෙම කියල මම කොහොමද කියන්නෙ මම මේ අරයයි එයයිලගෙ අම්මයි දේව පාමුල බලන්ට කොලඹ එක්කල යනවයි කියල. 

අම්ම එකත් එකටම හිතයි "දැක්කද මූ වගෙ ගුණේ නැති එකෙක්..මෙච්චර කල දෑහේ මූනේ තියල හදල වඩල මූට මම අපෙ අක්කව බලන්ට යමුය කියල කියනකොට ඒක බෑ හදිසි වැඩ තියනවලු. ඒත් මේ ඊයෙ පෙරේද හම්බ වෙච්චි අරකියි ඒකිගෙ අම්මයි දෙයියො පෙන්නන්ට කොළඹ එක්ක යන්ට පුලුවනි. එතකොට අර හදිසි රාජකාරි මොකවත්ම නෑ හුහ්..මදැයි මමත් පුතෙක් හැදුව.." 

ඔහොම හිතන එකත් හිතවම තමයි. අම්මල කොහොමත් පුත්තු බඳින්ට යනකොට ඊරිසියයි. විශේෂයෙන්ම එකම පුතා උනහම ඒ ඊරිසියාව තවත් උග්‍රයි. මම වගෙ ගුණ යහපත් එකම පුත්‍ර රත්නයක් උනහම ඒ ඊරිසියාව දෙගොඩ තලා යනව අනිවාර්යයෙන්ම. ආය ඒකෙ දෙකක් එහෙම නෑ... 

ඉතිං මොනවටද මගෙ දයාබර මව් තුමියගෙ රුධිර ධාතුව කෝප කරවන්නෙ කියල හිතල මම අම්මට මෙහෙම කිව්ව… 

"අම්මෙ මේ ලබන සෙනසුරාද මම වැඩ ඉවරවෙලා එහෙම්මම කොළඹ යනව හොඳද? (අපිට ඒ කාලෙ සෙනසුරාද වරුවක් වැඩ) අපේ අර යූනියන් එකේ හදිසි රැස්වීමක් කැඳවල තියනව. හවස පහට. ඒක ඉවරවෙලා මගෙ යාලුවෙක් ඉන්නව බොරැල්ලෙ. එහෙ ගිහිල්ල රෑට කාල රෑ කීයට හරි තියන බස් එකක ගෙදර එනව..අම්මල ඇහැරින්න ඕන නෑ. මගෙ කාමරේ දොරේ යතුර තියනවනෙ. මම දොර ඇරගන්නම්..." 

අපේ ගෙදර හදනකොට මම ඉස්සරහ පැත්තෙ මගෙ කාමරේට පිටින් දොරක් දාගත්ත. ඒ හින්ද ඕන රෑ ජාමෙක අම්මලට ඇහැරවන්නෙ නැතුව මට ඇවිල්ල හෙමීට කාමරේ දොර ඇරගෙන බුදිය ගත්තෑකි. දුර දිග කල්පනා කරල මම එහෙම කරපු එක පස්සෙ කාලෙක බොහොම ප්‍රයෝජනවත් වුනා.. කිව්වම මොකද?..හෙහ්..හෙහ් 

ඉතිං ඔය විදිහට එයයිතුයි (එයයිතුයි කියන්නෙ දකුණු ලංකාවෙ වචනයක්) එයයිතුයිලගෙ අම්මයි..ආ..අන්තිම මොහොතේ එයයිතුයිලගෙ පුංචි අක්කත් ගමනට එකතුවුනා ..මම ඒ තුන්දෙනා එක්කල ගියා තිඹිරිගස් යායෙ හැව්ලොක් පාක් එකට. අපි යනකොට හයයි කාලට වගෙ ඇති. අප්පේ ඒ වෙනකොටත් හත් අට දාහක් වගෙ සෙනඟ..කොහොම හරි හතාමාර වෙනකොට පටන්ගත්ත ආතල් එක..ආය මොනවද අර Mass Hysteria නොහොත් සමූහ මෝහනය කියන්නෙ...අන්න ඒකනෙ ඔය නාඩගම් වලදි වෙන්නෙ..ගෑණු බලන්ට එපාය වැඩේ කොණ්ඩ කඩාගෙන ඔලුව කරකවනව මෙලෝ සිහියක් නැතුව. උඩ පනිනව කැරකෙනව. බිම පෙරලෙනව එක පොයියංගමයි. 

එදා එතන හැව්ලොක් පාක් එකේදි සෑහෙන්න හාස්කම් සිද්ද උනා මයෙ මේ දෑහිම්ම දැක්ක ...ඇත්ත කියන්න එපාය..

ගොළුවො ඇවිද්ද විතරක් නෙවෙයි පුට්බෝල් හිටං ගැහැව්ව.....

අන්ධයො බස බස ගාල තොර තෝංචියක් නැතුව කතා කරන්ට ගත්ත. 

කොරුන්ට පෙනීම ලැබිල දේව පාමුල ඉස්ටේජ් එකේ ගහල තිබ්බ බැනර් එක හෙණ දුර ඉඳල මහ හයියෙං කියෙව්ව "එන්න අප ස්වාමිදරුවාණන් හා එක්වන්න. අවසාන විනිශ්චය ඉතා ආසන්නය. එදිනට අප ස්වාමි දරුවාණන් ඉදිරියේ ඔබේ මෝක්ෂය සළසාගන්න ආමේන්!...." 

මම ඉතිං ඔය නාඩගම් බල බල පිට්ටනිය පුරා එහෙ මෙහෙ ඇවිද්ද. පිට්ටනියෙ එක මායිමක් වෙච්ච ඉසිපතන මාවත පැනල එහා පැත්තෙ තිබ්බ ඒ කාලෙ මම සේනාරත්න සර්ගෙ අශෝකාරාමෙ ක්ලාස් ගිහිල්ල නාවල බෝඩිමට යන්ට බස් එක එනකල් හිටපු බස් හෝල්ට් එක ඇතුලට වෙලා ඉඳගෙන ඒ අතීතයට නැවත පිවිසුණා. ඊට පස්සෙ ඒ ලඟම තිබ්බ හෝටලේකින් රෑට කන්න පොල් රොටීයි ආප්පයි අරං ආව. 

කොහොම හරි වැඩේ ඉවරයක් වෙන්ට කලින් දහය දහයාමාරට වගෙ අපි හැව්ලොක් පාක් එකෙන් පිටත් වුනා. නුවර බස් එකේ එද්දි මම බොහොම අමාරුවෙන් ඇහැ ඇරගෙන ආව. ඇයි අප්පේ නින්ද ගියොත් එහෙම මොන දෙයියන්ට කියන්ටද? ඒ තුන්දෙනානම් මට ඉස්සරහ සීට් එකේ කට කපල නිදියගත්ත. පිළිමතලාවට කලින් අපෙ ගෙවල් ගාව හෝල්ට් එකේ බහිද්දි මම එයයිව කීද්දුව.. 

"මේ… මම බහිනව ඉස්සරහ හෝල්ට් එකේ. ආයම නින්ද යයි බලාගෙන.. ඇහැරලම ඉන්න..නින්ද යයි වගේනම් හිටගෙන යන්න..." මම එහෙම කියල බැහැගත්ත.

"හරි අනේ බොහොම ස්තූතිය…" එයයි කිව්ව.. 

"හරි මල්ලි තෑන්ක්ස්…" එයාලහෙ අක්ක කිව්ව.. 

"හරි පුතා එහෙනම් පරිස්සමින් යන්න..අපිත් හෙට දවල් වෙලා ගෙදර යනව .." අම්ම කිව්ව.

ඉතිං ඔය හැව්ලොක් පාක් එකේ දෙවන මතක සටහන මෙතෙකින් නිමියේය.. 

ඊගාවට තව මේ දවස්වල ප්‍රචාරය වෙනව සුදු ඇඳගෙන කළු ඇවිදින් කියල තවත් අපූරු ටෙලි චිත්‍රපටයක්... 

මම කැමති ඒකෙ පරිසරයට..කතාවෙ හැටියටනම් මැදව්ච්චියට එහා ගමක්… 

මම අනුරාධපුරේ ටෙක් එකට යන කාලෙ අපේ පන්තියේ හිටිය එකෙක්...ගම ඇවිල්ල හිට කුංචුට්ටුව..කුංචුට්ටුව තියෙන්නෙ මැදවච්චියෙන් කැබිතිගොල්ලෑවට ගිහිල්ල එතනින් තවත් යන්ට ඕන සෑහෙන දුරක්. අපි ටෙක් යන කාලෙ සහ ඊට පස්සෙත් සති අන්ත දෙක තුනක්ම ඔය කුංචුට්ටුවෙ ඒකගෙ ගෙදර ගිහිල්ල ඉඳල තියනව. පොරට හොඳට සිංදු කියන්ට පුලුවනි. පෙනුමත් ටිකක් විතර එඩ්වඩ් ජයකොඩි වගෙ..අපි ඒ කාලෙ කිව්වෙත් එඩා කියල... 

මට අද වාගෙ මතකයි ඒ ගිය පාරක බෝතලේකුත් අරගෙන ගිහිල්ල උංගෙ ගමේ වැව් පිටියෙ තියන ගල් තලාවක් උඩ ආතල් එකක් අරගෙන එඩ්ව්ඩ්ගෙ සිංදු කියපු හැටි. ඒ කාලෙ සුනිල් සහ එඩ්වඩ් තමයි අපේ ජනප්‍රියම ගායකයො දෙන්න...පින්න මලේ සුද..සිරි යහනේ ළණු ඉහිරී...කැරකෙන රෝදේ...නිල් නුවන් පෙඟෙන...වසන්තයේ අග...නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ...සංතාප මාවතේ...තිරය ඇරෙනවා... 

එතකොට සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තියන ශුෂ්ක පරිසරයට මම කැමති තවත් හේතුවක් තියනව. එයැයිතුයි මමයි බැඳල අපි ඉස් ඉස්සෙල්ලාම පදිංචියට ගියේ බකමූණට කිලෝ මීටර් හත අටක් එහායින් තියෙන අත්තනකඩවල කියන දිහාවෙ. අත්තනකඩවල අර ටෙලිචිත්‍රපටයෙ පරිසරය තරමටම ශුෂ්ක වියළි කලාපීය නොවුනට වැස්ස නැතුව නියඟයක් ඇල්ලුවම ඒ වගේම තමයි. ඉතිං ඔය ශුෂ්ක පරිසරයෙ අපි දෙන්න යුග දිවිය අරඹපු ආකාරයත් හරිම අපූරු කතාවක්..එහෙනම් ඊලඟ කොටසින් ඒ කතාව කියන්නම්..එහෙම හොඳයි නේද? 

සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තේමා ගීතය මෙහෙමයි..... 

එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා 
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 

ගහ කොළ විතරයි පේන මානේ 
සුළඟ හමනවා..සුවඳක් නෑනේ... 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 

බොරුව ලඟ වැඩියි මේ ලෝකේ...
ඒක zoom කරලා අපි බලලත් නෑනේ 
සිතියමේ උන්නු සමණලයා...

එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා 
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 


Saturday, June 8, 2019

633. ඇපලෝ සර්කස්, කඩු තුඩු මත සැතපීම, ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් සහ Reasonable Use Of Tamil By Night…..


Front View of Apollo Circus Tent - Google Images

පහුගිය පෝස්ට් එකේ නම ඇවිදිල්ල හිට ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ.... ඒකෙ ඔය නුවර වැවේ ඉස්නානේ කෑල්ල මම ගත්තෙ කේ.කේ. සමන් කුමාර ලියපු පොතක නම ඇසුරෙන්. පොතේ නම "නේරංජනේ ඉස්නානේ" දැනට මයෙ හිතේ අවුරුදු පහළවකට දාසයකට වාගෙ කලින් පලවුනු බොහොම ආන්දෝලනයකට ලක්වුනු පොතක් ඒක. ස්ත්‍රියක් බුදුවීම ගැන ලියවුනු කතාවක්. මම බොහොම ආසාවෙන් කියවන්ට බලාගෙන හිටියත් මට මතක විදිහට පොත තහනම් වුන නිසා පොතක් හොයාගන්ට බැරි වුනා.

දැං ඔය මම පහුගිය පෝස්ට් එකේ ලිව්ව නෙව තිඹිරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේ ගැන. එන්න ඒ පේද්‍රිස් පිටැන්න (පිටැන්න කියන්නෙත් දකුණු රටේ වචනයක්) ගැන තව බොහොම රසවත් මතක සටහන් කීපයක්ම තියනව. අද ටෙලි චිත්‍රපට ගැන කතන්තරේ පටං ගන්ට කලියෙන් එහෙනං ඒ ගැනත් කියලම ඉඤ්ඤම්කො.

නමසිය හැත්තෑ නමයෙ විතර ලංකාවට ආපු ඇපලෝ සර්කස් මතක තියන අය කීප දෙනෙක් හරි මෙතන ඇති නේ? ඔව් මම දන්නව මගේ පාඨකයින් අතර ඒ වයසෙ කට්ටිය සෑහෙන්න ඉන්නවය කියල. ඒ කියන්නෙ මගේ පළෝලෙ උදවිය. පළෝලෙ කියන්නෙ සම වයසෙ කියන එක. සමකාලිකයින්. "Peers" කියල ඉංග්‍රීසියෙන් කිව්වැහැකි. 

ඉතිං ඔය ඇපලෝ සර්කස් එක මට මතක විදිහට අවුරුද්දක් විතර ලංකාව පුරා සංචාරය කලා. ලංකාවෙ හැම ප්‍රධාන නගරයක්ම වගෙ සංදර්ශන පැවැත්තුව. ඕක මේ ඉන්දියන් සර්කස් එකක්. එක තැනක කූඩාරම් ගහ ගත්තම මාසයක් විතර එක දිගටම සර්කස් පෙන්නල තව තැනකට යනව. 

නමසිය හතලිස් පණස් ගණන් වලත් ඔය විදිහට මාස ගාණක් රටපුරා සංදර්ශන පවත්වපු සර්කස් කණ්ඩායම් නිතරම ලංකාවට ආවලු. අපෙ අප්පච්චි එව්වගෙ විස්තර කියල තියනව ඔය හිතක් හිතුනම. උන්දැ බොහොම නිහඬ චරිතයක්. ඒත් හිටපු ගමං පොඩි ආතල් එකක් ගියාම ඔය පරණ විස්තර අපිත් එක්ක කියනව.

ගම් පෙරළියෙත් මට මතකයි පියල් ඇවිල්ල නන්දට කතා කරනව "කොළඹට සර්කස් එකක් ඇවිල්ල තියනව යමුද බලන්ට.." කියල. ඒකෙ නම හාමර්ස්ටන් සර්කස් එක කියලයි පියල් කියන්නෙ. නන්දයි අනුලයි සර්කස් වැඩේට පොඩි කැමැත්තක් පෙන්නුවට "අනේ එයාලට මොන සර්කස්ද?..." එහෙම කියල මාතර හාමිනේ ඒ කියන්නෙ නන්දගෙ අම්ම නිෂේධ බලය යොදල ඉල්ලීම ප්‍රතික්ෂේප කරනව.

ඉතිං ඔය ඇපලෝ සර්කස් එක මුලින්ම කොළඹට ආපු වෙලාවෙ මම යාලුවොත් එක්ක ගිහිල්ල බැලුව. ඊට මාස තුන හතරකට පස්සෙ අනුරාධපුරේට ආපු වෙලාවෙ ආයිමත් නංගිලත් එක්ක ගිහිල්ලත් බැලුව. අනුරාධපුරේ ඇපලෝ සර්කස් එක පෙන්නුවෙ අපි හිටපු කච්චේරි ක්වාටර්ස් වල ඉඳල විනාඩි දහයක පයින් යන දුරින් තිබ්බ සල්ගාදු පිට්ටනියෙ. 

ඔය සල්ගාදු පිට්ටනිය තිබ්බෙ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය නොහොත් ස්ටේඩියම් එක එක්කම ඉස්සරහින්. ඒ පිට්ටනියට ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ තමයි සල්ගාදු බේකරිය තිබ්බෙ. ඒ හින්දයි ඒකට සල්ගාදු පිට්ටනිය කියල කිව්වෙ. සල්ගාදු බේකරිවල මූලාරම්භය පානදුරේ. ඊට පස්සෙ රට පුරාම ව්‍යාප්ත වෙලා ගියාලු බොහොම ඉක්මනට සල්ගාදු බේකරිවල පාන් බනිස් බොහොමත්ම රස ගුණ හින්ද. 

ලංකාවෙ හැම ප්‍රධාන නගරයකම වගෙ තියනවනෙ සල්ගාදු බේකරියක්...ගම්පහ බෙහෙත් ශාලාවක් එතකොට දඹුළු ලී බඩු සාප්පුවක් සහ මාතර බත් කඩයක්...හෙහ්...හෙහ්...

හැත්තැ තුනේ හරි හැත්තැ හතරෙ හරි ඔය ඇපලෝ සර්කස් වගේම ලංකාවට ආව චීන සර්කස් කණ්ඩායමක්. ඒ කාලෙ අගමැතිනි සිරිමාවෝ බොහොම කිට්ටු සබඳකම් පැවැත්තුවනෙ චීනෙත් එක්ක. මම හිතන්නෙ ඒ ඉහල පෙලේ සම්බන්ධතා හරහා ලංකාවට ආපු සර්කස් කණ්ඩායමක් වෙන්න ඕන. 

ඒ චීන සර්කස් කට්ටිය මේ ඇපලෝ වගෙ මහා පරිමාණ සර්කස් කණ්ඩායමක් එහෙම නෙවෙයි. ශිල්පීන් ශිල්පිනියන් විස්සක් වගෙ හිටියෙ. මම බැලුවෙ කෑගල්ල නගර ශාලාවෙ. අර කෑගල්ලෙ ටවුන් එක පහුවෙලා කොලඹ නුවර පාර අයිනෙම නුවරට යනකොට වම් පැත්තෙ තියෙන්නෙ. අන්න ඒකෙ. තව හැත්තැ පහේ නැත්නම් හයේ විතර ලංකාවට ආව "ද ටින්ටුකීස්" කියල රූකඩ සංදර්ශන පෙන්වන කණ්ඩායමක්. ඒකෙ නම් හිටියෙ සුද්දො කට්ටියක්. මොන රටෙන්ද කියලනම් මට කිසිම මතකයක් නැතය.

හරි ඒ ඇපලෝ සර්කස් එක තමයි පේද්‍රිස් උද්‍යානය ගැන මුල්ම මතක සටහන.

දැන් ඔන්න දෙවෙනි එක....

දෙවෙනි මතක සටහන නම් ඒ හැටි අතීතයක නෙවෙයි. හරියටම කිව්වොත් අවුරුදු විසි අටක් තිහක් වගෙ එහාය. ඒ වෙනකොට මම ඔය අපේ එතුමිය එක්ක සම්බන්ධය පටන් අරගෙන මාස තුන හතරකට වඩා ගතවෙලා නැතිය. ඔබ තමුන්නාන්සේලා දන්නවනෙ ඔය කාලෙ ඉතිං ප්‍රේමවන්තිය මොනව හරි ඉල්ලීමක් කලොත් කෙලින්ම ඉල්ලන්ට ඕනෙමත් නෑ නිකමට මොනව හරි කිව්වොත් ආය නෑ බෙල්ල කඩාගෙන හරි ඒ ඉල්ලීම ඉෂ්ට සිද්ධ කරන්ට සැදී පැහැදී එකත්පස්ව ඉන්න කාලෙනෙ නේද? ආය මේ මොනව කියනවද නේ?...කඩු තුඩු මත බුදියෙන්ට උනත් ලෑස්තියි තනි පයින්..හෙහ්...හෙහ්...

හිම ගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය දෝතකි..කඩු තුඩු මත ඇවිදින්නෙමි ඔබ සැනහේනම්…

හිම ගිර මට වැලි අහුරකි 
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...


එක සඳුදා දවසක ඔන්න මම උදේ 6.00 ට මාතලෙන් පිටත්වෙන කදුරුවෙල මේල් බස් එකේ වැඩට යනව. ඒ යෝදිත් මගේ සීට් එකේම ජනේලෙ පැත්තෙ ඉඳගෙන ඉන්නව. ඔය වෙනකොට අපේ ඔය ආතල් එක ගැන එයාලගෙ අම්මල අක්කල එහෙම යාන්තමට දන්නව. ඒ හින්ද උදේ එනකොට ගෙදරින් මටත් දවල්ට බත් එකක් බැඳල දෙනව. 

"ආ මෙන්න ඔයාගෙ බත් එක..." ඈ බත් මුල මට දුන්න. 

මගෙ ඒ කාලෙ තිබ්බ බොහොම අනර්ඝ ලෙදර් ට්‍රැවලින් බෑග් එකක්. ඒක මේ චිරාත් කාලයක් පාවිච්චි කරල දැන් අවුරුදු දහයකට දොළහකට ඉස්සර වගෙ තමයි පැන්සොන් යැව්වෙ.. 

"මොනවද අද තියෙන්නෙ?" මම සිප් එක ඇරල බත් මුල බෑග් එකට ඔබා ගන්න අතරෙ ඇහුව. 

"මන්ද අනේ..අම්ම තමයි ඉව්වෙ..ඒත් මම උදේ ලෑස්ති වෙද්දි කරවල බදින සුවඳක් නම් ආව කාමරේට..මම හිතන්නෙ කරවල නම් ඇති එකත් එකටම.."

"සූඩයොද? කීරමින්ද? කට්ට කරවලද?" පොදුවෙ කරවල කෝකටත් ආසයි උනාට ඒ තමයි මගෙ ෆේවරිට් කරවාඩු ත්‍රී කැටගරීස්...


Dry Fish Shop @ Nawalapitiya -
From Sanjai Batti's Post to Ceylon Then- Sri Lanks Now Web Page

"මොන ජාතියද කියල නම් මන්දන්නෙ නෑ අනේ...ඔය තියන මොනව හරි එක්ක කන්නකො.." ඇය කිව්ව.

"හරි හරි ඒකෙ අවුලක් නෑ...මට කරවල මොනව උනත් එකයි"  මමත් කිව්ව. 

"මේ ඒ කරවල කතාව අල්ලල දාමුකො..මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න වෙලා තියනව.."

"හරි හරි ඉතිං මොකක්ද කියන්නකො.."

"මේ දවස්වල අර දේව පාමුල කියල පත්තරවල එහෙම ඇඩ් එකක් යන්නෙ ..ඔයා ඒක දැක්කද? "

"දැක්ක..දැක්ක..අප්පච්චියේ නොදකින්නෙ කොහොමද? හැම පත්තරේම වගෙ ෆුල් පේජ් ඇඩ් එකක් දානවනෙ ඔය දේව පාමුල කට්ටිය...හෙහ්..හෙහ්.. "

මම ඔය දේව පාමුල කට්ටිය කිව්වෙ ඒ කාලෙ අවුරුදු දෙකකට තුනකට වගෙ සැරයක් ලංකාවට ඇවිල්ල රට පුරා ගිහිල්ල හාස්කම් සහිත දේව මෙහෙයක් පවත්වපු ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි නිකායකට...

ඔය දේව පාමුල අයගෙ පත්තර පිටුවකම තියෙන ඇඩ් එකේ තියෙන්නෙත් ඒ අය කරන හාස්කම් ගැන.."කොරු කතා කරති. අන්ධයෝ ඇවිදිති.ගොළුවෝ පෙනීම ලබති..ඔබත් අදම එන්න දේව පාමුල දේව මෙහෙයට සහභාගි වන්න…"

ඔය දේව පාමුල කට්ටිය ඉන්දියාවෙ... ඉන්දියාවෙ කිව්වට හරියටමනම් කේරළ..කේරළයෙ ඉන්නෙ බහුතරයක් කතෝලික සහ ක්‍රිස්තියානි ආගමිකයින්. ඔය යේසුස් වහන්සෙගෙ ප්‍රධානම අනුගාමිකයෙක් වෙච්චි ශාන්ත තෝමස් මුනිතුමා ඒ කාලෙම ආවය කියනවනෙ කේරළයට.ඒ කියන්නෙ එතකොට ක්‍රිස්තු වර්ෂ 50-60 වගෙ කාලෙදි. ඒ කියන්නෙ ඒ තරම දුර අතීතයක ඉඳල කේරළයෙ කතෝලික ආගම පැවතිල තියනව.

ඒබ්‍රහම් ටී. කොවූර් කියල කෙනෙක් ගැන අහල තියනවද? ඒබ්‍රහම් ටී. කොවූර් කියන්නෙ ලංකාවෙ හේතුඵලවාදී සංගමයෙ (Ceylon Rationalist Association) නිර්මාතෘ වරයා. "දෙවියෝ සහ භූතයෝ" එතුමාගෙ ඉතාම ප්‍රසිද්ධ කෘතියක්. ඒ එක්කම එතුමා තව පොතක් ලියල තියනව.."මගේ පර්යේෂණ සහ නිගමන" ඒ පොත් දෙකෙන්ම එතුමා දෙවියන් සහ භුතයින් පිළිබඳ විශ්වාසයන්ට සහ නැකැත් කේන්දර ගැන තියෙන පිළිගැනීම් වලට නිර්දය ලෙස පහර ගහනව.


ආචාර්ය කොවූර් මහතා විසින් රචිත පොත් කිහිපයක් - Google Images

ඒබ්‍රහම් ටී. කොවූර් මහත්මය කේරළ වාසී ඉන්දියානුවෙක්. නමසිය තිස්ගණන්වල යාපනේ වඩුක්කෝඩෙයි ජැෆ්නා කොලේජ් විද්‍යායතනයේ උද්භිද විද්‍යා ගුරු පදවියෙ පුරප්පාඩුවක් පත්තරේ දැකල ඒකට ඉල්ලුම් පත්‍රයක් දාල ඒ තනතුර ලැබිල ඒ අනුව තමයි ඔහු ලංකාවට එන්නෙ. ඔහු තම ගුරු ජීවිතයෙන් සමුගන්නෙ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කොවූර් මහත්මයා තම මුළු ජීවිතයම කැප කරන්නෙ පොදු ජනයා අතර ජනප්‍රිය මිථ්‍යා විශ්වාස දඩමීමා කරගනිමින් ධනය රැස්කරන වංචාකාරයින් නිරාවරණය කරනු උදෙසායි.

විසිවන ශත වර්ෂයෙ මුල්භාගෙ යාපනයේ බොහෝ විද්‍යායතන ලංකාවෙ විතරක් නෙවෙයි දකුණු ආසියාවෙම වගේ ප්‍රසිද්ධයි. ඔය අනුරාධපුර පැත්තෙ ප්‍රභූ පවුල් බොහොමයක පිරිමි දරුවන් ඒ කාලෙ අධ්‍යාපනය ලැබුවෙ යාපනේ විද්‍යාලවල.

70-77 කාලයෙ පාර්ලිමේන්තුවෙ (හරියටම කිව්වොත් පාර්ලිමේන්තුව කියල එකක් තිබ්බෙ 1970-1972 අතර කාලෙ විතරයි. 1972 අවුරුද්දෙ නව ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වුනාට පස්සෙ පාර්ලිමේන්තුවෙ නම ජාතික රාජ්‍ය සභාව කියල වෙනස් වුනා. ඉංග්‍රීසියෙන් නම් National State Assembly) කථානායක ධුරය දරපු කේ.බී. රත්නායක මහත්මය එතකොට සභානායක ධුරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහත්මය එහෙම යාපනයෙ අධ්‍යාපනය ලබපු දෙදෙනෙක්. මට මතක විදිහට ඒ දෙන්න ඉගෙන ගෙන තියෙන්නෙ යාපනේ හාට්ලි කොලේජ් කියන විද්‍යායතනයෙ. ඒ දෙන්නටම ඉතාම හොඳට ද්‍රවිඩ භාෂාව කථා කිරීමේ හැකියාවත් තිබුණයි කියල කියනව. කාන්තා විද්‍යාල අතරින් ඉතාම ප්‍රසිද්ධවුනාය කියන්නෙ වෙම්බඩි ගර්ල්ස් කොලේජ් එක.

ඔය මෛත්‍රිපාල සේනානායක මහත්මය ගැන බොහොම අපූරු කථාවක් මම අහල තියෙනව. මේ කතාවෙ අනික් චරිතය හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහත්මය. ඒ කතාව මෙහෙමයි. 

On another occasion, Maitripala Senanayake, MP for Medawacchiya, who was known widely to be having a clandestine relationship with a Tamil lady, Ranji Handy (whom he married later), kept taunting Dudley over the concessions that his Government was allegedly granting to the Tamils. 

Whereupon Dudley shot back at Maitripala, “Mr. Speaker, I must congratulate the Hon. Member for Medawacchiya on his finding a way to observe ‘Sinhala Only’ by day, and the ‘Reasonable Use of Tamil’ by night.”

මේ 1966 අවුරුද්දෙ සිංහල රාජ්‍ය භාෂා පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු කාලෙ සිද්ධියක් කියලයි කියන්නෙ. ඒ කාලෙ තිබ්බෙ එ.ජා.ප. රජයක්. අගමැති ඩඩ්ලි. සිංහල රාජ්‍ය භාෂා පණතට රජය සංශෝධනයයක් ගෙනාවලු සාධාරණ දෙමළ භාවිතයටත් (Reasonable use of Tamil) ඉඩ දීල. 

මෛත්‍රිපාල සේනානායක ඒ කාලෙ මැදවච්චිය ආසනයෙ විපක්ෂ මන්ත්‍රීවරයා. එයා කීප වරක්ම අගමැතිට කෝචොක් කලාලු මොකක්ද මේ "Reasonable use of Tamil" කියන එකේ තේරුම කියල අහල. 

පස්සෙ ඩඩ්ලි කිව්වලු "ඉතිං මම කියන්න දෙයක් නැහැනෙ ඔබතුමා ඔය ගැන හොඳට දන්නවනෙ. ඔබතුමාට හොඳට පුරුදුයිනෙ දවල්ට Sinhala Only සහ රෑට Reasonable use of Tamil…."

ඒ කාලෙ ලේක් හවුස් පුවත්පත් කලාවේදිනියක් හිටියලු රංජි හැන්ඩි කියල. ඇය ද්‍රවිඩ තරුණියක්. මෛත්‍රිපාල උන්නැහැ ඇයත් එක්ක යම් සබඳකමක් පවත්වනවයි කියන එක ඒ කාලෙ ප්‍රසිද්ධ රහසක්ලු. පසුව ඇය මෛත්‍රිපාල මහත්මය එක්ක විවාහ වෙලා රංජි සේනානායක බවට පත්වුනා.

Tuesday, May 21, 2019

632. ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ…

වීරයා සමඟ ජයනි, රොෂාන් සහ චාන්දනී...

මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම.

ඒ අතරින් ජාතික රූපවාහිනියෙ සති අන්තයෙ විකාශය වෙන "වීරයා ගෙදර ඇවිත්" ඇහැ පියාගෙන ප්‍රමුඛස්ථානයෙ තියන්ට පුළුවෙනි. ඒකෙ නලු නිලියො ආයෙ නෑ නොම්මර එක.....ටී.එන්.වයි.කේ.චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර, එතකොට ආනන්ද කුමාර උන්නැහැ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක... ඒ හැමෝගෙම රංගනය විශිෂ්ඨයි. (ටී.එන්.වයි.කේ. කියන්නෙ තමන් නිළියක් යැයි කියාගන්නා...අර සිරසෙ අම්බරු රැල චාන්දනීට දුන්නු ගෞරව නාමයනෙ ඒක)..ආ..අර පොඩි එකත් කියල වැඩක් නෑ. උත්කෘෂ්ඨයි

අවුරුදු දෙකකට වගෙ කලින් ඔය සෙට් එකම (චාන්දනී, ආනන්ද සහ රොෂාන්) තවත් ඔය වගේම විශිෂ්ඨ රංගනයක යෙදුනා "බැද්දේ කුලවමිය" ටෙලි චිත්‍රපටයෙ. ඒකෙ මහේන්ද්‍ර පෙරේරාත් හිටිය. ඔය දෙතුන් දෙනා සෙට් උනොත් ආය නෑ නොම්මර එකේ වැඩක් තමයි. අවුරුදු පහළවකට වගෙ කලින් මහේන්ද්‍ර සහ චාන්දනී රඟපාපු "රළ බිඳෙන තැන.." කියන්නෙත් මේ මට්ටමේම විශිෂ්ඨ නිර්මාණයක්.

රළ බිඳෙන තැනේ හිටිය තවත් අපූර්ව රංගන ශිල්පියෙක්... විශ්වජිත් ගුණසේකර... මතකයි නේද "කූඹියෝ.." එකේ පොලිසියෙ ලොක්කගෙ චරිතය කලේ ඔහු..."රළ බිඳන තැන..." නිෂ්පාදකයා ආනන්ද අබේනායක. හැමදාම ඉතාම අපූර්ව නිර්මාණ බිහි කරන්නෙක්. කාලෙකට ඉස්සෙල්ල ඒත් රූපවාහිනියෙම ප්‍රචාරය වුනු "ජීවිතයට ඉඩ දෙන්න... " ඒත් ආනන්දගෙ නිර්මාණයක්. ඒකෙ රඟපෑවෙ චාන්දනී සහ බිමල් ජයකොඩි.

මම උසස් පෙළ කරන කාලෙ තිඹිරිගස්යායෙ අශෝකාරාමෙ භෞතික විද්‍යා උපකාරක පංතියකට ගියා. ඒ කාලෙ ඉතාම ජනප්‍රිය භෞතික විද්‍යා උපකාරක පංති ගුරුවරයකු වූ  සේනාරත්න මහත්මයා තමයි පංතිය කලේ. චාන්දනී ඒ පංතියට ආව. ඇය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙ සිසුවියක්. අර සාක්කුවෙ එස්.පී.එම්. ඉංග්‍රීසි අකුරු තුන ගහල තියෙන කර නැති සුදු ගවුම තමයි පාවුළු බාලිකාවන්ගෙ නිල ඇඳුම.

ඉතින් චාන්දනී පංතියට එන්නෙ ඔය නිල ඇඳුම පිටින් හොකී පිත්තකුත් අරගෙන. මම හිතන්නෙ පාසල් වෙලාවෙන් පස්සෙ හොකී පුහුණුවෙලා වෙන්න ඕන. ඇය ඒ කාලෙත් සම වයසෙ කොල්ලො කෙල්ලො අතර ටිකක් ප්‍රසිද්ධයි මට මතක විදිහට සෝමලතා සුබසිංහ මහත්මියගෙ විකෘති නාට්‍යයෙ රඟපෑ නිසා. විකෘති නාට්‍යයෙ සෝමලතා මහත්මියගේ දියණිය කෞශල්‍යා ප්‍රනාන්දුත් රඟපෑවා.

කෞශල්‍යා ප්‍රනාන්දු, ශලනි තාරකා සහ රොෂාන් රවීන්ද්‍ර මේ පහුගිය කාලෙ විකාශය වුනු "තාරා" ටෙලි චිත්‍රපටයෙ  රඟපෑව. "තාරා" කතාව අපට සිටින විශිෂ්ඨ ටෙලි නිර්මාණ කරුවෙක් වන නාමල් ජයසිංහගෙ.

"තාරා" එකේ ආය රඟපෑව මැල්කම් මචාඩෝ. මැල්කම් මම කෑගල්ලෙ ඉස්කෝලෙ යන කාලෙ අන්තිමටම නැවතිලා හිටපු මගෙ අතිජාත මිත්‍රයගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ. දැන් මම හිතන්නෙ මනුස්සය නීතිඥයෙක්.

ගාල්ලෙ කිතුලම්පිටියෙ හාදයෙක් ඔය කාලෙ අපි එක්ක ඔන්න ඔය අශෝකාරාමෙ සේනාරත්න සර්ගෙ පන්තියට ආව. පොර ඇවිල්ල ආනන්දියන් කෙනෙක්. මිනිහ පස්සෙ කාලෙක ආමි එකට ගියා. ඉතිං මම මේ කියන්න ආවෙ මේ යස්සයට අර චාන්දනී ළමය ගැන පිළිබඳ සිතක් පහල වුනාය කියමුකො.

"අනේ මචං හොඳ එකා වගෙ වරෙංකො මා එක්ක යන්ට..." 

ඌ දවසක් ක්ලාස් එක පටන් ගන්නකල් අශෝකාරාමෙ ඝණ්ඨාර කුලුණ ගාවට වෙලා යන එන කෙල්ලො දිහා බලා ඉන්න අතරෙ මට පිණ්සෙන්ඩු වුනා.

"කොහෙද බං? …" 

මම රතු සායක් සහ සුදු ටී ෂර්ට් එකක් ඇඳල එතනින් යන්ට ආපු ටිකක් විතර කොට මොඩල් කෙල්ලෙක් එක්ක යන්තමට හිනාවෙන ගමන් ඇහුව.ඒ කෙල්ලත් යන්තමට දත් පෙන්නල හිනාවෙලා අපේ පංති පැවැත්වුනු ලෑලි මඩුව පැත්තට ගියා.

"ක්ලාස් ඉවරවෙලා අර හොකී ස්ටික් එකක් අරං එන කෙල්ලගෙ පස්සෙං පොඩ්ඩක් යමුකො බං…පොඩි ෆලෝ එකක් දාල බලමු මොකද තත්වෙ කියල...හරිද? උඹ එනවනෙ?"

"උඹට පිස්සුද? මේ රෑ ඔය කෙල්ලො පස්සෙ ගිහිල්ල යකෝ ගුටි කන්ට උනේ නැත්තං ඇති. මට බෑ බං…"

ඔය අශෝකාරාමෙ ෆිසික්ස් ක්ලාස් එක තිබ්බෙ සතියෙ දවස් දෙකක හවස් වරුවෙ. මට මතක විදිහට අඟහරුවාදා සහ බෘහස්පතින්දා. හවස 5.30 ඉඳල 7.30 වෙනකල්. සාමාන්‍යයෙන් ඒ කාලෙ ටියුෂන් පන්ති තිබ්බෙ සෙනසුරාදා හෝ ඉරිදා උදේ හෝ හවස් වරුවෙ. සේනාරත්න සර්ගෙ සුභද්‍රාරාමෙ ඉරිද තිබ්බ උදේ සහ හවස පංති දෙකක්. එව්වගෙ ඉඩ නැතුව තමයි ඔය අශෝකාරාමෙ සතියෙ දින දෙකක ක්ලාස් එක පටන් ගත්තෙ.

"අනේ බං .." අරූ ආයම නාහෙන් අඬනව.

"මට බෑය කිව්වනෙ එක පාරක්...උඹ හදන්නෙ ඔය හොකී ස්ටික් එකෙං දෑත බදල ඉස් මුදුන තැරි ගැහිල යන්ට පාරක් කන්ට තමයි...හෙහ්..හෙහ්.."

තිඹිරිගස්යායෙ කලර් ලයිට්ස් ගාවම තිබ්බ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ඉස්සරහ දෙනෝ දාහක් බලා ඉද්දි අර ළමය උඩ පැනල දෑත බදල හොකී ස්ටික් එකේ අර හාමුදුරු කුඩ මිට වගෙ තියන පැත්තෙන් අරූගෙ ඉස්මුදුනෙන් ඉස්ම බේරෙන්ට පතබානව මගෙ දෑස් ඉස්සරහ මැවිල වගෙ පෙනුන. මට හිනාව නවත්තගන්ටම බැරිවුනා. තාම උනත් "වීරයා ගෙදර ඇවිත්", "කළු ඇඳගෙන සුදු ඇවිදින්.." එව්වයෙ එහෙම චාන්දනී දකිනකොට මට ඒ සීන් එක මැවිල වගෙ පේනව.

මම අශෝකාරාමෙ ක්ලාස් එකට ගියාට ඉස්කෝලෙ මගෙ පංතියෙ යාලුවො ඔක්කොමල වගෙ ගියේ සුභද්‍රාරාමෙ උදේ ක්ලාස් එකට. ඒ හින්ද උං කරපු වැඩේ සුභද්‍රාරාමෙ ටික්ක එක්ක කතා කරගෙන ඒ කිට්ටුවම වගෙ මටත් සුභද්‍රාරාමෙ ක්ලාස් එකට යන්ට චාන්ස් එක හදල දුන්න. ඒ හින්ද අර කිතුලම්පිටියෙ හාදයගෙ ප්‍රේමාන්දරයට ඊට පස්සෙ අහවල් දෙයක් උනාද කියල මම නම් නොදන්නෙමි.

වීරයා ගෙදර ඇවිත් එකේ සති දෙකකට වගෙ ඉස්සෙල්ල විකාශය වුනා නෙතලි නානායක්කාර සහ රොෂාන් රවීන්ද්‍ර දෙන්නව ලණු දෙපටකින් ගැටගහල වැවක බැහැල නාන දර්ශනයක්. චාන්දනී සෙනෙවිරත්න වැව් ඉවුරෙ ගලක් උඩ ඉඳගෙන ඔලුවට රෙද්දකුත් දාගෙන ලණු දෙපට අල්ලගෙන ඉන්නව. ඒකෙ රොෂාන් සහ නෙතලි දෙන්නම රඟපාන්නෙ අන්ධ චරිත. අන්ධ හින්ද නොදැනුවත්වම වැවේ ගැඹුරු හරියට  ගිහිල්ල ගිලෙයි කියලයි ඒ විදිහට ළණුවලින් ගැට ගහල තියෙන්නෙ. හරිම සංවේදී දර්ශනයක් ඇත්තටම.

ලණුවෙන් බැඳල නාල එහෙම තුන්දෙනා ගෙදර එනව...

ඒ එක්කම ඒ වැවේ දර්ශනය දැක්කම මට මතක් වුනේ මම ජීවිතේ වැඩිපුරම කාලයක් ගත කරපු වියළි කළාපෙ. අපි අප්පච්චිගෙ ස්ථාන මාරුව හින්ද කෑගල්ලෙ ඉඳල අනුරාධපුරේට ගියේ 1975 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. අප්පච්චි ඒ අවුරුද්දෙ මැයි මාසෙ අනුරාධපුරේට ගියාට අවුරුද්ද මැද ඉස්කෝලෙ මාරු කරන්ට බැරි හින්ද අපේ අනික් කට්ටිය තව මාස අටක් කෑගල්ලෙ අපේ නිල නිවාසෙම හිටිය විශේෂ අවසරයක් පිට.

කෑගල්ල වගෙ බොහොම සෞම්‍ය සිසිල් දේශගුණයක් සහ වැසි සහිත කාළගුණයක් සහිත ප්‍රදේශයක ඉඳල එක පාරට අනුරාධපුරේ වගෙ කර්කශ වියළි දැඩි හිරුි රශ්මියෙන් දැවෙන ප්‍රදේශයකට ගියාම ඒ වෙනස අපිට බොහොම තදින් දැනුන. ඒත් නංගිල දෙන්නයි මායි අපි පොඩි එවුන් ඒ පරිසරයට බොහොම ඉක්මනටම හුරුවුනා.

මට මතකයි අපෙ අත්තම්මයි අපේ ගෙදරම හිටපු අම්මගෙ විවාහ නොවුනු වැඩිමහළු සහෝදරයෙක් වන මාම කෙනෙකුයි එක්ක අපි තුන්දෙනා අර දාස් දෙන අව්වෙ අනුරාධපුරේ නුවර වැවේ වැව් බැම්ම දිගේ කිලෝ මීටර් දෙකක් විතර ඇවිදගෙන ගියා අනුරාධපුරේ ගිය අලුතම වගෙ. ඒ 1976 ජනවාරි වෙන්න ඕන. නුවර වැවෙ තැනින් තැන පොඩි මඩ කඩිති වගෙ වතුර ජුංඩක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ.ඒ ඇර මුළු වැවම වහගෙන තිබ්බෙ මහ විසාල ගස් සහිත ඝණ කැළෑවකින්.

අවුරුදු හත අටක්ම අනුරාධපුර ප්‍රදේශයට බලපෑ දැඩි නියඟය හින්ද වෙච්චි නස්පැත්තිය තමයි ඒ. එදා ඉතින් අපි ජීවිතේට වැවකින් නාල නැති හින්ද අර මඩ වතුරෙ බැහැගෙන ආසාවට හිස් පේන්ට් ටින් වලින් නෑව බොහොම සතුටින් හිනාවෙමින්. ඒ එක්කම ටිකක් එහායින් වැව මැදට වෙන්ට අලි පැටව් වගෙ තඩි මීහරක් පට්ටියක් මඩේ පෙරළිල හිටිය බොහොම නිසොල්මනේ හරියට වැවේ අයිතිකාරයො වගේ.

ඒත් ඒ අවුරුද්දෙම අගෝස්තු නිවාඩුව වෙනකොට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ අවුරුද්දෙ ඒ කියන්නෙ 1976 අවුරුද්දෙ ජනවාරි 8 වෙනිද තමයි පොල්ගොල්ල වේල්ලෙ ජල දොරටු වහල මහවැළි වතුර රජරටට හැරෙව්වෙ. ජනවාරි 8 කියන්නෙ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඒ කිව්වෙ සිරිමා මැතිණිගෙ පුරුසය එහෙමත් නැත්නම අනුර සහ චන්ද්‍රිකාගෙ තාත්තගෙ උපන් දිනේ.

ඉතිං ජනවාරි අට වෙනිද පොල්ගොල්ලෙන් උතුරට හැරවුනු මහවැලි ජලය බෝවතැන්න උමඟ හරහා මඟ තොට හම්බවෙන වැව් අමුණු පුරවගෙන අගෝස්තු වෙනකොට නුවර වැවට ළඟාවෙලා. අපි නුවරවැව තනායමේ මායිම් වැට එක්කම තිබ්බ ගල ගැලවුනු තාර පාර දිගේ ගිහිල්ල වැව් බැම්මට ගොඩ වෙනකොට මෙන්න බොලේ නුවර වැව ආය නෑ නිල්වන් සළුපිළියෙන් සැරසුනු සිටු කුමාරියක්වගෙ සැරසිල බලාගෙන ඉන්නව. පේනතෙක් මානෙ මුළු වැවම වතුරෙන් පිරිල. 

හුළඟට උපදින දියරැලි ගොඩබිමට ගහගෙන ඇවිදින් වැව් බැම්මත් එක්කම පල්ලෙහායින් වැවිල තියෙන යෝධ ගස්වල මුල් අතර හැප්පිල බිඳිල යනව. මට මතක විදිහට බොහොමයක් තිබ්බෙ ලුණුවරණ වගෙ ගස්. ඈත වැව මැද්දෙ තිබ්බ පොඩි පොඩි මට්ටමේ ගස් දැනටම මැරෙන්ඩ පටන් අරගෙන. කොහොම හරි තව අවුරුදු හත අටක් යනතුරුත් මැරිච්ච යෝධ ගස්වල කළු පැහැ ගැනිච්ච කඳන් නුවර වැව මැද්දෑවෙ හරියට මුර සෙබළු සේනාංකයක් හිටි පියවර හිටගෙන ඉන්නව වගෙ විරාජමානව හිටිය මට මතකයි.

කලින් පාර එද්දි ඝණ කැලේ හින්ද වැහිල තිබ්බ මිහින්තලේ චෛත්‍යය ඈත වැව් බැම්මට උඩින් පේනව ඉර අව්වට දිළිසෙනව. අත්තම්ම තුන්පාරක්ම "සාදු සාදු සාදු" කියල දොහොත් මුදුන් තියල මිහින්තලේ චෛත්‍යයට වැන්ද.

වැවේ සෑහෙන වතුරක් පිරිල හින්ද අත්තම්ම මුලින්ම අපිට නාන්ට වතුරට බහින්ට දෙන්ට කැමති වුනේම නෑ. අනික මගෙ ඔලුවෙ පිටිපස්සෙ අර කොහාටද කැරකිච්ච සුළියක් තියනවලු. ඔය ඔලුව පිටිපස්සෙ ඔය වගෙ සුළි තියන අයට වතුරෙන් අපලයි කියල තමයි කියන්නෙ. දැන් නම් එහෙම සුළියක් හොයාගන්ටවත් නෑ. සුළි පෙනෙන්ට කොණ්ඩෙ තියෙන්ට එපාය නැද්ද එහෙනං?

කොහොම හරි අන්තිමේ අපේ වද කෙරිල්ලට අත්තම්ම ඉඩ දුන්න වැව් බැම්ම අයිනෙම ඉඳල අර කලින් පාර වගේම හිස් පේන්ට් ටින් වලින් නාගන්ට. අත්තම්මයි මාමයි අපිට එහායින් තන මත්තක් වතුරෙ බැහැගෙන නෑව අපේ ආරක්ෂාවට. මට ඉතිං හොඳටම හිත තව ටිකක් වැව මැදට යන්ටමයි. එහෙම දෙතුන් පාරක්ම යන්ට තනනකොට අත්තම්ම අන්තිමට තරවටු කලා. 

"සුට්ටි පුතා මම ආයෙ කියන්නෙ එහෙම නැහැ ඔන්න හොඳද? අනික් දවසෙ ඉණේ තෙල්ගාර ළණු පොටක් බැඳලයි මම වැවට නාන්ට බහින්ට දෙන්නෙ..ඔන්න නොකිව්වයි කියන්ට එහෙම එපා.."

අර චාන්දනී සෙනෙවිරත්න ලණුව අල්ලගෙන ඉද්දි රොෂාන් රවීන්ද්‍රයි නෙතලි නානායක්කාරයි වැවේ බැහැල නාන දර්ශනය දැකපු ගමන් මට මතක් උනේ අපේ අත්තම්මගෙ ඔය තරවටුව...

සටහන - අපෙ අත්තම්ම තෙල්ගාර ලණු කියල හැඳින්නුවෙ Twine කියල කියන්නෙ අර...තුන් හතර පොටක් වෙළු කවල ශක්තිමත්ව අඹරපු සුදු පාට ලණු..එන්න එව්ව..ඒ කාලෙ නයිලෝන් තිබ්බෙ නැති හින්ද ළිඳේ කඹේට, එළුවො හරක් බල්ලො ගැටගහන්ට, කොසයක් තැඹිලි වල්ලක් වගෙ බාගන්ට යනාදී මෙකී නොකී කුදු මහත් කටයුතු සියල්ලටම ප්‍රයෝජනවත් වුනේ සහ යොදාගත්තෙ ඔය තෙල්ගාර ලණු...

Tuesday, April 30, 2019

631. A Stopgap Post…....


උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ,
එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව
එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

මාසෙකින් විතර බ්ලොග් එකේ කිසිම දෙයක් ලියාගන්ට බැරිවුනානෙ. වට් අ ෂේම්...ලැජ්ජයි ඕයි හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක...

කොහොම හරි උනේ මේකයි. ඉස්සෙල්ලම අවුරුදු ආවනෙ. ඊට පස්සෙ අවුරුදු ඉවර වෙනවත් එක්කම පහුගිය පාස්කු ඉරිද ලංකාවෙ වෙච්චි ඒ අහස පොළව නුහූලන අපරාදෙ. ඒ ඛේදවාචකේ හින්ද නිකං ඔලුවට පොල්ලකින් ගහල වගෙ හිටියෙ මේ පහුගිය සතියෙම. එහෙම උනහම මොකවත් ලියාගන්ට තියා..දන්නවනෙ ඉතිං..

ඇත්තම කිව්වොත් එයිට කලින් නම් කීප සැරයක්ම එක එක කතන්දර ලියන්ට පටන් ගත්තට එව්ව අහවරයක් කොරගන්ට බැරිවුනානෙ. 

ඉස්සෙල්ලම අර මම කොටස් දෙකකිද තුනකිද කොහෙද ලියල මඟකි නවත්තල දාල තියන රබරෝසි කතාව...

(ඔය දෙකකිද තුනකිද කියල කියන්නෙ මගෙ කලින් හිටිය බොස් කෙනෙක්. ඔන්න ඔය දකුණෙත් කොහෙද දුර බැහැර පළාතක මනුස්සයෙක්. මෙන්න මේ ගොන්නොරුව දිහාද කොහෙද..."හෙට උදේ දානෙට කැකුළු බතකි සම්බලකි කිරි හොද්දකි තිබුණාම ඇති නෙවෙද?" ඔන්න ඔහොමයි උන්නැහැ කතා කරන්නෙ...අපි ඔය එහෙදි හැම ජනවාරි පළවෙනිදාවකම දානයක් දෙනව. අන්න ඒ දානෙ වැඩ ගැන සාකච්ඡා කරද්දි තමයි උන්නැහැ එහෙම කිව්වෙ...) 

ඊට පස්සෙං පහු අර අනන්‍යා කෙලීගෙ කතාවත් ලියන්ට ගත්ත. ඒත් කොහොමින් කොහොමින් හරි වාක්‍ය හත අටක් ලියනකොට ඒකත් අතපහු වෙච්චි. අන්තිමට අපේ සජිත් බේබි සලෝපූකුසංගම කියල උදා ගමක් අටවල අර සංගක්කාර ගොයිය අවුරුදු විස්සක් විසිදෙකක් තිස්සෙ  ගොඩනඟා ගත්තු කීර්ති නාමෙ එක වරුවෙං නැති බංගස්තාන කරල දාපු එක ගැන මොකවත් ලියන්ට ඕමනාය කියල ඉඳ ගත්ත. ඒකත් ඡේද තුන හතරක් විතරයි ලියන්ට වුනේ..

හරි ඔන්න මම බොරුවක් කියනවයි කියල කියනවනම් මෙන්න මම සජිත් බබාගෙ නාඩගම ගැන බාගෙට ලියාපු කතාව...

උසනම් සිකුරුටි මිටිනම් කම්කරු ශ්‍රී රෝහණ ජනරංජන සජිත් ප්‍රේමදාසගමේ විත්ති...

අපිට ඉන්න දේසපාලුවො මොනව නැති උනත් හත්පොලේ ටිංකිරි ගාගන්ට නම් උපං හපන්නුය. වැඩේ කියන්නෙ එහෙම ඉහිං කනිං ටිංකිරි ගෑවුනාට උංට වගේ වගක්ද නැත. 

හැබැයි එකක් තියෙන්නෙ කිව්වට ඇස්වහක් කටවහක් එහෙම නැතිය හත්පොලේ ගාගැනිල්ල අතින් අපේ බම්මන්නලාට ගේමක් දියහැකි සුපිරි බඩුවක් දැං ඇමරිකාවෙං බිහිවෙලා ඉන්නවාය. ඒ වෙනිං කවුරුවත් නෙවෙයි අමරිකන් ජනාදිපති දුරන්දර සත් ගුණවත් අම්ම මුත්ත කාලෙවත් කොණ්ඩෙ නොපීරූ ඩොනල්ඩ් ට්‍රම්පච්චීය. 

කාලෙන් කාලෙට රට රටවල්වල මිනිස්සුන්ට සමූහ නුහුගුණතාවය කියල ලෙඩක් හැදෙනවාය. මේ ලෙඩේ තාවකාලික වෙන්ටත් පුලුවනිය. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව බල පවත්වන්ටත් ඇහැකිය. මේ ලෙඩේට ඉංග්‍රීසියෙන් කියන්නේ "Collective Madness" කියාය.

වර්ෂ 2016 නොවැම්බර් 8 වෙනිදා බොහෝ අමරිකානුවන් මේ සමූහ නුහුගුණතාවයෙන් පෙළුනු බැවින් ට්‍රම්පච්චී අමරිකන් ජනාදිපති පදවියට පත්විය. එදා සිට මේ ගෙවීගිය අවුරුදු දෙක තුල ඒ මනුස්සයා ලෝකයට සැපයූ විහිලු සහ කරපු මල විකාර අනන්ත අප්‍රමානය. 

මෑතකම කරපු විකාරය නම් පැරිසියේ නෝත්‍රෙදාම් දේවස්ථානය ගිණි ගනිද්දී හෙලිකොප්ටර් වලින් ගොස් වතුර දැමිය යුතු යැයි ට්විටර් ජාලය ඔස්සේ උපදෙස් දීමය. එහෙම දෙයක් කලහොත් එය හානිය තවත් බරපතල වීමට හේතුවනු ඇති බව පැවසූ ගිණි නිවීම් විශේෂඥයෝ ට්‍රම්පච්චීගේ මහාර්ඝ අයිඩියා රත්නය එකහෙලා ප්‍රතික්සේප කලෝය. තමන් නොදන්නා දෙයක් නැතිබව හිතාගෙන ඉන්නා පුඟුලන් එහෙම කොළේ ඉරාගන්නා එක කොහොමවත් වළක්වන්නට නම් බැරිය. අමරිකාවෙ ජනාදිපති උනත් ඒක එහෙමමය.

සජිත් ප්‍රේමදාස කියන්නේ මොන ජාතියෙ මනුස්සයෙක්ද කියලා රටේ ඉන්න දැනුම් තේරුම් ඇති බහුතරයක් උදවිය දැනගෙන හිටියේ බොහොම කාලෙක ඉඳලාය. රෝයල් එකට යද්දි මොකක් හරි නෙයියාඩගමක් නටල අහුවෙලා තාත්තා එක්ක එන්ට කියල ඉස්කෝලෙන් කිව්වාලුය. ප්‍රේමදාස ගොයියට අගමැතිකමේ රස්නේ ඔලුවට ගහල තිබුනු හින්ද කොලුවගෙ තාත්තා හැටියට ඉස්කෝලෙට නොගිහින් ජේ.ආර්. පප්පාට කියල වැඩේ ගොඩින් බේරගන්ට බැලුවාලුය. පප්පා එක හෙලාම ඒ ඉල්ලීම ප්‍රතික්සේප කලාහුය. 

ජේ.ආර්. පප්පා මොන තරම් අසික්කිත විදිහට අදිකරණෙට පාර්ලිමේන්තුවට ඇඟිලි ගැහුවා උනත් තමංගෙ ඉස්කෝලෙ වැඩකට අත දාන්ට තරම් එඩිතර උනේ නැත. එක්කෝ එඩිතර උනේ නැත. නැත්නම් මොනව උනත් තමංගෙ ඉස්කෝලෙට තිබ්බ ගෞරවය වෙන්ටත් පුලුවනිය. ඒ මොක උනත් පප්පා බෑ කිව්වම ප්‍රේමදාස ගොයියා කලේ තමං ඉස්කෝලෙට යනවා වෙනුවට කොලුවා ඉස්කෝලෙං අස් කරගෙන එංගලන්තේ ඉස්කෝලෙකට දාපු එකය.

ඔය සීන්ස් එක උනේ 80 නැත්නම් 81 අවුරුද්දෙ වගෙ වෙන්ට ඕනෑය. ඉතිං සජිත් කොලුවා එංගලන්තෙ ගියාට පාස් කරපු විබාගයක් ගැන එහෙම දැනගන්ට නම් නැත. එව්වා එහෙම තමාය. බහුතරයක් ඔය ලොක්කන්ගෙ පුත්තු දුවල පිටරට යවල ඉගැන්නුවට අන්තිමට නටාපු තොයිලෙකුත් නැත. කට්ටඩියගෙ අමුඩෙත් නැතය. ආතුරයගෙ අඹුවගෙ බොඩියත් නැත. උදාහරණ- චන්ද්‍රිකා සෝබෝන් යෑම, අනුර (අනුර කිව්වෙ not AKD but AB) ඔක්ස්ෆර්ඩ් යෑම.

ප්‍රේමදාස උන්නැහැ ආමර් වීදියෙ බෝම්බ පිපිරීමෙන් අභාවප්‍රාප්ත වූ ඉක්බිති සජිත් පුතා තාත්තාගෙ උරුමය කරට ගනිමින් දේසපාලනයට පිවිසුනේය. ඒ කවුරුත් බලාපොරොත්තුවුන විදිහට තාත්තාගේ බලකොටුව වුනු මැද කොළඹින් නොව හම්බන්තොටින්ය. බොහෝවිට ඒ සජිත් කරන්නට බලාපොරොත්තුවන දේසපාලනයට හරියටම හරියන්නේ මැද කොළඹ වගේ බහුතරයක් මධ්‍යම පාන්තිකයින් වෙසෙන බහු වාර්ගික බහු ආගමික ප්‍රදේශයක් නොවන බව ඔහුට වැටහුනු නිසා වෙන්නට ඇත.

ඒ මොකද කියනවනම් තාත්තා වගේම සජිත්ගෙත් බලාපොරොත්තුව වුනේ මුලු රටේ සියලුම ජනතාවට යහපතක් වෙන පොදු වැඩ පිලිවෙලක් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මාලාවක් සකස් කරල ඒ අනුව වැඩ කරන්න නෙවෙයි. තාත්තගෙම පුතානෙ. මනුස්සයට ඕන උනෙත් දුප්පත්කම විකුණගෙන කන්නය.

හරි දැන් ඔබ තමුන්නාන්සේලාට විස්වාසයිනෙ මම කිව්වෙ බොරුවක් මුසාවක් නෙවෙන වග..එහෙනම් එච්චරයි..

ඉතිං අද ඇවිල්ල අප්‍රේල් 30 වෙනිද..අප්‍රේල් මාසෙ අන්තිම දවස..මම අන්තිමට පෝස්ට් එකක් දාල තියෙන්නෙ මාර්තු 28 වෙනිද. ඒ කියන්නෙ අප්‍රේල් මාසෙට මොකවත්ම ලියල නෑ.

මේ බ්ලොග් ලිවිල්ල පටං ගත්තු දවසෙ ඉඳල එක මාසයක්ම මොකවත්ම පෝස්ට් එකක් නොදා ගතවෙන්ට යන පළවෙනිම මාසෙ. මයෙ හිතට නිකං මොකක්ද මොකක්ද වගේ..

ඒ හින්දා මගේ දයාබර සහෘදයිනි, සහෘදියනි, මම කල්පනා කලා......

(ඊයෙ පෙරේද මම දැක්ක මුහුණු පොතේ මරු දැන්වීමක් දාල තිබ්බ. ඔන්න ඔය  වැලිගම පැත්තෙද කොහෙද තරුණ සමිතියක දැන්වීමක් සිංහල අවුරුදු උත්සවයක් ගැන............" තරුණ සමිති ක්‍රීඩා පිටියේදී 2019.04. 17 දවස පුරා අවුරුදු උත්සවය පැවැත්වේ. තරඟ වලට සහභාගිවීම සාමාජික ජිකාවන්ට පමණි. ජයග්‍රාහක හිකාවන්ට වටිනා තෑගි...." හෙහ්..හෙහ් කොහොමද ඒක? බොරුවක්ම වෙන්ටත් බෑ. අපේ දැන් ඉන්න තරුණ තරුණියන්ගෙ සිංහල දැනුම ඒ තරම් ඉස්තරම්. ආය කිව්වට ඇස්වහක් කටවහක් එහෙම නෑ ඔන්න... )

මම කල්පනා කලා අවුරුදු අටකට වගෙ ඉස්සර ලියපු පෝස්ට් එකක් ආයම රී-පබ්ලිෂ් කරන්ට. මේ පහුගිය සතියෙ සිද්ද වෙච්චි අවාසනාවන්ත සිදුවීම් වලටත් බොහොම සම්බන්ධ කතාවක් මේක.

***************************************************

"විශ්වයම එක් වරම නිහඬ විය.."

රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට හැඟිණි.

මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා නොවැදගත් ප්‍රශ්ණයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිනහවක් ගෙන ආවේය.

එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත. ජීවිතයේ බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව සිතීමට පෙලඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.

එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.

කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්‍රදේශය දක්වා පමණක් වුවද, ඔහුගේ කාර්යයට  ඒ හොඳටම ප්‍රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව, ප්‍රතිබිම්බය ඉතා ප්‍රවේශමෙන් නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කර ගැනීමටය.

දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට දමා පහත් වී අබලන් වූ කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් හෙතෙම මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්ගයට පිළිපන්නේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන සුවඳ මුලින් ඔහුගේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.

අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්‍රතිඵලයක් ලෙස නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.

බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්‍ර කොටගත් සම්බල සමඟ බොහෝ කල්පනාකාරීව තෝස අනුභව කලේය.

තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ පරිප්පු වඩ දෙකක් විය.

මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ සිරුර තෙත් වේදෝ යන බියෙන්ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන්ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසාමද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණේ ද යන්න පවා සැක සහිතය.

පටු මඟ අවසානයේ වූයේ නගර මධ්‍යයේවූ උද්‍යානයේ පසුපස දොරටුවයි. අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්‍යානයට පිවිසි ඔහු, උද්‍යානය හරහා පසුපස දොරටුවේ සිට ප්‍රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, වේගය ක්‍රමයෙන් බාල වූයේ ඔහු ද නොදැනුවත්වය.

උද්‍යාන මධ්‍යයේවූ ගිනි දහවල පවා අඳුර පූර්ණව පහව නොයන  රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්‍යානයේ ප්‍රධාන දොරටුව දක්වා දිව යයි.

තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බේ පිහිටි, ප්‍රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. 

ප්‍රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස්, ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.

හිස සෙමෙන් හරවා ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.

සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්‍යානයේ ප්‍රධාන දොරටුව වෙත යොමු කරමිනි.

ඇයද නැවතත් දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.

තව නොබෝ වේලාවකින් මේ ප්‍රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.

වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්‍යානය පුරා විහිදී ගියේය. එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.

ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.

"දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්ම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති"

ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.

යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.

වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර හිරු එළියද මදින් මද අඳුර දුරු කලේය.

" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." 

ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.

එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.

"දැනුනද?" ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි

ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය...."ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"

නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය. අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.

මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය. ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.

මහා භද්‍ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.

එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.

ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.

එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.

ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී "හරි" යනුවෙන් පැවසූ ඔහු දුරකථනය ක්‍රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.

ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ. හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

"මම ඔයාට ආදරෙයි" ඔහු ඇගේ දෑසට පැවසීය.......

"එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස හඬ පාලනය කොට ගත්තේය....."නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

"මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්‍යානය වටා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ පොලිස් අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත ද ඇය දෙස මොහොතක් බලා සිට හැරී, ඇයට පිටුපා ප්‍රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්‍රියකර අමිහිරි නාදය මධ්‍යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය. ඇසිපිය නොහෙලා බලා සිටියාය.

උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල වූ සිව්මංසල අසලදී සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. ප්‍රභූ ආරක්ෂක රියපෙළ සිව්මංසළ වෙත වේගය අඩුකරගනිමින් ළඟා වෙමින් තිබිණ. ප්‍රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

අසුරු සැණකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........ ඒ දැඩි නිහඬතාවය මධ්‍යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්‍යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...