මා හට වුවද මේ පිළිබඳ වැටහුනේ අන්‍යාගමික කරණය පිළිබඳ බ්ලොග් පෝස්ට් එකක් කියවා (පියා විසින් දරුවන් සහ බිරිඳ ගිණි ලෑ සිද්ධිය වූ දින වලදී) එදිනම රාත්‍රියේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නරඹන විටදීය. මා ද බෞද්ධ කෙනෙකු වුවද එම ප්‍රවෘත්තිය කෙතරම් පක්ෂපාත වීදැයි ඇස් පනා පිටම සාක්ෂාත් වද්දීත් නොපිළිගෙන සිටීමට තරම් මූඩ නොවීමි.
ඉතාමත් දුක්බරව, එම පියාගේ පැත්ත ගෙන, පියා විසින් ගිණි ලෑ පිරිසගේ (ඔවුන් කියනා ආකාරයට) මූල ධර්මවාදී ආගමක් වැළඳ ගැනීම සහ ඒ සඳහා ඔවුන් පෙළඹ වූ උදවිය හෙලා දුටු නිවේදකයා, 'මනුෂ්‍ය ඝාතක' යන වදනවත් එම පියා වෙනුවෙන් යොදා ගනු මට නම් ඇසුනේ නැත.
සම්පූර්ණ වශයෙන් මූල ධර්මවාදීන් සහ එම ආගම වැළඳ ගැනීම මේ සඳහා හේතු භූත වී යැයි අවධාරණය කෙරීමට අමතරව ඉතාමත් සාමකාමී ව සිටි පවුලක් වැනසුනේද ඒ නිසාවෙන් යැයි පැවසිණ. ඒවායේ ඇත්ත නැත්තත්, යම් කිසි ආගමක් වෙත තරයේ බැඳී ඉන්නවාද ජීවන බර සැහැල්ලු කර ගන්නවාද යන පැනය හමුවේ මියගියවුන් තීරණ ගත් ආකාරයත් වටහා දෙන්නට ඔවුන් අද අප අතර නැත.
එලෙසින් ඒ පිළිබද සාකච්ඡා කල ස්වර්ණවාහිනිය ප්‍රධාන අනෙකුත් මාධ්‍ය, පසුගිය දිනවල නැවතත් හඬා වැටෙන්නට පටන් ගත්තේ ඊට වෙනස් ආකාරයකිනි.
මෙලොව වාසී කිසිවෙකුට, මනුෂ්‍ය ඝාතනයක යෙදීමට මනුෂ්‍යයන් පනවා ගෙන තිබෙන නීති සම්ප්‍රදායෙන්වත් පිළිගත් ආගම් ධර්මයන්ගෙන්වත් පිටු බලයක් ලැබෙන්නේ නැත. එහෙත් එසේ වුවත් ඒ වැනි දේ සම්පූර්ණයෙන් නැවතෙන්නේද නැත.
පසුගිය දිනෙක ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූ කළුතර සිද්ධිය දෙස තුලනාත්මක ඇසකින් බැලීමට ජනතාව පෙළඹවූ එකම මාධ්‍යයක් හෝ තිබුණාදැයි සැක සිතේ. සම්පූර්ණ වරද ඒ මව වෙත පටවමින් ඇය වන් මිනී මරු ස්ත්‍රියක් මුළු සක්වල වළල්ල තුලවත් නැති තරමට ඇයව හෙළා දකින ලදී. මට අවංකවම සිතුනේ දින 9කට ආසන්න කාලයක් තුළ මරුවා සමඟ පොර බැදූ ඒ දරුවාගේ වේදනාව අප කාටත් වඩා ඒ අම්මාට දැනෙන්න ඇති කියායි. එක් වේලක පමාවෙන් දරුවෙකු හඬන විට අම්මා කෙනෙකුට එයද දරා ගත නොහැකි තත්ත්වයක් ව තිබියදී වේල් ගණන් අහිමිව දරුවෝ කැලතක් දුක් විඳින විට................... අනේ මට නොතේරේ. ඒ අම්මාට අවැසි වන්නට ඇත්තේ එකෙකු හෝ ඒ දුකින් සැනින් මුදවන්නට විය නොහැකිද?
ඒ බලාපොරොත්තුව බිඳ වැටී,දරුවා දින ගණනක් දුක් විඳ මිය ගිය බව ප්‍රචාරය වන විට මා මාසැමි සමග පැවසුවේ දැන් ඒ අම්මා අඬනවා ඇති යනුවෙනි. දෙනෙත් ලොකු කරගෙන මගේ ඒ වදනට කරුණු විමසූ ඔහු මා දැක්වූ කරුණ පිළි ගත්තේ නැත. කෙසේ හෝ 'ඔයා කියන කථාවෙත් ඇත්තක් තියෙනවා, ඒත්...................' කියන තැනට ඔහු දැන් පැමිණ සිටී.
දරුවෝ එපා නම් හදන්නේ මොකටද?'ඒ පිළිබඳ කන්තෝරුවේදී පැවසූ විට ඇසුණු පැනයකි ඒ,
අපට එලෙසින් සිතිය හැකි වුවත් උපන් මොහොතේ හෝ ඉපදීමට සිටියදී මරා දැමුවා නම් එපා දරුවන් සාදා ඇතැයි සාධාරණව සිතිය හැකි බව මට සිතේ. ඒ අම්මා කෙසේ හෝ දරුවෝ උස් මහත් කරන්නට සිතාගෙන සිටින්නත් ඇති. එහෙත් දරාගත නොහැකි දරිද්‍රතාව හමුවේ ඇගේ බුද්ධි මට්ටමට අනුව මෙවන් තීරණයක් හැර වෙනත් කළ හැකි දෙයක් ඇයට නොපෙනෙන්නට ඇති. දරුවාට සිදුවූ දෙය කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක් බව නොබිඳිය හැකි සත්‍යයක් සේම ඒ මරණයට සම්පූර්ණ වගකීම අම්මා මත ම පැටවිය නොහැකි බවත් එවන්ම සත්‍යයකි.
දැන ගන්නට ලැබුනු ආකාරයට පියා දරුවන්ගේ සියලු වගකීම් වලින් මගහැර සිට ඇත. ජීවත්ව සිටි දරුවන් දිනපතාම මැරී මැරී උපදින්නට ඒ කරුණ ප්‍රමාණවත් නොවන්නේද? ඒ කුඩා දරුවා මිය යාමෙන් පසුව පියා අනෙකුත් දරුවන්නේ අයිතිය දරා ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් පැවසිණ. අද දින ලොව පුරාවෙන්ම ඒ අනාථ වූ දරුවන් කෙරෙහි දක්වන අනුකම්පාව සැබෑ ආදරයක් ව දිගින් දිගටම පවතීවා යනු අපේ පැතුමයි. එසේ නොවුන හොත් ඇතිවන තත්ත්වය පිළබඳ ව කථා කිරිමට මැලි වෙමි.
පෙට්‍රල් ෂෙඩ් ගානේ ස්වීප් විකුණන, කපුරු පැකට් විකුණන දරුවෝ දෙස නෙත් කොනින්වත් මනස නොහෙලන මිනිස්සු අද ඒ දරුවා වෙනුවෙන් හඬනු දකින විට අපටද නිරායාසයෙනම හැඬුම් ඒ.
විකුණන දේ නොගත්තත් රු. 10 -20ක් ඔවුන්ට දෙන්නට තරම්වත් හිතක් පහළ කර නොගත් මිනිස්සු අද ඒ දරුවාගේ සහෝදර සහෝදරියන් දරු කමට ගැනීමට තරඟ වැදී සිටී.
එලෙසින්වත් චින්තන දහරාව වෙනස් වේ නම් සතුටට කරුණකි.
එහෙත් තවත් දරුවකු තව මාස කිහිපයකින් තවත් ගඟක යන විට,
'කලිනුත් ඔහොම එකක් වුනා නේද? කැළණි ගගේ නේද? ........... නැහැ නැහැ.......... මහවැලි ගගේ නේද? ........... කෙල්ලෙක් නේද ඒ පාර දාලා තිබුනේ?.............. පිස්සුද අනේ කොල්ලෙක්......................' යනුවෙන් අනුමාන මගින් මතකය අලුත් කර ගන්නට තරම් මිනිසුන්ගේ මතකය ගැන විශ්වාස නොතැබිය හැකි වීම දුකට කාරණයකි.
මා මිතුරු සොයුරු සොයුරියන් හට කීමට ඇත්තේ එකම දෙයකි. කරුණාකර ඔබට මහ මගදී හමුවන එවන් දරුවන් කෙරෙහි පෙරට වඩා කරුණික වන්න. කපුරු වලින් ගේ පිරි ගියද කම් නැත. රු.10ක් දී එක් පැකැට්ටුවක් හෝ මිලදී ගන්න. එසේ අවැසි නොවන දෙයක් නම් ඔවුන් විකිණීමට පැමිණෙන්නේ හැකිනම් සුළු මුදලක් ඔවුන්ගේ අතමිට මොලවන්න. එසේ කිරීමට නොහැකි තරම් ඔබගේ පසුම්බියත් හිතත් හිස් නොවෙතැයි සිතමි.
එවිට වෙන්න තිබෙන දෙයක් වැළැක්වීමට නොහැකි වුවද නොවෙන්න තිබෙන දෙයක් සිදු නොවන තැනට කටයුතු කරන්නට ඔබත් දායක වූවායැයි ඔබට සතුටු වීමට හැකිවනු ඇත.
පසු වදන
මෙය ලිවීමෙන් සියලු මිතුරන් මා වෙත කඩා පනී දැයි බියෙන් පසු වීමි. අනෙක් අතට හිතට දැනෙන ආවේගය හේතුවෙන් කිව යුතු සියල්ල පැහැදිලිව ගැට ගසා ගැනීමට නොහැකි වේ දැයි සාංකාවක් දැනී තිබුණු අතර ප්‍රවෘත්තියේ උණුසුම දියාරු වී ගොස් ඇති නිසා සැමගේ මසැස වැසී මනස ඇරි ඇතැයි සිතුණ නිසාවෙන්ද අද මෙය ලියන්නට සිතුවෙමි.
රවා මල්ලී. මල්ලීගේ පුතයි ..... අම්මායි ... මමයි...... යන ලිපිය දුටු විට මෙතෙක් දවසක් ලියම්දෝ නොලියම්දෝ සිතමින් සිටි දැය ලිවීමට යම් දිරියක් ලදිමි. ස්තුතියි ඔබට...................................
අනේ මන්දා කතාකරලත් වැඩක් නෑ කතා නොකරත් වැඩක් නෑ
ReplyDeleteමේව ගැන මම හිතන විදිහ ගැන රවාගෙ එකේම මම පිළිතුරක් දැම්මා අක්කෙ. යමක් වෙන්නම ඕනෙ දැනෙන්න. ඊට කළින් කල යුතුව තිබූ පිළියම් ගැන හෝ අවධානය යොමු නොවීම ගැන කිසි කතාවක් නැහැ. දැන් බලන්න කාලෙකට ඉස්සර අර දමිල තරුණයෙක්ව කෝච්චියට ගල් ගැසීම නිසා මරාදැමීම කොච්චර හිත සසල කල සිදුවීමක්ද? දැන් ඔහුව මතකවත් නැතුව ඇති.මේව මාධ්‍ය වලට තම නිෂ්පාදනය සාර්ථක කරගැනීමේ අමුද්‍රව්‍ය විතරයි.
ReplyDeleteමේ සිද්ධියත් තව ටික දවසයි අක්කෙ. එත් මේව නැවත නැවත සිද්දවීමේ නම් නිමක් නෑ. මිනිස්සුන්ට තමන් සංවේදීයි කියල වටහගන්න, ඒ ගැන සතුටුවෙන්න හොද අවස්ථා විතරයි මේව. ටිකක් ඔලුව දාල කෑ ගහල ආපහු හිමීට ටික ටික තමන් වැදිල ඉන්න කට්ට තුලට වැද ගනී.
@ චතු,
ReplyDeleteඅපි කථා කරන්න ඕනේ මල්ලී, ඒත් ඒ ඒ මොහොතට විතරක් නොවෙයි. ජාතියක් හැටියට අපි පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිගමන වලට එළඹිලා ඒවා ක්‍රියාවේ යොදවන තැනට එනකම්ම කථා කරන්න ඕනේ.
@ Raven,
ReplyDeleteපිළිකුල් සහගත ම දේ තමයි මල්ලී බොහෝ දෙනෙක් කරන්නේ මිනී විකුණගෙන කෑම. තව එකක් ලැබෙන කම් තියෙන එක පුළුවන් තරම් කල් විකුණගෙන කනවා.
@ අයියලා මල්ලිලා අක්කලා නංගිලා,
ReplyDeleteමං දන්නේ නැහැ අද උදේ ඉඳන් වෙන කාගෙවත් සයිට් වල කොමෙන්ට්ස් දාන්න මට විදිහක් නැහැ. කොමෙන්ට් බොක්ස් එකට යන්න විදියක් නැහැ. හැකි වූ විගස කොමෙන්ට් කරමි.
බොහොම වටින කථාවක්... අපිට වරදින්නේ No Action Talk Only - NATO නිසා... ගෙදර, මහපාර, රස්සාව කරන තැන, වෙබ් අවකාශය කොයි තැනේදී වුනත් ...පුද්ගලිකව හැමෝම යමක්... ඔව් අඩුගනනේ යමක්... කල යුතුයි.... අවස්ථාව දුටු විගස... කවුරුවත් වෙන කරන්නේ නැත... ඔව් ඔබ ... මේක කියවන ඔබ... යමක් කලයුතුමයි... මම කරමි.... ඔබත් කරන්න...
ReplyDeleteපරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කොර්නේල් අප්පුහාමිට (Coroner) බාර කරමු....
@ පැඟි,
ReplyDeleteඅනේ මන්දා අයියේ, සමාජයේ වෙන දේවල් දැක්කම මේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද පෙනිලත් නොපෙනිලා වගේ ඉන්නවාද නැත්නම් අපිට නෙමෙයිනේ වුනේ කියලා සද්ද නැතිව ඉන්නවාද මන්දා කියලා හිතෙනවා.
දුප්පත් මනුස්සයෙකුට සත පහකින්වත් උදව්වක් කරන්න හිතන්නේ නැහැ. දෙන රුපියලෙන් මේ මිනිහා ගංජා බොයි අරක්කු බොයි කියලා හිතලා ගණන් හදලා ඒක දෙන්නෙත් නැතිව ඉන්න පිඹුරු සකස් කරනවා විතරක් නෙමෙයි අනිත් අයටත් උපදෙස් දෙනවා. අපි ටැක්ස් කියලා ගෙවන ඒවගෙන් ලොකු ලොකු මහත්වරු ඊට වඩා වටිනා ජාති බොන බව අමතක කරනවා.
බස් එකේදි කෝච්චියේදී උගුර ලේ රහ වෙනකම් සිංදු කියන මනුස්සයන් කොච්චර ඉන්නවාද ජීවත්වෙන්න කීයක් හරි හොයා ගන්න. ඒ සිංදු වලට තාල අල්ල අල්ල ගිහිල්ලා සල්ලි එකතු කරන්න ආවම අහක බලා ගන්නවා.
ඕං ඔය නරුමයෝ අල්ලලා දාමු මයේ නගෝ.... අපි දෙමු... මගේ ජීවිතෙන්ම ඉගෙනගත්තු පාඩම ඔං ඕකයි... අපි කලොත් වැඩක් වෙයි නැහ්නං ඉතිං නෑ ම තමා... ආයතනය හදන්න, රට හදන්න ගිහින් කෙලවගත්තෙක් මම...
ReplyDelete(ඔය කොයිකත් ඉවසත හැකි...!
ඒත් මේ පැඟි කියන එක....ශිහ්...!
එහෙම කියල, තමන් නෙවේ වගේ, සීරියස් කතාවකුත් කරනවා...!)
@ පැඟි, (මේක නම් නවත්තන්නේ නැහැ අයියා පුතේ)
ReplyDeleteඔව් අයියේ අපි එහෙම කරමු. පුළු පුළුවන් විදිහට අපි දෙන්නා වත්කමේ හැටියට ඒ වගේ පිංකම් කර ගන්නවා.
මේ ඒ වගේ සුළුම සුළු අවස්ථාවක් ගැන මම කලින් තබපු සටහනකට යන පාර,
http://randil.myblog.lk/2010/01/30/26%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8-27-50%E0%B6%A7-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99/
ආන්න හරි ගාන වැඩක් නෑ... එච්චරයි...
ReplyDeleteදොඩම්, දෙහි ජම්බෝල, ගන්නා විට අයියා පුතාවත් මතක් කර තව රුපියලක් දෙකක් වත් දෙන්න... මමත් අනුමෝදන් වෙන්නම්....
බඩගින්නෙ ඉන්නා එකෙකුට දියයුත්තේ මාළුවෙක් නොව බිලීපිත්තක් බව වගකිවයුත්තෝ කවදා තේරුම් ගනීවිද?
ReplyDeleteමාත් ඉන්නේ ඔයාගේ ස්ථාවරේමයි.
ReplyDeleteමේ සිද්ධියේ වගකිම අම්මට විතරක් පටවන්නේ කොහොමද..
එතකොට..තාත්තා...කවුද..
මේ වගේ සිදිධි මාධ්‍යට නම් මරු. බඩ ගෝස්තරේ ගෙනියන්න.
RanDil අක්කි,
ReplyDeleteRaven කිව්වා වගේ මේ හැම දෙයක්ම ටික කාලයකට විතරයි...පවතින තරඟකාරීත්වය හන්දා තමන්ගෙ නාලිකාව අංක 1 කරගන්න, රූපවාහිනි නාලිකා දඟලන දැඟලිල්ලෙ නිමක් නෑ. මිනිස්සුත් මනුස්සකම් අමතක කර දාලා ලෝකයත් එක්ක හැල්මේ දුවනවා... ලෝකය කිසිකෙනෙක් නිසාවත්... කිසිවක් නිසාවත් නවතින්නේ නෑ... අපට අපේ මනුස්සකම ආයෙම මතක් කරගන්න කාලේ ඇවිත්... මට වෙලාවකට හිතෙනව අපෙ අම්මල කියන කතා ඇත්ත වේගෙන එනවද කියලත්... අක්ක අහල තියෙනවද බෞද්ධ දර්ශනයේ එන කතාවක තියෙනවා... ලෝක විනාශය ළං වෙද්දි මිනිස්සුන්ගෙ මිනිස්කම් නැතිවෙල මෘග සංඥාව පහළ වෙනව කියල... මේ සිද්ධවෙන දේවල් දිහා බැලුවහම මට හිතෙන්නෙ මනුෂ්‍ය වර්ගයාගෙ අවසානය බොහොම ඉක්මනින් ළං වෙමින් තියෙනව කියල...
වරද කාගෙ වුනත් ඒ ජීවිත විනාස වෙලා ඉවරයි අක්කෙ.......මාධ්‍ය වලට මේව ස්ටොරීස් විතරයි හොඳට මාර්කට් කරන්න පුළුවන්..... කට්ටියක් දාගෙනම ඉන්නවනෙ ' ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති ' කියල ඉතින් තව කුමන කතාද.........
ReplyDelete@ පැඟී,
ReplyDeleteහොඳමයි අයියේ
@ nadeesthought,
සමහර අවස්ථා වලදී බිලී පිත්ත තබා මාළුවාවවත් දෙන්න මේ මිනිස්සු පෙළඹෙන්නේ නැහැ නදී. ඔයා කියනවා වගේ බිලී පිත්තක් දුන්නා නම් අපේ රට කොච්චර දියුණු වෙයිද නේද?
@ නිල් අහස,
ReplyDeleteඔබේ අදහසට 100% එකඟයි.
@ Sansarasidu,
ReplyDeleteඔව් ඒ වගේ කථාවක් අහලා තිබෙනවා මල්ලී. අපේ අම්මාගේ අම්මා අම්මලා පොඩි කාලේ කථාවක් කියලා දීලා තියෙනවා, ලෝක අවසන් වෙන්න එද්දී මුරුගසන් වරුසාව කියලා දෙයක් වෙනවා, ඒ සිද්ධිය වෙන්න කලින් දෙවි කෙනෙක් ඇවිත් කෝඳුරු පිහාටුවකින් තනපු බෙරයක් වයලා ඒ පිළිබඳව අපව දැනුවත් කරනවා කියලා. ඒ ගැන හොඳ හෝදිසියෙන් ඉන්න ඕනේ කියලා.
@ විශ්මි,
ReplyDelete"ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති" ඇත්තද?
මට ඒක ඇහිලා නෑනේ. අද බලන්න ඕනේ.
කොහොම වුනත් නංගී ඔයාගේ අර බිරිඳ ගැන කියන කවි පෙල කියෙව්වා ලස්සන, හිතට වදින අදහසක්. එදා තිබුණු ගැටළුවක් නිසා කොමෙන්ට් කරන්න බැරි වුනා. අදවත් බලමු.