Friday, March 5, 2010

36. ඔබ මෙන් ඇයත්............... ඇය මෙන් ඔබත්.......... මට මාගේ ඇස් දෙක වාගෙයි

පෙර ලිවීම

අද සැමිගේ අම්මාගේ 50 වන උපන්දිනයයි. මගේ ප්‍රාර්ථනය ඉදිරි උපන්දින වලදීද අද මෙන්ම සියලු දෙනා සමඟ එක්ව කේක් කපා තෑග්ගක් දී ඇයට සුභ පැතීමට හැකිවන පරිදී අපේ හොඳ හිත පලුදු නොවී තිබේවා කියලායි. මේ වගේ සැමියෙක් මට ලැබුනේ ඒ අම්මා යහපත් ව ඒ පුතා හැදූ නිසානේ. හිතට හරියන්නේ නැති චුට්ටි චුට්ටි දේවල් කා අතිනුත් සිද්ධ වෙනවා. මා අතිනුත් සිද්ධ වෙනවා ඇති. ඈ අතිනුත් සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් නොවුනා සේ අමතක කරලා දාලා හිතට හරියන ලොකු ලොකු දේවල් විතරක් මතක තබාගෙන ඉමු නේද?


අම්මේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!!




මම කළින් කොටසක් සටහන් කල ලිපියක ඉතිරිය අද ගෙන එන්නට සිතුවෙමි.


එහිදී මම සටහන් කලේ මගේ මිතුරන් දෙදෙනෙකු කී කථායි.

අද මම සටහන් කරන්නේ මම මේ දේ දකින විදිහත් මට ඒ පිළිබඳ ව සිතෙන ආකාරයත් පිළිබඳවයි.

ඇත්තටම නැන්දම්මා ලේලි ආරවුල කියා විශේෂ දෙයක් තිබෙනවාද?




අපි මේ සමාජය තුල ජීවත්වන විට බොහෝ සෙයින් (එනම් අපට සිතාගත හැකි සීමාවටත් එපිටින්) හිත සන්සුන් භාවයට පත් කරගත් අය නොවේ නම් දිනකට කී වරක් නම් සිත නොසන්සුන් කර ගන්නෙමුද?


උදාහරණයක් හැටියට බසයේ සීනුවේ එල්ලී එය නාද කලද, අනෙක් බස් රථ සමඟ පවතින තරඟය හේතුවෙන් බැස ගැනීමට අවශ්‍ය ස්ථානයේ නොනැවැත්වීම නිසා දුර ගොස් බැස ගැනීමට සිදුවුව හොත් .................? බසින්නට පෙර රියදුරාට මද පමණකින් හෝ දැඩි වාග් ප්‍රහාරයකින්, එහෙමත් නැත්නම් දවා අළුකර දමන ආකාරයේ බැල්මකින් හෝ සංග්‍රහ නොකරන්නේද?


යම් දෙයක් ලියන විට පෑන නොලියවී ගියහොත් ..................? සමහර විට හරඹය අවසන් වන්නේ පෑන කෑලි කෑලි වලට කඩා දැමීමෙනි.


ස්නානය කරමින් සබන් තවරමින් සිටින විට ජල සැපයුම නැවතී, කොතෙක් පැවසුවද එය සරි කරන්නට කිසිවකු කටයුතු නොකල හොත් ....................?


කී නොකී බොහෝ ආකාරයන් අනුව අපි දිනපතාම අපගේ සන්සුන් බව නැති කරගනිමින් සිටිමු.


ඒ අනුව පෙනි යන්නේ අපගේ කේන්තිය, තරහා, ආවේගය සැම විටම එකම අයෙකු අරභයා, එකම අයෙකු කේන්ද්‍ර කරගෙන නොපවතින බවයි. එනම් නැන්දම්මා ලේලි ආරවුල කියා විශේෂ දෙයක් නැති අතර අප තුල පවතින නොසන්සුන් වීමේ ප්‍රවණතාව මෙතැනදීද ඉස්මතු වන බවයි.


සංගිලි පාලම් වැනි ගැහැණු බැදීම් ................................


හොඳින් කල්පනා කර බැලුවහොත් පෙනී යන කරුණක් වේ. එනම් ගැහැණු දෙදෙනෙකු අතර පවතින බැඳීම බොහෝ විටම වාගේ සෙලවෙමින් පවති. ඒ සඳහා ඔවුන් දෙදෙනා නැන්දම්මා සහ ලේලි ම විය යුතු නොවේ. අම්මා සහ දුව, සහෝදරියන් දෙදෙනෙකු, මිතුරියන් දෙදෙනෙකු,................... ඔය කොයි ආකාරය ගත්තත් නොරුස්සනා ගති නම් ඕනෑ තරම් වේ.


අම්මා සහ දූවරු රණ්ඩු වන අවස්ථා නොවන්නේද? මා දන්නා සමහර දූවරු අම්මාට කොස්සෙන්ද සංග්‍රහ කරඇත. අනතුරුව ඒ වැනි දේ නොසිදුවුනා සේ ඔවුන් මිතුරුව සිටි. එහෙත් නැන්දම්මා සහ ලේලිය අතර කොසු බැට හුවමාරු වුවහොත් එසේ ලේසියෙන් මිතුරු නොවන්නේ මන්ද?


ඉහත සඳහන් කරන ලද සියලුම ගැහැණු පාර්ශ්වීය සම්බන්ධතා වල තත්ත්වය ද අම්මා දුව අතර සිදු වන ගැටුම් වාගේ ඉක්මනින් විස ඳී යයි. නමුත් නැන්දම්මා ලේලිය මෙයින් වෙනස් වන්නේ මන්ද?


මා දකින ආකාරයට නම් මෙයට සෘජුවම බලපාන හේතුව මේ සම්බන්ධතා හී අතරමැදියන් සිටීද? සිටී නම් ඔවුන්ගේ වැදගත් භාවයේ ප්‍රමාණය කවරේද යන්නයි.


ගෙදරක අම්මා කෙනෙකු හා දියණියක අතර ගැටුම් සළකා බලන කල පියා ප්‍රධාන අතරමැදියා වීමේ සම්භාවිතාව වැඩිය. ඊට අමතරව පරිවාර අතරමැදියන් වශයෙන් අනෙකුත් සහෝදර සහෝදරියන් ගත හැකිය. එහෙත් කල් යාමේදී මේ අතරමැදියන්, අතරමැදියන් වනවාට වඩා 'පසෙකට වී සිටින්නන්' බවට පත්වේ.


එනම් ගැටුමක් වුවද ඔවුන් 'කිසිම ගාණක් නැහැ' යන තත්ත්වයට පත් වී තම තමන්ගේ කටයුතු වල නිමග්න වී සිටීමට පටන් ගනී. දුව විවාහක වුවද ඇගේ සැමියා 'අම්මා දුවගේ සටන් අම්මෝ මට වැඩක් නැත' යනුවෙන් සිටින්නේ එසේ සිටීම ඔහුගේ ඇඟට වඩා හොඳ නිසාය.


මෙනයින් අම්මා දුව සැලකුවද, සහෝදරියන් සැලකුවද, මිතුරියන් සැලකුවද, සෘජුවම බලපෑමට ලක්වන්නන් නැත.


ඔවුන් රණ්ඩු වුවද මිතුරු වුවද වටා සිටින පිරිස එහි වැඩි වෙනසක් නොගන්නේ එවන් රණ්ඩු වලට හොට දැමීමෙන්, පසු කලෙක පසෙක සිටින පිරිස නරක් වී ඔවුන් දෙදෙනා පමණක් හොඳ වන්නට ඇති ඉඩ කඩ ප්‍රමාණය වැඩි නිසාය.


එහෙත් නැන්දම්මා ලේලි සැලකූ කල තත්ත්වය වෙනස් ආකාරයක් ගනී. ඔවුන් දෙදෙනා ගේ හැම පියවරකටම සෘජුවම මුහුණ දෙන කෙනෙකු ඇත. අම්මාගේ පුතා සහ බිරිඳගේ සැමියා වශයෙන් එකවර අසීරු වූ ද්විත්ව චරිත නිරූපණයක යෙදීමට සිදුවන්නා ඒ කෙනාවේ.


පෙර කථාවේ පැවසු පරිදි "චූටි හාල්මැස්සා" බැදෙනවාද තෙල් දැමෙනවාද යන්න පවා ඒ පුද්ගලයා උභතෝකෝටිකයකට පත් කරවන්නක් විය හැක. ඔහු එවන් දේවල් වලින් තැලෙන බව දන්නා වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වන නැන්දම්මාත් ලේලිත් තව තවත් ඔහුව තලන්නටම උත්සහ දරණ අවස්ථා විරළය. තලන්නට සෘජුවම සැපයෙන කෙනෙකු සිටින නිසා මේ සටන් ‍‍බොහෝ කාලයක් තිස්සේ නොනැසී පවතින බව මට සිතේ.


බිරිඳත් මවත් වෙනස් මත දෙකක් දරද්දී එයින් එක් මතයක් තම මතය වශයෙන් සැළකුවොත් අනෙක් මතය දරන්නී "දැන් මට කරන්නේ ඔහොම තමයි. ගෑණිව ලොකු කරගෙන............" හෝ "ඔව් අපි මොනවා කලත් වැඩක් නැහැ. අම්මා තමයි ලොකු................." හෝ පවසමින් අසරණයා තලා පෙලා පාගා දමයි. එහෙත් සත්‍යය නම් බොහෝ විට ඔහුට බිරිඳත් මවත් එක හා සමානව වටිනා බවයි.






එහෙත් බොහෝමයක් සැමියන් පුතුන් මෙවන් අවස්ථා වලදී ගන්නේ බිරිඳගේ හෝ මවගේ පැත්ත නොව වඩා සුදුසු වඩා නිවැරදි මතයේ පැත්ත බව, දීර්ඝ කාලීන සටනක, එසේත් නැත්නම් තරඟයක නිමග්නව සිටින ‍නැන්දම්මාටවත් ලේලියටවත් නොපෙනේ, නොදැනේ. අසරණයාගේ අවාසනාව..........................

මා සිතන අයුරට නම් මේ ගැහැණුන් දෙදෙනා තේරුම් ගත යුතු දෙයක් ඇත.

එනම් නැන්දම්මා ලේලි වශයෙන් වසර දහස් ගණනක් පුරා සිතුවා සේ සිතා අතරමැදි අසරණයා පෙලීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතිය යුතුය. සියපුතු ගේ සතුට බිරිඳ සතුටින් සිටීමයි. සිය සැමියාගේ සැනසිල්ල අම්මා සැනසිල්ලේ සිටීමයි.

අතරමැදියා අතරමැදි අසරණයකු නොවී තමන් හා සමඟ තවත් කාලයක් නිරෝගී, සැනසිලි දායක කෙනෙකු වශයෙන් සිටිනු දැකීමට අවශ්‍ය නම් සැමියාට සැනසුම ගෙන දෙන බිරිඳක වන්නටත්, සිය පුතුට සතුට ගෙනෙන අම්මා කෙනෙකු වන්නටත් මේ ගැහැණුන් දෙදෙනා එකවර අදිටන් කරගත යුතු වෙයි. එදිනට ලොව සියලුම අම්මාවරු බිරින්දෑවරු සිය පුතුනට සැමියනට සතුට සැනසුම ගෙන එන දයාවේ උල්පත් වනු ඇත.

4 comments:

  1. සෑමදාම ඔය සතුට, ඔය ආදරය ඔබ ළඟ තිබේවා!

    සැමියා අතේ තමා වැඩේ තියෙන්නේ. අම්මා ලේලි ගැන වැරද්දක් කිවුවත් ගණන් ගන්න හොඳ නැහැ. බිරිඳ අම්මා ගැන වැරද්දක් කිවුවත් ගණන් ගන්න හොඳ නැහැ. එච්චරයි.

    ReplyDelete
  2. මේ පිළිබදවනම් අමුතුවෙන් එකතු කරන්නට තරම් අත්දැකීමක් හෝ දැනුමක් මට නැහැ.

    කෙසේ නමුත් මීට වසර කිහිපයකට කලින් මම ජයවර්ධනපුර රෝහල් ගතව සිටියදී සිදුවුන සංවේදී සිදුවීමක් සිහියට ආවා.

    මම ප්‍රතිකාර ගනිමින් සිටි වාට්ටුවේ වස බීම නිසා අසාධ්‍යව රෝහල් ගත කරන ලද තරුණ ගොවි මහතෙක් හිටියා.දිවා ලෙඩුන් බලන විවේකයේදී මම දැක්කා ඔහුගේ බිරිද ගැබිණි මවක් බව.ඔවුනට තව කුඩා දරුවෙක් සිටින වගත් ආරංචි උනා.

    එදා දවස නිම වෙන්නත් කලින් ඉහත කී පුද්ගලය මරණයට පත් උනා.
    වස බීමට හේතුව බිරිද සහ තම මව අතර උන සුලු ආරවුලක්.
    අපරාදෙ තරුණ ජීවිත.

    මම තවම විවහපත් වෙලා නැතත් මගේ මවත් පෙම්වතියත් අතර නම් දැනට තියන තත්ත්වය සුභදායකයි.ඒ ගැන මට සතුටුයි.

    ඔබගේ පවුලේ සියලු දෙනාටම මම සුබ පතනව.

    ReplyDelete
  3. මචෝ, කමෙන්ට්ස් කියවන්න අමාරුයි.
    අකුරු පොඩීනේ.
    ලිපිය විතරක් මදි, කියවලා ලියපු එකත් බලලා තමා ලියන්න ඕනේ.

    /බිඟුවා...!

    ReplyDelete
  4. මම මේ මසුරන් මල්ලක් ගේන්නයි යන්න හදන්නේ ඔයාගේ කටට හලන්න ගේන්න ස්තූතිය් හොනන්ද ලිපියක් මම කසාද බදින දවසක මේක පෝරුව ........ හොව් හෝව් :P :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...