ඉතින් මීට අමතරව ඔය කාලෙදි ඒ කිව්වෙ මම ඔය විවාහ මංගලෝත්සවේට ලක ලැහැත්ති වෙන කාලෙ සිද්ද වෙච්චි අටෝරාසියක් සුලු සුලු අකරතැබ්බ, හුරස් පරස් තිබ්බ උනාට එව්ව ඔක්කොම මෙතන කියන්ඩ බැරුවා.
ප්‍රධානම සිද්ධිය විතරක් කියන්නම්, හොඳේ, මෙන්න මෙහෙමයි ඒ සීන් එක.
දැං ඔන්න අපි හැමෝම පොඩි කාලෙ ඉඳම්ම ජීවිතේ අපි මේ දේ කරන්නෙ මෙහෙමයි, අර දේ කරන්නෙ අරහමයි කියල චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නවනෙ. එව්ව පස්සෙන් පහු කරන්ඩ බැරිවෙන එක වෙනම කාරණාවක්.......හෙහ්,.......හෙහ්, වැදගත් දේ එහෙම අපේ හිතේ මැවිල තියෙනව.....ම්ම්ම්, මොකක්ද ඒකට කියන්නෙ?....හරි දැනට කියමු පරමාදර්ශී සිතුවමක් කියල....අන්න එහෙම එකක්.
ඉතින් ඔන්න මගෙ හිතෙත් ඔය අවුරුදු 20-22 පිරිච්ච කාලෙ ඉඳම්ම තිබ්බ ඔන්න ඔය පරමාදර්ශී සිතුවමක් මගෙ විවාහය කෙරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල.
කොහොමද? , රටේ ලෝකෙ ඔක්කොටම කියල බොරුවට වියදම් කරල හෝටල් වල මහ විසාල උත්සවයක් නම් ගන්නෙම නෑ. ගෙදරම ඔය චාමෙට ලඟම නෑදෑයො කීප දෙනාට කියල පොඩි උත්සවයක් ගන්නව. පහුවදා මගෙ යාලුවො ඔක්කොටමයි, නෑදෑ සනුහරේටමයි ඔන්න හෝටලේක දෙනව කන්ඩ බොන්ඩ නාන්ඩ ඇති වෙනකල්.විශේෂයෙන්ම බොන්ඩ. මොකද මගෙ යාලුවො එන්නෙ බොන්ඩම බලාගෙන. බොන්ඩ තිබ්බෙ නැත්නම් අනිවාර්යයෙන් උන් කරන්නෙ දෙන්ඩ ගෙනාපු එන්විලොප් එකෙන් කීයක් හරි අරගෙන ලඟ කොහාට හරි ගිහිල්ල මගෙ දෙමවුපියන්ගෙ ගුණ මතක් කර කර හොඳ හැටි ගහල මතක් උනොත් අර එන්විලොප් එක ඉතුරු සල්ලිත් එක්ක දීල,( බොහොම වෙලාවට වෙන්නෙ උන්ට ඒක මතක් වෙන්නෙ පහුවදාට ) ගෙවල් වලට යන එකයි. අනික් වැදගත් කාරණේ මම ඉතින් ඊට පස්සෙ රස්සාවට එහෙම නොගියට කමක් නැහැ.
අනිත් කාරණේ ඔය උඩරට සිරිතක් වන මුලු ඇඳුම් ඇඳිල්ලට නම් මගෙ කොහෙත්ම කැමැත්තක් තිබ්බෙ නැහැ.එදාට විතරක් කුළියට ඇඳුමක් අරන් ඇවිත් අඳින එක කිසිම තේරුමක් නැති මහ විකාර වැඩක් හැටියටයි මට හිතුනෙ. මගෙ කැමැත්ත තිබ්බෙ එදාට ජාතික ඇඳුම අඳින්න. ඔය වාගෙ සිහින මහ රාශියක් මගෙ හිතේ පැළපදියම් වෙලා තිබුන මගෙ විවාහය කෙරෙන්ඩ ඕන ආකාරය ගැන.
ඉතින් මේ ගැන සාකච්ඡා කරන්ඩ මමයි එයයි දවසක හමු උනා එයාලගෙ හිතවත් අක්ක කෙනෙකුගෙ ගෙදරදි.
කේක් කෑල්ලක් කාල, තේ එකක් කාරිය බීල හිට මම බැස්සා මාතෘකාවට රාහු කාලය කාරිය මඟ ඇරල හිට.
"මේ, මම ඔයාට පොඩි කාරණයක් කියන්ඩයි කියල උන්නෙ "
එයා මා දිහාට හැරුන, ඇස් දෙකත් උඩ තියාගෙන. දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කරල එයා දන්නව මගෙ පොඩි කාරණා කොහොම එව්වද කියල.
" මොකක්ද කිව්ව නම් බලන්ට ඔය පොඩි කාරණේ "
" නෑ මේකයි, කළබල වෙන්ට දෙයක් නෑ. අපෙ වෙඩිං එක ගද්දි මම මුලු ඇඳුම් අඳින්ඩම ඕනද? "
" නැතුව එහෙනං, අපෙ පවුලෙ ඔක්කොමල එහෙම තමයි මඟුල් දවසෙ ඇන්දෙ.ඇයි ඔයාගෙ ඒකට මොකක් හරි අකමැත්තක් තියනවද? "
" මම කැමති නෑ අනේ ඒ වැඩේට, ඔය එක දවසකට විතරක් ඇඳුමක් කුලියට අරං අඳින එක මහ විළි ලැජ්ජා නැති වැඩක් කියලයි මට හිතෙන්නෙ "
" ඒ කොහොමද? එතකොට ඔය එහෙම අඳින උදවිය ඔක්කොම විළි ලැජ්ජා නැති අය කියලද ඔයා කියන්නෙ "
ඔන්න ඇහුනෙයි?හොඳට අහගන්ඩ, Feminine Logic නැත්නම් ස්ත්‍රී තර්ක විධි ක්‍රමය කියන්නෙ ඕකට තමයි.
" එහෙම එකක් මම දැන් මෙතන කිව්වද? ඒ අඳින අය විළි ලැජ්ජ තියන අයද නැති අයද කියන එක මට වැඩක් නෑ. මම දන්නෙ මම ඒකට කැමති නෑ. එච්චරයි "
මගෙ කටහඬත් ටික ටික වොලියුම් වැඩිවෙන බව මටම තේරුනු නිසා මම කතාව එහෙම්මම නවැත්තුවා. ඒ කරල ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ රෝස මල් පොකුර දිහාවෙ බලාගෙන නිහඬවම ටික වෙලාවක් හිටියා. තවමත් එයාගෙ සද්දයක් නැති නිසා හෙමිහිට ඒ පැත්ත බැලුවා. හෙණ ගහපං, ගණං බලාපං කිව්වලු මෙන්න අඬනවා. අඬනවාම නෙවෙයි. අඬන්ඩ ඔන්න මෙන්න. අඬනවාට හපං ඒක.
තමන් ආදරේ කරන යුවතිය තමන් සමඟ ඇතිවූ සිත් තැවුලක් නිසා දෑසේ කඳුලු පුරවාගෙන සිටින දර්ශනය තරම් සිත් සසල කරවන තවත් දෙයක් ඇත්දැයි මම නම් දන්නේ නැහැ. මොකද මම තවත් ඒ වගේ දර්ශනයක් තියේද කියල හොයන්ඩ ගියේ නෑ ආයෙ කවදාවත්.....හෙහ්.....හෙහ්, එක් වරක් ඒ වගෙ තත්වෙකට මුහුණ දුන්නම ජීවිතේටම ඇතියි කියල මට ඒ මොහොතේම හිතුනා.එවන් අවස්ථාවකට මුහුණ දුන්නෙකුට ඒ පිළිබඳව විස්තර කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන අතර එවන් අවස්ථාවකට මුහුණ නොදුන්නෙකුට ඒ හැඟීම වචනයෙන් විස්තර කිරීමට සමතෙක් ඇත්දැයි මම දන්නේ නෑ. මට නම් ඒ හැකියාව නොමැති බව මම පැහැදිලිවම දනිමි.
චිරාත් කාලයක් මුලුල්ලේ මගේ විවාහයේදී මා සැරසිය යුතු ආකාරය පිළිබඳ මගේ සිතේ මැවී තිබුණු සිහිනය කඳුලු පිරි දෑසක් ඉදිරියේ සැනෙකින් කැප කිරීමට මම තීරණය කළෙමි.
" හරි, හරි, ඕකට ඉතින් අඬන්ඩ ඕනෙද? අඳින්ඩම ඕනෙ නම් මම මුලු ඇඳුම අඳින්නම් "
ඈ, මා දෙස බලා කඳුලු පිස දමමින් සිනාසුනාය. ඇගේ ඒ සිනහව මගේ බොඳවූ සිහිනයේ වේදනාව සැනෙකින් මසිතින් පළවා හැරියේය.
හෙහ්.....හෙහ්......., ඔන්න ඔහොම තමයි මගෙ මංගල්‍යය පවත්වන ආකාරය ගැන ගැන මගෙ හිතේ තිබුණු සිහිනය බිඳ වැටුනෙ. බිඳ වැටුනයි කියනවට වඩා මම කැමතියි ඒ සිහිනය මම ඇගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කලයි කියල කියනවට.
ඔන්න ඊළඟට ආව විසඳ ගන්න තියන ප්‍රශ්න අංක 2, විවාහ මංගලෝත්සවයේදී මත්පැන් සපයනවාද නැද්ද?කියන ඉතාමත්ම වැදගත් කාරණේ. ඔයිට කලින් අපිදෙන්නගෙ කතාබහ වලදි මම මුට්ටිය දාල බැලුවා. දන්නවනෙ මුට්ටිය දාල බලනව කියන්නෙ මොකක්ද කියල.......දන්නෙ නැත්නම් ලැජ්ජාවට දන්නව වගෙ ඉන්න එහෙම එපා. කියන්න. එහෙම උනොත් ආයෙමත් ඒ ගැනත් පෝස්ට් එකක් ලියන්නම්කො.
ඉතින් මේ මුට්ටි දැමිල්ලට ලැබුනෙ එතරම් ප්‍රසාදජනක ප්‍රතිචාර එහෙම නෙවෙයි.ඒ නිසාම මමත් මුට්ටි දැමිල්ල නවත්තල දැම්මා.
මද්‍යපානය ගැන එයාගෙ හිතේ තිබුනෙ බුදු හාමුදුරුවන්ට පොඩි මිස්ටේක් එකක් වෙලා ආනන්තර්ය පාප කර්ම වලට ඇතුලත් කරන්න තිබුනු එකක්ය මේ පස්වෙනි සිල්පදේ හැටියට දාල තියෙන්නෙ කියල.එයාලගෙ පවුලෙ හැමෝමත් මත් පැන් මතක් කලත් කලන්තෙ දාන සයිස් එකේ කට්ටිය කියලයි මට කතා බහෙන් තේරුනෙ.
ඒත් දැන් තවත් ඒ වැඩේ කල්දාන්නම බැරි අවස්ථාවක් තමයි මේ ඇවිල්ල තියෙන්නෙ.කතාකරල දෙකින් එකක් තීරණය කරන්නම වෙනවා අදම.
මුලු ඇඳුම් ප්‍රශ්නෙ හින්ද එයා හොඳ මූඩ් එහෙක ඉන්න නිසා මට හිතුණා අදම තමා මහා මත්පැන් අර්බුදයත් විසඳා ගන්න හොඳම දවස කියලා.
" මේ.....තව පොඩි කේස් එකක් තියනව. "
එයා මා දිහා බැලුව. කඳුලු නම් දැන් නැහැ.
" බොන්ඩ දෙන එක කොහොමද? "
" අපොයි අපෙ ගෙදර කිසි කෙනෙක් බොන්නෙ නෑ. අප්පච්චි අයියල නෑදෑයො කවුරුත්ම ඒව පාවිච්චියක් නෑ.අනික අපේ ගෙදර තිබ්බ කිසිම උත්සවයකදි අරක්කු දුන්නෙ නෑ.එහෙම කියල කිසිම අඩුපාඩුවක් උනෙත් නෑ. "
" හරි, හරි........... ඔයාලගෙ කට්ටියට බොන්ඩ කියල මම කියන්නෙ නෑ. බොන්නෙ නැත්නම් නිකම් ඉන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මගෙ නෑදෑයො, විශෙෂයෙන්ම යාලුවො ඒ අයට බොන්ඩ දෙන්නම ඕනෙ. "
" ඔය බොන එක හොඳ දෙයක්ද? මිනිස්සුන්ට දෙන්න ඕනෙ හොඳ දේවල්, "
" හරි, හරි ඔය මිනිස්සුන්ට දිය යුත්තේ මිනිස්සු කැමති දේවල්ද මිනිස්සු ඉල්ලන දේවල්ද කියන එක අවුරුදු තුන්දාහක් තිස්සෙ තාමත් එක තීරණයකට එන්ඩ බැරුව වාද කරන ප්‍රශ්නයක්. දැන් මේ පැය බාගයක් ඇතුලත අපි දෙන්නට ඕකට ස්ථිර විසඳුමක් හොයාගන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නෙ පැත්තක තියල වෙඩිං එකේදි අරක්කු දෙනවද නැද්ද කියල සරල ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු , දැනට ඒ ඇති හොඳටම."
" වෙඩිං එක දවසෙ නම් අරක්කු දෙන්නෙ නෑ. මට ඔය ගැන කොහොමත් අපෙ අප්පච්චි එක්ක කතාකරන්න බෑ. "
" හරි එහෙනම් මෙහෙම කරමු. වෙඩිං එක ඔයාලට කැමති විදිහට කරන්න.හෝම් කමිං එකටනෙ මගෙ නෑදෑයො වැඩි හරියකුයි, යාලුවො ඔක්කොමයි එන්නෙ. හෝම් කමිං එකේදි නම් මට අරක්කු දෙන්ඩම වෙනවා. ඒකෙ ආයෙ දෙකක් නෑ. "
" හ්ම්ම්ම්ම්......ඔයාට කැමති දෙයක් කරන්ඩ, අනික කල්පනා කරන්ටකො, අරක්කු දෙන්න ගිහාම වියදම උනත් සුලු පටුද? "
" නෑනෙ, අරක්කු නොදෙනවානම් තමයි මට වැඩි පුර වියදම් යන්නෙ, "
" ඈ......ඒ කොහොමද ඒ?" එයාහෙ ඇස් දෙකත් ලොකු උනා. කටත් ඇරුන බාගෙට.
" ඒක වෙන්නෙ මෙහෙමනෙ, දැන් මගෙ යාලුවො එනවා බොන්ඩ බලාගෙන, බඩු නැති උනාම උන් ටික අනිවාර්යයෙන් හෝටලේ දොර ජනෙල් වල එක වීදුරුවක් නෑර කුඩු සංසාර කරනවා. එතකොට ඒකෙ අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ කාටද? වෙන කාටද මේ මට, ඉතිං මට ඊට ලාබයි එවුන්ට අරක්කු දෙන එක. ඒත් එවුන් අන්තිමට වීදුරුවක් දෙකක් නම් කොහොමත් කුඩු කරයි. එහෙම නූනොත් ඒ බොන්ඩ දෙන එකෙන් ඇති වැඩකුත් නෑ.ඒත් වැඩේ ලාබයි මට. "
එයාට බකස් ගාල හිනා ගියා." හා....හා.....මරු යාලුවො ටිකක් නෙව ඉන්නෙ.ඔයත් මට පේන්නෙ කලින් මඟුල් ගෙවල් වල ගිහිල්ල ඔය විදිහට යකා නටල ඇති. ඒකනෙ විස්තර දන්නෙ. හරි මයෙ මොකෝ, ඔයාට ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ."
ඔන්න යන්තම් එකඟතාවයකට ආව. අර 3 C සංකල්පය තමයි මෙතන මම ක්‍රියාත්මක කලේ.
Consultation, Compromise And Consensus,
සාකච්ඡාව,සමෝධානය සහ සම්මුතිය.
ඉදින් පිය සබඳ,මීට හරියටම සොළොස් වසරකට ඉහත වෙසක් පුන් සඳ මුදුන්වී දෙදිනක් ගෙවුනු ඉක්බිති ඇගේ සහ මගේ සරණ මංගල්‍යෝත්සවය දෙපාර්ශ්වයේ නෑදෑ හිතමිතුරන් මධ්‍යයේ පැවත්වුණු වග මෙසේ සටහන් කර සිටුම්හ.
මම ඔය ෆොටෝ එකට බොහොම සිරියාවන්ත විදිහට හිනා වෙලා හිටියෙ. ෆොටෝග්‍රෆර් කියාපි මුලු ඇඳුම් ඇන්දම හිනාවෙන්නෙ නැත. ගාම්බීර විදිහට ඉන්න ඕනය කියල. මම ඉතින් ඔය මම දන්න විදිහට ගාම්බීර කමට හිටිය හැටි තමයි.ගාම්භීර කොහොම වෙතත් හීනෙන් බයවෙල වගෙ කියලයි මට නම් හිතෙන්නෙ,.....හෙහ්, හෙහ්.....ඔයාලට මොකද හැබෑටම ඒ ගැන හිතෙන්නෙ කාරිය?
පිපුණු මල් ගොමු කුමකටද මට,
ඔබ අදත් හද පිපි මලයි,
ගලන දියරැළි කුමකටද මට,
සිහිල් දිය දෝතත් ඔබයි,
ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි,
තරු පිරුණු රෑ අහස කුමටද?
දිලෙන රන් තරුව ද ඔබයි,
නිල් නෙලුම් පිපි උයන් කුමටද?
හද විලේ නෙලුමත් ඔබයි,
ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි
,