Thursday, August 18, 2016

434. හද බැඳි ගී සොළොස - 2 ...වසන්තයේ අග සිට කුසුම් කැකුළ නිදනාතුරා....

හරි... හදබැඳි ගී සොළොසේ දෙවන භාගය නොහොත් නවයේ සිට දහසය දක්වා ගීත ගැන කියන්නයි මේ ලැහැත්තිය.

නමය මෙහෙමයි...මගේ ජීවිතේ කාර්මික විද්‍යාල යුගය අහවර වෙලා ඊට පස්සෙ හාපුරා කියල ඔන්න රැකියාවක් ලැබුනා. ඒ අභයගිරි ව්‍යාපෘතියෙ. ඒ කාලෙ තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ට රජයේ වෙනත් ස්ථිර රැකියා ලබාදෙනතෙක් අභයගිරිය වගෙ ව්‍යාපෘතිවල තාවකාලිකව සේවයේ යෙදෙව්ව.

ව්‍යාපෘති කාර්යාලයෙ අපේ සැලසුම් අංශයත් එක්කම අල්ලපු කාමරේ තමයි Pottery Unit එක. Pottery Unit එක නොහොත් අපි විහිලුවට කියපු පරිදි වළං කඩේ අංසෙං කරේ කැණීම් වලින් මතුවෙන වළං කැබලිති ඇතුලු වෙනත් පිළිස්සූ මැටි බඳුන් කැබලිති පිළිබඳව සියලු විස්තර ලොග් පොතක සටහන් කරගෙන එව්වා පසුකාලීනව පර්යේෂණවලට යොදාගැනීමට හැකිවන පරිදි සුරක්ෂිතව ගබඩා කරල තියන එක.

ඔය පොටරි යුනිට් එකේ වැඩ කලේ යුවතියන් තුන්දෙනෙක්. පොටරි අක්කල කියලයි අපි ඔවුන්ව හැඳින්නුවෙ. ඒ කාලෙ අපි මේ යන්තං අවුරුදු විස්ස පාස් කරපු කජුකිරි කොල්ලො. ඔය පොළවෙන් මතුවන වළං කැබලිති (ආ...තව දෙයක් කියන්ට ඕන. කැබලිති කියල කියන්ට පුලුවන් ගින්නෙන් පුළුස්සාගත් වළං හෝ ඒ වගෙ වෙනත් මැටි භාජනයකින් බිඳුනු කැබැල්ලකට පමණයි.ඇට කැබලිති, ගල් කැබලිති, නූල් කැබලිති කියල කිව්වොත් වැරදියි) සුරක්ෂිතාගාරයෙ තැන්පත් කරන්ට ඉස්සර එව්වගෙ සම්පූර්ණ ප්‍රමාණයට (Full scale) ඩ්‍රෝයිං එකක් අඳින්න ඕන.අක් කෙවුම (Front View) පැති කෙවුම (Side View) ඔය වගෙ එව්ව. එව්ව කලේ අපි නිසා වළං කඩේ අක්කල අපි එක්ක ෆුල් පෑල්.

ගෙදරින් අරන් යන කෑම එකත් උස්සගෙන මම යනව දවල්ට උං එක්ක හවුලේ දිවා ආහාරය ගන්ට. අපේ සේනකය එතනම පිටිපස්සෙ කාමරේක ඉන්නෙ. ඌත් "ඉඳපං මාත් එනව" කියල දවල්ට උයපු බත් සාස්පාන පිටිම්ම උස්සගෙන එනව එලවලු ඇතිලිත් ඒ උඩ තියාගෙන.අපි ඉතිං කෑම බීම හුවමාරු කරගෙන කනව.

එහෙම එක දවසක අපි ඔය ගායකයො ගීත ගැන එහෙම කතා කරමින් ඉන්න අතරෙ එක අක්ක කෙනෙක් තවත් අක්ක කෙනෙක්ව පෙන්නල කිව්ව "ඔයාල දන්නෙ නැතුවට මෙයා දක්ෂ ගායිකාවක්. යුනිවර්සිටි ඉන්නකොට ගීත ගායනා තරඟවලින් හැමදාම කප් එක ගහන්නෙ මෙයා තමයි" කියල. පස්සෙ අපේ බලවත් ඉල්ලීම පරිදි ඒ අක්ක එදා කිව්ව බොහොම අපූරු ගීතයක්. හැබැයි එකක් තියෙන්නෙ ගායිකාවක් ගයන ගිතයක් නොව ගායකයෙක් ගයන ගීතයකි. 

මට තාමත් ඇස් දෙක පියාගත්තම හිතේ මැවෙනව එදා ඒ යුවතිය ඉතාමත්ම මනබඳින ලෙස ඒ ගීතය ගැයූ අපූරුව. එදා ඒ ගීතය එක්ක බැඳුනු ප්‍රේමය අදටත් එසේමයි. ඒ "නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී"  - ගායකයා එඩ්වඩ් ජයකොඩි. මේ ගීතය තව කීප දෙනෙක්ගෙ තේරීම් වල තියනව දැක්ක නිසා මම හිතුව පසුබිම් කතාව ඒ වෙනකොට ලියලත් තිබ්බ එකේ කතන්දරේ විතරක් දාලා ගීතය නොදා ඉන්ට. ඒ වෙනුවට එඩ්වඩ් ලොක්කගෙම තවත් මියුරු ගීයක් මෙන්න...

තව කාරණේකුත් මෙහෙම්මම කියල ඉන්නංකො.අමරසිරි පීරිස්ගෙ "ඇය යන්න ගියා මැකිලා", එතකොට අමරසිරියි මැණික් ජයසේකරයි කියන "ස්නේහයේ නගරයයි හිත මගේ" සහ මර්වින් පෙරේරාගෙ "මේ නගරය මා ඔබ මුණ ගැහුණු නගරයයි" යන ගීත තුනත් මගේ ඔරිජිනල් ලිස්ට් එකේ තිබිල වෙනත් සහෘද/සහෘදිනියන්ගෙ තේරීම් වල තියනව දැකල මම අයින් කරල දැම්ම.

හරි එහෙනං මෙන්න නවය....

වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - කපිල කුමාර කාලිංග




ඊගාවට දහයත් ඇවිල්ල හිට ඒ කාලෙ දෙකක් දාගත්තද සේනකයගෙ බත් උයන සාස්පාන රොටි තැටියක් වගෙ වෙනකල් තඩි ගගහ කියපු ගීතයක්...බණ්ඩාර අතාවුද....ආශාවේ මල් වැටෙන් එබී....

මේ ගීතයට තව පසු ඉතිහාසයකුත් තියනව. පස්සෙ කාලෙක මම බැන්දට එහෙම පස්සෙ මාත් එක්ක වැඩ කරපු පොඩි එකෙකුට ඒ පැත්තෙ කෙල්ලෙකුට හිත ගියා. ඒ පාර ඌ මට කිව්ව "අයියෙ මට ලියුමක් ලියල ඒ ගෑණු ළමයට දෙන්ට ඕන. ඒත් ලියන්නෙ මොනවද කියල හිතාගන්ට බෑ" කියල. ඒ කෙල්ල කට්ට කලුයි. මම කිව්ව "අර ආශාවේ මල් වැටෙන් එබී සිංදුව ලියල දීපං" කියල.ඒ යකා ෂුවර් එකටම මම හිතන්නෙ එහෙම කරන්ට ඇති මොකද ඊට පස්සෙ ඒ පලහිලව්ව එහෙම්මම නැතිවුනා.

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද




ඊගාවට එකොළහ - 1978 තිරගතවුනු සීතාදේවී චිත්‍රපටයේ කථා තේමාව වුනේ රාම,රාවණ සහ සීතා තුන්කොන් ප්‍රේමකතාව. රාවණට රඟපෑවෙ ගාමිණී ෆොන්සේකා. සීතාගෙ චරිතය කලේ ඉන්දියානු නිළියක්... මම්තා ශංකර්...චිත්‍රපටයෙ අන්තිමට රාවණ මියයනවා. රාවණගෙ සිරුර මුහුදු රළ මත සෙමින් පාවෙද්දි පසුබිමින් ඇහෙනව අමරෙ මාස්ටර්ගෙ තෙදවත් කටහඬ...මම ඔය ෆිල්ම් එක බැලුවෙ දෙමටගොඩ මානිල් හෝල් එකේ.

නිම් හිම් සෙව්වා මා සසරේ 
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැවුදීලා 
ඔබ මා නෙතගේ රැඳුනා

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා 
සටනින් අද මා දිනුවා

ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
ගායනය - ඩබ්.ඩී. අමරදේව




දැන් දොළහ.... මම අර මහ කැළේ මැද වැඩ කරද්දි ඒ කියන්නෙ කාලවකවානුව ඇවිල්ල අසූව දශකයෙ මැද භාගය වගෙ පොළොන්නරුව පැත්තෙ තරුණයෙක් ඇවිල්ල අපේ ඔය පොඩි පොඩි ඇළවල් එහෙම කොන්ත්‍රාත් කලා. පස්සෙ කාලෙක ඒ තරුණයා දිවයිනේ ඉතාම ජනප්‍රිය ගායකයෙක් බවට පත්වුනා. ඒ ජානක වික්‍රමසිංහ...පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ ඛෙදාන්තය විස්තර කෙරෙන මේ ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහ...

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ




දහතුන නොහොත් තුදුස...අනූවෙ දශකයෙ මැද වගෙ මම වැඩකලා ගොවිජනපදයක. ඒ ගැනත් විස්තර මම කලින් කියල තියනව. ඉතිං කුඹුරු පැහෙන කාලෙට වතුර ප්‍රශ්ණ විසඳන්ට අපිට සමහරවිට දවස තිස්සෙ කුඹුරු ගානෙ ඇවිදින්ට වෙනව. එහෙම දවස්වලට දවල්ට ඔය කොහෙ හරි ගොවි සංවිධාන සභාපති මහත්තයෙක්ගෙ ගෙදරින් දිවා ආහාරය සප්පායං වෙන එක එච්චර දෙයක් නෙවෙයි. 

මම එක පාරක් එහෙම ගිය වෙලාවක මට ඇහුන ඒ ගෙදර පොඩි එකා (අවුරුදු හයක් හතක් වගෙ ඇති ඌට වයස) "සිරිකඳුයාය මටයි නීල කොබෙයියා උඹටයි" කිය කිය එහෙ මෙහෙ දුවනව. ඒ කිට්ටුව සිරිකඳු යාය කියල ගමකුත් තියනව. පස්සෙ මම ඇහුවම "මොකක්ද අර පොඩි එකා කියන්නෙ?" කියල සභාපති මහත්තය කියාපි "අනේ මහත්තයො මේ ලොකු කෙල්ල ගෙනාපු කැසට් පීස් එහෙක තියන සිංදුවක්නෙ මූ මේ කියන්නෙ" කියල. ඊට පස්සෙ මම ඒ කැසට් එක ඉල්ලගෙන ඇවිල්ල ඇහුව මොකක්ද යකෝ මේ නීල කොබෙයියගෙ සිංදුව කියල.......

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

දුරකඳු යාය මටයි........

වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....

දුර කඳු යාය මටයි.....

ගායනය - උපාලි රන්තිලක
ගී පද - යමුනා මාලිනී පෙරේරා




මේ දහහතර... මේ ගීතයෙ මුල්පද තිසරු ලියන් කියලයි මම මේ මෑතක් වෙනකල් හිතාගෙන හිටියෙ. පස්සෙ බොහොම අහම්බෙන් තමයි එතන කියවෙන්නෙ බිසරු ලියන් කියල දැනගත්තෙ. ඒ ගැන මම මීට කලින් තනිකරම පෝස්ට් එකක්ම ලිව්ව නිසා ආය වැඩි විස්තර අවශ්‍ය නෑ.

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත, 
සසල කරයි හද මානනියේ, 
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ, 
බඳිනු තදින් හිත දේහිනියේ, 

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත, 
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ, 
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ, 
හිමකර සෙවණේ එකහීනේ, 
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ, 

විපුලිත ලැම රණ හංස තුඩට කිම, 
දුහුල් සළුව හිරිහැර දෙන්නේ, 
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ, 
මගේ සරාගී සෝතාපා, 
නුඹ රන්බඳ මා හා සයනත රෑ යාමේ

පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : සමන් ජයනාත් ජිනදාස
සංගීතය : නවරත්න ගමගේ




මේ Penultimate එක නැත්නම් පහළව. (BTW - Penultimate කියන වචනෙ ගැන මධුරගෙං ඇහුවම කිව්වෙ උපාන්ත කියල)

මිනිස්සු සහ ගැහැණු තම කලත්‍රයාට අවංකව ජීවත් වෙන්න කොච්චර උත්සාහ කලත් හිත කියන එක එහෙ මෙහෙ වෙන්න යන්නෙ උසේන් බෝල්ට් ගොයියට මීටර් දහයක් දුවන්ට ගතවන කාලෙටත් අඩු කාලයක්. මම හිතන්නෙ ඔය එක් සහකාරියකගෙන් / සහකරුවෙකුගෙන් සෑහීමට පත්නොවීම පරිණාමික සංසිද්ධියක්. ඩෙස්මන්ඩ් මොරිස් මොකද මේ ගැන කියල තියෙන්නෙ කියල නිවාඩු වෙලාවක හොයල බලන්ට ඕන. හරි ඒ කොයිහැටි වෙතා එහෙම අවුලක් උනාම මේ වගෙ දෙන්න එක්ක සිංදුවක් කියල වැඩේ ගොඩින් බේරගන්ට තියේනම් ආතල් ද බ්‍රේව් නේ?

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද ...//
පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද //
උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද
ඉඟ නෙරියේ රැලි බින්දේ පිය ළඳුනේ මං විතරද //
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මට විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ




බොහොම අසීරුවෙන් දාසයටත් ආපි එහෙනං… අන්තිමටම ඔන්න තවත් අපූරු ගීතයක්...මගේ විසිවන විවාහ සංවත්සරය වෙනුවෙන් පසුගිය අවුරුද්දෙ ලියපු වියුණු සටහන අග්ගිස්සට මම ඇමිණුවෙත් මේ ගීතය..මේ ඩබ්.ඩී. ආරියසිංහ...

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ, 
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ, 
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ, 

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා, 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,



අවසාන වශයෙන් හිතාදර ඉයන්ට මගේ බලවත් ස්තූතිය මෙවන් රසවත් කර්තව්‍යයක් උදෙසා අප සැම යොමු කරවීම පිළිබඳව.

Thanks Boss, I enjoyed doing this so much. It was such a pleasure going down memory lane & re-living those unforgettable memories..:)

26 comments:

  1. ඉයන්ට සෑහෙන්න ස්තූති කරන්න ඕනි ලේසියෙන් සිංදු ගොඩක් අහන්න සැලැස්සුවට.

    රවීගෙ මේ ලිස්ට් එකෙත් 12 & 13 මං කැමතිම දෙකක්

    ReplyDelete
  2. නිම හිම සෙව්වා දාල මැකුව සන්නලියනෙට ඉඩ දෙන්න. මේ ලිස්ට් එකේ නොදන්න සින්දු දෙක තුනක් ම තියනවා රවී. මේ දවස් ටිකේ කරන්නේ සින්දු අහන එක. වසන්තයේ අග කියන්නේ කැමතිම සින්දුවක්.

    ReplyDelete
  3. මුදු මුහුණේ සිංදුව ඇහෙනකොට මට හිතනවා උත්තර නැති ප්‍රශ්න පත්තරයක් කියලා...

    මේ සිංදු 8 ත් මරු...


    මේක ලියනවා කියනකොට මං සමීකරණයක් හැදුවා:D..... ඒක බොරුවක් කරලා ඉක්මනින් රසවත් පෝස්ටු දෙකකින්, දවසෙන් දෙකෙන් වැඩේ ඉවර කළාට විස්කෝතුයි....

    ReplyDelete
  4. මම කිරුල මුතු ලිහී සිංදුවටයි.. අර අන්තිම එකටයි පට්ට ආසයි..

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුවේ සුළු මැදුම් දෙතිත පැටලී කියන්නේ කකුල පැටලී කියන අදහස ද?

      Delete
    2. ඔය තිත් ක්‍රමය තාලය ප්‍රකාශ කරන ක්‍රමයක් මම දන්න විදිහට. ඉස්කෝලෙදි ඉගෙන ගත්තා දැන් මතක නැහැ. සුළු, මැදුම්, මහ කියලා මූලිකව තාල 3 තියනවා. මාත්‍රා 2, 3, 4 විදිහට. ඊට පස්සෙ ඕවා මිශ්‍ර කරලා තාල හදාගන්න පුළුවන්.

      2-2-2-2 = සුළු තනි තිත
      2-3-2-3 = සුළු මැදුම් දෙතිත
      2-2-4 = දෙසුළු මහ තුන්තිත

      වයස්ගත නැට්ටුවෙක් ගැනනේ කියන්නේ. ඉතින් ඔහු තාලයට පාද තබනකොට ගිගිරි හඬ එනවා. ඉතින් මේ තාලයට තියන අඩිය දැන් වරදිනවා කියන එක අඟවන්න තමයි කියන්නේ සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනවා කියලා. නියමිත තාලයට අඩිය තිබ්බහම බෙර පදයත් එක්ක ගිගිරි හඬ මිහිරිවට ඇහෙන්නේ. හැබැ‍යි තාලෙ වැරදුනහම මිහිරි නෑ. කෙලින්ම ගුරුන්නාන්සෙට අඩිය වරදිනවා කියන්න නැතුව, බොහොම ලස්සනට දයාර්දව ඒක කියනවා.

      Delete
    3. ස්තුතියි, තිසර ඔබේ පැහැදිලි කිරීමට. මේ ගැන කලින් මේ තරම් හිතල තිබුණේ නැහැ.

      Delete
    4. බොහොම ස්තුතියි තිසර, මෙහෙම දෙයක් වෙන්න ඇති කියල හිතුව.. හැබැයි හරියට දැනගෙන හිටියේ නෑ.. එල

      Delete
  5. කන පැලෙන්න ගහලත් ක්ලැසික් ගහන තුන් දෙනයි මම දැකලා තියෙන්නේ...

    එකෙක් මගේ යාළුවෙක්, වැලිමඩ, කමල් කියලා.. ඌ තමයි මම කවදාවත් අහලා නැති සින්දු අහන පිස්සෙක් කලේ.. එකෙක් මගේ මාමා කෙනෙක්.., පේරා, ඌට මම කියන්නේ සුප්‍රබුද්ධ මාමා කියලා, සරත්චන්ද්‍ර මහත්තයගේ ගෝලයෙක්.. ඌගේ පොත් ගොඩාක් මට දුන්නා කියවන්න පොඩි කාලේ.. ලොකු වෙන කොට ලොකු වලියක් ගිහින් පවුලම තරහා උනා.. දන්නේ නැද්ද ඉතින්..

    අනිකා උඹ.. සින්දු ටික නම් මල් හතයි මහත්තයෝ.. මගෙත් ප්‍රියතම ඒවා..

    ReplyDelete
  6. මේ 16ම සුපිරි ! කැමති ගීත බර ගානක් තියනව මට නම් කවදාවත් අංක පිළිවෙළකට හදාගන්න බෑ මේ ලඟදී අහන්න ප්ලේලිස්ට් එකක් හදාගන්න බැලුව, මොන අඩුම 500ක් 600ක් විතර එනව.:)

    ReplyDelete
  7. ඉයන්ගෙ සිංදු වැඩේ හින්ද පරණ මතක පෙට්ටගම ඇවිස්සුනා. කුළුදුලෙන්ම ලැබුන විරහ විදින කාලෙ අහපු සිංදු ආයෙමත් ඇහෙද්දි මොකක්දෝ දුකක් දැනුන. ඉයන්ගෙ ලිස්ට් එකේ මම තෝරපු සිංදු දෙකක් හරි වගේම ' යෙහෙලියක සේ ' කියන සිංදුව තෙවෙනියට ලියල ඒක මුමුනද්දි මැවුන රූප පෙල හින්ද ආයෙත් මකල දැම්ම.
    TDK 90 කැසට් පටි වලට තෝරල , තෑගි දෙන්න ගත්තු සිංදු බොහොමයක් මේ ටිකේ අහන්න ලැබුන.

    ReplyDelete
  8. ඔහේ රවී අයියට මාම කියල නිකං කැත ටෝක්ස් දාන්න විතරක් එන්න එපා හරිය. හැක්..

    ReplyDelete
  9. //මම කිව්ව "අර ආශාවේ මල් වැටෙන් එබී සිංදුව ලියල දීපං" කියල// පවු පොඩි එකා. ඌට ICU ඉන්න උනාද දන්නෑ.

    ReplyDelete
  10. "සිරිකඳුයාය මටයි නීල කොබෙයියා උඹටයි" හැක් ඌ තමයි ඒ සින්දුවෙ ඔරිමජිනල් එක කියල තියෙන්නෙ.

    ReplyDelete
  11. කිරුළ මුතු ලිහී එක මගෙත් ‍ෆේවරිට්ම සින්දුවක් තමයි.

    ඒ වගේම මේ සින්දු වැඩේ පෝස්ට් දෙකකින් කෙළවර කිරීම ගැන රවී අයියට මගේ සාතිශය සංවේගය (සොරි) සංතෝෂය.

    ReplyDelete
  12. 'දුර කඳුයාය මටයි' කියන්නෙ වේරලියද්ද කියලනෙ මේ වෙනකන් හිතාන හිටියෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  13. අපිත් ආවලු ඔන්න මේ පැත්තේ. "කිරුළ මුතු ලිහී" සින්දුවට මමත් ගොඩක් කැමතියි. කාලෙකින් ඒ සින්දුව ඇහුවේ මේ පොස්ට් ඒක නිසා.

    ReplyDelete
  14. මගෙ සිංදු ලිස්ටෙක කිව්වොත් මගෙ හොස්සත් තලයි කට්ටියම. ඒක හංදා නොලිය ඉන්නං නේද ?

    ReplyDelete
  15. //නයන කලූ ඔබ මගේ කලූ//
    යකෝ මේ වගේ උපදෙස් දෙනවද හා හා පුරා කියලා කෑල්ලකට ට්‍රයි කරන එකෙකුට. පුදුමයි ඒකා ගුටි නොකා බේරැනා.

    //මගේ විසිවන විවාහ සංවත්සරය වෙනුවෙන්//
    හපොයි අවුරැදු 20 ක විවාහ ජීවිතයක්...........

    ReplyDelete
  16. නියමයි... මාත් ආසම ගීත ටිකක්...

    ReplyDelete
  17. කොටස් දෙකට ම පොදු කමෙන්ට් එකක් දාන්නම් එහෙනං..))

    මං දැනං හිටියා මේ ලිස්ට් එකට අනිවාර්යෙන් ම එකතු වෙන සින්දුවක් ගැන.කිව්වා වගෙම ඒක තිබුණා.. ආදර නිල් දෑසේ.. (ඇයි වදේ.. අර චුට්ටිගේ පෙම් පුරාවෘත්තෙ මේකෙ බෝඩ් වෙලා කියවපු අපිට එහෙමත් අමතක වෙනවද ඒ සින්දුව..)

    මේ ලිස්ට් එකේ ගොඩක් සින්දුවලට මාත් කැමති.. හැබැයි අර රේඩියෝ එකේ යද්දි සින්දු ලියාගන්න එක ප්‍රායෝගික නෑ කියන කතන්දරේට නම් මං එක හෙළා විරුද්ධයි.හතේ අටේදි විතර මට කොච්චර සින්දු පිස්සුවක් තිබුණද කියනව නම් රේඩියෝ එක ගාව පැදුරක් දාගෙන පෑනයි පොතයි තියන් සින්දු ලියාගන්නෙ.අන්තර්ජාලෙ තියෙද්දි පවා.මොකද අරහම ලියාගන්න එකෙන් ලබන සතුට කොහොමවත් ලිරික්ස් බලලා ලියාගද්දි දැනෙන්නෙ නෑ.හැබැයි අරහම සින්දු පොත් ගණන් පුරවන අතරෙ මං හැම වාරෙකම පන්තියෙ පළවෙනියත් වුණා.. ඒ අතීත මතක මතක් වේගෙන ගියා මේ ලිපියත් එක්ක.ඒ කාලෙ බොහොම සරල සුන්දර කාලයක්.ලියන්න ඕනෑ ඒ ගැන..!

    ඔන්න මගෙ ගීත දාසයත් මෙතැනින් සටහන් කරලා යන්නම්..
    http://wehimandarama.blogspot.com/2016/08/blog-post_21.html

    ReplyDelete
  18. ඔන්න බලහන්කො වැඩේ.. ඉයන්ගේ පොස්ට් එකේ පලවෙනි ලිස්ට් එක දැකල ඒක කියෝලා අමාරුවෙන් සින්දු අටකුත් තෝරලා දාල ඇවිත් බලනකොට මේක දැක්කේ.. අදෝමැයි!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...