ඡායාරූපයෙන් දැක්වෙනුයේ බකට් ස්ක්‍රේපරයකි. දැවැන්ත මහා පරිමාණ ඉදිකිරීම් වලදී පස් ප්‍රවාහනය සඳහා යොදාගන්නේ මෙවන් විශාල යන්ත්‍රෝපකරණයන්ය. |
විමලෙගෙ වාංපතුල් කතා මතකයි නේ? මොකෝ ආය අමතක...නැද්ද? කාලෙකින් ඒ සීරිස් එකේ කතාවක් ලියන්ටත් බැරිවුනානෙ. ඒ හින්ද ආයම ඒ ගැන මොකවත් ලියන්ටත් ඕමනයි මොනවද ලියන්නේ..කිය කිය අහස පොළව නුහූලන්ට කල්පනා කර කර ඉන්දැද්දි ඔන්න බලන්ටකො වැඩේ හැටි එව්වගෙ කතාවක් ලියන්ට ඉබේම සැට් වුනානෙ. අර මම කලින් දොහක කිව්වෙ අහඹු සමපතනය නොහොත් Coincidence ගැන. අන්න එව්වයිං එකක් කියල කිව්වැහැකි ඇහැ පියාගෙන. ඉතිං ළමයි කතන්තරේ මෙන්න මෙහෙමයි...
පහුගිය සිකුරාදා උදේ මම නැඟිට්ටෙ අටහමාරත් පහුවෙලා. කලින් දවසෙ පොඩි ඒක පුද්ගල කර්මාන්තයක් කරපු හින්ද රෑ එකට වගෙ ඇඳට වැටුනම ආය නෑ මලාසේ නින්ද ගියා. නැඟිටල සරමත් ගැට ගහගෙන හාහා පුරා කියල පොහොන් එක ඔන් කලාම මෙන්න මසාජීස් තුන හතරක්ම තියනව. එකක් තිලකයගෙන්. තිලකෙ දන්නව නේද? අර ටිලක ෂිට ලියන ගොබිලා. මීට මාසෙකට වගෙ ඉස්සර මගෙ පොස්ට් එකකට ඕකා කමෙන්ට් කරල කියල තිබ්බ ලඟදි ආපහු යන කතන්දරයක්. ඒ කිව්වෙ ගොයිං බෑක් ටු ශ්‍රී ලංකා ෆො ගුඩ්. ඉතිං මම තිලකෙට කෝල් එකක් දීල කිව්ව යන දවස මට හරියටම කියපංය, අපි සෙට් වෙලා ෂතුටු සාමීචියේ යෙදෙමින් සුළු කර්මාන්තයක යෙදෙමුය යනාදී වසයෙං.
තිලකෙය කිව්ව මේ මාසෙ තිහ රස්සාවෙ අන්තිම දිනේය ඊට පස්සෙ යනවය කියල. මමත් ඉතිං කිව්ව රයිටෝ ඊට කලියෙං වීක් එන්ඩ්ස් දෙක තුනක්ම එන හින්ද ඒ එකක සෙට් වෙමුය කියල. හදිස්සියෙම මේ පහුගිය සඳුද ඊ මේල් එකක් ආපි මම අර කරනවනෙ පොඩි වැඩිදුර අද්දියාපන කටයුත්තක්. අන්න එහෙං. මේ 25, 26 සති අන්තෙ දේසන නොහොත් ලැච්චස් තියනවය කියල.
ඔය වැඩිදුර අද්දියාපනේ ගැනත් වචනයක් කියල ඉන්ට ඕමනයි. ඉස්සර හිටපු පඬි ගොල්ල උපදෙස් දීල තියනව ජීවිතේ ඒ ඒ කාලවලට ඒ ඒ නියමිත කටයුතු කරන්ටෙයි කියල. ඒ කියන්නෙ ජීවිතේ මුල් කාලෙ ලාබාල වයසෙදි නිසි අද්දියාපනයක් ලැබීම. ඊට පස්සෙන් පහු තමන්ගෙ හැකියාව ඒ වගේම ඉගෙනගත් දේ අනුව සුදුසු රස්සාවක් ජීවනෝපායක් කිරීම. ඊටත් පස්සෙ සුදුසු පරිදි පෙළවහක් කරගෙන තැම්පත් වීම. ඊටත් පස්සෙ දරු මල්ලො එහෙම ලොකු මහත් කරල දීග තලග එහෙම දීල ජීවිතේ අවසාන බාගය උණු වතුර ටිකක් කාරිය නාල පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගැනීම.
හුහ් පඬි ගොල්ල එහෙම කිව්වට අපි නං කණකට ගනියි එව්ව..නැද්ද හා..අපි වැඩ කරන්නෙ ඔය කවුරුත් කියන විදිහට එහෙම නෙවෙයි අපිට ඕන විදිහට..ඒ අනුසාරයෙන් මම කලේ අර ඉගෙනගන්ට කියල කියන ලාබාල යව්වන වයසෙදි රටේ නැති විසිවිත්තර කරපු එක. එව්ව මොනවද කියල ආය අමුතුවෙං කියන්ට දෙයක් නෑ ඔබ තමුන්නාන්සෙල එව්ව ගැන හොඳාකාරවම දන්නව.
ඉතිං ඔන්න වැඩේ හැටි කියන්නෙ ජීවිතේ අර උණු වතුර ටිකක් නාල දැහැමෙන් සෙමෙන් කල්ගත කරන්ට ඕන කාලෙ මම පටන් ගත්ත වැඩිදුර අද්දියාපනයක්. හැබැයි ඉතිං අපරාදෙ කියන්ට බෑ ඇස්වහක් කටවහක් නෑ ලැච්චස් වලට ගිහිල්ල මම කරන්නෙ දෙයියනේ කියල බුදිය ගන්න එක. කණ්නාඩි දාන හින්ද තියෙන එක වාසියක් නිදි ද නැද්ද කියල එක පාරට හොයාගන්ට බෑ. ඔලුව කඩා වැටෙන්ට නොදී වැළමිට ඩෙස්ක් එක උඩ සමබරව තියල අල්ල දිග ඇරල ඒ උඩ නිකට හොඳට පට්ටල වෙන්ට තියගෙන හරි බැරි ගැහුනම ආය කිසි ගින්නක් නෑ ආතල් එකේ අපූරු නින්දක් දැම්මැහැකි.
උදේ වරුවනං ඔය බොහොම අමාරුවෙං ඇස් දෙක ඇහැක් තරං ඇරගෙන ඇහි පිල්ලං පවා නොගහ හිටියම නින්ද නොගිහිං ජාම් බේරගත්තෑකි. දවල්ට කාල හවස ලැච්චස් වලට යනව නේද? ....යනව තමයි... මැරූ කොට බෑ ඇස් පියවෙන එක වලක්කගන්ට. අපෙ උන්දැ දන්නව මම ඔය ලැච්චස් වලට ගිහිල්ල බුදිය ගන්න එක. උන්දැ කියන්නෙ.." ඔයාට නං පිස්සු අනේ..මොන කෙහෙම්මලකටද බුදියගන්ට ඔයාකාර සල්ලියක් පූජා කරන්නෙ? ඊටත් අච්චර දෙකට දෙවාරමේ අපහසුවෙං බුදියන එකේ සල්ලි ටිකත් අතේ තියාගෙන ආතල් එකේ ගෙදර ඉඳල ඇඳේම බුදියගන්ටකො"
හරි මගේ වැඩිදුර අද්දියාපනය පිළිබඳ ඒ කෙටි විස්තරයෙන් පසු නැවත තිලකේ පිළිබඳ කතන්දරේට. ඉතිං ඔය ලැච්චස් ගැන ඊ මේල් එක ආපුගමං මම ගත්ත තිලකෙට කෝල් එකක්.අරගෙන කිව්ව "ටිලකෙ මල්ලි, මම ලබන වීක් එන්ඩ් එකේ සිකුරාද සෙනසුරාද දවස් දෙකම බුදියගන්ට යනව. එතකොට 30 න් පස්සෙ උඹ යන්ටම යනවනෙ. ඒ හින්ද පුතෝ අර අපෙ ආතල් එක කරනවනම් මේ වීක් එන්ඩ් එකේ තමයි අනිවා කරන්ට වෙන්නෙ. මොකද කියන්නෙ? වඩියුසේ?"
ඒ ගමන ටිලකෙ බොහොම විස්සෝප වෙල කිව්ව අඩේ අයි වුඩ් රියලි ලයික් දැට්..බට්..මගෙ අල්ලපු කාමරේ ඉන්න බුවා එම්.බී.ඒ. එකක් කරනවය ඒ හින්ද මේ සිකුරාද මනුස්සය තව දෙතුන් දෙනෙක් එක්ක එකතුවෙලා පාඩම් කරනවද, ඒ හින්ද ඩිස්ට්‍රිබියුට් කරන එක හරි නැතය, ඔන්න ඔහොම මොකද්ද..ඉතිං මම කිව්ව එහෙනං මක් කරන්ටද? සතියෙ දවසක රාත්‍රි භෝජන සංග්‍රහයකට වත් සෙට් වෙමු එහෙනං ඒ ඇර වෙන මක් කරන්ටද? කියල හිට.
දැන් ඒ ඔය ගිය සවුඳනෙ...එතකොට සිකුරාද දවල් වෙනකල් බුදියල නැඟිටල මම පොහොන් එකේ ඇස්සැම්මැස් චෙක් කොරද්දි මෙන්න තිබ්බ ටිලකෙ ගෙං මසාජ් එකක්. "හායි රවී කැන් වී මීට් ටුඩේ ෆෝ ලන්ච් ඇට් අවර් ප්ලේස්" අන්න එහෙමයි මසාජ් එක.
මම වහාම ගත්ත තිලකෙට කෝල් එකක්. තිලකයගෙ රිං ටෝන් එක අර හුප්පච්චි ගැන තියෙන්නෙ සිංදුවක් අන්න ඒක. හුප්පච්චී හුප්පච්චී උඹයි අපේ හුප්පච්චී..ඕක අහගෙන ඉන්ට උනා මිනිට්ටු තුන හතරක්. දැං ඔය කවුරුත් මගේ ඇඟට ගොඩ වෙන්ට එහෙම හදන්ට එපල්ල බොරු කියන්ට එපා යකෝ, අපිත් තිලකෙට කෝල් දීල තියනවනෙ කොහෙද උගෙ ෆෝන් එකේ එහෙම රිං ටෝන් එකක් කියල. ඒ හුප්පච්චී රිං ටෝන් එක ඇහෙන්නෙ මෙහෙං කොහොල් ගත්තම විතරයි. යූ අන්ඩර්ස්කර්ට්?
හුප්පච්චී හුප්පච්චී..උඹයි අපේ හුප්........ "හලෝ"
"ඉතිං ඉතිං? දැං බං නැඟිට්ටෙ ඇස්සැම්මැස් එක දැක්ක ගමං කෝල් කලේ.."
"ආ..මම ඒත් හිතුව. එහෙමනං දවල්ට කෑමට හරිනෙ.."
"හරි හරි නෝ ප්‍රොබ්ලම්..අර කට්ටියක් පාඩං කරන කතාවක් කිව්ව නේද? "
"නෑ නෑ ඒ ගොල්ල වෙන දිහාවකට යනව. ඒ හින්ද අවුලක් නෑ.."
"හරි කීයටද මම එන්ට ඕන?"
"ඔය දොළහට වගෙ කමක් නෑ.."
"ඕකේ බොස් ...සී යූ දෙන්"
ඉතිං මම සාමාන්‍යයෙන් මොකට පරක්කු වෙලා ගියත් ඔය වගෙ එව්වට වෙලාවට යනව. ඉතිං අපි බොහොම සුහදව (සුහද කොකාල දෙන්නෙක් වගෙ ඔන්න කොටිම්ම කිව්වොත්) නොයෙක් දේවල් ගැන කතා කරමින් පැරණි මතකයන් අවදි කරමින් බොහොම සොඳුරු පශ්චාත් මැදියම් සමයක් (After Noon කියන එකට එහෙම කිව්වෙ හොඳද?) ගත කලා. තවත් කාලෙකට ඉස්සෙල්ල බ්ලොග් එකක් ලියපු අපූරු සහෘදයෙකුත් අපට එකතුවුනා. ඉතාමත් සුන්දර අතීතාස්මරණ රැසක සුමිහිරි සුගන්ධය ළය පුරා පුරවාගනිමින් මඳ පමණ මීවිතද පානයෙහි යෙදෙමින් ඒ ගෙවුනු කාලයේදී මෙවන් දෙබසක් අප අතර ඇතිවුනා.
"මගෙ ජීවිතේ මම ඉගෙන ගත්තු එක දෙයක් තමයි මිනිස්සු හරියට තේරුම් ගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ.." තිලකෙ එක පාරක් එහෙම කිව්ව. වචන හරියටම මෙහෙම නොවෙන්න ඇති ඒත් අදහස මෙහෙමයි.
"මම එකඟයි. හැබැයි තිලකෙ මට බය නැතුව එකක් කිව්වැහැකි. මගෙ ජීවිතේ මම හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරල තියනව. අර මම මහ වන මැද රාජකාරි කරපු කාලෙ ලෝකෙ ඉන්න හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරන්ට අවස්තාව ලැබුන. ඒ හින්ද මට බය නැතුව එකක් කිව්වැහැකි. ලෝකෙ ඕනම තැනක ගිහිල්ල ඕනම ජාතියක මිනිස්සු එක්ක මට කිසි අවුලක් නැතුව ජීවත් වුනෑකි" පොඩි පම්පෝරි ගැහිල්ලක් වගෙ පේන්ටත් පුලුවන් උනාට ඒක තමයි ඇත්තම ඇත්ත.
"තිලකෙ ඒ කාලෙ වයිෆ් කියල ටවුමෙ රෑට හන්දි ගානෙ ඉන්න ගෑණු එක්ක ඇවිල්ල අපිට අඳුන්වල දුන්නු එව්වො වගේම මොන වැඩේ තිබ්බත් හතර පෝයට සිල් ගත්තු සර්දාවන්තයොත් අපි එක වගේ ආස්සරේ කලා..හෙහ්,හෙහ්, "
"ඒයි ඒයි මොකද්ද අර හතර පෝයට සිල් ගන්න කතාව? ඒක නියම කතාවක් වගෙ.."
"ආය මොනවද? නියම කතාවක් තමයි…"
"ඉතිං රවී ඒක ලියල දාන්නකො ඔන්න ඔහෙ…"
"හෙහ්..හෙහ්...බලමුකො එහෙනං.."
ඉතිං තිලකෙ ලියන්ට කියාපු කතාව තමයි මේ...
අපි අර මහ වන පියසෙක අඳුරු ගුහාවෙක සේවය කරන සමයෙ වෙච්චි සිද්දියක් මේක. මහ වන පියසෙක අඳුරු ගුහාවෙක කියන්නෙ විට්ටර් ගොයියගෙ අපූරු ගීතයක්. පද රචනය ඇවිල්ලා බණ්ඩාර කේ. විජේතුංග.
මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි.
හිරුරැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඊර්ෂ්‍යාවෙන් පිරවෙයි මා හද.
සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි
මා හද බියවී සැළී සැලී යයි.
ඉතිං එකල්හි අපේ හිටියා ඉංජිනේරු සහකාරවරයෙක්. බොහොමත්ම අහිංසක ඒ වගේම නිවී සැනහීගිය තැන්පත් පුද්ගලයෙක්. කණට ඇහෙන්න කතා කරන්නෙ නෑ. අන්න ඒ මොඩල් එකේ. ඉතිං ඒ කාලෙ කොන්ත්‍රාත්කාර භවතුන් කොන්ත්‍රාත් කරගෙන යද්දි එව්වට ගෙවීම් නොහොත් පේමන්ට්ස් පිළියෙල කරන එක ඉංජිනේරු සහකාරවරුන්ගෙ වගකීම. මම මේ කියන පුද්ගලය හතර පෝයටම සිල් ගත්ත. අපෙ ඔෆිස් එක ලඟම අලුතෙන් මිනිස්සු පදිංචි කරල හදපු ගම්මානයක් තිබ්බ. ඒකෙ විහාරස්ථානයක් එහෙම හදල අපේ ආයතනයෙ අනුග්‍රහයෙන් ඔන්න ඔය කොහෙන්ද හාමුදුරු කෙනෙක් එහෙමත් ගෙනල්ල පදිංචි කලා.
අපිත් ඔය පාලොස්සක පෝයට එහෙම පන්සල පැත්තෙ ගියා සුදු සේට් එහෙම ඇඳගෙන. ඒත් අපේ අර මම කලින් කියාපු සැදැහැවතා අනිවාර්යයෙන් හතර පෝයට සිල් ගත්ත. මහ පෝය ඇරෙන්ට ඉතිරි පෝය තුනට බලු බල්ලෙක් එන්නෙ නෑ පන්සල පැත්තෙ. හාන්දුරුවො විතරයි.
හතර පෝය කිව්වම මතක් වුනේ ඔහෙල අහල තියනවය ලංකාවෙ හෙනහුරාද ඉරිද නිවාඩුව වෙනුවට හතර පෝය නිවාඩු වෙච්චි කාලයක් තිබ්බ කියල? මටත් හරිහැටි මතකයක් නෑ. ඔය අම්මල අප්පච්චිල කිව්ව එව්වයින් තමයි මාත් දන්නෙ. ඔහොම ඔය හතර පෝය නිවාඩුව ක්‍රියාත්මක වෙලා තියනවයි කියන්නෙ 65-70 ඩඩ්ලි මහත්තයගෙ යූ.ඇන්.පී. ආණ්ඩුව කාලෙ. මුලු ලෝකෙම සෙනසුරාද ඉරිද නිවාඩු සම්මතය පරිදි ක්‍රියා කරද්දි අපේ රටේ විතරක් හතර පෝය නිවාඩුව ක්‍රියාත්මක වීම ලොකු අවුලක් වුනාද කියල නම් දැනගන්නට නැත. ඒ කොහොම වුනත් 70 අවුරුද්දෙ සිරිමා මැතිණිය බලයට ආපුවම ආපහු පරණ පුරුදු සෙනසුරාදා ඉරිදා නිවාඩුව ක්‍රියාත්මක කරල තියනව.
ආ..මම හිතන්නෙ අපේ විචාට මතක ඇති ඔය පෝය නිවාඩු සීන්ස් එක.
ඉතින් අපේ සැදැහැවත් උපාසක මහතා (දැන් නම් නමක් ඕනමයි. හරි අපි කියමු ජයසිරි කියල) නොහොත් ජයසිරි මහත්තය ඔය හතර පෝයට සිල් ගන්න එක දිගටම කරගෙන ගියා. එහෙම කරන එකේ අවුලක් වුනේ නෑ මොකද මොකක් හරි රාජකාරිමය අවුලක් වුනේ නැත්තං කවුරුවත් අනික් කවුරුවත් ගැන හොයන්නෙ නෑ. අපේ බොස්ලත් එහෙමයි. අපිත් එහෙමයි. හැබැයි ඉතිං ප්‍රශ්නයක් නොවෙනතාක් කල් අවුලක් නෑ. කොහොමත් ඉතිං එහෙමනෙ. ජයසිරිට ප්‍රශ්ණයක් මතුවුනෙ හීනෙංවත් නොහිතපු විදිහට.
අපේ හිටිය ඔය පොල් අතු වාඩි ගහගෙන මිනිස්සු තිහ හතළිහක් ගෙනත් දාගෙන කුණු ඇළවල් (කුණු ඇල කියල කට වහරෙ හැඳින්නුවට එව්වයෙ නියම නම ඇවිල්ල අපවහන ඇළ ඉංග්‍රීසියෙං කිව්වොත් Drainage Canal. කුඹුරු වලට වතුර දුන්නම වැඩි වතුර ඉවතට ගලාගෙන යන්ට කුණුඇළවල් කපන්ට ඕන.) කපන මේ බොහොම අහිංසක දෙකයි පණහෙ කොන්ත්‍රාත් කාරයො වගේම ඩෝසර්, මෝටර් ග්‍රේඩර්, බකට් ස්ක්‍රේපර්, එක්ස්කැවේටර් දාගෙන මහ විසාල වැව් එහෙම කරපු රටේ නමගිය ඉදිකිරීම් සමාගම් හිමිකාර කොන්ත්‍රාත් කාරයොත්.
දැන් මේ ජයසිරිගෙ ප්‍රශ්ණෙට උපස්ථම්භක වෙන්නෙත් අන්න ඒ වගෙ මහා පරිමාණ කොන්ත්‍රාත් කාරයෙක්. ඒ මනුස්සයගෙ කොන්ත්‍රාත් එක මහා පරිමාණ වැවක්. මනුස්සය වැඩේ පටන් ගන්ට ආවෙ කොහොම හරි සිංහල අවුරුදු කට මුල තියල. අප්‍රේල් තුන හතර වගෙ.
ඒ කාලෙ අපේ ආයතනයෙන් කොන්ත්‍රාත් කරුවන්ට මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එකක් ගෙවන සිරිතක් තිබ්බෙ නෑ. මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් කියන්නෙ සිංහලෙන් නම් "මූලික වියදම් පියවාගැනීමේ අත්තිකාරම" කියල කිවැහැකි. ඒ කියන්නෙ යම් කොන්ත්‍රාත් එකක පටන්ගන්න කොට ඒකට අවශ්‍ය මානව සම්පත් යන්ත්‍ර සූත්‍ර වගෙ එව්ව මිලදී ගැනීමට හෝ කුළී පදනම මත ලබාගැනීමට කොන්ත්‍රාත් කරුට යන වියපැහැදම් වලින් කොටසක් හෝ පියවාගැනීමට ලබාදෙන මුදලක්. කොන්ත්‍රත් එක කරගෙන යද්දි ඒ ලබාදුන් අත්තිකාරම කොන්ත්‍රාත්කරුට කරන ගෙවීම් වලින් අඩුකරගන්නව.
ඉතිං අර මම කියපු මහා පරිමාණ කොන්ත්‍රාත් කාරය සිංහල අවුරුද්දට කලින් වැඩ කරන මිනිස්සු ගම් රටවල් වලට යවන්ට ඕනය කියල ඔය මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එක ඉල්ලුව. දැන්නම් සාමාන්‍ය සම්මතය කොන්ත්‍රාත් වටිනාකමින් 10% ගෙවන එක. ඒත් අර මනුස්සය ඉල්ලුවෙ 5% හරි ඊටත් අඩු ගණනක්. ඒත් ඒ කොන්ත්‍රාත් එකේ වටිනාකම එක්ක බලනකොට ඒ කාලෙ ඒ 5% සැළකිය යුතු මුදලක්. ජයසිරි තමයි ඒ කොන්ත්‍රාත් එකේ ගෙවීම් කටයුතු භාරව හිටියෙ. කොහොමත් එහෙම මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් ගෙවන සිරිතක් එදවස තිබ්බෙ නැති හින්ද ජයසිරි ඒ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කලා.
ප්‍රතික්ෂේප කරල පහුවදා පුර අටවක පෝය හින්ද ජයසිරි උදේම පන්සලට ගිහිල්ල සිල් ගත්ත. කලින් දවසෙ තමන්ගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප උනහම කොන්ත්‍රාත්කාර භවතා කලේ මිනිහගෙ අලුත්ම පජෙරෝ එකේ නැඟල රෑම ඇද්ද කොළඹ. ඒ කාලෙ තිබ්බ හොඳම සුඛෝපහෝගී වාහනේ තමයි පජෙරෝ එක.
කොහොම හරි මිනිහට සෑහෙන පිළිගැනීමක් තිබිල තියනව අපේ ආයතනයෙන් කියන්නෙ රෑම අපේ චෙයාමන් හම්බවුනාද මන්ද මෙන්න පහුවදා උදේ එකොළහ වෙනකොට මිනිහ ආපහු ඉන්නව අපේ ඔෆිස් එකේ චෙයාමන්ම අත්සන් කරපු ලියුමකුත් අරගෙන.
කොන්ත්‍රාත් ගිවිසුම් අංකය -බ්ලා බ්ලා බ්ලා..
ඉහත අංක දරණ කොන්ත්‍රාත් ගිවිසුම වෙනුවෙන් සේවය ලබා ගැනීමේ අත්තිකාරම් මුදල වශයෙන් කොන්ත්‍රාත් වටිනාකමින් 10% ක මුදලක් ගෙවීමට අවශ්‍ය ගෙවීම් සහතිකපත් පිළියෙල කොට නොපමාව ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශය වෙත එවීමට කටයුතු කරන්න.
කොන්ත්‍රාත් කාරය ඇවිල්ල තියෙන්නෙ ඔන්න ඔහොම ලියුමකුත් අරගෙන. ලියුමට අත්සන් කරල තියෙන්නෙ කෙලින්ම චෙයාමන්. ඒ මදිවට අත්සනට යටින් චෙයාමන් වෙනම සටහනකුත් දාල. R.E. / Very Urgent කියල.ආර් ඊ කියන්නෙ රෙසිඩන්ට් එන්ජිනියර් නොහොත් නේවාසික ඉංජිනේරු නොහොත් අපේ බොස්…
මේ ලියුම දැක්ක ගමං ආර් ඊ ගෙ උතුර දකුණ මාරු වුනා. North & South Interchanged. ඇයි දෙයියෝ සාක්කි එහෙම නෙවී තියෙයිද? චෙයාර්මන් ගෙන්ම ලියුමක් ආවම.
"මට චෙයාමන් මහත්තය කිව්ව අදම අදාල ලියකියවිලි ගෙනාවොත් හෙට සල්ලි දෙන්නම් කිව්ව. නැත්තං සිංහල අවුරුද්දෙං පස්සෙ තමයි සල්ලි ගන්න වෙන්නෙ කිව්ව. සිංහල අවුරුද්දෙන් පස්සෙ සල්ලි අරං මට වැඩක් නෑ මහත්තය. මට මගෙ වැඩ කරන මිනිස්සුන්ට සල්ලි දීල ගමේ අරින්ට ඕන" කොන්ත්‍රාත් කාරය අපේ බොස් ඉස්සරහ ඉඳගෙන එහෙම කියනව.
දැන් මම මේ විස්තර මේ හැටි සහසුද්දෙන් දන්නෙ කොහොමද කියල ඔබ තමුන්නාන්සේලට ප්‍රශ්ණයක් එන්ට පුලුවනි. ඒකට උත්තරේ වසන්ති……. වසන්ති මතකයි නේද? ඔබ එදානම් සඳ වගේමැයි. ඒ කෙල්ල තමයි මට මේ විස්තරේ අකුරක් නෑර පණ පිහිටුවල කිව්වෙ....හෙහ්...හෙහ්
ඒ කාලෙ මගෙ යාලුවො මට කිව්වෙ වීරෙ කියල...වසන්තිත් කිව්වෙ වීරේ කියල තමයි. ඉතිං අර මිස්ට නානායක්කාර එහෙම කිව්වම අපේ බොස් දනිපනිගාල ක්‍රියත්මක වුනා.
"හරි හරි ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔය ඩොකියුමන්ට්ස් හදන්ට පැයක්වත් යන එකක් නෑ. මම පුලුවන් ඉක්මනට ඒ ටික හදල දෙන්නං. නෝ ප්‍රොබ්ලම්.." ……….ටීං……….ලොක්ක මේසෙ උඩ තියන සීනුවට ගැහැව්ව.
ජයතුංග අපේ පියුම් දුවල ගියා. "සර්?......"
"ජයතුංග අර ජයසිරි මහත්තයට වහාම එන්ට කියන්ට.හදිස්සි වැඩක් තියෙනව මේ මොහොතෙම කෙරෙන්ට ඕන"
"සර් ...මේ..ජයසිරි මහත්තය..මේ.."
"මොකද මනුස්සයො තටමන්නෙ? ගිහිල්ල ජයසිරි මහත්තයට එන්ට කියනව මම කිව්ව කියල"
"සර්..මේ හරි වැඩේනෙ..ජයසිරි මහත්තය කෑම්ප් එකේ නෑනෙ"
"මොකක්? මම ඊයෙත් දැක්කනෙ ඔය මනුස්සය අර සඳුන්තැන්න පන්සලේ පහන් පත්තු කර කර ඉන්නව. එහෙනං අද උදේ ගෙදර ගියාද? මට ආවෙ නෑනෙ ලීව් ඇප්ලිකේෂන් එකක්."
"නෑ සර් ලීව් දැම්මෙ නෑ..මේ..මේ ජයසිරි මහත්තය.."
"ආයම මේ මේ ගානව... ජයතුංග පැහැදිලිව කියනවකො කියන දෙයක්"
"සර් ජයසිරි මහත්තය අද උදේම සිල් අරගෙන"
"මොකක්?" ලොක්කගෙ ඇස් උඩ ගියා. "සිල් අරගෙන? ඇයි අයිසෙ අද පෝයක්වත්නම් කමක් නෑ. අද පෝයත් නෙවෙයිනෙ. මොකක්ද මේ මනුස්සයට හැදිච්චි මේ පිස්සුව?"
"සර් අද පුර අටවක පෝය..ඒකයි ජයසිරි මහත්තය සිල් ගත්තෙ"
"අයිසෙ ඒ කියන්නෙ මේ මනුස්සය හතර පෝයටම සිල් ගන්නවද? මාර පිස්සෙක්නෙ. එහෙම සිල් අරං හරියනවද රාජකාරි හරියට නොකර?"
"නෑ සර් මේ ජයසිරි මහත්තය ඉතිං බොහොම ධාර්මිකව…"
ලොක්කට තදවුනා අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා " මඟුලක් කතා කරන්ට එපා ජයතුංග..ධාර්මික...කෙහෙල්මල..ඉස්සෙල්ල තමංගෙ රාජකාරිය කරල ඉන්ට එපාය. බලනව මිදුලෙ මොනවද ජීප් තියෙන්නෙ කියල හිට"
"සර් හැට දෙක තියනව" ජයතුංග මිදුලට බැහැල බලල ආපහු ඇවිල්ල ලොක්කගෙ කාමරේ උළුවස්ස ගාව ඉඳගෙන කිව්ව.
අපේ තිබ්බ මිට්සුබිෂි ජීප් අපි හැඳින්නුවෙ එව්වරෙ නොම්මරේ අන්තිම ඉලක්කං දෙකෙන්. හැත්තැ පහ, බින්දුවයි හතර, බින්දුවයි නමය , අසූ එක ඔන්න ඔය විදිහට
"හරි ජයතුංග චෙක් රෝලෙං කොල්ලො හතර පස් දෙනෙක් එක්කගෙන හැට දෙකේ ගිහිල්ල අර ජයසිරි මහත්තය සිල් අරං ඉන්න තැනකිං හොයාගෙන එක්ක එනව..මේ දැන්ම..වහාම.."
"සර් චෙක් රෝලෙං කට්ටිය මොකටද?" ජයතුංග නළල රැලි කරගෙන ඇහැව්ව.
"ඇයි මනුස්සයො ජයසිරි මහත්තය එන්ට බෑ කිව්වොත් උස්සල හරි ජීප් එකේ දාගෙන අරං එනව. ඒකයි මම කොල්ලො හතර පස්දෙනෙක් එක්කගෙන යන්ට කියල කිව්වෙ"
ලොක්ක කියපු හින්දම ජයතුංග චෙක් රෝලෙ ගෝලයො දෙන්නෙක් තුන්දෙනෙක් හැට දෙකේ දාගෙන සඳුන් තැන්න පන්සලට ගියා. ඒත් අවුලක් වුනේ නෑ. ජයසිරි සමකාමීව හැටදෙකේ නැඟල ආපහු ඇවිල්ල අර අවශ්‍ය ලියකියවිලි සකස් කරල දුන්න.
"ජයසිරි ඕනනං හැටදෙකේම යන්ට ආපහු පන්සලට" වැඩ කටයුතු අහවරක් වෙලා අර කොන්ත්‍රාත්කාර භවතා ලියකියවිලිත් අරගෙන පජෙරෝ එකේ කොළඹ බලා ඉගිල්ලුනාට පස්සෙ ලොක්ක ෆුල් හැපි මූඩ් එකේ කිව්ව.
"බෑ බොස් මම දැන් ක්වාටර්ස් එකට යනව" ලොක්ක එක්ක එහෙම කියල මිදුලට බැස්ස ජයසිරි ජයතුංග දිහාට හැරිල මෙහෙම කිව්වලු.
"හුහ් ලොක්ක හිතාගෙන ඉන්නව ඇත්තෙ සිල් ගන්න එකත් තමන්ට ඕනෙ වෙලාවට සිල් ගන්ටයි, ඕන නැති වෙලාවට සිල් මුදවන්ටයි, ඊට පස්සෙ ඕනනම් ආයම සිල් ගන්ටයි පුලුවන් ඇති කියල. අර... මේ ...අර මේ..මොකටද මගෙ කට..හුහ්.."
ලංකාවට ගියාම තිලක සිත මන්දගාමී වෙයි ද කියා බියක් ඇති වුණා! දැන් අර නොකී කතා ලියපු මැද පෙරදිග හිටිය ගොබිලා ලංකාවට ගියා ගියාමයි නේ. බ්ලොග් අමතක කරලා දාලා!
ReplyDeleteRasika,
Deleteතිලකෙ මෙහෙදිත් ඔය දවසෙන් දෙකෙන් පෝස්ට් දාන මනුස්සයෙක් නෙවෙයිනෙ.
ලියල සේව් කරල තුන් පාරක් කියවල වැරදි නිවැරදි කරල පහුවදා වොඩ්කා විත් මැංගෝ ජූස් ෂොට් තුනක් ගහල ආයමත් කියවල බලල සංශෝධනය කරල ඊටත් පහුවදා වැට් 69 විත් ඩයට් කෝක් අසෝක වීදුරුවෙන් දෙකක් ගහල ආයම පාරක් කියවල බලල මියෙම්වා රැකෙම්වා කියල පබිලිස් බොස්තම ඔබනව.
ලංකාවට ගියත් මයෙ හිතේ ඒ විදිහටම කරයි...හෙහ්,හෙහ්,
//ඔහෙල අහල තියනවය ලංකාවෙ හෙනහුරාද ඉරිද නිවාඩුව වෙනුවට හතර පෝය නිවාඩු වෙච්චි කාලයක් තිබ්බ කියල?//
Deleteමේ ගැන පොඩි විස්තරයක් හෙන්රි අයියාගේ "දඩ කදවුර"පොතේ තියෙනවා.
ජයසිරි අරං තියෙන්නේ අටසිල් නොවෙයි නමසිල් වගේ.
ReplyDeleteනමවෙනි එක "ඔෆීසියේ ලියකියවිලි නොකරණා වේරමණී සික්ඛාපදං සමාදියාමි!"
අටසිල් විතරක් සමාදං වුණා නම් ඔෆීසියේ වැඩ ටික අවුලක් නැතුව කරන්න තිබුණා,
දැන් මේ මං කරන්නේ. උදේට සිල් ගන්නවා, ගෙදර ගිහිං පවාරණය වෙලා අවශ්‍ය ඒක පුද්ගල/ද්වි පුද්ගල/බහු පුද්ගල කර්මාන්ත කර ගන්නවා.
Rasika,
Deleteඔෆීසියේ ලියකියවිලි කරනා වේරමණී වෙන්න ඕන නේද? වේරමණී කියන්නෙ වැළකෙමි කියන එක.මුසාවාදා වේරමණී = මුසාවාදයෙන් වැළකෙමි.
ඒ හින්ද නමවෙනි සිල් පදය මෙහෙමයි. "කාර්යාලං ලිපිලේඛනං වේරමණී සික්ඛා පදං සමාදියාමී"
සිල්පද ගැන කියනකොට තාමත් මතක් වෙනව ගුලිගෙ තෙවන සිල් පදය නොකඩමි...හෙහ්,හෙහ්,
Pankadu kathawa!Ara lectures walata sahabagi wena pinthurekuth ekkama thibuna nam thamayi niyama.
ReplyDeleteසරත්,
Deleteඉඳහං..සෙල්පියක් වත් ගහල දාන්නං නිදිමතේම...:)
රවි, උනුවතුර නාන්ට ඕනෙ නම් මෙහේ ජපානෙට එන්ඩ.
ReplyDeleteකෑගල්ලෙ ඇනෝ.
කෑගලු ඇනෝ,
Deleteමොකද බොල ජපානෙ කියල ආය අමුතු උණු වතුරක්ද? මොකෝ ඔහෙ වතුර නටන්නෙ අංසක එකසිය දොලහෙදිද?
ලේක්චස් එකේදී ඔය කවුරු හරි ගෑනු පරානෙකට ලයින් එකක් දැම්ම නම් නින්ද යන එකක් නෑ.. හෙහ් හෙහ්.. රවියට ඉතින් අමුතුවෙන් උගන්නන්න ඕනේ දෙයක් නෙවෙයි නේ හෙහ් හෙහ්..
ReplyDeleteමේ හැට පැනපු නාකි උන්දල දිහා බලන ගෑණු කොහෙද ඒ රටේ. හැක්..
Deleteපැතුම්,
Deleteනින්ද යන්ට කලින් එහෙම පොඩි ආතල් එකකුත් ගන්නව නම් තමයි බොට කිව්වම මොකද ආය?
ප්‍රසන්න,
Deleteආනෙහ්...උඹ දන්න කෙහෙම්මල..සර් පණදාගෙන උගන්නද්දි වගේ වගක් නැතුව කටත් ඇරගෙන බුදියන නාකි උන්දැල දිහාවෙ බබලත්තු බලා ඉන්නෙ ඇහිපිල්ලංවත් නොගහ දන්නවද? ඇහිපිල්ලංවත් නොගහ...
දෙක තුන වසර වගේ ඉද්දි සිල් ගත්තට පස්සේ ආපහු සිල් ගන්න බැරි උනා කියල මතක් උනේ දැන්...
ReplyDeleteඔන්න ඔහොමයි අපේ සීලේ...
///ඡායාරූපයෙන් දැක්වෙනුයේ බකට් ස්ක්‍රේපරයකි.
දැවැන්ත ඉදිකිරීම වලදී පස් ප්‍රවාහනය සඳහා
යොදාගන්නේ මෙවන් විශාල යන්ත්‍රෝපකරණයන්ය.///
මේක නිවැරදිද...
මම අහල තියෙන විදිහට මේවා යොදා ගන්නේ වැඩබිම තුළ ඇති පස් (පිහිටි හෝ ගෙනත් දැමු) සුරා දමා ලෙවල් කරමින් සුරා දැමෙන පස් කොටස බකට් එක තුළට එකතු කරගෙන පස් මදි තැන් වලට ගෙනත් දාන්න හෝ ඉවත් කරන්න නේද...
ඊට අමතරව වැවක් වගේ නම් පස් හාරලා ඉවත් කරන්න එහෙමත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියල අහල තියෙනවා...
සාමාන්‍යයෙන් පස් ප්‍රවාහනය කරන්නේ ඩම්ප් ට්‍රක් එහෙම නැත්තන් පොදු භාවිතයේ ටිපර් කියල හඳුන්වන වාහන මගින් නේද...
මේ ලොක්ක ඔහේ දන්න ඉටිගෙඩිය. අවුරුදු ගානක් ඔය අටමගල් එක්ක හැප්පිලා රවිය පණ පිහිටුවල කියන දේ බොරුය කියන්න ඔහේ කවුද?
Delete(ඔහොම තමයි බං හිටගෙන පච අතාරිනකොට සමහර ඒව වැරදෙනව. හැක්..)
අර Pra J ත් ඔන්න ඔහොම කතාවක් කියල තිබ්බ...
Deleteරවී ලොක්ක මේ ගැන පැහැදිලි කිරීමක් කරයි, ඇත්තටම ඒකා වගේ මම මේවත් එක්ක ඔට්ටු වෙලා නැහැ...
වෙහෙරගල ජලාශය හදද්දී එතනට ගියපු විසිට් කීපයකදී තමයි ඔව්ව වැඩ කරනවා දැක්කේ...
ලොක්කා,
Deleteඋඹ කියල තියෙන කතාව හරියටම හරි. සාමාන්‍යයෙන් දුර බැහැර පස් ප්‍රවාහනය කරන්ට යොදාගන්නෙ ටෙන් වීලර් එහෙම නැත්නම් ඩම්ප් ට්‍රක් තමයි.
මම මෙතන පස් ප්‍රවාහනය කියල අදහස් කලේ සාපේක්ෂව කෙටි දුරක් පස් අරගෙන යාමක්.සාමාන්‍යයෙන් කිලෝ මීටරයක් එකහමාරක් වගෙ.
ඔය පස් පුරවල පාරවල් සහ වැව් කණ්ඩි හදද්දි බොහෝවිට පස් ගේන්නෙ බකට් ස්ක්‍රේපර් වලින්. ඉස්සෙල්ලම එව්වට පස් ගන්ට සුදුසු තැන් හන්දුනාගන්නව පස් එහෙම පරීක්ෂාකරල සයිට් එකට කිට්ටුවෙන්ම. එව්වට කිවෙ බරෝ ඒරියා කියල.
පස්සෙ ඩෝසර් වලින් කැලේ සුද්ද කරල උඩම පස් තට්ටුව අයින් කරනව. ඊලඟට බලට් ස්ක්‍රේපර් පෝලිමට ගිහිල්ල පස් කපාගෙන බකට් එකට පුරවගෙන අවිල්ල අදාල ස්ථානයෙ ගානට තුනී ලේයර් එකක් දාගෙන යනව. අඟල් හයක් වගෙ වැටුනම වතුර දාල රෝලර් වලින් තලනව.
ආන්න එහෙම බරෝ ඒරියා එකේ ඉඳල පස් ගේන එක තමයි මම පස් ප්‍රවාහනය කියල අදහස් කලේ....:)
පැහැදිලි කිරීමට ඉස්කෝතුයි රවී...
Deleteදැන් ඕවා පාවිච්චිය හරි අඩුයි නේද, මම හිතන්නේ ආසන්නයේ සුදුසු පස් නොමැති වීම හේතුවක් වෙන්න ඇහැකියි කියල...
දැං ඔය වැඩේට සික්ස් වීල්,ටෙන් වීල් තමයි පාවිච්චිය.පස් ටික ටිපර් කරන එක ගානට එලාගෙන යන්න තරම් ඩැයිබර දක්සයෙක් වෙනවා ටික දවසකින්.
Deleteඋඹලයි ලොක්ක කරල තියෙන්නෙ මහ කැත වැඩක්නෙ. ඒ වෙලාවෙ කරන්න තිබ්බෙ අදාල ලියකියවිලි, පොත්පත් ටික පන්සලට අරං ගිහිල්ල අර මනුස්සය සිල් අරං ඉද්දිම ඔන්ද ස්පොට් වැඩේ කරගෙන එන එකයි. මොකද බණ අහනවයි කියල හැම වෙලාවෙම අහන එකක්යැ. තව ඕනනං හවස ගිලංපස වෙලාවට අර කොන්ත්‍රාත් බුවා දුන්න සීල් වලින් ෂොට් එකකුත් එහෙමම පූජ කරන්න තිබ්බනෙ.
ReplyDeleteප්‍රසන්න,
Deleteඅඩේ කිව්වත් වාගෙ ලොක්කට තිබ්බෙ එහෙම කරන්න...හෙහ්,හෙහ්,
ඒත් එක අතකට එහෙමත් බෑ. කොන්ත්‍රාත් එකේ විස්තර දන්නෙ ජයසිරිනෙ. ඉතිං ඒ ලියකියවිලි මනුස්සයම හදන්ට ඕන....වෙන කෙනෙකුටත් ඕක කලෑකි. ඒත් කොන්ත්‍රාත් ගිවිසුම් පයිල් එක එහෙම අධ්‍යයනය කරන්ට වෙනව ඒකට. ඒ වැඩේට වෙලාවක් ගත වෙනව. කොහෙද අර කොන්ත්‍රාත් බුවා ඉන්නවනෙ ටොප් ගියර් එකට දාගෙන ලියකියවිලිත් අරගෙන හෙඩ් ඔෆිස් යන්ට...
මොනව උනත් කොන්ත්‍රාත් කාරය හොඳ බුවෙක් වගේ. නැත්තං තමං යටතෙ වැඩ කරන මිනිස්සුන්ට අවුරුද්දට කලින් සල්ලි දෙන්න ඔච්චර මහන්සියක් වෙන්නෙ නෑනෙ.
ReplyDeleteමගුල තමයි, ඒ දවස් හය හතේ මිනිස්සුන්ගේ පඩිය ඕනනම් 0.01% ක් වගේ වෙන්න ඇති.
Delete5% ටත් වඩා අඩුවෙන් ඉල්ලපු එකාට කෙළින්ම 10% ක්ම ගෙවන්න කියල ලියල එවපු චෙයාමන් ගැන මට පොඩි නෙමෙයි ලොකු සැකයක් ඇති වුනා...
ප්‍රසන්න,
Deleteඔව් පොර ඇත්තටම මනුස්සකං දන්න කෙනෙක්. බොහොම දුක් විඳල ඔය තත්වෙට ආවයි කියලයි කියන්නෙ.
ලොක්කා,
Deleteඅඩේ නෑ බං..දවස් හතේ අටේ පඩියක් නෙවෙයි. ඒ මනුස්සය තමන්ගෙ සේවකයින්ට අවුරුද්දට කලින් අප්‍රේල් පඩියයි තව මාසෙක පඩියට සමාන බෝනස් එකකුයි දෙනව. අන්න එව්වට තමයි ඔය සල්ලි හොයන්ට දැඟලුවෙ.
සීයට දහයෙ කතාව මෙහෙමයි. ඒ දවස්වල අපේ ඔෆිස් එකෙන් ප්‍රදානය කරපු සුළු සහ මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත් වලට ( මට මතක විදිහට ලක්ෂ දහයට වගෙ අඩු ) ඔය මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එකක් ගෙව්වෙ නෑ. ඒත් හෙඩ් ඔෆිස් එකෙන් ප්‍රදානය කරපු මහා පරිමාණ කොන්ත්‍රාත් වලට රජයේ සම්මත 10% ගෙව්ව.
මේ කොන්ත්‍රාත් එකත් හෙඩ් ඔෆිස් එකෙන් එවෝඩ් කරපු එකක්. ඒ හින්ද අර 10% ඇත්තටම ගෙවන්ට ඕන. ඒත් වෙලා තිබ්බෙ ඒ ගැන හරිහැටි දැනුවත් නොවීම.ඒ හින්දයි අර මනුස්සය එහෙනං දැනට 5% වත් ගෙවන්ට කියල ඉල්ලුවෙ. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප උනහම මිනිහ කෙලින්ම හෙඩ් ඔෆිස් ගියා. චෙයාමන් කන්ට්‍රෑක්ටර්ට නීත්‍යානුකූලවම ගෙවන්ට නියමිත ගාණට පේමන්ට් සර්ටිෆිකට් එක හදල එවන්ට කියල ලියුමක් එව්ව.
මෙතන කවුරුවත්ම වැරදි නෑ. ජයසිරි, කන්ට්‍රෑක්ටර්, චෙයාමන් සහ ආර්.ඊ. ඔක්කොමල හරි...:)
///මෙතන කවුරුවත්ම වැරදි නෑ. ජයසිරි, කන්ට්‍රෑක්ටර්, චෙයාමන් සහ ආර්.ඊ. ඔක්කොමල හරි...:)///
Deleteයකෝ කවුරුත් වැරදි නොවී කතාවක් ඉවර වෙන්නේ කොහොමද, උන් වැරදි නැත්තන් අඩු ගානේ උඹ හරි වැරදි ඇති...
එනවා මෙතන...
අනිවාරයෙන් මෙතන වැරදි කාරය තමයි මේ කතාව කියන මනුස්සය. හැක්..
Deletehttp://sinhalajanakatha.blogspot.com/2016/11/blog-post.html
ReplyDeleteThanks Pra...:)
Delete@ලොකු පුතා & Praසන්ன
ReplyDeleteරවිඋන්නාන්සේ කිසිකලක බොරු නොපවසන අතර හුදෙක්ම අලංකෘත,විකෘත, අඩු වැඩි කල, පොලිශ් කල, රවුම් හතරැස් කර හතරැස් රවුම් කල, පරිණාමය වූ ඇත්ත පමණක් ඇදබාන සේක.
///හුදෙක්ම අලංකෘත,විකෘත, අඩු වැඩි කල, පොලිශ් කල, රවුම් හතරැස් කර හතරැස් රවුම් කල, පරිණාමය වූ ඇත්ත පමණක් ඇදබාන සේක.///
Deleteහෙහ් හෙහ්...
සහතික කල ඇත්ත... :)
කොච්චර පරිණාමය වෙච්ච ඇත්ත පමණක් කියනවද කියනවනං අපිට රෝස් කරපු කුකුළෙක් කන්නත් අවුරුදු දෙකක්ම බලාගෙන ඉන්න උනා හිටං.
Delete[රවිඋන්නාන්සේ කිසිකලක බොරු නොපවසන අතර හුදෙක්ම අලංකෘත,විකෘත, අඩු වැඩි කල, පොලිශ් කල, රවුම් හතරැස් කර හතරැස් රවුම් කල, පරිණාමය වූ ඇත්ත පමණක් ඇදබාන සේක.]
Delete++++++++++++++++++++++
//////කණ්නාඩි දාන හින්ද තියෙන එක වාසියක් නිදි ද නැද්ද කියල එක පාරට හොයාගන්ට බෑ. ඔලුව කඩා වැටෙන්ට නොදී වැළමිට ඩෙස්ක් එක උඩ සමබරව තියල අල්ල දිග ඇරල ඒ උඩ නිකට හොඳට පට්ටල වෙන්ට තියගෙන හරි බැරි ගැහුනම ආය කිසි ගින්නක් නෑ ආතල් එකේ අපූරු නින්දක් දැම්මැහැකි.////
ReplyDeleteහවස්වරුවෙ ලෙක්චරස් යනකොට මගෙත් පිළිවෙල ඕක තමයි... මොනම ක්‍රමයකටවත් ඉන්නනම් බෑ විනාඩි 5 ක් වත් ඇහැක් විදිහට ඇහැ පියාගන්නැතුව.... ඔලුව කඩා වැටෙනව වගේ නම් ලඟම ඉන්න කෙනා පොඩි තට්ටුවක් දානවා.....
උපාසක මහත්තයාගෙ අන්තිම දෙබස අගෙයි...
අඩෝ අපි ඒ කාලේ සිල් අරගෙන උදේ වලඳලා ෆුට් බෝලේ අරගෙන යන්නේ පිටිටනියට. එක දවසක් ප්‍රින්සිපල්ට අහුවෙලා උරප්පලාව ගලවලා අපිට ගැහුවෙ.
ReplyDeleteඇයි අනේ අර රටක් වටිනා මනුස්සය වෙනුවෙන් පොලේ ළිඳ පාටියක් කාරිය දුන්නේ නැතෙයි?
ReplyDeleteහතරපෝයට සිල් ගැනිල්ල අයිස් ගහන්න හොඳ උපක්‍රමයක්
ReplyDeleteමගෙ යාලුවෙක් සිල් අරන් මලා
ReplyDeleteකෙළින්ම නිවන් යන්ට ඇති. ඕ යේස්.
Deleteසිල් පවාරනේ කරන්න ඉස්සෙල්ල සීල් ගන්න යන්න ඇති.
Deleteඅන්න ඕකනේ වැරැද්ද. මේ සිල් කියන එව්වත්, අර සීල් ගන්නව වගේ, ඕනේ වෙලාවට ගන්න එපා වෙලාවට මුදවන්න පුළුවන් වෙන්න, පාර්ලිමේන්තු පනතක් ගෙන්න ඕනේ.
ReplyDeleteකෑමෙන් පස්සේ ලැච්චර් වලදී නින්ද යන අයට/ඈයන්ට/නෑයන්ට/ හමුදාවේදී දෙනවා, පහසු ඉරියව්වෙන් සිටීම කියලා දෙයක්. easy position. මෙහෙමයි කරන්නේ. තමන්ගේ සපත්තුවල ටෝ දෙක මේසය මත පිහිටන පරිදි, මුනින් අතට සිට, අත්දෙක බිම තබා, හිස ඔසවා, බ්ලැක්/වයිට්/ග්‍රීන් බෝඩ් එක දෙස බැලිය යුතුයි. එතකොට කකුල් වලට වඩා සෑහෙන පහලින් ඔලුව පිහිටන්නේ. ඔලුවට ලේ ගලා එනවා. නිදිමත යනවා. මොළේ පෑදෙනවා. අපොයි මම හරිම ආසාවෙන්, ලැච්චරයාගේ ප්‍රම්ප්‍රාවටම, සෑම නියං සමයකදීම වතුර ලැබෙන්ඩ ප්‍රාර්ථනා කොරමින්, එහෙම ඉඳලා තියනවා සෑහෙන වාර ගණනක්, කැඩෙට් නිලධාරි කාලේ.
ඔය රාත්‍රියේ කරුමාන්ත කරලා ලැච්චර් ගිහිං අහං ඉන්න එක තරං සනීප දෙයක් දෙයියනේ.... කතා කරන්නත් බෑ ගඳ ආවොත් සස්පෙන්ඩ් කොරනවා.ඉතිං පිටිපස්සටම ගිහිං ඉන්නකොට ගස්ලබ්බා දන්නෙම නැතුව වෙරිමරගාතෙම නින්දගිහිං මේසෙ බදාගනම.ලැච්චර් තුමා බැහැල ඇවිත් මේසෙට තට්ටුවක් දාල කියපි 'බැරි වැඩ කරා නම් අනුන්ට වදයක් නොවී පිලිවලකට නිදාගන්නවා ඕයි' කියලා.එදා ඉඳන් කොල්ලට නින්ද යනකොට කෙල්ලො වතුර ගහනවා... හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!