Monday, January 29, 2018

562. ප්‍රථම ප්‍රේමයේ මතක සටහන්...Reminiscences Of My First Love…

දෙපාරක් ඒ ලෙවල් කරලත් යුනිවකුටි සිලෙක්ට් නොවුනු හින්ද මම තීරණය කලා ඊළඟ ඔප්ෂන් එක විදිහට මොනවහරි කාර්මික විද්‍යාලයීය පාඨමාලාවක් කරන්න. ඒ කාලෙ ඔය අද වගෙ අර කෝස් මේ කෝස්, හාඩ්වෙයාර් කෝස්, සොෆ්ට්වෙයාර් කෝස්, අයි.ටී. කෝස්, එච්.ආර්. කෝස් වගෙ රටේ නැති කෝස් බෝස් තිබ්බේ නැත. යුනිවකුටි ගියෙ නැහ්නං ඉතිං ටෙක් තමයි. 

අනුරාජපුරේ පබ්ලික් ලයිබ්රරි එක කියන්නෙ කොළඹ මහජන පුස්තකාලෙ ඇරුනම මම දැකපු හොඳම පුස්තකාලයක්. 77/78 කාලෙ වගෙ ඉන්දියාවෙ ද හින්දු, ස්පෝට්ස්වීක් එතනින් ගියාම ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා එතකොට එංගලන්තෙ සන් වගෙ පත්තර හිටං ඒ පුස්තකාලෙ තිබ්බ. ඊට අමතරව පරන ඉංග්ලිෂ් ක්ලැසික්ස් පුරවපු කබඩ් පෙලක්ම තිබ්බ උඩ තට්ටුවෙ.

ඉතිං මම මයෙ පුස් බයිසිකලෙත් පැදගෙන ඔය ලයිබ්රරි එකට ගිහිල්ල ගැසට් එක බලනව මොනවද ටෙක් එකේ හොඳ කෝස් තියෙන්නෙ කියල. ඔන්න මැයි/ජූනි වගෙ වෙනකොට ගැසට් එකේ දාල තිබ්බ ඊලඟ අධ්‍යයන වර්සෙට කොල්ලො කෙල්ලො බඳව ගන්නවයි කියල. අනුරාදපුරේ මහ තැපැල් කන්තෝරුව ගාව තිබ්බ ගුණසේකර සහ සමාගමෙන් මුද්‍රිත ඉල්ලුම් පත්තරේකුත් අරගෙන ඇවිල්ල මම ඒක පුරවල තැපෑලට දැම්ම. අයදුම් කලේ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාවට. 

පස්සෙ සම්මුඛ පරීක්ෂණේකට එහෙමත් ගිහිල්ල මම තේරුණා ඒ පාඨමාලාවට. දැං ඔය කොයි කාලෙද දන්නවද? 82/83 අධ්‍යයන වර්ෂයට. දැං කවුද ඒ වෙනකොට මෙලොව එළිය දැකල හිටපු උදවිය ඉන්නේ? අත් උස්සන්ට බලන්ට. අප්පෝ ඔච්චරද ඉන්නෙ? ෂෙහ්..බොහොම ලාබාල හිච්චි එවුං ටිකක්නෙ මෙතන ඇවිල්ල ඉන්නෙ. හරි හරි ඒකට මක් වෙනවද? නැද්ද? පහුවෙලා ඉපදිච්චි එක ඔහෙලගෙ වැරැද්දක් නෙවෙයිනෙ නේ? අනික පහුවෙලා හරි ඉපදුන එකම මදැයි නේ?

ටෙක්නිකල් එකේ ගත කරපු කාලය මගේ ජීවිතේ අමතක නොවන කාල පරිච්ඡේදයක්...හෙහ්,හෙහ්...එහෙම බලාගෙන යනකොට මගෙ ජීවිතේ ඔය අරහෙ මෙහෙ අතන මෙතන ගත කරපු හැම කාලෙම අමතක නොවන කාල පරිච්ඡේද නම් තමා. මම හිතන්නෙ කොහෙ මොක කලත් ඒක අමතක නොවන කාල පරිච්ඡේදයක් කරගන්ට තමන් දැනගන්ට ඕන. අපෙ මාමණ්ඩි කිව්ව වගෙ ඒකයි ඒකෙ අවයවය...

හරි ඉතිං ටෙක් කෝස් එකේ අපේ අවසන් විභාගෙ යෙදිල තිබ්බෙ 83 අගෝස්තු මාසෙ. ඒත් ජූලි මාසෙ තිබ්බ කළු ජූලිය හින්ද විභාගෙ දෙසැම්බර් මාසෙට කල් ගියා. ඒ අතරෙ ගෙදර නිකං ඉන්නකොට මට අනුරාධපුරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලෙ පුහුණුවන සැළසුම් ශිල්පී තනතුරකුත් ලැබුන. පඩි ගෙවිල්ලක් එහෙම නෑ. නොමිලේ ගරු සේවය. ට්‍රේසිං පේපර්වල ඉන්ඩියන් ඉන්ක් වලින් අඳින්න ම පුරුදුවුනේ එතනදි.

ඔතන මාස තුනක් වගෙ ඉන්දැද්දි දවසක් රෑ අප්පච්චි මට කතා කලා. අපේ අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරනව බොහොම අඩුයි. අම්ම තමයි තෝල්ක මුදලි. අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරන්නෙ මොකක් හරි විශේෂ කාරණයකට විතරයි.

"ඔය ඉරිගේෂන් එකේ කරන රස්සාව තව කොච්චර කල් තියෙයිද?" අප්පච්චි ඇහුව.

"අපොයි තව අවුරුදු දෙක තුනක් හරි ඒ අය නම් කැමතිවෙයි. පඩියක් ගෙවන්නෙත් නෑනෙ...ඒ හින්ද මොකට අකමැති වෙන්නද?"

"හ්ම්ම්ම්ම්..ඒක තමයි මම මේ කතා කලේ...සඳුද ඉඳල අර කල්චරල් ට්‍රෑන්ගල් එකේ වැඩට යන්න එහෙනං. එතන වේකන්සි එකක් තියනවලු"

"ට්‍රෑංගල් එකේ කොහාටද යන්න ඕන?"

කල්චරල් ට්‍රෑන්ගල් කිව්වෙ සංස්කෘතික ත්‍රිකෝණය. පුරාවිද්‍යා කැණීම් සහ සංරක්ෂණ කටයුතු සඳහා පිහිටවපු  රාජ්‍ය ආයතනයක්. ටෙක් එකට යද්දි යාලුවො එක්ක බයිසිකල් වල නැඟල අනුරාධපුර පැරණි නගරය පුරා කරක් ගහල මම දැනගෙන හිටිය අනුරාධපුරේ සංස්කෘතික ත්‍රිකෝණයෙ ප්‍රොජෙක්ට්ස් දෙකක් තියනව කියල. එකක් ජේතවනාරාමෙ අනික අභයගිරිය. 

(අර කලවැද්ද...සුරංගය මේ ඊයෙ පෙරේද අභයගිරියෙ ගිහිල්ල පෝටොස් එහෙමත් දාල තිබ්බ පේස් බුක් එකේ...)

අපි ටෙක් එකේ ඉන්න දවස්වල තමයි ජේතවනාරාමෙ කැණීමකින් රන්පත් ඉරු එහෙම හම්බ වුනේ. එව්ව බලන්ට අපිත් දනිපනිගාල බයිසිකල් පැද්ද ජේතවනාරාමෙට.

"අභයගිරි ප්‍රොජෙක්ට් ඔෆිස් එකට..එතන ගිහිල්ල ඩොක්ට වික්‍රමගමගේ හම්බ වෙන්න. මම විස්තර කියල තියෙන්නෙ…" අප්පච්චි එහෙම කියල නැඟිටල කාමරේට ගියා.

ඩොක්ට වික්‍රමගමගේ කිව්වෙ ඒ කාලෙ අභයගිරි ව්‍යාපෘතියෙ අධ්‍යක්ෂවරයා. ආචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ. මේ පහුගිය අවුරුද්දෙ වගෙ මම පත්තරේක දැක්ක  එතුමා දැන් මහාවංශ සංස්කරණ මණ්ඩලයෙ සභාපති විදිහට කටයුතු කරනව කියල.

ඉතිං අප්පච්චි කිව්ව විදිහට ඊලඟ සඳුද මම උදේම ගිහිල්ල ඩොක්ට ගමගේ හම්බවෙලා වැඩ බාරගත්ත. අනියම් සැළසුම් ශිල්පියෙක් විදිහට. ඒ වෙනකොට එතන තව අනියම් සැළසුම් ශිල්පීන් දෙන්නෙක්ම හිටිය. මම ඒ ගැන විස්තර කලින් ලියල තියනව මගෙ අභයගිරි විත්ති කතා මාලාව ලියනකොට...මතකයිනේ?


අභයගිරි දාගැබ සංරක්ෂණය කළ පසුව -
ඡායාරූපය එන්.එච්.සමරසිංහ මහතාගේ
සැරිසර මතක බ්ලොග් අඩවියෙන්...

අනියම් සේවකයො විදිහට අපිට වැටුප් ගෙව්වෙ චෙක් රෝලෙන්. චෙක් රෝල කියන්නෙ අනියම් සේවක වැටුප් ලේඛණය....පුරාවිද්‍යා කැණීම් කටයුතු වලට යොදාගත්තු අනියම් සේවක සේවිකාවන්ට මුදලින් ගෙව්වෙ නියමිත වැටුපෙන් බාගයයි. ඉතිරි බාගෙට හිලව් වෙන්ට ඒ වටිනාකමට දුන්න පාන් පිටි, බටර් ඔයිල්, සැමන් ටින් සහ මුද්දරප්පලම්...ඒ ආහාර ද්‍රව්‍ය ලබාදුන්නෙ යුනෙස්කෝ එකෙන්.

යුනෙස්කෝ එක දන්නවනෙ නේද? එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය...ඒ වෙනකොට ලංකාවෙ ස්ථාන පහක් යුනෙස්කෝව විසින් ලෝක උරුම විදිහට පිළිගෙන තිබුණු නිසයි ඒ විදිහට ආධාර දුන්නෙ. එහෙම පිළිඅරගෙන තිබ්බෙ...අභයගිරිය, ජේතවනාරාමය, සීගිරිය, දඹුල්ල සහ මහනුවර...

ඉතිං ඒ අනිකුත් අනියම් සේවක සේවිකාවන්ට වැටුපින් බාගෙකට හිලව් වෙන්ට ආහාර දුන්නට කාර්යාලයෙ වැඩ කරපු අපි තුන්දෙනාටයි තව ලිපිකාරිනියො තුන්දෙනෙකුයි හිටිය. අපි දෙගොල්ලට සම්පූර්ණ වැටුපම සල්ලිවලින් ලැබුන. ඒ කාලෙ දවස් තිහම වැඩ කලාම මට මතක විදිහට පඩිය හම්බවුනා රුපියල් 900 වගෙ ගාණක්. ඒ කාලෙ හැටියට ලොකු ගාණක් ඇත්තටම කිව්වොත්. ගල් බෝතලේ රුපියල් 28 වගෙ ගානක් වුනේ එදවස. ඒ කියන්නෙ ඒ පඩියෙන් ගල් බෝතල් ගත්තෑකි 32 විතර.

දැං ගල් බෝතලේ 1530/= වෙනවනෙ. ඒ කියන්නෙ 32ක් ගන්න ඕන වෙනව රු. 48,960/=.... කොහොමද ආතල් එක?ඒ කියන්නෙ ඒ කාලෙ අපිට සෑහෙන පඩියක් ලැබිල තියනව...අන්න එහෙම තමයි එදා මෙදා මුදලේ ක්‍රයශක්තිය හීන වීම ගණනය කරන්නෙ...ඒ මුදලට මිලදී ගත හැකි ගල් බෝතල් සංඛ්‍යාව සැසඳීමෙන්..ඔව්ව ඔය ආර්ථික විද්‍යා මූලධර්ම..සෙල්ලං නෑ..ඉකොනොමික් ප්‍රින්සිපල්ස්...ආර්ථික විද්‍යාව ඉගෙන නොගත්තට අපිත් ඔය ගැන යමක් කමක් දන්නව.

මුදලේ අගය අවප්‍රමාණය වීම කියන්නෙත් ඕකම තමයි. එදා පඩියෙන් ගල්බෝතල් කීයක් ගතෑකිද? අද ඒ ගල් බෝතල් ගානම ගන්ට සල්ලි කීයක් ඕනද? කියන එක තමයි මුදලේ අගය අවප්‍රමාණය වීමේ මිනුම් දණ්ඩ හැටියට ආර්ථික විද්‍යාඥයො පිළිඅරගෙන තියෙන්නෙ......

ඉතිං මම ඔය අභයගිරි ව්‍යාපෘතියෙ අවුරුද්දකට සුට්ටක් විතර වැඩි කාලයක් වැඩ කලා. සැළසුම් ශිල්පීන් හැටියට අපිට තිබ්බෙ කැණීම් වලින් මතුවෙන ගල් පාදම්, ප්‍රාකාර, දිය බස්නා මාර්ග එහෙම හරියටම තියෙන විදිහට අඳින්ට. ඉහළින් පෙනෙන විදිහ, ඒ කිවෙ ප්ලෑන් එක, දික්කඩ, හරස්කඩ එව්ව ඔක්කොම අඳින්ට ඕන. මීටර් 20න් විස්ස විතර ග්‍රිඩ් දාල බෙන්ච් මාක් එහෙම නැත්නම් පිල් ලකුණුත් දාල තිබ්බ. එව්වයෙ ලෙවල් එක අපි දන්නවනෙ. එතකොට එතන ඉඳල අර මතුවෙන පුරාවස්තුවල මට්ටම් ගන්ටත් පුළුවන් බොහොම පහසුවෙන්ම.

හරි හරි විස්තරේ ටිකක් විතර ටෙක්නිකල් පැත්තට බර වේගනයි යන්නෙ. ඒ හින්ද මේ ඇති. ඉතිං මම ඔය අභයගිරියෙදි ඇඳපු සැළසුම් හත අටක් අපේ මහ ගෙදර තිබ්බ වගේ මතකයි. ට්‍රේසිං පේපර් එකේ ඉන්දියන් තීන්තෙන් ඇඳපු හින්ද තවම හොඳ තත්වයෙ ඇති සමහරවිට. මේ පාර ගියහම බලන්ට ඕන පරණ කබඩ් අල්මාරි එහෙම ඇදල කරල. තිබ්බොත් එව්වත් දාල ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්කො...හොඳද? 

හරි ඉතිං අභයගිරියෙ හිටපු අවුරුද්දක කාලය බොහොම විනෝදෙන් සන්තෝසෙන් ගතවුනා. ඒ කාලෙ මගෙ හිතේ ඉතිහාසය සහ පුරාවිද්‍යාවට තිබ්බ ඇල්ම තවත් වැඩිවුනා. තවත් වැඩිවුනාය කියල කිව්වෙ මම පොඩි කාලෙ ඉඳලම ඉතිහාසය ගැන ඉගෙන ගන්ට හරිම කැමතියි. 

ඒ ආසාව නැත්නම් ඇල්ම ප්‍රගස්තියක් (ප්‍රගස්තිය කියන්නෙ ඔබ්සෙෂන් කියන වචනෙට කියන සිංහල වචනෙ කියල කියන්නෙ අපේ මේ මධුර ගොයිය) බවට පත්වුනා. ප්‍රගස්තිය කියනවට වඩා මම කැමතියි හරියටම ටක්කෙටම හරි නැතිවුනත් ඇබ්බැහිය කියල කියන්ට...හරි ඇබ්බැහියක් බවට පත්වුනා කියල කියමුකො. මම අර නිල් කට්රොල් මල් කතාව ලියනකොට කිව්වෙ....පුලුවන් හැම වෙලාවෙම මම ඔය සීගිරියෙ එහෙම ගියාය කියල.....

හරි මදැයි ඒ හෑල්ල..දැං එමු ප්‍රධාන කතාවට...මෙච්චර වෙලා මම මේ කලේ පසුබිම සකස් කරන එක...තේරුණා නේද ඔබ තමුන්නාන්සේලාට? රයිට් ප්‍රධාන කතාව මෙහෙමයි. 

මේ රටේ තියනව එතෙර අපි කියල සංවිධානයක්. මෙහෙ රැකියා කරන්ට ඇවිල්ල ඉන්න ශ්‍රී ලාංකිකයො එකතුවෙලා පිහිටුවා ගත්තු සංවිධානයක් ඒක. දැනට මාසෙකට වගෙ ඉස්සර ඒකෙං මට ඊ මේල් එකක් ආව ජනවාරි 19 වෙනි සිකුරාද "ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණයන්ගේ නවමු අත්දැකීම්" යන මාතෘකාවෙන් ප්‍රසිද්ධ දේශණයක් පැවැත්වෙනව කියල මෙහෙ තියන හෝටලයක. කැමතිනම් සහභාගි වෙන්ටෙයි කියල. දේශකයා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා.


රාජ් සෝමදේව මහතාගේ දේශණය
පිළිබඳව නිර්මාණය කල ප්‍රචාරක
දැන්වීමක් ඉහත දැක්වේ.

මම අර කිව්ව වගෙ මගේ ප්‍රථම ප්‍රේමය ඉතිහාසය සහ පුරා විද්‍යාව හින්ද මම කලේ හැරෙන තැපෑලෙන් උත්තරයක් යැව්ව "යස් අයි විල් ඩෙෆිනීට්ලි ඇටෙන්ඩ්" කියල.

ඉතිං පහුගිය 19 වෙනි සිකුරාදා උදෙම්ම මම ගියා ඒ දේශණයට. සිකුරාද ඇවිල්ල මයෙ පොඩි ආතල් එකක් එහෙම ගන්න දවස උනාට මේ වගෙ මහාර්ඝ අවස්ථාවක් මඟ හරින එක අපරාදයක් හින්ද මම දනිපනිගාල ගියා අදාල ශාලාවට.

උදේ නවයෙ වගෙ ඉඳල හවස තුන පහුවෙනකල් වගෙ දේශණය පැවැත්වුනා. දවල් එකොළහමාරට වගෙ පැයක විතර බ්‍රේක් එකක් තිබ්බ. කොහොමත් සිකුරාද ඉස්ලාම් භක්තිකයින්ගෙ ශුද්ධවූ දවස හින්ද එකොළහමාරෙ ඉඳල දොළහ වගෙ වෙනකල් කඩ සාපු ඔක්කොම වහන්ට ඕන. එතනිං ගියාම ඒ කාලසීමාව ඇතුලත ක්‍රීඩා තරඟ එහෙමත් නවත්වන්න ඕන. එහෙමයි මෙහෙ නීතිය.

ඉතිං ඒ පැයක වගෙ විවේක කාලෙදි පොඩි කට්ලට් රෝල්ස් සෑන්ඩ්විචස් දෙක තුනක් කන ගමන් අපි කීප දෙනෙක් මහාචාර්ය තුමා එක්ක සුහද කතා බහක යෙදුන. රාවණ රජ්ජුරුවො ගැන....එතකොට බුදුන් වහන්සෙගෙ ලංකා ගමන ගැන...එතකොට මහා වංශය ගැන....සීගිරියෙ විශ්මිත ජල උද්‍යාන තාක්ෂණය ගැන....ප්‍රාග් ඓතිහාසික ලංකාවේ යපස් වලින් යකඩ ලබාගැනීමේ තාක්ෂණය ගැන...ඉබ්බන්කටුවෙ සොහොන් ගෙවල් ගැන....ඔය වගෙ නොයෙක් ඉතාම සිත් ඇදගන්නාසුළු මාතෘකා ගැන අපි කතා කලා.

හවස තුන වෙනකල් දේශණය තිබ්බට ආපු හැමෝම වගෙ සාවධානව ඇහුම්කන් දුන්න මිසක් නැඟිටලා ගියේ එහෙම නෑ.....

මහාචාර්ය වරයා අන්තිමට මෙහෙම කිව්ව..

"අපි අනාගතයට යන්ට ඉස්සර හරියටම දැනගන්ට ඕන අපි කවුද කියල. අපේ මූලාරම්භය කොතනද? අපි ආවෙ කොහෙන්ද? අපේ තාක්ෂණය අපිට ලැබුනෙ කොහෙන්ද? අපේ භාෂාව විකසනය වුනේ කොහොමද? ඔය ගැන හරියටම දැනගන්නෙ නැතුව ඉදිරියට යනවය කියන්නෙ අපි අක්මුල් සිඳුණු ජාතියක් වෙනව. එහෙම බෑ.....මේ පොළවෙ අපේ මුල් ගැඹුරට කිඳා බැහැල තියනව. අපි එව්ව හොයාගන්ට ඕන.."

පල්ලෙහා වීඩියෝ දෙකේ මහාචාර්ය තුමාගෙ සම්පූර්ණ දේශණයම තියනව. දෙකම ගත්තම පැය පහක් විතර. ටිකක් දිග වැඩියි නම් තමයි. ඒත් විවේකයක් ලැබුණු වෙලාවක අහන්න....ඒ වැයකරන කාලය කිසිසේත්ම අපතේ ගියා වෙන්නෙ නැති බවට මම සහතික වෙනව...






Friday, January 26, 2018

561. The Story Of My Marriage - 60 - " Lemon Rice, Powerpoint Presentations & Getting Closer To Ananya's Father…………"

"එතකොට දැන් අංකල් කියන්නෙ මේ ඔයා හදපු ප්‍රසන්ටේෂන් එක සීයට අනූවක් වගෙ ඉවරයි කියල.....එහෙමද?"

මම හිස හරවා මා අසල හිඳහුන් ස්වාමිනාදන් මහතාගෙන් විමසූයේ මගේ ස්වරයෙහි ගැබ්වූ සෝපාහාසාත්මකත්වය (Sarcasm) හැකි පමණ සැඟවීමට වෑයම් කරමිනි. මගේ භාග්‍යයකට මෙන් ස්වාමිනාදන් මහතාට ඒ පිළිබඳව අවම වශයෙන් බිංදු මාත්‍රයක හෝ හැඟීමක් නොවීය. ඔහු පිළිතුරු දුන්නේ මහත් ආඩම්බරයෙන් හිස සෘජුකොට ගනිමිනි.

"ඔව්..ඇත්තම කියනවනම් මට ඔය වැඩේට සුමාන දෙකක්..ම්ම්ම්..නෑ..නෑ...ඉන්ට බලන්ට...හරි දෙකක් නෙවෙයි...සුමාන තුනක් වගේ ගියා…"

ස්වාමිනාදන් මහතා ඔහු විසින් නිමකල පවර්පොයින්ට් ඉදිරිපත්කිරීම (Powerpoint Presentation) අඩංගු සංගත තැටියක් (C.D.) මවෙත ලබාදී තිබිණි. මම මේසය මතවූ මගේ ලැප්ටොප් පරිගණකයට ඇතුළුකොට එය විවෘත කළෙමි. ආකෘතිකරණය නොවූ (Unformatted) ස්ලයිඩයන් පිරී පැවතියේ නිසිපරිදි බුලට් පොයින්ට්ස් යොදා නොතිබුණු එමෙන්ම  ප්‍රමාණය ෆොන්ට් සයිස් 8 සිට 72 දක්වා පරාසයක විහිදුනු අකුරු සහිත පරිච්ඡේදයන්ගෙනි.

ස්වාමිනාදන් නිවහනේ සාලයෙහි පසෙකවූ විශාල ලියන මේසයක් ඉදිරියේ අප හිඳ සිටියෙමු. අනන්‍යාගේ මළනුවෝ ගෙතුල ඔහුගේ කුටියෙහි කුමන හෝ අධ්‍යයන කටයුත්තක නිරතව සිටියේය. අප තිදෙන හැරුණුවිට නිවසෙහි වෙනත් කිසිවකු නොවූයේය. ස්වාමිනාදන් මහතා මගේ දකුණු උරහිසට ඉහළින් පරිගණක තිරය දෙස එබී බැලීය. මම මගේ සුරතේ දබරැඟිල්ල තිරය වෙත දිගු කළෙමි.

"මේ ස්ලයිඩ්ස් එකකවත් වගු ප්‍රස්තාර තියා අඩුගානේ ඉලක්කම්වත් නෑනෙ. අංකල් ප්‍රසන්ටේෂන් එකකට එව්ව ඕනමයි. නිකම්ම විස්තර විතරක් ලියල හරියන්නෙ නෑ. හරියටම ස්පෙසිෆික් පොයින්ට්ස් වලට ලියන්ට ඕන…"

මම පැවසූයේ ස්වාමිනාදන් මහතා දෝෂ දර්ශනයට ලක්කිරීමකින් තොරව එහෙත් ඒ හා සමඟම සත්‍යය ඇති සැටියෙන් පැවසීමටද යත්න දරමිනි.

"ආ...ඔය ලියල තියෙන විස්තරවලට අදාල ඉලක්කං එතකොට ගණං හිලව් ඔක්කොම තියෙන්නෙ මෙහෙ...." ස්වාමිනාදන් මහතා පැවසූයේ මේසය මතවූ ඔහුගේ බ්‍රීෆ් කේසය විවෘත කරමිනි. 

"මෙතන අවුල වුනේ මේකයිනෙ ක්‍රිෂ්...පවර්පොයින්ට්වල ට ගණං හිලව් දාන්ට මට තාම හරියකට බෑ..ඒකයි මම විස්තර විතරක් ලිව්වෙ..." 

විවෘත කල බ්‍රීෆ් කේසය තුලින් ඔහු පිටතට ගත්තේ තැලී පොඩිවී තැනින් තැන කඩතොළුවූ දුඹුරු පැහැති ලිපිගොනු තුනකි. ඒ එක් ලිපිගොනුවක යටත් පිරිසෙයින් පිටු දෙසියයක්වත් අඩංගුවිය.

"මොනවද මේ?" මම විමසීමි. 

"පහුගිය අවුරුද්දෙ අපෙ බැංකුවෙ ගණුදෙනු විස්තර....."

"අංකල් මම හිතන්නෙ නෑ අපිට මේ විස්තර ඔක්කොම නම් ප්‍රසන්ටේෂන් එකට දාන්න පුලුවන්වේය කියල. ආ මට වැදගත්ම ප්‍රශ්නෙ අහන්නත් අමතක වුනා. දැං අංකල් කවදද මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕන?"

"අර යස්සය...අර වර්මා කියන එකා කියන්නෙ තව සතියකට වඩා කල් දෙන්න බෑ කියල…."

සතියකින් නොව තව වසරකින් පවා ස්වාමිනාදන් මහතාට මෙය කල නොහැකි බවට මට මගේ මෑණියන්ගේ නාමයෙන් වුවද කිසිදු චකිතයකින් තොරව දිව්රා ප්‍රකාශ කල හැක.

"මොකක්ද කිව්වෙ? සතියකින්?.... අංකල් මේ ස්ලයිඩ්ස් වල ලියල තියෙන්නෙ පහුගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ගෙ බැංකුවෙ බිස්නස් පර්ෆෝමන්ස් විස්තර විතරයි. බිස්නස් ප්ලෑන් එකක් කියන්නෙ අනාගතේ කරන්ට බලාපොරොත්තුවෙන දේවල් ගැන විස්තරයක්. කෝ?...අංකල් එහෙම එකක් ගැන හිතලවත් නෑනෙ ..."

"මම ඒ හරිය හෙට අනිද්ද විතර පටන්ගන්නයි හිටියෙ…." 

දෙතුන් වරක් කෙළගිලීමෙන් අනතුරුව සෙමෙන් උගුර පෑදූ ස්වාමිනාදන් මහතා සිහින් හඬින් පැවසීය.

වමතෙහි වැළමිට මේසය මත තබා අත්ල මතට නළල බරකල මම පරිගණක තිරයෙහි ස්ලයිඩයන් එකිනෙක පිළිවෙලින් නරඹමින් ස්වාමිනාදන් මහතා විසින් පිළියෙල කොට ඇති පවර්පොයින්ට් ප්‍රසන්ටේෂනයෙහි ආරම්භයට ගියෙමි. 

"ඇයි ක්‍රිෂ්?... මම කරල තියෙන එකේ මොකවත් අඩුපාඩු එහෙම තියනවද?" 

මගේ උරහිසට ඉහළින් පරිගණක තිරය දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනා ස්වාමිනාදන් මහතා විමසූයේ සාංකාකූල (Anxious) ස්වරයකිනි.

මම ඔහු දෙසට හැරුනේ මුවඟට මද සිනහවක් නංවා ගනිමිනි.

"ආ..නෑ..නෑ..එහෙමට අවුලක් නෑ...එහෙං මෙහෙං තැන් දෙකතුනකට පොඩි පොඩි එජස්ට්මන්ට්ස් කරන්න තියනව. ඒ ටික කලාම වැඩේ හරි…"

"එතකොට කොහොමද අපි ඒ ටික කරන්නෙ? "

"හරි අපි මෙහෙම කරමු. මට ඉස්සෙල්ලම කියන්න ඔය බැංකුවෙ අංකල්ගෙ රාජකාරිය හරියටම මොකක්ද කියල සවිස්තරව.......ඊලඟට මට කියන්න මෙන්න මේ ෆයිල් වල මොනවද තියෙන්නෙ කියල.." 

මම මේසය මතවූ ලිපිගොනු තුන දෙසට සුරත දිගු කළෙමි.

ඉන් අනතුරුව මම මගේ පරිගණකය අක්‍රියකොට වසා දමා මා හිඳ සිටි අසුන ස්වාමිනාදන් මහතා දෙසට හරවා ගතිමි. 

"හරි දැං පටන් ගන්න."

අනුයාත හෝරා තුනක කාලය තුල රජයේ බැංකුවක නියෝජ්‍ය දිස්ත්‍රික් කළමනාකරුවකුගේ කාර්ය භාරය කුමක්දැයි මම ඉතා පැහැදිලිව අවබෝධ කොට ගතිමි. සත්‍ය වශයෙන්ම රජයේ බැංකුවක කාර්ය මණ්ඩලයට ඉතා භාරදූර වගකීම් සම්භාරයක් පැවරීඇතිබව මම දැනගත්තේ පළමු වරටය. පෞද්ගලික අන්තර්ජාතික බැංකුවල සේවය කරන්නන් බහුතරයක් පරිදි මමද මෙතෙක් සිතා සිටියේ රජයේ බැංකුවල සේවය කරන්නන් බහුතරයක් කිසිදු රාජකාරියක නොයෙදෙන බවය.

රාජ්‍ය බැංකුවල සේවකයින්ගේ කාර්ය භාරයෙන් වැඩි ප්‍රතිශතයක් ගත වනුයේ නොයෙක් වාර්තා පිළියෙල කිරීම්, ඉහළ නිළධාරීන්ගෙන් අනුමැතිය ගැනීම් යනාදිය සඳහා බවද එළෙසම සත්‍යයකි. සත්‍යය වශයෙන්ම රාජ්‍ය බැංකුවලින් කෙරෙනුයේ ව්‍යාපාරික කාර්ය භාරයකට වඩා හුදු ප්‍රතිපත්තිමය කාර්යයකි.

ස්වාමිනාදන් මහතා ඔහු යටතේ ඇති එග්මෝර් ප්‍රාදේශීය කාර්යාලයෙහි කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරද්දී මම ඈණුමක් අරිමින් සාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉහළින් සවිකොට තිබූ බිත්ති ඔරලෝසුව දෙස හිස ඔසවා බැලීමි.

රාත්‍රී නවය පසුවී මිනිත්තු තිහක් ගතව ගොස් තිබිණි.

"සමාවෙන්න මට ඔයාගෙන් රෑ කෑම ගැන අහන්නවත් මතක් වුනේ නෑ…" ස්වාමිනාදන් මහතා පැවසූයේ අසුනින් නැඟී සිටිමිනි. 

"හරි හරි ඒකට කමක් නෑ...ඉන්නකො මම මූණ පොඩ්ඩක් හෝදගෙන එන්නං…" මම ද අසුන පස්සට ඇද නැඟී සිටියෙමි. 

මුහුණ දොවාගෙන මම නාන කාමරයෙහි සිට ආපසු එනවිට ස්වාමිනාදන් මහතා පිඟන් දෙකක් මේසය මත තබා ලෙමන් රයිස් බඳුනක් මයික්‍රෝවේව් උදුනෙහි බහා රත්කරමින් සිටියේය.


ලෙමන් රයිස් පිළියෙල කොටගන්නා අන්දම 
දැක්වෙන වීඩියෝවක් ඉහතින් දැක්වේ.

"සමාවෙන්න මට හරියකට මොකවත් රෑ කෑමට දෙන්න බැරිවුනාට...මේ දවස්වල දන්නවනෙ අනන්‍යයි එයාගෙ අම්මයි දෙන්නම ගෙදර නෑනෙ. අර මේ ළඟ ඉන්න ගෑණු මනුස්සයෙක් ඇවිල්ල කෑම උයල දීල යනව. ක්‍රිෂ් එයි කියල හිතුවෙ නැති හින්ද මම කිව්ව ඔය මොනවහරි පොඩි දෙයක් හදන්නෙයි කියල…."

"හරි හරි ඒකට කමක් නෑ…"

"කුස්සියෙ ෆ්‍රිජ් එකේ මුදවපු කිරි ඇති..ඕනනම් "

"හරි මම අරං එන්නම්.."

මුළුතැන්ගෙය වෙත ගිය මම ශීතකරණය විවෘත කොට මීකිරි බඳුනක් සහ වතුර බෝතලයක් රැගෙන ආවෙමි.

"මංජු කන්නෙ නැද්ද?" මේසයෙහි අසුන්ගන්නා අතර මම විමසූයෙමි.

"මංජු කලින්ම කාල ඉන්නෙ. මේ වෙනකොට මගෙ හිතේ නිදිත් ඇති….එයා පාන්දර හතර වෙනකොට නැඟිටිනවනෙ පාඩම් කරන්න..ඒ හින්ද කොහොමත් කලින්ම කාල කලින්ම නිදිය ගන්නව."

අපි කතාබහකින් තොරව ආහාර ගතිමු. ස්වාමිනාදන් නිවසෙහි මට ප්‍රථම වරට ආගන්තුක බවකින් තොර සුහදත්වයක් දැනෙන්නට විය. සතියකට දින තුනක් ස්වාමිනාදන් දෙමහල්ලන් මට ඔවුන්ගේ නිවසෙහිදී උදෑසන ආහාරය ලබාදුන් බව සැබැවි. එලෙසම ස්වාමිනාදන් මහතා මට එම දිනයන්හි කාර්යාලය වෙත ඔහුගේ මෝටර් රථයෙන් රැගෙන ගිය බවද එලෙසින්ම සැබැවි.එහෙත් ඒ කිසිදු විටෙක මට ඔවුන් කෙරෙහි කුළුපගභාවයක් නොදැනිනි. එහෙත් අද ඒ තත්වය වෙනස්වී ඇති බව මට නිතැනින්ම හැඟෙන්නට විය.

"තව දාගෙන කන්න.."

ස්වාමිනාදන් මහතා මගේ පිඟානට ලෙමන් රයිස් හැඳි කිහිපයක් බෙදමින් පැවසීය. ඔහු මගේ වීදුරුවට ජලයද පිරවීය.

රාත්‍රි ආහාරයෙන් පසු අපි තවත් හෝරා දෙකක පමණ කාලයක් වැඩෙහි යෙදුණෙමු. ක්‍රමයෙන් ස්වාමිනාදන් මහතා නිදිකිරා වැටෙන්නට වූයේය. 

"මටත් නිදිමතයි අංකල් මමත් එහෙනම් යන්නං.........හෙට ඔෆිස් යන්නත් එපාය.......අර..........එකොළහමාරත් වෙලා…" 

මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.

"ඔව්..එහෙම කරමු..මම හිතුවෙම නෑ මේ වැඩේට මේහැටි වෙලාවක් ගතවෙයි කියල" 

ස්වාමිනාදන් මහතා ඔහුගේ ලිපිගොනු පිළියෙල කරමින් පැවසූයේ අත් ඔරලෝසුව දෙසද බැල්මක් හෙලමිනි.

ස්වාමිනාදන් නිවහනින් පිටවන ප්‍රධාන දොරටුව අසලදී මම ඔහු අමතා ඉදිරි වැඩ පිළිවෙල විස්තර කළෙමි. 

"අංකල් දැන් මෙහෙමයි වැඩේ කෙරෙන්නෙ. හෙට අපි හදමු ප්‍රසන්ටේෂන් එකේ හෙඩිංස් සහ සබ් හෙඩිංස්. ඊලඟට ස්ලයිඩ්ස් පණහක් හදනවනම් ඒ පණහටම නම් දාමු. ඊලඟ දවසෙ ඒ කියන්නෙ අනිද්ද ස්ලයිඩ්ස් වල ඇතුලෙ ලියවෙන්න ඕන එව්ව ලියමු. ඊට පස්සෙ ඉන් අනිද්ද අපි පටන්ගමු අවශ්‍ය කරන චාට්ස් වගු ප්‍රස්ථාර එහෙම හදන්ට..."

"හරි ක්‍රිෂ් ඔයාට වැඩේ තේරෙනවනෙ...හොඳ විදිහක් කරමු…."

අප දෙදෙන හේට්ටුවෙන් පිටතට පැමිණියෙමු. 

"දැං හුඟක්ම රෑවෙලා නේද? මම එන්නද ඔයාව බෝඩිමට බස්සවන්න?"

"නෑ ඕන වෙන එකක් නෑ අංකල්. ටිකක් රෑ වුනාට ත්‍රී වීලර් තියනවනෙ. මම යන්නම්. මංජුට කියන්න මම අනිද්දට ආපහු එන්නම්ය කියල.."

"හරි ක්‍රිෂ් මම කියන්නම්. එහෙනම් තෑන්ක්යූ සෝ මච්…"

"Anytime Uncle…"

මම එසේ පවසා මගේ ලැප්ටොප් බෑගයද කරේ දමාගෙන ත්‍රිරෝද රියක් අපේක්ෂාවෙන් දෙපසට දෑස් යොමු කරමින් පාලුවට ගිය වීදිය ඔස්සේ ඇවිද ගියෙමි.

Tuesday, January 23, 2018

560. The Story Of My Marriage - 59 - "Head Office Will Definitely Shoot Me…" Said Bala And I Said To Myself…"Well Why Ever Not….."

"මම හිතන්නෙ දැනට තියෙන තත්වෙ ගැන කල්පනා කරල බලනකොට මෙහෙම දෙයක් හරියට සංවිධානය කරගන්න පුලුවන් වුනොත් ඒක අපිට ලොකුම වාසියක් වෙනව..මොකද කියන්නෙ ඔයගොල්ල?" බාලා එසේ විමසූයේ කන් දක්වා ඇදීයන පරිදි කට පළල්කොට පුළුල් සිනහවක් පාමිනි.

චෙන්නයිහි සිටි බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලයට අයත් සියළුදෙන තනතුරුවල කිසිදු උස් පහත් භේදයක් නොතකා අපගේ ප්‍රධාන ශ්‍රවණාගාරයෙහි පැවති මෙම හදිසි රැස්වීමට ආරාධනා ලැබ මෙහි පැමිණ සිටියෝය.

පසුගිය මාස කිහිපය තුල ඩොට් කොම් නොහොත් අන්තර්ජාල සමාගම් කොටස් මිල අනපේක්ෂිත ලෙස පහල වැටීම හේතුකොටගෙන තම ආයෝජන අහිමිකොටගත් අපේ ගණුදෙනුකරුවන්ගේ සිත් සනසාලීමේ එක් පියවරක් වශයෙන් කිසියම් විනෝදාත්මක ක්‍රියාකාරකම් කිහිපයකින්ද සමන්විත රාත්‍රි භෝජන සංග්‍රහයක් වැන්නක් පැවැත්විය යුතු යැයි මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි මහජන සම්බන්ධතා අංශයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත. මේ මූල්‍ය අර්බුදය හේතුකොටගෙන බැංකුවේ ලාභාංශයන්හි සිදුවූ පහතවැටීම ද නොතකා නිව්යෝක් හි ප්‍රධාන කාර්යාලය මේ වැඩපිළිවෙල අනුමත කොට ඇත. ඒ අනුව ඉන්දියාවේ සියළුම ශාඛාවන් උදෙසා පිරිවැය ලෙස වැයකලයුතු මුදලක්ද ප්‍රධාන කාර්යාලයෙන්ම නියම කොට ද ඇත.

බාලාගේ මූලිකත්වයෙන් දියත්කල ඩොට් කොම් ආයෝජන වැඩ පිළිවෙල කොපමණ ශෝචනීය ලෙස අසාර්ථක වූයේද යත් සත්‍යය වශයෙන්ම මෙවන් ගණුදෙනුකරුවන්ගේ සිත් සනහාලන වැඩසටහනක අවශ්‍යතාවය උදක්ම දැනුනේ චෙන්නයි ශාඛාවටය.

අප ප්‍රධාන ශ්‍රවණාගාරයේ මෙසේ රැස්ව සිටියේ අපගේ ගණුදෙනුකරුවන්ගේ සිත් සනහාලීමට සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය නඟා සිටුවීමට වඩාත්ම සුදුසු වන්නේ කුමන අන්දමේ වැඩ සටහනක්ද යන්න පිළිබඳ සාකච්ඡා කොට නිගමනයකට එළඹීමටය.

"හරි එහෙමනම් කට්ටියගෙ අදහස් කියමු බලන්න…. මොන වගේ ඉවෙන්ට් එකක්ද අපේ කස්ටමර්ස්ලගෙ රුචි අරුචිකම් අනුව හොඳටම ගැලපෙන්නෙ?" බාලා යලිත් විමසුවේය.

"අපිට පුලුවන් මේ චෙන්නයිවල චිත්‍ර ශිල්පීන් කීපදෙනෙක්ට ආරාධනා කරල ඒ අයගෙ චිත්‍ර ප්‍රදර්ශණයක් වගෙ එකක් සංවිධානය කරන්න..ආටිස්ට්ලටත් ඒක හොඳ චාන්ස් එකක් එයාලගෙ චිත්‍ර කීපයක් හරි විකුණ ගන්න..." එසේ පැවසූයේ ආයතන අංශයේ විධායක තනතුරක් දරන්නෙකි. 

"ඒක හරියන එකක් නෑ. මොකද එ එහෙම බැලුවොත් එතනත් අපි හදන්නෙ කස්ටමර්ස්ලට මොනව හරි විකුණන්නනෙ. ඒක හරි නෑ.අපි බලන්න ඕන සම්පූර්ණයෙන්ම විනෝදස්වාදය විතරක් අරමුණු කරගත්තු මොකක් හරි එකක්.." එසේ චිත්‍ර ප්‍රදර්ශන යෝජනාවට එරෙහිව අදහස් දැක්වූයේ ගිණුම් අංශයේ  විධායක නිලධාරියෙකි.

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට....එහෙමනම් ෆැෂන් ෂෝ එකක් වගෙ දෙයක් ගැන හිතුවොත් කොහොමද?....මොකද ඒ ගැන කියන්නෙ?" එසේ විමසූයේද ප්‍රථමයෙන් චිත්‍ර ප්‍රදර්ශන යෝජනාව ඉදිරිපත්කල තැනැත්තාමය.

"ම්ම්ම්හ් මම හිතන්නෙ එහෙම එකක් හරියන එකක් නෑ....බොහොම දෙනෙක් අපේ කස්ටමර්ස්ල සාම්ප්‍රදායික දේවල් අගය කරන පරණ තාලෙ අය. ෆැෂන් ෂෝ එකක් වගේ දේකට මම හිතන්නෙ නෑ එයාල කොහොමවත් කැමති වෙයි කියල.."

සභාවේ බහුතරයක් ඒ අදහසට හිස සොළවමින් තම එකඟතාවය පලකල හෙයින් විලාසිතා දැක්මක් සංවිධානය කිරීමේ යෝජනාව උපන්ගෙයිම මියගියේය.

රැස්ව සිටියෝ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඉතා උනන්දුවෙන් සාකච්ඡාවට තව දායකත්වය ලබාදුන්නෝය. මෙසේ මිනිත්තු පහළොවක හෝ විස්සක පමණ කාලයක් ගතවන්නට ඇත. ජනප්‍රිය පැරණි දමිළ චිත්‍රපට උළෙලක් පැවැත්වීමේ සිට කුමන ක්ෂේත්‍රයක හෝ නමගිය තැනැත්තකු හෝ තැනැත්තියකට ආරාධනා කොට ඔහු හෝ ඇය සමඟ සුහද සාමීචියක යෙදීම සහ ඉන් අනතුරුව නමගිය සූපවේදියකු ගෙන්වා ඔහු ලවා එකේනෙකාගේ රුචිය පරිදි ක්ෂණිකව විවිධ රස බොජුන් පිළියෙල කරවා ගැනීමේ සූපවේද රාත්‍රියක් සංවිධානය කිරීම දක්වා අපගේ සාකච්ඡාව ඇදී ගියේය.

එහෙත් ඒ කිසිදු යෝජනාවකට සභාවේ බහුතර මනාපය හිමිනොවූයේ ඒ සෑම යෝජනාවකම වූ කුමන හෝ බරපතල අඩුපාඩුවක් කවුරුන් විසින් හෝ පෙන්වාදෙන ලද බැවිනි. මේ සාකච්ඡාව පැවැත්වෙන අතරතුර මම වදනකින් හෝ ඊට සහභාගීනොවී මුණිවත රැකීමි. චෙන්නයිවාසී අපේ ගණුදෙනුකාර භවතුන් කැමතිවනුයේ කුමන අන්දමේ සංස්කෘතික අංගයකටදැයි මට කිසිදු අවබෝධයක් නොවීය.

"අනේ මන්ද අප්ප මට තේරෙන්නෙ නෑ මෙහෙ මිනිස්සු මොනවට කැමති වෙයිද කියල...ඔන්න අපි හදිස්සියෙම නිවේදනය කලොත් මෙහෙම .... අසව්..අසව්..අසව්...ප්‍රීතිමත් නිවේදනයයි...අපේ ගණුදෙනුකාර භවතුන්ගේ සිටි බැංකුව කෙරෙහි ඇති අචල විශ්වාසය සහ භක්තිය පිළිබඳව අපේ පරම ස්තූතිය ප්‍රකාශ කරනුවස් අප බැංකුවේ පාලනාධිකාරිය විසින් ඔබ සැමගේ ගිණුම් වල වර්තමාන ශේෂයට සමාන මුදලක් ඔබගේ ගිණුම්වෙත බැර කීරිමට තීරණය කොට ඇත. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!!...සියල්ලෝම මේ සන්තුෂ්ඨිදායක පණිවිඩය ඉත සිතින් පිළිගනිත්වා! .... දෙයියම්පල්ල ආන්න එහෙම කිව්වොත් නම් අපේ ගණුදෙණු කාරයො පස්වනක් ප්‍රීතියෙන පිනායාවි නොවැරදීම..හෙහ්..හෙහ්..මට හිතෙනව ඒ යෝජනාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්ට මොකද බාලා එහෙම කියන්නෙ කියල බලන්ට හෙහ්..හෙහ්.." මම එසේ තොල් මතුරාගනිමින් තනිවම සිනා සෙමින් මගේ ලෝකයේ පසුවූයෙමි.

"අන්න අන්න අපේ මිස්ටර් ක්‍රිෂ් තනියම හිනාවෙනව..මම හිතන්නෙ ක්‍රිෂ්ගෙ තීක්ෂණ බුද්ධියට නොම්මර එකේ අයිඩියා එකක් ඇවිල්ල වෙන්න ඕන..ඔව්..මොකක්ද කියන්න බලන්න ක්‍රිෂ් ඔයාගෙ යෝජනාව?" බාලා මාදෙසට අත දිගුකරමින් පැවසූයේ එවිටය. 

"හහ්?...මොකක්ද?" මම නින්දෙන් පිබිදුනාක් මෙන් සභාව සිසාරා නෙත් යොමුකරමින් අසුනේ කෙලින්වී හිඳ ගතිමි. සභාවේ හුන් සියල්ලෝ මවෙත නෙත් යොමුකොටගත්වනම සිටින්නෝය.

"ඔව් ක්‍රිෂ් කියන්න මොකක්ද ඔයාගෙ යෝජනාව?" බාලා යලිත් විමසීය.

"ආ..ආ...මේ..මේ යෝජනාවක් නේද? සංගීත රාත්‍රියක් වගෙ එකක් ගැන මොකද කියන්නෙ?" මම මසිතට මුලින්ම නැඟුනු අදහස ක්ෂණිකවම යලි සමාලෝචනයකින් තොරව පවසා සිටියෙමි.

සභාව පුරා පැතිරගිය මුණුමුණුව මිනිත්තු කිහිපයක් පැවතිනි. එහෙත් කිසිදු විරෝධයක් එල්ල නොවූ බැවින් සියල්ලෝම සංගීත රාත්‍රියක් සංවිධානය කිරීමේ අදහසට අඩු වැඩි වශයෙන් එකඟවන සෙයක් පෙනෙන්නට තිබිණි. එහෙත් සංගීතය යනු ඉතා පුළුල් විෂයයකි. එබැවින් සංවිධානය කල යුත්තේ කුමන අන්දමේ සංගීත ප්‍රසංගයක්ද යන්න පිළිබඳව සභාවෙන් නානා විධ අදහස් සහ යෝජනා ඉදිරිපත් විය.

"කචේරි…. ..අපි කචේරි එකක් කරමු.." සභාවේ පසුපසින් එසේ හඬක් නැඟිනි. බොහෝ දෙනෙක් දෑත් ඔසවා ඊට එකඟත්වය පල කළහ.

"කචේරි? ඒ මොකද්ද ඒ?" මම මා අසලම පසුපස පෙළෙහි හිඳහුන් සරස්වතී දෙස හැරෙමින් විචාලෙමි.

පරිභෝගික සේවා අංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කල සරස්වතී වනාහී දැඩි සම්ප්‍රදායානුකූල යුවතියකි. වසරකට වරක් පමණ වචනයක් හෝ දෙකක් කතා කරන ඇය කිසි දිනෙක තම මුහුණෙහි හෝ අත්වල රෝම ඉවත් නොකලාය. (සරස්වතී මුහුණෙහි සහ අත්වල රෝම ඉවත් නොකිරීම පිළිබඳ කරුණ කිසිසේත්ම මේ කතාවට අදාල නොවන බව මම පිළිගනිමි මා දයාබර පාඨකය...එහෙත් එවැනි දසුනක් දිනපතා ඇස ගැටෙන විට ඒ පිළිබඳව කතා නොකොට සිටීමද බෙහෙවින් දුෂ්කරය.)

"කචේරි එකක් කියන්නෙ කර්ණාටක සංගීත ප්‍රසංගයක්.." මේ වසරට නියමිත වචන හය කථා කල සරස්වතී ලබන වසර තෙක් නිහඬ වූවාය. 

"මොකක්?......මොකක්?.....මේ...මේ...මේ කර්ණාටක සංගීත ප්‍රසංගයක්?..හෙහ්..හෙහ්..මම හිතුවෙ අපි මේ සංවිධානය කරන්ට යන්නෙ මොකක් හරි කට්ටියටම විනෝද වෙන්ට පුලුවන් දෙයක් කියල…" මම හාත්පස දෑස් යොමුකරමින් පැවසූයෙමි. 

"කර්ණාටක සංගීත ප්‍රසංගයක් කියන්නෙ හොඳට විනෝද වෙන්ට පුලුවන් එකක් තමයි.." තම අමනාපය හැඟවෙන සේ එසේ පැවසූයේ ආයතන අංශයේ සුපවයිසර් වරයකුවූ රවීය.

"ඔව්..ඔව්..මොනවට කියනවද ඒ හරිය....බළලෙක්ගෙ බෙල්ල මිරිකුවා වගෙ නැත්නම් සෙනඟ ඊස් මීස් නැතුව පිරිච්ච කෝච්චියක පොඩි එකෙක් යටි ගිරියෙං කෑගහනව වගෙ...හුහ්...විනෝදයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අයට හොඳයි කර්ණාටක සංගීතය.." මම නිහඬව මටම කියාගතිමි.

"කාටද අපි ආරාධනා කරන්නෙ?" සභාවෙන් හඬක් නැඟිනි. 

මම අසුනින් නැඟිට බාලා වෙත පියමං කළෙමි. "මිස්ටර් බාලක්‍රිෂ්ණන්..අපිට ඕන අපේ කස්ටමර්ස්ලට විනෝදයක් ලබාදෙන්ට නේද? කර්ණාටක සංගීතය ඒ වගෙ දේකට බරසාර වැඩියි කියල හිතෙන්නෙ නැද්ද? අපිට බැරිද පොප් මියුසික් වගෙ මොකක් හරි කරන්ට? මම කිව්වෙ මේ අර කර්ණාටක සංගීතය තරම් සීරියස් නැති..."

"එහෙනම් ඒ. ආර්. රහ්මාන් තමයි හරියන්නෙ.......නැත්නම් ඉළයරාජා…" සභාවෙන් විවිධ අදහස් ඉදිරිපත් වන්නට විය.



ඒ.ආර්.රහ්මාන් තනුව නිර්මාණය කල ඉතා ජනප්‍රියත්වයට පත් හම්මා..හම්මා...ගීතය ඔබට ඉහත වීඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.


බාලා තම අසුනින් නැඟීසිට දෑත් ඔසවා සභාව නිශ්ශබ්ද කලේය. 

"කරුණාකරල නිශ්ශබ්දව මම කියන එක අහගන්න...අපිට රහ්මාන් ඉළයරාජා වගේ සුප්‍රසිද්ධ අය ගෙන්වන්න කොහොමවත් බෑ..හෙඩ් ඔෆිස් එකෙන් අපිට වෙන් කරල තියන මුදලින් ඒ වගෙ දෙයක් කරන්න බෑ..අනික රහ්මාන් ඉළයරාජා වගේ අය එනකොට අනිවාර්යයෙන් පත්තර ටී.වී. වලිනුත් ඔතනට එනව. කොහොමද ඒ ආපු පත්තර කාරයෙක් ඇහුවොත් ඇයි මේ වගෙ එකක් තියන්නෙ කියල.."

"එතකොට එතන ඉන්න ලක්ස ගාණක් නැතිවෙච්චි අපේ ගණුදෙණු කාරයෙක් ඒ විස්තරේ ලුණු ඇඹුල් ඇතුව ඒ මනුස්සයට කිව්වොත් කොහොමද ඒ අයගෙ සල්ලි කාබාසිනියා කරල දාල අපි මියුසිකල් ෂෝ තියනව කියල? හරිම සනීපයි නේ එහෙම උනොත්...ආය දෙකක් නෑ එහෙම දෙයක් උනොත් එහෙම මුම්බායි හෙඩ් ඔෆිස් එකෙන් පහුවදාම මට එන්ට කියල වෙඩි තියල දානව...ඒ හින්ද නිකං අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන නෑනෙ.."

තවත් හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අපි මෙසේ තීරණය කළෙමු. ගණුදෙනුකරුවන් උදෙසා පවත්වන සංස්කෘතිකාංගය කර්ණාටක සංගීත රාත්‍රියක් විය යුතුය. එය පැවැත්වීමට සුදුසුම ස්ථානය වන්නේ චෙන්නයි නගරයෙන් මඳක් ඔබ්බට වන්නට පිහිටා තිබූ ඉහළ පැළැන්තියේ රෙසෝට් එකක්වූ Fisherman's Cove හිදීය.

සාමාන්‍ය මට්ටමක ජනප්‍රියත්වයෙන් යුතු ශිල්පීන්/ ශිල්පිනියන් අවම වශයෙන් තිදෙනෙක් සහ උපරිම වශයෙන් පස්දෙනෙකුට ආරාධනා කල යුතුය. ප්‍රධාන කාර්යාලයෙන් මේ සඳහා වෙන්කොට ඇති රුපියල් ලක්ෂ දෙකක් වූ ප්‍රතිපාදනයෙන් මේ සියළු කටයුතු ආවරණය කොට ගත යුතුය. 

"හරි එහෙනම් ඔන්න අපි හැමදේම තීරණය කරල ඉවරයි...දැන් තියෙන්නෙ හෙට ඉඳල මේ වැඩේ සාර්ථක කරගන්ට හැමෝම එකා වගේ මහන්සිවෙලා වැඩ කරන එක…"

බාලා සිනා පිරිමුවින් යුතුව දෑත් ඔසවා එසේ පවසා අපගේ රැස්වීම අවසාන කරන විට සවස පහේ කණිසමද පසුවී තිබුණි.

"මළ ජංජාලයයි..මෙහේ කචේරි පවත්තන එව්ව ගැන සාකච්චා කරකර ඉඳල හරියන්නෙ නෑ..අරෙහෙ යන්ට එපාය මාමණ්ඩියගෙ හිත දිනාගන්ට....දෙයියම්පල්ල මටත් පට්ටලවෙන වැඩ….." අත් ඔරලෝසුව දෙස බලා එසේ මුමුණමින් මම කඩිමුඩියේ නැඟී සිටියේ ස්වාමිනාදන් මහතා හමුවීම උදෙසා පිටත්වීමටය.

Friday, January 19, 2018

559. පුවක් එෂැණිං 38 - කූම්බියෝ, ජෙප්පෝ, බයියෝ, චීවර දාරියෝ , බබලත්තු සහ මත්පැං....

සිරා ජනාදිපතිතුමා යහ පාලනයේ කසය අතට ගෙන සිටී.
යූඇම්පී අලියා කෝණංගියා (Joker) ගේ පාට් එකට ඇඳ
තුස්නිම්බූතව බලා සිටී.
Daily Mirror Cartoon By Namal Amarasinghe

මේ දවස්වල සී ලංකාවේ දේසපාලන වේදිකාව එකම නාඩගමකි. ලංකාවේ දේසපාලනය කියන්නේ කොහොමත් නාඩගමක්ය කියන සනාතන සත්‍යයක්වන කාර්ණාව එක මොහොතකට
 පැත්තක තිබ්බා උනත් මේ දවස්වල වෙන්නේ අහවල් අටමගලක්ද කියල හිතාගන්න එකත් ටිකක් විතර අමාරුය.

පළාත්පාලන චන්දෙ කටළඟටම ඇවිල්ල හින්ද හැමෝම දන්න තරං කස්තිරං අල්ලන්නෙ කොහොම හරි ඒකෙං වැඩිම චන්ද ගානක් ගන්ටය. චන්ද සටන අලියා, අත සහ පොහොට්ටුව අතර තුංකොං සටනක් බවට පත්වෙලාය. ඒ අස්සේ සීනුවත් ෆුල් ඩම් දමා සටනට බැස ඇත්තේය. 

පේස්බුක් එකේනම් බයියෝ දමාගෙන නෙලන්නේ ජෙප්පන්ටය. ඒ එක්කම අනික් අතට ජෙප්පොත් උඩ පැන පැන ගහන්නේ බයියන්ටය. පාරම්පරික ස්‍රී ලංකා නිදහස් පක්ස චන්ද ටික මෛත්‍රී සහ මහින්ද අතර බෙදිල ගියාම අනිවා අලියට පලවෙනි තැන ලැබෙන එක ෂුවර් කියලා කලිම්ම තීරණේ කොරලා හිටං දෙගොල්ල දෙවෙනි  තැනට මරාගන්නවාද නැත්නම් ජෙප්පන් කරන්නෙ අලින්ගේ කොන්ත්‍රාත් එකක්ද කියලා හරියටම කියන්ට බැරිය.

කොහොම හරි බයියොයි ජෙප්පොයි මරාගන්නා මරා ගැනිල්ල බලා ඉන්න එකත් මේ අපි වගේ අවසේස උදවියට මාරම ආතල් එකකි. ඔය දෙගොල්ලංටම අර රජ්ජුරුවංගෙ බෙල්ලෙ වහපු මැස්සා එලවන්ට කඩුවෙං කෙලලා ඇරපු වඳුරගෙං පැවත එන ජාතියෙ මරිමෝඩ අනුගාමිකයින් මදි නොකියන්ටම ඉන්නවාය.

මේ පේස්බුක් එකේ බයියංගෙ සහ ජෙප්පංගෙ විසූක දස්සන දකිනකොට මට මතක් වෙන්නෙම අර චාර්ලිස් ඩාවින්චි තුමාය. හරියටම කිව්වොත් එතුමාගෙ පරිනාම වාද තියරියය. ඒ තියරියෙන් කියවෙන්නෙ මනුස්සයා පැවතගෙන එන්නේ වඳුරාගෙන්ය කියලාය. ඒත් මගේ උන්ඩුකපුච්චේට කම්පනා වෙන විදිහට ඩාවින්චිගේ තියරිය හරියටම හරි නැත. මෙන්න මෙහෙම සංසෝදනය විය යුතුය. 

ඒකට අපිට මෙහෙම නමක් දිය හැකිය. ඩාවින්චිගේ පරිනාමවාද තියරිය (අතිගරු රවීතුමාගේ සංසෝදනය) කියාය. 

ඒ සංසෝදිත තියරිය නම් මෙහෙමය. "මනුස්සයා පැවත එන්නේ වඳුරාගෙන් විය හැක. එහෙත් ජෙප්පං බයියං සහ කූඹි ගුලේ කූඹිං පැවත එන්නේ මැස්සා එලවන්ට හිතාගෙන තමංගේ සුවාමියා වන රජ්ජුරුවංට කඩුවෙන් කෙටූ වඳුරාගෙංය."

ජෙප්පං සහ බයියං නම් හරිය. ඒත් එක පාරටම ඕල් ඔප් අ සඩ්න් කොහෙන්ද බොලේ මේ කූඹි ගුලේ කූඹිං මෙතනට ආවෙ කියල ඔබ තමුන්නාංසේලාට විචිකිච්චාවක් ඇතිවී ඇතුවාට සැකයක් නැත. ඒකට ක්ලැරිපිකේසං එක මෙහෙමය. කූඹි ගුලේ කූඹිංගේ හැසිරීමද මැස්සා එළවපු වඳුරු තෙමේගේ හැසිරීමට දෙවෙනි නැත. එවුං කරන්නේද කූඹියෝ උඩ දාන්ට පුල් ඩම් දමා ට්‍රයි කොට කූඹියෝ අපිට එපා කරවන එකය.

කූම්බි පෑංලාට අනුව මේ සකල ලෝක දාතුවේම මෙතෙක් කාලෙකට කූම්බියෝ වගේ කලාත්මක, සකල කලා වල්ලබ, සර්වාබරන විබූසිත, සුවප්න මෝචන, ආතල් ද බෙරේව් කලා කුර්තියක් බිහිවී නැත්තේමය. ඉස්සරහට බිහිවන්නේද නැත. ඒක එහෙමය! ඈවරයිය! දෑවරයිය!! තුං ඈවරයිය!!! ආය ඒ ගැන කතා කරන්ට එපාය!!! ඔය කතා මේ ඊයේ පෙරෙයිදා ඇටෙං පොත්තෙං එලියට ආපු උදවියට හොඳය. අපිට කියන්ට එන්ට එපාය. 

ජෙප්පෝ තමංගෙ පක්සේ නායක කාරකාදීං උඩ දමන්නෙත් එහෙමය. ජෙප්පංට අනුව උංගේ නායකයිං වනාහී ලබන ආත්මේ බුදුවන්නට නියමිත බෝදිසත්තයිංය. එවුංගේ මල පහ පවා චැනල් 5 විලවුන්සේ සුවඳ හමයි. එවුං කරන කිසිම කිසි දෙයක් වැරදි නැත. වරදින්නෙත් නැත. එහෙමය. මෙහෙමය. ආය ඒ ගැන කතා දෙකක් නැත. 

ඇත්තම කියනවානං අද චන්දයක් දෙන්ට කියලා හරි හමං පක්සයක් තියෙන්නෙ ජෙප්පෝ විතරමය. ඒක ගැන ආයේ කතා දෙකක් නැත. 

නීලකාසයා පරණ තක්කඩි රැලත් වටකරගෙන පොහොට්ටුවකුත් පස්චාත් බාගයේ ගසාගෙන චන්දෙ ඉල්ලමින් රට වටේ යන්නේය. රනිලා බැඳුංකර මඩවලේ නහය දක්වා ගිලීගෙන එලොවටත් මෙලොවටත් නැති බහුබූත කියවමින් සිටින්නේය. එහෙම බලනකොට චන්දයක් දෙන්ට හරි හමං පක්සයක් කියා තියෙන්නේ ජෙප්පංම විතරය. ඒත් වැඩේ වෙලා තියෙන්නෙ ඒ  පක්සේ උඩදාන මෝඩ අනුගාමිකයිංගේ වැඩ නිසා ජෙප්පංට චන්දයක් දෙන්ටවත් හිතෙන්නේ නැතය.

අපේ සිරා ජනාදිපතිතුමා ගැනනං කතා කරලාම වැඩක් නැතය. එතුමාට සුදුසුම අර කරගෙන හිටපු පරන රස්සාවය. මංගල බියර් බද්ද අඩුකරපු ගමං අනික් අතට සිරා බියර් බද්ද ආයම වැඩි කලේය. එහෙම කලේ මහා සංග රට්නේ සිවුරු කරට ගෙන සත්තම දාපු හින්දාය. මේ පහුගිය සුමානේ මංගල ආයම වරක් බබලත්තුංට බාර් එකකට ගිහිල්ල අරක්කු, විස්කි, බැරැන්ඩි මිලදී ගන්ට තිබුනු තහනම ඉවත් කලේය. ඒකටත් තරයි නිකායික මහා සන්ගරට්නේ සිවුරු කරට ගත්තෝය. සිරා ජනාදිපතිතුමා කලේ හැරෙන තැපෑලෙං ඒ තහනම ඉවත් කරගැනීම තහනම් කල එකය. 

මේ සිවුරුකාරයින්ට සහ එවුං කියන ඕනම මෝඩ කතාවක් එහෙයි කියල පිලිගන්ට සැදී පැහැදී ඉන්න දේසපාලුවංට නොතේරෙන දේ නැත්තං නොතේරෙනව වගේ ඉන්නා දේ නම් මෙතන බබලත්තුන්ට මත්පැං මිලදී ගන්ට ඉඩ නොදීමෙන් වෙන්නේ කාන්තාවන්ට තම ලිංගය (Gender) නිසා පුරුසයින්ට වඩා පහත් මට්ටමිං සලකන එක බවය. Gender Discrimination කියන්නෙ අන්න ඒකය. ඒක අද ලොව පුරා පිළිගන්නේ බරපතල වැරැද්දක් හැටියටය. ඒත් අපේ රට කරවන වාහෙලාට සහ උංට උපදෙස් දෙන සිවුරු කාරයින්ට එව්වා ගැන වගේ වගක් නැත.

මේ රටේ දියුණුවට දේසපාලක පකිරින්තුවන්ගෙන් පස්සෙ මූලිකම බාදාවක් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මල දානයක් නොදන්නා මේ ආගමික පූජකයින්ය. විසේසයින්ම චීවර දාරීන්ය. මෙවුං හිතාගෙන ඉන්නෙ කහ කඩේ කරට වැටුනත් එක්කම සියල්ල දත් මහා ඥාණයක් එකෙනෙහිම පහල වෙනවාය කියලාය. ඒ එක්කම ටයිටලෙත් සෙනයකිං වෙනස් වෙනවාය කියාය. 

ඕනම ගස් ගෙඩි කඩපු කම්බා හොරෙක් සිවුර දාගත්තු ගමං ඒ යක්සයා සෙනයකිං මහා සන්ගරට්නේ වෙනවාය. ඊට පස්සෙ රටේ ලෝකෙ අවසේස ගිහි උදවිය සියලු කටයුතු කල යුත්තේ අර සිවුර පෙරව ගත්තු තක්කඩියාගේ උපදෙස් අනුවය. ඒ වගේම නායක කාරකාදීන් රට පාලනය කල යුත්තේද එටුමාගේ උපදෙස් අනුවය. එහෙම නැත්තං බබී සමඟ බබීගේ අම්මාද සුංය.

දෙයියම්පල්ල "අනේ උන්නාන්සේලා...කරුණාකරලා ආන්ඩු කරන එක අපි කරගන්නම් ඔය කට්ටිය සාසනේ ගැන බලාගෙන බන බාවනාවක් කරගෙන මිනිස්සුන්ට හරි මඟ පෙන්නාගෙන ඉන්ටය"  කියල කෙලිම්ම කියන්ට පුලුවං හරි හමං එක නායකයෙක් කියන එකෙක් අපිට නැති එක ගැන දුක් වෙනවා ඇරෙන්නට වෙන කරන්ට දෙයක් නැත්තේය. 

මං එහෙම  කිව්වට නායකයො කියන උදවියටත් ආන්ඩු කරන එක ගැන මේ ලෝකෙ දැනුමක් නැති බව ඇත්තය. ඒත් අඩුමගානෙ ඒ යක්කු රටේ ජහමනයා විසින් ඒ රාජකාරියට පත් කරගත්තු එවුංය. හොඳට හෝ නරකට ඒක එහෙමය.

පලි - ඉස්සෙල්ලම කොන්ද පන ඇතුව වැඩක් කරන්ට දත කන මංගල ලොක්කට සහ ඊට පස්සෙ තම අයිතිවාසිකම් වෙනුවෙන් ඕන මඟුලක් කියල පාරට බැහැපු සමනලී ඇතුළු කන්ඩායමට මගේ විප්ලවීය උත්තමාචාරය...

Tuesday, January 16, 2018

558. පුවක් එෂැණිං 37 - සුපිරිං කෝට්ටෙකෙං පස්න ඇහිල්ල…….

යහ පාලනය විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීම
උදෙසා 2015 වසරේ විභාගයට වාඩිවුණු ජනාධිපතිතුමා
සැපසේ නිදා හිඳ 2018 වසරේදී හදිසියේ අවදිවෙයි.
Daily Mirror Cartoon By Namal Amarasinghe

විජේරාම මාවතේ ජනාධිපති නිල නිවස සැඳෑ අඳුරේ ගිලීයමින් පැවතිණි. එහි ආලින්දයෙහි වේවැල් වලින් වියන ලද කළුවර ඇඳි පුටුවක දිගාවී හුන් ජනාධිපති තුමා ගැඹුරු කල්පනාවක නිමග්නව හුන් සෙයක් දක්නට ලැබිණි. ආලින්දයෙහි එකද විදුලි පහනක් හෝ දල්වා නොතිබුණු හෙයින් එහි පැවතියේ මද අඳුරකි.

"මොකද අනේ මේ ලයිට් එකවත් දාගෙන නැත්තෙ? තව පොඩ්ඩෙංනං මේ කනප්පුවෙ හැප්පිල මගෙ මහපට ඇඟිල්ලත් කඩල යනව…...සරල ජනාදිපති සරල ජනාදිපති කියල කිව්වට ලයිට් නැතුව කලුවරේ ඉන්න ඕනය කියල එකක් තියනවය…"

ආඩපාලි කියාගෙන ගෙතුලින් පිටතට පැමිණි ජනාධිපති ආර්යාව ආලින්දයේ විදුලි බුබුල දැල්වූවාය. ආලින්දය පුරා පැතිර ගිය විදුලි ආලෝකයෙන් ඇයට දැකගත හැකිවූයේ  පුළුටුකොටගත් මුහුණින් යුතුව ඇඳි පුටුවෙහි වැතිර හිඳිනා ජනාධිපති තුමාය.

"මොකද අනේ මේ? අද සන්තෝසෙන් ඉන්න එපාද?" ඇය කරුණාබර ස්වරයකින් එසේ විමසමින් ජනාදිපතිතුමා අසල වූ තවත් පුටුවක අසුන් ගත්තාය.

"ඇයි අද මොකද සන්තෝසෙන් ඉන්න ඕන?" එතුමා ඇඳි පුටුවේ කෙලින්වී ඇසුවේය. 

"ඇයි අනේ හෙටනෙ ඔයා දිනපු ජනාදිපතිවරනෙ තියල තුං අවුරුද්දක් පිරෙන්නෙ…"

"හාපෝ මතක් කරන්න එපා..ඒ දවස මතක් වෙනකොටත් මයෙ මයිල් කෙලිං වෙනව මේ…" ජනාදිපතිතුමා පැවසුවේ තම සුරත ආර්යාව දෙසට දිගු කරමිනි.

ආර්යාව සෙමෙන් තම ඇඟිලි තුඩින් එතුමාගේ සුරත වැළමිටේ සිට පහළට අත ගෑවාය. "ඇත්තම නේන්නං මේ මයිල් කෙලිං වෙලානෙව තියෙන්නෙ හොඳටම..මොකද අප්පේ මේ?" ඇය විමසූයේ කම්මුලේ අත තබාගනිමිනි.

"ඇයි නෝනෙ ඔයාට හිතාගන්න බැරිද? මේක මේ මල වදයක්නෙ..මට මේක කරන හැටි තේරෙන්නෙත් නෑ...මට ඕන කමකුත් නෑ...වෙලාවකට මට හිතෙනව අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං මීට හොඳයි කියල. එහෙනං දෙයියනේ කියල අද ඉඳල මම නිදහස් මනුස්සයෙක්නෙ.."

"ඒ කිව්වෙ මට තේරුණේ නෑ..අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං කොහොමද ඔයා අද ඉඳල නිදහස් මනුස්සයෙක් වෙන්නෙ?"

"මෙහෙමනෙ….." ජනාදිපති තුමා පැහැදිලි කරන්නට වූයේය. 

"එදා 2015 ජනවාරි 8 වෙනිද තිබ්බ ජනාදිපතිවරනෙං මම පැරදුනානං ආය දෙකක් නෑ මරා මාව හිරේ දානව අවුරුදු තුනකට.."

"ඒ කොහොමද එහෙම හරියටම කියන්නෙ අවුරුදු තුනකට කියල?"

"ඇයි නෝනෙ 2010 ජනාදිපතිවරනෙන් පැරදිච්චි අපේ ජෙනරල්ව හිරේ දැම්මෙත් අවුරුදු තුනකටනෙ. ඒ හින්ද මාවත් හිරේ දානව අවුරුදු තුනකට. අඩුත් නෑ වැඩිත් නෑ.."

"ඉතිං?"

"ඉතිංය කියන්නෙ එහෙම පැරදිල හිරේ ගියානං අද මම හිරෙං නිදහස්නෙ. එහෙමනං මරා ගාවට ගිහිල්ල කකුල් දෙක අල්ලල වැඳල හරි ආයම ඇමතිකමක් ඉල්ලගන්ට තිබ්බ. එහෙමත් නැත්තං අර පරණ රස්සාවම උනත් අවුලක් නෑ. දෙයියනේ කියල හිතට නිදහසේ සන්තෝසෙං ඉන්ටවත් බැරිය...නැද්ද මං අහන්නෙ?"

"හ්ම්ම්ම් එහෙම බලනකොට ඔයාගෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ නම් තමයි...ඒත් දැං ඔය ගැන කතා කරල වැඩක් නෑනෙ...ඔයාගෙ කැමැත්තෙං අකමැත්තෙං වැඩක් නෑනෙ ඔයා තමයි රටේ ජනාදිපති..ඒ හින්ද ඒ වැඩේ පුලුවන් තරම් හොඳට කරන්ට හිතනව මිස වෙන අනම්මනම් හිතල වැඩක් ඇත?…"

"ඔයාගෙ කතාව හරි නෝනෙ..ඒත් මට තියෙන ප්‍රශ්නෙ කරන්ට කියල කිසිම වැඩක් මගෙ හිතට එන්නෙ නැති එකනෙ. අඩුමගානෙ රටේ ජනාදිපති කියල කෙනෙක් ඉන්නවයි කියලවත් මිනිස්සුන්ට දැනෙන්ට මොනවහරි කරන්ට එපාය. නැත්තං හතර විලි ලැජ්ජාවයි නෙව.."

ආර්යාව මුවින් නොබැණ තම සැමියා දෙස බලා සිටින්නට වූයේ හදපිරි සන්තාපයෙනි. 

"දැන් බලන්න නෝනෙ..මට අලුතෙං කරන්ට දෙයක් නැති හින්දම තමයි මම ඔය ඇමතිල කරන එක එක එව්ව අවලංගු කරන්නෙ…"

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මතකද අර මංගල ගෙනාව යෝජනාවක් බියර්වලට ගහන බද්ද අඩුකරන්ට කියල. ඇයි මම ඒ ගැසට් නිවේදනය අවලංගු කලේ?"

"ඇයි?"

"ඇයි කියන්නෙ මට ඕන වුනා රටේ මිනිස්සුන්ට පෙන්නන්ට ජනාදිපති කියලත් මනුස්සයෙක් මේ රටේ ඉන්නවය කියල. එතකොට ඊට කලිං අර මඩුවලිග කතාව, එතකොට කඩුව ගන්න කතාව..එව්ව ඔක්කොම එහෙම හිතාගෙන කියපුව…"

"ඒකනෙ මම ඒත් කල්පනා කලා අපෙ අප්පේ මේ පණපිටින් දිවිය ලෝකෙ ගිය සුළුගුළු උපාසක වගෙ ගෙදරදි කණට ඇහෙන්ට වචනයක් කතා කරන්නෙ නැති මනුස්සය ඉස්ටේජ් එකට නැග්ගම පරල වුනා වගෙ හතර අතටම පස් පඩංගුවෙ බැණ අඬ ගහන්නෙ මොන යකෙක් වැහිලද කියල...හිහ්..හිහ්..මේකයි එහෙනං හේතුව ඈ…"

"ඔව්..ඔව්..ඒක තමයි හේතුව…"

"ඉතිං ඔයා තව මොනවද ඉස්සරහට කරන්ට හිතාගෙන ඉන්නෙ රටේ ජනාදිපති කෙනෙක් ඉන්නවයි කියල මිනිස්සුන්ට දන්නන්ට?"

"දැනට දෙකක් මයෙ හිතේ තියනව.." ජනාදිපති තුමා පැවසූයේ සුරතේ දබරැඟිල්ල සහ මහටැඟිල්ල විදහා දක්වමිනි.

"ඒ මොනවද?"

"එකක් අර බවලත්තුන්ට අරක්කු විකුණන්ට තහනම්ය කියල තියන නීතිය අයිං කරන්ට ගෙනාපු යෝජනාව අවලංගු කරල දාන්ට.."

"අනික?"

"අනික මම හිතාගෙන ඉන්නෙ සුපිරිං කෝට් එකෙං අහන්ට මගේ ජනාදිපති ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල…"

"ඇයි අනේ ඔයා ඡන්දෙ ඉල්ලුවෙ ධුර කාලය අවුරුදු හතරක් කරන්ට උනත් කැමතියි කියල නේද? එහෙම එකේ ධුර කාලය අවුරුදු පහක්ය කියල ව්‍යවස්තාවත් වෙනස් කරල තියෙද්දි ආයම අවුරුදු හයක් ඉන්ට පුලුවන්ද කියල අහන්ට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතෙන්නෙ එහෙම නැද්ද? මට නම් නිකං මහ මොකක්ද වගේ..."

"ඔන්න ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ...මෙච්චර මේ අවුරුදු ගාණක් මාත් එක්කම ඉන්න ඔයත් ඔහොම හිතනකොට රටේ ලෝකෙ මිනිස්සු කොහොම නොහිතයිද? මට කිසිම ඕන කමක් නෑ අවුරුදු හයක් මේ සුමේ කොරන්ට…"

"එතකොට එහෙනං එහෙම එකක් අහන්නෙ අහවල් දේකටද?"

"එහෙම එකක් මම අහන්නෙ හේතු දෙකක් හින්ද?"

"එක මොකක්ද?"

"එක ඇවිල්ල මම මේ ඊයෙ පෙරෙයිද ඔය නඩු කාරයො ඔක්කොගෙම පඩි වැඩිකලා අස්ප ගණං වලිං. ඉතිං මම හිතුව යකෝ මෙච්චර පඩියකුත් ගෙවන එකේ මේ යක්කුංගෙං හරි හමං වැඩක් ගන්ට එපාය කියල. ඉතිං මම හිතුව මෙවුන්දලාගෙං කාලීන පස්නවත් අහමුය කියල. ඒක හින්දයි මම ඔය පස්නෙ උන්දලාගෙං අහන්නෙ"

"එතකොට දෙක?"

"ආ..දෙක මෙහෙමයි...ඔහොම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහුවම ඔය විස්තරේ පත්තර රේඩියෝ ටී.වී. එකේ එහෙම යනවනෙ. එතකොට මිනිස්සුන්ට මතක් වෙනව යකෝ 2015 ජනවාරි 8 වෙනිද අපි මෙහෙම කෙනෙක් පත්කර ගත්ත නෙවද ජනාදිපති හැටියට කියල...මොකද සුපිරිං කෝට් එකෙං මම අහන්ට හිතාගෙන ඉන්න ස්නෙ මෙහෙමයි..."

President Maithripala Sirisena, in terms of Article 129 (1) of the Constitution, has referred to the Supreme Court the following question for consideration and for an opinion to be submitted to the President on or before January 14, 2018…..

Whether, in terms of Provisions of the Constitution, I, as the person elected and succeeding to the office of President and having assumed such office in terms of Article 32(1) of the Constitution on January 9 2015, have any impediment to continue in the office of President for a period of six years from January 9 2015, the date on which the result of my election to the office of President was declared.”

"දැං බලන්ට නෝනෙ ඔය ස්නෙ තියනවනෙ සම්පූර්න විස්තරේම. මම පත්වුනේ කවුරු හැටියටද? එතකොට මම දිවුරුං දුන්නෙ කවදද? ඒ අවුරුදු කීයකටද? අන්න ඒ සියලු විස්තර ඒ ස්නෙ අඩංගු වෙලා තියනව. ඒ පස්නෙ කියවන ඕනම කෙනෙකුට අබමල් රේනුවක තරම්වත් සැකයකින් තොරව ඔප්පු වෙනව ලංකාවෙ වර්තමාන ජනාදිපති කවුද කියල. මට ඕන කරන්නෙත් ඔන්න ඔච්චරයි. එහෙම නැතුව තව අවුරුද්දක් මේ මල වදේ විඳින්ට එහෙම නෙවෙයි. හුහ්. මයෙ බල්ලටවත් එපා. ඊට හොඳයි පොලොන්නරුවෙ ගිහිල්ල මයියොක්ක පඳුරක් දෙකක් හදාගෙන ඉන්නව. අනික සුපිරිං කෝට් එකෙං කිව්වත් මට අවුරුදු හයක් ඉන්ට පුලුවන්ය කියල මම හිතාගෙන ඉන්නෙ තැන්කියූ යුවර් ඔනර්. මට අවුරුදු පහක් හොඳටම ඇති කියල අවුරුදු පහෙං පස්සෙ දමල ගහල ගෙදර යන්ට. දන්නවාද? අන්න එහෙමයි අපි හුහ්..."

"මම දන්නවනෙ ඔයා ගැන…" ආර්යාව සෙමෙන් පැවසුවාය.

"අනික නෝනෙ මේ රටේ හැම තැනම මහ හාහෝවක් පැතිරුනානෙ මගෙ ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල. කොටිම්ම උදේට උදේට මට පත්තරේ ගේන අර පත්තර කොලුවත් මයෙං ඔය ගැන ඇහුවය කිව්වම..."

"නෑ?..."

"නෑ නෙවේ ඔව්...කොහොමද දන්නවද ඌ ඒක මයෙං ඇහුවෙ?...,මේ ලොකු සෑර් කිව්වට අමනාප අවෙන්ට එපා….. ඔබතුමාගෙ දුර කාලය අවුරුදු පහද නැත්තං හයද හැබෑටම?"

"ඉතිං?"

"ඉතිං මම ආපිට ඇහුව බොල කොලුවෝ බොට මොටද ඒකෙ වගක්?...අනික මොකෝ උඹ එහෙම අහන්නෙ? කියල....ඒ පාර කොලුව කියපි නෑ ලොකු සෑර් ඊයෙ මම අහගෙන අපෙ තාත්තයි බාප්පයි ටිකක් වැඩිවෙන්ට ගහල ඔය ගැන මහ හයියෙං වාද කරනව අපෙ බිතක්කනේ ඉඳගෙන...බාප්ප පහයි කියනව....තාත්ත හයයි කියනව ...පහයි...නෑ හයයි....නෑ පහයි...නෑ හයයි....අන්තිමට කොහොම හරි දෙන්න මිදුලෙ පෙරලි පෙරලි ගුටි ඇන ගත්තයිදත් කොහෙද....ඔන්න ඔහොමයි පත්තර කොලුව කිව්වෙ...

"දෙයියංටම පෙනීයං…" ආර්යාවගේ දෑස විස්මයෙන් විශාලවී තිබිණි.

"හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒ ගැන කතා වෙන්ට වාද කරන්ට අරගෙන තියනව කියල මට රහස් ඔත්තු ආරංචි මාර්ග වලිං දැනගන්ට ලැබුන. කොටින්ම අතන අර කිරුලපන හන්දියෙ කට්ටි දෙකක් බෝම්බ කඩු කිණිසි වලිං සන්නද්දව ඇන කොටාගෙනත් තියනව. හත් අට දෙනෙක් ඉස්පිරිතාලෙත් ගිහිල්ල. අනික ඊයෙ පෙරෙයිද අර ජයවර්දන පුර ඉස්පිරිතාලෙ නේස් නෝනල මහත්තුරු ඉස්ටැයික් කලා. ඒ මොකටද? කිව්වෙ නං ඇඟිලි අස්සං යන්තර පස්නයක්ය කියල. ඒත් ඇත්ත හේතුව මේ මගේ ධුර කාලය ගැන තිබ්බ විචිකිච්චාව. දැං ඒ ඔක්කොම හරි. ජනාදිපති හැටියට මගේ යුතුකම රටේ ජනතාව සුකිතව මුදිතව ජීවත් වෙනවදැයි කියල හොයල බලල එහෙම නැත්තං එව්වට පිලියං යෙදිල්ල. අන්න ඒකයි මම මෙහෙම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහැව්වෙ. ඔන්න ඔය රටේ ජනතාව අතර ඇති කුකුස හින්දම තමයි සුපිරිං කෝට්ටෙකෙං ඔය පස්නෙ ඇහුවට පස්සෙ මම කියල තියෙන්නෙ මයෙ මාද්දිය ඒකකේට මෙන්න මෙහෙම මාද්දිය නිවේදනයක් නිකුත් කරන්ටෙයි කියල..."

"Meanwhile the President’s Media Division, issuing a statement, said that two different views have been expressed in legal, civil and political circles about the duration of the term of Presidency after the enactment of the 19th Amendment to the Constitution. In order to dispel this confusion, the President has sought the opinion of the Supreme Court regarding the actual term of office."

"ඔයා නං ඇත්තටම දෙයියෙක් මෛත්‍රී" ආර්යාව ඇඳසිටි හවුස් කෝට් එකේ කොලරය ඔසවා කඳුලක් පිස දැම්මාය. "ඔයාට තව අවුරුද්දක් බලයේ ඉන්ට කිසිම ආසාවක් නැතිඋනත් රටේ ජනතාව වෙනුවෙන්නෙ ඔයා ඔය පස්නෙ සුපිරිංකෝට්ටෙකෙං අහන්ට යන්නෙ...මට ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන…."

ඒ දුටු ජනාදිපතිතුමාගේද දෑස් තෙත් වුයේ නිතැනිණ.

"මම හිතාන ඉන්නෙ නෝනෙ ඔය සුපිරිං කෝට්ටෙකෙං පස්න අහන වැඩේ දිගටම කරගෙන යන්ට.." ජනාදිපතිතුමා පැවසූයේ මෙතෙක් හිඳසිටි අසුනින් නැඟී සිටිමිනි.

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ රටේ මිනිස්සුන්ට මමයි රටේ ජනාදිපති කියල අමතක වීගෙන එනකොට ඔන්න මම අහනව සුපිරිං කොට්ටෙකෙං නොම්මර එකේ ආතල් ද බ්‍රේව් පස්නයක්. එතකොට ඔන්න රටම හෙල්ලිල ගිහිල්ල හැමෝන්ම දැනගන්නව රටේ ජනාදිපති මමය මා එක්ක සෙල්ලං බැරිය කියල...හෙහ්,හෙහ්"

පලි - ජනාදිපතිතුමා ඊලඟට සුපිරිංකෝට් එකෙං අහන්ට යන පස්න මොනවාද? ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...