Saturday, June 30, 2018

ගෝඨාගේ අලුත්ම මුට්ටිය : අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි....

"අප්පට උඩු, ඇත්තටම මම මේකා වගේද?"කණ්නාඩියක් 
ඉදිරියට ගොස් එතුලින් දිස්වන හිට්ලර්ට ඉතා සමාන තම 
ප්‍රතිබිම්බය නරඹමින් ගෝඨා එසේ සිතයි.
Sunday Observer පත්‍රයේ පළවූ වසන්ත සිරිවර්ධනගේ
කාටූනයකි.

ගාමිණී වියන්ගොඩ

විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය හැරුණු කොට හිට්ලර්ට ආරෝපණය කළ හැකි වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත. කොටින්ම, තව කෙනෙකුට අනුකරණය කිරීමට සුදුසු කිසිවක් නැත. ඔහුව මොන පැත්තකට හරවා බැලූවත්, ඔබට පෙනෙන්නේ ඝාතකයෙකි. උන්මත්තකයෙකි. අමනුස්සයෙකි. මීට වෙනස් ඕනෑම අර්ථයක් හිට්ලර් නැමැති නාමයේ ඇතොත් උපුටා පෙන්වන්නැයි අස්ගිරියේ අනුනායකගෙන් හෝ ‘වියත් මගේ’ නායකගෙන් මුලින්ම ඉල්ලා සිටිමි.

පසුගිය දවසක, වෙඬරුවේ උපාලි නැමැති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක භික්ෂු නමක් ගෝඨාභය රාජක්ෂගේ 69 වැනි උපන් දින උත්සවයට සහභාගී වෙමින් පැවැත්වූ ධර්ම දේශනාවකදී, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන්නේ හිට්ලර් කෙනෙකු නම්, ඒ හිට්ලර් බවට පත්වී රට ගොඩගන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවක් වාර්තා විය. ඒ නාමය මොන සන්දර්භයක පාවිච්චි කළත්, ඒ මගින් ඇති කළ හැක්කේ අර්ථ දෙකක් පමණකි. එකක් විය හැක්කේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න එපා යන්නයි. අනික වන්නේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න යන්නයි.

හිට්ලර් කෙනෙකු නොවන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් එවේලේ ඉල්ලා සිටි බවක් මේ හිමියන් දැනටත් නොකියන නිසා, අනිවාර්යයෙන්ම ඒ ‘ශ‍්‍රීමත් හිට්ලර්’ නාමය මේ හිමියන්ගේ ශ‍්‍රී මුඛයෙන් පිටවන්ට ඇත්තේ මොන අර්ථයකින් ද යන්න වටහා ගැනීම අසීරු නැත. ශාසන ඉතිහාසයෙන්ම උදාහරණයක් ගත්තොත්, ඔබ දේවදත්ත වන්නැයි කෙනෙකු යමෙකුට කියන්නේ නම්, එහි අරුත් දෙකක් තිබිය හැකි ද? ඉති, මිනීමරු දේශනාවක් කිරීමට අමතරව, එසේ කළ බව ප‍්‍රතික්ෂේප කරමින් දැන් මුසාවාදයකුත් දෙසාබෑම, මේ රටේ ප‍්‍රධාන සංඝ පාර්ශ්වයක මහනායක හිමිකමට පත්වීමට සිටින භික්ෂුවකට තරම් නොවන බව කිව යුතුය.

අස්ගිරි උන්නාන්සේලා මෙවැනි කතා නිතර කියති. ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් මේ අස්ගිරි පාර්ශ්වයේ නායක-අනුනායක හිමිවරුන් මෙන්ම, සංඝ කාරක සභා ආදී සියල්ල මගිනුත් රටට දේශනා කළ දේවල් තවමත් ජනතා මතකයේ තිබේ. අඩු වශයෙන් දළදා මාළිගාව ඉදිරිපිට පුංචි පාරවත් ජනතා සුභසිද්ධිය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා විවෘත කිරීමට මේ කියන පාර්ශ්වය තවමත් මාරාන්තික ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කොට සිටීමෙන් තමන්ගේ ජනතා-විරෝධී රදළ දැක්ම ඇති පදම් ප‍්‍රදර්ශනය කොට තිබේ.

හිට්ලර්ව ජන ඝාතකයෙකු බවට පත්කළ, දේශපාලනික සහ සමාජයීය හේතුවලට අමතරව, ඔහුගේ පුද්ගල ස්වභාවය සහ මනෝ භාවය ගැන, කීර්තිමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යයන රාශියක් කොට තිබේ. එයින් එක් අංශයක් පමණක් පාඨකයාගේ සහ අර කියන අනුනායක භික්ෂුවගේත්, ‘වියත් මගේ’ නායකවරයාගේත් දැන ගැනීම සඳහා මෙහි සඳහන් කරමි.

හිට්ලර්ගේ පියා හිට්ලර් කුඩා කාලයේ ඔහුට සැලකුවේ ඉතා නපුරට ය. සමහර දවස්වල කස පහරවල් පනහකටත් වැඩි දඬුවම්වලට මේ පියා හිට්ලර්ව භාජනය කොට ඇත. අවසානයේ පියාගේ කස පහරවල් ඉදිරියේ නොහඬා ඉන්නට හිට්ලර් පුරුදු විය. ඔහු නොහඬා කෙළේ, පියාට ඉත සිතින් වෛර කිරීමයි. මේ පියා කවුද?

ඒ පියාගේ මව, එනම් හිට්ලර්ගේ ආච්චි, ගෘහ සේවිකාවකි. ඈ සේවය කෙළේ, ධනපති යුදෙව් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ය. අවිවාහකව සිටි ඈ හදිසියේ ගැබ් ගත්තාය. හිට්ලර්ගේ පියා උපදින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මැරෙන තෙක්, මේ දරුවාගේ පියා කවුදැ යි අර ගැහැනිය හෙළි කෙළේ නැත. ඔහුගේ උප්පැන්නයේ පියෙකු ගැන සඳහනක් නැත. එහෙත් මේ දරුවාගේ අධ්‍යාපනය (විශ්ව විද්‍යාලය දක්වා) සහ වෙනත් සියලූ වියහියදම්, ඔහු විවාපත් වන තෙක්ම දැරුවේ, අර කියන යුදෙව් ජාතික ව්‍යාපාරිකයා ය.

දැන්, මේ පියාගෙන් දස වද විඳින පුංචි හිට්ලර් ගැන සිතා ගන්න. පියා කෙරෙහි වන වෛරය සමස්ත යුදෙව් ජාතිය කෙරෙහි යොමු වීම පුදුමයක් ද? හිට්ලර් සැලකුණේ ‘ආර්ය’ වංශිකයෙකු වශයෙනි. යුදෙව්වන් සැලකුණේ, ‘අනාර්යයන්’ වශයෙනි. එදා යුරෝපයේ යුදෙව්වෙකු යනු දැඩි සමාජ ගර්හාවට (දැන් මෙන්ම) ලක්වූ ජාතියකි. දැන්, තමාගේ ‘ආර්ය’ ලේ පිළිබඳ බරපතල සැකයක් ඇතිව ඇතිදැඩි වන හිට්ලර්, යුදෙව්වන් කෙරෙහි යුරෝපා සමාජයේ පොදුවේ පැවති ඉහතින් කී ඓතිහාසික විරෝධයත් පාවිච්චියට ගනිමින් තමාගේ පෞද්ගලික වාඩුවත් පිරිමසා ගැනීමට බැලීම අස්වාභාවික නැත. එහිදී, තමා යුදෙව්වෙකු නොවන බව ලෝකයාට ඔප්පු කිරීමට ඔහුට උදක්ම අවශ්‍ය විය. ඒ සඳහා තිබුණු හොඳම ක‍්‍රමය වුණේ, යුදෙව්-විරෝධයක් හිතින් ගෙන, හැකි තාක් යුදෙව්වන් ඝාතනය කිරීමයි. ඒ අනුව, යුද්ධයට කිසි සම්බන්ධයක් නැති යුදෙව් ජාතිකයන් 60 ලක්ෂයක් (මහල්ලන් සහ ළමුන් ද ඇතුළුව) ඔහු ඝාතක කඳවුරුවල පිහිටි ගෑස් කාමරවලට යවා මැරුවේය. වැඩිම ඝාතන සංඛ්‍යාවක්, එනම් 11 ලක්ෂයක් ඝාතනය කෙළේ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් ඝාතක කඳවුරේ ය. මා මේ කඳවුර නැරඹීමට දෙවතාවක් ගොස් තිබේ. ඒ දෙවතාවේම මට දැනුණු මිනී ගඳ සහ ඔක්කාරය, ඉහත කී අනුනායක හිමියන්ටත් දැනෙන්ට සැලැස්විය හැකි ක‍්‍රමයක් විණි නම් මොන තරම් අගේදැ යි ඔහුගේ ප‍්‍රකාශය ඇසීමෙන් මගේ සිතට වන්නේය.

කෙසේ වෙතත්, වෙඬරුවේ උපාලි භික්ෂුවගේ දේශනාව ගැන මම පුදුමයට පත්නොවෙමි. මුලින්ම මා නිර්දේශ කරන්නේ, මෙවැනි භික්ෂූන්, භික්ෂූන් වශයෙන් නොව, මනුෂ්‍යයන් වශයෙන් මුලින්ම පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්ම ස්කන්ධයටම මොහු සම්බන්ධයෙන් මේ දක්වා එය කළ නොහැකි වී ඇති බව මේ ප‍්‍රකාශයෙන් ස්ඵුට වෙයි. එබැවින්, අඩු වශයෙන්, 8 පංතියේ ප‍්‍රජාචාරය පොතවත් දැන් මොහුට පාඩම් කිරීමට සැලැස්විය යුතුව තිබේ.

කෙසේ වෙතත් මේ ආශ‍්‍රයෙන් ප‍්‍රධාන කරුණු තුනක් අප වෙන් කොට හඳුනා ගත යුතුව ඇත. එකක් වන්නේ, ලංකාවේ භික්ෂූ සාසනයේ පිරිහීම පිළිබඳ කාරණයයි. දෙවැන්න වන්නේ, එම පිරිහීම සමස්ත සමාජයේ මනෝ භාවයක යම් නිරූපණයක් නොවන්නේ ද යන්නයි. තෙවැන්න වන්නේ, ඒ කරුණු දෙකම ප‍්‍රයෝජනයට ගනිමින්, ඒකාධිපතියෙකු බිහි කර ගැනීම සඳහා වන දේශපාලනික ව්‍යාපෘතියක් මේ වන විටත් දියත්ව ඇත් ද යන්නයි.

මේ හිමියන් තමන්ගේ උපන් දිනයේදී එවැනි ප‍්‍රකාශයක් කළ බව ගෝඨාභය රාජපක්ෂ පිළිගනී. එහෙත් එම ප‍්‍රකාශයේ සැබෑ අරුත, ඔහුට අනුව, රට විනයගත කිරීමේ හැකියාවක් ඇති නායකයෙකු පත්කර ගැනීමේ ආධ්‍යාශයලූ. හිට්ලර් ජර්මනිය විනයගත කෙළේ කෙසේද යන්න ඔහු මුලින්ම අපට කියා දිය යුතුව තිබේ. ඊළඟට, බුදුන් වහන්සේ ධර්ම දේශනා කෙළේත් ප‍්‍රඥාවන්තයන්ට ලූ. දැන්, තමා වැනි ප‍්‍රඥාවන්තයෙකු මේ කියන භික්ෂුවගේ දේශනාව නිවැරදිව වටහාගෙන ඇති බවත්, අනිත් මෝඩයන් පොට පටලවාගෙන ඇති බවත්, ගෝඨාභය කියයි. (මේ ගෝඨාභයට කවුරු හෝ දිරච්ච ලණු දෙන බව පෙනේ. ගැඹුරු දේශනාවක් වශයෙන් සැලකූ අභිධර්මය බුදුන් දේශනා කෙළේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරමිනි. ඒ තම මෑණියන් වෙනුවෙනි. නිර්වාණය සඳහා අවශ්‍ය කරන සකල ධර්මය ඔහු දේශනා කෙළේ හුදී ජනයා වෙනුවෙනි).

රටක් විනයගත කිරීමේ හැකියාව ඇති, දැඩි මතධාරී, එහෙත් ජන ඝාතකයන් නොවන කිහිප දෙනෙකු, කෙනෙකුට අවශ්‍යම නම්, ඉතා මෑත ඉතිහාසයෙන් සොයා ගත හැකිය. ඒ, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සහ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. රටවල් වශයෙන් ඒ දෙක අපට ඉතා ආසන්න ය. ජර්මනිය භූගෝලීය වශයෙන් පමණක් නොව, හිට්ලර්ගේ ඉතිහාසය සම්බන්ධයෙනුත් ඊට වඩා ඈත ය. එසේ තිබියදී අල්ලපු ගෙදර ආදර්ශය අමතක කොට වඩාත් ඈතට ගොස් හිට්ලර් කෙනෙකු ගැනම යමෙකු කියන්නේ නම්, ඒ කතාවේ තිබිය හැක්කේ එක අරුතක් පමණි. එහි නිසැකවම තිබෙන්නේ, ඔබ නිකංම අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් සිටියදී පවා සුදු වෑන්වලින් එදා පෑ ඒ පෙළහර, මේ රටේ ජනාධිපති පදවියට පත්ව ඊටත් වැඩියෙන් පෙන්වා, මේ රට මකවන්න යන්නයි.

මේ අතර ඩලස් අලහප්පෙරුමත් ගෝඨාභය ගැන චරිත සහතිකයක් දී තිබේ. එය, අර කියන භික්ෂුවගේ චරිත සහතිකයම වෙනත් වචනවලින් සහ වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමකි. එහි ‘හිට්ලර්’ යන වචනය සඳහන්ව නැත. එහෙත්, ගෝඨාභය යනු මස්මාළු තියා උම්බලකඩවත් නොකන ගුණවතෙකැ යි ඩලස් අලහප්පෙරුම අපට කියයි. ඔහුගේ දැන ගැනීම සඳහා ලෝක නායකයන් තුන් දෙනෙකු ගැන දළ විස්තරයක් කිරීමට කැමැත්තෙමි. එක් කෙනෙක් මස් මාළු කෑවේය. මත්පැන් බීවේය. නොනවත්වා සිගරට් බීවේය. ගැහැනු දෙන්නෙක් තියාගෙන සිටියේය. තව කෙනෙක්, අධික ලෙස මත්පැන් බීවේය. දවල් වන තෙක් නිදාගත්තේය. හොර ගෑනු තියාගෙන සිටියේය. තුන්වැන්නා, පදක්කම් ලත් රණ විරුවෙකි. මස්මාළු තියා උම්බලකඩවත් නොකෑවේය. එකම ගැහැනියකට මැරෙනකල් ආලය කෙළේය. පළමුවැන්නා, ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ය. දෙවැන්නා බි‍්‍රතාන්‍ය අගමැති වින්සටන් චර්චිල් ය. තෙවැන්නා, ලෝකය විනාශ කළ, අස්ගිරි පාර්ශ්වයේ සහ ගෝඨාභයගේ වීරවර ඇඩොල්ෆ් හිට්ලර් ය.

හිට්ලර් ගැන ඔවා දෙන විට, එම හිට්ලර් අවසානයේ (සමස්ත ලෝකය පැත්තකින් තිබියේවා) ජර්මනියට පමණක් ඉතිරි කොට ගිය ලෞකික උරුමය පවා හිමියන් නොදන්නවා විය යුතුය. මුළු ලෝකයම අල්ලා ගැනීමට ගිය හිට්ලර් අවසානයේ විනාශ වන විට, එතෙක් තනි රටක් වශයෙන් තිබුණු ජර්මනිය, බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය වශයෙන් දෙකට කැඩුණි. එය යළි එක්සත් කර ගැනීමට අවුරුදු හැත්තෑවක්ම ගියේය.

දැන්, මේ භික්ෂුව ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දවසේ මෙවැනි දේශනාවක් කරන්නේ ඇයි? වර්තමාන යහපාලන ආණ්ඩුව ගැන පොදු කලකිරීමක් සාමාන්‍ය ජනතාව අතර මේ අවස්ථාවේ තිබේ. ඊට බොහෝ කරුණු හේතු වෙතත්, ඉන් එක් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ, මේ ආණ්ඩුව පණ නැති එකක් බව ය. ඒ තත්වය තුළ, විවිධ කතා මාර්ගයෙන්, දැඩි පාලකයෙකු පිළිබඳ අදහසක් එහෙන් මෙහෙන් මතු වෙනු දක්නට ලැබේ. මේ මනෝ භාවය සමග, රාජපක්ෂ පාලන කාලයේ ගෝඨාභයගේ දැඩි චර්යාව පිළිබඳ ප‍්‍රසාදයකුත් ආලේප කරමින් තිබේ. ගෝඨාභය සහ ඔහුගේ ‘වියත් මග’ පසුගිය මාස ගණනාවක සිට මේ මුට්ටිය විවිධ වේශයෙන් දැම්මේය. ඉහත කී භික්ෂුව මෙවර එය හෙලූවෙන්ම කෙළේය. ඇත්තෙන්ම ඔහුට අප ස්තුතිවන්ත විය යුතුය. මන්ද යත්, ‘වියත් මග‘ සහ ගෝඨාභය වැනි ප‍්‍රපංච හරහා, අවස්ථාවක් ලදොත්, අනාගතයේ ලංකාව ගෙන යනු ඇත්තේ මොන දිසාවකට ද යන්න, වචන සිය දහස් ගණනින් පැහැදිළි කර දීමට අපට පැවරී තිබුණු දුෂ්කර කර්තව්‍යය, මේ භික්ෂුව තනි වචනයකින් රටට පැහැදිළි කර දුන් නිසා ය. 

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා/ හිට්ලර්ටත් එසේම වේවා/

Thursday, June 28, 2018

593. The Story Of My Marriage - 73 - What Would The World Be Without Mothers?


Mother's Love -  Oil Painting by Mary Cassatt (1897) 

අපේ හදවතට සමීප පුද්ගලයො හින්ද අපේ හිත් රිදෙනව, අවුල් වෙනව හරිම ඉක්මනට. මුලින්ම තාත්තගෙ ලියුම අතට ගත්තම මට හිතුනෙ ඒක කියවන්නෙ නැතුවම ඉරල කුණු කූඩෙට දාන්න. ඒත් මට එහෙම කරන්න හිත ගල් කරගන්න බැරිවුනා විතරක් නෙවෙයි අන්තිමට මම ඒ ලියුම තුන් පාරක්ම කියෙව්ව..ඔව්..එක පාරක් එහෙම නෙවෙයි තුන් පාරක්ම...

පුතේ…………….

එහෙමයි තාත්ත ලියුම පටන් අරගෙන තිබ්බෙ. ආදරණීය සෙනෙහෙබර ඒ විශේෂණ පද මොකවත් නෑ. නිකම්ම පුතේ. කමක් නෑ තාත්තයි මායි අතරෙ මීට වඩා බොහොම සුහද කිට්ටු සම්බන්ධයක් තිබුනා වුනත් එයා මට බොහෝවිට මෙහෙම තමයි ආමන්ත්‍රණය කරනව ඇත්තෙ. තාත්ත ජීවිතෙන් බාගෙකට වැඩිය ගෙවුනෙ හමුදාවෙනෙ. ඒ හින්ද තාත්ත පෞද්ගලික ජීවිතේ ගෙව්වෙත් හමුදා ක්‍රියා පටිපාටිය අනුව. මම එහෙම හිතල හිත සනස ගත්ත. එක අතකට මම මොනවටද එයා මාව ආමන්ත්‍රණය කරල තියන විදිහ ගැන වද වෙන්නෙ?.....මම අන්තිමට එහෙමත් හිතල හිත දැඩි කරගෙන ආයෙම ලියුම කියවන්ට ගත්ත.

පුතේ, 

මම හිතාමතාමයි ආදරණීය පුතේ නැත්නම් සෙනෙහෙබර පුතේ කියල ආමන්ත්‍රණය කරල මේ ලියුම පටන් ගත්තෙ නැත්තෙ. ඒකට හේතුව කිව්වොත් ඇත්තටම මමම දන්නෙ නෑ තව දුරටත් මට තමුන්ට එහෙම ආමන්ත්‍රණය කරන්නට පුලුවන් ද කියල.

තමුන් ගමන් කරන්නෙ වැරදි මාර්ගයකය කියල මම ස්ථීර වශයෙන්ම දැනගත්තෙ තාත්තා කෙනෙක් වශයෙන් මට ලැබිය යුතු ගෞරවය දෙන්නට තමුන් මැලිවුනු ඒ දවසෙ. මට සහතිකයි තමුන්ටත් ඒ දවස ඉතාම හොඳින් මතක තියන බවට. කොටින්ම ඒ දවසෙ ඉඳල තාත්තෙක් සහ පුතෙක් වශයෙන් අපි දෙන්න අතර පැවතියයුතු සියළු සම්බන්ධතා තමුන් අත්හිටෙව්වා.

මට දැනගන්නට ලැබුනා තමුන් චෙන්නයිවල ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙනය කියල. මට හරි විස්තරයක් දැනගන්ට ලැබුනෙ නම් නෑ. තමුන්ගෙ අම්ම අර එයයිගෙ කිසිම වැදගැම්මකට නැති නෑදෑ සනුහරේ එක්ක ටෙලිෆෝන් එකෙන් පල්හෑලි දොඩවන කොට එහෙං මෙහෙං ඇහිච්ච එව්වයිනුයි මම එහෙම උපකල්පනය කලේ. තමුන්ට විවාහ වෙන්ට සුදුසු ගෑණු ළමයෙක් හොයල දෙන්න ඕන තමුන්ගෙ දෙමව්පියෝ වන අපි. තමුන් එහෙම කෙනෙක් හොයාගන්න එක සම්පූර්ණයෙන්ම වැරදියි. 

ඒත් අවාසනාවට වගේ තමුන් මොනතරම් පහත් තත්වයකට වැටිලද කියල තමුන්ටම තේරෙන්නෙ නෑ. ඒකයි මෙතන තියෙන වැරැද්ද. එක අතකින් ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. මොකද තමුන් උපදෙස් ගන්නෙ මගෙන් නෙවෙයිනෙ තමුන්ගෙ අම්මගෙනුයි එයයිගෙ අර වැඩකට නැති සහෝදර සහෝ දරියන්ගෙනුයිනෙ. 

කොහොම හරි තමුන් මේ කිසිම දෙයක් ගැන මට වචනයක්වත් නොකියපු එකෙන් තේරෙන්නෙ අඩුම ගානෙ තමුන්ගෙ යටිහිතෙන්වත් තමුන් ලැජ්ජ වෙනව කියල මේ තමුන් කරන තුප්පහි වැඩ ගැන. 

මට කියන්ට තියෙන්නෙ එච්චරයි. 

මේ මගේම අවාසනාවට තමුන්ගෙ තාත්තා වුනු ඒ අවාසනාවන්ත තාත්තා…..

දහවෙනි නැත්නම් දොළොස්වෙනි පාරටද කොහෙදෝ මම ඇඳේ නිදා හිටපු ඉරියව්ව වෙනස් කලා. ම්හුම්...මොනව කලත් නින්දක් නම් අහල ගං හතකවත් නෑ. 

"අයිසෙ ඒ ලියුම අමතක කරල දානවකො.." මම මගෙ හිතට තරවටු කලා...."බොහොම පැහැදිලියිනෙ එයාගෙ බලාපොරොත්තුව. වෙන අහවල් දෙයක්වත් නෙවෙයි තමුන්ව කලබල කරල අවුස්සල ගන්න එක. ඒකට අහුවෙන්න නම් එපා රජෝ...ඇස් දෙක තදින් වහගෙන නිදාගන්නව...හ්ම්ම්ම...ඉතිං කිව්වම නිදාගන්නවකො" මම මටම දොස් පවර ගත්ත.

දැං ඔය නින්ද කියන එක තියනව නේද? පුදුම වැඩේ කියන්නෙ අපිට ඕන වෙලාවට නිදා ගනිං කියල සරීරෙට අණ කරන්ට බෑනෙ. එහෙම ආඥාවක් නිකුත් කලත් සරීරෙ ඒ ආඥාව පයිසෙකට ගණං ගන්න එකක් නෑ. අනික් අතට අපේ හිත කියන එක... හිත හොඳාකාරවම දන්නවනෙ..."දැන් හොඳටම රෑවෙලා. තව හරියටම පැය පහකින් නැඟිටල ඔෆිස් යන්ට ලෑස්ති වෙන්න තියනවනෙ. තමාගේ සරීරෙට විවේකෙ අත්‍යාවශ්‍යයයි" හිත විඩින් විඩේ ඔහොම කියනව. ඒත් ඉතින් වැඩේ කියන්නෙ නින්ද යන්නෙ නැති එකනෙ. අනික හිතට හිතන්න දේවල් මහ හුඟක් තියනව. ඒ කියන්නෙ තෝරාගැනීම් නැත්නම් Options බර ගාණක් තියනව. සමහරවිට මිලියනයකටත් එහා පැත්තෙ.

හඳක් පේන්නවත් නැති ගණ කළුවර අහසක පුංචි පුංචි මැණික් කැට වගෙ බබලන තාරකා…

නුංගම්බක්කම් මල් ශාලා වීදියෙ ඇවිදගෙන යනකොට පෙනෙන පපුව පුරහම සුවඳ දෝරෙ ගලන නොයෙක් වර්ණ මල්…

අනන්‍යාලගෙ ගෙදර දේවරූප තියන කුටියෙන් ගලාගෙන එන සඳුන් කපුරු මිශ්‍ර සුවඳ ධූමය…

එහෙම නැත්නම් මට අවුරුදු හත අටක් වගෙ කාලෙදි අපේ ගෙදර පැවැත්වුනු මගේ මතයෙ හැටියට මගේ ඉතාම උත්කර්ෂවත් උපන්දින සාදය...

මේ වගෙ සිතුවිලි මේ වගෙ මතක සටහන් අපි හැමෝගෙම ඔළු ගෙඩි ඇතුලෙ පිරිල තියනව. ඒත් එක අවාසනාවන්ත සිතුවිල්ලක් එක සෘණාත්මක සිතුවිල්ලක් ඇති ඒ සන්තුෂ්ඨිදායක සිතුවිලි ඔක්කොම විනාස කරල දානට. එහෙම තමයි අනිවාර්යයෙන්ම සිද්ද වෙන්නෙ. අපි හැමෝටම එහෙමයි. ඒකෙ කිසිම වෙනසක් නෑ. 

මට වෙලාවකට මෙහෙමත් හිතෙනව. "එහෙම වෙන එක පරිණාමයෙදි අපේම යහපතට සිද්ද වෙච්චි දෙයක් වෙන්නත් පුලුවන් නේද? නෑ..මම මේ කියන්නෙ අපිට යම් ප්‍රශ්ණයක් තියනවනම් කලින් සිද්ද වෙච්චි සතුටුදායක සිද්ධීන් ඔක්කොම අමතක කරවල වර්තමානයෙ තියන ප්‍රශ්ණෙ විසඳන්ට අපිට බලකෙරෙන ක්‍රියා පටිපාටියක් වෙන්නත් පුලුවන් නේද එහෙම වෙන එක..."

ඒක එහෙමෙයි කියල හිතා හදාගන්න නම් පුලුවන්ය කියමුකො. හැබැයි ඉතිං එහෙම වෙන එකෙන් වෙන්නෙ ජීවිතේ හරිම කරුමයක් වෙන එක...අනික් අතට රෑ තිස්සෙ නිදි මරාගෙන කල්පනා කලාය කියල මොකක්ද වෙන හොඳේ? උදේට නිදිමත විතරයි. මම හිතන්නෙ පුලුවන් ඉක්මනට මිනිස් ජාන මේ තත්වයෙන් මිදෙන්ට විකරණය වුනොත් ඒක මිනිස් වර්ගයාටම ලොකුම යහපතක් වේවි.

මගෙ තාත්ත ලියුමෙ සඳහන් කරපු ඒ සුවිශේෂී දිනේ පිළිබඳව අමිහිරි මතකයන් මට දිගටම වද දෙන්ට ගත්ත. "මම අනන්‍යාව බඳිනව කියල දැනගත්තම මේ මනුස්සය මොකක් කරාවිද මන්ද.." මට එහෙමත් හිතුන. "ඔව්ව ඔක්කොම හිතෙන් අයින් කරල දාල බුදිය ගන්නව මනුස්සයො..තව පැය හතරයි තියෙන්නෙ එළිවෙන්ට.."...මගෙ හිත මටම තරවටු කලා. ඒත් කරුමෙ කියන්නෙ මගේම මොලේ ඒ කියන කිසිම දෙයක් කණකටවත් ගත්තෙ නෑ.

බැරිම තැන මම ඇඳෙන් නැඟිටල සාලෙට ගිහිල්ල අම්මට කෝල් එකක් ගත්ත. ඉස්සරහ බිත්තියෙ එල්ලල තිබ්බ ඔරලෝසුවෙ වෙලාව දෙකට දහයයි කියල පෙන්නුම් කලා.

"හෙලෝ? කවුද මේ?" අම්මගෙ නිදිබර කටහඬ රිසීවරයෙන් ගාල ආව. 

"අම්මෙ සමාවෙන්න…. මේ මම…"

"ක්‍රිෂ්? ඇයි පුතා මොකවත් ප්‍රශ්ණයක්ද?" ඇගේ කටහඬේ තිබ්බ නිදිබර ස්වභාවය එක පාරටම කළබල සහ බියමුසු ස්වරයකට හැරුන.

"නෑ නෑ අම්ම කළබල වෙන්ට උවමනාවක් නෑ.." මම හෙමිහිට කිව්ව. 

"එහෙමනම් මේ මහ රෑ කතා කලේ ඇයි?"

"තාත්ත මට ලියුමක් එවල තියනව..ඒක කියවපු වෙලාවෙ ඉඳල මගෙ හිතට මහ මොකක්ද වගේ.." මම කිව්ව.

"ආ..එහෙමද? තාත්ත ලියුමක් එවල තියනව?"

"හ්ම්ම්ම්…"

"මොකද එයා කියන්නෙ?"

"වැඩි හරියක් තියෙන්නෙ ඔය නිකං වැඩකට නැති එව්ව.....වැදගත් දේ කියන්නෙ තාත්ත අනන්‍යා ගැන දන්නව"

"අනන්‍යා? ආ..ඔයාගෙ අර යාලුව..ඉතිං එයා ගැන මොකක්ද තාත්තට කියන්න තියෙන්නෙ?"

"අම්මා…" මම ටිකක් හඬ උස්කරල කතා කලා. "මම කලිනුත් කියල තියනව...අනන්‍යා කියන්නෙ නිකම්ම යාලුවෙක් විතරක් නෙවෙයි...එයා මගෙ පෙම්වතිය. මම එයාව කසාද බඳිනව.."

"ක්‍රිෂ්..මේ දැං වෙලාව කීයද කියල ඔයා දන්නවද? මේ වෙලාවෙ ඔය ගැන කතා කරන්න ඕනද? පෙම්වතිය හරි කවුරු හරි ඔයාට ඕන එකක් ඔයා චෙන්නයිවලට වෙලා කරගන්න. ඒත් ඇයි ඔයා අපිට බල කරන්නෙ ඒ ළමයට කැමතිවෙන්න කියල.."

"අම්මෙ මම බල කරන්නෙ නෑ කොහොමවත්. මම කියන්නෙ මගේ ජීවිතේ අනාගත සහකාරිය විදිහට මම අනන්‍යාව තෝරගෙනයි තියෙන්නෙ.." මගෙ කටහඬ උච්ච ස්වරයකට මාරුවුනේ මටත් නොදැනිම. 

"බෙරිහන් දෙන්න ඕන නෑ ක්‍රිෂ් මගෙ කන් තාම හොඳට ඇහෙනව…."

"මට සමාවෙන්න.."

"ඔයා මට කෑගහන වෙලාවෙ කොන්ද පණ තියනවනම් ඔයාගෙ තාත්තට ඔය විදිහට කෑගහන්න…"

"කෑගහන්න මම එයා එක්ක කතා කරන්න එපාය. අම්ම හොඳටම දන්නව මම එයා එක්ක දැන් සෑහෙන කාලෙකින් කතා කලේ නෑ කියල. මට එයා එක්ක කතා කරන්න ඕනෙත් නෑ. එයා මා ගැන කොහොම හිතුවත් මට කමකුත් නෑ"

"හ්ම්ම්... එහෙමද? ඉතිං එහෙමනම් මොකෝ මේ එයාගෙ ලියුම හින්ද ඔයා මේ තරමට හිත කලබල කරගෙන මහ රෑ තිස්සෙ නැඟිටගෙන මට කෝල් කරන්නෙ?"

අම්මගෙ ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට කියන්නෙ මොකක්ද කියල මට එක වංගියෙම හිතාගන්න බැරිවුන හින්ද මම නිස්සද්දව හිටිය.

" ක්‍රිෂ්?….. හෙලෝ?...." තත්පර දහයකට වගෙ පස්සෙ අම්ම ආයෙම කතාකලා...

"අම්මෙ.... " මම උත්තර දුන්න.

"පුතේ..." අම්ම බොහොම හෙමිහිට කිව්ව.

එක ක්ෂණයකින් ඇස් වලට පිරුනු කඳුලු වලක්වා ගන්නට ඇස් තදින් පියාගෙන මම බිඳුනු ස්වරයකින් කතා කලා. 

"මට මෙහෙ මහ පාළුවක් දැනෙනව අම්මෙ. අම්මත් මෙහෙ මා ලඟ නෑ. ඒ මදිවට තාත්ත ගහෙං ගෙඩි එන්න වගෙ විකාර ලියල ලියුම් එවල මගෙ හිත තලනව. මට මේ ඔක්කොම දරාගෙන ඉන්න බෑ අම්මෙ.…."

"පුතා තාත්තගෙ ලියුම ආය කියවන්න එපා. ඉරල වීසි කරල දාන්න. කොහොමත් ඔයාට මුලින්ම කරන්න තිබ්බෙත් ඒක. ඔයා ඒ ලියුම කියවපු එකයි වැරැද්ද උනේ…."

"මම මෙහෙ ඇත්තටම යුද්දයක් කරන්නෙ අනන්‍යාගෙ අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ගන්න. අනික් අතට චෙන්නයි කියන්නෙ මහ අමුතුම නගරයක්. මට මේ භාෂාව තේරෙන්නෙ නෑ. මෙහෙ කෑම පුරුදු නෑ. ඒ අස්සෙ තාත්ත මට දොස් කියල ලියුම් එවනව. ඒ ඔක්කොමත් මට ඉවසන්න පුලුවන්..අම්මත් මට බණින එක තමයි මට ඉවසන්නම බැරි....."

මට තවත් ඉවසන්න නම් බැරිවුනා. මම එහෙම්මම රිසීවරේ සුරතින් මිරිකාගත්තු ගමන්ම ඉකි බිඳිමින් ඇඬුව.අම්ම මිනිත්තු දෙක තුනක් මට අඬන්න දුන්න. ඊට පස්සෙ හෙමිහිට කතා කලා.

"හරි දැන් ඇති ක්‍රිෂ්...ඇඬුව ඇති..ගිහිල්ල මූණ පොඩ්ඩක් හෝදගෙන එන්නකො ඉස්සෙල්ලම…."

මම රිසීවරේ එහෙම්මම ටීපෝ එක උඩ තියල ෆ්‍රිජ් එක ඇරල සීතල වතුර බෝතලයක් අර ගත්ත. ඒකෙන් වතුර දෝතක් අරගෙන එතන තිබ්බ සින්ක් එකට පාත්වෙලා මූණ ටිකක් හෝද ගත්ත.සිසිල් වතුර උගුරු හතර පහකුත් උඩ බලාගෙනම බිව්ව.ඊට පස්සෙ ආයෙම රීසිවරේ අතට ගත්ත. 

"අම්මා..."

"පුතා.."

"මොකක්ද අම්මෙ මම කරන්න ඕන?" මම දිග සුසුමක් හෙලල ඇස් පියාගෙන අම්මගෙන් ඇහුව.

"ක්‍රිෂ්….පුතා….මම කියන දේ හොඳට අහගන්නකො ඉස්සෙල්ල.."

"ඔව් අම්මෙ කියන්න.."

"ඔයාට බැරිද ආපහු එන්න? "

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මාරුවක් හදාගෙන ආපහු දිල්ලියට එන්න...."

"ඒක කරන්නෙ කොහොමද අම්මෙ? මම මෙහෙ ඇවිල්ල යම්තමට ගතවුනේ මාස හයක් විතරනෙ. අනික මේ මගෙ මුල්ම පත්වීම. මම කොහොමද මේ හදිස්සියෙ ආයෙම මාරුවීමක් ඉල්ලන්නෙ?"

"කියන්න ඔයාට බරපතල පවුලෙ ප්‍රශ්ණයක් තියනව කියල..ම්ම්ම්ම්...හරි කියන්නකො මට මොකක් හරි දරුණු අසනීපයක්ය කියල…"

"අම්මේ මේ….. අම්ම ඔය කියන එව්ව……"

අම්ම මට කතා කරන්න දුන්නෙ නෑ.

"බැරිම නම් ක්‍රිෂ් ඔය රස්සාවෙන් ඔයා අයින් වෙන්න. අපි තව ඔයිට වඩා හොඳ රස්සාවක් හොයාගමු. මම හිතන්නෙ නෑ ඒක ඒ හැටි මාරුවෙයි කියල....."

"අම්මේ මේ…"

"ආ..ඔයා දන්නවද? මේ සති දෙකකට වගෙ ඉස්සෙල්ල අපේ ගෙට හැරෙන හන්දියෙම ඕපන් කලානෙ කනරා බැංකුවෙ බ්‍රාන්ච් එකක්. ෂෝක් නේද? ඔයාට දහයට තේ බොන්නත් ගෙදර එතෑකි…"

"අම්මෙ....මම වැඩ කරන්නෙ සිටි බැංකුවෙ..ඒක මල්ටි නැෂනල් බෑන්ක් එකක්. කනරා බැංකුව වගේද සිටි බැංකුව? අම්මට ඔව්ව තේරෙන්නෙ නෑ අම්මෙ…"

"හරි හරි..මම ඉතිං කනරා බැංකුව ගැන නිකමට වගෙ කිව්වෙ. ඔයාට ඕනම නම් අපි මෙහෙත් මල්ටි නැෂනල් බැංකුවක්ම බලමු. ආය මොකෝ සිටි බැංකුව විතරය ඒ වගෙ එව්ව තියෙන්නෙ?"

මම මොකවත්ම කිව්වෙ නෑ... අම්ම ආයම කතා කලා..

"ක්‍රිෂ් මට පොරොන්දු වෙන්න ඔයා දිල්ලියට මාරුවක් ඉල්ලනව කියල. ඔය කිසි කමකට නැති කලුම කලුපාට දෙමල මිනිස්සුන්ගෙන් ගැලවිලා මෙහෙට එන්න මගෙ පුතේ…"

"ඔන්න ඉතිං පටන් ගත්ත. අම්මෙ මේ....මෙහෙ ඉන්න මිනිස්සු නරකමත් නෑ…"

"මට ඒ මිනිස්සු හොඳ උනත් එකයි නරක් උනත් එකයි. මම දන්නෙ මෙච්චරයි... ඔයා මගේ එකම පුතා. ඔයා ඉන්න ඕන මාගාව..කියන්න ඔයා හෙටම දිල්ලියට මාරුවීමක්  ඉල්ලනව නේද?"

"අම්මෙ මේ…"

"තව එක වචනයක්වත් කතා කරන්න එපා ක්‍රිෂ්. ඔයා මාරුවක් ඉල්ලන්නෙ නැත්තං මම එවනව ලියුමක් ඔතන ඔයාගෙ බොස්ට..."

"මගෙ බොස්ට?...මොකක් කියලද?"

"මම කියනව මම ඉතාම වයස්ගත දරුණු රෝගයකින් පෙලෙන අබල දුබල කාන්තාවක්ය. ඒ හින්ද මානුෂික පදනම මත සානුකම්පිතව සලකා බලල මිස්ටර් ක්‍රිෂ් මල්හෝත්‍රාට දිල්ලියට මාරුවීමක් දෙන්නෙයි කියල…"

"අනේ අම්මෙ මේ....බැරිවෙලාවත් එහෙම දෙයක් නම් කරන්න එපා හොඳද? මට වහ බොන්නයි වෙන්නෙ...අම්ම දිවුරන්න එහෙම දෙයක් කරන්නෙ නෑ කියල.."

මම කට කොණකින් හිනාවෙවී එහෙම කිව්වෙ. මට හිනා ගියේ වෙන මොකටවත් නෙවෙයි අම්මගෙ මේ මානුෂීය පදනම් කතාව ගැන. මේ අම්මත් මෙව්ව කොහෙං හොයාගන්නවද මන්ද…

"හරි මම එහෙම ලියුමක් එවන්නෙ නෑ..හැබැයි ඔයා මම කියපු විදිහට මාරුවක් ඉල්ලන්න ඕන.."

"හරි හරි අම්ම ටිකක් ඉන්නකො..මට මෙහෙ පොඩි වැඩ දෙක තුනක් තියනව ඉවරයක් කරන්න.. එව්ව ඉවර වෙලා මම මාරුවක් ඉල්ලන්නම්කො…"

"හරි දැං කොහොමද ක්‍රිෂ් ඔයාට?...හිතට පහසුවක් වගෙ දැනෙනවද?"

"අපොයි ඔව්..තෑන්ක්ස් අම්මෙ..මම දන්නවනෙ අම්ම එක්ක කතා කලත් මගෙ හිත හරියනව.."

"හ්ම්ම්ම්..හරි හරි..ඒක නෙවෙයි ඔය මැඩ්රාසීන්ට ඔය විදිහට බය වෙන්ට ඕන නෑ. ඔවුන් එක්ක කැත්තට පොල්ල වගෙ ඉන්න ඕන..මම දන්නෙ නැද්ද ඔවුන්ගෙ හැටි..එහෙම හිටියම ඔවුන් බය වෙනව…"

"හරි අම්මෙ මම එහෙම ඉන්නම්කො එහෙනං.."

"අන්න හරි..ආ තව එකක්..අර ළමය ආශ්‍රය කලාට කමක් නෑ..ඕනවට වඩා කරට ගන්ට ඕන නෑ තේරුණාද? අතේ දුරින්..අතේ දුරින්... හොඳද?"

ඒකට නම් දැනටමත් පරක්කු වැඩියි අම්මෙ... මම හෙමිහිට කිව්ව..

"මොකක්ද ක්‍රිෂ් කිව්වෙ?" අම්ම ඇහුව.

"නෑ නෑ මොකවත් නෑ අම්මෙ...ගුඩ් නයිට් එහෙනම්…"

"ගුඩ් නයිට් ක්‍රිෂ් ඕල්වේස් රිමෙම්බර් අයි ලව් යූ" අම්ම එහෙම කියල රිසීවරේ තිබ්බ. 

මම හෙමිහිට නැඟිටල ආපහු මගෙ කාමරේට ආව. ලියන මේසෙ උඩ තිබ්බ තාත්තගෙ ලියුම මම ගුලි කරල කුණු කූඩෙට දැම්ම. ඊට පස්සෙ ලයිට් එක නිවල ඇඳේ දිගාවුනා. 

අම්ම එක්ක කතා කලාට පස්සෙ මගෙ හිතට දැනෙන්ට ගත්තෙ පුදුම සැහැල්ලුවක්. මිනිත්තු පහක් යන්ට ඉස්සර මට නින්ද ගියා.

අම්මල නැත්නම් මේ ලෝකෙ කොහොම තැනක් වෙයිද කියල හිතාගන්නවත් බැරිබව නින්දත් නොනින්දත් අතරෙ ඉන්න මට නිකම්ම වගෙ හිතුනා...

"What would the world be without Mothers?" I thought unconsciously as I drifted off to sleep.

Friday, June 22, 2018

592. පුවක් එෂැණිං 49 - රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සා සහ සුවච කීකරු වඳුරා......


අස්ගිරි අනුනායක හිමි සහ ගෝඨාභය...

පළමුවන නන්දසේනාභිධාන වසර 2020 දී සිරි ලංකාවේ වෙන්ඩ රජ්ජුරුවංගේ උපංදිනේ මහ ඉහලිං සමරන්ට එතුමා මේ පාර පැලෑං කලේය. ඒ අනුව ට්‍රයි නිකායික මහා ශංටරටනේ ලොකු ලොකු පොරවල් වලට දවල් දානෙට එතුමගේ මහා මන්දිරයට එන්ට කියා තිබුනේය.

සියම් නිකායේ අස්ගිරි පාර්සවයෙන් දානෙට ආවේ සුප්‍රසිද්ද මරා ගැත්තෙක්වන ඒකෙ අනුනායක සාදුය. එක වංගියක් නීලකාස මරාට ජාතියේ පියා කියල කියන්ට ඕනය කියල උඩ පැන්නෙත් ඒ චීවරදාරියාම තමාය.

රස මසවුලෙන් සන්තර්පණය වී අනතුරුව එටුමෝ නන්දේ අමතා අනුසාසනාවක් කලෝය. එහිදී එතුමා ඩෙෂා වඩාළේ නන්දේට "ලංකාවේ රජවී හිට්ලර් වගේ රට පාලනය කොරන" ලෙසය. ඒ මහාර්ග අනුසාසනාවෙන් පසු එතුමෝ තම සුකෝපබෝගී රියේ නැඟී මහනුවර බලා වැඩම කලෝය.

දානෙට ආපු මහා සන්ගරට්නේ යම්තමට මන්දිරේ ගේට්ටුවෙන් එලියට වැඩම කරන තුරු දත්මිටිකාගෙන හිටි නන්දේ ඒත් එක්කම පරළවුනේ කොහොමත් නටන යකාගේ රෙද්ද පසුපසින් උස්සා පස්චාත් බාගයට ඔක්ටේන් 80 පැස්ටෝල් පොල්කට්ටකිං එකක් ගැසූ ලෙසටය. පලමුවෙන්ම නන්දේ කලේ මේසය මත තිබූ බත් පලංගාන දෑත බදා ඔසවා ඇති වීරියෙන් පොලවේ ගැසීමය.

නන්දේගේ සදාදරනීය බාරියා තොමෝ සුවිට්සර්ලන්තයේ සිට එයා ලංකා පෙලේං එකක් පැය දෙකක් ප්‍රමාද කොට ගෙන්වූ අගනා බලු තඩියා පලංගාන පොලවේ ගැසූ සද්දයට බියවී කෑගසාගෙන ගේ ඇතුලට දිවගොස් ඇඳක් යටට රිංගා ගත්තේය. 

නන්දයා ආරස්සක ලේකමා කාලේ ගෙදර අතු පතු ගෑමට සහ වත්ත පිටිය සුද්ද බුද්ද කිරීමට යොදවා සිටි රණවිරුවන් බුරුත්ත අයියණ්ඩිගෙ පට්ටම ගහලා ගිය ඉක්බිති ආගිය අතක් නැතිවූ බැවින් ඇඳ යට අට්ටි ගැහී තිබූ දූවිලි කන්දරාව කරනකොටගෙන ඇඳයට රැදෙන්නට නොහැකිවූ සුවිස් බලු උත්තමයා ඉන්පසු ඇඳයටිං එලියට විත් පෑලදොරින් පලාගොස් වත්තේ කෙලවරක සාදාතිබූ එදවස නන්දයා මිනී මෝරුන් ඇතිකල මහා ටැංකිය යටට රිංගා වක ගසාගත්තේය.

"හපොයි සෑර් මොකද මේ?"

සතර අත විසිරීගිය පලංගාන් කටු මතින් පරිස්සමින් අඩිය තියමින් ආ නන්දේගේ ලේකම් එහෙම ඇහුවෙ ඉහ අත බදාගෙනය. නන්දේට මල පැන්නවිට මොකෙන් මොකක් වෙයිද කියා උඩ ඉන්න දෙයියෝවත් දන්නේ නැත. ඒවා දන්නේ ලසන්ත, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් සහ කීත් නෝයාර් වගේ කට්ටියය.

"මොකද කියල අහන්නෙ? කවුද යකෝ අර සිවුරු කාරයා මෙහාට ගෙන්නෙව්වෙ?"

"මොන සිවුරු කාරයද සෑර් "

"වෙන අහවල් එකෙක්ද? අර මට හිට්ලර් වගෙ වෙන්න කියල උපදෙස් දීපු සිවුරු කාරයා...අන්න ඒකා බං අන්න ඒකා…"

"ඇයි සෑර්?... ඉතිං මොකක්ද අවුල?"

"අවුල?...අවුල තමයි හෙට ඉඳල මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට බැරිවෙන එක...මගෙ තරහ කාරයො හෙට ඉඳලම මට නෙලන්ට ගනියි හතර අතටම මාව හිට්ලර්ට සමාන කරල. අන්න ඒකයි අවුල...."

"ආරාදනා කලේනම් මම සෑර්. ඒත් නිකායෙ මහානායකට තමයි ආරාදනාව යැව්වෙ..එහෙන් තමයි ඔය සාදු එවල තියෙන්නෙ..අනික ඔය සාදු ඔබතුමාලගෙ පවුලටම බොහොම ලැදියි. මතකද අර ඔබතුමාගෙ අයිය ජනාදිපති වෙලා ඉන්දැද්දි එතුමාට ජාතියේ පියා කියල කියන්න ඕනයි කියල එහෙම කිව්වෙ.."

"ආ...ඒ කාලෙ ඔය යක්සය එහෙමත් කිව්වද? එහෙනං මට හිතා ගත්තෑකි මේ ගිනි ගෙඩිය ආවෙ කොහෙන්ද කියල…."

නන්දේ එහෙම කිව්වෙ පැත්තකට වෙලා හොර පූසාවගෙ බුරුසුවත් පුම්බගෙන වචනයක් කියන්නෙ නැතුව බලාගෙන ඉන්න නීලකාසයා දිහා බලල බර බර ගාල දත්කූරු කන ගමන්ය. 

"මේ..මේ මාව අල්ලගන්න එපා ඔව්වට.."

නීලකාසයා එහෙම කියල නැඟිටල යන්ට ගියා. නන්දෙ නීලකාසය යන දිහාවෙ රවාගෙන ඉඳල මේසෙ උඩ තිබ්බ පිඟන් අට්ටියක් ආයම උස්සල පොලවෙ ගහල කාමරේට ගිහිල්ල දඩීං ගාල දොර වහ ගත්ත.

(සටහන - රාජපස්ස පවුලේ සහෝදර තක්කඩියන් තුන්දෙනා අතර රටේ බලය ඇල්ලීමට පවතින බල අරගලය කිසිවකුට රහසක් නොවේ. නැවත ජනාධිපති විය නොහැකි බැවින් පර්සිගේ බලපොරොත්තුව තම ලොකු කොල්ලාවන නාමෝලාට කෙසේ හෝ ජනාධිපති පදවිය රැගෙන දීමය. එහෙත් ජනාධිපති පදවිය සඳහා ඉල්ලීමට වයස අවුරුදු 35 සම්පූර්ණවිය යුතු බැවින් නාමෝලාට ඊට ඉල්ලුම් කල නොහැක. බැසිලා හෝ ගොට්ටා ජනාධිපති පදවියට පත් වුවහොත් මේ කපේදී නාමෝලාට රටේ නායකත්වය ගන්නට නොහැකි බව දන්නා පර්සිගේ අපේක්ෂාව කෙසේ හෝ ඔවුන් දෙදෙනාගේ ජනාධිපති සිහින බිඳ දැමීමටය.)

Meanwhile At Asgiriya…….මේ අතර අස්ගිරියේදී....

දවල් රූපවාහිනී ප්‍රවෘත්ති බැලූ වේලාවේ සිට මහා නායක ලොක්කාට නිවනක් නැත. සිවුර එක අතකින් උස්සාගෙන එහාට සක්මන් කරන්නේය. මෙහාට සක්මන් කරන්නේය. වරෙක සක්මන නවත්තා පැමින දඩස්ගා කළුවර කවිච්චිය මතට ඇද වැටෙන්නේය. යලිත් නැඟිට සිවුර අතටගෙන සක්මන් කරන්නේය.

"දෙයියම්පල්ල මේ මනුස්සය තැනකට යැව්වොත් ඔලුවෙ ඉඳම්ම නාගන්නවනෙ. මම කියලමයි ඇරියෙ දුන්නු දෙයක් කාල බීල ආපහු එන්ටය මොකවත් අනුසාසනා එහෙම කරන්ට එපාය කියල...කොහෙද? කියන එකක් අහන එකක්ය…" සක්මන් කරන අතර තමන්ටම තොල මතුරාගන්නේය.

"කෝ මේ අපේ ලේකකාදිකාරී හාමුදුරුවෝ?...මෙහෙට්ට ආවනම්.." නායක උන්නාන්සේ එකවරම නැවතිල කෑගැහුව. 

"අපෙ හාමුදුරුවනේ.." ලේකකාදිකාරී සාදු එතනට ආව. 

"අන්න අර බලනව අනුනායක හාමුදුරුවො ආවද කියල.."

"නෑ හාමුදුරුවනේ...තවම මඟ මම හිතන්නෙ.."

"බලනව අයිසෙ මේ මනුස්සය ගිහිල්ල කරපු විනාසෙ..දැං කොහොමද මම සිවුරක් ඇඳං පාරක බැහැල යන්නෙ? "

"ඒකනම් එහෙම තමයි ලොකු හාමුදුරුවනේ." ලේකකාදිකාරී සාදු බිම බලාගෙන කිව්ව…

"කෝ අර පොඩි හාමුදුරුවො ඉන්නවද?" නායක සාදු ආයෙම ඇහුව…

"ඔන්න දවල් දානෙන් පස්සෙ උන්නාන්සෙ ගමේ යනව කියල ගියා.."

"ගමේ යනව කියල?...ඒ මොකෝ මේ හදිස්සියෙම?"

"ඒක තමයි මමත් මේ බැලුවෙ. මම ඇයි යන්නෙ කියල ඇහුවට මොකවත් කිව්වෙ නෑ. බොහොම කලබලෙන් වගෙ තමයි පිටත් වෙලා ගියේ.."

"හ්ම්ම්ම්....ඒකත් එහෙමද? මම මේ ඒ පොඩි උන්නාන්සෙට කතා කරන්ට බැලුවෙ අපේ අනුනායක උන්නාන්සෙ මේ මජර හිට්ලර් කතාව කියන්ට ඉස්සෙල්ල පොඩි හාමුදුරුවො එක්කවත් ඒ ගැන යමක් කිව්වද කියල අහන්ට..හ්ම්ම්ම්..දැං ඉතිං ඒක හරියන්නෙත් නෑනෙ.."

"අන්න..අපෙ හාමුදුරුවනේ..අනුනායක හාමුදුරුවො ආවද කොහෙද…"

"හ්ම්ම්ම්..ආපුදෙන්කො උන්දැට අද මම......."

නන්දේගේ දානෙට සහබාගිවී පැමිණි අනුනායක හාමුදුරුවෝ පන්සලට ඇතුලු වූයේ කෝපයෙන් වෙව්ලමිනි. ඒ දුටු නායක උන්නැහේ මුවඟට නැඟි බැණුම් නතරකොට තුස්නිම්බූතව බලා සිටි සේක.

"කෝ අර පොල් බූරුවා?" අනුනායක තෙමේ දොර ලඟ ඉඳම්ම බිරුසන් දුන් සේක. 

"මොන පොල් බූරුවද?" ලේකකාදිකාරී තැන විමසුයේ විස්මයෙන් විවරකොටගත් දෙනෙතින් යුතුවය. 

"වෙන මොකාවත් නෙවෙයි අර පොඩි උන්නාන්සෙ කියන යක්සයා…."

"ඈ? මොකෝ මේ තමුං අපේ පොඩි උන්නාන්සෙට මෙහෙම දොස් කියන්නෙ?" එවර විමසූයේ මහානායක සාදුය.

"මොකද කියන්නෙ අපෙ හාමුදුරුවනේ...මම අද අර දානෙ ගෙදරදි පොඩි අනුසාසනාවක් කලානෙ ගෝටාබය මහත්තයට"

"ඔව්..ඔව්..අපිත් දැක්ක ඒක රූපවාහිනියෙ. ඒ ගැන අහන්ට තමයි මමත් මේ තකහනියක් තමුං එනකල් මඟ බලාගෙන හිටියෙ…"

"හරි හරි ලොකු හාමුදුරුවො මම කියන එක අහල ඉන්ටකො...මගෙ අනුසාසනාවෙදි මට කියන්ට ඕන උනේ ගෝටාබය මහත්තයට අර කවුද සිංගප්පූරුව දියුණු කලේ නායකයෙක්...මට නම මතක නෑ නෙ...ඔය ඒ නම මතක නැති එකම තමයි මට කෙලවෙන්ටත් හේතුව.."

"ලී කුවාන් යූ ගැනද ඔබතුමා මේ කියන්නෙ?" එහෙම ඇහුවෙ ලේකකාදිකාරී හාමුදුරුවො.

"අන්න හරි..අන්න හරි...පොච්චියේ මම ඊයෙ රෑ එලිවෙනකල් ඔය නම මතක් කලා... මතක් කලා...මතක් උනේ නෑ කියහල්ලකො…"

"ඉතිං?"

"ඉතිං උදේ මම දානෙ ගෙදර යන්ට කොළඹ පිටත්වෙන්ට ඉස්සෙල්ල අපේ පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුව කවුද පොඩි නම අර සිංගප්පූරුව දියුණු කරපු නායකය?..අර මේ බොහොම තදින් නීතිය එහෙම ක්‍රියාත්මක කරල ඒත් රට දියුණු කලාය කියල හැමෝම බොහොම හොඳ කියන්නෙ..කවුද ඒ මනුස්සය? කියල…"

"ඉතිං මොකද පොඩි නම කිව්වෙ?"

"ඒ වසවර්තිය ගත් කටටම කියාපි ආ ඔබ වහන්සෙ ඔය අහන්නෙ හිට්ලර් ගැනනෙ කියල. මට පොඩි නම ඒ කියාපු එක ගැන පොඩි විචිකිච්චාවක් වගෙ එකක් තිබ්බට මම හිතුවෙ නෑ මේ යකා මාව මෙහෙම අමාරුවෙ දායි කියල.."

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ඉතිං මොනවද? මම ගිහිල්ල ඒ විදිහට කතාව පැවැත්තුව..එච්චරයි…"

Wednesday, June 20, 2018

591. පුවක් එෂැණිං 48 - නානසාර නාඩගම අංක දෙක…….


ඡායාරූපය - කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියෙනි.

ගලගොඩ ඥාණෙ ජම්පරේ අන්දල හිරේ ඇරියට නානසාර නාඩගම අහවරක් වී ඇති බවක් පෙනෙන්නට නැත. නාඩගමේ ඊලඟ කස්තිරම අල්ලන්නට වේදිකාවට ගොඩවී ඇත්තේ ඇම්. අබේ චීවරදාරී තුමාය.

මරාගේ ජනාදිපති  ලේකම් සහ ඒ කාලෙ හිටපු ටෙලිකොම් සබාපති එකතුවෙලා කල සිල් රෙදි මගඩියට ඒ තක්කඩි දෙන්න අල්ලලා කූඩුකල විට එවුන්ට නියම කල දඩය ගෙවන්නට සල්ලි හිඟමනේ යන්නට මහා සන්ගරට්නේ පාරට බැස්සීමේ මූලිකත්වය ගත්තේද මේ ගරුටර ඇම්. අබේ තුමාමය.

ඇම්. අබේ කියන්නේ නානෙගෙ චීවරේ ගලවාපු එක ඉත්තේරුවෙම්ම වැරදියි කියාය. එහෙම චීවර ගලවන්ට බලයක් තියෙන්නෙ උන්නැහේ කියන විදිහට මහානායකලාට පමනය. එහෙම කරන්ට ඇහැක් වන්නේ ඔන්න ඔය මොකද්දෝ සංගාදිකරන කියන අටමගලකින් නඩු අහලා වැරදි කාරයා උනොත් විතරක්ලුය .අපේ අබේ තුමා එහෙමත් කියා ඇත.

අද මේ ඊද් නිමාඩු දවසේ හීංවට එකක් එහෙම නමාගෙන ඉතා ගැබුරිං මේ නානෙගෙ පස්නෙ ගැන කල්පනා කොරන අල්ල පනල්ලෙහි මටද එක පාරටම හිතුනේ දෙයියෝම සාක්කි මේ අබේ කියන එක ඇත්ත නෙවෙන්නම්ය කියාය. ඒ හිතුවිල්ලත් එක්ක ආපු ආතල් එකට මම ඇති වීරියෙං මේසෙට ගහපු පාර තව ඩිංගෙන්නම් වක්කරගත්තු සොට් එකත් පෙරලෙනවාය. හොඳ වෙලාවට අසෝක වීදුරුව දෙපාරක් එහා මෙහාට වැනෙන කොට මම පැනලා අල්ල ගතිමිය.

ඉනික්බිතිව අබේගෙ කතාව ගැන තව දුරටත් කල්පනා සාගරයේ ඈත දියේ පීනාවිත් අනන්ත බාදක මැද සුවසේ වෙරලටද ඇවිත් වෙරලේ වැතිර තවදුරටත් කල්පනා කරද්දී මට මෙහෙමද කල්පනා විය. අබේ කියන්නේ ඇත්තම තමයිය. පත්තරේක හන්දුරුවෙක්ගෙ නමක් තිබ්බොත් ඒකෙ අගට මෙහෙම ටයිටල් එකක් වරදින්නේ එහෙමත් දවසකය. "කොණ්ඩකූරු කෝරලේ ගරු අදිකරන සංගනායක" "සියනෑ කෝරලයේ මාමයිට් ජනපදයේ ගරු උප අදිකරන සංගනායක" එහෙමත් නැත්තං "බිංතැන්නේ සීතල වන්නියේ කොහොඹාන කෝරලයේ ගරු අදිකරන සංග නායක"....

එහෙම මෙහෙම බලාගෙන ගියහම මේ දහං දිවයිනේ අදිකරන සන්ගනායක ගොල්ල වැහි වැහැලාය. "Bush football kicking one honorable justice priest coming out" ඒ කිව්වෙ පඳුරකට පයිං ගැහුවද ගරු අදිකරන සංගනායක කෙනෙක් එලියට විසිවෙනවාය කියන එකය. පයිං ගහනව කියන එකට පුට් බෝල් කිකිං කිව්වට සමාවෙන්ට ඕනය. මේ දවස්වල "පිපා 2018" ආතල් එකෙං මබ්බෝද වී සිටින සෙයින් ඉබේම නොහොත් ඕටොමැටිකලි පුට් බෝල් ගැන ලියවුනෙමි.

මේ ලියන්නේ පුවක් එෂැණිං හින්දා පඳුරු තැලිලි ඔට්ටු නැත. නොඑසේනම් මෙතනම මනරම් පඳුරු තැලිල්ලකට හේතු කාරනා ඇත. ඒ මොනවද කියනවානම් පිපා කියන්නේ කේට් මිඩ්ල්ටන්ගේ නංගීය. නොහොත් එංගලන්තේ ප්‍රින්ස් විලියොං ගොයියාගේ නෑනාය. පිපා ගැන ලියනවානම් ලියන්නට සෑහෙන දේවල් ඇත.

ඊලඟට මනරම් පඳුරු තැලිල්ලකට සුදුසු අනෙක් වචනය "මබ්බෝද" යන්නය. ඒ වනාහී නැසීගිය ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන් හඳුන්වා දුන් වචනයකි. "මෂ්නේ පුහ්" ඒ වනාහී ඔහු හඳුන්වා දුන් තවත් වචනයකි. අවාසනාව නම් අද දයාසේනයන් පිළිබඳව පඳුරු තැළිල්ලක් නොහොත් "බීටිං එබවුට් ද බුෂ්" එකක් කිරීමට නොහැකි වීමය. ඒ අද මම ලියනුයේ පුවක් එෂැණිං නිසාය. ඒ නිසා ඒ ගැනම ලිවිය යුතුය. රායිට් බෑක් ටු පුවක් එෂැණිං.....

ඉතිං අපේ ඇම්. අබේ ඔය සංගාදිකරන ගැන කියන එව්වා ඔක්කෝම ඇත්තය. ඒත් මිස්ටර් අබේස්ට සුට්ටක් මිස් පයර් එකක් ගියේ ඔය සංගාදිකරන කියන එව්ව තියෙන්නෙ සාදුල සාසනේ විනය කඩපුවාම ඒ ගැන තීන්දුවක් අරගෙන දඬුවම් දෙන්නටය. එහෙම නැතුව රටේ සම්මත අපරාධ නීතිය යටතේ වරදක් කලාම ඒ ගැන විබාග කරන්නට සංගාදිකරනයට බලයක් නැත්තේය.

ගිහියංගේ අදිකරන වලින් දඬුවම් ලබන එක සංගයාගේ ආත්ම ගහුරවේට කැලලක් නම් ප්‍රතිකර්මේ බොහොම පැහැදිලිය. ඉතාම පහසුය. එවන් අපරාධ නොකර හිටියාම හරිය. 

අනික නානෙ ඔය හා හා පුරා කියා කිරි කෝඩුවේ උසාවියකින් දඬුවම් ලැබුවාමත් නෙවේය. නකතං වෙන්ට ගසාලාපියා කණ සාක්කුවේ දාපියා ගෙන රිය පදවා කවුද මනුස්සයෙක්ද යටකලාය කියල අවුරුදු ගානකට පෙර උසාවියෙන් අච්චු කරපු ගොබිලෙක්ය අපේ මේ නානේ තුමා. එහෙම බලනකොට එතුමා ඇත්තටම නම් අයි. ආර්.සී. කාරයෙක්ය. (I.R.C. = Island Re-convicted Criminal)

මේ අතර ට්‍රයි නිකායික මහා සන්ගරට්නේ එකතුවී ඊයෙද කොහෙද කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ මහා සත්තිය ගිරහයක්ද පැවැත්තුවෝය. ඒ වනාහී වහාම ක්‍රියාත්මක වන පරිදි ඥාණේ එලියට දමන ලෙස ඉල්ලමිනි. 

උසාවියකිං දුන්නු අච්චුවකින් නිදහස් විය හැක්කේ ඊලඟ ඉහල උසාවියට ඇපීල් කිරීමෙන් පමනකි. නඩුකාරයින් සත්තිය ගිරහයට මහා සංගරට්නේ කීදෙනෙක් සහබාගී වූවාදැයි ගනං බලා අච්චු කාරයින් නිදහස් කරන්නේ නැත.

ඒ හින්දා මේ රැස්වූ චීවරදාරීන් ඉල්ලා සිටින්නේ ජනාදිපති සමාවකින් ඥාණේ එලියට දමන ලෙස විය යුතුය. අපේ සිරා ජනාදිපතිතුමා මේ දවස්වල ඉන්නේ දෙයියො පිස්සු එලවලා වගේය. ඒ නිසා එතුමා දඩස් ගා ඥාණේ එලියට දමන්ටත් බැරි නැත. හැබැයි බැරිවෙලාවත් එහෙම උනොත් මේ ඥාණේ ඇතුලට දැමීමෙන් ඉක්බිති අපේ රටට ලැබුනු යම් පිලිගැනීමක් තියේද ඒ සියල්ල ආයම නැති බංගස්තාන වෙලා යනවාය.

ඒ කියන්නේ මේ පහුගිය කාලයේ සී ලංකාව ගැන ජාතියන්තරේ තිබ්බෙ මෙහූ මතයක්ය. ඒ කොහොමද කියනවානම් ලංකාව වනාහී කහකඩක් උරෙස්ස වැහෙන්නට පොරවාගත් ඕනෑම උම්මත්තකයෙකුට ඕනෑම රස්තියාදුකාරයෙකුට ඕනෑම මොලේ කොලොප්පං කාරයෙකුට නිසි නින්දේ තම සිතැඟි පරිදි ඕනෑම නෙයියාඩගමක් නැටිය හැකි රටක් හැටියටය. පොලීසියත් දැක්කේ නැතුවා වගෙ අහක බලා සිටිති. ආන්ඩුවද එසේය. මෙතෙක් වැඩ සිද්ද වුනේ ඒ හැටියටය.

ඒ අනභියෝගීය බලයෙන් මත්වී ඥාණේ උසාවිය ඇතුලේද යකා නටන්නට ගොස් හත් පොලේ ගාගත්තේය. දැන් මේ ඥාණෙට දුන්නු අච්චුව නිසා යම්තමට සී ලංකාවේ නීතියේ පාලනයක් යම් තරමකට හෝ තියන බව ඔප්පු වී ඇත. ඒ තත්වය එහෙම්මම ඉස්සරහට ගෙන යා යුතුය. 

ඒ නිසා අපේ සිරා ලොක්කාට තියෙන්නේ මොන කහකඩයා ඇවිල්ල මොනව කිව්වත් කිසිම බුරුලක් නොදී ඉන්නා එකය. එතුමා පොළවෙං ද කොහෙන්ද මතුවූ මිනිහෙක් හින්දා චීවර දාරීන්ගෙන් බේරෙන්ටම අමාරුනම් ඥාණේ ජම්පරේ ඇඳගෙන ඉන්නා මාස හයක කාලය තුල ආයමත් පොළව යටට ගිහිල්ලා හිටියත් කමක් නැත.

*************************************

"නැඟනිය බිය නොවන්න මම ඔබට පිහිට වෙමි" - සැමියා අහිමිව වැලපෙන පටාචාරා අමතා බුදුන් වහන්සේ එසේ වදාළෝය.

"තොගෙ මිනිහ කොටියෙක්, තෝත් කොටි දෙනක්, තෝ ගිහිල්ල හිඟා කාපිය" - අතුරුදන්කල තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලූ සන්ධ්‍යා අමතා ශ්‍රී ලංකාවේ නූතන සඟරජ එසේ වදාළෝය.

සියළු ශ්‍රද්ධාවන්තයෝ නිවී සැනසෙත්වා!

Saturday, June 16, 2018

590. The Story Of My Marriage - 72 - Persuading Ananya's Mom To Sing With Hariharan & S.P.B. While Holding My Nose & Mouth Alternatively......


දර්ශීය තක්කාලි රසම් දීසියක් ඉහත ඡායාරූපයෙහි
දැක්වේ. Google Images

ඉතිං ඊලඟ මිනිත්තු දහය වගෙ කාලෙදි මම ආන්ටිට අපේ ප්‍රසංගය ගැන සම්පූර්ණ විස්තරයක් කලා. අපි ප්‍රසංගය පවත්වන්න හිතාගෙන ඉන්නෙ "Fisherman's Cove Resort" එකේ කියලත් කිව්ව. ඊලඟට අපේ ප්‍රධාන පෙලේ ගනුදෙනු කාරයො විදිහට ප්‍රසංගයට අපි ආරාධනා කරන්නට හිතාගෙන ඉන්න චෙන්නයිවල ප්‍රභූ පැලැන්තියෙ ධනවතුන්ගෙ නම් ලැයිස්තුවත් කියාගෙන ගියා. ආන්ටි තුස්නිම්බූත වෙල මගේ විස්තරේ අහගෙන හිටිය වචනයක්වත් කියන්නෙ නැතුව. මට හිතෙන්නෙ මනුස්සයට කොහොමවත්ම හිතාගන්න බැරිවෙන්න ඇති ඇයි මම මේ විස්තරේ එයාට කියන්නෙ කියල

"ඉතිං ආන්ටි අපේ කොන්සර්ට් එක පැය දෙකක් තියනව. අපි ගායක ගායිකාවො තුන් දෙනෙක්ට ආරාධනා කරන්න හිතාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට සිංදු කියන්න…."

එහෙම කියල මම එක එල්ලේ ආන්ටිගෙ මූණ දිහා බැලුව. "ඉතිං ආන්ටි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔයා…"

"මම?..." ආන්ටි කෑගැහුව කෑගැහිල්ලට මගෙ කන්දෙක අගුල් වැටුන වගේ උනා.

"ඔව් ආන්ටි මම අපේ කොන්සට් සංවිධායක මණ්ඩලේ අනුමැතියත් අරන් තියෙන්නෙ. ආන්ටි එන්න ඕන එදාට තුන්වෙනි ගායිකාව විදිහට…"

"අපොයි ක්‍රිෂ් මම ඇවිල්ලා ශාස්ත්‍රීය සංගීතයනෙ ඉගෙන ගෙන තියෙන්නෙ. අනික මම කවදාවත් ඔය වගෙ කොන්සට් එකක සිංදු කියල නෑ. අඩුම ගානෙ ඉස්කෝලෙ යන කාලෙවත්. ඔය කොන්සර්ට් වල කට්ටිය කියන ජනප්‍රිය රැල්ලෙ සිංදු මම දන්නෙත් නෑ. මගෙ එව්ව ගැන කිසිම කැමැත්තකුත් නෑ..." ආන්ටි එක දිගට කියවාගෙන ගියා.

"හරි හරි ආන්ටි එක පාරට කලබල වෙන්ට ඕන නෑනෙ. ඔය ජනප්‍රිය රැල්ලෙ ගීත කියන එක ඒ කිව්වෙ පොප් මියුසික් කියන එක ඒ හැටි මහ අමාරු දෙයක් නෙවෙයි. කොහොමත් ආන්ටි වොයිස් ට්‍රේනින් කරලනෙ තියෙන්නෙ පොඩි කාලෙ ඉඳලම. ඒ හින්ද ඔය පොප් මියුසික් කොහොමවත් අමාරුවෙන එකක් නෑ. බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ."

"මොකක්ද ඒ?"

"M.T.V. චැනල් එක දාගන්ට රූපවාහිනිය ඔන් කරල. මේ සතියෙ පොප් චාර්ට් එකේ උඩින්ම තියෙන සිංදු හයක් බලල පාඩම් කරගන්න. කොලිවුඩ් සිංදු තුනයි, බොලිවුඩ් සිංදු තුනයි. එච්චරයි. වැඩේ ඉවරයි…"

"හරි ඉතිං ඇයි මාවම තෝරගත්තෙ?" ආන්ටි ඇහැව්ව.

"මම ඇත්තම කියන්නම්කො ආන්ටි. අපිට සල්ලි ප්‍රශ්ණයක් වෙලා තියනව. වෙන්කරල තියන මුදල් ප්‍රමාණයෙ විදිහට ජනප්‍රිය සහ ප්‍රසිද්ධ දෙන්නයි ගෙන්නන්ඩ පුලුවන්. ඉතිං මගෙ බොස් කරපු වැඩේ තුන්වෙනි ගායකයා හෝ ගායිකාව හොයාගන්න එක මට බාර දුන්න. මම මෙහෙම කිව්වට ආන්ටි කොයිම විදිහකින්වත් හිතන්න එපා අපි මේ වෙන කවුරුවත් නැති හින්දම ආන්ටිට එන්න කියනවයි කියල. ඇත්තටම එහෙම නෙවෙයි. මම එක පාරටම අපේ බොස්ට කිව්ව හරි මම දන්නව මේ වැඩේට සුදුසුම පුද්ගලය කියල. ඒ පාර මම විස්තර කිව්වම බොසුත් කැමති වුනා. ඒ හින්ද අනේ ආන්ටි බෑ බෑ කියල මේ වෙලාවෙ මාව අමාරුවේ දාන්ට එහෙම එපා හොඳද?"

"කවුද අනික් දෙන්න?" ආන්ටි ටිකක් විතර සන්සුන් හඬින් ඇහුව.

මට හිතෙන්නෙ මගෙ ලෙක්චර් එක වැඩ කරල වගෙ.ආන්ටි සන්සුන් වෙලා. 

"අනික් දෙන්න ටිකක් විතර ප්‍රසිද්ධ අය. අන්න ඒ හින්දමයි අපි හිතුවෙ තුන්වෙනි ගායකය හෝ ගායිකාව ආධුනික කෙනෙක් වෙන්න ඕනය කියල. මේ මේ..නිකම්..මේ ෆ්‍රෙෂ් වොයිස් එකක්. එතකොට ටිකක් බැලන්ස් එකක් තියනවනෙ. නේද ආන්ටි?"

"හරි හරි ඒ ඔක්කොම ඇත්ත කියමුකො. මට කියන්නකො කවුද අනික් ගායකයො දෙන්න?"

"එක්කෙනෙක් හරිහරන්….අනික් එක්කෙනා එස්.පී. බාලසුබ්‍රමනියම්"

ආන්ටිගෙ කට බාගෙට ඇරුන. හොල්මන් පෝලිමක් එක දිගටම දැක්ක ගානට මාදිහා ඇසිපිය නොහෙලා ටික වෙලාවක් බලාහිටිය ආන්ටි දණිහට අත තියල අමාරුවෙන් වගෙ නැඟිටල ඉක්මන් ගමනින් කුස්සියට ගියා. මමත් ඇය පස්සෙන්ම ගියා.

"ආන්ටි...ආන්ටි...Please listen to me Aunty..මේක මේ ආන්ටි හිතන තරම් මහ බැරෑරුම් ප්‍රශ්ණයක් නෙවෙයි. හරි හරි..හරිහරනුයි එස්.පී.බී.යි කියන්නෙ බොහොම ප්‍රසිද්ධ අය තමයි. ඒත් මේක ගායනා තරඟයක් නෙවෙයිනෙ. නිකම් මේ කොන්සර්ට් එකක්. කොන්සර්ට් එකකට මිනිස්සු එන්නෙ ගායක ගායිකාවො විනිශ්චය කරන්න නෙවෙයිනෙ. සිංදුවක් දෙකක් අහල විනෝද වෙන්න. එතන තියෙන්නෙ එච්චරයි. ඒ හින්ද මෙතන ලොකුවට කලබල වෙන්න දෙයක් ඇත්තෙම නෑ."

මම දිගටම කියවගෙන ගියා. ආන්ටි මගෙ වචන නෑහුනා වගෙ පැතලි ෆ්‍රයිං පෑන් එකක් ලිප උඩ තියල වටපිට බැලුව. මම එතනම ෆ්‍රිජ් එක උඩ තිබ්බ දිග ගෑස් ලයිටර් එක අරගෙන ඇයට දුන්න. ආන්ටි ගෑස් ලිප පත්තු කලා.

ඈ රාක්කෙන් එළවළු තෙල් බෝතලේ අරගෙන ෆ්‍රයිං පෑන් එකේ අඩිය වැහෙන්න වත් කලා. තෙල් ගාණකට රත් උනාට පස්සෙ දකුණතේ ඇඟිලි තුනකින් අබ ටිකක් අරගෙන තෙල් උඩ විසුරුවල දැම්ම. ඒකටම කරපිංචා කොළ හත අටකුත් දැම්ම. අබයි කරපිංචයි උණු තෙලේ බැදෙන කටුක ගන්ධය කුස්සිය පුරාම පැතිරිල ගියේ සැණෙකින්. මම දකුණතින් කට වහගෙන දෙපාරක් හෙමීට කැස්සා.

අබයි කරපිංචයි ගානකට බැදෙනකොට ඈ තෙල් හැන්දත් උරුක් කරගෙන මගෙ දිහාට හැරුන. රත් වෙච්චි තෙල් හැන්දෙන් මට අනියිවත්ද කියල හිතල මම කෝකටත් අඩියක් දෙකක් විතර පස්සට උනා.

"ළමයා මේ අහන්න. මේක තමයි මම හොඳට දන්න දේ.... උයන එක. මම දවසම කරන්නෙත් ඒක. මම ඒ වැඩේට එක්ස්පර්ට් කෙනෙක්. ඒත් මම ස්ටේජ් එකෙක සිංදු කියන්න හැකියාවක් තියෙන ගායිකාවක් නෙවෙයි. මම සිංදු කියනව තමයි. ඒ ශාස්ත්‍රීය ගීත. ආධුනික මට්ටමින්. හරිහරන්, එස්.පී.බී. කියන්නෙ මේ රටේම විතරක් නෙවෙයි මුලු ලෝකෙම ප්‍රසිද්ධ ගායකයො. මම ඒ වගෙ අය එක්ක එක මේසෙ ඉඳගෙන ඉන්නවත් සුදුසුයි කියල මම හිතන්නෙ නෑ. ඉතිං එහෙම තියෙද්දි ඔයා මට කියනව එයාල දෙන්න එක්ක එකට ස්ටේජ් එකේ සිංදු කියන්නෙයි කියල. ඒක කොහොමවත්ම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..මට බෑ...මා එක්ක තරහ වෙන්න නම් එපා....."

"හරි හරි ආන්ටි. මම කලින්ම කිව්වනෙ කලබල වෙන්න එපාය කියල...මේක මේ තරඟයක් නෙවෙයිනෙ. තනිකරම විනෝදෙට කරන දෙයක්...අනික ඒ දෙන්න සිංදු කියන්නෙ ආන්ටි කිව්වට පස්සෙ….."

කිසි කිසි ගාල ලොකු ලූණු ලියන ගමන් ආන්ටි ඒ පැත්ත නොබලම කැපෙන කැපෙන ලූණු ප්‍රයිං පෑන් විසි කලා. චාස් චෝස් ගාල ලූණුත් අබයි කරපිංචයි එක්ක එකතුවෙලා බැදෙන්න ගත්ත. විසිවෙච්චි උණු තෙල් බිංදුවක් මගෙ වමතෙ මැණික්කටුව දිහාට වැටුන. මම දකුණතේ දබරැඟිල්ලෙන් තෙල් බිංදුව වැටුන තැන පිරිමැදගත්ත. ලූණු බැදෙන සැර සුවඳෙන් මගේ ඇස් දෙකත් එක්ක දන්ඩ ගත්ත. මම ටික වෙලාවක් තදින් ඇස් දෙක පියාගෙන හිටිය.

"ආන්ටි...මට මේක කියන්න...කවදාවත්ම ආන්ටි ස්ටේජ් එකක සිංදු කියලම නැද්ද?"

"නෑ...ම්ම්ම්..නෑ කියන්නමත් බෑ ඇත්තටම කල්පනා කරල බැලුවොත්. අංකල් ඔය රට පුරාම තැන් තැන්වල වැඩ කරපු කාලෙ..ඔය හැම තැනම තියනවනෙ ටැමිල් සංගම් කියල. ඒ ටැමිල් සංගම් ඉවෙන්ට්ස්වල නම් මම සිංදු කියල තියනව. ඒත් මේ ඔයා කියන එක එව්වයින් සම්පූර්ණයෙන්ම වෙනස්නෙ ක්‍රිෂ්, තරු පහේ හෝටලයක්...කෝටිපතියො ලක්ෂපතියො ඕඩියන්ස් එකේ. ඒ මදිවට හරිරනුයි එස්.පී.බී.යි...අනික මට තවම තේරෙන්නෙ නැත්තෙ ඒ වගෙ ප්‍රසිද්ධ දෙන්නෙක් ඉන්දැද්දි මාව මොකටද කියන එක..."

"දැන් මෙහෙමනෙ ආන්ටි…………"

තවම ලූණු බැදිච්චි සුවඳ කුස්සියෙ කැරකෙනව. මම කතාකලේ සැරින් සැරේ නහය මිරිකා ගමිනින්.

"ඒ දෙන්න සුපිරි ගණයේ වෘත්තීය ගායකයො. ප්‍රොෆෙෂනල්ස්ල. එයාල විතරක් හිටියොත් මේ ඉවෙන්ට් එක නිකම් තනිකර කොමර්ෂල් වෙනව. අපිට ඕන වෙන්නෙ මෙතන නිකං අපේ ක්ලයන්ට්ස්ලට තමන්ගෙ පපුවට දැනෙන, හදවතට සමීප මට්ටමේ එවෙන්ට් එකක් කරන්න. නිකම් මේ පොඩි කැෂුවල් ගතියක් වගෙ. අර ගාම්භීර මට්ටමින් පොඩ්ඩක් පල්ලෙහාට එන්න...."

මම කියන එව්ව තර්කානුකූලද මොකද කියල මම හිතුවෙ නෑ. ඔහේ කටට එන එක කියවගෙන ගියා. බලාගෙන යනකොට පොඩි තර්කානුකූල ගතියකුත් තියනව වගෙ නේද? මට මා ගැනම පොඩි ආඩම්බරයක් වගෙත් හිතුන.

ම්හු..ඒ මගෙ තර්කානුකූල කරුණු පැහැදිලි කීරිමට ආන්ටි එකඟ වුනේ නෑ. ඈ තොල තදින් පියාගෙන ඔලුව තිරස් අතට හොල්ලමින් මම ඉදිරිපත්කරන කරුණු වලට තමන් එකඟ නොවන බව අභිනයෙන් දක්වමින් ඉවුම් පිහුම් කටයුතු නොනවත්වා කරගෙන ගියා.

ඈ ලෙමන් රයිස්, තක්කාලි රසම් සහ බින්දි බැදුමකින් (බින්දි කියන්නෙ බණ්ඩක්කා) සමන්විත ආහාර වේලක් උයා පිහා අහවර කරන තුරුම මම වරින්වර නාසය සහ කට වසා ගනිමින් කුස්සියේ ඇය අසලම රැඳී සිටිමින් අපේ කොන්සර්ට් එකේ තුන්වන ගායිකාව වශයෙන් වේදිකාවට නැඟීමට ඇය පොළඹවා ගන්න උත්සාහ කලා.

"ඇයි ඔය ළමයා මෙහෙම මට බල කරන්නෙ?"

අන්තිමට ඇය ඇහුව. 

"මම කිව්වනෙ ඔයාගෙ සමාව ඉල්ලීම මම පිළිගත්තයි කියල. ආයම ඒ ගැන කරදර වෙන්න එපා…"

"නෑ ආන්ටි වරදවා වටහා ගන්න එපා. මම මෙහෙම කරන්නෙ ඒ හින්ද නෙවෙයි."

"එහෙනං?" 

ඇය ඇහුවෙ ප්ලාස්ටික් පිඟන් වලින් උයපුව ආවරණය කරමින්.

"මම මෙහෙම කරන්නෙ අන්ටි ඇත්තටම දක්ෂ ගායිකාවක් කියල මට හිතෙන හින්ද.."

"ඔයා කොහොමද ඒක දන්නෙ?"

"අනන්‍යා මට කිව්වෙ. අනන්‍යා ඒ එක්කම කිව්ව එයාගෙ අම්ම මුලු ජීවිතේම කැපකලේ සංගීතයට ඒ එක්කම අම්ම ඇත්තටම දක්ෂයි කියලත් කිව්ව. මට අනන්‍යා විශ්වාසයි ආන්ටි.."

ඇය ඇසිපිය නොහෙලා මිනිත්තුවක් විතර මගෙ දිහා බලාගෙන හිටිය. ඇගෙ ඇස්වල යම්තමට කඳුලු බිඳුවක් වගෙ දෙයක් දිලිසෙනවත් මම දැක්ක.

"ස්ටේජ් එකකට නැඟල සිංදුවක් කියන්න, අහගෙන ඉන්න මිනිස්සු අත්පොලසන් දෙනව අහන්න ආන්ටිගෙ හිතෙත් කොණක හරි පොඩි හැංගිච්ච ආසාවක් නැත්තෙමත් නෑ නේද?"

ආන්ටි පස්සෙන් ආපහු සාලෙට එද්දි මම එහෙම ඇහුව.

ඈ ආයෙම අපි කලින් ඉඳගෙන හිටපු සෝපාවෙ ඉඳගෙන මගෙ පැත්තට හැරුන. 

"ඇත්තටම මම ආසයි. එහෙම අවස්ථාවක් ලැබෙන එකත් ලොකු ගෞරවයක්. ඒත් මම හිතන්නෙ නෑ මට එහෙම දෙයක් කරගන්න පුලුවන් වේවිය කියල…."

"එක පාරටම බෑ කියන්න එපා ආන්ටි. මම කියන්නද? අපි මේක සර්ප්‍රයිස් එකක් විදිහට තියාගමු. අපි අංකල්ට නොකියා ඉමු. ආන්ටි කියනවනම් මම අනන්‍යාටත් නොකියා ඉන්නම්…."

අපි ඉස්සරහ තිබ්බ කැබිනට් එකේ එදා අංකලුයි මායි බිව්ව ෂිවාස් රීගල් එක බැබලි බැබලි තිබ්බ. ඒකෙ විස්කි මට්ටම එදා අපි නතර කරපු තැනින් පොඩ්ඩක්වත් පහළට ගිහිල්ල තිබ්බෙ නෑ.

"හරි අපි මෙහෙම එකඟ තාවයකට එමු. මොකද කියන්නෙ? ආන්ටි දැනට කැමතියි කියල කියන්නකො. අංකලුයි අනන්‍යයි ගෙදර නැතිවෙලාවට ආන්ටි අර මම කියපු විදිහට සිංදු හත අටක් පුරුදු වෙන්න. ඒක ඔයාට කොහොමවත්ම අමාරු වෙන එකක් නෑ. අනික දවල් දවසෙ අංකලුයි අනන්‍යයි කොහොමත් ගෙදර නැති හින්ද ආන්ටිට ප්‍රැක්ටිස් වෙන්න ඕන තරම් වෙලාව තියනව..."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ආන්ටිට බෑ කියල හිතෙනව නම් කොන්සර්ට් එකට කලින් දවසෙ මට කියන්න. මම මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්නම්. එහෙම අවුලක් නැත්නම් ආන්ටි එදාට සිංදු කියන්න. මොකද කියන්නෙ? කැමතියිනේ?"

"අද හා කිව්වත් මම දන්නව අන්තිම දවස වෙනකොට මම බෑ කියයි"

"හරි හරි අපි ඒක එදාට බලාගනිමුකො. ප්ලීස් ආන්ටි say yes.."

ආන්ටි තව මිනිත්තුවක් විතර කල්පනා කරල ආයෙම ඔලුව හෙල්ලුව. ඒත් මේ පාර තිරස් අතර නෙවෙයි සිරස් අතට. ඒ කියන්නෙ මම කැමතියි කියන එක.....

මම දඩස් ගාල සෝපාවෙන් නැඟිට්ට.

"ඕකේ..දැට්ස් ඩිසයිඩඩ් නව්..ආන්ටි දැන්මම ප්‍රැක්ටිස් පටන් ගන්න"

මම රිමෝට් එක අරගෙන ටී.වී. එක ක්‍රියාත්මක කරල M.T.V. චැනල් එක දැම්ම. 

"මේ මොනවද මේ?" ආන්ටි බයවෙලා වගෙ ඇහුව. 

ටී.වී. එකේ පුළුල් තිරේ පුරා පෙන්නුවෙ හොඳ පුෂ්ටිමත් ශරීරවලින් යුතු අඩ නිරුවත් දකුණු ඉන්දියානු යුවතියන් අඩුම ගණනෙ දෙතුන් සීයක්වත් චීන මහා ප්‍රාකාරය මත උඩ පැන පැන නර්තනයේ යෙදෙන දර්ශනයක්. ආන්ටි තුස්නිම්බූත වෙලා ඉන්දැද්දි මම සවුන්ඩ් එකත් ටිකක් වැඩි කලා. 

"හරි එහෙනම් ආන්ටි දැනට ඔය කියන සිංදුව පුරුදු වෙන්නකො. මම ආපහු වැඩට යනව."

අනන්‍යාලගෙ ගේට්ටුව වහල මම "Yes, I did it…" කියල කෑගහල, උඩ පැනල අත මිට මොලවල ගේට්ටුවට පාරක් ගැහුව. 

පාරෙ යන අවුරුදු හත අටක වගෙ කොල්ලො කෙල්ලො රංචුවක් මාව කන්ට වගෙ බලා ඉඳල මහ හයියෙන් හිනාවීගෙන පාර දිගේ දුවන්ට ගත්ත.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...