Thursday, June 7, 2018

587. The Story Of My Marriage - 71 - Mysore Pak, Snakelet Fossils & "Me?....You gotta be kidding?" Said Ananya's Mom….


ග්‍රෑන්ඩ් ස්වීට්ස් ඇන්ඩ් ස්නැක්ස් වෙළඳසල.....

"ආන්ටී..මම පොඩ්ඩක් ඇතුලට එන්නද?" මම හිනාවෙලා ඇහුව.

අනන්‍යාගෙ අම්ම ඉස්සරහ දොර බාගෙට ඇරල ඒ පිටිපස්සෙ ඉඳං මා දිහා බලාගෙන හිටිය. ඇගේ ඇස් දෙකේ තිබ්බෙ නිදිමත ගතියක්. ඈ ඇඳල හිටියෙ දෙපතුල් දක්වා වැහෙන දිග නයිටියක්. ඒකෙ ආය කතා දෙකක් නෑ. ආන්ටි නිදාගෙන ඉඳල තියෙන්නෙ. මම බෙල් එක ගහපු සද්දෙටයි ඇහැරල තියෙන්නෙ.

මම දොළහමාරට විතර ඔෆිස් එකෙන් ආවෙ මගෙ සෙක්ෂන් එකේ ගෝලයින්ට මම බිස්නස් ලන්ච් එකකට යනව, එන්ඩ පැය දෙක තුනක් යයි කියල දැනුම් දීල. බාලා උදේ ඉඳලම ඔෆිස් එකේ හිටියෙ නෑ. කොහෙ ගිහිල්ලද මන්ද. ඔය මනුස්සය ඔහොම ඔෆිස් එකේ නැතිවෙන්නෙ බොහොම කලාතුරකිං. කොයිවෙලෙත් ඉබ්බ කටුව අස්සට රිංග ගත්ත වගෙ ඔෆිස් එකේමයි.

අනන්‍යාලගෙ ගෙදරට එන අතරමඟ මම "ග්‍රෑන්ඩ් ස්වීට්ස් ඇන්ඩ් ස්නැක්ස්" එකෙන් ගත්ත මයිසෝර් පක් කිලෝ දෙකක්. මයිසෝර් පක් කියන්නෙ චෙන්නයිවල විතරක් නෙවෙයි මුලු දකුණු ඉන්දියාවෙම බොහොම ප්‍රසිද්ධ රස කැවිල්ලක්.

පරිවර්තකගේ සටහන - මෙතන පල්ලෙහ මම දානව මයිසෝර් පක් හදාගන්න විදිහ නොහොත් රෙසිපි එක ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. පහුගිය පෝස්ට් එකට කමෙන්ට් එකක් දාල අපේ සොඳුරු සඳවතී මැඩම් කියල තිබ්බ එයයිගෙ සත්තලං ගොයිය බ්ලොග් ලියන සහ කියවන හැමෝම නිර්වචනය කරන්නෙ "උං ඔක්කොම අන්ද කයිප්පු කාල ඉන්නෙ".... අන්න එහෙමලු. 

ඒ කමෙන්ට් එකට පිලිතුරක් විදිහට අපේ සිත්තමී නෝන මහත්තෙය කියල තිබ්බ එයයිගෙ සිත්තර තෙමේත් ඊට දෙවෙනි නැහැය කියල. ඉතිං මම මේ රෙසිපි වීඩියෝ එක දාන්නෙ ඒ දෙන්නට උදව්වක් වසයෙන්. ඔය නිවාඩු වෙලාවක මේ රෙසිපි එක බලල බොලාගෙ ඔය සත්තලංලටයි සිත්තරාලටයි මයිසූර් පක් හදල දීහල්ල. ඔය පිරිමි බහුතරයක් පැණිරහ කන්ට මරුවො. 

මතක ඇතුව කියාපල්ල ඔව්ව හැදුවෙ බ්ලොග් එකක තිබ්බ රෙසිපි එකක් බලාගෙනය කියල. ෂුවර් ඔය සත්තලංලගෙයි සිත්තරාලගෙයි ඔය බ්ලොග් ලියන ගොබිලො සහ ගොබිලියො අරභයා තියන දුර්මත හිරු දුටු පිණිබිඳු ලෙස පහවෙනව. 

බ්ලොග් ලියන්නන් කෙරෙහි පොදු මහජනයා තුල ඇති සාවද්‍ය ආකල්ප දුරු කරනු උදෙසා සමාජ සත්කාර්යයක් ලෙස මවිසින් පළ කරන ලද්දකි.



ආන්ටි දොර සම්පූර්ණයෙන්ම විවර කලා. මම ඇය පසුපසින් සාලයට ඇතුල් වුනා. 

"විනාඩියක් ඉන්න...මම එන්නම්" 

ඇය එහෙම කියල මම හිතන්නෙ ඇඳුම් මාරු කරගන්න ගේ ඇතුලට ගියා. මම සාලෙ සෝපාවෙ වාඩිවෙලා "ද හින්දු" පත්තරේ අරගෙන උඩින් පල්ලෙන් කියවන්ට ගත්ත.

ආන්ටි ඇඳුම් මාරු කරල ආපහු ඇවිල්ල මගේ ඉස්සරහ ඉඳගත්ත. 

"අංකල් ආවද?" මම ඇහුව.

"ඔව්..ඊයෙ හවස ආව. ඒත් අච්චර ගමන් මහන්සියකුත් තියෙද්දි අද ඔන්න වැඩට ගියා යන්නම ඕනෙයි කියල…"

"ආන්ටි නිදාගෙන නේද හිටියෙ? සමාවෙන්න නින්ද කැඩුවට…" මම එහෙම කියල මයිසෝර් පක් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටිය ඇයට දුන්න. 

"මේ මොනවද?"

"මේ මයිසෝර් පක් වගයක්...පෙරෙයිද රෑ ඩිනර් එක වෙලාවෙ සිද්ද වෙච්චි මොනවම හරි දේකින් ආන්ටිගෙ හිත රිදුනනම් සමාවෙන්න…"

ආන්ටි කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටිය.

"අනික් එක අර රත්නා ස්ටෝර්ස් එකේ වෙච්චි දේ ගැනත් මම කියන්න ඕන. මම ආන්ටිට සහතික කරල කියන්නම්. කිසිම නරක දෙයක් එතන සිද්ද වුනේ නෑ"

ආන්ටි දකුණතින් සංඥාවක් කලා ඒ ගැන කරදර වෙන්න එපා කියනව වගේ.

"චිත්‍රා ගැන මම දන්නව. හරිම ඊරිසියාකාරි. ඒත් ප්‍රශ්නෙ මේ වෙනකොට ඔය අම්මණ්ඩි මේ මුලු මයිලපෝර් වලම ගෙයක් ගෙයක් ගානෙ ගිහිල්ල ඔය විස්තරේ එක හත කරල කියල ඇති."

"මට තේරෙනව ආන්ටි. දිල්ලියෙ අපේ ගෙවල් අහල පහලත් ඔය වගෙ අය හරියට ඉන්නව. අනික් අය කරන කියන දේවල් ගැන හොයා බලන එක ඇරෙන්න එයාලට වෙන වැඩක් ඇත්තෙම නෑ."

මම කතාකරමින් ඉද්දිම ආන්ටි නැඟිටල කුස්සියට ගියා මම හිතන්නෙ රසකැවිලි පෙට්ටිය ශීතකරණෙ දාල එන්න වෙන්න ඇති. ඈ ආපහු ආවෙ රිදීපාට බන්දේසියක තියල වතුර වීදුරුවකුයි අර ඕනම දමිළ ගෙදරක විසිහතර පැයේම වරදින්නෙ නැති අර මම කලින් කිව්ව මෙලෝ රහක් නැති කෑම වර්ගය දාපු පිඟානකුයි තියාගෙන. මට එව්ව දකින කොට මතක් වෙන්නෙම දුඹුරු පාටට දඟර ගහගත්තු ගමන් ඉන්න පොසිලකරණය වෙච්චි පොඩි නයි පැටව්.

වෙන මොනව කරන්නද? මම හෙමිහිට ෆොසිලයිස්ඩ් ස්නේක්ලට් කෙනෙක් අතට ගත්ත. හොරැහින් ආන්ටි දිහා බලනකොට එයා මා දිහාම බලා ඉන්නව හරියට මම පොසිල නයි පැටියව කයිද නැද්ද කියල ෂුවර් කරගන්ට වගේ. ඉතිං වෙන අහවල් දෙයක් කරන්ටද? මම පොසිලෙ ඉස්සරහ දත් හතරට තියල හැපුව. හැපුව තමයි....තව අනූනමයයි තුන්කාලෙන් මට දත් දෙක තුනකුත් අහිමි වෙනව නිකං නිස්කාරනේ...... එච්චර සවි සක්තිමත් ඒ පොසිල නයි පැටව්. කෑමක් සක්තිමත් වෙලා වැඩක් තියෙන්නෙ කාටද? අනික මේ ලෝකෙ රහක් නෑ. අහවල් දේකට මේ මිනිස්සු මෙව්ව කනවද කියල ඒ මිනිස්සුන්ගෙ ඔය කෝටියක් විතර ඉන්න දෙයියොන්ගෙන්ම තමයි අහන්න තියෙන්නෙ...

මම කලේ හෙමීට පොසිලෙ කටෙන් එළිය ගත්ත අතේ හංගගෙන. ඊට පස්සෙ බොරුවට හපනව වගෙ ආන්ටිට පේන්න හකු පාඩා ක්‍රියාත්මක කෙරෙව්ව. වෙන අහවල් දෙයක් කියල කරන්නද අහිංසක මම? ආන්ටි ෂේප් කරගන්ටත් ඕන. ඒ අස්සෙ දත් කුට්ටම බේරගන්ටත් එපාය. 

මම හකුපාඩා ක්‍රියාත්මක කරවමින් සහ ආන්ටි බිම බලා සිටිමින් ගතවූ මිනිත්තු කීපයකින් පස්සෙ මම ආයම කතා කලා.

"මට ආන්ටිට පොඩි බඩුවක් පෙන්නන්න තියනව…." මම එහෙම කියල මගෙ ඔෆිස් බෑග් එක ඇරල අර කර්ණාටක සංගීත සී.ඩී. ආන්ටිගෙ අතට දුන්න.

"ටී.එස්. සුබ්‍රමානියම්?...." ආන්ටි සී.ඩී. කවරෙ තිබ්බ නම කියවල ඇස් පුංචි කරගෙන ප්‍රශ්ණාර්ථ බැල්මකින් මා දිහා බැලුව....."කාගෙද මෙව්ව?"

"මගේ..... මගේ කියන්නෙ... මම ගත්ත.."

"මොකක්?....ගත්ත?...සල්ලි දීල?….ඒ අහවල් දේකටද?"

"මෙහෙමයි ආන්ටි..මම උත්සාහ කරන්නෙ ඇත්තම කිව්වොත් කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න. ඒත් ඇත්තම කිව්වොත් වැඩේ ටිකක් විතර අමාරුයි. ඔය එක එක ජාතියෙ ස්වර රාග එහෙම මහ ගොඩක් තියනවනෙ..ඒ ඔක්කොමත් හරි ශ්‍රැති..අප්පෝ ඔලුව නරක් වෙනව.."

"ශ්‍රැති? ඔයා ශ්‍රැති ගැන දන්නවද?" ආන්ටි කිව්වෙ හුස්මත් නොගෙනද කොහෙද…

"පොඩ්ඩක් විතර ඉගෙන ගත්ත මේ දවස් කීපය ඇතුලත. ඒත් මම ආන්ටි වගෙ විශාරද කෙනෙක් නම් නෙවෙයි.."

සෝපාහාසාත්මක සිනාවකින් යුතුව ආන්ටි සී.ඩී. මගෙ අතට ආපහු දුන්න. 

"මොන විශාරදද ළමයො? මේ චෙන්නයිවලදි මම නිකම්ම නිකං ආධුනිකයෙක්. අර ඔයාලට රත්නා ස්ටෝර්ස් එකේදි මුණ ගැහුනෙ..චිත්‍රා..අන්න ඒ චිත්‍රත් මට වැඩිය දක්ෂයි ඔන්න කොටිම්ම කිව්වොත්…."

"මොන විකාර කතාවක්ද ඒ? කිව්වට තරහ වෙන්න එපා ආන්ටි මම නම් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ එක මොහොතකටවත්…" මම ස්ථිරසාර හඬින් කියා සිටියා.

ආන්ටි මගෙ බිරුසන්දීම නෑහුනා වගෙ කතාකරගෙන ගියා.

"ඔය චිත්‍රා මට වැඩිය දක්ෂ වෙන්න එක හේතුවකුත් තියනව. චෙන්නයි වල කචේරි ඔක්කොම පාලනය වෙන්නෙ නගර සභාවෙන්. අනික කචේරි පවත්වනතැන් පාලනය වෙන්නෙත් නගර සභාවෙන් පත්කරපු නිලධාරියෙක් යටතෙ. ඔය චිත්‍රගෙ තියනව ඒ නිලධාරිය එක්ක ලොකු ගණුදෙනුවක්. ඒ මනුස්සය තමයි අපේ මේ ගුරුජීට කියල තියෙන්නෙ චිත්‍රට සංගීතෙ පුහුණු කරන්නෙයි කියල. කචේරි සම්බන්ධව ඒ මනුස්සයට තියෙන බලතල හින්දම ගුරුජීට ඒකට කැමතිවෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබිල නෑ.......බලන්නකො චිත්‍රා මේ වගෙ කැත තුච්ඡ වැඩක් කරයි කියල හිතාගන්නවත් පුලුවන්ද? "

"බෑනෙ කොහොමවත්ම බෑ.." මම හිස සොලවමින් පැවසූයෙමි.

(සටහන :- මම මෙතන පොඩි පැහැදිලි කීරිමක් කලානම් හොඳයි කියල හිතුන. පැහැදිලි කිරීමක්ය කියල කිව්වෙ කචේරි කියන්නෙ මොකක්ද කියල. කචේරි කියල කියනවයි කියන්නෙ කර්ණාටක සංගීතවේදීන්ගෙ රැස්වීමකට එහෙම නැත්නම් කර්ණාටක සංගීත ප්‍රසංගයකට. රැස්වීමක් වගෙ අර්ථයකුත් ඒ වචනෙ තියන හින්ද ලංකාවෙ කච්චේරිය කියන වචනෙ මූලාරම්භයත් ඔය කචේරි කියන වචනෙද කියල මට හිතෙනව. අනික් කාරණේ දිසාවක් පාලනය කරන රජයේ පාලන කාර්යාලවලට කච්චේරි කියල කියන්නෙ ලංකාවෙ විතරලු. වචනෙ දෙමළ උනාට දකුණු ඉන්දියාවෙවත් එහෙම වචනයක් භාවිතා වෙලා නෑ කියල තමයි කියන්නෙ.

ආ...තව එකක්..මෙතන ගුරුජී කියල කිව්වෙ අනන්‍යාගෙ අම්ම සංගීතය ඉගෙන ගන්න හිතාගෙන හිටපු ගුරුවරය. අර අම්මගෙ දැනුම මදියි කියල උගන්නන්ට බෑ කියල දමල ගහල ගියේ අන්න ඒ මනුස්සය. අර මම ඉස් ඉස්සෙල්ලම අනන්‍යාලගෙ ගෙදර ගිය දවසෙ එහෙ හිටපු වයසක ලොක්කා. මම එදා හිතුවෙ ඒ මනුස්සය අනන්‍යාගෙ මුත්තයි කියලනෙ..ආන්න....දැන් මතකයිනෙ...That's Guruji for you my dear readers ....)

"ඉතිං ආන්ටි ඔය ගුරුජී විතරක් නෙවෙයිනෙ මේ චෙන්නයිවල ඉන්නෙ... තව හොඳ අය ඇතිනෙ.."

"ඉන්නව ඉන්නව මොකෝ නැතුව. අපි බලමුකො....ඒ කොහොම උනත් මට නම් දැන් සංගීතෙම එපාම එපා වෙලයි තියෙන්නෙ.."

"එහෙම එක පාරට කලකිරෙන්නෙ එපා ආන්ටි.."

"හරි හරි ඒ ගැන කතාකලා දැන් ඇති..ආ...මම පෙරේද ඩිනර් එක වෙලාවෙ හැසිරුන විදිහ ඇත්තටම හරි මදි... මට සමාවෙන්න.."

"අනේ නෑ ආන්ටි මේ ඇත්තමයි මම කියන්නෙ..ආන්ටි සමාව ඉල්ලන්න තරම් වරදක් කලේ නැහැ එතන. මම මේ ආවෙ ආන්ටිගෙන් සමාව ඉල්ලන්න.."

"හරි හරි ඒක අමතක කරල දාන්න.." ආන්ටි කිව්ව.. 

"ආන්ටි සමාව ඉල්ලනවත් එක්කම පොඩි ඉල්ලීමකුත් කරන්නයි ඇත්තම කිව්වොත් මම මේ ආවෙ…"

"ඉල්ලීමක්? මොන ඉල්ලීමක්ද?..ඔයාල මොකටද මගෙන් ඉල්ලීම් කරන්නෙ?..ඔය දෙන්න කොහොමත් ඔයාලට ඕන විදිහටනෙ වැඩ කරන්නෙ..අර මගෙ දුවෙක් කියල ඉන්නව…"

ආන්ටි ඒ පාරෙ යන්න ගත්තොත් කිසි දෙයක් කරගන්න වෙන්නෙ නැතිබව හොඳටම දන්න හින්දම තව මොකවත්ම කියන්න නොදී මම මැද්දට පැන්න.

"නෑ නෑ ආන්ටි මේ ඉල්ලීම කොහොමවත්ම අනන්‍යායි මායි ගැන නෙවෙයි.."

"එහෙනම්?"

"මම වැඩ කරන්නෙ සිටි බැංකුවෙනෙ..ඉතිං අපි තීරණය කරල තියනව සංගීත ප්‍රසංගයක් වගෙ එකක් කරන්න. අපේ කස්ටමර්ස්ලට ස්තූති කරන්නයි ඒ ඇරුනම අපේ කෝපරේට් ඉමේජ් එක පොඩ්ඩක් නග්ගල ගන්නයි කියන කාරණා දෙකටම…"

ඉතිං ඊලඟ මිනිත්තු දහය වගෙ කාලෙදි මම ආන්ටිට අපේ ප්‍රසංගය ගැන සම්පූර්ණ විස්තරයක් කලා. අපි ප්‍රසංගය පවත්වන්න හිතාගෙන ඉන්නෙ Fisherman's Cove Resort එකේ කියලත් කිව්ව. ඊලඟට අපේ ප්‍රධාන පෙලේ ගනුදෙනු කාරයො විදිහට ප්‍රසංගයට අපි ආරාධනා කරන්නට හිතාගෙන ඉන්න චෙන්නයිවල ප්‍රභූ පැලැන්තියෙ ධනවතුන්ගෙ නම් ලැයිස්තුවත් කිව්ව. ආන්ටි තුස්නිම්බූත වෙල මගේ විස්තරේ අහගෙන හිටිය වචනයක්වත් කියන්නෙ නැතුව. මට හිතෙන්නෙ මනුස්සයට හිතාගන්න බරිවෙන්න ඇති ඇයි මම මේ විස්තරේ එයාට කියන්නෙ කියල

"ඉතිං ආන්ටි අපේ කොන්සර්ට් එක පැය දෙකක් තියනව. අපි ගායක ගායිකාවො තුන් දෙනෙක්ට ආරාධනා කරන්න හිතාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට සිංදු කියන්න…."

එහෙම කියල මම එක එල්ලේ ආන්ටිගෙ මූණ දිහා බැලුව.."ඉතිං ආන්ටි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔයා…"

"මම?..." ආන්ටි කෑගැහුව කෑගැහිල්ලට මගෙ කන්දෙක අගුල් වැටුන වගේ උනා....

29 comments:

  1. මම කියල ආන්ටි පුදුමවෙලා කට ඇරපු වෙලාවෙ ඔහෙට තිබුණෙ අර පොසිලයිස්ඩ් னයා ආන්ටිගෙ කටේ ඔබන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. ඊට නරකෙයි මයිසූර් පකක් එබුවනං?

      Delete
    2. ප්‍රසන්න සහ දිනේෂ්,

      ඒ දෙජාතියෙන්ම දෙකක් ඔබන්ට තිබ්බෙ එක විඩේම..

      "රචු තීච්ච දෙතාජියයි" ඔය අපි පොඩි කාලෙ වචන හරියට උච්චාරණය කරන්ට පුරුදු කරන්ට කියවපු වාක්‍යයක්..

      මොනවද ඔට්ටු දැං ඉන්න හිච්චි එවුන්ගෙන් සීයට අනූවකට ඔය වාක්‍යය හරියට කියන්ට බෑ...

      ලහිරු පෙරේර නම් පොඩි කාලෙ ඔය වාක්‍යය කියල තියව මම හිතන්නෙ...හෙහ්,හෙහ්,

      තු රටකජු සුදු රටකජු එකට උයාලා
      රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
      සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
      ඒවා අනේ හෝද ගන්න වතුර මදි වෙලා

      චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා
      අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා
      කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා
      කිඹුල බනිස් වගේ ඒවා නැගලා යනවා

      රම්පොට පොරි හැලෙයි දෙල් ගහෙ පොල් හැදෙයි
      දොම්පෙට හරි දුරයි වියදම් කෝටියයි

      දෙල්කද පොලෙන් ගෙනා හොඳ කිරි අළුවා
      වාගේ සින්දු ගොතා කියලා බැලූවා
      මේ වගේ සිංදු ගොතා කියලා බැලූවා

      එංගලන්තේ මහ රැජිනට බයිලා කියනවා
      විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා
      ආනමාලූ අරං ගිහින් බෙකම්ට දෙනවා
      ලන්ඩන් වල පාර මැද්දෙ කොකිස් බදිනවා

      සාරි ගප්පි අරං ගිහින් සාරි මහනවා
      වයිට් හවුස් කුලියට ගෙන කඬේ දානවා
      සාරි කඩෙ වැඩ කරන්න මදුරි ගේනවා
      අතුගාන්න ශාරුක් හට එන්ඩ කියනවා

      රම්පොට පොරි හැලෙයි //

      චක්දෙ ලංකා කියලා කොඩිය වනනවා
      චක්නෝරිස් අරං ඇවිත් ටොකුත් අනිනවා
      චක් අල්ලන අම්පයර්ලා මෙහෙට ගේනවා
      ඇස් ඇතුලේ වංගු ඇද්ද හොයලා බලනවා

      ලෝකාන්තේ බලන්න මම තනියම යනවා
      පාට පාට රොකට් හදනවා
      රොකට් ‍යවලා බලංගොඩදි එකතු කරනවා
      කවදා හරි සිංහ කොඩි‍ය හදේ ගහනවා

      රම්පොට පොරි හැලෙයි //

      ගායනය - ලහිරු පෙරේරා

      Delete
  2. මයිසූර් පක් රෙසපි එක බලාගෙන අර බවලත්තු දෙන්න හදල දෙන මොකක් හරි දේ කන ඒ දෙන්නගෙ පුරුස පරාණ දෙකට දෙයියංගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      පිස්සුද බං?... ඔය මානවිකාවො දෙන්නම නොම්මර එකේ සූප වේදිනියො...

      සිත්තමී ඇවිල්ල මල්ලිකා ජෝසප්ගෙ නොම්මර එකේ ගෝලි...

      මල්ලිකා ජෝසප් මතකයි නේද? අර අවුරුදු පහලවකට වගෙ ඉස්සර රස සරණිය ද මොකක්ද කියල ප්‍රෝග්‍රම් එකක් කලේ...ඒක මෙහෙයවුවෙ රාධා ද මෙල්....

      දෙන්න ප්‍රෝග්‍රම් එක පටන් ගන්නෙ අත්දෙක එකතු කරල වැඳල එහෙම මෙහෙම කියල.."ආයුබෝවන් මල්ලිකා"...." ආයුබෝවන් රාධා..."

      ඒ කාලෙ මම ඔය කැලේ මැද රාජකාරි කරන කාලෙ...චමරියෙ ගෝලය හිටපු ගමං කලින් දවසෙ වැඩි උනාම නොකියාම ඇබ්සන්.එහෙම දවසට ඉවිල්ල බාරවෙන්නෙ මටයි තව අපෙ හිටිය එකෙක් ජැකා කියල.අන්න ඌටයි.

      ඉතිං අපි දෙන්න කුස්සියට ගිහිල්ල උයන්න පටන් ගන්නෙ දෙන්නට දෙන්න අත්දෙක එකතු කරල ආචාර එහෙම කරගෙන මෙහෙමත් කියල...

      "ආයුබෝවන් ජැකා.."..."ආයුබෝවන් වීරේ...."

      Delete
    2. ප්‍රසන්න,

      අඩේ...සඳවතී ගැන කියන්න බැරිඋනානෙ..

      උන්දැ ගිහිල්ල තියෙන්නෙ ශාන්තා මායදුන්නෙ ගාවට...

      ශාන්තා කරනව පොල් සම්බෝලෙ එක්දාස් එක් ආකාරයකට හදා ගන්න හැටි ගැන මාස හයක කෝස් එකක්..

      ඔය සඳා කරල තියෙන්නෙ ඒ පොල් සම්බෝල කෝස් එක...

      Delete
  3. හලේ... මෙන්න දාලා... හිටාං කියෝලා එන්නං

    ReplyDelete
  4. පොසිලයිස් නයි කිව්වේ මුරුක්කු වෙන්ටැ, කොහොමද යකෝ මුරුක්කු කාල වතුර බොන්නේ...
    එක්කෝ සැර දෙයක් එක්කනම් සළකලා බලන්න හරි ඇහැකි...
    ක්‍රිෂ් කාරයා ලෝකයේ ඕනෙම පිරිමියෙකුට පොදු අවාසනාවන්ත තත්ත්වයටත් එහා තත්ත්වෙකට මුණ දෙන්න යනවා වගේ...

    ReplyDelete
    Replies
    1. කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළානෙ. නැත්තං අන්කල් එක්ක වගේම ආන්ටි එක්කත් විස්කියකට සෙට් වෙන්න තිබුණ. එහෙනං කර්ණාටක් නතිං.

      Delete
    2. එහෙනම් ක්‍රිශා මැරෙන්නේ කන්අඩි පැලිලා...

      Delete
    3. ලොක්කා,

      කතාවෙ ලියල තියෙන විස්තරවල හැටියටනම් මුරුක්කු වෙන්න ඕන. හැබැයි කොතනකවත් එහෙම නම සඳහන් වෙන්නෙ නෑ...

      Delete
    4. ප්‍රසන්න,

      /කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළානෙ.../

      නෑනෙ බං එදා බෝතලේම ඉවර වුනේ නෑ...කොටයක් තියනව...ඉඳහංකො ඊලඟ කොටසෙ ඒ ගැන කියවෙනව...:)

      Delete
  5. මතක ඇතුව කියාපල්ල ඔව්ව හැදුවෙ බ්ලොග් එකක තිබ්බ රෙසිපි එකක් බලාගෙනය කියල. ෂුවර් ඔය සත්තලංලගෙයි සිත්තරාලගෙයි ඔය බ්ලොග් ලියන ගොබිලො සහ ගොබිලියො අරභයා තියන දුර්මත හිරු දුටු පිණිබිඳු ලෙස පහවෙනව.

    මෙව්වා පෙන්නලා පහවිල්ල කෙසේ වෙතත් තව හින්දුස්තාන් ටිකක් අහගන්න තමා වෙන්නේ... හි හී ... ඒ උනාට ඔයාගේ මේ ලියවිල්ල මම එයාට පෙන්නලා කිව්ව ඔන්න බලන්න සත්තලන් මම විතරක් නෙවෙයි දැන් ඔයාවත් බ්ලොග් ලියන කට්ටිය දන්නවා කියල.

    ReplyDelete
  6. ///ඔය පිරිමි බහුතරයක් පැණිරහ කන්ට මරුවො. ///ෙදර නම් ක නස්...
    ක්ිෂ් නැන්දම්මවත් අල්ලගන්නයි හද...

    ReplyDelete
    Replies
    1. මෙම කොමෙන්ටුවේ ඇති භාෂාව නම්කර වටිනා මෛසූර් පකක් දිනාගන්න.

      Delete
    2. සමහර ෆෝන් වලින් ටයිප් කරද්දි ඔහොම වෙනවා..බ්ලොග් වල විතරයි

      Delete
  7. මෛසූර් "පක්" විතරය තියෙන්නෙ? මහා පුරුසාධිපත්‍ය ලෝකෙයක් නෙ ම්ක

    ReplyDelete
  8. අරන් තෑගිද ගියේ ඇරයුම් කරන්නට ඔහු සැකයකින්
    ඇරන් දොර ඈ ඔහුගෙ කියමන් අසා හිටියද සත්තකින්
    කලින් අහලා තිබුනනන් මම උතුරලා යන රසයකින්
    හොඳින් මයිසුර් පක් හදන හැටි ලියනු තිබ්බා කවියකින්...

    ජයවේවා!!!

    ReplyDelete
  9. ගිය මාසෙ වාගේම මේ මාසෙත් අනන්‍යාගේ බ්ලොග් පඩංගු හයක් ලියන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  10. කවුද ඩෝ මුරුක්කු වලට අනං මනං කියන්නෙ?

    රස කෑමක්, ඒ විදියට රස විඳින්න පින නැත්නම් ඉතින් මොකෝ කරන්නෙ.

    ReplyDelete
  11. මේ රෙසිපියේ තියෙන එක හදලා අයියා ඔය කියලා තියෙන හැටියට බ්ලොග් එකක තිබ්බ එකක් බලං හැදුවය කිව්වොත් එහෙම එයැයිනං කටේවත් තියන එකක් නෑ, 'මටත් අන්දකයිප්පු කවන්න හදනවද' කියලා අහයි. ඔන්ලයින් රෙසිපි බලාගෙන මං හදන එව්වාට ලැබෙන එයැයිගේ කමෙන්ට් ගැන වෙනම කතන්දර ලිව්ව හැකි. :D :D :D

    මේ අයියෙ, අර ක්‍රිෂ්ට ඔය ආන්ටි ගෙනත් දුන්නේ මුරුක්කු වෙන්ඩැතිනේ. ඉතිං ඒක කටෙන් එළියට අරගෙන එයාට පේන්න හැපුවාට කරස් කුරුස් ගාන සද්දෙ නැති කොට ආන්ටිට තේරෙන්න ඇතිනේ මේකා මේ බොරු කරන්නේ කියලා?

    ReplyDelete
  12. https://en.wikipedia.org/wiki/PUK
    https://en.wikipedia.org/wiki/Puck
    https://recipes.timesofindia.com/recipes/mysore-pak/rs53376135.cms

    ReplyDelete
  13. වට් ද මයිසුර් පක්? ආන්ටිත් ගොඩ.. දාන්න පහක්..

    ReplyDelete
  14. The British East India Company conquered the maritime provinces of Ceylon in 1796 and introduced an alien system of administration, which brought about the discontinuance of all the Mudaliyars and the lesser offcials, who constituted the bureaucracy in the traditional system of administration. The Company also imported a set of officials called Aumildars from Madras in order to administer the revenue collection in which it had an immiediate interest. The only relic of the Madrasi system of administration, which the Company abandoned in 1798, is the name of the office of the government Agent called Kachcheri. The term Kachcheri is of Hindustani origin; it was the name by which they used to describe the office of revenue collection. It was introduced primarily as the institution in charge of revenue collection and this purpose was in keeping with the policy of the Company. The term Kachcheri was, therefore, used in Ceylon exclusively to describe the office of revenue collection; but with the passage of time it became te office of the chief civil authority of the province and districts.

    - Kachcheri System of District Administration in Ceylon by W A Wiswa Warnapala -

    From an online article in SAGE Journals

    Macho Ravi, don't know what are his references, as I cannot find the actual book. If anyone can, please enlighten us.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...