Saturday, May 2, 2020

650. කොරෝනා නිරෝධායන කතා - 1 - අප්පුහාමිගේ ජාටිය ඇමටීම, ඉම්බා දේවියගේ අබීත ප්‍රකාසය සහ අපේ දින චරියාව....


දූවිලි පිහදමනු උදෙසා පොත් බිමට බා ඇති
අන්දම දක්වන ඡායාරූපයකි.

ඉස්සොරෝම මාස එකාමාරක් විතර පරණ නිව්ස් එකක් සම්බන්ධ පුවතක්. මාර්තු 17 වෙනිද අපෙ නන්දසේන ගොයිය ජාටිය ඇමටුව මතකයි නේ?

අර යුද්දෙ කාලෙ 5000 මැරිලත් රට වැහුවෙ නැතිය ඉතිං 28 මැරිල අහවල් දේකටද රට වහන්නෙය එතකොට පරිප්පු සැමන් අඩුකරනවය කොහොමත් චන්දෙ තියනවය අනම්මනම් බයිල ගොඩක් කිව්වෙ...

දැං ඔය ලෝකෙ සුප්‍රසිද්ද දේසන බර ගානක් තියනවනෙ...යේසුස් වහන්සෙගෙ කන්ද උඩ දේසනය, ලින්කන්ගෙ ගෙටිස්බර්ග් දේසනය, මාටින් ලූතර් කිංගෙ "I have a dream" දේසනය මැන්ඩෙලාගෙ "Fight for equality" දේසනය අන්න ඒ වගෙ..

ඉතිං අපේ නන්දසේනගෙ දේසනයට... ආ..තව එකක් කියන්න ඕමනයි. නන්දසේනට නන්දසේන..නන්දසේන කියනවට බයි පීප්ල්ස්ල කොහෙත්ම කැමැත්තක් නැහැල්ලු. ඒ හින්ද බයිසිත් නොරිදවා මම හිතාගත්ත මීට පස්සෙ නන්දසේන උන්නැහෙට නන්දසේනයි නොකියා අප්පුහාමි කියල කියන්ට. එහෙම හොඳයි නේද ඩියර් බයි පීපල්ස්?

ඉතිං අපේ නන්දසේනගෙ දේසනයට අපිට නමක් දුන්නැහැකි නන්දසේනගේ සැමන් පරිප්පු දේසනය කියල.

කොහොමද එතකොට සිරස "ඔබද ලස්සපති මමද ලස්සපති" වැඩසටහනේ එහෙම මෙහෙම ප්‍රස්නයක් උනත් ඇහුවැහැකි.

මෙන්න ඔබට ලැබෙන රුපියල් ලක්ෂයක් දිනාගත හැකි හතරවන ප්‍රශ්ණය....ඔබ දන්නවා ඉයන් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධ පුද්ගලයින් විසින් වරින්වර පැවැත්වූ සුප්‍රසිද්ධ දේශනයන් තියනවා. ඔබට ලැබෙන ප්‍රශ්ණය පහත සඳහන් දේශණ අතුරින් එම දේශනයන් ඉලක්ක කල ජනතාව නැත්නම් Intended audience එක වඩාත්ම ප්‍රබෝධමත් කල ඒ කියන්නෙ Inspired කල දේශණය ලෙස සැලකෙනුයේ කුමන දේශනයද?

A. ජුලියස් සීසර්ගේ දේහය අසල සිට මාක් ඇන්ටනි පැවැත්වූ "I came to bury Caesar" දේශනය 

B. අමරිකානු සිවිල් යුද්ධය අවසානයේ ඒබ්‍රහම් ලින්කන් පැවැත්වූ Gettysburg දේශනය

C. මාර්ටින් ලූතර් කිංගේ "I have a dream" දේශනය

D. ගෝඨාභය රාජපක්ෂගේ "සැමන් සහ පරිප්පු මිල අඩු කරන්නෙමි" දේශනය

හරි ඉතින් මම ඔය නන්දසේන ජාතිය අමතාපු කතාව මතක් කරේ මොකද දන්නවද? ඒ දවස්වලම මම ලිව්ව නන්දෙ මල්ලිගෙ සැමන් සහ පරිප්පු කතාවයි අර වින්ස්ටන් චර්චිල්ගෙ සුප්‍රසිද්ධ We will fight...... කතාවයි සංසන්දනය කරල පෝස්ට් එකක්. ඕක වත්පොතේ දාන්න හිතාගෙනයි මම ලිව්වෙ. ඒත් අවාසනාව කියන්නෙ ඒ පෝස්ට් එක ලියල ඉවර වෙනකොටම නොසිතූ විරු ලෙස විදුලි බලය ඇණහිටිය.

ඉතිං වෙච්චි වැඩේ අර ලියාපු පෝස්ට් එක හොයාගන්ට නැතුව ගියා. මගෙ ලැප් ටොප් එකේ බැට්රිය හිටපු ගමං පිස්සු කෙලිනව. චාජ් වෙන්නෙ නෑ. එහෙම වෙලාවට ඔය හදිසි විදුලි බිඳ වැටීමක් උනොත් එහෙම සේව් කරල තිබ්බෙ නැති ලියවිලි වලට අබ සරණයි තමයි. ඉතිං මමත් වෙච්චි දේට එන්න සෙයියරදු කියල නිකං හිටිය. අලුතෙං අර පෝස්ට් එක ආයම ලියන්ට මට හිතුනෙම නෑ.

ඔන්න පුදුම වැඩේ කියන්නෙ මේ දවස් දෙක තුනකට ඉස්සරවෙලා හිටපු ගමං අහම්බෙන් වගෙ මට ඒ ලියපු පෝස්ට් එක සේව් වෙලා තිබිල හම්බ වුනා. මම හිතන්නෙ ලයිට් යන්ට කලින් මම ඒක සේව් කරල තියනව මට මතක නැති වුනාට. ඉතිං ඔන්න මේකයි ඒ පෝස්ට් එක....බෙටර් ලේට් දෑන් නෙවර් කියල ඒක මම දානව.

කොරෝනා කේස් එකෙං වෙච්ච එක හොඳක් තමයි බයියො හුළං ගහල පුම්බල අම්මට උඩු මෙන්න බොලේ සුපර් මෑන්..මූ තමයි පොර...මේ අවුරුදු දෙදාස් පන්සීයට මේ ලංකාද්දීපයේ මේ වගෙ වැඩකාරයෙක් පහළ වෙලා නැත්තේමය කියල හන්දි ගානේ උඩ දාපු සිපයියලගෙ හුළං බලා ඉද්දි බැහැල ගිය එක.

මෝර නන්දෙ යුද්දෙට නායකත්වය දුන්නයි කියලනෙ කියන්නෙ. දැන් ඇස් පනාපිට පේන්න තියනවනෙ උන්දැගෙ නායකත්වයෙ රඟ..ආච්චිගෙ තට්ටෙ නායකත්වය...හමුදාව යුද්දෙ කලා මේ මනුස්සය ක්‍රෙඩිට් එක ගත්ත. ඒකයි උනේ...දැන් පේනවනෙ...අනපේක්ෂිත අර්බුදයක් ආවම මිනිහ අඤ්ඤකොරොස් වෙලා උතුර දකුණ මාරුවෙලා ඉන්නෙ...අනුන්ගෙ සල්ලි වලින් අම්මගෙ අප්පගෙ සොහොං හදන එව්වට නම් මිනිහ නියමෙට නායකත්වය දෙයි...අම්මප...ඇස්වහක් කටවහක් නෑ...

අනික් මිනිහ අර මිස්ටර් ටෙන් පර්සන්ට්. මිනිහ දනී කොමිස් සල්ලි වලින් මාලිගාවල් ගහන්න නං. ඒ වගෙ වැඩයි සල්ලි දීල අනික් පැත්තෙ මන්ත්‍රීල බාගන්න එකයි..එව්වනම් මිනිහට කජු කන්න වගේ වැඩ. ඒත් කොරෝනා කාර්ය සාධක බලකායෙ ලොක්ක විදිහට පත් කරල දැං දවස් ගාණක් වෙනව. තවම මම හිතන්නෙ තවමත් පිටපොට ගහනව.

Two greatest speeches delivered 80 years apart by two great leaders that gave courage, determination and resoluteness to their nations to fight against a terrible enemy in a time of great peril.

1. "We shall fight on the beaches, we shall fight on the landing grounds, we shall fight in the fields and in the streets, we shall fight in the hills; we shall never surrender.." British prime minister Winston Churchill addressing the house of commons on 4th June 1940 regarding the possible invasion of Great Briton by Nazis

2. "We will never postpone the elections, we will reduce the price of salmon, we will reduce the price of dhal, We shall get votes by hook or by crook, we shall get 2/3 majority by any means .." Sri Lankan President Gotabaya Rajapakse addressing the nation on 17th March 2020 regarding the advent of COVID-19 Pandemic


************************************

මේ අපේ අර සවුක්ය ඇමටිනී සිංහනාද කලානෙව අප්‍රේල් දහනමේ වෙනකොට කොරෝන්ස් කස්ටිය ඔක්කම අටි උටුම් ලංකාද්වීපෙං දූරිම්බූත කොරල දානවයි කියල...ඒත් අප්‍රේල් දහනමෙන් පස්සෙ තමයි කොරෝනා ආසාදිතයින් ගණන හිටු කියල වැඩි වෙන්ට ගත්තෙ...ඒ ගැන ලියපු පෝස්ට් එකක් මේ...

මට පේන්නෙ අර දීගොඩ කුමාර කියන යෝගින් වහන්සේ කොරෝනා වයිරස් එකට විඥානයක් තියනව කියපු එක සම්පූර්ණ ඇත්ත...එතකොට විඥානයක් තියනව කියන්නෙ මලත් පනිනව...යූ ඕල් අන්ඩර්ස්කර්ට් අප් ටු නව්? ඕකේ...රයිට් දැට් අන්ඩර්ස්ටුඩ්...

Now to my hypothesis regarding the sudden escalation of COVID-19 infections in Sri Lanka..

අපේ ඉම්බා දේවි මැඩම් අප්‍රේල් 19 වෙනිද කොරෝනා සුන්නද්දූලි කරල මුලු රටෙම්ම පන්නල දානවය කියල සිංහනාද කලානෙව..(සිංහනාද මත් නෙවෙයි To be precise සිංහ ධේනු නාද) ඒ අබීට ප්‍රකාසයට කොරෝනා තෙමේගේ රෝමෝද්ගමනය වී වදාල සේක. කොටිම්ම සිංහලෙං කිව්වොත් මයිල් කෙලින් උනෙමි.

ඉනික්බිති කොරෝනා දැඩි ලෙස කෝපවිෂ්ඨ වූයේ මෙසේ සපථ කොළෝය.

හොඳයි අප්‍රේල් 19 වෙනකොට මාව රටෙනුත් එළවන්ටනෙ බොලා තනන්නෙ..හොඳයි අපි බලමු මාව එළවන විදිහ...

හෙහ්..හෙහ්..සෙස්ස වනාහී ඉතිහාසයයි..රෙස්ට් ඊස් හිස්ටරි...


************************************************

මේ නිරෝධායන කාලෙ මගෙ දින චරියාව ජෙනරලි මෙන්න මෙහෙමයි. රෑ නිදියන්නෙ දෙක දෙකහමාර හෝ තුනට (එහෙම උනහම රෑ කිව්වට රෑමත් නෙවෙයි හරිමනම් පාන්දර)

එහෙම වෙන්නෙ තනිකරම ආණ්ඩුවෙ වැරැද්දෙං ආණ්ඩුවෙ කිව්වට ආණ්ඩුවෙමමත් නෙවෙයි SLT නොහොත් සී ලන්කා ටෙලිකොම් එකේ. ඒ කිව්වෙ අපේ ටෙලිකොම් පැකේජ් එක ඇවිල්ල 90 GB.

ඉතිං මම ඔය පහුගිය ඔක්තෝබර් මාසෙ ආව නෙව සී ලංකාවට නැවත නොයන්නෙමැයි සපථ කොට. මීට කලින් මම ආවෙ මාසෙක නැත්නම් සති තුනක වගෙ නිවාඩුවකට හින්ද එච්චරම ඔය ඉන්ටර්නෙට් පැකේජ් එකේ GB ගණන වැදගත් වුනේ නෑ. මේ පාර එහෙම බෑනෙව. ඒ හින්ද මම ආපු ගමන්ම අපේ ප්‍රියම්බිකා තොමෝගෙන් විස්තර ඇහුව. පැකේජ් එකේ GB කීයද අරකද මේකද කියල.

ඒ ගමන උන්දැ කියාපි 90 GB කියල. ඉතිං 90 GB කියන්නෙ සෑහෙන ගාණක් හින්ද මම ඉතිං ලෝඩ් බකිංහැම් වගෙ ඔය යූ ටියුබ් එකේ තියන දැනට ප්‍රචාරය වෙන ටෙලි චිත්‍රපටයි ප්‍රචාරය වෙලා අහවර වෙච්චි පරණ එව්වයි..තව මගෙ ප්‍රියතම පරණ ඉංග්‍රීසි චිත්‍රපටයි, තව ඉතිං ඔය අනම් මනම් එව්වයි ඒ කිව්වෙ කොස්මොස්, ඒන්ෂන්ට් හිස්ටරි, බ්ලේක්ස් සෙවන්, ඔව්ව ඔක්කොම බල බල ෆුල් ආතල් එකේ ජීවිතේ ගෙවන්ට ගත්ත.

ඒ කියන්නෙ විශ්‍රාම සුවය උපරිමව අත්විඳින්ට ගත්ත. ඔන්න කෙලිය තාප්පෙටම කියල මාසෙ 20 වගෙ වෙනකොට ඉන්ටර්නෙට් බොහොම ස්ලෝ වෙන්ට ගත්ත. කිසිම ප්‍රෝග්‍රම් එකක් කොටින්ම ඊ-මේල්වත් බලන්ට බෑ. අර බුදුරැස් මාලාව කරකැවෙන එක තමයි කොච්චරවත් පේන්නෙ. ඒ පාර බැරිම තැන මම 1212 ගහල කතා කලා ටෙලිකොම් එකට.

ටෙලිකොම් එකෙන් බොහොම මිහිරි කටහඬකින් යුතු යුවතියක් උත්තර දුන්න. ඒ ළමය කිව්ව අපේ පැකේජ් එකේ ඇලොකේෂන් එක ඉවර වෙලාලු.

"ඒක වෙන්න බෑනෙ මිස්..මගෙ පැකේජ් එක 90 GB. මෙච්චර ඉක්මණට ඒ ඔක්කොම ඉවරවුනේ කොහොමද?" මම ඇහුව.

"සර් මෙහෙමයි..ඔය 90 GB වලින් 36 GB තමයි ඩේ ටයිම් තියෙන්නෙ. ඉතුරු 54 තියෙන්නෙ නයිට් ටයිම්..."

කාල වරෙංකො..ඊට් ඇන්ඩ් කම්කො.."අප්පටසිරි එහෙමද? "

"ඔව් සර්ගෙ ඩේ ටයිම් 36 GB ඉවරයි නයිට් ටයිම් 54GB වලින් තව 49 GB ඉතුරුව්‍රෙලා තියනව"

"එහෙමද ? එතකොට ඔයාලගෙ ඔය ඩේ ටයිම් කීයෙ ඉඳල කීය වෙනකල්ද? නයිට් ටයිම් කීයෙ ඉඳල කීය වෙනකල්ද?"

"උදේ අටේ ඉඳල රෑ 12 වෙනකල් ඩේ ටයිම්. ඊට පස්සෙ රෑ 12 ඉඳල උදේ 8 වෙනකල් නයිට් ටයිම්..."

"එහෙමයි එතකොට වැඩේ වෙන්නෙ නේද?"

"ඔව් සර්ට එක්ස්ට්‍රා GB ගන්න පුලුවන්. මම දැන් ඇඩ් කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් සර් SLT App එක ඩවුන් ලෝඩ් කරගත්තනම් ඒකෙන් සර්ට පාවිච්චි වෙච්චි GB ගණන හරියටම බලාගන්නත් පුලුවන්. අනික ඒකෙම ඔප්ෂන් එකක් තියනව එකස්ට්‍රා GB ඇඩ් කරගන්නත්."

"හොඳයි මිස් ස්තූතියි."

ඉතිං ඔය ඩේ ටයිම්/නයිට් ටයිම් ඩේටා අර්බුදය කරණකොටගෙන (නිල වශයෙන් කියන්නෙ පීක් ටයිම්/ඕෆ් පීක් ටයිම් කියල) මට සිද්ද වුනා දවස් තුනකට සැරයක් වගෙ මම බලන ටෙලි චිත්‍රපට හතර පහ රෑ දොළහෙන් පස්සෙ බලන්න. මොකද එව්ව ලයිව් යනකොට බොහෝවිට අනික් චැනල් වල යන මොකක් හරි අපේ ප්‍රියම්බිකා තොමෝ බලනව. ඉතිං මමත් කරන්නෙ ඒ වෙලාවෙ එයයිත් එක්ක ඉඳගෙන එව්ව බලන එක. ඕකෙ වැඩේ අපි පුංචි සන්දියෙ වගෙ නෙවෙයිනෙ දැං ටෙලිවිෂන් චැනල් හත අටක්ම තියනවනෙ.

ඉතිං තුනට වගෙ නිදාගත්තම ඇහැරෙන්නෙ අටට අටාමාරට විතර. ඒ පාර නැඟිටල තේ එකක් කාරිය බීල කරල දෙන්නත් එක්ක එකතුවෙලා උදේට උයනව.

බොහෝවිට කරන්නෙ කලින් දවසෙ දවල්ට කාල ඉතුරුවෙලා ශීතකරණෙ දාල තියන බත් එකට උණු වතුර ටිකක් දාල එහෙම්මම රයිස් කුකර් එකේ තියන එක. ඒ කරල මම පොල් ගාල දෙනව. එතුමිය හදනව එක්කො නයි මිරිස් දාල එහෙමත් නැත්නම් රතු මිරිස් දාල සම්බලක්. දෙහි ඇඹුලට අමතරව තක්කලි කෑලි හත අටකුත් දැම්මම නියමයි.

සම්බෝලෙ ගලේ අඹරන්නෙ එහෙමනම් නෑ ආය මොකටද බොරු කියන්නෙ. කොහොමටත් මිරිස් ගලකුත් නෑ අපේ ගෙදර...මිරිස් කුඩු තමයි දාන්නෙ. අර සංගක්කාර ස්වයං නිරෝධායනය වෙලා ගලේ මිරිස් අඹරනව ෆේස් බුක් එකේ දාල තියනව දැකල අපේ උන්ද කිව්ව "අනෙහ් මොන බොරුද ඒ මනුස්සය ගල අල්ලන විදිහෙන් කිව්වැහැකි ජීවිතේට මිරිස් ගලක් අල්ලලවත් නැහැයි කියල අපි නොදන්න ලයිව්..හිහ්..හිහ්..."

අපේ ගෙදර කුස්සියට පිටින් එළියෙ තියන සින්ක් එක ගාව ඔය මිරිස් ගලක් තියන්ට වගෙ හදපු ස්ලැබ් කෑල්ලකුත් නම් තියනව. ඒත් ඒකෙ තියන්ට මිරිස් ගලක් කවදාවත්ම ගෙනාවෙ නම් නෑ. අනික දැකල ඇතිනේද ඔය කාලයක් තිස්සෙ මිරිස් අඹරපු පරණ මිරිස් ගල්වල මැදින් ගෙවිල ගෙවිල වලක් වගෙ හැදිල තියනව. ඒ කියන්නෙ ඒ ඇඹරිච්චි ගල් කුඩු ඔක්කොම අපිනෙ කාල තියෙන්නෙ..නැද්ද? එක අතකට මම හිතන්නෙ එහෙම ගල් කුඩු කෑවයි කියල අවුලකුත් නම් නැතුව ඇති.

දැන් ඉතිං පරණ ඒ කාලෙ ඉඳල මිරිස් ගල් තිබ්බ ගෙවල්වල උනත් මිරිස් ගල් පාවිච්චි කරන්නෙ එහෙමත් තැනක තමයි. මේ කාලෙ මිරිස් ගල් බොහෝවිට පාවිච්චි කරන්නෙ කට උලාගන්ට. අර මගේ බොහෝම හිතේසිවන්ත ලලනාවක් උන්න බොහොම අපූරු බ්ලොග් රචිකාවියක්. එවුන්දැ කසාද බැඳල දෙන්නත් එක්ක අලුත් ගෙදරකට ගියාම එවුන්දැගෙ ගොබිලය මිරිස් ගල් දෙකක්ම ගෙනාවලු. "මොකටද ඒයි මේ මිරිස් ගල් දෙකක්?" කියල අහපුවම අර යෝදය කිව්වලු "එකක් මගෙ කට අතුල්ලගන්ට" කියල...

ඉතිං උදේට සම්බෝලයක් හදල ලින්න කරවල හෝ මුහුදු කුකුලා බැදල තියනව හුළං නොවදින්ට එයා ටයිට් පෙට්ටියක දාල. එන්න එව්වත් එක්ක කනව. ඔය ලින්නා සහ මුහුදු කුකුළා වනාහි මම එක්කො සරම උස්සගෙන නැත්නම් කාකි සෝට් බෑය ඇඳගෙන ලොරි පස්සෙ පන්නගෙන ගිහිල්ල ගත්තුව.

මෙහෙ පුදුම වැඩේ කියන්නෙ බහුතරයක් ලොරි කාරයො නවත්තන්නෙම නෑනෙ. ඔන්න ඈතිං දූවිලි වලාවන් නංවමින් ලොරියක් එනව පේනව. බොහෝවිට බොඩි ගහපු එල්ෆ් එකක් හරි කැන්ටර් එකක්. මෙන්න අපි පාර අයිනෙ ඉඳල හෝව් හෝව් කියද්දි කඩාගෙන බිඳගෙන යනව යන්ට. සිං ගාල ඉස්සරහිං යන සද්දෙයි ගියාට පස්සෙ පාරෙ දිගටම තියන දූවිලි වලාවයි විතරයි අපිට ඉතුරු වෙන්නෙ.

"ඒ මොකද අප්පේ ඒ? ඇයි ඒ මිනිහ නැවැත්තුවෙ නැත්තෙ? " පල්ලෙහා ගෙදර අංකල් ඇස් දෙක පිහ පිහ අහනව.

"මං හිතන්නෙ එක්කො මිනිහට මතක නැතිවෙන්ට ඇති බඩු විකුණන්ට ඕනය කියල. එහෙම නැත්තං මිනිහට හිතෙන්ට ඇති මේ හරියෙ ලෑල්ලට පාගලා ගියාම කොච්චර දූවිලි ඇවිස්සෙනවද කියල බලන්ට...ඒ දෙකම නෙවෙයි නම් මිනිහ අප්සෙට් යන්ට ඇති ලොරියෙ තියන බඩු අපි දකීවිය කියල..." මම කිව්ව.

"ඈ???..." පල්ලෙහ ගෙදර අංකල්ගෙ කටත් බාගෙට ඇරුන.

ආ..ඔය පාර පුරා දූවිලි සීන් එක ගැනනම් පැහැදිලි කිරීමක් කරන්නම ඕමනයි. දැං ඔය අපේ ගෙදර තියෙන්නෙ පරණ ගම්පළ පාරෙ ඉඳල මීටර් පණහක් වගෙ දුරකින්. අපේ ගෙදර සඳළු තලයට පරණ ගම්පල පාරෙ සෑහෙන දුරකුයි ඊට පස්සෙ ඉන් එහා තියන බදුල්ල කෝච්චි පාරයි යස අගේට පේනව. ඔය පරණ ගම්පළ පාර කියන්නෙ A-5 මාර්ගය. අර A-9 මාර්ගය කියන්නෙ මහනුවර-යාපනය මාර්ගය වගෙ A-5 මාර්ගය කියන්නෙ පේරාදෙණියෙ ඉඳල චෙන්කලාඩි දක්වා දිවෙන මාර්ගය. PBC Road කියලත් ඒකට කියනව. ඒ කියන්නෙ පේරාදෙණිය-මඩකළපුව-චෙන්කලඩි මාර්ගය.

මීට අවුරුදු හැත්තෑවකට වගෙ කලින් ඒ කිව්වෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පටන් ගන්ට කලින් මේ A-5 පාරෙ තමයි නුවර ඉඳල නුවර එළිය මඩකලපුව වගෙ බස් ඔක්කොම ගිහිල්ල තියෙන්නෙ. ඒත් පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු පීඨය ඉස්සරහින් හොඳ අපූරු පාරක් වැටුනට පස්සෙ ටිකෙන් ටික බස් කාර් ලොරි අරව මෙව ඔක්කොම ගම්පොල, නුවර එළිය වැලිමඩ මඩකලපුවට එහෙම යන්ට ඒ පාර පාවිච්චි කරන්ට අරගෙන. ඊට පස්සෙ ඔය අපේ ගේ ඉස්සරහිං යන A-5 පාර පරණ ගම්පළ පාර වෙලා.

ඉතිං ආරංචියෙ හැටියට අවුරුදු පහකට හයකට වගෙ ඉස්සරවෙලා පේරාදෙණිය යුනිවසිටි එකෙන් කියල එයාලගෙ පාර පොදු ගමනාගමනයට පාවිච්චි කරන එකට තව දුරටත් ඉඩදෙන්ඩ බැහැය කියල. මම හිතන්නෙ ළමයින්ගෙ අධ්‍යාපන කටයුතුවලට බාධා වෙනව කියල වෙන්ට ඇති. ඒකෙ ඇත්තකුත් තියනව. දැං තියන ප්‍රයිවට් බස් දැක්කම ඔලුව කොළොප්පං වෙනවනෙ. දම් රැජින දඟ මල්ල..නෙලුම් බට්ටා කියල ඔය අනම් මනම් නම් දාල තියන බස් ඇවිල්ල බස් නෙවෙයි තනිකරම තොරං ...ඒ වගේමයි එව්වගෙ සද්දෙ.

ඉතිං කොහොම හරි යුනිවසිටි එකෙන් පාර ආපහු ඉල්ලපුවම මාර්ග සංවර්ධන අධිකාරියෙන් කරල තියන වැඩේ ආයම පාරක් පරණ ගම්පල පාර ඒ කියන්නෙ අපේ ගෙවල් ගාවින් යන පාර පළල් කරල අලුතින් බෝක්කු එහෙම දාල අළුත්වැඩියා කරල ගන්ට ඕනය කියල හිතල කොන්ත්‍රාත් කාරයෙකුට වැඩේ බාර දුන්න.

ඔය වැඩේ උනේ දැනට අවුරුදු තුන කට වගෙ ඉස්සරදි. ඉතිං ඒ කොන්ත්‍රාත් කාරයත් අවුරුදු තුනක් වගෙ වැඩේ හෙමිහිට ඇදෙගෙන ගිහිල්ල ගිය අවුරුද්දෙ වැඩේ දාලම යන්ට ගියා. ඊට පස්සෙ ආයම සැරයක් ගිය අවුරුද්දෙ මැදවගෙ තවත් කොන්ත්‍රාත් කාරයෙකුට වැඩේ දුන්න. එයාල නම් කොළඹ ඔය නුගේගොඩද කොහෙද ඒ කිට්ටුව ලංකාවෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. ඒ ගොල්ල වැඩේ කරගෙන එද්දි මේ කොරෝනා සීන් එක හින්ද ඔන්න දැන් මාස දෙහෙක වගෙ ඉඳල වැඩේ ඇණහිටලයි තියෙන්නෙ.

ඉතිං පාරෙ තැන තැන ගොඩ ගහපු ගල් පස් ගොඩවල් එහෙම එහෙම්මම. මේ දවස්වල කොරෝනා හින්ද වාහන ගමනාගමනය ඕල්මෝස්ට් සීරෝ හින්ද අවුලක් නෑ. ඒත් විශේෂයෙන්ම පේරාදෙණිය ස්ටේෂන් එක ලඟ තියෙන පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තොග ගබඩාවෙං තෙල් පුරවගෙන වැලිමඩ බදුල්ල දිහාවට යන තෙල් බවුසර් එකක් ගිහාම ආය නෑ හොදි ඕන නෑ. කොච්චර දොර ජනෙල් වහල තිබ්බත් වැඩක් නෑ දූවිලි හැම තැනකම.

ඉතිං මේ දූවිලි සීන් එක මගේ අර කලින් කියපු දින චරියාවටත් බොහොම සම්බන්ධයි. මම අර කලින් කිව්වෙ උදේට බත් සම්බෝල සහ කරවල කෙලල අරිනව කියල. ඊට පස්සෙ විනාඩි විස්සක් තිහක් විතර සඳළු තලයෙ මයෙ සනීප පුටුවෙ දිග ඇදිල ඉන්නව ඈත හන්තාන කඳු වැටියෙ සිරි නරඹමින්.ඊට පස්සෙ පටන් ගන්නව දූවිලි පිහදැමීමේ කටයුතු. විශේෂයෙන්ම මගෙ පොත්වල සෑහෙන්න දූවිලි තියනව.ඔය වැඩේට යනව පැයක් හමාරක් වගෙ...

අර උඩම පින්තූරෙ තියෙන්නෙ දූවිලි පිහදාන්ට මගෙ පොත් වලින් කොටසක් බිමට බාල තියෙන අන්දම...

30 comments:

  1. කාලෙකට පස්සේ පත පෝස්ට් එකක්. බොහොම ස්තූතීයි. අර මිරිස් ගල් දෙකේ කථාව මට මතක සඳා තුමිය රවියට කිව්ව එකක් කියලයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..එහෙමෙයි මතක?

      Delete
  2. සෑහෙන කාලෙකින් රවී අයියගේ සුපුරුදු කතාවක්. දැන් ඔය පිහදාන පොත් ගොඩ අස්සේ තව හොඳ කතන්දර එහෙම හැංගිලා ඇති.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හපොයි තියනව තියනව..පොත් ආපහු රාක්කවල අඩුක් කරන්න ගියාම තමයි කේස් එක..ඔන්න මම පොතක් අරගෙන පිහදාල පිටුවක් දෙකක් පෙරලල බලනව...

      "මේ ඒයි මේ පොත ගැන මරු කතාවක් තියනව.."

      "මේ මේ හලෝ..ඔය පොත් ගැන කතා කියන්ට ගියොත් අද මේ වැඩේ අහවරක් වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ පොත් ගැන කතා පස්සෙ කියමු. දැනට මේ අස් කරන වැඩේ ඉවරයක් කරමුද? තවම ගෙයින් බාගයක්වත් අස් කලේ නෑ නේද?"

      "කිව්වත් වාගෙ ඒකත් ඇත්ත නෙවද බලාගෙන යනකොට..."

      Delete
  3. හෙහ් හෙහ්, සිසිර තාරක නින්දෙන් නැගිටලා තියෙන්නේ. මොකාද ඔය මුහුදු කුකුලා?

    ReplyDelete
    Replies
    1. මොකාද ඔය සිසිරයි තාරකයි දෙන්න?

      Delete
    2. ආ.😲කොහොමද? කො.ක.සං.සබාපති එලියට බැහැලා තියෙන්නේ 😄😄😄

      Delete
    3. kumara,

      මුහුදු කුකුළා කියන්නෙ පොතුබරියා කියන මාලුවට කියලයි මම පොඩ්ඩක් හොයල බැලුවම දැනගන්ට ලැබුනෙ..එව්වයෙ කරවල නම් ආය කියල වැඩක් නෑ නයි මිරිස් දාපු සම්බෝලෙකුත් හදා ගත්තම සුදු කැකුළු බත මැරුවැහැකි...:)

      Delete
  4. බොහොම සන්තෝසයි රවී කාලෙකට පස්සේ. එතන ඇත්තටම කතා කීයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      හරිම කම්මැලියි දයා මහත්තය මොකවත් ලියන්ට...මම හිතාගෙන හිටියෙ ගෙදර ආවම නිදහසේ ලියන්ට ඇහැක් වෙයි කියල..මොන? ඒත් එහෙම කියල බෑ නම් තමයි...සතියකට එකක් වත් වගෙ වැටෙන්ට මොක මොකවත් ලියන්ට ඕනය කියල හිතා ගත්ත ඔන්න...:)

      Delete
  5. රවී මහත්තයෝ, කරවල බදින්නේ එයාර් ෆ්‍රයර් එකේ නේද? ඔබතුමාලගේ පාරයි, සඳලු තලෙයි මැවිලා පෙනුණා පොස්ටුව කියවද්දී. ඒ වගේම එදා කිව්වා කතාව- කිසිම ලෝබකමක් නැතිව. "ඕනි කරන පොතක් තියෙනවා නම් අරන් යන්න!"

    මට ලජ්ජත් හිතුනා. මගේ පොත් කාමරේ දොරවත් ඇරලා පෙන්වන්නේ නැහැ කාටවත්.

    ඉතාම අර්ථවත් 'ඉම්බා දේවී' නම මට ඉගැන්නුවා, ආපහු පරණ පොත් කියවිය යුතුය කියලා. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ගල් බෝල හදන්නෙත් එයාර් ෆ්‍රයි කරලද?
      මගෙ පොත් කැටලොග් කලා

      Delete
    2. කොරෝනා ආව හින්දා ගල් බෝල වැඩේ එහෙමම අත ඇරුනා Pra Jay මහත්තයෝ. කැටලොග් කරන ගමන් පුරාණ සිව්පද සංග්‍රහව පොතෙන් පිටු කිහිපයක් එව්වාට පින්!

      Delete
    3. Nimal,

      /කරවල බදින්නේ එයාර් ෆ්‍රයර් එකේ නේද?/

      නැහැ අනේ සාමාන්‍ය තාච්චියක..ඒත් බොහෝවිට දාන්නෙ කෝන් ඔයිල් නැත්නම් සන් ෆ්ලවර් ඔයිල්

      /ඔබතුමාලගේ පාරයි, සඳලු තලෙයි මැවිලා පෙනුණා පොස්ටුව කියවද්දී. /

      මේ දවස්වල හවස දෙක වගෙ වෙනකොට වහින්ට ගන්නව. ඒත් පැයකින් විතර පායනව..ඊට පස්සෙ හන්තාන කන්ද මීදුමෙන් වැහිල යනව..අන්න මම දැන් ටිකකට ඉස්සෙල්ල හන්තාන කන්දෙ ෆොටෝ එකක් දැම්ම FB එකේ...

      /මගේ පොත් කාමරේ දොරවත් ඇරලා පෙන්වන්නේ නැහැ කාටවත්./

      අඩේ පොත් කාමරේකුත් තියනවය? මම එදා දැක්ක පඩිපෙලේ හිටං පොත් ගොඩගහල තියනව...:)

      Delete
    4. Pra Jay,

      ප්‍රාගෙ පොතත් අන්න තියනව පොත් ගොඩේ...:)

      Delete
  6. මේ කතාව කියවනකොට මට හිතුනෙ මේ දවස්වල ඇඳිරි නීතිය පිළිබඳ නිවේදන නිකුත් කරන්නෙත් ඔහේ වෙන්න ඇති කියල හිටං.

    අපේ ගෙදරත් ඔය මිරිස් ගලක් කියල එකක් තියෙනව. ඒ උනාට මතක ඇති කාලෙකින් ඒකෙ මොකුත් අඹරලනං නෑ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /අපේ ගෙදරත් ඔය මිරිස් ගලක් කියල එකක් තියෙනව. ඒ උනාට මතක ඇති කාලෙකින් ඒකෙ මොකුත් අඹරලනං නෑ./

      ආ...මං දන්නව ඔය සීන් එක..මිරිස් ගල ටිකක් පාතක නේද තියෙන්නෙ..හාමිනේට මිරිස් අඹරන්ට සෑහෙන්න නැවෙන්ට ඕන නේද?

      එහෙම උනාම ජීවිතේට ගලේ අඹරපු ලුණු මිරිසක් සම්බෝලයක් කන්න වෙන්නෙ නෑ...හරි හරි හරි අයි නෝ වට් විල් හැපන්...

      Delete
  7. ඔ්ක PBC Highway. හුහ්. අපේ මස්සිනා කාරයත් මාව ඔය පාරෙම අපර කොටසේ ටැට්ටර් විතරක් යන පාරක ඇරියානෙවැ මේ මෑතක. ඇත්තෙම්ම ඇත්ත වසයෙම්ම කියනව නං පහුගියදාක “19 වැනිදායින් කොරෝනා ලංකාවෙන් යන්ටම යයි“ කියලා පත්තරෙං උපුටා පළ කරපු බුකි සටහනක, මං “බායි“ කියල කොමෙන්ත්‍ටුවකුත් දැම්මා. වෙලාවට දැන්නං කොරෝනා ගිහුං. මේ පොලොස්කාරයො නොදන්නාකමට තාමත් dark law දමං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කොරෝනා ගිහිල්ල බං...බය වෙන්ට දෙයක් නෑ...

      Delete
  8. කොරෝනා වලින් ගොඩ එන්නනම් හැමෝම ආයේ බ්ලොග් අප්ඩේට් කරන්න ඕනිලු. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැගිටිමු ඇමෙරිකා දේශනයේදී කියුවේ ඈ!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ට්‍රම්පා නොකිව්වත් ආයම අප්ඩේට් කරන්ට නම් ඕමනයි ...;)

      Delete
  9. අඩුගානෙ මේ යෝදය බ්ලොග් එකේ යමක් ලියල නෙව. ඒකත් ඇති...

    ReplyDelete
    Replies
    1. Dracky,

      අන්න ඒකනෙ බං..ස්තූතියි...

      Delete
  10. සෑහෙන කාලෙකින් මං බ්ලොග් කියවන්න ආවේ. එහෙම ආවාම ඉස් ඉස්සෙල්ලාම ගොඩ වදින්නේ මෙහෙට තමයි. හම්මේ පොත් ගොඩ! :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      හෙහ්...හෙහ්..ස්තූතියි ස්තූතියි..පොත් නම් තව තියනව බං...:)

      Delete
  11. පොත් ගොඩ දැක්කම සතුටුයි. ආයේ බ්ලොග් ලිපි පලකරන්න.. අපි ආසයි කියවන්න

    ReplyDelete
    Replies
    1. Mal,

      ස්තූතියි මල්...ලියන්නම් ලියන්නම්...:)

      Delete
  12. රවි ලොක්කට බොහෝම පිං .කාලෙකට පස්සෙ අපිට‍ දැනුම සමග විනෝදය ලබාදීමට සම්ප්‍රාප්ති වීම සම්බන්දව .ඉතින් ලොක්ක දිගටම මොන මොනව හරි ලියන්න අපිට දිවා රෑ කියල බලන්නේ නැතුව කියවගෙන කියවගෙන යන්න එක හුස්මට .අපි අමතක නොකිරීම ගැන බොහොම ස්තුතියි .මේ කොරෝන මගුල නිසා ගෙවල් ඇතුලෙම ඉඳල පිස්සු ඩබල්වෙලා .ලොක්කට නිරෝගී සම්පත් ලැබේවා . අපි දොයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...