Wednesday, October 28, 2020

659. පුවක් එෂැණිං - 58 - මයික් පොම්පියෝ ආතල්....



එදත් ලක්ෂපති..අදත් ලක්ෂපති... මෙන්න ඔබට ලැබෙන රුපියල් මිලියනයක් දිනාගතහැකි දාහතරවන ප්‍රශ්නය...


අමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ කෝර්විඩ් උවදුර යලිත් හි ඔසවමින් තිබියදී, එම අවදානම පවා නොතකා මෙහි සංචාරයක යෙදෙන්නට තීරණය කලේ ඇයි? 


1.නොවැම්බර් මස 3 වන දින පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා ගැනීම උදෙසා පොටෝමැක් ගංගාවේ ජලය දෙබෑකොටගෙන යේසුස් වහන්සේගේ ධාතු කටින්ගෙන මතුවන ලෙස  කැළණි ගඟ දිය දෙබෑ කොටගෙන මතුවුනු නාග රාජයාගෙන් ඉල්ලා සිටිය හැකිදැයි කැළණි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා සිටීම සඳහා....


2. තවමත් කෝවිඩ් රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා නොමැති අමරිකානුු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සම්පූර්ණ සුවය ලබා ගැනීම උදෙසා සුදර්ශන පැණිය ගැළුම් දෙකක් මහචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලාගැනීම සඳහා..


3. තව සතියකින් පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් මහතා පරාජය වුවහොත් ඔහුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ගෙවිඳු කුමාරතුංග මහතා වෙනුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට පත්කොට M.C.C .කොරිඩෝ ස්ථාපනය කිරීමේ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටීමට.....


4. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුද අපරාධකරුවකු ලෙස නම් කොට  අමරිකා එක්සත් ජනපදයට ඇතුලු වීමට වීසා නිකුත් නොකිරීමට තමන් විසින් ගන්නා ලද තීරණය අවලංගු කොට එම තීරණයෙන් සිල්වා මහතාට යම්කිසි ඉතා සුළු වශයෙන් හෝ සිත් රිදීමක් හෝ කීර්ති නාමයට කැළැල්වීමක් සිදුවූයේනම් අමරිකානු රජය වෙනුවෙන් සිල්වා මහතාගෙන් සමාධිය භජනය කරන ලෙස ඉල්ලා සිටීමට...


5. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් මහතා පරාජයවී ඔහු විසින් නොගෙවා පැහැර හරිනලද බදු ගෙවන්නට සිදුවුවහොත් ට්‍රම්ප් මහතාට අයත් ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ල  වෙන්දේසියේ විකිණීම වළක්වා ගැනීම සඳහා මල්වානේ නිවස බේරාගත් අන්දම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ගැනීමට.


6. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ පුත්‍ර රත්නය වන මනෝජ් රාජපක්ෂ මහතා නාසා ආයතනයේදී හමුවූ විටෙක " අංකල් ආසියාවෙ ටුවර් එකක් යනවනං ලංකාවටත් ගිහිල්ල අපෙ තාත්තගෙං කුරහං තලප රාත්තල් හත අටක් ඉල්ලගෙන ඇවිල්ල අංකලුත් බාගයක් තියාගෙන මටත් දෙන්ට..හොඳේ..මතක ඇති කාලෙකිං කුරහං තලප කෑවෙ නෑ අංකල්" ලෙසින් කල ඉල්ලීම ඉටු කිරීමට...


7. ගූගල්, ජී මේල, කොකාකෝලා සහ පෙප්සි වර්ජනය කෙරන ලෙස වසර කීපයකට ප්‍රථම අමාත්‍ය විමල් වීරවංශ මහතා ගිරිය පුප්පා රටේ ජනතාවගෙන් කල ඉල්ලීමකට අනුව ශ්‍රීලංකා ජනයා තවමත් නොකඩවා එම සේවාවන් සහ භාණ්ඩ වර්ජනය කරන හෙයින් එම සමාගම් බංකොළොත්වී සේවකයින්ට වැටුප් පවා ගෙවාගත නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් එම සමාගම්වල අසරණ වූ සේවකයින්ගේ දරු පවුල් කෙරෙහි අනුකම්පා කොට එම වර්ජනය අත් හැර දමන ලෙස ඉල්ලා එම සමාගම්වල සභාපතිවරුන් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ අභියාචනය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම උදෙසා...


8. M.C.C. ගිවිසුම අනුව අමරිකානු හමුදාව විසින් කැපියයුතු වැටමාර ගස්, උදුරාදැමියයුතු නිදිකුම්බා පඳුරු සහ ශුද්ධ කල යුතු කාණු ඇති ස්ථාන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය හමුවී අසා දැනගැනීම උදෙසා...


9. ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා හමුවී ඔහු විසින් තම උපකාරක පංතිවලදී සිසු සිසුවියන්ට ඇඳ පෙන්වූ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන අමරිකන් කොරිඩෝවෙ සුප්‍රසිද්ධ සිතියමේ සහතිකකල පිටපතක් ලබාගෙන එහි දැක්වෙන මුළු බිම් ප්‍රමාණයම අමරිකා එක්සත් ජනපදයට සින්නක්කරවම ලබාදියයුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටීමට....


10. ගිවිසුම අනුව අනුරාධපුරය වන්දනාකිරීමට යාමට ශ්‍රී ලාංකිකයින්හට අමරිකානු වීසා ලබාගතයුතුවන බව ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු වේදිකාවල සඳහන් වූ බැවින් අමරිකානු වීසා කාර්යාලයක් දඹුල්ලෙහි පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයක් දීර්ඝ කාලීන බද්දට ගැනීම පිළිබඳව සොයා බැලීමට...


11. තවමත් අමරිකානු පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිණියට මෙවර අමරිකානු ජනාධිපතිවරණයෙහි තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදී ඔවුන්ගෙ ඡන්ද පත්‍රිකාවන් දෙක සුරක්ෂිතව තම ට්‍රැවලින් බෑගයෙහි බහා අමරිකාවට ගෙනගොස් ඡන්දය ගණනය කරනා නිලධාරීන්ට භාර දීමට කටයුතු කිරීම උදෙසා.....



9 comments:

  1. මොනවද බං මේ ගොං කතා

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..කියල වැඩක් නෑ නේ? සාර් දෙන්නෙම ගොං ආතල් තමයි..ඒකටම හරියන ගෝලයො ගෝලියො සැට් එක..:)

      Delete
  2. මක්කටවත් නෙවේ, වේඬරුවෙ උන්නාන්සේ දීපු 'කැලිෆෝර්නියා ජනරංජන' නම්බුනාමේ ගන්නටයි අතිගරු මයික් මැතිඳු ලංකාවට ආවේ

    ReplyDelete
  3. සූස් සූස් ගෑව නේද ගම්මිරිස් ඇටේ
    හායි හූයි හරිම සැරයි සර්ලගෙ ගැටේ - කියලා දන්නා හින්දයි කවුරුත් ඔච්චර බය.

    ReplyDelete
  4. උඹ නං ලොකු අයියෙ මේ කොයියම්ම වෙලාවක හරි උස්සගෙන ගිහිං නිරෝධායනය කරල, මධූෂ් වගේ එක්කරං යයි ලියල කෙළවරක් නොකරපු පෝස්ට් පෙන්නන්ඩ...

    ReplyDelete
    Replies
    1. 'ලියල කෙළවරක් නොකරපු පෝස්ට් පෙන්නන්ඩ...'. අපොයි දෙය්යනේ මේ අහින්සක මනුස්සයා.

      Delete
  5. දැන් නම් රවි මුට්ටි දේවිලා, පොට් සාර්ල ගැන එහෙම ලියන්න පුලුවන්. මුට්ටි බිඳින්න තල්මස්සුත් ඇවිල්ලා.

    ReplyDelete
  6. මෙන්න පුලුවන්නම් ලියන්න කතාවක් මේකට
    https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete
  7. දේසපාලනේ ඇති අයියෙ, ලියන්නකෝ හොඳ කතාන්දරයක්. :(

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...