Friday, June 11, 2021

153. අපි බිය වෙමු

    අපි බිය වෙමු.

    කොරෝනා සෑදීමෙන් ‌මියෙන්නට සිදුවේයැයි බිය වී අපි ප්‍රවේසම් වෙමු.

    කොරෝනාවෙන් මියෙන්නට වේ යැයි බියෙන් අපි එන්නත් ලබා ගතිමු. දැන් දෙවන එන්නත නිසි කලදී ලැබේදැයි නොලැබේදැයි යන අනියතය පිළිබඳ කල්පනාවෙන් පසුවෙමු.

    ඒ අතරේ එන්නත ලැබූ සෑම දෙනා ම වසර දෙකක් තුල මියෙතැයි සමාජ ජාල ඔස්සේ කෙස් ගස් දෙකඩ කරන තර්ක සහිත ව අහවල් විශ්ව විද්‍යාලයේ අහවල් මහාචාර්යයවරයා පැවසුවේ යැයි ලිපි සංසරණය වන අයුරු අපි දකිමු.

    නැවත අපි බිය වෙමු.

    වසර දෙකක්? ඔව් වසර දෙකක්!

    වසර අසූවක් ජීවත් වන්නට සිතා, කොරෝනාවෙන් මියෙන්නට බියෙන්, එන්නත් ලබා ගත් අපි ‌වසර දෙකකින් ‌මියෙන්නේලූ. ඉතින් අපි නැවත කම්පා වෙමු.

    ඒ තොරතුර නිවැරදි යැයි ගත්ත ද, අවම තරමින් අපට වසර දෙකක වගකීම් සහතිකයක් ලැබී තිබේ! ‌කෙනෙක් කොක්හඬලමින් පවසති.

    ඉරණම කියයි නම් මහමග සිඟන්නට‍
    උරුමකම් කිව හැකි ද රජගෙයි ඔටුන්නට

    අයියෝ! අවුරුදු දෙකයි! අවුරුදු දෙකයි! කියමින් විස්සෝප වෙමින් ඉන්නා අතරේ ඒ කියන ඊනියා වසර දෙක සම්පූර්ණ කරගන්න හැකිවේදැයි කවුරු නම් දනී ද?

    සුගිය දා වැහි වතුර ගංගාවලට පිරී, ගංගාවන් පිටාර ගලා, නාය ගොස්, පස් කඳු කඩා වැටී බොහෝ පිරිසක් මිය ගියහ.

    ඒ අයත් අපි වගේ ම කොරෝනාවෙන් මියෙන්නට බියෙන් සිටින්නට ඇති.

    පාරේ වාහන නොමැති, සංචරණ සීමා යුගයේ අධික වේගයෙන් වාහන ධාවනය කොට අනතුරට පත් වී කිහිප දෙනෙකු මිය ගොස් තිබේ. වසරේ වැඩි ම රිය අනතුරු සිදු වූ මාසය!

    ඒ අයත් අපි වගේ ම කොරෝනාවෙන් මියෙන්නට බියෙන් සිටින්නට ඇති.

    කොරෝනාවෙන් මියෙන්නට වේ යැයි බියෙන්, ප්‍රවේසම් වී එන්නත් ලබාගෙන දිවිය රැකගන්නට සිතද්දි, ඊටත් වඩා භයානක අවසානයක් අප වෙනුවෙන් මග බලා සිටී දැයි අපි නොදනිමු.

    ඉතින් අපි නොහඳුනාගත් අනතුරකට, ඒ අනතුරට පසු තවත් අනතුරකට, ඊටත් පසු වෙනත් අනතුරකට ආදී වශයෙන්, සදාකාලිකව ම බියෙන් සැඟවෙමින්, දුවමින් පසුවෙමු.





9 comments:

  1. මිනිසුන් වැඩිපුරම මිය යන්නේ ඇඳන් මත වැතිරී සිටින විටයි. ඒ උනාට අපි හැමෝම බය නැතිව හැමදාම ඇඳන් උඩ නිදා ගන්නේ????

    ReplyDelete
    Replies
    1. ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ අධ්‍යයනයක දි දේශකවරයා මෙහෙම කිව්වා. පිටරට වලදී, කණු වලට එල්ලා රඳවා ඇති පාලම් මතින් ගංගා තරණය කරන මිනිස්සු මෙහේ ගෙයක් හදද්දි නිදන කාමරේ ඇඳ දළඹේ (Soffit) එල්ලන්න යෝජනා කළා ම බයේ මැරෙන්න හදනවා.

      Delete
  2. පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියල කියන්නේ ඒකනේ ... එහෙම කියල ඉතින් මැරෙන්නද ... ඉන්න ඩිංග සැපේ ඉන්න ඕනේ ...

    ReplyDelete
  3. බිය යනු මේ කාලයේ ඒක් අකාරයක දේශපාලනික උපකරනයකි
    මෙහි සැමට පිලිගත හැකි සරලම මට්ටමේ න්‍යාය ඇත්තේ ස්කුබි ඩු කාටුන් පෙල තූලයි
    මුස්ලිමි භීතිකාව වද භිතිකාව දෙමල භිතිකාව
    කාලයෙන් කාලයට වපුරන ලද භිතිකාවන්ය
    ඒය යමි දේශපාලනික ප්‍රතීපලයක් ජනිත කරයි
    අප වැඩි පුරම බිය විය යුත්තේ ඒ් ප්‍රතිපලයටයි

    ReplyDelete
    Replies
    1. දේශපාලනික සත්ත්වයනට දේශපාලනික උපකරණ!

      Delete
  4. සමහරු ඇවිත් ඉන්නෙම හැමදා ඉන්න
    සූදානමක් නෑ අත හැරලා යන්න
    වෙලාව ආවම සතුටෙන් නික්මෙන්න
    හැකිය ජීවිතේ ජීවත් කෙරුවොතින

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...