Sunday, June 20, 2021

668. ඇදිහැස මතක......



ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ)  විස්කෝතු ගැන සති දෙහෙකට වගෙ කලින් මුහුණු පොතේ පෝස්ට් එකක් මම ෂෙයාර් කලා. හුඟ දෙනෙක් ඇදිහැස විස්කෝතු ගැන තමංගෙ අදහස් කියල තිබ්බ. මම ඉතිං ඒ ගැන මගේ මතක තව දුරටත් සටහන් කරන්නයි මේ හදන්නෙ..

එකේ දෙකේ පංතිවලදි ඔය බිස්කට් දුන්නු බවක් මට මතක නෑ. ඒත් තුනේ පංතියෙදි නම් මට හොඳට මතමයි බිස්කට් 3ක් දුන්නා එක ශිෂ්‍යයෙකුට. ඒ කියන්නෙ 1971 අවුරුද්දෙ. අප්‍රේල් නැඟිටීම නොහොත් ජේ.වී.පී. පළමු අරගලය සිද්ද වෙන්නෙත් ඒ අවුරුද්දෙමයි.

ඒ කාලෙ දවසට කාල පරිච්ඡේද නොහොත් පීරියඩ් අටයි. උදේට පීරියඩ් පහයි ඉන්ටිබල් නොහොත් විවේක කාලයෙන් පස්සෙ තුනයි. උදේ 7.30 ට ඉස්කෝලෙ ආරම්භක සීනුව ගැහැව්වම පන්සිල් අරං වැඩ පටංගත්ත. 

එකාමාරට පියුම් අංකල් (ඉස්කෝලෙ කාර්යාල කාර්ය සහායකට අපි කිව්වෙ එහෙමයි) පුස්තකාලෙ බැල්කනියෙ බලු දං වැලකිං එල්ලල තිබ්බ මලකඩ කාච්ච පරණ ලොරි රිම් එකට අඩියක් විතර දිග යකඩ කෑල්ලකිං (ඒකත් ආය දෙකක් නෑ පරණ මයිනර් එහෙකිං හරි ෆෝඩ් එහෙකිං හරි ගලවල අහක දාපු මොකක් හරි ගැජට් එකක්) දහ පාරක් තඩි බෑවම..(හරියටම දහ පාරයි මිනිහ රිම් එකට තඩි බාන්නෙ..අපි ගණං කරල තියනව) අපි කට්ටිය ලී පුටුවලිං දඩි බිඩි ගාල නැඟිටල "යෝවද තම්පව රෝමනු ජේසු..." කියල ඉස්කෝල් මැදිං වැටිල තිබ්බ පාර දිගේ පල්ලෙහාට දුවගෙන එනව..

පීරියඩ් අටට එක පීරියඩ් එකකට විනාඩි 40 බාගෙ පැය 5 යි විනාඩි 20යි. ඉතුරු විනාඩි 40න් දහයක් උදේම පන්සිල් ගන්ට. ඉන්ටර්වල් එකට විනාඩි 20යි. තව විනාඩි 10ක් වෙන්කරල තියනව දෙවෙනි පීරියඩ් එක පටන් ගන්න ඉස්සෙල්ල පන්තියෙ රෙජිස්ටරේ නොහොත් පැමිණීමේ ලේඛනය ලකුණු කරන්ට. ඒක කරන්නෙ පංතිභාර ගුරුතුමා හෝ ගුරුතුමිය. එකේ පන්තියෙ අපේ පංතිය භාරව හිටියෙ ඩොටී පෙරේරා ගුරු තුමිය. දෙකේදි ලියනාරච්චි මහත්මිය. තුනේ මතක නෑ. පහේදි මුදියන්සේ සර්. හයේදි ජයලත් සර්. හතේදි ජයසිංහ සර්. අටේදි පුංචි නිලමේ සර්. නමයෙදි පුංචි අප්පුහාමි සර්..

ඉතිං අර නම් ලකුණු කරන්ට වෙන් කරල තියන මිනිත්තු දහයෙදි පංති බාර ගුරුවරයා හෝ ගුරුතුමිය ඇවිල්ල නම් ලකුණු කරනව. අපේ නම කිව්වම අපි නැඟිටල දකුණු අත උස්සල ප්‍රසන්ට් හෝ ඉන්නවා කියල කියන්න ඕන. එදා ඉස්කෝලෙ ආපු නැති අයගෙ නම් කියනකොට ඒ කිට්ටුව ඉඳගෙන ඉන්න අය නෑ කියල කෑගහනව. 

"ආර්.ඩී. වීරසිංහ"... "ඉන්නවා....."

"ආර්.කේ. රණතුංග..." "ඉන්නවා....."

"කේ.එන්. ඉන්දතිස්ස.."   "ඉන්නවා.."

"ඩී. ඩබ්ලිව්. රූපසිංහ..."  "ඉන්නවා.."

"එච්. කුඩාහෙට්ටි.."  "ඉන්නවා...."

"එස්. ගලප්පත්ති.."  "ඉන්නවා..."

"එන්. ගුණසේකර.."  "නෑ....."

"බී.ඩබ්ලිව්. දසනායක.." "ඉන්නවා.."

"ෆවාස් අන්වර්...." "නෑ......"

අන්න එහෙම.......

ඊටපස්සෙ එදාට පැමිණි සිසුන් ගණන යටින් ලියල සර්ගෙ හෝ මැඩම්ගෙ කෙටි අත්සන දානව. ඊට පස්සෙ ඉතිං එතුමා හෝ එතුමිය නැඟිටල යනව. ඒ එක්කම ඊලඟ විෂයය උගන්වන ගුරුමහතා හෝ මහත්මිය පංතියට එනව.

අපිට පහේ පන්තිය වෙනකල් ඉංග්‍රීසි ඇරෙන්න ඉතුරු විෂයයන් ඔක්කොම ඉගැන්නුවෙ පංති භාර ගුරු මහතාමයි. හයෙන් පස්සෙ තමයි වැඩේ වෙනස් උනේ. 

ඒ කාලෙනෙ ඔය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් විෂයයන් එතකොට විෂය නිර්දේශයන් ඔක්කොම වෙනස් කරල මහ පෙරළියක් කලේ..නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහෙමයි ඒකට කිව්වෙ..බදියුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමති. ආචාර්ය ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම්..එයාල තමයි ඔය වැඩ පිළිවෙලේ මූලිකත්වය අරං කටයුතු කලේ..හරි හරි පඳුරු තැලිල්ල ඒ ඇති. 

ඉතිං අර පංතියෙ නාම ලේඛනය ළකුණු කරල ඉවර උනහම ඊලඟට පංතියේ මොනිටර් නොහොත් පංති නායකයට පැවරෙනව බොහොම වැදගත් වගකීමක්..

පංතියෙ ගුරුවරයෙක් නැතිඋනහම ළමයි කෑගහන එක වළක්වා ගන්න එක, එතකොට ගුරු මේසෙට ඉටි රෙද්දක් ගේන එක, කොස්සක් ගේන එක..ඔෆිස් එකෙං චෝක් ගේන එක, කලුලෑල්ල මකන්ට කොට්ටයක් හදාගෙන එන එක, කලුලෑල්ලෙ කලු ගිහිල්ලනම් ලාම්පු දැලියි එඬරු කිරියි කළවම් කරල ගාල කලු ලෑල්ල කළු කරන එක වගෙ රාජකාරිවලට අමතරව මේ වැඩේ තමයි පංති නායකයගෙ වැදගත්ම වගකීම.. 

ඒ කිව්වෙ බිස්කට් පෙට්ටිය ගුරු මේසෙ ලාච්චුවෙං අරගෙන රෙජිස්ටරෙත් එක්ක ඇරගෙන ගිහිල්ල කාර්යාලයෙ ඉස්සරහම තියෙන පොඩි ලොබි එකක් වගෙ කෑල්ලෙ තියල තියෙන මහ විසාල මේසයක් උඩ තියන එක....

ඔය බිස්කට් පෙට්ටිය කියන එක අපේ පංතියෙ නම් තිබ්බෙ බෙලෙක් තහඩුවෙං හදපු මැලිබන් ක්‍රීම් ක්‍රැකර් පෙට්ටියක්. ඕක කලුවෙලා ගන්ඩ දෙයක් නැතුව තිබ්බෙ..ඒකෙ වැඩේ කියන්නෙ අපි පංතියෙං පංතිය ඉහළට යනකොට ඔය බිස්කට් පෙට්ටියත් ඒ එක්කම අලුත් පංතියට අරගෙන යනව. 

මාස හයකට වගෙ සැරයක් පංතිබාර සර් ඕක දැකල කෑගහනව..."මොනවද ළමයි බලනවල මේ පෙට්ටියෙ හැටි..තමුසෙලට දැං අසනීපයක් හැදෙනව මේකෙ ගේන බිස්කට් කාල..කෝ වීරසිංහ?..අද මේක ගෙදර අරං ගිහිල්ල සුද්ද කරගෙන එනව..තේරුනාද? "

"හරි සර්" මම නැඟිටල ඔලුව පාත් කරගෙන කියනව. ඒ රාජකාරිය මට බාර දෙන්නෙ මම තමයි ඒ වෙනකොට පංතියෙ මොනිටර්. මොනිටර්ල මාසෙං මාසෙට එක එක්කෙනා පත් කරනව. එහෙම පත්කිරීමේ පූර්ණ බලතල තියෙන්නෙ පංති බාර සර්ට..

මම ඉතිං එදා ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට බිස්කට් පෙට්ටිය අරගෙන යනව. ගිහිල්ල අපෙ මාමගෙ ආයුද පෙට්ටියෙන් වැලි කඩදහියක් අරගෙන අතුල්ලල අර තියන කලුපාට ඔක්කොම හූරල දානව. ඊට පස්සෙ කාඩ් බෝඩ් එකක් අරගෙන ගානට කපල පෙට්ටියෙ පියනෙයි වටේටයි ගම් ගාල අලවනව. පියනෙ ප්ලැටිග්නම් එකකින් ලොකුවට ලියනව 7 A කියල. ඒ අපේ පංතිය. පෙට්ටිය ඇතුලට අම්මගෙ මැහුං පෙට්ටියෙං අරගෙන සව් කොළත් අතුරනව.

ඒ සව්කොල හැබැයි ඕනනම් දවස් දෙකක් තියෙයි. ඊට පස්සෙ පරණ පුරුදු විදිහට බිස්කට් ඉතිං නිකම්ම පෙට්ටියට දාගෙන එනව. වටේට අලවපු කාඩිබෝඩ් එකත් මාසයක් වගෙ යනකොට අතටම දියවෙල ගැලවිල යනව.

පස්සෙ හැබැයි මෙහෙම දෙයක් උනා. අපේ පංතියෙ හිටිය යාලුවෙක් එයාගෙ තාත්තට ගැරෑජ් එකක් තිබ්බ. මිනිහ මොනිටර් උනහම කලේ බිස්කට් පෙට්ටිය වටේටම ලා නිල් පටට තීන්ත ස්ප්‍රේ කරගෙන ආව..එතනින් පස්සෙ හැබැයි පෙට්ටිය යස අපූරුවට තිබ්බ අවුරුද්දක් දෙකක් යනකල් ලා නිල් පාටින් බැබලි බැබලි..

අර ඔෆිස් එකේ මෙසේ උඩ තැන්පත් කරල තියෙනවනෙ හැම පංතියකම බිස්කට් පෙට්ටි....අපේ පංතියෙ පෙට්ටිය තමයි එතනිං කප් ගහපු ලස්සනම පෙට්ටිය..නම්බර් වන්..අපි බොහොම ආඩම්බර උනා ඒ පෙට්ටිය ගැන..

ඉතිං ඔය බිස්කට් පෙට්ටියෙ තමයි අපේ පංතියට ඇදිහැස විස්කෝතු ගේන්නෙ...අර මම කලින් කිව්වෙ නාම ලේඛනෙත් එක්ක පෙට්ටිය ගිහිල්ල තියනව කියල ඔෆිස් එකේ තිබ්බ විසාල මේසයක් උඩ..ඉන්ටර්වල් එක කිට්ටු කරල අපේ පියුම් අංකල් හෝ ඔෆිස් එකේ ඉන්න වෙනත් ලිපිකරු/කාරිනියක් හරි නාම ලේඛනේ අනුව එදා පැමිණි සිසුන් ගාණට එකාට බිස්කට් තුන ගානෙ වැටෙන්න අර පෙට්ටියෙ පිළිවෙලට බිස්කට් අඩුක් කරනව.. 

පස්වෙනි පීරියඩ් එක ඉවර වෙන්නෙ 11.10 ට..එකොළහ වගෙ වෙනකොට පන්තියෙ උගන්නන සර් හෝ මැඩම් අත් ඔරලෝසුව බලල මොනිටර්ට කතාකරනව..මම මොනිටර් නම් මට.."වීරසිංහ ගිහිල්ල බිස්කට් අරං එන්න..." 

කොහොමත් ඔය බිස්කට් ගන්න යන වෙලාව වරදින්නෙ නෑ..ඒ කාලෙ අපි කවුරු ගාවවත් අත් ඔරලෝසු තිබ්බෙ නෑ..ඉස්සෙල්ලම මම අත් ඔරලෝසුවක් බැඳගෙන ගියේ නමය පන්තියෙ අවසානයෙ තිබ්බ ජා.පො.අ.ස. විභාගෙට..සාමාන්‍ය පෙළ විභාගෙ වෙනුවට අපි වාඩිවුනේ ජා.පො.ආ.ස. විබාගෙට..

පස්වෙනි පීරියඩ් එක පටන්ගෙන විනාඩි දහයක් පහළවක් වගෙ යනකොට පංතියෙම එවුං මං දිහා බලනව..ලඟ ඉන්න එවුං හෙමීට කියනව "ඒයි වෙලාව හරි බං.." කියලත්...සර්ට මේ කසුකුසු ඇහුණම තරහ යනව.."ඉන්නවලකො..මම වෙලාව ආවම කියන්නං..එතකල් මේ පාඩම අහගන්නවල.."

සර් "හරි වීරසිංහ දැං යන්න.." කිව්වම මම ඔෆිස් එකට ගිහිල්ල අපේ ලා නිල් පාට බිස්කට් පෙට්ටිය අරං එනව...ගෙනල්ල සමහරවිට සර්ගෙ මේසෙ උඩ තියනව..සමහර සර්ල "හරි හරි ඔන්න ඕක බෙදල දානව..හැබැයි කන්නෙ එහෙම නෑ.." කියල කියනව..

මම කරන්නෙ පේළියෙන් පේළියට ගිහිල්ල ඒ පේළියෙ ඉන්න ළමයි ගානට එකාට තුනක් ගානෙ බිස්කට් කෙළවරේම ඩෙස්ක් එක උඩ තියනව. එතකොට ළමයි තුන ගානෙ බිස්කට් බෙදා ගන්නව. සමහර දාට බිස්කට් කැඩිලනම් වැඩිපුර හම්බ වෙනව. එක්කෙනාට හත අටක් වගෙත්. එහෙම උනහම අන්තිමට පේලියෙ අයට වාසියි.....

මන්චී විස්කෝතු කර්මාන්ත ශාලාව පටන්ගත්තෙම ඔය ඇදිහැස විස්කෝතු නිෂ්පාදනයට කියල මම අහල තියනව.මැලිබන් විස්කෝතු සමාගමේ වැඩ කරපු තුන් හතර දෙනෙක් එතින් අයින්වෙලා ලු මන්චී ෆැක්ටරි එක දැම්මෙ...

ඇදිහැස කියල ගහල අන්තර්ජාලයෙ සර්ච් කරද්දි මෙන්න මේ කවි පෙලත් හම්බ උනා.ඒකෙත් තියනව ඇදිහැස බිස්කට් ගැන...යෝධ ඇළ, ට්‍රැක් දාසය කියලත් තියන හින්ද බොහෝවිට මේ කවිපෙලේ කියන්නෙ මම කාලයක් වැඩ කරපු බකමූණ ප්‍රදේශය ගැන වෙන්නත් පුලුවෙනි.

ඔබ ගිලී මළ තැන

ඇල කණ්ඩියේ වාඩි වී
පා ඔබා දිය කඳ තුළ බලා සිටියෙමි,
ඔහේ ගලනා යෝධ ඇළ දෙස,
ළමා කල මතකයේ පෙණ කැටිති පාව එන.

වතුර බසිනා තැන ‍පෙනී නොපෙනී සරන,
ගොම්මනේ ගීතය ගයන,
හොල්මන් කුරුල්ලෙකු පැමිණ,
තුඩගින් ගෙනා රාත්‍රිය
යෝධ ඇළ කුඹුක් අතුපතර දවටා
සට සට හඬින්
තටු සලා ඉගිළ යයි.

ඇල කණ්ඩියේ ගව මංකඩක
සිය දහස් ගව කුර සටහනින් මැකී ගිය
එගොඩ වූ බව මිස යළි මෙගොඩ වූ ලකුණු නැති
ළමා පා සටහනකි, දසක ගණනක් පැරණි.

නෑ සියන් කිසිවෙකුත් නැති
ගොපළු කොළුවෙක් මගෑරුණු ගවයෙකු සොයා,
රෑට දෙන රොටී පළුවද දඬුවම විසින් අහිමිව,
රැය පුරා බඩ වැටි අතර සැරි සරා
බිඳී ගිය බැරෑඬි හඬකින් ගවයන්ට අඬ ගසන හඬ
ඇල එගොඩ දුර සිට යම්තමින් තාමත් ඇසෙයි.

නොගිලී සිටිනු වස් අත්පා ගසන විට
ජලතලය කැළඹෙන හඬ,
මෙගොඩ වූ යමෙකු හතිලමින්
තෙත බරිත රෙදි කඩක් ගසා දමනා හඬ,

කෙවිටෙන් පඳුරකට ගසමින් ළඟ ළඟම පිය මනින හඬ,
නමින්වත් නොදැන හුන් අම්මෙකුට අප්පෙකුට
දුක කියා තනිව ඉකිබිඳි ඒ ළමා කට හඬ,
නෑසු කන්ව නිදි ගත් මගේ සුන්දර ගම්දොර
එදා මෙන් තාමත් නිදයි, සඳ රාත්‍රිය මළවුන්ට වෙන් කර.

ට්‍රැක් දාසයේ සියඹලා ගස යට
ගොඩ දමා තිබිණි මැස්සක් මත
ඒ අනත් දරු මළ කඳ.
කිසිදා නොපිරි කුස, සුසුම් සිර වූ පෙණහළු
යෝධ ඇල වතුරෙන්, රොන් මඩින් පිරී තිබුණෙන්
ගිලී මිය යාමක් ලෙස තීන්දුව පළවිය.

රැස්ව හුන් සියල්ලන් විසිර ගිය පසු,
ඉතුරු වූ එකා දෙන්නා එක්ව,
කුඹුරු යායට ඉහළ රිසිවේසන් කෑල්ලේ වළ දමන්නට
ඔබේ මල කඳ රැගෙන යන විට පසුපස ගෑටුවෙමි,
හඬන්නට කිසිවෙකුත් නොසිටිය අවමගුල් පෙරහැරක.

පාසල් යනෙන මග ගඩාගෙඩි ඇදිහැස විස්කෝතු,
හුවමාරු වුන සුපුරුදු සියඹලා ගස යට,
ගවරැලද පිරිවරා සිනහ සී අත වනන,
ඔබේ රුව දකිනු වස් මොහොතකට අමතකව,
නතර වී බලන කල,
ඒ ගසේ අත්තක, දිරා යන ඔබේ වැරහැලි කමිසය
එකම එක සුදු කොඩිය වී ඔබෙ මළ ගමට එසැවුණු,
රැඳී තිබෙනායුරු දුටුවෙමි, බොහෝ කල් යන තෙක්.

යෝධ ඇල නගන මේ රැළි
සඳ රැයෙක ඔබ දියෙන් මතු වී ඉඳ හිට
කිසිවෙකු දකින්නට පෙර
යළි කිමිදෙනා විට මතුවන කැළැඹුමය.

ඈත සිට විත් පහලටම පාව යන මේ පෙණ ‍පිඬු
යෝධ ඇල පත්ලේ රොන් මඩ අතර සැඟවුණු,
තාමත් බුබුලු ලා මතුවන ඔබේ අවසන් හුස්‍මය.

අජිත් සී හේරත්  2010 මාර්තු

38 comments:

  1. pasal kalaya sihipath karawana apooru kathawak.

    ReplyDelete
    Replies
    1. sarath,

      ස්තූතියි සරත්.....:)

      Delete
  2. විස්කෝතු යුගයට පෙර තිබූ බනිස් යුගය ද මේ ලිපියෙන් මතකයට නැගුනා!

    ReplyDelete
    Replies
    1. Litseeker,

      /වාමාංශික නායකයන් නිරුත්තර කළ ‘බනිස් මාමා’
      (සටහන - එස්.ඒ.වයි.ද සිල්වා)

      දකුණේ උපත ලද අයකු පළමුවෙන් මේ රටේ අගමැති පදවියට පත්වූයේ ආචාර්ය විජයානන්ද දහනායක මහතායි. ඒ මෙරට පස්වැනි අගමැතිවරයා වශයෙනි.

      1956 දී බලයට පත් අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූයේ ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයානන්ද දහනායක මහතාය.

      ඊට පෙර පැවති රජයෙන් පාසැල් දරුවන් දිවා විවේකයේදී කිරි වීදුරුවක් ලබා දීම සිදු කෙරිණි. එහෙත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති පදවියට පත්වීමෙන් පසු කිරි වීදුරුව ලබාදීම අත්හිටුවා තිබිණි. විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ අනුමැතිය ඇතුව පාසල් දරුවන්ට නවතා තිබූ කිරි වීදුරුවත්, ඊට අමතරව බනිස් ගෙඩියකුත් ලබා දීමට පියවර ගත්තේය. මේ නිසා එවක පාසල් සිසුන් සියලූ දෙනාම දහනායක මහතා හැඳින්වූයේ ”බනිස් මාමා” යනුවෙනි. ඇමතිවරයෙක් වුවද දහනායක මහතාද එම ඇමතීමට දැඩි ප‍්‍රසාදයක් දැක්වූවා මිස එරෙහි වීමක් නම් නොවීය. පාසලේ දිවා කාලයේදී ලබා දුන් කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු පාසලේ සිසුවකු මිය ගියේය. එම මරණයට හේතුව පාසලෙන් දුන් කිරි පානය කිරීම නිසාම නොවීය.

      වෙනත් අසනීපයකින් මියගොස් තිබිණි. මෙම සිද්ධිය මූලික කරගෙන වාමාංශික දේශපාලන නායකයෝ විජයානන්ද දහනායක ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී නොයෙකුත් අවලාද නගන්නට වූහ. පාසලෙන් දුන් කිරි වීදුරුව පානය කිරීම හේතුවෙන් මරණය සිදුවූ බව වාමාංශික දේශපාලන නායකයෝ කීහ. මේ අයගේ දැඩි වාග් ප‍්‍රහාරය පිළිබඳව දහනායක මහතා කලබල නොවීය. ”මේ පාසල් ශිෂ්‍යයා මිය ගිය බව ඇත්ත. පාසලෙන් දුන් කිරි වීදුරුවත් පානය කළ බවත් ඇත්ත. මිය යාමට පෙර කිරි වීදුරුව පානය කළ බවත් ඇත්ත. එහෙත් කිරි පානය කිරීම මරණයට හේතුව නොවෙයි. වෙනයම් අසනීපයකින් මිය ගොස් තිබෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු යම් කෙනෙක් බණ ගෙදරකට හෝ පන්සලකට ගොස් බණ අහල ගෙදර එන විට මිය ගියා කියල, එවිට ඒ මරණයට හේතුව බණ ඇසීමද? එහෙම වෙන්නේ නැහැ නේද? මේ මරණයත් ඒ වගේ සිද්ධියක් විතරයි.” අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතාගේ මෙම විග‍්‍රහයෙන් පසු වාමාංශික දේශපාලන නායකයෝ නිරුත්තර වූහ. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පසුව පැමිණ දහනායක මහතාට ප‍්‍රශංසා කළේය./

      මගෙ වැඩිමහල් ඥාතී සහෝදරයෙක් කිව්ව 1967 වෙනකල් බනිස් නම් දුන්න කියල. කිරි නම් හම්බ උනේ නෑ කියලයි කිව්වෙ..

      Delete
    2. ඉස්සර කියනවානේ, කොළඹට කිරි අපිට කැකිරි කියලා. මේක දැක්ක ම මතක් වුණේ 1988-1990 කාලේ අපිටත් බනිස් ගෙඩිය/විස්කෝතු සමග හයිලන්ඩ් කිරි පැකට් ලැබුණා

      Delete
  3. ඉස්කෝලේ හිටිය වාගෙයි මං චුට්ටක්
    දිවටත් දැනිණි ඇදිහස විස්කෝතු රහක්
    ඉඩ ලද විටෙක මොනිටර් වැඩියෙන් ගෙනවුත්
    බෙදුවා මිතුරො වෙත බිස්කට් තුන හතරක්

    ReplyDelete
    Replies
    1. Nidi,

      තාප්ප චිත්‍ර ඇඳි තරුණන් සොයා ගොසින්,
      මාළු පාන් බෙදනට තැත්කල පුඟුලන්,
      දැක බියපත්ව සැඟවුනු කල ඒ තරුණන්,
      කෑවේ කවුද ඒ සියයම මාළුපාන්?

      නිදි, මේ කෝවිඩ් කචල් ඉවරයක් උනාම ආය යමු බං කොහෙ හරි දුර ගමනක්? හා...ද?

      Delete
    2. එක පයින් නෙවී රවී මහත්තයෝ.... දෙපයින්ම සූජානං ගමන්=බිමන් නං!

      පන්නිපිටියේ ඒ තාප්පේ තමයි කැතම විදිහට චිත්‍ර ඇඳිල්ල නැවතිලා තියෙන්නේ... එතැනින් යන ගානේ නෙවිල්ලා හිනා වෙනවා තවමත්. මම පෙනේ අකුළාගෙන ඉන්නවා.
      මේ... ආයෙ එන දවසකට අර 'එයාර් ෆ්රයර්' එකේ හදපු ඇඹුල් තියලුත් ඕනි!හොඳේ...

      Delete
  4. වැඩේ කියන්නේ, අපි පොඩිකාලෙත් බිස්කට් දුන්නා මතකයි, හැබැයි මේ නම මතක නැහැ. හස්බන්ඩ් කියනවා එයාට ඒ නම මතකලු

    ReplyDelete
    Replies
    1. Randil,

      ඇදිහැස ගැන එකේ ලියවුනු පෝස්ට් එකක තිබ්බ 1988/89 වගෙ වෙනකල් මේ විස්කෝතු දුන්නයි කියල...

      ඊට පස්සෙ හැබැයි මම හිතාගෙන හිටියෙ ඒ වැඩේ නැවතිල ප්‍රේමදාස ලොක්ක ජනාධිපති උනාට පස්සෙ (ඒ කියන්නෙ 1991 විතර) ළමයින්ට බත් වේලක් දෙන්න පටන්ගත්තයි කියල..ඒ ගැන දන්නෙ ඉතිං ඔය කස්ටිය තමයි..ඒ කාලෙ ඉස්කෝලෙ ගිය අය..අපි හරියට දන්නේ නැත.

      ඊට පස්සෙ ආයම මම ඔය ගැන දන්නව 2003 ඉඳල..ඒ අපි ගුරු නිවාසෙ හිටපු කාලෙ..1 වසරෙ ඉඳං 5 වසර වෙනකල් ළමයින්ට ඉස්කෝලෙම උයල බත් හෝ මුං ඇට, කව්පී කඩල වගෙ එව්ව දුන්න.. ඒ ගැන මම හොඳටම දන්නෙ ඒ බඩු ගෙනල්ල තිබ්බෙ අපි හිටපු ගුරු නිවාසෙ හින්ද..

      Delete
    2. කොළඹ බත් දුන්නු බව අහලා නැහැ. අපිටත් මුලින් බිස්කට් දුන්නා, පස්සේ බනිස් දුන්නා. ඊට පස්සේ 1990 හෝ 1991 දී මුද්දර කාර්ඩ් දෙන්න පටන් ගත්තා. ඒක රුපියල් 60ක් වටිනවා. පැමිණීමට රුපියල් දෙකයි. සෙනසුරාදා ඉරිදාට රුපියල් දෙක බැගින්. සමූපකාරෙන් බඩු ගන්න පුලුවන්. ධ්‍යාන, හාල්, තේ කොළ, කිරිපිටි වගේ දේවල්. ධාන්‍ය හෝ බත් ඉන්ටර්වල් එකට ගෙනියන්න ඕනෑ. අගුණ වර්ග දේවල් ගෙන ආවොත් එදාට රුපියල් 2 නැහැ. හැමදාම ටීචර් බලලා මාර්ක් කරනවා කාර්ඩ් එකේ. ඒවා හොඳට කල්පනා කරලා, සැලසුම් කරපු වැදගත් වැඩ. ළමයින්ව අම්මලා හැමදාම එවනවා, ගුණ කෑම එක්ක. ප්‍රේමදාස මහත්තයා නැති වුණාට පස්සේ වගේ ඒ කාර්‍ය්ය නැවතුනා වගේ මතක

      Delete
  5. ඒ කවි පංතියේ, ඒ ළමයා ව වෙන කෙනෙක් දියේ ගිල්වලා ද?

    //මෙගොඩ වූ යමෙකු හතිලමින්
    තෙත බරිත රෙදි කඩක් ගසා දමනා හඬ,//

    ReplyDelete
    Replies
    1. Randil,

      එහෙම අදහසක් ආවද? මම ඔයා කියපු එක හිතේ තියාගෙන ආයම කවිය කියෙව්ව..මටනම් එහෙම හිතුනෙ නෑ..

      ඇලෙන් එගොඩ නැතිවෙච්චි හරකෙක් හොයන්ට ගිහිල්ල ආපහු මෙගොඩ වෙද්දි ගිලිල මැරුන කියලයි මට හිතුනෙ..මෙගොඩ වෙලා තෙත රෙදි කඩ ගසා දමනව වගෙ ඇහුනට ඒ හිතට දැනෙන හඬක් කියලයි මට හිතුනෙ..

      Delete
    2. //යෝධ ඇල වතුරෙන්, රොන් මඩින් පිරී තිබුණෙන්
      ගිලී මිය යාමක් ලෙස තීන්දුව පළවිය.// මේ නිසත් මට එහෙම හිතුණා. හරියට එහෙම තීන්දු වුණාට ඒ මරණය වුණේ එහෙම නෙමෙයි වගේ

      Delete
    3. Randil,

      ඔව්..රචකයා එහෙම කුකුසක් ඇති කරන්න හිතාගෙනම එහෙම ලිව්ව වෙන්නත් පුලුවන්...

      ඒත් මට හිතෙන්නෙ ඒ දරුවට හැමෝගෙන්ම අසාධාරණකම් නෙ සිද්ධ වෙලා තියෙන්නෙ..ඒ අසාධාරණකම් හින්දම මැරුණට වතුර පෙවිල දියේ ගිලිල කියලයි තීන්දුව ලැබුනෙ..අන්න එහෙම එකක් කියන්න හදන්නෙ වගේ..

      Delete
  6. රන්දිල්,

    බොහොමත්ම ස්තූතියි..

    අවුරුදු එකොළහකට ඉස්සෙල්ල තමන්ගෙ බ්ලොග් එකේ ලියන්න මට ආරාධනා කලාට ඉස්සෙල්ලම..

    ඊලඟට මාස හතර පහක්ම මොකවත්ම නොලිය, ලියන්න ඕන...ලියන්න ඕන කියල හිත හිත ඉන්නකොට එක දිගට post තුන හතරක් පල කරල බ්ලොග් එක ගැන උනන්දුව ආයම පණ ගස්සල ගත්තට..

    බොන්නෙම නෑ කියල හිතා හිටියට කවුරු හරි අරක්කු වඩියක් ගහල කට ඇඹුල් කරල කඩල ඇටයක් පපඩමක් හපනකොට අපිටත් ඒක දැකල බොන්ඩ හිතෙනව වගෙ තමයි ලියන එකත්..කවුරු හරි කරනකොට අපිටත් ආස හිතෙනව.. :)

    ඒ උදාහරණෙ අනුචිතයි කියල හිතෙනවනම් කවුරුහරි ලස්සනට සිංදුවක් කියනකොට අපිටත් ඉබේටම තාලෙ ඇල්ලෙන්නෙ ..අන්න ඒ වගේ..;)

    ReplyDelete
    Replies
    1. මම අදටත් ගොඩක් යාලුවෝ එක්ක කියනවා අපේ හිතමිතුරුකම ගැන. එක මේසේ හිටියා වගේ හිටපු කාලේ ඇති නොවුණු, ඒත් පසුව ඇතිවුණු හිතවත්කම ගැන. මේ බිස්කට් කතාව නිසා අපේ මුද්දර කාර්ඩ් අතීතය ගැන ලියන්න දේවල් මතක් වුණා.

      Delete
  7. බිස්කට් පහක් දුන්න කාලෙකුත් තිබුන මතකයි.ඉස්සෙල්ලා තුනකින් පටන් අරං පස්සේ පහක් වුනාද නැතුව ඒකෙ අනිත් පැත්තද කියලා මතක නෑ දැන්.මම මුලින්ම ගියෙ අම්මා උගන්නපු ප්‍රාථමික ඉස්කෝලෙ. ඒකෙ හිටපු සමහර ළමයි ඔය බිස්කට් ඉතුරු කරලා ගෙදර හිටපු නංගිලා මල්ලිලා ට දෙන්නත් අරං ගියා මතකයි. රවි කියනව වගේ අර කෑලි වලින් දෙනකොට වාසි තිබුන. මම ඊලඟට ගිය ඉස්කෝලේදි වුන දෙයක් මතක් වුනා මේක දැක්කම.කොල්ලුපිටියෙ මහානාමෙ. ඒක එතකොට බොහොම පොඩි කණිෂ්ඨ විදුහලක්.අට වසරේ පංති දෙකයි තිබුනේ.ඒකෙ තිබුන කිරි මන්ඩලයේ කිරි කැමති අයට ගන්න පුළුවන් ක්‍රමයක්. අර වැනිලා, චොකලට්, ස්ට්‍රෝබෙරි රස ,ෆොයිල් මූඩිය ගහල වීදුරු බෝතල් වල ආව ඒවා.කැමති ළමයි මාසෙ මුලදී රුපියල් තුනක් හෝ හතරක් ගෙවන්න ඕන. නමයට විතර කිරි මන්ඩලයේ ලොරියකින් අවශ්‍ය ගාන ඩිලිවරි කරනවා. ලොකුම පංතිය වන අටේ ළමයි රෝස්ටරයකට අනුව ඒ ඒ පංතියට අවශ්‍ය ගාන ලිස්ට් එක බලලා බෙදනවා. ඉන්ටවල් එකෙන් පස්සේ ආයි හිස් බෝතල් එකතු කරන්න ඕන.පංතියේ කිරි බොන ළමයෙක් ඇවිත් නැතිනම් අපි එකත් බොනවා. හැබැයි පොඩි පංතිවල අය ඒක කරන්නේ නැ.එකක් ලැජ්ජයි. එහෙම නැතුව බිව්වොත් අනිත් එවුන් පෙරේතයා කියනවට බවයි. ඉතින් හිස් බෝතල් එකතු කරන්න ගියාම අපි ඉතුරු ඒවටත් වග කියනවා.පංතියෙ අයටත් දෙනවා.

    ReplyDelete
    Replies
    1. kumara,

      ඒ කාලෙ කිරි මණ්ඩලේ මතකද අවුට්ලට්ස්වල ඉස්සරහ රතුපාටිනුයි සුදු පාටිනුයි සිරස් අතර ඉරි ඇඳල තිබ්බ..කිරිවලට අමතරව යෝගටුත් තිබ්බ වගේ මතකයි...තව තිබ්බ ෆැමිලි බ්ලොක්ස් කියල රාත්තලක සහ රාත්තල් දෙකක අයිස් ක්‍රීම් එකක්..ඒ කාලෙ තිබ්බෙ රාත්තල්නෙ..

      කෑගල්ලෙ මිල්ක් බෝඩ් එක තිබ්බෙ ටවුමෙ ඡායා ෆිල්ම් හෝල් එක ඉස්සරහ..ඔතන ඉඳල අපේ ගෙදරට තියනව හැතැම්ම එකහමාරක් විතර..අනික ඒ කාලෙ අයිස් පෙට්ටි තිබුනෙත් නෑනෙ බොහොමයක් ගෙවල්වල..කිරි මණ්ඩලෙං අර අයිස් ක්‍රීම් එක දෙනකොට රිජිෆෝම් පෙට්ටියක දාල දෙන්නෙ..

      ඕක අරං අම්මයි මායි යනකොට මම ඉස්සරවෙලා දුවනව ඒක දියවෙයි කියල බයට..ගෙදර ගිය ගමං බත් කෑවයිං නොකෑවයිං අරකට වග කියනව..

      72 අපි ඌෂා ෆ්‍රිජ් එකක් ගත්තට පස්සෙ ප්‍රශ්නයක් උනේ නෑ..ඊට පස්සෙ අම්මත් අයිස්ක්‍රීම් හැදුව ගෙදරම..ඒ ෆ්‍රිජ් එක තාම මහගෙදර තියනවද කොහෙද..හැබැයි දැං අවුරුදු විස්සකිං විතර වැඩ නෑ..පරණ බෙඩ් ෂීට් එහෙම දාල තියෙන්නෙ..

      Delete
    2. ඔව් හොඳට මතකයි.කල්කිරි, අයිස්ක්‍රීම්, ඇයි කොළඹ පැත්තේ ගෙවල් වලටත් කිරි බෙදා හැරියා. සමහර ගෙවල් වල තාප්ප වල කිරි බෝතල් තියන්න තැනක් පවා තිබුන මතකයි.

      Delete
  8. මදැයි... රවි අයිය සීරියස් එකක් ලියල නෙව.

    ReplyDelete
    Replies
    1. Drackey,

      ඔව්බං..අර මඟුල් ලියල ලියලම මයෙ පෙසර් එකත් නැගල තියෙන්නෙ..ලෝ බ්ලඩ් පෙසර් කාරයින්ට හොඳයි ඒ රාජකාරිය..බෙහෙත් ඕන නෑ...:)

      Delete
    2. රවී ලියනවට වැඩිය කැම්පේන් එකක් කරනවා කියලයි මං හිතුවේ.

      Delete
    3. Nidi,

      හෙහ්..හෙහ්..ඔය කොව්වත් බලාගෙන ගියාම කැම්පේන් තමයි මචං...බ්ලොග් ලියන එකත් එක විදිහක කැම්පේන් එකක්..:)

      Delete
  9. ඔය වගේම නම් ගැන මතකයක් ඉන්දතිස්සටත් තියනව

    ReplyDelete
    Replies
    1. Pra,

      පුදුම වැඩේ කියන්නෙ මට ඒ කාලෙ නම් එහෙම හොඳට මතකයි..මේ ඊයෙ පෙරෙයිද එව්ව මතකම නෑ..

      කාලිංග කිව්වට හරි නම කලිංග..මට මතකයි නාලිනී ඇන්ටි (His mother) ඒ කාලෙ කාලිංග කියල කතා කලාම කියනව "මොන කාලිංගයෙක්ද? නම කලිංග..නම කලිංග..කලිංග කියන්න... කලිංග කියන්න.." කියල.. :)

      Delete
    2. අනේ මං දන්නේ නැහැ මොකට දානවාද මන්දා ඔහොම නම්. කා වුණත් ක වුණත්!

      Delete
  10. අහම්බෙන් ඔබගේ බ්ලොගය කියැවීමි. ඒ අනුව ඔබ කෑ / ශාන්ත මරියා විදුහලේ සිසුවකු විය යුතුයි.
    ඔබගේ 2ශ්‍රේණියේ ගුරුතුමියගේ නම ලියනාරච්චි නොව ලියනසේකර විය යුතුයි. ඈ 2001 වසරේ පිළිකාවකින් මිය ගියා. ඈ මගේ මවයි.!
    ඩොටි මහත්මියද ජයලත් මහතාද දැන් මියගොසිනි.

    ReplyDelete
    Replies
    1. පුන්සිරි මහතා,

      හප්පච්චියේ එතුමියගේ නම ලියනසේකර මහත්මිය තමයි..ඇය මගේ දෙවන ශ්‍රේණියේ පන්ති භාර ගුරු තුමිය..ඒ 1970 වසරේ..අවුරුදු 51 කට ඉස්සර...

      මම තුන්වන ශ්‍රේණියට සමත්වූ පසු ඇය මට පෞද්ගලික ත්‍යාගයක් ලෙස "පියාඹන අශ්වයා" නම් ළමා කතා පොත ප්‍රදානය කලා..අවුරුදු දහයක් වගෙ ඉස්සරත් මට මතකයි ඒ පොත අපෙ මහගෙදර තිබ්බා..ආයෙම හොයල බලන්ට ඕන..

      මම ශා.මරියා ආදි සිසු වට්සැප් ගෲප් එකේ ඉන්නවා. මේ කෝවිඩ් වසංගතයට පළමු අපේ ආදි ගුරුවරුන් හා සුහද හමුවක් පැවැත්වීමේ යෝජනාවක් පිබඳව සාකච්ඡා වුනා..දැන් නම් වර්තමාන තත්වය අනුව ඒ කර්තව්‍යය කවදා කෙරෙයිද කියන්න බැහැ. මම බොහොම් ආසාවෙන් හිටියෙ අපගේ පැරණි ගුරුවරු හමුවන්නට..

      ඩොටී පෙරේරා මහත්මිය පාසලට අල්ලපු වැටේ ජීවත් වුනේ..ජයලත් මහත්මයා අපිට 6 ශ්‍රේණියේ සිට මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගැන්වූවා..ඔහුගේ මොරිස් මයිනර් රථයෙන්ම තමයි මෝටර් එන්ජිමක ක්‍රියකාරිත්වය එහෙම විස්තර කරල දුන්නෙ..

      ඔබතුමාත් ශා. මරියා ආදි සිසුවෙක්ද?

      Delete
  11. හම්මේ.. පොස්ට් එකයි ඒ කවියයි කොමෙන්ට් ටිකයි.. ආදරෙයි තාම බ්ලොග් වලට ඈ! ස්තුති කරන්න ඕනි ඔහෙටද රන්දිකාට ද කියල හිතාගන්න බෑ..

    //බදියුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමති. ආචාර්ය ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම්..// කියද්දී මට මතක් උනේ මේක..
    ... මේ පොත..
    කියවා උගෙන මැනවින්..
    වෙන්න හොඳ දරුවෙක්..
    ලයනල් ජයතිලක
    අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් <3 අනේ ඒකෙ මුල් ටික දැන් මතක නෑනේ.

    අපිට ඔය ඇදිහස (ඇත්තටම මේ මෑතක් වනකම් ඕකට කියන්නේ ඇදිහස කියල දනන් හිටියේ නෑ) ලොකු බිස්කට් නෙවෙයි හම්බ උනේ.. පොඩි බිස්කට්. ෂඩශ්‍රාකාර දැන් ඔය තියෙන chic bitz ප්‍රමාණයේ විතර බිස්කට් බෙලෙක් කෝප්පෙකින් එකක්. බෙලෙක් කෝප්ප කියුවම මෙතන ඉන්න කෘ එකනම් ඔක්කොම දන්නවා ඇති. :)) මොනිටර් ට ඉතින් අන්තිමට කෝප්ප දෙක තුනක් ඉතුරු වෙනවා. ඒක නිසා ගෙදරත් ගෙනත් කන්න පුළුවන්.. අම්මේ ඒවායේ රස. දැන් තියෙන ගෝල්ඩ් මාරි එකේ යන්තමින් ඒ රසයි සුවඳයි එනවා.. ඔහේ අපිට වැඩිය අම්බානකට වැඩිමල් උනාට සාපෙයි බිස්කට් එකේ හැදෙයි ඇරෙන්න අනික්වානම් හැත්තැව අසූව දශක වල කිසියම්ම වෙනසක් වෙලා නෑ වගේ. <3 <3

    ReplyDelete
    Replies
    1. අයියා කළණේ, කවදා ඉස්තුති කළත් මුලින් ඉස්තූතිය යන්නේ රන්දිකාට. එහෙමයි මේ බ්ලොග් එකේ ස්ටච්චරේ හදලා තියෙන්නේ. ඔව්!

      Delete
    2. Kalyana,

      වෙනුවෙන් රජය ඔබ හට,
      දෙන තිළිණයකි මේ පොත,

      ඔන්න ඔහොම කෑල්ලකුත් තිබ්බ නේද? ඔය පොත් දුන්නෙ අපට පස්සෙ..අපේ කාලෙ නොමිලේ පොත් දුන්නෙත් නෑ රෙදි දුන්නෙත් නෑ...

      ලයනල් ජයතිලක බං අධ්‍යාපන සේවා ඇමති..ඔය නොමිලේ පොත් බෙදාදීම බාරව හිටපු කැබිනට් නොවන අමාත්‍ය..කුලියාපිටිය මන්ත්‍රී...පොරට වෙඩිතිබ්බ 88/89 කාලෙ..හැබැයි හැමෝම කිව්වෙ පියානෝ ගේම දුන්න කියල..

      /J.R. ජයවර්ධන මහතා තුන්වෙනි වරටත් ජනාධිපති දූරය සඳහා ඉදිරිපත් විය යුතුයැයි, අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් ඉදිරිපත් කල යෝජනාව, කුලියාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ජයතිලක විසින් ස්තිර කරන ලදී.

      ස්වල්ප දිනකින් මේ දෙදෙනාටම එරෙහිව නාඳුනන තුවක්කුකරුවන් ක්‍රියාත්මක විය.
      යෝජනාකරු සහ ස්ථීරකරු ද එකසේ ඝාතනය වීම තුල එ.ජා.ප. කෘත්‍යාදිකාරී මණ්ඩලය තුල තිගැස්මක් ඇති කලේය.

      ජයවර්ධන මහතාගේ තෙවන වර උත්සහය ඉන් ඔබ්බට ගමන් නොකලේය.

      මෙරිල් කාරියවසම් යනු ජේ ආර් ජයවර්ධන මහතාගේ ලගම හිතවතෙකි....
      එවකට කැලණි සරසවියේ ශිෂ්‍ය සටන්වලට වීදී මැරයන් රැගෙන විත් පහර දීමේ සිදුවීම් රැසකට නායකත්වය දුන්නේද ඔහුය.
      ජේ ආර් ජයවර්ධනගේ අතිශය සමීපතමයෙකුවූ ස්ත්‍රී දූෂක ගෝනවල සුනිල්ගෙන් බොහෝ උපකාර ලබා ගත් පුද්ගලයෙක් ලෙස මෙරිල් කාරියවසම් හැදින්විය හැක.

      කෙසේ නමුත් අවසානයේදී මෙරිල් කාරියවසම් කට පුංචා ඉදිරියේ ගොළුවූ අතර ලයනල් ජයතිලකටද අත්වූයෙර් එම ඉරණමමය....

      දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පිට පටවා මෙරිල්ට වෙඩි තැබුවේ කොලඹ දිස්ත්‍රික් මන්ත්‍රී වීරසිංහ මල්ලිමාරච්චි ලෙස පසු කලෙක ප්‍රකට විය.
      ලයනල් ජයතිලකට කළු කුඩු බස්නය දුන්නේ මොකාදැයි දන්නේ දෙවියන් පමණි./

      - Marlon Jayakody -

      ගිනිඅවි සහ ගිනිකෙලි ටෙලි චිත්‍රපටයෙ මේ ඝාතන සිදුවීම් ම්මාලාව බොහොම අපූරුවට පෙන්නනව..

      ආ...BTW මොකද බං උඹල එකතුවෙලා අර බොන්සායි හාමුදුරුවන්ට ඇද්ද ලෙඩේ? පව්..බං..මට මැරෙන්න හිනා ඕයි ඒ කමෙන්ට් දැකල..

      ආතල්ම වැඩේ කියන්නෙ ඔන්න සාදු උපේක්ෂා සහගතව අනේ ඉතිං මොකක් කරන්නද? මුං වාගෙ කුපාඩියො එක්ක බොන්සායි කොරන්න යනවට මට හොඳ පාඩම..කියල හිතල හිත සනස ගත්ත ගමං ඉවානය ඇවිල්ල කියනව අඩේ මේ පොටෝ ඔක ගැලපෙන්නෙ කුප්ප කවි සමාජය පේජ් එකට කියල..

      ඒ පාර නම් සාදු අන්තයටම කලකිරුන..මට ආරංචියි ඔන්න සිවුරත් ගලවල ඒ අඩි 4 1/2 ක් උස බොන්සායි ගහේම වනල පොර ගෙදරම ගියාය කියල..බලපං ඉතිං..උඹල වගෙ ජාතියක්..:)

      Delete
    3. කල්‍යාණ,

      ගෞරවය රන්දිල්ට..ගෞරවය රන්දිල්ට...:)

      Delete
  12. මේක මේ අතුරු ප්‍රශ්නයක්.

    ඇයි මාවනැල්ලේ මිනිස්සු "අපි උඩරට, අපි නුවර" වගේ ඒවා කියන්නේ?

    මාවනැල්ල තියෙන්නේ කඩුගන්නාව බැස්සට පස්සේ. අඩුම මධ්‍යම පළාතෙත් නෙමෙයි. එතකොට එයාලා නුවර වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔය ගැන මම අහලා තියන කතාව මෙන්න.ඔයා ඔය කියන්නේ අපි ගලෙන් උඩ අය කියලා උඩරට අය කියන නිසා කඩුගන්නාවේ ගල විදපු තැන ගැන හිතාගෙන කියලා මම හිතනවා.ඒ ගලෙන් උඩ කතාව හරි. හැබැයි ඒ කඩුගන්නාවේ එක නෙමෙයි. කොළඹ නුවර පාරේ මට මතක හැටියට දන් ඕවිට හරියෙ තියනවා ගලක් හැලගල කියලා . අන්න එතනින් එහා උඩරටට අයිතියි කියලා මම අහල තියෙන්නේ.එතනින් එහා අය උඩරැටියන්.

      Delete
    2. ස්තුතියි ඒක අහලා තිබුණේ නැහැනේ. මෑතකනේ නුවරයි, කෑගල්ලයි පළාත් දෙකකට ඈඳුනේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...