Thursday, June 17, 2021

155. කොරෝනා මතක - 01 ජාල සරණ

    මේ අවුරුදු දෙකට, උපන් දා සිට නොකළ දේවල් කරන්න සිදු වෙලා අපට. තව කොයි කී කාලයක් එහෙම කරන්න වෙයි ද දන්නේ කොරෝනා තමයි. තව කීයක් නම් වර්ෂන් එවන්න හිතාගෙන ඉන්නවා ද වෙන කවුද දන්නේ?

    ළමයින්ට අතවත් තියන්න තහනම් කරලා තිබුණු අපේ ජංගම දුරකතන, දැන් හදිසියකට ඇමතුමක් ගන්නවත් අපේ අතට ගන්න බැරිව ගිහින්. ඒ මදිවට එන ඇමතුම් විසන්ධි කරගෙන, එයාලාගේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න‌ වෙලා. අනේ කාලේ, ගේ ඇතුලෙ ම වාසේ!

    ඒ අතරේ හොඳ දේවල් ද සිදු නොවෙනවා නොවේ. මාර්තු මාසේ දිනෙක මගේ හිතවතියකගේ පියා අභාවප්‍රාප්ත වුණා. ඒ දිනවල සංචරණ සීමා පනවන්න තරම් මේ රටේ කොරෝනා නොතිබුණු නිසා, අවමංග්‍යයට සහභාගි වන්නත්, බණ පැවැත්වුණු දින දවල්වරුවේ ඒ නිවසට ගොඩ වැදී එන්නත් අවස්ථාව සැලසුණා.

    තුන්මාසේ පිංකම තිබුණේ පසුගිය දා. සංචරණ සීමා තදින් ම ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ මගේ මිතුරියගෙන් මේ පණිවුඩය එනවා.

    "අපේ තාත්තාගේ තුන්මස් දානය වියළි ආහාර පූජාවක් ලෙස පන්සලට පූජා කළා. ඒ වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම හෙට (13 ඉරිදා) පෙ. ව. 11.00ට යොදා ගත්තා. ‌මෙය Zoom ඔස්සේ පැවත්වෙන බැවින් ලින්ක් එක පසුව එවන්නම්. හැකි සෑම ‌කෙනෙකුම සහභාගි වන මෙන් ඉල්ලා සිටිනවා"

    ඉතින් එතරම් දුර නොවන අපි වගේ ම දුර බැහැර ‌ප්‍රදේශ වල වාසය කරන නෑදෑ හිතවතුන් පවා අන්තර්ජාල පහසුකම ඔස්සේ එම අවස්ථාවට සහභාගි වුණා. රටේ මේ තත්ත්වය නොවුණා නම් ඒ සියලුම දෙනා නොවුණත් බොහෝ දෙනෙකු දුර බැහැර සිට මේ අවස්ථාවට සහභාගි ‌වනු පිණිස එයි. ඒත් අදාළ කාරණය කොහොමින් හරි ඉටු වුණා. රට සාමාන්‍ය තත්ත්වයේ තියෙද්දි පැමිණීමට අපහසු අය පවා සහභාගි වුණා. වෙනස්, ආගන්තුක අත්දැකීමක් වුවත් විය යුතු දේ හොඳින් ඉටු වූ බව හැමදෙනා ම වගේ කියලා තිබුණා. අඩුවකට තිබුණා නම් ඒ මුණ ගැසී කතා බස් කිරීමේ අවස්ථාව අහිමි වීම පමණයි. හැබැයි ඒ කියලා නැහැ, හාමුදුරුවන් වහන්සේ සහභාගිවන මාධ්‍ය විවෘත වනතුරු ඔවුන් සියලු දෙනා වාසේ දේසේ කතා කරමින් හිටියා.

    අද කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලය සිය 75 වන සංවත්සරය සමරනවා. උදෑසන 8.30 සිට පෙරවරු 11.00 තෙක් Zoom තාක්ෂණය ඔස්සේ පාසලේ ගුරු මණ්ඩලය, ආදී ගුරුවරුන්, දරුවන්, ආදී ශිෂ්‍යාවන්, දෙමව්පියන් ඇතුලු පිරිස සහභාගිවන උත්සවයක් පැවැත්වුණා. එය Youtube Live ඔස්සේ විකාශය වුණා. එහි දී ප්‍රධාන ආරාධිතයින්, පාසලේ විදුහල්පතිනිය ප්‍රමුඛ ගුරුමණ්ඩලය, කීර්තිමත් ආදි ශිෂ්‍යාවන්, සිසුවියන් ආදී බොහෝ‌ දෙනෙක් සිය අදහස් පළ කළා. ‌හැම දෙනා ම සිය නිවෙස් වල සිට හෝ රාජකාරින් හී නියුතු වෙමින් හෝ ඒ උත්සවයට සහභාගී වුණා. සිය කතාවන් පැවැත්වූවා. වැදගත් ම දේ පිටරටවල වාසය කරන පාසලට සම්බන්ධ වැදගත් කාර්යය භාරයක් ඉටු කරපු පිරිසටත් මේ සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලැබීමයි. විවිධ ප්‍රාසාංගික වැඩසටහන් කිහිපයකුත් එම උත්සවය හැඩ කළා.

Gothami Balika Vidyalaya 75th Anniversary Program



    ඉතින් ඊටත් වඩා වෙන ‌මොනවද කියලයි මට හිතෙන්නේ. ඇඳුමේ පැළඳුමේ, ගමන් වියදමේ, ගමන් මහන්සියේ සිට තව කී නොකී ‌කොතරම් ආකාරයකින් පහසුවක් ද?

    අපේ තිදරු පවුලට, උත්සවයකට සහභාගි වෙන්න තියෙනවා කියලා මතක් වෙද්දිත් මට උණ හැදෙන්න එනවා වගේ දැනෙනවා. දරුවෝ එක්කගෙන යන්න ඔනෑ, ඒ ඒ තැන් වලදි කටවල් වලට ඉබ්බන් දමා තබා ගන්න ඔනෑ, බඩගිනි දැනෙන වෙලාවට කෑම වතුර සූදානමින් තියෙන්න ඔනෑ. ඊට පස්සේ මද වේලාවකින් වැසිකිලි පහසුකම් හොයන්න යන්න ඔනෑ. අනේ ඒකට අද! ‌පොඩි දෙන්නා එයාලාගේ වැඩ. මායි දුවයි විතරක් වැඩසටහන බැලුවා. කොච්චර පහසුවක් ද?

    සමහරවිට උත්සවාකාරයෙන් පාසලේ පැවැත්වූවා නම් දරුවන්ට හරි හැටියට නෑසෙන්න ඉඩ තිබුණු බොහෝ වටිනා දේශනයන් අද පැහැදිලි ව අසා ගැනීමේ පහසුකම සැළසුණා. කීර්තිමත් ආදි ශිෂ්‍යාවන්ගේ කතාවන් සම්පූර්ණයෙන්, පැහැදිලි ව අසා ගැනීමට ලැබීම දරුවන්ට තමන් යා යුතු මග පිළිබඳ අදහසක් හිතට ගෙන එනවා.

    රට යහපත් අයුරින් පවතින කාලයක වුණත් ඇයි අපිට මේ වගේ සරළ ව මෙවැනි කටයුතු අහවරක් කරන්න බැරි? ලෝකය ම තම තමන්ගේ සියලු කටයුතු අනිවරතේ සංකීර්ණ කරගෙන කියලා හිතෙන්නේ නැද්ද? වෙලාවකට කල්පනා කර කර ඉද්දි කොරෝනා සමය නිසා කෙතරම් නම් සංකීර්ණ කටයුතු ඉතාමත් සරළ ව කරගන්න මිනිස්සු හුරු වෙලා ද කියලා කල්පනා වෙනවා. ඒ ගැනත් වෙලාවක ලියන්න ඔනෑ.

    අද රාත්‍රීයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් Zoom හා Youtube Live ඔස්සේ පැවැත්වීමට ගෝතමී විද්‍යාලය කටයුතු සියල්ල සූදානම් කර අවසන්.

    සිය විදුහලේ 75 වන සංවත්සර සැමරුම වෙනුවෙන් සම්ප්‍රදායට ගරු කරමින් සංවිධානය කළ යුතු ව තිබෙන සියලු කාරණා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් ඉටු කරමින් රටට ආදර්ශයක් ගෙනා ගෝතමී බාලිකා විද්‍යාලයට අපගේ සුබ පැතුම්!




11 comments:

  1. මිනිස්සු සාමාන්‍යයෙන් අලුත් දේකට අත තියන්ට බයයි, නැත්තං කම්මැලියි. අපේ රටේ සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් රජයේ ආයතන, පෞද්ගලික ආයතන, අධ්‍යාපන පද්ධති ආදි මෙකී නොකී බහුතරයක් තැන් මෙතෙක් කලක් අන්තර්ජාලයට විවරවෙන්න බය වෙලා වගේ හිටියෙ. ඒත් නැත්තං කම්මැලි කමේ හිටියෙ. කවුරුහරි ඉහළ තැනකට ඒ දේ කරන්න උවමනාවක් ආවත් වැඩ කරන උදවිය ඒකට උදැල්ල දැම්මා පහසුකම් නෑ, උපකරණ නෑ, පළපුරුදු පරිශීලකයො නෑ වගේ දාහක් බැරි අමාරුකම් කිය කියා. කොරෝනා නිසා වුන ලොකුම හොඳේ තමා ඔන්න ඔය බැරි අමාරුකම් මගෑරිලා අන්තර්ජාලයට විවරවෙන්න ඒ මිනිස්සුන්ට බලකෙරුනු එක. ඇත්ත, මේක ප'ෆෙක්ට්ම තත්ත්වයක් නෙවේ තමා. ඒත් අඩුමගානෙ ආරම්භය වත් ගනිපු එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාව ගැන නම් කියලා වැඩක් නැහැ හැබැයි. මාලු වෙළෙන්දාගේ ඉඳන් ස්මාර්ට් ෆෝන් තියාගෙන විශ්ව සිනමාවේ චිත්‍රපට එහෙම බලලා, නිවාඩුවට ලංකාවට එන විදේශික සුදු ජාතික කාන්තාවකටවත් ඉන්න නැති කරලා තියෙන්නේ. මාතර පැත්තේ බීච් වල අපේ සංචාරකයින් විදේශීය සංචාරකයින්ට දක්වන ප්‍රතිචාර අන්තිම අවුල්සහගතයි.

      අනිත් අතට රජයේ ‌සේවයේ අයට, රජයේ සේවයට පහසුකම් නෑ, උපකරණ නෑ, පළපුරුදු පරිශීලකයො නෑ වගේ දාහක් බැරි අමාරුකම් තිබුණාට එයාලා කී දෙනෙක් නම් අපේ අන්තර්ජාල යාලුවෝ ද නේද? :D

      Delete
  2. මගුල්/අවමගුල්වලට කරන අධික වියදම නැතිවුනු එකනම් හොදයි. මට මගුල් ඉන්විටේශන් නොලැබෙන එකට හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි, එහෙමයි. සමු දීමේ ක්‍රමවේද මේ තරම් සංකීර්ණ වීම, ස්වභාව ධර්මයට දරා ගන්න බැරි වෙන්න ඇති සමහරවිට

      Delete
  3. අපි හුරු වෙලා ඉන්නෙම ගම කන්නටය
    සෝබනයට එහෙම නැත්තං බොරුවටය
    කොරෝනා නිසා සිදුවුණු විප්ලවය
    ලෙඩේ නැති වුණත්, පවතිනවා වගෙය!

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි අපේ මිනිස්සුන්ගෙන් නේද? බොහෝ දෙනෙක් දැන් දේවල් කරන්නේ සත්‍යය වටහාගෙන නෙමෙයි, නොකර බැරි කමට

      Delete
    2. රන්දිල්, 100%ක් නැතත් පටන් ගැනීමක් හරි වෙනවාමයි... ඒක වැඩි ප්‍රතිශතයකින් පවතීවා කියලා හිතමු.

      Delete
    3. ඔව් අපි සුබවාදී ව සිතමු 🙂

      Delete
  4. වැදගත් පෝස්ට් එකක්. ඔය වගේ social events වගේම (සංවිධායකයින්ගේ මහන්සිය ඉහලින්ම අගය කරන්න ඕනෙ); මඟුල්, අවමගුල් උත්සව බාගෙට බාගයක්ම සෝබන නිසා කොවිඩ් නැති කාලෙකත් ඔන්ලයින්ම තිබ්බොත් හොඳයි. කිව්වත් වගේ කාලෙ, ඇඳුම් හැමදෙයක්ම ඉතුරුයි. හැබැයි තමන්ගෙ clients එක්ක යම්කිසි සම්බන්දතාවක් ගොඩ නගාගන්න අවශ්‍ය රස්සා කරන අය, අනිත් පැත්තෙ ඉන්න කෙනාගෙ body language එක දකින්න අවශ්‍ය රස්සා කරන, උගන්නන අයට නම් ඕක හැමදාම ඔන්ලයින් කිරීම ඉතාම වෙහෙසකාරියි. ඊට අමතරව අපි උදේට නැගිටලා (හෝ කලින් දවසෙ රෑ) වැඩට අදින්නෙ මොකක්ද, දාන්නෙ මොන සපත්තුද, earringsද එහෙම හිතන එක නොවැදගත් දේ විදිහට තව කෙනෙක් කියන්න පුලුවන් වුනත්, අපේ wellbeing එකට ඉතාම අවශ්‍යයි, උදේම නැගිටලා ඔහේ ඉන්න එකට වඩා. අජිත් පැරකුම් ඒ ගැන ඉතාම ලස්සනට ලියලා තිබුනා,

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සමහර අය කලින් දවසේ රෑ ඇන්ද නයිට්ඩ්‍රස් එක, සරම එක්ක කෝවිඩි නැති කාලෙත් දවසම ගෙවන්න පුරුදු වුණු අය. ඒ දේවල් ගෙදරට කොටු වුණා කියලා දිගට ම පවත්වා ගෙන නොයා, උදේ කීයට ද නැගිටින්නේ (4ට වෙන්න පුළුවන් 10ට වෙන්න පුළුවන්) ඒ ඇඳුමින් ඉවත් වෙලා ගෙදරට අඳින ඇඳුම වුණත් නීට් විදිහට අඳින්න පුරුදු වුණා ම ඒක හරිම ෆිට් කමක් දනවන දෙයක් බව දැනෙනවා.

      දුවගේ ඉස්කෝලේ ගිය පෝයට ධර්ම දේශනාව Zoom ඔස්සේ ලබා දුන්නා. ඒකට ළමයි සහ සමහර දෙම්ව්පියන් පවා ඒ සඳහා භාවිතා කරන ඇඳුම් වලින් සැරසිලා සහභාගී වුණා. දරුවෝ ඔන්ලයින් ක්ලාස් වලට සහභාගි කරවද්දිත් ඒ සඳහා පෙර සූදානමක් එක්ක වාඩි වුණා ම ඒ කාර්‍ය්ය ගැන අදහසක් හැඟීමක් දැනෙනවා ඒ අයට

      Delete
  5. මගේ පිය වෙනුවෙන් කළ දානයක් සහ පසුගියදා මියගිය නන්ද්නියක ට කළ දානයක් සූම් එකෙන් තමයි කලේ. හාමුදුරුවොත් ලැප් එකෙන් ආව . රටවල් දෙක තුනක එකතුවක් පවුල් හයක්. ඒක අමුතුම අත්දැකීමක් .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...