Copied from a Face Book post by Samira Salinda Perera
Wednesday, April 26, 2023
687. වික්ටෝරියා වේල්ලෙ වක්‍ර හැඩයට හේතුභූත වූ කරුණු කාරණා මතු පරපුරේ දැනගැනීම උදෙසා මෙසේ සටහන් කර තබම්හ..
Saturday, April 8, 2023
686. බ්ලොග් හමුවට යන අතරමඟ...
ගිණිගත්හේන බස් නැවතුම්පල.... |
මම මේ යන්නෙ ඔය මංජුලය ඕගනයිස් කරපු බ්ලොග් හමු වලින් තුන්වෙනි එකට..කලින් දෙපාරමත් වගේම මේ ගමනත් මම ගියෙ නාවලපිටියට හවස 2.20 ට පේරාදෙණියෙන් කෝච්චියක තියනව. ඒකෙ නාවලපිටියට ගිහිල්ල එතනිං ගිණිගත්හේනට බස් එකේ ගිහිල්ල එතනිං හැටන් වල ඉඳල අවිස්සාවේල්ලට හරි කොළඹට හරි යන බස් එකක නැඟල..
මම ගියෙ පහුගිය 4 වෙනිදනෙ..පහුවදා පෝය ඒ වගේම ඉස්කෝල නිවාඩු..මම ගිය පෙට්ටියෙ බාගෙට බාගයක් හිටියෙ ඉස්කෝල කොල්ලො කෙල්ලො..බහුතරයක් හයි ස්කූල් කෙල්ලො..උං බොහොම සන්තෝසෙං සින්දු කිය කිය ගියා..
මටත් ඉතිං මතක් උනා අපි ඉස්කෝලෙ 3, 4, 5, 6 වගෙ පංතිවල ඉන්නකොට නිවාඩු දෙන දවසට අම්මගෙං කීය කීය හරි ඉල්ලං ඇවිල්ල (ඒ කාලෙ මම හිතන්නෙ උපරිම රුපියල් පහක් වගෙ..අපොයි ඒ ගාන හොඳටම ඇති..) අලියා බීම, කේක්, බිස්කට් එහෙම ගෙනල්ල පංති භාර මැඩම්ට හරි සර්ට එතකොට අපිට ඒ ඒ විෂයයන් උගන්නපු ගුරු මණ්ඩලේට පිළිගන්වල අපිත් අන්තිමට ඉතුරු වෙන එව්ව කෑව බිව්ව...අන්තිමට පොඩි සිංදුවක් දෙකක් එහෙමත් කියල..නාට්‍යයක කෑල්ලකුත් කරල විවිධ ප්‍රසංගයකුත් තිබ්බ..එදවස එසේ විය...
එදා ඒ කියන්නෙ පහුගිය අඟහරුවාද කොහොම හරි මම කෝච්චියට නැග්ග වෙලාවෙ ඉඳල වහිනව..ඒ මදිවට ජනෙල් බාගෙට බාගයක් හරියට වැහෙන්නෙ නෑ..ඒ කියන්නෙ අයිනෙම සීට් එකේ ඉන්න මනුස්සය බාගෙට නාලයි කෝච්චියෙන් බහින්නෙ..එදා කෝච්චිය හොඳටම පරක්කුයි....හවස හතරට වගෙ ගිණිගත්හේනට යන්ට තියන එක එදා ගියේ පහටත් කිට්ටු කරල..
මම හාහා පුරා කියල ඔය මංජුලයගෙ පොට් එකට යන්ට ඕකගෙං විස්තර අහද්දි පොර කිව්ව "අයියෙ... මේ... එනකොට හොඳ බ්ලැන්කට් එකක්නම් අරං වරෙං මතක ඇතුව හොඳේ..මෙහෙ රෑට අම්බානක සීතලයි..." කියල.. මට ඔන්න ගිණිගත්හේනට ගියාම තමයි මතක් උනේ අඩේහ් බ්ලැන්කට් එකෙක් ගේන්ට අමතක උනා නේද කියල..ඒ වෙන කොටත් වැස්ස..පස්සෙ ගිණිගත්හේන ටවුමෙ පොඩ්ඩක් ඇවිදල රෙදි කඩේකිං බෙඩ් ෂීට් එකකුත් ගත්ත බ්ලැන්කට් එක වෙනුවට..
ඊගාවට කොළඹ පාරට ඇවිල්ල නැග්ග හැටන් - කොළඹ බස් එකක..කිතුල්ගල හරියට යනකොට වහින්ට ගත්ත පැල් බැඳගෙන..ආ..ඊට කලින් ගිය පාර මංජුලයගෙ බ්ලොග් හමුවට යද්දි මට ගිණිගත්හේනෙදි වෙච්චි සීන් එකක් කියල ඉන්නම්කො....
මම මහවැලියෙ වැඩ කරද්දි එකට වැඩ කරපු යාලුවන්ගෙන් සීයට අනූවක්ම ගම ඇහුවොත් එක්කො ගිනිගත්හේන, එක්කො කිතුල්ගල, එක්කො ලක්ෂපාන, එක්කො මස්කෙළිය, එක්කො කොටගල, එක්කො තලවකැලේ...එහෙම උනේ ඒ කාලෙ මම ඔය කියන්නෙ 1984 කාලෙ වගේ..මහවැලි ඇමති ඇවිල්ල හිට ගාමිණී දිසානායක..ඒ හින්ද නැචුරලි නුවරඑළිය - මස්කෙළිය ආසනෙන් තමයි බහුතරය මහවැලියට ගත්තෙ..
ඊගාවට බහුතරය හිටියෙ ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, බටපොල පැත්තෙන්..එහෙම උනේ ඒ කාලෙ හිටපු යූ.ඇන්.පී. ගාල්ල දිස්ත්‍රික් සංවිධායකය ඇවිල්ල ගාමිණීගෙ යාවජීව බොක්ක..ජගත්සේන..
ඉතිං ඔය ආපු මා එක්ක හිටපු එක යාලුවෙක්ගෙ ගම හැබ්බෑකන්ද..ගිනිගත්හේනෙ ඉඳල ලක්ෂපාන පාරෙ යන්ට ඕන මට මතක විදිහට..ඉතිං ගියපාර මම හක්බෙල්ලාවක යන්ට ගිනිගත්හේන හන්දියෙ බස් එකක් එනකල් ඉන්නකොට ඔන්න මම දැක්ක කට කපල පුරවල බස් එකක් යනව හැබ්බෑකන්ද කියල..
මට එක පාරටම මතක් උනේ අර මගෙ හැබ්බෑකන්දෙ යාලුව..මිනිහගෙ නම විපුලසිරි..හැබැයි වැඩිකල් මහවැලියෙ හිටියෙ නෑ..එන්.ඩී.ටී. මිකැනිකල් කෝස් එකට සිලෙක්ට් වෙලා ඒ දවස්වලම වගෙ අස් වෙලා ගියා..පස්සෙ පිළිමතලාවෙ අපෙ මහගෙදර ගාවමනෙ යටිනුවර සී.ටී.බී. ඩිපෝ එක තියෙන්නෙ..90/91 කාලෙ විතර විපුලසිරි යටිනුවර ඩිපෝ එකේ වැඩකරනව කියල ආරංචි වෙලා මම ගිහිල්ල මිනිහව හම්බ උනත් එක්ක..
ඉතිං අර ගිණිගත්හේනෙදි හැබ්බෑකන්ද බස් එක දැකල මට විපුලයව මතක් උනාය කිව්වනෙ.. ඔන්න ඒ එක්කම ආව අවිස්සාවේල්ල බස් එකක්..ඒකෙ මම දනිපනි ගාල එල්ලුනා හක්බෙල්ලාවක යන්ට..
නැඟල සීට් එහෙක ඉඳගත්තත් මගෙ කල්පනාව තිබ්බෙ විපුලයා ගැන.."ටිකට් ගන්න ටිකට් ගන්න.." කොන්දොස්තරයා මා ගාවට ආව...."හැබ්බෑකන්ද එකක්.." මට ඉබේම කියවුනා.."මේක හැබ්බෑකන්දට යන්නෙ නෑ..බහින්න බහින්න...." ඒ යකා එහෙම කියල බෙල් එක ඇද්දා..එතකොටයි මට හරි සිහිය ආවෙ.."නෑ..නෑ..මට යන්ට ඕන හක්බෙල්ලාවකට..." මම විගහට එහෙම කිව්ව..ඇති කලබලේට ගොම්බෙල්ලාවක කියල කියවුනේ නැතුව..පස්සෙ මට එහෙම හිතුනා...
හරි දිගටම ලිව්වොත් බොලාට කියවන එකත් එපාවෙයි...දැනට ඇති..
ගූගල් මැප් එකේ නිල් බෝලය පැනීම, බුදු පිළිමය පහුවීම, දියෙස් අයියගෙ ලැවරිය කඩේ, උරුහම් බෑමට ක්ෂණික ප්‍රතිචාර දක්වන බාප්පා යනාදී කරුණු කාරණා පිළිබඳව වැඩිමනත් විස්තරද සමඟ බ්ලොග් හමුවේ රසාලිප්ත තොරතුරු අටෝරාසියක් අද හෙටම මීලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න...
ස්තූතියි...
Tuesday, April 4, 2023
685. බෝ මලුවේ මල් සුවඳක පැටලී.....
මට එතකොට වයස 10 හෝ එකොළහක් වගේ ඇති...කෑගල්ලෙ අපි හිටියෙ අප්පච්චිට හම්බවෙච්චි කච්චේරි නිල නිවාසවල..කච්චේරිය පහුකරල පොඩ්ඩක් උඩහට යනකොට හම්බවෙනව තානායම..නැත්තං කවුරුත් කියන විදිහට රෙට්ටවුස් එක..එතනින් පාර දෙකට බෙදෙනව..වම් පැත්තෙ පාර කුරුඳුහින්න හරහා නිල්වක්කට..ඒ පාරෙ ගියහම සියඹලාපිටිය පැත්තෙන් ආපහු කෑගල්ල ටවුමට එන්නත් පුලුවෙනි..දැං ඔය කීල්ස් එක තියෙන්නෙ අන්න එතනින් තමයි කොළඹ - නුවට පාරට වැටෙන්නෙ..ඕපන් යුනිවකුටි එක එහෙම තියෙන්නෙත්
ඒ කාලෙ..මම ඔය කියන කාලෙ කීල්ස්, ඕපන් යුනිවකුටි මොකවත්ම තිබුනෙ නෑ..දැන් කීල්ස් එක තියන තැන තිබ්බෙ විසාල කුඹුරු යායක්..එතනම උඩහින් තිබ්බෙ මිරන්ඩාස් රටබීම හල..ඒකෙ යට තට්ටුවෙ තිබ්බෙ බේකරියක්..ඒ කාලෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ ආහාර සලාක ක්‍රමය හින්ද පාන් එහෙමත් දුන්නෙ කාඩ් එකට..අපේ පවුලෙ අම්මයි අප්පච්චියි මායි නංගිල දෙන්නයි ඔක්කොම පස් දෙනයි..ඊගාවට Extended Family නොහොත් විස්තීර්ණ පවුලේ සාමාජිකයින් හැටියට හිටිය අම්මගෙ අම්මා නොහොත් මගේ අත්තම්මා සහ අම්මගෙ වැඩිමහලු සහෝදරයෙක් අවිවාහක..නම හීන් බණ්ඩා අතපත්තු..අම්මගෙ මුල් නම අතපත්තු...
ඉතිං පවුලේ සාමාජිකයින් ගණන අනුව අපිට සතියට දවස් තුනක්ද කොහෙද පාන් රාත්තල් 4 වගෙ ගාණක් හම්බ උනා..තඩි වේවැල් කූඩෙත් කරේ තියාගෙන (ඔය මම කියන්නෙ සිලි සිලි බෑග් බාවිතාවට එන්ට අවුරුදු දහයක් පහලොවක් තරම කලියෙං අතීතයක් ගැන..හොඳෙයි?) මම තමයි පොලීසිය ගාවින් කන්ද බැහැගෙන ඇවිල්ල පාං අරං යන්නෙ..කාඩ් එකේ අදාල දිනේ පාං කඩේ පාන් දෙන මනුස්සය ලව්ව කතිරෙකිං කප්පවගෙන පාන් රාත්තල් 4 අරගෙන ආපහු මම ගෙදර යන්නෙ ආය නෑ කේරලේ ආක්‍රමණය කරල සොලීන් විසිදාහකුත් අල්ලගෙන ආපහු ලක්බිමට සැපත්වන ගජබාහු නරේන්ද්‍රයා වාගෙ..ඔන්න කොටිම්ම..
හරි හරි..ට්‍රැක් පැන්නා නොහොත් පඳුරු තැලුව ඔය මදැයි..ආපහු එමු කතාවට..යලි මග වෙත..යලි මග වෙත කියන්නෙ ගුණදාස අමරසේකර තමංගෙ ජීවිත කතාව ලියපු (සොයං ලිකිත චරිතාපදාන එව්වට කියන්නෙ)..පොත් 12 හෝ 13 කින් සමන්විත සීරිස් එකේ එක පොතක්..ගමනක මුල තමයි මුල්ම කතාව..මා ගාව තියනව සෙට් එකම කූරියර් කරල ගෙන්නගෙන... තවම කියවන්ට නම් බැරි උනා..කොහෙද මේ එකක් කියලය වැඩ..
හරි හරි ආපහු ප්‍රස්තුතයට..මම කලින් කිව්වනෙ අපි ඒ දවස්වල හිටියෙ නගොල්ලෙ ආණ්ඩුවෙ ක්වාටර්ස්වලය කියල..ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී ඒ වගේම නාවික සහ සංචාරක ඇමති කළුගල්ල ලොක්කගෙ ගෙදර තිබ්බෙත් ඔය අපි හිටපු කිට්ටුවම..
මිනිහට තිබ්බෙ ලා නිල් පාට හෝල්ඩන් හරි හම්බර් හරි කාර් එකක්..අප්පටසිරි පාරෙන් එකයි ඒ කාර් එක..කලුගල්ල උන්නැහැගෙ ගෙදරට යන පටු පාරෙ යද්දි එහෙම ඔය කාර් එක ඉස්සරහට ආවොත් අපිට වෙන්නෙ පාර දෙපැත්තෙ ඉලුක් මානා එහෙම තලාගෙන කැලේ පනින්ට..
ඔය කළුගල්ල ලොක්කගෙ ගෙදරට යන පාර කිට්ටුවම තිබ්බ ඒ කාලෙ කෑගල්ලෙ ෂ්වෙප්ස් බීම ඒජන්ට්ගෙ ගෙදර..Schweppes බීම මතකද? ටොනික් වෝටර්, සෝඩා එතකොට ඔරේන්ජ් ජූස් එහෙම තිබ්බ..හැබැයි මම දන්න විදිහට ඒ බීම ඒ කාලෙ මාකට් එකේ තිබ්බෙ නෑ..සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ට තිබ්බෙ අලියා බීම සහ සිංහයා බීම ( පියෝ බෙවරේජස් ) විතරයි..මම හිතන්නෙ ඔය ෂ්වෙප්ස් බීම දැම්මෙ රෙස්ට් හවුස් හෝටල් වගෙ එව්වට විතරයි..
හරි හරි ඉතිං කතාව මේකයි..ඔය ෂ්වෙප්ස් ගබඩාව ඉස්සරහ තිබ්බ එයාලගෙ ලොරි පාක් කරන්ඩ සෑහෙන ඉඩක් වෙන කරල..ඔක්කොම තිබ්බෙ ඔස්ටින් ලොරි..අර ඉස්සරහ මූන දත් විලිස්සගෙන හිනාවෙනව වගෙ තියෙන්නෙ...අන්න ඒ ලොරි..
ඔය ලොරි පාක් කලේ එයාලගෙ ගෙදර ඉස්සරහ පාර අයිනෙ අක්කර කාලක විතර ලොකු ඉඩං කෑල්ලක..උදේම ලොරි ඩිලිවරි යන හින්ද දවල් දවසෙ ඒ කෑල්ල හිස්..ක්‍රිකට් ගහන්ට මරු පොට් එක..අපි ඔය අහල පහල කොල්ලො කුරුට්ටො ඔතන තමයි ක්‍රිකට් ගහන්නෙ..ෂ්වෙප්ස් ගෙදර අයගෙං බාධාවක් තිබ්බෙත් නෑ..අනික ගෙදර ටිකක් විතර ඉඩමෙ පස්සට වෙන්ට තිබ්බ හින්ද ජනෙල් දොරවල් වලට එහෙම අලාබ හානි වෙන්ට තියන හැකියාවත් අවමයි..
******************************************
හරි කතාව ඉවර නෑ..ඒත් අදට මෙතෙකින් නවත්වන්න වෙනව..ඒ මොකද කිව්වොත් හෙට තියනව අර මධ්‍යකාලීන බ්ලොග් කරුවන්ගෙද කාගෙද මන්දා සුවඳ හමුවක්..
දැං ඔය වස්සප් ගූප් එක හදාගෙන සුවඳ හමු 3ක්ම තිබ්බනෙ..මම දෙකකට සාබාගි උනා..ඕකෙ පරමාර්තය උනේ බොලොග් ලිවීම නඟා සිටුවීම නොහොත් ලාංකේය වියුණු කලාවේ පුනර්ජීවනය..ඒ කියන්නෙ ආයමත් පාරක් බ්ලොග් ලිවීම පස්ස පැත්තට පැස්ටෝල් ගහල හරි නග්ගවලා ගන්න එක..
ඉතිං මගෙ කල්පනාවෙ හැටියට ඕකට කොරන්ට ඕන සුවඳ හමු තිය තිය කාල බීල නාන එක නෙවෙයි..යකෝ බ්ලොග් ලිවිල්ල නග්ගා හිටුවන්ඩ නම් තියෙන්නෙ බ්ලොග් ලියන එක..සරලයි සුගමයි..
එහෙම කිව්වට ඉතිං ඔය පොඩි සොමියක් ගන්න එකෙත් කිසිම වැරැද්දක් නෑ..ඒකත් කෙරෙන්න ඕන..
ඒ හින්ද මම හිතුව අවවාදයට වඩා අදර්ශය උතුම්ය කියලත් කියල තියන හින්ද හෙට බක් පෝදා සුහද හමුවට කලිං මොනවම හරි ලියල දාන්ට ඕනය කියල..ඒ ගමන තමයි මේ ටික ලිව්වෙ..තව කොටසක් ලියන්ට තියනව හොඳේ ළමයි?
හරි එහෙනම් දෙකහමාරෙ කෝච්චිය අල්ල ගන්ට තියනව හක්බෙල්ලාවක යන්ට..හෙට එහෙදි හමුවෙමු!