Saturday, April 8, 2023

686. බ්ලොග් හමුවට යන අතරමඟ...


ගිණිගත්හේන බස් නැවතුම්පල....


අර බෝ මලු සීන් එකේ ඉතිරි කොටස ලියල දාන එක දවස් දෙක තුනකට කල්දාන්ට වෙනව මයි පෙන්ස්.. ඒ මොකද කිව්වොත් හක්බෙල්ලාවක බක් පෝයදවසෙ අති උත්කර්සවත් අයුරින් පැවැත්වුනු අපේ මිඩ්ල් ඒජස් (මධ්‍ය කාලීන) බ්ලොග් ගෙට්ටුගෙදර් එක ගැන ඉස්සෙල්ල ලියමුයි කියල මම කල්පනා කලා..


මම මේ යන්නෙ ඔය මංජුලය ඕගනයිස් කරපු බ්ලොග් හමු වලින් තුන්වෙනි එකට..කලින් දෙපාරමත් වගේම මේ ගමනත් මම ගියෙ නාවලපිටියට හවස 2.20 ට පේරාදෙණියෙන් කෝච්චියක තියනව. ඒකෙ නාවලපිටියට ගිහිල්ල එතනිං ගිණිගත්හේනට බස් එකේ ගිහිල්ල එතනිං හැටන් වල ඉඳල අවිස්සාවේල්ලට හරි කොළඹට හරි යන බස් එකක නැඟල..

මම ගියෙ පහුගිය 4 වෙනිදනෙ..පහුවදා පෝය ඒ වගේම ඉස්කෝල නිවාඩු..මම ගිය පෙට්ටියෙ බාගෙට බාගයක් හිටියෙ ඉස්කෝල කොල්ලො කෙල්ලො..බහුතරයක් හයි ස්කූල් කෙල්ලො..උං බොහොම සන්තෝසෙං සින්දු කිය කිය ගියා..

මටත් ඉතිං මතක් උනා අපි ඉස්කෝලෙ  3, 4, 5, 6 වගෙ පංතිවල ඉන්නකොට නිවාඩු දෙන දවසට අම්මගෙං කීය කීය හරි ඉල්ලං ඇවිල්ල (ඒ කාලෙ මම හිතන්නෙ උපරිම රුපියල් පහක් වගෙ..අපොයි ඒ ගාන හොඳටම ඇති..) අලියා බීම, කේක්, බිස්කට් එහෙම ගෙනල්ල පංති භාර මැඩම්ට හරි සර්ට එතකොට අපිට ඒ ඒ විෂයයන් උගන්නපු ගුරු මණ්ඩලේට පිළිගන්වල අපිත් අන්තිමට ඉතුරු වෙන එව්ව කෑව බිව්ව...අන්තිමට පොඩි සිංදුවක් දෙකක් එහෙමත් කියල..නාට්‍යයක කෑල්ලකුත් කරල විවිධ ප්‍රසංගයකුත් තිබ්බ..එදවස එසේ විය...

එදා ඒ කියන්නෙ පහුගිය  අඟහරුවාද කොහොම හරි  මම කෝච්චියට නැග්ග වෙලාවෙ ඉඳල වහිනව..ඒ මදිවට ජනෙල් බාගෙට බාගයක් හරියට වැහෙන්නෙ නෑ..ඒ කියන්නෙ අයිනෙම සීට් එකේ ඉන්න මනුස්සය බාගෙට නාලයි කෝච්චියෙන් බහින්නෙ..එදා කෝච්චිය හොඳටම පරක්කුයි....හවස හතරට වගෙ ගිණිගත්හේනට යන්ට තියන එක එදා ගියේ පහටත් කිට්ටු කරල..

මම හාහා පුරා කියල ඔය මංජුලයගෙ පොට් එකට යන්ට ඕකගෙං විස්තර අහද්දි පොර කිව්ව "අයියෙ... මේ... එනකොට හොඳ බ්ලැන්කට් එකක්නම් අරං වරෙං මතක ඇතුව හොඳේ..මෙහෙ රෑට අම්බානක සීතලයි..."  කියල.. මට ඔන්න ගිණිගත්හේනට ගියාම තමයි මතක් උනේ අඩේහ් බ්ලැන්කට් එකෙක් ගේන්ට අමතක උනා නේද කියල..ඒ වෙන කොටත් වැස්ස..පස්සෙ ගිණිගත්හේන ටවුමෙ පොඩ්ඩක් ඇවිදල රෙදි කඩේකිං බෙඩ් ෂීට් එකකුත් ගත්ත බ්ලැන්කට් එක වෙනුවට..

ඊගාවට කොළඹ පාරට ඇවිල්ල නැග්ග හැටන් - කොළඹ  බස් එකක..කිතුල්ගල හරියට යනකොට වහින්ට ගත්ත පැල් බැඳගෙන..ආ..ඊට කලින් ගිය පාර මංජුලයගෙ බ්ලොග් හමුවට යද්දි මට ගිණිගත්හේනෙදි වෙච්චි සීන් එකක් කියල ඉන්නම්කො....

මම මහවැලියෙ වැඩ කරද්දි එකට වැඩ කරපු යාලුවන්ගෙන් සීයට අනූවක්ම ගම ඇහුවොත් එක්කො ගිනිගත්හේන, එක්කො කිතුල්ගල, එක්කො ලක්ෂපාන, එක්කො මස්කෙළිය, එක්කො කොටගල, එක්කො තලවකැලේ...එහෙම උනේ ඒ කාලෙ මම ඔය කියන්නෙ 1984 කාලෙ වගේ..මහවැලි ඇමති ඇවිල්ල හිට ගාමිණී දිසානායක..ඒ හින්ද නැචුරලි නුවරඑළිය - මස්කෙළිය ආසනෙන් තමයි බහුතරය මහවැලියට ගත්තෙ..

ඊගාවට බහුතරය හිටියෙ ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, බටපොල පැත්තෙන්..එහෙම උනේ ඒ කාලෙ හිටපු යූ.ඇන්.පී. ගාල්ල දිස්ත්‍රික් සංවිධායකය ඇවිල්ල ගාමිණීගෙ යාවජීව බොක්ක..ජගත්සේන..

ඉතිං ඔය ආපු  මා එක්ක හිටපු එක යාලුවෙක්ගෙ ගම හැබ්බෑකන්ද..ගිනිගත්හේනෙ ඉඳල ලක්ෂපාන පාරෙ යන්ට ඕන මට මතක විදිහට..ඉතිං ගියපාර මම හක්බෙල්ලාවක යන්ට ගිනිගත්හේන හන්දියෙ බස් එකක් එනකල් ඉන්නකොට ඔන්න මම දැක්ක කට කපල පුරවල බස් එකක් යනව හැබ්බෑකන්ද කියල..

මට එක පාරටම මතක් උනේ අර මගෙ හැබ්බෑකන්දෙ යාලුව..මිනිහගෙ නම විපුලසිරි..හැබැයි වැඩිකල් මහවැලියෙ හිටියෙ නෑ..එන්.ඩී.ටී. මිකැනිකල් කෝස් එකට සිලෙක්ට් වෙලා ඒ දවස්වලම වගෙ අස් වෙලා ගියා..පස්සෙ පිළිමතලාවෙ අපෙ මහගෙදර ගාවමනෙ යටිනුවර සී.ටී.බී. ඩිපෝ එක තියෙන්නෙ..90/91 කාලෙ විතර විපුලසිරි යටිනුවර ඩිපෝ එකේ වැඩකරනව කියල ආරංචි වෙලා මම ගිහිල්ල මිනිහව හම්බ උනත් එක්ක..

ඉතිං අර ගිණිගත්හේනෙදි හැබ්බෑකන්ද බස් එක දැකල මට විපුලයව මතක් උනාය කිව්වනෙ.. ඔන්න ඒ එක්කම ආව අවිස්සාවේල්ල බස් එකක්..ඒකෙ මම දනිපනි ගාල එල්ලුනා හක්බෙල්ලාවක යන්ට..

නැඟල සීට් එහෙක ඉඳගත්තත් මගෙ කල්පනාව තිබ්බෙ විපුලයා ගැන.."ටිකට් ගන්න ටිකට් ගන්න.." කොන්දොස්තරයා මා ගාවට ආව...."හැබ්බෑකන්ද එකක්.."  මට ඉබේම කියවුනා.."මේක හැබ්බෑකන්දට යන්නෙ නෑ..බහින්න බහින්න...." ඒ යකා එහෙම කියල බෙල් එක ඇද්දා..එතකොටයි මට හරි සිහිය ආවෙ.."නෑ..නෑ..මට යන්ට ඕන හක්බෙල්ලාවකට..."  මම විගහට එහෙම කිව්ව..ඇති කලබලේට ගොම්බෙල්ලාවක කියල කියවුනේ නැතුව..පස්සෙ මට එහෙම හිතුනා...

හරි දිගටම ලිව්වොත් බොලාට කියවන එකත් එපාවෙයි...දැනට ඇති..

ගූගල් මැප් එකේ නිල් බෝලය පැනීම, බුදු පිළිමය පහුවීම, දියෙස් අයියගෙ ලැවරිය කඩේ, උරුහම් බෑමට ක්ෂණික ප්‍රතිචාර දක්වන බාප්පා යනාදී කරුණු කාරණා පිළිබඳව වැඩිමනත් විස්තරද  සමඟ  බ්ලොග් හමුවේ රසාලිප්ත තොරතුරු අටෝරාසියක් අද හෙටම  මීලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න...

ස්තූතියි...

30 comments:

  1. මොකක්ද මේ කරන වැඩේ. හැම එකම නවත්ත නවත්ත ලියන්ටේ.

    මේ ආයේ හක්බෙල්ලාවේ යනවනම් මං එහෙ එඥ්ඥං. අපි දෙන්න අර... බහුතර හයිස්කූල් කොච්චි පෙට්ටිය අල්ලලා ඒකෙ එමු 😂

    ReplyDelete
    Replies
    1. ඔහේව අල්ලල හංගගනී බලාගෙන. හැක්..

      Delete
    2. Namiya,

      නමියා,

      ඒ කෝච්චියෙ ඔහොම හැමදාම ඉස්කෝල කෙල්ලො පුරවල එන්නෙ නැතුව ඇති බං..උංගෙ කතාවෙන් මට තේරුනෙ එක පංතියක යාලුවො සෙට් එකක් නිවාඩු දුන්න හින්ද නාවලපිටියෙ පදිංචි යාලුවෙකුගෙ ගෙදර යනව.. :)

      Delete
  2. Digatama kiyannane thibune. ,bohoma asawen kiyawagena giyath atharamada somiya kaduwane.

    ReplyDelete
    Replies
    1. sarath,

      ඒ කාලෙ වගෙ නෙවෙයි..එක දිගටම ලියන්ට ආමාරුයි දැං..ටිකක් ලියනකොට එපා වෙනව..ඒත් කොහොම හරි ගේම ගහන්ට ඕන..මෙහෙම හිතහංකො..උණ හැදිල ඉඳල සනීප උනහම එක පාරටම හැතැම්මක් විතර ඇවිදින්ට බෑනෙ..ඉස්සරෝම දවසෙ යාර සීයක්..දෙවෙනි දවසෙ යාර දෙසීයක්..ඒ වගේනෙ..එහෙම කරන්නං.. :)

      Delete
  3. මොකෝ දැං කොට කෑලි ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. Kasun,

      උඩහ සරත්ට දුන්නු උත්තරේ බලාපියෝ...

      Delete
  4. මොනවද මනුස්සයො මේ කොට කෑලි ලියන්නෙ. ලියනවකො අපිට කියවන්න තරං ඇති වෙන්න.

    යකෝ ගිනිගත්හේන කියන්නෙ ඔච්චර ලොකු ටවුමක්ද? මම මීට කාලෙකට කලින් දෙපාරක්ම යනකොට බස් දෙකක් මාරුවෙන්න බැරි තරං පොඩි ටවුමක්නෙ තිබ්බෙ.
    අපේ අල්ලපු ගෙදර අයියගෙත් මහගෙවල් ගිනිගත්හේනෙ තමයි

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /මොනවද මනුස්සයො මේ කොට කෑලි ලියන්නෙ/

      උඩහ සරත්ට දුන්නු උත්තරේ බලාපියෝ...

      /යකෝ ගිනිගත්හේන කියන්නෙ ඔච්චර ලොකු ටවුමක්ද?/

      අම්මට උඩු ගිණිගත්හේන දැං සෙල්ලං නෑ...දියුණු නගරයක්..

      Delete
  5. බ්ලොග් හමුවක් තියෙනවා කියලා ඇහෙනකොටත් ඉතින් එන්න බැරිවුනත් සන්තෝසයි... හමුවට මගෙන් සුභපැතුම්...
    (අර "දෙමල කඩේකින් " කියන කෑල්ල හරි නෑ බං ... වෙන භාෂාවක් කතාකළ පමණින් උනුත් ලාංකිකයෝම නෙව... පාලකයෝ උප්පැන්නේ වැරද්දුවට අපි ඒ වරද දිගටෝම කරතියාගෙන යායුතු නෑ ...)

    ReplyDelete
    Replies
    1. Ambalan,

      දෙමල තම්බි කියල කියන එක වර්තමාන සාමාජීය තත්ත්වය අනුවනම් හරි නැහැ තමයි..ඒත් අපි පොඩි කාලෙ නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ..මම ඔය කියන්නෙ 70 ගනන් වල..දෙමලා කියල නම් ඒකාලෙ උනත් ප්‍රසිද්ධියෙ කීවෙ නෑ..ඒත් තම්බියා කියන එක කිසිම අවුලක් නෑ..අපේ පංතියෙ හිටපු මුස්ලිම් යාලුවන්ට අපි කතා කලේම තම්බියා කියල..උංට ඒකෙ ගානක් නෑ..

      එනිවේ දෙමල කියන වචනෙ අයින් කලා...

      Delete
  6. මදැයි. පොඩ්ඩක් හරි බරි ගැහෙනකොට ෆිල්ම් එක ඉවරයි. උබ හොඳයි ලොකු අයියෙ කෙටි චිත්‍රපටිවල ස්ක්‍රිප්ට් ලියන්ඩ

    ReplyDelete
    Replies
    1. Dracky,

      හරි බං ඉඳහං ඉඳහං..ඒක හීනෙන්ම එලි වෙන්නෙත් නෑනෙ.. :)

      Delete
  7. වැඩේ පටන් ගන්නත් කලින් නවත්වල.......

    ReplyDelete
    Replies
    1. Lalith,

      ඒ කාලෙ වගෙ නෙවෙයි..එක දිගටම ලියන්ට ආමාරුයි දැං..ටිකක් ලියනකොට එපා වෙනව..ඒත් කොහොම හරි ගේම ගහන්ට ඕන..මෙහෙම හිතහංකො..උණ හැදිල ඉඳල සනීප උනහම එක පාරටම හැතැම්මක් විතර ඇවිදින්ට බෑනෙ..ඉස්සරෝම දවසෙ යාර සීයක්..දෙවෙනි දවසෙ යාර දෙසීයක්..ඒ වගේනෙ..එහෙම කරන්නං.. :)

      Delete
  8. IMF එකෙන් ණය මුදල ලබුනටත් වඩා සතුටක් හිතට දැනුන රවී ලොක්ක ආයෙත් පාරක් blogs ලිවීම ආරම්භ කරනව කියල දැනගත්තහම .දැන් ඉතින් blog අංසෙ සබාපති විදියට පත්වුන නිසා සතියට දෙක තුනක් එල්ලන්නම වෙනව . දිර්ගයුෂ වේවා !

    ReplyDelete
    Replies
    1. town,

      ස්තූතියි බොහොමත්ම..ඒ කියන්නෙ මම බ්ලොග් ලියන්ට පටන් ගත්ත කියන්නෙ රට ගොඩයනව කියන එකද? :)

      මහවැලියෙ තනතුරක් තිබ්බ නගර නිලධාරී කියල,..ඉංග්‍රීසියෙන් කිව්වෙ Town Officer... අපි ආදරේට කිව්වෙ ටවුමා කියල..Town Arachchi කිව්වම මට මතක් වෙන්නෙ ඒක.. :)

      Delete
  9. අර බාප්පගේ කතාව එහෙම ලියනව කියලා පොරොන්දු වෙලා දැන් සෑහෙන්න කල්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      දැං තුන් පාරක් ගිහිල්ලම බාප්ප මගෙත් කලණ මිතුරෙක් වෙලා කියහංකො...මේ පාර යනකොට රෑ උනානෙ..බාප්ප ඉන්නව ගේ ඉස්සරහ කාත් එක්කද කයියකුත් ගහගෙන..මාව දැක්ක ගමං පුන් සඳ පෑව්වහේ මූනට හිනාවක් ආව.."ආආ..අද එහෙනං අපිට විසිල් එකක එහෙම ඇහෙයිනෙ නේද? අපෙ කොල්ලනං ඊයෙත් හිටිය..මම ඒ පැත්තට කණ හරවගෙනම හිටියෙ..ම්හූ..කෝ විසිල් එකනම් ඇහුනෙ නෑ" එහෙම කිව්වනෙ බං බාප්ප.. :)

      Delete
  10. කුට්ටි කරල ලිව්වත්, ලස්සනට ලියනවා. නොලියන එකයි එකම ප්‍රශ්ණෙ.

    ReplyDelete
    Replies
    1. නරිස්,

      අප්පට සෝරු මචං..පරණ රසිකයො ආයම එකතුවෙලා ඉන්නව දැක්කම අප්‍රමාන තන්තෝසයි..නරීස්, ලලිත්, ටවුමා..කුමාර, අම්බලන්ගොඩ්ස්..

      ලියඤ්ඤං ළමයිනේස්..ලියඤ්ඤං ලියඤ්ඤං..බොලා වෙනුවෙන්ම ලියඤ්ඤං.. :)

      Delete
  11. කවදද හැබ්බෑකන්ද යන්නෙ?

    ReplyDelete
    Replies
    1. Praaa,

      හැබ්බෑකන්දෙ යාලුව මතක් වෙලා උගෙ නොම්මරේ හොයාගන්ට ෆුල් ට්‍රයි එකක් දැම්ම ..හරි ගියේ නෑ.. :(

      ඕක ඒ කාලෙ දෙකක් දාගත්තම කියනව මරු සිංදුවක්..චන්ද්‍රලේඛගෙ..ඒ කාලෙ ඒ කිව්වෙ අසූ ගණංවල හෙන ජනප්‍රිය ගායිකාවනෙ..රෑකාන්ටව බඳින්ට එහෙම ඉස්සර..

      කුසුමට ලංවී රන්බන්ඩා..
      ඇඳ උඩ දාගෙන XX ඉම්බා..

      රන්බන්ඩ කියල හිටිය අපේ ක්ලාක් කෙනෙක්..උගෙ මයිල් කෙලින් වෙනව ඕක ඇහුවම..

      Delete
  12. පඳුරු තලල විතරයි.

    ReplyDelete
    Replies
    1. kumara,

      “It's the not the Destination, It's the journey.” - Ralph Waldo Emerson

      Delete
  13. මේ සියළු කටයුතු සංවිධානය කර ගැනීමේදී ඔබත් ඩ්‍රැකියාත් ලබා දුන් සහයෝගය නොවන්නට; බ්ලොග් හමුව සුපිරිම අලබෝලයක් වන්නට ඉඩ තිබුනි. මේ සියල්ල පිළිබඳවා මා ඉදිරියේ ලියන්නම්.

    පක්ෂ්ග්‍රාහීව කියනවානම් නොවේ. මුරුංගා සීන් එකක්ද නොවන බව විශ්වාස කරණ්න.

    ඉතා රසවත් ලිපියක්!

    ReplyDelete
    Replies
    1. Manjula,

      ස්තූතියි මංජුල......:) දීර්ඝ පිළිතුරක් පසුව ලියන්නං..අවුරුද්දට දේදුගල යන්නයි මේ ලෑස්තිය..දේදුගල තියෙන්නෙ බුලත්කොහුපිටියට එහා පැළැම්පිටිය පාරෙ..බුලත්කොහුපිටියට යටියන්තොට ඉඳල කිලෝ මීටර් 12 හෝ 14 තියෙන්නෙ..

      මේ ටිකේම බිසී..ඊයෙ අනුරාධපුරේ ගියා..දවල් ගිහිල්ල මහ රෑ ආව..අනුරාධපුරේ ඇවිල්ල මගෙ ජීවිතේ අමතක නොවන තැනක්..වැඩි විස්තර බ්ලොග් සටහනකින්ම ලියන්නං.. :)

      Delete
  14. ඉඳල හිටලා ඇවිත් බ්ලොග් බලද්දී රවියා ලියල තියෙනවා දැක්කම දැනෙන සතුට ...

    ReplyDelete
    Replies
    1. Pathum,

      උඹගෙ කමෙන්ට් එකක් දැක්කම මට දැනෙන සතුටත් ඒ වගේමයි මල්ලි.. :)

      Delete
  15. කාලෙකින් බ්ලොග් බලන්න ආවේ... දැන් ඉස්සර තරම්.ඉන්ටරස්ට් නෑ අප්පා.. එන්නෙත් මේකට විතරයි.. පරණ කට්ටිය ලියනවා අඩුයි.. තියෙන ඒවත් කවි නිසඳැස් වගේ එහෙම නැත්තං මහා බරසාර දේවල්. හමුවක් තියලා කිව්වහම සතුටක් ආවා.. කට්ටිය එකතුවෙලා මේක ආයිත් ගොඩ ගත්තොත් හොඳයි...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...