![]() |
මහාචාර්ය ගණනාත් ඔබේසේකර |
මහාචාර්ය ගණනාත් ඔබේසේකර මිය ගිහිල්ල..
නමෝ විත්තියෙන්ම කියන්න ඕන ඔහුගේ නම ගණනාථ නෙවෙයි ගණනාත්....
ඔහු මට එකම වරක් මුණගැහිල තියනව මීට අවුරුදු හතරකට වගෙ කලිං පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති ආචාර්ය පී.බී. මීගස්කුඹුරේ උපහාර ග්‍රන්ථයක් එලිදැක්වීමේ උළෙලකදි..ඒ වෙනකොට මම ඔහුෆේ "The Doomed King" ග්‍රන්ථය කියවමින් හිටියෙ..ආචාර්ය ගණනාථ දැක්කම මට හිතුන අපරාදෙ ඔහුගෙ ඒ පොත අරං ආවනම් අත්සනක් ගන්න තිබුණනෙ කියල..
ආචාර්ය ගණනාත් ඒ පොතේ කියන විදිහටම මටත් හිතෙනව ඔය ශ්‍රී වික්‍රම ලොක්කා ගැන ලියවිල තියන එව්ව බාගෙට බාගයක් අමු බොරුය කියල..මිනිස්සු අතර රජු අප්‍රසාදයට පත් කරන්ට සුද්දො, එතකොට රජුට විරුද්ධ නිළමෙලා, හාමුදුරුවරු එහෙම පතුරවපු පට්ටපල් බොරු කාලයක් යනකොට ඇත්ත වෙන්න ඇති. කොහොම හරි එහෙමයි මට හිතෙන්නෙ..
ඒ තියා ඇහැලේපොල කුමාරිහාමියි රජුයි අතරෙ යම් සෙනෙහසක් වගෙ එකක් තියෙන්නත් ඇති කියල මට හිතෙනව..My Imagination running riot of course ..Heh..heh..heh..
ඔය ඇහැලේපොල කුමාරිහාමි ගායනයට සහ වාදනයට ඉතාම දක්ෂයි කියනවනෙ..රජ්ජුරුවොත් එහෙමලු..ඉතිං හතර වටින් කලුවර වැටීගෙන එන සීතල සන්ධ්‍යා සමයක රට පුරා පැතිර ඇති වියවුල් සමනය කිරීමට දවසම වෙහෙස මහන්සිවී දැඩි විඩාවට සහ කළකිරීමට පත්ව සිටිනා ශ්‍රී වික්‍රම තම රාජකීය ඇඳුම් පැළඳුම් ඉවත් කොට සැහැල්ලු ඇඳුමකින් සැරසී වෙස් වලාගෙන බෝගම්බර ඇතුලු නුවර සැරිසරන්න ඇති..එහෙම ඇවිදං යද්දි ඇතුළු නුවර යම් ප්‍රාසාදයක් දෙසින් ඇසෙනා මධුර මනෝහර වීණා නාදයක් ඔහුගේ ඉබාගාතේ සරනා දෙපය එක්වනම පාෂාණිභූතවූවාසේ නවතන්නට ඇති...ඉතිං එහෙම තමයි වැඩේ පට්ටාං ගන්න ඇත්තෙ....හෙහ්..හෙහ්..හෙහ්..
මේ කටාර් ඉන්න කාලෙ මම ලියපු මීටම අදාල සටහනක්...
මේ දවස්වල ....මේ දවස්වල කිව්වෙ දැං මාසෙක තරම ඉඳල මම යෙදිල ඉන්නෙ හදිසි සහ බාරදූර කාර්යයක....ඒ කියන්නෙ රාජකාරිය සම්බන්දව හොඳද? හෙහ්..හෙහ්...බාරදූර කිව්වම මට මතක් වෙන්නෙ මම බොහොම ආස කරන පරණ නාඩගං ගීතයක්. නාඩගම ඇවිල්ල ශ්‍රී වික්‍රම..ගීතය ඇවිල්ල මෙහෙමයි..
"රකී බුද්ද දම්ම සීල පූර්වේ රජුන් ලෙසේ ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ ඒතුමා ඒතුමා ඒතුමා වෙතේ දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාරදූරයේ.... බාරදූර... බාරදූර.... බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ....." හිච්චි එකා කාලෙ මම ඔය සිංදුව කිව්වෙ ඔන්න ඔහොම...
ඔතන කන්නසාමි කියල කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ ගිහි කාලෙ නම...ආහ්..සමාවෙන්න ඕමනයි..ගිහිකාලෙ නෙවෙයි රජවෙන්ට ඉස්සර කාලෙ. ඒ කාලෙ ඔය කන්නසාමි කුමාරය හිටියයි කියන්නෙ පේරාදෙණිය කිට්ටුව මහ වැලි ගඟ අයිනෙ තම්පළා කොටුවක් වවාගෙන. ඒ මනුස්සයගෙ කන්ද උඩරට රජවෙන්ට කිසියම්ම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබිල නෑ. තනියම තම්පළා කොටුවෙ පොඩි ගේකුත් හදාගෙන විවේක වෙලාවට බටනලාවකුත් වාදනය කරමින් කන්නසාමි පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගතකරල තියනව.
කන්නසාමි කුමාරය කියන්නෙ ඒ කාලෙ හිටපු රජ්ජුරුවන්ගෙ ඒ කිව්වෙ රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ රිදී දෝලියකගෙ (එදවස රජකුගේ මෞලි මංගල්‍යයකදී රජු හා සමඟම අභිෂේක කරනු ලබන අග මෙහෙසිය නොවන වෙනත් අවශේෂ මෙහෙසියන් හඳුන්වන ලද්දේ රිදී දෝලි යන ව්‍යාවහාරයෙනි. එලෙසම අවශේෂ අන්තඃපුර කතුන් හඳුන්වන ලද්දේ යකඩ දෝලි යන නමිනි.) සහෝදරියකගෙ පුතා. ඒ කියන්නෙ රජ්ජුරුවො නෑකමට වෙන්නෙ බාප්පා.
ඒ කාලෙ පැවතිච්ච සම්ප්‍රදාය විදිහට රජ්ජුරුවන්ට පුතෙක් නැත්නම් රජකම උරුම වෙන්නෙ අග මෙහෙසියගෙ සහෝදරයට. හැබැයි එකක් කියන්ට ඕන. ඔය Rule of Succession එක අපේ රටේ එතෙක් තිබ්බ සම්ප්‍රදාය නෙවෙයි. අපේ තිබ්බෙ රජකම ඊලඟට උරුම වෙන්නෙ වැඩිමහල් පුතාට. එතකොට පුතෙක් ඇත්තෙම නැත්නම් ඊලඟට ඉන්න සහෝදරයට.
ඔය මෙහෙසියගෙ සහෝදරයට කිරුළ උරුම වෙන සම්ප්‍රදාය ඇවිල්ල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. කන්ද උඩරට රජවරු සූර්ය වංශික උභය කුළ පාරිශුද්ධ කුමාරිකාවන් ඒ කාලෙ ගෙන්නගෙන තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ තන්ජෝර් පළාතෙන්. ඒ කුමරියන් එක්ක එයාලගෙ නෑදෑ පරපුරම ඇවිල්ල මෙහෙ පැල පදියං වෙන එක සිරිතක් විදිහට කෙරුනලු. ඒ හින්ද ඒ කාලෙ උඩරට රාජධානියෙ රාජ සභාවෙ එහෙම වැඩිපුර භාවිතා වුනාය කියන්නෙ දෙමළ භාෂාව. කොටින්ම 1815 අවුරුද්දෙ මාර්තු දෙවෙනිදා බ්‍රිතන්‍යයන් එක්ක අත්සන් කරපු උඩරට ගිවිසුමට අත්සන් කරපු උඩරට ප්‍රධාන නිළමේ වරුන්ගෙන් සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ කැප්පෙටිපොළ නිළමෙ විතරයිලු.
ඉතිං ඔය රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියටත් (ආ...අවශේෂ මෙහෙසියන් රිදී දෝලි කියල හැඳින්වෙද්දි අග මෙහෙසිය හැඳින්වුනෙ රන්දෝලිය කියල. අදත් ඔය දළඳා පෙරහැරේ රන්දෝලි පෙරහැර කියල කියන්නෙ ඇත්තටම ඒ කාලෙ ඔය පෙරහැරේ ගෙනිච්චයි කියන්නෙ අග බිසවගෙ රන් ආභරණ කියලයි කියන්නෙ) සහෝදරයෙක් ඉඳල තියනව මුත්තුසාමි කියල. ඉතිං සම්ප්‍රදාය අනුව රජකම උරුම වෙන්ට ඕන ඒ මුත්තුසාමිට වුනාට මහ අදිකාරම් (ඒ කාලෙ රටේ අගමැතිට කිව්වෙ මහ අදිකාරම් කියල) පදවිය දරපු පිළිමතලව්වේ මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි රජකරවන්ට රහසේ කටයුතු කලා.
මිනිහට ඇත්තටම ඕන කලේ තමන්ගෙ රූකඩයක් වගෙ රජෙක් සිංහාසනේ ඉන්දවල පස්සෙ හෙමීට තමන්ටම රටේ රජකම ගන්ට කියලයි කියවෙන්නෙ. පිළිමතලව්වෙගෙ කේන්දරේ ඉතා බලගතු රාජයෝගයක් තිබ්බයි කියල කියනව. එහෙම තමංගෙ කේන්දරේ රාජ යෝග තියෙනවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය කරන්නෙ මොන දහං ගැටේ ගහල හරි මොන පාවාදීම කරල හරි ඒ අනාවැකිය ඇත්ත කරවන්ට දතකන එක.
පිළිමතලව්වේ තමන්ගෙ පළවෙනි බලාපොරොත්තුව ඉස්ට කරගත්ත. ඒ කිව්වෙ කොහොමින් කොහොමින් හරි මුත්තුසාමි කපල දාල කන්නසාමි රජ කෙරෙව්ව. ඒත් උන්දැගෙ දෙවෙනි බලාපොරොත්තුව ඉස්ට සිද්ද කරගන්ට බැරුව ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ (මේ වෙනකොට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙලා) රජකමින් පහකරල තමන් රජවෙන්ට කරපු කුමන්ත්‍රණ කීපයක්ම එලිවෙලා රජ්ජුරුවො කීපවරක්ම සමාව දුන්නත් අන්තිමට බැරිම තැන රජ්ජුරුවො පිළිමතලව්වේ මරා දාන්ට අණකලා.
හරි අපි ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන අහල තියෙන්නෙ අන්තිම දරුණු දුෂ්ඨ, ක්‍රෑර රජෙක් විදිහටනෙ. අර ඇහැළේපොළ කුමාරිහාමිව සහ දරු තිදෙනා මරණයට පත්කපු විදිහ ගැන එහෙම මයිල් කෙලින් වෙන කතන්දරනෙ අපි අහල තියෙන්නෙ. නේ?..."අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි" ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්ම සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමිකලා. අන්න එහෙමනෙ නේ? ඒත් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ සුට්ටං කුකුසක් තිබ්බ මේ කියන විදිහටමද වැඩේ වුනේ කියල.
කුමාරිහාමිගෙ දරුවො තුන්දෙනා ගෙල සිඳ මරණයට පත් කලා. එතකොට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්ලල මරල දැම්ම. අපි පුංචි කාලෙ ඔය ඇහැළේපොළ කුමාරිහාමිගෙ ආත්මය බෝගම්බර වැව වටේ පාරෙ හඳ තියෙන රෑට සැරිසරනව කියල අපිට කිව්ව. එහෙම කිව්වෙ අපෙ පොඩි අම්මගෙ දුවල. ඒ ගොල්ල ඒ කාලෙ හිටියෙ බෝගම්බර බන්ධනාගාර නිල නිවාස වල. බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.
අපි ඒ කාලෙ හිටියෙ කෑගල්ලෙ. ඉතිං ඉස්කෝල නිවාඩු කාලෙට එයාල අපේ ගෙදර ඇවිල්ල සතියක් දෙකක් වගෙ ඉන්නව. ඊට පස්සෙ ඒ ගොල්ල ආපහු නුවර යද්දි බොහෝවිට මම එයාල එක්ක ඇවිල්ල සතියක් විතර පොඩි අම්මලත් එක්ක ඉඳල ඉස්කෝලෙ පටන් ගන්ට ඉස්සර ආපහු යනව. වේල්ස් චිත්‍රපට ශාලාව තිබ්බෙ ඔය මම කියන ක්වාටසුත් එක්කම පල්ලෙහා. ඩී. එස්. සේනානායක පුස්තකාලෙත් එක්කම. දැන්නම් ඒ ෆිල්ම් හෝල් එක කඩල දාල. ඒ පොඩි අම්මලගෙ ගෙදර ආපු එක නිවාඩු කාලෙක "වනරාජා නොහොත් සිංහල ටාසන්" ෆිල්ම් එක බලන්ට ගියා මට මේ අද ඊයෙ වාගෙ මතකයි.
ෆිල්ම් එක බලන්ට ගියේ පොඩි අම්මගෙ වැඩුමල් දුවයි මායි. පොඩි අප්පච්චි ටිකට් අරන්දීල අපිව හෝල් එක ඇතුලට දාල ආපහු ගියා ෆිල්ම් එක ඉවරවෙන්ට කිට්ටුව එක්ක යන්ට එන්නම්ය කියල.
"අප්පච්චි නාව උනත් අපිට යන්ට පුලුවනි. අපේ ගෙවල් මේ ලඟනෙ" සුදු අක්ක මහදැනමුත්තියක් වගෙ කිව්ව මගෙ කණට කට ලං කරල. මම ඔලුව හෙල්ලුව. ඒ වෙනකොට මයෙ වයස ඔන්නම් දහයක් වගෙ වෙන්ටැ. සුදු අක්ක මට වඩා අවුරුද්දක් වැඩුමල්.
වනරාජා ෆිල්ම් එකේ එකේ රඟපෑවෙ බැසිල් ද සේරම් සහ තලතා ගුණසේකර. බැසිල් ද සේරම් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනේ සිංහල සිනමාවේ උසම නළුවා කියල. වනරාජා ෆිල්ම් එකේ ප්‍රචාරක පත්‍රිකා වල තිබ්බෙත් සිංහල සිනමාවේ උසම නළුවා රඟපාන කියල. තලතා ගුණසේකර කියන්නෙ නදීකා ගුණසේකරගෙ අම්මා.
සුදු අක්කල ඔය ෆිල්ම් එක කලින් බලල තියනව. මං හින්දමයි ඔය ආයම බලමු කියල ආවෙ. ඉතිං වැඩේ කියන්නෙ ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල මේ අම්මණ්ඩි මම ඉන්න සීට් එකට නැමිල ඊලඟට තියන සීන් එකේ විස්තරේ කියනව. මුලින්ම වැඩේ පටන් ගත්තෙ මම බයවෙයි කියල එහෙම බයවෙන සුළු සීන් ගැන වෝනිං එකකිං.
"රවි මල්ලි ඔන්න බයවෙන්න එහෙම එපා. ඊලඟට ඔය දොර අරිනකොටම කාමරේ මැදම තඩි නයෙක් ඉන්නව පෙණෙත් පුප්පගෙන. ඒත් ඌ අහිංසකයි දස්ට කරන්නෙ එහෙම නෑ.....හොඳේ?"
මමත් ඉතිං "හා මං බයවෙන්නෙ නෑ" කියල ඔලුව වනනව. ඒත් කෝකටත් ඇසුත් වහගන්නව...හෙහ්,හෙහ්, එහෙම අති බයංකාර සීන්ස් ගැන වෝනිං එකක් විදිහට පටං ගත්තු සුදු අක්කගෙ රනිං කමෙන්ට්‍රි එක නොහොත් විස්තර ප්‍රචාරය ඊට පස්සෙ සම්පූර්ණ කතාවම කලින් කියන මට්ටමට දියුණු වුනා.
"ඔතන මල්ලි ඔය ඉන්නෙ රැජිණ..නම මායා...ඊලඟට සේවිකාවෝ දෙන්නෙක් ඇවිත් රැජිනිව එක්කං ගිහිල්ල කිරි දියරෙං නාවනව.."
"මොනවා? ඇත්තම කිරි වලිං?" මගෙ කටත් එක්ක ඇරුන. ඒ ඔය සිරිමා මැතිණිගෙ ආණ්ඩුව කාලෙනෙ. බඩු බාන්ඩ එහෙම බොහොම හිඟයි. අන්න ඒකයි තනිකර කිරෙං රැජිනිව නාවනව කිව්වම මට පුදුම හිතුනෙ.
"නෑ..නෑ...මම හිතන්නෙ බොරුවට වතුරට පාටක් දාල වෙන්ට ඇති"
"එහෙම කිරි වතුරෙන් නාවල ඊට පස්සෙ?"
"ඊට පස්සෙ ලස්සන සළුවක් දෙනව ඇඳගන්ට"
"ඒක ඇඳගෙන? …"
මගේ ඒ ප්‍රශ්නෙට සුදු අක්කට උත්තර දෙන්ට ලැබුනෙ නෑ. පිටි පස්ස පේලියෙ ඉඳල බුරුසු රැවුල්ධාරී තඩි මූණක් අපි දෙන්න අතරට පාත් වුනා.
"මේ ඔය ළමයි මේ ෆිල්ම් එක කලින් බැලුවනම් කටවල් වහගෙන ඉන්නවද? අපිටත් නිදහසේ මේක බලන්ට ඕන.."
"නෑ මම කලින් බලල නෑ මේ අක්ක තමයි කලින් බැලුවෙ.." මම සුදු අක්කව පෙන්නල බුරුසුවාට කිව්ව
"අක්ක හරි මල්ලි හරි කවුරුවුනත් කමක් නෑ...කෝ? ඔයාලගෙ නැද්ද කවුරුවත් වැඩි හිටියෙක් ඇවිල්ල?"
"නෑ අපි දෙන්න විතරයි..." මම හෙමිහිට කිව්ව.
"අන්න ඒකනෙ කියන්නෙ. පොඩි ළමයි තනියම ෆිල්ම් බලන්ට එවනව..මෙව්ව මේ ලමයින්ගෙ නෙවෙයි වැඩිහිටියන්ගෙ වැරදි..."
හැබැයි ඊට පස්සෙනම් සුදු අක්ක මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුව.
ඉතිං මම අර කියපු විදිහට අපි සමහර දවස්වලට රෑට කාල ක්වාටර්ස් එකේ මිදුලෙ සෙල්ලං කරනව. හැංගිමුත්තං හෝ බට්ට පනින එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඔන්න හිටපු ගමං සුදු අක්ක "ඔන්න ඇහැළේපොල කුමාරිහාමිගෙ අවතාරෙ එනෝ..." කියල කෑගහගෙන ගෙට දුවනව. අපි පොඩි එවුනුත් ගිරිය යටිං කෑගහගෙන ඒ පස්සෙ දුවනව. එක දවසක් එහෙම දුවද්දි එළිපත්තෙ පය පැකිලිම වැටිල මගෙ දනිස්ස තුවාල වුනා. එදානං පොඩි අම්ම සුදු අක්කගෙ පස්සට දුන්න වේවැලෙන් දෙකක්...හෙහ්,හෙහ්,
හරි ආයම කන්නසාමි ගැන කතාවට ආවොත්.....මගේ හිතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගැන ඇඳිල තියෙන කතාව ඔය අපි අහල තියෙන කතාවට වඩා බොහෝම වෙනස් ... කොහෙත්ම ඔය ඉතිහාස පොතේ තියන එක නම් නෙවෙයි..අපේ අතීතය ගැන මගෙ හිතේ එහෙම කතන්දර මහ ගොඩක් ඇඳිල තියනව. එව්ව බොහොම වෙලාවට අපි ඔය අහල තියන එව්වට වඩා වෙනස්. එහෙම කතන්දර දෙකක් මම මීට කලින් ලිව්ව. විජය රජ්ජුරුවන්ගෙ කතාව සහ අනුලා බිසවගෙ කතාව.
හරි ඒ මගේ කතාවට ඉස්සෙල්ල ඇහුංකං දෙන්නකො ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ට.
ඔහු වනාහී මියගිය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගෙ වැඩිමහළු සොහොයුරා. ආචාර්ය ගණනාත් කියන්නෙ ලංකාවෙ කවුරුත් වැඩිපුර නොදන්නව උනාට ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක්. ඔහු මේ ලඟදි ප්‍රකාශයට පත් කලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කල අධ්‍යයනයක්. පොතේ නම "The Doomed King - A Requiem For Śri Vikrama Rajasinha"
පෝස්ට් එක නම් ටිකක් දිගවෙයි. කමක් නෑ කියවල බලන්න...පාඩුවක් වෙන එකක් නෑ...හෙහ්, හෙහ්,
![]() |
The Doomed King... |
මේ මුලින්ම සිළුමිණේ පළවූ ලිපියක්....
ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය.
1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.
ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය.
ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති "Land Tenure in Village Ceylon: A Sociological and Historical Study" (1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය.
චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන "The Cult of the Goddess Pattini" (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ "Buddhism Transformed: Religious Change in Sri Lanka" යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ "The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific" (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය.
පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය (Dutthagamini and the Buddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.
විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.
මේ රසික කොටුදුරගේ මහාචාර්ය ඔබේසේකර සමඟ කල සම්මුඛ සාකච්ඡාවක්.. (උපුටාගැනීම සිළුමිණ පුවත්පතෙනි)
"ද ඩූම්ඩ් කිං ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?"
"දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හෝටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි"
"ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ."
"ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව"
"මේ කරුණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා."
"ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?"
"මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බේබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජ්ජුරුවන්ගෙ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගනිද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ."
"රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා."
"මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි."
"ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද?"
"1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා."
"මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා."
"මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?"
"පේරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි."
"ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා."
"ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන."
"මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?"
"අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වුෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්."