Sunday, April 20, 2025

710 - දිඹුලාගල මතක සටහන් - 5


දිඹුලාගල පන්සල...

"බීඑම් මහත්තය කොහෙද මේ වෙලාවෙ ඇත්තෙ?"

"ගෙදර තමයි සර්..ආපහු ඔෆිස් එක පැත්තෙ නම් ආවෙ නෑ..."

මම ඒ ගමන තකහණියක් ගියා බීඑම් මහත්තය හම්බ වෙන්ට..

ගේ ඉස්සරහ බයික් එක නවත්තනකොටම බීඑම් මහත්තය දොර ඇරගෙන ආවා එළියට.."ආ..එන්ඩ එන්ඩ සුමනෙ.."

බීඑම් මහත්තයා පිටිපස්සෙං ආවා හොඳ උස මහත සුදු ගාම්බීර පෙනුමක් තියන ගෑණු කෙනෙක්..

"සුමනෙ මේ මගෙ නෝනා.."බීඑම් මහත්තයා අඳුන්වල දුන්නා.."ලලිතා මේ සුමනෙ..මෙහෙ මගෙ ලඟම හිතවතා.."

"ආයුබෝවන්..."  බීඑම් මහත්තයාගෙ නෝනා මට දෑත් එකතු කරල ආචාර කලා.....

"ආ..ලලිතා දන්නවද සුමනෙත් මෙහෙම හිටියට හොඳ වළව් කාරයෙක් තමයි..හරි හරි එව්ව ඕන නෑ....අපි  යංකො පොඩ්ඩක් හුළං වදින්ටත් එක්ක  එළියට පුදුම රස්නෙයි.." බීඑම් මහත්තයා මගෙ අතකිනුත් අල්ලගෙන ඇදගෙන වගෙ ගෙයිං එලියට බැස්සා..

"ඉතිං අනේ රස්නෙයි නං මේ ෆෑන් තියෙන්නෙ... අහවල් දේකටද් එලියට යන්නෙ?" නෝනා දොරකඩට ඇවිල්ලා ඇහුවා..

"ඒ ෆෑන් හරියන්නෙ නෑ අනේ මේ රස්නෙට..ස්වාභාවික හුළඟ වදින්ට ඕන..ස්වාභාවික හුළඟ.."

බීඑම් මහත්තයලගෙ ක්වාටර්ස් එකේ මිදුලෙ තිබ්බ පේර ගහ යට ලී බංකුවක් හදල තිබ්බා..අපි දෙන්නා ගිහිල්ල ඒකෙ ඉඳ ගත්තා..

" මොකක්ද බීඑම් මහත්තයා මේ....." මම පටං ගන්නකොටම බීඑම් මහත්තයා අතක් උස්සල මාව නැවැත්තුවා..

"සුමනෙට පුදුම ඇති මම මේ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑය කියපු මනුස්සය එක දවසකිං ආපහු ආවෙ මොකද කියල නේ? අර වඳින්ට ගිය දේවාලෙ ඉහ මත කඩා පාත් උන  මනුස්සයට වෙච්චි එකේ අනික් එකනෙ සුමනෙ මට උනේ..මම ඔන්න ඊයෙ ගෙදර ගියානෙ..අපේ නෝනා කියාපි අනේ වෙසක් පෝයට දිඹුලාගල ගල උඩට හඳ එලිය වැටුනම හරිම ලස්සනයිලු නේද? මගෙ ඉස්කෝලෙ හොඳම යාලුවෙක් අවුරුදු තුන හතරකට කලිං එහෙම ගිහිල්ල වෙසක් පෝය රෑ දිඹුලාගල ගල උඩ හිටියලු..අනේ හෙටම අපි දෙන්න ආපහු යමුකො..අනිද්දනෙ වෙසක්. එතකොට මට පුලුවං වෙසක් පෝයට දිඹුලාගල පන්සලේ සිල් ගන්ටත්.."

"ඉතිං බීඑම් මහත්තයට තිබ්බෙ  මොනවත් බොරුවක්.."

"පිස්සුද සුමනෙ අපේ නෝනා ඔය විසාකා සිටුදුව වගෙ හිටියට මහම මහ මොරෝමයි..ඒ ඔය පරම්පරාවෙම හැටි තමයි..එයාට යමක් හිතුනොත් හිතුනම තමයි..අනික ඕනවට වැඩිය මම පස්ස ගැහුවොත් ඔය අම්මණ්ඩි වෙන මඟුලක් හිතන්ටත් බැරි නෑ..ඉතිං ඒ ගමන ඔන්න උදේම පිටත් වෙලා ආවා.."

"ඉතිං බීඑම් මහත්තය මොකද දැං කරන්නෙ? හෙටනෙ වෙසක්..නෝනා සිල්ගන්ට එහෙම ගියොත් මල ජංජාලයක්නෙ වෙන්නෙ..හාමුදුරුවො නෝනත් ඉස්සරහ හොඳ හරුපවලිං කිව්වොත් එහෙම වතුර මලේ විස්තරේ ආය රෙදි නෑනෙ.."

"ඔව්..ඔව්..කොහොමත් මේ මනුස්සය සිල් ගන්ට නම් එක්ක යන්ට බෑ..හෙට ක්වාටර්ස් එකෙං එක අඩියක්වත් එළියට තියන්ට දෙන්ට හොඳ නෑ.."

"ඉතිං කොහොමද ඒක කරන්නෙ? "

"මම එන ගමං ඒකටත් පොඩි සුකුරුත්තමක් කල්පනා කරගෙන ආවෙ..මගෙ අවුරුදු දෙකකට වගෙ කලිං තිබ්බ දනිස් අමාරුවක්..මාසයක් විතර සිංහල බෙහෙත් කරලයි ගොඩ ගියේ..මම මේ අද එන ගමං අපෙ උන්දැට කිය කිය අවෙ ආයම අර මගෙ දණිස් අමාරුව මතුවෙන්ඩ එනව වගෙ දැනෙනව කියල.."

"හෙහ්..ඒ කියන්නෙ බීඑම් මහත්තය ලෑස්ති දණිස් අමාරුව පිටදාල හෙට ගෙදරටම වෙලා ඉන්ඩ නේද? එහෙනං ඔබගේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.."

මම එහෙම කියල බංකුවෙං නැඟිට්ටා..

"ස්තූතියි ස්තූතියි..." කියල බීඑම් මහත්තය ලාවට වගෙ නොන්ඩි ගගහ ගේ පැත්තට ගියා..ෂුවර් එකටම නෝනා ජනේලෙංවත් බලා ඉන්නව දකින්ට ඇති..බීඑම් මහත්තයා තමයි දවසකටවත් මිනිහා ..හෙහ්..හෙහ්..මම ඉතිං තනියම හිනාවෙවී එන්ට ආවා..

පහුවදා ඉතිං වෙසක් පෝයනෙ..වෙනදා පෝය දවසට අපි දෙන්නා ඉතිං අට නමය වෙනකල් නිදාගන්නව..අපි දෙන්නා කිව්වෙ මමයි වයිෆුයි....මෙදා කොහොම හරි දිඹුලාගල කන්දෙං ඇහෙන ගෝසාවට අපේ වයිෆ්ට හතාමාර වෙනකොට ඇහැරිලා..එලියට බැහැලා තවත් හොඳට අහගෙන ඉඳල දුවගෙන ආවා කමරේට..

"මේ ඒයි නැඟිටින්ඩකො නැඟිටින්ඩකො..අර ගිහිල්ල අහගෙන ඉන්ටකො දිඹුලාගල හාමුදුරුවොද කොහෙද මොනවද කියන්නෙ කියල.."

"ඈ මොනවද කියන්නෙ?" මමත් දනිපනිගාල නැඟිටල දිව්වා මිදුලට..අම්මාපල්ල දිඹුලාගල ලොක්කා නෙවෙන්නං..හැබැයි ඉතිං මීට කලිං පෝය දවස්වලට  දිඹුලාගල කන්ද මුදුනෙං ඇහෙන බණ මෙච්චර සද්දෙට අපේ කෑම්ප් එකට ඇහුනෙ නෑ නෙව..මේ මොකද අද විතරක් මෙච්චර සද්දෙට ඇහෙන්නෙ? රයිට් මට ඔලුවට ආවා හේතුව..ස්පීකර් ඔක්කොම අද අපේ කෑම්ප් එක පැත්තට හරවලා..දිඹුලාගල ලොක්ක එක්කත් සෙල්ලං නෑ..හෙහ්..හෙහ්..

"මොනවද අනේ ඔය කියන්නෙ? කාටද ඔය බණින්නෙ?" බිරින්දෑ තොමෝ මා ලඟට ඇවිල්ල ඇහුවා..

"අපේ බීඑම් මහත්තයටනෙ ...ආය ඉතිං වෙන කාටද? " මම හිනාව කාගෙන කිව්වා..

එතකොටමත් හුළං අත මේ පැත්තට හැරිලද කොහෙද ඔන්න සද්දෙ කනේ තිබ්බ වගෙ ඇහෙන්ට ගත්තා..

"ඔය යකා ඔය අර අඟහරු ලෝකෙං ආපු එකෙක් වගෙ ඉන්නෙ අන්න ඒකා මාව හම්බවෙන්ට ඇවිල්ල ඇහුව අපෙ හාමුදුරුවනේ මොකක්ද මගෙං කෙරෙන්ට ඕන මේ විහාරස්ථානයට කියලා..මම කිව්වා..නෑ මහත්තයො.."

ඔන්න සද්දෙ බාල වෙලා ගියා හුළං අත මාරුවෙන්ට ඇති..

"ඉතිං උපාසක උපාසිකාවනි..ඔය මිනිහා කරපු අපරාදෙ දන්නවද? " ආයෙමත් සද්දෙ බාල උනා ..හුළං අත..හුළං අත..."..මම කිව්වා වෙසක් පෝයට කලිං..අද උදේ අපේ උපාසකම්මලා දෙන්නෙක් පය ලිස්සලා පත බෑවුනා මේ පන්සලේ මිදුල මැද්දෑවෙ තියන මහ පතහට..හිටපු කට්ටිය විගහට බේරගත්තු ...දෙයියම්පල්ල මට ඔය මිනිහා එක්ක එන්නෙ.."

ඔය විදිහට හාමුදුරුවො ලවක් දෙවක් නැතුව බැණගෙන බැණගෙන යනවා..

"ඇයි අනේ බීඑම් මහත්තයට ඔහොම බණින්නෙ? 

"අර වතුර මලේ වැඩේ හින්දනෙ......මම අර ඔයාට කිව්වෙ.."

"එතකොට ඔය අඟහරු ලෝකෙං ආපු කතාවක් කියන්නෙ?"

"ඒ අපේ බීඑම් මහත්තයගෙ හැඩරුව ඒ වගේ හින්ද වෙන්ටැති...."

"මචං උඹලා දෙන්නා ඒ බීඑම් මහත්තයාව දැකල තියනවද?" සුමනෙ අපි දෙන්නගෙං ඇහුවා..

"නෑ අනේ ඔය කාලෙ අපි දෙන්නම හිටියෙ ඉංජිනේරු අංසෙනෙ..අනික මම සේනපුර..සේපාල දෙහිඅත්තකණ්ඩියෙ..ඒ හින්ද අපි දෙන්නටම ඔය බීඑම් මහත්තයා මුණ ගැහිල නෑ..."

"මචං ඒ බීඑම්ගෙ කොණ්ඩෙ නිකං මහ අමුතුයි..ඉත්තෑකූරු වගේ..මූණත් කෙට්ටුයි..ඒ හින්දයි හාමුදුරුවො ඔය අඟහරු ලෝකෙ කතාව කිය කිය බැන්නෙ..හරි ඉතිං මම ඒ ගමංම ගියා බීඑම් මහත්තයගෙ ගෙවල් පැත්තෙ..යනකොට ඔන්න ඇහෙනව ගේ ඇතුලෙං මහ සද්දෙං පිරිත් දේසනාවක්..බීඑම් මහත්තයා ගාව තිබ්බා හොඳ සවුන්ට් සෙටප් එකක්..ඒකෙ දාලා කරණීය මෙත්ත සූත්‍රයද රත්න සූත්‍රයද මොකක්ද එකක් කංඅඩි දෙදරන්ට.."

"මොකෝ බීඑම් මහත්තයා මේ? " මම බීඑම් මහත්තයගෙ කණට කට ලංකරලා කෑගහලා ඇහුවා..

"අර ඇහෙනව නේද අර යකා මට අම්ම මෝ නැතුව බණිනවා?" බීඑම් මහත්තයත් කෑගහලා කිව්වා..

"ඔව් ඔව් මට ඇහුනා..ඒකමයි මම මේ පැත්තෙ බලන්ට කියල ආවෙ.."

"ඔය මට බණින එව්වා අපේ උන්දැට ඇහුනොත් එහෙම ඔය අම්මණ්ඩි හෙටම මාව ඩිවෝස් කරනව ආය ඒකෙ දෙකක් නෑ..ඒ බැණිල්ල උන්දැට නෑහෙන්ඩයි මම මේ සද්දෙට පිරිත් දැම්මෙ.."

ඔන්න එතකොටම නෝන ආවා කුස්සියෙ ඉඳල.." ගුඩ් මෝනිං..සුමනෙ කිව්වා නේද නම? "

"ඔව් මැඩම්...." මම කෑගහලා කිව්වා..

" ඒකනෙ බලන්නකො සුමනෙ මේ අපේ මනුස්සයා කංඅඩි පැලෙන්ඩ පිරිත් දාලනෙ..මට අද දිඹුලාගල යන්ටත් නෑ මෙයාගෙ මේ අසනීපෙ හින්ද....අඩු ගණනෙ ගෙදර ඉඳල ධර්ම දේසනාවට ඇහුං කං දෙන්ටත් නෑ මේ පිරිත් දැමිල්ලක් හින්ද.." නෝනා කිව්වා..

"අනේ එයාගෙ කෙහෙම්මල් ධර්ම දේශනා..ඒ වගේද මේ උතුම් වෙසක් පෝය දවසෙ පිරිත් ටිකක් ඇහුවම? නැද්ද සුමනෙ? " බීඑම් මහත්තය මා දිහාට හැරිල ඇහැක් වැහුවා..

"එහෙනං..එහෙනං..මේ මොනව කියනවද? පිරිත තමයි ඉතිං උතුම්...." මම හද පත්ලෙන්ම එකඟ උනා..

"ඉතිං ළමයි...ඔන්න ඕක තමයි  දිඹුලාගල වතුර මලේ කතාව..." සුමනෙ කතාව ඉවර කලා..

"ඉතිං ඊට පස්සෙ මොකද උනේ? "

"බීඑම් මහත්තය වැඩි කාලයක් හිටියෙ නෑ එහෙ..මාස දෙක තුනකිං ට්‍රාන්ස්ෆර් එකක් හදාගෙන ගියා මම හිතන්නෙ ඔය නොච්චියාගම පැත්තට.."

"ඉතිං වතුර මලේ වැඩේට මොකද උනේ?"

"ඒ කාලෙම ඒ පැත්තෙ ලොකු වැවක් පටං ගත්තා ඉද්දපිච්ච වැව කියලා..ඒක කරන්ඩ ආවෙ මේ කැකිරාව පැත්තෙ ප්‍රසිද්ධ කන්ට්‍රෑක්ටර් කෙනෙක්..මිනිහට මේ වතුර මලේ සීන් එක කවුදෝ කියල..මිනිහ ඇවිල්ල හාමුදුරුවො හම්බවෙන්ට..හාමුදුරුවො ඉතිං සම්පූර්ණ විස්තරේ කියල..අඟහරු ලෝකෙං ආපු එකයි ඔක්කොම...ඒ ගමන මිනිහා එයාගෙ වියදමෙං වතුර මල හදලා දුන්නා.."

"ඒ කිව්වෙ වලාකුලු බැම්මක් එහෙම දාලා එතකොට ටයිලුත් අල්ලලා එහෙමද? " ඒ ඇහුවෙ මම..

"මම දන්න වලාකුලක් නෑ බං..මම කොහොමහරි දිඹුලාගල තව අවුරුදු තුනක් විතර හිටියා..ඒ අවුරුදු තුනටම ඔන්න මම දිඹුලාගල පන්සලට එක අඩියක් තිබ්බෙ නෑ..යමල්ලා යමල්ලා ඔය අන්තිම ෂොට් එක දාගෙන කන්ඩ යමල්ලා.."

සුමනෙ එහෙම කියල පුටුවෙං නැඟිටල අතපය හිරි ඇරගත්තා..

ඔය දිඹුලාගල ලොක්කා සම්බන්ධව සේපාලගෙ කතාවකුයි මගෙ කතාවකුයි වසයෙන් තව කතා දෙකකුත්  තියනව..හැබැයි මගෙ කතාවට දිඹුලාගල ලොක්කා කෙලින්ම සම්බන්ධත් නම් නෑ..හරි කොහොම හරි ඒ කතා දෙක ඊලඟට ලියඤ්ඤං..හොඳෙයි?

Saturday, April 12, 2025

709 - දිඹුලාගල මතක සටහන් - 4


පේර ගහට ආපු රිලවා....

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

ඊලඟ දවස් දෙක තුනේ මට සෑහෙන ෆීල්ඩ් එකේ වැඩ වැටිච්චි හින්ද ඔෆිස් එක පැත්ත පළාතෙවත් යන්ට උනේ නෑ..ඒ හින්ද බීඑම් මහත්තයාගෙ "වලාකුල් බැම්ම සහිත ටයිල් ඇතුරූ මහා ජලපුෂ්ප ව්‍යාපෘතියේ " (එහෙම තමයි අපි වාරිමාර්ග අංශෙ උදවිය බීඑම් මහත්තයගෙ වැඩේ බෞතීස්ම කරල තිබ්බෙ) ප්‍රගතිය ගැන කිසිම යාවත් කාලීන වීමක් උනේ නෑ...

රෑ ගෙදර ඇවිල්ල ඕනනම් බීඑම් මහත්තයාගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ල විපරම් කරල එන්ට තිබ්බ උනත් දඩ පෑවිල්ලෙ දවස් තිස්සෙ ඇලවල් කුඹුරු ගානෙ ගියාම හවස් වෙනකොට ඇඟට පුදුම තෙහෙට්ටුයි..වයිෆ් ගෙදර ඉන්න හින්ද හැමදාම පොඩි එකක් දාගන්ටත් නෑ..ඒ හින්ද මමත් කාල නිදාගත්තා මිසක බීඑම් මහත්තයලගෙ ගෙවල් පැත්තෙ හෝදිසි කරන්ට ගියේ නෑ..

ඔන්න තුන්වෙනි නැත්තං හතරවෙනි දවසෙ රෑ අටට වගෙ  මම පාන් ගෙඩි දෙකක් ගේන්ට ගියා අපේ කෑම්ප් එක ලඟම තිබ්බ සිල්ලර කඩේට..පාං අරං බයික් එකට නැග්ග විතරයි මෙන්න කලුවෙරේම මතු වෙච්චි හතරෙ ඇලේ ගොවි සංවිධානෙ සභාපතියා..නම හේරත් බණ්ඩා..කෑගල්ල පැත්තෙ මුල් ගම්බිම්....

මනුස්සය දිඹුලාගල හාමුදුරුවන්ගෙ දකුණු අතයි වං කකුලයි දෙකම ඔන්න කොටිම්ම..පන්සලේ දායක සබාවෙත් කාරක සබිකයෙක්ද කොහෙද..ගොවි සංවිධාන කටයුතු හින්ද මිනිහ මගෙ හොඳ හිතවතා..

"ආ..මහත්තය හම්බ උන එක නම් කීයත් වටිනව..මම හවස මහත්තයලගෙ ගෙවල් පැත්තෙ එන්ටත් හිතල ආයම ඉතිං කරදර කරන එක හරි නෑනෙ කියල නිකං උන්නා..දවල් මම ඔෆිස් පැත්තෙත් ගියා..මහත්තය මේ ටිකේම වැඩිය ඔෆිස් පැත්තෙ ආවෙ නෑ කියල කිව්ව.."

"ඔව් බං මේ ටිකේ ටිකක් ප්‍රශ්න වැඩියි..ඒ හින්ද වැඩිපුර ෆීල්ඩ් එකේමයි හිටියෙ..ඇයි හේරත් මාව හෙව්වෙ? අර විසි එකේ ඇලේ ප්‍රශ්නෙටද? "

"අනේ නෑ මහත්තය..ඒක මේ මේ කපේදි විසඳන්ට පුලුවං ප්‍රශ්නයක් නෙවෙයිනෙ..ඒකෙ ඉන්න ගොවියො සමඟි වෙලා එක කතාවකට එනකල් ඒකෙ වතුර ප්‍රශ්නෙ එහෙමම තමයි..මම මහත්තයව හෙව්වෙත් නම් වතුර ප්‍රශ්නෙකටම තමයි හැබැයි හරියටම කිව්වොත් වතුර මල් ප්‍රශ්නෙකට.." 

හේරත් එහෙම කියල හක හක ගාල හිනාඋනා..මටත් හිනාගියා මිනිහා ඒක කියපු විදිහට..

"ඔව්..බං මම දන්නව උඹ ඔය කියන්ට එන්නෙ මොකක්ද කියල.."

"ඔව් මහත්තය..හාමුදුරුවො මාත් එක්ක හුඟක් කිට්ටුයිනෙ..දැං දෙතුං පාරක් මහවැලි ඔෆිස් එකට එන්ටයි ලෑස්ති උනේ බීඑම් මහත්තය හම්බවෙලා මේකෙ දෙකිං එකක් විසඳ ගන්ටෙයි කියල..දන්නවනෙ හාමුදුරුවංගෙ කට..හේරත් මම ඔය මිනිහා මනම්පිටිය හන්දියට යනකල් ගගහ එලවලා දාලයි පස්ස බලන්නෙ..ඔන්න ඔහොමයි කෑගැහැව්වෙ..."

"හප්පච්චියේ එහෙමද?"

"මම ඉතිං කියල කියල ටිකක් සේප් කරල දැම්ම..අන්තිමට කිව්ව හරි තමුසෙ එහෙනං ගිහිල්ල ඒ යකා එක්ක කතා කරල මේ වැඩේ එකලාසයක් කරල දානවා..හැබැයි ගොයියෝ මතක තියාගන්න්ව උගෙ රෙXX වලාකුලු බැම්ම යකාට ගියාවෙ....වෙසක් පෝයට ඉස්සෙල්ල තිබ්බ විදිහටවත් වතුර මල හදල නොදුන්නොත්  මම ඔය බීඑම් කියන එකා බෙල්ලෙං ඇදගෙන ඇවිල්ල මේ වතුර වලේම ඔබනව..ඔබන එකත් ඔබනව..හේරත් දන්නවනෙ මගෙ හැටි....."

"හරි හරි හේරත් මම හෙට අනිවාර්යයෙංම බීඑම් මහත්තය මුණ ගැහිල අහන්නං මොකද අපි දැං මේකට කරන්නෙ කියල..මම එහෙම කියල එතනිං ආව.."

කිව්වත් වාගෙ මම පහුවදා ඔෆිස් ගිහිල්ල බීඑම් මහත්තය මුණ ගැහුන..මම යනකොට එතුමා ඔන්න මොකක්ද ෆයිල් එකක් දිග ඇරගෙන බරටම වැඩ..

"ආ..එන්ඩ සුමනෙ..ඔයා ආපු එකත් හොඳයි..මම මේ පණිවිඩයක් යවන්ඩත් හිටියෙ..මොකෝ මේ ටිකේ පේන්ට නොහිටියෙ? "

"ටිකක් වැඩ වැඩිවුනා බීඑම් මහත්තය..ඒක නෙවෙයි ඊයෙ රෑ මම පාං ගේන්ටය කියලා අර අතන හන්දියෙ කඩේට ගිය වෙලාවෙ මෙහෙ ගොවි සමිතියෙ සභාපති හම්බ උනා..බීඑම් මහත්තය මිනිහව දන්නෙ නෑ මං හිතන්නෙ.."

"ඉතිං? "

"මිනිහා දිඹුලාගල හාමුදුරුවංගෙත් හොඳ හිතවතා..මිනිහා මා එක්ක කිව්වෙ අර වතුර මලේ ප්‍රස්නෙ ගැන තමයි බීඑම් මහත්තය..හාමුදුරුවන්ට හොඳටම යකා නැඟලලු ඉන්නෙ.."

( මගේ සටහන -  ඔය ඇවිල්ල හිට මල පනින්ට ඉස්සර යුගය..ඒ කාලෙ මල පනිනව වෙනුවට යකා නඟිනව....)

"ඒක තමයි සුමනෙ මමත් මේ ඔලුව නරක් වෙලා ඉන්නෙ මොකද මේකට කරන්නෙ කියල.."

"බීඑම් මහත්තය එදා කිව්වනේද යන වියදම හෙඩ් ඔෆිස් එකට කියල විශේෂ ප්‍රතිපාදන යටතෙ වෙන් කරගන්න බලනවය කියල? මොකෝ ඒකට උනේ? "

"සුමනෙ කිව්වා හරියටම හරි..නිල වශයෙන් ඉල්ලන්න ඉස්සෙල්ල මම ෂේප් එකේ මගෙ හොඳ හිතවතෙක් ඉන්නව ඩීජී ගාව මිනිහගෙං අහල බැලුව..පිස්සුද යකෝ කතා කරන්නවත් එපා එහෙම සල්ලි වෙන් කිරිල්ලක් ගැන..දිඹුලාගලට කියපු ගමං කුණු හරප තමයි අහන්න වෙන්නෙ..ඔන්න ඔහොමයි මගෙ යාලුවා කිව්වෙ.."

බීඑම් මහත්තය එහෙම කියල ඇඬුං මූණෙන් මා දිහා බලා හිටියා බොහොමත්ම අසරණ ලීලාවෙන්..ඒ මූන දැකල බං මටත් ඇඬෙන්ඩ ආව බං දෙයියම්පල්ල..

මේ වෙනකොට බෝතලෙං තුං කාලක් විතර ඉවරයි..පොඩි වැස්සක් වගෙත් එන්ට එනව..ඒ අස්සෙ සුමනෙගෙ ගේ ඉස්සරහ තිබ්බ ඇඹුල් පේර ගහට රිළවෙකුත් ඇවිදිල්ලා කියහල්ලකො..

"ෂෙහ් මේ යකා එන්ට තිබ්බෙ පහුගිය 15 වෙනිද අපේ ගෙවල් පැත්තටනෙන..මම රිලව්, මොනරු පෝරම කොලේ නිකම්ම ආපහු ඇරියා අපේ ග්‍රාම නිලධාරිනීට  මම බලාගෙනම හිටිය මේ ලෝකෙ සතෙක් ආවෙ නෑ මිස් මේ පැත්ත පළාතෙ කියල යටිං ලියල..."මම නැඟිටල රිලාස් තුමාගෙ පෝටොස් එකකුත් ගත්තා..

"හරි හරි බං රිළා වඳුරු කතා පස්සෙ පුලුවං..සුමනෙ කතාව ඉවරයක් කරහංකො ..ගෙවල් වලට යන්ටත් එපාය.."ඒ අපේ සේපාලයා..

"ඉතිං බීඑම් මහත්තය අඬන්න ඔන්න මෙන්න කියල මූණ හදාගෙන මාදිහා බලා ඉන්නව..මමත් මෙන්න මෙහෙම මූණ හදාගෙන බීඑම් මහත්තය දිහා බලා ඉන්නව.."

සුමණයා මූණ ඒ විදිහට හදල පෙන්නුවා අපිට මැරෙන්ට හිනා..

"ඒ මූණ දැක්කම නම් තව එකක්  දාගන්ට ඕන.." සේපාලයා එකක් වක් කරගත්තා..

"ඒයි මටත් එකක් දීපං ..." මම කිව්වා...

ඒ ගමන තුං දෙනාම ෂොට් එකක් එක දාගත්තා කියහංකො..දැං ආයම සුමණෙගෙ කතාව..

"ඉතිං බං සරළවම කියනවනං වතුර මලේ වැඩේ කෙරුනෙ නෑ..කොහේ තියන සල්ලිද ඔහොම දඩ වතුර මලක් හදන්ට?..ඒ හින්ද දිඹුලාගල හාමුදුරුවො පණිවිඩ පිට පණිවිඩ එව්වට බීඑම් මහත්තය ඒ වෙලාවට මඟ අරිනව නැත්තං ඔය කටට ආපු එකක් කියනව.."

"පුදුමයි හාමුදුරුවො සිවුරත් කරේ තියාගෙන ඔෆිස් එකට ආපු නැති එක.." මම කිව්වා..

"අර ගොවි සංවිධාන සභාපති හේරත්ගෙං මම ඔය ප්‍රශ්නෙම ඇහුවා බං..උඹලා දන්නවද පොර මොකක්ද කිව්වෙ කියල?..හේරත් මම ඔය ඔෆිස් එකට ගියොත් එහෙම අර යකාගෙ බෙල්ල මිරිකනව..මේ වෙලාවෙ ආණ්ඩුවෙ ලොක්කො මා එක්ක හොඳ නෑ..ඉතිං එහෙම දෙයක් උනොත් කෙලිම්ම මාව ඇතුලට දානව..ඒ හින්ද මම ඔය පැත්ත පලාතෙ යන්නෙ නෑ..ඔන්න ඔය හින්දයි හාමුදුරුවො අපේ ඔෆිස් එකට ඇවිල්ලා නැත්තෙ.."

"බීඑම් මහත්තයගෙ හොඳ වෙලාව.." සේපාල කිව්වා..

"ඉතිං හාමුදුරුවංගෙ ඩෙඩ් ලයින් එක වෙසක් පෝයනෙ..වෙසක් පෝයට දවස් හතර දෙහෙකට වගෙ කලිං බීඑම් මහත්තය නිවාඩු දාලා ගෙදර ගියා..සුමනෙ මම ගෙදර යනව..වෙසක් පහුවෙලයි ආපහු එන්නෙ..යන්ට කලිං මට කිව්වා..ඔව් ඉතිං කමක් නෑ..වෙන අහවල් දෙයක් කරන්නද? බීඑම් මහත්තයා මමත් කිව්වා.."

"එතකොට එච්චරයිද කතාව?" සේපාල නැඟිට්ටා..

"නෑ..නෑ..ඉඳහංකො දැං තමයි හොඳම හරිය.." මම සේපාලයගෙ අතින් අල්ලල ආපහු පුටුවෙ ඉන්දුවා..මම අර කලිං කිව්වෙ සුමනෙයි මායි එක ක්වාටර්ස් එකේ ඉන්න කාලෙ මම ඔය කතාව අහල තියනව හත් අට පාරක්ම සුමනෙගෙ කටින්ම..

ඉතිං මෙන්න යකෝ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑ කියල ගෙදර ගිය මනුස්සය පහුවදාම ආපහු ආව කියහල්ලකො..එදා උදේ මම ෆීල්ඩ් ගිහිල්ල දවල්ට කන්ඩ එනකොට අපේ ගේට්ටුවෙ වොචර් මාව නවත්තල කිව්ව...

 "සර් අපේ  බීඑම් සර් ආපහු ආවනෙ.."කියල..මගෙ කටත් ඇරුන අප්පල්ලෙ වගේ..

"මොකක්? උඹට හොඳටම ෂුවර්ද? "

"අය ෂුවර්ද කියල අහනව..මම දන්නෙ නැද්ද බීඑම් සර්ව? ..තව කවුද නෝනා කෙනෙකුත් හිටිය ඉස්සරහ සීට් එකේ..ආ..සර්ට කියන්න කිව්ව ආපු ගමං ඇවිල්ල බීඑම් සර්ව මුණ ගැහෙන්නයි කියල.."

මතු සම්බන්ධයි ඈ...

Tuesday, April 8, 2025

708 - දිඹුලාගල මතක සටහන් - 3


ඔය අපේ අත්තනකඩවල ක්වාටර්ස් එකේ..
වමේ මම (කොහොමද ඒ කාලෙ මගෙ කොණ්ඩෙ?) 
මැදිං ඉන්නෙ සුමනේ..දකුණෙ අපේ ඉවුම් පිහුම් 
කරපු ගෝල බාලයා..කරුණාතිලක..

"නම පවතින්ට නම් වැඩේ කරල ඉවරයක් කරන්න ඕනනෙ බීඑම් මහත්තය.."

"ඔව්  ඔව්..වැඩේ කරල ඉවරයක් කරන්න ඕන තමයි සුමනෙ..මම නුවර ඉපදිච්චි මනුස්සයෙක්නෙ..අර නුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ වළාකුළු බැම්මක් ගහන්ට ඕන ඔය වතුර මල වටේ..අනික වතුර මල සම්පූර්ණයෙන්ම ටයිල් කරන්ටත් ඕන..."

ඔන්න ඔය වෙනකොටනම් මචං මගෙ ඉවසීමෙ සීමාව පනින්ට ඔන්න මෙන්න..ඇයි යකෝ මේ මනුස්සය මේ පොඩි එකෙක් වගේනෙ කතා කරන්නෙ..ඒ කියන්නෙ මේ වගේ වැඩකට යන වියදම ගැන මේ මනුස්සයට කිසිම අයිඩියා එකක් නෑ..

"හරි ඔය වළාකුළු බැම්මයි වතුර මලයි ටයිලුත් කරලා අපි හදනව කියමුකො..බීඑම් මහත්තය හිතාගෙන ඉන්නෙ ඔය වැඩේට කීයක් විතර යයි කියලද? " බැරිම තැන මම ඇහුවා..

"වියදම ප්‍රශ්නයක් නෑ සුමනෙ..හෙඩ් ඔෆිස් එකෙං සල්ලි දුන්නෙ නැත්තං මම මගෙ අතිං දාල හරි ඕක කරනව කරනවාමයි..යංකො අපි ගෙට ගිහිල්ල ඉඳගෙන කතා කරමුකො.."

අපි ගෙට ගිහිල්ල සාලෙ ඉඳගත්තා වේවැල් පුටු සෙට් එහෙක..බීඑම් මහත්තය ෆ්‍රිජ් එක ඇරල කොකා කෝලා බෝතල් දෙකක් අරගෙන කඩලා එකක් මට දුන්නා..ඔය මනුස්සය කොකාකෝලාමයි බොන්නෙ..මේ වැටිල තියෙන අමාරුවෙං ගොඩ එන්නෙ කොහොමද කියල කල්පනා කරලම මගෙ උගුර කටත් වේලිලයි තිබ්බෙ..ඇයි යකෝ..බීඑම් මහත්තය මේ අහකයන නයෙක් අරං රෙද්ද අස්සෙ දාගත්තට ඔය වැඩේ නොකෙරුනොත් එහෙම ඕකෙං මහවැලියෙ අපි ඔක්කෝගෙම සායමනෙ යන්නෙ.....දන්නවනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ කට?  

"දන්නව දන්නව..මමත් සෙවණපිටියෙ ඉන්න කාලෙ අපේ D.R.E. ඔෆිස් එක විවෘත කරල පිරිතක් කිව්වනෙ..ඒකට ආවෙ ඔය දිඹුලාගල ලොක්කා..අප්පට උඩු ඇවිල්ල අර අපේ පොඩි  කෙල්ලොත් ඉන්න තැන කටේ තොලේ නොගෑවී කියපු කතා..ආ..මෙන්න මේ සේපාලයටත් තියනව දිඹුලාගල ලොක්කා ගැන ඒ වගෙ මරු කතාවක්.." එහෙම කිව්වෙ මම...

"හරි බං එව්ව පස්සෙ බැරිය..සුමනෙ කතාව කියහංකො.." සේපාලයා තව ෂොට් එකක් දාගෙන වඩේ කෑල්ලක් හැපුවා.."සෝක් වඩේ ඈ? බෝ ගහ ගාව අලුතෙං දාපු කඩේකිං ගත්තෙ.."

ආයෙම සුමනෙගෙ කතාවට.....

ඉතිං බං ඔය වතුර මලේ වැඩේ නොකරුනොත් එහෙම ආයෙ මහවැලියෙ අපි ඉතිං මේකෙ වසල හමාරයි..හාමුදුරුවො පංසලට එන එන ආන්ඩුවෙ නිලදාරිනුයි අවසේස මනුස්සයොයි එක්ක ඕක කියවයි අපේ රෙදි නැතිවෙන්ට....ඊට පස්සෙ ඉතිං කන්න රැස්වීමකටවත් ගිහිල්ල හමාරයි...උං අපිට හිනාවෙන්නෙ කටිං එහෙම නෙවෙයි...

මගේ සටහන - කන්න රැස්වීම කියන්නෙ හැම කන්නයක්ම පටන් ගන්ට  ඉස්සෙල්ල ගොවි මහත්තුරුයි, ගොවි සංවිධාන නායකයොයි, වගා කටයුතු වලට සම්බන්ධ මහවැලි  නිලධාරිනුයි, අදාල අනෙකුත් රජයේ නිලධාරිනුයි ඔක්කොම රැස්වෙලා තීරණය කරනව ඉදිරි කන්නෙ කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කරනවද එතකොට වවන්නෙ වී ද නැත්නම් ගොඩ බෝගද වතුර ඉස්සෙල්ලම නිකුත් කරන්නෙ කවද්ද? මුර වතුර (මුර වතුර කියන්නෙ කුඹුරු වලට දිගටම වතුර  නොදී යම් කාලසීමාවකට විතරක් වතුර දෙන එක..වතුර හිඟ උනාම එහෙම තමයි කරන්නෙ..) නිකුත් කරන්නෙ කවදා ඉඳලද? අන්තිමට වතුර නිකුත් කරන්නෙ කවද්ද? ආ..වැදගත්ම කාරණෙ..කොච්චර වතුර දෙනවද?..ඔන්න ඕවා තීරණය කරන්නෙ ඔය කියන කන්න රැස්වීමෙදි..

ආ..කන්න රැස්වීම කියනකොට මතක් උනේ..පොඩි පඳුරු තැලිල්ලක්නම් කරන්නම වෙනව..මටම වෙච්චි ආතල් සීන්ස් එකක්..මේක මම කලිං ගමනක් ලිව්ව නම් තමයි..කමක් නෑ ඔන්න ඔහෙ ආයෙ කියවහල්ල..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...

පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..

කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර නිකුත් කරන්ට ඉස්සෙල්ල වතුර නිකුත් කරන කාල වකවානු එතකොට සම්පූර්ණ කුඹුරු කරන්ට පුලුවන් තරමට ප්‍රමාණවත්ව වතුර දෙනවද? එහෙම  වතුර ප්‍රමාණවත් පරිදි නැත්තං කොච්චර ප්‍රමාණයක් ගොඩ බෝග කරන්ඩ ඕනද කියන කාරණා ගොවි මහත්වරුන්ට දැනුම් දෙන රැස්වීම..

මම ඉතිං ඔව්ව ගැන අඳෝ සංසාරයක් දන්න එකක්ය..මගෙ විෂය ක්ෂේත්‍රයට කෙලින්ම අයිතිත් නෑ..එක අතකට නෑ කියන්ටත් බෑ..ගොවීන් එක්ක වැඩ කරනකොට ඔය හැම ක්ෂේත්‍රයක්ම ඒ කිව්වෙ ජලපාලන, වාරිමාර්ග, කෘෂිකර්ම, ජනාවාස සේවා එතකොට ප්‍රජා සංවර්ධන, ආයතන සංවර්ධන ඔය ඔක්කොම එකකට එකක් බැඳෙනව..නැත්තං සාර්ථකව අපේ රාජකාරිය කරන්න බෑ..

ඉතිං අර 1991 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ පවත්වපු අත්තනකඩවල කන්න රැස්වීමට ආපහු ආවොත් ඒ රැස්වීම කරගෙන යන්ට ගොවි මහත්වරු ඉඩ දුන්නෙම නෑ..පටං ගත්තු වෙලාවෙ ඉඳල ගොවියො ගේම ඉල්ලුවා..අන්තිමට එක දිගට හූ කිව්වා..

එහෙම හූ හඬින් පලාතම දෙවනත් වෙද්දි රැස්වීමක් කරගෙන යන්ට බෑනෙ..අන්තිමට රැස්වීම නවත්තල ආපු නිලධාරි කට්ටිය යන්ට ගියා..ගොවි මහත්වරුත් හූ කිය කිය ගෙවල් වලට ගියා..මට ඉතිං හරි පුදුමයි මේ වෙච්චි දේ..ඇසුයි කටයි දෙකම ඇරගෙන බලා ඉඳල මමත් ඉතිං මම ඒ කාලෙ නැවතිලා හිටපු බකමූණෙ ක්වාටර්ස් එකට ගියා..

පහුවදා අපේ කොට්ඨාශ කළමනාකාර නොහොත් Block Manager නොහොත් බී.එම්.මහත්තයා සියළුම නිලධාරීන්ට රැස්වීමක් කැඳවල තිබ්බ උදේ නමයට..මමත් ඉතිං ඕකට ගියා..ඒකෙදි බී.එම්. ලොක්කා ඊයෙ කන්න රැස්වීමෙදි වෙච්චි දේ ගැන බොහොම හිත් අමනාපෙන් සහ තරහිං කතාකරල එක පාරටම මා දිහාට හැරුන..මම වාඩිවෙලා හිටියෙ තුන්වෙනි පේළියෙ විතර..

"වීරසිංහ මහත්මයා ඊයෙ කන්න රැස්වීමට සහභාගි උනා නේද?"

මම නැඟිටල "ඔව් බී.එම්. මහත්තයා.." කියල උත්තර දුන්නා..

"හරි එහෙනම් මට කියන්ට පුලුවන්ද ඇයි ඒ ගොවි මහත්තුරු ඒ වෙලාවෙ එහෙම හැසිරුනේ? වෙනත් වචන වලින් කිව්වොත් ඇයි ඒ වෙලාවෙ ගොවියො හූ කිව්වෙ?..." කියල බී.එම්. ලොක්කා මගෙං අහපි ගහෙං ගෙඩි එන්නැහෙ..

මම නේද අන්දුන් කුන්දුන් උනා කිව්වොත් ඒත් ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැඟීම හරියට විස්තර කරන්ට බෑ..උතුර දකුන මාරු උනා..කරකවල අතෑරියා..තුස්නිම්බූතයිස්ඩ් උනා..ඔය ඔක්කොම කිව්වත් මදි..

යකෝ මම මේ දවස් දෙකයි මෙහෙට ඇවිල්ල වැඩ බාරගෙන..මම කොහොමද ඕයි දන්නෙ ගොවියො හූ කිව්වෙ මොන මඟුලකටද කියල?..මේ මනුස්සයට නුහුගුණෙද? පිස්සුද නැත්තං හැටිද? ඔහොම කල්පනා කරකර මම දහ අතේ හිතුව මොකක්ද යකෝ මම දැං කියන්නෙ? කියල..රැස්වීමෙ ඔක්කොමලා මා දිහා බලාගෙන..

ඔන්න එතකොට මට මතක් උනා උදේ අපේ සහෝදර නිලධාරීන් කට්ටියක් කතාවෙනව මට ඇහුන වෙල්පහු වතුර මදි උන හින්දයි පහුගිය කන්නෙ කුඹුරු හුඟක් මැරුනෙ...ඒක හින්ද ගොවියො ලොකු හිතේ අමාරුවකින්ය ඉන්නෙ කියල..අප්පට සිරි  ඔය තියෙන්නෙ බඩු..දැං ඉතිං කාට බය වෙන්ටද? 

වෙල්පහු වතුර කියන්නෙ මොනවද?  එහෙම වතුරක් ඇත්තටම තියනවද? තියනවනම් ඒ වතුර කලුද සුදුද? කියලවත් මම දන්න ඉටිගෙඩියක් නෑ..ඒ උනාට ඉතිං එහෙම හිත හිත ඉඳල හරියන්නෙ නෑනෙ..මොනවහරි කියන්ටත් එපාය..බී.එම්. ලොක්කා  මාදිහා කන්ට වගෙ බලාගෙන ඉන්නව...

මම කෙලින්ම සිංහය වගෙ බී. එම්. ලොක්කා දිහාබලාගෙන කතාකලා.."බී.එම්. මහත්තය අර වෙල්පහු වතුර පහුගිය ටිකේ හරියට ලැබුනෙ නෑනෙ.."

"ඉතිං?" ඇසුත් උඩ තියාගෙන බී.එම්. ඇහුවා..

"ඉතිං ඒ හින්ද තමයි ගොවි මහත්තුරු හූ කිව්වෙ.."

බී.එම්. විනාඩියක් විතර මගෙ මූණ දිහා කන්ඩ වාගෙ බලා හිටිය.."එතකොට වීරසිංහ මහත්තය කියන්නෙ ගොවියො හූ කිව්වෙ වෙල්පහු වතුර ලැබුනෙ නැති හින්ද..එහෙමද?"

"ඔව් බී.එම්. මහත්තය... ඒක තමයි හේතුව.."

බී.එම්. ලොක්කටත් යන්තමට හිනාවක් ගියාද නැත්තං ඒ මට පෙනිච්චි හැටිද මන්ද..

"හරි හරි..වීරසිංහ මහත්තයා ඉඳගන්ට.." කියල බී.එම්. මහත්තයා කිව්වා..

මම ඉතිං ආයම කියනකල් හිටියෙ නෑ.. ඉඳගත්තා...

පලි - 

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරකට වතුර දුන්නම ඒ වතුර කුඹුරෙ ලියද්දෙං ලියද්දට ගලාගෙන ගිහිල්ල අන්තිම ලියද්දෙං පිටතට ගලාගෙන යනව..ආං ඒ වතුරට..

ඒ පිටවෙන වතුර බැහැල යන්ට කපල තියනව Drainage Canal කියල ඉංග්‍රීසියෙං කියන අපවහන ඇළවල්..ගොවියො ඒවට කියන්නෙ කුණුඇළවල් කියල..

ඉතිං ඔය කුණුඇළවල්වල වතුරෙනුත් ගොවි මහත්තුරු ආයම කුඹුරු අස්වද්දනව..ඒ වැඩේ ඇත්තටම බොහොම හොඳයි..ඒ මොකද කිව්වොත් අපතේ යන වතුරකිං ආයම ප්‍රයෝජනයක් ගන්න එක කොහොමත් හොඳයිනෙ..

ඒත් අවුල වෙන්නෙ වතුර හිඟවෙලා වතුර දෙන ප්‍රමාණය සීමා කරන්ට උනොත්..එතකොට ඔය වෙල්පහු වතුරක් කියල එකක් නැතිම වෙලා යනව බොහෝවිට..එහෙම උනාම වෙන්නෙ අර වැඩිපුර කරපු කුඹුරු බේරගන්ටම බැරුව මැරිල යනව....ඒත් එක්කම එව්වට වියදම් කරපු මුදල්, ශ්‍රමය ඔක්කොම අපරාදෙ අපතේ යනව..

පඳුරු තැලිල්ල එතෙකින් සමාප්තයි...මගේ මලගිය මෑණියන්ට පින්පෙත් පමුණුවමින් හෝ ඒ කියවූ ඔබ සැමට ස්තූතියි...

හරි එහෙනං ආපහු සුමනෙගෙ කතාවට...

ඉතිං මම බැරිම තැන ඇහුවා.." දැං මේ සද්දන්ත සයිස් වතුර මලක් හදන්ට ඔය බීඑම් මහත්තය කියන වළාකුලු බැමියි අරව මේවා සුකුරුත්තනුත් දාලා වියදම කීයක් විත වෙයි කියලද ඔබතුමා හිතන්නෙ? " කියල..

"ඇයි සුමනෙ ඕනනං උපරිම රුපියල් දෙතුන් දාහක් යයි නේද?  සුමනෙ කියන්නෙ ඊට වැඩිවෙයි කියලද? "

ඔන්න බීඑම් මහත්තයටත් හොඳ සිහිය පහල වෙන්ට ගත්තා..මිනිහා කෝකටත් කියල අතේ තිබ්බ කොකා බෝතලේටම කට තියාගෙන ( ඉස්සරහ කණප්පුව උඩ වීදුරුවක් තිබ්බ උනත් ) බාගයක් විතර බීගෙන බීගෙන ගියා..ඒ කරල මගෙ මූන දිහා බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා..

" බීඑම් මහත්තයා ඇත්තම කිව්වොත් ඔය බීඑම් මහත්තයා හිතාගෙන ඉන්න විදිහෙ වතුර මලක් හදන්ට බෑ රුපියල් විසිදාහකිං  මෙහා පැත්තෙ..වට අඩි හතලිහක් කිව්වම සෙල්ලං සයිස් එකක්ද? අනික දැනටම අරූ අඩි පහක් විතර හාරලා..වලාකුලු බැමියි ටයිලි කිරිලියි එනකොට ඔය මම කියපු ගානට අඩුවෙන් නම් කරන්න බෑ කීයටවත් බොස්.."

"කෙලියනෙ ..සුමනෙට ඔය ගණං ෂුවර් නේද? " බීඑම් මහත්තයගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල ..ආය දාඩියකුත් දාන්ට ගත්ත..ෆ්‍රිජ් එක එහා පැත්තෙ ස්විච් එක ලඟට ගිහිල්ල සීලිං ෆෑන් එකත් ෆුල් දැම්ම..

"ෂෙහ් මාර කෙලියක්නෙ උනේ..ඇත්තම කිව්වොත් සුමනෙ මම නම් හිතුවෙම නෑ ඔච්චර ගාණක් යයි කියල..හෙඩ් ඔෆිස් එකට ලියුමක් දාල බලනව.."

"ඒක හරියන්නෙ නෑ බොස්.."

"ඇයි? "

"ඇයි කියන්නෙ අර පෝල් පෙරේරට කුඩෙං ගහල එලවපු සීන් එක හින්ද ජේආර්ට  දිඹුලාගල  හාමුදුරුවන්ව පෙන්නන්ට බැරුව ඉන්නෙ..පුලුවන්නම් මරාගෙන කයි..ඒ හින්ද මටනම් සීයට දෙසීයක් ෂුවර් ඔය වැඩේට සත පහක්වත් අනුමත කරන්නෙ නෑ හෙඩ් ඔෆිස් එකෙං.."

"අප්පට උඩු එහෙම සීන් එකකුත් තියනවනෙ නේද? ෂෙහ් මමත් අරනිකං ඉන්ට බැරුවට කොහාටද ගිහිං පැන්න මොකාද එකා වගෙ ගිහිල්ල හාමුදුරුවන්ට වතුර මලක් පොරොන්දු උනා මිසක ඔව්ව කල්පනා කලේ නෑනෙ..අනේ මන්දා සුමනෙ අහවල් දෙයක් කරන්නදෙයි කියල....මගෙ ඔලුවත් එක්ක නරක් උනා අම්මපා මේක අහල.."

බීඑම් මහත්තය එහෙම්මම පුටුවෙ ඉඳගත්තු ගමන්ම ඔලුවත් දෑතිං අල්ලගෙන ටික වෙලාවක් කල්පනා කලා..ඊට පස්සෙ හෙමීට ඔලුව ඉස්සුවා..

"මේ සුමනෙ බැරි වෙයිද අපේ ස්ටාෆ් එකේ අයට සම්මාදම් වෙන්ට කියල..." ඒ වාක්‍යය සම්පූර්ණ නොකර බීඑම් මහත්තය මගෙ මූන දිහා බලාන හිටිය..

"පිස්සුද බීඑම් මහත්තය ඒක හරියන්නෙ නෑ..ෆීල්ඩ් ස්ටාෆ් එකත් එක්ක උපරිම අපේ ඇති 40 දෙනෙක් විතර..ඉතිං එක්කෙනා අඩුම 500/= ගානෙවත් දාන්ට වෙනව 20,000/= ක් හොයාගන්ට..අනික මාසෙ පඩියෙං 500/=ක් දීල මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඊටත් වඩා කටක් ඇරල ඕක කියන්නෙ කොහොමද? ජපං කුණුහබ්බ අහගන්ට වෙන්නෙ.."

ඒ කාලෙ බං මම රස්සාවට ගිය අලුතනෙ..පඩිය රුපියල් 1200/= යි..ඉතිං මට වැඩිය පඩි ගන්න අය ඉන්න ඇති මුලු ඔෆිස් එකේම ඕනනම් පස් හය දෙනෙක්..අනික් ඔක්කෝටම ඊට අඩුයි පඩිය..ඉතිං කොහොමද බං උංගෙං රුපියල් පන්සීයක් දීපල්ලය කියල ඉල්ලන්නෙ?

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

අදත් ඉතිං ඔන්න  මතු සම්බන්ධයි ඈ...



Friday, April 4, 2025

707 - දිඹුලාගල මතක සටහන් - 2


"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක..
එදා තිබ්බ වතුර මලම වැඩි දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද
කියල හිතාගන්න නම් බෑ ළමයි....


හරි ආයම සුමනෙගෙ කතාව අද එතැන් සිට...

අර මං කියපු බැකෝ ඔපරේටර් සමරයා මම හිටපු ක්වාටර්ස් එක පිටිපස්සෙං කටුකම්බි වැටේ පොටවල් දෙකක් උස්සල ගැටගහල කපොල්ලක් හදාගෙන තිබ්බ එතනිං පැනල ගම්මැද්දෙ තිබ්බ කසියා වාඩියකට යන්ට..

**************************

මගේ සටහන - කසියා දන්නවනෙ නේද? කසිප්පු, සුදුවා, හැලි අරක්කු, සීනි කරිඤ්ඤං කියල කියන්නෙත් එව්වටම තමයි..තව තියනව හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල  කියල නම් කීපයකුත්..හැබැයි ඒ නම් කවුරුත් පාවිච්චි කරනව නම් මට ඇහිලා නෑ..

ඔය නම් මම අහුල ගත්තෙ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්මයගෙ පොතකිං..ඉස්කෝලෙ පුස්තකාලෙං මම අරං ආවෙ...මට දැං පොතේ නම හරියටම මතක නෑ..මනෝසීල, මනෝජාජ්ජේ නැත්තං සිරි ලංකා ඉල්ලංකා වෙන්න ඇති..

කොහොම හරි මම ඔය නම් තිබ්බ පොත් කියෙව්වෙ අවුරුදු නමයක් දහයක් වගෙ කාලෙදි..ඒ කාලෙ ඉතිං ඔව්වගෙ බරක් පතලක් නොදැන මම ගෙදර එහාට මෙහාට යමිං එමිං ගමන "හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල.." කියල කෑගහගෙන යනවා...මුලිං හිටපං මචං හෙමීට පටංගෙන වචනෙං වචනෙ ටික ටික සද්දෙ වැඩි කරල අන්තිමට මනෝසීල කෑල්ල කියන්නෙ යටිගිරියෙං.. 

දවසක් අප්පච්චි ඕක ඇහිල මට කතාකරල ඇහුවා "මොනවද කියලද ඔය කෑගහන්නෙ? කොහෙන්ද ඔය නම් ඉගෙන ගත්තෙ?" කියල..මම ඉතිං පොත ගෙනත් දුන්නා..අප්පච්චි පොත කියවල බලල කිව්වා "ආයම ඔය නම් කෑගහල කියන්ට එහෙම එපා.." කියල..ඒ ඇර "මොනවද මේ කියවන පොත්? ඔව්ව කියවන්ට එහෙම එපා..."..කියල සත්තමක් එහෙම දැම්මෙ නෑ..අපේ අප්පච්චි එහෙමයි..කිසිම දේකට තහංචි දාන්නෙ නෑ..

ආය මට අවුරුදු 14 වගෙ කාලෙ අප්පච්චිගෙ ඇඳයට තිබ්බ පරණ පොත් පෙට්ටියක තිබිල හම්බ උනා පරණ කාවො කාච්ච ඉංග්‍රීසි පොතක්..පිටු හැටක විතර ...නම ඇවිල්ල "Sex Before Six" මුලපිටුවෙ තිබ්බෙ බාගෙට හෙලුවෙං ඉන්නෙ කෙල්ලෙක්ගෙ රූපයක්..කතාව තිබ්බෙ හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් වටේම ඉන්න පිරිමි එක්ක ලිංගික කාය කර්මයෙ යෙදෙන විදිහ විස්තර කරල..ඔය American Pulp Fiction  කියන්නෙ අන්න ඒ ජාතියෙ පොතක්..

මගෙත් ඉතිං පස්පොල කලුවෙන කාලෙනෙ..(අර කොහාටද කිරි උණනව කියන්නෙත් ඒ තේරුමෙන්ම තමයි) පස්පොල කලුවෙන කතාව දන්නව නේද? ඔය කතාව මම අහුල ගත්තෙ කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ 7,8,9 පන්ති වලට අපිට ගණිතය උගන්නපු පුංචි නිළමේ සර්ගෙං.."ඔය ඔය ඉතිං පස්පොල වේගෙන එනකොට ඉන්ට බෑ..ඉන්ටම බෑ..."  එහෙමයි ඒ සර් කියන්නෙ..පස්පොල කලු වෙනවයි කියන්නෙ යොවුන් වියට පැමිණෙනවා කියන එක..කලුවෙන පස්පොල තමයි උඩු තොල, කිහිලි දෙක, පපුව සහ කිරිපල්ල..

ඉතිං මගෙත් පස්පොල කලුවෙන කාලෙ හින්ද මම කරන්නෙ අප්පච්චි ඔෆිස් ගියාම අර පොත අරගෙන කියවල හෙමීට ආපහු පෙට්ටියට දාල තියන එක..කොහොමහරි අප්පච්චිට වැඩේ අහුවෙන්ට ඇති..ඔන්න දවසක් මම යවුමට ගිහිල්ල එනකොට ඒ පොත තියනව මගෙ මේසෙ උඩ..ඒ කියන්නෙ අප්පච්චි එහෙම තමයි මට නොකියා කිව්වෙ "තමුසෙගෙ වයසෙ හැටියට මේ වගෙ පොත් කියවන එකේ අවුලක් නෑ..කියවහං.." කියල..අන්න මල් තියල වඳින්ට ඕන අප්පච්චිල..හෙහ්..හෙහ්..

මගේ සටහන අවසානයි...හරි කසියා ගැන කියන්ට ගිහිල්ල මදැයි තලපු පඳුරු කැටිය..දන්නවනෙ එහෙම තමයි මගේ රචනා ශෛලිය නොහොත් ආඛ්‍යානය..ඒක අලුත් ෂානරයක්..මගෙ චිරාත් කාලීන පාඨකයො නම් සක්සුදක්සේ දන්නවනෙ..

සෝ මයි ඩියර් ගයිස් ඇන්ඩ් ගෑල්ස්..නව් ආෆ්ටර් දැට් ලිටිල් ඉන්ටලූඩ් ඔෆ් බීටිං අරවුන්ඩ් ද බුෂ් ලෙට්ස් ගෙට් බෑක් ටු ද මේන් ස්ටෝරි..මයික්‍රෆෝනය සුමනේට නැවතත්..

**************************************

ඉතිං සමරේ එදත් සුපුරුදුලෙස කසියා වාඩියට යන්ට අපේ ගෙදර පිටිපස්සෙං වැට පනින්ට ඇවිල්ල මම මිදුලෙ ඉන්නව දැකල මා ගාවට ආවා..ආ..මේක මේ ඉන්ටරෙස්ටිං ටිට්බිට් එකක්..සමරේ සෙට් උනා ඔය කසිප්පු වාඩිය කරපු එකාගෙ නංගිත් එක්ක..ඒ කරල දිඹුලාගලම බින්න බැස්සා..ඕකගෙ ගම දකුණෙ මේ වළස්මුල්ල පැත්තෙ....

"සර්..මම මේ සර්ව හම්බ වෙන්නමයි හිටියෙ.." සමරේ මා ලඟට ආවෙ එහෙම කියාගෙන..

ඒ කාලෙ මම බැඳපු අලුතනෙ අපේ භාර්යා තොමෝත් මා එක්ක ක්වාටර්ස් එකේමයි හිටියෙ..ඔය සමරයා කසියා ගහල හීනියට සිංදුවකුත් කියාගෙන ආපහු රෑ යාමෙ ඔතනිං වැට පැනල උංගෙ ඩෝමිටරි එකට යන එකට එයයිගෙ ඒ හැටි මනාපයක් තිබ්බෙ නෑ..

"මොන ජාතියෙ මිනිස්සුද දන්නෙ නෑනෙ ඔවුං..අනික බීලත් එක්ක.." එයයි එහෙමයි කිව්වෙ..

"නෑ..නෑ..බයවෙන්න එපා..උං ඔය කෑව බිව්වට හිත හොඳ කොල්ලො..උංගෙං වචනෙකිංවත් වැරැද්දක් වෙන්නෙ නෑ.." මම එහෙම කිව්වා..

පස්සෙ ඉතිං එයාටම තේරුණා කතාව් ඇත්ත කියලා..මේ වෙලාවෙ එතුමී කුස්සියෙ දොරෙං ඔලුව දාල බැලුවා..

"ආ සමරක්කොඩි ප්ලේන්ටියක්වත් හදන්න බොනවැයි?"

"එපා නෝනා..මේ වෙලාවට ඉතිං තේ බොන්න බෑ...." සමරේ ඔලුව පාත් කරල හිනාඋනා..

"හරි හරි බං මොකටද මාව හම්බ වෙන්න උන්නයි කිව්වෙ?"..මම ඇහුවා..

"මම අද මරු වැඩක් කලානෙ  සර් "

"ඒ මොකද්ද බං ඒ මරු වැඩේ?"

"මම අර දිඹුලාගල පන්සලේ තියෙන්නෙ අර වතුර මල....."

"ඔව් ඉතිං?.."

" මම බැකෝ එක අරං ගිහිල්ල ඒක කඩල දැම්මනෙ.."

"ඈ? බොට අමු කැවිලද සමරේ? " මගෙ කටත් එක්ක ඇරුනා..යකෝ මූ දීයා කන්ට එපාය..

"නෑ..නෑ සර්..අහන්ටකො විස්තරේ..බීඑම් මහත්තයයි මට කිව්වෙ.."

" බීඑම් මහත්තය උඹට කිව්ව සමරේ ගිහිල්ල පන්සලේ වතුර මල කඩල දාන්ටෙයි කියල..ඒකද උඹ කියන්නෙ? "

"ඔව් සර්..නැතුව ඉතිං මයෙ හිතු මනාපෙට දිඹුලාගල පන්සලේ වතුර මල කඩල දාන්ට මගෙ ඔලුවෙ අමාරුවක් තියනවය?"

"ඒකත් ඇත්ත බලාගෙන ගියාම..ඉතිං වතුර මල කඩල දාල උඹ මොකෝ කලේ?"

" බීඑම් මහත්තය මට කිව්වා සමරේ එතන වට අඩි හතලිහක් වගෙ වෙන්ට වලකුත් හාරපංය කියල.."

"ඉතිං උඹ ඒකත් කලාද?"

" නැතුව? අපෙ ලොක්කනෙ එයා..එයා කිව්වම නොකර කොහොමද? "

මේ මනුස්සයට මොන යකෙක් වැහිලද මන්දා..ඒත් මොනව උනත් මූ ඉස්සරහ බීඑම්ව නෝන්ඩි කරන්ට බෑනෙ..

"හරි හරි බං..බීඑම් මහත්තය එහෙම කිව්වනං මොකක් හරි හොඳ හේතුවක්  ඇතුවනෙ එහෙම කියන්ට ඇත්තෙ..මම හෙට බීඑම් මහත්තයාගෙංම අහන්නංකො.."

පහුවදා උදේම මම බයික් එකේ ගියා බං දිඹුලාගල පන්සලට..ඊයෙ රෑ සමරක්කොඩියා කිව්වෙ ඇත්තක්මද කියල සහසුද්දෙං දැනගන්ට එපාය බීඑම් ලොක්කා මුණගැහෙන්ට යන්ට ඉස්සෙල්ල..

යකෝ පන්සලට ගියාම මගෙ ඉහමොල රත් වුනා කියහංකො..මම එහෙම්මම බයික් එකේ ඉඳගෙනම කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මෙතන කරල තියෙන විනාසෙ දිහා..වතුර මලක් කියල හොයාගන්ටත් නෑ..ඒකෙ කොන්ක්‍රීට් කෑලි පැත්තක ගොඩ ගහල තිබ්බා..වතුර මල තිබිච්ච තැන සද්දන්ත කුලේ අලි පස්දෙනෙක් විතර එක පාර නාවන්ට පුලුවං තරමේ දඩ වලක්..වලක් කියන්නෙ පතහක්..

මොනව උනත් සමරයගෙ ගණං හිලව් නං හරියටම හරි....බීඑම් වට අඩි හතලිහක වලක් කපන්ඩෙයි කියලනෙ කිව්වයි කිව්වෙ..ඒ ගාන හරි..ඕනෙම නම් අඩි පහක හයක වගෙ දෝසයක් ඇති.,,ප්ලස් ඕ මයිනස්...ගැඹුරත් අඩි පහක් විතර ..පතහෙ දැනටම අඩි දෙකක් විතර වතුර පිරිල..කලිං තිබ්බ වතුර මලට වතුර අරං තිබ්බෙ කන්ද මුදුනෙ ඉඳං බට දාල..ඒ බට අරූ කඩල දැම්මට වතුර පාර තාම වැඩනෙ..

සමරක්කොඩියා ඊයෙ රෑ අරෙම කිව්වට මම හිතුවෙ නෑ මූ මෙහෙව් විනාසයක් කරල ඇතිය කියල..මම ඉතිං එහෙම්මම බයික් එක උඩ ඉඳගෙන කටත් ඇරගෙන බලා ඉන්දැද්දි දිඹුලාගල හාමුදුරුවො ආවාස ගෙයි ඇතුලෙ ඉඳල මිදුලට බැස්සෙ නැතැයි..මම ඉතිං හත් අට ගමනක් පන්සලට ඇවිල්ල එතකොට හාමුදුරුවො අපේ ඔෆිස් එකේ ඔය තියන පිංකම් වලට එහෙම ඇවිල්ල හාමුදුරුවො මාව හොඳටම අඳුනනව..

"ආ..මහත්තය..සමාවෙන්න ඕන..මට නමනම් අමතකයි මේ වෙලාවෙ.."

"මම සුමනසිරි අපෙ හමුදුරුවනේ.." මම බයික් එකෙං බැහැල හාමුදුරුවන්ට වැන්දා..

"හරි හරි සුමනසිරි මහත්තයා...ඔබතුමා මේ පාන්දරම ආවෙ වැඩ පටංගන්ටද? "

"ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ? මට තේරුනේ නෑනෙ.."

"නෑ මම මේ ඇහැව්වෙ අලුතෙං වතුර මලක් හදන එකේ වැඩ පටංගන්ටද යන්නෙ උදේ පාන්දරම කියලයි.."

"වතුර මලක්? කවුද වතුර මලක් හදන්නෙ? "

"ඇයි බීඑම් මහත්තයා නෙවෙයිද මහත්තයව එව්වෙ? කිව්වෙ නැද්ද විස්තරේ?"

"මොන විස්තරේද හාමුදුරුවනේ? "

"ඊයෙ බීඑම් මහත්තයා ආවනෙ මාව මුණ ගැහෙන්ට..ඒ ඇවිල්ල මොනවද එයා ගානෙ කෙරෙන්ට ඕන කියල ඇහුවම මම අනන්ත කිව්ව මොකවත් එහෙමට ඕනකමක් නෑ කියල..ඒ ගමන එයාමයි කිව්වෙ මෙතන කලිං තිබ්බ වතුර මල කඩල අයිං කරල විසාලෙට හොඳ වතුර මලක් එයයි ගානෙ හදවල දෙන්නංය කියල..මම ඒ ගමන කමක් නැතිය කිව්ව..පස්සෙ බීඑම් මහත්තය ගිහිල්ල පැයක් ගියෙ නෑ ඔය ඩෝසරයක් ඇවිදිල්ල අර තිබ්බ වතුර මල කඩල බිඳල දාල මෙතන මේ අලි වලකුත් හාරලා ගියා.."

"අප්පට සිරි.." මට හාමුදුරුවො ඉන්නව කියලවත් මතක නැතුව එහෙම කියවුනා කියපංකො...මේ අපේ බීඑම් මහත්තය එහෙම පොරොන්දු උනාද?"

" නැතුව එහෙනං..මම ඒත් උන්දැට කිව්ව ගොයියෝ තව සති දෙහෙකිං වෙසක් පෝය..ඊට කලිං මේ වැඩේ එකලාසයක් වෙලා තියෙන්ට ඕන කියල.."

"හරි හරි අපේ හාමුදුරුවනෙ..බීඑම් ම්හත්තයා එහෙම කිව්වනම් ඒ මොකක් හරි වැඩ පිලිවෙලක් එතුමාගෙ හිතේ ඇති..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බවෙලා කතා කරන්නංකො මේ ගැන.."

"හරි මහත්තය ගිහිල්ල කතා කරන්නකො..හැබැයි සති දෙකයි ඔන්න ඈ..නැත්තං දන්නවනෙ මේ දිඹුලාගම සරණංකර කියන්නෙ කවුද කියල..යැංකි ඩිකී එවපු මැරයටත් කුඩෙං ගහල පන්න ගත්තු මිනිහෙක් මම.." හාමුදුරුවො එහෙම කිව්වෙ දබරැඟිල්ලත් උරුක් කරල..

"හරි අපේ හාමුදුරුවනේ..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බ වෙන්නංකො.." මම හාමුදුරුවන්ට වැඳල විගහට එතනිං ආව එන්ට..

ඒ වෙනකොට වෙලාව උදේ හතටත් නෑ..අටට තමයි ඔෆිස් ටයිම්,,මේ වෙලාවෙ බීඑම් ලොක්කා ඇත්තෙ ක්වාටර්ස් එකේ..මගෙ ක්වාටර්ස් එකේ ඉඳල තව ගෙවල් හතරකට එහායිං බීඑම් ලොක්කා හිටියෙ..මම ගෙදර පෝටිකෝව යට බයික් එක නවත්තනකොටම මම එනකල් බලාඋන්නා වාගෙ බීඑම් මහත්තයා දොර ඇරගෙන ආවා..ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ගහගෙන..

"ආ සුමනෙ ගුඩ් මෝනිං...මම මේ මගෙ උදේ එක්සසයිස් එකට දුවනවනෙ හැමදාම....ඉතිං දැං තමයි මේ දුවල ආවෙ.."

බීඑම් මහත්තයා එතනම පෝටිකෝවෙ එක්සසයිස් කරන්ට ගත්තා..වන් ටූ අප් කියල උඩ පැනල බිත්තියෙ ගහල තිබ්බ ලී පටියක් අල්ලනව...වන් ටූ ඩවුන් කියල නැමිල බිම අල්ලනව..ඒ ගමනුත් කතාව..

"සුමනෙ දන්නවද අද මම වන් කිලෝ මීටර් කම්ප්ලීට් කලා මිනිත්තු හයකින් විතර..යූ නෝ දැට්ස් නොට් බෑඩ් ෆෝ මයි ඒජ්.."

" ම්හ්ම්..වන් කිලෝ මීටර් නෙවෙයි ගම හරහා දිවීම ප්‍රැක්ටිස් කලානම් තමයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නෙ හාමුදුරුවො පන්නං එනකොට ආත බූත කඩාගෙන දුවන්ට.."  මම සුටු පුටු ගාලා කට ඇතුලෙම එහෙම කිව්වා..

"සුමනෙ මොකවත් කිව්වද? " බීඑම් මහත්තයා නැඟිටලා කෙලිං උනා..

"නෑ නෑ මම මොකවත් කිව්වෙ නෑ..ඒක නෙවෙයි බීඑම් මහත්තයා මම මේ එන්නෙ දිඹුලාගල පංසලට ගිහිල්ලා..."

"රායිට් වෙරි ගුඩ්.." බීඑම් මහත්තයා අන්තිම පාරට උඩ පැනලා අර ලී පටිය අල්ලලා අප්පුඩියකුත් ගැහුවා.."කොහොමද අපේ ඩෝසර් කොල්ලා වැඩේ නියමෙට කරලද? "

"වැඩේ නම් කරල තියනව ආය ටොප් ක්ලාස් එකට..වලක් හාරල තියනව අලි පස් හය දෙනෙක් නෑව්වැහැකි එක පාරට.."

"අන්න හරි බිගර් ද බෙටර්..වැඩේ විසාල වෙන තරමට තමයි හොඳ..අපේ නම පවතින්නෙ එතකොටනෙ.."

"නම නම් පවතියි තමයි මටත් හිතෙන්නෙ.." මම එහෙම කිව්වා නෙවෙයි ඇත්තම කිව්වොත් කියවුනා...

"ඇත්තටම බං දැං අවුරුදු හතළිහක් ගිහිල්ලත් අපි තවම ඒක ගැන කතාකරනවනෙ..ඒ කියන්නෙ බීඑම් මහත්තයා එදා කියපු නම පවතින කතාව සහතික ඇත්ත.." සුමනෙ ඒ ටික කිව්වෙ වර්තමානෙට ඒ කිව්වෙ අළුවිහාරෙට  ඇවිල්ල අපි දෙන්නට..ඒ කිව්වෙ සේපාලටයි මටයි..


මතු සම්බන්ධයි ඈ...


Tuesday, April 1, 2025

706 - දිඹුලාගල මතක සටහන්...A Walk Down Memory Lane...


සුමනේ වමේ..සේපාල දකුණේ....

පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ ප්‍රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ අම්මා..අවුරුදු සීයකුත් සතියක්ද කොහෙද ජීවත්වෙලයි ඒ නැන්දම්මා අභාවප්‍රාප්ත වෙලා තියෙන්නෙ..

මළගෙදරදි මට මුණගැහුනා මහවැලියෙ ඉන්න කාලෙ මගෙ අතිජාත මිත්‍රයෙක්..අපි දෙන්නා එකට හිටියෙ මහවැලි ජී කලාපයෙ..ඒ කියන්නෙ බකමූණෙ..1993 වාගෙ ඉඳල 1998 වගෙ වෙනකල්..යාලුවගෙ නම සේපාල..

ඉතිං බිස්කට් එකක් එහෙම කාල නෙස්කැෆේ එකක් එහෙමත් බීල ආගිය තොරතුරු එහෙම කතා කර කර ඉන්න අතරෙ මට මතක් උනා අපි එක්කම බකමූණෙ හිටපු අපෙ තවත් කළ්‍යාණ මිත්‍රයෙක්..සුමනෙ...ගම ගලගෙදර උනාට සුමනෙ පදිංචි උනේ අළුවිහාරෙ....පන්සල පිටිපස්සෙම වගෙ..ඒ ගමන කෝල් එකක් අරගෙන බලනකොට වෙලාවට සුමනෙ ගෙදර ඉන්නව..ඒ ගමන අපි දෙන්න එහෙ ගියා..

ඉතිං සුළුවට කර්මාන්තයක් එහෙමත් කරන ගමං අපි ඉතිං පරණ මහවැලි සමරු සටහන් ගැන ආයෙමත් පාරක් මතක මංපෙත ඔස්සේ සොඳුරු අතීතයට ඇවිදගෙන ගියා...

ඉස්සෙල්ලම සුමනෙගෙ ආතල් කතාවක් කියන්නං..ඒකට කියන්නෙ දිඹුලාගල බී.එම්. ගෙ කතාව කියල.. (බී.එම්. කියන්නෙ Block Manager නොහොත් කොට්ඨාශ කළමණාකාර..මහවැලි අධිකාරියෙ කොට්ඨාශයක් භාරව ඉන්න නිලධාරියා) 

අපි දෙන්න 1992 අවුරුද්දෙ වගෙ අත්තනකඩවල එක ක්වාටර්ස් එකේ ඉන්දැද්දි හවසට මිදුලෙ පුටු දෙකක් තියාගෙන හෙමිහිට මධු විතක් තොල ගාමින් මේ දිඹුලාගල කතාව ඇතුලු තව කතා තිහ හතළිහක් සුමනෙ කියල ඇති..ඒත් ආයෙමත් ආයෙමත් ඒ කතාව සුමනෙ කියනකොට තමයි ආතල්...

මෙන්න සුමනෙගෙ වචන වලින්ම...

"මම මචං දිඹුලාගලට ගියේ First Appointment ..84 අවුරුද්දෙ..ඊට අවුරුද්දකට විතර පස්සෙ බී.එම්. ඒ කියන්නෙ මගෙ බොස් වෙලා ආව විජේරත්න කියල මහත්තයෙක්..(නම අපි කියමු විජේරත්න කියල) හරිම හිත හොඳ මනුස්සය..හැබැයි ඒ වගේම හරිම කලබලයි..ඉස්සරහ ගැන හිතන්නෙ නැතුව සුටුස් ගාල තීරණ ගන්නව..අපේ ඔෆිස් එකයි ක්වාටර්ස් ඔක්කොම තිබ්බෙ දිඹුලාගල කන්ද පේන මානෙ.."

"ඔව් බං මම දන්නව..මම ගිහිල්ල තියනවනෙ.."

"ඉතිං අපේ මිස්ට විජේරත්න වැඩ බාරගෙන සතියකිං විතර ගියාලු දිඹුලාගල නායක හාමුදුරුවො බැහැ දකින්ට..ඒ පැත්තෙ ඉතිං නිල නොලත් නායකයා ඒ හාමුදුරුවොනෙ..ඕනම ලොක්කෙක් වැඩ බාරගෙන ඊලඟට යන්නෙ උන්නැහැ හම්බ වෙන්ට.."

"ඔව් අර පෝල් පෙරේරා ලොක්කට කුඩෙනුත් ගැහැව්වය කියනවනෙ..." මම අගුල්පත් තිබ්බා...

දුහුනන් දැනුම් උදෙසා - 1981 අවුරුද්දෙ විතර මාදුරුඔය ව්‍යාපාරෙ පටං ගන්න සැලසුම් කරන කාලෙ දිඹුලාගල ලොක්කා ඔය පදවිය පැත්තෙං එහෙම සිංහල පවුල් බර ගාණක් ගෙනල්ල මාදුරුඔය කැලේ පදිංචි කෙරෙව්ව..

එහෙම කලේ මාදුරුඔය ව්‍යාපාරය පටං ගන්නකොට ඒ මිනිස්සුන්ටහ් නීත්‍යානුකූල ඉඩම් ලබාදෙන බලාපොරොත්තුවෙන්...පොරගෙ ගජ යාලුවා මහවැලි ඇමති ගාමිණී දිසානායක..ගාමිණී මේ වැඩේ බරපතලකම දන්න හින්ද එලිපිට සහයෝගෙ දුන්නෙ නෑ..හැබැයි යටිං සපෝට්..

දෙමළ නිජබිමක් කියල සැලකෙන පලාතක අත්තනෝමතිකව සිද්ද වෙන මේ පදිංචි කිරීම් ගැන දෙමළ නායකයින් අතර ලොකු හාහෝවක් ගියා..ඊට පස්සෙ ඉන්දියාවෙං ජේආර්ට කතා කරල ගේම ඉල්ලුව..වහාම මේ පදිංචි කරපු කට්ටිය  අයිං කරන්නෙයි කිව්ව....

ජේආර් කරපු වැඩේ පොරගෙ චීෆ් ලෙෆ්ටිනන්ට් මැරයා පෝල් පෙරේරා පොළොන්නරුවෙ දිසා ඇමතිකරල එව්ව මේ වැඩේටම....පෝලා මැරයො ගෙනල්ල අර අහිංසක මිනිස්සුංගෙ ගෙවල් ගිනි තියල ගහල එලෙව්ව..එහෙම කරන්ට කලිං පෝලා ගිහිල්ල තිබ්බ දිඹුලාගල හාමුදුරුවො හම්බ වෙන්ට මේ වැඩේ ගැන කතා කරගන්ට..ඒ වෙලාවෙ හාමුදුරුවො පොරට කුඩෙං ගහල එලවල දාලා..හැබැයි ඉතිං අන්තිමට පෝල් පෙරේරා ජේආර් පප්පා බාර දුන්නු වැඩේ අකුරටම කලා..අන්තිමට කොහොමිං කොහොමිං හරි දෙපැත්තෙම්ම තැලුනෙ අර අහිංසක අසරණ මිනිස්සු.....

ඕකේ හරි... ඒ අතුරු කතාවෙන් පසු නැවතත් සුමනේගේ කතාවට...

ඉතිං අපේ බී.එම්. මහත්තය දිඹුලාගල හාමුදුරුවො හම්බවෙන්ට ගිහිල්ල ආගිය තොරතුරු කතාබහ එහෙම කරල  ආපහු එන්ට ලෑස්තිවෙලා ඇහුවලු...

"අපේ හමුදුරුවනේ..මගෙං ඒ කිව්වෙ මහවැලියෙං මොකවත් එහෙම කෙරන්ට තියනවනං කියන්ට ..කිසි ප්‍රශ්නයක් නෑ මම කරල දෙන්නං " කියල..

හාමුදුරුවො කිව්වලු "නෑ මහත්තය එහෙමට මොකවත් නෑ..මම ඉතිං ඔය බොහොම සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මනුස්සයා වෙච්චි..ඒ හින්ද එහෙමට අවශ්‍යතාවයක් නෑ..."  කියල..

අපේ බී.එම්. ලොක්කත් වැඩේ අතෑරල නෑ.."ඕනම දෙයක් කියන්ට...කරල දෙන්නං.." කියල..

ඒත් හාමුදුරුවො "එහෙමට වැඩක් කියල එකක් නෑ මහත්තයො... " කියලමයි කියල තියෙන්නෙ..

පස්සෙ බී.එම්. ලොක්කා ඇහැව්වලු "අපෙ  හාමුදුරුවනේ අර විහාර ගේ ඉස්සරහ පොඩි වතුර මලක් වගෙ එකක් තියනව නේද?"

"ආ ඔව් මහත්තය ..ඔය අපේ ඔය මල් පූජා කරන්ට එන උපාසක උපාසිකාවන්ට අතපය එතකොට මල් එහෙම දෝවනය කරගන්ට...මල් වලට පැං ඉහින්ට එහෙම ගමේ මිනිස්සු සල්ලි එකතු කරල හදාගත්තු එකක්නෙ..මිනිස්සු ඕක ගැන මට කිව්වම මෙහෙම එකක් ඕනය කියල මම කිව්වා උඹල දන්නවනෙ මට ඔව්වට සල්ලි නෑනෙ..බොලාට ඕනනං සල්ලි එකතු කරල බොලාම  වියදං කරල හදා ගනිල්ල මගෙං බාදාවක් නෑ කියල..ඒ ගමන උංම තමයි ඔය වැඩේ කලේ..ඇයි මහත්තය ඒ ගැන ඇහැව්වෙ?"

ඒ ගමන අපේ බී.එම්. කිව්වලු "නෑ හාමුදුරුවනේ ඒ වතුර මල බොහොම කුඩයිනෙ..දිඹුලාගල වගෙ රටේම ප්‍රසිද්ධ සිද්ධස්ථානෙකට එහෙම පොඩි වතුර මලක් ගැලපෙන්නෙ නෑ..මම කියන්ටද? අපි හදල දෙන්නංකො ඔතන බොහොම ලස්සනට ලොකු වතුර මලක්.."

ඒ ගමන හාමුදුරුවො කිව්වලු "හරි මහත්තය මගෙ අදහස නම් ඕක හොඳටම ඇති..ඒත් මහත්තය කියනවනං මගෙංවත් අපෙ දායකයිංගෙංවත් වියදමක් යන්නෙත් නැත්තං මහත්තය ඒ සියලු වියදං බලාගන්නවනං මං ඉතිං අහවල් දේකටද එපයි කියන්නෙ? මහත්තයගෙ කැමැත්තක්..හැබැයි මහත්තය තව සති දෙහෙකිං වාගෙ වෙසක් පෝය..එදාට මෙතෙන්ට දාස්ගාණක් බැතිමතුන් එවා..කරන දෙයක් ඊට කලිං කරල ඉවර වෙන්න ඕන.."

"හරි හාමුදුරුවනේ..මම අදම වැඩේ පටං ගන්නංකො ..අපි හදමුකො අපූරු වතුර මලක්..අර මහනුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ බැම්මකුත් වටේට දාලා... එහෙමනං මට අවසර.."

"සුවපත් වේවා.." හාමුදුරුවොත් බී.එම්. මහත්තයාට ආශිර්වාද කලා..

බී.එම්. මහත්තය ආපහු ඔෆිස් එකට ආපු වෙලාවෙම අපේ බැක්හෝ එක්ස්කැවේටර් එකේ ඔපරේටර්ට කතාකලා..ඌ පොඩි කොල්ලා..හැබැයි හොඳ වැඩ්ඩා..නම ඇවිල්ල හිට සමරක්කොඩි...

"සමරක්කොඩි බැකෝ එක අරං ගිහිල්ල දිඹුලාගල පන්සලේ අර තියෙන්නෙ වතුර මලක් කොන්ක්‍රීට් වලිං හදල... අන්න ඒක කඩල දානවා.." ගහෙං ගෙඩි එන්නැහෙ බී.එම්. මහත්තයා කිව්ව..

"ඈ....." සමරක්කොඩිගෙ ඇස් දෙකත් උඩ ගියා.."මොකක්ද සර් කිව්වෙ? පන්සලේ වතුර මල කඩල දාන්ට? "

"ඔව්..අයිසෙ මම දැං එක පාරක් කිව්වෙ ..ඇහුනෙ නැද්ද?"

"නෑ සර් ඇහුනා..ඒත් මම මේ ආයම සහසුද්දෙං අහගන්ටයි එහෙම ඇහුවෙ.."

"හරි එහෙනං ගිහිල්ල මම කියපු විදියට වැඩේ කරනවකො.."

"අනේ සර් මට නම් බෑ ලොකු හාමුදුරුවො මාව එතනම බෙල්ල මිරිකලා මරයි.."

"බයවෙන්ට එපා ඕයි..තමුසෙ හිතුවද මේ වැඩේ කරන්නෙ හාමුදුරුවන්ට හොරෙං කියල? මම හාමුදුරුවන්ට කියල තියෙන්නෙ..තමුසෙ බය නැතුව ගිහිල්ල වැඩේ කරනවකො..ආ තව එකක්..එතන වට අඩි හතලිහක් පණහක් වගෙ වෙන්ට වලකුත් හාරලා එනව.."

"අනේ මන්දා සර්.." කියල ඔලුවත් කහ ක සරක්කොඩියා ගිහිල්ල බී.එම්. මහත්තයා කියපු විදිහටම වැඩේ කලා..

කතාව ටිකක්..ටිකක් එහෙම නෙවෙයි හොඳටම දික් උනා..ඉතුරු කොටස හෙට අනිද්දම ලියඤ්ඤං ඈ...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...