Friday, December 16, 2011

95. සුභ පැතුම් මගේ මිතුර...............

නොපාමින් කවිකම්
මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....

පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්

කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්

මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....

ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!



Thursday, December 15, 2011

94. මිනිසුන් අතර, ගුරුගීතය හා කපිතාන්ගේ දියැණියෝ සමගින් මාගේ සදාකාලික කළණ මිතුරා

මේවා මහා පුදුම දේවල්. මිනිස්සු කොච්චර හිතුවත්, හිතන්න උත්සහ කලත් පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේවල් වලට එපිටින් වෙනත් දේවල් නැහැ කියලා, අපි නොදන්න, අපට නොදැනෙන පුදුම දේවල් වෙනවා. ඔව් එහෙම ඒවාට අහඹු සිදුවීම් කියලා කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ දේවල් මෙහෙම වෙද්දි පුදුම නොවී ඉන්නේ කොහොමද?

මෙහෙම පටන් ගන්නම්. මම මීට අවුරුදු හයකට උඩදී බොල්ගොඩ ග‍ඟෙන් එහා සේවා ස්ථානයක සේවය කලා. ඉතිං දවසට මුළු බස්නාහිර පළාතම කවර්. ඒ කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන්, ‍කොළඹ දිස්ත්‍රික්කය හරහා කළුතර දිස්ත්‍රික්කයට උදේට ගිහින්, හවසට එනවා. උදේට 6.45 දුම්රියෙන්, හවසට මුතුකුමාරියෙන්. වැඩි කාලයක් ගත වුනේ පොතක් කියැවිල්ලෙන්. මං වැඩ කල ඉංජිනේරුතුමා ගාව හොඳ පොත් එකතුවක් තිබුනා. 90%ක්ම රුසියානු පරිවර්තන. ඔය අතරින් මං වැඩියෙම කැමති පොත් දෙකක් තිබුනා. එයින් එකක් තමයි මිනිසුන් අතර කියන පොත. ඒ මැක්සිම් ගෝර්කිගේ ජීවිත කථාව ලියැවුනු තුන්ඈඳුත්තෙන් දෙවැනි පොත. දැනටත් මං කැමතිම පොත් 5 කිව්වොත් ඔය අතර මේ පොත මුලින්ම තියෙනවා. ඇති අමුතු දෙයකුත් නැතුවාට, ඒ පොත කියවන්න කියවන්න ආසා හිතෙන පොතක්. ඒ වගේමයි 1986 විතර අරං තිබුණු ඒ පොතේ නිමාවත් අනර්ඝයි. බොහොම නරක දෙයක් තමයි ඉංජිනේරුතුමාට වුනේ. ඔය පොත මං ගෙදර ගෙනැත් තිබ්බ අවධියේ එතුමාගෙන් සිදු වෙච්ච රාජකාරීමය අකටයුත්තක් නිසා මං එකපාරම ගෙදර නතර වුනා. එතුමාට ඉතිං මිනිසුන් අතර අහිමි වුනා. :)


ඔය කිව්වේ මං කැමති එක පොතක්. දෙවැනි පොතේ නම මට පහුගිය 5 වෙනිදා වෙනකම් ම මතක තිබුනේ නැහැ. ඒ පොත කොටින්ම මං එක හුස්මට, කෝච්චි ගමන් වාර දෙකකදී කියවලා ඉවර කරපු පොතක්. ඒ තරමට ‘ගෝ’ එකක් තියෙන පොතක්. මං කිහිප දෙනෙකුගෙන්ම ඇහැව්වා ඒකේ චරිත වල විස්තර කිය කියා, ම්හ්......... කවුරුවත් දැනන් හිටියේ නැහැ. අනිත් එක මට ඒකේ නම ලාවට වගේ මතක තිබුනේ, ඥාති සහෝදරයෝ වගේ ‍නමක්. ඉතිං මං ඔය නමත් කිව්වහම කාටවත් ඒ වගේ පොතක් මතක තිබුනේ නැහැ. ඒ පොතත් මං ‍උඩ කී ඉංජීනේරුතුමාගේ පොත් එකතුවෙන් තමයි කියැව්වේ. අපරාදේ ඒකත් ගෙදර තියෙද්දි අකටයුත්ත සිද්ධ වුනා නං කියලා

පස්සේ පස්සේ හිතෙන්න ගත්තා. මොකද මේ පොතත් මගේ කැමති පොත් 10 තුල තියෙන නිසා. :)

ඔන්න දැන් කථාව ඇදී යනවා 2009 වර්ෂයේ මැද භාගයට. ඔය කාලේ දූ එනකම් බලං හිටපු කාලේ. මෝටර සයිකලයේ යන්න හොඳ නැති නිසා ගමන නැවතත් දුම්රියෙන්. මං ගාට ගාට දුම්රිය පළට එනකම් සදාකාලික කළණ මිතුරා ඇවිත් බලං ඉන්නවා. අපරාදේ කියන්න බැහැ මගේ මිතුරා පොත් කියවන, කවි ලියන, කථා ලියන කෙනෙක් නෙමෙයි. හැබැයි මං පොත් කියවනවා කියලා ඒකේ වරදක් දකින කෙනෙකුත් නෙමෙයි. ඔන්න දවසක් මං යද්දි ඉන්නවා මගේ මිතුරා හිනා පපා.

“මං ඔයාට පොතක් ගෙනාවා”

“ආනේ කොච්චර‍ ශෝක්ද, කෝ බලන්න මොකද්ද පොත?”

“මිනිසුන් අතර කියලා මක්සීම් ගොර්කි කියන කෙනාගේ පොතක්. මට හිතුනා මේකට ඔයා කැමති වෙයි කියලා”

මගේ සදාකාලික කළණ මිතුරා........................... ඒ පොත අරං ඇවිත්!!!.



“අනේ මට හිතාගන්නත් බැහැ. ඔයා මේක ම ගෙනාවද? මේ මං කැමතිම පොත.”

“අප්පා ඔය කියන්නේ ඇත්තමද? ඔයා මේක කියවලා තියෙනවද?” මිතුරාට බොහොම සංතෝෂයි.

“ඔව් අනේ කියවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මං ගාව මේ පොත තියෙනවත් එක්ක”

“ෂාඃ අපරාදේ.”

“නැහැ නැහැ කිසිම අපරාදයක් නැහැ. ඔයා වෙන මොන පොත ගෙනාවටත් වඩා මේ පොත ගෙනාපු එකම මට ලොකුම ලොකු සතුටක්.” මගේ රුචිකත්වය හඳුනාගැනීම ම මදිද මං අහන්නේ... නේද?

“තව පොඩි පොතක් තිබුනා. ඒකත් මට දැක්කහම ගන්න හිතුනා. ඒත් රුපියල් 80යි ද කොහිද ගාන. ගාන නිසාම ගත්තේ නැහැ. මොකද්ද මේ නම............... මේ දිව අග තියෙනවා. මතක් වෙන්නේ නැහැනේ”

“ගුරු ගීතය?” මම පැනපු ගමන් ඇහැව්වා

“අප්පේ ඒක තමයි පොත. ඔයා කියවලා තියෙනවද?” සදාකාලික කළණ මිතුරා පුදුමයෙන් ඇහැව්වා

“අයියෝ නැහැ අනේ. මං ඒ පොත තාම දැකලාවත් නැහැ. හැබැයි ගොඩක් අය කියනවා හරි ශෝක් පොත කියලා. ඒක නිසා ගන්නමයි හිටියේ”

“මං අතටත් අරං තියලා ආවා. ඔයාගෙන් අහලා ගන්න. මං පස්සේ දවසක ගෙනැත් දෙන්නම්කෝ”

දුම්රිය ආපු නිසාවෙන් කථාව නවත්තපු අපි, ඉඳගෙන නිදි කිර කිරා ඉන්න කෙනෙක් ඇහැරවලා සීට් එක ගන්න හිතාගෙන දුම්රියට ගොඩ වුනා.

පස්සේ එයා ඒ පොතේ පළමු කොටසත් තුන්වෙනි කොටසත් ගෙනැවිත් දුන්නා. ඒ දෙක ළමාවිය සහ මගේ සරසවි ලෙස නම් වෙනවා.



ඔන්න දැන් කථාව නැවතත් මෑත භාගයට දිව එනවා.

හරියටම පහුගිය 5 වෙනිදා. එදා ඉතිං මං කාර්යය බහුල ‍වුනු සති අන්තය ගැන ලිපියක් පළ කරලා අවසානේ දවසේ වැදගත් කමත් කිව්වානේ. ඒ වගේම මගේ සදාකාලික කළණ මිතුරාට දුන්නු පොඩි තෑග්ග ගැනත් කිව්වානේ. එදා හවස මම වැඩ අහවර වෙලා එයාගේ කන්තෝරුවට ගියාට පස්සේ ඔන්න මගේ තෑග්ග ලැබුනා. එක පොතට පොත් දෙකක් !!! එකක් යසුනරි කවබත ගේ කෙටි කථා එකතුවක්. අනිත් එක කපිතාන්ගේ දියැණියෝ කියලා ඇලැක්සැන්ඩර් පුෂ්කින්ගේ පොතක්. අරං තිබුනේ ගුණසේන සමාගමේ ප්‍රධාන ශාඛාවෙන් !!!



ඔන්න මට තදියම වැඩි කමට ම මං බයිසිකලේ එන ගමන්ම පිටි පස්සේ සීට් එකට වෙලා ඒ දෙවැනියට කිව්ව පොත පෙරලා ගත්තා. දෙයියෝ සාක්කි !!! මට පේළියක් පේළියක් ගානේ අතීතයට යනවා වගේ දැනෙන්න ගත්තා. කියවන පේළිය සිහි වෙනවා. නමුත් ඊ ගාවට තියෙන්නේ මොකද්ද කියලා මතක නැහැ. මට මේ ලෝකේ සිහියක් නැහැ.

“අනේ ඔයා කොහොමද අනේ මේ පොතම ගත්තේ?”

“ඇයි අනේ ඔයාට මේකම ගන්න හිතුනේ?”

“අච්චර පොත් කන්දරාවක් තියෙන කඩේ ඇයි අනේ මේකම ගත්තේ?”

“ඔයා මේක පෙරලලා බැලුවද? මොන පේලිය කියවලද මේක ගන්න හිතුනේ?”

අනේ අප්පේ සදාකාලික කළණ මිතුරාට බයිසිකලේ පැදගෙන යන්න නොදී මං දහසක් ප්‍රශ්න අහන්න ගත්තා.

මීට අවුරුදු 6කට උඩදී එක හුස්මට කියවපු, නම අමතක වෙච්චි, මගේ ලව්ලි පොත ඔන්න ආයෙත් මගේ අතේ. මට අමතක වෙලා තිබුනට ඒ කථාව යටින් ලස්සන, අමාරුවෙන් දිනා ගත්ත ආදර අන්දරයක් දිව යනවා. මට හිතුනා ඒ පේළියක්වත් දැකලද මෙයා මේක අරං තියෙන්නේ කියලා.

ඇත්තට ම කිව්වොත් ඔය පොත ගැන මං එයා එක්ක කවදාවත් කියලා නැහැ. මොකද පොත් වගේ මාතෘකා එයා එකක් කථා කරලා වැඩක් නැහැ. මං පොත දවස් දෙකින් තුනෙන් කියවලා ඉවර කලේ, “මේක ඒ පොත කියලා මං කියවලා ඉවර කරලා තමයි ෂුවර් කරගන්නේ. ඊට පස්සේ මේ ගැන බ්ලොග් එකෙත් ලියනවා අනේ” කියලා දහ පාරකට වඩා කියලායි.

ඔව් ඒ ඒ පොතම තමයි. ඒකනේ මේ බ්ලොග් එකේ ඒ ගැන ලියන්නේ. එයාටත් පුදුමයි. මටත් තාමත් පුදුමයි කොහොම ද එයා මේ පොතම ගෙනාවේ කියන එක. කෙනෙකුට ඒක එච්චර දෙයක් නෙවෙන්න පුළුවන්. ඒත් මේ පොත් සිද්ධි දෙක මට නං මහා පුදුමයක්. ඒක එහෙම වෙන්නේ එයා පොත් ගැන, පොත් ලියන අය ගැන, හොඳ පොතක් අනිත් ඒවා අතරින් තෝරා ගැනීම ගැන එච්චර කල්පනා කරන කෙනෙක් නොවන නිසා.

මං හොයන තව පොතක් තියෙනවා. ඒකේ නම නං මං එයාට කිව්වා. මොකද ඒ නම දැක්කොත් හිතෙන්නේ සිනි බෝල පොතක් කියලා. ඒත් ඒ පොත හරිම ලස්සන ආදර කථාවක් තියෙන පොතක්. පරිවර්තනයක්. මේ ලිපිය කියවන කෙනෙක් ඒ පොත කොහේ හරි දැක්කොත් මට කියන්න. ඒ විතරක් නෙමෙයි කියවන්න. හිතට සතුටක් දැනේවී කියලා මං විශ්වාසයෙන් කියනවා. ඒකේ නම, “සිනාසෙනු මැන වේදනා පිසදා”

හරි දැන් එන්නම් හෙට තියෙන කාරණයට. හෙට මගේ සදාකාලික කළණ මිතුරාගේ උපන්දිනය. දෙන්න හොඳ තෑග්ගක් සිහි ‍වුනොත් ඒක සටහන් කරලා යන්න අමතක කරන්න එපා. දැන් ම හැපි බර්ත්ඩේ කියන්න හදිස්සි වෙන්න එපා. හෙට ලියැවෙන නිදහස් සිතුවිල්ලේ දී ම හැපි බර්ත්ඩේ කියමු.

පසු සටහන:
රුසියානු සාහිත්‍ය කියන්නේ පුදුම දෙයක්. මෙතැන කියැවුනේ පොත් දෙක තුනක් ගැන වුනාට කියලා නිමක් නැති ලස්සනම ලස්සන කථා සාගරයක්. ඒ ගැන මං ලියන්න ඕනෑ නැහැ. කාට හරි ඒ ගැන දැනගන්න ඕනා නං මෙන්න තැන. http://nelumwila.blogspot.com/2011/06/blog-post.html ගිහින් බලන්න. මටත් අදයි මේ ලිපිය හමුවුනේ.

Tuesday, December 13, 2011

71. ඈ..........She,




M any many moons ago,
Y onder in mists of a far away time,

L ife was one a dreary crawl,
O ver and over I hated it so,
V erbatim quoting my misery then,
E ndless pain would come again,

I n came you as a whispering wind in night,
S ans anything but offering only pure love,

F orever you are my elixir of love
O nly death would do us part?.....not even that,
R eliving every moment is sheer joy,
E ven a lingering smile of yours,
V agaries of life are not for me,
E nd of the day when coming home,
R avi I love you, is all I hope for,

සෙනෙහසේ නිල් විලක,
පිපුණි එක සියපතක්,
නෙතු අගට ඉනු කඳුලු,
බිඳක රැඳි සිහිලසක්,

ඈත එක දිනක දුටු,
මද සිනහවක සුවය,
තවත් නොමැකී තිබේ,
මගේ සිත පහන් කල,

සිත සැනහු දිය දෝත,
නෙත ඇඳුණු මල් සිහින,
ළඳුනි ඔබ මා දිවිය,
මඟ දැක්වු තරු එළිය,

සුරත අත නොහැර එමි,
අනන්තයෙ ඉම දකිමි,
සොඳුර ඔබ හා සමඟ,
සසර අත් හරින්නෙමි,

*************************

අද ඇගේ උපන් දිනයයි.........Today is her Birth day....
.

Friday, December 9, 2011

93. ඔහු එලෙසින් මා අත්හැර ගියේය -03 මනෝ පුබ්බංග මා ධම්මා

91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය

92. ඔහු එලෙසින් මා අත්හැර ගියේය - පුනරාගමනය

“මොනවා? සීයතාත්තා?” මම කථා කරගත හැකි වූ විගස තාත්තම්මාගේ අත සොලවමින් ඇසීමි.

“ඔව් දරුවෝ. සීයතාත්තා. ඒත් ඒ එයා නෙමෙයි. එයා නොවෙයිත් නෙමෙයි. ඔයාගේ නැන්දාටත් වඩා තරුණ කෙනෙක් හැටියට එයා නැවත මං සොයාගෙන ඇවිත් තිබුණා. මං ගාවින් වාඩි වෙන්න ද කියලා ආචාරශීලි විදිහට අහපු ඒ මහත්මයා මගේ ගාවින් වාඩි වුනා” තාත්තම්මා කියන දෙය මට වැටහී නොවැටහී ගියද ඒ සිද්ධියේ අගමුල ඇයගේ මුවින්ම අසා දැන ගැනීමේ බලවත් පීඩාවෙන් ඇය දෙස බලා සිටියෙමි.

“එයා කථා කලා”

“සුනේත්‍රප්‍රියා. කොහොම හරි අවසානේදි මට ඔයාව මුණ ගැහුනා. අවුරුදු 10ක විතර ඉඳන් මං ඔයාව හීනෙන් දකිනවා. ඔයා මට නිරතුරු හීනෙන් එන්න කියනවා. ඒ හීන මට දැනුනේ සැබෑවටම සිද්ධ වෙන දේවල් විදිහට. ඒත් මං එන්න හදද්දිම හැමදාමත් රෑ මැද මට ඇහැරෙනවා. හීනෙන් දැකපු ඔයාට වඩා ඔයා දැන් ගොඩක් වයසට ගිහින්. මේ ගැටළුව විසඳ ගන්න බැරුව මම ගොඩක් ලොකු දුකක් වින්දා. මම නොයෙකුත් ‍ක්‍රම වලින් මේකට විසඳුමක් හෙව්වා. අවසානේදී මට යාළුවෙක් කිව්වා මේක මේ පෙර ආත්මය සම්බන්ධ දෙයක් වගෙයි, එයා දන්න තරුණ මනෝ වෛද්‍යවරියක් ඉන්නවා, එයාට පුළුවන් වෙයි මේකට විසඳුමක් දෙන්න කියලා. ඒ පාර මං ඒ ඩොක්ටර් ව මුණ ගැහෙන්න ගියා. එයා මගෙන් ප්‍රශ්න කලා මේ ගැන. ඒත් මට දෙන්න පුළුවන් එක ම උත්තරේ වුනේ හීන ගැන විතරයි. ඒ පාර එයා තීරණය කලා මාව මෝහනය කරන්න. ඒ මෝහනයේදී මං ඔයා ගැන, අපේ දරුවෝ ගැන, ගේ දොර ගැන, මගේ ඒ භවයේ හදිසි මරණය ගැන ගොඩක් දේවල් කියලා තිබුනා. කොච්චරද කිව්වොත් මං ඒ ගෙදර ලිපිනය පවා කියලා තිබුනා. ඒ සටහන් ඔස්සේ තමයි අද මං මෙතැන ඉන්නේ. ඔය මෝහන කටයුතු වුනේ මීට අවුරුදු 1 ½කට විතර ඉස්සර. එතකොට අපි හිටියේ ජර්මනියේ.”

ඔන්න ඔය විදිහට ඒ මහත්මයා දීර්ඝ විස්තරයක් කිව්වා. මම අහගෙන හිටියා.

එයා ඔයාගේ සීයා තරුණ කාලේ වගේමයි. එයා මැරෙද්දී, ඔය කාලේ පහුකරලා අවුරුදු 5ක් විතර ගිහින් තිබුණේ. ඉතිං ඒ මහත්මයා ව දැක්කාට පස්සේ මට කථා කරගන්න වචන හොයා ගන්න ගොඩාක් වෙලා ගියා. මට ලොකු සතුටක් දැනුනා, මිය ගියත් එයා වෙනුවෙන් කැපවෙලා හිටපු මාව හොයාගෙන එයා නැවතත් ආවා නේද කියලා. වයස පරතරය, ආදරය, විවාහය වගේ බැඳීම් වලින් එහා ගිය උත්තරීතර බැඳීමක් නේද අපි අතර තියෙන්නේ කියලා මට කියන්න ඕනේ වුනත්, හිතට දැනුනු සතුට නිසා ඒක වචන කරගන්න බැරි වුනා. නෑ කමක් නැති නෑ කමක් නේද මේ ඇති වුනේ කියලා මට හිතුනා.

ඒ අතරේ ඒ මහත්මයා අපේ දරුවෝ ගැන ඇහැව්වා. මම හිමින් හිමින් ඒ විස්තරත් කිව්වා. දරුවෝ හොඳ තැන් වල ඉන්න බවත් කිව්වා. ඒ මහත්මයාගේ වයස අවුරුදු 28ක් කිව්වා. මම නැවත විවාහ වුනාද කියාලාත් ඇහැව්වා.

ඔය අතරේ මගේ හිතේ පුදුමයක් ඇතිවෙලා නැති වෙලා යන්න වුනා. මට ඒ ලඟක් වෙනකම්ම සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව දැනි දැනී තිබුණේ දුවේ. එතකොට මෙයාට 28යි නම් එහෙම දැනුනේ කොහොමද කියන එක මගේ හිත් පතුලේ මතුවුනා.

“අද මගේ හිත නිදහස් වුනා. මං හිතන්නේ අදින් පස්සේ මට ඒ හීන පේන එකක් නැහැ. මං ඔයාව හොයා ගත්තා. මගේ ජර්මන් යාළුවෝ පුදුම වෙයි මේ සිද්ධිය කිව්වහම. ඔයා මාව හමුවෙන්න කැමත්ත පළ කලාට පස්සේ තමයි අපි එහෙන් ආවේ. මගේ හිතට පුදුමාකාර නිදහසක් දැනෙන්නේ සුනේත්‍රප්‍රියා.............. මේක ඇත්තටම පුදුමාකාර දෙයක්. කෙනෙකුට ජීවිතේ අත්විඳින්න ලේසියෙන් නොලැබෙන අත්දැකීමක්. මට ම මෙහෙම දෙයක් වුනානේ. ඉට්ස් අමේසින්........... ඉට්ස් අමේසින්...........

ඒ මහත්මයා මං වගේ බිරාන්ත වෙලා නෙමෙයි හිටියේ. අලුත් යමක් හොයා ගත්ත කෙනෙක් වගේ බොහොම උද්යෝගයෙන් හිටියේ. ඔහොම ටික වෙලාවක් ගියා. ඊට පස්සේ,

කෙනෙක් ඉන්නවා ඔයාට හඳුන්වලා දෙන්න. ඉන්න මං එක්කගෙන එන්නම් කියපු ඒ මහත්මයා නැගිටලා වාහනේ අතට ගියා.” තාත්තම්මාගේ මුහුණු මදක් වෙනස් වූ බව විමසිල්ලේ ඇය දෙස නෙත් යොමා සිටි මා හට වැටහුණි.

“ඒ ගිහින් වාහනේ අනිත් පැත්තේ දොර ඇරියා. ඒ දොරෙන් එළියට බැස්සේ ගැබ්බර සුදු නෝනා කෙනෙක්. මගේ සිතුවිලි කන්ද මගේ කකුල් දෙක පාමුල කඩාගෙන වැටුනා. මගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේ මටම නවත්තගන්න බැරි විදිහට. එයාලා ලඟට එද්දී මං ඉක්මනට කඳුළු පිහදාගෙන හිනා වෙන්න උත්සහ කලා”

“සුනේත්‍රප්‍රියා, මේ ඉන්නේ අර මං කිව්ව දොස්තර නෝනා. ඔයා නිසා තමයි මට මෙයාව මුණ ගැහුනේත්. ඔයා මගේ හීන වලට වෙලා හොල්මන් කරන්න ගත්ත නිසා මට මේ දොස්තර නෝනාගේ උදව් ගන්න සිද්ධ වුනා. අන්තිමේදී ඒ උදව්ව දුරදිග ගියා” කියලා ඒ මහත්මයා හිනා වුනා. නෝනාත් හිනා වෙලා මගේ මූණ ට මූණ තියලා කථා කලා” තාත්තම්මා ඈත පෙනෙන කඳු යාය දිහා නෙත් යොමාගෙන සිටියාය.

මම නිරුත්තර ව ඇය දෙස බලා සිටියෙමි. ඒ හමුවීමේ රූප, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක මෙන් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. එහිදී, මගේ තාත්තම්මා උත්සහයෙන් රඳවාගෙන හිටි හැඟීම් සමඟින් ඒ ඇත්තියගේ කම්මුල මත තම කම්මුල තබන හැටි බොඳවුනු දෙනෙතින් මම දිටීමි. පසෙකින් මගේ සීයතාත්තා නොහොත් ඒ ආගන්තුක පුද්ගලයා සිනා මුසුව සිටියි. අහෝ! මාගේ මිත්තණිය ඒ අවස්ථාවට කෙලෙස මුහුණ දෙන්නට ඇත්ද?

“මම තනියෙම කල්පනා කලා, මම ද හොල්මන් කලේ එයාද කියලා, එයායි මගේ හිතේ හොල්මන් කලේ, මේ ගෙදර සැරි සරන බව දැනුනු නිසා, එයාව නිරතුරු දැනුනු නිසා, අපේ දරුවෝ නිසා මං මගේ මුළු ජීවිත කාලයම තනිකඩව ගත කලා. ඒත් එයා අසරණ මං ගත කරපු ජීවිතය ගැන හාංකවිස්සියක් හොයන්නේ බලන්නේ නැතුව, එක පාරම ඇවිත් මගේ ලෝකය නැවත කඩා බිඳ දැම්මා නේද කියලා මට හිතුනා. මට කෑ ගහලා අඬන්න ඕනෑ වුනා පුතේ. මං දෙවොලක් හදලා පුද පූජා කරපු දෙවියෝ ම ඒ දේවාලයට ගිණි ලෑවා නේද කියලා මගේ හිත කියන්න ගත්තා. එතකොට මං මුළු ජීවිතේම මුලාවෙන් ගත කරලද? මං මිරිඟුවක් පස්සේද දුවලා තියෙන්නේ? ඔය වගේ නොයෙකුත් දේවල් හිතෙන්න ගත්තා මැණිකේ. ඒ දෙන්නා මොන මොනවාදෝ කියමින් හිටියා. ඒ කිසි දෙයක් මට ඇහුනේ නැහැ. මං මගේ කඩාගෙන වැටෙන ලෝකය අල්ලලා නවත්වන්න ලොකු උත්සහයක් දරමින් හිටියේ. අන්තිමේදී කරන්න පුළුවන් හොඳම දේ මට මතක් වුනා” තාත්තම්මාගේ දෙනෙත් වල පෙර නොවූ කාන්තියක් මතුවිය.

ඒ මහත්මයා ආයෙත් මගේ නම කිව්වා, “සුනේත්‍රප්‍රියා........” මම හෙමින් අත ඉස්සුවා. එයා කථාව නතරකලා.

“මේ පුතා හඳුනා ගන්න ලැබුනු එක ගැන සතුටුයි. නෝනා මහත්මයා ගැනත් එහෙමයි. පුතා මට ඔය නම කියලා කථා කරන්න එපා. ඔය නම ඔය විදිහට කිව්වේ මට මේ ලෝකේ එකම කෙනායි. ඒ මගේ මහත්තයා. මගේ දරු තුන්දෙනාගේ තාත්තා. එයා දැන් මේ ලෝකේ නැහැ. ඒත් එයාගේ පිහිට අපිට හැමදාමත් තියෙනවා. මේ ඇති, මේ හොඳට ම ඇති. ආයේ පුතා මා හමුවන්න උත්සහ කරන්නත් එපා. ඔයා කවුරු වුනත් මට ඒකේ වෙනසක් නැහැ. මගේ මහත්මයා ජීවතුන් අතර නැහැ. ඒ මනුස්සයාට මගේ හිතේ, මගේ ලෝකේ, අපේ ලෝකේ සමාදානයෙන් සැතපිලා ඉන්න දීලා ඔය දෙන්නා යන අහක යන්න. කිසිම දවසක මාව හමුවන්න හිතන්නවත් එපා” කියලා බොහොම සාමකාමීව කියපු මම එතැනින් පිටත් වෙලා එන්න ආවා. ඒ එද්දී ඊට ටිකක් එහායින් වාහනේ නවතාගෙන සයිමන් හිටි බව මං දැක්කේ ඒ වෙලාවේ. ඒත් අද වෙනකම් සයිමන් මේ ගැන හාංකවිස්සියක් ‍මගෙන් ඇහැව්වේ නැහැ.

ඒ අය ඊට පස්සේ මට මුණ ගැහුනේ නැහැ දුවේ.

මේ බැඳීම් ගැන, සංසාරය ගැන වෙනස් විදිහට හිතන්න මට ඒ සිද්ධිය ගොඩක් උපකාරී වුනා. ඒක නිසා ඒ පුතා මුණ ගැහීම මට සිදු වුනු හොඳ දෙයක් කියලා දැන් හිතෙනවා.

සීයතාත්තා අපි අතර ගැවසුනා කියලා දැනුනේ ඇයි කියන්න මං දන්නේ නැහැ. සමහරවිට ඒ විදිහේ පැතුමක් හිත් කොනේ තිබුණු නිසා වෙන්න ඇති. කොහොම හරි ‘මනෝ පුබ්බංග මා ධම්මා..........’ බුදු වදන මොන තරම් ඇත්තක්ද කියන එක මේකෙන් වැටහෙනවා නේද?

සීයතාත්තා මැරුණා කියලා මං මැරුණේ නැහැ, මං මැරුණේ නැහැ කියලා සීයා තාත්තා මං එනතුරු බලං ඉඳලත් නැහැ, මං නැහැ කියලා එයා මේ ආත්මේ කසාද නොබැඳ ඉඳලත් නැහැ. ඔන්න ඕකයි පුතේ සංසාරේ............... මේ හැමෝම අනන්තවාරයක් විවිධාකාර නෑ කම් වලින් අපට හමුවෙන බව තමයි බුදු වදන කියන්නේ. ඉතිං ඒ පුතා ගැන මගේ හිතේ කහටක් නැහැ. එයාට ඕනෑ වුනේ මේ භවයේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න මේ ගැටළුව විසඳගන්න. ඒකත් ඉෂ්ට වුනා. මට ධර්මය දකින්න මාර්ගයත් පෑදුනා.” තාත්තාම්මා සිය කථාව අවසන් කරමින් සිටියාය.

“හරි පුදුම කථාවක් තමයි මේක. දැන් තාත්තම්මා සීයතාත්තා ගැන වැරදියට හිතනවද?” මං මෝඩ ප්‍රශ්නයක් ඇසූ බව මද වේලාවකින් මට දැනුනත් එය, පැහැදිලි කරගත යුතු නිසාවෙන් ඇසූ බව තාත්තාම්මා වටහා ගත්තා විය යුතුය.

“නැහැ පුතේ. එයාගේ අපිත් එක්ක හිටපු භවයේ කටයුතු අහවර වුනා. ඒක නිසා එයා ගියා. අපේ ලෝකයේ එයා මිය ‍ගිය කෙනෙක්. ආයේ කොතැන ඉපදුනත් ඒවා අදාල කරගන්න සුදුසු නැහැ. මගේ ලෝකේ, මම මහත්තයා මිය කණවැද්දුමියක් විතරයි. ඒ ගැන හිතලා දහමට අනුව හිත හදා ගැනීම තමයි කරන්න ඕනා” කියමින් තාත්තාම්මා සිහින් සිනාවක් පෑවාය.

“මැණිකට තේරෙනවා නේද? කෙනෙක් නැති වුනා කියලා දුක් වීම මොනවගේ දෙයක්ද කියන එක. ඒ ගැන තව තවත් පහදන්න මං උත්සහ කරන්නේ නැහැ.” යි තාත්තම්මා පැවසුවාය. ඇගේ අතින් අල්ලාගත් මම පෙර නොවූ පිබිදීමකින් නැගී සිටියෙමි.



*************************************

තාත්තාම්මා සමග ගත කල මාස එකහමාරින් පසු කොළඹ පැමිණියේ, එහි ගිය මා නොවේ.

යහපත් දැක්මෙන් පිබිදුනු නව යෞවනියක සේ මට ම මා ගැන දැණින. තාත්තා මට වඩා හොඳ රැකියාවක් සොයා දුන්නේය. ඊට මාස හයකට පමණ පසු යෝජනාවකින් දැන හඳුනාගත් මා සැමියා හා වසරක පමණ පෙම් සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට ඇතුළු වීමි. වැඩිමහල් පුතු ලැබෙද්දී මා ලඟ සිටින්නට කිසි දිනෙක කොළඹ නොආ මාගේ තාත්තම්මා දුරු කතර ගෙවාගෙන පැමිණියාය. පුතුට අවුරුදු 3ක් පමණ වූ අවධියේ දිනෙක,මගේ සදාදරණීය තාත්තම්මා ඒ ආදරණීය නිවසේදී ඉතාමත් සාමකාමී ලෙස නින්දේදීම මෙළොව හැරගොස් සිටියාය.

එයින් වසරකට පසු අප ලද දියැණිය තාත්තම්මාගේ පුනරාගමනය ලෙසින් හැම දෙන දකිති. ඒ ගැන කියති. ඇය කියන කරන හැම දේ තාත්තම්මාගේ පුරුදු ලෙස ඔවුහු විස්තර කරති. නමුදු මාගේ සදාදරණීය තාත්තම්මා කොහේ හෝ සිට මා දෙස බලා, මට පිහිට වන බව සිතන්නට හෝ මාගේ දියැණිය ඇගේ පුනරාගමනය ලෙසින් සිතන්නට හෝ ඇය මට පෙන් වූ ලෝකයේදී මා ලද දැනුම කිසි සේත් ම මා හට අවසර නොදෙනු ඇත.

***************************************

නිමි

Thursday, December 8, 2011

92. ඔහු එලෙසින් මා අත්හැර ගියේය -02 පුනරාගමනය



91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය


මට විගස සිතුනේ ඇය කෙසේ හෝ ‍කුමන හෝ සම්බන්ධයක පැටලී ඇති බවයි. එය මගේ හිතේ කහටක් ඇති කරන්නට සමත්විය.


“මට තේරෙන්නේ නැහැ තාත්තම්මා මොනවා කියනවද කියලා” මම නොරිස්සුම සඟවාගෙන පැවසීමි.

“ඔව් දුවේ. කාට කිව්වත් මේ කථාව මොන විදිහට තේරුම් ගනියිද කියලා මටත් හිතා ගන්න බැහැ. ඒත් මේක ඇත්තම ඇත්ත. බුදු දහම අනුව බැලුවත් මෙහෙම දෙයක් වෙන්න බැරි නැහැ නේද කියලා ඔයාටත් තේරෙයි” තාත්තම්මා සංසුන්ව පැවසුවාය.

“කියන්නකෝ බලන්න එහෙනං මොකද වුනේ කියලා” මම මගේ පුටුව ඇය අසලට ගෙන ලංව වාඩී විමි.

“මේක වුනේ මීට අවුරුදු 5කට උඩදී, නැන්දාගේ 30 වෙනි උපන්දිනේ වෙනුවෙන් මෙහේ උත්සවයක් තිබුනා මතකයි නේද? ඔයාට එන්න බැරි වුනානේ. ආන් ඒ උත්සවේ පහුවෙලා හරියටම සතියයි” සැබෑව. මගේ තාත්තම්මා ව මා ඒ වන විට මුණ ගැසී තිබුනේ අතේ ඇඟිලි වලට වඩා මදක් වැඩි ප්‍රමාණෙකිනි. ඒ කිව් උත්සවයට මා හට සහභාගි වීමට අපහසු වූයේ කුමක් නිසාදැයි නිනව් නැත. ඉඳින් මම බිම බලාගෙන හූ මිටි තැබීමි.

“මට ලියමනක් ආවා. නොදන්න කෙනෙක්ගෙන්. ඉන්න ඒ ලියමන මං අරං තියලා තියෙන්නේ. මං ඒක අරං එන්නම්”

මම මිදුලේ මල් පාත්ති දෙස බලාගෙන කල්පනා කරන්නට වීමි. මේ කියන්න යන්නේ කුමක්ද? ඔය කියන කාලේ වෙද්දි තාත්තම්මාට වයස අවුරුදු 60ක් විතර ඇති. එය ප්‍රේම කථාවක් වීමට ඉඩ කඩ බොහොම අඩු බව ‍මට දැනුනි. මද වේලාවකින් පැමිණි තාත්තම්මා ඒ ලියමන මා අතින් තැබුවාය.

දිනය සටහන් කර තිබුනත් ආපසු ලිපිනයක් කොතැනකවත් සටහන් කර නොතිබුණු එහි දුරකථන අංකයක් දිනයට උඩින් සටහන් කර තිබුණි.

මහත්මියණි,

මේ ලිපිය ලියන මා ඔබ කිසි දිනෙක හමු වී නැති කෙනෙක් යනුවෙන් දැනට පවසන්නම්. මෙයද සටහන් කරන්නේ කොල සියයක් පමණ ගුලි කොට මේසය වටා බිම විසුරුවා දමා අවසානයේ බවද පවසන්නම්. කොතැනින් පටන්ගෙන කොහොම කියන්නද කියලා හිතාගන්න බැරි කථාවක් මේක. අනේ කරුණාකරලා ඔබට හැකි දිනයකදී මා හමුවනු මැනව. ඔබේ දරු තිදෙනාගේ නාමයෙන්, මා හමුවනු මැනව. මෙහි ඉහතින් සඳහන් කර ඇති දුරකථන අංකයට අමතා, එයට පිළිතුරු දෙන කාන්තාවට දිනයක්, වේලාවක් සහ තැනක් කියන මෙන් ඉල්ලා සිටිනවා. මෙය ඉතාමත් මානුෂිය අවශ්‍යතාවක්. මෙය විසඳාගන්නා තුරු මට සැනසිල්ලක් නොදැනෙනු ඇත. ගුණයහපත් කාන්තාවක් වශයෙන් මගේ ඉල්ලීම ඉවත නොදමා මා හට පිහිට වනු මැනව

මෙයට විශ්වාසී,

ඔබ හමුවන්නට මග බලා සිටින අය

“ඉතිං තාත්තම්මා ගියාද?” අතිශයින් විශ්මයට පත් මා ලිපිය නමා ඇය අතට දෙන අතරතුරේ විමසීමි.

“මම නාකි ගැහැණියක්. ඇරත් මේ අත්අකුරු මට හුරුයි වගේ. ලියලා තියෙන විදිහ පවා මට හුරුයි වගේ දැනුනා. කෙනෙකුගේ මානුෂිය අවශ්‍යතාවක් දරුවන්ගේ නාමයෙන් ඉෂ්ට කරන්න කිව්වහම, ඒක පැත්තකට දාන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ දරුවෝ” තාත්තම්මා ලිපිය අතට ගන්නා ගමන් පැවසුවාය.

“ඒක හරි කථාවක්නේ. කවුද දන්නේ, තාත්තම්මාව උස්සන් යන්න එන්න කිව්වද කියලා” මම සිනා සෙමින් පැවසීමි.

“අනේ කෙල්ල, මේ නාකි මාව කොහි උස්සන් යන්නද? මම ‍දවස් දෙක තුනක් කල්පනා කලා මොකද මේකට කරන්නේ කියලා. ඔයාගේ තාත්තාට කියන්නත් හිතුනා. කිව්වා නං කලබල වෙනවා සේරමලා. ඒක නිසා මං තීරණය කලා තනියෙම ඒ ගමන යන්න. ඒ කරලා මං ඒ අංකෙට කථා කලා. ගැහැණු දරුවෙක් කථා කලේ. මං ලියුම ගැන විස්තරේ කියලා දවසක් වේලාවක් කියලා නුවර වැව රවුමේ තැනක් ගැන කිව්වා. ඒ දරුවා කිව්වා හොඳයි මැඩම්, මම සර්ට දන්වන්නම් කියලා.” තාත්තාම්මා තමන් කරපු වීරක්‍රියාව විස්තර කරන්නීය.

“හැබැයි කෙල්ල, ඔයාගේ වයසේ කෙනෙක් වුනා නං මං, කීයටවත් ඒ වගේ ගමනක් යන්නේ නැහැ. තේරුණා නේද දරුවෝ?” නැවතත් ඇය සිනා සලන්නීය.

“ඉතිං ඉතිං කියන්නකෝ මොකද වුනේ” මම නොඉවසිලිමත්ව අසා සිටීමි.

“ම්ම්........... වුනේද? වුනේ ඔයා කවදාවත් නොහිතන දෙයක්. මං කවදාවත් නොහිතපු දෙයක්. කවුරුවත් කොහොමවත් නොහිතන දෙයක්. මම එදා උදේ පාන්දර අවදි වෙලා සුදානම් වුනා. සයිමන් එක්ක වාහනෙන් දළදා මාලිගාවට ගිහින්, දළදා හාමුදරුවන් වහන්සේ වැඳ පුදාගෙන හිමින් හිමින් වැව රවුමේ අර කියපු තැනට ආවා. සයිමන්ට ටිකක් දවල් වෙලා ඒ පැත්තට එන්නය කියලා මං කියලා තිබුනේ. ඉතිං මං ඇවිත් ඒ පුටුවක වාඩි වෙලා වැවේ පීනන පාත්තයෝ දිහා බලාගෙන, උන්ට ‍කඩල මිටක් විසි කර කර උන්නා” ඇය කල්පනා බරිතව පවසන්නීය. ඒ මොහොතේ මට සිහි වුයේ දූ දරුවෝ නාට්‍යයේ ඩල්සි ආච්චිමය. මගේ තාත්තාම්මා ඇයට වඩා වෙනස් වූයේ ඉතාමත් මද වශයෙනි.

“ඉතිං ආවාද ඒ කියපු කෙනා?” මට කථාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නොමැත. කිසිම දෙයක් අනුමාන කළ නොහැකි මානයකට මේ කථාව ඇදී යන අයුරු මට දැනේ.

“ඔව් පුතේ. එයා ආවා. සුදු පාට ලස්සන අලුත් වාහනයක එයා ආවා. මම ඒ වාහනේට කියන නම දන්නේ නැහැ. ඒත් ඒක හරිම ලස්සන අලුත් පන්නේ එකක්. ඒක ඇවිත් මං ඉන්න ඉසව්වෙන් නතර කලාම, මට ඉවෙන් වගේ දැනුනා මේ එන්නේ මං හම්බ වෙන්න එන කෙනා කියලා. මම හැරිලා බැලුවා. ඩ්‍රයිවින් සීට් එකේ මහත්මයෙක් හිටියා. අනිත් සීට් එකේ නෝනෙක් හිටියා. මහත්මයා දොර හිමින් ඇරලා බැහැලා මගේ පැත්තට ආවා. පුතාට කියන්න මට මගේ කකුල් දැනුත් පණ නැති වෙලා යන හැටියක් දැනෙනවා...............

ගොඩක් වෙලා කථා කලානේ, එතනාට කියන්න මට වතුර ටිකක් ගේන්නය කියලා” යි පවසමින් තාත්තාම්මා පුටුවේ හේත්තු වුවාය.

මම එතනා ඇමතීමි. ඇය ගෙනා වතුර වීදුරුවෙන් භාගයක් පානය කල ඈ නැවත කථාව ඇරඹුවාය.

“ඒ මහත්මයා ලඟට එද්දි මට නැගිට ගන්න ඕනෑ වුනත්, මගේ කකුල් මට වාරු නැතිව ගියා.” තාත්තා අම්මා හතිලන බවක් මට දැණින. නැවතත් වතුර වීදුරුව ඇයට ලං කලත් ඇය එය පානය නොකලාය.

“සුනේත්‍රප්‍රියා.............

දරුවෝ.........,
ඒ මහත්මයා මට ඒ නම කියලා කථා කලා. මං කලාන්තේ නොවුනු ටික විතරයි.

දරුවෝ.........

ඒ ඇවිත් හිටියේ ඔයාගේ සීයාතාත්තා” තාත්තාම්මා වේගයෙන් හුස්ම ඉහල පහල හෙලන්නට වූවාය.

මම උඩ ගොස් බිම වැටීමි. නැවත නැවත එලෙස වී බම්ප් වෙන බෝලයක් බවට පත්වීමි. මේ කියන්නේ කුමක්ද? සීයාතාත්තා මියගොස් නැද්ද?



මතු සබැඳි..................

Wednesday, December 7, 2011

91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය

ඔහු එලෙසින් මා අත්හැර ගියේය. ඔහු මා අත්හැර ගියේ ප්‍රේමය යනු පට්ටපල් බොරුවක් නිසාද, එහෙමත් නැත්නම් අප දෙදෙනා එකිනෙකාට පෑවේ සැබෑ ප්‍රේමය නොවන නිසාද, මා වෙතින් ලද හිතවත් කම ඔහුට මදි වූ නිසාද, නැතහොත් ඔහු වංචාවක් කලේද................., ඒ සියල්ලම එක පසෙක තිබියදී මා නොදත් වෙනත් ම හේතුවක් නිසාද යන්න පහදාගත නොහැකිව මම දිවා රෑ හඬා වැළපුනෙමි. ජීවිතය ගලින් ගල ඉහලට නැංවූ ආදරණීය නිවසක්ව, වහල සෙවිල්ලන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු මා අත් හැර ගියේය.



අම්මා මුලින් මා සැනසුවද පසු පසුව නෝක්කාඩු පවසන්නට වූවාය. එයිනුත් පසුව දෙස් දෙවොල් තියන්නට වූවාය. එයිනුත් අනතුරුව එළඹියේ ‘පාරේ බැස යෑමට නොහැකි’ නිසාවෙන් ආරම්භ වූ ගාලගෝට්ටිමය ස්වරූපයයි. මා පියා මේ සියලුම අවස්ථාවන්හි දී මුවින් නොබැන, සුසුමක් හෙලා සියලු දෙය දෙස නෙත් යොමා බලා සිටියේය.

“මෙයා හරියට වැලපෙන්නේ අම්මා අප්පා මැරිලා වගේනේ. ඔයාට ඔයිට වඩා හොඳ තැනකින් කසාදයක් කරගන්න බැරි කමක් නැහැනේ. ගිය මිනිහෙක් මත්තේ අඬන්නේ. නාඩා ඉඳින්. අපි ඒ කටයුතු තව ටික කාලෙකින් එකලස් කරලා දෙන්නම්” අම්මා දෙස් දෙවොල් අතරින් පැවසුවේ මෙවැනි දේය.

එවකට මට දැනුනේ මාගේ සිත මට අවනත නොවන බවයි. ඒත් පසු කාලීනව, මා ඉතාමත් බොලඳ ලෙස මාගේ සිතට අවනත වූ බව පසක් කර ගතිමි.

තාත්තා මා දෙස දුක්බරව බලා සිටියා මිස කිසිත් නොපැවසීමත් මගේ හිත, අම්මාගේ වදන් අවි වලට වඩා පාරවන්නක් විය. තාත්තා එක් වදනක් හෝ පැවසුවා නම් එය සහනයක් ලෙසින් දැනෙන්නට ඉඩ තිබුනු බව එකල එය බලාපොරොත්තුවෙන් සිටි මගේ සිතට දැණින.

කාලය දින සති මාස වලින් ගෙවෙන්නට විය. නොදන්වා සේවයට වාර්තා නොකිරීම නිසාවෙන් රස්සාව නැති වන්නට ඇත. එය මට ඒ දිනවල එතරම් නොදැණින. ඒ ගැන දන්වමින් ලිපියක් ආවාද, එය මා බැලුවාද යන්නද මට නිනව්වක් නොවින. ජීවිතයම කඩා වැටුණු කල, ඒ මතට තවත් පස් ටිකක් වැටුනා කියා වැඩි බරක් දැනේද?

මාස හතරකට පමණ පසු දිනක් උදෑසන, තාත්තා මගේ කාමරයට පැමිණියේය.

“දුව. ලැහැස්ති වෙන්න තාත්තාඅම්මලාගේ ගෙදර යන්න. එහේ ගිහින් මාසයක් දෙකක් ඉඳලා එන්න මැණිකේ. එතකොට ඔය හේබාපු ගතිය ඇරෙයි” වෙව්ලන අතින් මගේ හිස අතගාමින්, වෙව්ලන වදන් තරයේ අල්ලාගනිමින් තාත්තා පැවසූ ආකාරය මට අද මෙන් මතකය. මම තාත්තාගේ උරහිසේ හිස තියාගෙන හැඬුවෙමි. තාත්තා දිගටම මගේ හිස අත ගෑවේය. එලෙසින් ගත වූ කාලය කොපමණදැයි මට මතක නැත. අම්මා පැමිණි දොර උළුවස්සට හේත්තු වී හඬමින් සිටින අයුරු හිස ඔසවන විට දිටීමි.

“අම්මේ....... මං තාත්තාඅම්මලායේ ගෙදර යන්නද?” මම ඇඳ මත හිඳ ගනිමින් ඇයගෙන් විමසුවෙමි.

“ඔව් පුතේ ඔයා යන්න. ගිහින් ඉඳලා එන්න. එහේ ඉද්දි හිතට සහනයක් දැනෙයි” අම්මා ද මා පසෙකින් වාඩි වූවාය. තාත්තා මගේ මේස පුටුවේ වාඩි විය. තාත්තාත් අම්මාත් මාත් තිදෙන ත්‍රිකෝණයක මුළු තුනට වී බිම බලාගෙන සිටි ඒ මොහොතේ තිබුණු නිහැඬියාවත් ජනේලයෙන් කාමරයට ගෙනා මද ආලෝකයත් කාමරයේ වූ මද අඳුරත් එකට මුසුව ඇති කලේ ගුප්ත බවෙකි.


************************************

තාත්තාඅම්මා සියල්ල දැන සිටියාය. මා පසුව දැනගත් පරිදි මුල් දිනවලම තාත්තා පැමිණ මේ ගැන තාත්තාඅම්මා සමඟ පවසා ඇත. එදා ඇයත් තාත්තාත් අම්මාත් එක්ව ගත් තීරණයෙන්, මාස හතරකට පමණ පසු මා ඇයගේ සෙවනට පත්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබිණ.

තාත්තාඅම්මා තනිව මහගෙදර විසුවාය. ඇයගේ සේවයට කුස්සියේ උයන අම්මා කෙනෙකුත්, වත්ත පිටිය වැඩකටයුතු බලාගන්න ඒ අම්මාගේම පුතාත්, පරණ කාරය පදවාගෙන යන්න ඉඳහිට එන සීයා කෙනෙකුත් හැර වෙන කිසිවකු ඒ නිවසේ දැකගත නොහැකි විය.

එහි වූයේ සීතල, තනි කමෙකි. බිම පවා පයට ගෙන ආවේ අමුතු සිසිලකි. ගස් කොලන් වලින් වටව තිබුණු මේ නිසංසල පරිසරයේ සුව විඳින්නට මීට පෙර මට නිවාඩු පාඩුවක් නොවින. ඒ තරමට කොළඹ රටේ කාර්යය බහුල වූ මා ඒ වනවිට නිකම්ම නිකම් නිකමියක නොවේදැයි සිතී මුල් දිනවල තනිව හැඬු අයුරු කිසිවකු දැන සිටියෙ නැත. මා එහි ගිය දින තාත්තාම්මා මා ආදරයෙන් පිළි ගත්තාය.

“කොච්චර දෙයක්ද මගේ මැණිකේ ආ එක. අපි දෙන්නට කරන්න කොච්චර වැඩ‍ තියෙනවද?” ඇය මා සිඹිමින් පැවසුවාය. ඔසරියකින් සැරසී, පබළු මාලයක් පැළඳ, කොණ්ඩය ගැට ගසා, සිනා කටින් ඉන්න ඇය මට සිහිකලේ අයිරාංගනී සේරසිංහ මහත්මියවයි.

පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දිනවල දිනකට දෙකකට පැමිණියත්, අමතර පංති නිසා විගස නැවත කොළඹ දිව ආ අපි ඇයට බොහෝ සෙයින් ලං වූ දරුවෝ නොවීමු. මා මෙහිදී අපි යැයි පැවසුවේ බාප්පාගේ හා නැන්දාගේ දරුවෝ සහ මාය. එහෙත් එසේ ගතව ගිය කාලය ගැන මා හට අපමණ ලෝභ කමක් ඇති කලේ තාත්තාම්මා සමඟ මා ගත කල ඒ මාස එකහමාරක පමණ කාලයයි. ඇය ඒ තරමටම ලෙංගතු, ආචාරශීලි, ගුණවත් ස්ත්‍රියාවක් වූවාය. මගේ තාත්තාගේ ස්වභාවය ඇගෙන් උරුම වූවක් බව මම පසක් කලෙමි. ඇයව එලෙස තනිකර කොළඹ රටට වී ජීවිතය පසු පස දුවන අප ගැන මුලින් මා හට ඇති වූයේ කේන්තියකි. පසුව අනුකම්පාවකි.

එහි ජීවිතය සරළ විය. උදෑසන අවදි වන විට කුස්සි අම්මා උදෑසන ආහාරය පිළියෙල කර අවසන් හෝ අවසන් කරමින් සිටින්නීය. තාත්තාම්මාත් ඇයට උදව් වන්නීය. පසු පසුව අප තිදෙනාම එක්ව ආහාර පිළියෙල කලෙමු. උදෑසන කටයුතු අහවර ව පොත් පත් කියවමින්, මැහුම් ගෙතුම් කරමින්, කථා බහ කරමින් ගත කරන අප දෙදෙනා, බොහොම දිනවල ඉඩම කෙලවරින් ගලා බසින අතු ගඟට යන්නේ නැවුම් වූ සීතල වතුර ටිකක් හිස මත හොවා ගන්නටය.

සමහරවිට ඔබට මවිතයක් දැනෙනු ඇත. ප්‍රේමය අහිමිව හඬා වැලෙපෙමින් සිටි මා ඔය වාගේ කාර්යයන් වල නිරත වූයේ කෙලෙසින්ද යන වග ඔබ කල්පනා කරනු ඇත. එහෙත් ප්‍රේම වියෝගයෙන් මුලින් උද්වේගකර ලෙස වැළපුනු මා මේ කියන කාලය වන විට යොමුව සිටියේ ඇතිව තිබූ තත්ත්වයේ තව දුරටත් ඇලී ගැලී නොසිට කෙලින් කටින් සිට ගත යුතුය යන සිතුවිල්ලෙනි. එහෙත් තවත් ප්‍රේම කථා නම් මගේ ජීවිතයේ නොලියැවෙනු ඇති බව සක් සුදක් සේ පැහැදිලිව දකිමින් සිටියෙමි.

මට ඇවැසි වූයේ ලෞකික ජීවිතයෙන් ඔබ්බට ගිය සැනසුමක් දෙස තාත්තාම්මා සේම නෙත් හෙලන්නටය. මම ඇය සමග බණ දහම් පිළිබඳව කථා කලෙමි. ඇය මට මා නොදත්, මා වැරදි ලෙස වටහාගෙන සිටි, කරුණු බොහොමයක් පහදා දුන්නාය. අපි දෙදෙනා සැමදා හවස වතාවත් වල යෙදුනු අතර දින දෙකකට වරක් පන්සල් ගියෙමු. මෙවන් කාන්තාවක් මෙතරම් කල් මුණ නොගැසී මා කලේ මොන ‘බම්බුවක්දැයි’ මට ම සිතුනු වාර බොහෝ විය. ඇයගේ කාරුණික සෙවනේ මම නැවත ඉපදෙමින් සිටියෙමි.

ඇය බොහොම බැරෑරුම් කෙනෙක් යැයි ඔබට සිතෙනු ඇත. නැත, ඇය බොහොම සරළ තැනැත්තියකි. අතේ රැඳි සිහින් රත්‍රං වළලු සිහින් හඬින් ලෙලෙන සේම විටෙක විසුළු කථාවක් පවසා කිකිණි හඬින් සිනා සලන්නීය. ඇය මා නොසිතන දේ පවසමින් මා හට සිනා කැඳවූවාය.

ඇගේ ගෙමිදුලේ වූ අලංකාර මල් වගාව අප දෙදෙනා එක්ව තවදුරටත් මනස්කාන්ත දර්ශනයක් බවට පත් කලේ භාවනාවක යෙදෙන අයුරිනි. දිනක් මෙසේ ගෙමිදුලේ කටයුතු කරමින් සිටින විට මගේ සිතේ තිබුණු පැනයක් මම තාත්තාම්මාගෙන් විමසුවෙමි.

“ඇයි තාත්තම්මේ, සීයාතාත්තා මැරුණට පස්සේ තාත්තාම්මා ආයේ බැන්දේ නැත්තේ? ඒ කාලේ තාත්තම්මාට වයස 30ක්වත් නැහැ කියලා තාත්තා කියනවා” මම මුල්ලුවෙන් ගාර්ඩ්නියා ගහක් වටේ හාරන ගමන් ඇයගෙන් විමසුවෙමි.

“අනේ අනේ, මගේ මැණිකෙට මතක් වෙච්චි දෙයක්. අනේ හැබෑමට මට ඒක අමතක වුනානේ. දැන් බැරි වෙයිද දන්නේ නැහැ කෙල්ලට මට හොඳවැයින් නාකි කොල්ලෙක් හොයාලා දෙන්ට” ඇය ඉනට අත් දෙක තියාගෙන කිකිණි සිනා සලන්නට වූවාය.

මම ද ඇය සමග හවුලේ සිනා සීමි.

“බැරි වෙන එකක් නැහැ, යංකෝ කොළඹ. අපේ ගේ ඉස්සරහින් උදේට උදේට දුවන ග්‍රැන්ඩ් පපෙක් ඉන්නවා. එයා නං තාත්තාම්මාට කියාපු කෙනා” පැවසු මම දිවගොස් ගේ ඉදිරිපිට පිය ගැටයක් මත වාඩි වුනෙමි.

තාත්තාම්මාත් පැමිණ ඇගේ හාන්සි පුටුවේ වාඩි වූවාය. “එතනෝ, තේ කහට ටිකක් බොමු නේද?” කුස්සිය දෙසට හැරී පැවසූ ඇය, “දුව මෙතැනින් වාඩි වෙමුද?” යි මා දෙස බලා පැවසුවාය.

“සීයාතාත්තා මැරුණු දවස් වල මම ඔයා වගේම ඇඬුවා. මට දැනුනු තනිකම මෙච්චරයි කියලා කියන්න බැහැ. ලෝකෙම කඩා වැටුනා. දරුවෝ තුන්දෙනෙක් එක්ක මං තනි වුනා.” සාමාන්‍යයෙන් මෙවැනි කථාවක් පවසන විට, පවසන ගැහැණු කෙනා ඔසරි පොට ගෙන දෑස පිස දමනු ඔබට මැවෙනු ඇත. එහෙත් මගේ තාත්තම්මා නොහැඬුවාය. ඇය සෙමින් සෙමින් වෙනදා මෙන් කථා කරමින් සිටියාය. මම බණ කථාවක් අසන උවැසියක සේ ඇය දෙස නෙත් හෙලා සාවධානව අසා සිටියෙමි.

“මිනිස්සු නොයෙකුත් දේවල් කිව්වා. මගේ කාලකන්නි කම කිව්වා. මගේ කේන්දරේ බලවත් කිව්වා. එතකොට පිරිමියෙකුට යටත්ව ඉන්නේ නැහැ කිව්වා. ඔය මුල් දවස් වල කියපුවා. පස්සේ පස්සේ කණවැද්දුමි කියලා ඇහෙන්නම කිව්වා මැණිකේ. මක් කරන්නද ඉතිං ලබා උපන් හැටිනේ. මගුල් ගෙවල් වලට එහෙම මං නොයා බැරි කමට හැංගි හැංගි වගේ ගියේ. අසුභ කථා කියැවෙන්න පුළුවන් නිසා. ඔහොම ජීවිතේ ගත වුනා.” එතනා ඇවිත් තේ කෝප්ප දෙක ටීපෝව මත තබා යන්නට ගියාය.

“මේ ඉඩ කඩම් නිසා, දරුවෝ තුන්දෙනා ලොකු මහත් කරගන්න ඇති තරම් මිල මුදල් ලැබුනත්, ඒ කටයුතු නිසියාකාරව පාලනය කරගන්න ගොඩක් වෙහෙස වෙන්න වුනා. හැරුනත් පදයක් හැදෙන්න පුළුවන්. දරුවන්ට කැලලක් නැතිව, නැති වෙච්චි මගේ මනුස්සයාගේ නම කැත නොවෙන විදිහට ජීවත් වෙන්න වෙනමම උත්සහ කරන්න වුනා දුවේ.” තාත්තාම්මා මගේ අතින් තේ කෝප්පයක් තබා ඇයගේ කෝප්පය අතට ගත්තාය.

“තාත්තම්මා දැනුත් කෙල්ල වගේනේ. ඒ කාලේ ලස්සන ඇති. ගමේ සීයලා ආවේ නැද්ද අත පතාගෙන.” මම ඇසුවෙමි. ඇයගේ දුක්බර පෙනුමක් නැති නිසා මටත් විසුළු නොකල යුතු අවස්ථාවක් ලෙස නොහැඟිණි.

“මොකද නැත්තේ. එක විකාරයයි. සීයාතාත්තාගේ නෑයෝ මං අතින් වරදක් වෙනතුරු බලං ඉන්නවා. අපේ නෑයෝ මාව බන්දන්න හදනවා. බොරු කියන්නේ මොකටද සමහරවිට මටත් හිතුනා මේ තනිකමින් පිරුණු ජීවිතේ කොහොම ගෙවන්නද කියලා. ඒත් දරුවෝ තුන්දෙනා ගැන හිතලා, ඊටත් වඩා සීයාතාත්තා ගැන හිතලා මං කසාදයක් නොකරගෙන හිටියා. ඒ මොකද සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව මට නොයෙක් විට දැනිලා තිබුනා. එයා දරුවන්ට බලන බව, දරුවන්ට ඉගෙනුමට උදව් කරන බවට මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුනා. හැමදාමත් සීයාතාත්තාට කෑම පංගුව වෙන් කරලා තමයි අපි කෑවේ බීවේ. මම සීයාතාත්තා වෙනුවෙන් කැපවෙලා ඉදිරි ජීවිතය ගත කරන්න තීරණය කලේ, එයාත් ආත්මයක් හැටියට අපි වටාම ඉන්න බව දැනුනු නිසායි” තාත්තම්මා සෙමින් සෙමින් ඇගේ අතීතය දිග හැරියාය.

“දරුවෝ තුන්දෙනා හොඳින් ඉගෙන ගත්තේ, සීයාතාත්තාගේ බැල්ම නිසා කියලා ගමේ මිනිස්සු අද පවා කථා වෙනවා.” ඇය සිනා සෙන්නීය.

ඇයගෙන් කෙරුනු කොටස ගැන නොපැවසී, නොපෙනන බලවේග වලට ලකුණු දීම ගැන ඇයට කිසිම මනස්තාපයක් නොවීය. එහෙත් මට සිතුනේ ඇය අයාලේ ගියා නම් , බාප්පා තාත්තා හා නැන්දා යහපත් අයුරින් හැදෙන හැටි බලන්නට තිබුනා නොවේද යනුවෙනි. එහෙත් එවෙලේ ඇගේ විශ්වාසයට හිංසා කිරීමට අකමැති වූ නිසාවෙන් ඒ පිළිබඳ ව නොපැවසීමි.

“මැණිකේ, මං කාටවත් නොකී කථාවක් තියෙනවා මේ කථාවේ. ඔයා මේ කථාව දැන් ගන්න ඕනේ. ජීවිතේ අපි කොච්චර වැරදි මත වල පිහිටලා කටයුතු කරනවද කියලා ඔයා එතකොට හොඳින් තේරුම් ගනියි. හැබැයි මගේ කෙල්ලේ මගේ තරුණ කාලය ගෙවුනු හැටි ගැන අබ මල් රේණුවක තරම්වත් කණගාටුවක් දැන් මගේ හිතේ නැහැ” තාත්තම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.



මතු සබැඳි..................

Monday, December 5, 2011

90. ඉවෙන්ට්ෆුල් සති අන්තය....... මැනේජ් කරගත්ත හැටි.

පහු ගිය සතිය තමයි සතිය......... අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත විෂයයන් 7ක දැනුම පැය තුනේ එව්වා 7කින් පෙන්වන්න තිබුණු සතිය....... ආයේ ඉතිං මොනවද අහලා තිබ්බ එව්වාට ලියන්න පුළුවන් උපරිමයෙන් ලිව්වා. සමහර වැදගත් දැනුම කොටස් අපරාදේ, අහලා තිබුනේ නැහැනේ......... ඒකත් මං දන්නවා ඔයාලා ඇහැව්වේ නැතුවට හරිද? වගේ කියුං ටිකකුත් වටින් ගොඩින් ලියලාම ආවා....... නැත්තං අපරාදේනේ නේද?

ඉතිං ඔය පරීක්ෂාව පටන් ගත්ත දවසේම ජංගම දුරකථනයේ ටොයිං ටොයිං ටොයිං හඬින් සද්දයක් ඇවිත් බැටරිය බැහැලාම ගියා. අනේ වාසනාවන්!!!! ඒකත් ජයසිරි මංගලම්!!!!!! ඉතිං පරීක්ෂාව ඉවර වෙනකම් දවස් 4ක් ෆෝන් එක ඕෆ්.

ඔන්න ඔහොම ගිහින් අන්තිම දවසේ එක විෂයයි තිබුනේ. ඒක අහවර වෙලා පාවී පාවී වගේ තමයි කන්තෝරුවට ආවේ. හප්පේ දැනුනු සනීපේ. ඇයි ඉතිං ඔළුව උඩ තිබුනු දැනුම බර සේරම අකුරු කරලා , කොල මත සටහන් කරලා හමාරයිනේ. ආයේ ඉතිං කථා දෙකක් නැහැ කඩදාසි බර ගත්තත් සිම්පල් පාස් එකක් ඇති. (දැන් නං කිසිම දෙයක් අහන්න එපා එකක්වත් ඔළුවේ නැහැ)

සති අන්තය සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් සහ සැහැල්ලුවෙන් ම ගත කරන්න හිතාගෙන සිකුරාදා ගෙදර ආවා. සෙනසුරාදා රෑ මගේ හොඳම මිතුරිය අපව අත් හැරගොස් තුන් අවුරුද්දක් පිරීම නිමිති කොටගෙන පැවැත්වෙන බණ හා ඉරිදා එහිම දානය යෙදී තිබුනා. ඒවාටත් සහභාගි වෙන්න කටයුතු සුදානම් කරගන්න හිතාගෙන තමයි සති අන්තයට ගොඩ වුනේ.

හප්පේ ෆෝන් එක ඕන් කලා විතරයි. ටිකිං ටිකිං, ටිකිං ටිකිං, ටිකිං ටිකිං, ඇලර්ට් ඇස් ඇම් ඇස් එනවා එනවා එනවා. ඔය අතරේ පාසල් කාලේ මිතුරියක්, බැනලා ඇස් ඇම් ඇස් එකකුත් එවලා. මාස දෙකකට උඩදි මං පොරොන්දු වෙලා එයාගේ නංගිගේ ගෙදරට සැලසුමක් ඇඳලා දෙන්න, ඒ ගැන බලන්න විභාගේ ඉවර වෙච්චි ගමන් සෙනසුරාදා එනවා කියලා. එයාලා දිගටම කෝල් කරලා ඒක සනාථ කරගන්න. පස්සේ ඉතිං ඒ ගැන කථා බහ කරලා සෙනසුරාදා වැඩ වරුව අහවර වෙච්චි ගමන් එහේ යන්න කථා කරගත්තා.

ඉතිං සෙනසුරාදාට එළිවුනා. අනේ උදේ පාන්දරම දුක්බර ආරංචියක්. අපේ ගමේ, කිරිඅම්මාවරුන්ගේ දාන වලදී මුල්තැන ගන්න, සෙත් කවි කියන, සෙත් ශාන්ති කරන, ආච්චි අම්මා අන්ත්‍රා වෙලා. ඉතිං ගමේ මිනිස්සු හැටියට අපට පමණක් නෙමෙයි අහල ගං හතක් දුක් කරවන ආරංචියක් ඒක. වැඩ වරුව අහවර වෙලා අර නංගිත් එක්ක එහේ ගිහින්, හවස සැමිතුමා එක්ක ගෙදර ඇවිත්, පොඩ්ඩකට මළ ගෙදර ගිහින්, පුරුදු පරිදි සෙනසුරාදා පන්සල් ගිහින්, යාළුවාගේ බණ ගෙදර ගිහින්, ඒ ආසන්නයේ තියෙන අපේ අම්මලාගේ ගෙදර ගිහින්, රෑ වෙලා මළ ගෙදර යන්න සැලසුම් කලා.




මේ ඒ ආච්චි අම්මා අපේ දුවගේ අකුරු කියැවීම දවසේ ඇවිත් සෙත් පතපු අවස්ථාව

සෙනසුරාදා, වැඩ වරුව අවසන් වෙලා, ඔන්න ඉතිං ඒ නගාවත් බයික්කේ නංගාගෙන, අදාල තැනට ගිහින් විස්තර සටහන් කරගෙන එන්න ආවා. හැව්ලොක් ටවුමෙදී අලුතින් විවෘත කරපු බෞද්ධ කටයුතු මධ්‍යස්ථානේ දැක්කහම ඒකට නොගිහින් කොහොමද නේද? ඒකටත් පොඩ්ඩක් ගොඩ වුනා. මොකද මේ කෙහෙල්කොටුවේ බුද්ධි මහත්තයායි, දිල්ශාරා නගායි මාරයා අයියායි සහ තවත් කිහිප දෙනෙකුයි නිතර වර්ණනා කරන රේරුකානේ හාමුදුරුවන්වහන්සේගේ පොත් ගැන මගේ හිතේ තිබුනා. ඒකෙන් දෙකක්වත් අරං යන්ට ඕනා කියලා එතැනට ගියා. ගිහින් බලලා, බෞද්ධයාගේ අත්පොත සහ බෝධි පූජාව කියන පොත් දෙක අරං කවුන්ටරේට ආවහම මාර්කටින් ට්‍රික් එකකට අහු වෙන්නද එපාද යන දෙගිඩියාවට පත් වෙන වැඩක් වුනානේ. බුදු සරණයි කියලා සටහන් කරපු බෞද්ධ කොඩියක හැඩය ගත්ත කී ටැග් එකක්!!! පුදුම තෘෂ්ණාවක් ඇති වුනේ. රුපියල් 60යි. ආයේ මොනවද ෂොර්ට් ඉට්ස් දෙකක සල්ලිනේ. තුන්පාරක් විතර හිතලා ඒකත් ගත්තා. අනේ ගත්ත එකම හොඳයි. ඒක දැක්කත් මොකද්ද මන්දා හැඟීමක් හිතට දැනෙනවා. ආසාවේ බැහැ.

ඔන්න ඔහොම ඇවිත් මහත්තයාට යතුරයි කී ටැග් එකයි දීලා මං බයික්කේ පිටිපස්සේ වාඩි වෙලා ගෙදර එන්න ආවා. ඇවිත් මළ ගෙදර යන්න වෙලාවක් නැහැ. ඉක්කනට මල් කඩලා, අනිත් දේවලුත් සුදානම් කරගෙන 5.45 වෙද්දි පන්සලට ගොඩ වුනා. පන්සලේ වැඩකටයුතු අහවර වෙලා 7ට විතර එහෙන් පිටත් වුනා බණ ගෙදර යන්න අතරමගදී සැමිතුමා කිව්වා අපේ හිතවත් බ්ලොග්කරුවෙක්ගෙන් (මේ සටහන් කරද්දි තමයි මතක් වුනේ උන්දැව දන්නේ බ්ලොග් වලින් කියලා, දැන් නිකං ඉස්සර කාලේ ඉඳන් දන්නවා වගේ තමයි අපේ හිතවත් කම්) මිස් කෝල් දෙකක් තියේ කියලා. බණ ගෙදරදි කථා කරමුය කියලා බණ ගෙදරට 7.15 වෙද්දි ගියාට හාමුදුරුවන් වහන්සේ වඩින්නේ 7.30ටය කිව්වා. ආයෙත් බයික්කේ නැගලා විගහට අම්මලාගේ ගෙදරට ගොඩ වෙන්න ගියේ මේ බිස්සි සෙඩූල් අස්සේ එක වැඩක්වත් මග හැර නොගෙන කටයුතු කිරීමේ පරම අධිෂ්ඨානය නිසායි.

ඒ ගිහින් ඉද්දි ඔන්න තාත්තාගෙන් කෝල් එකක්.

“ලොකුදුව. ලසන්ත අයියාගේ තාත්තා අන්ත්‍රා වෙලා.”

“ආ ඇත්තද තාත්තේ?”

“ඔයාලා කොහොම හරි ඇවිත් යන්න එන්න ඕනේ. මං දැන් ඉන්නේ එහේ.”

“අද නං බැරි වෙයි තාත්තේ. අර අහවල් ආච්චි අන්ත්‍රා වුනානේ අද උදේ. දැන් මේ ඔයැලැයි ගෙදර ඉන්නේ. ඒ ඉවර වෙලා එහේ යන්න තියෙනවා”

“ආනේ ඇත්තද? එහෙනං ‍දැන් එහේ ගිහින්. හෙටවත් එන්න. අනිද්දා මෙහේ වැඩ කටයුතු කරනවා. දන්නවානේ ලසන්ත අයියා ඔයාලාට ලොකු උදව් කරලා තියෙනවා. කොහොම හරි එන්න”

“හරි හරි තාත්තේ එන්නම්”

අපි දන්න අයියා කෙනෙකුගේ තාත්තා අන්ත්‍රාවෙලා. හද්දෙයියනේ තවත් ඉවෙන්ටුවක්.

ඒ අයියා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්. අපේ විවාහයේ පෝරුව කටයුතු කරපු, අෂ්ඨක කියපු මහත්මයා එදා තවත් විවාහයකට යන්න තියෙද්දි අපේ එකට එන්න කැමති වුනෙත් ලසන්ත අයියාගේ හිතවත්කම නිසායි. ඒ වගේ බොහොම උපකාර කරපු කෙනෙක්ගේ දෙයකට කොහොම හරි යායුතුමයි.

ඉතිං අම්මලාගේ ගෙදරින් බණ ගෙදරට ඇවිත්, බණ අහවර වෙලා අර ‍බ්ලොග් හිතවතාට කෝල් එකක් ගත්තා.

“ආ ඔයාලා කොහිද? අපි මේ බණ ගෙදරක”

“ ආ අපි රාගම ආවා. එනගමන්ම එහේ එන්න කථා කලේ. කෝ ආන්සර් කලේ නැහැනේ‍.”

ඉතිං පන්සල්, බණ, අම්මලාගේ ගෙදර යෑම් ආදිය විස්තර කලා.

“මේ ඒක නෙමෙයි. වයිෆ් කාලාද දැන් ඉන්නේ මං මෙහෙන් බත් එකක් ගේන්නද?”

“අනේ මේ දැන් කෑවා විතරයි. කරදර වෙන්න එපා. හෙට උදේට අපි කැළණි යනවා. එනවද ඔයාලා”

ඔන්න තවත් ඉවෙන්ට් එකක් කණ ගාව.

“අනේ උදේට මෙයා වැඩට යනවා. මං නං ගෙදර. බලමු ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම් එහෙනං”

“හරි එහෙනං ඔයාලා එනවා නං කියන්න. නැත්තං අපි ගිහින් එන ගමන් එහේ එන්නම්”

“හරි”

ඉතිං ඔන්න බණ කටයුතු ඉවර වෙලා එහෙමම මළ ගෙදරට. එතකොට රෑ 9ට විතර ඇති. සූ ගාලා සෙනඟ. ඒ ආච්චිඅම්මාගේ ජීවමාන ප්‍රමාණේ පිංතූරයක් (හිටගෙන ඉන්න හැටියට) ගේට්ටුව අසලම. ඒ පිංතූරේ ඒ කාලේ මගේ සැමිතුමා ගත්ත එකක්. සැමිතුමායි මල්ලියි ඒක රාමු කරලා දුන්නු දවසේ ඒ ආච්චි අම්මා ගොඩක් වෙලා සතුටු සිතින් කවි කිව්වාලු. මළ ගෙදරදිත් දූලා පුතාලා, මුණුබුරු මිණිබිරියෝ ඇවිත් ඒ ගැන කියලා සංවේගය පල කලා.

මං හිතන්නේ පුංචිම පුංචි කාලේ ඇහැව්වා වගේ මතකයි. ඒත් හරියටම විශ්වාස නැහැ. සමහරවිට ජීවිතේ පළවෙනි වතාවට ඇහැව්වා වෙන්න ඇති. ඒ මළ ගෙදර මළ පොත කියනවා ඇහුනා. එක සීයා කෙනෙක් දෙණ අසලින් වාඩි වෙලා, නියම ස්වරයෙන් මළ පොත කිව්වා. නියම ස්වරයෙන් කියලා කිව්වේ, මට මතකයි කාලෙකට උඩදී නාට්‍යයක ඔය කවි කියන කොටසක් තිබුනා. පැයක් එකහාමාරකට පසු මාත් දියැණියත් ගෙදරට ඇරලු සැමිතුමා නැවත එහේ ගියා. උදේ පාන්දර ආපු එයා කිව්වේ මුළු රෑම මළ පොත කියෙව්ව බවත්, ඒක ඒ ආච්චිගේ කැමැත්තක් ඉෂ්ට කිරීමක් බවත්. ඒ ආච්චි මළ පොත කියවපු කෙනාට ම කියලා තිබිලා තියෙනවා ඔයා මං මළ දවසට ඒ වැඩේ කරන්න ඕනේ කියලා.

ඉතිං දැන් ඉරිදාට එළි වුනා. සැමිතුමා වැඩට යන්න සූදානම් වුනා. එයාලාගේ, “කොල්ලෝ ටික” (අපේ තාත්තාත් තාම එයාලාගේ යාළුවෝ ගැන කියද්දි කියන්නේ අපේ කොල්ලෝ ටික කියලානේ. ඒක නිසා කමක් නැහැ මං හිතන්නේ) ඉරිදා රෑ මළ ගෙදරට ආහාර පාන සැපයීම භාර අරං. මගේ මිතුරියගේ තුන්අවුරුදු දානය එදිනම දහවල්. සමහරවිට බ්ලොග් මිතුරා එන්නත් ඉඩ තියෙනවා. අවසානේදී, එන හැටියකට වැඩ ටික කරමු. මං 12, 1 වෙද්දි එනවා’යි පවසා ඔහු රාජකාරිය සඳහා පිටව ගියා.

ඔන්න ටිකකින් මට පෙරදා සිද්ධි ගැලපෙන්න පටන් ගත්තා. අඩේ මේකා ගන්නවාය කිව්ව වාහනේ අරංවත්ද මේ අපටත් කැළණි යන්න එන්න කිව්වේ? පූර්වාපර සන්ධි ගැලපීමෙන් පසු මට සිතුනා. විගස ඇමතුමක් අරං,

“අඩේ කොහිද ඉන්නේ”

“ආ අපි මේ කැළණියෙන් එන්න කියලා”

“වාහනේ ගත්තද?”

“ඔව්නේ. ඒකනේ එන්න කිව්වේ, කැළණි යන්න.”

“අඩේ ඉතිං කියන්න එපැයි වාහනේ ගත්තාය කියලා. බයික්කේ ගිහින් ආපහු ගෙදර එන්න විදිහක් නැති නිසානේ වැඩේ කෙරුනේ නැත්තේ”

“ නෑ ඉතිං සප්‍රයිස් එකටත් එක්ක නොකියා හිටියේ. වැඩේ කචල් වුනානේ.”

“හරි එහෙනං එන්නකෝ අපේ ගෙදර.”

“හරි හවස් වෙද්දි එන්නම්”

අපරාදේ. ඒ ඉවෙන්ට් එකත් ඇඩ් කරගන්න තිබුනා, කලින් දැනං උන්නා නං.

දවල් වෙද්දි සැමිතුමා කථා කරලා කිව්වා, එන්න පමාවෙන නිසා, බබාත් එක්ක කුළි රියකින් දානේ ගෙදර යන්න. එයා ඇවිත් එක්ක යන්නම් කියලා. මමත් ඉතිං හාය කියලා බබාවත් ලැහැස්ති කරගෙන යන්න කියලා පාරට ආවා. ත්‍රීවිලර් සේරම මළ ගෙදර දෙසට යනවා විතරයි එන්නේ නැහැ. විනාඩි විස්සක් තිහක් ඔහොම ඉද්දි එකක් ආවා. ගාණ කීයද ඇහැව්වහම 200යිලු. කිලෝමීටර් තුනයි. හා කමක් නැහැ අයියේ. ඔයා යන්න. කියලා තව එකක් එනකම් හිටියා. අපරාදෙනේ සල්ලි. නැද්ද මං අහන්නේ?

ඔන්න සීයා අංකල් කෙනෙක් එනවා. ගාට ගාට. තැන කියලා ගාන කීයද ඇහැව්වහම, “මං දන්නේ නැහැ ඔය කොහිද කියලා වෙනදා යන්නේ කීයටද?” ඇහැව්වා. ඉතිං මං ගාණ කිව්වා. 140යි.

ඉතිං ඔන්න යනවා. මං පාර කිය කියා යනවා. අප්පේ තැනට මීටර් 500-600ක් තියෙද්දි, පැස්ටෝල් නැතුං නැවතුනානේ ඩක්කුව. ඔය මීටර් 500-600 සැමියාගේ ටේප් එකෙන්. මගේ ටේප් එකට අනුව මිටර් 800යි. කන්දට මීටර් 200ක් වෙන් කලහම මීටර් 1000යි. ඒ කියන්නේ කිලෝමීටර් එකයි. ආ මෙන්න අංකල් තියාගන්න කියලා රුපියල් 100ක් උන්දැට දීලා, බබාට තොප්පිය දාලා එයාවත් වඩාගෙන පයින්ම යන්න ගියා. තව එකක යන්න තරම් දුරකුත් නැහැ. පයින් යන්නත් බැහැ. අලි කන්ද. ඒත් ගියා. අපරාදෙනේ සල්ලි. නැද්ද මං අහන්නේ?

දානේ ගෙදර ගිහින්, ඒ වැඩකටයුතු ඉවරවෙලා ඉද්දි සැමිතුමා ආවා. බැහැයි කියද්දිම එයාටත් කෑම දීලා, කට්ටියට කථා කරලා ඔන්න එන්න ආවා. ගෙදර එද්දි 2.30යි. ආ කියන්න බැරි වුනා. දානේ ගෙදරදි අලුත් වෑන් බ්ලෝග් මෑන් කථා කලා. විස්තරේ කිව්වට පස්සේ හවස් අතේ එන්නම් කිව්වා. ඒකත් හරි.

ඉතිං ඔන්න ගෙදර එද්දි, සැමිතුමාගේ කොන්ත්‍රාත් බාසුන්නැහේ ඇවිත් කඳානේ ගෙදරක් බලන්න යන්න. අපිව ගෙදරින් ඇරලපු එයා බාසුන්නැහේ එක්ක එහේ යන්න පිටත් වුනා. අපි දෙන්නාට ගමන් මහන්සියට නින්ද ගියා. එක පාරක් ඡායාවක් වගේ සැමිතුමා ඇවිත් යනවා දැක්කා. ආයෙම නින්ද ගිය නිසා මතක නැහැ කිසි දෙයක්.

පස්සේ 4.30ට විතර ඇහැරුනාට පස්සේ ඔන්න මියුට් කරපු ෆෝන් එකේ අම්මාගෙන් මිස් කෝල් 16යි. ඒකට කථා කරලා බැලුවහම, තවත් පොඩි කොන්ත්‍රාත් එකක්. දහම් පාසලේ අපට වඩා අවුරුදු කිහිපයක් උඩ පන්තියක හිටිය අක්කා කෙනෙක් අම්මලාගේ ගෙදර ඇවිත්, ඒ අක්කාට ස්කූටර් එක පදින හැටි උගන්වන්නලු. නින්දෙන් නැගිට්ට ගමන් මොනවා කිව්වද දන්නෙත් නැහැ, පස්සේ අදවත් කෝල් එකක් දීලා අම්මාගෙන් අහගන්න ඕනා.

ඊට පස්සේ ඉක්කනටම කෝල් එකක් ගත්තා අලුත් වෑන් බ්ලොග් මෑන්ට.

“කෝ ආවාද?”

“කෝ ඉතිං ඔයා කෝල් කලේ නැහැනේ”

“අනේ අප්පා මට නින්ද ගියානේ, දැන් එන්න ඉතිං”

“හරි හරි දැන් එන්නම්”

සැමිතුමාට කථා කරලා එයාලා එනවග කියලා, එයාවත් ගෙන්නා ගත්තා. එයා ගෙදර ඇවිත් මළගෙදරට දෙන රෑ කෑමේ කටයුතු ගැන බලන්න ගිහින්. අර ඡායාවක් වගේ දැකලා තියෙන්නේ ඒ ආපු පාර තමයි ඔන්න.

ඉතිං ෆෝන් එක තිබ්බ ගමන් දුවත් කියනවා “අනේ අප්පා මටත් නින්ද ගියානේ” සුට්ටි කටින් හැඩ කර කර කියන අපූරුව. දෙන්නත් එක්කම පහළට ගිහින් මූණ කට හෝදාගෙන, බිම දාලා තිබුනු පොත් පත් උඩින් තියලා, ඇද වෙලා තිබුනු පුටු දෙක තුන කෙලින් කරලා, පාපිසි එහෙම ස්ථාන ගත කරලා ඉද්දි සැමිතුමා ආවා. ටිකකින් අපේ යාළුවෝ දෙන්නාත් මෙන්න එනවා.

අනේ වාසනාවන්!!! කිරි කිරි ටොයි වාහනේ. ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න බුවාගේ සයිස් එකට නං හරි යන්නේ ටෙන් වීල් එකක් තමයි. ඒත් අනිත් සීට් එකේ ඉන්න සුකුමාල බිරින්දෑට නං මේක කියාපු වාහනේ. ඔව් ඉතිං ටෙන් වීල් එකක් හරවනවා කියලා හිතාගෙන උන්දෑ මගේ සැමිතුමාගේත් උපකාරය ඇතුව පුදුම අමාරුවකින් තමයි වාහනේ හරවා ගත්තේ. (හුදෙක් මඩ නොවේ. තාම අලුත්නේ)

ඉතිං එයාලා ඇවිත්, සැමිතුමායි අපේ මිතුරායි, අක්කරයෙන් 1/80ක් විතර ඇති අපේ සාලේ ක්‍රිකට් මැච් එකක් එහෙම තියලා, ආගිය තොරතුරු කථා බහ කරලා පැයක් දෙකක් විතර ඉඳලා ගියා. හිතට බොහොම අමාරුයි කෑම වේලක් සූදානම් කරගන්න බැරි වෙච්චි එක. ඇත්තටම කණගාටුයි. ඒත් ලඟදීම ඒ කටයුත්ත කරනවා කියලා හිතලා හිත හදා ගන්න එක තමයි මං කරන්නේ මේක මතක් වෙන ගානේ.

එයාලා ගියාත් එක්කම සැමිතුමා ගියා කෑම සූදානම් කිරීමේ කටයුතු වලට. ගිහින් පැයකින් එකහමාරකින් ආවේ රෑ කෑමට බත් අරං. පපුව රිදුනේ ඒක දැක්කහම. කොස් මැල්ලුම්, අඹ උයලා, මාළු හදලා, සම්බල් හදලා, පරිප්පු එක්ක. අනේ අර කෙලී හිටියා නං බත් කටක් කාලා යනවානේ. එයාලාට ඉන්න හැටියක් තිබුනේ නැහැ. වාහනෙත් අලුත්, ඩ්‍රයිවරුත් අලුත්, නෝනාත් අලුත්, පාර මීගමු පාර, රෑත් වෙලා. මං ඉතිං ඇමතුමක් අරං බැලුවා. පැය එකහමාරක් ගිහිනුත් තාම කොච්චිකඩේ කිව්වා. ම්ම්...... මොනවා කරන්නද ඉතිං. පස්සේ දවසක බැරියැ කියලා හිතා හදා ගත්තා නැවතත්.

ඔහොම ඉන්නකොට එක පාරම නිවසේ ඉස්සරහ පැත්තෙන් සද්දයක් ආවා.

"හැප්පුවා වගේ තාත්තා" සැමිතුමා පැවසුවාත් සමඟින්, ඔහුගේ පියාගේ දෝස් මුරය ඒ පැත්තෙන් ඇහෙන්නට පටන් ගත්තා. තාත්තා රිවර්ස් කරද්දී, ඒ මග නවත්තලා තිබුනු මගේ අවිහිංසක ඉක්කූටරය අහෝ!!!

පිටිපස්සේ බ්රේක් ලයිට් එකේ කවරය කැඩිලා, ඉස්සරහ දකුණු පැත්තේ පැති කණ්නාඩිය ඇද වෙලා, ඉස්සරහ මූණත පොඩ්ඩක් හීරිලා, අහෝ මාගේ කිරි ටොයියා.......

තාත්තාට අනුව පුතා වැරදි කරුවාය. තාත්තා එන මග බයික්කය නැවැත්වීම වැරැද්දයි. පුතාට අනුව තාත්තා අතේ වැරැද්දය. වට පිට නොබලා රිවර්ස් කිරීමය. අම්මාට අනුව දෙන්නාම වැරදිය. එනිසා දෙන්නාම කටවල් වසා ගත යුතුය. මට අනුව මොකුත් නැත. දෙන්නාගෙන් එක්කෙනෙක් අලාභ සංසිඳවා දුන්නොත් මට ඇතිය සිතා මා නිහඬව සිටියේද නැත. පොඩ්ඩක් මුණු මුණු කීවා පමණයි. තේරුනානේ පොඩ්ඩයි හරිද?
අහෝ මාගේ කිරි ටොයියා............. !!!!!!!!!

ඉතිං පස්සේ රෑ වෙලා හින්දා මං සැමිතුමාට කිව්වා දැන් මළ ගෙදර යන්න බැහැනේ. අපි උදේට ගිහින් එහෙමම වැඩට යමු කියලා. ඒ එකඟතාවෙන් නිදියන්න යන්න පෙර බෞද්ධ මධ්‍යස්ථානෙන් ගත්ත, “බෞද්ධයාගේ අත්පොත” පොතේ, විසින් වෙතට කොටස් පුරවලා, දිනවකවානු දාලා, ඔතලා සූදානම් කරලා තියන්නත් අමතක කලේ නැහැ.

ඉතිං ඔන්න දැන් අද උදේ වුනා. උදේන්ම සූදානම් කරපු පොත් තෑග්ග සැමිතුමා අතින් තැබුවා. එයාට සතුටුයි. මටත් සතුටුයි.

උදේ වුනාට පස්සේ ටිකක් අවුල් ගතියකුත් දැනුනා අද වගේ දවසක උදේ පාන්දර මළ ගෙදරක යන එක ගැන. විමසුම් මනසින් බලලා, ඒක එහෙම නොහිතිය යුතු වග වටහාගෙන ගමන යන්න පිටත් වුනා. මම බබා වඩාගෙන පාරට වී ඉන්න කොට සැමිතුමා බයික්කේ අරං පාරට ආවා. ඒ අතරේ එහා ගෙදර අංකල්, “අන්න අර දෙන්නා වැටුනා” කියමින් පාර දිගේ පල්ලම අතට දුවන්න ගත්තා. වට පිටාවේ නයිටි ඇඳගත්ත ඇන්ටිලා , දත් මැද මැද හිටපු අංකල්ලා, නිවාඩු කාලේ නිසා නිදි බේරෙමින් හිටපු බබලා සේරම ඒ අතට දුවනවා. සැමිතුමා, “ඔයා එන්න. මං යනවා” යි පවසා ඒ දෙසට බයික්කෙන් ගියා.

මමත් අම්මාට කථා කරලා විස්තරේ කියලා බබාත් අරං ඒ දෙසට ගියා. බැලුවහම අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර මල්ලී, එයාගේ අක්කාව පා පැදියෙන් දුම්රියස්ථානයට ඇරලවන්න යන ගමනේ දෙන්නම පල්ලමේ වැටිලා. කොන්ක්‍රීට් පාර. පව් ඒ නංගි හරිම හොඳ කෙනෙක්. එයාගේ කකුල ඉස්සරහ රෝදේ රිම් එකයි, පෝක් අතයි (මං එන ගමන් සැමිතුමාගෙන් ඒ නම අහගෙනම ආවා) අස්සේ ගිහින් හිරවෙලා. බොහොම හයියෙන් එයා කෑ ගහනවා. කකුල ගන්නම බැහැ. සෙනඟ වට වෙලා. සැමිතුමා අඬුවක් අරං ස්පෝක් කම්බි එකින් එක කැපුවා. පෝක් අතේ නට් එක බුරුලු කරලා ඒ නංගිගේ කකුල නිදහස් කරගත්තා. ඒ වෙනකොට එයාගේ මල්ලි , එතැනට ගෙනාපු පුටුවක් මත වාඩි කරවලා, සිහිනැති ස්වභාවයෙන්. සමහරවිට ඔළුව කොන්ක්‍රීට් පොළවේ වැදිලා විය හැකියි. නංගිට එයාගේ කකුලත් මතක නැහැ, අනේ මල්ලී අනේ මල්ලී කිය කියා කෑ ගහනවා. සාරිය බයිසිකලේට ගිහින්ද, බල්ලෙක් පාරට පැනලද, ඉස්සරහ බ්රේක් අල්ලලාද මොකද්ද කියන්න දන්නේ නැහැ. එයාලා දෙන්නාව කුලීරියකින් රාගම රෝහලට පිටත් කරලා මළ ගෙදර යන්න අපි ආවා.

හප්පේ ඔළුව විකාරයි. පාරත් වැරදුනා කොච්චරද කිව්වොත්.

මළ ගෙදර ගිහින් ඔන්න දෙන්නාම දැන් රාජකාරී ස්ථාන වලට වාර්තා කරලා අහවරයි. හවස් අතේ අපේ ගමේ ආච්චිගේ මළගමේ කටයුතු වලට සහභාගි වෙන්න සැමිතුමා වේලාසන ගෙදර යායුතු බව පැවසුවා. මට නං යන්න වෙන්නේ නැහැ. ඒ අතරේ අද රෑ ඩිනර් අවුට් එකක් සූදානම් කරන්න අපි දෙන්නා මාසෙක ඉඳන් සැලසුම් ඇඳ ඇඳ හිටියේ, කාර්යය බහුල සති අන්තය අපට ඒ ගැන කථා බහ කරගන්න නිදහසක් දුන්නේම නැහැනේ. දැන්වත් ඒක සූදානම් කිරීමේ කටයුත්තට අත තියන්න ඕනා. මේ කාර්යය බහුල කථා අතරතුරේ ඒක කියන්නත් අමතක වුනානේ.

අදට අපි බැඳලා අවුරුදු 3යි.



දැන් අද හවස් අතේ කටයුතු ගැන කථා බහකරගන්න තියෙනවා. ඔන්න එහෙනං වැදගැම්මකට නැති කථා වැලක් කියලා මේන් මං යනවා.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...