Wednesday, January 18, 2012

85. ආදර....නිල්.....දෑසේ.......7 - Where were you?....I was looking for you all my life,




‘’ ඇයි නංගි...මම හිතන්නෙ වසන්ත අකමැති වෙන එක්ක නෑ.....''

‘’ නෑ පොඩි අයිය මට ආදරෙයි,ඒ වගේම ඔයාටත් පුදුම විදිහට කැමතියි....මම දන්නව ඒක....ඒත් මයෙ අයියෙ මම කියන එක අහන්නකො.පොඩි අයියට කියන්න එපා දැනට....මම ඔයාට විස්තරේ කියන්නම් ඔක්කොම පස්සෙ. ''

මම මේ මොකවත් තෙරුම් ගන්න බැරුව චුට්ටිගෙ මූණ දිහාවෙ බලාහිටිය තුස්නිම්බූත වෙලා.

මගෙ බැල්ම බලා ඉන්න බැරුව මම හිතන්නෙ චුට්ටි බිම බලාගත්ත.....

'' අනේ රවි අයියෙ,මා දිහා ඔහොම බලා ඉන්න එපා..මට ඒක දරාගන්න අමාරුයි....''

'' ඒත් චුට්ටි මට කියන්න......''

'' ඒයි උඹල දෙන්න වැඩේ පැත්තක තියල කයියට සෙට් වෙලා වගෙ.....මට මිදුලට ඇහුණ සද්දෙ.....චුට්ටි මොකද රවියට වැඩේ කරන්න දෙන්නෙ නැද්ද අද? '' වසන්ත කෑගහගෙන කඩාපැන්න කුස්සියට.....

චුට්ටි ආයෙම රතු උනා. '' පොඩි අයිය මේ මොනව කියනවද මන්ද.....මම මොකෝ රවි අයියව අල්ල ගත්තය?........'' ගස්සගෙන ගියෙ නැද්ද එළියට....වසන්ත හිනා උනා කුස්සිය දෙකක් වෙන්ට....අම්මප අයියටම හරියන නඟා, නඟාටම හරියන අයියණ්ඩි,

'' හරි මචං ඉඳහං ....තව විනාඩි දෙකෙං බඩු හරි...'' මම දනිපනි ගාල වැඩේ පටං ගත්ත. ඇයි වසන්තය ගියත් හරි ප්රේම සාගරේ කිමිදුනා මිසක වැඩේ ඇල්ලුවෙවත් නැහැ නෙව....හෙහ්, හෙහ්, හෙහ්,

රෑට උයල කාරිය ඉවර වෙලා වසායි මායි ගියා වැවට නාගෙන එන්ට. ගොයම් වලට වතුර ඕනම කාලෙ නිසා වැවෙන් කුඹුරු වලට වතුර ගෙනියන බෙදුම් ඇලේ කට කපල වතුර.අපි පැනල නෑව මදි නොකියන්ට.....මයෙ හිතේ අලකලංචියත් ඔන්න ඔක්කොම නම් නෙවෙයි සෑහෙන්න අඩුවෙලා ගියා ඇලේ ගලායන වතුර පාරත් එක්ක හේදිලා.

මම වතුරෙ ගිලිල හිටිය සෑහෙන වෙලාවක්.....හුස්ම අල්ලගෙන ඉඳල අන්තිමට බැරිම තැන වතුරෙං මතු වෙද්දි වසන්ත ගොඩට ගිහිල්ල සබං ගානව.

'' මොකද රවියො චුට්ටි කියන්නෙ?......'' වසන්ත නැමිල කකුල්වල සබං ගාන ගමන් ඇහුව.මට එක පාරට මොනව කියාගන්නද හිතාගන්න බැරි උනා. මොනවද කියන්නෙ කියල හිතාගන්න කල් අරගන්න ඕන නිසාම මම ආයෙම පාරක් වතුරෙ ගිලුණා. ඒ විඩේ මතුවෙනකොට වසන්ත වතුරට බැහැල.මම ගොඩට ගිහින් සබන් ගාන්න පටන් ගත්ත.

'' එහෙම විශේෂ දෙයක් කිව්වෙ නම් නෑ වසා..අපි ඔහෙ නිකම් කතා කර කර හිටිය....ඉස්කෝලෙ විස්තර, විභාගෙ ගැන.....'' චුට්ටි ගිය මාසෙ ඒ ලෙවල් ලිව්වයි කියල මම දැනගෙන හිටිය වසන්තයම කියල.....

'' චුට්ටි මචං හරි හොඳ කෙල්ල.....මගෙ නංගි හින්ද කියනව එහෙම නෙවෙයි.......ලොකු එකී වගෙ නෙවෙයි...හරිම අහිංසකයි.......මට දුකයි චුට්ටි ගැන.....''

වසන්ත එහෙම කියල ආයෙම වතුරෙ ගිලුන. මේ මොකද ඒ පාර මූ කියන්න එන්නෙ?.....දෙයියෝ සාක්කි අයියයි නඟයි එකතු වෙලා මාව ඔල්මොරොංදං කරන්නද මේ හදන්නෙ?....ඇයි දෙයියනේ කියන දෙයක් තේරෙන්න කියාපල්ලකො...දෙන්නම එකයි......චුට්ටි අරහෙ අයියට කියන්න එපා කියල අඬනව..මූ චුට්ටි ගැන දුකයි කියනව.....අයියට හපං නංගි, නංගිට හපං අයිය.....

මට තවත් ඉවසාගෙන ඉන්නම බැරි උනා.... '' මොකක්ද වසා ඒ කතාව ඇයි නංගි ගැන දුකයි කිව්වෙ? ''

'' මචං මම මේක කිව්වයි කියල උඹ චුට්ටි එක්ක කියන්න එහෙම එපා.....''

'' වසන්ත .....පුතා, කවද්ද ළමයො ආවෙ?.....'' කළුවරේම ඇහිච්ච ඒ හඬට අපි දෙන්නම හැරිල බැලුව.....

'' මම අද උදේ මාමෙ ආවෙ.......මේ මගෙ හොඳම යාලුවෙක්....නම රවි....මචං මේ අපේ ලොකු මාම....අප්පච්චිගෙ ලොකු අක්කගෙ මහත්තය....''

ෂෙහ් අම්මප මේ මාමත් හරියට මේ වෙලාවටම මෙතනට කඩාපාත් උනා නෙව...වසන්ත චුට්ටිගෙ විස්තරේ කියන්ට හදනකොටම....අර හෙනහුරාගෙ පාත්තරේට හිඟන්න වැටුනහෙ...මම හිත ඇතුලෙං දත්මිටි කන ගමං මාම එක්ක හිනා උනා.....

'' මේ ළමය කොයි පළාතෙද?''

'' මම නුවර මාමෙ.....''

'' ආ, එහෙමද මමත් මුල් පත්වීම අරං උගන්නන්ට ගියේ පූජපිටියෙ ඉස්කෝලෙට....'' මාම පත්වීම ලියුම ලැබුණු වෙලාවෙ ඉඳල විස්තරේ අකුරක් නෑර කියන්ට පටං ගත්ත.උඹ මොන තූත්තුකුඩියට පත්වීම අරගෙන ගියත් මට මොකද යකෝ?....කියල යටි හිතිං කිය කිය මම විස්තරේට ඇහුං කං දුන්න ..වෙන මක් කරන්නද?

අපි තෙත රෙදි කාරිය ඔතාගෙන ආපහු එන්ට පිටත් උනා...මෙන්න බොලේ මාමත් අපෙ පස්සෙ වැටුන.

'' මාම මේ කොහෙද යන්නෙ? '' වසන්ත ඇහුව. ටෝච් එක පාර පුරා වනන ගමන්..... '' සර්පයො ඉන්නව මචං පරිස්සමින් '' ඒ එක්කම මා දිහාට හැරිල කිව්ව.

'' යමු පුතේ.... උඹල හම්බ උන එකත් හොඳයි මේ වෙලාවෙ, මට උඹලගෙ අර ගේ පිටිපස්සෙ මුරුංග ගහෙං පොතු ටිකක් ඕන මේ බෙහෙතකට..''

ආය ඉතිං අහවල් චුට්ටි ගැන කතාද?....මාම ගෙදරට එනකල් හුස්මක් කටක් ගන්නෙ නැතුව එයාගෙ විස්තරේ කිව්ව. වසන්තයි මායි නිස්සද්දවම ආව.

ගෙදර ඇවිත් තෙත රෙදි වැලට දාපු ගමන් වසන්ත කඩේ යනව කියල ගියා බයික් එකේ... '' මචං මම සෝඩ මොනව හරි අරගෙන එන්නම් '' යන්ට කලින් මගෙ කණට කරල කිව්ව.

මුරුංග පොතු ටික ගලවගෙන මාම ඉඳගත්ත සාලෙ වේවැල් පුටුවක සනීපෙට. ඒ කරල ආයෙම විස්තරේ කියන්ට පටං ගත්ත.මම තමයි අහු උනේ බෙල්ල මුලිංම. මොනව කරන්ටද?....හා හූ කිය කිය අහගෙන හිටිය.චුට්ටි විඩෙං විඩේ සාලෙ දොර ගාවට ඇවිල්ල මා දිහා බලල අතිං කට වහගෙන මට ඔලොක්කුවට හිනාවෙලා ආපහු කුස්සියට දුවනව. මට ඔක්කොටම වැඩිය කේන්තිය ඒකට.

'' යද්දාවෙකො මාම මම උඹව අල්ලගන්ට'' මම හිතිං එහෙම කිව්ව.

'' දැං පුතා ඒ දවස්වල ඔතන කටුගස්තොට පාලම තියනව නේද?.........''

'' ඔව් මාමෙ '' මම හූ මිටි තිබ්බට ඇස් දෙක දොර ගාව.

ආයෙම පාරක් චුට්ටි දොර ගාව ඇස් දෙකේ හිනාව උතුරනව.....අනෙ අම්මප මට අහු උනොත්.... දනී මම.....

'' හතලිස් අටේ නිදහස් උත්සවේ......'' මාම තවම කියවනව.

'' රවි අයිය ඔය පරණ විස්තර දැනගන්ට හරිම ආසයි ලොකු මාමෙ....'' මෙන්න ඒ විඩේ මේකි තේ එකකුත් අරගෙන එන ගමන් කියාපි. අනෙ අම්මප මේ අම්මණ්ඩි කෑවම හිත් වදිනවද?

මගෙ කටත් අරුණ බාගෙට. ඒක දැකල චුට්ටි පිපිරෙන්ට තනන හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්...මේකි තමයි දවසකටවත් ගෑණි.....මගෙ හිතේ චුට්ටි ගැන තියෙන බැඳීම මොහොතිං මොහොත වැඩි උනා. මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වාගෙ කෙල්ලක්.ටිකක් පිස්සුවක් වගෙ තියන, අර නුහුගුණේ කියන්නෙ අන්න ඒ ජාතියෙ...ඔය රෑ දවල් දෙකේම ජීවිතේ මහ බර පතලට ගන්න ෆුල් සීරියක් කෙල්ලො මට අරහං.

'' රවි අයියටත් ඕනය තේකක්....''

'' මට එපා'' මම දත්මිටි කාගෙන කිව්ව...ඒ පාරනං කෙල්ල රතුම උනා හිනාව නවත්තගන්ට බැරුව.

චුට්ටි එපා කිව්වත් මම වසන්ත එක්ක මේ ගැන කතා කරනව....පිටුපාල කුස්සිය පැත්තට යන ගමනුත් පස්ස හැරි හැරි කොමල කරන චුට්ටි දිහා හිනාවේගන බලා ඉන්න අතරෙ මම එක හිත් හිතා ගත්ත.


මතු සම්බන්ධයි.... ( හරි හරි ඉවසල ඉන්න , ඉවසල ඉන්න....අවසානෙ මේ පේන දුර......ඊමමයි....අනේ ඇත්තමයි )

Tuesday, January 17, 2012

84. ආදර....නිල්.....දෑසේ.......6 - When I held her in my arms the whole world came to a standstill




'' මම ? ''

'' වෙන කවුද ඉතිං ඔයා තමයි....'' අත් සෝදන්න සින්ක් එක ළඟට එයා ආව.සින්ක් එක තිබුනෙ මම ඉන්න ළඟමයි.

'' කවුද කිව්වෙ?.....'' උත්තරේ දැනගෙනමයි මම ඇහුවෙ...ආයෙ වෙන කවුරු කියන්නද.....

" වසන්ත එයාගෙ නම මොකක්ද බං?" චුට්ටි ඇදල පැදල රහසක් කියනව වගෙ කිව්වෙ හොරැහින් මගෙ මූණ බලන ගමන්,

" කාගෙද?"....එදා වසන්ත අහපු විදිහට මම ඇහුවා.

" උඹලගෙ චුට්ටි නංගිගෙ" ....චුට්ටිත් ඇරියෙ නෑ.....

" චුට්ටි නංගිගෙ?.....ගීතිකා.......'' මම කිව්ව...කියල හිනාවුනා මහ හයියෙන්. චුට්ටිත් හිනා උනා මා එක්කම. ඒත් එක පාරට ස්විච් එකක් ඕෆ් කලා වගේ ඒ හිනාව මඟ නැවතුනා. මගෙ හිනාවත් ඒ එක්කම නැවතුනා.

'' වසන්ත ඔය ඔක්කොම ඇවිල්ල කිව්වද?....මේකා තියන්ට වටින්නෙ නෑ....'' නිහඬතාවය දරාගන්ට බැරිම තැන මම කිව්ව.චුට්ටි අත සෝදල ඉවර උනාට එතනින් ගියේ නෑ.

'' ඒ සැරේ ගෙදර ආවම පොඩි අයිය මට ඔයා ගැන ඔක්කොම විස්තර කිව්ව.පොඩි අයිය මට හැම දෙයක්ම කියනව....මට හරිම ආදරෙයි...අපි දෙන්න ඉන්නෙ හොඳ යාළුවො වගෙ... '' ඒ හඬේ තිබුනෙ අමුතුම හැඟීම් බර ස්වරයක්.

'' ඉතිං?''

'' පහුගිය අවුරුද්දක් වගෙ කාලෙදි මම හැමදාම අයිය ගැන හිතුව. '' අත් පිහදාන්ට ගත්තු පරණ තුවාය අඹරවමින් චුට්ටි කිව්වෙ බිම බලාගෙන.

මගෙ උගුර කට නිකම් වේලුනා වගේ උනා.පපුවෙන් පටන්ගත්තු මෙතෙක් කාලෙකට නොවිඳපු අමුතුම හැඟීමක් මගෙ ඉස් මුදුනෙ ඉඳන් දෙපතුල දක්වා වෙලා ගත්ත. ඇත්තම ආදරේ කියන්නෙ මේකද?....මේ හැඟීමද?....මම දැනගෙන හිටියෙ නෑ...මම දැනගෙන හිටියෙ එක දෙයයි...නෑ ඇත්තටම නම් දෙකයි...එක.මට කවදාවත් මෙහෙම හැඟීමක් ඇති වෙලා නෑ...දෙක ඒ හැඟීමට මම හරිම ආසයි...හරියට අහසෙ පාවෙලා යන්න වගෙ සැහැල්ලුවක් මට දැනුනා ඒ වෙලාවෙ.මුළු ලෝකෙ වෙන කිසිම දෙයක් මට වැඩක් නෑ....චුට්ටියි මමයි විතරයි මේ ලෝකෙම ඉන්නෙ...ඔන්න ඔහොම හැඟීමක් මට ඒවෙලාවෙ දැනුනෙ...

'' අයිය මා ගැන හිතුවෙ නැද්ද?''

'' හැම දවසකම නංගි, හැම දවසකම.....ඒත් මට හිතුනෙ මගේ ඉරණම අනුව මට ඔයාවත් ඔයාට මාවත් ලැබෙන්න තියනව නම් ඒක කොහොම හරි වෙයි කියල. මගේ හිතේ ඒ විශ්වාසෙ තිබුන ගලේ කෙටූ අකුරක් වාගෙ. සමහර විට ඔයාට හිතෙයි මේ මනුස්සයට පිස්සුද කියල..ඒත් චුට්ටි මම දිවුරල කියන්නම් ඒක තමයි ඇත්ත.''

'' දිවුරන්න ඕන නෑ අයියෙ...මම දන්නව ඔයා කියන්නෙ ඇත්ත කියල....මම පහුගිය කාලෙම ඔයා ගැන හිතුව...පොඩි අයියට ඔයාට වඩා කෙනෙක් නෑ. ගෙදර ආවොත් ඔයා ගැන මොනව හරි කියාගෙන තමයි එන්නෙ. ඒ විස්තර නිසාම මට නිකම් හැඟීමක් ආව ඔයා මට මීට කලින් කොහෙදි හරි හම්බ වෙලා තියනවයි කියල අයිය පෙර ආත්ම ගැන විශ්වාස කරනවද?''

'' මම විශ්වාස කරන්නෙත් නෑ..නැත්තෙත් නෑ...හරියටම කියනව නම් මම ඒ ගැන ඉන්නෙ open mind එකකින්. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්...ඒ මගේ අදහස.''

'' මමත් ඒ විදිහටමයි හිතන්නෙ...ඒත් අයිය ගැන මගේ හිතේ මෙච්චර ලෙංගතු කමක් ඇති උනේ ඇයි කියන එකට උත්තරයක් විදිහට මට හිතාගන්න තියෙන්නෙ අපි දෙන්න අතර සංසාරගත බැඳීමක් තියෙන්න ඇති කියල විතරයි.''

'' ඉතිං ඔයා එහෙම මා ගැන හිතුවනම් මීට කලින් අපි මුණගැහුනොත් හොඳයි කියල හිතුනෙ නැද්ද? '' මේ වෙනකොට කර කර හිටපු වැඩේ නවත්තල දාල මමත් චුට්ටි ළඟටම ගිහිල්ල හිටියෙ.

'' ඒකම තමයි ප්රශ්නෙ අයියෙ.....එහෙම මුණගැහෙන එක හොඳද නැද්ද කියන ප්රශ්නෙට උත්තරයක් හොයාගන්න තමයි මම පහුගිය කාලෙම උත්සාහ කලේ. අන්තිමට මම හිතුව වෙන දෙයක් උනාවෙ. තවත් මට මේ දෙගිඩියාව විඳින්න බෑ කියල..ඊට පස්සෙ මම තමයි පොඩි අයියට කිව්වෙ අයියට අපෙ ගෙදර එන්න කියන්න කියල.''

'' අයිය පළවෙනි පාරට දැක්ක වෙලාවෙ මට මොනව උනාද කියල මමම දන්නෙ නෑ අයියෙ.ජීවිත කාලයක් පෙරුම් පුරපු බලාපොරොත්තුවක් ඉෂ්ඨ උනා කියලයි මට හිතුනෙ. මම අර ඒ වෙලාවෙ කිව්ව ටික කිව්වෙ අවසිහියෙන් වගෙ.....'' චුට්ටි ඔලුව උස්සල එයාගෙ නිල් පාට ඇස් වලින් මා දිහා ඇහිපිය නොහෙල බලා හිටිය.

' ඒ කිව්වෙ නංගි, ඔයා ඒ කියපු දේවල් වලට දැන් පසුතැවෙනවද?''

'' අනේ නෑ අයියෙ පිස්සුවෙන් වගෙ උනත් මම ඒ කිව්වෙ ඇත්තම ඇත්ත.මගෙ පපුව පුරා පිරිල ඉතිරිලා යන හැඟීම්.''

මට තවත් ඉවසලා ඉන්න පුළුවන් උනේ නෑ. මම හෙමිහිට එයාගෙ උරහිස් අල්ලගෙන ඒ නිල් දෑසට එබුණා.චුට්ටි වැඩිය උස නෑ.මම නැවිල එයාගෙ නළල හෙමිහිට සිප ගත්ත.එයා මගෙ පපුවට තුරුළු උනා. මම ආයෙම එයාගෙ හිස අත ගාන ගමන් නලලත සිප ගත්ත.චුට්ටි ආයෙම අඬන්ට පටන් ගත්ත.

'' ඔන්න ඉතිං ආයෙම අඬනව....ඇයි චුට්ටි? මට කියන්න මොකද අඬන්නෙ කියල...''

උත්තරයක් නොදී එයා හෙමිහිට ඉකි බින්දා....ආයෙම අහල තේරුමක් නෑ කියල මට හිතුන නිසා මම එහෙම්මම එයාගෙ ඔළුව අතගාමින් හිටිය ඉකිබිඳුම නවතිනකල්.

'' අයිය එයි...'' චුට්ටි මගෙ පපුවට රහසින් කිව්ව. ඒ උනාට මට තවත් තුරුළු උනා මිසක ඈත් වෙන්න උත්සාහ කලේ නම් නෑ.

'' මම වසන්තට කියන්නද මේ ගැන? ....'' මම හෙමිහිට ඇහුවා.

'' එපා......'' චුට්ටිගෙන් ඒ වචනෙ පිට උනේ වෙඩි සැරයක් වගේ. ඒ එක්කම එයා මගෙන් ඈත් උනා.

'' අනේ අයියෙ පොඩි අයියටනම් කියන්න එපා...ප්ලීස්.''

මතු සම්බන්ධයි....

Monday, January 16, 2012

83. ආදර....නිල්.....දෑසේ.......5 - Love would come whispering and knock you over once & for all,

මුල් කොටස.....

දෙවන කොටස......

තෙවන කොටස.......

සිව්වන කොටස.....

'' චුට්ටී....මොකද අප්ප කරන්නේ? '' වසන්ත කුස්සිය දිහාට හැරිල කෑගැහුව.

මම එතනම බාගෙට ඇරල තිබුනු ජනේලෙන් මිදුල දිහාබලාගෙන මගෙ හිත පාලනය කරගන්න හැදුවා. මොන?.....යකාගෙ කම්මලට කඳුළු ගෑස් ගැහුවට හපං.....සිතුවිලි කෙල කෝටියක් විතර හිත ඇතුලෙ එහෙ මෙහෙ දඟලනව, නටනව, උඩ පනිනව, එක වැඩයි...මේක හරි යන්නෙ නෑ...වසන්තත් මම දැක්ක දෙතුන් පාරක් මගෙ දිහා හොරැහින් බලල අහක බලා ගන්නව.මගෙ මූණ බලන ඕනම කණෙකුට උනත් තේරෙනව මොනව හරි ලොකු අප්සෙට් එකක් නම් තියනවමයි කියල.

හිත සන්සුන් කරගන්න මම දන්න නොවරදින ක්රමේ අනුගමනය කලා බැරිම තැන. ඇස් පියාගෙන හුස්ම ඉහලට අරං පපුව පුරහම පුරවාගෙන පුලුවන් තරම් අල්ලගෙන ඉඳල, හෙමිහිට ආපහු පිට කරන එක. එක පාරක් එහෙම කලා. දෙවෙනි පාරටත් ඔන්න හුස්ම උඩට ඇදල පපුව පුරවාගෙන හෙමිහිට හිතින් ගනන් කලා.....එකයි දෙකයි....තුනයි...එච්චරයි මට ගණං කරන්න ලැබුනෙ.....

'' රවි අයිය තේ එක බොන්න,''

මගෙ ඉස්සරහම කනේ තිබ්බ වගෙ ඇහුණෙ ඒ චුට්ටිගෙ කටහඬ...

ඇස් ඇරිය ගමන් දැක්කෙ මම ඉස්සරහ ට්රේ එකක්...ඒක උඩ තේ කෝප්ප දෙකක්.....ට්රේ එක අල්ලගෙන ඉන්න චුට්ටිගෙ අත් දෙකේ ඇඟිලි වලින් පටන්ගෙන මගෙ ඇස් එයාගෙ අත් දිගේ ඉහලට ගිහිල්ල ඒ නිල් ඇස් ළඟ ආයෙම නැවතුනා.

දැන් මොහොතකට කලින් අඬපු සළකුණක්වත් ඒ ඇස් වල තිබුනෙ නෑ. ඒ ඇස් මා එක්ක හිනාඋනා. ඇස් වලින්ම චුට්ටි තේ කෝප්පෙ ගන්න කියල මට ඉඟි කලා. මම එයාගෙ ඇස් දිහාවෙ බලාගෙනම තේ කෝප්පෙ ගත්තා.

'' පොඩි අයියෙ බත් එක නම් හරි, තව අල හොද්දක් හැදුවා. බටු බැද්දා, චිකන් එකයි ගොටු කොළ සම්බෝලෙයි හදන්න තියනව.''

'' හරි අපි දෙන්න ඒක කරන්නම්...රවි ඇති නේද මචං?'' වසන්ත මා දිහා බැළුව.

'' ඇති බං ආයෙ මොනවද ඔය මදෑ.....''

තේ බීල අපි දෙන්නත් කුස්සියට ගියා.චුට්ටි කුස්සියෙ ලිප ළඟ ඉඳල මා දිහා බලල හිනාවෙලා ආපහු ලිපේ තිබ්බ මොනව හරි හැඳි ගාන්න ගත්තා.

'' වසා දීපං මම මස් එක හදන්නං '' මම වැඩේ බාරගත්ත.

‘’ රවි අයියට පුළුවන්ද?.....'' චුට්ටි යන්තම් ඔළුව හරවල මා දිහා බලල ඇහුව.

‘’ අය මොනවද?....මට බැරි දෙයක් තියෙනවද, නංගි......හෙහ්, හෙහ්,..... මම මස් අංශයෙ වැඩේ කරන්නම්.....වසන්ත උඹ ගොටුකොල සම්බෝලෙ හදපං හරිද?...''

'' හරි, මම ඒක කරන්නම්,''

කුස්සියෙ මේස දෙකක් තිබ්බ...ලිප කිට්ටුවම තිබ්බ මේසෙ උඩ තියාගෙන මම වැඩේ පටන් ගත්ත.

චුට්ටි ලිප ළඟ මට අඩි තුනක් විතර එහායින්.ඔලුව යන්තම් හැරෙව්වම එයාගෙ මූණෙ ප්රොෆයිල් එක යස අගේට පේනව. ගින්දර සැර වැටිල සුදු මුහුණ රතු වෙලා. මම බලා ඉන්නව කියල කෙල්ල දන්නව.ලිප දිහාම බලාගෙන හොද්ද හැඳි ගෑවට කෙල්ලගෙ මූණෙ හීන් හිනාවක් තිබ්බ දිගටම නොමැකී.

වසන්ත ගොටු කොල මිටිය සුද්ද කරන්නෙ අපිට පිටුපාල, කුස්සියෙ තිබ්බ අනික් මේසෙ ලඟ ඉඳල. ඒ නිසා මට හිතේ හැටියට චුට්ටි දිහා බලා ඉන්න පුළුවන් උනා.ටිකකින් කෙල්ල ඔළුව හරවල මා දිහා බැලුව. පස්ස හැරිල වසන්ත දිහාවෙත් බලල එහෙම ආයෙම මගෙ මූන බලල ''බලාගෙන, අත කැපෙයි" කියල හඬ නොනැගෙන්ට දෙතොල් වලින් කිව්ව.ඒ කරල ආයෙම හිනා උනා. '' කමක් නෑ, කැපිච්චාවෙ'' මමත් තොල් වලින් විතරක් කිව්ව.

'' නංගි, එනසාල් කුරුඳු එහෙම තියනවද?.....'' වසන්ත ඇහුවම චුට්ටි ඒ දිහාට හැරුනා.

'' එනසාල් නම් ඉවරයි මම හිතන්නෙ අයියෙ.... ඉන්න බලන්න ''

මම හිටපු මේසෙ ලඟම බිත්තියෙ රාක්ක ගහල ඒවයෙ තමයි තියල තිබ්බෙ කුළුබඩු අනම්මනම් දාපු ටින්.චුට්ටි මගේ ළඟට ආව.

'' අයියෙ අර රතුපාට ලේබල් එකක් ගහපු ටින් එක අරන් දෙනවද? ''

'' මේකද? ''

මම එයාහෙ අතට ටින් එක දෙද්දි අපේ අතැඟිලි එකට ගැටුනා.... ඒ මුල්ම වතාව.....මේ වෙලාවෙ නම් චුට්ටි රතු උනාද කියල මට හරියටම කියන්න බෑ, ගින්දර රස්නෙට කොහොමත් එයාගෙ මූන රතු වෙලා තිබුණු නිසා.

'' එනසාල් එහෙම නම් ඉවරයි පොඩි අයියෙ.....''

'' ඉන්න මම පටස් ගාල ගිහිල්ල අරගෙන එන්නම්,....රවී, මචං මම මේ ළඟ කඩයක් තියනව ඒකට ගිහිල්ල එන්නම් '' වසන්ත එහෙම කියල කුස්සියෙන් පිට උනා.

'' එනසාල් ඇත්තටම ඉවරද චුට්ටි?...'' විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවයට පස්සෙ මම ඇහුව.

' ඇයි මම බොරු කියන්නෙ මොකටද? ''

'' නෑ, ඉතිං මට නිකමට හිතුන......හෙහ්, හෙහ්,''

ටිකකට කලින් අර විදිහට ඇඬුවෙ ඇයි කියල අහම්දෝ නාහම්දෝ කියල මම ආයෙම කල්පනා කලා. කමක් නෑ එයාම කිව්වනෙ මගෙන් ඒ ගැන අහන්න එපා ප්ලීස් කියල ඒ නිසා මම අන්තිමට තීරණය කලා මේ වෙලාවෙ ඒ ගැන නාහ ඉන්න.

'' රවි අයිය තිසා වැවේදි දවසක් ලස්සනට සිංදුවක් කිව්වලු නේද? '' ලිපේ තිබ්බ හොද්ද බාන ගමන් චුට්ටි ඇහුව.

මතු සම්බන්ධයි....( මහ එපාම කරපු වචනෙ තමයි මේක...ඒත් මොනව කරන්නද, නැතුවම බැහැ අනිත් අතට...හෙහ්, හෙහ් )

Wednesday, January 11, 2012

82. ආදර....නිල්.....දෑසේ.......4 - Enigma was her middle name......

මුල් කොටස.....

දෙවන කොටස......

තෙවන කොටස.......

තිසා වැවේ වැව් බැම්ම.....ආදර නිල් දෑසේ.........විමානයේ කවුළු දොරින් නෙත් හී සැර විදලා.....කුමාරියක් කතා කරයි කාටද අත වනලා.....අවුරුද්දකට විතර ඉස්සෙල්ල....හිතේ ඇඳිච්ච ඒ රූපෙ.....

චුට්ටි ඇඳල හිටියෙ එක්කො රතුයි සුදුයි ඉරි වැටිච්චි එහෙම නැත්නම් කොටු වැටිච්චි ෂර්ට් එකක්....ස්කර්ට් එක මට මතක විදිහට කලු පාටයි.කුස්සියෙ ඉඳල ආව නිසා වෙන්න ඕන මූණ පුරා දාඩිය බිංදු.....තුවායක් වගෙ මොකක්ද එහෙකිං මූණ පිහ පිහ ආවෙ.

මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ විස්තර මට මතක තියන එක නෙව පුදුමෙ...එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ හදවතට සමීප ඒ වගෙ සිද්ධීන් මතක තියෙනව ගලේ කෙටු ඉරක් වාගෙ....

චුට්ටි සාලෙ දොර ළඟ නතරවෙලා ඔළුව උස්සල මගෙ දිහා බැළුව....දෙයියෝ සාක්කි....ඇත්තම නේන්නම්...එයාගෙ ඇස් නිල් පාටයි.....




අපි දෙන්නගෙ දෑස් මුල් වරට හමු උනු ඒ මොහොත මට තාම මතකයි.මූණ පිහදාපු තුවාය හරි මොකක් හරි එක පාතට දාල එයා මා දිහා බැලුව. මම එයා දිහා බලාගෙනම එතන තිබුණු පුටුවක ඇන්ද අල්ල ගත්ත. එහෙම්මම අපි දෙන්නම ගල් උනා.එයාගෙ කන් දෙකට ලේ පුරාගෙන එනව මම දැක්ක. බෙල්ල පහුකරල උරහිස් දිහාවටත් ඒ රත් පැහැය විහිදුනා.මගෙත් මූණ රතු වීගන එනව මට තේරුණා.ඒත් ඇස් අහකට ගන්න බැරුව අපි දෙන්නම එහෙම්මම හිටිය මූණෙං මූණ බලාගෙන....

'' මචං මම බයික් එක හෝදගෙන එන්නම්......චුට්ටි, රවියට තේ එකක් එහෙම දෙන්න....'' වසන්ත එහෙම හෙමිහිට කියල එතනින් යනව මට යාන්තමට වගෙ මතකයි......

කල්ප කාලාන්තරයක් වගෙ දැනිච්චි මිනිත්තුවක් දෙකක් වගෙ කාලෙකට පස්සෙ '' ඇත්තම තමයි......'' මම කිව්වෙ රහසක් කියන්න වගේ

'' මොනවද?...'' ......චුට්ටිත් කතාකලේ ඒ විදිහටමයි.

'' ඔයාගෙ ඇස්......''

'' ඉතිං?......''

'' නිල්ම නිල් පාටයි....''

'' ඒක බොරුවක් කියලද හිතුවෙ?.....'' දොර ගාවින් ඉස්සරහට එන ගමන් එයා ඇහුව. පොඩි හිනාවක් දෙතොලෙ නැටුව.

'' නෑ එහෙම්මමත් නෑ.....'' මම පුටු ඇන්ද අතඇරල වට පිට බැළුව.

'' කෝ මේ වසන්ත?....කොහෙට ගියාද?...''

'' හිකිස් ....'' චුට්ටිට හිනාවක් පැන්නා.

'' කොයි ලෝකෙද හිටියෙ? අයිය බයික් එක හෝදන්ට යනවයි කියල ගියා මතක නැද්ද?''

'' මේ ලෝකෙ නම් නෙවෙයි තමයි පහුගිය මිනිත්තු පහ හය හිටියෙ.....'' මම ආයෙම එයාගෙ ඇස් දිහාවෙ බලාගෙන හෙමිහිට කිව්වා....

ආයෙම එයා රතු උනා...හෙහ්, හෙහ්, මෙයා පටස් ගාල රතු වෙනවනෙ.....රතු උනාම තවත් ලස්සනයි......

ජීවිතේ හාපුරා කියල මුණ ගැහිච්චි කෙල්ලෙක් එක්ක විනාඩි පහක් ඇතුලත මේ වගෙ සමීපව කතා කලේ කොහොමද කියන එක පස්සෙ හිතල බලනකොට මටම පුදුමයි.ඒත් චුට්ටි එක්ක කතාකරන්න මට එහෙම අපහසුවක් දැනුනෙම නෑ. මට හැඟුනෙ අපි දෙන්න අවුරුදු ගානක් ආශ්රය කලා කියලයි.චුට්ටි කතා කරපු විදිහෙන් එයාටත් එහෙමම හැඟුනු බව මට පැහැදිලිවම තේරුණා.

'' අයිය ඉඳගන්න,මම තේ එකක් හදාගෙන එන්නම්,''

'' අය අහවල් තේ....අපි අතන ජෑම් ගහ ළඟ කඩෙන් තේ බීල ආවෙ, ඔයත් ඉඳගන්නකො, මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනව,''

'' මට නම් කිසිම දෙයක් නැහැ අයියට කියන්න....'' චුට්ටි මම ඉස්සරහ වේවැල් පුටුවක වාඩිවෙලා දෑතම උකුලට අරගෙන මා දිහා ඔලුව උස්සල බලල ආයෙම බිම බලාගත්ත.

'' ඒ කිව්වෙ නංගි?......'' මගෙ කටහඬ එක පාරටම උස් උනේ මම නොදැනුවත්වම...

'' මට හිතෙන්නෙ මම අයියට කියන්න ඕන දේවල් ආත්ම ගානකට ඉස්සරවෙලා කියල ඉවර කලයි කියල.....'' ඒ ටික කිව්වෙ නම් බිම බලාගෙන...

'' ඔයාට නංගි එහෙමද හිතෙන්නෙ?......'' මම ඇහුවෙ රහසින් වගේ.

'' ඔව් ඒත් ආයෙම කියන්න ඕන කියල අයිය හිතනව නම් ,අහගෙන ඉන්න ලෑස්ති නම් මම ආයෙම කියන්නම්......'' එයා කිව්වෙ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහිපිය නොහෙලා.

'' කියන්න ගීතිකා, මම ලෑස්තියි අහන් ඉන්න, මේ ජීවිත කාලෙම මදිනම් ලබන ආත්මෙ...ඒත් මදිනම් මුළු සංසාරෙම මම ලෑස්තියි අහගෙන ඉන්න...ඔයා කියන්න....''

ඒ ටික කියල මම බිම බලාගත්ත තව දුරටත් එයාගෙ දෑස් දිහාවෙ බලන් ඉන්න මට ශක්තියක් තිබ්බෙ නෑ.

සිහින් ඉකි බිඳුමක් ඇහිල මම එක පාරට ඔළුව උස්සල බැලුව.

'' නංගි, ඇයි මේ?.... මම මොකුත් වැරදි දෙයක් කිව්වද? ''

ඉකි බිඳුම් අතරින්ම එයා කතාකලා...'' නෑ අයිය කිව්වෙ හරිම දේ, අවංකවම කියල මම දන්නව, ඒකයි මට දරාගන්න බැරි.....මගෙන් මීට වඩා මොකුත් අහන්න එපා...ප්ලීස්......'' චුට්ටි නැඟිටල දුවගෙන ගියා ගේ පිටිපස්ස පැත්තට.

මමත් නැඟිට්ට. නැඟිට්ට නෙවෙයි මට නැඟිට්ටවුනා. ඒත් මම ආපහු එහෙම්මම ඉඳගත්ත.

විනාඩි දහයක් පහලවක් ඇතුලත මේ වෙච්ච දේ මොකක්ද කියල හිතාගන්න බැරුව මම එහෙම්මම පුටුවෙ ඉඳගෙනම හිටිය.

බයික් එකේ සද්දෙ ඇහිල මම පුටුවෙන් නැඟිටල එලියට යනකොට වසන්ත අඹ ගහ යට බයික් එක නවත්තල බැහැල එනව.

'' ඒයි මොකද බං කරන්නෙ?....උඹ තේ එකක් වත් බිව්වද?....කෝ චුට්ටි? '' වසන්ත මගෙ කරට අත දා ගන්න ගමන් ඇහුව.

'' තේ හදන්නද කොහෙද කියල ඔන්න කුස්සිය පැත්තට ගියා. '' මම ඒ ටික කොහොම කියාගත්තද මන්ද...මගෙ කටහඬේ අමුත්තක් තේරිලද කොහෙද වසන්ත හැරිල එක පාරට මගෙ මූණ බැලුව. මම හෙමිහිට අහක බලා ගත්ත.


මතු සම්බන්ධයි........

Monday, January 9, 2012

81. ආදර....නිල්.....දෑසේ.......3 - When dreams are about to become a reality.....

මුල් කොටස.....

දෙවන කොටස......

සෙනසුරාදාවක්.....

දවල්ට කාල එහෙම කෑම්ප් එකෙන් පිටත් වුනු මම හවස හතර වගෙ වෙනකොට වසන්තලගෙ ගෙවල් කිට්ටුවෙන් බැස්ස.....වසා බහින තැන කියල තිබුනු නිසා අවුලක් උනේ නෑ, කොන්දොස්තර මලය මාව බැස්සුව නියම තැන.

ඔය කාලෙ මගෙ තිබ්බ පරණ හමගිය ලෙදර් ට්රැවලිං බෑග් එකක්, නුවර මාකට් එකෙන් ගත්තෙ ඒ දවස්වලත් බර ගාණක් උනා, නියම ඔරිජිනල් ලෙදර් එක.... පරණ වෙන්න වෙන්න එනව අමුතුම ක්ලැසික් ලුක් එකක්...ලීවයිස් ඩෙනිම් වගෙ තමයි, මගෙ මේ බෑග් එක අපෙ යාළුවො අතර මාරම ජනප්රියයි,මට ඕන උනාම බෑග් එක හොයාගෙන කෑම්ප් එක පුරහම ඇවිදින්ට වුනු වාර අනන්තයි අප්රමාණයි ඔන්න කොටින්ම කිව්වොත්.

ඉතිං මගෙ ඔය ක්ලැසික් ගමන් මල්ලත් කරේ දමාගෙන මම බැස්ස බස් එකෙන් ආයෙ මොනවද ලෝඩ් බකිංහැම් වගෙ....

පාර අයිනෙ පොඩි තේ කඩයක්.....ඉස්සරහ මහ විසාලෙට පැතිරිච්ච ජෑම් ගහක්, ගහේ මුල වටේට පරණ ලොරි ටයර් එකක්, ඒ එක්කම ගහ යට ගඩොලින් බැඳපු කණු දෙකක් උඩ පිට ලෑල්ලක් තියල හදපු ලී බංකුවක්,...බංකුවෙ ඉඳගෙන හිටියෙ වසන්ත...

'' අම්මට උඩු උඹ ආව එහෙනම්....හෙහ්, හෙහ්, උඹව දැකපු කල් මචං....'' වසන්තය එතනම මාව බදා ගත්ත.....ආයෙ මොනවද ඉතිං මයෙ ප්රාණසම මිත්තරය නෙව......

'' වරෙං වරෙං පෙලේන්ටියක් ගහලම යමු.''

'' ඒයි මල්ලි අපිට ප්ලේන්ටි දෙකක් දාපං.....'' කඩේ කොල්ලට කෑගහල කියල වසන්ත බංකුවෙ ඉඳගත්ත......මමත් ඒ ළඟින් ඉඳගත්ත, මූ මහත් වෙලා......පොඩි රැවුලකුත් වවල.....හෙහ්, හෙහ්,

'' අඩේ උඹට අල්ලල ගිහිල්ල වගේ අලුත් රස්සාව.....මස් ඩිංගක් එහෙම දාල තියෙන්නෙ ඇඟ පතට,''

'' හෙහ්, හෙහ්...ටිකක් මහත් උනා තමයි මචං.....හවසට හවසට රවුමක් දෙකක් දුවල වත් ඇඟ බස්ස ගන්න ඕන......ඒයි මල්ලි ඔය පරණ වෙච්ච වඩේ එහෙම තියනව නම් අරං වරෙං...පුරා විද්යාවෙං ඇවිල්ල අත් අඩංගුවට ගන්න ඉස්සරවෙලා....'' වසාගෙ කතාවට මට මැරෙන්ඩ හිනා...ඕකගෙ කට ඔහොම්මම තමයි....

කඩේ පොඩි එකා වඩේ පිඟානක් ගෙනත් තිබ්බ බංකුවෙ අපි දෙන්නට මැද, '' ගනිං බං කාපං...'' වසන්ත මට වඩයක් දුන්න.....

'' අඩේ නියම වඩේ මචං.....උම්බලකඩ තියනව මදි නොකියන්ඩ '' මම කිව්ව,

'' වඩේ දහයක් දොළහක් අරං යමු රෑට......වැඩි වෙන එකක් නෑ.....'' වසන්ත මගේ දිහාට හැරිල කිව්වා.

'' මචං...මට අහන්නත් බැරි උනා...කොහෙද උඹෙ මේ විකාර කතා හින්ද මොකවත් මතක තියේය......ජයා කීයටද එන්නෙ? ''

'' අඩෝ ඒක කියන්ඩ බැරි උනානෙ රවියො....ජයා එන්නෙ නෑ මචං....ඊය මට ලියුමක් එවල තිබ්බ...උංගෙ කම්පනි එකේ අලුත් ප්රොජෙක්ට් එහෙකට හදිස්සි ඩ්රෝයිංස් වගයක් අඳින්න් වෙලා....ඌ වීක් එන්ඩ් එකෙත් වැඩ....අපරාදේ....මට උඹල දෙන්න දකින්න පුදුම උවමනාවක් තිබ්බෙ මචං...උඹවත් ආපු එක ලොකු දෙයක්....''

පෙලේන්ටිය ගහල ඉවර වෙලා මම නැග්ග වසන්තගෙ බයික් එකේ පිටිපස්සෙං....මගෙ අසහාය මල්ල දාගත්ත කරට...

තාර පාරෙ කිලෝ මීටරයක් විතර ගිහිල්ල අපි හැරුණ වැලි පාරකට....පාර දෙපැත්තෙම පේන තෙක් මානෙ කුඹුරු, බණ්ඩි පීදෙන කාලෙ.....ලියදි පුරා වතුර පිරිල, කුඹුරු යාය දිහා බලා හිටිය ඇහැකි නොකා නොබී මාසයක්...එච්චර මනස්කාන්ත දර්ශනයක් ඒක.......






බයික් එක එක පාරට පැත්තකට ඇල උනා.... වසන්ත ආයෙම කන්ට්රෝල් කර ගත්ත.

'' යකෝ බලාගෙන,මේකෙ වැටුනොත් එහෙම දනිස් පොල්කටු කඩෙන් තමයි අරන් දාගන්න වෙන්නෙ,'' මම කෑගැහුව. මට හෙල්මට් එකකුත් නෑ...වැටුණොත් එහෙම සොරිම තමා

'' උඹ ඇඹරෙන්නෙ නැතුව ඉඳහංකො එක විදිහකට, අනික ඔය පරණ බෑග් කබල බර වැඩි. මොනවද බං ඕකෙ ඔය හැටි?''

'' මේකෙ මගෙ මොකවත් වැඩිය නෑ බං....උඹලට ගත්ත තෑගි තමයි ඔය බර...හෙහ්, හෙහ්,''

'' හෙහ්, හෙහ්.....හෙහ් '' වසන්තත් මගෙ හිනාවට හවුල් උනා....

'' අද රෑට චුට්ටි උයන්නෙ.....අපි දෙන්නත් චුට්ටිට උයන්ඩ පොඩි සපෝට් එකක් දීල වැවට ගිහිල්ල නාගෙන එමු '' මී හරක් නඩේකට ඉඩ දෙන්න පාරෙ අයිනට කරල බයික් එක නවත්තල වසන්ත කිව්ව.

'' ඈ...ඒ මොකෝ බං.... කෝ අම්මල? ''

'' අම්මයි අප්පච්චියි ගියා මචං ආනමඩුවෙ අපෙ මාමලගෙ ගෙදර...එහෙ අද රෑ පිරිතක්,..... ලොකු නංගි පලවෙනි පාර ඒ එල් ඇණ ගත්තනෙ මේ දවස්වල කුරුණෑගල යාළුවෙක්ගෙ ගෙදර නැවතිල ක්ලාස් යනව. ''

චුට්ටි....ගීතිකා....නිල් පාට ඇස්...ආයෙම මගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත....ආයෙම කිව්වොත් වැරදියි....මේ අවුරුද්දකට කිට්ටු කාලෙදි ඒ ඇස් මගෙ හිතේ පදිංචි වෙලයි හිටියෙ. හිත පුරාම තිබ්බෙ ඒ නිල් පාට ඇස්.....

සමහරවිට මේ කතාව කියවන ඔයාල හිතයි මේ මොන විකාරයක්ද කියල....වැව් බැම්මක අරක්කු බොන ගමන් අහම්බෙන් කියවිච්චි සිංදුවක තිබ්බ වචන තුනක් ගැන ඇතිවෙච්චි කතා බහකදි ඇදිල ආපු මම ජීවිතේට දැකල නැති කෙල්ලෙක් ගැන අවුරුද්දක් තිස්සෙ හිත හිත හිටියයි කියන්නෙ, පිස්සුව.... තරු පහේ එකම තමයි ,කියල හිතුවත් මම ඔයාලට දොස් කියන්නෙ නෑ.....

අනික මේ අවුරුද්දකට කිට්ටු කාලෙ ඇතුලත මම නිකමට වත් එයා ගැන හොයන්න උත්සාහ කලෙත් නැහැ......වසන්තගෙන් මට ඕන හැටිය අහන්න තිබුණ චුට්ටි ගැන....වසා මට බොක්ක උනත් දෙන එකා....ඌ කිසි දෙයක් හිතන්නෙ නෑ...අනික මම වසාට කිව්වනම් මගෙ හිතේ තියන දේ මට සීයට දෙසීයක් සහතිකයි ඌ මට සම්පූර්ණ සහයෝගය දෙනව.....

මේ ගැන පැහැදිළි කිරීමක් කරන්න නම් මා ගැන පොඩ්ඩක් කියන්න වෙනව......... මම ඒ කාළේ ඉඳලම අනික් මිනිස්සු හිතන විදිහට ක්රියා කරන විදිහට නෙවෙයි හිතුවෙ වැඩ කෙරුවෙ. ඒ මගෙ ජන්ම ගතිය.හැම දෙයක් ගැනම මට මගේම අදහස් තිබුන. ඒ අනුව වැඩ කරන්න මම පුලුවන් තරමට උත්සාහ කලා.

ආදරේ ගැනත් මට තිබුනෙ අමුතුම අදහස් මගෙ යාළුවො කිව්වෙ, වීරෙගෙ මඤ්ඤං අයිඩියාස්... කියල.....හෙහ්, හෙහ්,

දෛවය..ඉරණම ඔය වගෙ දේවල් මම විශ්වාස කලා....අපේ සහකරු නැත්නම් සහකාරිය අපිට මුණගැහෙන්න නියම වෙලා තියනව නම් කොහොමත් ඒ දේ වෙනවයි, සසර පතාගෙන ආපු හැටියටයි ඔය ඔක්කොම වෙන්නෙ ..ඔන්න මම හිතපු හැටි....මගෙ ඉවරයක් නැති පොත් බැලිල්ලත් මම හිතන්නෙ මේ අදහස් වලට හේතුවක් උනා.....පොත් වල තියෙන්නෙම ඔය වගෙ කතා නෙව....අදටත් මම ඒ අදහස් අත ඇරල නෑ....රොමෑන්ටිසම් කියන එක ජීවිතයට අත්යාවශ්යයයයි කියලයි මගේ විශ්වාසය.
ඔතන චුට්ටිගෙ වැඩේදිත් මම කල්පනා කලේ එහෙම.......සෙනෙහස මට උරුමනම් මට ලැබෙයි කියලයි.....,අනික ආදරය හිතේ තියාගෙන ඉන්න එක මට සැපතක් උනා ප්රකාශ කරනවට වැඩිය....ලොවටම සැඟවූ මගේ සෙනෙහස....හෙහ්, හෙහ්,

ඔහොම සෙනෙහස හිතේ හිරවෙලා තියනකොට කවි උනත් ලියවෙනව දුන්හිඳෙන් වතුර ගලන්නැහෙ.....

ලොවට සැඟවූ මගේ සෙනෙහස,
කියාගන්නට නොහැකි වූ සඳ,
හදවතේ ඉම්කොණෙක රැඳිලා,
සදා රහසක් වීය ලොවටම,

රුව නොදැක බැඳි මගේ සෙනෙහස,
හඬක් නොඇසී පිරුණු සෙනෙහස,
නීල නෙතු යුග වෙතට බැඳුනේ,
අපරිමිත වූ මගේ සෙනෙහස,

'' මොකද බං බාවනා කරනවද?....බැහැපං බැහැපං ඔන්න ගෙදරත් ආව,''

මම හීනෙකින් ඇහැරල වගෙ වටපිට බලමින් බයිසිකලෙන් බැස්ස. වසන්තලගෙ ගෙදර.....මිදුල මැද ලොකු අඹ ගහක්.....ගහ වටේට ගල් බැම්මක් බැඳල ඒ උඩ මල් පිපිච්ච රෝස පඳුරු ඉන්දපු මැටි පෝච්චි හත අටක්......දාස් දෙන අව්වෙ සැර මැකුනෙ ඈත වෙල්යාය දිහාවෙන් හමාගෙන ආපු හුළඟෙන්,

මම වසන්ත පස්සෙන් ගෙට ඇතුල් උනා...

'' චුට්ටී... '' වසන්ත කෑගහගෙනම සාලෙ මැදින් ගේ පිටිපස්සට ගියා.

මම බෑග් එක ටීපෝ එකක් උඩ තියල වේවැල් පුටුවක ඉඳගත්ත.

සාලෙ වම් පැත්තෙ බිත්තියෙ එල්ලල තිබුන මම හිතන්නෙ වසන්තගෙ පවුලෙ ෆොටෝ එකක්.මම හෙමිහිට ඒ පැත්තට ගියා.

'' රවී මේ තමයි මගෙ චුට්ටි නංගි,''

වසන්තගෙ කටහඬ ඇහුන මගෙ පිටිපස්සෙන්...මම හෙමිහිට ඒ දිහාට හැරුන.

මතු සම්බන්ධයි.......

Friday, January 6, 2012

80. ආදර....නිල්.....දෑසේ.......2 - Living with a mere memory is the hardest

කලින් කියපු කොටස

ගීතය අහවර උනාම පොඩි අත්පොලසන් නාදෙකුත් ලැබුන කිව්වොත් ඒක නයා පාරක් එහෙම නෙවෙයි......අම්මප ඇත්තම ඇත්ත....

කට්ටියම පටන් ගත්ත සාකච්ඡාව නිල් දෑස් ගැන....ඔක්කොමල බමරු වගේනෙ මේ වෙලාවෙ ......හෙහ්, හෙහ්,

" ඔය නිල් ඇස් කියන එක බොරුවක් බං....මම මෙච්චර කාලෙකට දැකල නෑ එක කෙල්ලෙක්ගෙ වත් නිල් පාට ඇස් " ......ඔන්න එකෙක් කිව්ව.

" උඹ දැක්කෙ නැතුවට කොහොමද නෑමයි කියන්නෙ.....නිල් පාට ඇස් තියන කෙල්ලො ඕන තරම් ඉන්නව බං " තව එකෙක් ඒ කතාවට දැඩිව විරුද්ධ උනා...

" ජයන්තිගෙ ඇස් නිල් පාටයි මට ෂුවර්" ....ජයනන්ද කිව්වෙ තණ බිස්සෙ වැතිරෙන ගමන්...මූට නම් වැඩියි වගෙ....උස්සගෙන යන්ඩත් වෙයිද මන්ද....ජයනන්ද ජයන්ති ගැන පොඩි උනන්දුවකින් ඉන්න බව ඒ වෙනකොට අපිට රහසක් නෙවෙයි.

" නිකම් පලයන් ජයා යන්න, කෙහෙල්මල නිල් ඇස්, ඒකිගෙ ඇස් නිල් පාට වෙන්න ඉතිං රොබින් කුඩු ටිකක් දාන්ඩ ඕන ඇස් වලට".....අපි ඔක්කොම කොක් හඬ ලා හිනාඋනා......

කතාවක් බහක් නැතුව ගිටාර් එකේ තත් පිරිමදිමින් හිටපු වසන්ත මේ වෙලාවෙ ඔලුව උස්සල කතා කලා.

" මචං.....අපෙ චුට්ටි නංගිගෙ ඇස් නම් නිල් පාටයි......"

" අනේ පලයන් බං යන්න උඹේ ඇස් බැලුවම හිතා ගත්තෑකි.....හෙහ්, හෙහ්, "

අනික් එවුන් රටේ නැති එව්ව කියන්ට ගත්ත.ඒ අතර බෝතලේ ඉතිරි ටික හැමෝම එකතු වෙලා ඉවරයක් කලා. ඒත් මට ආයෙ බොන්ට හිතුනෙම නෑ.....තිසා වැවේ ඈත කෙලවරේ රත්තරන් පාටට ඉර බැහැගෙන යනව ඇහි පිල්ලම් නොගහ බලා හිටියට මම දැක්කෙ රතු පාට ඉර එළිය නෙවෙයි.......නිල් පාටින් දිළිසෙන ඇස් දෙකක්.....මා දිහාම බලා ඉන්න නිල් පාට ඇස් දෙකක්.....මට මොනවද කියන්න හදන නිල් පාට ඇස් දෙකක්......

ආදර නිල් දෑසේ.......ආදර නිල් දෑසේ......මම හෙමිහිට ආයෙම මිමිණුවා......

" යකෝ ආයෙම ඒක කියන්ඩ ගත්තද? " එකෙක් මගෙ උරහිස අල්ලල හෙලෙව්ව,

මම ඒත් වැඩේ අත ඇරියෙ නෑ.......ටික වෙලාවකින් හැමෝම මට එකතු උනා...

හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිර කරලා.........

ගීතය ඉවර කරල මම හිස් බැල්මෙන් ඈත වැවේ කෙලවර දිහාවෙ බලා හිටියට මම දැක්කෙ මා දිහා බලා ඉන්න නිල් ඇස් දෙකක්.....ඇසිපිය නොහෙලා මා දිහා බලා ඉන්න නිල් ඇස් දෙකක්.....

" හරි යමල්ල යන්ඩ...රෑ වෙන්ඩත් ආව ".....එකෙක් කිව්ව.....ඔක්කොමල නැගිටල බිම තිබ්බ අඩුම කුඩුම එකතු කරන්ඩ පටන් ගත්ත.

ම්ම ඒත් ඉඳගෙන හිටපු හැටියටම එහම්මම හිටිය අර ඈත බලාගත් විදිහටම.

අනික් අය වැව් බන්ඩ් එකට ගොඩ උනාටත් පස්සෙ වසන්ත ආව මා ගාවට.

" මචං, රවී,......උඹට මොකද වෙලා තියෙන්නෙ?....වැඩියිද.....නෑනෙ නේද...උඹ වැඩිය බිව්වෙත් නෑනෙ.....හරි යමං...ඉතිං.." .වසන්ත මාව අතින් අල්ලල නැගිට්ටෙව්ව.

" වසන්ත එයාගෙ නම මොකක්ද බං?"

" කාගෙද?"....වසන්ත ඇස් පුංචි කරල මගෙ මූණට එබිල ඇහුව.

" උඹලගෙ චුට්ටි නංගිගෙ" ....මම තාම කතා කලේ හීනෙන් වගේ...

" චුට්ටි නංගිගෙ?.....ගීතිකා........ඇයි?"

තිසා වැව ඉහලින් බැසයන සැඳෑ හිරුගේ රන් කිරණ අතර රැඳී මෙතෙක් වෙලා මා හා මොනවාදෝ කතාකල ඒ නිල් දෑසට අවසානයේදී නමක් හිමි විය.....

ගීතිකා....

දෙවෙනි වාරෙ මැදක් වෙද්දි වසන්ත අපෙන් වෙන් වෙලා ගියා.මිනිහට ආණ්ඩුවෙ ස්ථිර රස්සාවක් ලැබුණා. කාර්මික විද්යාලෙ පාඨමාලාව සමත් උනා වුනත් රස්සාවක් ස්ථිරවම ලැබෙනවයි කියල ගැරන්ටි එහෙකුත් නැති එකේ අතට ආපු චාන්ස් එක මිස් කරන එක අපරාදයක් කියල අපිත් කිව්ව. ඒ නිසා අපි පොඩි සෙන්ඩ් ඕෆ් පාටියක් එහෙම දාල වසන්තගෙන් සමු ගත්ත.

'' ඒයි...මචංලා.....බොලා ඔක්කොම එන්ඩ ඕනෙ අපෙ ගෙදර.....දවස් දෙක තුනක් ඉඳල යන්ට...හරිය?........නියම වැවක් තියනව.....ඔරු පැද්දැහැකි.....මාර ලස්සනයි....හැමදාම නෙළුම් එහෙම පිරිල....'' සාදය අවසානෙදි එකිනෙකා බදාගෙන සමු ගන්න වෙලාවෙ වසන්ත කිව්වා......

'' හෙහ්, අන්න මරු....යමල්ල....උඹලගෙ ගෙදර ගිහිල්ල දාමු සාජ්ජයක්.....රවි..උඹ කියාපං අර එදා වගේ ...ආදර නිල් දෑසේ......හෙහ්, හෙහ්, මුගෙ චුට්ටි නංගිගෙ ඇස් ඇත්තටම නිල් පාටනම් උඹ ඒ ඇස් දිහාවෙ බලාගෙන කියාපං සිංදුව.....කියන්ඩ බෑනෙ අර මහ බබා කොහෙද කොටල තියනවයි කියනව නෙව...වසන්ත මේක අහපං...රවියා උඹේ මස්සිනා වෙන්න නියම වෙලා තියනවද කවුද දන්නෙ? '' ජයනන්දය මහ හයියෙන් කෑගැහුව....

'' ඒයි පිස්සු කෙලින්න එපා බං.....මොනවද මේ කියවන්නෙ?......'' .මම ජයාට රවන ගමන් ඇස් කොනෙන් වසන්තයගෙ මූණ බැළුවෙ උගෙ ප්රිතිචාරය කොහොම වෙයිද දන්නෙ නැති නිසා....කියන්ට බැහැ නෙව කොච්චර යාළුවො උනත් සමහර එවුන් ඉන්නව ඔය වගෙ සහෝදර සහෝදරියන් ගැන කතා කරනවට අකමැති අය.

'' හෙහ්, හෙහ්...හේ...."වසන්ත මහ හයියෙන් හිනාවෙලා මාව බදා ගත්ත...."'අන්න මරු...මම දන්න තරමට නංගිට කොල්ලෙකුත් තාම නෑ....හැබැයි මට කියන්ට නම් බැහැ බැරිවෙලාවත් එහෙම දෙයක් උනොත් ඒක උඹේ පූරුවෙ කරුමයක්ද නංගිගෙ පූරුවෙ කරුමයක්ද කියල......හෙහ්, හෙහ්.....හෙහ්, '' අපි ඔක්කොම ආයෙම වටයක් කාමරේ දෙවනත් කලා හිනා වෙලා....

වසන්ත ගියා....අපි කෝස් එක ඉවර කලා.....ඔය අතර වසන්තගෙ නංගි ගැන කිය කිය අපේ අනික් උන් මට වදේ ගැහුව....ඔය කාලෙ ඉතිං දකින දකින කෙල්ලන්ට බොක්කෙංම ලව් කරන කාලෙනෙ....මගෙත් ඔය පොඩි පොඩි හුටපට දෙක තුනක් ඔය කාලෙ තිබුන....එව්ව ඒ හැටි සීරියස් එව්ව නෙවෙයි.....නිල් පාට ඇස්.....ඔව්....නිල් පාට ඇස්....මගෙ මතකයෙ කොණක තිබුන නොමැකෙන විදිහට.....

ඒ මතකයක් හිතේ කොණක තියාගෙන කෝස් එකන් පස්සෙ මම රස්සාවකට ගියා........මතකයි නේද?...උතුරු මැද පළාතෙ මායිමේ...අර්ධ රාජ්ය ආයතනයක.....මම කලින් කියල තියනව ඒ ගැන.....අපෙ අනික් යාළුවො විසිරිල ගියා තම තමන්ගෙ ගම් පළාත් වලට...වසන්තයි ජයනන්දයි මමයි අඩු ගණනෙ මාසෙකට සැරයක් වත් ලියුම් ගනුදෙනු කරගෙන සම්බන්ධතාවය පවත්වා ගත්ත. ඒ කාලෙ මොබයිල්,ඊ මේල් ඔය මොන කෙහෙල්මලක්වත් නෑ.කමියුනිකේෂන් ඉතිං ලියුම්ම තමයි.මම ඇවිල්ල ලියුං ලියන්ට බොහොම කම්මැලියි...ඒ නිසා අවාරෙට අඹ වැටෙන්න වගෙ තමයි ලියුං ගනුදෙනුව සිද්ද උනේ...හෙහ්, හෙහ්,

ඔහොම අවුරුද්දක් විතර ගත උනාය කියමුකො.....ඔන්න වසන්තගෙං මට ආව ලියුමක්....'' මචං රවී..ලබන පෝය දවස වැටෙන්නෙ සඳුදට....ඒක අල්ලල ඒ වීක් එන්ඩ් එකේ අපේ ගෙදර වරෙං හොඳද?....මම ජයාටත් කිව්ව ඌත් එන්නම් කිව්ව.....''

ජයා මේ කාලෙ හිටියෙ කොළඹ.... '' හරි මචං,නෝ ප්රොබ්ලම්.... මම එන්නම් '' කියල මම උත්තරයක් ලියල දැම්ම........ආයෙම මෙච්චර කාලයක් හිතේ කොණක හැංගිල හිටපු නිල් පාට ඇස් මට වද දෙන්න පටන් ගත්ත.

මතු සම්බන්ධයි........

Wednesday, January 4, 2012

79. ආදර....නිල්.....දෑසේ.......1 - Her Haunting Blue Eyes.

නිවාඩුව මාසයයි......දැනටම සතියකුත් ගෙවිල ගිහිල්ල.....මේ සතියෙත් නිවාඩුය කිව්වට එහෙ මෙහෙ දුවපු එකමයි කලේ.අලුතෙන් හදාපු ගෙදරට එන්න තියන පාරෙ පොඩි වැඩ වගයක්......පැත්තකින් බැමි කෑල්ලක්.......එතනින් ගියාම ගේට්ටුවක්.....රටේ නැති එව්ව.....මොනව කරන්ටද?.....බාරියා තොමෝ තනියම මෙච්චර හරියක් කරපු එකේ මම ඉන්න දෙදොහට මෙහෙම වත් කොරන්ට එපාය.....ඔක්කොමත් හරි සිමෙන්ති හොයන එකත් හරි......සිමෙන්ති නැව් දෙකකට අනුමැතිය දෙන්නෙ නැතුව වරායෙ හිරවෙලාද මොකක්ද කෙලියක් නිසා සිමෙන්ති බෑග් 5 ගානෙ තමයි හාඩ්වෙයාර් වලින් දෙන්නෙ.....සිමෙන්ති හොයන්ට ගියාම කාලෙ හරි.......ඊට පස්සෙ වැලි හොයන්ට, කළුගල් හොයන්ට...අනෙ අම්මප, බාරියා තොමෝට වෙනම මැඩල් එකක් දෙන්ට වටිනව අවුරුදු දෙකක් තිස්සෙම මේ මංගල්ලෙ කොරාට....

හරි....බලමු....සිමෙන්ති අදට ඇති.......කළුගලුත් තියෙනව.....වැලිත් ඇති......බාස්ලට තේත් හදල දුන්න.....ඇයි දහයට සහ හතරට උන්ට තේ දෙන්ට එපාය.....බාරියා තොමෝ කොල්ලන්ට තඩිබාන්ට ඉස්කෝලෙ ගෙහුං හින්ද ටී මේකර් වැඩෙත් මයෙ කර පිට......

ඒ අව් අස්සෙ මේ ග්රීස් යක්කුංගෙ වැඩේ නිසා ගෝලයො දෙන්නෙක්ම අද වැඩට ඇවිදිනුත් නෑ.....ඊයෙ රෑ උංගෙ ගමට ඒ ජාතියෙ යකෙක් ආවයි කියල උං රෑ එළිවෙනකල් මුර සංචාරය කරල......උදේ වැඩට ඇවිත් නෑ......

හරි යන්තං දහයාමාර වෙනකොට වැඩ ටික එකලාසයක් කර ගත්ත.....ඒ කරල උඩ තට්ටුවෙ සඳළු තලේ මයෙ ඇඳි පුටුවෙ දිගා උනා.....මෙතන හිටියට අවුලක් නෑ......රේලිං එක උඩිං එබුනම පල්ලෙහා වැඩ කරනව පේනව අපූරුවට.

ඇඳි පුටුවෙ දිගා උනේ නිකම්ම නෙවෙයි, "රන් රෝස " පොතත් අරගෙන....

මේක රුසියන් ලේඛකයෙක් වන කොන්ස්ටන්ටීන් පවුස්තවුස්කි ලියපු නිර්මාණකරනය ගැන අත්පොතක්.....මයෙ ලඟ අවුරුදු බර ගානකට කලින් මේ පොත තිබුන.....දැන් කොහෙද නෑ ඒක හොයාගන්ට,ඊට පස්සෙ තමයි මයෙ සහෝදරී මේක මට එව්වෙ.

යන්තම් පිටු පහක් කියවන්ට උනේ නෑ ඔන්න....දුරකතන රාජයා මරහඬ දෙන්ට තිබා ගත්ත.

කවුද මේ?......ආහ්.....වසන්ත......වසන්ත කියන්නෙ මගෙ අතිජාත පරණම මිත්රයෙක්..........වසන්තගෙ විස්තරේ කිය කිය ඉඳල හරියන්නෙ නැහැනෙව.....කෝල් එකට ආන්සර් කොරන්ට එපාය....හරි ඒක කරල ඉම්මුකො ඉස්සරාලම,

" අඩෝව්.....රවියා.....උඹට නිකම් වත් නරකයි කතාකලාම නේද?"

" අනේ මචං මම මේ ගෙදර වැඩ වගයක් කරනව බං....ඒකයි කතා කරන්න වත් බැරි උනේ......සොරිම සොරි මචං.......ඉතිං කොහොමද උඹලගෙ තොරතුරු?"

" කියන්ඩ තරම් දෙයක් නෑ මචං සුපුරුදු විදිහටම ඉන්නව.....උඹ තව මාසයක් ඉන්නවනෙ.....මම ෆුල් ට්රයි එකක් දෙන්නංකො නුවර පැත්තෙ ඇවිල්ල යන්ට...."

ඔහොම අපෙ යාළුවන්ගෙ විස්තර කතාකලා තව කොහොමත් විනාඩි එක දහයක් පාළහක් විතරම.

ඒ කරල වසන්ත " එහෙනම් මචං මම තියන්නම්" ....කියනකොට මම ඇහුව " වසන්ත මචං ගෙදර කට්ටිය එහෙම කොහොමද?"

" අම්ම අප්පච්චි නම් අවුලක් නෑ මචං....ලොකු නංගිත් ඔහෙ ඉන්නව.... අයිය නම් ගියානෙ කැනඩා....මිනිහ ආයෙ එන එකක් නෑ........ආ.....චුට්ටි නංගිට නම් පොඩි කේස් එකක්...."

" ඒ මොකද බං?" .....මට ඉබේටම ඇහුන.

" චුට්ටි ගෙදර ඇවිල්ල ඉන්නෙ මචං.....අර යකා එක්ක ඉන්න බෑ කියල......"

" උඹලගෙම මස්සිනා නේද?"

" ඔව් බං..මස්සිනා නං තමයි,..ඒ උනාට මම මුල ඉඳම්ම ඕකට කැමති උනේම නෑ...කොහෙද අම්මල එක්ක මොකවත් කරන්නෙ?....ඒත් චුට්ටි කැමති නෑ කිව්ව නම් මම කොහොමවත් ඕක කෙරෙන්න දෙන්නෙ නෑ.....ඒත් චුට්ටිත් වැඩි අකමැත්තක් පෙන්නුවෙ නැති නිසා අන්තිමට මම නිකම් හිටිය."

" චුට්ටිට දරුවො කී දෙනෙක්ද වසන්ත?"

" දෙන්නයි මචං.....දුවයි පුතයි දොලහ, පහලව වගෙ වයසෙ දරුවො දෙන්න.....මම ලබන සතියෙවත් ගෙදර යන්ට ඕන මේකෙ විසඳුමක් කරන්ට.....මෙහෙම බලා ඉන්ට බෑනෙ බං"

" ඒක හරි, වසන්ත" .....මම කිව්වට මගෙ හිත තිබ්බෙ බොහොම දුරක.......

වසන්ත තව මොනවද කියවල තිබ්බ.....ඒ මොකවත් මගෙ හිතට වැටුනෙ නෑ....මගෙ හිත පිරිල තිබ්බෙ නිල් පාට ඇස් දෙකකින්............ආදර නිල් දෑසේ.....ආදර නිල් දෑසේ...මැණික් සඳක් නැගී දිලේ ආදර නිල් දෑසේ....නාරද දිසාසේකරගෙ අමරණීය ගීතය.......මේ කතාව පටන් ගන්නෙත් ඒ ගීතයෙන්,

දශක දෙකහමාරකට විතර ඉස්සර......මම උසස්පෙළ කරල විශ්ව විද්යාලයට ඇතුල් වෙන්න ලකුණු මදි වුන නිසා කාර්මික විද්යාල පාඨමාලාවක් කලා අනුරාධපුරේ,අප්පච්චි අනුරාධපුරේ රස්සාව කල නිසා අපි ඒ දවස් වල පදිංචි වෙලා හිටියෙ එහෙ.

ඔය පාඨමාලාවට හිටිය ලංකාවෙ හතර දිබ්බාගෙන්ම ආපු කොල්ලො කෙල්ලො, ඔය අතර මගෙ හොඳම යාළුවො උනේ වසන්තයි.....ජයනන්දයි,දෙන්නම අනුරාධපුරේට දුර බහැරින් ආපු අය.

පළවෙනි වාරාවසාන දවසෙ අපි කොල්ලො හත් අට දෙනෙක් කතාඋනා බෝතලේකුත් අරගෙන යන්ට තිසාවැවේ වැව් බැම්මට.....ඔය කාලෙ මත්පැන් කියන එව්ව රහබලන්ට පටන් ගත්තු අලුත.....ගල් බෝතලයක් තිබ්බ නම් හප්පා.....හය දෙනෙකුට විතර ඉහටත් උඩින් ඇති.....බෝතලේ ලේබල් එකේ බාගයක් විතර අරක්කු මට්ටම බහිනකොට වෙන්ඩ ඕන එව්ව ඔක්කොම වෙලා ඉවරයි.....සින්දු කියන එව්වො....( මේ මම වාගෙ ).....සිංදු හත අටක් කියල.....ගහන එවුන් ගහල.....එතනින් ගිහාම ගුටි කන එවුන් ගුටි කාල.....කුණුහරුප කියන එවුන් එව්ව කියල...අඬන එවුන් හොටු පෙර පෙර අඬල,කබරයි එක්ක ආශ්රය කරන එවුන් ඒ කටයුතු කරල....අන්තිමට කැඩිච්චි සෙරෙප්පු අතේ අරගෙන.....කාලක් විතර ඉතුරු වෙච්ච බෝතලෙත් කාගෙ හරි මල්ලක ඔබාගෙන බයිසිකල් තල්ලු කරගෙන (නැඟල යන්ට බෑනෙව තත්වෙ හැටියට) ආපහු හෙමිහිට පල්ලම් බහිනව...එකාට එකාට බැණ බැණ.......මතක් වෙනකොටත් ඉහිලුම් නෑ අප්ප....සන්තෝසෙ.....එහෙම කාලයක් ආයෙම එන්නෙ නෑ කියල හිතෙන කොටත් පපුව අඬා වැටෙනව.

මම මේ කියන දවසෙ......මගෙ ජීවිතේ තීරණාත්මක දවසෙ, නම් එහෙමට අලකලංචියක් උනේ නෑ...අයියනායක දෙයියන්ගෙ පිහිටෙං....අපි කෝකටත් තෛලය කියල බන්ඩ් එක උඩ තියන දේවාලෙ කොළ අත්තක් කාරිය එල්ලල හිට තමයි කර්තව්යය ආරම්බ කොරේ.

ඔන්න ටික ටික කට්ටිය සුදු එවුන් රතුවේගන.....කලු එවුන් තවත් කලුවේගන......දාඩිය එහෙම නලලට වැටීගෙන ආවයි කියමුකො.....ඔන්න රසික ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් ආව මට සිංදුවක් කියන්නෙයි කියල.....මට ඉතින් ඔය....... බොරු කියන්නෙ මොකටෙයි.....සිංදුවක් යාන්තමට කියාගන්ට පුලුවන් කොමක් තියනව නම් තමයි.....

වසන්තට අපූරුවට ගිටාර් එක ප්ලේ කරන්ට පුළුවනි......වසන්ත ගිටාර් එක ගැහුව......අනික් එවුන් අප්පුඩි ගැහුව අවශ්ය තැන් වලදි......මම කිව්ව සිංදුවක්.......අන්න අර කලින් කියාපු සිංදුව.....නාරදගෙ " ආදර නිල් දෑසේ....ආදර නිල් දෑසේ......මැණික් හඳක් නැගී දිලේ ආදර නිල් දෑසේ "

ඔය වෙලාව හවස හතරට විතර ඇති.......වැවේ එහා පැත්තෙන් ඉර බැහැගෙන ගියා.....දිය කාවො රංචුවක් මෙගොඩට පියාඹාගෙන ආව.....ඈත මාළු ඔරු දෙක තුනක් එහා ඉවුරට හබල් ගැහුවා......වසන්තගෙ ගිටාර් හඬට මම ආදර නිල් දෑසේ කිව්ව තනිකරම ගීතයට සමවැදිලම.....




ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....
මැණික් රුවක් ඇඳී දිලේ ආදර නිල් දෑසේ,

ආදර මල පිපී වැනෙයි ඇගෙ පෙම් හද පොකුණේ,
මගේ ළමැද පළඳින්නයි ඒ රන් මල පිපුණේ,
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....

විමානයේ කව්ළු දොරින් නෙත් හී සැර විදලා
කුමාරියක් කතා කරයි කාටද අත වනලා
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ...

සිනහ දෙතොල් යහනාවේ වැතිරෙමි රස උරලා....
හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිර කරලා...
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....
මැණික් රුවක් ඇඳී දිලේ ආදර නිල් දෑසේ,


මගේ කට හඬ පාවෙලා ගියා වැව් දිය මත්තෙන් ඈත පෙනෙන රුවන්වැලි සෑය දිහාවට......

මතු සම්බන්ධයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...