‘’ ඇයි නංගි...මම හිතන්නෙ වසන්ත අකමැති වෙන එක්ක නෑ.....''
‘’ නෑ පොඩි අයිය මට ආදරෙයි,ඒ වගේම ඔයාටත් පුදුම විදිහට කැමතියි....මම දන්නව ඒක....ඒත් මයෙ අයියෙ මම කියන එක අහන්නකො.පොඩි අයියට කියන්න එපා දැනට....මම ඔයාට විස්තරේ කියන්නම් ඔක්කොම පස්සෙ. ''
මම මේ මොකවත් තෙරුම් ගන්න බැරුව චුට්ටිගෙ මූණ දිහාවෙ බලාහිටිය තුස්නිම්බූත වෙලා.
මගෙ බැල්ම බලා ඉන්න බැරුව මම හිතන්නෙ චුට්ටි බිම බලාගත්ත.....
'' අනේ රවි අයියෙ,මා දිහා ඔහොම බලා ඉන්න එපා..මට ඒක දරාගන්න අමාරුයි....''
'' ඒත් චුට්ටි මට කියන්න......''
'' ඒයි උඹල දෙන්න වැඩේ පැත්තක තියල කයියට සෙට් වෙලා වගෙ.....මට මිදුලට ඇහුණ සද්දෙ.....චුට්ටි මොකද රවියට වැඩේ කරන්න දෙන්නෙ නැද්ද අද? '' වසන්ත කෑගහගෙන කඩාපැන්න කුස්සියට.....
චුට්ටි ආයෙම රතු උනා. '' පොඩි අයිය මේ මොනව කියනවද මන්ද.....මම මොකෝ රවි අයියව අල්ල ගත්තය?........'' ගස්සගෙන ගියෙ නැද්ද එළියට....වසන්ත හිනා උනා කුස්සිය දෙකක් වෙන්ට....අම්මප අයියටම හරියන නඟා, නඟාටම හරියන අයියණ්ඩි,
'' හරි මචං ඉඳහං ....තව විනාඩි දෙකෙං බඩු හරි...'' මම දනිපනි ගාල වැඩේ පටං ගත්ත. ඇයි වසන්තය ගියත් හරි ප්රේම සාගරේ කිමිදුනා මිසක වැඩේ ඇල්ලුවෙවත් නැහැ නෙව....හෙහ්, හෙහ්, හෙහ්,
රෑට උයල කාරිය ඉවර වෙලා වසායි මායි ගියා වැවට නාගෙන එන්ට. ගොයම් වලට වතුර ඕනම කාලෙ නිසා වැවෙන් කුඹුරු වලට වතුර ගෙනියන බෙදුම් ඇලේ කට කපල වතුර.අපි පැනල නෑව මදි නොකියන්ට.....මයෙ හිතේ අලකලංචියත් ඔන්න ඔක්කොම නම් නෙවෙයි සෑහෙන්න අඩුවෙලා ගියා ඇලේ ගලායන වතුර පාරත් එක්ක හේදිලා.
මම වතුරෙ ගිලිල හිටිය සෑහෙන වෙලාවක්.....හුස්ම අල්ලගෙන ඉඳල අන්තිමට බැරිම තැන වතුරෙං මතු වෙද්දි වසන්ත ගොඩට ගිහිල්ල සබං ගානව.
'' මොකද රවියො චුට්ටි කියන්නෙ?......'' වසන්ත නැමිල කකුල්වල සබං ගාන ගමන් ඇහුව.මට එක පාරට මොනව කියාගන්නද හිතාගන්න බැරි උනා. මොනවද කියන්නෙ කියල හිතාගන්න කල් අරගන්න ඕන නිසාම මම ආයෙම පාරක් වතුරෙ ගිලුණා. ඒ විඩේ මතුවෙනකොට වසන්ත වතුරට බැහැල.මම ගොඩට ගිහින් සබන් ගාන්න පටන් ගත්ත.
'' එහෙම විශේෂ දෙයක් කිව්වෙ නම් නෑ වසා..අපි ඔහෙ නිකම් කතා කර කර හිටිය....ඉස්කෝලෙ විස්තර, විභාගෙ ගැන.....'' චුට්ටි ගිය මාසෙ ඒ ලෙවල් ලිව්වයි කියල මම දැනගෙන හිටිය වසන්තයම කියල.....
'' චුට්ටි මචං හරි හොඳ කෙල්ල.....මගෙ නංගි හින්ද කියනව එහෙම නෙවෙයි.......ලොකු එකී වගෙ නෙවෙයි...හරිම අහිංසකයි.......මට දුකයි චුට්ටි ගැන.....''
වසන්ත එහෙම කියල ආයෙම වතුරෙ ගිලුන. මේ මොකද ඒ පාර මූ කියන්න එන්නෙ?.....දෙයියෝ සාක්කි අයියයි නඟයි එකතු වෙලා මාව ඔල්මොරොංදං කරන්නද මේ හදන්නෙ?....ඇයි දෙයියනේ කියන දෙයක් තේරෙන්න කියාපල්ලකො...දෙන්නම එකයි......චුට්ටි අරහෙ අයියට කියන්න එපා කියල අඬනව..මූ චුට්ටි ගැන දුකයි කියනව.....අයියට හපං නංගි, නංගිට හපං අයිය.....
මට තවත් ඉවසාගෙන ඉන්නම බැරි උනා.... '' මොකක්ද වසා ඒ කතාව ඇයි නංගි ගැන දුකයි කිව්වෙ? ''
'' මචං මම මේක කිව්වයි කියල උඹ චුට්ටි එක්ක කියන්න එහෙම එපා.....''
'' වසන්ත .....පුතා, කවද්ද ළමයො ආවෙ?.....'' කළුවරේම ඇහිච්ච ඒ හඬට අපි දෙන්නම හැරිල බැලුව.....
'' මම අද උදේ මාමෙ ආවෙ.......මේ මගෙ හොඳම යාලුවෙක්....නම රවි....මචං මේ අපේ ලොකු මාම....අප්පච්චිගෙ ලොකු අක්කගෙ මහත්තය....''
ෂෙහ් අම්මප මේ මාමත් හරියට මේ වෙලාවටම මෙතනට කඩාපාත් උනා නෙව...වසන්ත චුට්ටිගෙ විස්තරේ කියන්ට හදනකොටම....අර හෙනහුරාගෙ පාත්තරේට හිඟන්න වැටුනහෙ...මම හිත ඇතුලෙං දත්මිටි කන ගමං මාම එක්ක හිනා උනා.....
'' මේ ළමය කොයි පළාතෙද?''
'' මම නුවර මාමෙ.....''
'' ආ, එහෙමද මමත් මුල් පත්වීම අරං උගන්නන්ට ගියේ පූජපිටියෙ ඉස්කෝලෙට....'' මාම පත්වීම ලියුම ලැබුණු වෙලාවෙ ඉඳල විස්තරේ අකුරක් නෑර කියන්ට පටං ගත්ත.උඹ මොන තූත්තුකුඩියට පත්වීම අරගෙන ගියත් මට මොකද යකෝ?....කියල යටි හිතිං කිය කිය මම විස්තරේට ඇහුං කං දුන්න ..වෙන මක් කරන්නද?
අපි තෙත රෙදි කාරිය ඔතාගෙන ආපහු එන්ට පිටත් උනා...මෙන්න බොලේ මාමත් අපෙ පස්සෙ වැටුන.
'' මාම මේ කොහෙද යන්නෙ? '' වසන්ත ඇහුව. ටෝච් එක පාර පුරා වනන ගමන්..... '' සර්පයො ඉන්නව මචං පරිස්සමින් '' ඒ එක්කම මා දිහාට හැරිල කිව්ව.
'' යමු පුතේ.... උඹල හම්බ උන එකත් හොඳයි මේ වෙලාවෙ, මට උඹලගෙ අර ගේ පිටිපස්සෙ මුරුංග ගහෙං පොතු ටිකක් ඕන මේ බෙහෙතකට..''
ආය ඉතිං අහවල් චුට්ටි ගැන කතාද?....මාම ගෙදරට එනකල් හුස්මක් කටක් ගන්නෙ නැතුව එයාගෙ විස්තරේ කිව්ව. වසන්තයි මායි නිස්සද්දවම ආව.
ගෙදර ඇවිත් තෙත රෙදි වැලට දාපු ගමන් වසන්ත කඩේ යනව කියල ගියා බයික් එකේ... '' මචං මම සෝඩ මොනව හරි අරගෙන එන්නම් '' යන්ට කලින් මගෙ කණට කරල කිව්ව.
මුරුංග පොතු ටික ගලවගෙන මාම ඉඳගත්ත සාලෙ වේවැල් පුටුවක සනීපෙට. ඒ කරල ආයෙම විස්තරේ කියන්ට පටං ගත්ත.මම තමයි අහු උනේ බෙල්ල මුලිංම. මොනව කරන්ටද?....හා හූ කිය කිය අහගෙන හිටිය.චුට්ටි විඩෙං විඩේ සාලෙ දොර ගාවට ඇවිල්ල මා දිහා බලල අතිං කට වහගෙන මට ඔලොක්කුවට හිනාවෙලා ආපහු කුස්සියට දුවනව. මට ඔක්කොටම වැඩිය කේන්තිය ඒකට.
'' යද්දාවෙකො මාම මම උඹව අල්ලගන්ට'' මම හිතිං එහෙම කිව්ව.
'' දැං පුතා ඒ දවස්වල ඔතන කටුගස්තොට පාලම තියනව නේද?.........''
'' ඔව් මාමෙ '' මම හූ මිටි තිබ්බට ඇස් දෙක දොර ගාව.
ආයෙම පාරක් චුට්ටි දොර ගාව ඇස් දෙකේ හිනාව උතුරනව.....අනෙ අම්මප මට අහු උනොත්.... දනී මම.....
'' හතලිස් අටේ නිදහස් උත්සවේ......'' මාම තවම කියවනව.
'' රවි අයිය ඔය පරණ විස්තර දැනගන්ට හරිම ආසයි ලොකු මාමෙ....'' මෙන්න ඒ විඩේ මේකි තේ එකකුත් අරගෙන එන ගමන් කියාපි. අනෙ අම්මප මේ අම්මණ්ඩි කෑවම හිත් වදිනවද?
මගෙ කටත් අරුණ බාගෙට. ඒක දැකල චුට්ටි පිපිරෙන්ට තනන හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්...මේකි තමයි දවසකටවත් ගෑණි.....මගෙ හිතේ චුට්ටි ගැන තියෙන බැඳීම මොහොතිං මොහොත වැඩි උනා. මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වාගෙ කෙල්ලක්.ටිකක් පිස්සුවක් වගෙ තියන, අර නුහුගුණේ කියන්නෙ අන්න ඒ ජාතියෙ...ඔය රෑ දවල් දෙකේම ජීවිතේ මහ බර පතලට ගන්න ෆුල් සීරියක් කෙල්ලො මට අරහං.
'' රවි අයියටත් ඕනය තේකක්....''
'' මට එපා'' මම දත්මිටි කාගෙන කිව්ව...ඒ පාරනං කෙල්ල රතුම උනා හිනාව නවත්තගන්ට බැරුව.
චුට්ටි එපා කිව්වත් මම වසන්ත එක්ක මේ ගැන කතා කරනව....පිටුපාල කුස්සිය පැත්තට යන ගමනුත් පස්ස හැරි හැරි කොමල කරන චුට්ටි දිහා හිනාවේගන බලා ඉන්න අතරෙ මම එක හිත් හිතා ගත්ත.
මතු සම්බන්ධයි.... ( හරි හරි ඉවසල ඉන්න , ඉවසල ඉන්න....අවසානෙ මේ පේන දුර......ඊමමයි....අනේ ඇත්තමයි )



