Tuesday, June 12, 2018

589. පුවක් එෂැණිං 47 - අඟහරු ගඩොල් පිළිබඳව සත්‍යය හෙළිවෙයි නොහොත් Truth Revealed About Bricks From Mars

අඟහරු ග්‍රහයා මත කියුරියෝසිටි 

අඟහරු ග්‍රහයා මත දර පෝරණුවේ පිලිස්සූ අගනා ගඩොල් තියනවයි කියල කියන්නෙ....

මේ අපේ සිතුම් පැතුම් එතකොට මුලු මහත් චින්තන රටාවම නව මානයකට යොමු කරවන මහාර්ඝ සොයාගැනීම කරල තියෙන්නෙ ශ්‍රී ලාංකිකකයෙක්. අන්න ඒකයි ඒකෙ අවයවය……

(ඒ අවයව කතාවේ පේටන්ට් අයිතිය නැසීගිය මාගේ දයාබර මාමණ්ඩිය සතුයි....අන්න ඒකයි පුතා ඒකෙ අවයවය..උන්දැ ජීවත්ව ඉන්දැද්දි අපෙ උන්දලගෙ මහගෙදර සාලෙ ඔහොම මෙහෙම ඇඳි පුටු දෙකක දිගාවෙලා ගමරට තොරතුරු එතනින් ගියාම කාලගුණ තොරතුරු එහෙම පිළිබඳව බොහොම ගැඹුරින් විස්ලේසනය කරමින් ගතවුනු සැඳෑ කාලවල් මහා රාසියකදි උන්දැ මිනිත්තු තුන හතරකට සැරයක් වගෙ ඔය අවයව කතාව කියනව. අනේ උන්දැට නිවන් සැපම ලැබේවා!)

මේ අසමසම සොයා ගැනිල්ල කරල තියෙන්නෙ ලේසි පාසු පුතයෙක් එහෙම නෙවෙයි. අර දිවඉණ කියන ජාතික සාර සංග්‍රහයෙ ජෝට්ට පුවක්පක් කලාවේජියෙක් වන කීර්ති පාටකුලසූරිය මහත්තය තමයි ඒ හපනා. යුද්දෙ තිබ්බ කාලෙ ඉරිදා දිවයිනේ ආරක්සක කොලම ලිව්වෙ ඒ මහත්තය. ඒකෙ තිබ්බ තොරතුරු අපේ හමුදාවෙ උසස් නිලදාරීන්ට බොහොමත්ම උදව් වුනාලු යුද සැලසුං එහෙම සකස් කරද්දි. යුද්දෙ ඉවර උනයිම් පස්සෙ මිට්ට කීර්තිමයි එහෙම කිව්වෙ. ඒ හින්ද බොරුවක් එහෙම වෙන්ට බෑ කොහෙත්ම.

ඔය මනුස්සය පත්තරවලට ලිපි ලියන නවතම රටාවක් අඳුන්වල දුන්නු මනුස්සයෙක්.."වර්ණකුළ මෙතඩ්" කියලයි ඒකට කියන්නෙ...හෙහ්...හෙහ්..ඔහෙලට එක පාරටම "වර්ණපාල මෙතඩ්" එක මතක් උනා නේද? ඒ වර්ණපාල මෙතඩ් එකේ නිර්මාතෘ ඇවිල්ල අර කාලයක් උප ඇමතිකමක් එහෙම කරපු මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තය. වර්ණපාල මෙතඩ් එක ගැන හැමම පාහේ දන්න නිසා මම නැවත කියන්න යන්නෙ නෑ අයන්නෙ ඉඳල හොඳේ?

ඉතිං ඔය වර්ණකුල මෙතඩ් එක කියන්නෙ වාක්‍ය දෙක තුනක් සිංහලෙන් ලියල ඒකම ඉංග්‍රීසියෙන් ලියනව එතනම වරහන් දාල... ඒ කියන්නෙ විදින් බ්‍රැකට්ස් තුල. ඈස් ඇන් එග්සාම්පල් සම්තිං ලයික් දිස්…

පසුගිය බදාදා තම කඳවුරු තුලින් පිටතට පැමිණි ආරක්ෂක හමුදාවෝ කොටි ත්‍රස්තවාදීන් හට අමතක නොවන පාඩමක් ඉගැන්වූහ. (Past wednesday there camp outcome security forces tigers no forget lesson teached) මල්ටි බැරල් බර අවි යොදා ගනිමින් හමුදාව එල්ල කල මේ අඛණ්ඩ ප්‍රහාරයට මුහුණදිය නොහැකිව ත්‍රස්තවාදීහු හිස් ලූලූ අත පළා ගියහ. (Multi barrel heavy weapon used this our army long long attack no facing terrorists head lu lu hand split wented.)

කොහොමද බුවාගෙ වැඩ? අන්න පොර තමයි මේ අඟහරු ගඩොල් හොයාගත්තෙ…Fitting ..isn't it?

මෙන්න මේ මහා පුවක්පක් කලාවේදියා ලියපු ලිපිය....

අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

කීර්ති වර්ණකුලසූරිය

අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

මේ තියෙන්නෙ ලිපියත් එක්ක පළවෙච්චි ෆොටෝස් එක...කොහොමද හුදී ජන පහන් සංවේගය උදෙසා මනුස්සය ගඩොල් කෑලි ටික රවුං කරල එහෙම පෙන්නල තියන අපූරුව...වෙරි ගුඩ් මෑන් නෝ?



දැන් ඔය අතිපණ්ඩිත පුවක්පක් කලාවේජියා ඔය ප්‍රවෘත්තිය ලිව්වෙ මෙන්න මේ ඔරිජිනල් ප්‍රවෘත්තිය බලාගෙන...

NASA says Mars Curiosity rover discovered organic compounds, which are the ‘building blocks of life’

NASA revealed the scientific discoveries made by the Mars Curiosity rover include organic compounds, which are the "building blocks of life."

Details of the enigmatic discovery, which appear in the journal Science, were revealed in a news conference Thursday.

"We found organic molecules in rocks from an ancient lake bed," said Jen Eigenbrode, research scientist at NASA's Goddard Space Flight Center in Maryland and lead author of one of two new papers on the discovery. "Those organic molecules could have come from life. We don't know that there was ever life on Mars."

So while there was no direct evidence of life, it's still notable the building blocks of life exist, Eigenbrode said, although they could have come from non biological sources.

අර "Building blocks of life"  නැත්නම් ජීවයේ තැනුම් ඒකක කියන වචන හතර තමයි අපේ මේ ජීනියස් තුමා ගඩොල් කියල පරිවර්තනය කලේ. මට පොඩි අවුලක් තියෙන්නෙ බිල්ඩිං බ්ලොක්ස් කිව්වම මේ යස්සය මොකද මේක බ්ලොක්ගල් කියල පරිවර්තනය නොකලෙ කියල. සමහරවිට මිනිහ හිතන්න ඇති බ්ලොක්ගල් කියනවට වඩා ගඩොල් කිව්වම පොඩි ගැම්මක් එනවයි කියල.

ඊලඟට අර කියන අඟහරු මත ජනවාස කතාව නම් තනිකරම අතින් දාපු එකක්. එහෙම එකක් ගැන අඩුතරමෙ අංශු මාත්‍රයක තරම් සඳහනක්වත් අර ඔරිජිනල් වාර්තාවෙ නැහැ.

වැඩේ කියන්නෙ මේ මනුස්සයගෙ මඤ්ඤම පැත්තක තියමුකො. යකෝ සාක්කි දිවයින කියන පත්තර කඩමාල්ලෙ "Building blocks of life"  කිව්වහම ඒ කියන්නෙ ගඩොල් ගැන නෙවෙයි කියල තේරුම්ගන්න පුලුවන් උප කර්තෘ කෙනෙක්, විශේෂාංග කර්තෘ කෙනෙක් එතකොට ප්‍රධාන කර්තෘ කෙනෙක් හිටියෙම නැද්ද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. 

දයාසේන ගුණසිංහ මහත්තය වගෙ පඬිවරයෙක් ආරම්භක කර්තෘත්වය දරපු පත්තරේකට ගිය කල...අඟහරු ගඩොල්පල්ලා කියුරියෝසිටි එකේ ඉස්සරහ හයි කරල තියන අර ගඩොල් එකතු කරන කුල්ලපල්ලා ඇත්තටම දුකයි...


****************
ටං... ටිං.... ටුං....
****************

Meanwhile inside NASA….මේ අතර නාසා ආයතනය ඇතුලේ....

නාසා එකේ අඟහරු පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාලකවරයා කැන්ටිමට ඇවිල්ල කෝපි එකක් බොන්න ලෑස්තිවුනා විතරයි. ඔහුගෙ සහායකය හතිමුනිං දාගෙන දුවගෙන ආව.

"බොස් හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ…"

"මොකද මනුස්සයො හති දාගෙන? මොකෝ අපේ කියුරියෝසිටි එක අඟහරු පොලීසියෙන් හයි ස්පීඩ් අල්ලලද?" ප්‍රධාන පාලක වරයා ඇසූයේ හඬනඟා සිනා සෙමිනි.

"බොස්ට ඉතිං හැම එකක්ම විහිලුනෙ…" සහායකය කිව්වෙ නෝක්කඩු ස්වරයෙන්..

"හරි හරි ඒක ගණං ගන්න එපා..කියනවකො කියන්ට ආපු එක.."

"අපි අර කියුරියෝසිටි එකෙන් ගත්තු ෆොටෝ වගයක් ප්‍රසිද්ද කලානෙ"

"ඔව්..ඉතිං?"

"ඒ ෆොටෝ එකක තියනවලු ගඩොල් "

"ගඩොල් තියනවලු?.....කවුද දැං ඔහොම කතාවක් කියන්නෙ?"

"මේ ශ්‍රී ලංකා කියල රටක ජර්නලිස්ට් කෙනෙක්…"

"හ්ම්ම් එහෙමද? කියන්නත් බෑ තමයි…"

"ඒ කිව්වෙ බොස්?"

"නෑ මම මේ කිව්වෙ ඔය පෙරදිග රටවල්වල තියෙන්නෙ පුලුවන් අමුතු අද්භූත ශාස්ත්‍ර එහෙම. මම දැන් අවුරුද්දකට විතර ඉස්සර කියෙව්ව ඒත් ඔය පෙරදිග රටක නාත දෙයියො කියල දෙවි කෙනෙක් මොකක්ද ඒ රටේ දොස්තරලටත් හොයාගන්න බැරිවුනු ලෙඩකට හේතුව තමන්ගෙ බල මහිමයෙන් හොයල දුන්නයි කියල.."

"ආ..හරි හරි බොස්..ඒත් මේ රටම තමයි....ශ්‍රී ලංකාව..ශ්‍රී ලංකාව...මට මතකයි"

"අන්න ඒකනෙ කියන්නෙ. මේ ගඩොල් කතාව ඇත්ත වෙන්න පුලුවන්. ෆොටෝවල අපිත් නොදැක්ක ගඩොල් ඔය අද්භූත බල මහිමයට පේන්න පුලුවන්...... "

"ඉතිං අපි දැන් මොකද මේකට කරන්නෙ?"

"හරි අපි මෙහෙම කරමු. ඔය කියන ජර්නලිස්ට්ව අපි පත්කරගමු අපේ අඟහරු ගවේෂණ වැඩ පිළිවෙලේ ජේෂ්ඨ උපදේශකයෙක් විදිහට..."

"මිනිහ එයිද බොස්? මට හිතෙන විදිහට ඒ මනුස්සයට ඒ රටේ ජාතික වීරයෙක් විදිහට සලකනව වෙන්න ඕන. ඇයි දෙයියනේ...අපි මේ මෙච්චර ඩොලර් බිලියන් ගණං වියදං කරල අඟහරුට යානා යවල පොටෝ ගෙන්නගෙන අපේ ඉහලම පෙලේ විද්‍යඥයින්ටත් බැරිඋනානෙ ඔය ගඩොල් හොයාගන්ට. මේ මනුස්සය මොනතරම් දක්ෂයෙක්ද කියනවනම් ඔෆිස් එකේ මේසෙ ඉඳගෙන යන්තමට ඒ ෆොටෝ එක දැක්ක ගමං කිව්වලුනෙ මෙන්න යකෝ අඟහරු ලෝකෙ ගඩොල් කියල. කොහොම ඔලුවක් තියෙන්න ඕනද එහෙම එක පාරටම කියන්ට...අන්න ඒකයි මම කිව්වෙ මනුස්සය කැමතිවෙයිද දන්නෙ නෑ කියල මෙහෙට ඇවිදිල්ල අපිත් එක්ක වැඩ කරන්ට.."

"හ්ම්ම්ම්..ඒකත් නම් ප්‍රශ්නයක් තමයි..ආ..හරි මට ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් මතක් වුනා..අපේ අර ඩොක්ට ගුණපාල ඉන්නෙ.."

"ඔව්..ඉතිං?"

"මට මතක විදිහට ඩොක්ට ගුණපාල ලංකාවෙ කෙනෙක්. අපි කියමු ඩොක්ට ගුණපාලට අර ජර්නලිස්ට්ට පර්සනලි කතා කරල කොහොම හරි කැමති කරවගන්ටෙයි කියල අපිත් එක්ක ජොයින් වෙන්න.."

"ඒක හොඳ අදහසක් බොස්.."

"ඔව්..ඩොක්ට ගුණපාලට දැන්මම පණිවිඩයක් යවන්න පුලුවන් ඉක්මනට ඇවිල්ල මාව හම්බ වෙන්නෙයි කියල..Treat this as a priority one matter Ok? "

"OK Boss...."

"ආ..මේ පොඩ්ඩක් ඉන්නව තව එකක්.."

"ඒ පාර මොකක්ද?"

"අපි අර 2020 අවුරුද්දෙ අඟහරු ලෝකෙට යවන්න හිතාගෙන ඉන්නවනෙ මේ කියුරියෝසිටි වගේම තවත් යානයක්.."

"ඔව්..ඉතිං?"

"වහාම මේ අදම දැනුම් දෙනව ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ නවත්වන්නෙයි කියල.."

"මොකක්? වැඩ නවත්තන්ඩ? ඒ මොකටද?"

"ඒ මොකටද කියන්නෙ? 2020 වෙනකල් ඉන්ට බෑ..මට ඉවසිල්ලක් නෑ ඔය අඟහරු ගඩොලක් උඩ දාල අල්ලනකල්.."

"ඉතිං?"

"ඉතිං අපි මේ අවුරුද්ද ඉවරවෙන්ට ඉස්සෙල්ල යවමු අඟහරු ලෝකෙට ටෙන් වීල් ටිපර් එකකුයි, ලෝඩර් එකකුයි.."

"ඒ මොකටද ඒ?"

"ඒ මොකටද අහන්නෙ? ඇයි මනුස්සයෝ අර අඟහරු ලෝකෙ තියෙන ගඩොල් ගොඩ පටවගෙන අරං එන්ටනෙ.....නැතුව ආය වෙන අහවල් දේකටද?"

"හරි හරි මට තේරුනා…"

"තව වැදගත් දෙයක් තියනව. කියුරියෝසිටි එක ඔපරේට් කරන අයට කියනව බොහොම පරිස්සම් වෙන්නෙයි කියල "

"ඇයි බොස් ඒ?.."

"ගඩොල් කෑලි තිබ්බයි කියන්නෙ ඔය කිට්ටුවම හුණු වලකුත් අනිවාර්යයෙන්ම ඇති. කියුරියෝසිටි එක හුණු වලකට එහෙම වැටුනොත් මළ කෙලියක් වෙන්නෙ. ඒ හින්ද කියනව බොහොම පරිස්සම් වෙන්ට කියල…"

"බොස් ඔහොම කියනකොට මට තව දෙයක් මතක් වුනා.."

"ඒ මොකක්ද? "

"ඔතන ගඩොල් කෑලි තියනවනම් ගඩොල් කපපු කට්ටියකුත් ඉන්ට එපාය....කෝ ඒ අය? ""

"ම්ම්ම්..මම හිතන්නෙ මෙහෙමයි...ඔය අනවසරයෙන් ගඩොල් කපන තැනක් වෙන්න ඕන..එකත් එකටම අපේ කියුරියෝසිටි එක එනව දැකල එයාල හිතන්න ඇති අඟහරු පොලීසියෙන් කඩා පනිනව කියල අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන්ට. ඒ හින්ද උං දුවල හැංගෙන්ට ඇති…"

"හරි එහෙම තමයි වෙන්න ඇත්තෙ...මම කියන්නං අපේ ඔපරේටර්ස්ලට කියුරියෝසිටි එක ඔපරේට් කරනකොට බොහොම පරිස්සං වෙන්නෙයි කියල. බැරිවෙලාවත් ඔය ගඩොල් කපන එකෙක් හැප්පිල ඌ මලොත් එහෙම  ආය කතා දෙකක් නෑ උං අපේ කියුරියෝසිටි එකට ගහල පෙරලල ගිනි තියල දානව…"

****************
ටං... ටිං.... ටුං....
****************

අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන කිසිදු ගහ කොළකින් තොර ශුෂ්ක පරිසරයට හේතුවන්නට ඇත්තේ කිසිදු පාලනයකින් තොරව හිතුමතේ ගඩොල් කැපීම විය හැකියයි ලෝක පරිසර වේදීහු අනුමාන කරති. පරිසරයට වන හානිය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ගඩොල් කැපීම දිගටම කරගෙන ගියහොත් නුදුරු අනාගතයේදී පෘථිවිය මතද අඟහරු මත දක්නට ලැබෙන පරිසරයට සමාන පරිසරයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් ඇතැයිද ඔවුහු බිය පළකරති.

උද්ගතවිය හැකි මෙවන් දැඩි අනර්ථකාරී තත්වයක් පිළිබඳව කල්තබා අනතුරු හැඟවීම වෙනුවෙන් ලෝක පරිසර සංවිධානය විසින් ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී පාටකුලසූරිය මහතා වෙත රන් පදක්කමක් සහ සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

****************
ටං... ටිං.... ටුං....
****************

ඊයෙ රෑ මම සුපුරුදු ලෙස අපේ උන්දැට කෝල් එකක් ගත්ත. ආගිය තොරතුරු එහෙම කතාකරල පස්සෙදි මම මෙහෙම කිව්ව.....

"මේ මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ.."

"මොකෝ?"

"ඊයෙද පෙරේදද දිවයින පත්තරේ තියනවනෙ අඟහරු ලෝකෙ ගඩොල් ගොඩක් තියල හම්බ උනාය කියල"

"අඟහරු ලෝකෙ?"

"ඔව්..ඔව්..එහෙ තමයි..අර කියුරියෝසිටි කියල පොඩි වාහනයක් වගෙ එකක් දැන් අවුරුදු හයක් තිස්සෙ අඟහරු මතුපිට එහෙම මෙහෙ ගිහිල්ල පොටෝ ගහනව. පොළව හාරල පස් ගන්නව. පරීක්සන කරනව. එක ජංජාලයයිනෙ. අන්න ඒ කියුරියෝසිටි එකෙන් ගත්තු පොටෝවල තමයි ඔය ගඩොල් කෑලි තිබ්බයි කියන්නෙ.."

"ඕක බොරුවක් නේද?"

"ඔව්..ඔව්...බොරු තමයි..අඟහරු ලෝකෙ කොහෙන්ද අනේ ගඩොල්?...එහෙම වෙන්න විදිහක් නෑ. වෙලා තියෙන්නෙ නාසා එකෙන් නිකුත් කරපු ප්‍රවෘත්ති වාර්තාව වැරදියට පරිවර්තනය කරල...ඒකයි…"

"ම්ම්..එහෙම වෙන්නත් පුලුවන්...ඒත් මට හිතෙනව ඒ ගඩොල් කතාවෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්ය කියල.."

"මොකක්? පිස්සුද හැබෑටම? ඒ කොහොම ද ඒක ඇත්තක් වෙන්නෙ?" මම ටිකක් සද්දෙං ඇහුව..

"හරි හරි ඕකට කෑගහන්ට ඕන නෑනෙ..අහගන්නකො.."

"මොකක්ද අහගන්නෙ?"

"අර අපි ගේ හදපු කාලෙ මතකද?"

අපි ගේ හැදිල්ල පටන් ගත්තෙ මීට අවුරුදු අටකට වගෙ ඉස්සෙල්ල...ඔව්..2010 අවුරුද්දෙ. 

"මතකයි... ඉතිං?"

"ගේ හැදිල්ල පටන්ගෙන මාස දෙකක් වගෙ යද්දි එක දවසක් හවසක ගෙනාපු ගඩොල් ලෝඩ් එකක් නැතිවුනා මතකද?"

"ඔව්..ඔව්..මට මතකයි..අර මුරට හිටපු කොල්ල මහ විකාර කතා වගයක් කිව්වෙ ඇහුවහම.."

"අන්න හරි …"

ඒකාලෙ ගේ හදන තැන රෑට කොල්ලෙක් නතර කරල හිටිය මුරට. කොහොම හරි එක දවසක් හවස ගෙනාපු ගඩොල් ලෝඩ් එකක් උදේ වෙනකොට මිසිං. වොචර් කොල්ලගෙන් ඇහුවම ඌ මහ විකාර කතා වගයක් කිව්ව. ඔය නැතිවෙච්චි ගඩොල් ගොඩ තිබ්බෙ අපි ගෙදර හදන තැන ඉඳල ටිකක් එහාට වෙන්ට. මහ පාර අයිනට වෙන්ට. 

කොල්ල කිව්වෙ රෑ ඒ පැත්තෙං මහ බයානක අමුතු අමුතු සද්ද සහ එලි වගයක් දැක්කය, බය හිතුන හින්ද ඌ ඒ පැත්ත පලතෙවත් ගියේ නැතිය, උදේ බලනකොට ගඩොල් ලෝඩ් එක එතන තිබ්බෙ නැතිය කියල. මේක උගෙ බොරුවක් කියල ආය කියන්නත් දෙයක්ය? ඒත් කමක් නෑ එක ගඩොල් ලෝඩ් එකනෙ කියල හිතල අපි ඒක අතෑරල දැම්ම. පොලීසි එහෙම ගියේ නෑ.

"ඉතිං මොකක්ද ඔයා දැං ඔය කියාගෙන එන්නෙ?" මම ඇහුව.

"මම කියන්නෙ අර කොල්ල කියපු කතාව ඇත්ත වෙන්න බැරිද කියලයි."

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ අර ඒකා එලි වගයක් දැක්ක..අමුතු සද්ද ඇහුනයි කියල කිව්වෙ.."

"ඉතිං?"

"ඒ ඔය අඟහරු ලෝකෙං අපේ ගඩොල් ලෝඩ් එක අරගෙන යන්ට ආපු පියාඹන පීරිසියක් වගෙ මොකක් හරි යානාවක් වෙන්ට බැරිද?"

"පිස්සුද අනේ? මොනවද මේ කියන්නෙ?"

"පිස්සු නෙවෙයි. ඔයාම නේද ඔය කොයිවෙලාවෙත් කියන්නෙ අර ඔයාගෙ ප්‍රියතම ආතර් සී. ක්ලාර්ක් කිව්ව කතාවක්.."

"මොකක්ද ඒ කතාව?"

"The truth is not only stranger than you think, it's even stranger than you can imagine…"

"හ්ම්ම්ම් එහෙමත් එකක් තියනවනෙ...නේ?...ඉතිං ඔයා කියන්නෙ එතකොට අපේ නැතිවෙච්චි ගඩොල් ලෝඩ් එකේ ගඩොල් තමයි ඔය අඟහරු ලෝකෙ තිබිල අර කියුරියෝසිටි එකෙන් පොටෝ ඇල්ලුවෙ කියල නේද?"

"මම එහෙමම කියන්නෙත් නෑ. මම කියන්නෙ එහෙම වෙන්නත් පුලුවන් නේද කියල.."

"හරි හරි ඒක එහෙමමය කියමුකො…..දැන් මොකද ඉතිං මම කරන්න ඕන?"

"මම කියන්නද? අපි නාසා එකට කතා කරල අපේ ගඩොල්  ආපහු ඉල්ලමු"

"මොකක්? ආපහු ඉල්ලන්ට?"

"ඔව් ඔය මිනිස්සු ඔය ගඩොල් කෑලි ටික ආපහු ගෙනෙයි එකත් එකටම. එතකොට අපි කියමු ඒ මීට අවුරුදු අටකට කලින් නැතිවෙච්චි අපේ ගඩොල්ය ඒ හින්ද එව්ව අපට ඕනය කියල"

"එයාල කැමති වෙයිද ඒකට? මම මේ කිව්වෙ ගඩොල් ආපහු අපිට දෙන්ට?"

"ආ..මේ අර ලංකාවෙ කවුද ඉන්නව නේද නාසා එකේ ලොක්කෙක්?"

"ඔව් ඩොක්ටර් ගුණපාල... ඉතිං?"

"අපි එයාට කතා කරල විස්තරේ කියමු. එයා මම හිතන්නෙ අපිට උදව් කරයි.."

"හ්ම්ම්ම් බලමුකො එහෙනම්. මම බලන්නම්කො හෙටම ඩොක්ට ගුණපාලගෙ නම්බර් එක හොයාගන්ට…"

"මේ..මේ..ඔයා ඒ හැටි හදිස්සි වෙන්ටත් එපා. මේ ටිකේම මෙහෙට පැල් බැඳගෙන වහිනව. ඔය ගඩොල් ගෙනල්ල මෙහෙ එලියෙ දාල තිබිල නිකං අපරාදෙ වැස්සට දියවෙලා යයි. එහෙම උනොත් අඟහරු ලෝකෙටත් නෑ. නාසා එකටත් නෑ..අපිටත් නෑ.... ඒ හින්ද අපි වැස්ස ටිකක් විතර පායපුවම බලමු.."

Sunday, June 10, 2018

588. පුවක් එෂැණිං 46 - මහා රෙකියුස් නාඩගමෙන් ශ්‍රී ලංකා අධිකරණය ජාත්‍යන්තර කීර්තියට....


සාමාන්‍ය මහජනයා ඉදිරියේ ගාම්භීරව කටයුතු කරන
විනිසුරන් බලවතුන් ඉදිරියේ බියපත්ව සැඟවෙන
අයුරු දැක්වෙන කාටූනයකි.
Daily Mirror Cartoon By Namal Amarasinghe

තර්ක සාස්තරේ තියනව "Syllogism" කියල යම් තර්කානුකූල නිගමනයකට එළඹෙන ක්‍රමවේදයක්. ඒකෙදි කරන්නෙ සත්‍යය බව හොඳින්ම දන්නා ප්‍රමේයයන් (Propositions) දෙකක් ඇසුරින් නිගමනයකට එළඹීමයි.

 It goes somewhat like this….

For example, knowing that all men are mortal and that Socrates is a man, we may validly conclude that Socrates is mortal. Syllogistic arguments are usually represented in a three-line form:

All men are mortal.
Socrates is a man.
Therefore, Socrates is mortal.

ඒ කියන්නෙ මෙහෙමයි...

සියළු පුරුෂයෝ මියයයන්නෝය. 
සොක්‍රටීස් වනාහී පුරුෂයෙකි. 
එබැවින් සොක්‍රටීස් ද මියයන්නේය.

ඔන්න ඔහොම තමයි අනාදිමත් කාලෙක ඉඳල ඉස්කෝලවල තර්ක ශාස්ත්‍රය උගන්නන්නෙ. ළමයින්ට එපාවෙනව ඉතිං. එහෙම නෙවෙයිනෙ. අලුත් ක්‍රම සහ විධි යොදාගන්ට ඕන ළමයින්ට හිතට කාවදින විදිහට උගන්නන්ට. 

ඒ අතින් අපේ අධ්‍යාපන ඇමතිතුමා සිරා පොරක්. අර හුළඟෙන් ඒඩ්ස් බෝවෙනව කියල එක පාරක් ඔලුවෙ ඉඳල නාගත්ත තමයි. ඒත් ඒ මනුස්සය ඔය කැබිනට් එකේ ඉන්න බහුතරයක් වයසක හාල් කෑලි වගේ නෙවෙයි වැඩක් කරන්න හදනව කියල පේනව. මේ ඊයෙ පෙරෙයිද අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනයක්.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කල යුතු බවට ගරු අධ්‍යාපන ඇමතිතුමා තීරණය කොට ඇත. ඒ අනුව ඉගැන්වීමේ ක්‍රමවේදයද වර්තමාන කාලයට ගැලපෙන අයුරු සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇත. උදාහරණයක් වශයෙන් තර්ක ශාස්ත්‍රය ඉගැන්වීමේදී ඉතා දිගු කාලයක සිට යොදා ගන්නා "සියළු මනුෂ්‍යයෝ මරණයට පත් වන්නෝය. සොක්‍රටීස් ද මනුෂ්‍යයෙකි. එබැවින් සොක්‍රටීස් ද මරණයට පත් වන්නේය." යන තර්කන විධි ක්‍රමය වෙනුවට වර්තමානයට වඩාත් ගැලපෙන පහත සඳහන් තර්කන විධි ක්‍රමය යොදා ගනු ඇත.

"සියළු මනුෂ්‍යයෝ මරණයට බිය වන්නෝය. විනිසුරුවරු වනාහීද මනුෂ්‍යයෝය. එබැවින් විනිසුරුවරුද මරණයට බිය වන්නෝය."

*************
ටං... ටිං.... ටුං....
****************

රජයේ ප්‍රසම්පාදන අයදුම්පත් කැඳවීමයි

වැලිකඩ බන්ධනාගාරයෙහි ඉදිරිපස තාප්පයෙහි "සියළු සිරකරුවෝද මනුෂ්‍යයෝය" යනුවෙන් විශාල අකුරින් ලියා ඇති ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටා ඇති තාප්පයේද අඩි 3 ක ප්‍රමාණයේ අකුරින් "සියළු මනුෂ්‍යයෝ මරණයට බිය වන්නෝය. විනිසුරුවරු වනාහී ද මනුෂ්‍යයෝය. එබැවින් විනිසුරුවරුද මරණයට බිය වන්නෝය." යන්න ලිවීම සඳහා ප්‍රසම්පාදන කැඳවනු ලැබේ.

අවශ්‍ය අයදුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි වෙතින් ලබාගත හැක.

*************
ටං... ටිං.... ටුං....
****************

විදෙස් විනිසුරුවරුන් ගෙන්වීමේ කුමන්ත්‍රණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිසුරුවරුන්ද සම්බන්ධ යැයි සහේතුක සැකයක් මතුවන බව මේ අතර ශ්‍රී ලංකා බාර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගිය මරා පාලන සමයේ ප්‍රථම සොහොයුරු (First Bro) ලෙස කටයුතු කල අමරිකානු පුරවැසි සහ විපත් මඟෙහි ගරු සබාපතිතුමා තමන්ට චෝදනා එල්ලවී ඇති හොර මැර තක්කඩිකම් පිළිබඳ පරීක්ෂණයන්ට කේසර සිංහ රාජයකු මෙන් ඉදිරිපත්ව තම නිර්දෝෂී භාවය ලෝකයා ඉදිරියේ සනාථ නොකොට සුපිරිං කෝට් එකේ නඩුකාරයින්ගේ ලෝගු අස්සේ රිංගමින් නටන නාඩගම නැවැත්වීමට තබා ඒ සඳහා තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් ඔහු ඉදිරිපත්කොට ඇති පෙත්සම විභාග කිරිමට පවා කොන්දක් නොමැතිව ශ්‍රේස්ටාදිකරන විනිසුරුවන් එකා පසුපස එකා වැලනොකැඩී පෙත්සම් විභාගයෙන් තමන් රෙකියුස් (Recuse = නඩුවක් විභාග කිරීමෙන් ඉවත්වීම) කොට ගැනීම වනාහී මේ කුමන්ත්‍රණයේම කොටසක් බව ශ්‍රී ලංකා බාර් සමාගමේ ගරු සබාපතිතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

මෙසේ එකා පසුපස එකා සුපිරිංකෝට් නඩුකාරයින් සියල්ලන්ම රෙකියුස් වුවහොත් විපත් මඟේ ලොක්කාට විරුද්ධව ඇති හැටහුටාමාරක් චෝදනා විබාග කරන්නේ කෙසේද යන්නද ජහමනයා හන්දි හන්දි ගානේ රැස්වී විටකමින් චුයිංගං හපමිං සාකච්චා කරති.

*************
ටං... ටිං.... ටුං....
****************

Recuse යන වදනට මෙතෙක් සුදුසු සිංහල වදනක් නොවූ අතර වර්තමානයේ ඒ වදනට මුවාවී නඩුකාරයින් නටනා නාඩගම් අනුව ඒ සඳහා පහත වදන සුදුසුයැයි බාසා විකාරදයෝ සඳන් කරති.

Recuse = අපෘෂ්ඨවංශික විනිශ්චයකරුවන් මරබියෙන් වෙව්ලමින් බැන්චිය අස්සේ සැඟවීම

ස්‍රේස්ටාදිකරනයට මින් මතු නඩුකාරයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ කශේරුකාව නිරුපද්‍රිතව අනම්‍ය ලෙස පවතින බවට විශේෂඥ වෛද්‍යවරයකු සහතික කල ඇක්ස්-රේ සටහනක් අයදුම්පතට අමුණා ඉදිරිපත් කලයුතු බවට කොන්දේසියක් පැනවිය යුතුද යන්න නීති සේත්‍රයේ කතා බහට ලක්වෙන බවද මේ අතර වාර්තා වේ.

*************
ටං... ටිං.... ටුං....
****************

(ටෑවු... ටැවු….. ටැවු…. ටෑවු…. ටැවු…. ටැවු... ටෑවු…. ටැවු... ටැවු…. ටෑවු…. ටැවු... ..ටැවු... ටා…..)

"ප්‍රියාදර නරඹන්නනි, මෙන්න අදත් ඔබ වෙනුවෙන්..මේ ඔබද මිලියනපති…මමද මිලියනපති…"

"අද අප පළමුවෙන්ම තරඟයට කැඳවන්නේ කොට්ටුකච්චියේ සිට පැමිණි උන්මාදනී සර්වභක්ෂණී.....එන්න උන්මාදනී…"

"හරි අපි එහෙනම් තරඟයට අවතීර්ණ වෙමු...මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්ණය….."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"ඔබ දන්නවා අපේ රටේ විනිසුරුවරුන් කිහිපදෙනෙක්ම පසුගිය දවස්වල තමන් ඉදිරියේ විභාග වීමට නියමිත නඩුවකින් ස්වේච්ඡාවෙන්ම ඉවත් වුනා. ඒ සඳහා බලපෑවේයයි ඔබ සිතන්නේ පහත හේතුන් අතරින් කුමක්ද?"

1. තමන් පත්කලේ හිටපු ජනාධිපතිතුමා බැවින් ඔහුට කෘතඥ වියයුතු යැයි ඔවුන් අදහස් කිරීම. 

2. තමන්ගේ හෘද සාක්ෂිය අනුව නිවැරදි තීරණය ප්‍රකාශ කළහොත් මරණ තර්ජන එල්ල වේයයි යන බිය. 

3. නඩු විභාගයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා යමෙකු විසින් යම් මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීම.

4. මුහුණු පොතෙහි නිරතුරු වසනා Hon. Netizen ලාට සති කිහිපයක් තළු මරමින් කතා කිරීමට සහ පෝස්ට් ලිවීමට අගනා මාතෘකාවක් සපයා දීම.

*************
ටං... ටිං.... ටුං....
****************

ශ්‍රී ලංකා අධිකරණය ලෝක අධිකරණ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් පිහිටුවා ඇති බව පුවක් එසැණින් ඔබ වෙත දන්වා සිටිනුයේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් හද පිරි බක්ත්‍යාදරයෙනි.

මෙතෙක් ලෝක අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක් විභාග කිරීම ප්‍රතික්ෂේප කොට ඉවත්වී ඇති වැඩිම විනිසුරන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළොම්බියාවෙනි. ඒ කොළොම්බියාවේ "කොකේන් රජු" වශයෙන් කුප්‍රසිද්ධ පබ්ලෝ එස්කොබා මහතාට එරෙහි නඩු විභාගය අතරතුරදී විනිසුරුවන් තිදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉවත්වීමෙනි. පසුගියදා විපත්මඟ සබාපතිතුමාගේ පෙත්සම් විභාගයෙන් සතරවන විනිසුරු වරයාද ඉවත්වීමෙන් ශ්‍රී ලංකාව නව වාර්තාවක් පිහිටුවා ඇත.

ඒ සඳහා මහත් කැපවීමකින් තම නොමසුරු දායකත්වය සැපයූ අතිගරු විනිසුරුවරුන් සිව් දෙනාට ජාතියේ උත්තමාචාර පිදීමේ උළෙලක් පැවැත්වීමට විපත්මඟ සංවිදානය සහ ශ්‍රී ලංකා බාර් සමිතිය එක්ව කටයුතු යොදා ඇත.

Thursday, June 7, 2018

587. The Story Of My Marriage - 71 - Mysore Pak, Snakelet Fossils & "Me?....You gotta be kidding?" Said Ananya's Mom….


ග්‍රෑන්ඩ් ස්වීට්ස් ඇන්ඩ් ස්නැක්ස් වෙළඳසල.....

"ආන්ටී..මම පොඩ්ඩක් ඇතුලට එන්නද?" මම හිනාවෙලා ඇහුව.

අනන්‍යාගෙ අම්ම ඉස්සරහ දොර බාගෙට ඇරල ඒ පිටිපස්සෙ ඉඳං මා දිහා බලාගෙන හිටිය. ඇගේ ඇස් දෙකේ තිබ්බෙ නිදිමත ගතියක්. ඈ ඇඳල හිටියෙ දෙපතුල් දක්වා වැහෙන දිග නයිටියක්. ඒකෙ ආය කතා දෙකක් නෑ. ආන්ටි නිදාගෙන ඉඳල තියෙන්නෙ. මම බෙල් එක ගහපු සද්දෙටයි ඇහැරල තියෙන්නෙ.

මම දොළහමාරට විතර ඔෆිස් එකෙන් ආවෙ මගෙ සෙක්ෂන් එකේ ගෝලයින්ට මම බිස්නස් ලන්ච් එකකට යනව, එන්ඩ පැය දෙක තුනක් යයි කියල දැනුම් දීල. බාලා උදේ ඉඳලම ඔෆිස් එකේ හිටියෙ නෑ. කොහෙ ගිහිල්ලද මන්ද. ඔය මනුස්සය ඔහොම ඔෆිස් එකේ නැතිවෙන්නෙ බොහොම කලාතුරකිං. කොයිවෙලෙත් ඉබ්බ කටුව අස්සට රිංග ගත්ත වගෙ ඔෆිස් එකේමයි.

අනන්‍යාලගෙ ගෙදරට එන අතරමඟ මම "ග්‍රෑන්ඩ් ස්වීට්ස් ඇන්ඩ් ස්නැක්ස්" එකෙන් ගත්ත මයිසෝර් පක් කිලෝ දෙකක්. මයිසෝර් පක් කියන්නෙ චෙන්නයිවල විතරක් නෙවෙයි මුලු දකුණු ඉන්දියාවෙම බොහොම ප්‍රසිද්ධ රස කැවිල්ලක්.

පරිවර්තකගේ සටහන - මෙතන පල්ලෙහ මම දානව මයිසෝර් පක් හදාගන්න විදිහ නොහොත් රෙසිපි එක ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. පහුගිය පෝස්ට් එකට කමෙන්ට් එකක් දාල අපේ සොඳුරු සඳවතී මැඩම් කියල තිබ්බ එයයිගෙ සත්තලං ගොයිය බ්ලොග් ලියන සහ කියවන හැමෝම නිර්වචනය කරන්නෙ "උං ඔක්කොම අන්ද කයිප්පු කාල ඉන්නෙ".... අන්න එහෙමලු. 

ඒ කමෙන්ට් එකට පිලිතුරක් විදිහට අපේ සිත්තමී නෝන මහත්තෙය කියල තිබ්බ එයයිගෙ සිත්තර තෙමේත් ඊට දෙවෙනි නැහැය කියල. ඉතිං මම මේ රෙසිපි වීඩියෝ එක දාන්නෙ ඒ දෙන්නට උදව්වක් වසයෙන්. ඔය නිවාඩු වෙලාවක මේ රෙසිපි එක බලල බොලාගෙ ඔය සත්තලංලටයි සිත්තරාලටයි මයිසූර් පක් හදල දීහල්ල. ඔය පිරිමි බහුතරයක් පැණිරහ කන්ට මරුවො. 

මතක ඇතුව කියාපල්ල ඔව්ව හැදුවෙ බ්ලොග් එකක තිබ්බ රෙසිපි එකක් බලාගෙනය කියල. ෂුවර් ඔය සත්තලංලගෙයි සිත්තරාලගෙයි ඔය බ්ලොග් ලියන ගොබිලො සහ ගොබිලියො අරභයා තියන දුර්මත හිරු දුටු පිණිබිඳු ලෙස පහවෙනව. 

බ්ලොග් ලියන්නන් කෙරෙහි පොදු මහජනයා තුල ඇති සාවද්‍ය ආකල්ප දුරු කරනු උදෙසා සමාජ සත්කාර්යයක් ලෙස මවිසින් පළ කරන ලද්දකි.



ආන්ටි දොර සම්පූර්ණයෙන්ම විවර කලා. මම ඇය පසුපසින් සාලයට ඇතුල් වුනා. 

"විනාඩියක් ඉන්න...මම එන්නම්" 

ඇය එහෙම කියල මම හිතන්නෙ ඇඳුම් මාරු කරගන්න ගේ ඇතුලට ගියා. මම සාලෙ සෝපාවෙ වාඩිවෙලා "ද හින්දු" පත්තරේ අරගෙන උඩින් පල්ලෙන් කියවන්ට ගත්ත.

ආන්ටි ඇඳුම් මාරු කරල ආපහු ඇවිල්ල මගේ ඉස්සරහ ඉඳගත්ත. 

"අංකල් ආවද?" මම ඇහුව.

"ඔව්..ඊයෙ හවස ආව. ඒත් අච්චර ගමන් මහන්සියකුත් තියෙද්දි අද ඔන්න වැඩට ගියා යන්නම ඕනෙයි කියල…"

"ආන්ටි නිදාගෙන නේද හිටියෙ? සමාවෙන්න නින්ද කැඩුවට…" මම එහෙම කියල මයිසෝර් පක් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටිය ඇයට දුන්න. 

"මේ මොනවද?"

"මේ මයිසෝර් පක් වගයක්...පෙරෙයිද රෑ ඩිනර් එක වෙලාවෙ සිද්ද වෙච්චි මොනවම හරි දේකින් ආන්ටිගෙ හිත රිදුනනම් සමාවෙන්න…"

ආන්ටි කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටිය.

"අනික් එක අර රත්නා ස්ටෝර්ස් එකේ වෙච්චි දේ ගැනත් මම කියන්න ඕන. මම ආන්ටිට සහතික කරල කියන්නම්. කිසිම නරක දෙයක් එතන සිද්ද වුනේ නෑ"

ආන්ටි දකුණතින් සංඥාවක් කලා ඒ ගැන කරදර වෙන්න එපා කියනව වගේ.

"චිත්‍රා ගැන මම දන්නව. හරිම ඊරිසියාකාරි. ඒත් ප්‍රශ්නෙ මේ වෙනකොට ඔය අම්මණ්ඩි මේ මුලු මයිලපෝර් වලම ගෙයක් ගෙයක් ගානෙ ගිහිල්ල ඔය විස්තරේ එක හත කරල කියල ඇති."

"මට තේරෙනව ආන්ටි. දිල්ලියෙ අපේ ගෙවල් අහල පහලත් ඔය වගෙ අය හරියට ඉන්නව. අනික් අය කරන කියන දේවල් ගැන හොයා බලන එක ඇරෙන්න එයාලට වෙන වැඩක් ඇත්තෙම නෑ."

මම කතාකරමින් ඉද්දිම ආන්ටි නැඟිටල කුස්සියට ගියා මම හිතන්නෙ රසකැවිලි පෙට්ටිය ශීතකරණෙ දාල එන්න වෙන්න ඇති. ඈ ආපහු ආවෙ රිදීපාට බන්දේසියක තියල වතුර වීදුරුවකුයි අර ඕනම දමිළ ගෙදරක විසිහතර පැයේම වරදින්නෙ නැති අර මම කලින් කිව්ව මෙලෝ රහක් නැති කෑම වර්ගය දාපු පිඟානකුයි තියාගෙන. මට එව්ව දකින කොට මතක් වෙන්නෙම දුඹුරු පාටට දඟර ගහගත්තු ගමන් ඉන්න පොසිලකරණය වෙච්චි පොඩි නයි පැටව්.

වෙන මොනව කරන්නද? මම හෙමිහිට ෆොසිලයිස්ඩ් ස්නේක්ලට් කෙනෙක් අතට ගත්ත. හොරැහින් ආන්ටි දිහා බලනකොට එයා මා දිහාම බලා ඉන්නව හරියට මම පොසිල නයි පැටියව කයිද නැද්ද කියල ෂුවර් කරගන්ට වගේ. ඉතිං වෙන අහවල් දෙයක් කරන්ටද? මම පොසිලෙ ඉස්සරහ දත් හතරට තියල හැපුව. හැපුව තමයි....තව අනූනමයයි තුන්කාලෙන් මට දත් දෙක තුනකුත් අහිමි වෙනව නිකං නිස්කාරනේ...... එච්චර සවි සක්තිමත් ඒ පොසිල නයි පැටව්. කෑමක් සක්තිමත් වෙලා වැඩක් තියෙන්නෙ කාටද? අනික මේ ලෝකෙ රහක් නෑ. අහවල් දේකට මේ මිනිස්සු මෙව්ව කනවද කියල ඒ මිනිස්සුන්ගෙ ඔය කෝටියක් විතර ඉන්න දෙයියොන්ගෙන්ම තමයි අහන්න තියෙන්නෙ...

මම කලේ හෙමීට පොසිලෙ කටෙන් එළිය ගත්ත අතේ හංගගෙන. ඊට පස්සෙ බොරුවට හපනව වගෙ ආන්ටිට පේන්න හකු පාඩා ක්‍රියාත්මක කෙරෙව්ව. වෙන අහවල් දෙයක් කියල කරන්නද අහිංසක මම? ආන්ටි ෂේප් කරගන්ටත් ඕන. ඒ අස්සෙ දත් කුට්ටම බේරගන්ටත් එපාය. 

මම හකුපාඩා ක්‍රියාත්මක කරවමින් සහ ආන්ටි බිම බලා සිටිමින් ගතවූ මිනිත්තු කීපයකින් පස්සෙ මම ආයම කතා කලා.

"මට ආන්ටිට පොඩි බඩුවක් පෙන්නන්න තියනව…." මම එහෙම කියල මගෙ ඔෆිස් බෑග් එක ඇරල අර කර්ණාටක සංගීත සී.ඩී. ආන්ටිගෙ අතට දුන්න.

"ටී.එස්. සුබ්‍රමානියම්?...." ආන්ටි සී.ඩී. කවරෙ තිබ්බ නම කියවල ඇස් පුංචි කරගෙන ප්‍රශ්ණාර්ථ බැල්මකින් මා දිහා බැලුව....."කාගෙද මෙව්ව?"

"මගේ..... මගේ කියන්නෙ... මම ගත්ත.."

"මොකක්?....ගත්ත?...සල්ලි දීල?….ඒ අහවල් දේකටද?"

"මෙහෙමයි ආන්ටි..මම උත්සාහ කරන්නෙ ඇත්තම කිව්වොත් කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න. ඒත් ඇත්තම කිව්වොත් වැඩේ ටිකක් විතර අමාරුයි. ඔය එක එක ජාතියෙ ස්වර රාග එහෙම මහ ගොඩක් තියනවනෙ..ඒ ඔක්කොමත් හරි ශ්‍රැති..අප්පෝ ඔලුව නරක් වෙනව.."

"ශ්‍රැති? ඔයා ශ්‍රැති ගැන දන්නවද?" ආන්ටි කිව්වෙ හුස්මත් නොගෙනද කොහෙද…

"පොඩ්ඩක් විතර ඉගෙන ගත්ත මේ දවස් කීපය ඇතුලත. ඒත් මම ආන්ටි වගෙ විශාරද කෙනෙක් නම් නෙවෙයි.."

සෝපාහාසාත්මක සිනාවකින් යුතුව ආන්ටි සී.ඩී. මගෙ අතට ආපහු දුන්න. 

"මොන විශාරදද ළමයො? මේ චෙන්නයිවලදි මම නිකම්ම නිකං ආධුනිකයෙක්. අර ඔයාලට රත්නා ස්ටෝර්ස් එකේදි මුණ ගැහුනෙ..චිත්‍රා..අන්න ඒ චිත්‍රත් මට වැඩිය දක්ෂයි ඔන්න කොටිම්ම කිව්වොත්…."

"මොන විකාර කතාවක්ද ඒ? කිව්වට තරහ වෙන්න එපා ආන්ටි මම නම් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ එක මොහොතකටවත්…" මම ස්ථිරසාර හඬින් කියා සිටියා.

ආන්ටි මගෙ බිරුසන්දීම නෑහුනා වගෙ කතාකරගෙන ගියා.

"ඔය චිත්‍රා මට වැඩිය දක්ෂ වෙන්න එක හේතුවකුත් තියනව. චෙන්නයි වල කචේරි ඔක්කොම පාලනය වෙන්නෙ නගර සභාවෙන්. අනික කචේරි පවත්වනතැන් පාලනය වෙන්නෙත් නගර සභාවෙන් පත්කරපු නිලධාරියෙක් යටතෙ. ඔය චිත්‍රගෙ තියනව ඒ නිලධාරිය එක්ක ලොකු ගණුදෙනුවක්. ඒ මනුස්සය තමයි අපේ මේ ගුරුජීට කියල තියෙන්නෙ චිත්‍රට සංගීතෙ පුහුණු කරන්නෙයි කියල. කචේරි සම්බන්ධව ඒ මනුස්සයට තියෙන බලතල හින්දම ගුරුජීට ඒකට කැමතිවෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබිල නෑ.......බලන්නකො චිත්‍රා මේ වගෙ කැත තුච්ඡ වැඩක් කරයි කියල හිතාගන්නවත් පුලුවන්ද? "

"බෑනෙ කොහොමවත්ම බෑ.." මම හිස සොලවමින් පැවසූයෙමි.

(සටහන :- මම මෙතන පොඩි පැහැදිලි කීරිමක් කලානම් හොඳයි කියල හිතුන. පැහැදිලි කිරීමක්ය කියල කිව්වෙ කචේරි කියන්නෙ මොකක්ද කියල. කචේරි කියල කියනවයි කියන්නෙ කර්ණාටක සංගීතවේදීන්ගෙ රැස්වීමකට එහෙම නැත්නම් කර්ණාටක සංගීත ප්‍රසංගයකට. රැස්වීමක් වගෙ අර්ථයකුත් ඒ වචනෙ තියන හින්ද ලංකාවෙ කච්චේරිය කියන වචනෙ මූලාරම්භයත් ඔය කචේරි කියන වචනෙද කියල මට හිතෙනව. අනික් කාරණේ දිසාවක් පාලනය කරන රජයේ පාලන කාර්යාලවලට කච්චේරි කියල කියන්නෙ ලංකාවෙ විතරලු. වචනෙ දෙමළ උනාට දකුණු ඉන්දියාවෙවත් එහෙම වචනයක් භාවිතා වෙලා නෑ කියල තමයි කියන්නෙ.

ආ...තව එකක්..මෙතන ගුරුජී කියල කිව්වෙ අනන්‍යාගෙ අම්ම සංගීතය ඉගෙන ගන්න හිතාගෙන හිටපු ගුරුවරය. අර අම්මගෙ දැනුම මදියි කියල උගන්නන්ට බෑ කියල දමල ගහල ගියේ අන්න ඒ මනුස්සය. අර මම ඉස් ඉස්සෙල්ලම අනන්‍යාලගෙ ගෙදර ගිය දවසෙ එහෙ හිටපු වයසක ලොක්කා. මම එදා හිතුවෙ ඒ මනුස්සය අනන්‍යාගෙ මුත්තයි කියලනෙ..ආන්න....දැන් මතකයිනෙ...That's Guruji for you my dear readers ....)

"ඉතිං ආන්ටි ඔය ගුරුජී විතරක් නෙවෙයිනෙ මේ චෙන්නයිවල ඉන්නෙ... තව හොඳ අය ඇතිනෙ.."

"ඉන්නව ඉන්නව මොකෝ නැතුව. අපි බලමුකො....ඒ කොහොම උනත් මට නම් දැන් සංගීතෙම එපාම එපා වෙලයි තියෙන්නෙ.."

"එහෙම එක පාරට කලකිරෙන්නෙ එපා ආන්ටි.."

"හරි හරි ඒ ගැන කතාකලා දැන් ඇති..ආ...මම පෙරේද ඩිනර් එක වෙලාවෙ හැසිරුන විදිහ ඇත්තටම හරි මදි... මට සමාවෙන්න.."

"අනේ නෑ ආන්ටි මේ ඇත්තමයි මම කියන්නෙ..ආන්ටි සමාව ඉල්ලන්න තරම් වරදක් කලේ නැහැ එතන. මම මේ ආවෙ ආන්ටිගෙන් සමාව ඉල්ලන්න.."

"හරි හරි ඒක අමතක කරල දාන්න.." ආන්ටි කිව්ව.. 

"ආන්ටි සමාව ඉල්ලනවත් එක්කම පොඩි ඉල්ලීමකුත් කරන්නයි ඇත්තම කිව්වොත් මම මේ ආවෙ…"

"ඉල්ලීමක්? මොන ඉල්ලීමක්ද?..ඔයාල මොකටද මගෙන් ඉල්ලීම් කරන්නෙ?..ඔය දෙන්න කොහොමත් ඔයාලට ඕන විදිහටනෙ වැඩ කරන්නෙ..අර මගෙ දුවෙක් කියල ඉන්නව…"

ආන්ටි ඒ පාරෙ යන්න ගත්තොත් කිසි දෙයක් කරගන්න වෙන්නෙ නැතිබව හොඳටම දන්න හින්දම තව මොකවත්ම කියන්න නොදී මම මැද්දට පැන්න.

"නෑ නෑ ආන්ටි මේ ඉල්ලීම කොහොමවත්ම අනන්‍යායි මායි ගැන නෙවෙයි.."

"එහෙනම්?"

"මම වැඩ කරන්නෙ සිටි බැංකුවෙනෙ..ඉතිං අපි තීරණය කරල තියනව සංගීත ප්‍රසංගයක් වගෙ එකක් කරන්න. අපේ කස්ටමර්ස්ලට ස්තූති කරන්නයි ඒ ඇරුනම අපේ කෝපරේට් ඉමේජ් එක පොඩ්ඩක් නග්ගල ගන්නයි කියන කාරණා දෙකටම…"

ඉතිං ඊලඟ මිනිත්තු දහය වගෙ කාලෙදි මම ආන්ටිට අපේ ප්‍රසංගය ගැන සම්පූර්ණ විස්තරයක් කලා. අපි ප්‍රසංගය පවත්වන්න හිතාගෙන ඉන්නෙ Fisherman's Cove Resort එකේ කියලත් කිව්ව. ඊලඟට අපේ ප්‍රධාන පෙලේ ගනුදෙනු කාරයො විදිහට ප්‍රසංගයට අපි ආරාධනා කරන්නට හිතාගෙන ඉන්න චෙන්නයිවල ප්‍රභූ පැලැන්තියෙ ධනවතුන්ගෙ නම් ලැයිස්තුවත් කිව්ව. ආන්ටි තුස්නිම්බූත වෙල මගේ විස්තරේ අහගෙන හිටිය වචනයක්වත් කියන්නෙ නැතුව. මට හිතෙන්නෙ මනුස්සයට හිතාගන්න බරිවෙන්න ඇති ඇයි මම මේ විස්තරේ එයාට කියන්නෙ කියල

"ඉතිං ආන්ටි අපේ කොන්සර්ට් එක පැය දෙකක් තියනව. අපි ගායක ගායිකාවො තුන් දෙනෙක්ට ආරාධනා කරන්න හිතාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට සිංදු කියන්න…."

එහෙම කියල මම එක එල්ලේ ආන්ටිගෙ මූණ දිහා බැලුව.."ඉතිං ආන්ටි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔයා…"

"මම?..." ආන්ටි කෑගැහුව කෑගැහිල්ලට මගෙ කන්දෙක අගුල් වැටුන වගේ උනා....

Sunday, June 3, 2018

586. පුවක් එෂැණිං 45 - ග්‍රාම නිලධාරීන්ගේ විශේෂ පුහුණුව, ලංකාවේ රොබින් හුඩ්, Full Body Brain සහ එක්සත් පිවිතුරු අලවුඉසි මූල්‍යප්‍රතිලාභ පෙරමුණ…..


"ජාතික ආණ්ඩුව...." ඩේලි මිරර් කාටූනය - අවන්ත ආටිගල

ග්‍රාම නිලධාරීන් 1600කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට දිවයින පුරා උග්‍ර ග්‍රාම නිලධාරී හිඟයක් පවතින අතර මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබුණේ මීට මාසයකට ප්‍රථමය. 

මෙම ප්‍රමාදය පිළිබඳව අදහස දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පුහුණු කටයුතු භාර අධ්‍යක්ෂතුමා මෙසේ පැවසීය.

"මේ ප්‍රමාදයට හේතුව අපේ පුහුණු කාලය අනපේක්ෂිතව මාසයකින් වගෙ දීර්ඝ වෙච්චි එකයි. ඒකට හේතුව හදිස්සියෙම අපිට උපදෙස් ලැබුන මේ පුහුණුවන ග්‍රාම  නිලධාරීන්ට විශේෂ පුහුණුවක් දෙන්නෙයි කියල බැරිවෙලාවත් ලංකාවෙ ජනාධිපතිකම එහෙම ලැබුනොත් කතා කරන්න එතකොට හැසිරෙන්න එහෙම ඕන කොයි විදිහටද කියල."

"අන්න ඒ විශේෂ පුහුණුව හින්දයි මේ ප්‍රමාදය සිද්ධ වුනේ. ඒත් මට සහතික කරල කියන්නට පුලුවන් අද මේ පත්වීම් ලබපු 1600 දෙනාට අපි ඒ විශේෂ පුහුණුව හරියාකාරව ලබා දීල තියනව ඒ හින්ද මහ ජනතාවට කිසිම විදිහකින් ඉදිරි අනාගතයෙදි බය වෙන්න දෙයක් නැහැය කියල....."

****************
ටං... ටිං.... ටුං....
****************

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය පිළිබඳව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අර්ජුන් ඇලෝසියස් මහතා තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලබාදුන් බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පිළිගනී. ඒ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

"ඔව් මම පිළිගන්නව ඇලෝසියස්ගෙන් මට රුපියල් මිලියනයක චෙක් එකක් හම්බ උනයි කියල. මගේ ආරක්ෂක නිලධාරියා ලවා මම ඒ චෙක් එක මාරු කරවගත්ත. ඒකත් ඇත්ත. ඒත් මම ඒ චෙක් එක ගත්තෙ මට වියදම් කරගන්න නෙවෙයි. මාගේ අදහස තිබ්බෙ ඒ සල්ලි දුප්පත් මහජනයා වෙනුවෙන් වියදම් කරන්න. නැති බැරි මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ අරන් දෙන්න. අඳින්ට යමක් අරන් දෙන්ට. ගෙවල් හදාගන්න උදව් කරන්න"

"මම හිතාගෙන හිටියෙ රටේ ඉන්න පෝසත් මිනිස්සුන්ගෙන් ඔය විදිහට සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට මොනව හරි උදව්වක් කරන්න. අර ඒ කාලෙ එංගලන්තෙ හිටියය කියන්නෙ රොන්බින් හුඩ්..අන්න ඒ වගේ..ඒත් ඒ එක්කම වස වැරැද්දක්නෙ උනේ. මම එතකොට ක්‍රීඩා ඇමතිනෙ. ඔබ තමුන්නාන්සේලාට මතක ඇති අර ක්‍රිකට් ක්‍රීඩකය ලසිත් මාලිංග..."

"ඒ මනුස්සය අර ගිරව් බෙනේද රිලව් බෙනේද කියල කට කැඩිච්චි කතාවක් කියල මෙතන රටේම මිනිස්සු මට රිලාසිරි කියල කියන්න ගත්තනෙ. ඒ කතාවට මගෙ පැනපු මල මාසයක් විතර අල්ලල හිටිය. ඉතිං ඒ අව් අස්සෙ මට ඔය ඇලෝසියස්ගෙ සල්ලි ගැන මෙලෝ සංසාර දෙයක් මතක නැතුව ගියා. ඔන්න ඕකයි ඇත්තටම සිද්ද වුනේ.. නැතුව වෙන වංචාවක් දූසනයක් එහෙම මොකවත් සිද්ද වුනේ නෑ...ඩිස්කේ අම්මට ඩිස්කේඩේ..."

****************
ටං... ටිං.... ටුං....
****************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇතිබවට බැඳුම්කර කොමිසම් වාර්තාවෙහි සඳහන් වන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇලෝසියස් මහතා සඳහන් කලේ එසේ හැකි පමණ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මුදල් ලබාදෙන ලෙසට තමන්ට උපදෙස් දුන්නේ බැඳුම්කර වංචාවේ මහ මොළකරු විසින් බවයි.

"අර්ජුන් මලේ පුලුවන් තරම් වැඩි මන්ත්‍රීල ගානකට සල්ලි දෙනව. අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න හරක්ට සල්ලි හම්බවෙනවනම් කොහෙං උනත් කමක් නෑ. උඩ පැනල බාර ගන්නෙ. මම දන්නෙ නැද්ද උංගෙ හැටි. මමත් ඕකෙ ඉන්නවනෙ 77 ඉඳලම. පුලුවන් තරම් වැඩි ගානකට සල්ලි දීල ඒ ඔක්කොම මේකට පටලවල තිබ්බම වැඩේ බැරිවෙලාවත් මාට්ටුවෙලා බැලතණ ගහේ රුන්න වගේ උනොත් අපිට වාසියක් ගන්න පුලුවන්. මොකද ඔය කෝක උනත් අන්තිමට විවාද කරන්න එන්නෙ ඔය හරක් මඩුවටනෙ." 

බැඳුම්කර වඤ්චනික මගඩියේ මහ මොළකරු තමාට එසේ පැවසූ බව ඇලෝසියස් මහතා තවදුරටත් පවසා සිටියේය

"මහමොළකරු කියන්නෙ තනිකරම මස්තිෂ්කයක්...ඇඟ පුරා මොළේ...Full Body Brain...." ඇලෝසියස් මහතා අවසාන වශයෙන් පැවසීය.

****************
ටං... ටිං.... ටුං....
****************

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 118 දෙනා එකතුවී නව සන්ධානයක් පිහිටුවා ගතයුතුයැයිද අදහස් පලවී ඇත. "එක්සත් පිවිතුරු අලවුඉසි මූල්‍යප්‍රතිලාභ පෙරමුණ" ලෙස හැඳින්වෙන එම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස මුදල් නෝට්ටු මිටිය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලාසිටීමටද තීරණය වී ඇත. 

"මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මුදල් නෝට්ටු මිටිය ළකුණ දෙන්න බෑ කිව්වොත් අපි හිතාගෙන ඉන්නෙ අත් දෙකක් හංසයෙක්ගෙ බෙල්ල මිරිකන සීන් එකක් චන්ද ලකුණ විදිහට ඉල්ලන්න. එහෙමත් නැත්නම් බැඳුම්කරේක ෆොටෝ එකක් වුනත් අවුලක් නෑ. අනික අපේ මේ පිවිතුරු අලවුඉසි පෙරමුණ කියන්නෙ ලංකා ඉතිහාසෙ පළවෙනි වරට දේශපාලන පක්ෂ භේදයකින්, ජාති ආගම් කුළ භේදයකින් එතකොට ස්ත්‍රී පුරුෂ භේදයකින් පවා තොරව එකම අරමුණක් වෙනුවෙන් මහජන නියෝජිතයො එකා වගෙ එක්සත් වෙන ප්‍රථම අවස්ථාව"

"මේ පෙරමුණේ ප්‍රධාන සහ එකම අරමුණ මුදල්..මුදල්..මුදල්...දැන් රටක් දියුණු කරන්ට මොනවද ඕන ප්‍රධාන වශයෙන්? මට කියන්න....මුදල් නේද? ඉතිං මුදල් එකම අරමුණ කරගෙන  මහජන නියෝජිතයින්ගෙ මේ එකතුවීම මට ඉස්තීරයි මේ රටේ අනාගත දියුණුවේ නව සන්ධිස්ථානයක් වෙනව..." 

නව පෙරමුණේ මුල් පෙලේ සාමාජිකයෙක් පුවක් එෂැණිං අමතා එලෙස ප්‍රකාශ කලේය.

Friday, June 1, 2018

ගෝඨාභය පෙරහැර


තාජුඩීන් ඝාතනය පිළිබඳව අත් අඩංගුවට ගැනුනු නියෝජ්‍ය
පොලිස්පති අනුර සේනානායක සමඟ ගෝඨාභය - 

ඡායාරූපය - සේන විදානගම (Colombo Telegraph)

විකල්ප වෙබ් අඩවියේ පළවූ සුනන්ද දේශප්‍රියගේ ලිපියකි.

පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ ගම්මන්පිලද හොරනෑ පිඹිති. ගෝඨාභය රාපපක්ෂගේ ‘මුලුතැන්ගෙයි අැමැති මණ්ඩලය’ වන්නේ මෙවැනි පිරිස් නම් සිදුවන්නට යන්නේ කුමක්දැයි අටුවාටීකා ලිවීම අවශ්‍ය නැත.

මෙම වර්ධනය විසින් උග්‍ර රාජපක්ෂවාදියකු වන දයාන් ජයතිලක පවා යම් තරමකට තැති ගන්වා ඇති බව පසුගියදා ඔහු ඉංග්‍රිසි පුවත්පතකට ලියන ලද ලිපියකින් පෙනෙන්නට තිබුණි.

වැඩි දිනක් යෑමට පෙර මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් සිරගතවීමට නියමිත රාජපක්ෂවාදී සියළු දේශපාලකයින් මෙම පෙරහැරට සම්බන්ධවනු නොඅනුමානය.

මේ සියලු දෙනාගේ දේශපාලනයේ එක් මහා පොදු සාධකයක් තිබේ. එනම් මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් අවශ්‍ය නැතැයි යන්නය. එහිම දිඟුවක් වන්නේ එල්ටීටීඊය සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයෙහිදී දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදු නොවුනේය යන්නය. එනයින්ම පශ්චාත් යුද්ධ සංහිදියා වැඩ පිලවෙළක් අවශ්‍ය නොවන්නේය යන්නයි.

දෙවැනි මහා පොදු සාධකය නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ හුදු ආර්ථික සංවර්ධනයක් බවයි. එහිලා සිවිල් සහ දේශපාලන අයිතීන්ද ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතින්ද එතරම් සැළකිල්ලට ලක් නොකල යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සේ සැළකිය හැකි පසුගියදා ෂැංග්රිලා හෝටලයේ දී ඒ බව ඉතා පැහැදිළවම දැක්ක හැකි විය.

තෙවැනි මහාපොදු සාධකය වන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ මහම පිළිලය වන දේශපාලන පංතිය විසින් මහජන දේපළ ගසාකෑම සහ දූෂණ වංචා මගින් බඩවඩා ගැනීම තවදුරටත් එළෙසම පවත්වා ගෙන යෑමය.

සන්ඩේ ලීඩර් කතුවරයා ඝාතනය කිරීම ගැන විදෙස් ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවෙහි ‘ලසන්ත වික්‍රමතුංග කියන්නේ කවුද?’ යනුවෙන් අවඥා සහගත සැරවැර හඩින් පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඉන්නේ එතැන බව ඔහුගේ ෂැංග්රිලා කතාවෙහි පේළී අතර කියැවෙන සැඟවූ අදහසය. වැළිකඩ රුඳවියන් ඝාතනය, ජේෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත කැඳවා වක්‍ර මරණ තර්ජනය කිරීම, සුදර්ඕලි පුවත්පතෙහි කර්තෘ විද්‍යාදරන් පැහැර ගෙන පහරදීම අමූලික චෝදනා මත සාධාරණය කිරීම වැනි වාර්තාගත මර්දන දේශපාලනයෙන් තමා මිදී ඇතැයි පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ කිසිදු උත්සාහයක් ගන්නේ නැත.

දේශපාලනඥයකු නොවූ ගෝඨභය රාජපක්ෂ තමන් වටා රැස්කරගෙන සිටින්නේද දේශපාලනඥයින්ට වඩා යුදවාදී පිරිස්ය. ඔහුගේ ෂැංග්රිලා කතාවෙන් පෙන්නුම් කැරැනේද එම නරැම මතවාදයයි. එහිි පුරවැසි අයිතීන් වෙනුවට ඇත්තේ ව්‍යාපාරික අයිතීන්ය. ඔහු වටා සිටින විදෙස්ගත සිංහල පිරිස් ද අන්තවාදී සහ අනෙකා යටපත් කිරීම සිය මතවාදය කර ගත් පිරිස්ය. අනෙක් අතට මෙරට දෙමළ දේශපාලනයෙහි වර්ධනය වෙමින් ඇති රැඩිකල් සහ සම්මුති විරෝධී එමෙන්ම එල්ටීටීඊ යුද්ධය උත්කර්ෂයට නංවන ප්‍රවණතා විසින් ද ගෝඨාභයගේ මර්දනයේ දේශපාලනයට ඉන්ධන සැපයෙයි.

පශ්චාත් යුද්ධ සමයෙහි මහින්ද රාජපක්ෂ නම් දේශපාලනඥයාට තෝරා ගැනීම් දෙකක් තිබුණි. එකක් නම් ධර්මාශෝක ගත් මඟයි. අනෙක දිගටම චන්ඩාශෝක මගෙහි ගමන් කිරීමයි. ඔහු තෝරා ගත්තේ මර්දනය මගින් පාලනය කිරීමේ දෙවන මාවතයි. ගෝඨාභය රාජපක්ෂ නම් හිටපු යුද සෙබලාගේ සහ ඇමෙරිකානු පුරවැසියාගේ සංකලනයට තෝරා ගැනීම් දෙකක් නැත. ඔහුට ඇත්තේ පිලිපීනයේ ජනප්‍රිය ජනඝාතක දුතර්තේගේ භූමිකාවෙහි ලාංකීය අනුකරණයක් පමණි.

රාජපක්ෂ පිළෙන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ සිටිනු ඇත්තේ ගෝඨාභයට යටිනි. බැසිල් රාජපක්ෂට සමහර විට සිටිනු ඇත්තේ වැලිකඩ සිරගෙදරය. විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ගෝඨාභයගේ පිළිවෙත අනුකම්පා විරහිත ප්‍රහාරයයි. එබැවින් රාජපක්ෂ පවුල් ගසද දෙදරා යැවීමට ඉඩ නැතුවා නොවේ.

ගෝඨාභය පෙරහැර දැන් සිටම හැඩ ගැසෙන්නේ මෙම අනුමානයන් සැලකිල්ලට ගනිමිනි. ගෝඨාභය යටතේ බැඳුම්කර හොරු සිරගත කැරෙනු ඇතැයි උදාන වාක්‍ය ලියැවෙන්නේ ඒ අනුවය. ගෝඨාභය සෝදා පිරිසිදු කිරීම දැන් සිටම දේශපාලන ලොන්ඩරිකරුවන් විසින් පටන් ගෙන ඇත්තේ ද ඒ අනුවය. බේරුවල මුස්ලිම් ජනපිරිසක් සතුටින් ගෝඨාභය රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටීම මගින්ද පෙන්නුම් කැරෙන්නේ පෙරහැරේ යාමට ලක ලැහැස්තිවන අන්දමයි.

වළං කඩයට පැන ගත් ජනප්‍රවාදගත හරකා මෙන් දකින දකින සෑම තැනකටම ඇනීම දේශපාලනය කරගෙන ඇති ජනාධිපති සිරිසේන ද ගෝඨාභයගේ අනියම් උදව්කරුවකු බවට පත්ව තිබේ. බලයට පත්වී වසර තුන හමාරකට පසු දින සියයේ වැඩ පිළිවෙළ තමා දැන සිටියේවත් නැතැයි මුසා බස් තෙපළන එමෙන්ම ආණ්ඩුවේ කකුළෙන් ඇදීම සිය මූලික පියවර බවට පත් කරගෙන සිටින සිරිසේන ඇත්ත වශයෙන්ම නම් දැන් අනියමින් යෙදී සිටින්නේ රාජපක්ෂවරු යළි බලයට ගෙන ඒමෙහිය.

මෙම තීරුවෙහි මෙයට පෙරද ලියා ඇති පරිදි සිරිසේන මෙම තත්වයට පත් කරන ලද්දේ වික්‍රමසිංහ සහ සහචර කල්ලිය විසින් කරන ලද බැඳුම්කර වංචාව නිසාය. රනිල් වික්‍රමසිංහගේ යටිකූට්ටු දේශපාලනය විසින් ආණ්ඩුව පමණක් නොව යූඇන්පියමද දෙදරවා තිබේ. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ නම් එජාපයේ පැත්තක්ම ගැලවී යනවා නොඅනුමානය. ඔහු නීච පරාජයකට ලක්වන බව දැන්ම ලියා තැබිය හැකිය.

එසේ නමුත් මේ කිසිවක් නිසා සිරිසේනගේ වත්මන් පිස්සු කෙළීම සාධාරණ වන්නේ නැත. 2015 ජනවාරියෙහිදී මෙරට ජනයා සිරිසේන ජනාධිපතිබවට පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහට තඩි බාමින් කෙකර ගෑමට නොවේ. දින සියයේ වැඩ සටහනත් ඔහුගේ නොවේ නම් සිරිසේන විසින් කරන ලද කෙංගෙඩියක් නැත. අද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් උදාවී ඇත්තේ දින සියයේ වැඩ සටහනට ස්තුති වන්නටය. දැන් සිරිසේන එයට තමාගේ සම්බන්ධයක් නැතැයි කියා තිබේ.

ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා විරුද්ධවීමට පොහොට්ටු පක්ෂය තීරණය කිිරීම විසින් පෙන්නුම් කැරෙන්නේ ගෝඨාභයගේ ජනාධිපති ඉලක්කය එකී දේශපාලනයේ කේන්ද්‍රය වීමට පටන්ගෙන ඇති බවයි. මහින්ද රාජපක්ෂ කැමැති වුවත් නැතත් දැනට පෙනෙන හැටියට නම් පොහොට්ටු අපේක්ෂකයා වනු ඇත්තේ ගෝඨාභයයි.

එය වැළැක්විය හැකි ප්‍රධානතම සාධකය ඇත්තේ ඇමෙරිකාව අතෙහිය. කවර හෝ ක්‍රමයකින් ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කර ගැනීම පමා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය පියවර ගතහොත් ගොඨා්භයගේ සිහිනය දෙදරා යනු ඇත. එනයින් අවසාන විග්‍රහයේදී ගෝඨාභය පෙරහැරේ තිරය එසවීම හෝ වැසීම ඇත්තේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය අතෙහිය.

රාජපක්ෂවරුන්ගේ ජනප්‍රිය දේශපාලනයේ පරම හතුරා වූ බටහිර දේශපාලනය මත ශ්‍රී ලංකාවේ යුදවාදී ජාතිකවාදී ජනප්‍රිය ඒකාධිපතියා වීමට පෙරුම්පුරන ගෝඨාභයගේ ඉරණම රැදී තිබීම කුමන නම් දේශපාලන උත්ප්‍රාසයක් ද?

ප.ලි. මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලම සිය නිජබිම බවට ඇමෙරිකාව පත්කරගෙන සිටීම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනයේ ඇත්ත යථාර්තයේ පිළිඹිමුවකි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...