Tuesday, November 7, 2023

689. ක්‍රිකට් ලෝක සූරතාව...කෝලි සහ ෂර්මා.....


කෝලිකුට්ටුවා සහ සරමා....

 අපේ මංජුල පීරිස් ලොක්කගෙං බේරෙන්ට බෑ හෙනහුරාදා රෑ දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන්ටෙයි කියල..මොනව උනත් ඕකා හොඳ එකා..ඒ හින්ද මම කල්පනා කලා එහෙම කරමුය කියල..

මේ දවස්වල හැමෝන්ම ලෝක සූරතා ආතල් එකේනෙ ඉන්නෙ..ඒ හින්ද ඒ ගැන ලියපු පොඩි සටහන් දෙකක් මෙන්න..

ආ...තව පොඩි ට්‍රිවියා නොහොත් ටිට් බිට් එකක්..ලංකාවෙ තියෙන්නෙ ඔය V & A කියල අරක්කු ජාතියක්..ඒකට ඔය නම දාල තියෙන්නෙ විරට් ඇන්ඩ් අනුෂ්කා කියන එකෙන්..

*******************************************

වර්ල්ඩ් කප්පෙකේ ඉදිරි තරඟ පැවැත්විය යුතු ආකාරය පිලිබඳව ඉතාම කාලෝචිත සහ බහුසෲත යෝජනා මාලාවක්...

අපරාදෙ ඉන්දියාව ඉතුරු මැච් ගහන එක..නිකං අපරාද වියදමක්නෙ..අනික අනික් ටීම් දෙකේ ක්‍රීඩකයින්ගෙ මහන්සිය..අම්පයර්ල දෙන්නගෙ තර්ඩ් අම්පයර්ගෙ ඉඳල ප්‍රේක්සකයො දක්වා බොරුවටනෙ මහන්සි වෙන්නෙ..

ඊට වඩා දාහක් හොඳයි අපි මෙන්න මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මෙන්න මගේ යෝජනා...

1. ඉන්දියාව නෙදර්ලන්තෙත් එක්ක මැච් එක දිනුවයි කියල හිතාගෙන පොයින්ට්ස් දෙකක් දාගන්නව..නෙට් රන් රේට් එක කොහොමත්ම අදාල නොවේ... මොකද ඉන්දියාව දැනටම ගහපු මැච් අටම දිනල පොයින්ටස් 16 අරං ඉන්නෙ..වෙන කාටවත් ඒ ගාණට එන්න බෑ..ඒ හින්ද NRR is irrelevant.....

2. ඒ මැච් එකේදිම කෝලි කුට්ටුවා  50 වෙනි සෙන්චරියත් දැම්ම කියල වාර්තා පොත් වලට ඇතුලත් කරනව..බුවාගෙ ළකුණු ගාන මෙහෙමයි ගණනය කරන්නෙ..කෝලීස් බාර්යා තොමෝ අනුස්කා නංගිගෙ උපන්දිනේ 1988. 5.1 ඒ දිනේ අංක ටික එකට එකතු කරනව එතකොට 1+9+8+8+5+1 = 32යි..

32 වැඩි කරනව අනුස්කගෙ උසෙං..සෙන්ටි මීටර් 168යි..එතකොට ඒ කියන්නෙ ඩෙසි මීටර් වලින් නම් 16.8යි..32 x 16.8 = 537.60 ආසන්න වශයෙන් 538යි..මේ පාර ඉන්දියාව දිනන්න යන්නෙ උංගෙ 3වෙනි වර්ලඩ් කප් එක..ඒ හින්ද 538 / 3 =179.33 ආසන්න වශයෙන් 179යි..ඒ ගාන ටිකක් වැඩියි වගේ හින්ද කෝලිගෙ වැඩිම ස්කෝර් එක 183 යිනෙ..ඒකෙං කෝලිගෙ වයස අඩු කරනව..183 - 35 = 148යි..ඒකත් වැඩියි වගේ කියල පේන හින්ද ආයම පාරක් අනුස්කගෙ වයසත් අඩු කරනව ( ඒ යෝදිටත් වයස 35යි.. ) එතකොට 148 - 35 = 113යි අන්න ඒ ගාන නං සාදාරණයි වගේ නේ? එහෙනං එතකොට කෝලි නෙදර්ලන්තෙ එක්ක ගැහුවෙ 113යි කියල වාර්තා පොත් වල සටහන් වෙනව..

3. ඊගාවට ඉන්දියාව සෙමි ෆයිනල් එකෙනුත් දිනනව සහ කෝලි ඒකෙත් සෙන්චරියක් ගහනව කියල..එහෙමත් හොඳ නෑනේද? සෙම්චරියක්ම ඕන නෑ..අපි කියමු දෙන්නගෙ වයස එකතු කරල ඒ එන ගාන ගැහුවයි කියල..ඒ කියන්නෙ 35 + 35 = 70යි..ඇති ඇති ඒ ඇති..අනික පයිනල් එකේ කොහොමත් කෝලිකුට්ටුව්ට සෙන්චරියක් අනිවා දෙන්ට එපාය..පයිනල් එකේ කෝලිගෙ ස්කෝ එක තීරණය කරන්නෙ මෙහෙමයි..

4. දැනට ෆයිනල් එකක වැඩිම ස්කෝ එක තියෙන්නෙ ගිල්ක්‍රිස්ට්ගෙ නමට..149 යි..ඒකට අපි එකතු කරනව මෝඩිගෙ වයසෙං හරියටම බාගයක්....ෆයිනල් එක ගහන්න සූදානම් කරල තිබ්බෙත්  මෝඩි ස්ටේඩියම් එකේ හින්ද එහෙම කරන එකේ කිසිම අසාධාරණයක් නෑ..මෝඩිගෙ වයස 73 යි ඒකෙං බාගෙ ඇවිල්ල 73 / 2 = 36.5 ආසන්න වශයෙන් 37 කියල ගන්නත් පුලුවන්..ඒත් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ අන්තිම සාදාරන  විදිහට වැඩ කරන කට්ටියක්..ඒ හින්ද අපි අඩු අගය ගමු 36 කියල..එතකොට 149 + 36 = 185 යි..

5. අන්න දැක්කද? ෆයිනල් එක ඉන්දියාව දිනනව සහ ඒකෙදි කෝලි කුට්ටුවා 185ක් ගහනව..ඇත්තටම වර්ල්ඩ් කප් කියල ඉන්දියාව පුරහම  ඇවිද ඇවිද මහ විසාල වියදමක් කර කර මැච් ගහනවට වඩා මගේ මේ ක්‍රමය ඉතාම සාර්තකයි නේද? 

6. ඒ හින්ද මං ආයාචනත්මකව ඉල්ලා සිටිනව අලුතෙං අපේ රොසාම් ඇමතිතුමා පත් කරපු පා ලක මන්ඩලේ ගරුකටයුතු සබාපති අර්ජුන් රනතුංග මහත්තයගෙං ඔබ තුමාල ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ක්‍රිකට් කීඩාව දියුනු පවුනු කරන්ට කැපවෙල ඉන්නවයි කියල ප්‍රැක්ටිකලි ඔප්පු කරන්ටත් එක්ක මේ යෝජනාවලිය ඉන්දියානු රිකට් පාලක මන්ඩලේට වහාම යවන්ටෙයි කියල..

7. මේ යෝජනාව ඉන්දියන් බෝඩ් එක පිලිගන්නවට ආය කිසිම සැකයක් නෑ.. අර්ජුන මහත්තයෝ..ඔබ තුමාම ඒකෙ ගහුරවේ ගන්ට..මගෙ නමක්වත් කියන්ට ඕමනා නෑ..96 අවුරුද්දෙ ලෝක සූරතාවෙ දිනල අපිට ලබාදුන් අප්‍රමාන සම්තෝසෙ වෙනුවෙන් මම ඒ හෞරවය ඔබතුමාට කොන්දේසි විරහිතව පරිත්‍යාග කරනව..

8. අන්න එහෙමයි අපි..අන්න එහෙමයි අපේ අම්මල තාත්තල අපිව හදල තියෙන්නෙ..තෙරුණෙයි?

**********************************************

මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ මැච් එකේ අපේ මැතිව්ස් ගොබිල විනාඩි තුනක් ඇතුලත බැට් කරන්න ආවෙ නැහැය කියල පොර අවුට් කියල අම්පයර් තීරණය කරපු සීන් එකෙන් පස්සෙ..එහෙම Timed out  කියල International Cricket වල අවුට් වෙච්චි පලවෙනි එකා ඔය මැතිවුසාලු..

Timed Out and Groin Tickled  Out...                                                

තව එකම එක ක්‍රමයක් තියනව මීට කලිං කවුරුවත් එහෙම අවුට් වෙල නැති.....

ඒකෙං කියන්නෙ බැටර් (දැං ගෑණු උදවියත් ක්‍රිකට් ගහන හින්ද බැට්ස්මන් කියන්නෙ නෑ..දෙගොල්ලන්ටම පොදුවෙ බැටර් කියලයි කියන්නෙ...) තමංගෙ පිත්තෙන් අම්පයර්ගෙ කිරිපල්ල කුචි කැව්වොත් එයා දැවීගිය ක්‍රීඩකයෙක් විදිහට සලකනවයි කියල..

Types of Dismissals - No 12 

The batter shall be ruled  out if he/she tickles or attempts to tickle  Umpire's groin using his/her bat... The dismissal should be called Groin Tickled Out...

එහෙම අවුට් වෙනවට කියන්නෙ Groin tickled out   කියල..අපේ තව විකට් තුනක් තියන එකේ ඒකත් ට්‍රයි කරල බලන්ටයි තියෙන්නෙ..එකම ඉනිමකදි ලෝක වාර්තා දෙකක්ය කියන්නෙ සෙල්ලමක්ද?

Saturday, October 14, 2023

164. සිසිර අයාලයෙනි

 (පසුගිය වසරේ ලියන ලද සටහනකි)


සිසිර අයාලයෙනි,

නුබ කුස සිසාරා

දින සති සැරිසරා

මදක් රැඳෙන ගිමන් හරින

නුඹ නොදත්

බෝ අනතුරු

මෙහි වෙත්


ඔයාකාර සැහැල් සැරුම්

නූස් පඳුරු මුදුන් මත රැඳුම්

නොමනාය මෙබිම මත

කල්පනාවෙනි... පරිස්සමෙනි...


සිසිර අයාලයෙනි!

අප හිඳින්නේ

බෝ ආලයෙනි

යලිත් මතු දිනෙක

නුඹලා දකිනු රිසියෙනි


 මේ සිටින්නේ සයිබීරියානු ස්ටෝන්චැට් විහඟ මහතා ය. ඒ මහතාගේ මැතිණිය අපි නුදුටුවෙමු. විහඟ සංක්‍රමණ සංචාර ඇරඹී ඇති බැවින් අපිදු කාර්යය බහුල වී සිටිමු. පසුගිය දා ලංකාවේ පළමු වරට වාර්තා වූ විහඟ යුවලක් කෙරවලපිටියේ සිටින බවට ලද තොරතුර මත එහි ගිය ද අපට ඔවුන් මුණ ගැසුනේ නැත. කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා.

 ඉතිං අපට ඒ යුවල මුණ නොගැසුණත් මේ පුංචි දඟ විහඟ හමුවිය. දැනට ලංකාවේ වාර්තා වෙලා තිබෙන්නේ 4 වාරයක් වැනි සුළු ප්‍රමාණයක්. සෑහෙන පිරිසක් වට වෙලා, විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ කැමරා මානාගෙන ඉන්නා හැටිය යස ප්‍රබෝධයක් ගෙන ආවා වාගෙයි එයාගේ හැසිරීම එදා. ඒ පඳුරු මුදුනින් මේ පඳුරු මුදුනට! බිමට! කම්බි තුඩක් උඩට! නැවතත් පඳුරු මුදුනකට! හරියට ‘මෙහෙම හොඳයි ද? මෙහෙමත් හොඳයි නේ ද? මෙහෙමත් එකක් ගනිමු නේ?‘ කියලා අපෙන් අහනවා වගේ. අපිත් ඉතින් එයා කියන කියන විදිහට ශටර් කවුන්ට් එක සට පට හඬින් වැය කරමින් සිටියෙමු.

 සයිබීරියානු ස්ටෝන්චැට් එහෙමත් නැත්නම් ආසියානු ස්ටෝන්චැට් (Saxicola maurus)... එයාට එහෙම නම ලැබෙන්නේ තිරිවානා කැට දෙකක් එකිනෙක ගැටීමෙන් නැගෙන හඬ හා සමාන හඬ කොටසක් එයාගේ නාදයේ තිබෙන නිසයි. උවමනා නම් වෙබ් සර්ච් කර හඬ හොයාගෙන අහන්න ඔයාලට පුළුවන්.

 එදා දවසේ ඒ භූමිය පුරා සැරි සරපු එයා පසුදා හිටියේ නැහැ.

 කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා. ඒත් මෙයාගේ තිබුණු කුලෑටිකම අඩු සැහැල්ලු හැසිරීම නිසා හිතේ කුකුසක් නැතුවා ම නෙමෙයි






සිසිර අයාලයා: සාමාන්‍යයෙන් සිසිරය එළඹෙද්දි සංක්‍රමණය අරඹන කුරුල්ලන්ට නිශ්චිත ගමනාන්ත ඇත. ඒ වගේ ම අයාලේ යන අය ද නැත්තේ නොවේ. ඒ සඳහා විවිධ හේතු තිබේ. සමහර කෙනෙක් රංචුවෙන් මග හැරෙන්න පුළුවන්. තව කෙනෙක් කෙලින් ම ගමනාන්තය නොගිහින් තැන් තැන් වල සැරි සරා ගමනාන්තයට යනවා වෙන්නත් පුළුවන්. මග වැරදුණු කෙනෙකුත් අහම්බෙන් හෝ ඉන්නත් පුළුවන්.

Photos taken : October 2022

Wednesday, May 10, 2023

688 - ඉල්ලංකෑමේ ජාතකය - තොරණේ විස්තරය...



ශ්‍රද්ධාබර බැතිබර සැදැහැවත් සුපින්වතුනි..

අද මේ දෙදහස් විසිතුන්වන වසරේ වෙසක් මස නමවන කුජදින ගාලුමුවදොර ආසන්නයෙහි  භෛර වාපී ඉවුර අසබඩ ඔබ වෙනුවෙන්ම ප්‍රදර්ශනය වන්නාවූ දැවැන්ත මහා තොරණ් රාජයාගෙන් නිරූපණය වනුයේ සාම්ප්‍රදායික පන්සිය පණස් ජාතකයන්ට එකතුවූ නවතම ජාතකයයි...එනම් ඉල්ලං කෑමේ ජාතක කථා වස්තුවයි.....


ඉල්ලංකෑමේ ජාතකෙ තොරණෙ විස්තරේ අහන්න,
අයිය අක්ක මාම නැන්ද ඔක්කොම මේ ලඟට එන්න..

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,

ඔන්න පින්වතුනි, පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ නාකි මෛනගෙ ගෝලබාලයෝ මැයි නම වෙනිද උදේ මෛනගෙ අරලිය මැදුරට රැස්වී කාල බීල ජොලි කරනව...රට පුරා ආන්ඩු විරෝදී උද්ගෝසන වැඩි වෙනකොට ගොට්ට මල්ලි හිතුවෙ අනික් ඔක්කොම බිල්ලට දීල හරි මම බේරෙන්නම්ය කියල..ඒ කරල මෛනටත් කිව්ව අගමැති කමෙන් ඉල්ලා අස්වෙන්යට කියල..මෛනා අකමැත්තෙන් උනත් ඒකට කැමති උනා..

ඒත් ඊට පස්සෙ උගෙ ගොං පුතාලයි කසිප්පු ජොන්ටියයි තව ඔය අර පුත්තං බූරුවයි වගෙ රස්තියාදුකාර මැරයො එක්ක එකතුවෙලා මෛනා යටිං ගේමක් ප්ලෑන් කලා. එදා මැයි නම වෙනිද උදේ මෛනගෙ ගෝල බාලයො පක්කලියො ඈත ගම්නියම්ගම් වලින් පවා බස් වලින් පටවාගෙන ඇවිත් මෛනට කිව්වෙ මෛනෝ උඹ ඉල්ලා අස්වෙන්ට එපා..දිගටම කාගෙන ඉඳහන් කියලයි..මෛනා කලින්ම ගේම ප්ලෑන් කලෙත් එහෙමයි..ඒ මැරයො උසිගන්නල මෛනාගෝගමයි ගෝටාගෝගමයි ඉන්න අරගලකාරයින්ට ගහල පැන්නුවම ප්‍රස්නෙ ඉවරයි..ඊට පස්සෙ පහුවදා ඉඳල ආයෙත් උංට ඕන විදිහට රට පාලනේ කොරන්ට පුලුවෙනිය කියල..

බලන්න පින්වතුනි සසර පුරා පැවත එන අධික තණ්හාව සහ ඉහවහ ගිය බල ලෝභය හින්ද  අල්ලජ්ජි නාකි මෛනා මේ කරපු විනාසය..


ඉල්ලා අස්වෙනව කියලා පොරොන්දු නං උන මල්ලිට,
නමුත් උඹල කියනවනම්  ඉන්නම්කෝ  මම  දිගටම,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


අන්න පින්වතුනි දැං අපි ආවා දෙවෙනි කොටුවට..ඒකෙන් පෙන්නන්නෙ මයිනාගෝගම බොහොම සාමකාමී විදිහට විරෝධතාවයේ නිරත වෙලා උන්නු අරගලකාරීන්ට නාකි මෛනාගේ කාලකන්ණි මැරයින් අමානුෂික ලෙස පහරදෙනව..පොලු තමයි බොහෝවිට යොදාගන්නෙ..මේ දරුණු ප්‍රහාරය හමුවේ මුහුණ දිය නොහැකි නිරායුධ අරගල කරුවන් හිස් ලූ ලූ අත පලායනව...

අනේ බලන්න පිංවතුනි මෙහෙම අහස පොලව නුහූලන අපරාධයක් සියැසින් දකින්න තරම් ඔබත් මමත් පූරුවෙ කොපමණ පවක් කරල තියෙන්න ඇත්ද? ශෝචනීයයි පිංවතුනි..ඉතාම ශෝචනීයයි..


රට පුරාම ඉඳල ආපු පොහොට්ටුවේ දස බල්ලෝ,
පොලු අරගෙන කොනක ඉඳල නෙලුවෙ වගේ යම පල්ලෝ,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


ඔන්න පින්වතුනි ඊලඟට තමයි අපූරුම සිදුවීම වෙන්නෙ..ඒ කියන්නෙ ගෝල් පේස් එකේ මේ වගෙ මහා  අපරාධයක් සිද්ධ වෙනව කියන ආරංචිය රටපුරාම ලැව්ගින්නක් වගේ පැතිරිලා යනව..

එතකොට ගෝල් පේස් අවට ආණ්ඩුවෙ කාර්යාලවල සේවක සේවිකාවො, රෝහල්වල කාර්ය මන්ඩලය, ඒ එක්කම බස් වලින් තමන්ගෙ අනේක රාජකාරි කරගන්ට කොළඹට එමින් හිටි පොදු ජනතාව, එතකොට බේරේ අවට වාසය කරන ජනතාව "අන්න අපේ එවුන්ට ගහනව..යමල්ල යන්ට එතනට ඔවුන්ට හොඳ වැඩක් කරමු...එහෙම කොහොමද පොහොට්ටු කාලකන්නි ඇවිල්ල කොළඹ පාට් දාන්නෙ?" කියල අතට අහු උන අහු උන පොලු කෑල්ලක් හරි කමක් නෑ අරගෙන ගෝල් පේස් එකට දුවගෙන එනව..ඒ අති උද්වේගකර අවස්තාව තමයි පිංවතුනි ඊලඟ කොටුවෙන් පෙනෙන්නෙ..


අපේ එවුන්ටයි ගහන්නෙ පොහොට්ටුවේ කාලකන්නි,
යමව්  ගෝල් පේස් එකට ගලවන්නට උංගේ රෙදි,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


අනේ කියන්නත් කණගාටුයි පිංවතුනි..මෛනගෙ මැරයො තුං හිතකිංවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...උං හිතුවෙ ඔය ඉන්න කොල්ලො තිහ හතලිහට නකතං වෙන්ට නෙලල ..පොලීසියෙං බයවෙන්ට දෙයක් තිබ්බෙත් නෑ...මෛනා කලින්ම කියල තිබ්බ පොලිස් ලොක්කා දෝසබිංදුවට මයෙ කොල්ලන්ට අතක්වත් තියනව එහෙම නෙවෙයි කියල..

ඉතිං පොහොට්ටු කාලකන්නි හිතුවෙ කොල්ලන්ට අම්බානක නෙලුව..කූඩාරං ගිනි තිබ්බ..ඒ එක්කම ආව වගේම විසිරිල ගියා..කිසි කෙනෙක් දන්නෙ නෑ මොකක්ද උනේ කියල..ඒත් කියන්ට සෝචනීයයි පිංවතුනු වැඩේ වැරදුනා..හතර අතිං ආපු මහ සෙනඟට මැදිවෙච්චි පෝට්ටු මැරයො හරියට කොටියගෙ කටටම අහු උන මුව පැටවෙක් වගේ අසරණ උනා..දැං ඔය ඊලඟ කොටු තුනේ පෙනෙන්නෙ පෝට්ටු මැරයින්ට අත්වුනු අති සෝචනීය ඉරණම..ගුටි කෑම..රෙදි ගැලවීම සහ බේරේ වැවේ ජල ක්‍රීඩාව..


කට්ටියකගෙ රෙදි ගැලවුන..තවත් මැරයො ගුටි කෑවා..
බේරෙ වැවේ දිය කෙලින්ට තවත් අයට සිද්ද උනා..

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං


ඔන්න පිංවතුනි අන්තිමට සිද්ද වෙච්චි දේ..නම්බු පිටිං ඉල්ලා අස්වුනා නම් නාකි මෛනට දෙයියනේ කියල ආයම චාන්ස් එකක් ගන්ට තිබ්බ..හැබැයි ඒ යකාගෙ අසීමිත බල ලෝභය හින්ද තමංගෙ ගෝල බාලයින්ටත් කෙලවල එදා රෑම මෛන තිරිකුණාමලේට ගිහිල්ල හැංගුනා..


ගෝල බාලයො කැන්දල යස කෑමක් උංට දීල,
මෛන ගිහිං වහං උනා  ට්‍රිංකො නේවි කෑම්ප් එකේ,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


ඉතිං දයාබර පිංවතුනි ඉල්ලං කෑමේ ජාතක කතා වස්තුවේ විස්තරය මෙතෙකින් සමාප්තයි..චිත්තප්ප්‍රීතියෙන් යුතුව සැදැහැසිතින් තොරණේ විස්තරේට සවන් දුන් ඔබ සැමට ස්තූතියි..

මෙම මහා තොරණ් රාජයා මින්පසු සෑම වසරකම මැයි මස නවවන දින ප්‍රදර්ශණය කිරීමට බලාපොරොත්තුවන බැවින් ඒ සඳහා ඔබට හැකි පමණ ආධාරයක් කරන මෙන් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් කරුණා සිත් පෙරදැරිව ඉල්ලා සිටිමි. 

ස්තූතියි!!!

Wednesday, April 26, 2023

687. වික්ටෝරියා වේල්ලෙ වක්‍ර හැඩයට හේතුභූත වූ කරුණු කාරණා මතු පරපුරේ දැනගැනීම උදෙසා මෙසේ සටහන් කර තබම්හ..



Copied from a Face Book post by Samira Salinda Perera

/මේ ඔබ දකින්නේ කඩිනම් මහවැලි ව්යාපෘතිය යටතේ ඉදි කර ඇති වික්ටෝරියා වේල්ලයි. මෙහි ගුවන් ඡායාරූපය දකින ඔබට පේනෙවා මෙහි සිතාමතාම අතිමහත් මුදල් නාස්තියක් සිදු කර ඇති බව.

වැඩි ගඩොල්, සිමෙන්ති හා කම්බි මෙන්ම අමතර වැඩ දින යොදා ගැනීමෙන් පහසුවෙන් සෘජුව ඉදිකිරීමට හැකිව තිබූ බැම්ම වක්රාකාරව නිමකිරීමෙන් සිඳුවූ ජනතා මුදල් නාස්තිය අතිමහත්.

එමෙන්ම බැම්ම සෘජුව සෑදුවානම් ජලාශයේ ජල ධාරිතාවද වැඩිකර ගැනීමට හැකිව තිබු අතර එයින් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවූ විදුලිබල ශක්තියද කියා නිම කලනොහැකියි. දේශපාලකයන් සහ විශේෂඥයන් ජනතාව නොමග හැරිමේ රුසියන් බවට මීට වඩා සාධක කුමටද? මෙවැනි නාස්තියන් දකින විට අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ පෙරමග දුටු සුනිල් ශාන්ත වැනි කලාකරුවන් නිර්මාණය කල මෙම ගීතයයි.

වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලො බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා.../

End of copied post...

කාලෙන් කාලෙට මේ වික්ටෝරියා වේල්ලෙ වක්ර හැඩය විවේචනය කරන පෝස්ට් එක එලියට එනව..ඇත්තටම ඒ වේල්ල එහෙම හදපු එක වංචාවක් කරන්න වත් මෝඩකමටවත් කරපු දෙයක් නෙවෙයි..බොහොම ශාස්ත්රීය සහ තර්කානුකූල කරුණු හතක් මත පදනම් වෙලා ගත්තු තීරණයක් ඒ...

අනික අවුරුදු පාළහක් මහවැලියෙ වැඩ කරපු කෙනෙක් හැටියට මෙහෙම අබූත චෝදනා ඇහෙනකොට පපුව වාවන්නෙ නෑ..ඒ හින්ද මම කල්පනා කලා ඇත්තටම උනේ මොකක්ද කියල පැහැදිලි කිරීමක් කරන්ට..

හරි අපි ඒ කරුණු එකින් එක සළකලා බලමු...

1. දැං ඔය වේල්ල හදල වතුර පිරෙව්වම ඕකෙ ලූල්ලු, තෙප්පිලි කොරලි එහෙම බෝ වෙනවනෙ..වේල්ල තනි කෙලින් තිබ්බනං උං වේගෙං පීනගෙන ඇවිල්ල කෙලින්ම වේල්ලෙ වැදිල මැරෙනව..දැං වේල්ල වක්රාකාරව හදල තියන හින්ද වෙන්නෙ පීනගෙන ඇවිල්ල වැදුනට ලිස්සල පැත්තකට විසි වෙනව මිසක මැරෙන්නෙ නෑ..

2. ඔය වික්ටෝරියා වේල්ලට ආධාර දුන්නෙ එංගලන්තෙන්..වික්ටෝරියා කියන්නෙ අර පහුගියදා මැරිච්චි එළිසබෙත් අක්කගෙ සීයගෙ ආච්චි..ඉතිං එළිසබෙත් අක්කට ඕන උනා වික්ටෝරියා සිහිවෙන්ඩත් එක්ක ඔය වේල්ල V අකුරක හැඩේට හදන්ට..ඒ කාලෙ ලංකාවෙ ජනාපති ඇවිල්ල හිට ජේ.ආර්. ලොක්ක..උන්දැට ඕන උනා ඕක උන්දැගෙ නහයෙ හැඩේට හදන්ට..මිනිහගෙ නාහෙ හරි ෆේමස්නෙ..සීසර්ගෙත් නහය ඔය වගේ කියලත් කියනව..ගම්පොල පහුකරල නුවර එළියෙ යද්දි ලබුකැලේ වෙද මුල්ල හරියෙදි පේනව ජේ.ආර්.ගෙ නහයෙ හැඩේට පිහිටපු කන්දක්..ඒකට කියන්නෙත් පප්පගෙ නාහෙ කන්ද කියල.. හරි ඉතිං කොහොම හරි තමන්ට ඕන ඕන හැඩ වලට වේලි හදන්ට බෑනෙ..ඉංජිනේරු විද්යාව කියල එකකුත් තියනවනෙ..අන්තිමට කලේ ඉංජිනේරුවොත් එක්කත් කතා කරල පොඩි කොම්ප්රොමයිස් එකකට ආව..ඒ කියන්නෙ V අකුරත් නැතුව නාහෙත් නැතුව ඒ අතරමැද ඩිසයින් එකක් විදිහට ඔය දැං හදල තියෙන හැඩේ තෝරගත්ත..

3. ඔය වේල්ල කෙලින් එහෙම නැත්නම් සෘජු රේඛාවක් විදිහට හැදුවනම් දිග වෙන්නෙ උපරිම මීටර් 250 ක් විතර..එහෙම උනානම් පස්සෙ කාලෙක මහවැලි අධිකාරියට අලුත් අවුරුදු උත්සව එහෙම වේල්ල උඩ තියනකොට මීටර් 400 තරඟයක් එහෙම පවත්වන්ට අසීරු වෙනව.. ඔය වේල්ල වක්රාකාරව හදන්ට ඒකත් එක හේතුවක්..දැං ඒකෙ දිග මීටර් 500ක්..ඒ කියන්නෙ මීටර් 400 ධාවන තරඟයක් එහෙම බොහොම පසසුවෙන් පවත්වන්ට ඇහැකි වේල්ල උඩ...අන්න බලන්න අපේ මිනිස්සු කොච්චර අනාගතය ගැන හිතනවද කියල...

4. දැං ඔය මහවැලියෙ වැඩ කරන කට්ටිය නිතරම වගෙ පොඩි ආතල් එහෙම ගන්නව..රාජකාරි වෙලාවෙත් ඉතිං ඔය වැස්සක් වගෙ ආහම හීතල යන්ටත් එක්ක මොනව හරි ලාවට කරනව..එහෙම වෙලා ටිකක් වගෙ වැඩි උනහම කෙලිං ඇවිදින්ට බෑනෙ..ඉතිං ඔබ්වියස්ලි වේල්ල කෙලිං හදල තිබ්බනං එහෙම ඕකෙ ඇවිදින්ට ගිහිල්ල ඕකුං කෙලිම්ම දෙරි ගහනව විට්ටෝරියා ජලාසෙට..ආන්න එහෙම අහස පොලව නුහූලන අපරාදයක් වලක්ව ගන්ටත් එක්ක තමයි ඔය වේල්ල වක්රාකාරව හැදුවෙ..

5. පස්වෙනි කාරණේ මේකයි...දැං ඔය ඕනම ඉදිකිරීමක් පටංගන්ට කලිං එස්ටිමේට් එකක් නොහොත් ඇස්තමේන්තුවක් හදනවනෙ..ඒක කරන්නෙ ඉංජිනේරුවො නැත්නම් කොන්ටිටි සර්වේයර්ස්ල..රටේ හැම වේල්ලක්ම තනි කෙලින් හැදුවනම් එව්වට යන කොන්ක්රීට් ප්රමාණය හොයන එක වෙරි සිම්පල්..දිග x පළල x උස = පරිමාව..ඒත් මේ වගෙ වක්ර හැඩයෙ වේල්ලක් හැදුවම ඒකෙ පරිමාව හොයන එක ටිකක් සංකීර්ණයි..ආන්න එහෙම ඒ විෂයය ඉගෙන ගන්න ශිෂ්ය / ශිෂ්යාවන්ගෙ දැනුම සහ හැකියාව වර්ධනය කිරීමත් වික්ටෝරියා වේල්ල වක්රාකාරව හදන්ට තීරණය කරන්ට එක හේතුවක් උනා..

6. දැං රෑට ඔය වේල්ල දිගටම ෆ්ලෑෂ් ලයිට්ස් ඔන් කරල තියනවනෙ..ඔන්න වේල්ල දෙපැත්තෙම දිගටම ලයිට්ස් පත්තුවෙනකොට රෑ පානෙ ඔන්න හිතමු සිඩ්නි වල ඉඳල කටුනායකට ප්ලේන් එක බාන්ට යන පයිලට් කෙනෙක් වැරදිලා හිතන්ට පුලුවන් අඩේ මේ ලයිට් පේන්නෙ මේක තමයි කටුනායක රන්වේ එක කියල..එහෙම හිතල කොහොමද වේල්ල උඩට එයාක්රාෆ්ට් එක බෑවනම් එහෙම? මල ජංජාලයයි නේද? දැං වේල්ල වක්රාකාර හින්ද පයිලට්ලට එහෙම පැටලෙන්නෙ නෑ..ලෝකෙ කොහෙවත් වක්රාකාර රන්වේස් නැහැනෙ..මේක විහිලුවක් කියල හිතන්ට එපා..1974 අවුරුද්දෙ අර ඉන්දුනීසියාවෙ ඉඳල මක්කම වන්දනාවෙ යන්ට ගිහිල්ල සප්ත කන්යා කඳුවැටියෙ හැප්පිල ජීවිත 170ක්ද කොහෙද නැති උන ඇක්ස්ඩන්ට් එකේදිත් ඒ පයිලට් ලක්ෂපාන ජලාශයෙ ලයිට් දැකල ඒ කටුනායක කියල හිතල ප්ලේන් එක පාත් කලාය කියල ඒ කාලෙ පත්තර වල හිටං පලවුනා..හොඳද? (මේ මාටිනෙයාර් DC 8 ඇක්සිඩන්ට් සීන් එක මේක කියවන 90% ක් නම් දන්නෙ නෑ..ඒක ෂුවර්... 60 දශකයෙ ඉපදිච්චි අපි වගෙ නාකි ලොක්කො තමයි ඕක දන්නෙ..අර ඇන්ටන් ජෝන්ස් ඒ කාලෙ ඔය ගැන සින්දුවක් එහෙමත් කිව්ව..ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි..යලි නොම එන්නට ගිය ගමනයි..)

7. හත්වෙනි කාරනේ තමයි වැදගත්ම කාරනේ..ඔය වික්ටෝරියා වේල්ල වෘත්තයක චාපයක හැඩේටනෙ හදල තියෙන්නෙ..ඔය වෘත්තය සම්පූර්ණ කලොත් ඕකෙ කේන්ද්රයෙ තමයි දළඳා මාලිගාව පිහිටන්නෙ...කොහෙද ඔය සන්නසක කියල තිබ්බලු ඒ විදිහට මාලිගාව කේන්ද්ර වෙන විදිහට වටේටම වේලි හැදුවොත් රට බලා ඉද්දි සරුසාර වෙලා සශ්රීක වෙනවයි කියල..ජේ.ආර්. එහෙම වටේටම වේලි හදවන්ට තමයි හිටියෙ..කොහෙද ඊට කලිං ඒ මනුස්සයට ගෙදර යන්ට උනානෙ..අර ව්යවස්ථාව සංශෝධනය කරල තුන්වෙනි පාරටත් ජනාපෙති කමට ඉල්ලන්ට මිනිහ ට්රයි කලේ ඔය ප්රොෆසි එක සම්පූර්ණ කරන්ට..කොහෙද ඒකට එයාට චාන්ස් එකක් ආවෙ නෑනෙ..සම්ටයිම්ස් ඔය දෙකක් දාල සකෘදාගාමී තත්වයට පත්වෙලා ඉන්න වෙලාවට මට හිතෙනව යකෝ ඒ වැඩේ සම්පූර්න කරගන්ට බැරි වෙච්චි හින්දද දන්නෑ අපේ රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ කියල..

හරිනෙ එහෙනං..හැමෝන්ටම කොක් සුදක්සේ පැහැදිලියි නෙවද? වික්ටෝරියා වේල්ල වක්රාකාරයට හැදුවෙ වංචාවකටවත් ගැහිල්ලකටවත් නැත්නම් මෝඩ කමටවත් නෙවෙයි..ඔන්න ඔය කියපු කාරණා හත හින්ද..ඒ හින්ද කරුනාකරල මීට පස්සෙවත් මේ වගෙ කිසිම තේරුමක් නැති පෝස්ට් ලියල දාන්ට එපල්ල..

ඔබ සැමට ගෞරවයෙන්.... බුදු සරණයි!!!

පලි -

ආ අර හයවෙනි කාරණේදි මම කිව්ව සිංදුව පොඩ්ඩක් ප්රින්ටින් මිස්ටේක් එකක් උනා.."ආසයි බයයි..." සිංදුව ඇන්ටා කිව්වෙ ඔය ගුවන් අනතුර ගැන නෙවෙයි..නිල්වලා ගඟේ වෙසක් බලන්න ගිහිල්ල බෝට්ටුව පෙරලිලා වෙච්චි ඛේදවාචකයක් ගැන. ඒක උනේ මට මතක විදිහට 78 වගේ...

ගුවන් අනතුර ගැන එතුමා කිව්වෙ "කන්දෙ හැපුන මහ වනන්තරේ DC8 ගුවන් යන්තරේ..." සිංදුව..මට වෙලාවකට හිතෙනව අද මේ වෙන මිනීමැරුම්, අපරාද, අනතුරු වල හැටියට ජෝන්ස් මහත්තය අද හිටියනං එහෙම හැමදාම සිංදු හත අටක් පටිගත කරන්න ගිහිල්ල ඒ මහන්සියටම වල කජ්ජ ගහයි කියල..

පලි -

ආ..තව වැදගත්ම කතාවක් කියන්ට අමතක උනානෙ..ඔය වික්ටෝරියා වේල්ලෙ හැඩේ ඔහොම වෙන්ට ඇත්තම හේතු රාජ්‍ය රහසක් විදිහට ආරක්සා කරන්නෙයි කියල ඒ කාලෙ ආණ්ඩුවෙ ඉහලම තැන් වලින් නියෝගයක් ආව..Victoria's Secret කියලයි ඒ නියෝගයෙ මාතෘකාව තිබ්බෙ...

Saturday, April 8, 2023

686. බ්ලොග් හමුවට යන අතරමඟ...


ගිණිගත්හේන බස් නැවතුම්පල....


අර බෝ මලු සීන් එකේ ඉතිරි කොටස ලියල දාන එක දවස් දෙක තුනකට කල්දාන්ට වෙනව මයි පෙන්ස්.. ඒ මොකද කිව්වොත් හක්බෙල්ලාවක බක් පෝයදවසෙ අති උත්කර්සවත් අයුරින් පැවැත්වුනු අපේ මිඩ්ල් ඒජස් (මධ්‍ය කාලීන) බ්ලොග් ගෙට්ටුගෙදර් එක ගැන ඉස්සෙල්ල ලියමුයි කියල මම කල්පනා කලා..


මම මේ යන්නෙ ඔය මංජුලය ඕගනයිස් කරපු බ්ලොග් හමු වලින් තුන්වෙනි එකට..කලින් දෙපාරමත් වගේම මේ ගමනත් මම ගියෙ නාවලපිටියට හවස 2.20 ට පේරාදෙණියෙන් කෝච්චියක තියනව. ඒකෙ නාවලපිටියට ගිහිල්ල එතනිං ගිණිගත්හේනට බස් එකේ ගිහිල්ල එතනිං හැටන් වල ඉඳල අවිස්සාවේල්ලට හරි කොළඹට හරි යන බස් එකක නැඟල..

මම ගියෙ පහුගිය 4 වෙනිදනෙ..පහුවදා පෝය ඒ වගේම ඉස්කෝල නිවාඩු..මම ගිය පෙට්ටියෙ බාගෙට බාගයක් හිටියෙ ඉස්කෝල කොල්ලො කෙල්ලො..බහුතරයක් හයි ස්කූල් කෙල්ලො..උං බොහොම සන්තෝසෙං සින්දු කිය කිය ගියා..

මටත් ඉතිං මතක් උනා අපි ඉස්කෝලෙ  3, 4, 5, 6 වගෙ පංතිවල ඉන්නකොට නිවාඩු දෙන දවසට අම්මගෙං කීය කීය හරි ඉල්ලං ඇවිල්ල (ඒ කාලෙ මම හිතන්නෙ උපරිම රුපියල් පහක් වගෙ..අපොයි ඒ ගාන හොඳටම ඇති..) අලියා බීම, කේක්, බිස්කට් එහෙම ගෙනල්ල පංති භාර මැඩම්ට හරි සර්ට එතකොට අපිට ඒ ඒ විෂයයන් උගන්නපු ගුරු මණ්ඩලේට පිළිගන්වල අපිත් අන්තිමට ඉතුරු වෙන එව්ව කෑව බිව්ව...අන්තිමට පොඩි සිංදුවක් දෙකක් එහෙමත් කියල..නාට්‍යයක කෑල්ලකුත් කරල විවිධ ප්‍රසංගයකුත් තිබ්බ..එදවස එසේ විය...

එදා ඒ කියන්නෙ පහුගිය  අඟහරුවාද කොහොම හරි  මම කෝච්චියට නැග්ග වෙලාවෙ ඉඳල වහිනව..ඒ මදිවට ජනෙල් බාගෙට බාගයක් හරියට වැහෙන්නෙ නෑ..ඒ කියන්නෙ අයිනෙම සීට් එකේ ඉන්න මනුස්සය බාගෙට නාලයි කෝච්චියෙන් බහින්නෙ..එදා කෝච්චිය හොඳටම පරක්කුයි....හවස හතරට වගෙ ගිණිගත්හේනට යන්ට තියන එක එදා ගියේ පහටත් කිට්ටු කරල..

මම හාහා පුරා කියල ඔය මංජුලයගෙ පොට් එකට යන්ට ඕකගෙං විස්තර අහද්දි පොර කිව්ව "අයියෙ... මේ... එනකොට හොඳ බ්ලැන්කට් එකක්නම් අරං වරෙං මතක ඇතුව හොඳේ..මෙහෙ රෑට අම්බානක සීතලයි..."  කියල.. මට ඔන්න ගිණිගත්හේනට ගියාම තමයි මතක් උනේ අඩේහ් බ්ලැන්කට් එකෙක් ගේන්ට අමතක උනා නේද කියල..ඒ වෙන කොටත් වැස්ස..පස්සෙ ගිණිගත්හේන ටවුමෙ පොඩ්ඩක් ඇවිදල රෙදි කඩේකිං බෙඩ් ෂීට් එකකුත් ගත්ත බ්ලැන්කට් එක වෙනුවට..

ඊගාවට කොළඹ පාරට ඇවිල්ල නැග්ග හැටන් - කොළඹ  බස් එකක..කිතුල්ගල හරියට යනකොට වහින්ට ගත්ත පැල් බැඳගෙන..ආ..ඊට කලින් ගිය පාර මංජුලයගෙ බ්ලොග් හමුවට යද්දි මට ගිණිගත්හේනෙදි වෙච්චි සීන් එකක් කියල ඉන්නම්කො....

මම මහවැලියෙ වැඩ කරද්දි එකට වැඩ කරපු යාලුවන්ගෙන් සීයට අනූවක්ම ගම ඇහුවොත් එක්කො ගිනිගත්හේන, එක්කො කිතුල්ගල, එක්කො ලක්ෂපාන, එක්කො මස්කෙළිය, එක්කො කොටගල, එක්කො තලවකැලේ...එහෙම උනේ ඒ කාලෙ මම ඔය කියන්නෙ 1984 කාලෙ වගේ..මහවැලි ඇමති ඇවිල්ල හිට ගාමිණී දිසානායක..ඒ හින්ද නැචුරලි නුවරඑළිය - මස්කෙළිය ආසනෙන් තමයි බහුතරය මහවැලියට ගත්තෙ..

ඊගාවට බහුතරය හිටියෙ ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, බටපොල පැත්තෙන්..එහෙම උනේ ඒ කාලෙ හිටපු යූ.ඇන්.පී. ගාල්ල දිස්ත්‍රික් සංවිධායකය ඇවිල්ල ගාමිණීගෙ යාවජීව බොක්ක..ජගත්සේන..

ඉතිං ඔය ආපු  මා එක්ක හිටපු එක යාලුවෙක්ගෙ ගම හැබ්බෑකන්ද..ගිනිගත්හේනෙ ඉඳල ලක්ෂපාන පාරෙ යන්ට ඕන මට මතක විදිහට..ඉතිං ගියපාර මම හක්බෙල්ලාවක යන්ට ගිනිගත්හේන හන්දියෙ බස් එකක් එනකල් ඉන්නකොට ඔන්න මම දැක්ක කට කපල පුරවල බස් එකක් යනව හැබ්බෑකන්ද කියල..

මට එක පාරටම මතක් උනේ අර මගෙ හැබ්බෑකන්දෙ යාලුව..මිනිහගෙ නම විපුලසිරි..හැබැයි වැඩිකල් මහවැලියෙ හිටියෙ නෑ..එන්.ඩී.ටී. මිකැනිකල් කෝස් එකට සිලෙක්ට් වෙලා ඒ දවස්වලම වගෙ අස් වෙලා ගියා..පස්සෙ පිළිමතලාවෙ අපෙ මහගෙදර ගාවමනෙ යටිනුවර සී.ටී.බී. ඩිපෝ එක තියෙන්නෙ..90/91 කාලෙ විතර විපුලසිරි යටිනුවර ඩිපෝ එකේ වැඩකරනව කියල ආරංචි වෙලා මම ගිහිල්ල මිනිහව හම්බ උනත් එක්ක..

ඉතිං අර ගිණිගත්හේනෙදි හැබ්බෑකන්ද බස් එක දැකල මට විපුලයව මතක් උනාය කිව්වනෙ.. ඔන්න ඒ එක්කම ආව අවිස්සාවේල්ල බස් එකක්..ඒකෙ මම දනිපනි ගාල එල්ලුනා හක්බෙල්ලාවක යන්ට..

නැඟල සීට් එහෙක ඉඳගත්තත් මගෙ කල්පනාව තිබ්බෙ විපුලයා ගැන.."ටිකට් ගන්න ටිකට් ගන්න.." කොන්දොස්තරයා මා ගාවට ආව...."හැබ්බෑකන්ද එකක්.."  මට ඉබේම කියවුනා.."මේක හැබ්බෑකන්දට යන්නෙ නෑ..බහින්න බහින්න...." ඒ යකා එහෙම කියල බෙල් එක ඇද්දා..එතකොටයි මට හරි සිහිය ආවෙ.."නෑ..නෑ..මට යන්ට ඕන හක්බෙල්ලාවකට..."  මම විගහට එහෙම කිව්ව..ඇති කලබලේට ගොම්බෙල්ලාවක කියල කියවුනේ නැතුව..පස්සෙ මට එහෙම හිතුනා...

හරි දිගටම ලිව්වොත් බොලාට කියවන එකත් එපාවෙයි...දැනට ඇති..

ගූගල් මැප් එකේ නිල් බෝලය පැනීම, බුදු පිළිමය පහුවීම, දියෙස් අයියගෙ ලැවරිය කඩේ, උරුහම් බෑමට ක්ෂණික ප්‍රතිචාර දක්වන බාප්පා යනාදී කරුණු කාරණා පිළිබඳව වැඩිමනත් විස්තරද  සමඟ  බ්ලොග් හමුවේ රසාලිප්ත තොරතුරු අටෝරාසියක් අද හෙටම  මීලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න...

ස්තූතියි...

Tuesday, April 4, 2023

685. බෝ මලුවේ මල් සුවඳක පැටලී.....

මට එතකොට වයස 10 හෝ එකොළහක් වගේ ඇති...කෑගල්ලෙ අපි හිටියෙ අප්පච්චිට හම්බවෙච්චි කච්චේරි නිල නිවාසවල..කච්චේරිය පහුකරල පොඩ්ඩක් උඩහට යනකොට හම්බවෙනව තානායම..නැත්තං කවුරුත් කියන විදිහට රෙට්ටවුස් එක..එතනින්  පාර දෙකට බෙදෙනව..වම් පැත්තෙ පාර කුරුඳුහින්න හරහා නිල්වක්කට..ඒ පාරෙ ගියහම සියඹලාපිටිය පැත්තෙන් ආපහු කෑගල්ල ටවුමට එන්නත් පුලුවෙනි..දැං ඔය කීල්ස් එක තියෙන්නෙ අන්න එතනින් තමයි කොළඹ - නුවට පාරට වැටෙන්නෙ..ඕපන් යුනිවකුටි එක එහෙම තියෙන්නෙත් 

ඒ කාලෙ..මම ඔය කියන කාලෙ කීල්ස්, ඕපන් යුනිවකුටි මොකවත්ම තිබුනෙ නෑ..දැන් කීල්ස් එක තියන තැන තිබ්බෙ විසාල කුඹුරු යායක්..එතනම උඩහින් තිබ්බෙ මිරන්ඩාස් රටබීම හල..ඒකෙ යට තට්ටුවෙ තිබ්බෙ බේකරියක්..ඒ කාලෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ ආහාර සලාක ක්‍රමය හින්ද පාන් එහෙමත් දුන්නෙ කාඩ් එකට..අපේ පවුලෙ අම්මයි අප්පච්චියි මායි නංගිල දෙන්නයි ඔක්කොම පස් දෙනයි..ඊගාවට Extended Family නොහොත් විස්තීර්ණ පවුලේ සාමාජිකයින් හැටියට හිටිය අම්මගෙ අම්මා නොහොත් මගේ අත්තම්මා සහ අම්මගෙ වැඩිමහලු සහෝදරයෙක් අවිවාහක..නම හීන් බණ්ඩා අතපත්තු..අම්මගෙ මුල් නම අතපත්තු...

ඉතිං පවුලේ සාමාජිකයින් ගණන අනුව අපිට සතියට දවස් තුනක්ද කොහෙද පාන් රාත්තල් 4 වගෙ ගාණක් හම්බ උනා..තඩි වේවැල් කූඩෙත් කරේ තියාගෙන (ඔය මම කියන්නෙ සිලි සිලි බෑග් බාවිතාවට එන්ට අවුරුදු දහයක් පහලොවක් තරම කලියෙං අතීතයක් ගැන..හොඳෙයි?) මම තමයි පොලීසිය ගාවින් කන්ද බැහැගෙන ඇවිල්ල පාං අරං යන්නෙ..කාඩ් එකේ අදාල දිනේ  පාං කඩේ පාන් දෙන මනුස්සය ලව්ව කතිරෙකිං කප්පවගෙන පාන් රාත්තල් 4 අරගෙන ආපහු මම ගෙදර යන්නෙ ආය නෑ කේරලේ ආක්‍රමණය කරල සොලීන් විසිදාහකුත් අල්ලගෙන ආපහු ලක්බිමට සැපත්වන ගජබාහු නරේන්ද්‍රයා වාගෙ..ඔන්න කොටිම්ම..

හරි හරි..ට්‍රැක් පැන්නා නොහොත් පඳුරු තැලුව ඔය මදැයි..ආපහු එමු කතාවට..යලි මග වෙත..යලි මග වෙත කියන්නෙ ගුණදාස අමරසේකර තමංගෙ  ජීවිත කතාව ලියපු  (සොයං ලිකිත චරිතාපදාන එව්වට කියන්නෙ)..පොත් 12 හෝ 13 කින් සමන්විත සීරිස් එකේ එක පොතක්..ගමනක මුල තමයි මුල්ම කතාව..මා ගාව තියනව සෙට් එකම කූරියර් කරල ගෙන්නගෙන... තවම කියවන්ට නම් බැරි උනා..කොහෙද මේ එකක් කියලය වැඩ..

හරි හරි ආපහු ප්‍රස්තුතයට..මම කලින් කිව්වනෙ අපි ඒ දවස්වල හිටියෙ නගොල්ලෙ ආණ්ඩුවෙ ක්වාටර්ස්වලය කියල..ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී ඒ වගේම නාවික සහ සංචාරක ඇමති කළුගල්ල ලොක්කගෙ ගෙදර තිබ්බෙත් ඔය අපි හිටපු කිට්ටුවම..

මිනිහට තිබ්බෙ ලා නිල් පාට හෝල්ඩන් හරි හම්බර් හරි කාර් එකක්..අප්පටසිරි පාරෙන් එකයි ඒ කාර් එක..කලුගල්ල උන්නැහැගෙ ගෙදරට යන පටු පාරෙ යද්දි එහෙම ඔය කාර් එක ඉස්සරහට ආවොත් අපිට වෙන්නෙ පාර දෙපැත්තෙ ඉලුක් මානා එහෙම තලාගෙන කැලේ පනින්ට..

ඔය කළුගල්ල ලොක්කගෙ ගෙදරට යන පාර කිට්ටුවම තිබ්බ ඒ කාලෙ කෑගල්ලෙ ෂ්වෙප්ස් බීම ඒජන්ට්ගෙ ගෙදර..Schweppes  බීම මතකද? ටොනික් වෝටර්, සෝඩා එතකොට ඔරේන්ජ් ජූස් එහෙම තිබ්බ..හැබැයි මම දන්න විදිහට ඒ බීම ඒ කාලෙ මාකට් එකේ තිබ්බෙ නෑ..සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ට තිබ්බෙ අලියා බීම සහ සිංහයා බීම ( පියෝ බෙවරේජස් ) විතරයි..මම හිතන්නෙ ඔය ෂ්වෙප්ස් බීම දැම්මෙ රෙස්ට් හවුස් හෝටල් වගෙ එව්වට විතරයි..

හරි හරි ඉතිං කතාව මේකයි..ඔය ෂ්වෙප්ස් ගබඩාව ඉස්සරහ තිබ්බ එයාලගෙ ලොරි පාක් කරන්ඩ සෑහෙන ඉඩක් වෙන කරල..ඔක්කොම තිබ්බෙ ඔස්ටින් ලොරි..අර ඉස්සරහ මූන දත් විලිස්සගෙන හිනාවෙනව වගෙ තියෙන්නෙ...අන්න ඒ ලොරි..

ඔය ලොරි පාක් කලේ එයාලගෙ ගෙදර ඉස්සරහ පාර අයිනෙ අක්කර කාලක විතර ලොකු ඉඩං කෑල්ලක..උදේම ලොරි ඩිලිවරි යන හින්ද දවල් දවසෙ ඒ කෑල්ල හිස්..ක්‍රිකට් ගහන්ට මරු පොට් එක..අපි ඔය අහල පහල කොල්ලො කුරුට්ටො ඔතන තමයි ක්‍රිකට් ගහන්නෙ..ෂ්වෙප්ස් ගෙදර අයගෙං බාධාවක් තිබ්බෙත් නෑ..අනික ගෙදර ටිකක් විතර ඉඩමෙ පස්සට වෙන්ට තිබ්බ හින්ද ජනෙල් දොරවල් වලට එහෙම අලාබ හානි වෙන්ට තියන හැකියාවත් අවමයි..

******************************************

හරි කතාව ඉවර නෑ..ඒත් අදට මෙතෙකින් නවත්වන්න වෙනව..ඒ මොකද කිව්වොත් හෙට තියනව අර මධ්‍යකාලීන බ්ලොග් කරුවන්ගෙද කාගෙද මන්දා සුවඳ හමුවක්..

දැං ඔය වස්සප් ගූප් එක හදාගෙන සුවඳ හමු 3ක්ම තිබ්බනෙ..මම දෙකකට සාබාගි උනා..ඕකෙ පරමාර්තය උනේ බොලොග් ලිවීම නඟා සිටුවීම නොහොත්  ලාංකේය වියුණු කලාවේ පුනර්ජීවනය..ඒ කියන්නෙ ආයමත් පාරක් බ්ලොග් ලිවීම පස්ස පැත්තට පැස්ටෝල් ගහල හරි නග්ගවලා  ගන්න එක..

ඉතිං මගෙ කල්පනාවෙ හැටියට ඕකට කොරන්ට ඕන සුවඳ හමු තිය තිය කාල බීල නාන එක නෙවෙයි..යකෝ බ්ලොග් ලිවිල්ල නග්ගා හිටුවන්ඩ නම් තියෙන්නෙ බ්ලොග් ලියන එක..සරලයි සුගමයි..

එහෙම කිව්වට ඉතිං ඔය පොඩි සොමියක් ගන්න එකෙත් කිසිම වැරැද්දක් නෑ..ඒකත් කෙරෙන්න ඕන..

ඒ හින්ද මම හිතුව අවවාදයට වඩා අදර්ශය උතුම්ය කියලත් කියල තියන හින්ද හෙට බක් පෝදා සුහද හමුවට කලිං මොනවම හරි ලියල දාන්ට ඕනය කියල..ඒ ගමන තමයි මේ ටික ලිව්වෙ..තව කොටසක් ලියන්ට තියනව හොඳේ ළමයි? 

හරි එහෙනම්  දෙකහමාරෙ කෝච්චිය අල්ල ගන්ට තියනව හක්බෙල්ලාවක යන්ට..හෙට එහෙදි හමුවෙමු!

Friday, January 20, 2023

684. පුවක් එෂැණිං - 74 - එතුමාගේ අනවරත පාර්ලිමේන්තු ආගමනය......

වර්තමාන අටිඝරු ජනාපෙතිතුමා නිතර දෙවේලේ පාර්ලිමේන්තුවට පැමිණ රැස්වීම්වලට සහබාගී වන්නේ  පහත සඳහන් කුමන හේතුව කරන කොටගෙනදැයි ඔබ සිතන්නේද? 



1. පුරා අවුරුදු හතලිස් පහක් එක දිගටම ( හූඇම්පී එක 2020 චන්දයේදී වැලේ වැල් නැතුව පරාජයවී එකම පිම් මන්ත්‍රීකමක් පමනක් ලැබුනු අවස්තාවේ ලැබුනු ඒ එකම පිම් මන්ත්‍රී කමට කිසිවෙකු හෝ පත් නොකොට සුපුරුදු පරිදි තම ආඳා න්‍යායෙන් 2021 තෙක් බලාසිට දිවුරුම් දීම නිසා අහිමිවූ එක් වසරක් හැරුනුවිට ) මන්තිරී දුරය දැරූ  බැවින් පාර්ලිමේන්තුවට නොගොස් සිටීමේදී  නිකම් කිරි පනුවන් බෝවී අහවල් තැන කසන්නාක් මෙන් දැනෙන නිසා...

2. කාලයක් තිස්සේ තමන්ට "මහ බැංකු හොරා..." යයි අපහාස උපහාස කල දිනෙස් ලොක්කා, ගොන්දුල, රත්තරං, මෛන්ඩානන්ඩ වැනි අපතයින් තමා පාර්ලිමේතු සබා ගැබට ප්‍රවිස්ට වන විට හුනස්නෙන් නැඟිට හිස නමා ආචාර කරනු දැකීමෙන් අත් විඳිය හැකි නෙක්ස්ට් ලෙවල් නිරාමිස සුවයට මහත්සේ ඇලුම් කරන නිසා...

3. ජනාපෙති කාර්යාලයට ගියහොත් කලිසම නිතර උස්සමින් ටයි එක හදමින් දෙපැත්තට හැරෙමින් අංගුලිමාල සහ හිට්ලර් ගැන කතා කරන විට ඒවා අසා අප්පුඩි ගැසීමට එහි කිසිවකුත් නොමැති නිසා...

4. පොලී මුදලාලි, රැන්සම් පෙසන්න, අයි ලිව් ගෝටා නෝ ඇරෙස්ට් විජේඩාස, ග්‍රෙවල්හීප් ලයන් දනිස් ගුණේ ඇතුලු හොර නඩය හා හවුල් වී විපස්සේට විරුද්දව යටිං ගේම් ගසා සබා ගර්බය ඇතුලේදී මහා පෙජාතන්තවාදියාගෙ රෝල් එක ඇට් කරමින් "අපි රට වෙනුවෙං සායෝගයෙන් වැඩ කොම්මු.."  යයි විපස්සයට ආරාදනා කිරීම සඳහා...

( සැයු - ඉහත ඡායාරූපයේ ඔද තෙදවත් ලෙස සාරගර්භ ලෙස කරුණු දක්වමින් පාර්ලිමේන්තුව අමතනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ ජනාධිපති ධුරන්ධර මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තාන්ත්‍රික අතිගරු  රනිල් වික්‍රමසිංහයාණන් වන අතර මෙම පෝස්ටුව සහ මෙම ඡායාරූපය අතර අවම වශයෙන් දේවදත්ත, අංගුලිමාල සහ මානවම්ම අතර ඇති සම්බන්ධතාවය පමණ හෝ සම්බන්ධතාවයක් නොමැතිබව සැළකිය යුතුය...)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...