Wednesday, March 31, 2010
40. මස්, මාළු, බිත්තර සහ අපි.
එයින් යම් පාපයක් සිදුවන බව සාකච්ඡාවට ලක් වුනත් තවත් කෙනෙකු පාපයක් නොවන ආකාරයෙන් මාංශ අනුභව කරන ආකාරය පැහැදිලි කරන අයුරුත් දැක ගන්නට ලැබෙනවා දැන් දැන්.
ඒ කොහොම වුනත් ඒ පිළිබඳ ව සමාජය, ආගමික වශයෙන් මෙන්ම, එකම ආගමෙත් සමහර විට වෙනත් අන්ත දෙකක රැඳී අර්ථ දක්වන බව පෙනී යන කරුණක්.
බෞද්ධ කෙනෙකු වශයෙන් මා දරන මතයට මුස්ලිම් කෙනෙකු වශයෙන් ඔබද එකඟ වන්න පුළුවන්. බෞද්ධ කෙනෙකු ම වශයෙන් ඔබ එරෙහි වන්නත් පුළුවන්.
මේ පිළිබඳ බ්ලොග් අවකාශයේ සරනා ඔබ සැමගේ සිතුවිලි දැන ගැනීමට සතුටුයි.
අනතුරුව ඒ සිතුවිලිත්, පොතේ පතේ තිබෙන සිතුවිලිත්, තවත් අයගේ සිතුවිලිත්, මගේ සිතුවිලිත් එක්ව ගෙන සළකා බැලීමෙන් අනතුරුව, නිදහස් සිතුවිලි තුලින් ඒ සිතුවිලි සියල්ල සම්පිණ්ඩනය කර දක්වන්නයි මගේ බලාපොරොත්තුව.
ඒ සඳහා මා විසින් සකසා ඇති පිළිතුරු අතරින් ඔබගේ පිළිතුරු වෙත ඡන්දය ලබා දෙන්න. (පිළිතුරු දෙකකට වුවද ඡන්දය භාවිතා කල හැක).
Friday, March 26, 2010
39. රූප පෙට්ටියෙන් පෙන්වන ලෝකය සහ සැබෑ ලෝකය
මා හට වුවද මේ පිළිබඳ වැටහුනේ අන්‍යාගමික කරණය පිළිබඳ බ්ලොග් පෝස්ට් එකක් කියවා (පියා විසින් දරුවන් සහ බිරිඳ ගිණි ලෑ සිද්ධිය වූ දින වලදී) එදිනම රාත්‍රියේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නරඹන විටදීය. මා ද බෞද්ධ කෙනෙකු වුවද එම ප්‍රවෘත්තිය කෙතරම් පක්ෂපාත වීදැයි ඇස් පනා පිටම සාක්ෂාත් වද්දීත් නොපිළිගෙන සිටීමට තරම් මූඩ නොවීමි.
ඉතාමත් දුක්බරව, එම පියාගේ පැත්ත ගෙන, පියා විසින් ගිණි ලෑ පිරිසගේ (ඔවුන් කියනා ආකාරයට) මූල ධර්මවාදී ආගමක් වැළඳ ගැනීම සහ ඒ සඳහා ඔවුන් පෙළඹ වූ උදවිය හෙලා දුටු නිවේදකයා, 'මනුෂ්‍ය ඝාතක' යන වදනවත් එම පියා වෙනුවෙන් යොදා ගනු මට නම් ඇසුනේ නැත.
සම්පූර්ණ වශයෙන් මූල ධර්මවාදීන් සහ එම ආගම වැළඳ ගැනීම මේ සඳහා හේතු භූත වී යැයි අවධාරණය කෙරීමට අමතරව ඉතාමත් සාමකාමී ව සිටි පවුලක් වැනසුනේද ඒ නිසාවෙන් යැයි පැවසිණ. ඒවායේ ඇත්ත නැත්තත්, යම් කිසි ආගමක් වෙත තරයේ බැඳී ඉන්නවාද ජීවන බර සැහැල්ලු කර ගන්නවාද යන පැනය හමුවේ මියගියවුන් තීරණ ගත් ආකාරයත් වටහා දෙන්නට ඔවුන් අද අප අතර නැත.
එලෙසින් ඒ පිළිබද සාකච්ඡා කල ස්වර්ණවාහිනිය ප්‍රධාන අනෙකුත් මාධ්‍ය, පසුගිය දිනවල නැවතත් හඬා වැටෙන්නට පටන් ගත්තේ ඊට වෙනස් ආකාරයකිනි.
මෙලොව වාසී කිසිවෙකුට, මනුෂ්‍ය ඝාතනයක යෙදීමට මනුෂ්‍යයන් පනවා ගෙන තිබෙන නීති සම්ප්‍රදායෙන්වත් පිළිගත් ආගම් ධර්මයන්ගෙන්වත් පිටු බලයක් ලැබෙන්නේ නැත. එහෙත් එසේ වුවත් ඒ වැනි දේ සම්පූර්ණයෙන් නැවතෙන්නේද නැත.
පසුගිය දිනෙක ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූ කළුතර සිද්ධිය දෙස තුලනාත්මක ඇසකින් බැලීමට ජනතාව පෙළඹවූ එකම මාධ්‍යයක් හෝ තිබුණාදැයි සැක සිතේ. සම්පූර්ණ වරද ඒ මව වෙත පටවමින් ඇය වන් මිනී මරු ස්ත්‍රියක් මුළු සක්වල වළල්ල තුලවත් නැති තරමට ඇයව හෙළා දකින ලදී. මට අවංකවම සිතුනේ දින 9කට ආසන්න කාලයක් තුළ මරුවා සමඟ පොර බැදූ ඒ දරුවාගේ වේදනාව අප කාටත් වඩා ඒ අම්මාට දැනෙන්න ඇති කියායි. එක් වේලක පමාවෙන් දරුවෙකු හඬන විට අම්මා කෙනෙකුට එයද දරා ගත නොහැකි තත්ත්වයක් ව තිබියදී වේල් ගණන් අහිමිව දරුවෝ කැලතක් දුක් විඳින විට................... අනේ මට නොතේරේ. ඒ අම්මාට අවැසි වන්නට ඇත්තේ එකෙකු හෝ ඒ දුකින් සැනින් මුදවන්නට විය නොහැකිද?
ඒ බලාපොරොත්තුව බිඳ වැටී,දරුවා දින ගණනක් දුක් විඳ මිය ගිය බව ප්‍රචාරය වන විට මා මාසැමි සමග පැවසුවේ දැන් ඒ අම්මා අඬනවා ඇති යනුවෙනි. දෙනෙත් ලොකු කරගෙන මගේ ඒ වදනට කරුණු විමසූ ඔහු මා දැක්වූ කරුණ පිළි ගත්තේ නැත. කෙසේ හෝ 'ඔයා කියන කථාවෙත් ඇත්තක් තියෙනවා, ඒත්...................' කියන තැනට ඔහු දැන් පැමිණ සිටී.
දරුවෝ එපා නම් හදන්නේ මොකටද?'ඒ පිළිබඳ කන්තෝරුවේදී පැවසූ විට ඇසුණු පැනයකි ඒ,
අපට එලෙසින් සිතිය හැකි වුවත් උපන් මොහොතේ හෝ ඉපදීමට සිටියදී මරා දැමුවා නම් එපා දරුවන් සාදා ඇතැයි සාධාරණව සිතිය හැකි බව මට සිතේ. ඒ අම්මා කෙසේ හෝ දරුවෝ උස් මහත් කරන්නට සිතාගෙන සිටින්නත් ඇති. එහෙත් දරාගත නොහැකි දරිද්‍රතාව හමුවේ ඇගේ බුද්ධි මට්ටමට අනුව මෙවන් තීරණයක් හැර වෙනත් කළ හැකි දෙයක් ඇයට නොපෙනෙන්නට ඇති. දරුවාට සිදුවූ දෙය කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක් බව නොබිඳිය හැකි සත්‍යයක් සේම ඒ මරණයට සම්පූර්ණ වගකීම අම්මා මත ම පැටවිය නොහැකි බවත් එවන්ම සත්‍යයකි.
දැන ගන්නට ලැබුනු ආකාරයට පියා දරුවන්ගේ සියලු වගකීම් වලින් මගහැර සිට ඇත. ජීවත්ව සිටි දරුවන් දිනපතාම මැරී මැරී උපදින්නට ඒ කරුණ ප්‍රමාණවත් නොවන්නේද? ඒ කුඩා දරුවා මිය යාමෙන් පසුව පියා අනෙකුත් දරුවන්නේ අයිතිය දරා ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් පැවසිණ. අද දින ලොව පුරාවෙන්ම ඒ අනාථ වූ දරුවන් කෙරෙහි දක්වන අනුකම්පාව සැබෑ ආදරයක් ව දිගින් දිගටම පවතීවා යනු අපේ පැතුමයි. එසේ නොවුන හොත් ඇතිවන තත්ත්වය පිළබඳ ව කථා කිරිමට මැලි වෙමි.
පෙට්‍රල් ෂෙඩ් ගානේ ස්වීප් විකුණන, කපුරු පැකට් විකුණන දරුවෝ දෙස නෙත් කොනින්වත් මනස නොහෙලන මිනිස්සු අද ඒ දරුවා වෙනුවෙන් හඬනු දකින විට අපටද නිරායාසයෙනම හැඬුම් ඒ.
විකුණන දේ නොගත්තත් රු. 10 -20ක් ඔවුන්ට දෙන්නට තරම්වත් හිතක් පහළ කර නොගත් මිනිස්සු අද ඒ දරුවාගේ සහෝදර සහෝදරියන් දරු කමට ගැනීමට තරඟ වැදී සිටී.
එලෙසින්වත් චින්තන දහරාව වෙනස් වේ නම් සතුටට කරුණකි.
එහෙත් තවත් දරුවකු තව මාස කිහිපයකින් තවත් ගඟක යන විට,
'කලිනුත් ඔහොම එකක් වුනා නේද? කැළණි ගගේ නේද? ........... නැහැ නැහැ.......... මහවැලි ගගේ නේද? ........... කෙල්ලෙක් නේද ඒ පාර දාලා තිබුනේ?.............. පිස්සුද අනේ කොල්ලෙක්......................' යනුවෙන් අනුමාන මගින් මතකය අලුත් කර ගන්නට තරම් මිනිසුන්ගේ මතකය ගැන විශ්වාස නොතැබිය හැකි වීම දුකට කාරණයකි.
මා මිතුරු සොයුරු සොයුරියන් හට කීමට ඇත්තේ එකම දෙයකි. කරුණාකර ඔබට මහ මගදී හමුවන එවන් දරුවන් කෙරෙහි පෙරට වඩා කරුණික වන්න. කපුරු වලින් ගේ පිරි ගියද කම් නැත. රු.10ක් දී එක් පැකැට්ටුවක් හෝ මිලදී ගන්න. එසේ අවැසි නොවන දෙයක් නම් ඔවුන් විකිණීමට පැමිණෙන්නේ හැකිනම් සුළු මුදලක් ඔවුන්ගේ අතමිට මොලවන්න. එසේ කිරීමට නොහැකි තරම් ඔබගේ පසුම්බියත් හිතත් හිස් නොවෙතැයි සිතමි.
එවිට වෙන්න තිබෙන දෙයක් වැළැක්වීමට නොහැකි වුවද නොවෙන්න තිබෙන දෙයක් සිදු නොවන තැනට කටයුතු කරන්නට ඔබත් දායක වූවායැයි ඔබට සතුටු වීමට හැකිවනු ඇත.
පසු වදන
මෙය ලිවීමෙන් සියලු මිතුරන් මා වෙත කඩා පනී දැයි බියෙන් පසු වීමි. අනෙක් අතට හිතට දැනෙන ආවේගය හේතුවෙන් කිව යුතු සියල්ල පැහැදිලිව ගැට ගසා ගැනීමට නොහැකි වේ දැයි සාංකාවක් දැනී තිබුණු අතර ප්‍රවෘත්තියේ උණුසුම දියාරු වී ගොස් ඇති නිසා සැමගේ මසැස වැසී මනස ඇරි ඇතැයි සිතුණ නිසාවෙන්ද අද මෙය ලියන්නට සිතුවෙමි.
රවා මල්ලී. මල්ලීගේ පුතයි ..... අම්මායි ... මමයි...... යන ලිපිය දුටු විට මෙතෙක් දවසක් ලියම්දෝ නොලියම්දෝ සිතමින් සිටි දැය ලිවීමට යම් දිරියක් ලදිමි. ස්තුතියි ඔබට...................................
Monday, March 15, 2010
38. රනුලිමා චින්තනි නම් වූ ඇය.........
දැනටමත් යම් තරමකට ප්‍රමාද වී ඇත. එහෙත් සම්පූර්ණයෙන් ප්‍රමාද නැත. එබැවින් සැමි ගැන ලියවිල්ල පසුව ලියන අටියෙන් අද දින මේ ලියැවිල්ල ලියන්නට සිතුවෙමි.
***********************************************************************************
ඇය................................
අමුතුම කෙනෙකි.
හමන සුළඟ සමග ද සිනාසෙයි. නිතැතින් දුටුවන් මුව සිනා උපදවයි.
කෙනෙකුගේ දෙදෙනෙකුගේ සුව නින්දට බාධා ඇති කලද කිසිවෙකු ඈ හා අමනාප නොවන්නේමය.
ඇය....................................
බොහෝ දෙනෙකු අළුතින් ඉපැද්දුවාය.
බොහෝ දෙනෙකුට උසස්වීම් පිරිනැමුවාය.
සමහරෙක් නැවත ඉපැදුනෙත් ඈ නිසාවෙනි.
එබැවින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නීය.
ඇය...............................
මාවත් දෙකක් එක්වූ තැන බිහි වූවාය. ඒ මාවත් වාසී සියලු ම දෙනා පියවරකින් ඉදිරියෙන් තැබුවාය.
ඇය...............................
අවශ්‍යයෙන්ම දෙදෙනෙකුගේ ජීවිතය වී හමාරය. ඒ දෙදෙනාගේ මුළු මහත් අනාගතයම ද වී හමාරය.
ඒ දෙදෙනා නම් අප දෙදෙනාය.
ඇය නම් .........................ඔව් ඔබ අනුමානය නිවැරදිය සබඳ.
පසුගිය මාර්තු 07 වන දිනට සවැනි මස සම්පූර්ණ කල අපේ සිඟිති දියැණියයි ඇය................
********************************************************************************
පසු ලිවීම
හුදෙක්,
බිරිඳක් සැමියෙක් පමණක් වූ අප දෙදෙන මව්පියන් ලෙසින් ඉපැද්දුවේ ඇයයි.
අම්මා තාත්තා යන තනතුරේ සිටි අප මව්පියන් හට මිත්තණියන් මුත්තණුවන් යන තනතුරු පිරිනැමුවේ ඇයයි.
අපගේ සොයුරු සොයුරියන් පමණක් වූ ඔවුන් හට වඩා වගකීම් සහිත වූ උසස් තනතුරු පිරිනැමුවේද ඇයයි.
එබැවින් ඇය අප සියලු දෙන මිටින් ගෙන පියවරකින් ඉදිරියෙන් තැබුවා නොවන්නේද?
ඉදින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නේමය.
Wednesday, March 10, 2010
37. ප්‍රියයාණෙනි!!! - 01
අප දෙදෙනා ප්‍රථම වරට මුණ ගැසී මේ වන විට අවුරුදු අටක් පමණ ගෙවී ගොස් ඇත.
එනමුදු අප බැඳීම තවමත් අද ඊයේ හමු වූවාක් මෙන් නැවුම්ය. වසර ගාණක් ගෙවුනාක්සේ මිහිරිය.
මිතුරන් ලෙසින් ගෙවුනු වසරකට පමණ පසු පෙම්වතුන්ව අවුරුදු 6ක් දිවිමග අත්වැල් බැඳ තරණය කෙරුවෙමු. දැනට අවුරුදු 1 1/2කට පමණ පෙර යුවතිපතීන් වනතුරු ඒ ගෙවුනු සය වස පිළිබඳව ඔබ, මා, අප මිතුරු මිතුරියන් මෙන්ම මාගේ අඩවිය ඇසුරු කෙරූ සැම දෙන දනිති.
මේ මුළු වසර 8 පුරාවටම මා අභියස සිටිමුත් කාලයත් සමඟ ඔබ වෙනස් නොවීයැයි කිව හැකිද?. අවුරුදු 19 යන්තමින් පසු කල පොඩි කොළු ගැටයකුගේ සිට අවුරුදු 27ක් පමණ වන සාඩම්බර පියෙකුගේ තත්ත්වයට මෙන්ම, ඒ කොළු ගැටයාගේ සිට මා දයාබර සැමියා දක්වා ද ඔබේ වගකීම් වෙනස් විය.
කාලය අප පසු කොට වේගයෙන් ගමන් කර ඇති බව පසක් වන්නේ, පෙර ඔබ අත මත වෙලී තිබූ මා අත වෙනුවට ඔබ අතේ දනි පනි ගා එල්ලෙනා අප දූ සිඟිත්තිය දකින කල්හීය. "අපිටත් බබෙක් ඉන්නවා නේද?"යි එකිනෙකාගෙන් අසාගනිමින් අප නිරතුරු පුදුම වන්නේ තවමත් එය සිහිනයක් සේ දැනෙන නිසාවෙන් නොවෙද?
කාලය එලෙසින් ගලා ගියද, අද දිනයේදිත් මා බසයෙන් බැස එනතුරු මගබලා සිටින ඔබ මුව මත පිපෙන්නේ මුලදීම මා සිත්ගත් ඒ සිනා මලමය. එදා වාගේම අදත් මගේ අත අල්ලා ගන්නා ඔබේ අතැඟිලි මා හට ගෙන එන්නේ ඒ උණුසුමමය. සමහර විටෙක පෙරට වඩා ඒ සිනා මල, ඒ උණුසුම, පරිණත වී ඇති බවක්ද සිතෙනා අවස්ථාවන්ද නැතුවාම නොවේ.
ඔබ වෙනස් වී ඇත.
රූපයෙන් වෙනස් වී ඇත. වයසින් මුහුකුරා ගොස් ඇත. දැනුවත් භාවයෙන් දැනුවත් වී ඇත.
ඔබේ ආදරයද වෙනස් වී ඇත. ඔබ අද මා හට ලබා දෙන ආදරය, පෙර පෙම්වතුන් සමයේ දුන් ආදරය හා සමකරන කල මහමෙරකි. විටෙක මට දරා ගැනීමට පවා අපහසුව එය මා දෙනෙතින්ද පිට පනී.
දුව ලැබෙන්න ඉන්න දිනවල ඔබ මා රැක බලා ගත්තේ දරුවෙකු රැක බලා ගන්නා අම්මා කෙනෙකු මෙනි. ඉදිමුනු දෙපා, රිදුම යනතුරු අතගාමින්, රෑ තිස්සේ විටින් විට වැසිකිලි යාමට අවැසි වු විට අවදිව මා සමග එමින්, රසම රස තේ සාදා දෙමින්, කැමති ආහාර වර්ග ඉවෙන් මෙන් හඳුනාගෙන ඒවා ගෙනත් දෙමින්............... කල හැකි උපරිමයෙන් ඔබ මාත් අප දියණියත් වෙනුවෙන් කැප වුනෙහිය. පෙම්වතුන් කල පටන් මට 'අහවල් තැනින් අද මොනවා හරි කාලා ගියා නම් හරි' කියා සිතන්න පමණි තිබුනේ. කියන්නටත් පෙර ඔබ හරවා අවසන්ය. සැබවින්ම ඔබ මා සිත හඳුනා ගත් ආකාරය මට සිතා ගන්නට තවමත් නොහැකිය.
දුව ලැබෙන්න රෝහලේ නවතින්න යන්න තිබුණු දිනයේ උදෑසන මතකද? අපි දෙන්නාම කඳුළු සලා හැඬුවෙමු. මට හැම විටම 'අඬන්න නම් හිතන්නවත් එපා' කියමින් සිටි ඔබ මා තුරුළු කරගෙන මාවත් තව තවත් හඬවමින් හැඬුවේ මන්ද? හිතේ පිරී තිබුණු, වදනට පෙරළිය නොහැකි වූ හැඟීම් එසේ දෝරේ ගලා ගියේ යැයි සිතමි.
මා රෝහලේ නැවතූ දිනයේ පටන් අවසන් දිනය වනතුරු, ඔබ සේ තුන් වාරයටම සිය බිරිඳ බලන්නට පැමිණි වෙනත් සැමියෙකු මා නොදිටිමි. (බොහෝ දෙනෙකුගේ දොසක් නැත. ඔවුන් මත පැටවුනු වෙන වෙන වගකීම් ද තිබුණු බව ඒ බිරින්දෑවන් මා හා පවසන ලදී) එනතුරු මග බලා සිට මාගේ ගෙල කේවට්ටයාගේ ගෙල මෙන් දික්කර ගන්නට ඉඩ නොතැබුවෙහිය. ඔබ හරියටම වෙලාව එළඹෙන විට හති දමමින් දුව එන්නෙහිය. ඒ මා සිත් ගත් සිනා මලත් මුවදරාගෙනය. ඔබ එන පෙරමගට ගොස් ඔබත් සමගින් මා නැවතත් ඇඳ වෙත එනවිට අනෙක් බොහෝ මව්වරු අප දෙස නෙත් අයා බලා සිටිනා'යුරු දකින මසිතෙහි සියුම් ලැජ්ජාවක් වැන්නක්ද ඉපැදින. ඒ ඔබ නැවත ගිය පසු ඔවුන් මා හට කවට කම්කරන බැවිනි.
මා දයාබරයාණෙනි, නිරෝගීව යහපත් සිතැතිව මෙතෙක් කල් සිටියා සේ ඉදිරියටත් මා හා මේ දිවි මග අත්වැල් බැඳ එනු මැනව !!!
පසු ලිවීම
සමහර විටෙක මගේ සිත සිතුවිලි වලින් පිරී යන්නේ මට නින්ද ද අහිමි කරවමින්. ඒ සිතුවිලි බොහොමයක් උපදින්නේ මාගේ දයාබර සැමියාත් ආදරණීය දූ සිඟිත්තත් අරඹයාය. දූ කුමරිය පිළිබඳ ව නම් මීට පෙරත් සටහන් තබා ඇත්තෙමි. ඒත් මා අතින් බලවත් අසාධාරණයක් සිදු වී ඇත. මගේ ජීවිතය අද දිනයේ මේ තත්ත්වයෙන් පවතින්නේ මාගේ දයාබර සැමි නිසාය. මොන මොන දේ ගැන සටහන් තැබුවද මාගේ බ්ලොග් අඩවිය තුළ ඔහුටම වෙන්වූ ලිපියක් හෝ නොමැති වීම බලවත් අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව අද දින මම සපුරා ලන්නෙමි.
ලොව පුරා විවිධාකාර සැමියෝ සිටිති. අප රටේද සිටිති. අප ගමේද සිටිති. මට පේන මානයේ විවිධාකර වූ සැමියෝ තිදෙනෙක් සිටිති. එක් අයෙකු මාගේ මවගේ සැමියා නොහොත් මගේ පියාය. දෙවැන්නා මාගේ සැමියාගේ මවගේ සැමියා නොහොත් මාගේ සැමියාගේ පියාය. තෙවැන්නා (හෙවත් තිදෙනාගෙන් වඩා මෑතකදී තනතුර ලත්) මාගේ සැමියාය.
මා සැමි ට ඒ තනතුර ලැබී එතරම් කාලයක් නොවීමත් මාගේ ලිපිය ලිවීම පමා වීමට එක් හේතුවකි. එයට හේතුව ඔහු අරඹයා මසිතෙහි පවතින නොවක් ප්‍රේමයත්, ඔහු මා කෙරෙහි මෙන්ම අප දියණිය කෙරෙහි දක්වන දැඩි කැපවීමත්, ඔහු නොමැති තැන මා හට හරියකට පියවරක් වත් තබා ගැනීමට නොහැකි වන තරමට ඔහු මා හට දෙන සහයෝගයත්, යනාදී කරුණුත් තව ඉදිරියේදී කීමට බලාපොරොත්තු වන බොහෝ කරුණුත් කරණ කොටගෙන මා සිතේ ඇතිව ඇති ප්‍රහර්ෂය හේතු කොටගෙන සැමි වර්ණනාව "අධි" තත්ත්වයකට පත් විමට ඇති ඉඩකඩ බොහෝ වැඩි විමයි. එසේ අධි වර්ණනාවක් සිදු වුවහොත් "අලුත්පිට වහලෙත් ගොම ගානවා" "පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා" වැනි කියමන්ද කරළියට බැසීමට ඉඩ ඇත.
එහෙත් මේ පිළිබඳව දීර්ඝව සිතු මට සිතුනේ ඒ දේවල් කෙසේ වුවද අද දිනයේ ඔහුට පිදිය යුතු ප්‍රණාමය පිදිය යුතු බවයි. (අද දිනයෙන් ලියා අවසන් කිරීමට හැකිවනු ඇතැයි සිතුනද තව ලිපි දෙකකටවත් මා සිත් හී ඇති කරුණු ගොනු කිරීමට සිදු වනු ඇතැයි සිතේ. එය කාලයට භාර කරමි.)
Friday, March 5, 2010
36. ඔබ මෙන් ඇයත්............... ඇය මෙන් ඔබත්.......... මට මාගේ ඇස් දෙක වාගෙයි
අද සැමිගේ අම්මාගේ 50 වන උපන්දිනයයි. මගේ ප්‍රාර්ථනය ඉදිරි උපන්දින වලදීද අද මෙන්ම සියලු දෙනා සමඟ එක්ව කේක් කපා තෑග්ගක් දී ඇයට සුභ පැතීමට හැකිවන පරිදී අපේ හොඳ හිත පලුදු නොවී තිබේවා කියලායි. මේ වගේ සැමියෙක් මට ලැබුනේ ඒ අම්මා යහපත් ව ඒ පුතා හැදූ නිසානේ. හිතට හරියන්නේ නැති චුට්ටි චුට්ටි දේවල් කා අතිනුත් සිද්ධ වෙනවා. මා අතිනුත් සිද්ධ වෙනවා ඇති. ඈ අතිනුත් සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් නොවුනා සේ අමතක කරලා දාලා හිතට හරියන ලොකු ලොකු දේවල් විතරක් මතක තබාගෙන ඉමු නේද?
අම්මේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!!