හතරයි විස්සෙ සෙංකඩගල මැණිකෙ කොටුවෙන් පිටත් උනේ විනාඩි දහයක් පරක්කු වෙලා.අන්තිම මොහොතෙ දුවගෙන ආපු මම යන්තමට දොරෙන් ඇතුල්වුනා විතරයි. ඒ තරමට සෙනඟ. ඔෆිස් ඇරෙන වෙලාව නෙව, හැමදාම මෙහෙම ඇති, ඒත් මිනිස්සු තෙරපෙන එක, තදබදය කිසිදෙයක් මට දැනුනෙවත් නෑ: මගෙ හිත ඇතුලෙ කලබලය ඒ ඔක්කොටම ලොකුයි.
වේයන්ගොඩදි සෙනඟ ටිකක් අඩු උනා, යන්තමට ඔන්න ඇතුලට ගියා. පොල්ගහවෙලදි මට සීට් එකක් ලැබුණා. ජනේලයක් ළඟ. දැන් හවස හයහමාරයි, අඳුර ඈතින් පෙනෙන කඳුවැටි මතින් ගලාහැලෙද්දි දුම් රිය හෙමිහිට කන්ද නඟින්ට පටන් ගත්ත.
පිටත අඳුර ගුලි ගැහෙන හැටි, මඟ දෙපස ගෙවල්වල් විදුලි එළි එක සීරුවට පසුපසට ඇදීයන හැටි මම ඔහේ හිස් බැල්මෙන් බලා හිටිය. ඒ එකක්වත් මගෙ හිතේ සටහන් උනේ නෑ.
මගෙ ජීවිතයම ඒ දැඩිවන අඳුර මත රඟදෙන නාටකයක් වගෙ මට මැවිලා පෙනුනා.
අහ්....ඒ ඔක්කොටම කලින් මම කව්ද කියන්ට එපාය......මම අජන්ත......ඔව්, සචිනිගෙ කතාවෙ අජන්ත......ඒ අජන්තම තමයි,
වෙහෙසකරව කඩුගන්නාව කන්ද නැඟපු දුම් රිය එතන ඉඳන් පේරාදෙණියට එක හැල්මේ දිව්ව. මම බැස්ස පේරාදෙණියෙන්.
වේදිකාවට පය තියනකොටම "අජන්ත මල්ලි, මම මෙහේ................" රංජිත් අයියගෙ හඬ ඇහුනම මට ආවෙ දරන්ඩ බැරි තරම් සතුටක්.
රංජිත් අයිය මා එක්ක අපේ කම්පනි එකේ කොළඹ ප්ර්ධාන කාර්යා.ලයේ වැඩ කලා අවුරුදු ගණනක්.මගෙ හොඳම මිත්රයය. ඒ වගේම ජීවිතේ හැම වැදගත් දේකදිම මගෙ උපදේශකය. මගෙ ගුරුවරය.මාස හයකට විතර කලින් අපෙ කම්පනි එකේම නුවර කාර්යාඹලයට මාරුවෙලා ආව රංජිත් අයිය දැන් පැණිදෙනියෙ ගෙයක් හදාගෙන ජානකී අක්කත් එක්කල ඉන්නව දෙයියනේ කියල.පැණි දෙනිය කියන්නෙ පේරාදෙනිය ස්ටේෂන් එකේ ඉඳල පයින් යන දුර.විනාඩි දහයයි.
" මල්ලි ත්රීේ වීලර් එහෙක යමුද?" ...............රංජිත් අයිය ස්ටේෂන් එකෙන් එළියට එන ගමන් ඇහුව.
" අනේ මොකටද අයිය......ඒ හැටි දුරක් නෑනෙ.......කයියක් ගහගෙන පයින් යමු ඔන්න ඔහෙ.........." ගේ හදන වැඩ ගැන කතා බහේදි පේරාදෙණියෙ ස්ටේෂන් එකේ ඉඳල ගෙදරට පයින් ගියත් විනාඩි දහයයි කියල රංජිත් අයිය කලින් කියල තිබ්බ මට මතක තිබ්බ.
පැණිදෙණිය කඩ මණ්ඩියෙ කඩේකට රන්ජිත් අයිය ගොඩ උනා." මල්ලි, සෝඩ නේද?........" ඒ උත්තරයක් බලාපොරොත්තුව ඇහුව ප්රනශ්නයක් නෙවෙයි.
" ඉතින් අජන්ත මොකෝ තනියම කෝ සචිනි?"
පාළු පාරෙ අපේ පියවර හඬ විතරක් ඇසුණු මිනිත්තු කීපයකට පස්සෙ රන්ජිත් අයිය ඇහුව.
මම මේ ආපු ගමන ඇත්තටම හදිසි තීරණයක්. අද උදේ ඔෆිස් එකේදි හදිසියෙම ගත්තු තීරණයක්.පහුගිය දවස් තුනක් තිස්සෙ විඳපු වචනෙන් කියන්ඩ බැරි තරම් දුක් වේදනා කන්දරාවකට පස්සෙ හිත සැහැල්ලු කර ගන්ඩය කියල හිතලම තමයි රන්ජිත් අයියට මම කතා කලේ.
ටෙලිෆෝන් එක එහා කෙළවරෙන් රන්ජිත් අයියගෙ කටහඬ මට ඇහුනු ගමන් මගෙ හිතට ආවෙ පුදුම සහනයක්.
" අජන්ත මල්ලි ඉතින් කොහොමෙයි?....කොහොමද විවාහ ජීවිතේ එහෙම?......හෙහ්, හෙහ්, "
" මම මේ කතා කලේ අයියෙ අද හවස කෝච්චියෙ මම අයියලගෙ ගෙදර එනව කියන්න.හෙට පෝය නිවාඩුවනෙ."
" අඩේ අන්න නියමයි, කාලෙකින් අපිට නිදහසේ කතාකරන්නත් බැරිඋනා.....උඹේ වෙඩිං එකෙන් පස්සෙ මම හිතන්නෙ අපි හම්බ උනේම නෑ.......හැබැයි ඔය කෝච්චියෙ සෙනඟ මල්ලි, සචිනිට ලේසි වෙන එකක් නෑ....ඇයි ඉන්ටර්සිටි බස් එකක වරෙල්ලකො දෙන්නම......."
" මම විතරයි අයියෙ එන්නෙ..............." මම ඒ ටික කිව්වෙ බොහොම හෙමිහිට.....ඇහෙන නෑහෙන ගානට,
" හප්පා......ඒ මොකෝ මල්ලි?..........හරි, හරි, ඒකෙන් කමක් නෑ උඹ වරෙන්කො මම පේරදෙණිය ස්ටේෂන් එකට ඇවිත් ඉන්නම් "
ඔන්න ඔහොමයි දවල් වෙච්චි කතාව............
" හරි අජන්ත, අපි ගෙදරට ගිහිල්ලම කතා කරමු " රන්ජිත් අයිය මගේ නිහඬතාවය නිසාදෝ කිව්වෙ මගෙ උරහිසට අතකුත් තියන ගමන්.
ජානකී අක්ක ඇවිත් හිටිය පාරටම....හිනා කටකුත් පුරෝගෙන..........
" අප්පේ අජන්ත මල්ලි දැකපු කාලයක්....යමු යමු දැන් මහන්සිත් ඇතිනෙ, හිටගෙනම ඇවිල්ල,"
" නෑ අක්ක, මට පොල්ගහවෙලදි සීට් එකක් හම්බ උනා "
" මල්ලි තේ එකක් බොනවද?................" ජානකී අක්ක ප්රාශ්නෙ ඇහුවෙ රංජිත් අයියගෙන්...
" හරි හරි හදන්නකො තේ එකක්....කෝකටත්....... අජන්ත බාත් රූම් එක අතන...වොෂ් එකකුත් දාගන්න එහෙනම්...." රංජිත් අයිය අන්තිම කොටස කිව්වෙ මට.
රංජිත් අයිය ගෙදර හදල තිබ්බෙ පොඩි කඳුගැටේක. උඩ තට්ටුවෙ සඳලු තලේට හන්තාන කඳුවැටිය පේන්නෙ අතින් අල්ලන පුලුවන් ගානට.
හෙට ඇසළ පෝය........හඳ එළිය හන්තාන කඳුවැටිය පුරාම විහිදිලා.කඳු මුදුනෙ ටෙලි කොම් කුලුණු දෙකට පිටිපස්සෙන් හඳ පායල. අහසෙ තරු දෙක තුනක් විතරක් පේනව, ඒත් බොහොම මලානිකව.
ගේ පහලින් දිවෙන පරණ ගම්පල පාර පාලුවට ගිහිල්ල. ඊට සමාන්තරව තියෙන බදුල්ල කෝච්චි පාර පැහැදිලිව පේන්නෙ සඳ එළියට රේල් පීලි දිලිසෙන හින්ද.
" මල්ලි මොකෝ සිරි නරඹනවද?..........ලස්සනයි නේද? " රංජිත් අයිය ළඟටම එනකල් මට ඇහුනෙම නෑ.
" වරෙං, වරෙං........වැඩේ පටන් ගමු.....හෙහ්, හෙහ්, "
අපි ආගිය විස්තර කතා කර කර වැඩේ පටන් ගත්ත.හෙඩ් ඔෆිස් එකේ අලුත් විස්තර මම කිව්ව. නුවර අපේ යාලුවන්ගෙ අලුත්ම විස්තර රංජිත් අයිය කිව්ව.
ඔහොම ටිකෙන් ටික කතා කරල අන්තිමට වෙන කතා කල යුතු යාලුවන්ගෙ ඔෆිස් එකේ දේවල් නැති තැනට ඇවිල්ල අපි දෙන්නම නිහඬත්වයේ වෙලිල මිනිත්තු කීපයක් ගත උනා.
" රංජිත් අයියෙ......." මම නිහඬ තාවය බින්දා.
" අජන්ත......කියපං, මල්ලි ප්ර ශ්නයක් තියේනම්, ඒක මට කියන එක උඹෙ හිතට සහනයක් කියල උඹට හිතෙනවනම්, මගෙන් මොනවහරි උදව්වක් ඕන කියල උඹට හිතෙනවනම්, මට ඒ උදව්ව කරන්ඩ පුළුවන් කියල උඹට හිතෙනවනම් මට කියපං"
ජානකී අක්කත් ඇවිල්ල වාඩිඋනා........
මම අක්ක දිහා බලල හිනාවෙලා ආයෙම රංජිත් අයිය දිහාවට හැරුන.
" සචිනි මාව දාල ගියා අයියෙ" මම ඒ ටික කිව්වෙ පපුවෙන්ම එන වේදනාව දරාගෙන. ඒ කරල මම වීදුරුව පුරව ගත්ත.
මතු සම්බන්ධයි...............