Often in life we forget the things we should remember and
remember the things we should forget.
ජීවිතයේ බොහෝවිට අපි මතකයෙහි රඳවාගතයුතු දේ
අමතකකොට මතකයෙන් බැහැරකල යුතු දේ
මතකයෙහි රඳවාගෙන සිටිමු.
|
අදින් අර දුම්රියේ හමුවූ යුවතියගෙ කතාව ඉවරයි. ඒ හින්ද මම හිතුව මුල් කොටස් හයට සබැඳි දාලම කතාව පටන්ගත්තනම් හොඳයි කියල.......
දුම්රිය පොල්ගහවෙල මංසන්දිය පසුකළේය. මම කිසිවක් කරකියාගත නොහී උකටලීව ආසනයේ දිගඇදී පසුවූයේ මසිත දැඩි නියං කලක වියළි පොල් අතු මිටියකින් ගිණි තැබූ තව්මැරී හේබාවීගිය කහපැහැ මානගාලක් පරිද්දෙන් සට සට යන අනුකරණයෙන් ගිණි ගනිද්දීය.
රඹුක්කන පසුකල දුම්රිය ඉතා ශීඝ්‍ර ආනතියකින් යුතුව තනා ඇති මාර්ගය ඔස්සේ කඳුකරයට පිවිසෙනු වස් සුපුරුදු ලෙස වැර වෑයමෙන් කන්ද නඟින්නට වන්නේය. කලක් මැදිරි 12-15 අතර ගණනකින් සැදි උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ වන් දුම්රියක් ඇදීමට කේවල එන්ජිමක් අසමත්වූ බැවින් රඹුක්කන සහ කඩුගන්නාව අතර ආනතිය ඉතාම ශීඝ්‍ර කොටසේදී ඉදිරියෙන් මැදිරි පෙළ අදිනා එන්ජිමට සහායවනු වස් අමතරව පසුපසින් තල්ලු කරනු උදෙසාද එන්ජිමක් යොදා ගැනිණි.
රඹුක්කන පසුකොට කිලෝ මීටර් පහක් හෝ හයක් පසුකල පසු දුම්රිය මඟ අර්ධ වෘත්තාකාර හැඩයක් ගත් සුවිසල් වංගුවක් පසුකරයි. යුගල එන්ජින් මඟින් ඇදෙනා දුම්රියක ගමන් කරද්දී මම අනිවාර්යයෙන් මේ වංගුවෙහිදී මැදිරි දොරටුවක එළිපත්ත මත සිටගෙන ඉදිරියෙන් සහ පසුපසින් ඈඳුනු යුගල එන්ජින් ආධාරයෙන් දුම්රිය ධාවනය වනු නරඹන්නෙමි. ඒ මගේ නොසිඳෙන ආශාවන්ගෙන් එකකි. එහෙත් එදින මසිත කොතෙක් කැළඹී තිබියේද යත් එසේ දොරටුවක් අසලට ගොස් ඒ මනස්කාන්ත දර්ශනය විඳීමටද මට කිසිසේත්ම සිතක් පහළ නොවූයේය.
ඉහළකෝට්ටේ සහ බලනද පසුවිය. කෝට්ටේ යන වදනෙහි අර්ථය නම් කොටුව යන්නයි. එනම් පරසතුරු ප්‍රහාරයකින් ආරක්ෂාවනු උදෙසා තැනූ බලකොටුවක් වැන්නකි. පෘතුගීසි සහ ලන්දේසි සමයන්හිදී උඩරට සිංහල රාජධානිය දක්වා වැටී තිබුණු මාර්ගය මල්වාන රුවන්වැල්ල අඟුරුවාතොට ආදි ගම් නියම්ගම් පසුකොට කන්ද උඩරටට ඇතුලුවූයේ බලන සහ අලගල්ල කඳු අතරිනි. අද ඉහළ කෝට්ටේ යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙහි එදවස වූයේ උඩරටට පිවිසෙන අවසාන මුර කපොල්ලයි. බලන යනු උඩරට රාජ්‍යය ආරක්ෂාව සලසනුවස් රැකවලෙහි යෙදී හිඳිනා මුරසෙබලුන් සතුරු සේනාවක ඡායා මාත්‍රයක් හෝ කුමන මොහොතක දක්නට ලැබේදෝයි යන අනවරත සැකයෙන් යුතුව උකුසු ඇසින් ඈත සබරගමු සීමාව තෙක් දිවයන නිම්න භූමිය දෙස නෙත් යොමාගත් වනම පසුවූ මුර කපොල්ලයි.
තවත් මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය ඉක්බිති මගේ දකුණු පසින් පහළින් දිස්වන්නට වූයේ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගය යි. දුම්රිය උපරිම වශයෙන් තවත් මිනිත්තු දහයක පමණ ගමනකින් පසු කඩුගන්නාව දුම්රිය පොලට ලඟාවනු ඇත. ඉන් පසු පිළිමතලාවට ඇත්තෙ තවත් මිනිත්තු දහයකි. පිළිමතලාවෙන් මම දුම්රියෙන් බැසිය යුතුය. මගේ ප්‍රවේශ පත්‍රය වලංගු වන්නේ පිළිමතලාව දක්වා පමණකි.
මා ඉදිරියේ හිඳ සිටිනා මව සහ දියණිය කඩුගන්නාවෙන් හෝ පිළිමතලාවෙන් දුම්රියෙන් නොබැස්සහොත් මගේ සියලු අපේක්ෂාවන් සුන්වී යනු ඇත. කඩුගන්නාවෙහිදී දුම්රිය නතර කල සැණින් වේදිකාවට පැන කඟවේනකු පසුපසින් හඹාඑන කල්හි දිවයන්නාක් මෙන් දිවගොස් මහනුවර දක්වා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ආපසු මැදිරියට දිව ඒම මගේ ගැටළුවට එකම විසඳුම සේ මම තීරණය කළෙමි.
එහෙත් දුම්රිය නවත්වන මිනිත්තු තුනක්වන් ඉතා කෙටි කාලය තුලදී එවන් වික්‍රමයක් කිරීමට මම කාල් ලුවිස් වන් ධාවන ශූරයකු නොවන බැවින් ඒ අදහස මම අත්හැර දැමුවෙමි. වලංගු ප්‍රවේශ පත්‍රයක් රහිතව දුම් රියේ ගමන් කිරීම ඉතා අවදානම් සහගතය. සතිකිහිපයකට ප්‍රථම පේරාදෙණිය සහ මහනුවර අතර හදිසියේ ටිකට් පරීක්ෂක වරුන් (දුම්රිය මගීන් ඉතා සාදරයෙන් අමතනු ලබන පරිදි සුළුපියවරුන්) ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකොට මගීන් තිස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බව මා සමඟ පවසූයේ මගේ ලොකු අම්මාගේ පුත්‍රයකු වන සරත් අයියාය.
මා මේ සඳහන් කරනා කාල වකවානුවෙහි ජංගම දුරකථන සුලභ නොවුනු බව මම කථාව ආරම්භයෙහිදී සඳහන් කලා ඔබට මතක ඇතැයි සිතමි. ජංගම දුරකථනයන් භාවිතාවුනු සමයෙක නම් මවිසින් ගතයුතු පියවර ඉතා සරළය.
මගේ අතිජාත මිත්‍රයෙක් කඩුගන්නාව දුම්රිය පළට කිලෝ මීටර් හතරක් හෝ පහක් ආසන්නයේ වෙසෙන්නේය. බලන දුම්රිය ස්ථානය පසුවූ වහාම මම ඔහුට දුරකථන ඇමතුමක් ගන්නෙමි. රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රියේ ගමන් කරද්දී දුරකථන ඇමතුම් ගැනීම දුෂ්කරය. දුම්රිය මඟේ පිහිටි බිංගෙවල් තුලට දුරකථන සංඥා නොලැබේ. එවිට සංවාදයට බාධා පැමිණේ. ඒ බාධා කෙසේ හෝ මඟහරවාගෙන මම රංජියාට ඇමතුමක් දෙමි.
"ඒයි රංජි..මචං.."
"ආ..වීරෙ...මොකෝ බං හදිස්සියෙ? උඹ මේ කොහෙද ඉන්නෙ? මොකද්ද බං ඔය මහ විසාල ගෝසාවක් ඇහෙන්නෙ?…."
"හරි හරි ඒ විස්තර කිය කිය ඉන්ට වෙලාවක් නෑ..ඉස්සරහ බිංගෙයක්......"
එසැනින් දුම්රිය බිම්ගෙයට ඇතුලු විය. සංවාදය ඇණහිටියේය. දුම්රිය බිම්ගෙය පසුකොට එළිමහනට පැමිණි වහාම මම යලි රංජිත් ඇමතුවෙමි.
"හෙලෝ රංජි….."
"මොකද බං උඹ කෝල් එක කට් කලේ?"
"මම කට් කරපු එකක් නෑ යකෝ...කෝල් එක කට් වුනා…"
"හිහ්..හිහ්..එහෙනං එකත් එකටම උඹෙ ෆෝන් එකේ සල්ලි නැතුව ඇති…."
"සල්ලි නැති කෙහෙල්මලක් නෙවෙයි බං..මේ පිස්සු විකාර කියවන එක නවත්තල මම මේ කියන එක හොඳට අහගනිං..වැඩි වෙලාවක් ...."
එහෙම කියනකොටම ආයම කෝච්චිය බිංගෙයක් ඇතුලෙ....අනේ අම්මප...මට එන කේන්තියක්...අනික හයියෙන් කෑගහන්ටත් බෑ. අර ඉස්සරහ ඉන්න අම්මණ්ඩි නිදිවගේ හිටියට ඇස් පියාගෙන මම කියන එව්ව ඔක්කොම අහගෙන ඉන්නව වෙන්ටත් බැරි නෑනෙ. කියන දෙයක් බොහොම ලෝ වොලියුම් තමයි කියන්ට වෙන්නෙ. දියණියෝ තොමෝ නම් අවුලක් නෑ ඇත්තටම නිදි වගේ. මේ බිංගෙවල් සීන් එක හින්ද ඒ ළමයට එක විදිහකට පොත කියවගන්ටත් බෑනෙ. ඒ හින්ද කඩිගමුව පහුවෙලා බිංගෙවල් බහුල වෙන්ට ගත්තට පස්සෙ ඕ තොමෝ කරපු වැඩේ පොත වහල උකුල උඩ තියල ආසනේ ඇන්දට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්ත.
"හෙලෝ හෙලෝ රංජි…"
"මොකක්ද බං ඇත්තටම ඔය ඇහෙන මහ විසාල ගෝසාව? උඹ මූදක් කිට්ටුවකද ඉන්නෙ? "
"මූදක් නෙවෙයි යකෝ..මම මේ කෝච්චියෙ එනව කොළඹ ඉඳල."
"ආ..ඉතිං නියමයිනෙ..... එහෙනං වරෙං කඩුගන්නාවෙං බැහැල අපේ ගෙදර...මම අපේ උක්කුනා එවන්නද බයික් එකේ ස්ටේෂන් එකට?"
"උක්කුනා නෙවෙයි බං... උඹේ බයික් එකට මොකද වුනේ?"
"ඒකෙ ප්ලග්ස්වල කචල් එකක් බං ගැරේජ් එකේ තියෙන්නෙ"
"මේ රංජි ඉඳහං පොඩ්ඩක්…" මම ජනේලෙං එලියට ඔලු ගෙඩිය දාල බැලුව. ඊලඟ බිංගේ ලඟ ලඟම එනව. "මචං මේ... බිංගෙයක් ලඟම එනව.."
"ඉතිං බිංගෙවල් ආවම උඹට මොකද? ...උඹ කෝච්චිය ඇතුලෙනෙ ඉන්නෙ... නේද?"
"යකෝ XXXX බිංගෙවල් ඇතුලෙදි සිග්නල් නැතිවෙනවනෙ. උඹ බීලද ඉන්නෙ?"
"හීනියට වගෙ එහෙම එකකුත් නම් තමයි.. කිව්වම මොකද? හෙහ්,හෙහ්…"
"ඒක තමයි මේ එහෙනං…" එතකොටම ඔන්න ආපි ආයෙම බිංගෙයක්…"බ්ලඩි ෂිට්."
කෝච්චිය බිංගෙට ගියා වගේම ඒකෙං එළියට එන්ටත් එපාය? නැද්ද හා? නැතුව ඉතිං බිංගේ ඇතුලෙ පදිංචි වෙනවය ? නෑනෙ...
"මේ මචං හොඳට අහගනිං හොඳද? උඹ මේ දැන්මම උක්කුනාගෙ බයික් එක අරගෙන වරෙං කඩුගන්නාව ස්ටේෂන් එකට"
"හරි බං ඒකෙ අවුලක් නෑ. ඒත් උඹව මෙහෙ එක්ක එන්ට මමම එන්ට ඕනය? මම උක්කුනාව එවන්නං.."
උක්කුනා කියන්නෙ කවුද කියල මම කිව්වද? නෑ නේද? උක්කුනා කියන්නෙ රංජියගෙ මස්සිනා...මාමගෙ පුතා...ඒකා ගුරෙක්...පිස්සු ලෝකයක්...
"මම උඹලගෙ ගෙදර එන්නෙ නෑ බං…"
"එතකොට? "
"ඒකනෙ කියනකං ඉඳහංකො. උඹ කඩුගන්නාව ස්ටේෂන් එකට ඇවිල්ල මචං නුවරට ටිකට් එකක් ගනිං.."
"ඒ මොකටද?"
"ඒ මොකටද කියල මං පස්සෙ කියන්නං..මේක අහගනිංකො දැන් තව බිංගෙයක් එන්ට ඉස්සරවෙලා…"
"හා කියපං ඉතිං.."
"උඹ ඇවිල්ල නුවරට ටිකට් එකක් අරගෙන…"
"ටිකට් දෙකක් මොකටද? උඹ විතරයි නේද කෝච්චියෙ එන්නෙ?"
"ටිකට් දෙකක් කොහෙද බං? "
"ඇයි බං උඹ කලිනුත් කිව්වෙ නුවරට ටිකට් එකක් ගන්ට කියල. ඒ ටිකට් එකයි දැං මේ ගන්ට කියන ටිකට් එකයි ටිකට් දෙකයි නෙවෙයිද?"
" ඔය ඉතිං මඟුලක් කතා කරනව. ටිකට් දෙකක් නෙවෙයි බං එක ටිකට් එකයි ගන්ට ඕන...ටිකක් සීරියස් වෙයං XXXX මේ වගෙ වෙලාවකවත්. දිස් ඊස් අ ලයිෆ් ඇන්ඩ් ඩෙත් මැටර් යූ අන්ඩස්කර්ට්? "
"යර්ස්, යර්ස්, පර්ෆෙක්ට්ලි මචං පර්ෆෙක්ට්ලි..ඉතිං ටිකට් එක අරගෙන මම මොකද කරන්න ඕන? "
"උඹ ඇවිල්ල ඉඳහං ප්ලැට්ෆෝම් එකට. කෝච්චිය ආහම මම කෝච්චියෙං බහිනව. උඹ මට ඒ ටිකට් එක දීපං."
"දීල?"
"දීල උඹ බයික් එකේ නැඟල ගෙදර පලයං….නැතුව වෙන අහවල් දෙයක් කරන්නද ආය?"
"හරි හරි දැං කියපංකො මොකටද මේ....? මොකක්ද මේ නුවරට ටිකට් එකක් ගන්න සීන් එකේ තේරුම?"
"මේ රංජි..එව්ව ගහ පහ දෙන්ට වෙලාවක් නෑ දැං..බිංගෙයක් ලඟම එනවද කොහෙද.... උඹ ඔය මම කිව්ව වැඩේ කරපංකො මම සම්පූර්ණ විස්තරේ යථා කාලයේදී කියන්නං"
"හරි...හරි...උඹ බය නැතුව ඉඳහංකො... මම වැඩේ දෙන්නං තෙල් ටිකට...."
වැඩේ දුන්න සර් තෙල් ටිකට. ඒකත් ෂෝක් කතාවක්. මම කලිං කිව්වද කියලත් මතක නෑ. කොහොම උනත් පස්සෙ වෙලාවක ආයම කියන්නං. අපේ කො.ක.ස. ගරු සබාපති තුමාට මතක ඇති ඒ කතාව මම කලින් කිව්වනං. වඩියුසේ ඔනරබල් මිස්ටර් චෙයාමන්?
ඉතිං ඔන්න ඔහොම රංජියට කෝල් එකක් දීල ඌ ලව්වා කඩුගන්නාවෙ ඉඳල නුවරට ටිකට් එකක් අරගෙන අර මා සිත්ගත් යුවතිය එක්ක නුවරටම ගිහිල්ල මව සහ දියණිය පස්සෙං ගිහිල්ල යන්නෙ කොහාටද? නඟින්නෙ මොන බස් එකේද? කියල සොයා බලල ඒ විස්තර දැනගෙන ඒ අතර අවස්ථාවක් ආවොත් මවගේ ඇස් වසාලා පියා වචනයක් දෙකක් කතාකරල එහෙම ...හෙහ්,හෙහ්, දන්නවනෙ ඉතිං වැඩි විස්තර ඕන නැහැනෙ.
ඒත් ඉතිං ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්ව වගෙ පොඩි පරහකට හිටියෙ මම ඔය කියන කාලෙ ජංගම දුරකථන ඇවිල්ල තිබ්බෙ නෑ. එක දෙක ඔය හයි ෆයි පොරවල් ගාව තිබ්බත් සුලබ නෑ. සිග්නලුත් තිබ්බෙ ප්‍රධාන නගර වලට විතරයි. ඒ හින්ද ඉතිං වෙන මක් කරන්නද හොරැහින් ඈ දිහා බල බල පිළිමතලාවට යනකල් ගිහිල්ල මම දුම්රියෙන් බැස්ස. මගෙ ගමන් මල්ලත් කරේ එල්ලගෙන ස්ටේෂන් එකේ පිටවෙන දොරටුව ලඟට ගිහිල්ල මාව පහුකරගෙන යන දුම්රිය දිහා මම ආපහු හැරිල ආයෙම පාරක් බැලුව. ඒ යුවතිය දුම්රිය කවුලුවෙන් මාදිහාවෙ බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා. දුම්රිය ඈත් රැගෙන ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. සුසුමක් හෙලල මම දුම්රිය ස්ථානෙ දොරටුවෙන් පිටවුනා.
ඒ තමයි ඒ සොඳුරු යුවතිය මා නෙත ගැටුණු අවසන් වතාව. ඊට පස්සෙ මාසයක් දෙකක් තුනක් වගෙ යනකල් නුවර පැත්තෙ ගිය හැමවෙලාවෙම මම බොහොම හෝදිසියෙන් මඟදි හම්බවෙන, පිටුපාල යන යුවතියන් දිහා බැලුවෙ ඒ මනස්කාන්ත දෑස යලි ඇස ගැටෙයිදෝ යන නොසිඳෙන අපේක්ෂාවෙන්. ඒත් එදා පිළිමතලාව දුම්රිය ස්ථානයෙදී මා වෙතින් ඉවතට ඇදී යන දුම්රියේ කවුලුවෙන් දුටුවාට පසු ජීවිතයේ මෙතෙක් දිනක ඈ මට හමුවූයේ නැහැ.
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්
අගේ ඇති නිදහස් සිතුවිල්ලක්+ ඔබට ජයම වේවා !!!!+ :)
ReplyDeleteස්තූතියි සිත්තරාවී....:)
Deleteඅනේ අර කෙල්ල හොඳ පෙලවහක් කොරගෙන අපූරුවට ජීවත් වෙනව ඇති කොහෙහරි.
ReplyDeleteමෙ පිස්සු හුටන්ට සෙට් උනානම් ඉතින් ජීවිතේම අබ සරණේ තමයි.
- කෑගල්ලෙ ඇනෝ
කෑගලු ඇනෝ,
Deleteහෙහ්..හෙහ්...කතාව ඇත්ත කියල මටත් හිතෙනව.
කෑගලු ඇනෝ කිව්වම කෑගල්ල ගැන අනේක සොඳුරු සැමරුම් මගෙ මතකයට එනව.
මාදෙයියාව බෝක්කුව, ගොලහැල හන්දිය,මීපිටි පල්ලම, කුරුඳු හින්න, නිල්වක්ක, තටාකය පාර, වික්‍රමසිංහ වලව්ව,පොලිස් ක්‍රීඩාංගනය, රවුම් පාර, පර්ල් බතික් එක,බෙතනි කූල් ස්පොට් එක, විජය ක්‍රීම් හවුස්, ඩොලර් ලයිට් පේන්ට් හවුස්, ගල්කඩුවේ බෙහෙත් ශාලාව, සල්ගාදු හෝටලය සහ තවත් නොයෙක් මැකී නොයන මතකයන්..
"ජීවිතයේ හිමිදිරි සමය නොහොත් කෑගල්ලේ මතක" කියල ලියන්ට ඕන වෙලාවක ඒ ගැන...හෙහ්,හෙහ්,
කෑගල්ලෙ ඔය තැං වල රවුං ගහල ඔහේ කරපු වැඩ ගැන හොඳ අවබෝධයක් කෑගල්ලෙ ඇනෝට ඇති හැඩයි.
Deleteඅපේ විචා කොලුවත් ඔය ගොඩක් තැන්වල කරක් ගහපු හාදයෙක්නෙ
Delete- කෑගල්ලෙ ඇනෝ
හ්ම්.............මදෑ මෙච්චර දුර ඇවිත් ඇවිත් අන්තිමට වෙච්චි දේ. මමනම් බාප්පලාට අහුවුනත් නුවරටම යනවා. අර දැරිවි දඩ ගෙවලා බේරාගන්නේ නැතෑ.
ReplyDeleteවිචා,
Deleteඕන කෙහෙම්මලක් කියල නුවරටම යන්ටත් හිතුන. ඒත් ආයෙම බය හිතුන. සල්ලි තිබ්බෙත් නෑ දඩ ගෙවන්ට. ගමනාන්තය තෙක් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 500/= මට මතක විදිහට ඒ කාලෙ.
උසාවි දැම්මනම් එහෙම වහකාල එතනම තියන උඩවත්ත කැලේට රිංගන්ටයි වෙන්නෙ....:)
ඒ කතාවත් එහෙනං එහෙම ඉවර වුණා ඈ.. මොනා වුණත් කෙල්ලගෙ පූරුවෙ පිනක් තිබිලා තියෙනවා.ආයෙ මුණ ගැහිලා නැත්තෙ එ්කයි..!!
ReplyDelete_පසුව ලියමි _
අමරසිරිගෙ අනිත් හැම සින්දුවක්ම වගෙ මේ සින්දුවත් මගේ ආසම ගීයක්.. සුනිල් අංකල්ගේ වචනවලට ලොකු සාධාරණයක් ඔහුගේ කටහඬින් ඉටු වෙලා තියෙනවා.අපි හතේ අටේ ඉන්න කාලෙ මේ සින්දුව හරිම ජනප්‍රියයි.ඒ කාලෙ මගේ ප්‍රියතම සින්දු අතරින් එකක් මේක..වැඩියත්ම අර මඳ පවනක් හිස අත ගා කීවද කියන වචන ටික..!
/මොනා වුණත් කෙල්ලගෙ පූරුවෙ පිනක් තිබිලා තියෙනවා.ආයෙ මුණ ගැහිලා නැත්තෙ එ්කයි..!!/
Deleteමදැයි සතිගාණක් කතාව කියල අන්තිමට අහගත්ත එක....අනෙ අම්මාපල්ල මේ වෙලාවට තමයි හිතෙන්නෙ කීයක් ගියත් කමක් නෑ නිවාඩුවට ගිහිල්ල එනකොට මිරිස් ගලක් අරං එන්ට ඕන කියල...:)
/අමරසිරිගෙ අනිත් හැම සින්දුවක්ම වගෙ මේ සින්දුවත් මගේ ආසම ගීයක්../
දන්නවයි වැඩක්..මේ ඊයෙ පෙරේද වෙනකල් මම හිතාගෙන හිටියෙ මේ ගීතයෙ ගායකයා දිවුල්ගණේ කියල.....හෙහ්,හෙහ්,
මේ වගේ අමතක නොවන සොදුරු මිහිරි මතක අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. මමත් තවම හොයන අය ඉන්නවා මේ වගේ අවුරුදු කීපයකට කලින් හදිස්සියේ දැකපු.
ReplyDeleteමල් මල්ලී,
Deleteහෙහ්..අපි හැමෝටම තියනව බං එහෙම සොඳුරු මතකයන්....
මාත් දැන් කාලයක් තිස්සෙ හොයනව එහෙම දෙන්නෙක්..උං දෙන්න මගෙං ලෝන් එකක් අරගෙන නොදී මඟ ඇරිය.මැරෙන්ට කලින් උං දෙන්නගෙ බෙල්ලෙං අල්ලගන්න එකයි මගෙ ඒකායන සොඳුරු පැතුම...;)
ඔය ණය දීපු දෙන්න ඔටුවො දෙන්නෙක් ද?
Deleteඇය යන්න ගියා මැකිලා මම උදේ හවස අහන සිංදුවක්.. වැස්ස ගැන කියවෙන අපුරු ගීතයක්.. කෙල්ලන්ටත් අපුරුවට මැච් වෙනවා. කාලෙකින් දැකපු ලස්සන පද රචනයක්..
ReplyDeleteහෙහ් හෙහ් සිරාවට මේ මොබයිල් ෆෝන් ඒ කාලේ අපිට තිබ්බ නම් කියල හිතෙන අවස්තා නම් එමටයි. මම මේ ඊයේ පෙරේදා සුරංගගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දැම්ම ටෙලිෆෝන් නැති කාලේ ලව් එකක් ගොඩ දාගන්න විඳපු දුකක් ගැන හෙහ් හෙහ්..
හැබැයි රවී අයියට සිරා කොල්ලෙක් වගේ ටිකට් නැතිව හරි නුවරට යන්න තිබුනේ .. ඊට පස්සේ ටික්කන්ට අහු වෙලා හෙන සීන් එකක් දාල අර හින්දි ෆිල්ම් වල වගේ ඕක ගොඩ දාගන්න තිබ්බා. අපිට 2020 වගේ වෙනකම් ඒ කතාව කියවන්නත් තිබුනා.. හෙහ් හෙහ්
Pathum,
Delete/වැස්ස ගැන කියවෙන අපුරු ගීතයක්../
අප්පට සිරි ගජ, එහෙම අර්ථ කථනයකුත් තියනවද? අම්මප..එහෙම හිතාගෙන සිංදුව අහනකොට ඒකත් ඇත්ත වෙන්ටත් පුලුවන් කියලත් හිතෙනව...හෙහ්,හෙහ්, මල්ලි..ඒ වැහි කතාව උඹ කොහෙද දැක්කෙ? සුනිල් සරත් පෙරේරා මහත්මයාම කියල තිබ්බද?
/ඊට පස්සේ ටික්කන්ට අහු වෙලා හෙන සීන් එකක් දාල අර හින්දි ෆිල්ම් වල වගේ ඕක ගොඩ දාගන්න තිබ්බා/
අම්මප කිව්වත් වගෙ කෝච්චි පෙට්ටියෙ උඩ තියන අර ඇලුමිනියම් පොලුවල එල්ලිල ටාසන් ද අපේ මෑන් වගෙ පැද්දිල ගිහිල්ල ටික්කන්ට පා පහර දීල ඒ එක්කම කරණං දෙකක් ගහල කෙල්ලයි නැන්දම්මයි ඉස්සරහට පාත් වෙලා ආයම බඩ පිණුමක් ගහල නැන්දම්මගෙ......හෙහ්,හෙහ්.....කියල වැඩක් නෑ නේ? කොහොම හරි මට උඹ ඔය කියන විස්තරේ ලියන්ට වෙන්නෙ බෝගම්බර ඉඳං....එච්චරයි මං දන්නෙ...:)
රවීයියා අර "චෙන්නයි එක්ස්ප්‍රස්" ෆිල්ම් එක බලලා තියෙනවාද ?ශාරුක්,දීපිකා ඉන්නේ.අන්න එකෙත් තියෙනවා ඔය වගේ ආතල් සින්.
Deleteරවියෝ ඔය සිංදුවේ කියවෙන්නේ වැස්ස ගැන මිසක් කෙල්ලෙක් ගැන නෙවෙයි. ආයෙත් හොඳට අහල බලන්න. සිහි කල්පනාවෙන්. මමත් මුලින් හිතාගෙන හිටියේ කෙල්ලෙක් ගැන කියල අපේ මස්සිනා ගොයියා තමයි මට කිව්වෙත් ඕක වැස්ස ගැන තියෙන්නේ කියල. පොර කොහෙන් හොයා ගත්තද දන්නේ නෑ..
ReplyDeleteසිංදුවේ පද වලින් තනිකරම කියවෙන්නේ වැස්ස ගැන. හැබැයි කෙල්ලෙකුට ගානට මැච් කරන්න පුළුවන්..
රවී සහ පැතුම්......තොපි දෙන්නාගෙන් මම ඉල්ලා සිටිනවා සුනිල් සරත් පෙරේරා මොකද කියන්නේ කියලා මෙතනින් අහන්න කියලා. ක්ලිප් එක විනාඩි හතයි...මල් හතයි!!
Deleteඅම්ම ගහයි බැට් එකෙන් කියන්නේ මෙන්න මේවට.. ගීත රචකයින්ගේ හිත් වල තියෙන දේ හරි වචන වලට නැගෙන හැටි හරි පුදුමයි.. සොබා දහමයි ගැහැනියයි ගැන අපුරු මික්ස් එකක්... බොහොම ස්තුතියි අරූ මේ ලින්ක් එක දුන්නට..
Deleteඅනුන්ගෙන් අහපු කතා පොර වගේ බ්ලොග් වල ලියන්න කලින් මිට වඩා හොයන්න බලන්න ඕනේ.. හෙහ් හෙහ්
(හැබැයි එහෙම බැලුවොත් මට නම් ලියන්න මෙලෝ දෙයක් නැති වෙනවා..හෙහ් හෙහ්)
//මසිත දැඩි නියං කලක වියළි පොල් අතු මිටියකින් ගිණි තැබූ තව්මැරී හේබාවීගිය කහපැහැ මානගාලක් පරිද්දෙන් සට සට යන අනුකරණයෙන් ගිණි ගනිද්දීය.//
ReplyDeleteකෝච්චිය ගියාට පස්සෙ ඔහෙට තිබුණෙ අර නවදැලි හේනක පෑව වැඳිරි රුව වගේ අර කෙල්ලගෙ මූන මවාගෙන අතෑරල දාන එකයි.
මොනව උනත් කෙල්ලට පූරුවෙ වාසනාවක් තිබිල තියෙනව. හැක්..
//යකෝ XXXX බිංගෙවල් ඇතුලෙදි// දැං මේ X අකුරු වලින් තියෙන දේ නැන්දම්මට ඇහුනොත් වෙන දේ ගැන කලින් හිතුව ද?
ReplyDeleteඔහේගෙ අර තෙල් කතාව සමහර විට මේක වෙන්න ඇති.
ReplyDelete//විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට..
" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…"
" යකෝ වැඩේ කරන්ටත් ඉස්සර තෙල් ටිකට කෙලින්ට එපා බං ..උඹලත් මාර බඩුනෙ…දෙකයි පණහක් හොයාගන්න මයෙ මේ රස්සාවටටත් කෙලින්ට තමයි උඹ ඒ පාර හදන්නෙ මට පේන්නෙ "
මම කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..//
http://ranrandil.blogspot.com/2014/02/244-12.html
රවීයියා මේ සීරිස් එකේ ලිව්වා හැම සින්දුවටම වගේ මම කැමතියි.එත් මොකක්දෝ අහේතුවකට මේ සින්දුවට මගේ එච්චර මනාපයක් නැහැ.
ReplyDeleteහ්ම්ම්ම්... එතකොට ඒකත් එහෙමයි උනේ නේද..
ReplyDeleteහැබැයි ඉතින් ඔය නපුරු කුමාරිහාමිට වඩා අපේ සඳා නෝන ගේ අම්මා කොච්චර නම් කරුණාවන්තයිද? හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියන්නේ නිකන්ද?
ඉස්කෝලේ යන කාලේ එක දවසක් ඔය වගේ අහම්බෙන් දැකල මැකී ගිහිපු කෙනෙක් මටත් හිටිය. ඔහු හිටපු තැන පහු කරන් යන හැම දවසකම ඔහු එතන ඉන්නවද කියලත් බැලුව මතකයි ;)
මුණගැහෙන්න නම් තාම පරක්කු නෑ නමුත්, දැන් දැක්කොත් නම් අඳුරගන්න බැරි වෙයි, අපි ඒ තරම් වයසයි, වෙනස්, දැන්..
මම අහන්නෙම නැති ගීතයක් තමයි මේ. මේක අහද්දී මහා දුකක් දැනෙනවා මගේ හිතට.
ජස්ට් මිස්ඩ් බයි කෙස් ගස්. ලැබීම තමයි රවී. කථාව නම් උපරිමයෙන් රස වින්ඳා. කොචචර රස වින්ඳද කිව්වොත් දුකයි කන්ටැක්ට් නම්බර් එකක් වත් ගන්න නොලැබීම ගැන.
ReplyDeleteරවී.....මමත් කැමතිම ගීතයක්. කොහොමත් ඔය මැකි නොමැකී යන සයිස් එකේ ඒවාට හිතේ ඇතිවෙන බැඳීම්, සාංකාවන් හරි මිහිරියි. තනියම හිනාවෙන්නේ ඒවා මතක් වුනාම වෙන්න ඇති.
ReplyDeleteමේ දවස් වල වෙලාවක් නැති තරම් උණත් මේ සිංදුව දැක්කට පස්සේ මේක මෑත කාලෙදි මම ඇහුව ලස්සනම සිංදුවක් බව කියන්න ඕනෙ කියලා හිතුනා. පද වලින් මවන හැඟීම නියමෙටම දනවන සංගීතයක් සහ ගායනයක් තියන සිංදුවක්..
ReplyDeleteකතාව කියවගෙන ගියා එක හුස්මට....
ReplyDeleteනුවරටම ගියා...තවත් ලස්සන දවසක පේරාදෙනියෙ මල්වත්තෙ කඩවසම් කොල්ලෙකුයි... ලස්සන කෙල්ලෙකුයි මම කැමතිම සින්දුවක් මුමුනනව ආදරෙන්......
...
විදුලි දුම්රියේ චංචල නාදය සවනත වැකෙන සඳේ....
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ....
සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ.
www.youtube.com/watch?v=fZzRt-XpYCY
ලස්සන සින්දුවක්.
Deleteගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - දයානන්ද කුමාරසිරි
ජංගම දුරකථන තිබ්බ නම් අම්මණ්ඩිට හොරෙන් නොම්බරේ කොළ කෑල්ලක ලියල කොහොම හරි ඒ දැරිවිගේ අතට දෙන්න තිබ්බනේ. ඔය හැටි නහින්නේ මොකටද. හැබැයි එහම තිබ්බ කාලෙක නම් මේ කතාව මෙච්චර ලස්සණට දිගට ලියන්න දෙයකුත් නැති වෙයි.
ReplyDeleteකමෙන්ට්ඉ නොකලට දිගටම කියෙව්වා.ඉතාම සුන්දරයි
ඒ කියන්නේ රවිය් ගැන දුකයි. ගහන ළමය යන්තන් බේරුන එකට සතුටුයි. සින්දුව අපි කැමති සින්දුවක් නේ ඉතින්. සින්දුවටම ලියපු කතාව .
ReplyDelete