Saturday, December 24, 2016

467. The Story Of My Marriage - 28 - My Boss Mr. Balakrishnan, Dot Com Bubbles And Sir, Can I Go To The Toilet Please?


අවසානයේදී ඩොට් කොම් බුබුල
2010 මාර්තු 10 වන දින පුපුරාගියේය.




"හරි ක්‍රිෂ් මගේ ප්‍රතිපත්තිය තමයි කෝඩු කාරයො කෙලින්ම යුද්දෙට යවන එක. මොකද කියන්නෙ තරුණයා..? යුද්දෙට ලෑස්තිද?"

"ඔව් මිස්ට බාලක්‍රිෂ්ණන් මම ලෑස්තියි"

"හරි බොහොම සන්තෝසයි ඉලන්දාරියා. ප්‍රශ්ණ එහෙම මොකවත් තියනවනං දැං අහන්ඩ පුලුවං"

"එක ප්‍රශ්ණයයි තියෙන්නෙ මිස්ට බාලක්‍රිෂ්ණන්"

"හහ්..හහ්..හා... එක ප්‍රශ්ණයයි අහන්න තියෙන්නෙ කියන්නෙ තරුණයා ඔයා හරියටම තේරුම් අරං තියනව ඔයාගෙ කාර්ය භාරය මොකක්ද කියල. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි, බොහොමත්ම සන්තෝෂයි ඔව් බය නැතුව අහන්ඩ ක්‍රිෂ්..මොකක්ද ප්‍රශ්ණෙ?"

"මිස්ටර් බාලක්‍රිෂ්ණන්, මේ......මේ.......පැහැදිලිව කියන්ඩකො දැං මම මොනවද කරන්න ඕන?"

"අනේ මන්දන්නෙ නෑ මේ යකා නං හදන්ට පුලුවන් එකෙක් නෙවෙයි වාගෙ. මූ හොඳයි පාර අයිනෙ පරෙයියන්ට වහල ඉන්ට කණුවක් විදිහට හිටවල තියන්ට" 

කිසිම සැකයකින් තොරව අන්න ඒ විදිහට හිතමින් බාලා මා දිහාවෙ බලාහිටිය මොහොතක්. චෙන්නයි සිටි බෑන්ක් බ්‍රාන්ච් එකේ මම වැඩ කරපු කාල සීමාව ඇතුලත බාලා ඒ විදිහට මා දිහා බලා හිටපු මම හිතන්නෙ සචින් ටෙන්ඩුල්කාර් ජීවිත කාලෙම ගහපු හතරෙ එව්ව ගාණට වඩා අඩුම ගානෙ එකක්වත් වැඩි වාර ගණනෙන් ඒ තමයි පළමු වාරය.

එහෙම මා දිහා මොහොතක් බලා ඉඳපු බාලා දිග සුසුමක් එහෙම හෙලල ඇස් ලොකු කරගෙන ඔලුව දෙතුන් පාර එහාම මෙහාට හොල්ලල ඒ ලඟ ඉඳගෙන හිටපු නියෝජිත යුවතියකට කතා කලා. "මේ...මට දෙන්න අද දෛනික පර්යේෂණ වාර්තා"

ඊටපස්සෙ මාත් කැඳවාගෙන මගේ මේසෙට යනගමන් ඔහු මා දිහාට හැරුනා. "ඔයාට නොවරදවාම හැමදාම කාර්යයන් දෙකක් කරන්න තියනව. නෑ ඇත්තම කිව්වොත් තුනක්......පළවෙනි එක මේ වාර්තා පරිස්සමින් කියවල බලන්න අපේ ගණුදෙණුකරුවන්ට නිර්දේශ කරන්න පුලුවන් මට්ටමේ ආයෝජන අවස්ථා මේ වාර්තා වල තියනවද කියල."

"දැන්…. ම්ම්ම්ම්..බලමු….." බාලා සමාගම්වල වර්තමාන කොටස් මිල වාර්තාව පෙරලුවා. ඒ වාර්තාවෙන් නිර්දේශ කරල තිබ්බ ඉන්ටර්නෙට් සමාගම්වල කොටස් මිල 50%කින් වගෙ පහළ බැහැල හින්ද එව්ව මිළදී ගන්නෙයි කියල.

"ඒත් ..ඒත් ……..මිස්ටර් බාලක්‍රිෂ්ණන් මම දන්න විදිහට නම් ඩොට්කොම් බබ්ල් එක දැන් පුපුරන්න කිට්ටුයි. මම හිතන්නෙ මේ සමාගම් වල ආයෝජනය කරන එකේ කිසිම තේරුමක් නෑ. නිකං සල්ලි නාස්තියක් විතරයි."

(කොටස් වෙළඳ පොල ආශ්‍රිත පාරිභාෂික ව්‍යවහාරය අනුව බබ්ල් එකක් නොහොත් බුබුලක් යනු අසාමාන්‍ය ලෙස යම් විශේෂිත සමාගම් වර්ගයක් ලාභාංශ පෙන්වීමයි. බුබුලක් යන වචනයෙන් අදහස් වන පරිදිම එය ඉතාම තාවකාලික සංසිද්ධියකි. ඩොට් කොම් බබ්ල් යනු දළ වශයෙන් 1995-2000 අතර කාල සීමාවෙහිදී අන්තර්ජාලය ආශ්‍රිත සමාගම්වල කොටස් මිළෙහි සිදුවූ ශීඝ්‍ර වර්ධනයයි. 2000 වසරෙහිදී එම බුබුල බිඳවැටුනි.)

බාලක්‍රිෂ්ණන් මහතා මා දෙස බලා සිටියේ තම දෙසවන් අදහාගත නොහුනු පරිද්දෙනි. 

"මේ ක්‍රිෂ්, විකාර කතාකරන්න එපා. අපේ පර්යේෂණ අංශය බොහොම පරිස්සමින් දත්ත විශ්ලේෂණය කරල යම් නිගමනයකට එළඹිල තියනව. එතකොට ඒක තමයි සිටි බැංකුවෙ නිල ප්‍රතිපත්තිය වෙන්නෙ. අපි ඔක්කොම ඒ ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්නට දිවිහිමියෙන් බැඳිල ඉන්නව."

බාලා එසේ පැවසූයේ මහත් ගෞරව සම්ප්‍රයුක්ත ස්වරයකිනි. සිටි බැංකුවේ නිල ප්‍රතිපත්තියට එරෙහිම මෙසේ අදහසක් පලකිරීම පවා දේව උදහසට ලක්වියයුතු වරදක් ලෙස ඔහු අදහස් කලා විය හැක.

"බම්බුව තමයි, ඔය පර්යේෂණ කරල නිල ප්‍රතිපත්තිය ලියන්ටත් ඇත්තෙ කවුරු හරි එම්.බී.ඒ. කාරයෙක්නෙ. අපි නොදන්න එම්.බී.ඒ. හෙහ්.....මටත් තියෙන්නෙ ඔය කෙහෙම්මල් එම්.බී.ඒ. එකක් තමයි." මම එහෙම හිතුව විතරයි. කිව්වෙ නෑ. එහෙම කිව්වනං ආය කතා දෙකක් නෑ බාලා එතනම ඔන් ද ස්පොට් කලන්තෙ දානව. බඩු ෂුවර්.

"හරි හරි ඒක හරි කියමුකො...දැන් අනික් දෙක මොනවද මිස්ට බාලක්‍රිෂ්ණන්?" මම ඇහුවා.

"දෙවෙනි වැදගත් වැඩේ තමයි මෙහෙ ගනුදෙනු කාරයින් එක්ක ප්‍රශස්ත සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න එක" 

බාලා සරල, කාටත් තේරුම් ගන්න පුලුවන් වචන වෙනුවට බොහෝ වෙලාවට සංකීර්ණ වචන දාල කතා කරන්ට දැඩි කැමැත්තක් දක්වන බව මේ වෙනකොට මට පැහැදිලිව තේරුම් ගිහිල්ල තිබ්බෙ.

"ප්‍රශස්ත කිව්වෙ?..............." බාලා යලිත් වරක් ඔහුගේ අර බැල්ම මා දෙසට යොමුකරගෙන ටික වේලාවක් හිටිය. බාලාට උදව්වක් විදිහට ඔලුව දෙපසට වනන එක සහ සුසුමක් පිටකරන එක මමම කලා. 

"ප්‍රශස්ත කිව්වෙ සුහද කියන එක ක්‍රිෂ්..මොකෝ ඒ වචනෙ මීට කලින් අහලම නැද්ද?"

"නෑ අහල නම් තියනව"

"හරි එහෙනම් ප්‍රශ්ණයක් නැහැනෙ.මෙතන ගැටලුව ක්‍රිෂ් ඔයා..මේ ...මේ... …….." බාලා තතනද්දී මම ආයෙම ඔහුට උදව් කරන්ට ඉදිරිපත්වුනා. 

"මට තේරෙනව මිස්ටර් බාල ක්‍රිෂ්ණන් කියන්ට යන එක. මම පන්ජාබි හින්ද………….."

"ඔව්..එහෙම ප්‍රශ්ණයක් තියනව. ඒත් දෙමළ අය පොදුවේ ගත්තම උගත්කමට සලකනව. එතකොට ක්‍රිෂ් ඔයාට IIT එකෙනුයි IIM එකෙනුයි දෙකෙන්ම උපාධි තියන එක ලොකුම වාසියක්"

(IIT - Indian Institute Of Technology & IIM = Indian Institute Of Management)

"මට තේරෙනව මිස්ටර් බාලක්‍රිෂ්ණන්... "

"ඔව්..ඔයාට ඔයාගෙ ගනුදෙනු කරුවන් එක්ක බොහොම සුහද සම්බන්ධතාවයක් ගොඩනඟාගන්ට වෙනව. බැංකු ක්ෂේත්‍රයෙ දුරගමනක් යන්ට ක්‍රිෂ්ගෙ බලාපොරොත්තුවක් තියනවනම්...එක අතකට තියෙනවනම් කියල කියල කියන්ට දෙයක් නෑ. මම හිතෙන්නෙ ඒක තමයි ක්‍රිෂ්ගෙ එකම පරමාර්ථය..අධිෂ්ඨානය සහ ..... "

බාලාගේ නොනවතින කන්දොස්කිරියාවට මම සවන් අගුලු දැමුවෙමි. බැංකු ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්නට පළමු මට විසඳාගතයුතු ඊටවඩා බොහෝසේ වැදගත් කාරණා කිහිපයක් ඇත.

"අනන්‍යාගෙ ගෙදර නොම්මරේට ඇරුනම වෙන නොම්මරයක් නැද්ද දන්නෙ නෑ මට මේ යෝදිට කතාකරන්ට පුළුවන්? ෂෙහ්...මේ මොබයිල් ෆෝන් ගාස්තු හෙට අනිද්ද අඩුවෙන පාටක් නැද්ද මන්ද...පත්තරෙයි ටී.වී. එකෙයි නම් ඉන්දියානු ආර්ථිකයෙ සීඝ්‍ර දියුණුව ගැන කයිවාරු කෙලවරක් නෑ. ඒත් තාමත් ලෝකෙ වැඩිම මොබයිල් ෆෝන් චාජස් අය කරන රටක් මේක...ෂෙහ්"

"ඉතිං ක්‍රිෂ්, ඔයා හිතවද ඔයාට මම මේ කියපු දේවල් කරන්ට පුලුවන්ය කියල?" බාලා එහෙම ඇහුවෙ මගෙ උරහිසට අතක් තියල හොල්ලල. 

"ඔව් සර් මම හිතනව සර්ගෙ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ කරන්නට මට පුලුවන්ය කියල" ඔහුගේ බලාපොරොත්තු මොනවාදැයි නොවිමසාම මම එක්වනම පිළිතුරු දුනිමි. 

"ඔහෙ ඕන කෙහෙල්මලක් කියන ඔක්කෝටම පුලුවන් සර් හා සර් කිව්වම වැඩේ ඉවරයිනෙ. අඩුගානෙ මේ මනුස්සයගෙ ඉවරයක් නොවෙන කච බචේවත් නවතියිනෙ කණක් ඇහිල මෙතන ඉන්ට දෙයියනේ කියල"

"බොහොම හොඳයි ඉළන්දාරියා. බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි. ක්‍රිෂ්ට සිටි බැංකුවෙ බොහොම හොඳ අනාගතයක් තියනව කියල මට කිසිම බයක් සැකක් නැතුව කියන්ට පුලුවනි."

"හරි එහෙනම් ක්‍රිෂ්, පැහැදිලියිනෙ මොනවද ඔයාගෙන් අපි ...අපි කිව්වෙ සිටි බැංකුව බලාපොරොත්තුවෙන්නෙ කියල?" මම හෙමිහිට ඔලුව හෙල්ලුව. ඉහලට සහ පහලට. ඒ එක්කම දිග සුසුමක් හෙලන්නට හිතට ආව හැඟීම මම පාලනය කරගත්තෙ බොහොමත්ම අමාරුවෙන්. බාලා මිස් අන්ඩර්ස්කර්ට් කලොත් හරි නෑනෙ.

"ආ..තව එකක්..තව පොඩ්ඩෙන් අමතක වෙනව" නැඟිටල අඩි දෙක තුනක් ගිය බාලා ආපහු ඇවිල්ල මගෙ මේසෙ උඩ අත් දෙක තියල මා මාදිහාට නැවුන. "මේ ඔයා යටතෙ ඉන්න නියෝජිතයො ඉන්නව නේද?" බාලගෙ වොලියුම් එක තව සේසයක් පහතට බැස්සා. එහෙම සද්දෙ අඩුකරල කතාකරන එක දෙමළ කෙනෙකුට ලේසි නෑ කියල මම දන්නව. බාලාට නම් කොහොමත් ඒක ලේසි නොවෙන්න ඇති. 

"ඒ අය ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඔය ඒජන්ට්ල කියන්නෙ පුදුම කම්මැලි ජාතියක්. කවුරුහරි වැඩේ හරියට කරන්නෙ නෑ කියල හිතුනොත් දෙපාරක් හිතන්න එපා කෙලින්ම මට පැමිණිළි කරන්න. මම බලාගන්නම් ඉතුරු හරිය" බාලා මා දිහා බලල ඇහැක් ගහල කෙලින් වුනා. "ආ...තව එකක්...උදේ වේලපහ ඔෆිස් එකට එන්න..ඒක බොහොම වැදගත්"

"ඈ?............." මම බාලා දිහා ඇස් ලොකුකරගෙන මොහොතක් බලා හිටිය. "මිස්ටර් බාලක්‍රිෂ්ණන් මම උදේ හතහමාරට ඔෆිස් එකට ආවනෙ. ඔෆිස් පටන්ගන්න නියමිත වෙලාව උදේ නමය නේද?"

"හරි හරි නියම වෙලාව උදේ නමය තමයි. ඇත්ත. ක්‍රිෂ් උදේ හතහමාරට ආව තමයි. ඒකත් ඇත්ත. ඒත් මම සිටි බැංකුවෙ රාජකාරි පටන් ගන්න කාලෙ වැඩට ආවෙ උදේ හතට. ඉතිං මම කියන්නෙ ක්‍රිෂ්ටත් මම වගෙ වෙන්න ඕන නම් සීරුවේන් සිටීන්, සොල්දාදු උන්නැහේ සීරුවේන් සිටීන්......" බාලා හක හක ගාල හිනාවුනේ හරියට අපූරු විහිලුවක් කලා වගේ. අනේ මන්ද මේ දෙමළ මිනිස්සුන්ගෙ හාස්‍ය රසයනම් අන්තිමයි

"බම්බුව තමයි මොන යකාටද ඕයි තමුසෙ වගෙ වෙන්න ඕන? තමුසෙ වගෙ වෙන්න නෙවෙයි ඇත්තම කියනවනම් මට මෙතන මේ මේසෙ ඉඳගෙන ඉන්න එකත් මරන්නා වාගෙ" 

හිත සන්සුන් කරගන්ට මම කලේ හොඳට ගැඹුරට හුස්මක් එහෙම අරගෙන ඇයි මම මේ රස්සාවට මෙහෙට ආවෙ කියල කල්පනාකරන්ට ගත්තු එක.

"ක්‍රිෂ් උඹ මේ වැඩේ කරන්නෙ තනිකරම සල්ලි හින්ද. අවුරුද්දකට රුපියල් ලක්ෂ හතරක්. ඒ කියන්නෙ මාසෙකට රුපියල් තිස්තුන්දාහක්. මම හෙමීට තොලමතුරල මටම කියාගත්ත. තාත්තා ආමි එකේ අවුරුදු තිහක් වැඩ කරලත් අන්තිමට හම්බ වුනේ මේ ගානෙන් බාගෙකටත් අඩුවෙන්. මට කරන්නතියෙන්නෙ බොහොම ලේසි දෙයක්. මේ කොටස් එහාටමෙහාට තල්ලු කරල කාගෙ හරි ඇඟේ ගහනවට මේ ගොල්ල මට මේ වගෙ ගාණක් ගෙවනව. ජීවිතේ ඒ තරම්ම නරකමත් නෑ බලාගෙන යනකොට" 

මම ආයම මටම කියාගෙන හිත සනසගත්ත.

"සර්……….." මගෙ යටතෙ වැඩකරන ඒජන්ට් කෙනෙක් ම්ගේ මේසෙ ගාවට ආව. කොළපාට සල්වාර් එකක් ඇඳල හිටිය ඈ සාමාන්‍යයෙන් ප්‍රියමනාප පෙනුමක් තියන වයස විසි දෙකක් වගෙ තරුණියක්.

"ඔව්?..............." මම ඔලුව උස්සල බැලුව. 

"සර් මම ටොයිලට් එකට ගිහිල්ල එන්නද?"

"මොකක්ද ඇහුවෙ?" මට ඉබේටම එහෙම ඇහුනෙ ඈ අහපු දේ ඇහුනෙ නැති නිසා නෙවෙයි. ඇහුන දේ ගැන මටම විස්වාස නැතිවුන නිසයි.

"නෑ සර් මම මේ ඇහුවෙ ටොයිලට් එකට ගිහිල්ල එන්නද? කියලයි" ඈ ආයෙමත් ඇහුවෙ බිම බලාගෙන.

"මොකක්ද ඔයාගෙ නම?"

"ශ්‍රී…"

"හරි එතකොට ශ්‍රීගෙ ගම්පළාත් කොහෙද?"

"මම කොයිම්බටෝර් වලින් සර්" ඈ පිලිතුරු දුන්නෙ ඇගේ මුහුණට කොහොමවත් නොගැලපෙන කැරපොතු පාට රාමුවකින් යුතු විසාල උපැස් යුවල දකුණතේ දබරැඟිල්ලෙන් ඉහළට තල්ලු කරමින්.

කොහොමත් තමන්ට ගැලපෙන විලාසිතා ගැන චෙන්නයි ගෑණු ළමයින්ගෙ දැනුම නම් බොහොම දුර්වල බව මේ වෙනකොට මට බොහොම අපූරුවට තේරුම් ගිහිල්ලයි තිබ්බෙ. අනන්‍යා මුණ ගැහුනම මේ ගැන කතාකරන්ට ඕන. කණ්දෙක පිරෙන්ට අහගන්ට හරි බැරුවාය...හෙහ්,හෙහ්,

"ශ්‍රී යුනිවසිටි ගියාද?"

"ඔව් සර් මම කොයිම්බටෝර් යුනිවසිටි සර්, මට උපාධියට ඩිස්ටින්ක්ෂන් එකක් තියනව"

"හොඳයි, බොහොම හොඳයි, ඉතිං මොකද මේ ටොයිලට් එකට යන්ට මගෙං පර්මිෂන් ඉල්ලන්නෙ?"

"එහෙම තමයි මෙහෙ පිළිවෙල සර්, "

"හරි අද ඉඳල ඒ පිළිවෙල අපි වෙනස් කරමු. කිසි කෙනෙක් මීට පස්සෙ ටොයිලට් එකට යන්න මගෙන් අවසර ගන්න අවශ්‍ය නෑ..තේරුණා නේද? අනික් අයටත් කරුණාකරල කියන්න"

"හොඳයි සර්, බොහොම ස්තූතියි සර්….."

8 comments:

  1. ප්‍රශ්ණ එකින් එක හොඳහැටි තේරුම් කර දීලා
    ක්‍රිෂ්ව ඔෆීසියෙ හිර කොට යන්න ගියේ බාලා
    රශ්මිය ඇති ශ්‍රී වෙතටම ලෙන්ගතුකම පාලා
    ක්‍රිෂ්ගෙ කථා මරු රවියෝ කියෙව්වෙ තුටු වීලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumie,

      බෂ්ම අම්ල ගැන මතකද බොල දුමියෝ
      කුෂ්ට හැදුනාම කහලම පණ යනවෝ
      පෂ්ෂ කෂන්නේ නම් ආවම කිරිපණුවෝ
      ක්‍රිෂ්ට මොකක් වේදිද දන්නෑ ලොක්කෝ

      Delete
  2. ඔහේගෙ අර ප්‍රශ්න ටික අහල ඉවර වෙනකොට අර ගෑනු මනුස්සය ටොයිලට් ගිහිල්ල කරගන්න වැඩේ ඔෆිස් එක ඇතුලෙම කෙරුවෙ නැති එක ලොකු දෙයක්. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ බං එච්චරම සීරියස් නැතුව ඇති...:)

      Delete
  3. මේ මොකද්ද . අර අසෝක කොස් කපන කතාවද?

    ReplyDelete
    Replies
    1. මේ අනන්‍යා ලක්ස් කපන කතාව.

      Delete
  4. කියෙව්වා ,ඉතුරු ටික දාපන් විජහට.

    ReplyDelete
  5. කියෝලා ගිහින් කොමෙන්ට් කොරන්න මතක බැරිවෙලා නෙව.
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...