Tuesday, June 15, 2021

154. වීදි සරන ළය - 01

  

    මේ මවිසින් ඇත්ත පුවත්පතට වසර කිහිපයකට පෙර පරිවර්තනය කළ, ඉංග්‍රීසි බසින් වූ ග්‍රන්ථයක හැඳින්වීම සහ ඊට පසු පළ කෙරුනු ලිපියයි. මුල් රචකයාගේ නිසි අවසරය මත පරිවර්තනය ආරම්භ කෙරුණු මෙම ඉංග්‍රීසි ග්‍රන්ථය, ලිපි පෙළ අවසානයේ සිංහල බසින් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමේ බලාපොරොත්තුව අප වෙත වූවත්, ඇත්ත පුවත්පත නතරවීමෙන් පසු එම කටයුත්ත යම් පමණකට අඩාල විය. පසුව නැවතත් පරිවර්තන කටයුත්ත ආරම්භ කෙරුණු අතර ‌මුල පටන් එම ලිපි පෙළ නිදහස් සිතුවිලි පාඨකයින් වෙත ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුවයි.






ආරම්භක ලිපිය


    පර්යේෂණාත්මක ලේඛනයෙහි නියැලෙන වෘත්තිකයෙකු වන, ඉංග්‍රීසි ජාතික ජෙෆ් එල්ස් (Geoff Ells) මහතා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වෘත්තීය පුහුණුකරුවෙකු වශයෙන් 2008 සැප්තැම්බර් මස සිට 2013 මාර්තු දක්වා වසර හතරකට අධික කාලයක් සේවයෙහි නියුතුව සිටියේය. ඒ අතරවාරයේදි, කොළඹ නගරයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථාන සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ හා නිරීක්ෂණ මතින් රචනා කරන්නට යෙදුණු COLOMBO JUMBO කෘතිය ඇසුරෙන් කළ අනුවර්තනය...


පරවියා සහ කොළ අඹ ගස


    ලන්දේසින්ගේ කොළඹ ලාංඡනයේ අඹ ගසක් සහ එහි වසා සිටින පරවියෙකු දැක්වෙයි. කොළඹ යන නාමය ඉපැද්දීමෙහි ලා මෙම පරවියාට විශේෂ තැනක් හිමිවුණු බව ඇතැමෙකුගේ මතය වේ. එයට හේතුව, පෘතුගීසි බසින් පරවියා “COLUMBUS - කොළම්බස්” යනුවෙන් හැඳීන්වීම නිසාය.


    පෘතුගීසි ජාතික ඉතිහාසඥයෙකු වන “DE QUEYROZ - ඩී කීරෝස්” නැමැති අයගේ යෝජනාව වූයේ කොළඹ - COLOMBO යන නාමය “කොළ-අඹ” යන වදන් එකතු වීමෙන් නිම වී ඇති බවයි.


    17 වන සියවසයේදී, කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු වූ ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ද මෙම කාරණය යම්තාක් දුරට ස්ථීර කරමින් කරුණු ඉදිරිපත් කරයි.


    කොළඹ නගරයේ බටහිරට වන්නට තිබුණා යැයි සැළකෙන, කිසිදා ඵල හට නොගත්, කොළ පමණක් තිබුණු අඹ ගසක් ස්වදේශීකයින් විසින් කොළ-අඹ ගස ලෙසින් හැඳින් වූ බවත්, පසු කාලීන ව කොළ අඹ -> කොළ-අඹෝ බවට හැරෙද්දී, ක්‍රිස්තියානීන් COLUMBUS සිහිකරනු වස් එය COLOMBO බවට හරවා ගන්නා ලද බවත් රොබට් නොක්ස් පවසයි.


    මේ අතර නූතන ලේඛකයෙකු වන හේරත් යන අය තමන්ගේ අදහස මෙසේ බෙදා ගනී.


    “සිංහලයින් කොළඹ හැඳින්වූ ආකාර දෙකක් තිබිණ. කොළොන්තොට සහ කොළ-අඹ යනු ඒ දෙ-ආකාරයයි. කොළ-අඹ ලෙස හැඳින්වූයේ ඒ සුප්‍රසිද්ධ ගෙඩි නැති, කොළ පමණක් ඇති අඹ ගස නිසා වන අතර එම ගස, පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ කොටුවේ, Commissariat Street - කොමිසාරියෙට් වීදිය ආසන්නයේ විරාජමාන ව සිට, ප්‍රමුඛ බිම් සළකුණක් වශයෙන් ඉතිහාස ලේඛනයන් හී සිය අනන්‍යතාව සළකුණ කර ඇති බව පෙනෙන්නට තිබේ”


කොළොන්තොට


    කොළඹ නාමයෙහි උප්පත්තිය පිළිබඳ පැතිර ගිය තවත් මතයක් ලෙස, එහි මූලාරම්භයට වරායක් හෝ ගංගාවක් හේතු වූ බව පැවසෙන කතාව දැක්විය හැකිය. මුහුදු සංචාරයෙන් පසු යෝනක වෙළඳුන් රට ඇතුලට සිය යත්‍රා ඇතුලු කළේ කැළණි තොට හෙවත් කැළණි ගංගාවේ වරාය තුලිනි. කාලාන්තරයක් තිස්සේ කටවහරින් පැමිණි මේ වදන් කැළණි තොට -> කොළොන්තොට -> කැළැම්බෝ ලෙස වෙනස් වන්නට ඇති බව එම මතය දරණ අයවලුන්ගේ පිළිගැනීමයි. 19 සියවසයේ මුල් කාලයේ දී උපන් බ්‍රිතාන්‍ය ජාතික දේශාටකයෙකු වන ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් - SIR EMERSON TENNANT සිය ලේඛනයන් හී කැළණි ගංගාවේ නමින් කොළඹ යන නාමය බිඳි එන්නට ඇති බව පිළි ගන්නා අතර 20 වන සියවසයේ ඉතිහාසඥයෙකු වන එස්. ජී. පෙරේරා පියතුමා වඩා විස්තරාත්මක ව මෙම කාරණය සොයා බලයි. ඔහුට අනුව මෙම නාමය ඉපැද්දීමෙහි ලා හේතු වුණු ගංගාව වෙසෙසින් ම කැළණි ගඟ නොව, එහි අතු ගංගාවක් වන කොළොන් නම් වන ගංගාව විය යුතුය.


    “බොහෝ අයට මග හැරුණු කාරණයක් තිබෙනවා. කොළඹ හැඳීන්වීමේ දී සාහිත්‍යමය කටයුතු වලදී භාවිතා වන නම කොළොන්තොට වත්දී මට නිතර කල්පනා වුණු දේ නම්, ගිංතොටින් මුහුදට ගලා බහින්නේ ගිංගඟ නම්, කලුතරින් (කලුතොට) මුහුදට ගලා බහින්නේ කලුගඟ නම්, කොළොන්තොටින් මුහුදට යන ගංගාව ඉන්තේරුවෙන් ම කොළොන් ගඟ විය යුතු නොවේද යන්නයි” එසේ නම් කොහෙද මේ සැබෑ ම කොළොන්තොට?


    එයට පිළිතුර යෝජනා කරන්නේ කීර්තිමත් ලාංකිකයෙකු වන ශ්‍රීමත් පෝල් ඊ පීරිස් මහතා විසිනි.



    “සිංහලයින් විසින් එකල කොළොන්තොට යනුවෙන් හඳුන්වන ලද්දේ, වර්තමානයේ දී උතුරින් බංගසාල වීදීයෙන් ද, නැගෙනහිරින් හතරවන හරස් වීදියෙන් ද, දකුණින් මැලිබන් වීදියෙන් ද, බස්නාහිරින් ඉදිරි වීදියෙන් ද (Front Street - මල්වත්ත පාර), වටව ඇති, පිටකොටුව සීමාවෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනා ඒ බිම්කඩයි. එකල එහි උතුරු හා දකුණු සීමා ජලයෙන් ද, බස්නාහිර සීමාව හා නැගෙනහිර සීමාවෙන් වැඩි ප්‍රමාණයක් වගුරු බිම් වලින් ද වට ව තිබුණා යැයි සැළකේ.”

17 comments:

  1. හුගක් අමාරුවෙන් මම Colombo Jumbo පොත හොයාගත්තෙ අවු 4කට විතර ඉස්සර. වීදි නාම ගැන කරපු හොදම රිසර්ච් එකක්.

    ReplyDelete
    Replies
    1. කතුවරයා ලංකාව පුරා ම ග්‍රාම නාමයන් ගැන රිසර්ච් එකක් කරනවා දැන්.

      Delete
    2. ග්‍රාම නාම ගැන හොයන අර සුද්දට මට ඕනනම් උදව් උනෑකි..

      මාතලේ -දඹුල්ල පාරෙන් වමට හැරිල කන්දක් නඟින්ට තියනව එයාලගෙ ගමට යන්ට. ඒ කන්ද මුදුනට කියන්නෙ මුදුන කියල. ඊට පස්සෙ ආයෙම පල්ලම් බහින්ටයි තියෙන්නෙ.

      ඔය කන්දෙ මැද හරියෙ වගෙ තියනව බීරිදෙවොල කියල තැනක්...පොඩි සිල්ලර කඩයක් දෙකක් සහ මහ විසාල නුග ගහක් තියනව. එතනම කෝවිලකුත් තියනව. ඔය නම මහ අමුතුයිනෙ..බිරිදෙවොල...ඔය අමුතු නම් ගම් ඇහුවම මම ටිකක් හොයල බලනව ඒ ගැන. මොකද එව්වයෙ පසුබිම් කතාවල් බොහොම වෙලාවට හරිම අපූරුයි.

      " මොකද ඔය බිරිදෙවොල කියන්නෙ ඔතනට? " මම ඉස්සෙල්ලාම අපෙ උන්දැගෙන් ඇහුව.

      " හරියටම තේරුමක් නම් දන්නෙ නෑ අනේ..අප්පච්චි දන්නව ඇති අහල බලන්ට…"

      අප්පච්චිගෙන් ඔන්න මම ඇහුව . එයත් හරියට විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. මම ඉතිං ග්‍රාමනාම උත්පත්තිය පිළිබඳව මගේ පර්යේෂණය තාවකාලිකව අමතක කරල දැම්ම.

      ඔය අපෙ උන්දලගෙ ගමට යන පාර බොහොම කඳු සහිත දුර්ග මාර්ගයක්. වැලමිටි වංගුම තමයි දිගටම. පාර දෙපැත්තෙම මාන කැලේ. කන්ද කපල හදපු පාර නිසා පාරෙ දකුණු පැත්ත සම්පූර්ණයෙන් මාන ගාල. බස් එක හදිස්සියෙන්වත් කොට පටවගෙන පළාපත්වල දිහා මෝලකට යන ලොරියකට ඉඩදෙන්ට අයින් කලොත් මාන ගාල කෙලිම්ම බස් එකේ ජනේලෙන් ඇතුලට ඇවිල කටේ හිටං..තුහ්ප්....තුහ්ප්...

      ඒ දවස්වල ඔන්න ආපි ප්‍රාදේසීය සබා චන්දයක්.එහෙ සබාපති තුමත් දනිපනිගාල ඉසගිනි ගත්තකු එගිනි නිවනසේ වැඩ කරන්ට ගත්ත. පාරවල් වලට තාර දාගෙන ගියා ගිනි කසේට. පාර දිගේ ඉස්කෝලෙ යන පොඩි එවුන්ගෙ කකුල්වලට හිටං තාර දැම්ම.ගමේ ලයිට් නැති පාරවල දිගේ ලයිට් කණු ගෙනල්ල ගොඩ ගැහුව. " අංක 19 කලු මල්ලී වැඩිම මනාපයෙන් සබරගමු පළාත් සබාවට " ලයිට් කණුවට අලවල තිබ්බ දැන්වීම ඉරන්ට හදල තිබ්බට ඒ අකුරු තවමත් කියව ගන්ට පුලුවන්. පාන්දර වැඩට ගිය මිනිස්සු රෑ ඇටපල් කලුවරේ හිත් හෝදිසියට ආපහු එනකොට ඔය ලයිට් කනුවල කකුල් හප්පගෙන ඇඟිලි පොඩි කරගත්ත. ඇයි දෙයියෝ සාක්කි. උදේ යද්දි නොතිබිච්ච ලයිට් කණු තොගයක් පාරෙන් බාගයක් වැහෙන්ට ගොඩගහල තියනකොට, රෑ කලුවරේ ඕකට ඔට්ටුවෙන එක ආය වෙනම කියන්ටත් දෙයක්ද? නැද්ද?

      ඉතිං මම අර කියපු ගන සැරේට මානා වැවිල තිබ්බ දහ අට වංගු පාරෙත් දෙපැත්තෙ කැළේ කැපුන. කැති, වීසි කැති, මන්න පිහි අරගෙන සබාපතිගෙ ගෝල බාලයො ටික හිටු කියල වැඩේට බැස්ස. සතියක් යනකොට පාර එලිඋනා බලන්ට ලස්සනයි. ඊළඟ පාර එයයි මායි වීක් එන්ඩ් එකේ ඔන්න ගෙදර එනව. කන්ද මැදක් නඟිනකොට තියනව සමන් පිච්ච වවපු කෑල්ලක් අක්කර පහක වගෙ. මාතලේ කෝවිලට මල්මාලා හදන්ටයි ඒ සමන් පිච්ච මල් ගන්නෙ. ඊට අමතරව ඔය සමන් පිච්ච වත්තෙන් කොළඹ බොහොම ප්‍රසිද්ධ කෝවිල් කීපයකට මල් යවනව කියල මට කිව්වෙ අපෙ උන්දැගෙ අප්පච්චි. අරූ දවස් තුන හතරකට කලින් ලියපු පෝස්ට් එකෙත් ඒ බව කියල තිබ්බ. අනික මම ඔය ගැන පොඩ්ඩක් හෝදිසි කලාම තව බම්බලපිටිය ගැන ලියන බ්ලොග් එහෙකත් ඒ කතාවම තිබ්බ.

      රෑ ඔය හරියෙන් එනකොට හුළඟ එහෙම තදට තිබ්බෙ නැත්තං සමන් පිච්ච සුවඳ පපුව පිරිල ඉතිරිල යනව. ඔය දෙවියො වඩිනකොට සමන් පිච්ච සුවඳ හමනවයි කියන කතාව අහල තියද? මට දෙතුන් පාරක්ම එහෙම දැනිල තියනව. අහල ගං හතක සමන් පිච්ච පඳුරක් නැතුව තියෙද්දි එක පාරට රෑ දෙගොඩ හරියෙ එනව නාහෙ කඩාගෙන යන්ට සමන් පිච්ච සුවඳ.....

      Delete
    3. මට අවුරුදු දොළහක් වගෙ කාලෙදි......අපෙ මිදුලෙ ලාවුලු ගහයට පිට ලෑලි පලුවක් හරහ දාල හදල තිබ්බ බංකුව උඩ අත්තම්මයි මායි ඉඳගෙන ඉන්නව ආකහේ දිහා බලාගෙන. අහසෙ එක වළාකුලක්වත් නෑ...පුරා හඳ රබානකට සුදු තීන්ත ගෑවහේ දිළිහෙනව. ලවුළු ගහේ කොළ යන්තමට සර සර ගෑවිල්ලෙ හමන හීතල හුළඟත් එක්ක ඔන්න සමන් පිච්ච මල් සුවඳක් ගලාගෙන එනව..

      " මොකක්ද අත්තම්මෙ ඒ සුවඳ? " මම අත්තම්ම දිහාවෙ හැරිල අහනව..

      " ෂ්...ෂ්...කෑ ගහන්ට එපා..අපි යමු ගෙට …" අත්තම්ම හෙමිහිට මගෙ අතත් අල්ලගෙන නැඟිටිනව.

      " ඇයි අත්තම්මෙ? "

      " යංකො ගෙට මම ගෙට ගියහම කියන්නං…"

      " ඔය විදිහට සමං පිච්ච සුවඳ හමන්නෙ දෙයියො මිදුල උඩින් වඩිනකොට. ඒ වෙලාවට මුලිච්චි වෙන්ට ඉන්ඩ හොඳ නෑ…" ගෙට ගිහිල්ල කොරිඩෝවෙ බිත්තියට හේත්තුකරල තියන ඩිවාන් එකේ ඉඳගෙන අත්තම්ම මා දැක්ක කියනව.

      මේ මෑතක අපෙ ගෙදර එළියෙ ජපන් අරලිය ගහ ගාව ඔහොම හඳ පායලු දවසට රෑට කාල එහෙම වේවැල් පුටු දෙකකුත් තියාගෙන අපි දෙන්න ඔහෙ ඉඳගෙන ඉන්නව.ගම්පල පැත්තට යන බඩු කෝච්චියක සද්දෙ ටික ටික තුනී වෙල යනව. හන්තාන පැත්තට වවුල්ලු හත් අටදෙනෙක් එක රංචුවට පියාඹන යනව. ඔන්න එක පාරටම සමන් පිච්ච මල් සුවඳකින් පපුව පිරෙන්නෙ හුළඟ පොදක්වත් නැතුව.

      " කොහෙන්ද ඒයි ඒ සමන් පිච්ච සුවඳ? " හුස්මක් උඩට ඇදල පෙණහළු පුරවගෙන ඈ අහනව.

      " යංකො ගේ ඇතුලට...." වේවැල් පුටුවත් උස්සගෙන මම නැඟිටිනව..

      " ඔහොම සමන් පිච්ච සුවඳ හමන්නෙ දෙවියො වඩිනකොට..ඒ වෙලාවට පේන්ට ඉන්ට හොඳ නෑ…"

      " කවුද ඔය විස්තර කිව්වෙ ඔයාට?.."

      " අපෙ අත්තම්ම...."

      එයාලගෙ ගමට යන පාරෙ අර චන්ද කාලෙ කැලේ කැපුනම, සමන් පිච්ච වවල තිබ්බ කෑල්ලට පල්ලෙහයින් පාරෙන් උඩහට ගුරු පාරක් මතු උනා. කලිනුත් ඔතන පරණ යකඩ ගේට්ටුවක් වගෙ පේන්ට තිබ්බට ඒකෙ තුන්කාලක් විතරම මාන කැලේට වැහිලයි තිබ්බෙ. ඒ ගේට්ටුව එක්කම පැත්තකිං කළුගලෙන් බැඳපු නාම පුවරුවක් පැහැදිලිව පේන්ට ගත්ත. ඒ කලුගල් නාම පුවරුවෙ සුදුපාට තිරුවාණ ගල් අල්ලල පාරට පේන්ට ඉංගිරිසි අකුරු වලින් මෙහෙම ලියල තිබ්බ. Brindwell Bungalow.....

      බංගලාව කිව්වම අපි පොඩි කාලෙ කියපු සිංදුවක් මතක් උනා ඔන්න. අම්මල එහෙම ඉන්න තැන අපි මෙව්ව කියන්නෙ නෑ...සිංදුව දිගට තිබ්බ..මුල හරිය විතරයි මතක.

      සීයා මනමාලයා… නාකි ඉලන්දාරියා...ඕ..ඕ..ඕ.....
      බංගලාවෙ බත්ම කාල…..
      එන්න එන්න ලස්සනයි...
      එන්න එන්න ලස්සනයි...

      Delete
    4. ඔන්න ඒ වෙලාවෙයි මට මීටර් උනේ බිරිදෙවොල කියල ඒ හරියට නම වැටිල තියෙන්නෙ මේ කියන Brindwell ඉංගිරිසි වචනෙන්ය කියල.. අපේ මිනිස්සුන්ගෙ කටට උච්චාරණය පහසු විදිහටයි එහෙම හදාගෙන තියෙන්නෙ.

      ඒ සමාන තව හදාගත්තු එව්ව තියනව. කරුණාසේන ජයලත් මහත්මයගෙ රිදී නිම්නය පොත කියවල තියද? ඒකෙ කියවෙනව Silver Valley කියල පොල් වත්තක් රජයට අරගෙන කුඩා කොටස් වලට කඩල ඉඩම් නැති මිනිස්සු අතරෙ බෙදා දුන්නු කතාවක්. ඒ වත්තෙ ඇතිවෙච්චි ගම්මානෙ මිනිස්සු හඳුන්වල තියෙන්නෙ සිල්ලර එළිය කියල. ඒ අර සිල්වර් වැලී කියන නම කටට පහසුවට උච්චාරනය කරපු විදිහ.අරූගෙ අලුත්ම පෝස්ට් එකේ කියවුනා මිලාගිරිය සෙන්ට් පෝල්ස් ගැන. දන්නවද ඔය මිලාගිරිය නම හැදුනු විදිහ? ඔතන බොහොම පරණ පල්ලියක් තිබිල තියනව. පෘතුගීසි කාලෙ එකක්. ආශ්චර්යේ අප ස්වාමිදියණියගේ දේවස්ථානය. Church of Our Lady of Miracles ....සම්පූර්න නම කිව්වොත් අන්න එහෙමයි. අවර් ලේඩි ඔෆ් මිරකල්ස්...පෘතුගීසි භාෂාවෙන් මිරකල්ස් කියන්නෙ මිලාග්‍රේ කියල. අන්න ඒ මිලාග්‍රේ කියන වචනෙන් තමයි මිලාගිරිය ඇවිල්ල තියෙන්නෙ.

      මසංගස් වීදිය කියන්නෙ ඒ පාර දෙපැත්තෙ මසංගස් තිබ්බ නිසා නෙවෙයි. මුල් නම ඇවිල්ල Messenger Street. …..Messenger කියන ඉංගිරිසි වචනෙ දේශීය ඌරුවට කියවුනේ මසංගස් කියලයි.

      මේ තවත් ලස්සන කතාවක්...අපි ඔය කැලේ මැද්දෑවෙ ඉන්දැද්දි අපෙ යාලුවෙක් හිටිය ජයේ කියල. ජයේ අපිට වඩා ටිකක් විතර වැඩිමහලු තලත්තෑනි මනුස්සය. ජයේ ගැන තියනව අපූරු කතා මහ ගොඩක් පස්සෙ වෙලාවක කියන්නං..ජයේ කතෝලික..ගම ජා-ඇල..අර රුක්මණී ප්‍රතිමාව තියෙන්නෙ..ඒ හරියට කියන්නෙ කුරණද කොහෙද නේද? අන්න ඒ ප්‍රතිමාවට හංදි දෙකක් විතර එහා ජයේගෙ ගෙදර.

      එක නත්තලක ජයේ අපි දෙතුන් දෙනෙකුට එන්ට කිව්ව එයාලගෙ ගෙදර.අන්තිමට කොහොම හරි එහෙ යන්ට සෙට් උනෙ කුමාරයි මායි විතරයි.කොටුවෙන් ජා-ඇල ට ඇවිල්ලද කොහෙද අපි ඔන්න කේක් ගෙඩියක් එහෙමත් අරං නැග්ග ජයේලගෙ ගෙදර යන්ට. සෙනඟත් ඒ හැටි නෑ. නත්තල් දවසනෙ. කොන්දොස්තර කොලුව මඟ දිගට කෑගහනව ඉස්සරහට එන හෝල්ට් එකේ නම කියල.

      ඔන්න මූ එක පාරටම කෑගහන්ට ගත්ත " නෝ බෝල් හන්දිය බහින්ට..ආ..නෝ බෝල් හන්දිය බහින අය ඉස්සරහට එන්ට.." කියල..

      " මේ මොන කුණුහරපයක්ද බොල මේ? " කුමාරයි මායි මූණෙං මූණ බලාගත්ත." නෝ බෝල් හන්දිය???…. ඈ???? "

      ජයේගෙ ගෙදර ගිහිල්ල උගෙ අතට කේක් ගෙඩිය දුන්නු ගමං මම ඇහුවෙ ඕක..

      " මේ මචං මොකක්ද අර නෝ බෝල් හන්දිය කියන්නෙ? අපි එන බස් එකේ කොන්ද කෑගැහුවෙ නෝ බෝල් හන්දිය බහින්න, නෝ බෝල් හන්දිය බහින්න කියල.."

      " හිහ්,හිහ්……." ජයේ මහ හයියෙං හිනා උනා. " අර ඉන්නෙ බං අරූ…" ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද ෆාස්ට් බෝලර් කෙනෙක්ගෙ නම කියල ජයේ ආයෙම ගේ දෙකක් වෙන්ට හිනාඋනා.

      " ඔයි යකා ඕවර් එකකට නෝ බෝල් දෙකක්වත් දානවනෙ අනිවාර්යයෙන්. මිනිහගෙ ගේ තියෙන්නෙ ඔය හන්දියත් එක්කම දකුණු පැත්තෙ. ඒ හින්ද ඔතනට නෝ බෝල් හන්දිය කියලයි දැං හැමෝම කියන්නෙ...හිහ්...හිහ්…"

      Delete
    5. කුරණ නෙමෙයි. කුරණ තියෙන්නේ කටුනායකටත් එහා, මීගමුව කිට්ටුව. ෆාස්ට් බෝලර් ඩි. ප්‍රනාන්දු ද? මම ජෙෆ්ට ලිංක් එක යවන්න හැදුවේ, මෙන්න ගම් සෑහෙන ගානක විස්තර තියෙනවා කියලා. බැලුවහ ම මේ පඳුරු කතාවක් කොපි කරලා අලවලා නේ දැයි?

      Delete
    6. Pra Jay:

      https://www.colombo-jumbo.com/ for your info

      Delete
    7. රවී,

      මේ ඒක නෙමෙයි කාරණේ. ජෙෆ් රටේ නම් ගැන පොතට කරුණු හොයනවා. ඔන්න දන්න කියන නම් සහ විස්තර දන්වන්න පුළුවන්

      Delete
    8. // මම ජෙෆ්ට ලිංක් එක යවන්න හැදුවේ, මෙන්න ගම් සෑහෙන ගානක විස්තර තියෙනවා කියලා. //

      රන්දිකාට ජෙෆ් එක්ක මොකක් හරි තරහවක් තියෙනවය? එහෙමත් නැහ්නං ඒ මනුස්පයගෙ ඔළුව අවුල් කරන්ට අදහසක් තියෙනවය?

      Delete
    9. Randil,

      අඩේ කුරණ ජා-ඇල කිට්ටුව නෙවෙයිද? මට මතක තිබ්බෙ එහෙම...ඔව්..ආර්.ඩී. ප්‍රනාන්දු තමයි...රංගි දිල්හාර... :)

      Delete
    10. බූරා,

      තැන්කියු..තැන්කියු...:)

      Delete
    11. රංගි නෙමෙයි අනේ රන්දි... රන්දි... 😊😄

      Delete
  2. කලකට පෙර සිළුමිණ පුවත් පතට විශේෂාංග ලියූ (මට මතක හැටියට පරිපාලන නිලධාරියෙක්) ලියූ කතාවක කොටසක් මතක් උනා.
    ඒ මහතා තේ පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලේ රාජකාරි වැඩකට MADDECROMBE (මෙහි අකුරු නිවැරදිද කියා මතක නැහැ, නමුත් මේ හා සමාන නමකින් තේ වත්තක් තියනවානම්, එය ගැනයි මෙහි කියැවෙන්නේ) යන නමින් හැඳින්වෙන තේ වත්තට ගිහිල්ලා තියනවා. තනිකරම ඉංගිරිස් නමක් වෙච්ච මේ නමේ මූලාරම්භය සොයා බැලුවාම, "මැදකුඹුර" නමින් සිංහලෙන් හඳුන්වාපු ප්‍රදේශයට ඉංග්‍රීසීන්, ඉංග්‍රීසියෙන් ලියලා තියන ආකාරය තමයි MADDECROMBE.

    ReplyDelete
    Replies
    1. හරිම සිත්ඇදගන්නාසුලු වැඩක් මේ නාමයන් හැදුනු හැටි හොයන එක :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. කොමෙන්ට් ටිකත් මරු කියවගෙන යමු එහෙනම්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...