|
අනුරාධපුරේ ටෙක් එකේ ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එක කරපු මගේ බැච් එකේ කට්ටිය - 1982 හෝ 1983 |
අද මගෙ උපන් දෙනිය..අපෙ බාර්යාතොමෝගෙ පුංචි අක්කගෙ දුව පොඩි කාලෙ කිව්වෙ උපන් දිනේ නෙවෙයි උපන් දෙනිය...
තව අවුරුදු පහක් ගියාම ඒ කියන්නෙ ඒ වෙනකොට ජීවත් වෙලා උන්නොත් "හැටපහත් වයසක්ද නංගී?" කියල ඇහුවැහැකි...හැට කියන්නෙත් කඩඉම් වයසක්..ජේෂ්ඨ පුරවැසියෙක් නොහොත් සීනියර් සිටිසන් කෙනෙක් කියල ආණ්ඩුව නිල වශයෙන් පිළිගන්නෙ හැට පැන්නහම..
අර කලිං තිබ්බ එහෙම හැට පැනපු අයට ස්ථාවර තැන්පත් වලට (ඒකෙ තිබ්බ උපරිම සීමාවක් රුපියල් ලක්ෂ පාලහක්ද කොහෙද?) 20% වගෙ ගාණක් පොලිය විදිහට ගෙව්ව..දැං එව්ව ඔක්කොම නැතිකරල..ඒ තියා FD එකකට මාස් පතා පොලිය ගන්නවනම් දැං ගෙවන්නෙ 8% වගෙ ගාණක්..අපි වගෙ වෙන ආදායම් මාර්ගයක් නැති ඔය පොලියෙන් ජීවත් වෙන්ට හිතාගෙන උන්නු වයසක ඩෑල් වලට ආණ්ඩුව එහෙම කරපු එක මරු පහරක්..ඒත් ඉතිං මක් කොරන්නෙයි? ඔහෙ ගේම ගහගෙන යනව..
හරි ඒ දුක් අඳෝනාව ඇති..මේ වැදගත් දවසෙ මම කල්පනා කලා මගෙ ජීවිත ගමනෙ එක් එක් උපන්දින වලට සැතපුම් කණු නොහොත් මයිල්ස්ටෝන්ස් පහුවෙද්දි මම කොහෙද හිටියෙ මොකද කලේ කියල පසු විපරමක් කරල බලන්ට..හැම අවුරුද්දෙම ලියන්ට ගියොත් එහෙම හැටක් ලියන්ට එපාය..අනික අවුරුදු 60ක් ගෙවිච්චි මනුස්සයෙකුගෙ ජීවිතේ අවුරුද්දෙන් අවුරුද්ද ඒ තරං බරපතල වෙනස්කම් සිද්ද වෙන්න තියන ඉඩකඩත් අඩුයිනෙ..ඒ හින්ද මම හිතුව අවුරුදු පහෙන් පහට මගෙ ජීවිතේ ගැන ලියන්ට..
1. ඔන්න මගෙ උපන්දිනේ 1963 නොවැම්බර් 14..එදා ගැනනම් ඒ හැටි මතකයක් නෑ..මතක තිබ්බයි කියල බොරු ලියන එකත් හරි නෑනෙ..කොහොම හරි ඒ දවසෙ මම උපන්නෙ බදුල්ලෙ මහ ඉස්පිරිතාලෙ..එහෙම උනේ ඒ වෙනකොට අම්මයි අප්පච්චියි දෙන්න බදුල්ලෙ වැඩ කරපු හින්ද..අප්පච්චි බදුල්ල කච්චේරියෙ ලිපිකරු..අම්ම බදුල්ල ඉස්පිරිතාලෙ හෙදි..
2. අවුරුදු 5 කට පස්සෙ 1968 නොවැම්බර් 14..ඒ වෙනකොට අපි හිටියෙ කෑගල්ලෙ..අම්මයි අප්පච්චියි ස්ථාන මාරුවීම් ලබල රට පුරාම යනකොට අපිත් ඉතිං සබ්බ සකල මනාවම කෝච්චියට පටවල දවස් දෙක තුනකට සෑහෙන්ට රෙදි පෙරෙදි පැදුරු කොට්ට හාල් පොල් එහෙමත් පොඩි ලොරි බාගෙකට පටවල අපිත් නඟිනව කෝච්චියට..එහෙම දවස් දෙක තුනකට සෑහෙන්ට බඩු පොදි ගහ ගන්නෙ ඇයිද කිව්වොත් ඒ අර අපේ ගෙදර ලට්ට ලොට්ට පටවපු කෝච්චිය ගමනාන්තයට එන්ට ඒ වගෙ කාලයක් ගතවෙන හින්ද.
අපේ ගෙදරම හිටිය අම්මගෙ අම්ම, මගෙ අත්තම්මයි අම්මගෙ අවිවාහක වැඩිමහලු සහෝදරයෙකුයි..විස්තීර්ණ පවුලක් කොටින්ම..ඒ මාම තමයි ලොරියෙ එන්නෙ..මාමගෙ නම හීන් බණ්ඩා..අපි කිව්වෙ බණ්ඩ මාමා කියල..අම්මගෙ පවුලෙ සහෝදරයො හත්දෙනයි..සහෝදරියො අම්මත් එක්ක තුන්දෙනයි..දැනට ජීවත්වෙලා ඉන්නෙ බාලම සහෝදරයයි ඊට වැඩිමල් සහෝදරියි විතරයි..මගෙ පොඩි අම්මා සහ පුංචි මාමා..
ඉතිං මම ඔය කිව්ව විදිහට මට අවුරුදු පහක් වෙද්දි අපි හිටියෙ කෑගල්ලෙ නාගොල්ලෙ රජයේ නිල නිවාසවල..මම එතකොට මොන්ටිසෝරි ගියේ..අප්පච්චිත් එක්කම එකට වැඩ කරපු සහෝදර නිලධාරියෙක්ගෙ බිරිඳගේ නංගි විසින් අපේ නිවාස සංකීර්ණයෙ සියළුම පාසල් නොයන වයසේ දරු දැරියන් සඳහා සමාජ සේවයක් විදිහට නොමිලයේ පවත්වාගෙන ගිය ළදරු පාසලක්..
අර මම කලින් දවසක් ලියපු "අයිසලිපා බ්‍රදල් ජොනා මොරිෆලිඟා ඩිඟා ඩොඟා" ඉන්ග්ලිස් පොයම් එක එහෙම මම ඉගෙන ගත්තෙ ඒ මොන්ටිසෝරියෙදි..මම අයිසලිපා කියල කිව්වට මොන්ටිසෝරිය කරපු ආන්ටි අපිට ඒක කියල දුන්නෙ නම් මෙන්න මේ විදිහට..
Are you sleeping are you sleeping brother John, brother John?
Morning bell is ringing, morning bell is ringing, Ding Dong Bell, Ding Dong Bell...
ඒ කාලෙ අවුරුදු 5 සම්පූර්ණ උනහම ඉස්කෝලෙ ගිහෑකි..ඒ හින්ද ඊලඟ අවුරුද්දෙ හාහාපුරා කියල සුදු කමිසයයි නිල් කොට කලිසමයි ඇඳල ඉස්කෝලෙ යන්ට දහසක් බලාපොරොත්තු ඇතිව තමයි මගෙ පස්වන අවුරුද්ද ගෙවිල ගියේ..
3. ඊගාවට 1973 නොවැම්බර් 14..මම කෑගල්ල සෙම් මේරිස් නොහොත් ශාන්ත මරියා මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියෙ..පංතිභාර සර් ඇවිල්ල ජයසිංහ සර්..බණ්ඩාර සර්, පුංචි නිළමේ සර්, ජයලත් සර්, ගුණසේන සර් මට මතක ගුරුවරුන්ගේ නම්..රණේ, සමරේ, නීල්, හේමන්ත, කලිංග,ෆවාස්, සනත්, බිමල්, මා එක්ක එකට හිටිය යාලුවො..
4. 1978.11.14...ඊගාවට... වයස අවුරුදු පාළහ..ඒ වෙනකොට මම නාලන්දෙට ඇවිල්ල..නැවතිල හිටියෙ නාවල පරණ පාරෙ අප්පච්චි එක්ක බොහොම කාලෙකට ඉස්සෙල්ල නමසිය පණස් ගණංවල එකට වැඩකරපු අංකල් කෙනෙක්ගෙ ගෙදර..ටියුෂන් සංස්කෘතිය මුල් බැහැගත්තු කාලෙ..ඒත් හැම වැඩකටම ටුෂන් යනවයි කියල එකක් ඒ කාලෙ තිබ්බෙ නෑ..අමාරු වැඩ වලට විතරයි ටියුෂන් ගියේ..මම ඒ කාලෙ ටියුෂන් ගියේ ෆිසික්ස් වලට විතරයි..සේනාරත්න සර්ගෙ ගංගොඩවිල පාරෙ සුභද්‍රාරාමෙ තිබ්බ ටියුෂන් ක්ලාස් එකකට.. ආ අර ලංකාවටම බලපාපු මහා කුණාටුව සහ ගංවතුර ආවෙ ඒ කිට්ටුව..
5. ඊගාවට වයස විස්ස 1983 නොවැම්බර් 14..ඒ වෙනකොට ජීවිතේ ලොකු වෙනසක් වෙලා..ඒ ලෙවල් දෙපාරක්ම කරල ඇණගෙන මම ඊගාවට කලා අනුරාධපුරේ කාර්මික විද්‍යාලයෙ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාව, පූර්ණ කාලීන දිවා එක් අවුරුදු..
ඒකත් මේ අහම්බෙන් උන එකක්..මගෙ ලොකු අම්මගෙ ලොකු පුතා ඒ කාලෙ මහවැලියෙ වැඩකලේ..එච් කලාපයෙ මීගලෑවෙ..ඒ යෝදයා දවසක් අපේ ගෙදර ආපු වෙලාවෙ කිව්ව "මල්ලි ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එක කරන්න බලන්න..මහවැලියෙ හොඳ පඩි ඩ්‍රාෆ්ට්ස්මන්ලට." කියල..
මම ඒ කාලෙ අනුරාධපුර මහජන පුස්තකාලෙට යනව ඔය පත්තර එතකොට ගැසට් එක එහෙම බලන්න මගෙ පුෂ් බයිසිකලේ..පොඩි අමතර කාරණයක්..බහුතරයක් ෆුට් සයිකලේ කිව්වට ඕකට කියන නියම නම ඇවිල්ල පුෂ් සයිකලේ..මුල්ම කාලෙ ඕක තල්ලු කරගෙන ගිහිල්ල සීට් එකට පැනලලු පදින්න පටන් ගන්නෙ..ඒ හින්දයි කියනව ඔහොම නම වැටුනෙ..
ඉතින් අර අයියා අරෙම කියල සති දෙකක් ගියේ නෑ පුස්තකාලෙ ගැස්ට් එකේ දාල තිබ්බ ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එකට අයදුම්පත් කැඳවල..අනුරාධපුරේ ටෙක් එක තිබ්බෙ අපේ ගෙදර ඉඳල විනාඩි 10න් පයින් යන දුර..මම ඉතිං ඇප්ලයි කරල ඒ කෝස් එක කලා..83 අගෝස්තු කලබල තිබ්බෙ අපිට අවසාන විභාගෙ තියන්ට තිබ්බ කාලෙ...ඒ හින්ද විභාගෙත් කල්ගියා මාස දෙකක් වගෙ..
කෝස් එක ඉවර වෙනකොටම මට ට්‍රේනිං හම්බ උනා අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ.. 83 නොවැම්බර් 14 වෙනකොට මම ඒ ඉරිගේෂන් ඩිපාට්මන්ට් එකේ ට්‍රේනිං යනව..ඒ වෙනකොට මම සංස්කෘතික ත්‍රිකෝණෙ අභයගිරි ව්‍යාපෘතියෙ සැළසුම් ශිල්පී තනතුරට ඉන්ටවීව් ගිහිල්ල හිටියෙ..බඩේ බත් වගේ ඒ ජොබ් එක හම්බවෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ..එතන වෙනස ඇවිල්ල ඉරිගේෂන් එකේ පඩි නෑ..ට්‍රෑංගල් එකේ සේවය අනියම් ඒත් "චෙක් රෝලට දාල පඩි ගෙවන්නං.." කියල එතන ලොක්කා කිව්ව..ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහත්තය....ඉතිං ජීවිතේ පලමු වරට පඩියක් අතට හම්බවෙන රස්සාවක් ගැන සිහින දකිමින් තමයි මගේ විසිවන උපන්දිනේ ගෙවිල ගියේ..
6. ඊගාවට විසිපහ..1988-11-14..ඒ වෙනකොට මම මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සියෙ කාර්මික නිලධාරියෙක් හැටියට වැඩ... ජොබ් එක හම්බ උනේ 1984 දෙසැම්බර් 3....83 විස්තරේ කියද්දි මම කිව්වනෙ එතකොට වැඩකලේ ඉරිගේෂන් එකේය, කල්චරල් ට්‍රෑංගල් එකේ ජොබ් එකක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්ය ඒ කාලෙ හිටියෙ කියල..කිව්වත් වගේම 83 දෙසැම්බර් මාසෙ ට්‍රෑංගල් ජොබ් එක ලැබුනා..අභයගිරි ව්‍යාපෘතියෙ..ඒකෙ හරියටම අවුරුද්දයි වැඩ කලේ මහවැලියෙ වැඩට ගියා..
ඉතිං 88 නොවැම්බර් 14 වෙනකොට මම වැඩකලේ වැලිකන්දෙ මහවැලි බී කලාපයෙ සේනපුර නේවාසික ඉංජිනේරු කාර්යාලයෙ ..ඒ වෙනකොට ජෙප්පො මුලු රටේම භීෂණයක් ඇතිකරල තිබ්බ කාලෙ...ගමනාගමනය පොදු මහජන සේවා ඔක්කොම අඩපණ වෙලා තිබ්බෙ..මහවැලියෙත් වැඩ කෙරුනෙ බොහොම මන්දගාමීව..ඩීසල් එහෙමත් බොහොම සීමිතව ලැබුනෙ..හැබැයි මොනව උනත් අපේ පඩි නම් කලට වෙලාවට ලැබුනා..ගාමිණී මහත්තය අපේ ඇමතිතුමා කියල තිබ්බ කිසිම හේතුවක් හින්ද ඔෆිස් වහන්න එපාය එයා හෙලිකොප්ටරෙන් හරි වෙලාවට පඩි එවනවයි කියල..ඒ කිව්ව වගේම පොර ඒක කලා..
අපි ඉතිං වැඩත් නැති එකේ උදේ නමේ වගෙ වෙනකල් නිදාගන්නව..දහයට විතර අපේ කැම්ප් එක ගඟින්ම ගලාගෙන යන ඇලට ගිහිල්ල නානව..ඊට පස්සෙ ගෙදර ඇවිල්ල උදේට කාල බොන්ඩ පටං ගන්නව..සීල් නං එහෙමයි..සුදුවා නම් එහෙමයි..ආය ඒකෙ ගානක් නෑ..ඔන්න ඔහොම අමර පදමට වැදිල ඉන්දැද්දි ඔන්න ඇහෙනව කොලඹ ඉඳල වැලිකන්දට හෙලිකොප්ටරේ යනව අපේ කෑම්ප් එක උඩින්..අපි දන්නව ඒ යන්නෙ අපේ පඩි කියල..අපි ඉතිං ඩෝප් මරගාතෙම එලියට බැහැල උඩ පැනල අත් වනල ජයගෝසා කරනව.."අම්මට උඩු පඩි ආවා..තව බෝතලයක් ගහමු බං..."
7. ඊගාවට 1993-11-14... මට වයස තිහයි..ඒ වෙනකොට මම වැඩ මහවැලි ආර්ථික ඒජන්සියෙ..කලින් වැඩ කරපු ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සියයි මේකයි කාර්යභාරය අතිං වෙනස්..කලින් එකේ කලේ ඉදිකිරීම් විතරයි..ආර්ථික ඒජන්සිය මූලික වශයෙන් කලේ මහවැලි ඉඩම්වල පදිංචි කරපු ජානපදිකයින්ගෙ සුබසාධනය සම්බන්ධ කටයුතු..
මම වැඩකලේ මහවැලි ජී කලාපයෙ බකමූණට එහා අත්තනකඩවල කියන හරියෙ...ගිරිතලේ සහ දියබෙදුමටත් බොහොම කිට්ටුයි..ඒ වෙනකොට මම අපේ භාර්යාතොමෝ අඳුනගෙන හිටියෙ..ඒ ඔය බස් එකේ යද්දි සෙට් වෙලා..ඉතිං අඳුනගෙන අවුරුද්දක් තරම ගෙවිල ගිහිල්ල එයයිලගෙ ගෙදර දොර එහෙම බලන්ට යන්ට ලෑස්ති පිට හිටියෙ ඔය කාලෙ..එහෙම යන්ඩ උනේ ඊලඟ අවුරුද්දෙ ජනවාරි මාසෙ..හරි හරි එව්ව අයිති අනාගතේට..
ඉතිං අත්තනකඩවල ජීවිතේ ගැන කියනවනම් ආය කියල වැඩක් නෑ..තනිකරම ආතල් ලෝකයක්..රෑ තිස්සෙ ගොවියො එනව අපේ ක්වාටර්ස් එකට වතුර නෑ මහත්තය මුඹුර ඔක්කොම හේබාල ගිහිල්ල කියල..ඉතිං අපි තුන්දෙනා (ක්වාටර්ස් එකේ මා එක්ක තව සහෝදර නිලධාරීන් දෙන්නෙක් හිටියා..සුමනේ සහ ආනන්ද..) අපි ඉතිං ආපු එවුං කූල් ඩවුන් කරල තේ එකක් එහෙම දීල යවනව..පහුවදාට ගිහිල්ල කොහොමහරි වැඩේ සෙට්ල් කරනව..
මේ ළමයි..මේක අහනවද?....ජීවිතෙං බාගයක් ගැන විතරයි ලිව්වෙ..දැනටම සටහන බොහොම දිගට ලියවුනා.. කොටිම්ම කිව්වොත් මාගලක් වගේ උනා..ඒ හින්ද අවුරුදු 30 න් දැනට නවත්තමු..
එහෙනං ඊලඟ අවුරුදු 30න් හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි....