




එක්වරම හිතුනේ අනේ ............ කියලා විතරයි මට.
සැමි දෙස බැලූ කල ඔහු හිනා වුනේ සෑහීමකට පත් වූ මනසින් යැයි මට හිතුණා.
"ඇයි ඒක කොහොමද වුනේ?,................. ඔයා මොනවා හරි කලාද?" මම ඇසුවා.
කිසිම දුකක් මුණේ නැහැ. මට හිතා ගන්නත් බැහැ, තමන්ගේ මාළු බේරෙණ නිසා කොකා මැරුණ එක හොඳයි කියලා හිතන්න තරම් මෙයා දරුණු වුනේ කොහොමද? අම්මා තවම හඬ නගනවා.
" කියන්න ඔයා මොකද කලේ?.........." මම අතින් අල්ලගෙන ඇහුවා.
"නැහැ නිකං දැලේ පැටලිලා මැරෙන්න ඇති.............."
ඒත් මට විශ්වාස වුනේ නැහැ. මූණ බැලුවම හිතෙනවා මෙයාගේ සම්බන්ධයක් නම් තියෙනවාමයි කියලා.
"අනේ කියන්න ඔයා මොනවා හරි කලාද?"
"නැහැ නිකං පොඩි ගැජමැටික් එකක්" කියා සතුටින් හිනා වුණා.
මම විගසින් හැරුනා. සැමිටත් තවදුරටත් එතැන ඉන්න බැහැ වගේ මට නොපෙනෙන ඉසව්වකට ගියා.
අයියෝ මට හිතුණු දේවල්නම් .................... මෙච්චර දරුණු වෙන්න පුළුවන්ද මගේ ආදරේට? 'සමහර වෙලාවට අපි හිතනවාට වඩා මිනිසුන් කොච්චරක් නම් වෙනස්ද?' මට හිතුණා. මට ඇෙඬෙන්නත් ආවා. අම්මා තාම කෑ ගහනවා. මට මැරූණු අසරණ කොකා මැවිලා පෙනුනා. බලන්න නම් යන්නේ නැහැ කියලා හිතා ගත්ත මම අතට අහුවුණු හාල් මැස්සන්ගේ බෙලි ටික කඩා ගෙන කඩා ගෙන ගියා.
"අම්මේ .............. අම්මේ ........................." සැමි කිසිම දුකක සේයාවක්වත් නැතිව අම්මාට කථා කලා.
අම්මත් හිනැහෙමින් ආවා. " කොකා මැරිලා"
දෙදෙනාටම මා නොපෙනෙන නිසා හොඳයි. මම හිතා ගත්තා. 'මෙච්චර නපුරු මිනිස්සු වුනේ කොහොමද මේ අය'.
ගිය අවුරුදෙත් මේ කාලෙට ඔය වගේම කොකෙක් ආවා. ඒත් වැස්ස නැති කාලේ. පාර දිගේ අපුරුවට පිය මැන මැන ඇවිත් තියලා ගිය දෙයක් ගන්න එනවා වගේ තමයි අපේ ගෙදරට ආවේ. පව් ................... පස්සේ වැස්සට පසු ඒ සතා ආවේ නැහැ. චුට්ටක් ඉවසන්න බැරි වුනානේ මෙයාට.

"කෑ ගහන්න එපා වටේ මිනිස්සුන්ටත් ඇහෙයි" සැමි පවසනවා අම්මාට. දෙන්නම හිනා වෙනවා වැඩේ සාර්ථකයි කියලා.
මම කිව්වානේ මේ සිද්ධිය වුනේ මේ සතියේ දවසක කියලා.
ඉතිං අදත් මේ සතියේ දවසක් කියලා ඔයාලාට අමතක වුණා වගේම, අද අප්‍රියෙල් මාසේ පළමුවැනිදා කියලා මටත් අමතක වුනානේ.
නැන්දම්මා කොකා මැරූ හැටි නොහොත් ........................... ලේලියව අප්‍රියෙල් මෝඩයා කරපු හැටි....... ඔන්න ඔහොමලු වුණා කියන්නේ.
කට්ටිය කථාව කියෙව්වානේ. දැන් මෙතැනට නොගිය අය ගිහින් ඡන්දෙත් දාලාම යනවාද තරහ නැතිව.




එනමුදු අප බැඳීම තවමත් අද ඊයේ හමු වූවාක් මෙන් නැවුම්ය. වසර ගාණක් ගෙවුනාක්සේ මිහිරිය.
මිතුරන් ලෙසින් ගෙවුනු වසරකට පමණ පසු පෙම්වතුන්ව අවුරුදු 6ක් දිවිමග අත්වැල් බැඳ තරණය කෙරුවෙමු. දැනට අවුරුදු 1 1/2කට පමණ පෙර යුවතිපතීන් වනතුරු ඒ ගෙවුනු සය වස පිළිබඳව ඔබ, මා, අප මිතුරු මිතුරියන් මෙන්ම මාගේ අඩවිය ඇසුරු කෙරූ සැම දෙන දනිති.
මේ මුළු වසර 8 පුරාවටම මා අභියස සිටිමුත් කාලයත් සමඟ ඔබ වෙනස් නොවීයැයි කිව හැකිද?. අවුරුදු 19 යන්තමින් පසු කල පොඩි කොළු ගැටයකුගේ සිට අවුරුදු 27ක් පමණ වන සාඩම්බර පියෙකුගේ තත්ත්වයට මෙන්ම, ඒ කොළු ගැටයාගේ සිට මා දයාබර සැමියා දක්වා ද ඔබේ වගකීම් වෙනස් විය.
කාලය අප පසු කොට වේගයෙන් ගමන් කර ඇති බව පසක් වන්නේ, පෙර ඔබ අත මත වෙලී තිබූ මා අත වෙනුවට ඔබ අතේ දනි පනි ගා එල්ලෙනා අප දූ සිඟිත්තිය දකින කල්හීය. "අපිටත් බබෙක් ඉන්නවා නේද?"යි එකිනෙකාගෙන් අසාගනිමින් අප නිරතුරු පුදුම වන්නේ තවමත් එය සිහිනයක් සේ දැනෙන නිසාවෙන් නොවෙද?
කාලය එලෙසින් ගලා ගියද, අද දිනයේදිත් මා බසයෙන් බැස එනතුරු මගබලා සිටින ඔබ මුව මත පිපෙන්නේ මුලදීම මා සිත්ගත් ඒ සිනා මලමය. එදා වාගේම අදත් මගේ අත අල්ලා ගන්නා ඔබේ අතැඟිලි මා හට ගෙන එන්නේ ඒ උණුසුමමය. සමහර විටෙක පෙරට වඩා ඒ සිනා මල, ඒ උණුසුම, පරිණත වී ඇති බවක්ද සිතෙනා අවස්ථාවන්ද නැතුවාම නොවේ.
ඔබ වෙනස් වී ඇත.
රූපයෙන් වෙනස් වී ඇත. වයසින් මුහුකුරා ගොස් ඇත. දැනුවත් භාවයෙන් දැනුවත් වී ඇත.
ඔබේ ආදරයද වෙනස් වී ඇත. ඔබ අද මා හට ලබා දෙන ආදරය, පෙර පෙම්වතුන් සමයේ දුන් ආදරය හා සමකරන කල මහමෙරකි. විටෙක මට දරා ගැනීමට පවා අපහසුව එය මා දෙනෙතින්ද පිට පනී.
දුව ලැබෙන්න ඉන්න දිනවල ඔබ මා රැක බලා ගත්තේ දරුවෙකු රැක බලා ගන්නා අම්මා කෙනෙකු මෙනි. ඉදිමුනු දෙපා, රිදුම යනතුරු අතගාමින්, රෑ තිස්සේ විටින් විට වැසිකිලි යාමට අවැසි වු විට අවදිව මා සමග එමින්, රසම රස තේ සාදා දෙමින්, කැමති ආහාර වර්ග ඉවෙන් මෙන් හඳුනාගෙන ඒවා ගෙනත් දෙමින්............... කල හැකි උපරිමයෙන් ඔබ මාත් අප දියණියත් වෙනුවෙන් කැප වුනෙහිය. පෙම්වතුන් කල පටන් මට 'අහවල් තැනින් අද මොනවා හරි කාලා ගියා නම් හරි' කියා සිතන්න පමණි තිබුනේ. කියන්නටත් පෙර ඔබ හරවා අවසන්ය. සැබවින්ම ඔබ මා සිත හඳුනා ගත් ආකාරය මට සිතා ගන්නට තවමත් නොහැකිය.
දුව ලැබෙන්න රෝහලේ නවතින්න යන්න තිබුණු දිනයේ උදෑසන මතකද? අපි දෙන්නාම කඳුළු සලා හැඬුවෙමු. මට හැම විටම 'අඬන්න නම් හිතන්නවත් එපා' කියමින් සිටි ඔබ මා තුරුළු කරගෙන මාවත් තව තවත් හඬවමින් හැඬුවේ මන්ද? හිතේ පිරී තිබුණු, වදනට පෙරළිය නොහැකි වූ හැඟීම් එසේ දෝරේ ගලා ගියේ යැයි සිතමි.
මා රෝහලේ නැවතූ දිනයේ පටන් අවසන් දිනය වනතුරු, ඔබ සේ තුන් වාරයටම සිය බිරිඳ බලන්නට පැමිණි වෙනත් සැමියෙකු මා නොදිටිමි. (බොහෝ දෙනෙකුගේ දොසක් නැත. ඔවුන් මත පැටවුනු වෙන වෙන වගකීම් ද තිබුණු බව ඒ බිරින්දෑවන් මා හා පවසන ලදී) එනතුරු මග බලා සිට මාගේ ගෙල කේවට්ටයාගේ ගෙල මෙන් දික්කර ගන්නට ඉඩ නොතැබුවෙහිය. ඔබ හරියටම වෙලාව එළඹෙන විට හති දමමින් දුව එන්නෙහිය. ඒ මා සිත් ගත් සිනා මලත් මුවදරාගෙනය. ඔබ එන පෙරමගට ගොස් ඔබත් සමගින් මා නැවතත් ඇඳ වෙත එනවිට අනෙක් බොහෝ මව්වරු අප දෙස නෙත් අයා බලා සිටිනා'යුරු දකින මසිතෙහි සියුම් ලැජ්ජාවක් වැන්නක්ද ඉපැදින. ඒ ඔබ නැවත ගිය පසු ඔවුන් මා හට කවට කම්කරන බැවිනි.
මා දයාබරයාණෙනි, නිරෝගීව යහපත් සිතැතිව මෙතෙක් කල් සිටියා සේ ඉදිරියටත් මා හා මේ දිවි මග අත්වැල් බැඳ එනු මැනව !!!


