Monday, March 7, 2011

පිපි මල්මතින් පියමං කලෝ............2


පිපි මල්මතින් පියමං කලෝ............1

සමරෙටත් ඔන්න ටිකක් තද උනා, " වතුර නැතුව කොහොමද සර් වැඩ කරන්නෙ " සමරේ ඇහුවා,

" ඇයි බං අර අතන තියෙන්නෙ වතුර පයිප්පයක්, ගහපං හෝස් එකක් ඒකට, ඇරපං කරාමෙ, ඔය එන්නෙ වතුර, ඊට පස්සෙ පටං ගනිං වැඩ "

" පයිප්පයක් නං තියෙනව තමයි සර්, ඒ උනාට......." සමරෙ දෙපැත්තට ඇද්දා,

" ඇයි මොකෝ?..... ඒ උනාට මොකද?.....ඒකෙං එන්නෙ වතුර නෙවෙයිද? මී පැණිද?

" හප්පොච්චියෝ......ඒ වැඩේ නම් කීයට වත් කරන්ඩ බැහැ සර්, මේ ගෙදර අයිති මහත්තය පොලීසියෙ හිටපු හෙණ ලොක්කෙක්, මහ මරු මුස් මනුස්සයා, මුලින්ම වැඩ පටන් ගත්තු දවසෙ අපි හැමෝන්ටම කතා කරල කිව්වා, මේ මම කියන එක හොඳට අහ ගනිල්ලා, මගේ ගෙදරින් වතුර ගැනීම, මල් පැල වලට අලාභහානි කිරීම, තණකොල පෑගීම සම්පූර්ණයෙන්ම තහනම්, වෙඩි තියන එක තියනවා, අහු උන එකාට ආයෙ කිසිම සමාවක් නැහැ, මගෙ ආයෙ වචන දෙකක් නැහැ කියලා ඒ වෙලාවෙ තුවක්කුවකුත් අතේ තිබ්බ සර්, අපොයි අපිට නම් බැහැ වතුර අර ගන්ඩ ගිහිල්ල වෙඩි පාරවල් කන්ඩ " කියලා සමරේ බැගෑපත් උනා,

මිගාර එක්ක කොහෙද ඒ සෙල්ලං, මිනිහා හිතුවෙම මුං ටික වැඩ නොකර ඉන්ඩ පෙරලන පොතක් තමයි මේක කියලා,

ඔය මිගාරයගෙ වයිෆ්ගෙ මාම කෙනෙක් ඇවිල්ල පැන්සන් පලච්ච පොලිස් ඉස්පෑට්ටර කෙනෙක්,ඉතිං මිනිහ දන්න ලොකුම පොලිස් කාරය තමයි ඉස්පෑට්ටර, ඒ නිසා මිගාර කීයටවත් බය උනෙත් නැහැ, සත පහකට ගනං ගත්තෙත් නැහැ සමරෙගෙ කතාව,

" අනේ නිකං පලයං සමරෙ යන්ඩ, අපි නොදන්න පොලිස් ලොක්කො, උඹ දැන ගනිං අපෙ නෝනගෙ මාම ඉස්පෑට්ටර කෙනෙක්, අපි දෙන්න එකටයි අඩියක් ගහන්නෙත්, පොලිස් ලොක්කො? බම්බුව, මේ පැංසොං ගිය සාජං කෙනෙක්ද කොහෙද, එව්ව ඇරිච්චාවෙ, වැඩ පටං ගනිං ඉතිං කිව්වහම අහල "

" මේ මම දැං එක පාරක් කිව්වනෙ, මට නම් බැහැ, එහෙනම් සර්ම වතුර අරං දෙන්න,අපි කෝකටත් විනාඩි පාළහක් විතර බලල වෙඩි පාරක් ආවෙ නැත්නම් කෝකටත් සූදානං සරීරේ කියලා ගේට්ටුව කිට්ටුව තියන වැඩක් කරන්නම් " බැරිම තැන සමරේ කිව්වා,

" අනේ බං උබල වගෙ බය ගුල්ලො ජාතියක්, වෙඩි තියන්ඩ, හුහ්, එහෙම කොහෙද වෙඩි තියන්නෙ? බලමු එහෙනම් වෙඩි තියල "

මිගාර හෝස් එහෙකුත් ඇදගෙන ගියා කෙලිම්ම කඟවේනා වගේ පයිප්පෙ ගාවට, මූට දැං උන්න මලා පේන්නෙ නැති ගානට තද වෙලා නිසා කෙලිම්ම ආයෙ ඉද්ද ගැහුව වගෙ ගියේ පයිප්පෙ ගාවට, අර පොඩි කාලෙ ජ්‍යාමිතියෙදි කලේ ලක්ෂ්‍යයන් දෙකක් අතර කෙටිම දුර සෑමවිටම සරල රේඛාවකි කියල පාඩමක්, අන්න ඒ පාඩම අනුගමනය කරමින් තමයි ඔන්න ගියේ,

ඒ කිව්වෙ සරල රේඛාවට අහු වෙච්ච බාර්බටං,ඩේලියා, එක්සෝරා, ගාඩීනියා, මෙකී නොකී සියලු කුසුම් ගොමු තලා බිඳගෙන පොඩි කරගෙන තමයි මිගාර පයිප්පෙ ලඟට ලඟා උනේ,අර සිංදුවක් අහල ඇති නෙවද " පිපි මල් මතින් පියමං කලෝ ..............." හරියටම අන්න ඒ සිංදුවට හදාපු විෂුවල් එකක් වගේ,

සමරේ ප්‍රධාන ගෝල පිරිස දැන් බලා ඉන්නව කටවලුත් ඇරිල හුස්ම ගන්ඩත් අමතක වෙලා, සමරෙට බුදු ෂුවර් අද නම් මෙතන එකෙක් දෙන්නෙක් වල පල්ලට ගිහිං තමයි මේ කෙලිය ඉවර වෙන්නෙ කියලා,

ඔය පයිප්පෙ ගාවම තිබ්බලු පොලිස් ලොක්ක තායිලන්තෙං ගෙනාපු බොහෝම දුර්ලභ Bamboo Bush එකක්,



ඒ කිව්වෙ මේ උණ පඳුරක්, ඕකෙ අතු හින්දා හෝස් එක ගහන්ඩ බාධාවෙලා මිගාර කරල තියෙන වැඩේ ඕකෙ අතු ඔක්කොම අඹරවලා කඩල දාල, ඊට පස්සෙ කිසි ගින්නක් නැතුව බටෙත් ගහල, කරාමත් ඇරල කිව්වලු " ඔන්න හරි දැං වැඩ පටං ගනිල්ල, උඹල හිතුවෙ මාව අන්දවන්න නේද? එව්ව කොහෙද මේ මිගාර එක්ක "
ආ, අර පිපි මල් මතිං පිය මං කරපු සීන් එකට තව හේතුවක් උනේ ඔය කාලෙ මිගාර භාවිතා කලා අති දරුණු සඟක්, සඟ දන්නව නේ? සඟ = Sun glasses,

මිගාරගෙ අයියා ඒ දවස්වල් ඉඳල තියෙන්නෙ ජපානෙ, එහෙ හිම වැටෙන කාලෙ Glare එකට දාන බොහොම අඳුරු Sun glass එකක් තමයි ඒක, අයියා ආපු වෙලාවෙ මිගාර මේක ඉල්ලගෙන, ඕක දැම්මම මෙලෝ දෙයක් පෙනෙන්නෙ නැහැ, හරියට අර පොඩි කාලෙ හැංගි මුත්තං කරන්ඩ රෙදි පටියකිං ඇස් බැන්ද වගෙයි,ඕක දාගෙන ගිහිල්ල මිගාරට වෙච්ච අකර තැබ්බ ගැන කතා අනන්තයි, අප්‍රමාණයි, පොලේ බටු මිරිස් පාගගෙන ඒ උඩින් ගිහිල්ල එව්වට අලාභ ගෙවන්ඩ උනු එව්වා, කැළණි පෙරහැර කාලෙ පේව්මන්ට් එකේ විකුනන්ඩ තිබ්බ මැටි අලි ගොඩක් උඩින් ගිහින් අන්තිමට පොලීසිය දක්වා ඒ කචල් එක දිග්ගැහිච්චි හැටි වගෙ තවත් එව්ව තියෙනව, එව්ව ඔක්කොම කියන්ඩ බැහැ මෙතන,

කොහොම හරි Bottom Line එක තමයි මේ සඟ නිසා මිගාර පයිප්පෙ ලඟට ගියේ අර ලොක්කගෙ සුපිපුනු සුගන්ධවත් නේක වර්ණයෙන් සමලංකෘත වූ කුසුම් උයන හරි මැදින්,

හරි, දැන් ඉතිං වතුරත් තියෙනවා, අඩු පාඩුවක් නැහැ, කොල්ලො වැඩ, ඒත් බඩේ ගින්දරෙං තමයි, ඇයි උං දන්නවනෙ අර ලොක්කගෙ තරම, වැඩ කරනව කියන්නෙ තනි ඇහෙන් තමයි වැඩ, අනික් ඇහැ කොයි වෙලෙත් ගෙදර බැල්කනියෙ, මොකද හේතුව, උදේම අර පොලිස් ලොක්ක කරන්නෙ මූණ කට හෝදල කාරිය සඳලු තලයට ඇවිල්ල Deck Chair එහෙක දිගාවෙල දවසෙ පත්තර බලන එකයි,

අද ඉතිං හැමෝම බොහොම උනන්දුවෙං බලා ඉන්නෙ සඳලු තලය දිහා, හරියට සිරී පාදෙ මහ මලුවෙ ඉර සේවය බලන්ඩ පොදි කන බැතිමත්තු සූරිය දිවිය රාජයා මතු වෙනකල් නොඉවසිල්ලෙං බලා ඉන්නව වගේ,

ඉතිං ගෝලයො කොයි වෙලාවෙත් ගෙදර පැත්ත බල බල වැඩ කරන එකත් මිගාරට ඇල්ලුවෙ නැහැ " මොනවද බං, උඹල කොයි වෙලාවෙත් ඒ පැත්තමනෙ බලන්නෙ, කචල් එකක් ආවොත් මම බලාගන්නම්, උඹල බය නැතුව වැඩ කරහල්ල" මිගාරත් කෝකටත් ගේ දිහාව හොරැහිං බලන ගමන් කිව්වා,

" සර් නං කියයි, වෙඩි තිබ්බම අතිං අල්ලල නවත්තන්ඩයැ" සමරෙ ආයෙ සඳලුතලේ දිහාව බලන ගමන් කිව්වා,

මෙවුන් මෙච්චරම බයේ ගැහි ගැහි ඉන්න නිසා මිගාරටත් දැන් ඔන්න ටිකක් බයක් වාගෙ හිතුනා, හෙමිහිට කිට්ටු කලා සමරෙ ඉන්න අහට,

"ඈ, සමරෙ අයියා, ඔය ලොක්ක ගාව ඇත්තටම තුවක්කුවක් තියනවද? උඹට බුදු ෂුවර් ද?"

" මොනවද මේ අහන්නෙ හැබෑටම?, පහුගිය සුමානෙත් මේ ගේට්ටුව ඉස්සරහ මිනිහෙක් බීගෙන කුණුහරුප කිය කිය ගියා කියල වෙඩි තිබ්බ නෙව"


මතු සම්බන්ධයි,

Friday, March 4, 2011

පිපි මල්මතින් පියමං කලෝ............1




මේ කතාව සිද්ධ උනාය කියන්නෙ දැනට අවුරුදු පහලොවකට විතර කලින්,
මම දැනට අවුරුදු හතරකට විතර කලින් නුගේගොඩ කිට්ටුව තිබුනු ඉඳිකිරීම් සමාගමක රැකියාව කලා නෙව, ඉතිං සති අන්තයෙ තමයි ගෙදර යන්නෙ, නැවතිල හිටියෙ කෝට්ටෙ පැත්තෙ කොම්පැනියෙන්ම නොමිලේ සපයපු නවාතැනක, ඇත්තටම අපේ company එකේම අධ්‍යක්ෂ කෙනෙකුගෙ ගෙදර පිටිපස්සෙ හදාපු ඇනෙක්ස් එකක් වගෙ තැනක, ගෙවල් දොරවල් දුර බැහැර කට්ටිය මෙතන තමයි නැවතිලා හිටියෙ,


මම ඔය කියන දවස්වලත් හිටියා අපි පස්දෙනෙක්, ඉතින් රෑට වැඩ ඉවර වෙලා ඇවිත් නාල කියල පොඩිවට අඩියක් කාරිය ගහල ජොලියක් දාන එක සිරිතක්, මේ වාගෙ අවස්ථාවල කොම්පැනියෙ පරණ කට්ටිය එකල අතීතයේ සිද්ධ වෙච්ච රසබර සිදුවීම් අපි වගෙ අලුතින් ආපු අයට දැන ගන්ඩත් එක්ක කියනවා,


මේත් එහෙම කියාපු කතාවක් තමයි,මේකෙ ඇත්ත නැත්ත ගැන නම් මට සහතිකයක් නිකුත් කරන්න බැහැ, මොකෝ ඔය කියන කාලෙ මම මේ කොම්පැනියෙ වැඩ කලේ නැති නිසා, හැබැයි මේ කතාව කියාපු යාලුවා දහ අතේ දිවුරුවා මේ කතාව සම්පූර්ණ ඇත්තක්ය කියාල,


අපේ සමාගම කලේ ගොඩනැගිලි ඉඳිකිරීම, විශේෂයෙන් නිවාස, ඉතින් කොළඹ අවටම තමයි බොහෝවිට අපි වැඩ කරන්නෙ, සාමාන්‍යයෙන් නිවාස හතර පහක් වගෙ හදනව එකම කාලෙ, ඉතින් මේ වැඩබිමකට එක්කෙනා ගානෙ පත් කරල ඉන්නවා අපේ සුපර්වයිසර් මහත්තුරු,


වැඩවල තත්ව පාලනය, ඒ වගේම වැඩකරන කම්කරුවන් සහ පෙදරේරුවන්ට (Masons) වැටුප් ගෙවීම සඳහා වාර්තා තබා ගැනීම, අවශ්‍ය ද්‍රව්‍ය ඇණවුම් කිරීම ඔයවගෙ කටයුතු සහ මෙතන නොකී වැඩබිම් වල අත්‍යාවශ්‍ය අනෙකුත් කටයුතු ඉටු කෙරෙන්නෙ මෙයාලා අතින් තමයි.


ඉතින් මම මේ කියන්ඩ යන කතාවට අදාල වැඩබිම තිබිල තියෙන්නෙ විශ්‍රාම පලච්ච උසස් පොලිස් නිලධාරි මහත්මයෙකුගෙ ඉඩමෙ, ඒ ඉඩමෙම තිබුණු නිවාසයක තමයි එතුමා ඒ වෙනකොට පදිංචිවෙලා ඉඳල තියෙන්නෙත්,තමන් පදිංචි නිවාසයට අමතරව එතුමාට ඕන කරල තිබුනා තවත් නිවාසයක් හදන්න, අපි කියමු දුවෙකුට දෑවැද්දට දෙන්නෙයි කියල,


අනික් කාරණේ තව ගෙයක් හදන්නෙ මොකටද කියන එක කතාවට කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ, අලුතෙන් ගෙයක් හදන්ඩ පටන් ගත්තු එකයි, ඒ ගේ හැදිල්ල අපේ සමාගමට බාරදුන්නු එකයි තමයි කතාවට අදාල වෙන්නෙ හරිද?


මේ පොලිස් නිලධාරි මහත්මය හරිම රෙගුලාසි කාරයෙක්, මිනිහා අපෙ වැඩ කරන කට්ටියට දස පණතත් තවත් ඊට අමතරව පණත් කීපයකුත් පනවලා තමයි මුලින්ම වැඩ පටන් ගන්ඩ අවසර දීල තියෙන්නෙ,


ඒ කිව්වෙ බුලත් කාල හතර වටේ කෙල ගැසීම සපුරා තහනම්, දුම් පානය කොට සිගරට් කොට වත්ත පුරා දැමීම තහනම්,අසභ්‍ය වදන් භාවිතය තහනම්, ඔය වගෙ ජෙනරල් ඉන්ජන්ක්ෂන් වලට අමතරව සුවිශේෂ ස්ථාවර නියෝග කීපෙකුත් නිකුත් කරල තිබුනා මෙතුමා,


කිසිම හේතුවක් නිසා එයාලගෙ ගෙදරින් වැඩ වලට වතුර ගැනීම තහනම්, වත්තේ මල් සහ විසිතුරු පැළෑටි වලට හානි කිරීම තහනම් මේ සුවිශේෂී නියෝග අතර වැදගත්ම නියෝග, මෙතුමා විසිතුරු පැලෑටි වලට බොහොම ලැදියාවක් දක්වපු කෙනෙක්,


ගෙමිදුල පුරාම බැලූ බැලූ අත තිබිල තියෙන්නෙ පිටරටින් පවා ගෙන්නපු බොහෝම වටිනා පැළ සහ මල් වර්ග, කොටින්ම නිකං අර නන්දන උයන වගේ තමයි මෙතුමාගෙ ගෙමිදුල,ඇසට අසු වන මානයේ නොයෙක් වර්ග වල නා නා වර්ණ මල්, නොයෙක් වර්ගවල නොයෙක් වර්ණ විසිතුරු පැලෑටි වර්ග, සුවිශේෂී උණ පඳුරු, පොකුණු, හරිත වර්ණයෙන් දිදුලන තණ තිලි, බ්ලා......බ්ලා......බ්ලා........... ඊටීසී, ඊටීසී, දන්නවනෙ විස්තරේ, වැඩිදුර කියන්න ඕන නැහැනෙ නේද?


ඉතිං අපෙ කට්ටියත් ඔය දහසකුත් එකක් අණ පනත් ඔක්කෝම පිළිපැදගෙන වැඩ කරගෙන ගියාය කියල කියමුකෝ, මෙ යටහත් පහත් භාවයටත් ඉතාම වැදගත් හේතුවක් තිබුනා මොකක්ද? මුල්ම දවසෙ මේ උ.පො.නි. මහතා මේ නියෝග ඔක්කොම නිකුත් කරල තියෙන්නෙ තුවක්කුවක් හරි පිස්තෝලයක් හරි රිවෝල්වරයක් හරි මොකක් හරි අතේ තියාගෙනයි,


ඒ ආයුදය මොකක්ද කියල හරියටම තීරණයකට එන්ඩ තවම හැකියාවක් ලැබිල නැහැ ඇත්තම කිව්වොත්, දැනට උනත් අපේ සමාගමේ කට්ටිය එකතු වෙලා පොඩි සාදයක් කාරිය පවත්වනවා නම් අනිවාර්යයෙන් ඇදිලා එන මාතෘකාවක් තමයි අරෙ උ.පො.නි. මහතාගේ ආයුදය කුමන වර්ගයට අයත් එකක්ද කියන ඉතාම මතභේදකාරී ඒ වගේම උභතෝකෝටික ගැටලුව, කොටිම්ම අවුරුදු පාළහක් ගොහිල්ලත් තවම නැහැ ඒ ගැන හරි එකඟතාවයකට ඇවිල්ල ඔන්න ඇත්තම කිව්වොත්,


ඔය පිළිබඳ වාදෙ සමහර වෙලාවට කොච්චර හැඟීම්බර වෙනවද කිව්වොත් මම සහභාගි වුනු එක සාදයකදි,( මේක මම දැක්ක නිසා මට සහතික වෙන්නම පුලුවන් අවුලක් නැතුවම) අපේ දෙන්නෙක් ගුටි ඇණ ගත්තා මේ ප්‍රශ්නෙ විසඳා ගන්ඩ කෙරිච්ච කතා බහක් දුර දිග ගිහිල්ල, ලස්සනම වැඩේ ඒ එක්කෙනෙක් අපේ කොම්පැනියට බැඳිල තියෙන්නෙත් ඔය අදාල සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියායින් පස්සෙ,

හරි ආයෙම එමු බලන්න ප්‍රධාන කථා වස්තුවට,

ඔන්න කොහොමින් කොහොමින් හරි වැඩ කෙරීගෙන යනවය කියමුකො, මේ වැඩබිම බාරව හිටපු අපේ නිලධාරි මහත්තයට මොකක් හරි හදිසි උවමනාවක් වෙලා ගෙදර යන්ඩ වෙලා තියෙනව ඔන්න දවසක, ගෙවලුත් කොළඹින් දුර බැහැර නිසා දවස් දෙකක් නිවාඩු දාලයි ගොහිල්ල තියෙන්නෙ,


ඉතින් ඒ වෙනුවට පහුවදා වැඩබිමට ගියේ ඔන්න අපේ මේ කතාවෙ කතා නායක තුමා, වීරයද දුෂ්ඨයද විහිලු කාරයද කියන එක ඔයාලම තීරණය කරන්න, මම මොකවත්ම කියන්නෙ නැහැ ඕං, නොකිව්වයි කියන්න එහෙම එපා,

දැන් ඉතින් නමක් එපාය නේද? ම්ම්ම්ම්....... නම.... දාමු .... මිගාර කියල, හරි ඒ නම හොඳයි,


මිගාර ටිකක් එක විදිහක මනුස්සයා,කලු උස මහත නිකම් මහ කලු සිංහලය වගේ තමයි ඉන්නෙ, වැඩි වයසක් නැහැ, ඒ නිසාම ටිකක් සද්ද බද්ද එහෙම දාල මිනිස්සුන්ව බය කරල වැඩ ගන්ඩ කැමතියි, ඒ ඇරුනම වෙන කිසිම වැරැද්දක් ඇත්තටම නැහැ,අහිංසකයා, ඒ වගේම හරිම හිත හොඳ කොල්ලා, යාලුවො වෙනුවෙන් පණ උනත් දෙනව කියල අර කතාවට කියන්නෙ , අන්න ඒ ජාතියෙ බුවෙක්,

ඉතිං ඔන්න මිස්ටර් මිගාර ගියා උදේම්ම වැඩ බිමට, මෙන්න යනකොට මාරවැඩේ, බාස්ලයි ගෝලයොයි සෑම සියලු දෙනාම ෆුල් ආතල් එකේ වැලි ගොඩවල් උඩ, එතනින් ගිහාම සිමෙන්ති අට්ටි උඩ, ලී ගොඩවල් උඩ ඉඳගෙන බරටම කයිය,

මිගාරට උන්න මලා අමතක උනා මේක දැක්කම, " ඒයි, මොකද යකෝ, උඹලට වෙලා තියෙන්නෙ? වට වන්දනාවෙ ගිහිං කියලද බොලා හිතාගෙන ඉන්නෙ? ඔහොම ඉඳල කවද්ද මේ වැඩේ අහවරක් කරන්න හිතාගෙන ඉන්නෙ?" කියල දැම්ම සද්දයක්,

ඔතන අපේ වැඩ කරන කට්ටියගෙ ටීම් ලීඩර් හිටියෙ සමරෙ කියල හාදයෙක්, ඒ හැටි වයසකුත් නෑ, හොඳ අවංක මනුස්සයා, ඒ වගේම ඕන වැඩකට දස්සයා,


මෙන්න මේ සමරේ ආව ඉස්සරහට මේ වෙලාවෙ, "සර් අපි මේ......., වතුර බව්සරේ එනකල් බලා ඉන්නෙ" සමරෙ කිව්වා,

හැමෝම මේ ගැන දන්නවයි කියල මම හිතනවා, ඒත් නොදන්න අයගෙ දැන ගැනීම පිණිසයි මේ, ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේදී වතුර ඉතාම අවශ්‍ය දෙයක්, බදාම ඇනීම කොන්ක්‍රීට් ඇනීම ආදී සියලු දේට වතුර ඕනමයි,

" හුහ්, වතුර බව්සරේ එනකල්?, ඒක මාර වැඩක්නෙ, එතකොට කීයට හරි වතුර එනකල් උඹල ඔහොම වාඩි වෙලා කයිය ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ, එහෙමද? නිකමට හිතමු අද හවස් වෙනකල් වතුර ආවෙ නැහැ කියලා, එතකොට දවසම මෙතන නිකං ලගා ගහන්ඩ තමයි උඹලගෙ කල්පනාව එහෙමද? මේ, මේ, ඒ බබා උකුං මාත් එක්ක බෑ හරිද? එව්ව තියාගනිං අනික් මහත්තුරු අන්දවන්න, වහාම වැඩ පටං ගනිල්ල මම නරක මිනිහා කියන්නෙ නැතුව තේරුනාද " මිගාර පොලවෙ අඩි හැප්පුවා,



මතු සම්බන්ධයි,

Wednesday, February 16, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 3

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........1


කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........2



" ඔයා ලස්සනට කවි කියනව නේද?, ඔයාමද කවි හදන්නෙත්? "

" ඔව් මම ම තමයි " මම ඇහෙන නෑහෙන හඬින් කිව්වා,

" මම ගැනත් කවියක් හදල කියනවද? " ආයෙත් අර විදිලිය කෙටුවා මම යාන්තමට දැක්කා,

මම කතාවක් බහක් නැතුව ගින්දර දලු පොල්ලෙල්ල වටකොරාන මතුවෙනව බලාන හිටියා,

" බැරිද එහෙනං ? " ඒ පාර නං සුවරෙ ටිකක් තදයි

මං කතාකලේ නැහැ, මොනවා කියන්ඩද කියන එකත් මට හිතා ගන්ඩ බැරිවෙලා තිබුනෙ ඒ වෙලාවෙ,

" බැරිනං නිකා ඉන්ඩ, මහ ආඩම්බර කාරයෙක්නෙ, ආයෙ මා එක්ක කතා කරන්ඩවත් එපා " අර අපූරු සුවඳත් අරගෙන චුට්ටි මැණිකෙ මං ලඟින් නැඟිටල ගියා යන්ඩ,

" යන්ඩ එපා, කවියක් ඕනෙ නම් මම කියඤ්ඤං" මට ඒ ටික කියන්ඩ හොඳටම ඕන කම තිබ්බට වචන පිට උනේ නැහැ, හිතේ තියෙනදේ කියා ගන්ඩ බැරුව මම එහෙමම ගොලු වෙලා හිටියා,

කමලාවතී අක්ක තේ කෝප්පෙ හදාල ළඟට ඇවිදිල්ල අතට දෙනකනුත් මම දන්නෙ නැහැ කිව්වම, " මොකෝ ජයසේන, බයවෙලා වාගෙ?" කමලාවතී අක්ක ඇහැව්වා,

මම කමලාවතී අක්කයෙ මූණ බලල හිනාවෙල හිට, බිම බලාගෙන තේ කෝප්පෙ බිව්ව,

ටික වෙලාවක් එහෙම්මම කුස්සියෙම ඉඳල මම වලව්වෙන් එලියට බැස්සා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ ඉඳගෙන චූටි මැණිකෙ පොතක් බලනව මම දැක්කා,මා දිහා ඔලුව උස්සල බලල ආයෙත් ඒ එක්කම පොතට ඔලුව නවා ගත්තා,

මම ගේට්ටුව අරින්ඩ අගුලට අත තියන කොටම " තියෙන ආඩම්බරේ, අපි කවියක් කියන්ඩ කිව්වම තමයි බැරි, ආයෙ මෙහෙ නාවට කමක් නැහැ" චුට්ටි මැණිකෙ තමන්ටම හිමිහිට කියාගන්නව මට ඇහුනා, මම එහෙම්මම අගුලට අත තියාගෙන ටිකක් වෙලා හිටියා, ඊට පස්සෙ ගේට්ටුව ඇරල ආයෙත් ඒ පැත්ත නොබලාම බිම බලාගෙන හෙමිහිට ගෙදර ආව,

දැන් ඔන්න මේ වැඩේ වෙලා සතියකට කිට්ටු වෙනව, මම එදයින් පස්සෙ වලව්ව අහ ගියේම නැහැ, කමලාවතී අක්ක පහුනු දවසක පොලේදි හම්බ උනාම ඇහුවනෙ " මොකෝ ළමයො ඒ පලාතෙ දැන් නේන්නෙ? " කියාල,

මම ඉතිං මොනව කියන්නද, මම බිම බලාන හිනාඋනා, " ඔන්න චූටි මැණිකෙත් ඇහුව ඔය ළමය ගැන " කමලාවතී අක්ක එහෙම කියාගෙන එළවලු මල්ලත් උස්සගෙන ගියා, ඒ කියැව්වෙ ඇත්තටමද නැත්නම් කටට ආවට කියාපු එකක්ද හිතාගන්ඩ බැරුව මම කමලාවතී අක්ක පිටුපාල යන දිහා ඇහිපිය නොහෙලා බලාන හිටියා,

මම පිලේ ඉඳං හඳ බැහැල ඈත කඳු වල්ලලට මුවා වෙනකල්ම ඔව්ව මෙව්ව හිත හිත හිටියා, වවුලො ජම්බු ගහේ පොරකන සද්දෙට තමයි මම ආයෙ මේ ලෝකෙට ආවෙ, හෙට වලව්ව පැත්තෙ යන්න ඕනෙ, මට බැන්නත් කාරියක් නැහැ, බනින එකක් නැහැ, මම එහෙම එක හිත් හිතාන පිලෙං නැඟිට්ටා,

ඊයෙ රෑ එහෙම එක හිතිං හිතාන හිටියට උදේ නැඟිටිනකොට මයෙ හිත නිකම් දෙගිඩි දහරු වෙලා තිබුනෙ, යනවද නැද්ද කියල හිතාගන්ඩ බැරුව මම එහෙට මෙහෙට වෙවී හිටිය ඉර මුදුනක් වෙන්ඩ කිට්ටු වෙනකල්ම වගේ,

අන්තිමට මයෙ දෙපත් හිත මටම එපා වෙලා ඕන්න වෙන දෙයක් වෙද්දාවෙ කියල වලව්ව අහ ගියා,


ගේට්ටුව ගාවට කිට්ටුවෙන කොටම මයෙ දෑස් දිව්වෙ සේපාලිකා ගහ යට බංකුවට, වැඩක් උනේ නැහැ, එතන වස පාලුයි,

මම හෙමිහිට ගේට්ටුව ඇරගෙන කුස්සිය පැත්තටම ගියා, ඇස් වටේම දිව්වට වැඩක් උනේ නැහැ, හොයාපු දේ හම්බ උනේ නැහැ,

කමලාවතී අක්ක වෙනද වගේම ගිනි දලු එක්ක ඔට්ටු වෙවී හිටියා, මම පුරුදු බංකුවෙ ඈඳිගෙන පොලවෙ ඉර එළිය එහාට මෙහාට දඟලනව මහ අමුතු දෙයක් දැක්කහෙ විපරමෙන් බලා හිටියා,

"ආ, ජයසේන ළමයො කොයි වෙලාවෙද ආවෙ? මම දැක්කෙම නැහැ"කමලාවතී අක්ක කිව්වම මම හෙමිහිට හිනාවෙලා ඒ පැත්තට හැරුනා

"මොකෝ පහුගිය ටිකේ මේ පැත්ත පලාතෙ නාවෙ? චූටි මැණිකෙ යන්ඩ කලිං දෙ තුං වතාවක් ඇහුවා”

"යංඩ කලින්?" මම එහෙම ඇහුවෙ නැති උනාට එක පාරට කමලාවතී අක්ක දිහාවෙ බලපු බැල්මෙ ඒ ප්රිශ්නෙ ලියවිලා තිබුනු බව එයාටත් තේරුනා

"චුට්ටි මැණිකෙ ඊයෙ යන්ඩ ගියානෙ ආපහු"

මම ආයෙත් කමලාවතී අක්කයෙ මූණ දිහාවෙ බලං හිටියා,

"ආයෙ එන දවසක් කියන්ඩ බැහැ, දන්නෙ නැද්ද ඒ ළමයගෙ වැඩ,හිතුනු හිතුනු දේ නෙව කරන්නෙ"

මටම හිතාගන්න බැරි මහ මොකක්දෝ පාලු හිස් හැඟීමකින් හිත පිරිල උතුරල යද්දි මම කමලාවතී අක්ක දුන්නු තේ කෝප්පෙ තොල ගෑවා,

"ජයසේන ළමය ආ වෙලාවක,මෙන්න මේක දෙන්න කියල චූටි මැණිකෙ දීල ගියා " දුඹුරු පාට කරදහියක ඔතපු පාර්සලයක් මයෙ අතට දෙන ගමන් කමලාවතී අක්ක කිව්වා,

හීනෙන් ඇවිදින්නැහෙ මම ඒකත් අරගෙන කුස්සියෙන් පිට වෙලා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ වාඩි උනා,

ඒක ඇරල නොබල මම ටික වෙලාවක් ඒ දිහා බලා හිටියා, හුළඟේ පාවෙලා ආව සේපාලිකා මලක් ඒක උඩට වැටිල ආයෙම බිමට වැටුනා,

අන්තිමට මම පාර්සලේ ලිහල බැලුව, ඒකෙ තිබ්බෙ කොළරා කාලේ ආලේ පොතේ මුල් ඉංග්රීඒසි පොත,

අර එදා මයෙ නාස් පුඩු වලින් රිංගලා පපුව පුරාම පිරිච්ච සුවඳ පොතෙනුත් හැමුවද නැත්නම් ඒ මගෙ හිතේ හෝදිසියට ආපු සුවඳක්ද අනේ මංදා එහෙම දෙයක් මයෙ නහයටද හිතටද කොහෙද දැනුනා,

මම හෙමිහිට පොතේ පිටු එකින් එක පෙරලුවා, දෙවෙනි පිටුවට පස්සෙ තියෙන හිස් පිටුවෙ මයෙ ඇස් එහෙම්මම නතර උනා,




ජයේ,

ෆ්ලොරෙන්ටීනෝ ට එපමණ ඔබ කැමැත්තේ ඇයිදැයි තේරුම් ගැනීම්ට මම උත්සාහ කලෙමි,
ඒ කෙසේ වුවද ෆර්මිනා ෆ්ලොරෙන්ටීනෝ ගේ ආදරයට පිටු පෑවේ ඇයිද යන්න නම් තේරුම් ගතිමි යයි සිතමි,

සියල්ල සිදුවනුයේ වියයුතු හොඳම අයුරු නොව සිදුවිය යුතු යයි නියමවී ඇති ආකාරයට බව මම තරයේ විශ්වාස කරමි,

- චූටි මැණිකේ

සේපාලිකා මල් සුලඟේ පාවී චූටි මැණිකේ ලියූ අකුරු මතට සෙමින් පතිත වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි.


සුළඟ කොඳුරන හඬ කියන්නේ හදේ තෙරපෙන දුකද නොදනිමි,
විසිරි සේපාලිකා මල් පෙති හිරු රැසින් මැලවෙනු බලා ඉමි,
මසිත නැඟි සෙනෙහස කියන්නට පමා වූයේ ඇයි ද ළතවෙමි,
මගේ ඉරණම මියෙනතෙක් ඔබෙ නමින් දුක්වෙන්නට ද නොදනිමි,

Monday, February 14, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 2

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1 මෙතැනින් බලන්න.

" අනේ මම දන්නෙ නැහැ, උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරහං" අම්මා නැඟිටල බත බෙදාපු මඩක්කුවත් ඇන්න ගෙට ගියා,මම එහෙම්මම පිලේ දිගෑදිලා හඳ එලිය පිලට එනකල්ම කල්පනාවෙ ගිලිල හිටියා,


ඔය කතාව සිද්ද උනේ සුමානෙකට විතර උඩදි,

මෙදා පාර චුට්ටි මැණිකෙ ගමට ආවෙ සෑහෙන කාලෙකිං, මෙයිට කලියෙන් උනත් මම නිතරෝම නොයෙක් වැඩ පල වලට වලව්වෙ ගැවසෙන නිසා චුට්ටි මැණිකෙ මා ගැනත් මම චුට්ටි මැණිකෙ ගැනත් දැනගෙන හිටියා,

ඒත් ඒ දැනඇඳුනුංකම සීමා උනා, එයාට කරගන්ඩ ඕන දෙයක් ගැන මට කියන එකට,


"ජයසේන, තැපැල් කන්තෝරුවෙ මට පාර්සලයක් ඇති, ඒක අරන් එනවද? "

ආ, මට කියන්ඩ බැරි උනානෙ මයෙ නම ජයසේන, යාලුවො ඔක්කොම කිව්වෙ ජයේ කියල,


"ජයසේන මට මේ පොත් ටික මෙතන රාක්කෙ අහුරන්ඩ උදව් වෙනවද?"

ඔන්න ඔය වාගෙ, මම ඉතිං ඒ කියන දේ කලා, එච්චරයි,

චුට්ටි මැණිකෙ වැඩිපුර කියවන්නෙ ඉංග්‍රීසි පොත්, ඒ සමහරක සිංහල පරිවර්තන මම කියවල තියෙනවනම් අපි ඒ පොත් වල තියෙන චරිත, සිද්ධීන් ගැන සාකච්ඡා කලා, විවේචනය කලා,

මේ පාර හැබැයි මම චුට්ටි මැණිකෙගෙ වෙනසක් දැක්ක, ඒ කිව්වෙ මට ඒක හරියටම කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මට කතාකලේ ජයසේන කියල නෙවෙයි ජයා කියල,මයෙ ඇස් දිහාව බලාන කතා කරන කොට එයාගෙ ඇස් දෙකෙත් මහ අමුත්තක් මම දුටුව, මට ඒක මෙහෙමයි කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මොකක්දෝ මට නොතේරෙන මහ අමුතු දෙයක්,

රෑ වැහි ගැබ්බර වෙලා තියෙන ආකාහෙ හීන්වට විදිලි කෙටිල්ලක් එහෙම දැකල ඇතිනෙ, චූටි මැණිකෙගෙ ඇස් නිකම් අන්න ඒ වගේය කියලමයි මට හිතුනෙ, අරම විදිලි කොටන කොට අපි බලා ඉන්ඩ බැරුව ගිනිකණ වැටෙන්ඩ කලියෙන් ඇස් පියාගන්නව වගෙ චූටි මැණිකෙගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලෙ බලා ඉන්ඩ බයේ ඒ වගෙ වෙලාවට මම අහක බලා ගත්තා,

සති දෙහෙකට විතර කලින් මම ප්‍රාදේශීය සබා පුස්තකාලෙන් ගත්ත මාකේස් ගෙ "කොළරා කාලේ ආලේ" පොත, මේ දවස් වල මගේ හිතේ වැඩ කලේම ඒකෙ චරිත,ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්ටීනෝ අරීසා,ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් තමන්ට පිටුපාල වෙන කසාදයක් කර ගත්තු,තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් බලා හිටපු හැටි පොතේ කියවෙන සිද්ධිය මට අදහාගන්නත් බැරි තරමට චමත්කාරයක් ගෙනාවා,


පුදුම වැඩේ කියන්නෙ චූටි මැණිකෙත් මේ ලඟදි ඒකෙ ඉංග්‍රීසි පොත කියවල තිබුනා, ඉතිං අපි සෑහෙන වෙලාවක් ඔය ගැන වාද කල, එයාගෙ මතය උනේ ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් බලා හිටිය එක මහ මෝඩ වැඩක්ය, එහෙම දේවල් සැබෑලෝකෙ වෙන්නෙ නැතිය කියන එක,මම කිව්වෙ ඒ වගෙ සිදුවීමක් ඇත්තටම වෙන්ඩ පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි වැදගත් එහෙම කරනවනම් ඒ ආදරය වෙනුවෙන්ම කරන කැපකිරීමක්, ඒකෙන් සැබෑ ආදරයේ චමත්කාරය පෙන්නුම් කරනවය කියල,

මේ ගැන වාද කරන අතරෙ මම චූටි මැණිකෙගෙ ඇස්වල විදිලි කෙටිල්ල හොඳටම දැක්කා, ඒත් ඒ එක්කම ඇතිවුනු නුහුරු අමුතුම හැඟීමකුයි මොකක්දෝ බයක් වගෙ ගතියකුයි නිසා මම කොයිම වෙලාවක වත් ඒ විදිලි කෙටිල්ලට කෙලින් මුහුණ දෙන්න නොදී මග අරින්නමයි උත්සාහ කලේ,

මේ වාද වලදි මගේ කරුණු ඔප්පු කරන්න මම පොතේ ඡේද ගනන් කියෙව්වා චූටි මැණිකෙට ඇහෙන්ඩ, සමහර වෙලාවට මම සෑහෙන වෙලාවක් පොතෙන් කොටසක් චූටි මැණිකෙට ඇහෙන්ඩ කියවල "ඉතින් මෙන්න මේකෙන් ඔප්පු වෙනව නේද මම කියන කරුණු?" කියල ඔලුව උස්සල අහනකොට චූටි මැණිකෙ මගෙ මූණ දිහාම එක එල්ලේ බලා ඉඳල එක පාරට නින්දෙන් ඇහැරල වගෙ "මොකක්ද ජයේ කිව්වෙ ?" කියල අහල ඇස් නටවල හිනා වෙනවා,


" අහගෙන හිටියෙ නැද්ද? මම ආයෙත් කියන්ඩද?" මම ඇහුවම "එපා, එපා, ෆ්ලොරෙන්ටීනෝ ල අදට ඇති, යමු ටිකක් මිදුලට" චුට්ටි මැණිකෙ මාවත් ඇදගෙන යනවා මිදුලෙ සේපාලිකා ගහ යට තිබුනු බංකුවට,

"ජයේට ඕන විදිහකට ඔයා හිතාගන්න, හැබැයි ෆ්ලොරෙන්ටීනෝ කියන්නෙ මෝඩයෙක්, මගේ අදහස ඒකයි, ඔයත් කැමතිද ෆ්ලොරෙන්ටීනෝ කෙනෙක් වෙන්න?" මගෙ දෑසට එබීගෙනයි චුට්ටි මැණිකෙ අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ,

මම මොකවත්ම නොකියා පොත වහල දාල, බිම වැටිල තිබ්බ සේපාලිකා මල් හෙමිහිට එහෙ මෙහෙ හුලඟට පැද්දෙනව බලාගෙන හිනාඋනා,

"පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මෙයාගෙන් වචනයක් ගන්න, හරි ඒක දැන් ඇති, මට ආරංචියක් ආව ලස්සනට කවි ලියනව කියල, ඇත්තද? "ඒ පාර තව එකක්,

හොඳ වෙලාවට ඒ වෙලාවෙ චූටි මැණිකෙගෙ යාලුවෙක් ආව නිසා, අපේ කතාව එහෙම්මම නැවතුනා,


ඊට පහුවදා තමයි ඔන්න මේ වැඩේ සිද්ධ උනේ,

මම යනකොට වලව්වට චූටි මැණිකෙ එලි පෙහෙලියෙ පේන්ඩ හිටියෙ නැහැ, ඉතිං වෙනද පුරුදු විදිහට මම කුස්සියටම ගියා,

ඔය වෙලාවෙ මම හිටියෙ මුලුතැන්ගෙයි බංකුව උඩ, බිත්තියට හේත්තුවෙලා, වලව්වෙ ඉවුම් පිහුම් කරන කමලාවතී අක්ක ඩිංගකට කලියෙං ලිපට පොල්ලෙල්ලක් දාල "ජයසේන ළමයො, ඉඳහං මම ඉඟුරු අලයක් හාරං එඤ්ඤං තේකට දාන්ඩ" කියාගෙන මහ කොස් රුප්පාව යට දහයියා ගොඩ පැත්තට ගියා, මම හෙමීට කවියක් මුමුණ මුමුණ ලිපේ ගින්දර දිහා බලා හිටියා,

" සිහිල් සුලඟක් වෙලා ආවට මගේ සරතැස නිවා ලන්නට, ඔබගෙ පහසින් නිවුණු.................." අපූරු සුවඳක් මයෙ නහයෙන් ඇතුල් වෙලා පපුව පුරාම පැතුරුනා,

දෙයියෝ, චුට්ටි මැණිකෙ මං ගාවාට එනකල්ම දැක්කෙ නැහැ නෙව,

ඉස්සරෝම මම දැක්කෙ සුදුපාට සෙරෙප්පු දෙක, ඊට පස්සෙ රෝස පාට සායම් ගාපු දිග ඇඟිලි, එතනින් මගෙ ඇස් දෙක ඉහළට ගිහින් අන්තිමට නතර උනේ විදිලි කොටන ඇස් දෙක ලඟ,චුට්ටි මැණිකෙ ඇහිපිය වේගෙන් ගැහුවා, විදිලි එලිය දෙතුන් පාරක් ඇතිවෙලා නැති වෙලා ගියා, ගිණිකන වැටෙනවට බයේ මීමින්නො බිම බලා ගන්නව වගේ මම ආයෙම බිම බලා ගත්තා,

මෙන්න චුට්ටි මැණිකෙ ඉඳගනිපි මම හිටිය බංකුවෙම, මම හිමීට එහා කොණටම උනා,

" මොකෝ ජයේ, මම ඔයයිව ගිලින්නෙ නෑ "

චුට්ටි මැණිකෙ හිනා උනා,කුස්සියෙ අඳුර දුරුවෙලා ඉර හතක් පෑව්ව කියල මට හිතුනා,

-මතු සම්බන්ධයි-






Thursday, February 10, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1

ඊයෙ රෑත් මම කන්ඩ ගත්තු බත් පත එහෙම්මම තියල අත හෝද ගත්තා, මට මෙහෙම වෙලා දැං දවස් ගානක් වෙනවා, කන්ඩ ගත්තත් පිරියක් නැහැ, වතුර පොදක් වත් ගිරියෙං පල්ලෙහාට යවා ගන්නෙ බොහොම අමාරුවෙං,

අද පාළොස්සක දා නෙව, හඳ වෙන පාළොස්සකට වගේම අම්බුලුවාව කන්ද උඩිං පායල තිබ්බ, පංසල පැත්තෙං ගංටාර සද්දෙත් ඇහෙනව, වෙනද නං අම්මයි මායි මේ වෙලාවට පංසලේ,

බන ඉවරවෙලා අපි දෙන්න එන ගමං මම හඳ දිහාවෙ බලාගෙන කවි ගොතනව, එව්ව හෙමිහිට කියන කොට මයෙ අම්ම කට කොණකිං හිනාවීගෙන මයෙ දිහා බලනව,

ඔහොම ගෙදරට එන ටිකට මම කවි පහ හයක් හදල, ආපු ගමං මයෙ කොපි පොත අරං එව්ව ලියා තියනව, ඊට පස්සෙ අම්ම බෙදල දුන්නු බත් එකත් ඇන්න පිළට වෙලා ආයෙම හඳ දිහා බලාන තමා බත් ටික කන්නෙ,

ටිකකිං උන්දැත් ඒ කියැව්වෙ අපෙ අම්ම,මඩක්කුවට බත බෙදාන මා ලඟම ඇවිත් ඉඳගන්නව, මං ඉතිං කන ගමං එදා දවසෙ වෙච්චි ඔක්කොම උන්දැට කියනව,ඔහොම තමා අපි දෙන්නෙගෙ ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවිල ගියෙ, කාටවත් කරදරයක් නැහැ, අපිට කායෙංවත් කරදරේකුත් නැහැ,
මම ඉතිං ඔය අපෙ පරම්පරා කුඹුරු කෑල්ල වැඩ කරගෙන, අම්මවත් බලාගෙන හිටියා, කවියක් කියන එක තමයි මගෙ එකම විනෝදෙ උනේ,

ඒ ඇරුනම පොඩි කාලෙ ඉඳම්ම අතට අහුවෙන ඕන පොතක් කියවන එකත් මගෙ දිනචරියාවෙ එක කොටසක්, දවසකට අඩු ගනනෙ පොතක පිටු දහයක් පාලොහක්කත් කියෙව්වෙ නැත්නම් මට නිකම් බඩට කෑවෙ නැහැ වගේ අඩුවක් දැනෙන්නෙ,

අම්ම බත් එක බෙදාගන පිලට එනකොට මම හඳ දිහා අනිමිසලෝචනේ,

"මොකදැ පුතේ, උඹ අදත් බත් කටක් වත් කෑවෙ නැහැ නෙවද?"

මම උන්දැ දිහා බලල හිනා උනා,

"හිනැහෙන්ඩ එපා බං, ඇත්ත කියහං මොකෝ බොට වෙලා ඇත්තෙ?
"බලාපං උඹෙ හැටි, හිටියයිං බාගයයි,කන්නෙ නැහැ බොන්නෙ නැහැ මොකක්ද කියාපං මේකෙ තේරුම හැබෑටම?"

"වළව්වෙ චුට්ටි මැණිකෙ මයෙත්තෙක්ක අමනාප වෙලානෙ අම්මෙ" මම අම්මයෙ දෙපතුල් ගාව වැටිල හඳ දිහාවෙ බලාගෙනම කිව්ව,

"මං නිකමට හිතුව ඕක, දැං කීපදොහොකිං වලව්ව පැත්තෙ නොගිය කොට, " අම්ම මයෙ ඔලුව අතගාන ගමං කිව්ව, "මොකදෑ හැබෑට උනේ, ඒ ඇත්ති හොඳ ගුණ යහපත් දැරිවි වෙච්චි, උඹ මොනව හරි නොහොබිනා වැඩක් කරන්ඩ ඇති එකත් එකටම "

"ඕං ඉතිං මයෙ අම්මත් කියන එක, මම එහෙම දෙයක් හීනෙකිං වත් කරයි කියල අම්ම හිතනවැයි "මම හුරතල් උනා

"උඹෙ වෙලාව මේ දවස් වල හොඳ නැතුව ඇති කියල මට නිකමට හිතුන පුතේ, මම ඒ පාර අද උදේ ගුරුන්නාන්සෙ ගාවට උඹේ වේලපත්කඩේ අරං ගියා, උඹට බොහොම අපලය, කාලෙ බොහොම නරකය කියාල තමයි කියැව්වෙ"

මම මොකවත් කියැව්වෙ නැහැ, මම ඔව්වයෙ ඒ හැටි විස්සාසයක් නැති බව අපෙ අම්මත් හොඳාකාරවම දන්නවා,

ඉතිං ඔක්කොටම ඉස්සර චුට්ටි මැණිකෙ ගැන කියාල ඉන්ඩ එපාය, මට ඒක අමතකම උනු හැටි හැබෑටම අම්මපල්ල,

චුට්ටි මැණිකෙ කියැව්වෙ අපේ වලව්වෙ බාල දෝණි, ඔන්න ඔය ඒ ඇත්තිට අපූරු නමක් නං තියෙනව, ඒත් හැමෝම පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ චුට්ටි මැණිකෙය කියාල,
අනේ අම්මප, ඇස් වහක් කට වහක් නැහැ හරිම සීදේවි පාටයි, ඒ වගේම තමයි ගුන යහපත්කමත්,

"හැබෑට මොකෝ දැං ඔය උඹත් එක්ක චුට්ටි මැණිකෙ අමනාප වෙන්ඩ හේතුව? "අම්ම ඇහැව්ව

"අනේ මම දන්නෙ නැහැ, අපෙ අම්මෙ,"

අම්ම හීං සැරේ ඉස අත ගාද්දි මට නින්ද යාගෙන ආවා, පොඩි කාලෙ ඉඳම්ම මම ඔහොමයි, අම්ම ඔලුව අත ගාද්දි මට නින්ද යනව, අදෙයි කියාල වෙනසක් නැහැ

"නැගිටහං, මේකට මට උත්තරයක් දීල හිටිං, චුට්ටි මැණිකෙ විරසක වෙන්ඩ හේතුව කියහං හංගන්නෙ නැතුව"අම්ම සැර උනා

"අනේ, අම්මෙ මයෙ අතිං එහෙමට වරදක් උනේ නම් නැහැ නෙව"මම කෙඳිරි ගෑවා, ඒ උනාට මම සහසුද්දෙංම දන්නව ඇත්ත නොකිය අම්මයෙං ගැලවිල්ලක් නැතෙයි කියාල, මම නැත්නම් කවුදෑ දන්නෙ උන්දැගෙ හැටිට සොබාව,

"අනේ, නිකා ඉඳහං මම දන්නව නෙව උඹේ කෙරුවාව, ඉතිං කියහං හොඳ එකා වගෙ, තවත් හංගන්නෙ නැතුව"
දැන්නං බේරුමක්ම නැහැ, ඇත්තම කියන්ඩ වෙනව, එක අතකට මොනවට බයක් හැකක් වෙන්ඩයැ ආයෙ මම වැරැද්දක් කොරල ඇති එකක්ය,

"මට දවසක් වලව්වෙදි කවි කියන්නෙයි කිව්ව එයා ගැන "

අම්මත් එක පාරටම ඇස් ලොකු කොරාන මා දිහා බලාන හිටියා ටික වෙලාවක්, මොකොවත්ම ඇහුවෙ නැහැ, ඒත් මම දන්නව උන්දැ මයෙන් මම කියැව්වෙ මොනවදැයි කියන උත්තරේ බලාපොරොත්තු වෙනව කියල,

"මම බැහැ කියල ආව එන්ඩ, ඊට පස්සෙ තමයි චූටි මැණිකෙ මා එක්ක අමනාප උනේ," මම මිදුලෙ කණමැදිරියො නටන දිහා බලාගෙන කිව්වා,

" ඒ දැරිවි යස ගුණ යහපත් දැරිවි,අරම කියාපුත් එකේ උඹට කවියක් දෙකක් කියන්ඩ නෙව තිබ්බෙ මයෙ පුතේ " අම්ම ඇහෙන නෑහෙන අඬින් කියැව්වා,

ඊට පස්සෙ කිසිම කතා බහක් නැතුව සෑහෙන වෙලාවක් අම්මයි මායි දෙන්නම මිදුලට පාත් වෙච්ච හඳ එලිය දිහාවෙ බලං හිටියා,


-මතු සම්බන්ධයි-

Tuesday, January 18, 2011

ඔබ ලෝක විනාශය ඇති කරයි (ද?) [Chaos Theory - ව්‍යාකූලතා න්‍යාය]

ඉදිරි අඩ හෝරාව ඔබ ගත කරන ආකාරය අනුව ලෝකය විනාශ වනවා ද නැද්ද යන්න තීරණය විය හැක, so, what's your decision?, take your time because so much depends on it,

මෙහෙම කිව්වොත් ඇත්තටම බයක් හිතෙනව නේද? ඒ උනාට ඇත්තටම එහෙම දෙයක් වෙන්ඩත්, ඒ කියන්නෙ මම මේ කියන්ඩ යන කතාව ඇත්ත වෙන්ඩත්, හොඳටම ඉඩ තියෙනවා,

Chaos Theory කියල එකක් අහල තියෙනවද?, සිංහලෙන් නම් ව්‍යාකූලතා න්‍යායය, වර්තමානයේ නව දැනුම උදෙසා කෙරෙන පර්යේෂණ අතර වැදගත්ම තැනක් ගන්නෙ මේ ව්‍යාකූලතා න්‍යාය ගැන කෙරෙන සොයා බැලීම්,
http://en.wikipedia.org/wiki/Chaos_theory


The flapping of a single butterfly's wing today produces a tiny change in the state of the atmosphere. Over a period of time, what the atmosphere actually does diverges from what it would have done. So, in a month's time, a tornado that would have devastated the Indonesian coast doesn't happen. Or maybe one that wasn't going to happen, does. (Ian Stewart, Does God Play Dice? The Mathematics of Chaos, pg. 141)

මේ විදිහට තමයි ව්‍යාකූලතා න්‍යාය ගැන සරලව පැහැදිලි කරන්නෙ, ඒ කියන්නෙ අපි හිතමු කොහෙ හරි, ගාල්ලෙ කියමුකො,සමණලයෙක්ගෙ තටු සැලීම නිසා අවකාශයේ ඇතිවන ඉතාම කුඩා වෙනස නැත්නම් බලපෑම කාලයත් සමඟ ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ල මාසෙකට පස්සෙ ඉන්දුනීසියාවෙ ඇතිවිය හැකි කුණාටුවක් ඇතිවෙන්නෙ නැහැ, අනික් අතට ඒ බලපෑම නිසාම කුණාටුවක් ඇතිවෙන්ඩත් පුලුවන්,

ජීවිතෙත් ඔයාල හැමෝටම මම හිතන්නෙ ඔය වාගෙ අත්දැකීම් ඇති, ඒ සිදුවීම් ගැන අපි එහෙම නොහිතුවට මේ කාරණය හිතේ තියාගෙන ආයෙම පාරක් කල්පනා කලාම එක මොහොතක සුලු සිද්ධියක් නිසා අපේ ජීවිතේ කොපමණ වෙනසක් වෙන්ඩ පුලුවන්ද, වෙලා තියනවද, එහෙමත් නැත්නම් වෙන්ඩ ඉඩ තිබුනු වෙනස් කමක් උනේ නැද්ද කියලා හිතෙනව නේද?

සමහර විට, විවාහයක් දෙදරා යන්න, දරුවො දෙමව්පියො සදාකාලිකව ඈත් කරවන්ඩ, සහෝදර සහෝදරියො ජන්ම වෛරක්කාරයො වෙන්ඩ එක සුලු වචනයක්, එක සිද්ධියක් හොඳටම සෑහෙනවා, මම මේ කියන්නෙ ඒ සුලු වචනෙ නැත්නම් සිදුවීමම නෙවෙයි ඒකට හේතු කාරක වෙන්නෙ, ඒක තමයි මූලාරම්භය, අර මුලින් කිව්ව සමණලයගෙ පියාපත් සැලීම තමයි මෙතන එක නොසිතා කිය වෙච්ච වචනයක්, නැත්නම් අහඹු සිද්ධියක්,ඒක වර්ධනය වෙලා අන්තිමට කවුරුවත් හීනෙකින් වත් නොසිතපු මහා කුණාටුවක් වෙන්ඩ හොඳටම ඉඩ තියෙනවා,

හරි, දැං එමු ප්‍රධාන මාතෘකාවට, ඒ කිව්වෙ ඔබ නිසා ලෝක විනාශය සිද්ධ වෙන්නෙ හෝ නොවෙන්නෙ කොහොමද කියන එකට,

ඒක වෙන්නෙ එහෙම නැත්නම් ඒක වෙනව කියල මම හිතන්නෙ මෙන්න මෙහෙමයි,
දැං ඔයාල මේ ලිපිය කියවනවනෙ කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන, හරි? ඔන්න එනව ඔයාලගෙන් මොනව හරි කටයුත්තක් කරව ගන්න කවුරුහරි,ගනුදෙනු කරුවෙක් කියමු, මේ වෙලාවෙ ඔයාලට විකල්ප දෙකක් තියනවා, එකක් ඒ වැඩේ කරල දීල ඒ මනුස්සය පිටත් කරන එක, දෙක, මේ ලිපිය කියවල ඉවර වෙලාම ඉන්නව කියල හිතල අරයට කියනව "මම මේ වැඩේ ඉවර වෙනකල් විනාඩි විස්සක් විතර කරුණාකරල ඉන්නවද?" කියල,
ඔබ තෝරාගත්තෙ විකල්ප අංක දෙක කියමු, ඉතින් අර පුද්ගලයා විනාඩි විස්සක් නිකම් ඉන්න වෙලාවෙ තේ එකක් බීල එතහැකි කියල හිතල යනව පාරෙන් එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එකට,මේ මනුස්සය වෙන කල්පනාවක් පිට පාර පනින්ඩ ගිහින්, වේගෙන් ආපු ත්‍රී වීල් එකක් මෙයාව බේරන්ඩ පැත්තකට කපල, පෙරලෙනව පාර අයිනෙ,

මේ ත්‍රී වීල් එකේ ඒ වෙලාවෙ යන ගැහැණු ලමයෙකුට තුවාල වෙනවා, මේ ළමයා මේ යන්නෙ තමන්ගෙ පෙම්වතා හමුවෙන්ඩ, පෙම්වතාය කිව්වට මේ ඒ දෙන්නගෙ ප්‍රථම හමුවීම, මේ අනතුර නිසා අර හමුවීම කෙරෙන්නෙ නැහැ, අර පිරිමි ළමයා බලා ඉඳල යනව යන්ඩ, අනතුර වෙලාවෙ ගෑණු ළමයගෙ මොබයිල් ෆෝන් එක නැතිවෙන නිසා ආයෙ අර පිරිමි ළමයට කතාකරන්ඩවත් ක්‍රමයක් නැතිවෙනවා,

ඔන්න මේ ඇක්සිඩන්ට් එක නිසාවෙන් ඒ පටන් ගන්න ගිය ප්‍රේම සම්බන්ධය එහෙම්ම ඇණහිටිනවා,අර කියන්නෙ "ඇරඹුමම කඳුලක් වෙලා" කියල, අන්න ඒ සීන් එක, දැන් මතකයේ තබා ගතයුතු වැදගත්ම කාරණේ, මේ සිද්ධීන් දාමයටම හේතු වුනේ ඔබ ගත් තීරණය කියන එක, හරිද?

ඉතින් මේ ගැහැණු ළමයා වෙන කසාදයක් එහෙම කරගෙන දරුමල්ලො හදල කරල පස්සෙ මැරිල යනවා, වැදගත්දේ තමයි අර එදා අනතුර නොවී අර හමුවීම සැලසුම් කල පරිදි කෙරිල ඒ දෙන්න විවාහ උනා නම් මුලින්ම ලැබෙන්ඩ තිබ්බෙ පිරිමි දරුවෙක්, මේ දරුවා බොහොම ඥාණවන්තයෙක්,බුද්ධිමතෙක්,

තව අවුරුදු හරියටම පණහකින් විද්‍යාඥයො හොයාගන්නව අපේ සූර්යයා ඇතුලෙ සිද්ධවෙන න්‍යාෂ්ඨික ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය එකවරම සිය දහස් ගුණයකින් වැඩි වෙලා වසර දෙකක් ඇතුලත සූර්යයා පිපිරී විනාශ වෙනවාය කියලා, ඒ එක්කම ඉතිං අනිවාර්යයෙන් පෘථිවියත් විනාශ වෙන එක කියන්ඩ දෙයක් නෙවෙයිනෙ නේද? අපෙ පැරණි සාහිත්‍යයෙ කල්ප විනාසෙදි ඉර හතක් පායනව කියන්නෙත් මේ වැඩේටම තමයි ඔන්න,
මේ මහ විනාශෙ වළක්වන ප්‍රතිකර්මය හොයාගන්ඩ තරම් බුද්ධියක් තියෙන්නෙ අර මම කලින් කියපු දරුවට, ( දරුව කිව්වට මේ කාලෙ වෙනකොට වයස පණහකට කිට්ටු වෙලා ) විතරයි,ඉතිං ඔයා ගත්තු තීරණය නිසා ඒ දරුවට උපදින්ඩ වත් අවස්ථාවක් ලැබුනෙ නැහැ නෙව, මේ නිසා අනිවාර්යයෙන් වෙන දේ තමයි මුලු මිනිස් වර්ගයාත් එක්කම පෘථිවිය විනාශ වෙලා යන එක,



දැන් තේරුනා නේද ඔයා හින්ද මුලු පෘථිවියම විනාශ වෙන්නෙ කොහොමදැයි කියාල,
ඒ කියන්නෙ අර මනුස්සයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නනම් ලෝක විනාශය වැළැක්වෙනව කියන එකයි,
හැබැයි, අනික් අතට මෙහෙම දෙයක් වෙන්ඩත් පුලුවන්,

ඔයා ලෝක විනාසෙ වළක්වන්ඩ කියල හිතාගෙන අර මනුස්සයගෙ වැඩේ වහාම කරල දුන්නයි කියල හිතමු, එතකොට ඒ මනුස්සය පාරට යන වෙලාවට අර ත්‍රී වීල් එක එතනින් පාස් වෙල ඉවරයි, අර ගැහැණු ළමයයි, පිරිමි ළමයයි කතා කර ගත්තු විදිහට හම්බවෙනවා, දෙන්න පස්සෙ විවාහ වෙනවා, දරුවත් හම්බ වෙනවා, හැබැයි එකම වෙනස තමා, මේ පාර අර අසාමාන්‍ය බුද්ධිය පිහිටන්නෙ මේ දරුවට නෙවෙයි, අර ඇක්සිඩන්ට් එක උනොත් මේ ළමය වෙන කෙනෙක් බඳිනවනෙ, අන්න ඒ විවාහයෙන් උපදින දරුවට තමයි මේ බුද්ධිය පිහිටන්නෙ, ඉතින් මේ අවස්ථාවෙත් අනිවාර්ය ප්‍රථිපලය තමයි ලෝක විනාශය,

ඉතින් අන්තිමට කියන්ඩ තියෙන්නෙ,
අනේ මන්දා,සමහරවිට ඔබ නිසා ලෝකෙ විනාශ වෙන්ඩත් පුලුවන්, විනාශයෙන් ගැලවෙන්ඩත් පුලුවන් කියන එක තමයි,


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...