
අද මම මේ කියන කතාව සිද්ධ උනේ මම හිරේ වැටිච්චි අලුත.ඒ විස්තරේ මම කලින් කිව්වනෙ දෙපාරකට.
හිරේ වැටුනු හැටි 1
හිරේ වැටුනු හැටි 2
ඉතින් ඔන්න ඔහොම හිරෙත් වැටිල, ඒකත් නරකම නැහැනෙ කියල දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගත කරද්දි, ඔන්න මට ආරාධනාවක් ලැබිච්චි යන්ඩ, මහා ට්‍රිප් රාජයෙක්. අපේ හාමිනේගෙ ඉස්කෝලෙන් අවුරුදු දෙහෙකට සැරයක් යන වාර්ෂික අධ්‍යාපන චාරිකාව. ළමයි, ගුරු මණ්ඩලය සහ ගුරු මණ්ඩලයේ කලත්‍රයන් යන තුන් වනක් මහ පිරිස සහභාගී උනා මේ මහා චාරිකාවට. ආයෙ සෙල්ලං එහෙම නැහැ ඔන්න.
ඕං ඔය උඩ තියෙන වන්ඩිය වගෙ එකක තමයි අපි ගියෙ.
ඉතින් මේ මහා ට්‍රිප් රාජයාගෙ එක වැදගත් සංධිස්ථානයක් උනේ බොරැල්ලේ ගෝතමී විහාරය නැරඹීමයි.දන්නවනෙ අර ජෝජ් කීට් මහත්මයගෙ චිත්‍ර තියෙන සුප්‍රසිද්ධ පූජනීය ස්ථානය. ඔය කාල වකවානුවෙ සාපෙ ට නියම වෙලා තිබුන කීට්ගෙ චිත්‍ර ගැන ඉගෙන ගන්ඩ. ඒ නිසාමයි ඒ දරුවන් වෙනුවෙන් මේ ගෝතමී විහාරෙ ගමන යොදා ගත්තෙ.
ඉතින් ඔන්න අපි ආපු බස් දෙක පාරෙ නවත්තල, කට්ටියම ගියා විහාරෙ ඇතුලට.
ඉස්කෝලෙ චිත්‍ර භාර ගුරුවරයා, නම.... ජයන්ත, ඔන්න පටන් ගත්ත ළමයින්ට කීට්ගෙ චිත්‍ර ගැන පැහැදිලි කරන්න. ඒ කිව්වෙ .....වර්ණ භාවිතය, ......හැඩ තල, .....ඇඳීමේ ශෛලිය, එතනින් ගිහාම කීට් චිත්‍ර ඇන්දේ හිටගෙනද?, ඉඳගෙනද?, බුදියාගෙනද? නැත්නම් මේ තුන් ඉරියව්වටම අයිතිනොවෙන අමුතුම ඉරියව්වකින්ද?,චිත්‍ර අඳිද්දි කීට් කෑවෙ මොනවද? බිව්වෙ මොනවද? බුලත් විටක් කාල කෙල ගැහුවෙ කොපමණ දුරකටද? ඔන්න ඔය වාගේ මෙකී නොකී, කීට් පිළිබඳව විශය නිර්දේශයේ තියෙන බොහොම වැදගත් කාරණා අටෝරාසියක් ගැන ජයන්ත දෙනවා විස්තරේ ඇස් උඩ තියාගෙන.ළමයිත් මීයට පිම්බ වගෙ අහගෙන ඉන්නවා.
චිත්තර දේසනාව නැගල ගියා. ඒ අතරෙ හෙමිහිට, හෙමිහිට, කාටත් නොදැනෙන්ඩ, ගුරු මංඩලේ පුරුස පක්සෙ කට්ටිය එකා දෙන්නා එලියට යන්න පටන් ගත්තා.දන්නවනෙ ............අර තියෙන්නෙ, කර්මාන්ත කටයුතු කියල........,අන්න එව්වෙගෙ එහෙකට.........., දවල් නිසා ඉතින් සුලු පරිමාණ කර්මාන්තයක් තමයි කොරන්න වෙන්නෙ.
" රවී, යමු නේද බස් එක පැත්තෙ?" ප්‍රින්සිපල් තුමා මගෙ කණටම කරල ආරාධනා කළා,
එතුමා පෞද්ගලිකවම ආරාධනා කලාම බැහැ කියන්නෙ කොහොමෙයි? නැද්ද, එහෙම කරන එක එතුමාගෙ තනතුරටත් කරන අගෞරවයක්නෙ, අපි ඇවිල්ල ගුරු භක්තිය ඇතුව හැදුනු උදවිය, අපිට උගන්නපු ගුරුවරුන්ට විතරක් නෙවෙයි ඕනම ගුරුවරයෙක්ට අපි ගෞරව කරනවා,.....එහෙමයි අපි,....හරිය? .ගුරුවරයෙක් යමක් කිව්වම ඒක පිළිපදින්න ඕනය කියලයි අපිට උගන්නල තියෙන්නෙ,
ඉතින් මගෙ හිත ඇතුලෙ ඔන්න ගුරු ගෞරවයයි පතිනි භක්තියයි අතර මහ යුද්ධයක්.අන්තිමට බොහොම අමාරුවෙන් දැඩි සටනකට පස්සෙ, ගුරු ගෞරවය, සටන ජය ගත්තා.
මම ඉතින් වට පිට හෙමිහිට බැලුවා, ඇහැ කරකෝල කාරිය අපෙ බාරියා තොමෝ එහෙම කොයි හරියෙද කියල.බලනකොට තව ගුරු මණ්ඩලේම ලලනාවො කට්ටියක් එක්ක බොහෝම වැදගත් සාකච්ඡාවක. ඒ කිව්වෙ, මේ චාරිකාවට සහභාගි උන පිටස්තර අංගනාවියන්ගෙ ( ගුරුවරුන්හෙ බාරියාවන්ගෙ ) ඇඳුම් පැළඳුම්, ආභරණ පිළිබඳ මැදහත් සිතින් කෙරෙන ගුණ දොස් සමාලෝචනයක යෙදෙනවා ඔන්න ඒ ඇත්ති.
දැන් අවුලක් නැහැ, ඔය සමාලෝචනේ ඉවර වෙන්නෙ නෑ තව වරුවකට, මමත් හෙමින්ම එලියට වැඩම කලා, ඒ කරල පාර අයිනෙ නවත්තල තිබ්බ බස් එකක පස්සෙම සීට් එකේ කෙරීගෙන ගිය සුලු පරිමාණ කර්මාන්තයට එක් උනා,
ඔන්න ඉතින් ටික ටික බස් රථ අභ්‍යන්තරයෙහි කරුමාන්තෙ නැගල ගියා, ප්‍රින්සිපල් තුමා හරිම අගේ ඇති මනුස්සයා, දාහකින් හොයා ගන්න බැරි ගුණ යහපත් දරුවා, ලොකු සෑර් කියල තමයි හැමෝම හැඳින්නුවෙ, මම නම් කිව්වෙ අයියා කියලයි,
ටිකකින් ලොකු සෑර් බස් එකේ ජනේලෙන් බලල කියාපි, "රවී, එන පොට හොඳ නැහැ, අන්න පොලිසියෙන් එලියට බැහැල හෝදිසි කරනව දැං තව ටිකකින් මේ පැත්තට එනවා, එහෙම උනොත් මහ ජංජාලයක් තමයි වෙන්නෙ, ඊට කලින් ගිහින් මොනව හරි කියල ෂේප් කරල දාහං " කියාල,
මමත් හෙමිහිට බැලුව ජනේලෙන්, වම් ඇහැ විතරක් එළියට දාල. ඇත්තම නෙවෙන්නම්. බාරියා තොමෝ මිදුලට බැහැල අංශක 180 ක කෝණයක්,( මතක විදිහට නම් ඒකට කියන නම සරල කෝණයක් වෙන්න ඕනෙ ) සෑදෙන පරිදි සිරුර ස්ථාවරව තිබියදී, බෙල්ලෙ කශේරුකා පමණක් භාවිතා කරමින් හිස සෙමෙන් සෙමෙන් කරකවමින් අවට නීරීක්ශනය කරනවා.එයා ඉතින් ශාරීරික අධයාපන විශය කරන නිසා ඔව්වගෙ දේවල් ඇඟෙම්ම එනවා.
තවත් කාරණයක් ඔය බැඳපු අලුත නිසා ඔය සෝදිසි කිරීම් එහෙම ඉතාම බහුලයි. දැන්නම් අපරාදෙ කියන්න බැහැ, ඔය හොදි විසි කිරීම්, කඩා පැනිලි ඔක්කොම එයාටම හිතිල නවත්තල තියෙන්නෙ. මම කියල එහෙම නම් නෙවෙයි ඔන්න. එයාටම හිතිලමයි.කිසිම පල ප්‍රයෝජනයක් තේරුමක් නැති වැඩක්, කාලයක් කරගෙන යනකොට, කාට උනත් එපා වෙනවනෙ. ඒකෙ පුදුම වෙන්ඩ දෙයක් ආයෙ මොකවත්ම නැහැ.
ඉතින් මොකද කරන්නෙ?, ............මම කලේ හෙමිහිට බස් එකේ අනිප්පැත්තෙං බැහැලා පාර දිගේ ටිකක් ඉස්සරහට ගිහිං අනික් ගේට්ටුවෙං ඇතුල් වෙලා පංසල පැත්තට මොකවත් නොදන්න ගානට වට පිට එහෙම බල බල යන එකයි.
දැන් ඔන්න මෙතුමී මගෙ ඉස්සරහට එනව, මාව තාම දැක්කෙ නැහැ.මම වටපිට බලනකොට දැක්ක,ඉස්කෝලෙ ස්ටාෆ් එකේ තව ගුරු බවතෙක් වන නිශාන්ත වම්පැත්තෙ දාර අඹ ගහක් යට තියෙන කොන්ක්‍රීට් ලෑල්ලක් උඩ වාඩි වෙලා බර කල්පනාවක්.ඔය නිශාන්ත ඉතාම අහිංසක පුද්ගලයා.මත්පැන දුම යනාදී සියලු දුසිරිත් වලින් දුරින්ම දුරුවෙලා ඉන්න කෙනෙක්. අර ලහිපිටේ මංගල යෝජනා වල මනමාලයො හොයන්නෙ, අන්න එහෙම ජාතියෙ එකෙක්. එකෝම එක පොඩි වැරැද්දක් තියෙන්නෙ විචාර බුද්ධිය කියන එක ටිකක් විතර මදි පාඩුවට තමයි පිහිටල තියෙන්නෙ. එක අතකට ඒක අඩුපාඩුවක් කියල කියනව නම්, ලංකාවෙන් 99% කටම ඒ අඩුපාඩුව පිහිටල තියෙන නිසා එච්චර ගනන් ගන්න දෙකුත් නෙවෙයි.
ඔන්න මට ආව මරු අයිඩියා පොඩ්ඩක්.මට හිටපු ගමන් පහල වෙනව නෙව,ඉතාම බුද්ධිමත් නැණවත් ආනුභාව සම්පන්න අයිඩියාස්. විශේෂයෙන්ම බාරියා තුමී ඔය වාගෙ කඩා ගෙන බිඳගෙන ඉස්සරහට එනකොට. Survivel Instinct කියල කියන අර වනචාරී යුගයෙ ඉඳල මනුශ්‍ය සංහතියට ඉතාම උපකාරීවූ හැඟීම මෙතනත් ක්‍රියාත්මක වෙලා, මගෙ හිතට දැම්ම අර මම කලින් කියාපු එල අයිඩියා පොඩ්ඩ.
මොකක්ද දන්නවයි මේ මහාර්ඝ අයිඩියා එක? නිශාන්තය එක්ක කයියක් ගහගෙන හිටිය නම් හරි. මොකෝ බාරියා තොමෝ දන්නව නිශාන්ත කියන්නෙ කහ වතුර දාල හදපු බෝ පැලයක් කියල.ඒක නිසා මාත් නිකම්ම ගොඩ.
මම දහ අතේ කල්පනා කලා, මොනව ගැනද මේකා එක්ක කතා කරන්නෙ කියල. ඇඹරි ඇඹරි ඉන්ඩ වෙලාවකුත් නැහැ, එතුමිය එනව කඩාගෙන බිඳගෙන බොහොම ආසන්නෙම. මම කිව්වනෙ නිශාන්තය කොන්ක්‍රීට් ලෑල්ලක් වගෙ එකක් උඩ ඉඳගෙනය හිටියෙ කියල. මම ඉතින් කටට ආපු එක කිව්වා.
" ඒයි, නිශාන්ත, කොහෙද උඹ ඔය ඉඳගෙන ඉන්නෙ? නැගිටහං, නැගිටහං "
නිශාන්තය බර කල්පනාවකනෙ හිටියෙ, බය වෙච්ච පාර උඩ පැනල නැඟිට්ටෙ,
" ඇයි ඇයි අයියෙ, ඇයි? "
නිශාන්ත මගෙ ගැන පුදුම ගෞරවයක් තිබ්බෙ හෙහ්,........ හෙහ්, මිනිහ හිතාගෙන හිටියෙ මම නොදන්න දෙයක් නැහැ කියල, බොරුත් නෙවෙයි ඉතිං, මම කොහොමත් ඕනම දෙයක් ගැන කතා කරනවනෙ ඒ විෂය ගැන PHD එකක් ගහපු විදිහට,හෙහ්,............හෙහ්,
" ඇයි කියන්නෙ?, හුහ්, ඒක අහන ලස්සන, උඹ හිතං ඉන්නෙ ඔය ඉඳන් ඉන්නෙ මොකක් උඩය කියලද? "
නිශාන්ත ආපහු බැලුව ඉඳන් හිටපු තැන දිහා," මේක මේ කොන්ක්‍රීට් ලෑල්ලක්නෙ "
" හරි බං කොන්ක්‍රීට් ලෑල්ලක් නං තමයි. ඒත් උඹ දන්නවද ඔය ලෑල්ල යට තියෙන්නෙ මොකක්ද කියල. ෂුවර් ඇන්ඩ් ෂොට් උඹ දන්නෙ නෑ. දන්නවනම් උඹ කීයටවත් ඕක උඩ ඉඳගෙන ඉන්නෙත් නැහැ" මම කියවගෙන ගියා. සුලු පරිමාණ උනාට කර්මාන්තයත් නරකම නැහැ. බඩු වැඩ. " යකෝ, ඔතන යට තමා ජෝජ් කීට් තැම්පත් කරලා තියෙන්නෙ "
නිශාන්තගෙ ඇස් උඩ ගියා, අඩි දෙකතුනක් පස්සට..... ගියා නෙවෙයි යැවුනා." අම්මපා, ඔය කියනකං මං දැනං හිටියෙ නැහැනෙ, අර ජයන්ත වත් කිව්වෙ නැහැනෙ "
ජයන්ත...... මතකයිනෙ. අපේ සිත්තර ගුරුන්නාන්සෙ.
"කියන්ඩ ඌ දැනං ඉන්ඩ එපැයි ඉස්සෙල්ලා. අනේ ඌයි මායි දන්න ජෝජ් කීට්"
දැං මගේ වැඩේ සාර්තකයි, මගෙ වැඩේ කිව්වෙ බාරියා තොමෝ ශේප් කර ගැනිල්ල, එතුමිය එතනට ආවා" ආ, දෙන්නා බර කතාවක් වගේ " කියාගෙන,
නිශාන්තයා කිව්ව "හා, හා, මැඩම්, බලාගෙන, මෙතන තමයි ජෝජ් කීට් මහත්තයා තැම්පත් කොරපු තැන, මට හරි අප්සෙට්, මම දන්නෙ නැතුව මේ සමාධිය උඩ ඉඳගෙනත් හිටියනෙ "
අපෙ ඔය බාරියා තුමී ඉන්නව නේද? ඔහොම හිටියට බොහොම හොඳ බුද්ධියක් තියෙන උන්දෑ. ඒක ඔප්පු වෙන හොඳම සාධකය තමා උන්දෑ කසාද බඳින්ඩ තෝර ගත්තු පුද්ගලයා.ඉතාම බුද්ධිමත්, උගත්.........යනාදී වශයෙන් සියලුම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ උත්තමයෙක් තමයි ඔන්න එතුමී තෝරාගත්තෙ. අනේ, ඇස් වහක් කට වහක් නැහැ. සියලු දෙවියෝ ආරස්සා කොරල දෙන්ඩ ඕන, ඒ උත්තමයව,.දාහකින් වත් හොයා ගන්ඩ බැහැ එවන් උතුමෙක්. මම ඉතිං බොරු කියන්නෙ මක්කටෙයි.
ආ....මේ කාරණෙත් කියන්ඩම එපාය.මෙතන මගේ එකම චෙතනාව උනේ බාරියා තොමෝ බුද්ධිමත්ය කියාල, සාදක සහිතව ඔප්පු කරන එක විතරයි. නෝ මෝ, නෝ ලෙස්, ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් ඕ. කේ.?
බාරියා තොමෝට මේ කීට්ගෙ සමාදි වැඩේ එක පාරට ඇල්ලුවෙ නැහැ. මගෙ මූනත් දිහාවෙත් බලල කිව්වා" ඉතිං එහෙම වැදගත් තැනක් නම් කෝ ඉතිං වටේ සුද්ද කරලවත් නැහැනෙ,වටේට දංවැලක් දාල මල් ටිකක් වත් වවල තියෙන්ඩ එපාය කොහොමද දැන් නිශාන්ත දන්නෙ?"
මම ආයෙ එක මොහොතක් එතැන රැඳුනෙ නැහැ. සීඝ්‍ර ගමනං භවිස්සති කියල පුරාන ඉරිසින්නන්සෙල කියල තියෙන්නෙ බඩු වැඩි වෙච්චි වෙලාවක නෙවෙයිනෙ.
මතු සම්බන්ධයි




