Thursday, March 24, 2011

සිත්තරාගේ සමාධිය ..........1







අද මම මේ කියන කතාව සිද්ධ උනේ මම හිරේ වැටිච්චි අලුත.ඒ විස්තරේ මම කලින් කිව්වනෙ දෙපාරකට.

හිරේ වැටුනු හැටි 1

හිරේ වැටුනු හැටි 2

ඉතින් ඔන්න ඔහොම හිරෙත් වැටිල, ඒකත් නරකම නැහැනෙ කියල දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගත කරද්දි, ඔන්න මට ආරාධනාවක් ලැබිච්චි යන්ඩ, මහා ට්‍රිප් රාජයෙක්. අපේ හාමිනේගෙ ඉස්කෝලෙන් අවුරුදු දෙහෙකට සැරයක් යන වාර්ෂික අධ්‍යාපන චාරිකාව. ළම‍යි, ගුරු මණ්ඩලය සහ ගුරු මණ්ඩලයේ කලත්‍රයන් යන තුන් වනක් මහ පිරිස සහභාගී උනා මේ මහා චාරිකාවට. ආයෙ සෙල්ලං එහෙම නැහැ ඔන්න.


ඕං ඔය උඩ තියෙන වන්ඩිය වගෙ එකක තමයි අපි ගියෙ.

ඉතින් මේ මහා ට්‍රිප් රාජයාගෙ එක වැදගත් සංධිස්ථානයක් උනේ බොරැල්ලේ ගෝතමී විහාරය නැරඹීමයි.දන්නවනෙ අර ජෝජ් කීට් මහත්මයගෙ චිත්‍ර තියෙන සුප්‍රසිද්ධ පූජනීය ස්ථානය. ඔය කාල වකවානුවෙ සාපෙ ට නියම වෙලා තිබුන කීට්ගෙ චිත්‍ර ගැන ඉගෙන ගන්ඩ. ඒ නිසාමයි ඒ දරුවන් වෙනුවෙන් මේ ගෝතමී විහාරෙ ගමන යොදා ගත්තෙ.

ඉතින් ඔන්න අපි ආපු බස් දෙක පාරෙ නවත්තල, කට්ටියම ගියා විහාරෙ ඇතුලට.

ඉස්කෝලෙ චිත්‍ර භාර ගුරුවරයා, නම.... ජයන්ත, ඔන්න පටන් ගත්ත ළමයින්ට කීට්ගෙ චිත්‍ර ගැන පැහැදිලි කරන්න. ඒ කිව්වෙ .....වර්ණ භාවිතය, ......හැඩ තල, .....ඇඳීමේ ශෛලිය, එතනින් ගිහාම කීට් චිත්‍ර ඇන්දේ හිටගෙනද?, ඉඳගෙනද?, බුදියාගෙනද? නැත්නම් මේ තුන් ඉරියව්වටම අයිතිනොවෙන අමුතුම ඉරියව්වකින්ද?,චිත්‍ර අඳිද්දි කීට් කෑවෙ මොනවද? බිව්වෙ මොනවද? බුලත් විටක් කාල කෙල ගැහුවෙ කොපමණ දුරකටද? ඔන්න ඔය වාගේ මෙකී නොකී, කීට් පිළිබඳව විශය නිර්දේශයේ තියෙන බොහොම වැදගත් කාරණා අටෝරාසියක් ගැන ජයන්ත දෙනවා විස්තරේ ඇස් උඩ තියාගෙන.ළමයිත් මීයට පිම්බ වගෙ අහගෙන ඉන්නවා.


චිත්තර දේසනාව නැගල ගියා. ඒ අතරෙ හෙමිහිට, හෙමිහිට, කාටත් නොදැනෙන්ඩ, ගුරු මංඩලේ පුරුස පක්සෙ කට්ටිය එකා දෙන්නා එලියට යන්න පටන් ගත්තා.දන්නවනෙ ............අර තියෙන්නෙ, කර්මාන්ත කටයුතු කියල........,අන්න එව්වෙගෙ එහෙකට.........., දවල් නිසා ඉතින් සුලු පරිමාණ කර්මාන්තයක් තමයි කොරන්න වෙන්නෙ.

" රවී, යමු නේද බස් එක පැත්තෙ?" ප්‍රින්සිපල් තුමා මගෙ කණටම කරල ආරාධනා කළා,

එතුමා පෞද්ගලිකවම ආරාධනා කලාම බැහැ කියන්නෙ කොහොමෙයි? නැද්ද, එහෙම කරන එක එතුමාගෙ තනතුරටත් කරන අගෞරවයක්නෙ, අපි ඇවිල්ල ගුරු භක්තිය ඇතුව හැදුනු උදවිය, අපිට උගන්නපු ගුරුවරුන්ට විතරක් නෙවෙයි ඕනම ගුරුවරයෙක්ට අපි ගෞරව කරනවා,.....එහෙමයි අපි,....හරිය? .ගුරුවරයෙක් යමක් කිව්වම ඒක පිළිපදින්න ඕනය කියලයි අපිට උගන්නල තියෙන්නෙ,

ඉතින් මගෙ හිත ඇතුලෙ ඔන්න ගුරු ගෞරවයයි පතිනි භක්තියයි අතර මහ යුද්ධයක්.අන්තිමට බොහොම අමාරුවෙන් දැඩි සටනකට පස්සෙ, ගුරු ගෞරවය, සටන ජය ගත්තා.

මම ඉතින් වට පිට හෙමිහිට බැලුවා, ඇහැ කරකෝල කාරිය අපෙ බාරියා තොමෝ එහෙම කොයි හරියෙද කියල.බලනකොට තව ගුරු මණ්ඩලේම ලලනාවො කට්ටියක් එක්ක බොහෝම වැදගත් සාකච්ඡාවක. ඒ කිව්වෙ, මේ චාරිකාවට සහභාගි උන පිටස්තර අංගනාවියන්ගෙ ( ගුරුවරුන්හෙ බාරියාවන්ගෙ ) ඇඳුම් පැළඳුම්, ආභරණ පිළිබඳ මැදහත් සිතින් කෙරෙන ගුණ දොස් සමාලෝචනයක යෙදෙනවා ඔන්න ඒ ඇත්ති.

දැන් අවුලක් නැහැ, ඔය සමාලෝචනේ ඉවර වෙන්නෙ නෑ තව වරුවකට, මමත් හෙමින්ම එලියට වැඩම කලා, ඒ කරල පාර අයිනෙ නවත්තල තිබ්බ බස් එකක පස්සෙම සීට් එකේ කෙරීගෙන ගිය සුලු පරිමාණ කර්මාන්තයට එක් උනා,

ඔන්න ඉතින් ටික ටික බස් රථ අභ්‍යන්තරයෙහි කරුමාන්තෙ නැගල ගියා, ප්‍රින්සිපල් තුමා හරිම අගේ ඇති මනුස්සයා, දාහකින් හොයා ගන්න බැරි ගුණ යහපත් දරුවා, ලොකු සෑර් කියල තමයි හැමෝම හැඳින්නුවෙ, මම නම් කිව්වෙ අයියා කියලයි,

ටිකකින් ලොකු සෑර් බස් එකේ ජනේලෙන් බලල කියාපි, "රවී, එන පොට හොඳ නැහැ, අන්න පොලිසියෙන් එලියට බැහැල හෝදිසි කරනව දැං තව ටිකකින් මේ පැත්තට එනවා, එහෙම උනොත් මහ ජංජාලයක් තමයි වෙන්නෙ, ඊට කලින් ගිහින් මොනව හරි කියල ෂේප් කරල දාහං " කියාල,

මමත් හෙමිහිට බැලුව ජනේලෙන්, වම් ඇහැ විතරක් එළියට දාල. ඇත්තම නෙවෙන්නම්. බාරියා තොමෝ මිදුලට බැහැල අංශක 180 ක කෝණයක්,( මතක විදිහට නම් ඒකට කියන නම සරල කෝණයක් වෙන්න ඕනෙ ) සෑදෙන පරිදි සිරුර ස්ථාවරව තිබියදී, බෙල්ලෙ කශේරුකා පමණක් භාවිතා කරමින් හිස සෙමෙන් සෙමෙන් කරකවමින් අවට නීරීක්ශනය කරනවා.එයා ඉතින් ශාරීරික අධ‍යාපන විශය කරන නිසා ඔව්වගෙ දේවල් ඇඟෙම්ම එනවා.





තවත් කාරණයක් ඔය බැඳපු අලුත නිසා ඔය සෝදිසි කිරීම් එහෙම ඉතාම බහුලයි. දැන්නම් අපරාදෙ කියන්න බැහැ, ඔය හොදි විසි කිරීම්, කඩා පැනිලි ඔක්කොම එයාටම හිතිල නවත්තල තියෙන්නෙ. මම කියල එහෙම නම් නෙවෙයි ඔන්න. එයාටම හිතිලමයි.කිසිම පල ප්‍රයෝජනයක් තේරුමක් නැති වැඩක්, කාලයක් කරගෙන යනකොට, කාට උනත් එපා වෙනවනෙ. ඒකෙ පුදුම වෙන්ඩ දෙයක් ආයෙ මොකවත්ම නැහැ.

ඉතින් මොකද කරන්නෙ?, ............මම කලේ හෙමිහිට බස් එකේ අනිප්පැත්තෙං බැහැලා පාර දිගේ ටිකක් ඉස්සරහට ගිහිං අනික් ගේට්ටුවෙං ඇතුල් වෙලා පංසල පැත්තට මොකවත් නොදන්න ගානට වට පිට එහෙම බල බල යන එකයි.

දැන් ඔන්න මෙතුමී මගෙ ඉස්සරහට එනව, මාව තාම දැක්කෙ නැහැ.මම වටපිට බලනකොට දැක්ක,ඉස්කෝලෙ ස්ටාෆ් එකේ තව ගුරු බවතෙක් වන නිශාන්ත වම්පැත්තෙ දාර අඹ ගහක් යට තියෙන කොන්ක්‍රීට් ලෑල්ලක් උඩ වාඩි වෙලා බර කල්පනාවක්.ඔය නිශාන්ත ඉතාම අහිංසක පුද්ගලයා.මත්පැන දුම යනාදී සියලු දුසිරිත් වලින් දුරින්ම දුරුවෙලා ඉන්න කෙනෙක්. අර ලහිපිටේ මංගල යෝජනා වල මනමාලයො හොයන්නෙ, අන්න එහෙම ජාතියෙ එකෙක්. එකෝම එක පොඩි වැරැද්දක් තියෙන්නෙ විචාර බුද්ධිය කියන එක ටිකක් විතර මදි පාඩුවට තමයි පිහිටල තියෙන්නෙ. එක අතකට ඒක අඩුපාඩුවක් කියල කියනව නම්, ලංකාවෙන් 99% කටම ඒ අඩුපාඩුව පිහිටල තියෙන නිසා එච්චර ගනන් ගන්න දෙකුත් නෙවෙයි.

ඔන්න මට ආව මරු අයිඩියා පොඩ්ඩක්.මට හිටපු ගමන් පහල වෙනව නෙව,ඉතාම බුද්ධිමත් නැණවත් ආනුභාව සම්පන්න අයිඩියාස්. විශේෂයෙන්ම බාරියා තුමී ඔය වාගෙ කඩා ගෙන බිඳගෙන ඉස්සරහට එනකොට. Survivel Instinct කියල කියන අර වනචාරී යුගයෙ ඉඳල මනුශ්‍ය සංහතියට ඉතාම උපකාරීවූ හැඟීම මෙතනත් ක්‍රියාත්මක වෙලා, මගෙ හිතට දැම්ම අර මම කලින් කියාපු එල අයිඩියා පොඩ්ඩ.

මොකක්ද දන්නවයි මේ මහාර්ඝ අයිඩියා එක? නිශාන්තය එක්ක කයියක් ගහගෙන හිටිය නම් හරි. මොකෝ බාරියා තොමෝ දන්නව නිශාන්ත කියන්නෙ කහ වතුර දාල හදපු බෝ පැලයක් කියල.ඒක නිසා මාත් නිකම්ම ගොඩ.

මම දහ අතේ කල්පනා කලා, මොනව ගැනද මේකා එක්ක කතා කරන්නෙ කියල. ඇඹරි ඇඹරි ඉන්ඩ වෙලාවකුත් නැහැ, එතුමිය එනව කඩාගෙන බිඳගෙන බොහොම ආසන්නෙම. මම කිව්වනෙ නිශාන්තය කොන්ක්‍රීට් ලෑල්ලක් වගෙ එකක් උඩ ඉඳගෙනය හිටියෙ කියල. මම ඉතින් කටට ආපු එක කිව්වා.

" ඒයි, නිශාන්ත, කොහෙද උඹ ඔය ඉඳගෙන ඉන්නෙ? නැගිටහං, නැගිටහං "

නිශාන්තය බර කල්පනාවකනෙ හිටියෙ, බය වෙච්ච පාර උඩ පැනල නැඟිට්ටෙ,

" ඇයි ඇයි අයියෙ, ඇයි? "

නිශාන්ත මගෙ ගැන පුදුම ගෞරවයක් තිබ්බෙ හෙහ්,........ හෙහ්, මිනිහ හිතාගෙන හිටියෙ මම නොදන්න දෙයක් නැහැ කියල, බොරුත් නෙවෙයි ඉතිං, මම කොහොමත් ඕනම දෙයක් ගැන කතා කරනවනෙ ඒ විෂය ගැන PHD එකක් ගහපු විදිහට,හෙහ්,............හෙහ්,

" ඇයි කියන්නෙ?, හුහ්, ඒක අහන ලස්සන, උඹ හිතං ඉන්නෙ ඔය ඉඳන් ඉන්නෙ මොකක් උඩය කියලද? "

නිශාන්ත ආපහු බැලුව ඉඳන් හිටපු තැන දිහා," මේක මේ කොන්ක්‍රීට් ලෑල්ලක්නෙ "

" හරි බං කොන්ක්‍රීට් ලෑල්ලක් නං තමයි. ඒත් උඹ දන්නවද ඔය ලෑල්ල යට තියෙන්නෙ මොකක්ද කියල. ෂුවර් ඇන්ඩ් ෂොට් උඹ දන්නෙ නෑ. දන්නවනම් උඹ කීයටවත් ඕක උඩ ඉඳගෙන ඉන්නෙත් නැහැ" මම කියවගෙන ගියා. සුලු පරිමාණ උනාට කර්මාන්තයත් නරකම නැහැ. බඩු වැඩ. " යකෝ, ඔතන යට තමා ජෝජ් කීට් තැම්පත් කරලා තියෙන්නෙ "

නිශාන්තගෙ ඇස් උඩ ගියා, අඩි දෙකතුනක් පස්සට..... ගියා නෙවෙයි යැවුනා." අම්මපා, ඔය කියනකං මං දැනං හිටියෙ නැහැනෙ, අර ජයන්ත වත් කිව්වෙ නැහැනෙ "

ජයන්ත...... මතකයිනෙ. අපේ සිත්තර ගුරුන්නාන්සෙ.

"කියන්ඩ ඌ දැනං ඉන්ඩ එපැයි ඉස්සෙල්ලා. අනේ ඌයි මායි දන්න ජෝජ් කීට්"

දැං මගේ වැඩේ සාර්තකයි, මගෙ වැඩේ කිව්වෙ බාරියා තොමෝ ශේප් කර ගැනිල්ල, එතුමිය එතනට ආවා" ආ, දෙන්නා බර කතාවක් වගේ " කියාගෙන,

නිශාන්තයා කිව්ව "හා, හා, මැඩම්, බලාගෙන, මෙතන තමයි ජෝජ් කීට් මහත්තයා තැම්පත් කොරපු තැන, මට හරි අප්සෙට්, මම දන්නෙ නැතුව මේ සමාධිය උඩ ඉඳගෙනත් හිටියනෙ "

අපෙ ඔය බාරියා තුමී ඉන්නව නේද? ඔහොම හිටියට බොහොම හොඳ බුද්ධියක් තියෙන උන්දෑ. ඒක ඔප්පු වෙන හොඳම සාධකය තමා උන්දෑ කසාද බඳින්ඩ තෝර ගත්තු පුද්ගලයා.ඉතාම බුද්ධිමත්, උගත්.........යනාදී වශයෙන් සියලුම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ උත්තමයෙක් තමයි ඔන්න එතුමී තෝරාගත්තෙ. අනේ, ඇස් වහක් කට වහක් නැහැ. සියලු දෙවියෝ ආරස්සා කොරල දෙන්ඩ ඕන, ඒ උත්තමයව,.දාහකින් වත් හොයා ගන්ඩ බැහැ එවන් උතුමෙක්. මම ඉතිං බොරු කියන්නෙ මක්කටෙයි.

ආ....මේ කාරණෙත් කියන්ඩම එපාය.මෙතන මගේ එකම චෙතනාව උනේ බාරියා තොමෝ බුද්ධිමත්ය කියාල, සාදක සහිතව ඔප්පු කරන එක විතරයි. නෝ මෝ, නෝ ලෙස්, ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් ඕ. කේ.?

බාරියා තොමෝට මේ කීට්ගෙ සමාදි වැඩේ එක පාරට ඇල්ලුවෙ නැහැ. මගෙ මූනත් දිහාවෙත් බලල කිව්වා" ඉතිං එහෙම වැදගත් තැනක් නම් කෝ ඉතිං වටේ සුද්ද කරලවත් නැහැනෙ,වටේට දංවැලක් දාල මල් ටිකක් වත් වවල තියෙන්ඩ එපාය කොහොමද දැන් නිශාන්ත දන්නෙ?"

මම ආයෙ එක මොහොතක් එතැන රැඳුනෙ නැහැ. සීඝ්‍ර ගමනං භවිස්සති කියල පුරාන ඉරිසින්නන්සෙල කියල තියෙන්නෙ බඩු වැඩි වෙච්චි වෙලාවක නෙවෙයිනෙ.

මතු සම්බන්ධයි














Monday, March 14, 2011

දුකම මිහිරක් වූ කල.............. - When sorrow becomes a sort of way of life,



පිපුණු මලෙක පෙති මත ඉසි පිණි කඳුලු,
රැඳුනු වත කමල දෙ අදර රත ලපලු,
ලිහුනු මුහුල සඟවයි නෙක හද මියුරු,
නැඟුනු සඳ ඇයයි සහසක් නෙතු පොබයූ,



පවර නුවරක පසිඳු වූයේ නුඹ රුසිරූ,
කවර අරුමෙද මසිත් මත් කල අයුරූ,
දවන සිත් නුඹය නෙතු යුග කල මුකුලු,
හමන නළ නුඹ පමණි මා සිත් සැනැහූ,



අකල් නුබ ගැබට පෑයූ ඒ සඳය,
සිහිල් දිය බිඳක් වූයෙත් ඒ නුඹය,
ලිහිල් මේ කුලක තැවරුනු රන් පැහැය,
විසල් දිවි මඟද එලිකල තරු කැකුල,



දිලෙන තරුවකි පැතිරි අහසක නිම්නැති,
දුරක හිඳ නෙතු අයාගත් වන සිටිනෙමි,
පිපුනු කුසුමකි දසත විහිදෙන සුවඳැති,
විඳිනු මිස කිසිදාක මට හිමි වනු නැති,





Thursday, March 10, 2011

70. ප්‍රියයාණෙනි!!! - 02



ඇය : මේ ඒක නෙමෙයි, මං තනියෙම එනකොට බයික් එකේ පැච් එකක් ගියොත් මොකද කරන්නේ ?

ඔහු : කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ වහාම හදිසි ඇමතුම් අංශය අමතන්න. ඔයා කොහේ හිටියත් විනාඩි 20ක් ඇතුලත වාර්තා කරලා ඇති.

එසේ පවසමින් ඔහු සිනහා වෙයි. ඇයටත් සිනහා පහළ වෙලා. ඒ සිනහවෙන්ම,

ඇය: හ්ම්.......... එතකොට මට කරන්න තියෙන්නේ බයික් එක නවත්තලා ලඟ පාත තියෙන පේස්ට්‍රි ෂොප් එකකට ගිහින් මොනවා හරි කාලා ඉන්න නේද?

ඔහු: ඔව්නේ. මං එනකම් ටික වෙලාවක් ඉන්න වෙනවානේ.

ඇය: ම්ම්... එතකොට පැච් එකක් ගියොත් ලඟපාත කෙනෙක්ගෙන් වින්කලයක් ගැරැජ් එකක් තියෙන තැන නෙමෙයි, පේස්ට්‍රි ෂෝප් එකක් තියෙන තැන තමයි අහන්න ඕනේ නේද?

නිමේෂයක් ගතවුනා. ඔහුත් ඇයත් පෙරටත් වඩා සිනහා වෙන්නවුනා.

කියවන ඔබට ඒ සිදුවීම කෙසේ දැනුනාදැයි නොදනිමි. ඒත් ඒ අප ජීවිතයේ තවත් එක් සොඳුරු නිමේෂයකි.


**********************************************


ඇය: මේ, ලබන ආත්මේ මං බකින්හැම් පැලස් එකේ තමයි ඉපදෙන්න හිතාගෙන ඉන්නේ.

ඔන්න ඔහුට කොක්හඬලන්නට කාරණයක්,

ඔහු: හාකෝ, ඒකත් නරක නැහැ අදහස

ඇය: ම්ම්.......... මං බකිංහැම් පැලස් එකේ ඉපැදෙනවා. ඔයා ඊට අල්ලපු පැලස් එකේ ඉපදෙන්න. එහෙම හොඳයි නේද?

ඔහු: ඔව් ඔව්......... මොකද නරක.......... වෙල් ප්ලෑන්ඩ්...............

ඇය: මේ ඒක නෙමෙයි, ඔයා මොකද කියන්නේ, ඔයා කැමති රජ වෙන්නද? වල්ලභ කුමාරයා වෙන්නද?

ඔහු: ??? මොකක් කිව්වා? ඒ කවුද?

ඇය: මෙහෙමයි. රජතුමාගේ වයිෆ් බිසව, රැජණගේ හස්බන්ඩ් වල්ලභ කුමාරයා, දැන් පිලිප් ආදිපාදතුමා ඉන්නේ....... ආන් එයා එළිසබෙත් රැජණගේ වල්ලභ කුමාරයා. දැන් තේරුනාද අහපු එක?

ඔහු: ආහ්......... හරි හරි දැන් මතක් වුනා. ඔන්න ඔහේ ඔයා කැමති එකක්. ඔය කොයික වුනත් එකයිනේ නේද?

ඇය: ඒකත් හැබෑව, ලෝකෙටම රැජණ වුනත් ගෙදරට වයිෆ්නේ නේද?

ඔහු: ආ............ ඒ කියන්නේ මට නෝ ඔප්ෂන්ස්, වල්ලභ කුමාරයාම තමයි නේද?

ඒ සිනාවෙන්ම අපි ගම්පහ නගරයට සේන්දු වූයෙමු.


**********************************************

ඔබගෙ සෙවනේ
රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන් ...
ඔබගේ සරණේ
නොනිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා ...



**********************************************


පසුගිය වසරේ මාර්තු 10 වෙනිදා මම ඔහු ගැන තරමක් දීර්ඝ ලිපියක් ලියමින් බොහෝ දේ සටහන් කරන්නට යෙදුනෙමි. මට මතක ඇති ආකාරයට මවිසින් නිදහස් සිතුවිලි බ්ලොගර් වෙතට ගෙන ආ පසුව වැඩිම දෙනෙක් අදහස් පළ කල පළමු ලිපිය එයයි. අද මම මේ ලිපිය ලියන විට එම ලිපිය නොබලන්නට සිතුවෙමි. එම ලිපියේ බලපෑම මෙම ලිපියට නොලැබන පරිද්දෙන් ලිවීමට මා හට අවැසි විය.


තිසරණ සරණයි දෙවි රැකවරණයි ඔහු එදා සේම අදත් හැමදා සිටි මාගේ ප්‍රියයාමය. මේ දිවිගමන නිමවනදා වනතුරුත් එයින් ඔබ්බටත් ඔහු එසේම සිටිවී. එසේම සිටීවා!!!

ඉඳින් දීර්ඝ ලිපියක් ලියා කියවන ඔබ වෙහෙසට පත් නොකරමි. මෙවන් ලිපියක් අදටත් වඩා සතුටින් ලබන වසරේදී ලියන්නට මා හට හැකි වේවා! යන ප්‍රාර්ථනයත් සමගින් නවතිමි.

(පිංතූරය ලබා දීම වෙනුවෙන් සයිබර්යායේ පදිංචි කෙහෙල්කොටුවෙ චූටිමහත්තයාට ස්තුතියි)




Wednesday, March 9, 2011

" පිපි මල්මතින් පියමං කලෝ............3

පිපි මල්මතින් පියමං කලෝ............1

පිපි මල්මතින් පියමං කලෝ............2




නෑහ්........ඉතිං? .........ඒ යකා මලාද? "

" නැහැ, නැහැ, මලේ නැහැ, මිනිහට වදින්ඩ නෙවෙයි වෙඩි තිබ්බෙ, අහකට, බය කරන්ඩ, ඒ මිනිහ මම හිතන්නෙ බයටම බාගෙට මැරුනා, වැටි වැටි දිව්වෙ, හැබැයි අද නම් මොකිං මොකක් වෙයිද මන්දා, මොකද ඔය මහත්ත
යා අර උණ පඳුරට මාර ආදරෙයි, හැමදාම කොලයක් ගානෙ අත ගානවා, ඒකත් එක්ක කථා කරනවා, එක වැඩයි "

ඔන්න දැන් ඔබ පුල පුල බලා සිටි ඒ උද්වේග
කර අවස්ථාව උදාවන ඒ අසිරිමත් මොහොත, ...............විශ්‍රාමලත් උසස් පොලිස් නිලධාරීතුමා උදෑසන මුහුණ කට දොවා සුපුරුදු පරිදි සඳලු තලයේ උදෑසන ලහිරු කැන් දහරාවන්හි පහස විඳිමින් දිනපතා ප්‍රවෘත්ති පත්‍ර කියවීම පිනිස සැපත් වන මොහොත උදා වූ....................වගා....යි!!!

සමරෙ තමයි මුලුන්ම දැක්කෙ," ඔන්න ආවා, ඔන්න ආවා " බොහොම හෙමිහිට මිගාරට කිව්වා,

" කෝ බං මට පෙනෙන්නෙ නැහැනෙ , බැල්ක
නියෙ මොන යකෙක් වත් නැහැනෙ "

" ඔය දාගෙන ඉන්න එකත් එක්ක මෙලෝ දෙයක් පෙනෙ
යිය? ඕක ගලෝල බලන්ඩකො "

" අප්පට සිරි, අර ඉන්නෙ පොරද? "

" ඔව්, ඔව්, තාම වැඩි හෝදිසියක් නැහැ, පත්තරේ බල බල නෙව ඉන්නෙ, කෝකටත් සර් අපි කට්ටිය හෙමි හිට ගේට්ටුව පැත්තට කිට්ටු කරන එක ඇඟට ගුණවෙයි මට නම් හිතෙන්නෙ, "

ඉතින් ඔහොම ආතතිය සපිරි මිනිත්තු කිහිපයක් ගෙවිල ගියා, අපේ කට්ටිය උඩට ගත් හුස්ම පහලට නොහෙලා බලා ඉන්නවා උ.පො.නි. තු
මා දිහා, වැඩත් ඔක්කොම නැවතිලා, මේ අමුත්ත තේරිලාමද කොහෙද එතුමා පත්තර බැලිල්ල නවත්තල බැලුව මොකද මේ කට්ටිය වැඩ ඔක්කොම නවත්තල බලා ඉන්නෙ කියලා,
බැලුවා තමයි, එතුමා පුටුවෙන් නැගිට්ටා නෙවෙයි උඩ පැනල නැගිට්ටවිලා

" Oh, my god, what the f*** have you done to my garden?, sweet jesus, you fools , you have totally destroyed it, I am going to kill each & every one of you personally, that's a promise " කියලා මරහඬ දුන්නා,

මිගාර ඇහුවා සමරෙගෙන් " සමරෙ අයියා, මොනවද අර ලොක්ක වෙඩි කාපු ඌරෙක් වගෙ බෙරිහන් දෙන්නේ"

" මම කොහොමද දන්නෙ? සර්ටත් තේරෙන්නෙ නැත්නම් මට තේරෙන්නෙ කොහොමද? මොක උනත් කෑගහන විදිහට හොඳ දෙයක් නම් කියනව වෙන්න බැහැ, තාම අවුලක් නැහැ, අතේ තුවක්කුව නැහැනෙ "

" සමහර වෙලාවට තුවක්කුව කැඩිල වෙන්ඩත් පුලුවන් නේද? " මිගාරගෙ මූණෙ දිලිසෙන, හීන් සහ මහ දාඩිය යන දෙවර්ගයම අතරින් හිනාවක් මතු උනා,

" නෑ, ඔය ලොක්ක ගාවා තුවක්කු එකක්ම නෙවෙයි, මම හිතන විදිහට දෙක තුනක් වත් අඩු ගණනෙ තියනවා " හිනාව මතු උනාට වැඩිය ඉක්මනින් එහෙම්මම මැකිල ගියා,

ලොක්කා ඊට පස්සෙ බැල්කනියෙ වැටෙන් පාතට එබිලා,මිගාර පියමං ක
ල මඟ ඔස්සේ ඇස් විහිදුවමින් තැලී පොඩි වී ඇති මල් වර්ග වල නම් එකින් එක කියන්න පටන් ගත්තා

" See.. that's a very expensive geranium, ....
. Some fool had trampled it,....OMG, what I have done to deserve this? "

" සර්, දැන්නම් එන පොට හොඳම නැහැ, ඔය තාම උණ පඳුර දැකල නැතුව ඔහොම බෙරිහන් දෙන්නෙ, කෝකටත් තෛලය කියල ගේට්ටුව පැත්තට පහු බහිමු,ඔය සුරේ තියෙන්නෙ හෙණරාජ තෙල වත්ද? " සමරෙ ඇහුවෙ මිගාර එල්ලන් හිටපු සුර රාජයා දැකල,

" පිස්සුද බං මොන හෙණ රාජයක්ද? මේක මේ මම හීනෙං බය වෙනවට එල්ලාපු එකක්," මිගාරත් ටික ටික සමරේ අනුගමනය කරමින් ගේට්ටුව දිහාවට Withdraw වෙන ගමන් උත්තර දුන්නා,

ඔන්න මේ මොහොතේ නිලධාරී තුමා දැක්කා එතුමාගෙ සදාදරණීය උණ පඳුර, හරියටම කිව්වොත් තිබ්බ උණ පඳුරෙන් ඉතිරි වෙලා තියෙන නෂ්ඨාවශේෂ,

ඒක දැකල එතුමා පිට කරපු වේදනාබර විලාපය සංවේදී හදවතක් තියන ඕනෑම කෙනෙකුගෙ ලොමු දැහැගන්වන සුලුයි කියලයි මේ කතාව මට කියාපු පුද්ගලයා කිව්වෙ,

උණ පඳුර දැකල ලොක්ක මුලින් විලාප තිබ්බ, ඊට පස්සෙ ජම්බෙ වගෙ රතු උනා, උපරිමත් තවත් ටිකක මල, කොටිම්ම ඉන්ගිරිසුත් අමතක උනා,සිංහලෙම්ම තමයි ඊට පස්සෙ,

" දෙයියෝ සාක්කි, මගෙ තායිලන්තෙන් ගෙනාපු උණ ගහ, මේ **** පුතාල ඒකත් කපල දාලනෙ, හිටපියව් අද මම තොපි මරා ගෙන මැරෙනව, කෝ මගෙ තුවක්කුව? ............ ඩොරීන්......ඩොරීන්....... කෝ මගෙ තුවක්කුව ? " කියල ගෙට දිව්ව විදිල්ල වාගෙ,

ඩොරීන් කිව්වෙ ලොක්කගෙ හාමිනේ,

" ලොක්ක උණ පඳුර දැක්කයිං එක වාසියක් උනා " මිගාර කියනවා,

සමරෙ බලන් ඉන්නව මේ මනුස්සයගෙ මොලේ කොලොප්පංද කියල හිතාගන්ඩ බැරුව, ඇයි අර මිනිහ උණ පඳුර දැකල වෙඩි කෑ ඌර වගෙ කෝපාවිෂ්ඨ උනා, මෙයා මෙතන වාසියක් ගැන කතා කරනවා,

" මොකක්ද ඔය වාසිය?, මට නම් තේරෙන්නෙ නැහැ"

" ඇයි බං, දැං මිනිහ සිංහලට බැස්සනෙ, අඩු ගනනෙ දැං කියන එක වත් තේරෙනවනෙ ඒකයි මම කිව්වෙ, දැං ඔන්න අපි දන්නව මිනිහ නොවැරදීම වෙඩි තියන්ඩයි යන්නෙ කියල,ඒක අපිට වාසියක් නෙවෙයිද? අනික මම නම් හිතන්නෙ නැහැ ඔය කිව්වට ඔය මනුස්සය වෙඩි තියයි කියල,ඔය නිකම් බය කරන්ඩයි ඔහොම කියන්නෙ "

" සර් දන්නෙ නෑනෙ ඔය වසවර්තියගෙ හැටි,මට නම් බුදු ෂුවර් අද මෙතන මොකක් හරි මහා ජංජාලයක් වෙලා තමයි කෙලවර වෙන්නෙ, කොල්ලනේ, කෝකටත් ඔය අනාපු බදාම ඔහොම්මම තියල තම තමන්ගෙ ගන්ඩ පුලුවන් දෙකුත් අරගෙන හෙමීට ගේට්ටුව පැත්තට ලංවෙන එක තමා නුවණට හුරු "

ඔන්න එතකොටම ලොක්ක මතු උනා පල්ලෙහා දොරෙන්, තුවක්කුව අතේ, "හිටපියව්, දුවන්ඩ එපා, වෙඩි තියනවා" ලොක්ක කෑගහනවා,වයිෆ් සහ දුව අත් දෙකේ එල්ලිලා," Calm down daddy, please calm down " ඒ දෙන්නත් කෑගහනවා,අහවල් කාම් ඩවුන්, ලොක්ක මාරාවේශ වෙලා ඉන්නෙ,


මේ සීන් එක දිහා තුස්නිම්බූත වෙලා බලාහිටපු සමරේ මිගාර දිහාට හැරුනා,

" සර් දැන් අපි............."
මොන, මිගාර හිටපු තැන මොකෙක් වත්ම නැහැ, පාරෙ ඈත දූවිලි වලාවක් විතරක් තිබුන ඔන්න,

ඉතින් ඊට පස්සෙ සමරෙ සහ ගෝලයො ටිකත් පණ එපා කියල දිව්ව අර දූවිලි වලාව පාවෙන දිහාවට,දුවල පණ බේරගත්තා,

මෙතෙන්ට එනකල් සිද්ධීන් දාමය මතභේද රහිතයි, හැමෝම පිළිගන්නව මේ විදිහට තමයි උනේ කියල,
මෙතනින් පස්සෙ වෙච්ච දේ ගැන නම් පොඩි.....ඇත්තටම පොඩි නෙවෙයි ලොකු මතභේදයක් තියෙනවා, ඒ කියන්නෙ අර්ථකථන (Versions ) දෙකක් තියෙනවා,

මේ මිගාරගෙ Version එක -

" මොන පිස්සුද මචං වෙඩි තිබ්බෙ නැහැ, එහෙම කොහොමද එයා වෙඩි තියන්නෙ, එයාට ගිය රට එහෙනම්, හුහ්,මම අර අපේ කොම්පැනියට ප්‍රශ්නයක් වෙයි කියලයි හෙමිහිට ෂේප් උනේ, නැත්නම් මම පෙන්නනව උන්දැට මිගාර කියන්නෙ කවුද කියල "

මේ සමරෙගෙ Version එක -

"නැහැ සර් අනිවාර්යයෙන් වෙඩි තිබ්බා, මිගාර මහත්තය සමහර විට වෙඩි තියන වෙලාවෙ සද්දෙ නෑහෙන තරම් දුරකට Withdraw වෙලා ඉන්ඩ ඇතිද නම් මම කියන්ඩ දන්නෙ නැහැ, වෙඩි තිබ්බා, හොඳ වෙලාවට අපෙ ආමි එකේ ඉන්න අයියා ගෙදර ආපු වෙලාවක මට කියල තිබ්බ වෙඩි තියන වෙලාවක Withdraw වෙන හැටි, ඉතින් මිගාර මහත්තයා කලිම්ම නොකියම Withdraw වෙලා තිබුනු නිසා අපි කට්ටිය අයිය කිය දුන්නු Zig zag ක්‍රමයට withdraw වෙලා අතුරු ආන්තරාවක් නොවී බේරුනා,"

පසු කථාව - උසස් පොලිස් නිලධාරී මහතාගේ ගෙවත්තට සිදුවී තිබුනු අලාභහානි සඳහා සුදුසු පරිදි පිළියම් කිරීමෙන් පසු වෙනත් කණ්ඩායමක් යොදවා එම ව්‍යාපෘතිය නිමකරන ලදී.

Monday, March 7, 2011

පිපි මල්මතින් පියමං කලෝ............2


පිපි මල්මතින් පියමං කලෝ............1

සමරෙටත් ඔන්න ටිකක් තද උනා, " වතුර නැතුව කොහොමද සර් වැඩ කරන්නෙ " සමරේ ඇහුවා,

" ඇයි බං අර අතන තියෙන්නෙ වතුර පයිප්පයක්, ගහපං හෝස් එකක් ඒකට, ඇරපං කරාමෙ, ඔය එන්නෙ වතුර, ඊට පස්සෙ පටං ගනිං වැඩ "

" පයිප්පයක් නං තියෙනව තමයි සර්, ඒ උනාට......." සමරෙ දෙපැත්තට ඇද්දා,

" ඇයි මොකෝ?..... ඒ උනාට මොකද?.....ඒකෙං එන්නෙ වතුර නෙවෙයිද? මී පැණිද?

" හප්පොච්චියෝ......ඒ වැඩේ නම් කීයට වත් කරන්ඩ බැහැ සර්, මේ ගෙදර අයිති මහත්තය පොලීසියෙ හිටපු හෙණ ලොක්කෙක්, මහ මරු මුස් මනුස්සයා, මුලින්ම වැඩ පටන් ගත්තු දවසෙ අපි හැමෝන්ටම කතා කරල කිව්වා, මේ මම කියන එක හොඳට අහ ගනිල්ලා, මගේ ගෙදරින් වතුර ගැනීම, මල් පැල වලට අලාභහානි කිරීම, තණකොල පෑගීම සම්පූර්ණයෙන්ම තහනම්, වෙඩි තියන එක තියනවා, අහු උන එකාට ආයෙ කිසිම සමාවක් නැහැ, මගෙ ආයෙ වචන දෙකක් නැහැ කියලා ඒ වෙලාවෙ තුවක්කුවකුත් අතේ තිබ්බ සර්, අපොයි අපිට නම් බැහැ වතුර අර ගන්ඩ ගිහිල්ල වෙඩි පාරවල් කන්ඩ " කියලා සමරේ බැගෑපත් උනා,

මිගාර එක්ක කොහෙද ඒ සෙල්ලං, මිනිහා හිතුවෙම මුං ටික වැඩ නොකර ඉන්ඩ පෙරලන පොතක් තමයි මේක කියලා,

ඔය මිගාරයගෙ වයිෆ්ගෙ මාම කෙනෙක් ඇවිල්ල පැන්සන් පලච්ච පොලිස් ඉස්පෑට්ටර කෙනෙක්,ඉතිං මිනිහ දන්න ලොකුම පොලිස් කාරය තමයි ඉස්පෑට්ටර, ඒ නිසා මිගාර කීයටවත් බය උනෙත් නැහැ, සත පහකට ගනං ගත්තෙත් නැහැ සමරෙගෙ කතාව,

" අනේ නිකං පලයං සමරෙ යන්ඩ, අපි නොදන්න පොලිස් ලොක්කො, උඹ දැන ගනිං අපෙ නෝනගෙ මාම ඉස්පෑට්ටර කෙනෙක්, අපි දෙන්න එකටයි අඩියක් ගහන්නෙත්, පොලිස් ලොක්කො? බම්බුව, මේ පැංසොං ගිය සාජං කෙනෙක්ද කොහෙද, එව්ව ඇරිච්චාවෙ, වැඩ පටං ගනිං ඉතිං කිව්වහම අහල "

" මේ මම දැං එක පාරක් කිව්වනෙ, මට නම් බැහැ, එහෙනම් සර්ම වතුර අරං දෙන්න,අපි කෝකටත් විනාඩි පාළහක් විතර බලල වෙඩි පාරක් ආවෙ නැත්නම් කෝකටත් සූදානං සරීරේ කියලා ගේට්ටුව කිට්ටුව තියන වැඩක් කරන්නම් " බැරිම තැන සමරේ කිව්වා,

" අනේ බං උබල වගෙ බය ගුල්ලො ජාතියක්, වෙඩි තියන්ඩ, හුහ්, එහෙම කොහෙද වෙඩි තියන්නෙ? බලමු එහෙනම් වෙඩි තියල "

මිගාර හෝස් එහෙකුත් ඇදගෙන ගියා කෙලිම්ම කඟවේනා වගේ පයිප්පෙ ගාවට, මූට දැං උන්න මලා පේන්නෙ නැති ගානට තද වෙලා නිසා කෙලිම්ම ආයෙ ඉද්ද ගැහුව වගෙ ගියේ පයිප්පෙ ගාවට, අර පොඩි කාලෙ ජ්‍යාමිතියෙදි කලේ ලක්ෂ්‍යයන් දෙකක් අතර කෙටිම දුර සෑමවිටම සරල රේඛාවකි කියල පාඩමක්, අන්න ඒ පාඩම අනුගමනය කරමින් තමයි ඔන්න ගියේ,

ඒ කිව්වෙ සරල රේඛාවට අහු වෙච්ච බාර්බටං,ඩේලියා, එක්සෝරා, ගාඩීනියා, මෙකී නොකී සියලු කුසුම් ගොමු තලා බිඳගෙන පොඩි කරගෙන තමයි මිගාර පයිප්පෙ ලඟට ලඟා උනේ,අර සිංදුවක් අහල ඇති නෙවද " පිපි මල් මතින් පියමං කලෝ ..............." හරියටම අන්න ඒ සිංදුවට හදාපු විෂුවල් එකක් වගේ,

සමරේ ප්‍රධාන ගෝල පිරිස දැන් බලා ඉන්නව කටවලුත් ඇරිල හුස්ම ගන්ඩත් අමතක වෙලා, සමරෙට බුදු ෂුවර් අද නම් මෙතන එකෙක් දෙන්නෙක් වල පල්ලට ගිහිං තමයි මේ කෙලිය ඉවර වෙන්නෙ කියලා,

ඔය පයිප්පෙ ගාවම තිබ්බලු පොලිස් ලොක්ක තායිලන්තෙං ගෙනාපු බොහෝම දුර්ලභ Bamboo Bush එකක්,



ඒ කිව්වෙ මේ උණ පඳුරක්, ඕකෙ අතු හින්දා හෝස් එක ගහන්ඩ බාධාවෙලා මිගාර කරල තියෙන වැඩේ ඕකෙ අතු ඔක්කොම අඹරවලා කඩල දාල, ඊට පස්සෙ කිසි ගින්නක් නැතුව බටෙත් ගහල, කරාමත් ඇරල කිව්වලු " ඔන්න හරි දැං වැඩ පටං ගනිල්ල, උඹල හිතුවෙ මාව අන්දවන්න නේද? එව්ව කොහෙද මේ මිගාර එක්ක "
ආ, අර පිපි මල් මතිං පිය මං කරපු සීන් එකට තව හේතුවක් උනේ ඔය කාලෙ මිගාර භාවිතා කලා අති දරුණු සඟක්, සඟ දන්නව නේ? සඟ = Sun glasses,

මිගාරගෙ අයියා ඒ දවස්වල් ඉඳල තියෙන්නෙ ජපානෙ, එහෙ හිම වැටෙන කාලෙ Glare එකට දාන බොහොම අඳුරු Sun glass එකක් තමයි ඒක, අයියා ආපු වෙලාවෙ මිගාර මේක ඉල්ලගෙන, ඕක දැම්මම මෙලෝ දෙයක් පෙනෙන්නෙ නැහැ, හරියට අර පොඩි කාලෙ හැංගි මුත්තං කරන්ඩ රෙදි පටියකිං ඇස් බැන්ද වගෙයි,ඕක දාගෙන ගිහිල්ල මිගාරට වෙච්ච අකර තැබ්බ ගැන කතා අනන්තයි, අප්‍රමාණයි, පොලේ බටු මිරිස් පාගගෙන ඒ උඩින් ගිහිල්ල එව්වට අලාභ ගෙවන්ඩ උනු එව්වා, කැළණි පෙරහැර කාලෙ පේව්මන්ට් එකේ විකුනන්ඩ තිබ්බ මැටි අලි ගොඩක් උඩින් ගිහින් අන්තිමට පොලීසිය දක්වා ඒ කචල් එක දිග්ගැහිච්චි හැටි වගෙ තවත් එව්ව තියෙනව, එව්ව ඔක්කොම කියන්ඩ බැහැ මෙතන,

කොහොම හරි Bottom Line එක තමයි මේ සඟ නිසා මිගාර පයිප්පෙ ලඟට ගියේ අර ලොක්කගෙ සුපිපුනු සුගන්ධවත් නේක වර්ණයෙන් සමලංකෘත වූ කුසුම් උයන හරි මැදින්,

හරි, දැන් ඉතිං වතුරත් තියෙනවා, අඩු පාඩුවක් නැහැ, කොල්ලො වැඩ, ඒත් බඩේ ගින්දරෙං තමයි, ඇයි උං දන්නවනෙ අර ලොක්කගෙ තරම, වැඩ කරනව කියන්නෙ තනි ඇහෙන් තමයි වැඩ, අනික් ඇහැ කොයි වෙලෙත් ගෙදර බැල්කනියෙ, මොකද හේතුව, උදේම අර පොලිස් ලොක්ක කරන්නෙ මූණ කට හෝදල කාරිය සඳලු තලයට ඇවිල්ල Deck Chair එහෙක දිගාවෙල දවසෙ පත්තර බලන එකයි,

අද ඉතිං හැමෝම බොහොම උනන්දුවෙං බලා ඉන්නෙ සඳලු තලය දිහා, හරියට සිරී පාදෙ මහ මලුවෙ ඉර සේවය බලන්ඩ පොදි කන බැතිමත්තු සූරිය දිවිය රාජයා මතු වෙනකල් නොඉවසිල්ලෙං බලා ඉන්නව වගේ,

ඉතිං ගෝලයො කොයි වෙලාවෙත් ගෙදර පැත්ත බල බල වැඩ කරන එකත් මිගාරට ඇල්ලුවෙ නැහැ " මොනවද බං, උඹල කොයි වෙලාවෙත් ඒ පැත්තමනෙ බලන්නෙ, කචල් එකක් ආවොත් මම බලාගන්නම්, උඹල බය නැතුව වැඩ කරහල්ල" මිගාරත් කෝකටත් ගේ දිහාව හොරැහිං බලන ගමන් කිව්වා,

" සර් නං කියයි, වෙඩි තිබ්බම අතිං අල්ලල නවත්තන්ඩයැ" සමරෙ ආයෙ සඳලුතලේ දිහාව බලන ගමන් කිව්වා,

මෙවුන් මෙච්චරම බයේ ගැහි ගැහි ඉන්න නිසා මිගාරටත් දැන් ඔන්න ටිකක් බයක් වාගෙ හිතුනා, හෙමිහිට කිට්ටු කලා සමරෙ ඉන්න අහට,

"ඈ, සමරෙ අයියා, ඔය ලොක්ක ගාව ඇත්තටම තුවක්කුවක් තියනවද? උඹට බුදු ෂුවර් ද?"

" මොනවද මේ අහන්නෙ හැබෑටම?, පහුගිය සුමානෙත් මේ ගේට්ටුව ඉස්සරහ මිනිහෙක් බීගෙන කුණුහරුප කිය කිය ගියා කියල වෙඩි තිබ්බ නෙව"


මතු සම්බන්ධයි,

Friday, March 4, 2011

පිපි මල්මතින් පියමං කලෝ............1




මේ කතාව සිද්ධ උනාය කියන්නෙ දැනට අවුරුදු පහලොවකට විතර කලින්,
මම දැනට අවුරුදු හතරකට විතර කලින් නුගේගොඩ කිට්ටුව තිබුනු ඉඳිකිරීම් සමාගමක රැකියාව කලා නෙව, ඉතිං සති අන්තයෙ තමයි ගෙදර යන්නෙ, නැවතිල හිටියෙ කෝට්ටෙ පැත්තෙ කොම්පැනියෙන්ම නොමිලේ සපයපු නවාතැනක, ඇත්තටම අපේ company එකේම අධ්‍යක්ෂ කෙනෙකුගෙ ගෙදර පිටිපස්සෙ හදාපු ඇනෙක්ස් එකක් වගෙ තැනක, ගෙවල් දොරවල් දුර බැහැර කට්ටිය මෙතන තමයි නැවතිලා හිටියෙ,


මම ඔය කියන දවස්වලත් හිටියා අපි පස්දෙනෙක්, ඉතින් රෑට වැඩ ඉවර වෙලා ඇවිත් නාල කියල පොඩිවට අඩියක් කාරිය ගහල ජොලියක් දාන එක සිරිතක්, මේ වාගෙ අවස්ථාවල කොම්පැනියෙ පරණ කට්ටිය එකල අතීතයේ සිද්ධ වෙච්ච රසබර සිදුවීම් අපි වගෙ අලුතින් ආපු අයට දැන ගන්ඩත් එක්ක කියනවා,


මේත් එහෙම කියාපු කතාවක් තමයි,මේකෙ ඇත්ත නැත්ත ගැන නම් මට සහතිකයක් නිකුත් කරන්න බැහැ, මොකෝ ඔය කියන කාලෙ මම මේ කොම්පැනියෙ වැඩ කලේ නැති නිසා, හැබැයි මේ කතාව කියාපු යාලුවා දහ අතේ දිවුරුවා මේ කතාව සම්පූර්ණ ඇත්තක්ය කියාල,


අපේ සමාගම කලේ ගොඩනැගිලි ඉඳිකිරීම, විශේෂයෙන් නිවාස, ඉතින් කොළඹ අවටම තමයි බොහෝවිට අපි වැඩ කරන්නෙ, සාමාන්‍යයෙන් නිවාස හතර පහක් වගෙ හදනව එකම කාලෙ, ඉතින් මේ වැඩබිමකට එක්කෙනා ගානෙ පත් කරල ඉන්නවා අපේ සුපර්වයිසර් මහත්තුරු,


වැඩවල තත්ව පාලනය, ඒ වගේම වැඩකරන කම්කරුවන් සහ පෙදරේරුවන්ට (Masons) වැටුප් ගෙවීම සඳහා වාර්තා තබා ගැනීම, අවශ්‍ය ද්‍රව්‍ය ඇණවුම් කිරීම ඔයවගෙ කටයුතු සහ මෙතන නොකී වැඩබිම් වල අත්‍යාවශ්‍ය අනෙකුත් කටයුතු ඉටු කෙරෙන්නෙ මෙයාලා අතින් තමයි.


ඉතින් මම මේ කියන්ඩ යන කතාවට අදාල වැඩබිම තිබිල තියෙන්නෙ විශ්‍රාම පලච්ච උසස් පොලිස් නිලධාරි මහත්මයෙකුගෙ ඉඩමෙ, ඒ ඉඩමෙම තිබුණු නිවාසයක තමයි එතුමා ඒ වෙනකොට පදිංචිවෙලා ඉඳල තියෙන්නෙත්,තමන් පදිංචි නිවාසයට අමතරව එතුමාට ඕන කරල තිබුනා තවත් නිවාසයක් හදන්න, අපි කියමු දුවෙකුට දෑවැද්දට දෙන්නෙයි කියල,


අනික් කාරණේ තව ගෙයක් හදන්නෙ මොකටද කියන එක කතාවට කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ, අලුතෙන් ගෙයක් හදන්ඩ පටන් ගත්තු එකයි, ඒ ගේ හැදිල්ල අපේ සමාගමට බාරදුන්නු එකයි තමයි කතාවට අදාල වෙන්නෙ හරිද?


මේ පොලිස් නිලධාරි මහත්මය හරිම රෙගුලාසි කාරයෙක්, මිනිහා අපෙ වැඩ කරන කට්ටියට දස පණතත් තවත් ඊට අමතරව පණත් කීපයකුත් පනවලා තමයි මුලින්ම වැඩ පටන් ගන්ඩ අවසර දීල තියෙන්නෙ,


ඒ කිව්වෙ බුලත් කාල හතර වටේ කෙල ගැසීම සපුරා තහනම්, දුම් පානය කොට සිගරට් කොට වත්ත පුරා දැමීම තහනම්,අසභ්‍ය වදන් භාවිතය තහනම්, ඔය වගෙ ජෙනරල් ඉන්ජන්ක්ෂන් වලට අමතරව සුවිශේෂ ස්ථාවර නියෝග කීපෙකුත් නිකුත් කරල තිබුනා මෙතුමා,


කිසිම හේතුවක් නිසා එයාලගෙ ගෙදරින් වැඩ වලට වතුර ගැනීම තහනම්, වත්තේ මල් සහ විසිතුරු පැළෑටි වලට හානි කිරීම තහනම් මේ සුවිශේෂී නියෝග අතර වැදගත්ම නියෝග, මෙතුමා විසිතුරු පැලෑටි වලට බොහොම ලැදියාවක් දක්වපු කෙනෙක්,


ගෙමිදුල පුරාම බැලූ බැලූ අත තිබිල තියෙන්නෙ පිටරටින් පවා ගෙන්නපු බොහෝම වටිනා පැළ සහ මල් වර්ග, කොටින්ම නිකං අර නන්දන උයන වගේ තමයි මෙතුමාගෙ ගෙමිදුල,ඇසට අසු වන මානයේ නොයෙක් වර්ග වල නා නා වර්ණ මල්, නොයෙක් වර්ගවල නොයෙක් වර්ණ විසිතුරු පැලෑටි වර්ග, සුවිශේෂී උණ පඳුරු, පොකුණු, හරිත වර්ණයෙන් දිදුලන තණ තිලි, බ්ලා......බ්ලා......බ්ලා........... ඊටීසී, ඊටීසී, දන්නවනෙ විස්තරේ, වැඩිදුර කියන්න ඕන නැහැනෙ නේද?


ඉතිං අපෙ කට්ටියත් ඔය දහසකුත් එකක් අණ පනත් ඔක්කෝම පිළිපැදගෙන වැඩ කරගෙන ගියාය කියල කියමුකෝ, මෙ යටහත් පහත් භාවයටත් ඉතාම වැදගත් හේතුවක් තිබුනා මොකක්ද? මුල්ම දවසෙ මේ උ.පො.නි. මහතා මේ නියෝග ඔක්කොම නිකුත් කරල තියෙන්නෙ තුවක්කුවක් හරි පිස්තෝලයක් හරි රිවෝල්වරයක් හරි මොකක් හරි අතේ තියාගෙනයි,


ඒ ආයුදය මොකක්ද කියල හරියටම තීරණයකට එන්ඩ තවම හැකියාවක් ලැබිල නැහැ ඇත්තම කිව්වොත්, දැනට උනත් අපේ සමාගමේ කට්ටිය එකතු වෙලා පොඩි සාදයක් කාරිය පවත්වනවා නම් අනිවාර්යයෙන් ඇදිලා එන මාතෘකාවක් තමයි අරෙ උ.පො.නි. මහතාගේ ආයුදය කුමන වර්ගයට අයත් එකක්ද කියන ඉතාම මතභේදකාරී ඒ වගේම උභතෝකෝටික ගැටලුව, කොටිම්ම අවුරුදු පාළහක් ගොහිල්ලත් තවම නැහැ ඒ ගැන හරි එකඟතාවයකට ඇවිල්ල ඔන්න ඇත්තම කිව්වොත්,


ඔය පිළිබඳ වාදෙ සමහර වෙලාවට කොච්චර හැඟීම්බර වෙනවද කිව්වොත් මම සහභාගි වුනු එක සාදයකදි,( මේක මම දැක්ක නිසා මට සහතික වෙන්නම පුලුවන් අවුලක් නැතුවම) අපේ දෙන්නෙක් ගුටි ඇණ ගත්තා මේ ප්‍රශ්නෙ විසඳා ගන්ඩ කෙරිච්ච කතා බහක් දුර දිග ගිහිල්ල, ලස්සනම වැඩේ ඒ එක්කෙනෙක් අපේ කොම්පැනියට බැඳිල තියෙන්නෙත් ඔය අදාල සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියායින් පස්සෙ,

හරි ආයෙම එමු බලන්න ප්‍රධාන කථා වස්තුවට,

ඔන්න කොහොමින් කොහොමින් හරි වැඩ කෙරීගෙන යනවය කියමුකො, මේ වැඩබිම බාරව හිටපු අපේ නිලධාරි මහත්තයට මොකක් හරි හදිසි උවමනාවක් වෙලා ගෙදර යන්ඩ වෙලා තියෙනව ඔන්න දවසක, ගෙවලුත් කොළඹින් දුර බැහැර නිසා දවස් දෙකක් නිවාඩු දාලයි ගොහිල්ල තියෙන්නෙ,


ඉතින් ඒ වෙනුවට පහුවදා වැඩබිමට ගියේ ඔන්න අපේ මේ කතාවෙ කතා නායක තුමා, වීරයද දුෂ්ඨයද විහිලු කාරයද කියන එක ඔයාලම තීරණය කරන්න, මම මොකවත්ම කියන්නෙ නැහැ ඕං, නොකිව්වයි කියන්න එහෙම එපා,

දැන් ඉතින් නමක් එපාය නේද? ම්ම්ම්ම්....... නම.... දාමු .... මිගාර කියල, හරි ඒ නම හොඳයි,


මිගාර ටිකක් එක විදිහක මනුස්සයා,කලු උස මහත නිකම් මහ කලු සිංහලය වගේ තමයි ඉන්නෙ, වැඩි වයසක් නැහැ, ඒ නිසාම ටිකක් සද්ද බද්ද එහෙම දාල මිනිස්සුන්ව බය කරල වැඩ ගන්ඩ කැමතියි, ඒ ඇරුනම වෙන කිසිම වැරැද්දක් ඇත්තටම නැහැ,අහිංසකයා, ඒ වගේම හරිම හිත හොඳ කොල්ලා, යාලුවො වෙනුවෙන් පණ උනත් දෙනව කියල අර කතාවට කියන්නෙ , අන්න ඒ ජාතියෙ බුවෙක්,

ඉතිං ඔන්න මිස්ටර් මිගාර ගියා උදේම්ම වැඩ බිමට, මෙන්න යනකොට මාරවැඩේ, බාස්ලයි ගෝලයොයි සෑම සියලු දෙනාම ෆුල් ආතල් එකේ වැලි ගොඩවල් උඩ, එතනින් ගිහාම සිමෙන්ති අට්ටි උඩ, ලී ගොඩවල් උඩ ඉඳගෙන බරටම කයිය,

මිගාරට උන්න මලා අමතක උනා මේක දැක්කම, " ඒයි, මොකද යකෝ, උඹලට වෙලා තියෙන්නෙ? වට වන්දනාවෙ ගිහිං කියලද බොලා හිතාගෙන ඉන්නෙ? ඔහොම ඉඳල කවද්ද මේ වැඩේ අහවරක් කරන්න හිතාගෙන ඉන්නෙ?" කියල දැම්ම සද්දයක්,

ඔතන අපේ වැඩ කරන කට්ටියගෙ ටීම් ලීඩර් හිටියෙ සමරෙ කියල හාදයෙක්, ඒ හැටි වයසකුත් නෑ, හොඳ අවංක මනුස්සයා, ඒ වගේම ඕන වැඩකට දස්සයා,


මෙන්න මේ සමරේ ආව ඉස්සරහට මේ වෙලාවෙ, "සර් අපි මේ......., වතුර බව්සරේ එනකල් බලා ඉන්නෙ" සමරෙ කිව්වා,

හැමෝම මේ ගැන දන්නවයි කියල මම හිතනවා, ඒත් නොදන්න අයගෙ දැන ගැනීම පිණිසයි මේ, ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේදී වතුර ඉතාම අවශ්‍ය දෙයක්, බදාම ඇනීම කොන්ක්‍රීට් ඇනීම ආදී සියලු දේට වතුර ඕනමයි,

" හුහ්, වතුර බව්සරේ එනකල්?, ඒක මාර වැඩක්නෙ, එතකොට කීයට හරි වතුර එනකල් උඹල ඔහොම වාඩි වෙලා කයිය ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ, එහෙමද? නිකමට හිතමු අද හවස් වෙනකල් වතුර ආවෙ නැහැ කියලා, එතකොට දවසම මෙතන නිකං ලගා ගහන්ඩ තමයි උඹලගෙ කල්පනාව එහෙමද? මේ, මේ, ඒ බබා උකුං මාත් එක්ක බෑ හරිද? එව්ව තියාගනිං අනික් මහත්තුරු අන්දවන්න, වහාම වැඩ පටං ගනිල්ල මම නරක මිනිහා කියන්නෙ නැතුව තේරුනාද " මිගාර පොලවෙ අඩි හැප්පුවා,



මතු සම්බන්ධයි,

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...