Tuesday, March 20, 2012
109. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....7
දඩයක්කාරයා නැඟී සිටියේ දීර්ඝ ප්රශ්වාසයෙකින් පෙණහළු හිස් කරගැනීමෙන් අනතුරුවය.ඒ සමඟම මහ දඩයක්කාරයා ද එකම වරක් පමණක් තම පුත්රයාගේ මුහුණ දෙස බැල්මක් හෙලා, සෙමෙන් හිස පහතට හැරවූයේ, පොළව දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටියේය. මව වෙත යාමට ප්රථමයෙන් පියා වෙත ළඟාවූ දඩයක්කාරයා, ඔහුගේ ගෙල වැළඳ දසරුව මත තම හිස රුවා ගත්තේ, පපුව අභ්යන්තරයෙන්ම නැඟ ආ ඉකි බිඳුමක් වළක්වා ගනිමිනි.
පියාණන්ගෙන් මිදුණු දඩයක්කාරයා බිමටම බරවු නෙතු යුගලින් නිකුත් සීතල වූ කඳුළු බිඳු දෙකොපුල තෙමාලමින් ගිලිහෙද්දී ඒ පිසදැමීමෙහිලා කිසිදු වෑයමකුදු නොගෙන, කෙටි පියවර තබමින් තම මෑණියන් ; සත්ය වශයෙන්ම ඒ වු කලී මෑණියන්ගේ දේහයයි; වෙත ළඟා විය. සුපුරුදු ඉරියව්වෙන් මෑණියන් අසල ඇණ තබාගත් හෙතෙම, බොහෝ වෙලාවක් මෑණියන්ගේ වත දෙස එක එල්ලේ බලා සිටියේය. මීට හෝරාවකට හෝ දෙකකට පෙර දැඩි වේදනාවෙන් පීඩිත වූ ඇගේ වත සියළු වේදනාවන්ගෙන් විනිර්මුක්ත වී ඇති බව සැකයකින් තොරව තහවුරු කරනු වස් දෝ ශාන්ත වූ හස රැල්ලකින් එළිය වී තිබෙනු දුටු පුත්රයාගේ සිතෙහි දැඩි සංවේගය හා මිශ්රව නැඟී සිටියේ එක්තරා අන්දමක සැනසීමක් වන් හැඟීම් මාත්රයකි.
එක්වරම සිතෙහි හටගත් ක්ෂණික පෙලඹවීමකට ඉඩ දුන් හෙතෙම, ඇණ තබාගත් වනම ඉදිරියට බර වූයේ මෑණියන්ගේ එතෙකුදු උණුසුම පහව නොගිය නළල් තලය මත තම දෙතොල තබා සෙමින් සිපගත්තේය.කුඩාවෙකු අවදියෙහිදී නිසැකවම එසේ මෑණියන් සිපගන්නට ඇති වුව ද එබවක් ස්මරනයට එක්වරම නඟා ගත නොහැකි වූ බැවින් මේ ඔහු මෑණියන් සිපගත් පලමු සහ අවසාන අවස්ථාව යනුවෙන් හැඳින්වීම කිසිසේත් අසත්යයක් නම් නොවේමය.
පිය පුතු දෙදෙනම මෙසේ ප්රාණය නිරුද්ධ තම බිරිඳගේ සහ තම මෑණියන්ගේ දේහය දෙපස ඇණ තබාගත්වනම නිසොල්මන් වූවෝ, ඇගේ ශාන්ත වූ වත දෙස අනිමිසලෝචනයෙන් බලාගත්වනම බොහෝ වේලාවක් ගත කළෝය.
ඉක්බිති එක් වරම ඉද්ද ගැසූ සේ නැඟී සිටි මහ දඩයක්කාරයා ගෙපැල පසෙක අඳුරු මුල්ලක වූ ඔවුන් සතු වූ එක ගෘහ භාණ්ඩය වූ පැරණි පෙට්ටගම විවෘත කොට ඉන් හොඳින් නවා පොත් කොට තිබූ සුදු පැහැ පිරිසිදු රෙදි කඩක් අතට ගත්තේය. ඒ මීට පුරා සඳ දෙකකට පමණ පෙරාතුව මුහුදුකරයේ සිට හුවමාරුවට ඇවැසි භාණ්ඩ පොදි කිහිපයක් පිට දෙපසට එල්ලෙනසේ තරව ගැටගැසූ සවිමත් මහිෂයින් සිව් දෙනෙකුගෙන් සැදි තවලමක් ද දක්කාගෙන වාළිඹේ ගල වටා දිවෙන අඩි පාර ඔස්සේ පැමිණි යෝනක වෙළෙඳා ගෙන් ලබාගත්තක් බව දඩයක්කාරයාට එක්වරම සිහියට නැඟිණි.
දීර්ඝ කාලීනව භාවිතයට සුදුසු අඳුරු වන් දළ රෙදි විනා සුදු පැහැ රෙදි මහ දඩයක්කාරයා කිසිදිනෙක යෝනකයාගෙන් නොගන්නා හෙයින් ඉතා අහඹුවෙකින් කොහේදෝ ඉබාගාතේ යන අතර එතැනට පැමිණි දඩයක්කාරයා පියා අත තිබූ සුදු රෙදි කඩ දුටුවෙන් සාතිශය විෂ්මයට පත්විය. එසැණින් හිස ඔසොවා පියාණන්ගේ මුහුණ බැලූ ඔහු දුටුයේ අත රැඳි සුදු පැහැ රෙදිකඩ දෙස අවිනිශ්චිත වු ද කිසිදු හැඟීමකින් තොර වූ ද හිස් බැල්මකින් බලා සිටිනා මහ දඩයක්කාරයාගේ දිලිසෙන දෑසයි.පෙර කිසිම දිනෙක නොවූ වීරූ අයුරු අනපේක්ෂිතව සුදු රෙදි කඩක් වෙළෙඳාගෙන් ලබාගන්නට පියාණන් හට සිත්වූයේ මක් නිසාද යන්න එදින ද තම සිතෙහි වද දුන් පැණයක් වූ අයුරු දඩයක්කාරයාට මේ මොහොතේ ක්ෂණිකව ආවර්ජනය විය.
එහෙත් ඒ මොහොතේ සිතට වදදුන් ඒ ගැටළුව කල් ගතවන්නා හා සමඟම සිතින් ගිලිහී ගියද මේ අවස්ථාවෙහිදී ඒ නැවත පණ ලබා දඩයක්කාරයාගේ සිතට වද දෙන්නට වූයේය.
එහෙත් ඒ පිළිබඳව වැඩිදුරටත් සිත මෙහෙයවන්නට ඔහුට ඉඩ හසර නොලැබුනේ, එයට සහස් ගුණයකින් සිත විශ්මයට පත් කරවන සිදුවීමක් එකෙණෙහිම ඒ ගෙපැල අභ්යන්තරයේදීම සිදු වූ බැවිනි.බොහෝ කලකට ප්රථම සිදුවූවක් වුවද එදා ඒ ගෙපැල තුල වූ සිද්ධිය අද ද දඩයක්කාරයාගේ මනසේ චිත්රණය වී ඇත්තේ කිසිදාක නොමැකෙන පරිදිය. සත්ය වශයෙන්ම එයින් පසු දඩයක්කාරයාගේ ජීවිතයේ ඊට සහස් ගුණයෙකින් වැදගත් එමෙන්ම විශ්මය ජනක වූ සිදුවීම් නොගිණිය හැකි වූ පමණ සංඛ්යාවෙක් සිදුවී ඇතිය යන්නද පරම වූ සත්යයයෙකි. එහෙත් මේ සිදුවීම මෙසේ මනසේ ඇඳී පැවතීමට තුඩු දුන් හේතු කාරණා කුමක්ද යන්න ඔහු නොදැන සිටියා පමණක් නොව ඒ පිළිබඳව විමසීමට ඔහු කිසිසේත්ම උනන්දු වූයේ ද නැත.
දඩයක්කාරයා මවගේ දේහය අසල සිටගෙන සිටියේය.පියාණන් පෙට්ටගම විවෘත කොට අතට ගත් සුදුරෙදිකඩ ද රැගෙන පැමිණෙන දෙස බලා සිටිමින්ම ඔහු කල්පනා කලේ මීට පුරා සඳ දෙකකට ප්රථම මෙවන් සුදු රෙදි කඩක් යෝනකයාගෙන් ලබාගැන්මට තම පියා මෙහෙයවූ කාරණා කුමක්ද යන්නයි.
එසේ සිතමින්ම මවගේ හිස අසල දැල්වෙන පොල්තෙල් පහනේ සිළ දෙස බලා සිටි ඔහුගේ සවනට වන් මේ වදන් මාලාවෙන් ඔහු බොහෝ සේ විශ්මය පත් වූයේය.
'' ඒ ගැන හිත කරදර කරගන්ට උවමනා නෑ. පුතා. මම ඒ ඔක්කොම කියලා දෙන්නම් ''
පළමුව දඩයක්කාරයා විශ්මය පත් කල ගැටළුව වූයේ පියා තම චිත්තාභ්යන්තරයෙහි නැඟ ආ සිතුවිලි දැන සිටියේ කෙසේ ද යන්නයි.ඒ සමඟම සිතට නැඟුනු තවත් හැඟුමක් කරණ කොටගෙන සිත නැවත වරක් විශ්මයට පත්වූයේ ප්රථම ගැටළුව මොහොතකට පළවා හරිමිනි.
පියාගේ එම වදන් ඉතාමත්ව පැහැදිලිව ඇසුණු බව සහතික නමුදු එවදන් ඔහුගේ මුවින් නිකුත් වූවක් නොවන බවද එසේම දඩයක්කාරයාට පැහැදිලි විය.එහෙත් එසේනම් එම වදන් එතරම් පැහැදිලිව තමාට ඇසුණේ කෙසේද? ඒ පිළිබඳව සිත් වෙහෙසවමින් සිටියදී එක් වරම සියල්ල අතැඹුලක් මෙන් ඔහුට පැහැදිලි විය.
මිට පොහොය කිහිපයකට පෙර දිනෙක වූවක් ඔහුගේ මතකයට එක් වරම නැඟිනි. එදින සඳ දීප්තිමත්ව පායා තිබුණු හෙයින් හෙතෙම සුපුරුදු ලෙස ගල්තලාව මතුයෙහි අසුන්ගෙන සිටියේය.එක්වරම පාවී ආ වලාවකට සඳ වැසුණේ ලොව හාත්පසම ඝණ අන්ධකාරයෙකින් වැසී ගියේය.එලෙස සැලකිය යුතු කාල වේලාවක් ගතවූ බව ඔහුගේ මතකයෙහි රැඳී ඇත. අන්ධකාරය පහව නොයන හෙයින් හෙතෙම දෙනෙත ද තදින් පියාගත්තේ සවන තීව්ර ලෙස ක්රියාවේ යොදවමින් අවටින් ඇසෙන සියුම් ශබ්ද වටහාගැනීමේ චිත්ත ක්රියාකාරකමෙක නියැලී සිටියේය.
එක්වරම තම දෙපා අසලම යම් සත්වයෙකු එහා මෙහා සරන හඬක් සවණට පත් වූයෙන් ඔහු දෑස් පියාගත් වනම ඊට හොඳින් සවන් දෙමින් ඒ කුමන සත්වයෙක්දැයි වටහා ගැනීමට උත්සාහ ගනිමින් සිටියේය.ඒ සාර්ථක නොවුනු හෙයින් ඔහු සෙමින් දෑස විවර කලේ ද මෙතෙක් වලාවකට වැසී තිබුනු සඳ මඬල ඉන් මිදුනේ පියා යලි ලොව බබලවන්නට වූයේද එකම මොහොතේය.
වලාවෙන් මිදුනු සඳ රැස් දහරකින් ආලෝකමත්ව තම දෙපා අසලම කුතුහලය පිරුණු කුඩා දිදුලන දෑස් දඩයක්කරයා දෙස යොමුකරගත්වනම සිටියේ මුගටියෙකි.ඒ විගස දඩයක්කාරයාගේ සිතට නැඟුනේ දැඩි සතුටක් ද මුසුවූ අස්වැසිල්ලකට බොහෝ සෙයින් සාම්ය වූ හැඟීමෙකි.ඝන අඳුරෙහි තමා නොදන්නා වූ වටහාගත නොහුණු සිත නොසන්සුන් කල යම් කාරණයක් එක්වරම වළාවෙන් මිදුනු සඳේ ආලෝකය හේතු කොටගෙන සක්සුදක්සේ පැහැදිලි වී ගියේය.
සිත සැකයෙන් සහ දෙගිඩියාවෙන් පිරෙනුයේ යම් කාරණයක් පිළිබඳ ගැටළුවක් මතුවූ විටය.තමනට ඒ කරුණ වටහාගත හැකිද නොහැකිද යන්න කිසිසේත්ම වැදගත් නොවේ. වැදගත් වනුයේ තමා නොදන්නා වූ කාරණය කුමක්දැයි දැනගැනීම පමණක්මය. දඩයක්කාරයා මේ අවස්ථාවෙහි ද එදින ගල් තලාව මත දී අත්විඳි දැඩි සතුටක් හා මුසුවූ අස්වැසිල්ලකට සමාන වූ හැඟීම යලිදු අත්වින්දේය. එනම් තම පියා තමාට කථාකලේ කෙසේද යන්න ඔහු එක් වනම වටහාගත්තේය.සත්ය වශයෙන්ම ඒ කතාකිරීමක් නම් නොවේ.
පියා ඔහුට කතාකලේ සිතුවිලි මාර්ගයෙනි.එසේ නැතහොත් ඔහුගේ සිතට පිවිසීමෙනි.
පියා විසින් එසේ කරනා ලද්දේ කෙළෙසකද යන්න ඔහුට කිසිසේත් වැදගත් නොවීය. සිදුවූයේ කුමක්ද යන්න කිසිදු සැකයෙකින් තොරව වටහාගැනීම ඔහුට ප්රමානවත් වූයේය.එසේ පියාපතක් සේ සැහැල්ලු වූ සිතින් යුතුව දඩයක්කරයා හිස ඔසවා පියා දෙස එක එල්ලේ බැලීය.
මතු සම්බන්ධයි........
Friday, March 16, 2012
108. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....6

දඩයක්කාරයාගේ වෘත්තාන්තය රචනා කිරීමෙහිදී සාමාන්ය එදිනෙදා භාවිතා වන බස් වහර වෙනුවට ආදේශකයක් ලෙස විදග්ධ වූත් ලිඛිත භාෂාවට බොහෝසෙයින් සමාන වූත් බස් වහරෙක් මවිසින් යොදාගැනුනේ මෙවන් වෘත්තාන්තයක් පෙළගැසීමෙහිලා එවන් වහරක් වඩාත් ගැලපෙතැයි හැඟීගිය බැවිනි.එවන් බස් වහරක් යොදා ගැනීමෙහිදී ඒ හා සමඟම ආවේණික ලක්ෂණයක් වන්නේ ඉතා දීර්ඝ වන්නා වූ වාක්යයන්ය.දඩයක්කාරයාගේ වෘත්තාන්තයෙහි ගූඪ සහ ගුප්ත භාවය ඉස්මතු කිරීමෙහිලා යොදාගත් මේ බස් වහර හේතු කොටගෙන ඔබ කිසිවෙකුහට කියැවීමෙහිදී අපහසුවක් වී නම් ඒ වෙනුවෙන් මා හට සමා වන මෙන් උදක්ම ඉල්ලා සිටින්නෙමි.
මේ පිළිබඳව සිදුවූ කතිකාවතෙහිදී කවදත් මහරු මිණි වන් විදග්ධ අදහස් පළකරන මා හිතවත් බූරාභිධාන කෙළෙඹි පුත්රයානෝ මෙසේ පැවසූහ.
" අයියණ්ඩිය...මෙසේ කරව....තොපගේ වෘත්තාන්තයහි සංස්කරණයන් දෙකක් ලියව. විදග්ධ භාෂාවෙන් එක් සංස්කරණයෙකුත් ලිහිල් භාෂාවෙන් තවත් සංස්කරණයෙකුත් ලියා පළ කල හැකි නම් මැනවි''
ඔහු විසින් මෙසේ පවසන්නට යෙදුනේ ජිහ්වය කපෝලාභ්යන්තරයෙහි රැඳි මුවින් බව උදක්මැ පැහැදිළි වූ වද '' වන්නාටය, බූරාගේ අදහස ද මනායැ, ලිවීමෙහි ව්යායාමයක් ලෙස හෝ එසේද කල හැකි නම් අගනේය '' සිතූ මම මෙවර දඩයක්කාරයාගේ වෘත්තාන්තය සංස්කරණයක් දෙකක් ලෙස රචනා කලෙමි.
මුලින් ඔබට ලිඛිත භාෂාවෙන් ලියූව ද දෙවනුව ලිහිල් භාෂාවෙන් ලියූව ද කියවනු හැකිය.
***********************************************************
එළිමහනෙහි, දෙවකක් පමණක් ක්ෂය වී තිබූ, චන්ද්ර මණ්ඩලයෙන් නිකුත් වූ ශ්වේතවර්ණ ආලෝක ධාරාවනට හුරු වී තිබුණු දෑස, ගෙපැල අභ්යන්තරයෙහි හාත්පස වසා පැතිරී ගිය කාලවර්ණ ඝන අන්ධකාරයට හුරුවන තෙක්, තදින් පියාගත් වනම නිමේශයක් දොරටු එළිපත්ත මතම රැඳුනු දඩයක්කාර තෙමේ, ක්රමයෙන් දෑස් හැර පියා ඇසිපිය කිහිප විටක් වේගයෙන් සලමින්, පියවර දෙකක් හෝ තුනක් ගෙපැලට ඇතුළු වූයේය.
ගෙපැල තුල පැවති ඝන අඳුර දුරුකරමින්, සැලෙන, කහ වන් සිලෙන් මන්දාලෝකයක් නිකුත් කරමින් දැල්වුණු, පොල්තෙල් පහන් යුවලකි, අඳුරට හුරුවුණු ඔහුගේ දෑසට මුලින්ම දර්ශනය වූයේ.
කිසි දිනෙක මේ ගෙපැල තුල දී පොල්තෙල් පහනක් දුටු අයුරක්, දඩයක්කාරයාගේ මතකයේ නොමැත. පොල්තෙල් පහන් ඔහු දුටු පුරුදු ඇත්තේ, වනය මධ්යයෙහි සිට ඔවුන්ගේ වාසස්ථානය වූ ගෙපැල පෙනෙනා තෙක් මානයෙන්, අසල වූ එකම ගම්මානය කරා දිවෙනා අඩි පාරෙහි පසෙක; ඒ සැබැවින්ම අඩි පාරක් නොව මුවන් ගෝණුන් සහ ඌරන් වැනි වන මෘගයන්, ගම්මානය අද්දර වූ, අධික වර්ෂා සමයෙහි වැසි දියෙන් පිරීගොස් නියං සමයෙහි මධ්යයේ රැඳුනු දිය කඩිත්තක් දක්වා සිඳීයන වැව කරා, නිතොර පිය නැඟීම නිසාම නිමවුණෙකි, ගම්මානයට සහ ඔවුනගේ ගෙපැලට සම වූ දුරකින් පිහිටි, මහ නුගය සෙවනෙහි සතියකට දෙවරක් පමණ ගම්මානයේ වැසි කිසිවකු හෝ විසින් දල්වන්නා වූවකිනි.
පොල්තෙල් පහන් කෙරෙහි ඇදී ගිය ඔහුගේ නෙත් යුවල, ඒ සැනෙකින් ආපසු යොමුවූයේ පහනෙන් නිකුත්වන දුබල ආලෝකයෙන් දුටු අනපේක්ෂිත සහ හද කම්පාකරවන සුළු දර්ශනයක් දෙසටය. ඔහුගේ මෑණියෝ පසුපස බිත්තිය අසල රළු පොළවෙහි එලන ලද , ගෝණි පඩංගු දෙකක් මත වැතිර සිටියාය.දෑස් තදින් පියා සහ යටි තොල් පට තදින් උඩු දත් ඇන්දට සිරකොට විකා සිටි අයුරු ඈ දැඩි වේදනාවකින් පෙලෙන බව මොනවට කියා පෑවේය.
අධික වේදනාව ඉවසිය නොහුණු නිසාම සැපුණු තොල් පටින් නිකුත්ව ගලාගිය රක්තවර්ණ රුධිරය බිඳු කිහිපයක්, ඇගේ අඩක් නිරාවරණය වූ ලය පෙදෙස තෙත් කරමින් ගලා ගිය දහදිය හා මුසුව සැඟව ගියේය.
ඔහුගේ පියා, එනම් මහ දඩයක්කාරයා, සිය ඇඹේණිය අසල ඇණ තබාගත් වනම නොසෙල්වී සෙල් රුවක් මෙන් හුන්නේ, ඇගේ බොහෝසේ නෙරාගිය කුසය සුරතින් සෙමින් ස්පර්ශ කරමින් වේගවත් එමෙන්ම රිද්මයානුකූල වූ ස්වරයකින් කුමක් දෝ තොල මතුරමින් සිටියේය.
මේ දසුනින් කම්පිත වූ දඩයක්කාරයා තම මව අසල දණින් වැටී ඇගේ සුරත තම දෑතින්ම තදින් ග්රහණය කොට ගත්තේය. ඔහුගේ ග්රහණයෙන් දෝ තමන් එළඹ සිටි අඩ සිහි තත්වයෙන් මඳක් මෑත් වූ මෑණියෝ යටි තොල වැරෙන් සපා සිටි තොල් පට විවර කොට ඉතා අසීරුවෙන් දසන් දක්වා මඳ සිනහවක් පෑවාය.
ඉන්පසු ඔහුගේ දෑතින් සෙමින් මුදාගත් සිය සුරත ඔසවා, තම එකම පුත්රයාගේ වම් කොපුල් තලය ඉතා මෘදුව ස්පර්ශ කලාය. සංවේගය වාවා ගත නොහුණු දඩයක්කාරයා ඇගේ සුරත තම වමතින් කොපුල් තලයට තද කරගනිමින්, නික්මෙන්නට තැත් කරනා කඳුලු බිඳක් වළකා ගනු වස් දෑස තදින් පියා ගත්තේය.
දාරක ප්රසූතිය උදෙසා දරනා මහත් වූ උත්සාහය නිසාම දැඩි වෙහෙස පත් වූ ස්ත්රිය, එනම් මහ දඩයක්කාරයාගේ ඇඹේණිය, දඩයක්කාරයගේ මව, අර්ධ සිහිසුන් භාවයත් දැඩි නිද්රාවත් අතර වූ අවිනිශ්චිත තත්වයක නිමග්නව හෝරා කිහිපයක්ම ගෙවා දැමුවාය. එනමුදු එලෙස අවසිහි තත්වයෙක පසුවෙමින් වුවද ස්වභාව ධර්මයෙන් තමනට නියම වූ කාර්යය ඉෂ්ඨ කරනු උදෙසා මහත් වූ වෑයමෙක් දැරුවාය.
අවසන දැඩි වෙහෙසට පත් වූ හෙයින්ම, දඩයක්කාරයාගේ දකුණු අත තරයේ ග්රහණය කොටගෙන තිබූ ඇගේ සුරත අප්රාණිකව ගිලිහී ගිය ඉක්බිති, සෙමින් නැඟීසිටි හෙතෙම මවගේ අනෙක් පස ඇණ තබාගෙන හුන් පියා අසලට ගොස් දකුණත ඔහුගේ උරහිසෙහි තබා තදින් මිරිකා ගත්තේය.
ජීවිතයේ ප්රථම වරට, යටත් පිරිසෙයින් ස්මරණයෙහි රැඳී ඇති අයුරින් ජීවිතයේ ප්රථම වරට ඒ දඩයක්කාරයා තම පියාණන් ස්පර්ශ කල අවස්ථාවයි. මේ සුවිශේෂී අවස්ථාවෙහි වූ වැදගත් කම දැන සිටියාක් මෙන් දඩයක්කාරයා ද තම උරහිස මතවූ පුත්රයාගේ දකුනත ඒ මත තැබූ තම වමතින් දැඩි ලෙස මිරිකා ගත්තේ, හිස සෙමින් ඔසවා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලමිනි.
දෙපස වූ පහන් යුවලින් විහිදුනු දුබල කහවන් ආලෝකයෙන් දිලිසුණු මහ දඩයක්කාරයාගේ නෙත් පිරී තිබුණේ කෙවෙනි අග්රයෙන් නික්මී කොපුල් තල ඔස්සේ ගලා යාමට ඉතාම ආසන්න වූ මහත් කඳුලකිනි.ඒ දුටු දඩයක්කාරයා නැවත වරක් තම නෙතට නැඟි කඳුල වළකා ගනු වස් දෙනෙත් තදින් පියාගෙන ඉවතට හැරුණේය.
තම පියාණන් නොකඩවා සිහින් හඬින් මතුරන ගීතිකාවක් වන් වූ මන්ත්රයේ රිද්මයානුකූල ස්වරය, මවගේ හිස අද්දර මැටි බිත්තියට වාරු වි පපුව මත බැඳ ගත් දෑතින්, පියවුණු නෙතින් සහ බිමට හැරවුණු හිසින් යුතුව වාඩි වී හුන් දඩයක්කාරයාගේ සිත නිද්රාවට පත් කරවන නැලවිලි ගීතයක් බඳු වී.
මෙසේ නිදි ලොවට වරෙක පිවිසෙමින්, නැවත අවදි වෙමින්, ගෙවූ කාලය කොපමණක්දැයි පැවසීමට ඔහු ද නොදන්නා කාලාන්තරයකට පසු හදිසියේ ඔහු එක්වනම අවදි වූයේ කිසිවකු උරහිස මත අත තබා කල සෙලවීමකිනි.
එක්වරම තමා මේ සිටිනුයේ කොහේදැයි නිශ්චය කරගත නොහුණු දඩයක්කාරයා, හිස කිහිපවරක් සොලවා නිදි අඳුර දෙනෙතින් පළවා හරිමින් හිස එසවීය. ඔහුගේ දෙනෙතට එක වරම ලක් වූයේ, තමා වෙතට නැවී සිටිනා පියාණන් ගේ දෙනෙතයි.තම දෙනෙතට ඉතාම ආසන්නයේ තමාගේ දෑස දෙසම එක එල්ලේ බලා සිටිනා පියාගේ දෙනෙතයි. මතක ඇති දිනෙක පටන් නිශ්චල තරු කැටමෙන් දිලිසුණු ඒ දෙනෙත කුමක්දෝ වටහාගත නොහැකි ශෝකී හැඟීමකින් හෝ අවිනිශ්චිත හිස් බවෙකින් මේ අවස්ථාවේ පීඩිත වී තිබෙණු දුටු දඩයක්කාරයා එක් වනම සිදු වී ඇත්තේ කුමක් ද යන්න නොවලහා අවබෝධ කර ගත්තේය.
***********************************************************
පෝය පහුවෙල ගෙවිල තිබ්බෙ දවස් දෙකයි.ඒ නිසා පිටත සෑහෙන පමණ පැතිරිලා තිබ්බ හඳ එලියට හුරුවෙලා තිබුනු ඇස් ගෙපැල ඇතුලෙ කෑලි කැපිය හැකි ගණ අන්දකාරෙට හුරුවෙනකල් දඩයක්කාරය ටික වෙලාවක් එලිපත්ත ළඟම ඇස් තදින් පියාගෙන හිටිය.ඊට පස්සෙ ඇස් ඇරල දෙතුන් පාරක් වේගයෙන් ඇහිපිය ගසමින්ම පියවර දෙක තුනක් ගෙපැල ඇතුලට ගියා.
දෑස් අඳුරට හුරු උනහම දඩයක්කාරය මුලින්ම දුටුවෙ කහපාට පහන් සිලෙන් දුබල ආලෝකයක් විහිදුවමින් දැල්වෙන පොල්තෙල් පහන් දෙකක්.
ගෙපැල ඇතුලෙ පොල් තෙල් පහනක් පත්තුවෙනම මේ දඩයක්කාරය දැක්කෙ මුල් වතාවට.මහ වනය මැදින් ගෙපැල පෙනෙන තෙක් මානයෙන් ගම්මානය දක්වා දිවෙන අඩි පාර; ඇත්තටම නම් ඒක අඩි පාරක් නම් නෙවෙයි, ගම්මානය අසල තිබ්බ වැවක්; මහ වැස්ස කාලෙට පිරිල උතුරල ගිහිල්ල නියං කාලෙට වැව මැද්දෑවෙ දිය කඩිත්තක් බවට පත්වෙන මේ වැවට මුවෝ, ගෝන්නු, ඌරො එහෙම යන්ට එන්ට හදා ගත්තු පාරක්, ඒ අඩි පාර අද්දර ගෙපැලට සහ ගම්මානයට සම දුරින් වගෙ තිබ්බා මහ රූස්ස නුගයක්. ඔය නුගේ යට සතියකට දෙපාරක් වගෙ ගම්මානෙ කවුරු හරි ඇවිල්ල පොල්තෙල් පහනක් පත්තු කරන සිරිතක් තිබුනා.දඩයක්කාරය මීට කලින් පොල්තෙල් පහනක් දැකල තිබුනෙ එතැන විතරමයි.
පොල්තෙල් පහන් වෙත යොමුවෙච්ච දඩයක්කාරයගෙ දෑස ඒ එක්කම යොමු උනේ ඒ පහන් වල දුබල ආලෝකයෙන් දැක්ක හිත කීරි ගැහෙන දර්ශනයක් දිහාට.ගෙපැලේ පිටිපස්සෙ බිත්තිය අද්දර එලාපු ගෝණි පඩංගු දෙකක් මත වැතිරිල හිටියෙ දඩයක්කාරයගෙ අම්ම.දෑස තදින්ම පියාගෙන යටි තොල්පොට උඩු දත් ඇන්දට හිරකරගෙන තදින් හපාගෙන හිටපු විදිහෙන්ම ඈ දරුණු වේදනාවකින් පෙලෙනව කියල දඩයක්කාරයට තේරුනා.
හැපිච්ච තොල් පොටෙන් ගලාගියපු රතු ලේ බිංදුවක් නැත්නම් දෙකක් ඇගේ බාගෙට නිරාවරණය වී ළය ප්රදේශයේ දහදියත් එක්ක මුසු වෙලා සැඟවුනා.
දඩයක්කාරයගෙ පියා, ඒ කියන්නෙ මහ දඩයක්කාරය ඒ ළඟම ඇණ තියාගෙන හිටියෙ ගල් පිලිමයක් වගේ නොසෙල්වී. තම බිරිඳගේ නෙරා ගිය කුස සෙමින් පිරිමදින අතරෙ ඔහුගෙ තොල් අතරින් නොනවත්වාම පිට උනේ වේගවත් ඒ වගේම රිද්මයානුකූල මැතිරිල්ලක්.
කිසිදිනක දකින්නට බලාපොරොත්තු නොවූ මේ දර්ශනයෙන් ඔලුව විකාර වුනු දඩයක්කාරය අම්ම ළඟ දණ ගහගෙන ඇගේ සුරත අත් දෙකෙන්ම අල්ලගෙන තදින් මිරිකා ගත්තේය. දඩයක්කාරයගෙ පහස දැනුනු නිසාදෝ වේදනාවෙන් මුසපත් වී සිටි ගැහැණිය තදින් යටි තොල සපාගෙන සිටි දත් විදහා දැඩි ආයාසයෙන් වේදනාබර මඳ සිනහවක් පෑවාය.
ඊට පස්සෙ දකුණු අත පුත්රයාගෙ දෑතින් මුදාගෙන ඔහුගෙ වම් කම්මුල හෙමිහිට පිරිමැද්ද. සංවේගය දරාගත නොහැකිවූ දඩයක්කාරයා ඇගේ දකුණත තමන්ගෙ වමතින් කම්මුලට තද කරගෙන දෑසේ නැඟෙන කඳුලු වලකාගැනීමට දෑසම තදින් පියාගත්ත.
දරු ප්රසූතිය වෙනුවෙන්ම දරූ දැඩි උත්සාහය නිසාම අධික වෙහෙසට පත්වූ දඩයක්කාරයාගේ මව නැතහොත් මහ දඩයක්කාරයාගේ බිරිඳ අඩක් සිහිසුන් එමෙන්ම අඩක් නිද්රාවට පත් තත්වයකට පත් වූවාය. එහෙත් ඇය ඒ අවසිහියෙන් පසුවන විටදී පවා විට පවා ස්වභාව ධර්මය විසින් තමනට නියම වූ කාර්යය ඉටු කිරීමට නොමඳ උත්සාහයක් ගත්තීය.
අවසානයේ දැඩි වෙහෙසට පත් ඇගේ සුරතින් දඩයක්කාරයාගේ සුරත ගිලිහී ගියේය. ඉන්පසු සෙමින් නැඟී සිටි ඔහු මවගේ අනෙක් පස මෙතෙක් ඇණ තබාගෙන උන් පියා වෙතට ගොස් ඔහුගේ උරහිස දැඩිව තම දකුණතින් මිරිකා ගත්තේය.
ඒ ජීවිතයේ පලමු වතාවට, අවම වශයෙන් මතක ඇති පමණ පලමු වතාවට ඔහු තම පියා ස්පර්ශ කල අවස්තාවයි. මේ මොහොතේ සුවිශේෂී වැදගත්කම වටහාගත් නිසාදෝ මහ දඩයක්කාරයා ද තම උරහිස මත රැඳි පුත්රකයාගේ දකුණත ඒ මත තබූ තම වමතින් මිරිකා ගනිමින් හිස ඔසවා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලීය.
දෙපැත්තෙ පහන් වැටි දෙකෙන් නිකුත් වූ දුබල ආලෝකයෙන් පියාණන්ගේ දෙනෙත් අග දිලිසෙන කඳුලු දුටුව පුත්රයා ආයෙම අහකට හැරුනෙ තම නෙත් වලට නැඟුනු කඳුලු වලකා ගන්නට දැරූ අසාර්ථක උත්සාහයක් හැටියට,
පියාගේ මුවින් නොකඩවා නික්මෙන රිද්මයානුකූල මැතිරුම මවගේ හිස අද්දර මැටි බිත්තියට පිට දී පපුව මත බැඳගත් දෑතින් සහ බිමට හැරවුණු නෙතින් පසුවන දඩයක්කාරයාගේ සිත නින්දට පත් කරවන නැලවිල්ලක් වුනා.
මෙසේ වරෙක නිදි ලොවට පිවිසෙමින් සහ යලි අවදිවෙමින් කොපමන කාලයක් ගෙවූවා දැයි හරි හැටි ඔහුම නොදන්නනා කාලාන්තරයකට පස්සෙ එක වරම ඔහු අවදි වූයේ කිසිවකු උරහිස මත අතක් තබා කල සෙළවීමකින්.
එක්වරම තමා මේ සිටිනුයේ කොහේදැයි නිශ්චය කර ගත නොහැකිවූ දඩයක්කාරයා නිදි මත පලවා හැරීම සඳහා දෙතුන් වරක් හිස ඒ මේ අත සොලවල දෙනෙත් විවෘත කලා. ඔහුගේ දෙනෙතට ලක්වූයේ තමාගේ මුහුණට එබී තම දෙනෙත් දෙස ඇසි පිය නොහෙලා එක එල්ලේ බලා සිටිනා තවත් දෙනෙතක්.ඒ තම පියාණන් ගේ දෙනෙතයි. මතක ඇති කාලෙක ඉඳල නිශ්චල තරු කැට වගෙ දිලිසුණු ඒ දෙනෙත කුමක් දෝ වටහාගත නොහැකි හිස් බවකින් නො එසේනම් ශෝකී බවකින් පිරී තියෙනව දුටු දඩයක්කාරය කිසිම සැකයකින් තොරව වටහා ගත්ත සිදු වී ඇත්තෙ මොකක්ද කියල.
මතු සම්බන්ධයි........
Tuesday, March 13, 2012
107. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....5

දඩයක්කාරයාගේ කතාව .....1
දඩයක්කාරයාගේ කතාව .....2
දඩයක්කාරයාගේ කතාව .....3
දඩයක්කාරයාගේ කතාව .....4
දඩයක්කාරයාගේ අතීතාස්මරණයන් තව දුරටත් ඉදිරියට ගෙන යාමට පෙර වර්තමාන කාලයට ඔබ කැඳවාගෙන ඒමට මට මොහොතකට ඉඩ දෙන්න ප්රිය සහෘදය,
මේ වෘතාන්තය ආරම්භයේදීම ගෙපැල පසුපස වනස්පතිය සෙවණේ ඇණ තබා සිටිනා දඩයක්කාරයා පිළිබඳව මා පැවසුවා ඔබගේ ස්මරණයට යළි කැඳවමි.
එසේ ඇණ තබාගත්වනම නිසොල්මන්ව ශෛලමය පිළිරුවක් මෙන් හුන් ඔහු වෙත, සත්ය වශයෙන්ම ඔහු වෙත නොව, ඔහු රැඳී හුන් නුග සෙවණ වෙත,මධ්යාහ්නයේ දැඩි හිරුරැසින් වළකිනු වස් ඇදී එමින් සිටි තලගොයින් යුවල ද ඒ පසුපසම ඒ හා සමඟම ඔබගේ මතකයට කැඳවමි.
වෘත්තාන්තයක් පැවසීමෙහිදී සියළු අඩු ලුහුඬුතා ප්රවේශමෙන් සොයා බලා ඒ සඳහා පිළියම් යෙදීම අත්යාවශ්යමයෙන්ම කල යුතු කාර්යයකි.නැතහොත් දඩයක්කාරයාගේ වෘත්තාන්තයේ උද්වේගකර කූට ප්රාප්තිය අවස්ථාවෙහිදී ඔබ කිසිවෙකුත් " අඩේ අයියෙ මොකද බං අර නුග ගහ ගාවට ආපු තලගොයි දෙන්නට උනේ? " විමසන්නට යෙදුනහොත් එයින් මාගේ චිත්ත ඒකාග්රතාව බිඳී ගොස් වෘත්තාන්තය ගොඩ නැඟීම අඩාල වී මහත් වූ කලබැගෑනියක් සිදු නොවේ යයි එකහෙලා සහතිකයක් දිය හැක්කේ කාටද?
ඉංගිරිසි භාෂාවෙන් මෙය හැඳින්වෙනුයේ Tying up loose ends යනුවෙනි
මවිසින් මේ ඉටු කිරීමට සූදානම් වනුයේ එවන් ලිහිල් අග්ර ගැට ගැසීමකි.
මේ එම තලගොයින් යුවල පිළිබඳව වෘත්තාන්තයේ පළමු කොටසේ සඳහන් වූ අන්දමයි.
දෙනෙත තදින් පියා සිටියද, අවට සිදුවන දෑ පිලිබඳව සංජානනය දඩයක්කාරයා මනාව ප්රගුණ කොට සිටියෙන් තමන් ඉදිරිපිට නිසොල්මන්ව හිටි පියවර තමා දෙස බලාසිටිනා සිව්පාවුන් දෙදෙන ඔහුගේ මනැසට හොඳින්ම ගෝචර විය.
දඩයක්කාරයා මනසින් අතීතයට , එනම් දශක සතරකට පෙර යුගයකට පිවිස සිටියේය. අතීත මතක සැමරුම් අතර සරන ඔහුගේ දෑස තදින් පියවී තිබිණි. වරින්වර මුවින් පිටවූ නොපැහැදිලි වදන් ද ක්රමයෙන් නෑසී ගියේය.අවට පැතිරි දැඩි නිහඬතාවය නිසාම චකිතය පහවූ තලගොයා තවත් මොහොතක් දඩයක්කාරයාගේ අචල රුව දෙස තම නෙරාගිය ඇස් දෙකෙන් බලා සිට අනතුරක් කිසිසේත්ම නොමැතිබවට සැකහැර දැනගත් පසු තම පියඹ ද සමඟ දඩයක්කාරයාගේ දකුණු පාදය අසලින්ම ගොස් වනස්පතිය සෙවණේ අඳුරු සෙවණැලි තුලට වැද ගත්තේය.
දඩයක්කාරයා මෙවිට සිටියේ ගෙපැල තුල සුපුරුදු ලෙස බිත්තියට පිටුපා ඇණ තබාගෙන මෑණියන් බෙදා දුන් රාත්රි ආහාරය ගිල දමමිනි. රාත්රියේ ඇසුණු කෙඳිරිලි හඬට ප්රතිචාර ලෙස කඩුවක් වන් ආයුධය ද සුරතින් මිරිකාගෙන ඔහු ගෙපැල තුලට කඩා වැදුනු සිද්ධිය ඔබට මතක ඇතැයි මම නිසැකවම විශ්වාස කරන්නෙමි මා සොයුර / සොයුරිය....
මේ එම සිදුවීමෙන් පෝය හත අටක් පමණ ගෙවීගිය පසු දිනයෙකි. එදින ඒ සිදුවීමෙහි එකම ප්රතිඵලය වූයේ මහ දඩයක්කාරයා ගෙපැලෙහි සිටිනා දිනවල දී බට පතුරු වියා තනාගත් දොර පැලැල්ලක් ගෙපැලෙහි එකම දොරකඩ ඇවිරීම පමණකි.පියා හෝ මව ඒ පිළිබඳව එකදු වචනයක් දඩයක්කාරයා සමඟ නොදෙඩුවෝය.
එදින සිදුවීමට එකහෙලාම සම්බන්ධයයි දඩයක්කාරයාට නිසැකවම තීරණය කිරීමට අපහසු වූ එහෙත් එසේ සම්බන්ධයයි ඔහු අනුමාන කලා වූ තවත් එකම වෙනසක් දක්නට ලැබිණි. එනම් මෑණියන්ගේ කුස කෙමෙන් කෙමෙන් ඉදිරියට නෙරා ඒමයි.
තඩිස්සි වුනු දෙපා කරන කොටගෙන ඇය මේ දිනවල ගෙපැල තුල පවා එහා මෙහා ඇවිද්දේ ද මහත් අපහසුවකිනි. පසුගිය සති දෙක තුන පමණ මහ දඩයක්කාරයා පුරුද්දක් ලෙස රාත්රියේ විශේෂයෙන් ද දිවා කාලයේ හැකි සෑම විටකම ද ගෙපැලේ රැඳී සිටියේය. රාත්රි අහර ද බොහෝ විට පිළියෙල වූයේ ඔහු අතිනි.
එදින ද රාත්රී අහරින් පසු සුපුරුදු ලෙස පොරෝනය තුලට ගුලි වූ දඩයක්කාරයා නින්දට වැටීමට උත්සාහ දරමින් සිටියේය. වැසි සමය ගෙවී ගොස් තිබූ බැවින් අහසෙහි එකදු වලාකුලකුදු නොවීය. පෝය ගෙවී ගියේ දින දෙකකට එපිට බැවින් ගෙපැල ඉදිරිපස කොහොඹ ගසෙහි අතු පතර මඳ සුළඟින් සැලෙන අයුරු පවා පිල් කොමුවෙහි දිගාවී හුන් දඩයක්කාරයාට යාන්තමින් පෙණිනි.
සිරුර පිසගෙන හමාඑන සිහිල් මඳ සුලඟේ පහස විඳිමින් සිත නිදහසේ ඉපිල යාමට ඉඩහල දඩයක්කාරයා නින්දට පිවිසියේ කුමන මොහොතකදැයි ඔහු නොදත්තේය.
එක්වරම ඔහු අවදිවූයේ කුමන හේතුවක් නිසා ද යන්නද නොදත් නමුදු ඒ පෙර දිනයක මෙන්ම සවනට වන් යම් ශබ්දයක් නිසා බව ඔහුට සහතිකය.
පසුගිය වතාවේ මෙන් නොව මෙවර ඔහුට නිසොල්මනේ යලි ඒ ශබ්දය නැඟෙන තෙක් බලාපොරොත්තු වීමට කිසිසේත් සිදු නොවීය.
නොකඩවා නැඟෙන කෙඳිරිල්ල ඇසෙනුයේ ගෙපැල තුලින් බවට ඔහු තුල කිසිදු සැකයකුදු නොවීය.
මෙවර කෙඳිරිල්ලට හේතුව හාත්පසින්ම වෙනස් කරුණක් බව ද ඔහු සැක හැර දත්තේය. එය දන්නේ කෙසේ ද යනු කිසිම අදහසක් නොමැති වු වද ඒ එසේම බව ඔහු සැක හැර දත්තේය.
එසේම පසුගිය වතාවේ මෙන් සංත්රාසයක් හෝ අවිනිශ්චිතතාවයක් නොව මෙවර ඒ කෙඳිරිල්ල ඔහු සිතට ගෙන ආවේ ශෝකයක්, සන්තාපයක් වැනි හරිහැටි විස්තර කරලීමට කිසිසේත්ම නොහැකි හිස් වූ හැඟීමෙකි.
සෙමින් පොරෝණය ඉවත් කොට නැඟී සිටි හෙතෙම ගෙපැලෙහි දොරටුව වෙත සෙමෙන් ළඟාවිය. දොරටුව ආවරණය කල බට පැලැල්ල දැනට සෑහෙන කලක සිට දොරටුව අසල බිත්තියට හේත්තුකොට තිබුණා විනා ඉන් දොරටුව වැසීමක් නොවුනු බව හදිසියේම ඔහුට සිහිවිය.
ඉන් ගම්යවන්න කුමක්දැයි විමසීමට වෙහෙස නොවුනු දඩයක්කාරයා සෙමින් කිසිදු හඬක් නොනැගෙනසේ පියවර තබමින් ගෙපැලට ඇතුළු විය.
මතු සම්බන්ධයි........
Monday, March 12, 2012
106. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....4

දඩයක්කාරයාගේ කතාව .....1
දඩයක්කාරයාගේ කතාව .....2
දඩයක්කාරයාගේ කතාව .....3
එදින සවස් භාගයේ ඇරඹුණු වර්ෂාව මැදියම ආසන්න වන විට තුරල් කර තිබිණි. වැසි වළා පහව ගිය හෙයින්, සඳ පායා ආවේ වන පෙත ශ්වේත වර්ණයෙන් නහවමිනි. තුරුපත් මත රැඳි සීතල පිණිබිඳු ඒ මත පතිත සඳ කැළුම් කරණකොටගෙන දැල්වූ පහන් මෙන් බැබලිණි.
එහෙත් දඩයක්කාරයා මේ අපූරු දසුන් කිසිවක් නොදිටීය. වර්ෂාවත් සමඟ පැමිණි හිරිගඩු නංවන දැඩි සීතල මකා ගනු වස් පොරෝණය තුලට තවත් තදින් ගුලි ගැසුණු හෙතෙම, මේ වන විට තදින්ම නින්දට වැටී සිටියේය.
කොපමණ තදින් නිදා සිටියද, ඉතා සුළු ශබ්දයකින් පවා වහා අවදිවීමේ දඩයක්කාරයාගේ හැකියාව පිළිබඳව මින් පෙර කල සඳහන සහෘදයිනි, ඔබට මතක ඇතැයි සිතමි.
එක්වරම අවදි වූයේ කුමන හේතුවක් නිසා දැයි සිතාගත නොහැකි වූවද, සවන් වැකුනු යම් නුපුරුදු ශබ්දයක් හේතුකොටගෙන යටිසිත නිකුත් කල අනතුරු හැඟවීමක් කරණ කොටගෙන ඒ සිදුවූ බව ඔහුට සහතිකය. උඩු සිත නින්දේ පසුවුවද, යටිසිත මෙසේ අනතුරු පිළිබඳව විමසිල්ලෙන් අවදියෙන් පසුවීම මහ වන මධ්යයෙහි දිවි ගෙවන්නකුට නිබඳ එල්ල විය හැකි දහසකුත් එකක් අතුරු අන්තරායන්ගෙන් ගැලවීමට අත්යාවශ්ය සාධකයක් වෙයි.
අවදි වූවද, එක් වරම නැඟී නොසිටි හෙතෙම සෙමින් පොරෝණය මෑත් කොට, හිස නොහරවා දෙනෙත් ඒ මේ අත යවමින් දෘෂ්ඨි පථයට අසුවන මානය සෝදිසි කලේ අනතුරක් කුමන ඉසව්වෙන් ලඟා වියහැකිදැයි නිශ්චය කොට ගැනීමට තැත් කරමිනි. නිතොර අත පොවන මානයෙන් ඉවතට නොගිය තියුණු කඩුවක් වන් ආයුධය මේ වන විටත් සුරතේ ඇඟිලි අතර තදින් සිරවී තිබුණේ අනතුරක් ඇස ගැටුණු වහා ක්රියාත්මක වීමේ අටියෙනි.
නින්දෙන් අවදි වීමට හේතුවූයේ කෙඳිරියක් වන් හඬක් බව යටිසිතෙහි යාන්තමට බොඳවූ මතකයක් වැන්නක් තිබියේ වුවද, හුස්ම පවා නොගෙන මුළු මහත් චිත්ත ඒකාග්රතාවයම යොමු කරමින් සවන් දුන්න ද ගෙමිදුල කොහොඹ ගසේ අතුපතර සිට ඉගිල ගිය බොහෝවිට වවුලකු විය හැකි නිශාචර පක්ෂියකුගේ කෙමෙන් මැකී ගිය තටු සැලීම හැරෙන්නට කිසිදු කෙඳිරිල්ලක් වැනි ශබ්දයක් ඔහු දෙසවන පතිත නොවීය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔහු නින්දෙන් අවදි කරවූ ශබ්දය වැන්නක් මතු නොව වෙනත් කිසිදු ශබ්දයක් පවා නොමැතිව ලොවම නිහඬව පැවතිණි.ක්රමයෙන් දඩයක්කාරයාගෙ ආශ්වාස ප්රශ්වාසය යථා තත්වයට එළඹෙමින් තිබිණ.දැඩිව කඩුව වන් ආයුධය මිරිකාගත් සුරතේ ඇඟිලි කෙමෙන් ලිහිල් වන්නට විය.අවසන දැඩිව ආතතියට ලක්ව තිබූ සිරුර ද ක්රමයෙන් ඉහිල් වන්නට වූයෙන් දඩයක්කාරයාගේ දෑස පියවෙන්නට ආරම්භ වූවා පමණි.
එක්වරම දෙසවන් විදගෙන ඇතුළු වූ අව්යාක්ත කෙඳිරිල්ලකින් දඩයක්කාරයා අවදි වූයේ පොරෝණය පසෙකට වීසි කර දමමිනි.එවර නම් ඒ කෙඳිරිය නැඟුනේ ගෙපැල තුලින් බවට ඔහුට කිසිදු සැකයක් නොවීය. ගෙපැල තුලින් නැඟුනු ඒ කෙඳිරිය හඳුනා ගැන්මට ඔහුට අසුරු සැනක් ගත නොවීය.
'' අම්මා......"
තම මෑණියන් කෙරෙහි මෙතෙක් කිසිදින නොදැනුනු හැඟීමක් ඔහුගේ සිත පුරා පැතිර ගියේය.
මාතෘ ප්රේමය යයි නිසැකවම හඳුනාගත් ඒ හැඟීමෙන් ඔද වැඩුනු දඩයක්කාරයා, සුරතින් තරව ග්රහණය කොටගත් කඩුවක් වන් ආයුධයද පෙරටු කරගෙන, ගෙපැල තුලට කඩා පිණීය.
මේ වන විට සඳ වලාවකට මුවාව ගිය නිසා දෝ දසතම වෙලී පැවතියේ කැබලි කැපිය හැකි ඝණ අඳුරකිනි. ගෙපැලට ඇතුළු වූ දඩයක්කාරයා ඝන කළුවරෙහි කිසිවක් කරකියා ගත නොහී කඩුව ද තදින් ග්රහණය කොටගෙන, ගෙපැල මධ්යයෙහි නතර වූයේය. මෙ වන විටම සඳ මෙතෙක් ඒ මුවා කල වලාවෙන් මිදුනු බැවින් දෝ දොරකඩින් ගලා ආ එළිය දහරකින් ගෙපැල ඇතුලත අපැහැදිලි ව වුවද මඳ ආලෝකයකින් පිරී ගියේය.
ගලා ආ සඳ එළියෙන් ගෙපැල ඇතුලත ආලෝක වන්නා හා සමඟම දුටු දසුනින් සිහි එලවාගත නොහුනු දඩයක්කාරයා ගෙපැල මධ්යයේ ඔහු සිටි ස්ථානයේම පාෂාණිභූත විය.
ඇදී ආ සඳ එළිය තීව්ර වන්නට වූයෙන් ක්රමයෙන් පැහැදිලි වන ගෙපැල තුල පසුපස බිත්තිය අද්දරට වන්නට වැතිර සිටියේ ඔහුගේ මෑණියන්ය.මෑණියන් වැලඳගෙන දහදිය වැකුණු සිරුරින් යුතුව සිටි පුද්ගලයා දඩයක්කාරයා ගෙපැල තුලට පැමිනි වග දැනුනු නිසා දෝ සෙමින් හිස හරවා දඩයක්කාරයාගේ නෙත් දෙස එක එල්ලේ බැලීය.
තම පියාණන් ගේ දෑස හා දඩයක්කාරයාගේ දෑස එකිනෙක වෙලී ගතවුනු නිමේශයකට පසු......
උරහිස තෙක් කඩා හැලුනු කාලවර්ණ කෙහෙරල......දහදිය නොකඩවා ගලා හැලෙන මුහුණ......මඳ සඳ එළියේ වුවද අමාවකේ තරු කැට මෙන දිලිසුනු ඔහුගේ දෑස.....
දඩයක්කාරයා පියවි සිහියට පැමිණියේ තම සුරතෙහි මෙතෙක් වේලා දැඩිව මිරිකාගෙන සිටි කඩුවක් වන් ආයුධය ලිහිල්ව අප්රාණික වූ අතැඟිලි අතරින් ගිලිහී බිම වැටෙන හඬිනි.සොහොන් භූමියක් මෙන් නිශ්ශබ්ද ගෙපැල තුල නින්නාද වූ ඒ හඬින් දැහැන බිඳී ගිය දඩයක්කාරයා, පසු නොබලා ගෙපැලින් ඉවතට පැන ගත්තේ, ගෙපැලින් මඳක් දුරින් පිහිටි රූස්ස වනස්පතිය සෙවණෙහි නතර වූයේ, ඊට පිටදී දෙතුන් වරක් ගැඹුරට හුස්ම ගෙන සෙමින් ආපසු හෙළීය.තවමත් වැසි සිසිල සහ පින්න තිබියද සිරුර පුරා ගලනා දහදිය හේතුවෙන් ඔහුට කිසිදු සීතලක් නම් නොදැනුනි.කෙමෙන් සිත එකලස් වන තුරු නිමේශයක් එතැනම පොරොත්තු වූ හෙතෙමේ ඉනික්බිති තම සුපුරුදු ගල් තලාවෙහි අසුන වෙත ගොස් එහි දිගාවිය.
වළා පහව ගොස් සඳ බැබලිණි. ගතෙහි නැඟි දහදිය විටින් විට හමා ආ සිහිල් සුළඟින් වාෂ්ප වී යන්නා හා සමඟම මුළු සිරුරම කිලි පොලවමින් දැනුනු දැඩි සීතල විඳ දරාගනිමින් දඩයක්කාරයා තවත් හෝරාවක් පමණ ගල් අසුන මත දිග ඇදී එලෙසම රැඳී සිටියේය.
මින් පෙර කිසි දිනෙක නුදුටුවේ නමුදු මව සහ පියාණන් නිරතව සිටි කාර්යය කුමක්ද යන්න ඔහු ඉවෙන් මෙන් වටහා ගත්තේය. නිතර වනයේ සරන, දිවා කාලය මුලුමනින්ම වනයේම ගෙවා දමන දඩයක්කාරයාට මුවන් සහ ගෝනුන්ගේ පෙම් ජවනිකාවන් මෙන්ම ඔවුනගේ රමණය ද නුපුරුදු දසුනක් නොවීය. ඒ ඔහුට වන සතුන්ගේ එදිනෙදා ක්රියාකාරකම් වූ ආහාර ගැනීම්, දිය පානය, මල සහ මූත්ර පහ කිරීම එසේම සතුරකු අතින් මරණයට පත් වීම වැනිම ස්වාභාවික සංසිද්ධියකට එහා ගිය දෙයක් නොවීය.
කෙමෙන් සිත යථා තත්වයට පත් වූ ඉක්බිතිවද දඩයක්කාරයා හිමිදිරි අළුයම සීතල විඳ දරා ගනිමින් හිරු උදාවන තුරු ගල් තලාව මත එලෙස වැතිර සිටියේය.
මතු සම්බන්ධයි........
Friday, March 9, 2012
105. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....3

දඩයක්කාරයාගේ කතාව .....1
දඩයක්කාරයාගේ කතාව .....2
උදෑසනම වන වදින හෙතෙම, හිරු අවරට හැරෙනතුරු ඔහුටම සුවිශේෂී වූ වන මං ඔස්සේ නිසොල්මනේ සරමින් වන සතුනගේ චර්යාවන් නරඹමින් වරෙක විශ්මය පත් වෙමින්, වරෙක සංත්රාසයට පත් වෙමින් කල් යවන්නේය.
මිල්ල කරුවෙකින් නිමවාගත් නිතොර භාවිතයෙන් සුමටව ඔපවත් වූ ගල් දුන්න ද රැගෙන සාවුන් , මීමින්නන්, තලගොයින් වැනි අවශේෂී කුඩා සිව්පාවුන් නිතොර ගමන් කරන පිය මං ඔස්සේ සැරිසරන හෙතෙම වනයේ සැරීමෙහිදී නිශ්ශබ්ද තාවයෙහි මිල කල නොහෙන අගය ස්වකීය අත්දැකීමෙන්ව මොනවට වටහා ගත්තේය.
බොහෝදින වල ඉහත පැවසූ සිව්පාවකු හෝ යටත් පිරිසෙයින් වන තුරු පියසෙහි අතු අග ලැග ඉන්නා කොබෙයියකු හෝ ඔහුගේ ගල් දුන්නෙහි නොවරදින ඉලක්කයට ගොදුරු වෙයි.ඉණෙහි රැඳි කුඩා පිහි තලය ගලෙක උලා තියුණු සැතක් සේ මුවහත් කොටගෙන, සිරුර හම ගසා මස් කරගැනීමට ඔහුට ගතවන්නේ ඉතා සුළු කාල වේලාවකි.වියළි වෙලං කෝටු දෙකක් එකිනෙක තදින් පිරිමැද වියළි පරඬැල් ගොන්නකට අවුලවාගත් ගිණිමැලයේ පලහාගත් අතුණුබහන් ඉවත් කල මල සිරුර උදෑසන සිටම කිසිදුආහාරයක් පතිත නොවුනු හිස් වූ කුසයට ගමන් කරනුයේ දඩයක්කාරයාගේ සමස්ත රස නහර පද්ධතියම සංතෘප්ත කරවමිනි.
ඉනික්බිති නීල ආකාශය වසා පැතිරීගිය හරිතවන් තුරු ගොමුවක සෙවණට වී නින්දට පත්වන දඩයක්කාරයා නැවත පිබිදෙනුයේ සැඳෑ අඳුර වනයේ සතර දෙසින් ඇදෙමින් ලොව වසා ගන්නා යාමයේය.
නිසොල්මන්ව පියවර තබමින් ගෙපැල වෙතට ඇදෙන දඩයක්කාරයාට වන සීමාවේදීම දක්නට ලැබෙනුයේ, ගෙපැල තුල ඇණ තබා හිඳගෙන අක්රමවත්ව තැබුණු ගල් ගෙඩි තුනක් මත තැබූ මැටි වලඳක ලී පත්තකින් කාල් ගාමින්, රාත්රී ආහාරය පිළියෙල කරනා මෑණියන්ය.වන සීමාවේම ඇණ තබා හිඳගනිමින් සුපුරුදු ලෙස ඔහුටම ආවේණික ඉරියව්ව වන දෙදණ මත තබා දිගහැරගත් දෑතෙහි ඇඟිලි සෙමෙන් සොලවමින්, දඩයක්කාරයා බොහෝවිට හෝරා අඩක් පමණ නිසොල්මන්ව ඈ දෙස බලා සිටි. මෙවිට ඔහුගේ සිතෙහි මාතෘ ප්රේ මයට බොහෝසේ ආසන්නවූ එහෙත් ඔහුට කිසිලෙසක හරිහැටි වටහාගත නොහුණු හැඟීමක් ඉපිද ඒ හා සමඟම අතුරුදන් වී යයි.
එක් වනම නිද්රාවකින් අවදිවූවා මෙන් නැඟී සිටින හෙතෙම, ගෙපැළට ඇතුලුව එහි එක් මුල්ලක සුපුරුදු ඉරියව්වෙන් ඇණ තබාගනියි. ඔහු දෙස බලා මඳ සිනහවකට ආසන්නවන සේ තොල් විවර කරනා මෑණියන් ලිප මත්තෙහි ගින්නෙහි පැසෙනා වළඳ තරම් කාල වර්ණ නොවූ වළඳකට බෙදූ ඈ විසින් මෙතෙක් පිසූ අහර ඔහුට ගෙනවුත් දෙයි.ඇගේ වත දෙස මොහොතක් බලා සිට සිනහවක් යයි ඔහු උපකල්පනය කරනා ඉරියව්වක් දෙතොලින් පල කරන දඩයක්කාරයා ඇගේ අතින් වළඳ සුරතට ගන්නේ බිම බලාගෙනය.
එහි බොහෝ විට ඇත්තේ ඔහුගේ පියා විසින් දඩයම් කල මුවෙකු ඌරකු හෝ ගෝනකුගේ කැවුත්ත හදවත වන් රසවත් මාංශයක්, කුඩා කැබලිවලට කපාගත් බටු හෝ තියඹරා සමඟ බඩ ඉරිඟු ඇට යොදා ඊට අවට වනයෙන් නෙලාගත් කොල වර්ගයක් ද මුසු කොට පිසගත් උකුවූ ආනමකි.
එලෙස හිඳගත්වනම වළඳ හිස් වන තෙක් එහි ඇති කුමන හෝ දෙය අනුභව කරන දඩයක්කාරයා, මැටි වළඳ එතැනම සීරුවෙන් බිම තබා නැඟී සිටියි.
ගෙපැලේ මුල්ලක බිම වාඩිවී කටු මැටියෙන් සහ ගස් පතුරු වලින් නිමැවුණු බිත්තියට පිටදී සිටින මෑණියන් දෙස මොහොතක් බලා සිටින දඩයක්කාරයා ගෙපැලින් පිටවී බොහෝ විට ගෙපැල පසුපස වනස්පතියට ඔබ්බෙන් පිහිටි ගල්තලාවට ගොඩවෙයි. ගල්තලාව මුදුනෙහි ඇති අසුන්ගැනීමටම සුදුසු ලෙස නිමැවුනු කුඩා පීඨිකාව වැන්නෙහි සැතපෙන ඔහු, සඳ පහන් රැයක නම් පුරා සඳ ද, සඳ නොමැති රැයක නම් තැන තැන දිලෙන දහස් සංඛ්යාත තරු කැට ද නරඹමින් හෝරාවක් දෙකක් ගත කරයි.
දඩයක්කාරයා ඒ පිළිබඳව ඡායා මාත්රයක් හෝ නොදන්නා නමුදු ඔහු අසුන් ගෙන සිටි මේ ශෛලමය පීඨිකාව වනාහී වසර දෙදහසකට ආසන්න කාල පරාසයකට ඔබ්බෙහි වර්තමාන මේ වන ගහණය රුහුණු රාජධානියට බත සපයන ප්රධාන ධාන්යාගාරයව තිබූ සමයෙහි මේ ප්රදේශය පාලනය කල ප්රභූවරයා විසින් විවේක සුව විඳිමින් අවට සිරි නරඹනු උදෙසා කරවූවකි.
දිවා කල දැඩි හිරු රැසින් කැකෑරුනු තුරුලතාදිය සිහිල්ව හරිත වන් පත්ර මත පිණිබිඳු මතුවන්නට වූ කල්හි, එනම් අවට පරිසරය දැඩිව සිසිල් වන්නට වූ කල්හි දඩයක්කාරයා සෙමින් සෙමෙන් ගල්තලාවෙන් බැස ගෙපැලට පා ඔසවන්නේය.මතක ඇති දා සිට ඔහුගේ නිදි පොල වන ගෙපැල ඉදිරිපස බා තිබූ යාලත්ත යට පිල්කඩෙහි දිගාවන ඔහු මව විසින් එහි තබා ඇති පොරෝණය ඉහේ සිට දෙපතුල දක්වා පොරවාගෙන එතුල ගුලි ගැසෙයි.
එහෙත් ඔහු හිමිදිරි වනතෙක් පසුවන්නේ නින්දත් නොනින්දත් අතරය. ඔවුන්ගේ ගෙපැල මහ වන මධ්යයේ පිහිටියද කිසිම වන සතෙකු අවම වශයෙන් වඳුරකු දඬු ලෙහෙනකු පවා කිසි දිනෙක ගෙපැල ආසන්නයට පවා නොපැමුණුනද ඕනෑම හදිසි අව්ස්ථාවකට සූදානමින් ඔහු පිලෙහි නිදිදෙව්දුව වැළඳ ගත්තේ සුරතෙහි දැඩිව මිරිකාගත් තියුණු කඩුවක් වැනි දිගු ආයුධයක්ද සහිතවය.
රාත්රිය මධ්යයට ආසන්න හෝරාවක දීය ඔහුගේ පියාණන් එනම් මහ දඩයක්කාරයා පැමිණෙනුයේ.මහ දඩයක්කාරයා කොපමණ නිශ්ශබ්දව පියවර තබන්නේද යත් කිසිම දිනක ඔහු පැමිණි බවක් පවා කෙතරම් විපරම්ශීලී වුවද දඩයක්කාරයා නොදත්තේය.
උදෑසන බට පතුරු කිහිපයකින් නිමවුනු දොර පැලැල්ල වසා තිබෙනු දුටු විටය පියාණන් පැමිණි බව දඩයක්කාරයා නිශ්චය කරගනුයේ.මේ දොර පැලැල්ල මෙසේ මහ දඩයක්කාරයා ගෙපැලෙහි සිටින රාත්රියන්හි වැසෙන්නට වූයේ දඩයක්කාරයාගේ මතකයෙන් කිසිදිනෙක බැහැරව නොයන එක් රාත්රියක සිදුවූවකින් පසුවය.
මතු සම්බන්ධයි........
ඡායාරූපය - Google Images
Wednesday, March 7, 2012
104. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....2
දඩයක්කාරයාගේ කතාව ...1
කාල නිර්ණය පිළිබඳව දඩයක්කාරයාගේ න්යාය අනුව ඔහුගේ මෑණියන් මියගියේ ද ඊයේය.එදින පිළිබඳ ස්මරණයන් විවේකී අවස්ථාවන්හි, එනම් සිතට ඉබාගාතේ උත්ප්ලාවනය වනු සඳහා අවකාශ ලබාදුන් අවස්ථාවන්හි ,නිරායාසයෙන්ම සිතට ප්රවිෂ්ට වනුයේ අධික වර්ෂාධික කාල වකවානුවකදී වාළිඹේ ගිරිහිස වසා පැතිර පවත්නා තිමිර පට, නිරතුරු හමා එන වේගවත් සුළඟින් තාවකාලිකව විසිර ගොස්, තුරු ලතාදියෙන් සමලංකෘත ගිරි මුදුනත හරිත වර්ණයෙන් දර්ශනය වන අයුරිනි.
තම මව කෙරෙහි ඔහු තුල පැවති අවිනිශ්චිත හැඟීම කුමනාකාරදැයි විශ්ලේෂණය කරනු වස් ඔහු කිසිවිටෙක තැත් නොදැරූ බැවින්, මව කෙරෙහි පැවති ඒ ලැදියාව මාතෘ ප්රේමයක්මදැයි නිශ්චය කොට ගැනීමට ඔහුට කිසිදා හැකිනොවිණි.
ළදරු අවදියෙහිදී මවගෙන් කිරී බොන මතකයක් නොමැති වුවද, සිය නිවුන් දරු දෙදෙනා බිරිඳගේ දෙතනේ එල්ලී කිරි බොන අයුරු දිවා කල අහම්බයක් ලෙස ගෙපැලේ රැඳී සිටි දුර්ලභ අවස්ථාවන්හි නෙතට ගෝචරවුනු හෙයින්,තමන් ද මවගේ දෙතනේ එල්ලී එකල්හි මෙසේම කිරි බොන්නට ඇතැයි දඩයක්කාරයා උපකල්පනය කලේය.ඒ හා සමඟම ඒ දුරාතීතයෙහි තමන්ගෙන් සදහට වෙන්ව ගිය ඒ ස්ත්රිය කෙරෙහි මෙතෙක් කලකට නොඉපදුනු සෙනෙහසක් වන් හැඟීම් අංශු මාත්රයක් සිතෙහි කොණෙක රාත්රි යාමයෙහි නිවීයාමට ආසන්න ගෙමිදුලෙහි දැල්වූ ගිණි මැළයක හමා පැමිණි හදිසි අනපේක්ෂිත සුළං රැල්ලක් කරණ කොටගෙන නිමේශයක් තුල පණගසා යලි මිය යන ගිණි පුලිඟුවක් පරිද්දෙන් ඉපිද ඒ සැණෙකින් යලි මිය ගියේය.
කෙමෙන් වැඩි විය පැමිණෙද්දී මව සහ දඩයක්කාරයා අතර වූ සම්බන්ධය කිසිසේත්ම සමීප වූවක් නම් නොවීය. දඩයක්කාරයාගේ පියා...මෙම අන්දරයෙහි දී පහසුව තකා අපි ඔහු මහ දඩයක්කාරයා යයි හඳුන්වමු...සත්යය වශයෙන්ම දඩයක්කාරයාට මෙන්ම ඔහුගේ පියාටද විශේෂිත වූ නාමයක් නොවීය.ඔවුන් දෙදෙනාම හැඳින්වීයේ දඩයක්කාරයා යන පොදු නාමකරණයෙනි.පියා ජීවත්ව සිටි සමයෙහි දඩයක්කාරයා යනු පියා හැඳින්වීමට ව්යාවහාර වූ නාමය වූ අතර, අපගේ වෘතාන්තයේ කථා නායක වූ දඩයක්කාරයා හැඳින්වීමට කිසිදු නාමයක් භාවිත නොවීය.පියාගේ අකල් ඇවෑමෙන් පසු අප කථා නායක කෙරෙහී නිරුත්සාහයෙන්ම දඩයක්කාරයා යන නාමය අන්වර්ථ විය.
මව ජිවත් වූ සමයෙහිදී ඒ මුළු මහත් කාල පරාසය පුරාම ඔහු හා මව අතර හුවමාරු වූයේ දෑතේ ඇඟිලි දසයෙන් ගිණිය හැකිවූ වදන් සමූහයකි.උදෑසනම පිළෙහි දිගෑදී නිදිගත වූ තැනින් අවදිව වන වදින අඩ නිරුවත් කොලුවා, දවස පුරාම ගෙවූයේ වන තුරු සෙවණෙහිය. හූ හඬක් ඇසෙන මානයේ පාරම්පරික ගම්මානයක් වූ අතර එහි වූයේද පවුල් විස්සකට නොවැඩි සංඛ්යාවකි.
මේ ගම්මානයෙහි විසූවෝ බහුතරයක් යම් කටුසර බෝග වගාවකින් දිවිරැකගත්තා වූ අතිශයින් කෘශ ශරීර වලින් යුතු නිතර රෝ බියෙන් පීඩා විඳින නිරතුරු අවට වනයෙන් කුමන මොහොතක අනතුරක් පැමිණේදැයි සැක සංකාවෙන් යුතුව දිවිගෙවන්නෝ වූහ. මහ දඩයක්කාරයා හා ඔවුන් අතර වූ ගණුදෙනුව සතියකට පමණ වරක් දඩයම් කල ගෝනකු, ඌරකු හෝ මුවකු හම ගසා ලේ වැකුණු මස් සමෙහිම ඔතාගත් පොදියකුදු කර තබාගෙන, ගම්මානය අසල වන බූටෑවෙහි හිඳ විශේෂිත වූ අයුරකින් හූ හඬක් නැඟූ ඉක්බිති හුවමාරු කිරීමට යම් දෙයක් එනම් කුරක්කන්, බටු මිරිස් ආදී ඔවුන්ගේ හේන්වල හටගන්නා දෙයක් ගෙන එතැනට තැති ගැනුනු සහ බිය රැඳුනු මුහුණින් යුතුව පැමිණෙන ගැමියන් සමඟ ගෙන ආ මස්පොදියට හුවමාරු කර ගැනීමට සීමා විය.
ලුණු, කහ මිරිස් වැනි දෑ ඉවුම් පිහුම් වලට බහුලව යොදා නොගත්ත ද මසකට පමණ වරක් මුහුදු කරයේ සිට බඩු පොදියක් ද කරතබාගෙන පැමිණෙන යෝනක සංචාරක වෙලෙඳාගෙන් අවශ්ය පමණ හුවමාරු කර ගැන්මට මහ දඩයක්කාරයා පුරුදුව සිටියේය.
පියා සහ පුත්රයාගේ වස්ත්රද වූයේ ඉඟ වටා රැඳි, නියඳ කෙඳි අඹරා සාදාගත් ලණුවක දැවටූ, යාන්තමට විළි වැසෙන දළ රෙදි කඩකිනි.මහ දඩයක්කාරයාගේ ඇඹේණිය ඉණේ දැවටූ දණ දක්වා වැසුණු රෙදි කඩක් පමණක් හැඳ සිටි අතර, භාණ්ඩ හුවමාරුවට යෝනක වෙලෙඳා පැමිණෙන දිනෙක, උඩුකය උරෙන් පෙරවාගත් වස්ත්රයකින් ආවරණය කොට ගත්තීය. එබැවින් ඉතාම අල්පේච්ඡ වූ ඔවුන්ගේ වස්ත්ර අවශ්යතා සඳහා සමසකට පමණ වරක් යෝනක වෙළෙඳාගෙන් මස් හුවමාරුවට ලබා ගන්නා දල රෙදි කඩ හොඳින්ම ප්රමානවත් විය.
අසලවූ එකම ගම්මානයේ විසූවෝ වනයට දැක්වූ ඇට මස් නහර පුරා කිඳීගිය භයට නොදෙවෙනි භයක් මහ දඩයක්කාරයා කෙරෙහි ද දැක්වූහ.ඔවුනට එතරම් බියක් ගෙන දෙන, ඔවුනට කිසිසේත් වටහාගත නොහැකි, අඳුරු තුරු ගොමු රුදුරු වන සතුන්, ඒ සැමට වඩා නිරතුරුව මධ්යාහ්නයේ පවා සක්මනෙහි යෙදෙන්නාවූ අද්භූත අවතාර සහ භයංකර යකුන්ගෙන් සුසැඳි මහ වනාන්තරයෙහි කිසිදු චකිතයක් අංශු මාත්රයක බියක් හෝ සැකයක් නොමැතිව, දිවා කාලයෙහි පමණක් නොව, මධ්යම රාත්රියෙහි පවා ගැවසෙන්නා වූවෙකු අද්භූත හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවෙකුයයි උපකල්පනය කිරීම මෙන්ම ඒ නිසාම ඔහු කෙරෙහි දැඩි බියක් දැක්වීම කුමන නම් අරුමයක්දැ?
කිසිවකු මහ දඩයක්කාරයාගෙ මුහුණට පැවසීමට පමණ එඩිතර නොවූව ද , එගම් වැසියන් අතර පැතිර පැවතියේ මහ දඩයක්කාරයා යනු ද එක් යක්ෂාත්මයක් බවය.එසේ වූ කල් එම යක්ෂාත්මයේ පුත්රයා වූ අප කථානායක දඩයක්කාරයා හා සමඟ කෙළි සෙල්ලමෙහි යෙදීමට හෝ යටත් පිරිසෙයින් ඔහු හා වදනක් දෙඩීමට තරම් ධෛර්ය සම්පන්න වූ එකද සම වයස්කයෙක් මුළු මහත් ගම්මානයේම නොවීම කිසිසේත්ම අරුමයෙක් නම් නොවේමය.
එසේ හෙයින් හුදකලාව දවස මුළුල්ලේ වනයේ සැරීම, දඩයක්කාරයාට ඉතිරිව තිබූ එකම විකල්පය විය. හෙතෙම කිසි විටෙකත් ඒ පිළිබඳව පශ්තාත්තාප නොවුණු බව මෙහිදී පැවසුව මනාය. හුදෙකලාව උපත ලද දින පටන්ම ශරීරයටම පත්තියම් වී තිබුණු නිසාම ඔහු හුදකලාව ප්රිය කලේය. ඔහුගේ ජීවිතයේ එක් විශේෂිත දිනයක් තෙක් දඩයක්කාරයාගේ දින චර්යාව මෙසේ වූයේය.
මතු සම්බන්ධයි........
උත්ප්ලාවනය = පාවීම, ඉපිලීම
Thursday, March 1, 2012
103. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....1

ගෙපැල පසුපස වන බූටෑවේ මධ්යයට ආසන්නයේ වර්ධනය වී පළාතක් ආවරණය කල, රූස්ස නුග ගහ සෙවණේ ඇණ තබා හිඳගෙන සිටි දඩයක්කාරයාගේ දෑස පියවී තිබිණි. එහෙත් ඔහු නිද්රාවෙහි ගැලී සිටියේද නැතහොත් දිවා කාලයෙහි බොහෝ කොට ගත කිරීමට ඔහු ඉතාම ප්රිය කල මනෝ රාජික සිහින දකිමින් නිද්රාවත් අවදියත් අතර වූ මායිම් සීමාවන් එක් වරම පැහැදිළිව හඳුනා ගත නොහැකි අවස්ථාවක ගත කරනුයේද යන්න අවම වශයෙන් ඔහු හෝ දැන සිටියා ද යන්න කිසිවෙකු නොදන්නා කරුණෙකි.
ඔහුගේ නැවුණු දෙදණ මත රැඳවුනු දෑත ඉදිරියට දිගුවී ඇඟිලි පහලට එල්ලි තිබිණි. ඝනව වැඩී හැඩපළු ගෙතී, දෙවුර අඩකට අධික ප්රමාණයක් වසා පැතිරුනු තඹවන් පැහැගැණුනු කෙස් කළඹින් කෙස් රොදක් හෝ දෙකක් නුග ගස වසා මධ්යාහ්නයේ පවා දුරුව නොයා පැතිර පවත්නා මඳ අඳුර විනිවිද හමා පැමිණි සුළඟ කරන කොටගෙන ඉපිලී ගියද යළි ආපසු දෙවුර මතටම පතිත විය.
ඔහුට ඉතා ආසන්න වූවකුට යම් නොපැහැදිලි අව්යාක්ත වදන් කිහිපයක් නොනවත්වා පහත් ස්වරයෙන් මඳ වශයෙන් විවරවූ සිහින් තොල් අතරින් පිටවනු ඇසිය හැකි වුවද, මේ ප්රස්ථුත මොහොතේ ඒ මිමිණීම ඇසීමට ප්රමාණවත් පමණ ආසන්නයේ සිටියේ දිවා කල දැඩි හිරු රශ්මියෙන් මිදෙනු වස් ආවරණයක් සොයා නුග සෙවණට ක්රමයෙන් ලඟා වෙමින් සිටි තලගොයින් යුවලක් පමණකි.
දඩයක්කාරයා ආසන්නයටම පැමිණෙන තෙක්ම සෙල් පිළිමයක් බඳුව නිසොල්මන්ව සිටි ඔහු නුදුටුවද, යාන්තමට ඇසෙන මුමුණන හඬ සවන් වැකි තලගොයා හිටිවනම ඉද්ද ගැසුවාසේ නිසොල්මන්ව නැවතුනේ අනතුරක සේයාවක් ක්ෂණිකව හැඟුනු නියාවෙනි. ඒ සමඟව හිටිවනම නැවතී, තමා දෙස බියරැඳි දෙනෙතින් නෙතු යොමා සිටින සිය පියඹ දෙස මොහොතක් ඔහු බලා සිටියේ අනතුරක ඉව වැටුනු වහා පළායාමේ අභිප්රායෙනි.
දෙනෙත තදින් පියා සිටියද, අවට සිදුවන දෑ පිලිබඳව සංජානනය දඩයක්කාරයා මනාව ප්රගුණ කොට සිටියෙන් තමන් ඉදිරිපිට නිසොල්මන්ව හිටි පියවර තමා දෙස බලාසිටිනා සිව්පාවුන් දෙදෙන ඔහුගේ මනැසට හොඳින්ම ගෝචර විය.
දඩයක්කාරයාගේ මේ අපූර්ව හැකියාව එනම් දෙනෙත් වසා සිටිය ද, අවට පරිසරයෙහි නිබඳවම සිදුවන කුදු මහත් සිද්ධීන්, එනම් නිසොල්මන්ව තණ පත් බුදිනා සා පොව්වකු ගොදුරු කොට ගැනීමේ අටියෙන් කිසිදු ශබ්දයක් නොනැඟෙන සේ වරකට පියවරක් බැගින් තබමින් කඩා පැනීමට සුදුසු ආවරණිත ස්ථානයක් සොයමින් ඒ දෙසට ළඟාවන සිවලෙකුගේ චර්යාව, නැතහොත් උදය කාලය මුලුල්ලේ කුස පුරා අහර ගෙන මැදියම දැඩි හිරු රසින් වැළකෙනු වස් හරිතවන් තුරු ගොමුවක සෙවණේ වැතිර හිඳිනා මුව දෙනකගෙන් කිරි උරාබොන අතර සම වයස් සොයුරු සොයුරියන් සමඟ කෙලි දෙලෙන් පසුවන මුව පොව්වෙකුගේ දඟකාරකම්, සංජානනය කර ගැනීමේ හැකියාව දඩයක්කාරයාගේ පියාගෙන් ඔහුට ලැබුණු දායාදයකි.
දශක චතුෂ්කයකට බොහෝ සෙයින් ආසන්න කාල සීමාවකට පමණ පෙර දඩයක්කාරයා පැටි අවදියේදී දිනෙක, එකල ඔහුගේ වයස උපරිම වශයෙන් වසර සයක් සෝ සතක් වන්නට ඇත, තමා උපත ලද දිනයක් හෝ අවම වශයෙන් උපත ලද වසරක් හෝ පිළිබඳව කිසිදු නිනව්වකක් උදක්ම නැතිහෙයින් උපත, වයස් ගතවීම කාලය ගතවීම යනාදී සංකල්ප පිලිබඳව ඡායාමය හැඟීමක් හෝ ඔහු තුල නොවූ බැවින් එදවස කොපමන කලකට ඉහතද යන්න ඔහු කිසිසේත් නොදත්තේය. කාලය පිළිබඳව ඔහු තුල වූයේ අපූරු සංජානනයකි.
උදෑසන අවදි වීමට පෙර සිදුවූ සියල්ල දඩයක්කාරයාගේ වර්ගීකරණය අනුව ඊයේ සිදුවූවන්ය. දුරාතීතයේ දිනෙක කාලයේ තිමිර පටලයෙන් වෙලීගිය යුගයෙක සිදුවූ මවගේ මරණය දඩයක්කාරයාගේ වර්ගීකරණය අනුව නැතහොත් කාල ගනණය අනුව සිදු වූයේ ඊයේය.ඊට කලකට පසු හොඳින් දැනුම් තේරුම් ඇති වකවානුවක සිදුවූ පියාගේ හදිසි මරණය ඊයේ සිදු වූවකි.කාලාන්තරයක් මුලුල්ලේ වට ධාරානිපාත මහා වර්ෂාවකට අනතුරුව දෙගොඩ තලා ගිය මහ වනය මැදින් ගලා බස්නා ගංගාවේ සැඩ පහරට හසුව දිවි බේරා ගැනීමේ නොපසුබට එහෙත් අසාර්ථක උත්සාහයෙක යෙදෙමින් ගසාගෙන යමින් සිට පසුව තම බිරිඳ බවට සහ ඉන් අනතුරුව තම දරු දෙදෙනාගේ මව බවට පත්වූ කෙළි පැටික්කිය බේරාගත්තේද ඊයේය.
කිසිදු ඥාතියකු හෝ හිත මිතුරකුගේ රැකවරණ අහිමිව අනාථ වූ ඇය මේ ගෙපැලේම හැදී වැඩී වැඩි විය පැමිණ යුවතියක වූවා, එක් අනෝරා වැසි කඩා හැලුනු ශීතල රාත්රියක හුදෙක් ඇගේ පෙලඹවීම මතම පලමුව ගැහැණියක් වී ඉන් අන්තුරුව දඩයක්කාරයාගේ අඹුව වූවාය. ඒ ද දඩයක්කාරයාට අනුව සිදු වූයේ ඊයේය.
ඉන් පසුව කිසිදු හැලහොල්මනක් නැතිව ජීවිතය ඔහේ ගලාගිය තවත් කාලාන්තරයකට පසු ඒත් එක් දිනෙක රාත්රියෙහි විළි රුදාවෙන් ඇඹරෙන්නට වූ ඇය කෙඳිරි ගාමින්ම දුන් උපදෙස් අනුව තියුණු සැතකින් පෙකණි වැල කපා වෙන්කොට මෙලොවට උත්පත්තිය ලබාදීමට තමන්ද සහායවූ නිවුන් දරු දෙදෙනා උපත ලද්දේ ද දඩයක්කාරයාට අනුව ඊයේය.
ඔහුගේ කාල නිර්ණය අනුව මේ සියල්ල සිදුවූයේ ඊයේය.උදෑසන අවදිවූ පසු මේ ගෙවෙන්නේ අද ය. හෙට යන සංකල්පය දඩයක්කාරයාගේ මනසට ගෝචර වීම ආරම්භ වනුයේ හිරු අස්ත ගත වීමට ආසන්නව දසතින් සැඳෑ අඳුර ලොව ගිල ගැනීමට සැරසෙන යාමයේය.
මතු සම්බන්ධයි........
සංජානනය - අවබෝධය, යමක් වටහා ගැනීම, Perception
Subscribe to:
Posts (Atom)