Thursday, March 1, 2012

103. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....1



ගෙපැල පසුපස වන බූටෑවේ මධ්යයට ආසන්නයේ වර්ධනය වී පළාතක් ආවරණය කල, රූස්ස නුග ගහ සෙවණේ ඇණ තබා හිඳගෙන සිටි දඩයක්කාරයාගේ දෑස පියවී තිබිණි. එහෙත් ඔහු නිද්රාවෙහි ගැලී සිටියේද නැතහොත් දිවා කාලයෙහි බොහෝ කොට ගත කිරීමට ඔහු ඉතාම ප්රිය කල මනෝ රාජික සිහින දකිමින් නිද්රාවත් අවදියත් අතර වූ මායිම් සීමාවන් එක් වරම පැහැදිළිව හඳුනා ගත නොහැකි අවස්ථාවක ගත කරනුයේද යන්න අවම වශයෙන් ඔහු හෝ දැන සිටියා ද යන්න කිසිවෙකු නොදන්නා කරුණෙකි.

ඔහුගේ නැවුණු දෙදණ මත රැඳවුනු දෑත ඉදිරියට දිගුවී ඇඟිලි පහලට එල්ලි තිබිණි. ඝනව වැඩී හැඩපළු ගෙතී, දෙවුර අඩකට අධික ප්රමාණයක් වසා පැතිරුනු තඹවන් පැහැගැණුනු කෙස් කළඹින් කෙස් රොදක් හෝ දෙකක් නුග ගස වසා මධ්යාහ්නයේ පවා දුරුව නොයා පැතිර පවත්නා මඳ අඳුර විනිවිද හමා පැමිණි සුළඟ කරන කොටගෙන ඉපිලී ගියද යළි ආපසු දෙවුර මතටම පතිත විය.

ඔහුට ඉතා ආසන්න වූවකුට යම් නොපැහැදිලි අව්යාක්ත වදන් කිහිපයක් නොනවත්වා පහත් ස්වරයෙන් මඳ වශයෙන් විවරවූ සිහින් තොල් අතරින් පිටවනු ඇසිය හැකි වුවද, මේ ප්රස්ථුත මොහොතේ ඒ මිමිණීම ඇසීමට ප්රමාණවත් පමණ ආසන්නයේ සිටියේ දිවා කල දැඩි හිරු රශ්මියෙන් මිදෙනු වස් ආවරණයක් සොයා නුග සෙවණට ක්රමයෙන් ලඟා වෙමින් සිටි තලගොයින් යුවලක් පමණකි.

දඩයක්කාරයා ආසන්නයටම පැමිණෙන තෙක්ම සෙල් පිළිමයක් බඳුව නිසොල්මන්ව සිටි ඔහු නුදුටුවද, යාන්තමට ඇසෙන මුමුණන හඬ සවන් වැකි තලගොයා හිටිවනම ඉද්ද ගැසුවාසේ නිසොල්මන්ව නැවතුනේ අනතුරක සේයාවක් ක්ෂණිකව හැඟුනු නියාවෙනි. ඒ සමඟව හිටිවනම නැවතී, තමා දෙස බියරැඳි දෙනෙතින් නෙතු යොමා සිටින සිය පියඹ දෙස මොහොතක් ඔහු බලා සිටියේ අනතුරක ඉව වැටුනු වහා පළායාමේ අභිප්රායෙනි.

දෙනෙත තදින් පියා සිටියද, අවට සිදුවන දෑ පිලිබඳව සංජානනය දඩයක්කාරයා මනාව ප්රගුණ කොට සිටියෙන් තමන් ඉදිරිපිට නිසොල්මන්ව හිටි පියවර තමා දෙස බලාසිටිනා සිව්පාවුන් දෙදෙන ඔහුගේ මනැසට හොඳින්ම ගෝචර විය.

දඩයක්කාරයාගේ මේ අපූර්ව හැකියාව එනම් දෙනෙත් වසා සිටිය ද, අවට පරිසරයෙහි නිබඳවම සිදුවන කුදු මහත් සිද්ධීන්, එනම් නිසොල්මන්ව තණ පත් බුදිනා සා පොව්වකු ගොදුරු කොට ගැනීමේ අටියෙන් කිසිදු ශබ්දයක් නොනැඟෙන සේ වරකට පියවරක් බැගින් තබමින් කඩා පැනීමට සුදුසු ආවරණිත ස්ථානයක් සොයමින් ඒ දෙසට ළඟාවන සිවලෙකුගේ චර්යාව, නැතහොත් උදය කාලය මුලුල්ලේ කුස පුරා අහර ගෙන මැදියම දැඩි හිරු රසින් වැළකෙනු වස් හරිතවන් තුරු ගොමුවක සෙවණේ වැතිර හිඳිනා මුව දෙනකගෙන් කිරි උරාබොන අතර සම වයස් සොයුරු සොයුරියන් සමඟ කෙලි දෙලෙන් පසුවන මුව පොව්වෙකුගේ දඟකාරකම්, සංජානනය කර ගැනීමේ හැකියාව දඩයක්කාරයාගේ පියාගෙන් ඔහුට ලැබුණු දායාදයකි.

දශක චතුෂ්කයකට බොහෝ සෙයින් ආසන්න කාල සීමාවකට පමණ පෙර දඩයක්කාරයා පැටි අවදියේදී දිනෙක, එකල ඔහුගේ වයස උපරිම වශයෙන් වසර සයක් සෝ සතක් වන්නට ඇත, තමා උපත ලද දිනයක් හෝ අවම වශයෙන් උපත ලද වසරක් හෝ පිළිබඳව කිසිදු නිනව්වකක් උදක්ම නැතිහෙයින් උපත, වයස් ගතවීම කාලය ගතවීම යනාදී සංකල්ප පිලිබඳව ඡායාමය හැඟීමක් හෝ ඔහු තුල නොවූ බැවින් එදවස කොපමන කලකට ඉහතද යන්න ඔහු කිසිසේත් නොදත්තේය. කාලය පිළිබඳව ඔහු තුල වූයේ අපූරු සංජානනයකි.

උදෑසන අවදි වීමට පෙර සිදුවූ සියල්ල දඩයක්කාරයාගේ වර්ගීකරණය අනුව ඊයේ සිදුවූවන්ය. දුරාතීතයේ දිනෙක කාලයේ තිමිර පටලයෙන් වෙලීගිය යුගයෙක සිදුවූ මවගේ මරණය දඩයක්කාරයාගේ වර්ගීකරණය අනුව නැතහොත් කාල ගනණය අනුව සිදු වූයේ ඊයේය.ඊට කලකට පසු හොඳින් දැනුම් තේරුම් ඇති වකවානුවක සිදුවූ පියාගේ හදිසි මරණය ඊයේ සිදු වූවකි.කාලාන්තරයක් මුලුල්ලේ වට ධාරානිපාත මහා වර්ෂාවකට අනතුරුව දෙගොඩ තලා ගිය මහ වනය මැදින් ගලා බස්නා ගංගාවේ සැඩ පහරට හසුව දිවි බේරා ගැනීමේ නොපසුබට එහෙත් අසාර්ථක උත්සාහයෙක යෙදෙමින් ගසාගෙන යමින් සිට පසුව තම බිරිඳ බවට සහ ඉන් අනතුරුව තම දරු දෙදෙනාගේ මව බවට පත්වූ කෙළි පැටික්කිය බේරාගත්තේද ඊයේය.

කිසිදු ඥාතියකු හෝ හිත මිතුරකුගේ රැකවරණ අහිමිව අනාථ වූ ඇය මේ ගෙපැලේම හැදී වැඩී වැඩි විය පැමිණ යුවතියක වූවා, එක් අනෝරා වැසි කඩා හැලුනු ශීතල රාත්රියක හුදෙක් ඇගේ පෙලඹවීම මතම පලමුව ගැහැණියක් වී ඉන් අන්තුරුව දඩයක්කාරයාගේ අඹුව වූවාය. ඒ ද දඩයක්කාරයාට අනුව සිදු වූයේ ඊයේය.

ඉන් පසුව කිසිදු හැලහොල්මනක් නැතිව ජීවිතය ඔහේ ගලාගිය තවත් කාලාන්තරයකට පසු ඒත් එක් දිනෙක රාත්රියෙහි විළි රුදාවෙන් ඇඹරෙන්නට වූ ඇය කෙඳිරි ගාමින්ම දුන් උපදෙස් අනුව තියුණු සැතකින් පෙකණි වැල කපා වෙන්කොට මෙලොවට උත්පත්තිය ලබාදීමට තමන්ද සහායවූ නිවුන් දරු දෙදෙනා උපත ලද්දේ ද දඩයක්කාරයාට අනුව ඊයේය.

ඔහුගේ කාල නිර්ණය අනුව මේ සියල්ල සිදුවූයේ ඊයේය.උදෑසන අවදිවූ පසු මේ ගෙවෙන්නේ අද ය. හෙට යන සංකල්පය දඩයක්කාරයාගේ මනසට ගෝචර වීම ආරම්භ වනුයේ හිරු අස්ත ගත වීමට ආසන්නව දසතින් සැඳෑ අඳුර ලොව ගිල ගැනීමට සැරසෙන යාමයේය.

මතු සම්බන්ධයි........

සංජානනය - අවබෝධය, යමක් වටහා ගැනීම, Perception

61 comments:

  1. අහෝ මේ සම්භාව්‍ය වූ රචනය දුටු කල්හි මාගේ හදවත ස්තබ්ධ වී ගිය සේය. නිල් දෑස් සහිත ලලනාවන් පිලිබඳ අතිශය චිත්තාකර්ශනීය පවත් මැවූ රචකයා මෙවර දඩයක්කාර පොරක් අල්ලාගෙන කුමක් කරන්ට යන්නේදැයි සිතමින් මගේ මනස ෆුල් අවුල්ව ගියේයැ!

    ReplyDelete
    Replies
    1. ඔය පීචං කෙල්ලොන්ට මේවා තේරුම් ගන්න පුලුවනෑ.....:P

      Delete
    2. @ අමා,

      අර මොකද්ද බොල උඹෙ හදවතට උනා කිව්වෙ?

      ස්තබ්ධ????.....ඇහුවමයි එහෙම වචනයක්....හෙහ්, හෙහ්,

      Delete
    3. ඒ වචනේ තියෙනවා සිංහලේ පලවෙනි නවකතාව මීනා කියන පොතේ. හි හි
      එකේ කෙල්ලයි කොල්ලයි පැනල ගිහින් ගහක නැගල ඉන්න වෙලේ කෙල්ල කියන හැටියට එයාගේ හදවතටත් ඔන්න ඔය සංගෙදියම වෙනවා.
      ඔය මොකද්දෝ ඉස්කෝලේ පැවරුමකට අපි ඕක කියව්වේ. අවුරුදු 14-15 කාලේද කොහෙද. මාර ආතල් එකක් ගත්ත ඕක කියවල

      Delete
    4. ආ..මේ ස්තබ්ධ?....කලින් කියන්ට එපාය...හෙහ්, හෙහ්,

      හරි හරි...එහෙම වෙනව බොලේ කොල්ලෙක් එක්කල පැනල ගිහිං කැලේ ගහකට බඩ ගාල ගහ උඩ ඉන්නකොට කෙල්ලොංගෙ හදවතට ඔහොම වෙනව....උඹත් බලාපං එහෙම කරල...නිකම්ම ඉන්න එකේ.......:) :) මාර ආතල් හෙහ්, හෙහ්....

      ඔය සීන් එකටම තව වචන ගොඩක් තියනව...ඔකඳ වීම, කුල්මත් වීම, එකනින්නාද වීම, හදවත රෝමෝද්ගමනය වීම,චිත්ත වික්ෂෝප භංගත්වයට පත් වීම, අනූනන විභාජනය,හදවත විජලනයට භාජනය වීම,ස්වප්න මෝචනය,ෂකෘධාඝාමී තත්වයට පත්වීම ඔය ඔක්කොම කියන්නෙ ඒකටම තමයි.....හෙහ්, හෙහ්,

      Delete
    5. කොමෙන්ට් එක කියවල හදවත නෙමේ මුළු පන්චස්කන්දෙම ස්තබ්බ වුනා...හෙහ්...හෙහ්...

      Delete
    6. ස්වප්න මෝචනේ විතරද ? ඇයි 'ක්ෂණික' එක 'ස්වයං' එක ?

      Delete
    7. රවී අයියා,
      ස්වප්න මොචනය කියන්නෙත් ඒකටමද? මල හත්ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු...

      Delete
    8. @ ඔබ්,

      ස්තබ්බ නෙවෙයි ඔබ් ස්තබ්ධ.......හෙහ්, හෙහ්,

      ඔබ් දන්නවය ඔව්වයිං හොඳම මෝචනය මොකක්ද කියල..."' වෘක්ෂ විභේදිත මෝචනය "....අන්න මෝචන.....හෙහ්, හෙහ්,

      Delete
    9. 'වෘක්ෂ විභේදිත මෝචනය'
      මොන වෙඩිමක්ද බොලේ ඒ ?

      ඒවායින් මේවයින් පෝස්ට් එක ගැන කියන්න අමතක වුනානෙ. දඩයක්කාරය ඇන තියාගෙන අඩ නින්දෙන් වගේ ඉන්න හැටි, එතකොට තලගොයි දෙන්න එනහැටි, නවතිනහැටි, මැවිල පෙනුන නියමෙටම.

      ලියවිල්ල ඉස්තරන්.

      Delete
    10. ස්තූතියි ඔබ්,දඩයක්කාරයගෙ සීන් එක මැවිල වගෙ පෙනුන නම් ඒ ඇති...මගෙ උත්සාහය සාර්ථකයි....

      අහ්, අර මම කියාපු මෝචනේ මොකක්ද දන්නවද? ඉන්නකො ඈ...මම පොඩි උදව්වක් කරන්නම්,

      වෘක්ෂ කියන්නෙ මොකක්ද?....ගස්, හරිනෙ නේද?....එතකොට විභේදිත කියන්නෙ දෙබලට.....හරිනෙ නේද ඔබ්, සක්සුදක්සේ පැහැදිලියි කියල මම හිතනව...තවත් පැහැදිලි නැත්නම් ලැජ්ජ වෙන්න එපා කියන්න.....හෙහ්, හෙහ්,

      Delete
    11. හම යන වැඩක් නේද ?

      Delete
    12. @ නවම්,

      අන්න නවම් උඹට තේරුණා, එක පාරටම තේරුණේ කොහොමද කියලත් මට නම් හිතාගත්තෑකි.......හෙහ්, හෙහ්,

      හම යන්නම ඕන නම් නෑ...විශේෂිත ගස් වර්ග තියනව නෙව.... :)

      Delete
  2. මට නම් සමහර වචන තේරුනේම නෑ
    හරියට පරිවර්තනයක් වගේ. හැබෑම ලස්සනයි. අමුතුම මාදිලියේ කතාවක්.

    වැඩේ කියන්නේ අමා ලියපු සමහර වචනත් තේරුනේ නැති එකනේ. මටත් දැන් ෆුල් අවුල්. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ කියන්නෙ....හුහ්, පරිවර්තනයක් වගේ....ඒ කියන්නෙ විදේශීය ලේඛකයො ලියන එව්ව විතරයි ලස්සන..... :(

      හෆොයි, තේරුනෙ නැත්තෙ කොයි එව්වද?....කියන්ටකො බලන්න...තේරෙන්නෙ නැතිවෙයි කියල මට හිතුනු එකම වචනෙ මම කතාව අවසානෙදි පැහැදිලි කලා......

      Delete
  3. මොකක්දෝ කියවල හුරුවක් තියෙනවා මේ ලියවිල්ලෙ..

    කාලෙකට කලින් කියවපු විද්‍යා ප්‍රබන්ධයකද මන්දා

    කොටස් කරල නේ අදහස් ඉදිරියට

    ReplyDelete
    Replies
    1. අඩේ..මලේ...එහෙම හිතුනද කලින් කියවල තියනවයි කියල...හෙහ්, හෙහ්,

      Delete
    2. හ්ම්...නවගත්තේගමගේ පොතක් මතක් වුනා, ගෙදර ඇති පොඩ්ඩක් කියෝල බලන්න ඕනෙ ගෙදර ගියාම අද...

      Delete
    3. හරි...සයිමන් ගොයිය ලියල තියනව දඩයක්කාරයන්ගෙ කතා...සංසාරණ්‍යයේ දඩයක්කාරයා....

      Delete
    4. හරි අන්න ඒකේ තමා එතන ආගන්තුකයාගෙ කතාවත් ඔය රිවි අයියගෙ දඩයක්කරයගෙ කතාවත් එක වගෙ ස්වරූපයක් තියෙනවා.
      සයිමන් ගොයියගෙ පොත ආයෙ කියවන්න ඕනි

      Delete
  4. අපොයි නෑ. නෑ. මෙහෙම විදේශීය ප්‍රබන්ධවත් දැකලා නෑ. එච්චරට ලස්සනයි. තව තුන් හතර පාරක් කියවනකොට කතාව තේරුනා. මට හිතෙන්නේ භාෂා විලාශය. කතාව ඉදිරිපත් කිරීමේ වෙනස. වෙනදට වඩා වෙනස් ඌරුවක කතාවක්. අර පැණි පෙරෙන ආදර කතාවක් නෙමේ නේ. ඒකයි.:)

    ඊට හපන් අමා. මගේ බ්ලොග් එකේ දැන් සිංහල කමෙන්ට් ඇත්තෙම නෑ. ඔය කියන වචනේ තේරුම මම දන්නෙත් නෑ. මට ආපහු පන්ති යන්ට වෙයි වගේ.:))

    ReplyDelete
    Replies
    1. පැණි බේරෙන ආදර කතා මදෑ බොල දැනට....ටික දවසකට එව්ව ඕන නෑ... අනික ඔව්ව දිගටම ලියන්ට ගිහාම මගෙ අහිංසක හදවතට ඔරොත්තු දෙන්නෙ නෑ නෙව ...හෙහ්, හෙහ්,

      Delete
  5. ඔය තියෙන්නෙ.... බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි.....

      Delete
  6. ඉදිරිය ගැන අනුමානයක්වත් කරන්ඩ බැරි කුතුහලයෙන් පිරිච්ච ආරම්භයක්. මට ඒත් නිකමට හිතුණා මෙදා ගමන රවි අයියා තලගොයි ජෝඩුවකගෙ ලව් ස්ටෝරියක්වත් කියන්න යනවද දන්නෙ නෑ කියලා. :D :D :D

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියාස්....සිත්තමී උඹ නම් අදහන්ට වටිනව අනෙ අම්මප, අඩේ ඊළඟ කොටසෙ ඉඳල ලියන්න ඕන තලගොයි ජෝඩුවෙ ආදර කතාව....හෙහ්, හෙහ්,

      ප්‍රිය සහෘදයනි...සිත්තමී කුමරියගේ බලවත් ඉල්ලීම පිලිකෙව් කොට ඉවතලිය නොහැකි නිසාම දඩයක්කාරයාගෙ කතාව ලිවීම අතහැර තලගොයි යුවලගේ ප්‍රේම වෘත්තාන්තය ලිවීමට මම තීරණය කල බව දැනුම් දෙන්නෙ ඉහවහ ගිය චිත්ත ප්‍රීතියෙනි.

      බලාපොරොත්තු වන්න ....ළඟදීම...

      104. තලගොයි යුවලකගේ අනුවේදනීය පෙම් කතාව...The Heart Rendering Love Story Of Two Iguanas....

      Delete
    2. ජුජුප්ස් කතාවක් වෙයි ද ?

      Delete
  7. අප්පට! රවී අයියා නේද ලියලා තියෙන්නෙ..... මං උන්නෙ අරුන්දැ කියලා...

    පොඩ්ඩක් හිතලා බලන්ඩකො පළවෙනි ඡේදෙට වාක්‍යය දෙකයි. දෙවෙනි ඡේදෙ තනිකරම තනි වාක්‍යයෙන්...

    ReplyDelete
    Replies
    1. මට හිතුන ඒත් උඹට වැරදිලා තමයි කියල....හෙහ්, හෙහ්,

      Delete
  8. අනේ දෙය්යනේ රවී අය්යට ඒ පාර මොකෝ වෙලා තියෙන්නේ? මේක කියෝලා මට පිස්සු ඩබල් උනා..මොක උනත් කමක් නෑ කොහෙන් හරි මේකට ෆුල් ලව් සීන් එකකුත් දාන්න හොඳේ.. දඩයක්කාරයාගේ බැරිනම් සිත්තමි කිව්වා වගේ තලගොඉ දෙන්නගේ හරි කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. අහවල් දෙයක් වෙන්ටද බොල මට? මේ ඉන්නෙ යස අගේට...බැබලි, බැබලි......අර ඇම්ඩගෙ මැක්කා වගෙ හැම කතාවටම ලව් සීන් දාන්න බෑ බං.....හෙහ්, හෙහ්,

      Delete
  9. it's only just a dream කියලා මට නං කියවුනා

    ReplyDelete
    Replies
    1. Well , not exactly a dream but some thing very similar more or less කියල මම කියන්නම්,

      Delete
  10. මටනම් කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්ථනය කරපු ටාර්සන් පොතක උරුවක් මේකෙ තියෙන්නෙ.

    ලෙසටම ලියලා තියෙනවා රවී.සුපිරි.

    ReplyDelete
    Replies
    1. අහ්හ්...ටාසන්?.....එහෙම හිතෙනවද සිතුවම්?

      ස්තූතියි ඔබටත් බොහෝමත්ම....

      Delete
  11. රවී අයියේ මේ ගස් බඩ ගාන කතා කියන්ට ගිහින් ලියවිල්ලේ අපුරුව ගැන කියන්ට බැරි උනා නේ. ඔන්න හෙනම් කිව්වා කියල හිතා ගන්ටකෝ!

    ආ මට නම් තේරුනා මේ කතාව. මේකේ කියන්ට යන්නේ සංජානා කියල ගැණු ළමයෙක් ගැන. ඔය රවී අයියගේ පරණ සීන් එකක්. (රහසින්...සංජානා කිව්වේ හින්දි ලමිස්සියක්ද? හෙනම් හින්දි පිචර් එකක වගේ යයි නේද? මන් ටක්කෙටම කියන්නම් වෙන දේ. මේකේ රවී අයිය සංජනා එක්ක ගස් බඩ ගාන්න ගිහින්, මේ දඩයක්කාරයා ට ඒක ට මල පැනල රවී අයියට වෙඩි තියනවා. අයිය බේර ගන්ට සංජනා පනිනවා ඉස්සරහට. රවී අයිය 'සංජනා ආ ආ' කියල කෑගහල දඩයක්කාරයා තියපු වෙඩිල්ල වැදුණු කෙල්ලව එතනම දාල පලා යනවා. හරි නේද)

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්ටූටි අමා. බෝම ඉස්ටූටි,

      උඹට මතක් වෙන්නෙ ඔය වගෙ කතාමයි, කෙල්ල කොල්ලගෙ ඉස්සරහට පැනල වෙඩි කන සීන්ස්.....හෙහ්, හෙහ්,

      Delete
  12. අර කිවුවත් වගේ සවිමන්ගෙ දඩයක්කාරයා මතක්වුනා බොලං.. ඒකෙ ඌරුවක් ලාවට තියෙනවා තියෙනවා වගේ.. වෙන මුකුත් කියන්න යන්නෙ නෑ, තාම පට්ටාං ගත්තා විතරනෙ.. ඔහොම යං.!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ...ස්තූතියි,

      Delete
  13. මුල ටික කියවද්දි මටනම් මතක් උනේ සිලිඳුව.

    ReplyDelete
    Replies
    1. හරි, මලේ හරියටම හරි.....බැද්දේගම කියවපු මුල් කාලෙම මගෙ හිත ගත්තු අපූරුම චරිතයක් සිළිඳු....ලෙනාඩ් වුල්ෆ්ගෙ රචනා ශෛලිය ගැනත් කියල වැඩක් නෑ.........

      Delete
  14. මාරම සම්භාව්‍යයි.... සෑහෙන වෙලාවක් ගියා කියව ගන්ට...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඒ කියන්නෙ කියව ගන්ට යන වෙලාව අනුව තමයි සම්භාව්‍යත්වය තීරණය වෙන්නෙ....එහෙමෙයි?

      සම්භාව්‍යත්වය පිළිබඳ නිසූපා න්‍යාය -

      රචනාවක සම්භාව්‍යත්වය එය කියැවීමට ගතවන කාලවේලාවට අනුලෝමව සමානුපාතික වේ.

      Delete
  15. අහා..! මහත් වූ උත්කෘෂ්ඨ රචනයකි. හදවද ආහ්ලාදයෙන් පිරීයන්නේයැ. චුට්ටිගේ කතාව එකහුස්මට කියවූවද දඩයක්කාරයා කියවීමට කිහිපවිඩක්ම හුස්ම අල්ලා සිටීමට සිදුවිය. හොඳවෙලාවට මතුසම්භන්දයි ය. නැත්නං මං මළේ ය.

    රවී අයියේ ටොපේ ටොප් !

    ප.ලි. පහුගිය දොහක ගියානෙව ඩෙවොන් එක දිහාවෙ. මට බොලා දෙන්නත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නවම් මලේ...උඹ ටොපේ ටොප් කිව්වනම ආය මොකවත් ඕන නෑ වෙන.....හෙහ්, හෙහ්,

      ඩෙවොන් එක පැත්තෙ ගියා කිව්ව?.....දෙන්නවම මතක් උනාද?....ස්තූතියි හොඳද?

      Delete
  16. shaa ravi mama kiyawanna aasa shailiyen kathaawak liyalaa thiyenawaa. meka balanna one iwara wenakamma

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...අලුත්...ස්තූතියි,

      Delete
  17. පට්ට බරපතල් නොවැ..

    ReplyDelete
    Replies
    1. සරල සැහැල්ලු එව්ව අස්සෙ පට්ට බරපතල් එව්වත් ඉඳහිට තියෙන එකෙත් නරකක්ම නෑ කියල හිතෙන්නෙ නැත්ද?..... :)

      Delete
  18. හෆ්ෆ්ෆා...... :) මේන් අලුත්ම ජාතියෙ එකක්... ඒත් අගෙයි... අගෙයි..

    මුවා මැරූ සලමන් කෙටි කතා පොතෙ කතාවකුත්, සයිමන් නවගත්තේගමයන්ගෙ දඩයක්කාරයාගේ කතාව , සංසාරණ්‍යය පොතුත් මතක් විය...
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්.......

      සයිමොං ගොයියගෙ ආබාසෙත් තියෙනව වෙන්න පුලුවං....මොකද මම කැමතිම රචකයෙක්.....

      Delete
  19. කාල නිර්ණය අනුව ලිපිය පළවුයේ ඊයේය...අද එය කියවීමි...ඉතිරි කොටසැ ඊයේ පල නොවියැ...හෙට වන තුරු සිටැ...ඊයේ පලවිනැයි කියමි..

    ReplyDelete
    Replies
    1. එලෙස කාලනිර්ණය කල හැක්කේ දඩයක්කාරයාටම පමණකි....එම්බා නිරෝසනය..තොපට එසේ කාල නිර්ණය කරනු වස් අවසර ලබා දුන්නේ කවුරුදැයි වහා පවසව.......හෙහ්, හෙහ්,

      ස්තූතියි ඔබටත්...

      Delete
  20. සමහර වචන තේරුනේ නැහැනේ,,,
    අයියෝ ආයෙත් මතුසම්බන්දයක් ඇවිත්

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල වර්ණො....මට දිවියඥානෙ නෑ බං උඹට තේරුනෙ නැත්තෙ කොව්වද කියල දැනගන්ට....කිව්ව නං බලන්ට නොතේරුනෙ කොයි වචනද කියල තේරුං කොරල දෙන්ට.......

      Delete
    2. හැක හැක් මට තේරුනා

      Delete
  21. ඇත්තටම මේක කියවනකොට මට මතක් උනෙත් බැද්දෙගම නවකතාවෙ සිළිඳුව... :D

    ReplyDelete
    Replies
    1. සිළිඳු මතක් උනා නේද?....ස්තූතියි මියුරු...

      Delete
  22. කමෙන්ට් සැන්ඩි විදිහට යොදාගෙන කතාව අමාරුවෙන් උගුරෙන් පහලට දාගත්තා .. කතාව ටිකක් සැරයි අප්පා ..

    ReplyDelete
    Replies
    1. හෙහ්, සඳරු මලේ....එහෙමද? තේරුම් ගන්න අමාරුද?

      Delete
  23. කතාව වගේම රහයි කමෙන්ට් ටික... :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...